මිලියන තුනක් වැය කර සමුද්‍ර ගවේෂන සිදු කෙරේ

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාවට නංවා ඇති ගවේෂණ හා ප්‍රතිසංස්කරණ වැඩසටහන් අතර සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ මැතකාලීන ව ගවේෂණ කටයුතු රැසක් සිදුකොට තිබේ.

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් මෑතකාලීන ව සිදුකරන ලද ගවේෂණ ඔස්සේ කොළඹ ආශ්‍රිත මුහුදු තීරයේ තිබී ගිලී ගිය යාත්‍රා රාශියක තොරතුරු අනාවරණය වී ඇති අතර, පළපුරුදු කිමිදුම්කරුවකු වන දර්ශන ජයවීර මහතා විසින් එම  තොරතුරු ලබා දී තිබේ.

2017 වසරේ දෙහිවල මූලික කරගනිමින් ක්‍රියාත්මක කළ ගවේෂණයේ දී  යාත්‍රා 20කට ආසන්න ප්‍රමාණයක තොරතුරු ලැබී ඇති අතර, මෑතකාලීන ව ගිලී ගිය යාත්‍රා මෙන් ම වසර 100කට වඩා පැරණි යැයි අනුමාන කළ හැකි යාත්‍රා ද ඒ අතර පවතී.

පර්යේෂණයට ලක් වූ බොහෝ යාත්‍රා මීටර් 25කට වඩා ගැඹුරේ තැන්පත් වී තිබෙන අතර, ලෝහ භාවිතයෙන් නිපදවා ඇති මෙම යාත්‍රා අතර විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකා මෙන් ම වාෂ්ප නෞකා ද, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වාෂ්ප නෞකා ද එන්ජින් බලයෙන් ක්‍රියාත්මක වූ බත්තල් ද පවතියි. සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ යොදාගන්නා නවීන විද්‍යාත්මක ක්‍රමවේද හා උපකරණ භාවිතයෙන් මෙම නෞකා සම්බන්ධ ව ඉදිරි පර්යේෂණ සිදුකිරීමට අපේක්ෂිතයි.

ලංකාවේ සමුද්‍ර පුරාවිද්‍යාව සම්බන්ධ ව දකුණු මුහුදු තීරය ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර, දැනට පවත්නා ගල්පර හා දියවැල් හේතුවෙන් යාත්‍රා ගමනාගමනයට බාධා සහිත කලාපයක් වශයෙන් ද පුරාවිද්‍යා පූර්ව ගවේෂණ ඔස්සේ හඳුනාගෙන ඇත. වර්ෂ 1871 දී ගාල්ලේ දී මුහුදුබත් වී ඇති වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක  වූ රාජකීය තැපැල් නැවක් (Royal mail Ship) ලෙස සැලකෙන RMS Rangoon නෞකාව ගාලු වරායට නාවික සැතපුම් 7ක් දුරකින් මීටර් 30ක් පමණ ගැඹුරු මුහුදේ තැන්පත්ව තිබී හමුව ඇති අතර,  මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ ගවේෂණ ඇසුරෙන් මෙම නෞකාවේ ශේෂ වූ කොටස් හඳුනාගැනීමට හැකි වී ඇත. මේ සඳහා වැයවන මුලු මුදල රුපියල් 3000,000.00ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර, උනවටුන සංචාරක කලාපයට අයත් විශාල ගල්පර සහිත මුහුදු පත්ල පරීක්ෂා කිරීම, ඒ අවට කුඩා යාත්‍රා ගවේෂණය කිරීම, Iron wreck 2 නම් නෞකාවේ තත්ත්ව පරීක්ෂණ කටයුතු ද මේ යටතේ සිදුකිරීමට අපේක්ෂිතයි. නෙදර්ලන්ත ආධාර සහ උපදේශකත්වය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම සමුද්‍ර පුරාවිද්‍යා ව්‍යාපෘතිය මුලින් ම ආරම්භ කර ඇති අතර, ලංකාවේ පළමු සමුද්‍ර පුරාවිද්‍යා කිමිදුම් කණ්ඩායමක් ද ඒ හා සමගාමීව බිහිකරන ලදී.

මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකරන ලද ගවේෂණ මගින් හමු වූ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් භාණ්ඩ හා උපකරණ රැසක් මේ වනවිට ගාල්ල කොටුවේ ස්ථාපිත කර ඇති මුහුදු පුරා විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ.

a29c59bf258f5c265369650e383660e9_XL

සෞඛ්‍ය නැංවීමටම රූපවාහිනී නාළිකවක්

රටවැසියාගේ සෞඛ්‍ය නැංවීම අරමුණින් ජාතික සෞඛ්‍ය රූපවාහිනී නාළිකාව හෙට(20) කොළඹ දී  එළිදැක්වෙනු ඇත.shutterstock_15814657-350x233

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට හා සෞඛ්‍යමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි. බෝ නොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, පවුල් සෞඛ්‍ය සම්බන්ධව පුළුල් දැනුමක් ලබාදීම, පෝෂණය, ක්‍රීඩාව හා ගෘහ ජීවිතය පිළිබඳව දැනුවත් කිරීම, ආදී වැඩසටහන් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න අධිකාරි මහතා සඳහන් කළේ ය.

කොළඹ, ගලදාරී හෝටලයේ දී රූපවාහිනී නාළිකාව එළි දැක්වීම සිදු කෙරෙන අතර ඒ සඳහා සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙයි.

ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන ජූලි සිට අනිවාර්යයි

ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය මේ වසරේ ජූලි මස 01 දා සිට තහනම් කෙරේ.seatbelt_with_pret

ඒ අනුව ජූලි මස 01 දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරි පස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලූන (Air bags), අගුළුවැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති (Anti-locking Breaking System (ABS)) සහ ඉදිරිපස සහ පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි (Three point seat belt) තිබීම අනිවාර්ය වේ.

 

2018 අයවැය මගින් ඉදිරිපත් වූ මෙම යෝජනාව ජනවාරි මස 01 දා සිටි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුදු වාහන නිෂ්පාදකයන්ගේ සහ ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙය කල් දමන ලදී.

මෙම යෝජනාවට යටත් කරනු ලබන වාහන මාදිලි සහ විස්තර අදාළ ආයතනයන් වෙතින් නුදුරේ දී ප්‍රකාශයට පත් කරනු ලැබේ.

 

වව්නියාව අවධානම් රතු කලාපයක් වෙයි

වව්නියාවේ ප්‍රදේශ කීපයක් අවධානම් රතු කලාප වශයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් නම් කොට තිබේ. ඒ වව්නියාව හා සෙට්ටිකුලම් යන පළාත්වලින් ඩෙංගු උණ රෝගය  වැළදුණු පුද්ගලයින් 69 දෙනෙකු ජනවාරි මාසයේ පසුගිය දින දාසය ඇතුළතදී හමුවීමත් සමගය.

ඩෙංගු උණ රෝගීන් වැඩි වශයෙන් හමු වූ ප්‍රදේශවලින් එම අවධානම් රතු කලාප නම් කොට ඇති  අතර එම පළාත්වල ඩෙංගු මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය නිලධාරීන් හා ස්වෙච්ඡා සංවිධාන වල සේවකයින් 200 කට වැඩි පිරිසක් යවා ඇති බව වාර්තා වේ.

1924339920dengi_L

උතුරු හා නැගෙනහිර එකාබද්ධ කරන්න ඉඩ දෙන්නෙ නෑ

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කවදාවත් උතුරු හා නැගෙනහිර එක්බද්ධ කිරීමට නොදෙන බවත් සියලු කුමන්ත්‍රණයන්ට එරෙහිව සටන් කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.

අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ඊයේ (18දා) රාත්‍රියේ මන්නාරම දිස්ත්‍රික්කයේ මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණු කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට සහහභාගී වෙමිනි.

 “කවදාවත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න ඉඩ තියන්නේ නැහැ. ඒ කුම්නත්‍රණ වලට එරෙහිව අපි සටන් කරනවා. ත්‍රස්තවාදී නායකයා එදා සිංහල සහ මුස්ලිම් ජනතාව උතුරු නැගෙනහිර පළාත්වලින් එලවලා දැම්මා.ජනතාව අවුරුදු ගානක් දුක් වින්දා. අවුරුදු 20 කට පමණ පසුව දුක් විඳපු ඒ ජනතාව නැවත පදිංචියට ගියාම දකුණේ ඇතම් කණ්ඩායම් අදටත් විවිධ චෝදනා කරන්න පටන් ගෙන තියනවා. ඒ හැම කෙනෙකුටම උත්තරයක් අපි මේ මැතිවරණයෙන් දීල පෙන්නනවා.

අගමැතිතුමා වගේම ජනාධිපතිතුමන් අපිට විශ්වාශයෙන් ලබා දුන්නු රාජකාරි අපි හරියට ඉටු කරල තියනවා. එදා පාඩු ලබපු ආයතන අද ලාභ ලබන ආයතන බවට පත් කරල තියනවා. අපි ගැන වැරදි ප්‍රචාරය කරපු අයට අපි ගැන ජාතිවාදය අවුස්සපු අයට අපි මේ මැතිවරණයෙන් පෙන්නනවා අපි ගියේ හරි පාරේ අපෙන් කිසිම කෙනෙකුට හානියකුත් නැහැ කියලා.”

rishad

දැන් ‘මතු රැකෙනා ශිල්පයමයි උගතමනා’ කියලා කියන්න සිදුවෙලා

තිර රචකයෙකු මෙන්ම වේදිකා නාට්‍යය රචකයෙකු ලෙසද බොහෝ කාලයක් කටයුතු කළ අජිත් මෙන්ඩිස් මහතා නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකුද වෙයි. 'හදන්නම බෑ' වේදිකා නාට්‍ය ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය වෙයි. එහි මංගල දර්ශනය මේ මස 20 වැනිදා සවස 6.30ට නව නගර ශාලාවේදී පැවැත්වෙන අතර, පසුදා (21දා) සවස 3.30ට සහ 6.30ට දර්ශන වාර දෙකක්ද නව නගර ශාලාවේදීම පැවැත්වීමට නියමිතය. මේ කතාබහ ඒ පිළිබඳවය.


Hadannama Baa DRAMA 001

Q 'හදන්නම බෑ'  නාට්‍යය හරහා ඔබ සමාජගත කරන්න උත්සාහ කරන කාරණාව මොකක්ද

මම මේ නාට්‍යය තුළින් කතා කරන්නේ ලංකාවේ අධ්‍යාපනයේ තිබෙන අවිධිමත්භාවය පිළිබඳව. මීට වසර ගණනකට පෙර පැවැති  අධ්‍යාපනය තුළ සිස්ටම් එකක් තිබුණා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. මීට පෙර අපි සඳහන් කළේ %උගතමනා ශිල්පයමයි මතු රැකෙනා^ කියලා. නමුත් දැන් 'මතු රැකෙනා ශිල්පයමයි උගතමනා' කියලා කියන්න සිදුවෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඉගෙන ගන්න සිදුව තිබෙන්නේ වෘත්තියක් ඉලක්ක කරගෙන. පරිබාහිර දැනීමක් ඔවුන් තුළ නැහැ. පෘථුල පරිබාහිර දැනීමක් ඇති පුද්ගලයා මේ සමාජයේ පිස්සෙක් බවට පත් වෙනවා. සමාජය හදන්න පුළුවන් මිනිස්සු අද සමාජයේ පිස්සන් බවට පත්ව තිබෙනවා. ඒ වගේම අප මුහුණ දෙන ඊළඟ ගැටලුව වන්නේ චීන ආක්‍රමණය. අපි සංස්කෘතිකමය හා ආර්ථික වශයෙන් චීනයට නතුවෙමින් පවතිනවා. ක්‍රමානුකූලව එය සිදුවනවා. අපට නොදැනීම චීන කොළනියක් බවට අපි පත්වෙනවා. චීන කොළනියක් බවට පත්වීම සහ අපේ අධ්‍යාපනය කුමන දිශානතියකටද යන්නේ කියලා හිතන්න සිදුව තිබෙනවා. මම මේ කාරණාව මේ නාට්‍යය හරහා කතා කරනවා. ලංකාවේ නාට්‍යයක් කරන කොට ප්‍රස්තුතය, අන්තර්ගතය වගේම එය ඉදිරිපත් කරන ආකාරය ගැන ගොඩක්  හිතන්න සිදු වෙනවා. නාට්‍යයක් වැඩි දර්ශන වාර සංඛ්‍යාවක් වේදිකාගත කරන්න නම් හාස්‍යය අවශ්‍යය වෙනවා. මීට පෙර නාට්‍ය රුචි සංවිධායකවරු වේදිකා නාට්‍යය ගමෙන් ගමට ගිහින් සංවිධානය කළා. නමුත් අද වන විට එවැනි සංවිධායකවරු ලංකාවේ නැහැ. අද ලංකාවේ නාට්‍ය සංවිධානය කරන්නෙ සුභසාධක සමිති සමාගම්. අදාළ දර්ශන වාර තමයි බොහෝ විට පවත්වන්නෙ. ඔවුන් නාට්‍යයක් ලබා‍‍‍ගද්දි අහන්නේ මේ නාට්‍යයේ කොමඩි තියෙනවද කියලා. දෙවැනියට අහන්නේ රූපවාහිනී නළු නිළියෝ ඉන්නවද කියලා. රූපවාහිනී නළු නිළියන්ගේ චරිතවලින් තමයි අද නාට්‍යය විකුණන්න වෙලා තියෙන්නෙ. එය කනගාටුවට කරුණක්. ඒ නිසා මේ පවතින රටාවටත් තරමක් අනුගත, සමාජ ඛේදවාචකයක් ගැන තමයි කතා කරන්නෙ.

Q සමාජ ඛේදවාචකයන් කතා කරන්න වේදිකාවම තෝර ගන්න සිදුව තිබෙන්නේ ඇයි. ජනප්‍රිය මාධ්‍යවල ඒ සංවාදයට ඉඩක් නැද්ද

මේක වෙනත් මාධ්‍යයක කතා කරන්න බෑ. ඒකට ඉඩක් නැහැ. මේ වන විට මම දීර්ඝ රූපවාහිනී ටෙලිනාට්‍ය පිටපත් දහයක් පමණ රචනා කර තිබෙනවා. ඒකාංගික ටෙලිනාට්‍ය අසූවක් පමණ රචනා කර තිබෙනවා. නමුත් අපිව මෙහෙයවීම සිදුකරනුනේ නාට්‍ය අධ්‍යක්‍ෂවරයා, එසේත් නැත්තම් ඊට  එහා ගිය නිෂ්පාදක හෝ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්. එහෙම වුණාම අපට අවශ්‍ය දේ කරන්න හැකියාවක් නෑ. එය  රස්සාවට කරන දෙයක් විතරක් වෙලා තියෙන්නෙ. වේදිකාව තුළ එහෙම  සීමා දාන්න කවුරුත් නෑ. මම වේදිකා නාට්‍ය කරන්න තෝරාගත්තෙම මෙවැනි සමාජ ප්‍රශ්නයක් තියෙන කාරණාම තමයි. මම රචනා කළ සියලුම වේදිකා නාට්‍ය දර්ශන වාර සියය ඉක්මවා ගොස් තිබෙනවා. මම හිතනවා ඒ නිසා වේදිකාවේ කතා කරන මේ දේවල් සාර්ථකයි කියලා. එහෙත් වේදිකාව තුළත් මේ දේ ප්‍රේක්‍ෂකයාට ලබා දීමට විවිධ උපක්‍රම භාවිත කරන්න සිදුවෙනවා. මේ නාට්‍යය තුළත් ආලෝකකරණයෙන්, ඇඳුම් නිර්මාණයෙන් අපි යොදා ගත්තේ ෆැන්ටසියක්. තාරුණයේ ප්‍රශ්න කතා කරන කොට ෆැන්ටසියක් අවශ්‍ය වෙනවා. තාරුණ්‍යයට උචිත වර්ණය දෙන්න නම් ෆැන්ටසියක් අවශ්‍ය වෙනවා. නාට්‍යකරුවෙක් හැමවිටම පෙර ගමන්කරුවෙක් වෙන්න ඕන. මම හිතන්නේ එහෙමයි. රූපවාහිනියෙන් මේ දේ කරනවා නම් එය සිදුකළ යුත්තේ ටෙලිනාට්‍යයකින් පමණයි. ටෙලිනාට්‍ය තුළ මෙය සිදුකළාට පලක් නෑ. ටෙලිනාට්‍ය තුළ මේ දේ සිදුකළත් මාධ්‍යය ආයතනවල ප්‍රධානීන් බලලා ඒ නාට්‍යයම ප්‍රතික්‍ෂේප කරනවා. අද මිනිසුන්ගේ රසඥතාව තිබෙන්නේ වෙන තැනක. ඔවුන් නිතරම ඉන්නේ ෆැන්ටසිය එක්ක. ඉන්දියන් ටෙලිනාට්‍යයවලට මිනිසුන් නැඹුරු වී තිබෙන්නේ ඒ  ෆැන්ටසිය නිසා. රටක් ආර්ථික වශයෙන් හා බුද්ධිමය වශයෙන් දුප්පත් වන විට ඒ රට තුළ ෆැන්ටසිය විකුණන්න පුළුවන්. කලාව ෆැන්ටසියක් වෙනවා. මිනිස්සු ගැඹුරු ග්‍රහණයකට වඩා මතුපිට සරලින් ග්‍රහණය කරගන්න තමයි යොමු වෙන්නෙ. ඉන්දියානු සිනමාව ජනප්‍රිය වෙන්නත් ආර්ථිකමය හා මිනිසුන්ගේ බුද්ධිමය Ajith Mendisදුප්පත්භාවය තමයි බලපාන්නේ. අපිත් එවැනි තැනකට ගමන් කරමින් සිටිනවා.

Q මේ නාට්‍යය සඳහා අත්වැල් බැඳ‍ගත් ශිල්පීන් ගැන මතක් කළොත්

මේ නාට්‍යයේ නිරෝෂන් විජේසිංහ, මහින්ද පතිරගේ, රොෂාන් පිලපිටිය, සමන් හේමරත්න, කුමාරි සේනාරත්න, මිහිරි ප්‍රියංකර ආදීන් රංගනයෙන් දායක වෙනවා.

Q ඔබ බොහෝ කාලයක් වේදිකාවත් එක්ක ගනුදෙනු කරනවා. ඒ අතීතය දෙස හැරී බලද්දි තෘප්තිමත් විය හැකිද

1983 දී තමයි මම මුලින්ම නාට්‍යයක් රචනා කර අධ්‍යක්‍ෂණය කළේ. ඒ %දෙයියන්ගේ පුංචි අක්කරය^ කියන නාට්‍යය. එයට ජාතික තරුණ සේවා නාට්‍යය උලෙළේදී සම්මාන හතක් හිමිවෙනවා. පසුව %ජුදාස්ගේ රාත්‍රිය^, %කෑම ලෑස්තියි^, %අලුත් හොරෙක්^ වගේ නාට්‍යය මම අධ්‍යක්‍ෂණය කළා. ඒ වගේම මම වේදිකා නාට්‍ය කිහිපයක්ම රචනා කළා. මම හැමවිටම කතා කළේ සමාජ ප්‍රශ්නයක් ගැන. මම එක් පරිවර්තන නාට්‍යයයි සිදුකළේ. ඒ දාරියෝ ෆෝ ලියූ %ගැබ්බර මිනිසා^ නාට්‍යය. ඒ  මිනිත්තු 30ක කෙටි නාට්‍යයේ තේමාව අරගෙන මම නාට්‍යය රචනා කළා. එයත් දර්ශන වාර සියය ඉක්මවා වේදිකාගත වුණා. මම රචනා කළ, අධ්‍යක්‍ෂණය කළ හැම නාට්‍යයක්ම දර්ශන වාර සියය ඉක්මවා වේදිකාගතව තිබෙනවා. මම කාලයට අනුව සමාජ ප්‍රශ්නයක් තේමා කර ගෙන නිර්මාණ කරන්නේ. මම කතා කළේ යුගයට ගැළපෙන දේවල්. එය ප්‍රේක්‍ෂකයන් වැලඳ ගත්තා. ඒ ගැන තෘප්තිමත්.

රාජපක්ෂත් වැඩියෙන් ඉන්න හදලා දෙකක් නැති කර ගත්තා මෛත්‍රීත් හයක් ඉන්න හදලා එකක් නැති කර ගත්තා


ගෝත්‍රික තීන්දුවක් – ඒත් හිස නමනවා

 මෙම සතියේ වැඩි කතාබහට ලක්වූයේ කැබිනට් රැස්වීම පිළිබඳවය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම  අඟහරුවාදා පැවැත්විණි.කාන්තාවන්ට මත්පැන් සම්බන්ධ කටයුතුවලට අවසර දීමට අමාත්‍ය මංගල සමරවීර විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් පිළිබඳ මෙහිදී අමාත්‍යවරු විවිධ අදහස් දැක්වූහ.

මත්පැන් අලෙවි සැල් රාත්‍රී 10.00 වනතුරු විවෘත කර තැබීම සහ කන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට ඇති හැකියාව ලබාදෙමින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබිණි. මංගල සමරවීර අමාත්‍යවරයා විසින් මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලද අතර, එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කාන්තාවන්ට සමඅයිතිය ලබාදීමේ අරමුණින් මෙම ගැසට් පත්‍රය නිකුත් කළ බවයි.

ඊට එරෙහිව අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමති රාජිත කීවේ මෙවැන්නකි. “කරුණු දෙකක් මත මම මෙම යෝජනාවට විරුද්ධයි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ සභ්‍යත්වය මත තීන්දු තීරණ ගත යුතුයි. යුරෝපයේ ගනු ලබන තීන්දු තීරණ ශ්‍රී ලංකාවට ගැළපෙන්නේ නැහැ. කොළඹ කාන්තාවන්ට වඩා ගමේ සිටින කාන්තාවන් සියයට 90ක්ම මීට විරුද්ධයි. ගමේ සිටින කාන්තාවන්ගේ විවිධ අයිතිවාසිකම් ආරක්ෂා වී තිබෙනවා. නමුත් ගමේ සිටින කාන්තාවකට මත්පැන් අලෙවි සැලකට ගොස් මත්පැන් බෝතලයක් ගන්න බැහැ. එය ගැටලුවක්. කොළඹ නම් සුපිරි වෙළෙඳ සැල්වලින් මත්පැන් මිලදී ගන්නා කාන්තාවන් ඉන්නවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මොහොතේ මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීම අනවශ්‍ය දෙයක්. යහපාලන රජය බිහිවුණේ මතින් තොර රටක් නිර්මාණය කිරීමටයි. එය මේ වනවිට නිවැරදි ආකාරයෙන් සිදු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රටේ මත්පැන් භාවිතය සහ දුම්බීම අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරනවා. එම නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම මෙම තීරණයට සම්පූර්ණයෙන් විරුද්ධයි.”

එවිට අදහස් දැක්වූ අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ රාජිතගේ ප්‍රකාශයට තමන්ද එකඟ බවයි. ‘එම නිසා මෙම තීරණයට මමත් විරුද්ධත්වය ප්‍රකාශ කරනවා” යැයි හෙතෙම පැවසීය.

අමාත්‍ය චම්පික රණවකද පැවසුවේ, “මතින් හා දුම්පානයෙන් තොර රටක් බිහිකළ යුතුයි යන සංකල්පයේ අපි ඉන්නේ. තීන්දු තීරණ ගැනීමේදී ප්‍රවේසම් විය යුතුයි. ඇතැම් තීන්දු තීරණවලදී සිදුවෙන්නේ විනාශයක්. අනවශ්‍ය ප්‍රචාරයක් ලැබෙනවා” යනුවෙන්ය.

එවිට අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ මෙම තීන්දුව නතර කිරීමට පියවර ගත යුතු බවයි.

තමන් හා රාජිත අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි සෞඛ්‍ය වශයෙන් මෙය ගැටලුවක් වන බැවින් මෙම තීරණයට විරුද්ධත්වය පළකරන බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.

එවිට අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසුවේ මෙය ගෝත්‍රික තීන්දුවක් බවත්, නමුත් එයට හිස නමන බවත්ය.

එ.ජා.ප. මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා විවේචනය කරන සිදුවීමද මෙහිදී සාකච්ඡා විය.

සුජීව, මරික්කාර්, හරීන්, නලීන්, චමින්ද යන මන්ත්‍රීවරුන් තමන්ව දැඩි ලෙස විචේනය කරන බව පවසමින් දෝෂාරෝපණය කළ ජනාධිපති මෛත්‍රී හදිසියේම කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගියේ ‘මම ජනාධිපතිකමෙන් අස්වෙනවා’ යැයි කියමින්ය.

අගමැති රනිල් සහ ඇමතිවරු කිහිපදෙනෙක් ජනාධිපතිවරයා අසලට ගොස් සාකච්ඡා කර යළි ජනාධිපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයට කැඳවාගෙන ආහ.

එදත් අපි එක්කගෙන ආවා – අදත් අපි එක්කගෙන ආවා

කැබිනට් හමුව අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආවේගයෙන් එජාප මන්ත්‍රීවරුන්ට බැන වැදී නැගිට යාම පිළිබඳ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ කතාබහට ලක්විය. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම යෙදී තිබුණේ බදාදා පෙරවරුවේය. රැස්වීම ආරම්භ කිරීමට අගමැති රනිල්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි මැති ඇමතිවරු කතාබහ කරමින් සිටියහ.

මේ අතර කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු වටකරගෙන පසුපෙළ මන්ත්‍රීවරුන් විමසමින් සිටියේ කලින් දින කැබිනට් මණ්ඩලයේදී සිදු වූ සිදුවීම පිළිබඳවයි. ඇමතිවරුන් දෙදෙනාද එය විස්තර කරමින් සිටියහ.

‘ජනාධිපතිතුමා අපේ සෙට් එකක නම් කියලම බැන්නා. මේ විදිහට එක ගමනක් යන්න බැහැ කිව්වා. පැය භාගයක් විතර මෙහෙම බැනලා බැනලා මෙන්න එකපාරටම නැගිටලා ගියා’

එසේ එක ඇමතිවරයෙක් පවසන විට, අනිත් අමාත්‍යවරයාද එයට යමක් එක් කළේය.

‘ජනාධිපතිතුමා නැගිටලා ගියපු එකෙන් නිදහස් පක්ෂෙ ඇමතිලා මාර විදිහට වැටුණා. එයාලට කරගන්න දෙයක් නැතිවුණා. ඊට පස්සේ අගමැතිතුමාට කිව්වා ගිහින් කතා කරන්න කියලා’

‘අගමැතිතුමා එක්ක මලික්, අකිල, රාජිත, දුමින්ද, සිරිපාල සෙට් එකම ගිහිල්ලා කතා කරලයි ආපහු එක්කගෙන ආවේ’ යැයි ඒ අමාත්‍යවරයා පවසන විට අසල සිටි මන්ත්‍රීවරයෙක් පැවසුවේ,

‘ඒ කියන්නේ එදත් අපි එයාව ආරගෙන ආවා… අදත් අපි එයාව එක්කගෙන ආවා’

පසුපෙළ මන්ත්‍රී එසේ කියන විට එතැන සිටි සියල්ලෝම මහ හඬින් සිනහසෙන්නට විය.

මොනවද අයිසේ තමුසෙලා මේ කරගන්න වැඩ

අගමැති රනිල් සිරිකොතට පැමිණීමෙන් පසු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ විය. පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙය කැඳවා තිබුණද, ඒ තුළ මුලින්ම කතාබහට ලක්වූයේ කැබිනට් මණ්ඩලයේ සිදුවීම පිළිබඳවයි.

‘මොනවද අයිසේ මේ තමුසෙලා කරගන්න වැඩ. ජනාධිපතිතුමා විචේනය කරන්න එපා. අපි පත් කරපු ජනාධිපතිනේ. ඒ ගැනත් හිතන්න. ජනාධිපතිතුමා හොඳටම කලකිරිලා දොස් කියාගෙන ගියා. ජනාධිපතිතුමාව විචේනය කරන්න එපා’

අගමැති රනිල් මන්ත්‍රීවරුන්ට එසේ කියන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පසුපෙළ මන්ත්‍රීවරයකු නැගී සිටිමින් විමසුවේ,

‘එතකොට සර් මේ අවුරුදු තුනේම නිදහස් පක්ෂෙ ඇමතිවරු සර්ව විචේනය කළා. ජනාධිපතිතුමා ඒවා නතර කළේ නැහැනේ’

අතින් සංඥා කරමින් එම මන්ත්‍රීවරයාට අසුන්ගන්නා ලෙස පැවසූ අගමැතිවරයා පැවසුවේ,

‘ඒක ජනාධිපතිතුමා බලා ගනීවි. අපේ පැත්තෙන් ජනාධිපතිතුමා විවේචනය නොකර ඉඳිමු. නිදහස් පක්ෂෙ ඇමතිවරුන්ගේ වැරදි තියෙනවා නම් ඒවා විචේනය කළාට කමක් නැහැ. ප්‍රතිපත්තිවල වැරැද්දක් තියෙනවා නම් ඒවා විචේනය කළාට වැරැද්දකුත් නැහැ. හැබැයි ජනාධිපතිතුමාව විචේචනය කරන්න එපා’

එසේ පැවසූ අගමැතිවරයා එම කතාබහ එතැනින් අවසන් කළේය.

මම ගියේ තේ එකක් බීලා එන්න

බදාදා පැවති කැබිනට් හමුවේදී ඇමති රාජිත පැවසුවේ කැබිනට් මණ්ඩලය තුළ අර්බුදයක් හට නොගත් බවය. ජනාධිපතිවරයා නැගිට ගියේ ස්වාභාවික අවශ්‍යතාවක් සඳහා බවත්, සැනකින් ආපසු පැමිණි බවත් එහිදී ඇමති රාජිත කීවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැළියක් ඇල්පිටිය නගරයේදී බදාදා සවස පැවති අතර, එම වේදිකාවේදී ජනාධිපතිවරයා පැවසුවේ පරස්පර අදහසකි.

‘හාමුදුරුවනේ මම ඊයේ  ධම්මපදයෙන් තමයි කැබිනට් මණ්ඩලයේ දේශනයක් පැවැත්වුවේ. අකුසල් කරලා කාටවත් කොහේවත් හැංගෙන්න බැහැ. ඒ පව් පලදෙනවා කියලා මම කිව්වා. මහජන දේපළ හොරකම් කළොත් අකුසල්, ආණ්ඩුවේ බැංකුවල සල්ලි හොරකම් කළොත් අකුසල්, රජයේ දේපළ අවභාවිත කළොත් අකුසල්. මේ විදිහට මම විනාඩි 30ක් 35ක් විතර දේශනයක් කරල කිව්වා මේ අකුසල් නොකරන විදිහට ආණ්ඩුව ඉස්සරහට යන්න අවශ්‍යයි කියලා. ඒ නිසා ඒකට කවුරුත් සූදානම් වෙන්න කියලා. ඒ ගැන පොඩ්ඩක් හිතන්න මම තව පොඩ්ඩකින් එන්නම් කියලා මම ගිහින් තේ එකක් බීලා ඇවිත් ආපසු කැබිනට් එකේ වාඩිවෙලා ආපහු කැබිනට් රැස්වීම කරගෙන ගියා’ යැයි පැවසීය.

මෛත්‍රීත් හයක් ඉන්න හදලා එකක් නැතිකර ගත්තා

  ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව අධිකරණයෙන් විමසූ සාකච්ඡාව මෙවර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී වැඩි වශයෙන් සාකච්ඡා විය.

ආරම්භයේදී විජිත හේරත් පැවසුවේ මෙවැන්නකි.  ‘රාජපක්ෂත් වැඩියෙන් ඉන්න හදලා දෙකක් නැති කර ගත්තා. මෛත්‍රීත් හයක් ඉන්න හදලා එකක් නැති කර ගත්තා. දෙන්නම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඇවිත් කාලය දික් කරගන්න තමයි හැදුවේ” 

ටිල්වින් සිල්වාද එයට එක්විය .

‘එක්සත් ජාතික පක්ෂයත් කලබල වෙලා. ධුර කාලය 06ක් වුණා නම් එජාපයටත් ලොකු බලපෑමක් වෙනවා. ඒ නිසා තමයි කට්ටිය මෛත්‍රීට ගහන්න පටන් ගත්තේ. බැඳුම්කරෙන් වැටිලා ඉන්න එජාපයට තවත් මරු පහරක් වෙනවා මෛත්‍රී 06ක්ම හිටිය නම්. කොහොම වුණත් මෛත්‍රීපාල සිරිසේන බැලුවෙත් ධුර කාලය හයක් වුණා නම් ඡන්දෙදි ඒ වාසියත් ගන්න. කතාව නම් බලය අත්හරින්න, පුටුව අත්හරින්න. ඒත් ක්‍රියාව තියෙන්නේ බලය වැඩි කර ගන්න. හොරු අල්ලනවා කියලා ඇවිත් දැන් හොරු ටික ආරක්ෂා කර ගනිමින් පක්ෂෙ බලය අල්ලගන්න තමයි කල්පනාව” 

එය අනුමත කරමින් ලාල්කාන්ත පැවසුවේ මෙවැන්නකි.

 ‘ඔව්, ජනාධිපතිතුමා බැඳුම්කර වාර්තාව ආවට පස්සේ ඒක අල්ලගෙන දැන් මාධ්‍ය සන්දර්ශන දානවා. මහා පරිමාණ වංචා දූෂණ ගැන ජනාධිපති කොමිෂන් වාර්තා 34ට මොකද වුණේ කියල දන්නෙ නැහැ. බැඳුම්කර වාර්තාවෙන් ඒවා යට වෙලා. මෛත්‍රී ඒවා හංගන්නේ ඒ වාර්තාවල තමන් ළඟ ඉන්න හොරු ටිකේ නම් තියෙන නිසා. අපි මේ වාර්තාත් එළියට අදින්න  ඕනෑ. මොකද දෙපැත්තෙම හොරු එළියට දාන්න  ඕනෑ” 

එයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී සිදු වූ සිදුවීමද සුනිල් හඳුන්නෙත්ති මතක් කළේය.

‘පාර්ලිමේන්තුවේදී රනිල්ගේ ගෝලයෝ මහින්දට හොරා කිව්වා. මහින්දගේ ගෝලයෝ රනිල්ට හොරා කිව්වා. තව කට්ටියක් රනිල්ට බැඳුම්කර හොරා කිව්වා. තව කට්ටියක් මහින්දට සුනාමි හොරා කිව්වා. අපි මේ පැත්තේ ඉඳලා දෙගොල්ලම හොරු කියල කිව්වා. නමුත් ඒවා මාධ්‍යවල නම් ගියේ නැහැ. කොහොමත් ඇත්ත එළියට එන්නෙ නෑනේ. ඒත් ජනතාව නම් දැනගත්තා දෙගොල්ෙලාම හොරු කියලා”  

අපි ඡන්දෙ ඉල්ලන්නේ මන්ත්‍රීවරු හදන්න නෙවෙයි

මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොස්ගම සාලාව ප්‍රදේශයේ ජනහමුවක් සඳහා සහභාගි විය.  එහිදී ප්‍රදේශයේ ගුරුවරියක් පැවසුවේ මෙවැන්නකි.

‘ලේකම්තුමා ආණ්ඩුවේ අය ගමේ බලයත් ආණ්ඩුව තියෙන එයාලටම දෙන්න කියනවා. මේ අය කොහොමද ගම හදන්නේ? සාලාව අවි ගබඩාව පිපිරුණාට පස්සේ හරියට වන්දි ටික ගෙවාගන්න බැරි වුණා. විපතට පත්වුණු අයගේ සංගණනයක් කරගන්න බැරි වුණා. දැන් ගමේ බලයත් ආණ්ඩුවට දෙන්න කියනවා” 

එය අනුමත කරමින් පිළිතුරු සැපයූ ටිල්වින් සිල්වා මෙසේ කීවේය.

 ‘අවුරුදු 03ක් රට පාලනය කරලා රට තිබුණ තැනින් තවත් පහළට ඇදලා දැම්මා. මේ ආණ්ඩුව කොහොමද ගමක් හදන්නේ. හොරකම නැති කරන්න ඇවිත් බැංකු කැඩුවා. දැන් දෙපැත්තේ ඉඳගෙන හොරු කියලා දෙපැත්තට චෝදනා කරගන්නවා. බලන් ගියාම ඔක්කොම හොරු. ඒවට දැන් ජනතාව රැවටෙන්නේ නෑ. ජනතාව දැන් දැන් අපි කියන දේවල්වලට ඇහුම්කන් දෙමින් තේරුම් ගනිමින් ඉන්නවා. රටේ ලොකු වෙනසක් අපිට දැනෙනවා” 

‘ලේකම්තුමා අපිත් රුසියානු පොත්පත් කියවලා තියෙනවා. සාහිත්‍ය කෘති පරිශීලනය කරලා තියෙනවා. ඒත් හැබෑ ජීවිතේ ඒ පොත්වල ඉන්න චරිත දැකලා තිබුණෙ නැහැ. නමුත් ඔබතුමාලගේ පක්ෂයේ චන්දන සූරියආරච්චිලා වගේ අයගේ කැපවීම දැක්කම අපි සැබෑ ජීවිතේදී සෝවියට් රුසියන් පොත්වල චරිත දැක්කා. සාලාව ප්‍රශ්නෙදි රෑ දවල් නැතිව ජනතාව වෙනුවෙන් චන්දනලා වැඩ කරපු විදිය අපි දැක්කා. ඒ නිසා අපි ජවිපෙ එක්ක වැඩ කරන්න තීරණය කළා” සාලාව වෙළෙඳ සංගමයේ නිලධාරියෙක් කියා සිටියේය. ‘ඔබතුමා කියන කතාව හරි. අපි ඡන්දෙ ඉල්ලන්නේ මන්ත්‍රීවරු හදන්න නෙවෙයි. අපි හදන්නේ ජනතා සේවකයෝ. ඒකයි අපේ වෙනස. අපි තිස්සදී ගම හදලා පෙන්නුවා. ජනතාවට තීරණය කරන්න පුළුවන් තමන්ගේ ගම හදා ගන්නවද නැත්නම් හොරුන්ටම දීලා පරණ විදියට දුක් විඳිනවද කියලා” ටිල්වින් සිල්වා කියා සිටියේය.

  ගම අලියට කන්න දීලා

කාත්තන්කුඩි, එරාවුර් ප්‍රදේශයේ ජනහමු ගණනාවකට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සම්බන්ධ වූයේ පසුගිය සතියේය. මේ රැස්වීම් සඳහා ජවිපෙ යාපනය දිස්ත්‍රික් සංවිධායක රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ජවිපෙ මෙවර මැතිවරණයේ අපේක්ෂිකාවක් වන සරෝජා සාවිත්‍රී පෝල්රාජ්ද සහභාගි විය. රැස්වීම්වලින් අනතුරුව ජනතාව කතාබහක නිරත වෙමින් තමන්ගේ ගැටලු පිළිබඳව ජවිපෙ නායකයන්ගේ අවධානය යොමු කිරීමට පෙළඹී සිටියි.

‘මන්ත්‍රීතුමා, මුස්ලිම් පක්ෂ නායකයන් හිටියට කවදාවත් අපේ ප්‍රශ්න ගැන අවධානයක් නැහැ. ඡන්දෙට විතරක් මෙහෙ එනවා. මේ පාර රවුෆ් හකීම්ලා ගම අලියට කන්න දීලා” ප්‍රදේශවාසියෙක් හඳුන්නෙත්තිට කියා සිටියේය.

‘ගම අලියට කන්න දීපු කතාව මොකක්ද?” හඳුන්නෙත්ති විමසා සිටියේය.

‘ඇයි මන්ත්‍රීතුමා හකීම්ලා මේ පාර ඡන්දෙ ඉල්ලන්නේ අලියගෙන්.. එයාලගෙ ලකුණ මේ පාර ඡන්දෙදි මේ පැත්තට නැහැ” ඔහු පිළිතුරු දුන්නේය.

බැසිල්ට ඩඩ්ලි පොළොන්නරුවේදී හමුවෙලා

%නිපුන^ සහල් ව්‍යාපාරයේ අධිපති සිරිපාල ගම්ලත් මහතාගේ දියණියගේ හදිසි අභාවය සැල වූ විට පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ පොළොන්නරුවේ ඔහුගේ නිවසට පැමිණෙන්නට වූහ.

සිරිපාල ගම්ලත් මහතා පක්ෂ විපක්ෂ කාගේත් හිතවතෙක් වූ බැවින් බෙහෝ පිරිසක් මේ සඳහා පැමිණ සිටියහ. මෙම අභාවය සැල වූ විට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද එම නිවසට ගියේය. ඒ වනවිට ලක්ෂ්මන් වසන්ත, පේෂල ජයරත්න, ඩඩ්ලි සිරිසේන ඇතුළු පිරිසක් කතාබහ කරමින් සිටියහ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සිටි සභාපතිවරුන් හත් දෙනෙකු විවිධ දූෂණවලට සම්බන්ධ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබී තිබුණු අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වේදිකාවලදීද මේ පිළිබඳව කියන්නට විය. ගම්ලත් මහතාගේ නිවසට පැමිණ සිටි එම සභාපතිවරුන් පේෂල ජයරත්නට චෝදනා කළේ නාමයෝජනා ලබානොදීම පිටුපස ඔහු සිටින බවට පවසමිනි. බැසිල් ඇතුළු ඒකාබද්ධයේ පිරිස  එම අවස්ථාව බලා සිටියහ. එවිට පේෂල කීවේ තමාට අකමැත්තෙන් වුවද එම තීරණයට එකඟවීමට සිදු වූ බවයි. “ඔන්න 25 වැනිදා රනිල් පොළොන්නරුවට එනවලු. ගිහින් ඒ වේදිකාවට ගොඩ වුණා නම් හරිනේද’ බැසිල්  එම සංවාදයට එක්වෙමින් කී විට “දෙකම එකතුවෙලා යනවට අපි කැමතියි’ යනුවෙන් පේෂල පැවසීය. “විසඳුම තියෙන්නේ අපිත් එක්ක ආවොත් තමයි. මොකද කියන්නේ’ අනතුරුව බැසිල් පැවසුවේ සියලු දෙනා දෙස බලාය.“මම හිටපු ජනාධිපතිතුමාට ආදරෙයි. මගේ වෙනසක් වෙලා නැහැ’ යැයි ලක්ෂමන් වසන්ත කීවේය. එම සංවාදයට එක් වූ ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන “මට තාම මතකයි හිටපු ජනාධිපතිතුමා 2006දී විතර වී මෝල් හිමියන්ගේ බදු අඩු කරලා ලබාදුන්නු සහනය ගැන. ඒක අපිට ලොකු උදව්වක් වුණා. ඒ වෙලාවේ ගෙනාව යන්ත්‍ර සූත්‍ර තමයි අපි ගාව තියෙන්නේ’ යනුවෙන් පවසා සිටියේය.

හෝමාගම රැස්වීම ගැන මෛත්‍රී කනගාටුවෙන්

මෛත්‍රීපාල සිරිසේන අගලවත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැලියට සහභාගි වී හෝමාගම රැලියට සහභාගි වීමට ගියේය. එම රැලියට එතරම් ජනතාවක් පැමිණ නැතැයි දැනගත් මෛත්‍රීට කේන්ති ගොස් හෝමාගම සංවිධායක ගාමිණී තිලකසිරිට ඒ පිළිබඳ චෝදනා කළේය.

අගලවත්තේ රැලියට වැඩි ජනතා සහභාගිත්වයක් ලැබීම ගැන සතුටින් සිටි මෛත්‍රීට හෝමාගම රැලිය දුටු විට කනගාටුවක් ඇති විය. මෛත්‍රී පමා වී හෝමාගම රැලියට පැමිණියේද මෙම හේතුව නිසාය.

මෛත්‍රී සමග මෙම රැලි දෙකටම සහභාගි වූ හිතවතෙකු ඊට පසුදින කොළඹ පැවැති විවාහ උත්සවයකදී හිටපු අමාත්‍ය බැසිල්ට හමුවිය. ‘ඉතිං කොහොමද දේශපාලන තත්ත්වය ?’ බැසිල් කතාව ආරම්භ කරමින් පැවසීය. “වරදක් නැහැ සර් අපේ දේශපාලනය අපි  කරනවා. හෝමාගම රැස්වීම ගැන ජනාධිපතිතුමා ලොකු කේන්තියකින් ඉන්නේ. මුළු ගමනම ගියේ මාත් එක්ක. හැබැයි අගලවත්තේ රැස්වීම ගැන ලොක්කා සතුටින් හිටියේ. ඒත් හෝමාගම රැස්වීම හින්දා ඒ ඔක්කොම හේදිලා ගියා” යැයි හිතවතා පිළිතුරු දුන්නේය.

ප්‍රසන්නගේ හඬ එකවරම නැතිව යයි

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මෙන්ම එහි කැපී පෙනෙන කථිකයකුද වන ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ අකරතැබ්බයකට මුහුණදුන්නේය. අකරතැබ්බයට මුල වූයේ ප්‍රසන්නගේ හඬ එකවරම නැතිව යාමයි. කතා කරගන්නට නොහැකි වූ ප්‍රසන්න හදිසියේම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ පසුගිය ඉරිදාය.

ප්‍රතිකාර ලබන්නට ආ ප්‍රසන්න පරීක්ෂා කරන්නට පැමිණි වෛද්‍යවරුන් කීවේ ප්‍රසන්නට හඬ නැතිව ගියේ අත්‍යවශ්‍යම වේලාවක බවය. “මන්ත්‍රීතුමාට කතා කරන්න බැරිව ගියේ කතා කරන්න ඕනේම වෙලාවෙනේ” කී වෛද්‍යවරු නියමිත ප්‍රතිකාර ලබාදී වැඩිදුරටත් උපදෙස් දුන්නේ දින කිහිපයක් විවේකීව සිටින ලෙසයි.

ප්‍රසන්න රෝගී වී ඇති බව දැනගන්නට ලැබුණු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු වැල නොකැඩී රෝහලට එන්නට පටන්ගත්හ. එහෙත් එසේ ආ බොහෝ මන්ත්‍රීවරුන්ට ප්‍රසන්න මුණගැසෙන්නට ඉඩක් නොලැබුණේ කතා කරන්නට බැරිව ගොස් සිටි ප්‍රසන්න බැලීමට ඉඩදීම වෛද්‍ය නියමයෙන් සීමා කර තිබුණු නිසාවෙනි.

මේ අතර ප්‍රසන්නගේ රෝගය ගැන දැනගන්නට ලැබුණු වහාම මහින්ද දුරකථන ඇමතුමක් ගත්තද ප්‍රසන්නට කතාකරන්නට පුළුවන්කමක් තිබුණේ නැත. අන්තිමට ප්‍රසන්න සහ මහින්ද අතර කතාබහට අතරමැදියෙකු ලෙස සහභාගි වන්නට සිදුවුණේ ප්‍රසන්නගේ දියණියටය.

“ සර් මට මෙහෙම ඉන්න බැහැ. මම මිනුවන්ගොඩ ආසනයේ භාර ගත්ත රැස්වීම් තියෙනවා. ඒවට කොහොම හරි සහභාගි වෙන්න ඕනේ ‘ ප්‍රසන්න දියණියගේ මාර්ගයෙන් කීවේය.

“ පිස්සුද ප්‍රසන්න, කොහොම හරි ඔය ලෙඩේ හොඳ කරගන්න. ඒක තමයි වැදගත්ම දේ ‘ මහින්ද ප්‍රසන්නට උපදෙස් දුන්නේය.

“ මේ වෙලාවෙම මට මේ ලෙඩේ හැදිච්ච එකනේ වැඩේ. මට දුක රැස්වීම්වලට යන්න බැරිවෙන එක තමයි ‘ ප්‍රසන්න පැවසුවේය.

“ ඕවා ‍ඔහොම තමයි. අපි කොහොම හරි වැඩටික කරමු. ඉස්සෙල්ලා ඔයා සනීප වෙන්නකෝ ‘ කී ම?හින්ද ප්‍රසන්නව අස්වැසුවේය. අවසානයේදී ප්‍රසන්න රෝගය සුවපත් කරගන්නා විට දින ගණනාවක් ගතවී තිබුණි. රෝගය සුව වූ වහාම ප්‍රසන්න යළිත් මිනුවන්ගොඩ ගියේ භාරගත් රැස්වීම්වලට සහභාගි වන්නටය.

දෙගොලෝලෝ බොරු විරසකයක් පෙන්නලා ඡන්ද ටික කඩා ගන්න හදනවා

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම පසුගිය අඟහරුවාදා පැවැත්වුණේ මහින්දගේ විජේරාම පෙදෙසේ නිල නිවසේදීය. ඒ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙනි. එහිදී මන්ත්‍රීවරුන් කීවේ බැඳුම්කර වාර්තාව යට ගැසීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බවයි.

“ ආණ්ඩුවට දැන් ඕනේ වෙලා තියෙන්නේ බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් එන චෝදනා ටික යට ගහන්නයි. වාර්තාවේ තියෙන කරුණු ගැන නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව දැන් එනවා 2015ට ‍ඉස්සර වෙච්ච ඒවා ගැන කියන්න ‘ යැයි මහින්දානන්ද පැවසීය.

“ මම වගකීමෙන් කියනවා 2008- 2015 කාලයේ ඔය කියන විදිහේ කිසිම බැඳුම්කර වංචාවක් සිද්ධ වෙලා නැති බව. පුළුවන් නම් කොමිසම් එකක් නෙමේ හතක් දාන්න කියන්න. එතකොට අපිටත් පුළුවන්නේ ගිහින් සාක්කි දෙන්න. ඔය හදන්නේ තමන්ට එල්ල වෙලා තියෙන චෝදනා අපේ පැත්තට දාලා ඇඟ බේරගන්නයි ‘ මහින්ද අවධාරණය කළේය.

“ ජනාධිපතිවරයාට තියෙන්නේ තැන් තැන්වල රැස්වීම් තියලා යටිගිරියෙන් කෑගහන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කරලා පෙන්නන එකයි ‘ ප්‍රසන්න අපහසුවෙන් මෙන් කීවේ උගුරේ අමාරුවද තිබියදීය.

“ බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළාට වෙන වෙන අයගේ අත්වලට නම් ලැබිලා තියෙනවා කියලයි ආරංචිය. රවි කරුණානායක හැම තැනම කිය කියා යනවා එයාට වාර්තාව ලැබුණා කියලා. එහෙම ලැබෙන්නේ කොහොමද?’ බන්දුල ඇසුවේය.

“ මෙයාලා දැනගෙන හිටියා වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මොත් වැඩේ වරදිනවා කියලා. ඒක තමයි අගමැතිගේ විශේෂ ප්‍රකාශයක් දාලා හෙමිහිට ලෙස්සලා ගියේ ‘ යැයි රෝහිත පැවසීය.

“ මේ ආණ්ඩුවේ විශේෂ ප්‍රකාශ දැන් විහිළුවක් වෙලා. එක පැත්තකින් ජනාධිපති විශේෂ ප්‍රකාශයක් කරනකොට අනෙක් පැත්තෙන් අගමැති විශේෂ ප්‍රකාශ තුනක් කරනවා” නාමල් කීවේය.

“එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට තැන තැන බොරුවට බැන බැන යනවා. මේකත් මේ දෙගොල්ලෝ කතා වෙලා කරන දෙයක්. නිදහස් පක්ෂයේ අය බොරුවට අගමැතිව විවේචනය කරනවා වගේ යූ.ඇන්.පී. ය. ජනාධිපතිවරයාව විවේචනය කරනවා” යැයි මහින්දානන්ද පැවසීය.

“මේ ගොල්ලෝ හිතන් ඉන්නේ මේ වගේ බොරුවලට ජනතාව රැවටෙයි කියලා. මිනිස්සු දැන් ජනාධිපතිව වගේම අගමැතිවත් හොඳට අඳුනනවා. ජනාධිපතිවරයා පසුගිය මහ මැතිවරණයේදීත් අපේ ජයග්‍රහණය වළක්වන්න මේ වගේ උපක්‍රම පාවිච්චි කළා. මේ පාර ආණ්ඩුවට ඡන්දෙ ලැබෙන්නේ නැහැ කියලා දැනගත්තම දෙගොලෝලෝ බොරු විරසකයක් පෙන්නලා ඡන්ද ටික කඩා ගන්න හදනවා” ප්‍රසන්න පෙන්වා දුන්නේය.

“බොරුකාරයන්ට මේ පාර ඡන්දෙන් හොඳ උත්තරයක් හම්බ වෙයි” නාමල් පැසවුවේ සිනාසෙමිනි.

මෛත්‍රීගේ රැලියට ගිය ඒකාබද්ධයේ මන්ත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු ජනරැලිය පසුගියදා පැවැත්වුණේ අනුරාධපුරයේදීය.  රැස්වීම පැවැත්වෙන අතරතුර ඒකාබද්ධ විපක්ෂයේ ෂෙහාන් සේමසිංහ සල්ගාදු ක්‍රීඩාංගණය අසලට ගියේය. වාහනයෙන් නොබැස සල්ගාදු ක්‍රීඩාංගණය අසලට වී ෂෙහාන් රැස්වීම නිරීක්ෂණය කරමින් සිටින අතරතුර දුමින්ද දිසානායකගේ ලේකම්වරයෙකු ෂෙහාන් අසලට ආවේය.

“මොකද සර් මේ වාහනේට වෙලා. අපේ පැත්තට එන්නවත් හිතුවාද?” ලේකම්වරයා සිනාසෙමින් ඇසුවේය.

“අපෝ පිස්සුද? මම මේ නිකන් ආවේ. ඒක නෙමේ කෝ සෙනඟ?’ ෂෙහාන් ඇසුවේ රැස්වීම පටන් ගෙන තිබුණද සැලකිය යුතු ජන සහභාගිත්වයක් දකින්නට නොතිබුණු නිසාය.

“වැඩක් නෑ සර් කියලා. අපි කොච්චර කියනවාද මේ මහ අයට. අපි කියන දෙයක් කනකටවත් ගන්නේ නැහැනේ” ලේකම්වරයා පැවසීය.

“ඒක තමයි. දැන්වත් ඔයාලා හරි පැත්ත තෝර ගන්න. මේකෙන්ම තේරෙනවානේ රටේ තියෙන තත්ත්වය මොකක්ද කියලා. දැන් තීන්දුවක් ගන්න කාලේ හරි” යැයි ෂොහාන් පැවසීය.

“අපි කිව්වට අහන්නේ නැහැනේ සර්. මං යන්නම්. ඔබතුමා එක්ක මං කතා කළා කියලා දැනගත්තොත් මගේ රස්සාවත් ඉවරයි” යැයි කී ලේකම්වරයා යන්නට ගියේය.

ඇල්ලිල්ල

ඇල්ලිල්ල අපේ ජීවිතවලට බොහෝ සම්බන්ධය. අල්ලලා හිරකර ගන්නා අය මෙන්ම අල්ලලා අතහරින අයද ඉන්නවාය. ඇල්ලුවා යැයි පුරසාරම් දොඩන අය පසුව අත ඇරුණාම කියන්නේ බැරිවෙලා අතහැරියා කියලාය. සංසාරය දිගටම අල්ලා ගන්නේ තණ්හාව නිසා යැයි කියනවාය. බෝධි සත්ත්වයන් අල්ලාගෙන සිටි සියලුම සැප සම්පත් අතහැරලා මහණ වෙන්නට ගියේ බුදු බව ලබා ගන්නටය. ඒ නිසා අල්ලාගෙන සිටින සියල්ල අතහැරලා මිසක විමුක්තිය ලබන්නට බැරිය. ඒත් අපේ බොහොම අය කරන්නේ අතහැරිල්ල වෙනුවට දිගටම අල්ලාගෙන තමන්ගේ ගොඩ වැඩි කරගැනීමට උත්සාහ කිරීමය.

රටේ අපරාධකරුවන් අල්ලන්නේ පොලීසියය. පොලිස් නිලධාරීන්ට එහෙම ඇල්ලිල්ල ගැන පුහුණුවක්ද දීලා තියෙනවාය. එහෙත් පොලීසියෙන් අල්ලපු අය අතහැරිලා ගිය අවස්ථා බොහෝය. සොරුන්, මිනීමරුවන් ඇල්ලිල්ලට යන පොලීසියට ඔවුන් සමග සටන් කරන්නටද වෙනවාය. මිනීමරු ප්‍රභාකරන් ඇල්ලීමට අපේ පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට අවුරුදු තිහක්ම ගතවුණේය. ඒත් වෙඩි තියලා මරලා මිසක පණපිටින් ප්‍රභාකරන් අල්ලන්නට බැරි විය.

ඇතැම් වෙලාවලට අපරාධකාරයන් පොලීසියට භාර වුණත් පොලිස් පොතේ ලියැවෙන්නේ මෙහෙයුමකින් ඔවුන් අල්ලලා අත්අඩංගුවට ගත් බවය. මුලින්ම කරන්නේ අල්ලපු අය කුදලාගෙන ගොස් කූඩුවේ දැමිල්ලය. එහෙම අල්ලපු අය පැය විසිහතරක් තුළ උසාවියට ඉදිරිපත් කරන්නට ඕනෑය. ඒත් සමහර වෙලාවල උසාවියට ඉදිරිපත් කිරීමට පෙර ඇඟේපතේ තැළීම්, බිඳීම් ඇතිවුණා යැයි කියලා ඇල්ලූ අය රෝහලට ඉදිරිපත් කිරීමට සිදු වූ අවස්ථා තිබෙනවාය. ඇල්ලූ සමහර අයට ආපසු පණපිටින් ගෙදර එන්නට බැරි වෙලාද තිබෙනවාය. අල්ලපු සැකකරුවන් ආයුධ පෙන්වන්නට යැයි කියා මහ රෑ රැගෙන යන පොලීසිය අන්තිමට කියන්නේ මිනිහා පොලීසියට බෝම්බ ගහපු නිසා ආත්මාරක්ෂාවට වෙඩි තබන්නට සිදු වූ බවය.
සමහරුන් ආදරයටද අතින් අල්ලනවාය. එහෙම අතින් ඇල්ලිල්ල එතනින් නැවතුණොත් හොඳය. එයිට එහාට ගියහොත් අල්ලපු කෙනා අමාරුවේ වැටෙන්නට පුළුවන්ය. කොහොම වුණත් කාන්තාවන්ගේ අතින් ඇල්ලිල්ල නම් බොහොම පරිස්සමෙන් කරන්නට ඕනෑ ක්‍රියාවක්ය. මොකද කාන්තාවන්ගේ අතින් ඇල්ලිල්ලද අපයෝජනයක් යැයි නීතිපොතේ සඳහන් වී තිබෙන නිසාය. ඒත් කැමැත්තෙන් ඇල්ලුවාම එහෙම දෙයක් වෙන්නේ නැතිය. ඒ හින්දා අතින් ඇල්ලීමට පෙර කැමතිද අකමැතිද යන්න දැන ගැනිල්ල හොඳය. යන්න හදන විට යන්න එපා කියලා අතින් අල්ලනවාය. කෙල්ලන් කොල්ලන්  අත්වලින් අල්ලාගෙන මුහුදු වෙරළේ අැවිදින්නට යන්නේ ආදරය හින්දාය. එහෙම යන ආදරවන්තයන් කසාද බැන්දුවාට පස්සේ කෙස්වලුවලින් අල්ලන්නේ අඩදබර ඇතිවුණාමය. ඊළඟට බෙල්ලෙන් අල්ලන්නටද සිදුවෙනවාය.

ක්‍රිකට් සෙල්ලමේදී බෝලය ඇල්ලිල්ලට කියන්නේ කැච් එක කියලාය. එහෙම 'කැච් එක' අල්ලුවාම පිතිකරුවා පිටියෙන් ඉවත් කරන්නට වෙනවාය. ක්‍රිකට් විතරක් නොව බෝල ඇල්ලීමේ සෙල්ලම් තව බොහෝමයක් තියෙනවාය.
කෙනෙක් ඇල්ලිල්ල කරන්නේ දඬුවමක් විදිහටය. ඉස්සර ගුරුතුමා දඟකාර සිසුවෙකුගේ කනෙන් ඇල්ලුවේ ඔහු හදා ගන්නටය. ඒත් දැන්නම් ගුරුවරු සිසුන්ගේ කනෙන් අල්ලන්නේ නැත්තේ තමන්ට උසාවියට යන්නට වෙයි කියන බයටය. එහෙමත් නැතිනම් ඇල්ලූ සිසුවාගෙන් තම කන පරිස්සම් කරගන්නට ඕනෑ හින්දාය.

නිල ඇල්ලිල්ල කරන්නේ ලෙඩ සුව කරන්නටය. සමහර වෙද රාළලා බෙහෙත්වලින් සුව කරන්නට බැරි රෝග නිල ඇල්ලීමෙන් සනීප කරනවාය. නිල ඇල්ලිල්ලෙන් රෝග සුව කරනවා වගේම තම ප්‍රතිවාදියා බිම දමන්නටද පුළුවන්ය. හරි නිලයක්ම අල්ලලා සදාකාලික අබ්බගාතයෙක් කරන්නට පුළුවන් අයද සිටිනවාය. මහා හස්ති රාජයෙක් වුවද පුංචි නිලයක් අල්ලලා බිම දමන්නට පුළුවන්ය.
අල්ලස් කොමිසම තියෙන්නේ අල්ලස් ගන්නා අය ඇල්ලිල්ලටය. කොමිසම අල්ලස් ගන්න අය අල්ලන්නට මහජන සහායද ඉල්ලනවාය. අල්ලස් කොමිසම බොහෝවිට දක්ෂ හාල්මැස්සන් අල්ලන්න මිසක ලොකු තෝරු මෝරු අල්ලන්නට නොවේ යැයි කියනවාය. අල්ලන්නට එළන දැල අස්සෙන් රිංගා යෑමට හයිකාරයන්ට හා ලොකු ලොකු මහත්වරුන් අල්ලන්න අමාරු ඒ අය අල්ලස් නොගෙන කොමිස් ගන්නා හින්දාය.
මාළු ඇල්ලිල්ලට කියන්නේ ධීවර කර්මාන්තය කියලාය. මාළු ඇල්ලිල්ලට බිලී පිත්ත පාවිච්චි කළේ ඉස්සරය. අද මාළු අල්ලන්නේ විශාල දැල් දමලාය. එහෙම නැතුව තහනම් ආම්පන්න පාවිච්චි කරලාද වෙඩි දමලාද විශාල වශයෙන් මාළු ඇල්ලිල්ල නිසා අපේ මාළු හිඟවෙලා තියෙනවාය. අපේ මසුන් ඇල්ලිල්ලට එන ඉන්දියාවේ ධීවරයන් අල්ලලා හිරේ දමන්න වෙනවාය. ඒත් එහෙම අල්ලපු අය ඒ රටවල බලපෑම් නිසා ආපසු යවන්නට සිද්ධවෙලා තියෙනවාය. මසුන් ඇල්ලිල්ලට සුදුසු මුහුදු රට වටේම තිබුණත් අද අපට වෙන රටවල ඇල්ලූ මාළු ගේන්න සිද්ධ වෙලාය.

සමහර දරුවන් පොතක් අතින් අල්ලන්නටත් කැමති නැත්තේය. මුළු දවසම රූපවාහිනී හරි ජංගම දුරකථනවලට හරි යටවී සිටින දරුවන්ට පොත් අල්ලන්න මතක් වනුයේ විභාගය ළංවූ විටය. බොහෝ දෙනා මුළු දවසම ටියුෂන්වලට යටවෙලා ඉන්න නිසා පොතක් අල්ලන්න වෙලාවක් නැත්තේය.

යන්ඩ දීලා බොරුවට අල්ලන අයද ඉන්නවාය. ආඳා වලිගෙන් අල්ලන්න හදනවා කියන්නේ එහෙම ඇල්ලිලිවලටය. සමහරුන් නුරුස්සන විට කියන්නේ මට නම් ඌව අල්ලන්නේ නැහැ කියලාය. අලි අල්ලන්න බොහොම අමාරු වුණත් ඡන්දෙ ළං වෙනවිට අලි ගෙවල්වලට එන නිසා අල්ලන්න අමාරු නැත්තේය.

වටිනා ඛනිජ නිධියක් කැණීම නිසා අලිකොටආර ජලාශය අනතුරේ

වැල්ලවාය, කොටිකම්බොක්ක, කොස්ගහවෙල රජයේ රක්ෂිතයේ පැතිර ඇති ඉහළ වාණිජමය අගයක් සහිත ධමනි තිරුවනා (ක්වාට්ස්) නිධිය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වීම පිළිබඳව පරිසර සංවිධානවල අවධානය යොමුව තිබේ.


PI3_2763

මෙතෙක් නිවැරදි ගවේෂණයකට ලක් නොවූ මෙම ඛනිජ නිධිය, මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් (initial environmental examination report) පමණක් කැඳවා අදාළ සමාගමට පැවරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙන අතර, මෙරට පරිසර සංවිධාන හා පරිසරවේදීහු එම තීරණයට විරෝධය පළකරමින් පවසන්නේ විධිමත් පාරිසරික ඇගයීමකට ලක් නොකොට මෙම ඛනිජ නිධිය කැණීමට අවසර ලබාදීම ප්‍රශ්න රැසකට තුඩු දෙන්නක් බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පාරිසරික විද්‍යාඥ හේමන්ත විතානගේ මහතා පවසන්නේ මුහුදු මට්ටමින් මීටර 305ක් හා දළ බෑවුම සියයට හැටක් වූ භූමියක් වන මෙහි, කැණීම් කටයුතු සිදුකිරීමේදී හා ඒ සඳහා පිපිරවීම් සිදුකිරීමේදී සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් පූර්ව අධ්‍යයනයක නියැළීම ඉතා වැදගත් බවයි. එමෙන්ම උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ ඉදිකර තිබෙන අලිකොටආර ජලාශයට ආසන්නව මෙම ඛනිජ නිධිය පිහිටා ඇති නිසා මෙහි කැණීමක් හෝ යම් සංවර්ධන කටයුත්තක් කරන්නේ නම් ඊට අනිවාර්යයෙන්ම පාරිසරික බලපෑම් තක්සේරුවක් (Environment Impact Assessment)  කර ඉන් මෙම පරිසරයට හා ජලාශයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව අධ්‍යයනය කළයුතුව ඇතැයි පවසයි.
“මෙය අන්තර් කලාපීය සවානා මිශ්‍ර වනාන්තරයක්. ඒ වගේම ජල සංවේදී කලාපයක්. උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකර තිබෙන අලිකොටආර ජලාශයේ වගේම කිරිදි ඔයේ අතු ගංගාවක් වන අලිකොටආරේ පෝෂක වනාන්තරය වන්නේත් මෙයයි. මෙහි ඉහළ වටිනාකමක් සහිත දැවමය ශාක විශාල ප්‍රමාණයක් තියෙනවා. විශාල වනසතුන් ප්‍රමාණයකට වාසස්ථාන සපයනවා. වනඅලි සංක්‍රමණික මාර්ගයක් මෙම වනාන්තර පද්ධතිය හරහා වැටී තිබෙන බව අපේ නිරීක්ෂණවලින් තහවුරු වී තියෙනවා. අනික මෙම කැණීම් කිරීමට සිදුකරන පිපිරවීම් මගින් ජලාශයේ වේල්ලට, සොරොව්වට විශාල බලපෑම් එල්ලවිය හැකියි* පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ මහතා තවදුරටත් අවධාරණය කරයි.

SAN_2881

එම අවදානම පහළ ඌව නිම්න සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකර තිබෙන උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ අලිකොටආර ජලාශයේ නේවාසික ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතාද පෙන්වා දී තිබේ.
ඒ මහතා 2016.07.20 දින භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ මොනරාගල කැණීම් ඉංජිනේරුවරයාට, මොනරාගල දිසා වන නිලධාරීවරයාට හා මධ්‍යම පරිසර අධිකාරියට පිටපත් සහිතව උමාඔය පහළ නිම්න  සංවර්ධිත ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාට යවා ඇති ලිපියෙහි දැක්වෙන්නේ මෙහි ඛනිජ කැණීම්වලට සිදුකරන පිපිරවීම් හේතුවෙන් ජලාශයේ බැම්මට, සොරොව්වට හා පිටවානට හානි සිදුවිය හැකි බැවින් මෙහි කැණීම් කිරීමට කිසිදු ආයතනයකට ඉඩ ලබා නොදෙන ලෙසයි.

මෙම වාරි ඉංජිනේරුවරයා එම  ඉල්ලීම කර ඇත්තේ අලිකොටආර ජලාශයේ බැම්ම ඒ වන විට මීටර් 10ක් හා පිටවාන සහ සොරොව්ව මීටර් 15ක් උසට නිමකර Core grout කර තිබූ අවධියකය. නමුත් මේ වන විට ජලාශයේ ඉදිකිරීම් මුළුමනින්ම අවසන් කර තිබේ. ඔහු පවසන්නේ මෙම භූමියේ පවතින භූ විෂමතා ලක්ෂණ අනුව මෙහි ඛනිජ කැණීමට පිපිරවීම් කළහොත් එය මෙම ජලාශයේ ජලය රඳවාගැනීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න ඇතිවිය හැකි බවයි.

PI3_2784

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වැල්ලවාය අඩවිය හා ඇතිලිවැව බීට්ටුව තුළ ඇති කොටිකම්බොක්ක කොස්ගහවෙල රක්ෂිතය හෙක්ටයාර 270ක පමණ විශාලත්වයකින් යුක්තය. මෙහි හෙක්ටයාර 06ක පමණ භූමියක් වසාගෙන මෙම ඛනිජ නිධිය පිහිටා තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉංජිනේරුවන් පෙන්වාදෙන්නේ මෙම ඛනිජ නිධිය මෙරට ඇති ඉතා ඉහළ වාණිජමය වටිනාකමකමකින් යුතු අගනා ඛනිජ නිධියක් බවයි.  මෙම ඛනිජ නිධියේ ධමනි තිරුවානාට අමතරව ෆෙල්ස්පර් හා සඳකැන් වැනි පාෂාණද තිබෙන බව මොනරාගල දිසා වන නිලධාරී ඩී.පී ප්‍රසාද්  මහතා 2015.06.06 දින ඌව මධ්‍යම පළාත් නියෝජ්‍ය වන සංරක්ෂණවරයාට යොමු කර තිබෙන මෙහි ඇති පාරිසරික වටිනාකම සමිබන්ධයෙන් සකස් කළ වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මෙහි ඉහළ ජෛව විවිධත්වයක් ඇති නිසා කොස්ගහවෙල කොටිකම්බොක්ක රජයේ රක්ෂිත වනය යෝජිත රක්ෂිතයක් ලෙස නම් කිරීමට අවධානය යොමුකරන ලෙස නියෝජ්‍ය වන සංරක්ෂකවරයාට යවන ලද ලිපියේ තවදුරටත් සඳහන් වී තිබේ. එමෙන්ම ඒ මහතා 2015/03/06 දින ඌව මධ්‍යම පළාත් නියෝජ්‍ය වන සංරක්ෂණවරයාට තවත් ලිපියකින් දන්වා ඇත්තේ 1998 වසරේ සිට විවිධ පාර්ශ්වයන් මෙහි ඛනිජ කැණීම් සිදුකිරීම නිසා විශාල පාරිසරික හානියක් සිදුව ඇති බවයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව කොස්ගහවෙල රක්ෂිතයේ ඇති මෙම ධමනි තිරුවානා නිධියේ කැණීම් කටයුතු ආරම් භකර ඇත්තේ 1998 වසරේදීය. නමුත් මෙහි ඛනිජ කැණීම් කටයුතුවල ඇති අවධිමත්භාවය හා පාරිසරික හානිය සැලකිල්ලට ගනිමින් 2016 වසරෙන් පසුව මෙහි කැණීම් කටයුතු මුළුමනින්ම නවතා දමා තිබේ. ඒ බව 2016.07.20 දින වන සංරක්ෂණ (ආරක්ෂණ හා නීති ක්‍රියාත්මක) වෙත මොනරාගල දිසා වන නිලධාරී ඩී.පී ප්‍රසාද් මහතාගේ අත්සනින් යුතුව යවා ඇති ලිපියෙන් පැහැදිලි වේ.

කොස්ගහවෙල අලිකොටආර රක්ෂිත වනයේ ඇති ධමනි තිරුවානා නිධියේ කැණීම් කටයුතු 2015 වසරේ නවතා දැමුවද, 2016 වසරේදී නැවත මෙය කැණීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශයට සම්බන්ධ G.S.M.B Technical Service (pvt)Ltd නම් පෞද්ගලික සමාගමට දීමට රජය තීරණය කර ඇත. ඒ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 17/0629/704/001 මගින් පරිසර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුවය.
ඒ අනුව 2016/05/23 දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල් එස්.ඒ අනුර සතුරුසිංහ මහතාට පිටපත් සහිතව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයාට, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ එවකට  හිටපු ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතාට ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2016.03.31 දින පරිසර අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී වැල්ලවාය කොටිකම්බොක්ක තිරුවානා නිධිය ඉවත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ තාක්ෂණික සේවා පෞද්ගලික සමාගමට (G.S.M.B Technical Service (pvt)Ltd) අවසර දී ඇති බැවින්, භූමියේ ඇති තිරුවානා ප්‍රමාණය ගණනය කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් අයවිය යුතු ගාස්තු අයකර අදාළ සමාගම වෙත කැණීම් කටයුතු කිරීමට කොන්දේසි 08කට යටත්ව අවසර දෙන ලෙසයි.

san002

 මෙහිදී හිටපු පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාට අවධාරණය කර තිබුණේ අදාළ භූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නිසා කැණීම් කටයුතු කිරීමට පෙර ඒ සඳහා වන සංරක්ෂක අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ විධිමත් අවසරයක් ලබාගත යුතු බවයි.

පරිසර අමාත්‍යාංශ හිටපු ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල්වරයාට පිටපත් සහිතව යවා තිබූ ලිපියේ මෙහි කැණීම් කටයුතු කළ යුත්තේ සියලු පාරිසරික නීතිරීතීන්ට අනුකූලව බව අවධාරණය කර තිබුණද 2016 වසරේ මැයි මස 10 දින භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයාට ලිපියක් යවා ඉල්ලා තිබුණේ ජනාධිපතිවරයා මෙම ඛනිජ නිධිය කැණීමට G.S.M.B Technical Service (pvt)  Ltd සමාගමට අවසර දී ඇති නිසා ඛනිජ කැණීම සඳහා කැණීම් බලපත්‍රයක් නිකුත් කරන ලෙසයි.
එම ඉල්ලීමට අනුව මෙම ඛනිජ නිධිය කැණීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තම ඉඩම් නිදහස් නොකර තිබියදී හා මේ පිළිබඳව මූලික පාරිසරික විශ්ලේෂණයක් හෝ නොකර තිබියදී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය එම සමාගමට කැණීම් බලපත්‍රයක් නිකුත් කර තිබුණි. ඒ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වන සංරක්ෂක මහින්ද සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.03.13 දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී මෙම ඛනිජ නිධිය එම සමාගමට පැවරීම සම්බන්ධයෙන් පැවති තාක්ෂණික කමිටු රැස්වීමේදී අනාවරණය වූහ.

වැල්ලවාය කොටිකම්බොක්ක ධමනි තිරුවානා නිධියේ කැණීම් කිරීමට G.S.M.B Technical Service (pvt)  ltd සමාගම ඉදිරිපත්කර තිබූ ව්‍යාපෘති යෝජනාව අනුව අලිකොටආර ජලාශයට උතුරු කෙළවරින් මීටර් 08ක පමණ පළලකින් හා මීටර් හාරසියයක පමණ දිගකින් යුතු මාර්ගයක් ඉදිකර මෙහි ඛනිජ ඉවත් කිරීමට යෝජනා කර තිබුණි. ඒ  අනුව වන සංරක්ෂක අධ්‍යක්ෂක ජනරාල්වරයා මගින් මොනරාගල දිසා වන නිලධාරීවරයාගේ උපදෙස් මත වැල්ලවාය අඩවිවන කාර්යාලයේ වන නිලධාරීන් මෙම මාර්ගය ඉදිකිරීම නිසා ඉවත්වන ගස්  සලකුණු කළ අතර, එහිදී ගස් 332ක් ඉවත් කිරීමට සිදුවන බව අනාවරණය විය.  ඒ අනුව මෙම ගස් කපා ඉවත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2016.11.10 දින පරිසර අමාත්‍ය ලේකම්වරයාගෙන් අවසර පතා ලිපියක් යවා තිබුණද ඊට පරිසර අමාත්‍යාංශයේ අනුමැතිය මෙතෙක් හිමි වී නොමැත.

SAN_2905

G.S.M.B තාක්ෂණික සේවා ආයතනයේ ව්‍යාපෘති යෝජනාව මගින් මෙම ඛනිජ නිධියේ කැණීමට අවසර පතා ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 02කි. 1980 අංක 47 දරන පරිසර පනතින් ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 722/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාරයකට වැඩි භූමියක යම් සංවර්ධන කටයුත්තකට යොදා ගන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම පරිසර බලපෑම් තක්සේරුවක් (E.I.A) සිදුකළ යුතු බව මෙරට ප්‍රකට පාරිසරික නීතිවේදියකු වන ජගත් ගුණවර්ධන මහතා අවධාරණය කරයි. මෙහිදී පරිසර හානියේ ස්වභාවය සලකා එහි හානිය අවම නම් ඒ සඳහා මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් (I.E.E.R) කැඳවීමද ප්‍රමාණවත් බව ඒ මහතා පවසයි.
මේ අතර 2015.05.06 දින මොනරාගල දිසා වන නිලධාරී ඩී.පී ප්‍රසාද් මහතා නියෝජ්‍ය වන සංරක්ෂක (ඌව, මධ්‍යම) ලිපියක් යවමින් පෙන්වා දී ඇත්තේ මෙහි ඛනිජ කැණීම් සිදුකිරීමේදී අදාළ නීත්‍යනුකූල පියවරයන් අනුගමනය නොකර කිසියම් සමාගමකට පැවරීමට කටයුතු කළහොත් සොබා පදනම නම් මොනරාගල ප්‍රදේශයේ ක්‍රියාකාරී පරිසර සංවිධානය ඊට එරෙහිව නීති මගින් කටයුතු කරන බවට  ලිඛිතව දැනුම් දී ඇති බවයි. 

“මෙහි ඛනිජ කැණීමට කරන පිපිරවීම් නිසා ජලාශයේ බැම්මට, සොරොව්වට හානි  විය හැකියි. වාරි ඉංජිනේරුවන් මෙහි කැණීම්  කටයුතු රසායනිකයක් යොදා කරන්න යෝජනා කර තිබුණත් ඊට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉංජිනේරුවන්ගේ කැමැත්තක් නැහැ. මෙවැනි තත්ත්වයක් යටතේ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් කැඳවා පමණක් මෙහි ඛනිජ කැණීමට අවසර දෙන්න යනවා නම් අපි ඊට විරුද්ධයි.  මේ බව  වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, මොනරාගල දිසා වන නිලධාරීවරයාට ඇතුළු සියලු වගකිව යුතු පාර්ශ්වයන්ට අපි දන්වලා තියෙනවා. කිසියම් විදියකට initial environmental examination වාර්තාවක් පමණක් කැඳවා මෙහි කැණීම් කටයුතු කිරීම ඉඩ දී යම් පාරිසරික හානියක් හෝ ජලාශයට බලපෑමක් වුණොත් මේ තාක්ෂණික කමිටුව එම හානියේ වගකීම ගත යුතුයි* මොනරාගල සොබා පදනමේ රාජා විදානපතිරණ මහතා පවසයි.

 වැල්ලවාය කොටිකම්බොක්ක ගම්මානයේ පවුල් 25කට පමණ තම ඉඩම් අත්හැර වෙනත් ප්‍රදේශවලට පදිංචියට යාමට සිදුවූයේ එම ඉඩම් අලිකොටආර ජලාශයට යට වූ බැවිනි. 
“තිරුවානා කඩන්න පිපිරවීම් කරනකොට ප්‍රමිතියක් දක්වලා තිබුණත් කවුරුත් ඒ ගැන සැලකිලිමත් නැහැ. ඒ අය හිතිච්ච හිතිච්ච විදිහට පිපිරවීම් කළා. ඒ කළ පිපිරවීම් හැටියට මේ කන්ද නාය නොගිහින් තිබුණා පුදුමයි. හැබැයි ඒ බලපෑම පස්සෙ එන්න පුළුවන්. අනික හැම ව්‍යාපාරිකයාම සොච්චම් රාජ්‍ය භාගයක් ගෙවලා මේ ඛනිජය අමුද්‍රව්‍ය ලෙස අරන් ගිහින් වික්කා මිසක මීට අගය එකතු කිරීමක් කරලා ගමට රැකියා අවස්ථාවක් දෙන්න උනන්දුවක් තිබුණේ නැහැ. මේ නිධිය මුල ඉඳලම කඩලා පිටරට පටවපු මේ පැත්තේ දේශපාලඥයෙක් කැණීම් කරන්න දුන්න භූමියෙන් පිටස්තරව හෙක්ටයාරයක විතර තිරුවානා කඩලා පටවලා රජයට රුපියල් කෝටි ගණනක අලාභයක් කරලා තිබුණා. දැන් ඒකට නඩුවක් යනවා. ඒත් නඩුත් බඩුත් දෙගොල්ලොම ඒ අයගේ* 
නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි කොටිකම්බොක්ක ගම්මානයේ වැසියකු අප සමග පැවසීය.

කෙසේ නමුත් මෙම ඛනිජ කැණීමට අදාළව තාක්ෂණික කමිටුව ඉල්ලා තිබූ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාව    (I.E.E.R) G.S.M.B Technical Service (pvt) Ltd සමාගම විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමුකර තිබුණි. ඒ අනුව වන සංරක්ෂක මහින්ද සෙනවිරත්න මහතාගේ අත්සනින් යුතුව 2017.11.29 දින ප.ව. 2.30 ට කොළඹ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී තාක්ෂණ කමිටු නිලධාරීන් රැස් වූ අතර,  එහිදී සමාගම ඉදිරිපත් කර තිබූ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාව තාක්ෂණික කමිටු නිලධාරිගේ අවධානයට යොමුකර තිබේ. නමුත්  එම වාර්තාවෙහි බොහෝ සදොස් තැන් තිබූ බවත්, එය කිසිදු සැලකිල්ලකින් තොරව සකස් කළ වාර්තාවක් බවට ඔප්පු වූ බවත් නම හෙළි කිරීමට මැලි වූ තාක්ෂණ කමිටු නියෝජිතයෙකු අප සමග පැවසීය. කෙසේ නමුත් සමාගම මෙම නොසැලකිලිමත්ව සාදා තිබූ මූලික පරිසර විශ්ලේෂණ වාර්තාව තාක්ෂණ කමිටු නියෝජිතයන් ප්‍රතික්ෂේප කිරීම නිසා නැවත එම වාර්තාව සකසා ඉදිරිපත් කරන ලෙස අදාළ සමාගමට තාක්ෂණික කමිටුව දැනුම් දී  තිබේ.
අප මෙම මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාව සම්බන්ධයෙන් G.S.M.B Technical Service (pvt)Ltd සමාගමට සම්බන්ධ අනුබද්ධ ආයතනය වන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොෂාන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ ඒ මහතා මෙහි කැණීම් කටයුතු සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් (E.I.A) අවශ්‍ය නොවන බව තාක්ෂණ කමිටුව දන්වා තිබූ බව පැවසීය. ඒ අනුව (I.E.E.) වාර්තාව සකසා පසුගියදා පැවති තාක්ෂණ කමිටුවට ඉදිරිපත් කළද ඒ සඳහා මෙතෙක් තාක්ෂණ කමිටුවේ පැහැදිලි කිරීමක් නොලැබුණ බවද පැවසීය.

මෙහිදී G.S.M.B Technical Service (pvt)  Ltd සමාගම වැල්ලවාය කොටිකම්බොක්ක රජයේ රක්ෂිතයේ  ඛනිජ කැණීම සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාපෘති යෝජනාව සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් තක්සේරුවක් තබා ඒ පිළිබඳව මූලික පාරිසරික විශ්ලේෂණයක් හෝ අඩුම තරමේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එම ඉඩම් පවා නිදහස් නොකර තිබියදී හෙක්ටයාර 02ක භූමියක් සඳහා එම සමාගමට ඛනිජ කැණීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට බලපත්‍ර  නිකුත් කළේ ‍කෙසේදැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අපි නැවත විමසීමක් කළෙමු. එහිදී ඉතා කෝපයෙන්  පිළිතුරු සැපයූ ඒ මහතා  එම සමාගම කැණීම සඳහා ඉල්ලා තිබූ ඉඩම් ප්‍රමාණය මතක නැති බවත්, තමන්ට ඔය දේවල් මතක තබා ගන්නවාට වඩා කළයුතු බොහෝ දේ ඇති බවත් පවසා දුරකථනය විසන්ධි කළේය.

අනතුරුව අප මේ සම්බන්ධව නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ රත්නවීර ගොඩනැගිල්ලෙහි පිහිටුවා ඇති භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට අනුබද්ධ G.S.M.BTechnical Service (pvt)  Ltd සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සරත් සිල්වා මහතාගෙන් මෙම ඛනිජ කැණීමට මූලික පාරිසරික විශ්ලේෂණයක් පමණක් කිරීම ප්‍රමාණවත්ද යන්න විමසීමේදී ඒ මහතා පැවසුවේ තමන්ට ඒ සම්බන්ධව කිසිවක් කිව නොහැකි බවයි.
මේ සම්බන්ධයෙන් විමසීමට මෙම ඛනිජ කැණීමට අවසර දීමට ඇති හැකියාව සොයා බැලීමට පරිසර අමාත්‍යාංශය මගින්  පත්කර තිබෙන තාක්ෂණික කමිටුවේ ප්‍රධානියා වන, වන සංරක්ෂණ අධ්‍යක්ෂකවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළද ඒ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගත් සෑම අවස්ථාවකම විවිධ වැඩකටයුතු ඇතැයි පවසා මේ සඳහා පිළිතුරු දීම මගහැරියේය.

 

කපටි රංගනයේ දෙවැනි අදියර ජනපති මෛත්‍රී ක්‍රියාවට නංවලා

 

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වළක්වා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා සිදුකළ කපටි රංගනයේ දෙවැනි අදියර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙවර පළාත් පාලන මැතිවරණයේදීද ක්‍රියාවට නංවා ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

කැබිනට් මණ්ඩලයෙන් නැගිට යාම, මැතිවරණ වේදිකාවල දී එ.ජා.පය විවේචනය කිරීම යනාදිය එම රංගනයේ උච්චතම අවස්ථා බව පෙන්වා දුන් රණතුංග මහතා ජනාධිපතිවරයාට අවශ්‍යවී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමටත් වඩා එක්සත් ජාතික පක්ෂය දිනවා හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය කඩාකප්පල් කිරීම බවත් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, මිනුවන්ගොඩ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඊයේ (18දා) පැවැති ජනහමුවකදීය.

එහිදී වැඩිදුරටත්අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මේ මැතිවරණයේදීත් ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ මහ මැතිවරණයේදී කරපු කුමන්ත්‍රණයේ දෙවෙනි කොටස කරන්නයි. ජනාධිපතිවරයාඉන්නේ රටට මොනා වුණත් කමක් නැහැ එ.ජා.පය ආරක්ෂා කරන්න ඕනේ කියන මතයෙයි.

ඒ හින්දානේ කියන්නේ බැඳුම්කර කොමිසම ගෙනාවේ එක්සත් ජාතික පක්ෂයට ගහන්න නෙමෙයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ඉන්නේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්නද? ඕකද ඔය මහ ලොකුවට ස්ටේජ්වල ගිරිය කඩන් කෑගහන බණ්ඩාරනායක ප්‍රතිපත්තිය. ඕක බණ්ඩාරනායක ප්‍රතිපත්තිය නෙමෙයි චන්ද්‍රිකාගේ ප්‍රතිපත්තිය.

අද වෙනකොට පැහැදිලිව ‍පේන්න තියෙන දේ තමයි පොහොට්ටුවට මේ මැතිවරණයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන බව. අපේ ජයග්‍රහණය දැන් තහවුරු වෙලා ඉවරයි. අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට වගේම ජනාධිපතිවරයා ප්‍රමුඛ නිදහස් පක්ෂයටත් අපේ මේ ජයග්‍රහණය ඉවසා ගන්න බැරිව ගිහින් තියෙනවා.

මේ දෙගොල්ලොම හොඳටම දන්නවා මේ ඡන්දෙන් පස්සේ ආණ්ඩුවට ඇඩ්‍රස් නැතිව යන බව. දැන් බලන්නේ හොඳින් හෝ නරකින් අපේ ජයග්‍රහණය වළක්වන්නයි. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් නැගිට යාමත් ඒ කූට වැඩපිළිවෙළේ එක් අදියරක් විතරයි. ජනාධිපතිවරයා රඟපාන මේ නාට්‍ය අගමැතිවරයා විසින් පිටපත ලියලා අධ්‍යක්ෂණය කරපු එකක්.

ජනාධිපතිවරයාට ඕනේ වෙලා තියෙන්නේ තමා එක්සත් ජාතික පක්ෂය සමග ඇයි හොඳයියක් නැහැ කියලා පෙන්නලා ඡන්ද ගොඩ වැඩි කරගන්න විතරයි. ඒ හින්දා තමයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී බොරු සිංහ වෙස් අරගෙන කෑගහන්නේ. ඕවට ජනතාවට රැවටුණු කාලේ ගියා.

ජනාධිපතිවරයා ඇවිත් කියනවා කැබිනට් එකේදී එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ට බැන්නා කියලා. හැබැයි ජනාධිපතිගේ අගසව් වෙච්ච රාජිත කියනවා. ජනාධිපති නැගිටලා ගියේ මුත්‍රා කරන්න කියලා. රාජිත හිතන් ඉන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන් මෝඩයෝ කියලා වෙන්නැති.

අනෙක් පැත්තෙන් අගමැතිවරයා තව නාඩගමක් නටනවා. තමන්ගේ පක්ෂයේ ඉන්න බිලි බෝයිලා ටික දාලා ජනාධිපතිවරයාට අපහාස කරවනවා. අපහාස කරවන්න කලින් ජනාධිපතිවරයාට කියනවා ගණන් ගන්න එපා අපි ටිකක් බනිනවා කියලා. මිනිස්සු බොරුවට අප්පුඩි ගහනවා අපේ මන්ත්‍රීවරුන් දැන් ජනාධිපතිටත් බනිනවා කියලා.

මේ වගේ බොළඳ රඟපෑම්වලින් ජනතාව රවට්ටන්න ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් පුළුවන්කමක් නැහැ. මේ රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක් බව පෙබරවාරි 10 වැනිදා තියෙන මැතිවරණ ප්‍රතිඵලයෙන් ලෝකෙටම ඔප්පු වෙනවා. එදාට මේ ආණ්ඩුවට අකුලගෙන යන්න වෙනවා.

මිනිස්සු මෝඩයාට අන්දන්න හදන රාජිතලා ඇතුළු සියලු දේශපාලනඥයන්ට සිද්ධ වෙන්නේ උසාවි ගානේ රස්තියාදු වෙන්න තමයි. මොන සෙල්ලම් නැටුවත් ලබන අවුරුද්දෙන් මේ ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉවරයි. මේ මැතිවරණයෙන් පටන් ගන්න විජයග්‍රාහී රැල්ල අපි 2019 ජනාධිපතිවරණයේ දී අවසන් කරන්නේ ජනතාවාදී ජනාධිපතිවරයකු පත්කරලයි.*යැයි පවසා සිටියේය.

download