Category Archives: woman

‍ඔබගේ පියයුරු පිළිබඳව දැනුම්වත් වන්න

අද වනවිට ලංකාවේ වසරකට පිළිකා රෝගයට ගොදුරු වන සංඛ්‍යාව 17000ක් පමණ වන අතර, ඉන් 2500ක්ම පියයුරු පිළිකා රෝගීන් වේ. අද වනවිට ලංකාවේ කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකාව වනුයේ පියයුරු පිළිකාවයි. එමෙන්ම පසුගිය වසර 25ක කාලය තුළ අලුතෙන් හඳුනාගත් පියයුරු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩි වී තිබේ.

පියයුරු පිළිකාව මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් සම්පූර්ණයෙන්ම පියයුරම ඉවත් නොකර වඩාත් සරල ශල්‍යකර්ම ක්‍රම මගින් පිළිකාව පමණක් ඉවත් කර වඩාත් ගුණාත්මක ජීවිතයක් ගතකිරීමේ හැකියාව තිබේ. නමුත් අද බොහෝ දෙනෙක් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ රෝගය උත්සන්න වූ විටදීය. 

එමෙන්ම යම් සැක සහිත බවක් ඇති වුවහොත් පිළිකාවක්ද යන බිය නිසාම බොහෝ දෙනෙකු මේ පරීක්ෂාව කිරීමට මැළිකමක් දක්වයි. ඒ හේතුවෙන් පිළිකා රෝගී තත්වය උත්සන්නම අවස්ථාව දක්වා පැතිර ගිය අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා යොමු වේ. එවිට පිළිකාව අනෙකුත් ඉන්ද්‍රියන් කරාද පැතිරී ගොස් තිබීමට පුළුවන. 

Abstract-logo-illustration

'ඔබගේ පියයුරු පිළිබඳ දැනුම්වත් වන්න' යන මැයෙන් 'ලෝක පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය' වෙනුවෙන් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.
කාන්තාවන් තමන්ගේ පියයුරුවල යම් වෙනසක් නොපමාව හඳුනාගෙන වෛද්‍ය උපදෙස් කරා යොමු කිරීම මේ සංකල්පයේ අපේක්ෂාවයි. එමෙන්ම සෑම කාන්තාවක්ම තමන්ගේ පියයුරු වල සාමාන්‍ය තත්ත්වය කුමක්ද යන්න මනා අවබෝධයකින් සිටීමත්, සාමාන්‍ය තත්ත්වය වෙනස් වූ ඕනෑම අවස්ථාවක ඉක්මනින් හඳුනාගෙන වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීමට අවශ්‍ය දැනුම ලබාදීමත් මෙම සංකල්පයේ අරමුණ වේ. 

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී දැක්වූ අදහස් කාන්තා ඔබට වඩා වැදගත් වේ යැයි හැඟුණු බැවින් පියයුරු පිළිකාවක් හඳුනා ගන්නා ආකාරය පිළිබඳ ඔබව දැනුවත් කිරීමට 'අද' අපි තීරණය කළෙමු.

පියයුරු පිළිකාවක් සෑදීමේ අවදානම වැඩි කාටද?

 පියයුරු පිළිකා සඳහා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන්

ඩිම්බකෝෂ පිළිකා සඳහා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන්

පියයුරේ අනෙකුත් රෝග පිළිබඳ පෙර ඉතිහාසයක් ඇති කාන්තාවන්

ආර්ථව චක්‍රය වැඩි වාර ගණනකට භාජනය වූ කාන්තාවන්

අවුරුදු 11ට පෙර වැඩිවියට පත්වූ කාන්තාවන්

අවුරුදු 55ට පසුව වුවත් ආර්තථවය නතර නොවු කාන්තාවන්

දරුවන් නොමැති කාන්තාවන්

මවුකිරි ලබා නොදුන් කාන්තාවන්

පළමු දරු උපත අවුරුදු 35ට පසු සිදු වූ කාන්තාවන්

හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර දිගු කාලීනව ලබා ගන්නා කාන්තාවන්

මීට අමතරව තරබාරු සහ මත්ද්‍රව්‍ය ගන්නා, ශාරීරික ව්‍යායම් අඩු අයටද පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාවක් ඇත.
මෙවැනි තත්ත්වයන් ඇති කාන්තාවන් අනිවාර්යයෙන්ම තමන්ගේ පියයුරු සම්බන්ධව සැලකිළිමත් විය යුතුය.

ඔබගේ පියයුරු පිළිබඳව දැනුම්වත් වීමේදී ඔබේ පියයුරුවල සාමාන්‍ය ලක්ෂණ හඳුනාගත යුතුය.

breast-cancer-screening-risks-and-benefits-what-you-need-to-know-about-mammograms

පියයුරුවල සාමාන්‍ය ලක්ෂණ

බොහෝ කාන්තාවන්ගේ පියයුරු දෙකම එක සමාන නැත.

මාස් ශුද්ධිය සිදුවන කාන්තාවන්ගේ පියයුරු හෝමෝනවල බලපෑම නිසා විවිධ වෙනස්කම්වලට භාජනය වේ.

 මාස් ශුද්ධියට පෙර පියයුරුවල ඇතිවන ගැටිති ස්වභාවය, වේදනාව වැනි ලක්ෂණ සාමාන්‍ය වේ.

 මාස් ශුද්ධිය නැවතුණු කාන්තාවන්ගේ පියයුරු මෘදු, සැහැල්ලු තත්ත්වයට පත්වේ.

පියයුරුවල දැකිය හැකි අසාමාන්‍යතා

පියයුරුවල මෑතකදී ඇති වූ හැඩයේ වෙනස්වීමක් හෝ පැහැදිලි අසමමිතික බවක්

පියයුරුවල ගැටිත්තක් හෝ ඉදිමීමක්

පියයුරෙහි වළගැසීමක්

 සමේ වෙනස් වීමක් 
උදා- දොඩම් ලෙල්ලක මතුපිට වැනි ස්වභාවයක්, සම මතුපිට දදයක්/ තුවාලයක්

තනපුඩුවේ ගිලී යාමක් හෝ අසමමිතික බවක්

තනපුඩුවේ කිරි නොවන වෙනත් ශ්‍රාවයක් පිටවීමක්

මෙවැනි ලක්ෂණ ඔබටත් පැවතුණහොත් අනිවාර්යයෙන්ම පරීක්ෂාවක් සඳහා ඔබ යොමු විය යුතුය.

පියයුරු අසාමාන්‍යතාවන් හඳුනා ගැනීමට නම් සෑම කාන්තාවක්ම තමාගේ පියයුරුවල සාමාන්‍ය ස්වභාවය කුමක්දැයි හඳුනාගත යුතුය. මේ සඳහා ස්වයං පියයුරු පරීක්ෂාව වැදගත් වේ. 

ස්වයං පියයුරු පරීක්ෂාව කොටස් දෙකකින් යුක්තය

 පියයුරු නිරීක්ෂණය

පියයුරු අතින් අල්ලා පරීක්ෂා කිරීම

පියයුරු පරීක්ෂාව කළ යුත්තේ කවදාද?

අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක්ම මසකට වරක් මෙම පරීක්ෂාව කළ යුතුය.
මාස් ශුද්ධිය සිදුවන කාන්තාවන්, මාස් ශුද්ධිය අවසාන වී සතියකට පසුව පියයුරු පරීක්ෂාව කළ යුතුය.
 මාස් ශුද්ධිය නතර වූ කාන්තාවන් සෑම මසකම නිශ්චිත දිනයක් පියයුරු පරීක්ෂාව සඳහා යොදාගත යුතුය.

පියයුරු නිරීක්ෂණය කිරීම

මේ සඳහා ආවරණය වූ ස්ථානයක් (උදා- කාමරයක්) තොරා ගන්න.
ඔබගේ උඩුකය සම්පූර්ණයෙන්ම නිරාවරණය කර කැඩපතක් ඉදිරියේ සිට ගන්න
අසාමාන්‍යතා ඇතිදැයි පරීක්ෂා කර බලන්න.

පියයුරු අතින් අල්ලා පරීක්ෂා කිරීම

ඇඳක හෝ ඝන මතුපිටක වැතිර පියයුරු පරීක්ෂා කළ හැක. පරීක්ෂා කරන පියයුර ඇති පැත්තේ උරහිසට යටින් ඝන රෙද්දක් නවා තබා හෝ පැතලි කොට්ටයක් තබා , පරීක්ෂා කරන පැත්තේ අත ඉහළට ඔසවා අත්ල මත හිස තබා අනෙක් අතින් පරීක්ෂා කරන්න.

පියයුරු පරීක්ෂාව කරන්නේ සිටගෙන නම් පරීක්ෂා කරන පියයුරු ඇති පැත්තේ අත ඉහළට ඔසවා අනෙක් අතින් පියයුර පරීක්ෂා කරන්න.

අතේ ඇඟිලි එක්කොට ඇඟිලිවල ඇතුළු පැත්තෙන් පියයුරෙහි ගැටිති හෝ සමට යටින් ඝණ වීමක්, එහාට මෙහාට නොයන තද ගතියක් හෝ ඇතිදැයි පරීක්ෂා කරන්න.

වම් අතින් දකුණු පියයුර සහ දකුණු කිහිල්ලද, දකුණු අතින් වම් පියයුර සහ වම් කිහිල්ලද පරීක්ෂා කරන්න.

පියයුරෙහි සෑම කොටසක්ම ආවරණය වන පරිදි පිටත සිට ඔරලෝසුවේ කටු යන අතට අඛණ්ඩව හසුරවමින් පියයුරෙහි ගැටිත්තක්, වේදනාවක් හෝ ඝණවීමක් ඇතිදැයි පරීක්ෂා කරන්න.

පියයුරු පරීක්ෂා කිරීමේදී එකිනෙකට වෙනස් තෙරපීමක් යොදමින් පහත පරිදි පරීක්ෂා කළ යුතුය.

මහපට ඇඟිල්ල හා දබරඟිල්ලෙන් තනපුඩුව වටා ඇති තද පැහැති කොටස මිරිකා තනපුඩුවෙන් අසාමාන්‍ය ශ්‍රාවයක් පිටවන්නේ දැයි බලන්න.

පියයුරුවල අසාමාන්‍ය තත්ත්වයක් හඳුනාගත්තොත් ඔබ යා යුත්තේ,

ඔබේ ප්‍රදේශයේ සුවනාරී සායනය වෙත
ඔබේ රෝහලේ සුවදිවි මධ්‍යස්ථානය වෙත
ඔබේ පවුලේ වෛද්‍යවරයා වෙත
රජයේ හෝ පෞද්ගලික රෝහලක් වෙත
පිළිකා කලින් හඳුනා ගැනීමේ ජාතික සායනය වෙත

ඔබ මේ කරුණු සම්බන්ධව සැලකිළිමත් වී මේ ලක්ෂණ ඔබට ඇත්නම් ප්‍රතිකාර සඳහා යොමු වන්න. එවිට ඔබට මෙය පැතිරීමට පෙර සුව කරගත හැක.

දුශේනි සිල්වා මෙවර මිස් ශ්‍රී ලංකා රන් කිරුළ හිස දරයි

ලෝක රූ රැජින තරග බිම නියෝජනය කරන ශ්‍රී ලාංකේය රූමතිය තෝරා පත්කර ගැනීමේ 'සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා' තරගාවලියේ ජය දුශේනි සිල්වා විසින් හිමිකර ගන්නා ලදී.
ඒ අනුව ශ්‍රී ලාංකේය රූප රාජිනී තරග ඉතිහාසයේ මිල අධිකම කිරුළ දැරීමට ඇය පෙරේදා (18දා) රාත්‍රියේ සමත් වූවාය. 

මෙරටින් හමුවන මිල අධික ගල් වර්ග අල්ලා %රාජා ජුවෙලර්ස්^ ආයතනය මගින් නිර්මාණය කළ මෙම කිරුළ ලක්ෂ දෙසිය දහයකට වඩා වටිනා කමක් උසුලයි.
මෙවර 'සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා' තරගාවලියේ අවසන් මහා රාත්‍රිය වෙනුවෙන් තායිලන්ත, මියෙන්මාර්, ඉන්දියා, වියට්නාම හා පිලිපීන රූප රාජිනියන් එක්ව සිටීමද විශේෂත්වයකි.

ඡායාරූප කවිත් මිලින්ද

IMG_0061 IMG_0498 IMG_0545 IMG_0559 IMG_0605 IMG_0627 IMG_0703 VI3A9943

සුදුවෙන්න වඩා හොඳ ග්ලූටතියොන් එන්නත්ද, ස්ප්‍රේද , කැප්සියුල්ද

ආසියාතික අපගේ සමේ වර්ණය බටහිර රටවල අයගේ මෙන් පැහැපත් එකක් නොවන බව ඔබ දන්නවා ඇති. නමුත් මෑතක සිට ආකර්ෂණීය වෙළෙඳ උපක්‍රම හරහා ඔබටත් සුදු වීමට හැකි එන්නතක්, බෙහෙතක් ඇති බව කිවහොත් කාටත් හොරෙන් ඔබ ඒ ගැන උනන්දු විය හැකිය. එසේ නම් අනිවාර්යයෙන්ම ඔබ මේ ලිපිය කියවිය යුතුමය.


Best-Skin-Whitening-Creams-for-Dark-Skin

සුදු පැහැය ලෙස සමහරුන් අර්ථ දක්වන්නේ දුඹුරු පැහැයෙන් මිදුණු ඇත් දළ පැහැයට හුරු ඡවි වර්ණයකි. ඔබේ සමේ වර්ණය පිහිටන්නට උපකාරී වන්නේ මෙලනින් නම් වර්ණ කාරකයයි. එය ඔබේ සිරුරේ පිහිටා ඇති සහ ඔබේ සිරුරේ ක්‍රියාකාරී වන මට්ටම අනුව ඔබේ සමේ පැහැය තීරණය වේ. එය මුළුමනින්ම ඔබේ ශරීරයේ ස්වභාවික ක්‍රියාකාරීත්වය හා බැඳුණු සිද්ධියකි.

කෙනෙකුගේ සමේ පැහැය ස්ථීර වශයෙන්ම වෙනස් කළ හැකි සාර්ථක ක්‍රමයක් පවතින්නේ නම් කළු සුදු භේදය සම්බන්ධ ගැටලු අවම කරගැනීමට එය යොදා ගන්නවා නිසැක නොවේද? එවැන්නක් නොමැති වීම තුළම සමේ පැහැය කිසියම් උපක්‍රමයකින් ස්ථීරව වෙනස් කළ නොහැකි බව ඔබ වටහා ගන්නවා ඇති. %අද^ කාන්තා පිටුව තුළින් අප මේ කාරණය සාකච්ඡාවට බඳුන් කරනුයේ එබැවිණි.

ග්ලූටතියොන් සම්බන්ධයෙන්  මෙකල යොවුන් පිරිස තුළ ඇතිව තිබෙන උන්මාදය නැති නම් ඇබ්බැහිය කෙබඳු ආකාරයක එකක්ද යන්න අප විමසා බැලීමට පෙර ලෝකයේ ග්ලූටතියොන් ඇසුරින් සිදුකරන කාර්යය කුමක්ද යන්න මුලින්ම විමසා බලමු.
ග්ලූටතියොන් යනු පිළිකා රෝගීන් වෙනුවෙන් පමණක් ලබාදෙන ඖෂධයකි. එය ලබාදෙන්නේ පිළිකා නාශක ඖෂධවලින් ඇතිවන අතුරු ආබාධ අවම කරගැනීම සඳහාය. ඒ හේතුව හැරෙන්නට මෙම එන්නත වෙනත් කිසිම හේතුවක් සඳහා යොදා ගැනෙන ප්‍රතිකාරයක් නොවේ.

එහි එක් අතුරු ආබාධයක් වනුයේ සම තාවකාලිකව යම් පැහැපත් බවක් දිස්වීමයි. ඒ අනුව සුදුවෙන්නට යැයි කියා ග්ලූටතියොන් එන්නත යොදා ගන්නේ නම් එයින් අදහස් වනුයේ  රෝගියෙකු නොවන අයෙකු එහි පවතින අතුරු ආබාධය වැඩි මුදලක්දී ලබාගෙන ශරීරගත කරගන්නා බවයි.

සමේ වර්ණය ඇති කරන මෙලනින් සමේ ආරක්ෂාව කෙරෙහිද වගකීමක් දරන්නකි. ආසියාතිකයන්ගේ සමේ මෙලනින් වර්ණ කාරකය තරමක් බහුල බැවින් සමේ සුදු පැහැයක් ඇති නොවන අතර, එම හේතුවම සමේ ආරක්ෂණය කෙරෙහි බලපෑමෙන් චර්ම පිළිකා ආදියෙන් ස්වාභාවික ආරක්ෂාවක් සැලසේ. 

බටහිර රටවල හිරු එළියෙන් සම ආරක්ෂා කිරීම සඳහා මෙලනින් වර්ණකාරකය නොපිහිටීම නිසාම චර්ම පිළිකා බහුල බවක් දකින්නට ලැබේ. මෙලනින් වර්ණකය සමේ යම් තද පැහැති බවක් ඇති කළද හිරු එළියෙන් සම ආරක්ෂාකර චර්ම පිළිකා සෑදීමට ඇති ඉඩකඩ වළක්වන බැවින් එය ආසියාතික අපට යම් තරමක භාග්‍යයකි.

තත්ත්වය මෙසේ පවතිද්දී මෙකල ඇතැම් සුදුසුකම් සපුරන ලියාපදිංචිය  සහිත වෛද්‍යවරු විසින්ද සිය සේවාවන් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ ඉල්ලීම පරිදි ලක්ෂ එකහමාර සිට ලක්ෂ හතර දක්වා මුදල් අයකර මේ එන්නත ඒ ඒ  පුද්ගලයන්ට ලබාදෙන බව මේ සම්බන්ධයෙන් මෙකල ඇසෙන අලුත්ම ආරංචියයි.

මේ කාරණයට පසුබිම් වූ සියලු තොරතුරු අනාවරණයව ඇති බැවින් එවැනි වෛද්‍යවරු හා ඔවුන්ගේ වෛද්‍ය ආයතන වටලා එවැන්නන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටද නීතිමය වශයෙන් සම්පාදනය වී පවතී. එම වරදට හසුවන සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අවලංගු කරන්නට එය ප්‍රමාණවත් වරදකි.

pic-2

ඖෂධයකින් එන අතුරු ආබාධයක් රෝගීන් නොවන අයට සැබෑ තත්ත්වය දැන දැන ලබාදීම නීතිමය වශයෙන් දඬුවම් පැමිණිය හැකි වරදක් වීම එයට හේතුවයි. මෙය ලෝකයේ කිසිම රටක ඖෂධ පාලනාධිකාරියෙන්  සම පැහැපත් කිරීම සඳහා යොදාගත හැකි බවට කිසිම අනුමැතියක් ලත් ඖෂධයක් නොවේ.

ග්ලූටතියොන් එන්නත පමණක් නොව අප මේ කතා කරන්නේ ග්ලූටතියොන් ස්ප්‍රේ, කැප්සියුල්, එන්නත්, ආලේපන යන මේ සියල්ලම පිළිබඳවය. යම් අයෙක් මේවායින් කුමන දේ යොදාගත්තද මෙයින් ඇතිවෙන සුදු පැහැය තාවකාලික එකකි. මාස කිහිපයක් ඇතුළත නැවතත් පෙර තිබූ පැහැයම ඇති වන බැවින් එය දීර්ඝ කාලීනව භාවිත කරන්නට මේවා ලබාගන්නා පුද්ගලයාට සිදුවෙයි.

මේ ඖෂධයෙන් ඇතිවන අනෙකුත් අතුරුඵල මොනවාද යන්න තවමත් කිසිදු පරීක්ෂණයක් මගින් පරීක්ෂා කොට තහවුරු කර නොමැති වුවද, මෙය භාවිතයට ගැනීම තුළින් වකුගඩු අකර්මණ්‍ය වීම හා රුධිරගත විෂ වීම්  සහ සමේ ස්වාභාවික ආරක්ෂාව බිඳවැටීමෙන් සම කිසියම් ඛාදනයකට ලක් වන බවක් මේ වනවිටත් ප්‍රායෝගිකව ලොව පුරා අත්විඳ ඇති බව පැවසිය හැක.

විද්‍යාත්මකව මේ ඖෂධයේ අතුරුඵල සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් පරීක්ෂණ සිදු නොවී පවතින අතර, මෙය හිතුමතයේ භාවිතය, ඖෂධයක් යැයි සිතා සිටින මේ  සංයෝගය අනාගතයේදී කුමන අයුරින් මිනිස් සිරුර තුළ ක්‍රියාකාරී වී කුමන ප්‍රතිඵල ඇති කරයිද යන්න පැවසීමට නොහැකි වීමේද ගැටලුවක් පවතී.

මෙම ඖෂධය වෛද්‍ය විද්‍යානුකූලව වුවද රෝගියෙකුට ලබාදෙන්නේ කෙටි කාලීනවය. ඒ පිළිකා රෝගය සඳහා  කීමෝතෙරපි ලබාදෙන කාලය තුළදී එයින් ඇතිවෙන අනෙකුත් අතුරුඵල අවම කරගැනීමටය. වරලත් වෛද්‍යවරයෙකු කිසිම අවස්ථාවක මේ ඖෂධය සමේ පැහැය සම්බන්ධයෙන් අනුමත කරන්නේ නැත. මෙය ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු මෙන්ම චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුද සම පැහැපත් කිරීම සඳහා අනුමත නොකරන ඖෂධයකි. 

ග්ලූටතියොන් පිළිකා රෝගීන්ට ලබාදෙන කීමෝතෙරපි අතුරු ආබාධ ඉදිරියේ ඉතා සුළු ප්‍රමාණයකින් ලබාදීම ග්ලූටතියොන් ඖෂධයක් ලෙස හැඳින්වීමට ඇති එකම කාරණයයි. නමුත් සැබැවින්ම සමේ පැහැය සම්බන්ධ ගැටලුවලදී මෙය කිසිම ආකාරයක අනුමැතියක් නොලත් සංයෝගයක් වන බැවින් සමේ පැහැය උදෙසා ඔබ මෙම සංයෝගය ඔබේ සිරුරට ඇතුළු කරගන්නට වෙහෙස ගන්නේ නම් එහිදී ඔබ දැන දැනම යම් ආකාරයක අවදානමක් බාරගන්නවා විය හැක.

එයට හේතුව වන්නේ අප මුලින් කීවාක් මෙන් කිසිම රටක ග්ලූටතියොන් සම්බන්ධයෙන් සාමාන්‍ය මිනිස් සිරුර කුමන ප්‍රතිචාරයක් දක්වන්නේද යන්න කිසිදු පරීක්ෂණයක් සිදුකොට නැති අතරම, මේ වන විටත් භාවිත කළ අයට වකුගඩු අකර්මණ්‍ය වීමට තුඩු දීම මෙන්ම, රුධිර පීඩනය සහ රුධිරයට විෂ වීම් ඇති කිරීම වාර්තාගතව ඇති බැවිනි.

සමේ පැහැය යම් යම් අයට ඔවුන්ගේ අනන්‍යතාව මෙන්ම සුන්දරත්වයද ඉස්මතුවෙන ආකාරයෙන් ඇඳුම් පැලඳුම් ආදිය තුළින් වෙනස් කරගත හැකිය. මෙය ඔබට බටහිර රටවල සහ අප්‍රිකානු රටවල  මෝස්තර නිරූපිකාවන් ආදිය සන්සන්දනය කිරිමේදී ඔවුන් ගේ සමේ කළු පැහැය ඔවුන්ගේ සුන්දරත්වයට කිසිදු බාධාවක් ඇතිකර නොමැති වීම තුළින්ම වැටහෙනවා ඇත.

රූපලාවණ්‍ය හෝ ලස්සන යනු පැහැපත් බව නොවේ. සැබැවින්ම කාන්තාවකගේ ලස්සන ඇත්තේ ඇගේ නිරෝගීකම තුළය. කෘත්‍රිම ආහාර රටාවෙන් බැහැරව නිසි පෝෂණයක් ලබමින් කෘත්‍රිම ආලේපනවලින් තොරව සමේ අලංකරණය පවත්වා ගන්නට ඔබ උත්සාහ දරන්නේ නම් පැහැය සුදුවෙන්නට අවශ්‍යතාවක් නැති බව ඔබටම වැටහේ.

මතක තබාගන්න කළු පැහැති සමක් සුදු පැහැ ගන්වන්නට මෙතරම් දියුණු බටහිර විද්‍යාව මගින් තවමත් ඖෂධ නිපදවා නැත. එසේ නොකරන්නට හේතුව විද්‍යාත්මකව සමේ පැහැය වෙනස් කළ නොහැකි බව හොඳින්ම දැන සිටීම නිසාවෙනි. 
එමෙන්ම සුදු පැහැති සම පැහැයෙන් අඩු සමට වඩා පිළිකා අවදානමක් දක්වයි. මෙහි වඩාත්ම කනගාටුදායක තත්ත්වය වනුයේ ආදායම් තත්වය එතරම් යහපත් නැති නමුත් ආකර්ෂණීය ලෙස යොදාගන්නා වෙළෙඳ උපක්‍රම විශ්වාස කර ඒවාට ගැතිවී ඒවා හඹා යෑමේ හේතුවෙන් තිබුණාටත් වඩා සෞඛ්‍යමය ගැටලු ඇතිකර ගැනීමෙන් අපේම සහෝදර සහෝදරියන් ආර්ථික වශයෙන්ද කඩාවැටීමක් ඇතිකර ගැනීමය

ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ කවින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සැකසිණි.

Melbourne Fashion Week 2017

ග්‍රීශ්ම සෘතුව වෙනුවෙන් හඳුන්වාදෙන විලාසිතා රැගත් ඔස්ට්‍රේලියාවේ මෙල්බෝන් විලාසිතා සතිය පසුගිය සතියේ නිමාව දුටුවේය. 
එරට මෝස්තර නිර්මාණකරුවන් විසින් එහිදී නව විලාසිතා හඳුන්වා දෙනු ලැබිණි.

43ED823D00000578-0-image-a-6_1504652767088 43EE6A9900000578-4856190-image-a-45_1504654916008 43EE6B1A00000578-4856190-image-a-47_1504654929743 43EE97A600000578-4856190-image-a-69_1504655680508 43EE99B700000578-4856190-image-a-86_1504655789529 43EE753700000578-4856190-image-a-49_1504655374707 43EFD24400000578-4856190-image-a-88_1504655793668 43EFDB8600000578-4856190-image-m-33_1504654856517 43EFDD5500000578-4856190-image-a-41_1504654890310 43EFE3AB00000578-4856190-image-a-44_1504654895406

 

කාන්තා හිමිකම් තහවුරු කිරීම එකම අරමුණ කරගත් 2018 අැමෙරිකානු රූ රැජින

775039391co00058-2018-miss

මේ දිනවල ඇමෙරිකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මැද වුවද පැවැත්වූ 97 වැනි ඇමෙරිකානු රූ රැජින තරගාවලියේ ජය සනිටුහන් කිරීමට විසිතුන් හැවිරිදි කාරා මුන්ඩ් සමත්වූවාය. උතුරු ඩකෝටා ප්‍රාන්තය නියෝජනය කරමින් තරග වැදි ඇය ඇමෙරිකානු රූපරාජිනී ඉතිහාසයේ පළමුවරට එම කිරුළ උතුරු ඩකෝටා ප්‍රාන්තය වෙත දිනා දීමද විශේෂත්වයකි. 2017 ඇමෙරිකානු රූ රැජිනිය වූ සර්වි ශීල්ඩ් විසින් 2018 නව රූ රැජින අභිසෙස් ගැන්වීම සිදුවූයේ නිව් ජර්සි නුවරදී 10 වැනිදා රාත්‍රියේ පැවැත්වූ උත්කර්ෂවත් රාත්‍රියේදීය.
කාරා ඇමෙරිකාවේ බ්‍රවුන්ස් සරසවියේ උපාධිධාරිනියක වන අතර, ඇය මේ වනවිට %නෝත් ඩෑම්^ සරසවියේ නීති විද්‍යාලයට තේරී පත්ව සිටින්නීය.

කුඩා වියේ සිටම විවිධ රූපරාජිනී තරගාවලි සඳහා ඉදිරිපත්ව ජය ගෙන ඇති ඇය ඇමෙරිකානු රූ රැජින ලෙස කිරුළු දැරීමත් සමග ඇමෙරිකානු ඩොලර් පනස් දහසක ශිෂ්‍යත්වයක් සඳහාද ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් ඉක්මවූ මාසික වේතනයකටද හිමිකම් කියන්නීය.
මේ දක්වා තමන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණ හමුවේ තෙවරක්ම පිළිකා රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරන බවට තහවුරු වූ බවද ඇය මෙම තරගාවලියට ඉදිරිපත් වෙද්දී හෙළිකර තිබුණි.

ඉදිරියේදී කාන්තා හිමිකම් තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව පෙනී සිටීම තම එකම අරමුණ බවද ඇය සඳහන් කර තිබිණ.

59b5fe5a55ad6.image 775039391co00085-2018-miss AArFRno AArFY4 rs_819x1024-170906134443-Miss-North-Dakota-Cara-Mund

අහඹු ඡායාරූපයක් නිසා සුපිරි නිරූපිකාවක වූ පාන් වෙළෙන්ඳිය

vllkyt4263uhbte74.a07c88b6

අහඹු සිදුවීම්වලට මුහුණදෙන දුප්පත් අහිංසක යුවතියන්ගේ  ඉරණම  සැණින් වෙනස් වන ආකාරයේ සුරංගනා කතාන්දර අපි කුඩා කල අසා ඇත්තෙමු. නමුත් එවැනි චරිත අප ජීවත්වන සමාජයෙන් හමුවන්නේ ඉතා ස්වල්ප වශයෙනි. 

අන්තර් ජාතික නමගිය ඡායාරූප ශිල්පියෙකු වන බෙලෝ විසින් තම කැමරාවේ සටහන් කරගනු ලැබූ රැප් ගායක ටිනී ටෙම්ප් ගේ ඡායාරූපයක් හේතුවෙන් දුප්පත් පාන් වෙළෙන්ඳියකගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වූ සුරංගනා කතාවක් වැනි කතාවක් පසුගිය දිනක විදෙස් මාධ්‍ය රැසකින් වාර්තා කර තිබුණි.

olajumoke1

මෙලෙස අහම්බෙන් වාසනාව පෑදී ඇත්තේ නයිජීරියානු ජාතික 27 හැවිරිදි ඔලාජුමොකේ ඔරිසගුනා (Olajumoke Orisaguna) නමැති සුපිරි නිරූපිකාවටයි.

ටිනී ටෙම්ප්ව ඡායාරූපයට හසුකරගන්නා අවස්ථාවේ ලාගෝස් නුවර වීදි ඔස්සේ පාන් වට්ටියක් හිසමත තබාගෙන වෙළෙඳාමේ යමින් සිටි තරුණියක අහඹු ලෙස ඡායාරූපයට හසුවී ඇති ආකාරය බෙලෝ දැක ඇති අතර, එම ඡායාරූපයේ තිබුණු අපූර්වත්වය නිසාම ඔහු එය තම සමාජ ජාල ගිණුමක පළකර තිබේ.

එම තරුණිය තුළින් දිස්වූ සුන්දරත්වය නිසාම බොහෝදෙනා සිතා ඇත්තේ බෙලෝ විසින් හිතාමතාම නිරූපිකාවක එම ජායාරූපය ලබා ගැනීමේදී ටිනීගේ ජායාරූපය ලබාගත් පසුතලයට එක්කරන්නට ඇති බවයි.

olajumoke-agege-bread-seller

මේ නිසාම බොහෝදෙනා බෙලෝගෙන් ඡායාරූපයේ සිටින නිරූපිකාව කවුරුන්දැයි විමසා ඇති අතර, එයට පිළිතුරු දෙමින් බෙලෝ සටහන් කර තිබුණේ ඇය නිරූපිකාවක වීමට සුදුසුම තැනැත්තියක බවත් ඇයට ඒ වෙනුවෙන් අතදීමට ඉදිරිපත් වන ලෙසත්ය.

ඉන්පසුව ඇයව සොයා ආ නිරූපණ ශිල්පීන්ගේ ඒජන්සි හිමිකරුවන් ඇයව නිරූපණ ක්ෂේත්‍රයට එක්කර ගෙන ඇති අතර, දැන් ඇය මුළු ලෝකයේම අවධානය දිනාගත් තැනැත්තියක බවට පත්වී හමාරය.

පසුගිය දිනක ඇය 'සී.එන්.එන්.' පුවත් සේවය හා එක්ව පවසා තිබුණේ තමන් කිසි දිනක මෙවන් දෙයක් තම ජීවිතයේ සිදුවේ යැයි හීනයකින්වත් නොසිතූ බවයි.

තමා නිරූපිකාවක ලෙස කටයුතු කරනු රූපවාහිනිය ඔස්සේ දැක සිය යෙහෙළියන් වඩාත් සතුටට පත්වූ අතර, තම සාර්ථකත්වය දැක දෙමාපියන්ද අප්‍රමාණව සතුටට පත්වූ බවත් ඇය පවසා සිටියාය. 

දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක වන ඔරිසගුණා මෙතෙක් කළ පාන් වෙළෙඳාම සිය සැමියාට බාරදී මෝස්තර නිරූපණයෙන් උපයන මුදල් දරු දෙදෙනාගේ අනාගත අධ්‍යාපනය වෙනුවෙන් ඉතිරි කරන බවද වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණි.

1-1   

 

අවුරුදු 70ක් පුරා පැදුරු වියන ඉඳුරුවේ දිරිය කත මිලිනෝනා

sammana samaga

විවිධාකාර හේතුන් නිසාවෙන් ග්‍රාමීය කාන්තාවන්ගේ අතමිට සරු කළ ගෘහ කර්මාන්තයක් වූ පන් පැදුරු හා පන් ආශ්‍රිත නිර්මාණ අභාවයට යමින් පවතින යුගයක කොතරම් වයසට ගියද අවුරුදු 70ක් තිස්සේ තවමත් ඒ කර්මාන්තය උදෙසා කැපවීමෙන් කටයුතු කරන 84 හැවිරිදි ආදර්ශවත් දිරිය මවක් ඉඳුරුවේ සිටින්නීය.

ඇය ඉඳුරුවේ කයිකාවල පදිංචි මිලිනෝනා කොට්ටහච්චි මහත්මියයි.

කුඩා කාලයේ පටන්ම තම මවගේ අභාසයෙන් පන් නිර්මාණ සිදුකිරීම සඳහා යොමු වූ ඇය තවමත් එම කර්මාන්තයේ නියැළෙමින් සිටී.

දරුවන් තිදෙනෙකුගේ මවක වූ ඇය, දරුවන් පෝෂණය කිරීම සඳහා ස්වයං රැකියාවක් ලෙස පැදුරු හා පන් ආශ්‍රිත නිර්මාණ කර්මාන්තයට යොමු වී තිබේ.

DSCF1672

පන්මලු, අතුල්පත්, හැඳි අලු, පාපිසි යනාදී අලංකාර නිර්මාණ පන් ගසින් නිමවන්නට මිලිනෝනා මහත්මියට ඇත්තේ අපූරු කුසලතාවයකි. කළාල පැදුරු, දොළ පැදුරු, රටා පැදුරු, ඇයගේ දෑතින් නිමවන අයුරු බැලීමට විදේශිකයෝද ඇගේ නිවසට පැමිණෙති.
බෙන්තොට ජන කලා කේන්ද්‍රයේ ගුරු ශිල්පිනියක ලෙසද කටයුතු කර ඇති ඇය, ගම්බද කතුන් දහස් ගණනකට පන් නිර්මාණ පිළිබඳ ගුරුවරියක වුවාය.

පැදුරු විවීම සඳහා තම කුඹුරක ගල්ලැහැ පන් වගාවක්ද පවත්වාගෙන යන මිලි නෝනා මහත්මිය පන් වේළා ගැනීම, පන් තලා ගැනීම, පන් වර්ණ ගැන්වීම ආදිය අදත් සිය දෑතින්ම සිදුකර ගන්නේය.

1998 වර්ෂයේ ජාතික අත්කම් භාණ්ඩ ප්‍රදර්ශනයේදී හොඳම කලාත්මක පන් පැදුරු නිර්මාණයට හිමි ජනාධිපති සම්මානයෙන්ද, 2002 වසරේ කලා භූෂණ සම්මානයෙන්ද, 2010 වසරේ ජාතික ශිල්ප සභාවේ දකුණු පළාත් ශිල්ප බලමණ්ඩලයේ ශිල්ප උපහාරයෙන්ද ඇය පිදුම් ලබා ඇත.

එසේම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකළ විශිෂ්ට සේවාව වෙනුවෙන් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් 2011 වසරේදී 'දිරිය ප්‍රසාදිනී ස්ත්‍රී රත්න විභූෂණ' සම්මානයෙන්ද, 2014 වසරේදී ජාතික ශිල්ප සභාව මගින් පිරිනැමූ විශ්වකර්ම ගරු සම්මානයෙන්ද ඇතුළු විවිධ සම්මාන හා උපහාර රැසකින්ද මේ වනවිට ඇය පිදුම් ලබා තිබේ. 

milinona

මේ පිළිබඳ 'අද' ට අදහස් දක්වමින් ඇය මෙසේ පවසා සිටියාය.

'' වයස අවුරුදු 15 සිට මම පැදුරු වියනවා . මම පැදුරු නිර්මාණය කිරීමෙන් ඉමහත් තෘප්තියක් ලැබුවා. මගේ දැනුම බොහෝ අයට ලබා දුන්නා. කොපමණ වයසට ගියත් මම මේ රස්සාව අත හරින්නේ නෑ. අතපය වාරු තියෙනකන්ම මම පැදුරු වියනවා. ළඟදී ගාල්ලේ තිබෙන පන් නිර්මාණ තරගයකටත් මම නිර්මාණ ඉදිරිපත් කරනවා.

ඒත් අපි වගේ අහිංසක ගැමි ශිල්පිනියන්ට කාගෙවත් පිහිටක් නැතිවීම කනගාටුවට කරුණක්. එදා පන් පැදුරට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලපු ඉඳුරුව ප්‍රදේශයේ අද ඒ තත්ත්වය නෑ. අද පන් සොයාගන්න අමාරුයි. පොහොර මිල ඉහළ යෑමෙන් පන් වගාව විනාශවෙලා. සායම් මිල ඉහළයි. රට පැදුරු නිසා පන් පදුරට කණකොකා හඬලා. අලුතෙන් මේ කර්මාන්තයට කවුරුත් එන්නේ නැහැ. මේ ගැන රජය අවධානය යොමු කරලා පන් කර්මාන්තය නගා සිටුවීමට කටයුතු කරනවා නම් අපි ඒ ගැන සතුටු වෙනවා. ''

බෙන්තොට – චතුරිකා ජයරත්න 

 mili  padura

මාතෘ හා ළමා මරණ අවම කිරීම කාලීන අවශ්‍යතාවක් බව සුව ඇමති පවසයි

21032550_10155251252409130_7392359518932362724_n

කලාපය තුළ මාතෘ හා ළදරු මරණ අනුපාතය පහළ මට්ටමක පවත්වා ගනිමින් විශිෂ්ට ප්‍රගතියක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සජීවී දරු උපත් 1000කට වාර්තා වන මාතෘ මරණ සංඛ්‍යාව 30ක් වන අතර, ළදරු මරණද සජීවී දරු උපත් 1000කට 08ක් වැනි ඉතා අඩු අගයක පවත්වා ගැනීමට හැකිව ඇති බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සැලකූ විට එය ඉතා ප්‍රශස්ත තත්ත්වයක් බවත් ඒ මහතා පැවසීය. 

තවදුරටත් මරණ සංඛ්‍යාව පහත දැමීමේ අභියෝගය පවතින අතර, එය ඉතා දුෂ්කර ඉලක්කයක් බවත්, එහිදී අදාළ කරුණ කේන්ද්‍රර කරගත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් හෙතෙම පැවසීය.

විශේෂයෙන් එහිදී ගර්භිණී, නූපන් සහ අලුත උපන් දරුවන් කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍ර‘කාශ කළේය.
හෙතෙම මෙම අදහස් පළ කළේ 'පරාජන්ම සංගමයේ' වාර්ෂික සැසිවාරය අමතමිනි. 

වසර 16කට පෙර ස්ථාපනය කළ මෙම සංගමය ගර්භිණී, නූපන් සහ අලුත උපන් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීමට සුවිශේෂී ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, මේ වනවිට ප්‍රවේණි විද්‍යාව, රෝග විනිශ්චය, සෞඛ්‍ය පරිපාලනය සහ තොරතුරු ආදිය කෙරෙහි දක්වා ඔවුන්ගේ සේවාව ව්‍යාප්ත කර ඇති බවත්, සංගමය ගෙනයන වැඩපිළිවෙළට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඒ මහතා පැවසීය. 

වෛද්‍ය කපිල ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් සංගමය මේ වනවිට පුළුල් වැඩපිළිවෙළවල් රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, දැනුවත් කිරීමේ වැඩසටහන්, පුහුණු වැඩසටහන්, සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් මාර්ගෝපදේශන සැපයීම මෙන්ම විශේෂයෙන් මහජනතාව දැනුවත් කිරීම උදෙසා ගෙන යන ප්‍රචාරණ වැඩසටහන් අගය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ නව වෙබ් අඩවිය විවෘත කළ අතර, එහි ලාංඡනයද එළිදක්වන ලදී.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය සරත් අමුණුගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

දළදා හිමි උදෙසා කෙරෙන වත්පිළිවෙත්වලදී කාන්තා දායකත්වය?

දළදා වත්පිළිවෙත් සහ කාන්තා ජන සමාජයේ පවතින ආකල්පයන් සම්බන්ධයෙන් ඇතමුන් තුළ විවිධ මතිමතාන්තර පවතී. ඒ පිළිබඳ අදහස් දැක්වීම සඳහා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහාලේඛකාධිකාරී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් අප “අද”ට සම්බන්ධ කරගතිමු. 


Q කාන්තාව සහ බුදුදහම සම්බන්ධයෙන් පවතින සබැඳියාව පැහැදිලි කළොත්?

දළදා  හිමියන් වෙනුවෙන් දුරාතීතයේ සිට අද දක්වා පවත්වාගෙන එනු ලබන චාරිත්‍රවාරිත්‍ර අපේ සංස්කෘතිය සමග පවතින කරුණක්. බුද්ධ ධර්මය ගත්තොත් කාන්තාවට මූලික ලෙස වගේම හරවත් ආකාරයෙන් නිදහස තහවුරු කර ඇති දර්ශනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. කාන්තා නිදහස සහ විමුක්තිය වඩාත් තහවුරුව ඇත්තේ බුද්ධ දර්ශනය තුළයි. ඒ වගේම ජෛනාගමේද යම් නිදහසක් තිබුණා. නමුත් බුදුදහම තුළ සහ සමාජ වාතාවරණය තුළ කාන්තා විමුක්තිය යන්න වඩාත් පැහැදිලි වුණා.

ශාසනය පිහිටුවීමේදීද අෂ්ට ගරුධර්ම, ඒ කියන්නෙ නියාම 8ක් විවාදයට පත්ව තිබෙනවා. සමාජය තුළ ඒ ඒ වකාවනුවලදී තිබුණු යම් ආකල්ප සහ බලපෑම් සමග ඒ අනුව කාන්තාව සම්බන්ධයෙන් යම් සීමා කිරීම්  පැන වුණා. ඒවා අතීතයේ පැවැති සමාජ චාරිත්‍රවාරිත්‍ර විධි සමග සාකච්ඡා කළ යුතු දෙයක්.
ඒ හැමදයෙක්ම සිදුවුණේ මනුෂ්‍යත්වය අනුව මිස කාන්තාවන්ට හානිකර තත්ත්වයෙන් නොවෙයි. එයින් කාන්තාවට හානියක් වුණේ නැහැ. ඔවුන් සුරක්ෂිත වුණා. බුදුබණ අසා නිවන්, සෝවාන්, අරහත් ඵල ලබාගත් කාන්තාවන් ගැන ඇහෙන්නේ ඒ නිසයි‍. එයින් සනාථ වන්නේ කාන්තාවට පිරිමින් මෙන්ම නිවන් දැකීමට බාධාවක් නැති බවයි. 

බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු කාන්තාවන්ට උන්වහන්සේගේ දේහය වන්දනා කිරීමට අවස්ථාව දුන්නේ යැයි පසු කලෙක ඇතැම් භික්ෂූන් වහන්සේලා ආනන්ද හිමියන්ට චෝදනා කළා. භික්ෂුණී ශාසනයට උදව් කළා යනුවෙන් බුදු හිමියන්ගෙන් පසු කාලයේදී ආනන්ද හිමියන්ට චෝදනා නැගුණා.

Q කාන්තාව සම්බන්ධයෙන් කතා කිරීමේදී කිල්ල යන තර්කය තුළ යම් ආගමික අවස්ථාවන්ට ඔවුන්ට සහභාගි වීමට ඇති අවස්ථාව වළක්වා ඇතැයි මැසිවිල්ලක් නැගෙනවා? එය බුද්ධ දර්ශනයට අනුකූලද?

බුදුදහම තුළ කාන්තාවට නුසුදුසුයි හෝ කිලි වැනි මතවාදයක් නැහැ. නමුත්  කාන්තාවන්ට බලපාන ජෛව විද්‍යාත්මක කරුණුවලදී යම් ස්වාභාවික අපහසුතා තිබෙනවා. බුදු හිමියන් වෙනුවෙන් කෙරෙන වත්පිළිවෙත් විමසීමේදී කාන්තාවන්ට යම් ගැටලුවක් විය හැකි අවස්ථාවන් ඒ අතර තිබෙන බව පැහැදිලියි.
දැන් බලන්න අනුරාධපුර යුගය අවසානයේ ලංකාවේ බුදුදහම නැත්තටම නැතිවී ගියා. යුද්ධ අරගල ඇති වුණා. භික්ෂුණීන් වහන්සේලාට පමණක් කැලයේ හෝ ආරාමවල තනිවම සිටිය‍ නොහැකි තැනට කරුණු යෙදුණා. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ඇති වුණා. කාන්තාව ශාසනයේ පැවිද්දෙන්  ඉවත් වුණා.

Q එහෙම වුණත් දළදා හිමියන් වෙනුවෙන් පවතින ඇතැම් වත්පිළිවෙත්වලදී පිරිමින්ට හිමි තැන කාන්තාවන්ගෙන් අහිමිකර ඇතැයි මතයක් තිබෙනවා?

කාන්තාව දළදා වහන්සේ කෙරෙහි පවතින වත්පිළිවෙත් ‍බෞද්ධ සමාජය සහ සංස්කෘතිය සමග බැඳී තිබෙනවා. ඕනෑම ආගමික  සංස්ථාවක එවැනි සමාජයීය කරුණු සමග බැ‍ඳෙන අවස්ථා තිබෙනවා. ඒක ස්වාභාවිකයි. ඒවාට විරුද්ධ වීමට හෝ ඒවා බැහැර කිරීමට හැකියාවක් නැහැ.

දළදා වහන්සේ  පූජනීය වස්තුවක් ලෙස සලකන නිසා එය දේවත්වයෙන් සලකනවා. සම්‍යයක් දෘෂ්ටික දෙවි දේවතාවුන් බුදුහිමියන් වහන්සේ වන්දනාවට රාත්‍රියට එනවා යැයි කියන විශ්වාසය සහ පිළිගැනීම තිබෙනවා. බුදුන් වහන්සේගේ සමයේ දෙවිවරු උන්වහන්සේ හමුවී ගැටලු නිරාකරණය කරගත් බවට සඳහන් වෙනවා. 

එතැනදී දෙවි දේවතාවුන් කිලිටි තැන්වලට එන්නේ නැහැ කියන අදහසක් සමාජය තුළ පවතිනවා. ජීවමාන දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන දෙවි දේවතාවුන්ට ඒ කිලි හෙවත් අපිරිසුදුකම බලපා හැකි යයි සම්මතයක් එදා සිරිත්විරිත් අනුව එම අවස්ථාවේදී තීරණය කරන්නට ඇති. එය සංස්කෘතිකමය ලක්ෂණයක්.

අදටත් බදාදාට නානුමුර මංගල්‍යය පැවැත්වෙනවා. පාරම්පරික ආලත්ති අම්මලා එයට පැමිණ එම කටයුතුවලට සහභාගි වෙනවා. එතැන කාන්තාව සම්බන්ධ යැයි ප්‍රතික්ෂේප වීමක් නැහ‍ැ.

Q කාන්තාවන්ට පත්තිරිප්පුවට ගොඩවීම සුදුසු නැතැයි කතාවක් තිබෙනවා?

පත්තිරිප්පුව කාන්තාවන්ට ගොඩවීමට නුසුදුසු තැනක් ලෙස මතයක් තිබුණා. එතැන තිබුණේ එදා රජතුමාට ජනතාව ඇමතීමටයි. ඒ නිසා එය රජුට පමණක් වෙන් කළ ස්ථානයක් බව පැහැදිලියි. එතැන බාහිර පුද්ගලයන්ට සුදුසු නැහැ. නමුත් දැන් එතනට කවුරුත් යනවා. වෙනසක් නැහැ.

Q දළදා හිමි ඉදිරියට රැගෙන එන සිඟිති දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය?

අලුත උපන් දරුවෙකු දළදා හාමුදුරුවන් ඉදිරියට ගෙනැවිත් උන්වහන්සේට පූජා කරනවා. ඒකට ගැහැනු, පිරිමි භේදයක් නැහැ. නමුත් දිනපතා එම වෙලාවට පැමිණෙන ජනතාව අනුව දළදා හිමි වැඩසිටින කුටිය විමසීමේදී එතැන තිබෙන්නේ ඉතා සීමිත ඉඩකඩක්. ඒ තුළ ආවතේව භාර භික්ෂූන් වහන්සේලා දෙනමක් පමණ රැඳෙනවා. දිගු පෝළිමක් තිබෙනවා. මල් ආසන තිබෙනවා. එහෙම තැනකදී අතදරුවන් සමග එතැනට පැමිණෙන අයෙකුට තිබෙන කාලය සහ වැඳපුදා ගැනීමට  කාලයක් ලබාගැනීම වැනි දේ ගැන හිතන්න.

බොහෝවිට දරුවා ඉහළට සිටින සේ අතට වඩා ගත්තාම ඒ අයගේ දෙපය මල් ආසනවල වදිනවා.සිඟිති දරුවන් දළදා හිමි වැඩසිටින කුටිය ඇතුළට නොගන්නේ ඒ අය කලබල කරන්න පුළුවන්. හඬන්න පුළුවන්. සමහර විට කිරි දරුවන් මලමූත්‍ර කරන්නත් පුළුවන්. ඒවා ශුද්ධ ස්ථානයකට ගැළපෙන්නේ නැති නිසා තමයි එහෙම කරන්නේ. එහෙම නැතිව එතැනට ගැහැනු, පිරිමි භේදයක් නැහැ. මේවා පුරුද්දට රැල්ලට බටහිර බලපෑමට ගොතන කතා. ගැහැනු දරුවන්ද පිරිමි දරුවන්ද බිම තබා බුදුන්ට පූජා කරනවා.  අනික කවුරු හරි කියනවා නම් දළදා වහන්සේ වැඩසිටින කුටියට කාන්තාවන්ට යන්ට තහනම් කියලා ඒක වැරදියි. 

කිල්ල කියන්නෙ  ජීව විද්‍යාත්මක කරුණක්. එය අප සමාජයේ මුල් බැසගත් සංස්කෘතිකමය ආකල්පයක් බවට පත්වුණු දෙයක්. යන්ත්‍රමන්ත්‍ර, මළගෙවල්, ඇතැම් ලෙඩරෝග, මස්මාළු වර්ග ආදී කරුණු සමග කිල්ල ගැන කතා කරනවා. ඒවා ගැන කතා කරන්නේ සමාජ අවශ්‍යතා හැටියට සහ ඒවාට ගෙතුණු යම් අවශ්‍යතාවන් අනුවයි. ඒවා මිනිසුන්ගෙන් ඉවත් කරන්න බැරි සාධක. එතැන්දී එදා දළදා හිමියන් වෙනුවෙන් පුදපූජා පැවැත්වූ භාරකාරදීන්ද ඒ අනුව යමින් කාන්තාවන් වෙනුවෙන් ඒ පිරිසුදුකම බලපාන ආකාරය අනුව යම් තීරණ ගන්න ඇති.  ඒවා අද සිරිත්විරිත් දක්වා සාම්ප්‍රදායිකව පවතින කරුණු බවට පත්වෙලා.

Q දළදා හිමියන් වෙනුවෙන් පැවැත්වෙන සංස්කෘතිකමය පැවැත්මක් ඇති සාම්ප්‍රදායික සිරිත්විරිත් කිහිපයක් පැහැදිලි කළොත් ?

විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි. දළදා හිමි වෙනුවෙන් දිනපතා උදේ හවස කෙ‍රෙන කිසිදු පුදපූජාවක් ජනතාවට විවෘතව කරන්නේ නැහැ. ඒවා තේවාව භාර හාමුදුරුවන් පමණයි කරන්නේ.

දළදා හාමුදුරුවන් ජීවමාන බව අපි පිළිගන්නවා. ජීවමාන බුදු හිමියන් වගේ කියලා කියන්නේ ඒකනෙ. එතැන්දී උන්වහන්සේලා දානය ගිලන්පස පූජා කරනවා නම් කරන්නේ ජීවමාන බුදුන් වහන්සේට කරන වත්පිළිවෙත් අනුවයි. එහෙම නම් උන්වහන්සේට පූජා කළ දේ එතැන තබා ඒ දෙස නැවත බලා සිටීම සාමාන්‍යයෙන් පිළිගත් සම්ප්‍රදායක් නොවෙයි. අපි යම් කෙනකුට දානයක් දුන් පසු එය වළඳන දෙස බලා සිටින්නේ නැහැනේ.

ඒක අපේ හැදියාව. රජතුමාට වුණත් දළදා මාළිගාවේ සාම්ප්‍රදායික වත්පිළිවෙත් එකහා සමාන වුණා.‍ දළදා මන්දිරයේ දළදා හාමුදුරුවන් වෙනුවෙන් දිනපතා හවස තේවාව කරනවා. එතැන්දී පුදපූජා පවත්වාගෙන යාම සඳහා අතීතයේ සිට රජතුමා පැමිණෙනවා. වරක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට සවස පූජාවට නියමිත වෙලාවට එන්න බැරි වුණා. තේවාව භාර භික්ෂූන් වහන්සේලා රජතුමා එනතුරු බලාසිට නොපැමිණි නිසා දළදා හිමි වැඩසිටින කුටිය වසාදමා දවසේ පුදපූජා කටයුතු අවසන් කළා. ඒ අතර රජතුමා පැමිණියා. නැවත දළදා පූජාවට අවස්ථාව නැති බව හිමිවරුන් පවසා සිටියා. රජුගේ බලවත් ඉල්ලීම මත භික්ෂූන් වහන්සේලා නැවත දළදා කුටිය විවෘත කර රජුට පූජා පැවැත්වීමට අවස්ථාව දුන්නා.

ඒ අනුව එය සිරිතක් බවට පත්වෙමින් අදටත් හවස තේවාව අවසන්වූ පසු දළදා හිමි වෙනුවෙන් වතාවත් නිමකර නැවත රාත්‍රී  පූජාවක් තිබෙනවා. දැන් ඒක සම්ප්‍රදාය වෙලා. රජතුමා දළදා වහන්සේ පුදපූජාවන්ට පැමිණි පසු රජතුමාගේ ඔටුන්න දළදා කුටියේ උළුවස්ස පාමුල එළිපත්ත මත තබා කුටියට ඇතුළු වෙනවා. ඒ නිසා රටේ රජුගේ කිරුළ එහි තබන ‍නිසාම ඒ එළිපත පෑගීම නොකළ යුතුයි යනුවෙන් සම්ප්‍රදායක් ඇතිවුණා. අදටත් ඒ සම්ප්‍රදාය ඒ ආකාරයෙන්ම ඉටු ‍කෙරෙනවා‍. ඒ කියන්නේ රටේ රජුගේ ඔටුන්න තබන තැනටත්  ගරුත්වයක් පවතිනවා.

අපි මේ සිරිත්විරිත් රැකගැනීමට උත්සාහ කරනවා. රජ කාලේ සිට පැවත එන සිරිත් විකෘති කරන එක සංස්කෘතිය රැකගැනීමට අනුබලයක් නෙවෙයි. ඒවා එලෙසම රැකගත්තොත් තමයි අපේ සංස්කෘතිය රැකුණා වෙන්නේ.

Q හේමමාලි කුමරියට දන්ත ධාතූන් වහන්සේ කෙස් කළඹේ සඟවා ගෙන පැමිණීමට හොඳ නම් කාන්තාවන්ට දළදා හිමි සම්බන්ධ වත්පිළිවෙත් අකැප ඇයි දැයි ඇතමුන් චෝදනා කරනවා?

හේමමාලි කුමාරිය කෙස් කළඹේ සඟවා ගෙන ආ කතාව ඇත්ත. ඒ කාන්තාව එය ගෙනැවිත් මෙරට රාජ්‍ය පරම්පරාවට බාරදුන් පසු එය රැකගැනීමේ වගකීම ඒ පරම්පරාවට හිමි වුණා. එතැන්දි ඒ ඒ කාලවල පැවැති සහ අවශ්‍යතා අනුව සමාජ ආගමික වගේම සංස්කෘතික ආකල්පයන් තුළ රැඳෙමින් සකස් වුණු සිරිත්විරිත් අදටත් ඉතිරිව පවතින දේ බැහැර කරන්න අපට බැහැ.

කාන්තාව තරම් බුද්ධශාසනයේ ආගමික වතාවත් වත්පිළිවෙත් වෙනුවෙන් මැදිහත්වන තවත් පිරිසක් නැති තරම්. ඔවුන් ඒ තරමට මේ ආගමික වතාවත් වෙනුවෙන් කැප වෙනවා. ඒ නිසා එවැනි අයට මෙවැනි දේ අර්බුදයක් නොවන්නේ දළදා හිමියන්ගේ ශුද්ධ, පවිත්‍ර බව, ගරුත්වය මහානුභාව සම්පන්න බව ආරක්ෂාව වගේ හැම දෙයකම වගකීමත්, අගයත් ඔවුන් පුරුද්දෙන් දන්නා නිසා. මේ ඇතැම් සිරිත්විරිත් පෝෂණය වෙන්න එදා ඒ ඇත්තන්ද දායක වෙන්න ඇති. අපි පරමල් ටිකක්වත් මල් අසුන මත තියන්නේ නැහැ. වහාම ඉවත් කරනවා. නමුත් ඔය ඇතැමුන් කියන ආකාරයේ අකැප දේ නම් අපි දන්නේ නැහැ.

Q බුදුන් වහන්සේ සහ කාන්තාව ගළපන අවස්ථාවක් උදාහරණ ලෙස පැහැදිලි කළොත් ?

කාන්තාවන් බුදුන්ට ගළපා සමාන කරනවා. මගේ අම්මා බුදු වේවායි දරුවන් කියනවා. අමාමෑණියන් වහන්සේ යැයි සදැහැතියන් කියනවා. එතැන්දී පුද්ගලානුබද්ධ ගෞරවය පිළිගැනීම  ඇගයුමට ලක්වෙනවා. එයින් කාන්තාව ගැන ඇති උත්තරීතරත්වය තවදුරටත් බුද්ධ ධර්මය සමග තහවුරු වෙනවා.

Q එහෙම වුණත් දියවඩන නිලමේ තනතුර සඳහා නිලවරණයේදී කාන්තා පාර්ශ්වයට ඡන්ද අයිතිය අහිමි කර ඇතැයි චෝදනා කරනවා ?

දියවඩන නිලමේ තනතුරට කාන්තාවන්ගේ ඡන්දය නැහැ කියන කතාව ඇත්ත. එතෙන්දී  පිරිමි ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඡන්ද බලය තිබෙනවා. 1931 විහාර දේවාලගම් පනත ආරම්භ කළ සමයේ ලංකාවේ ආදායම් එකතු කිරීම තිබුණේ ඩී.ආර්.ඕ කියලා ප්‍රාදේශීය ආදායම් නිලධාරී හෙවත් අද අපි කියන ප්‍රාදේශීය ලේකම්වරුන්ට. පනත යටතේ සඳහන් වන්නේ ආදායම් නිලධාරීන්ට ඒ අවස්ථාව ලැබිය යුතුයි යනුවෙන්. ඉතින් කාන්තාවන්ට ඒ අවස්ථාව නැත්තේ අදටත් පිළිගන්නා ඒ පනතේ පවතින බලාත්මක ප්‍රතිපාදන නිසයි.

Q දැන් එය වෙනස්  කළ නොහැකිද ?

 එහෙම යෝජනාවක් ආවා. අපි කීවා අර්බුදයක් නොවෙනවා නම් ඒ ගැන අධ්‍යයනයක් කරලා ඒ අයටත් ඒ අවස්ථාව දෙන්න කියලා. එය පනතක් වශයෙන් යෝජනා වුණා. ඒත් තවත් භික්ෂූන් වහන්සේලා සහ විවිධ අදහස් යෝජනා තර්ක නිසා ඒ අදහස අදටත් නතරවෙලා තිබෙනවා. ඒක කාන්තාව නොසලකා සිටීමක් නෙවෙයි. නීතිමය ප්‍රතිපාදන තුළ නිවැරදි කළයුතු වෙනසක්. බොහෝ විට එතැන මතුවුණේ සම්මතය සහ දළදා හිමියන් වෙනුවෙන් කෙරෙන වත්පිළිවෙත් සම්බන්ධයෙන් සම්ප්‍රදාය අතර ගැටුමක්. 

Q එවැනි තැන් ඇතැමුන්ගේ චෝදනාවට අනුබලයක් විය නොහැකිද?

එහෙම වෙන්ට බැහැ. අපි සම්ප්‍රදාය අනුව කටයුතු කරනවා. සුවිශේෂ යෝජනා ආවොත් ඒවා සඳහා අවස්ථාව දෙනවා. එසේ වෙනස්වූ තැන් අතීතයේ තිබුණා.

Q පැහැදිලි කළොත් ?

අටමස්ථානාධිපති හිමියන් තේරීම සඳහා පවත්වන නිලවරණයේදී අස්ගිරි, මල්වතු සහ ශ්‍රීපාදය වගේම පවතින එම කාර්යය සඳහා සුදුසුකම් ඇති අයෙකු ලෙස සිටියේ කාන්තා පාර්ශ්වයේ කෙනෙක්. එතෙන්දී ඒ අයට එම අවස්ථාව ලැබුණා. ඒ අණපනත් අනුව එහෙම කිරීමට බාධකයක් තිබුණේ නැහැ.
දළදා හිමියන් වගේම ජයශ්‍රී මහා බෝ සමිඳුන් වෙනුවෙන්ද දුරාතීතයේ පටන් කාන්තාවන්ගේ දායකත්වය ලැබුණා. උන්වහන්සේ රකින්නට එදා කාන්තාව දරමිටි ඇද්ද හැටි, රෑ ගිනි තැප්ප හැටි. ඒ පිළිබඳ ගයන ගී පදයෙන්ම සනාථ වෙනවා. එතෙන්දී රාජ්‍ය පාලකයන් බලය සහ රාජකීයත්වය තුළ මෙම පූජනීය වස්තූන් වන්දනාමාන කිරීම කරනවා ඇති. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්.

Q භික්ෂුණී ශාසනයක් ඇති කිරීමටද යම් බාධකයන් පවතිනවා යැයි මැසිවිල්ලක් ඇසෙනවා?

භික්ෂුණී ශාසනය පොළොන්නරුව යුගය ආරම්භයේදී අභාවයට ගියා. ඒ අනුව ශාසනයේ විනය තත්ත්වයන් මත භික්ෂුණී පැවිද්ද පිළිබඳ බලය ඉල්ලන නමුත් ථේරවාදී සම්ප්‍රදාය තුළ එවැනි දෙයක් කළ නොහැකියි.

කලකට පෙර අනුරාධපුරයේ දේවසලා නමින් භික්ෂුණී කණ්ඩායමක් චීනයේ අනුග්‍රහයෙන් භික්ෂුණී ශාසනය මෙහි ගෙනැවිත් පිහිටු වූවා යැයි මතයක් පවතිනවා. දැනට සිටින භික්ෂුණියන් ඒ මුල් පිරිස පරම්පරාව කරගත් අය ලෙස අදහසක් තිබෙනවා. චීනයේ භික්ෂූන් පිරිසක් ඇති කළාට, එය  ථේරවාදී සම්ප්‍රදාය නොවේය කියන අදහස මෙහිදී අපේ ත්‍රෛනිකායික නායක හිමිවරු තීරණය කර පිළිගන්නවා. මෙතැන තිබෙන්නේ ශාසනික විනය පිළිබඳ ප්‍රශ්නයක්.

Q ජාත්‍යන්තරය පැත්තෙන් ගත්තොත්?

මම උදාහරණයක් කියන්නම්. භික්ෂුණීන් වහන්සේලා පැවිදි කිරීම පිළිබඳ 2005දී පමණ ජර්මනියේ පැවැති සම්මන්ත්‍රණයකදී සාකච්ඡා වුණා. මමත් එයට සහභාගි වුණා. බොහෝ කාන්තාවන් භික්ෂුණියන් ලෙස පැවිදි කිරීමේ අවශ්‍යතාව සහ කාන්තාවන්ගේ පැවිද්ද පිළිබඳ දක්වන නව ප්‍රවණතාව අනුව එවැන්නක් විය යුතු බවට අවධාරණය වුණා. එතෙන්දී දලයි ලාමාතුමා පහත ප්‍රකාශය කළා. “මම බුදුහාමුදුරුවො නෙවෙයි. මට විනය සම්බන්ධ තීරණ ගැනීමට බැහැ. මෙය ‍ෙථ්රවාදී රටවල හිමිවරු ගතයුතු තීරණයක්. අපට අපේ වජිරාන සම්ප්‍රදාය සහ ටිබෙට් සම්ප්‍රදාය තුළින් කටයුතු කළ හැකියි.”

Q එහෙම නම් දසසිල් මෑණිවරු ? 

දසසිල් මෑණිවරුන්ගේ ඉතිහාසය දැනට අවුරුදු සියයක් පමණ අතීතයකට යනවා. ඔවුන්ද පැවිදි බවක් දරනවා. මෙවැනි පැවිදි ක්‍රම බුරුමය තායිලන්තය වැනි රටවල සිදුවෙනවා. ලංකාවේදී විලියම් බ්ලේක් ආර්යාව මේ කාර්යය සඳහා  පළමුවැනිව උදව් කළා.භික්ෂුණී ශාසනය සහ දසසිල් මෑණියෝ කියන්නේ දෙකක්. දසසිල් අයට උපසම්පදාවක්  නැහැ.

සංස්කෘතිය කියන්නෙ ආගමික වත්පිළිවෙත් සමාජ චර්යාවන් සහ පුද්ගල ආකල්ප සියල්ල තුළ අපේ අනන්‍යතාව උරුමය සහ සම්ප්‍රදායන්  සියුම්ව විවරණය කළ යුතු දේ හැටියටයි මම දකින්නේ. වත්පිළිවෙත් අනුව අපිට සංස්කෘතියක් තියෙන්නේ අපේ හැදියාවට අනුව මිස බටහිර සංකල්පයන්ට අනුව නෙවෙයි. ඒක ඒ අයගේ හැදියාව. මේක අපේ හැදියාව. ඒ හැදියාව තුළ සංඝයා වහන්සේලා, රජවරු, උගත්හු, විද්වත්හු සමග ගමේ සාමාන්‍ය ජනතාවත් හිටියා කියන එක අමතක කරන්න හොඳ නැහැ.

දළදා තේවාව කරන අපෙන් බැහැරව කාන්තාවට කොතැනක හෝ වාරණයක් තිබුණා නම් ඒක ඒ අපේ පැරණි ඇත්තන් දළදා හිමි වෙනුවෙන් ගෞරවයෙන් පිළිගත් සම්මතයක් වෙන්නත් පුළුවන්. ඒ සම්මතයට එරෙහි වීමට අපට බැහැ.

Q මෙවැනි යම් මතවාද තර්ක වෙනත් ආගමික සංස්ථාවන්ටත් තිබෙනවාද?

හැම ආගමකටම මේ වගේම හෝ එයටත් වැඩි අර්බුද ප්‍රශ්න තම තමන්ගේ සංස්කෘතියට අදාළව තිබෙනවා. නමුත් ඒවා අපට අදාළ නැහැ. ඒවා වසාගන්නට අපේ සංස්කෘතිය විකෘති කිරීමටත්, අපේ පවතින සම්ප්‍රදායන් සහ හැදියාවන් වෙනස් කිරීමටත් ‍යමෙකු අපේ ඉතිහාසය සහ සම්ප්‍රදායන් ගැන අවබෝධයෙන් තොරව ප්‍රකාශ කරනවා නම් හෝ බලපෑම් කරනවා නම් ඒකත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන විදිහට ආගම ඇදහීමේ අයිතිය නෙවෙයිනෙ.

Q එහෙම නම් මේ මතවාදය මොකක්ද?

බටහිර ස්ත්‍රීවාදී ආකල්ප සමග හිතන්නට යනවිට මේ හැම අර්බුදයක්ම මතුවෙනවා. මේ වගේ ආගම පිළිබඳ මත ගැටුම් ඇති කරන ප්‍රශ්න දළදා හිමි, ජයශ්‍රී මහ බෝ සමිඳුන් රැකගත් සහ වත්පිළිවෙත් කළ එදා අපේ අත්තලා, මුත්තලා කිරිඅම්මලාට තිබුණෙ නැහැනෙ. ඒ අය මේ වත්පිළිවෙත් පිළිබඳ ගරුත්වයෙන් කටයුතු කළා.
අද ඇතැමුන්ට මාළිගාවට එනවිට අඳින ඇඳුමත් කියලා දෙන්ටවෙලා තියෙන්නේ. අපේ සංස්කෘතික හරයන් ඒ අයගෙන් ගිලිහිලා. පූජා බිමකට නොගැළපෙන විකාර ඇඳුම්වලට යටවෙලා. අසම්මත චර්යාවන් නිසානේ.

නමුත් දේවාලයකට යනවිට එහෙම යන්නේ නැහැනෙ. සතියක් පේවෙලා මස්මාළු නොකා කිල්ලට අහු නොවී යනවා. එතැනත් තියෙන්නෙ සම්ප්‍රදාය සහ සම්මතය ගරු කිරීමක්. මේවා ආගමික සංස්ථාව සහ සමාජ ආකල්ප සමග පවතින ක්‍රියාකාරකම්.නමුත් බටහිර ස්ත්‍රී විමුක්තිය සහ ස්ත්‍රීවාදී ආකල්ප තුළ ඒවා ආගම විනාශයට රිංගවීමේ සහ සංස්කෘතිය උඩුයටිකුරු කර සංස්කෘතියත් සදාචාරයත් විනාශ කිරීමේ උත්සාහයක් තිබෙනවා. එතෙන්දී ඔවුන් උත්සාහ කරන්නේ කාන්තාව කොන් කරනවා කියන මතයක් හදන්න.හැමවිටම අපේ  දේශීය සංස්කෘතිය සහ එහි ඇතුළාන්තය තුළ සිදුවන සම්ප්‍රදාය සහ සිරිත්විරිත් හදාරමින් මේ යථාර්ථය වටහා ගැනීම වැදගත්.

 

පොදු ප්‍රවාහන සේවයේදී මෙරට කතුන් තවමත් සුරක්ෂිතද?

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

පසුගියදා කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවැති 'පොදු ප්‍රවාහනයේදී සිදුවන ලිංගික හිංසනය' පිළිබඳ ප්‍රතිපත්ති සංවාදයට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

''පොදු ප්‍රවාහනයේදී සිදුවන ලිංගික හිංසනයන් අප සමාජයේ ජීවත් වන කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ එදිනෙදා ජීවිතවලට බලපාන බැරෑරුම් ප්‍රශ්නයක්. ලොව පුරා පැතිරුණු ප්‍රශ්නයක්. එමගින් කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ මූලික හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවෙනවා.

කාන්තා හිමිකම් පිළිබඳ කටයුතු කරන ප්‍රධාන රාජ්‍යය ව්‍යුහය වන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මෙම ප්‍රතිපත්ති සංවාද ඉතා වැදගත් කාර්යයක් ලෙස සලකනවා. මෙම ප්‍රශ්න විසඳීම සඳහා දිගු කාලීන විසඳුම් හා යෝජනා කිරීමේදීත්, ප්‍රතිපත්ති සම්පාදනයේදීත් එය ඉතා වැදගත් පියවරක්.

පෞද්ගලික හේතු නිසා මෙන්ම වෘත්තීමය හේතු නිසාද සුරක්ෂිත පොදු ප්‍රවාහනය කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට අතිශය වැදගත් වෙනවා. ලිංගික හිංසනයන්ට බිය නොවී පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කිරීමේ නිදහස ඔවුන්ට තිබිය යුතුයි. එසේ නොමැති නම් එය ඔවුන්ගේ අධ්‍යාපනයට, රැකියාවන්ට හා පෞද්ගලක ජීවිතවලට අහිතකර වේ. එහි ප්‍රතිඵල මුළු රටටම බලපායි.

මෙම ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට අප පියවර ගන්නේ නැති නම් කාන්තාවන් දිගටම සමාජයේ අවදානමට ලක්වූ පිරිසක් ලෙස පවතිනු ඇත. 

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඒ වෙනුවෙන් ඇපකැප වී සිටින අතර, ප්‍රවාහන අමාත්‍යාංශය, ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පොලීසිය, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් සහ වෙනත් මේ පිළිබඳ උනන්දුවක් දක්වන සිවිල් සමාජ සංවිධාන සමග එක්ව සහයෝගයෙන් කටයුතු කෙරේ.

පසුගිය නොවැම්බර් මාසයේ දියත් කළ පුරුෂ සමාජභාව මත පදනම් වූ ප්‍රචණ්ඩත්ව හා සම්බන්ධ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ක්‍රියා කරමින් සිටිනවා. ‍

පොදු ප්‍රවාහනයේදී සිදුවන ලිංගික හිංසනයන් පිටුදැකීම මෙම ක්‍රියාකාරී සැලැස්මේ අංක 5.3 යටතේ අවධානයට ලක්වී තිබෙනවා. මෙම ප්‍රතිපත්ති සංවාද සමග මේ හා සම්බන්ධ ප්‍රාණවත් ප්‍රතිපත්තිමය ප්‍රතිචාරයක් ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. සියලු කාන්තාවන් සහ ගැහැනු ළමයින් වෙනුවෙන් සුරක්ෂිත ප්‍රවාහන සේවාවන් තහවුරු කිරීම පිණිස අවශ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් කරන ලද සමීක්ෂණයෙන් අවධාරණය කළ පරිදි, මෙම ප්‍රශ්න හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ රැකියා සහ අධ්‍යාපනය සඳහා යාමට පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කාන්තාවන් සහ ගැහැනු ළමයින් වේ.

රැකියා සහ අධ්‍යාපනය යනු කාන්තාවන් සහ ගැහැනු ළමයින් සවිබලගැන්වීම සඳහා ඉතා වැදගත් මූලිකාංග දෙකකි. ඔවුන්ට එම කාර්යයන්ගේ යෙදීම සඳහා කිසිදු බාධාවක් නැති බව තහවුරු කිරීම පිණිස අප සෑම දෙයක්ම කළ යුතුව තිබෙනවා. ඔවුන්ට එරෙහිව වැරදි සිදුකරන්නන් වැළැක්විය යුතු අතර, වැරදිකරුවන්ට දඬුවම් කළ යුතුයි.

මෙම ප්‍රතිපත්ති සංවාද මණ්ඩපයේ නායකයන් විසින් මෙම ප්‍රශ්න පිළිබඳ සිය දැක්ම සහ එහි විවිධ පැතිකඩ කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. එම පැතිකඩ වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාව, මානව හිකම්, නීති ක්‍රියාත්මක කිරීම, දැනුම්වත් කිරීම සහ උපදේශනය ආදියයි.

මෙම කාර්යය උදෙසා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට හිමි වෙනවා. පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට මුහුණදෙන්නට සිදුවන ලිංගික හිංසනයන් වැළැක්වීම පිණිස කටයුතු කිරීම උදෙසා සාකල්‍ය සහ කාර්යක්ෂම ප්‍රවේශයක් ඇති කරගනු පිණිස පදනම දැමීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ට වේදිකාවක් සැපයීමේ වැදගත් පියවර මෙම ප්‍රතිපත්ති සංවාදයෙන් ඇතිවන්නේ යයි මම බලාපොරොත්තු වෙනවා.'' යනුවෙන් පැවසූවාය.

පසුගිය 2015 වසරේදී ශ්‍රී ලංකාවේ පළාත් නවයේම පිහිටි සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කාන්තා පාර්ශ්වය සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන්ගෙන් 90%ක පිරිසක් පොදු ප්‍රවාහන බස් රථවලදී හා දුම්රියේදී කිසියම් හෝ ලිංගික හිංසනයකට ලක්වන බවට අනාවරණය වී තිබේ.

මෙම සමීක්ෂණය සඳහා 2500ක පමණ පිරිසකගෙන් අදහස් ලබාගැනීමට කටයුතු කර ඇත.

මේ පිරිසෙන් 90%ක කාන්තාවන් පිරිසක් සඳහන් කරන්නේ ඔවුන් පොදු ප්‍රවාහන බස් රථවලදී සහ දුම්රියවලදී ලිංගික හිංසනයට පත්ව ඇති බවයි.

නමුත් ඒ සඳහා පොලීසියේ සහාය පැතීමට ක්‍රියාකර ඇත්තේ 4%ක් වැනි සුළුතර පිරිසකි. ඊට බොහෝ සෙයින් හේතු වී තිබෙන්නේ ලිංගික හිංසනය සිදුවන අවස්ථාවේ පොලීසියට පැමිණිලි කිරීම ප්‍රායෝගිකව අපහසු තත්ත්වයක් වීමයි.

බොහොමයක් අවස්ථාවලදී ලිංගික හිංසනයක් හෝ ප්‍රහාරයක් එල්ලවන විට වින්දිතයා සහ වැරදිකරුවා අසල තවත් පිරිස් සිටිති. ඔවුන් සිද්ධියේ සාක්ෂිකරුවන් විය හැකිය. නමුත් බස් රථවල හෝ දුම්රියවල වෙනත් මගීන් මෙවැනි තත්ත්වයන් සඳහා මැදිහත් වීමට මැලිකමක් හෝ අකමැත්තක් දක්වන්නේ ගැටුම්වලට මැදිහත් වීමට ඇති අකමැත්ත හා තමන් කෙරෙහි අවධානය යොමුවීම කෙරෙහි පවතින අකමැත්ත හේතුවෙනි. 

මේ ආකාරයෙන් නිරන්තරයෙන් සිදුවන හිංසනයෙන් මිදීම සඳහා විකල්ප පොදු ප්‍රවාහන පහසුකම් නොමැති වූ විටදී සමහර වින්දිත කාන්තාවන් සිය පදිංචිය පවා වෙනස්කර ඇති බවට වාර්තා වේ.    

කොහොමද වෙලා තියෙන්නේ?

මෙම අධ්‍යයනයේදී ලිංගික හිංසන ගණයට ගැනෙන විවිධවූ ක්‍රියාවන් 30කට අධික ගණනක් හඳුනාගැනීමට සමත්වී තිබේ. එම ක්‍රියාවන් අනවශ්‍ය ශරීර ස්පර්ශයේ සිට වාචික මෙන්ම දෘෂ්‍යමය ක්‍රියාවන් දක්වා පුළුල් පරාසයකට විහිදේ. නමුත් හඳුනාගෙන ඇති ආකාරයෙන් බහුලවම සිදුවී ඇත්තේ ශාරීරික වශයෙන් සිදුවන හිංසනයයි. 

- සිතා මතාම ශරීරයේ කොටස් ස්පර්ශ කිරීම.

- පෞද්ගලික අවකාශ සීමාව උල්ලංඝනය කිරීම.

- අසුන් ගැනීමේදී අයෝග්‍ය හැසිරීම් දැක්වීම.

- හිංසකයාගේ ලිංගික අවයව වින්දිතයාගේ ශරීරයේ ඇතිල්ලීම.

- සිතාමතාම වින්දිතයාගේ කකුල පෑගීම.

- ශරීර කොටස් දෙස අනවශ්‍ය ආකාරයට බලා සිටීම.

- දුරකථන අංකය ඉල්ලීම.

-  කාමුක බැල්ම

යනාදී ක්‍රියාවන් නිරන්තරයෙන් සිදුවන හිංසාකාරී ක්‍රියාවන් ලෙස හඳුනාගෙන තිබේ. 

පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයක් සිදුවීමේ වැඩි ඉඩකඩක් තිබෙන්නේ බොහෝ විට දුරගමන් සේවාවන් තුළදීය. එහිදී ඇතැම් විට දිගු කාලසීමාවක් වින්දිතයා හිංසනයට ලක්වීමට හැකිය. මෙම ක්‍රියා වැඩිපුර සිදුවන්නේ උදෑසන හා සවස කාර්යාලයීය වේලාවන් තුළදීය.

මේ ආකාරයෙන් හිංසනයට ලක්වීම කාන්තාවන්ගේ එදිනෙදා කටයුතුවලටද බාධා ඇති කිරීමට සමත්ව ඇත. ඇතැම් අවස්ථාවලදී දරුණු සහ පිළිකුල් සහගත තත්ත්වයකට පත්වන බව මෙම අධ්‍යනයේදී හෙළිවී තිබේ.

මෑත කාලයේ සිට ලිංගික හිංසනය සඳහා නව තාක්ෂණය යොදාගන්නා අවස්ථාද හඳුනාගෙන ඇත. ඒ අනුව ඇතැම් පිරිස් ජංගම දුරකථනයේ කැමරාව භාවිත කරමින් ඇතැම් තරුණියන්ගේ ශරිරයේ කොටස් පටිගත කරන අතර, සමහර අවස්ථාවලදී එම වීඩියෝ දර්ශන අසභ්‍ය වෙබ් අඩවිවලට විකිණීමටද ඔවුන් කටයුතු කර තිබේ.     

මොකක්ද මේ වෙනුවෙන් ලංකාවේ තිබෙන නීතිය?

බොහොමයක් කාන්තාවන් නොදන්නා කරුණක් බවට පත්ව තිබෙන්නේ ලිංගික හිංසනය සඳහාවූ මෙරට තිබෙන නීතිමය ප්‍රතිපාදන පිළිබඳවය.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව, 'කිසිදු පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රීපුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.'

එමෙන්ම, වර්ෂ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 කොටස අනුව ලිංගික හිංසනය දැඩි දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. එම කොටස අනුව ලිංගික හිංසනය යටතට පහරදීම්, සාපරාධී බලය යෙදවීම, හිංසනයට ලක්වන්නාවූ තැනැත්තා කුපිත කිරීමට හේතුවක් වන වචන හෝ ක්‍රියා අයත් වේ.  

දැන්වත් මේක නවත්තන්න එකතු වෙමු

පොදු ප්‍රවාහන සේවාවන්හිදී විශේෂයෙන්ම බස් රථවලදී සිදුවන හිංසනවලට වින්දිතයන් සුලභවම දක්වන ප්‍රතිචාරය වනුයේ හිංසනය අතරතුරදී හා හිංසනයෙන් පසුවද නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.

හිංසනයෙන් තොර ජීවිතයක් ගතකිරීම ඔබ සතු පරම අයිතිවාසිකමකි. ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන පවා සම්පාදනය කර ඇති අවස්ථාවක ඒ වෙනුවෙන් හිංසනයට විරුද්ධව නැගී සිටීමට හෝ හඬ අවදි කිරීමට ඔබ ලැජ්ජාවට හෝ බියට පත්විය යුතු නැත.

කාන්තා ඔබට ඕනෑම අවස්ථාවක බස් රථයේදී මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුවුවහොත් එවෙලේම පොලිස් හදිසි ඇමතුම් අංක 119 අමතා දැනුම්දී බස් රථය තිබෙන ස්ථානය සඳහන් කරන්නේ නම් පොලීසිය වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බැඳී සිටී. කිසියම් හිංසන ක්‍රියාවක් සිදුවනු දුටු විට ඊට මැදිහත් වීම හෝ එය වැළැක්වීමට හැකියාවක් අවට සිටින්නන්ට තිබේ.

එමගින් හිංසකයන් සහ එවැනි ක්‍රියා අධෛර්යයට පත්කළ හැකිය. මෙවැනි ක්‍රියා පිටු දැකීම සඳහා පවතින හොඳම විසඳුම වන්නේද මෙයයි. හෙට දිනයේ මේ හිංසාවට පත්වන්නේ ඔබේම සොයුරිය හෝ මව හෝ බිරිඳ හෝ විය හැකිය. ඒ නිසා ඔබත් මෙය ඔබේ වගකීමක් බවට පත් කර ගන්න.

Photo 3 Photo 4