Category Archives: technology

මතක ධාවකයක් තුළ පරිගණකයක්! Gnarbox 2.0 SSD

ඔබ වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙකු හෝ වීඩියෝ ශිල්පියෙකු නැතිනම් වීඩියෝ බ්ලොගර් කෙනෙකු වුවත්, ඔබ පිටත රූගත කිරීමක් හෝ ඡායාරූප ගැනීමක් සිදුකරන්නේ නම් එයට පිටත් වීමට පෙර සිතිය යුතු කරුණු කාරණා ගණනාවක් තිබේ. ඔබට විය හැකි බොහෝ දෑ, රූගත කිරීමට හෝ ඡායාරූප ගැනීමට ප්‍රථම සැලසුම් කිරීමට සිදුවනු ඇත. ඔබ ගෙන යා යුතු දේ මොනවාද යන්නද එම සැලසුම් කිරීමට අයත් වේ. මෙහිදී ඔබේ කැමරා, ලෙන්ස, අමතර බැටරි, අමතර මතක චිපයන්, ඩ්‍රෝන් යානාවන්, ත්‍රිපාද ඇතුළු අනෙකුත් වුවමනා දහසකුත් එකක් අතිරේක උපාංග හෝ උපකරණයන්ට අමතරව, බොහෝ විට ඔබට ලැප්ටොප් පරිගණකයක්ද තිබීම අවශ්‍ය වනු ඇත. එයට හේතුව වන්නේ ඔබ එක දිගට රූගත කිරීම්, ඡායාරූප ගැනීම් සිදුකරන්නේ නම් එක් මොහොතකදී ඔබට මතක චිපයන්ගේ ඇති අන්තර්ගතයන් සුරක්ෂිත කළ යුතු වෙනත් උපාංගයක් අවශ්‍ය වන බැවිනි. එසේම එම මොහොතේම යම් යම් සංස්කරණයන් සිදු කිරීමටද අවශ්‍ය මෘදුකාංගයන් ස්ථාපිත ලැප්ටොප් උපාංගයකින් සැලසෙන සේවය සුළු කොට තැකිය නොහැකිය.

exklim-ex-core-external-gpu-1

කෙසේ නමුත් ඔබට අවශ්‍ය සියලුම උපාංග සහ උපකරණ අතරතුර ලැප්ටොප් පරිගණකයක්ද ‍රැගෙන යෑම අසීරු කරුණකි. එහි ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවන ගැටළු මෙන්ම, ඔබට ගෙන යා හැකි උපාංග, උපකරණ ප්‍රමාණයේ සීමාවන්ද මෙම අසීරුතාවට හේතු වනු ඇත. 
මෙයට වසර තුනකට පමණ පෙරාතුව හඳුන්වා දුන් Gnarbox උපාංගය ඉදිරිපත් වූයේ මෙම ගැටළුවට සාර්ථක විසඳුමක් ලෙසිනි. සරලව හඳුන්වන්නේ නම් Gnarbox යනු ස්ථාපනය කළ පරිගණක පද්ධතියක් සහිත මතක ධාවකයක් ලෙසින් හැඳින්විය හැකිය. කෙසේ හෝ මේ වනවිට එම නිෂ්පාදන සමාගම සිය නවතම යාවත්කාලීන උපාංගය වන Gnarbox 2.0 මතක ධාවකයද නිර්මාණය කිරීමට පියවර තබා ඇත. මෙම සටහන ඒ සම්බන්ධයෙනි.

පැරණි Gnarbox උපාංගය සහ නව Gnarbox 2.0 උපාංගය සසඳා බලන විට බැලූ බැල්මට පෙනී යන්නේ Gnarbox 2.0 හි නිෂ්පාදකයන් විසින් සඳහන් කරන වැඩිදියුණු කිරීම්වලට අමතරව, වඩාත් හැඩි දැඩි, රළු භාවිතයට ඔරොත්තු දෙන ලෙසින් තැනූ කේසිනයක ආරක්ෂාවද තිබෙන බවයි. ඊට අමතරව මෙහි හැකියාවන් සහ විශේෂාංගයන්ද වඩාත් ප්‍රායෝගික මට්ටමක තිබෙන අතර, පරිශීලකයින්ට ‍තෝරාගත හැකි මතක ධාරිතා සංස්කරණ කිහිපයකින්ම මෙය පැමිණීමද විශේෂත්වයකි.

මෙහි මුල් උපාංගය සේම Gnarbox 2.0 ද නිර්මාණය කොට ඇත්තේ ඡායාරූප හෝ වීඩියෝ ශිල්පියෙකුට නැතිනම් ඡායාරූප/වීඩියෝ අවශ්‍යතා ඇති ඕනෑම අයෙකුට තම ලැප්ටොප් උපාංගය වෙනුවට භාවිත කළ හැකි වඩාත් ජංගම, හුරුබුහුටි, ප්‍රමාණයෙන් කුඩා උපාංගයක් ලෙසිනි. මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ Gnarbox 2.0 උපාංගය ලැප්ටොප් උපාංගයක් වෙනුවට භාවිත කළ හැක්කේ වීඩියෝ හෝ ඡායාරූප බැක්-අප් කිරීම, කළමනාකරණය කිරීම, සංස්කරණය කිරීම හෝ රෙන්ඩර් කිරීම වැනි කාර්යයන් සඳහා මිස වෙනත් එදිනෙදා පරිගණක අවශ්‍යතා සඳහා නොවන බවයි.

මෙම උපාංගය මූලිකවම බාහිර SSD (Solid State Drive) මතක ධාරිතා උපාංගයක් වන අතර, එහි NVMe SSD මතකයක් තිබේ. එය ගිගාබයිට් 128 සිට ටෙරාබයිට් 1 දක්වා වන ධාරිතා සංස්කරණයන්ගෙන් වෙළෙඳ පොළට පැමිණෙනු ඇත. එසේම සම්මත සාම්ප්‍රදායික බාහිර මතක ධාවකයක දක්නට නොලැබෙන ලෙසින් මෙහි 2.4GHz Intel quad-core Atom ප්‍රොසෙසරයක්, ගිගාබයිට් 4 ක LPDDR3 ‍රැම් මතකයක්, 4 Core Intel HD Graphics ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරයක් ස්ථාපනය කොට ඇත. මෙහි SD Card චිපයන් ඇතුළු කිරීම සඳහා විවරයක් මෙන්ම ‍රැහැන් රහිත Wi-Fi හැකියාවද තිබේ. එසේම මෙහි USB-C ද්වාරයන් දෙකක් හා Micro HDMI ද්වාරයන් ද තිබේ. 3200mAh Lithium ion බැටරියක්ද මෙහි ඇත.

exklim-ex-core-external-gpu-2

මෙහි ඉදිරිපස කුඩා OLED තිරයක් මෙන්ම එයට පහතින් සුවිශේෂී බොත්තම් හතරක පාලක යාන්ත්‍රණයක්ද පිහි‍ටුවා ඇති අතර, ඔබට පහසුවෙන්ම වෙනත් උපාංගයක උපකාරය රහිතව SD කාඩ්පතකින් හෝ ෆ්ලෑෂ් මතක ධාවකයකින් හෝ සෘජුවම USB සම්බන්ධතාව ඔස්සේ දත්ත මෙම Gnarbox 2.0 මතක ධාවකයට සුරක්ෂිත කිරීමට හැකිය. මෙහිදී SD කාඩ්පත් සඳහා වන වේගය තත්පරයකට මෙගාබයිට් 75-100 දක්වා වන අතර, USB සම්බන්ධතාවය හරහා දත්ත උඩුගත කරන්නේ නම් තත්පරයකට මෙගාබයිට් 400-500 දක්වා වේගයක් ලැබෙනු ඇත. මෙයද වෙනත් ක්‍රමයන් ඔස්සේ ලැප්ටොප් උපාංගයකට ඔබේ කැමරාවන්ගේ දත්ත උඩුගත කිරීමේදී ලැබෙන සාපේක්ෂ දුර්වල වේගය වෙනුවට වැඩිදියුණු වීමක් ලෙසින් ගණන් ගැනීමට හැකිය. එසේම මෙහි බැටරි බලය ඔබට 
එකදිගට පැය පහක පමණ කාලයක් දත්ත බැක්-අප් කිරීමටද, පැය තුනක පමණ කාලයක් සංස්කරණ කටයුතු සඳහාද අවකාශය ලබාදෙනු ඇත. එසේම මෙම බැටරිය ඔබට පහසුවෙන් ගලවා ඉවත් කළ හැකි බැවින්, අමතර බැටරියක් ගෙන යෑම පමණක් වඩාත් වැඩි කාලයක් Gnarbox 2.0 උපාංගයේ මෙහෙයුම් බලය ලබාගැනීම සඳහා ප්‍රමාණවත් වනු ඇත.

exklim-ex-core-external-gpu-3

මෙම Gnarbox 2.0 උපාංගයේ පරිගණක පද්ධතිය සමගින් ඔබට ස්මාට්ෆෝනයේ හෝ ටැබ්ලට් උපාංගයේ ස්ථාපනය කළ හැකි මොබයිල් ඇප් හතරක් ලැබෙනු ඇත. ඒවා නම් වශයෙන් Safekeep, Selects, Sequence සහ Showcase ලෙසින් දැක්වේ. මෙයින් Safekeep යනු Dropbox සහායද සහිත බැක්-අප් සහ ගොනු කළමනාකරණ මෙවලමක් වේ. ඡායාරූප සහායක යෙදුමක් වන Selects මගින් RAW ඡායාරූප නැරඹීමට සහ මූලික වර්ණ නිවැරදි කිරීම් සිදුකිරීමට අවකාශ සපයනු ඇත. එසේම වීඩියෝ සංස්කරණ යෙදුමක් වන Sequence මගින් වීඩියෝ ක්ලිපයන් සඳහා මූලික සංස්කරණයන් කිරීමට ඉඩ ලබාදීම සහ වීඩියෝ ක්ලිපයන් රෙන්ඩර් කිරීමට සහ වෙනත් යෙදුම් වෙත එක්ස්පෝට් කිරීමට පහසුකම් සලසයි. අවසාන වශයෙන් Showcase මගින් ඔබට විශාල තිරයකට උපාංගය HDMI ද්වාරය ඔස්සේ සම්බන්ධ කොට, වීඩියෝ සහ ඡායාරූප නැරඹීමට ඉඩ සලසයි. මෙම යෙදුම් සතරට අමතරව Adobe Lightroom CC, Lumafusion, සහ Gnarbox Classic යන මෘදුකාංගයන් හා සම්පූර්ණ අනුකූලත්වය සමගින් Gnarbox 2.0 උපාංගය වෙළෙඳ පොළට පැමිණෙනු ඇත.
මෙම සම්පූර්ණ උපාංගයම දැඩි, රළු භාවිතයට ඔරොත්තු දෙන බාහිර ආවරණයකින් නැතිනම් කේසිනයකින් යුක්ත වන අතර, එය දුහුවිල්ලෙන් සහ ජලයෙන් ආරක්ෂා වන බවට පැවසෙන IP67 සහතිකයද අත්පත් කොටගෙන ඇත. එසේම මෙහි මානයන් අඟල් 6 X 3 X1.16 ප්‍රමාණයේ වන අතර, ඔබට මෙය ඕනෑම රළු වාතාවරණයක භාවිත කිරීමට හැකිවාක් මෙන්ම පහසුවෙන් ඔබේ කැමරා බෑගයේ සුළු ඉඩක තැන්පත් කොට එහා මෙහා ගෙන යෑමටද හැකියාව ලැබෙනු ඇත.
මෙය මෙම වසර අවසාන කාර්තුවේදී පමණ වෙළෙඳ පොළට නිකුත් කිරීමට Gnarbox 2.0 නිෂ්පාදකයන් බලාපොරොත්තු වේ.

වැඩි විස්තර සඳහා: 
goo.gl/HqAkEv

OPPO F7 ශ්‍රී ලංකා වෙළෙඳපොළට

නවතම AI Beauty 2.0 තාක්ෂණය ඇතුළු තවත්විශේෂාංග රාශියක් සමගින් OPPO F7 දුරකථනය දියත් කිරීමට පසුගියදා කටයුතු කළේය. Super Full Screen සහ වැඩිදියුණු කළ multi-tasking මෘදුකාංග සමග පැමිණෙන එය 64 GB සහ 4 GBRAM සහිතය. අද (25දා) සිට දිවයින පුරා අලෙවිසැල් Solar Red, Moonlight Silver සහ Diamond Black වර්ණවලින් මිලදීගත හැකිවේ.

OPPO F7 දුරකථනයේ Artificial Intelligence තාක්ෂණය තවදුරටත් දියුණු කර ඇති අතර, එය අති-නවීන විශේෂාංග රැසකින්ද සමන්විතයි.High Dynamic Range (HDR) සහිත 25MP කැමරාවක්ද ඇතුළත්ය.

25MP X Real-Time Sensor HDR- OPPOF7 දුරකථනයේ high-resolution 25MP ඉදිරිපස කැමරාවක් සමග real-time High Dynamic Range (HDR) sensor එකක් ඇතුළත් වේ. එම නිසා දුරකථනයෙන් ලබාගත් ඡායාරූප ලොව දියුණු කැමරාවලින් ලබාගත් ඡායාරූපවල තත්ත්වයට ආසන්න මට්ටමේ පවතී.

AI Beauty 2.0 Technology – —Your Beauty Expert- මෙහිදී මුහුණුත හඳුනාගැනීමේ හැකියාව (Face recognition) සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව ඡායාරූප වඩාත් අලංකාර කිරීමේ හැකියාව වැඩිදියුණු වී ඇති අතර,භාවිත‍ කරන පුද්ගලයාගේ රුචි අරුචිකම් හඳුනාගෙන ඒවා මතක තබාගෙන ක්‍රියාත්මක වීමේ හැකියාවද එය සතු ය.

Super Full Screen 2.0 සමග 19:9 Aspect Ratio -F7 හි ඇති 2280 x 1080 resolution, 6.23-inch FHD+ Super Full Screen තිරය වඩාත් වෛවර්ණ, සුපැහැදිලි දර්ශන ලබාදෙයි. ඉතාමත් පහසුවෙන් අත්ල මත රඳවාගත හැකි පරිදි එය සැලසුම් කර තිබේ.

නවතම ColorOS 5.0සමග වැඩිදියුණු කළදෘඩාංග - 64-bit 4GBOcta-core ප්‍රොසෙසරය සමග වැඩිදියුණු කළ මෙහෙයුම් ද්ධතියක්ත්‍ F7හි යොදා ඇත.Android 8.1 පදනම්කරගත් ColorOS 5.0 මෙහෙයුම් පද්ධතිය වඩාත් හොඳින් ක‍්‍රියාත්මක කිරීම සඳහා ඊට AI තාක්ෂණයද ඇතුළත් කර තිබේ.

ඡායාරූප ඉසුරු පෙරේරා

AID_9125 AID_9131 AID_9144 AID_9160 AID_9174 AID_9179 AID_9183oppo-f7-bd-price

 

අල්ට්‍රාපෝටබල් ගේමින්ග් පරිගණක ලෝකයට නව තරගකරුවෙක් Gigabyte Aero 15X 2018

2018-gigabyte-aero-15x-6

වර්තමානයේදී බොහෝ විට ලැප්ටොප් සම්බන්ධයෙන් ඇසෙන වචනයක් වන්නේ අල්ට්‍රාපෝටබල් යන්නයි. මෙම අල්ට්‍රාපෝටබල් නැතිනම් සබ්නෝට්බුක් උපාංග යනුවෙන් හැඳින්වෙන්නේ සාමාන්‍ය නෝට්බුක් පරිගණකයකට වඩා ප්‍රමාණයෙන් කුඩා සහ සැහැල්ලු, ජංගම නිමාවකින් යුතු ලැප්ටොප් උපාංගයකි. මෙම වර්ගයේ උපාංගයන් නිෂ්පාදනය ඇරඹුනේ අද ඊයේක නොවූවත්, අල්ට්‍රාපෝටබල් යන නාමය සුලභව ඇසෙන්නට පටන් ගත්තේ මෑතකදී වග කිව හැකියි. මෙයට හේතුව වන්නේ තම ලැප්ටොප් නිෂ්පාදනයන් හැකිතාක් සිහින්, සැහැල්ලු, ජංගම නිමාවකින් යුතුව වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට ලැප්ටොප් නිෂ්පාදකයන් උත්සුක වීමත් සමගින් ඒ සම්බන්ධයෙන් ඇතිව තිබෙන තරගයයි. සාමාන්‍යයෙන් සබ්නෝට්බුක් නැතිනම් අල්ට්‍රාපෝටබල් ලැප්ටොප් උපාංගයක තිර ප්‍රමාණය විය යුත්තේ උපරිම අඟල් 14 වුවත්, වර්තමානයේ දක්නට ලැබෙන ඇතැම් අල්ට්‍රාපෝටබල් නමින් හැඳින්වෙන ලැප්ටොප් උපාංගයන්ගේ තිර ප්‍රමාණයන් පහසුවෙන්ම ඉන් එපිටට ගොස් තිබෙනු දක්නට ලැබේ. එනමුත් මෙම නවීන ලැප්ටොප් උපාංගයන් කෙතරම් සිහින් සැහැල්ලු හැඩයකින් සහ ප්‍රමාණයකින් යුක්ත වේද යන්න සලකා බලන විට එය ගැටළුවක් නොවේ.

අල්ට්‍රාපෝටබල් උපාංගයන් සම්බන්ධයෙන් මෙතරම් දුරට සඳහන් කිරීමට හේතුව වන්නේ, සාමාන්‍ය ලැප්ටොප් උපාංග පමණක් නොව සාමාන්‍යයෙන් වඩාත් හැඩිදැඩි ලෙසින් නිමවෙන ගේමින්ග් පරිගණක උපාංගයන් පවා මේ වනවිට අල්ට්‍රාපෝටබල් උපාංගයන් ලෙසින් නිර්මාණය කිරීමට උනන්දු වෙමින් සිටිනා නිසයි. මෙම තරගයට එක් වන නවතම තරගකරුවා වන්නේ Gigabyte සමාගමෙන් නිර්මාණය කරන ලද Gigabyte Aero 15X 2018 උපාංගයයි.
මෙම ලැප්ටොප් 2018 Gigabyte Aero 15X උපාංගයේ තිරය අඟල් 15.6 ක ප්‍රමාණයේ වන අතර, එහි විශේෂත්වය වන්නේ තිරයේ ගැටිය අතිශයින්ම සිහින් වීමයි. එනම් එහි Full HD 144Hz IPS පැනලය දෙපස සහ ඉහත දාරයන් අද්දර දක්වාම විහිදී ඇති අතර, එම නිසා එහි වෙබ් කැම් එකද සාම්ප්‍රදායික ලැප්ටොප් උපාංගයක මෙන් ඉහළින් නොව, පහත අල්ලු අසල පිහි‍ටුවා ඇත.

මෙහි වැඩිම හැකියාවන් සහිත සංස්කරණයේ තිරයේ විභේදන බලය 4K ප්‍රමාණයේ වන අතර, එය සියයට සියයක්ම Adobe RGB ආවරණයෙන් යුක්ත වේ. එසේම එහි X-Rite Pantone තාක්ෂණයද අඩංගු වන බැවින්, මෙම තිරය හරහා ලබාදෙන සුපැහැදිලි වර්ණයන් අත්විඳීම සඳහා ඔබට අමුතුවෙන් සුසර කිරීමක් අවශ්‍ය වන්නේ නැත.

2018-gigabyte-aero-15x-2

මෙම 2018 Gigabyte Aero 15X උපාංගයේ සිහින්, හුරුබුහුටි නිමාවෙන් යුතු කේසිනය තුළ 8th Gen Intel® Core™ i7-8750H ප්‍රොසෙසරයක්, Max-Q සැලසුම සමගින් පැමිණෙන ගිගාබයිට් 8ක NVIDIA® GeForce® GTX 1070 GDDR5 ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරයක් මෙන්ම ගිගාබයිට් 16ක DDR4 ‍රැම් මතකයක්ද ඇත. එසේම මෙහි අමතර ‍රැම් කාඩ්පතක් සඳහාද ඉඩ තබා ඇති අතර, අවශ්‍ය නම් පරිශීලකයෙකුට තවත් ගිගාබයිට් 16ක ‍රැම් කාඩ්පතක් එයට සවි කිරීමට හැකිය. මෙහි ප්‍රධාන මතක ධාරිතාව ලෙසින් ගිගාබයිට් 512ක SSD ධාවකයක් පිහි‍ටුවා ඇති අතර, එහි තවත් M.2 PCI-E විවරයන් දෙකක් ඇත්තේ ඔබට අවශ්‍ය ආකාරයෙන් අමතර මතක ධාවකයන් සවි කර ගැනීමටයි.  මෙසේ බලන විට ඕනෑම නවීන AAA ශ්‍රේණිගත කිරීමේ පවත්නා වීඩියෝ ක්‍රීඩාවක් පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට මෙම ලැප්ටොප් උපාංගයට හැකියාව ඇත.

මෙවැනි ජවබලැති දෘඪාංග හැකියාවන් භාවිත කිරීමේදී පැන නගිනා ගැටළුවක් වන්නේ උපාංගය අභ්‍යන්තරයේ උෂ්ණත්වය මනාව පාලනය කිරීමයි. මේ සඳහා මෙහි තාපන පංකාවන් ද්විත්වයක් සහ තාපන-නළ ද්විත්වයක්ද තිබේ.
මෙයට පෙර Gigabyte සමාගමේ ගේමින්ග් පරිගණකයන්ගේ පවා දක්නට ලැබුණු විශේෂත්වයක් වූයේ සාපේක්ෂව වඩාත් වැඩි ජව බලයකින් යුක්ත බැටරියක් තිබීමයි. මෙහිද ඒ ලක්ෂණය දක්නට ලැබේ. මෙම 2018 Gigabyte Aero 15X ලැප්ටොප් පරිගණකයේ 94.24Wh ප්‍රමාණයේ බැටරියක් තිබෙන අතර, සාමාන්‍ය කටයුතු සඳහා භාවිත කිරීමේදී පැය 8-10ත් අතර ප්‍රමාණයක් දක්වා කාලයක් එක් ආරෝපණයකින් බැටරි බලය ‍රැඳී තිබෙනු ඇත. පරිගණක ක්‍රීඩා කිරීමේදී මෙම ආයුකාලය සැලකිය යුතු තරමින් අඩු වන බවද අමුතුවෙන් කිව යුතු නොවේ.

2018-gigabyte-aero-15x-1

මෙහි සම්පූර්ණ ප්‍රමාණයේ යතුරු පුවරුවක් තිබෙන අතර, එහි පසු-ආලෝකන හැකියාවද තිබේ. මෙහිදී ඔබට එක් එක් යතුරක් සඳහා වන ආලෝකයන් අවශ්‍ය පරිදි සැකසීමටද හැකියාව වෙනත් ඕනෑම විශිෂ්ට ගේමින්ග් පරිගණකයක මෙන් ලබාදී ඇත.
මෙහි USB 3.1 පෝට් තුනක්, HDMI පෝට් එකක්, Mini DP පෝට් එකක්, Ethernet පෝට් එකක් මෙන්ම 40Gbps දක්වා දත්ත හුවමාරු වේගයක් ලබාගත හැකි Thunderbolt™ 3 පෝට් එකක්ද තිබේ. එසේම UHS-II කාඩ් රීඩරයක්ද මෙහි තිබේ. Dolby Atmos® තාක්ෂණය සමගින් මෙහි ප්‍රබල ස්පීකර් පද්ධතියක්ද තිබේ.

මේ වනවිට වෙළෙඳ පොළට පැමිණ ඇති සමකාලීන අල්ට්‍රාපෝටබල් ගේමින්ග් ලැප්ටොප් උපාංගයන් සමගින් සංසන්දනය කර බැලීමේදී 2018 Gigabyte Aero 15X උපාංගයේ දක්නට ලැබෙන කැපී පෙනෙන වෙනස වන්නේ, එය ගේමින්ග් පරිගණකයක් ලෙසින් නොපෙනීමයි. එනම් අධි තාක්ෂණික පෙනුමකින් තොරව, එහෙත් ඉහළ පරිගණක බලයක් සහිතව මෙය නිර්මාණය කොට ඇත. මෙය පරිගණක ක්‍රීඩා සඳහාම පමණක් නොව, වෙනත් ඉහළ පරිගණක බලයක් අවශ්‍ය වන ඕනෑම කාර්යයක්ද ඉ‍ටු කර ගැනීමට හැකි පරිද්දෙන් බහුකාර්ය පරිගණකයක් ලෙසින් නිර්මාණය කොට තිබීම ඇතැම්විට එයට හේතුව විය හැකිය.

අල්ට්‍රාපෝටබල් ගේමින්ග් ලැප්ටොප් ලෝකයේ අනාගතය

17_armed

ලෝකයේ පරිගණක ක්‍රීඩා ලෝලීන් කෙතරම් සංඛ්‍යාවක් සිටීදැයි සංඛ්‍ය ාලේඛනයන් අප සතුව නොමැති වුවත්, එය සමස්ත පරිගණක පරිශීලකයන් ප්‍රමාණයෙන් අතිශයින්ම දැවැන්ත ප්‍රතිශතයක් බව අපට නිසැකවම කීමට හැකියාව තිබේ. එම ප්‍රමාණයෙන්ද සැලකිය යුතු කොටසක් තම පරිගණක ක්‍රීඩා අත්දැකීම් ලැබීම සඳහා ඉහළ හැකියාවන් සහිත පරිගණක යන්ත්‍ර, ඉහළ ක්‍රීඩා අත්දැකීමක් ලබාදීම සඳහාම නිර්මාණය කළ උපාංග සඳහා ආයෝජනය කරන්නන් වේ. ලෝකයේ ගේමින්ග් පරිගණක මෙන්ම පරිගණක ක්‍රීඩා සඳහාම සුවිශේෂී වූ අමතර උපාංගයන් නිෂ්පාදනය ඉහළ තලයක පවතින්නේද එබැවිනි. 

කාලයකට පෙරාතුව තිබූ දැවැන්ත ඩෙක්ස්ටොප් පරිගණක ගේමින්ග් පද්ධතීන් හා තරග වැදීමට ගේමින්ග් ලැප්ටොප් උපාංගයන් බිහිවූ අතර, ඒවාද බොහෝ කාලයක් ගතවන තුරුම හැඩි දැඩි, 
අධි තාක්ෂණික උපාංග ලෙසින් වෙළෙඳ පොළට ඉදිරිපත් විණි. කෙසේ වෙතත් මෙම ගේමින්ග් ලැප්ටොප් නිෂ්පාදනය කළ සමාගම් විය යුතු පරිද්දෙන්ම, තම උපාංගයන් ශක්‍යතා‍ෙවන් දියුණු කරනා අතරේම වඩ වඩාත් හුරුබුහුටි නිමාවෙන් ඉදිරිපත් කිරීමට වෙහෙස ගත් අතර, වර්තමානයේ දක්නට ලැබෙනා වඩාත් සිහින් හැඩයකින් සහ අධි තාක්ෂණික නිමාවකින් යුතු ගේමින්ග් ලැප්ටොප් උපාංග එම වෙහෙසේ ප්‍රතිඵල ලෙසින් ඉදිරිපත් කළ හැකිය. මෙම නව ගේමින්ග් ලැප්ටොප් පරම්පරාවක අනාගතය නියෝජනය කරනා මුහුණුවරකින් වෙළෙඳ පොළට ඉදිරිපත්ව ඇති නවතම උපාංගය ASUS ROG Zephyrus M නමින් හැඳින්විය හැක.

ඉන්ටෙල් සමාගමේ අට වැනි පරම්පරාවේ ප්‍රොසෙසරයකින් ධාවනය වන ලෝකයේ සිහින්ම ගේමින්ග් පරිගණකය ලෙසින් හඳුන්වා දෙනු ලබන මෙම ASUS ROG Zephyrus M උපාංගය 
අඟල් 0.78 ක ප්‍රමාණයේ සිහින් බඳකින් යුක්ත වන අතර, එය දැනට වෙළෙඳ පොළේ ඇති අල්ට්‍රාපෝටබල් කාණ්ඩයේ ලැප්ටොප් උපාංගයකට වඩා හැඩි දැඩි නොවේ. මෙහි හුරුබුහුටි නිමාව සමගින් වුවත් මෙයට ඩෙක්ස්ටොප් ගේමින්ග් පරිගණක පද්ධතියක වැනි ප්‍රබල පරිගණක බලයක් ලබාදීමට හැකියාව තිබෙනා අතර, ඒ මගින් ඔබට වෙළෙඳ පොළේ දක්නට ලැබෙනා AAA කාණ්ඩයේ වඩාත් බරපතළ පරිගණක බලයක් අවශ්‍ය වන ක්‍රීඩාවන් වුවත් පහසුවෙන් ධාවනය කිරීමට හැකියාව ලබාදෙනු ඇත.

07_perfect

මෙම ASUS ROG Zephyrus M ගේමින්ග් ලැප්ටොප් උපාංගය ඉන්ටෙල් සමාගමේ අට වැනි පරම්පරාවේ 3.9GHz Intel Core i7-8750H ප්‍රොසෙසරයකින් ධාවනය වන අතර, එයට එතෙක් මෙතෙක් නිර්මාණය වී ඇති ප්‍රොසෙසර බලය ඉතාමත් අධිකව භාවිත කරන නවීන මෘදුකාංගයක් ඉතාමත් පහසුවෙන් ධාවනය කිරීමට හැකියාව ඇත. මේ හා සම වීම සඳහා මෙහි ගිගාබයිට් 16ක DDR4 ‍රැම් මතකයක්ද ස්ථාපනය කොට ඇත. මෙම ‍රැම් මතකය අවශ්‍ය නම් ඔබට ගිගාබයිට් 32 දක්වා ඉහළ දැමීමටද අවකාශය ඇත. මෙහි පද්ධතිය තුළම වන ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරයක් මෙන්ම වඩාත් ප්‍රබල ගිගාබයිට් 8ක NVIDIA GeForce GTX 1070 ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරයක්ද NVIDIA G-SYNC™ තාක්ෂණය ද සමගින් ස්ථාපනය කොට ඇත. මෙවැනි සැකසුමක් තිබීම මගින් ලැබෙන වැඩිමනත් වාසිය වන්නේ, ඔබ සිදුකරන කාර්යයට අනුකූලව භාවිතා කරනා ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරය වෙනස් කිරීම ඉතාමත් පහසුවෙන් සිදුකිරීමට ඔබට අවකාශය තිබීමත්, ඒ අනුසාරයෙන් ASUS ROG Zephyrus M උපාංගයේ බැටරි ආරෝපණය පවත්නා කාලය දීර්ඝ කරගැනීමට හැකියාව ලැබීමත් වේ. මෙහි මතක ධාරිතාවන් සම්බන්ධයෙන් සඳහන් කිරීමේදී, මෙහෙයුම් පද්ධතිය සහ වෙනත් අත්‍යවශය සහායක යෙදුම් සඳහා මෙහි  ගිගාබයිට් 256ක හෝ 512ක NVME PCIE® SSD මතකයක් අතුරින් එක් සංස්කරණයක් ඔබට ‍තෝරාගැනීමට හැකිය. පරිගණක ක්‍රීඩා ඇතුළු ඔබට අවශ්‍ය අනෙකුත් ගොනු සඳහා ටෙරාබයිට් 1ක FIRECUDA™ SSHD මතකයක්ද මෙහි ස්ථාපනය කොට ඇත.

මෙහි නවීන ගේමින්ග් පරිගණකයකටම සුදුසු වන ආකාරයේ අඟල් 15.6ක Full HD IPS පැනලයක් ලෙසින් තිබේ. එසේම මෙහි NVIDIA frame synchronization තාක්ෂණයද භාවිත වන්නේ පරිගණක ක්‍රීඩාවක් අතරතුරදී අතිශයින්ම මටසිලි‍ටු ග්‍රැ‍ෆික් අත්දැකීමක් ලබාදීම සඳහා වේ. එසේම Wide-view තාක්ෂණය මගින්, අංශක 178ක කෝණයකදී වුවද පරිගණක තිරයට ඉතාම නිවැරදි වර්ණයන් දර්ශනය කරවීමට හැකියාව ඇත. එසේම ඕනෑම ගේමින්ග් පරිගණකයක මෙන් මෙහිද ඔබට අවශ්‍ය ලෙසින් වර්ණ සැකසුම් කළ හැකි, වර්ණ රටා ක්ෂේත්‍රයන් 4කට අයත් යතුරු පුවරුවක්ද මෙහි ඇත.

මෙවැනි අධිබලැති යන්ත්‍රයක් සිසිලනය කිරීම සඳහා සුවිශේෂී ක්‍රමවේදයන් ස්ථාපනය කොට තිබිය යුතු බැව් නොකිවමනායි. මෙහි අධිබලැති දුහුවිලි-ප්‍රතිරෝධී තාපන පංකා දෙකක් පිහි‍ටුවා ඇති අතර, මධ්‍යම සැකසුම් ඒකකය, ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරය ඇතුළු සෑම බලගැන්වුම් කොටසක්ම ආවරණය කරමින් විහිද යන තාපන-නළ පද්ධතියක්ද තිබේ. එසේම මෙහි ඇති සුවිශේෂී සිසිලන ක්‍රමවේදයක් වන්නේ, උපාංගයේ තිරය විවෘත කිරීමත් සමගින් උපාංගය එහි පාදමෙන් මඳක් ඉහළට එසැවී වායු සංසරණය වඩාත් කාර්යක්ෂම කිරීමයි. මෙහි නිෂ්පාදකයන්ට අනුව එම ක්‍රමවේදය මගින් සාමාන්‍ය ලැප්ටොප් සැලසුමකට වඩා 20%ක් කාර්යක්ෂමව වායු සංසරණයත්, අභ්‍යන්තර උෂ්ණත්ව පාලනයත් සිදුවේ.

asus-rog-zephyrus-m-1

කිලෝග්‍රෑම් 2.45ක් බ‍රැති මෙම උපාංගය සහ වර්ණයන්ගෙන් යුතුව, ඔපදැමූ ඇලුමිනියම් නිමාවකින් යුක්ත වන අතර, ගේමින්ග් ලැප්ටොප් පරිගණකයක තිබිය යුතු අධිතාක්ෂණික, නවීන පෙනුම එයින් ලබාදී ඇත. මෙහි USB 3.1 Gen2 Type C පෝට් එකක්, USB 3.1 Gen2 පෝට් 4ක්, HDMI 2.0 පෝට් එකක් සහ 3.5mm හෙඩ්ෆෝන් සහ මයික්‍රොෆෝන් කොම්බෝ ජැක් එකක්ද තිබේ. එසේම මෙහි Wi-Fi සහ Bluetooth ‍රැහැන් රහිත සම්බන්ධතාවන්ද තිබේ. ඔබට ASUS ROG Zephyrus M උපාංගයේ තිරය ඔබේ පරිගණක ක්‍රීඩා අත්දැකීම් සඳහා ප්‍රමාණවත් නොවන බව හැ‍ඟෙන්නේ නම්, පහසුවෙන්ම සුවිශාල මොනිටරයන් කිහිපයක් වෙත මෙය සම්බන්ධ කිරීමටද හැකියාව ඇත.

මෙවැනි අතිශයින්ම සිහින්, හුරුබුහුටි නිමැවුමක සිර වූ අධිබලැති පරිගණක යන්ත්‍රයක් තුළ ගැටළුවක් තිබීමට නොහැකිද? සැබවින්ම මෙහි එක් අඩුවක් තිබෙන නමුත් එය සැලකිය යුතු එකක් නොවේ. එනම් මෙහි බැටරි බලයයි. සාමාන්‍ය ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරයෙන් ක්‍රියාත්මක වීමේදී එක දිගට පැය 6කට ආසන්න කාලයක් ASUS ROG Zephyrus M උපාංගය ක්‍රියාත්මක වන අතර, සමගින් අධිබලැති ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරය හා ක්‍රියාත්මක වීමේදී එම බැටරි ආරෝපණය පවත්නා කාලය පැය 3 කට ආසන්න කාලයක් දක්වා පහත බසිනු ඇත. මෙම ගැටළුව විසඳා ගැනීමට අපහසු එකක් නොවෙනා අතර, ASUS ROG Zephyrus M ගේමින්ග් ලැප්ටොප් උපාංගයේ ශක්‍යතාවන් හා සසඳා බැලීමේදී එය නොතකා හැරීමට සිදුවනු ඇත.
යූටියුබ් වීඩියෝව නරඹන්න:

 

ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය සමග පැමිණෙන පළමු ටැබිලට් උපාංගය Acer Chromebook Tab 10

ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය සිය ප්‍රමුඛතම පරිශීලක අතුරු මුහුණත ලෙසින් යොදාගනිමින් නිර්මාණය වූ ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය ලැප්ටොප් උපාංගයන් සමගින් ජනප්‍රිය වී තිබුණත්, මෙතෙක් ටැබ්ලට් උපාංගයන් හා දක්නට නොලැබුණි. එනයින්, Acer Chromebook Tab 10 ටැබ්ලට් උපාංගය ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය මතින් ධාවනය වන ප්‍රථම ටැබ්ලටය ලෙසින් වාර්තා වනු ඇත.


acer-chromebook-tab-10-1

ජාත්‍යන්තරව ගත් විට විශේෂයෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ප්‍රචලිතව ඇති ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය සිය වපසරිය ලැප්ටොප් උපාංගයන්ගෙන් එපිටට පුළුල් කරමින් සැරසෙන්නේ නව වෙළෙඳ පොළක් අත්පත් කරගැනීමටද යන්න පිළිබඳවද බොහෝ දෙනෙකු විමතිය පළ කර සිටී. කෙසේ නමුත් එවැනි පදනමක් සඳහා මූලික කොන්දේසිය වන්නේ, ගූගල් ක්‍රෝම් නව ටැබ්ලට් උපාංගයන් තුළද ජනප්‍රිය වන්නේ නම් පමණි. සැබවින්ම Acer Chromebook Tab 10 උපාංගය නිර්මාණය වන්නේද ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කොටගනිමින් වේ. එය ඔවුන්ගේ Bringing Classrooms to Life යන ප්‍රවර්ධන පාඨයෙන්ම පැහැදිලි වනු ඇත.

මෙම උපාංගය මූලිකව ගත් විට, භෞතික යතුරුපුවරුව රහිත සාමාන්‍ය ක්‍රෝම්බුක් උපාංගයක් ලෙසින් දිස්වනු ඇත. මෙහි අඟල් 9.7 ක ප්‍රමාණයෙන් යුතු QXGA තිරය 2048 x 1536 ප්‍රමාණයේ විභේදනයකින් යුක්ත වන අතර, ඡායාරූපයක මෙන් වූ පරිපූර්ණ සුපැහැදිලිතාවක් ඔබට ලබාදෙනු ඇත. විශේෂයෙන්ම ඔබ නරඹන අන්තර්ගතයන්හි සියුම් තොරතුරු පවා  පැහැදිලිව ඉස්මතුව පෙනෙනු ඇත.

මේ සමගින් ස්ටයිලස් උපාංගයක්ද පැමිණෙන අතර, භාවිත නොකරන මොහොතකදී එය උපාංගයේම සවි කර තැබිය හැකිය. මෙම ස්ටයිලස් උපාංගය සැබවින්ම EMR Pen එකක් වේ. මෙම EMR Pen (Electro-Magnetic Resonance) උපාංගයක ඇති විශේෂත්වය වන්නේ, එය තිරය මත පිහිටන නිරවද්‍යතාව සකසා ගැනීම සඳහා ස්ථානයන් කිහිපයක ‍රැහැන් රහිත සංඥා ප්‍රබලත්වය හා තිරයේ සෙන්සරයන්ගෙන් ලැබෙන දත්ත ප්‍රයෝජනයට ගනිමින් තමන් විසින්ම ගණනය කිරීම් සිදුකිරීමයි. වෙනත් ලෙසකින් පවසන්නේ නම් EMR Pen උපාංගයක් තිරයක් මත භාවිත කරන විටදී එයට ඔබ සාමාන්‍ය පැන්සලක් භාවිත කරන විටදී මෙන් නිවැරදිවම එය ඇති ස්ථානය, එය මත යොදන පීඩනය අනුව ඔබ අඳිනා රේඛාවක තීව්‍රතාව වෙනස් වීම යනාදිය තීරණය කෙරෙනු ඇත. එනයින් බැලූ විට ඔබ Chromebook Tab 10 උපාංගය ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් මෙන් භාවිත කරන්නේ නම්, මෙය ඔබට ස්වාභාවික චිත්‍රක අත්දැකීමක් ලබාදෙනු ඇත.

acer-chromebook-tab-10-2

මෙම Chromebook Tab 10 උපාංගය අඩු වැඩි වශයෙන් එක් බැටරි ආරෝපණයකින් පැය 9 ක් දක්වා කාලයක් නොකඩවා ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇත.

මෙම ටැබ්ලට් උපාංගය බලගැන්වීම සඳහා Six-core Rockchip OP1 ප්‍රොසෙසරයක් පිහි‍ටුවා ඇත. මෙහි ගිගාබයිට් 4 ක ‍රැම් මතකයක් තිබෙනා අතර, ගිගාබයිට් 32ක අභ්‍යන්තර මතකයක්ද තිබේ. එසේම SD card හරහා බාහිර මතකය ඉහළ දැමීමේ හැකියාවද තිබෙනා බැවින් මෙහි මතක ධාරිතාව සීමිත වේ යැයි ගැටලුවක් ඇති කරගැනීමටද අවශ්‍ය නොවනු ඇත. මෙහි ඉදිරිපස මෙගා පික්සල් 2ක ද්විතීයික කැමරාවක් ස්ථාපනය කොට ඇති අතර, මෙගාපික්සල් 5ක ප්‍රධාන කැමරාව ටැබ්ලට් උපාංගයේ පසුපස පිහි‍ටුවා ඇත. මෙහි 3.5mm හෙඩ්ෆෝන් ජැක් එකක් සහ USB-C පෝට් එකක්ද තිබෙනා අතර, බ්ලුටූත් ‍රැහැන් රහිත සම්බන්ධතාවද තිබේ. ඒ හරහා අවශ්‍ය නම් ඔබට භෞතික යතුරු පුවරුවක් වුවද Chromebook Tab 10 උපාංගය හා ඈදීමට හැකියාව ඇත.

මෙහි දෘඪාංග හැකියාවන් දෙස බැලූ විට පෙනී යන කාරණය වන්නේ, වෙළෙඳ පොළේ මෙයට පෙර පැමිණි මධ්‍යම-ශක්‍යතා ටැබ්ලට් උපාංගයන් තුළ පවා මෙයට වඩා වැඩි පරිගණක බලයක් ගබඩා වී ඇති බවයි. නමුත් සිහි තබා ගත යුත්තේ, මෙම Chromebook Tab 10 උපාංගය ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරගන්නේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් බවයි. ඔවුන් මෙම ටැබ්ලට් උපාංගය භාවිත කරතැයි බලාපොරොත්තු වන කටයුතු සඳහා මෙම දෘඪාංග බලය ප්‍රමාණවත් වනු ඇත.

එසේම මෙහි ප්‍රධානතම ප්‍රතිවාදියා ලෙසින් සැලකෙන මූලික මට්ටමේ iPad උපාංගය හා සසඳන විට මෙය මඳක් බ‍රැති සහ ප්‍රමාණයෙන් විශාල වේ. කෙසේ වුවත් නිෂ්පාදකයන් තර්ක කරන්නේ ක්‍රෝම්බුක් උපාංගයන් විකිණෙන්නේ නිමාව හෝ ඉහළ මට්ටමේ දෘඪාංග නිසා නොවන බවයි. මෙහි ප්‍රධානතම ආකර්ෂණය වන්නේ ක්‍රෝම් මෙහෙයුම් පද්ධතියයි. එහි ඇති ඉහළ මට්ටමේ ආරක්ෂණ උපක්‍රමයන් සහ දිනෙන් දින ඉහළ යන ක්‍රියාකාරීත්වය පමණක් ගත් විටද මෙම Chromebook Tab 10 උපාංගයට ඉහළ වටිනාකමක් ලැබේ. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් Chromebook Tab 10 උපාංගයට පැරණි ක්‍රෝම්බුක් උපාංගයන්ටත් වඩා ඉහළ මට්ටමකින්, Google Play හරහා ලබාගත හැකි බොහෝ ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් ක්‍රියාත්මක කිරීමට මෙන්ම බ්‍රවුසරය මත පදනම් වූ වෙබ් යෙදවුම්ද ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත. එසේම ගූගල් සමාගම විසින් මෙම උපාංගයන් සියයක් වුවත්, දහසක් වුවත් පාසල් පරිපාලකයන්ට අධීක්ෂණය කිරීමට සහ කළමනාකරණය කිරීමට හැකි ආකාරයෙන් කේවල වෙබ් පදනම් කොටගත් කළමණාකරණ කොන්සෝලයක්ද හඳුන්වා දී තිබේ.

acer-chromebook-tab-10-3 Acer-Chromebook-Tab-10-D651N_overview_features_large

Samsung Galaxy Tab Active2

ස්මාට්ෆෝනයක් මෙන්ම ටැබ්ලට් උපාංගයක්ද භාවිත කළ හැක්කේ සුවපහසුව හිඳ සිටිය හැකි අවකාශයක පමණක් නොවේ. ඇතැම් විට ඔබ නවීන තාක්ෂණය ඔබේ කටයුතු සඳහා අනුහුරු කරගැනීම මනාව ප්‍රගුණ කොට ඇතිනම්, ගොඩනැගිලි ඉදිකිරීම් බිමක වුවත් ඔබේ ටැබ්ලට් උපාංගය ඔබට ප්‍රයෝජනයක් වනු ඇත. කෙසේ නමුත් මෙහිදී පැන නඟිනා ප්‍රධානතම ගැටලුවක් වෙයි. එනම් සාමාන්‍යයෙන් වෙළෙඳ පොළේ අප දකිනා ටැබ්ලට් උපාංගයන් බොහෝමයක් රළු භාවිතය සඳහා නිර්මාණය කළ ඒවා නොවීමයි. ඒවා බොහෝ විට දුහුවිල්ලෙන් හෝ තෙතමනයෙන් හානි වීමේ වැඩි ඉඩක් තිබෙනා අතර, රළු මතුපිටක් මතට වැටීමෙන් අනිවාර්යයෙන්ම හානි වනු ඇත. ස්මාට්ෆෝනයක් තරම් පහසුවෙන් අතේ රඳවා ගැනීමේ හැකියාවද වඩා විශාල ටැබ්ලට් උපාංගයක් හැසිරවීමේදී නොමැති වීමද ඊට එක් හේතුවක් විය හැක. කෙසේ නමුත් මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා ඉදිරියට පැමිණ ඇත්තේ සැම්සුන්ග් සමාගමයි. ඒ ඔවුන්ගේ නවතම Samsung Galaxy Tab Active2 උපාංගය හඳුන්වා දීමෙනි.

රළු භාවිතයට උචිත ලෙසින් හඳුන්වා දෙමින් වෙළෙඳ පොළට ඉදිරිපත් කරන්නට යෙදුණු මෙම  Galaxy Tab Active2 උපාංගය බැලූ බැල්මටද හැඩි දැඩි පෙනුමකින් යුක්ත වන්නේ, එහි වටා ඇති ආවරණය නිසාවෙනි. පරීක්ෂණයන් ගණනාවකට බඳුන් කොට, රළු භාවිතයට මනාව යෝග්‍ය වන බවට සහතික කොට ඇති මෙම Galaxy Tab Active2 උපාංගය ජලයෙන්, තෙතමනයෙන්, කම්පනයන්ගෙන් හෝ බිම වැටීමකින් මෙන්ම ඉහළ උෂ්ණත්වයන්ගෙන්ද හානියක් නොවී ක්‍රියාත්මක වීමේ හැකියාවෙන් යුක්ත වෙතැයි කියැවේ. බිම වැටීමක් වැනි කම්පනයකට පහසුවෙන් ඔරොත්තු දෙන අයුරින් ඝන දාර සහිතව නිර්මාණය වී ඇති Galaxy Tab Active2 උපාංගය MIL-STD-810G යන මිලිටරි විශේෂ සම්මතයන්ගෙන් සමත් වී තිබේ. එසේම මෙය ජලයට සහ දුහුවිල්ලට ඔරොත්තු දෙන බව සනාථ කිරීම සඳහා IP68 තත්ත්ව සහතිකයද තිබේ. නිෂ්පාදකයන් විසින් පවසන ආකාරයට Galaxy Tab Active2 උපාංගය ඔබට අඩි පහක් පමණ ගැඹුරු ජල තලයක් තුළ කිසිදු හානියකින් තොර්ව මිනිත්තු 30ක් පමණ ගිල්වාගෙන සිටීමට හැකියාව ඇත.

3

එසේම ජල බිඳිති හෝ හිම කැටිති වුවත් මෙහි තිරය මත නොරඳමින් පහතට ලිස්සා යනු ඇති අතර, ඔබට කෙතරම් අසීරු කාලගුණ තත්ත්වයක් යටතේ වුවත් Galaxy Tab Active2 උපාංගය භාවිත කළ හැකි බවට වෙනත් නිදර්ශනයන් අනැවැසි වනු ඇත. විශේෂයෙන්ම මෙහි ස්පර්ෂ තිරයේ හැකියාවන් වැඩි දියුණු කර ඇති බැවින්, ජල බිඳිති තිරය මතට වැ‍ටුණද ඔබට අසීරුතාවයකින් යුතුව ස්පර්ශ තිරය භාවිතා කිරීමට හැකි වනු ඇත. එසේම ඔබ ඝණ අත්වැසුම් පැලඳ සිටිනා අවස්ථාවකදී වුවද මෙහි ඇති සුවිශේෂී Glove Mode එක ක්‍රියාත්මක කර අපහසුතාවයකින් තොරව ස්පර්ෂ තිරය භාවිතා කිරීමට හැකිවනු ඇත. එසේම විකල්පයක් ලෙසින් මෙහි ජල-ප්‍රතිරෝධී S Pen එකක්ද තිබේ.

මෙම Galaxy Tab Active2  උපාංගය වෘත්තීයමය කටයුතු සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති බැවින්, මෙහි ආරක්ෂාව සම්බන්ධයෙන්ද නිෂ්පාදකයින් විශේෂයෙන්ම අවධානය යොමු කොට ඇත. මෙහි චිප පද්ධතිය මත පදනම්වූ ආරක්ෂක පද්ධතියක් ලෙසින් හැඳින්විය හැකි Samsung Knox ආරක්ෂක පර්යන්තය ස්ථාපනය කර ඇති බැවින්, පිටතින් අනවශ්‍ය අයෙකුට ඔබේ දත්ත සොරාගැනීම හෝ වෙනස් කිරීම අතිශයින්ම අසීරු කාරණයක් වනු ඇත. එසේම උක්ත පද්ධතිය මගින් දත්ත කළමනාකරණයද පහසු කරදෙනු ඇත. එසේම මෙහි ඉදිරිපස බොත්තම මත ස්ථාපනය කළ ඇඟිලි සලකුණු ස්කෑනරයක්ද තිබෙනා බැවින්, අනවශ්‍ය අයෙකුට භෞතිකව වුවත් ඔබේ Galaxy Tab Active2 ටැබ් උපාංගයට ප්‍රවේශ වීම කළ නොහැක්කක් වනු ඇත. අවශ්‍ය නම් වැඩිමනත් ආරක්ෂක පියවරක් ලෙසට මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය භාවිත කිරීමේ ඉඩප්‍රස්ථාවද මෙයින් පරිශීලකයාට ලබා දෙනු ඇත.

2

මෙම Galaxy Tab Active2 උපාංගයට අඟල් 8ක LCD ස්පර්ශ තිරයක් අයත් වේ. එසේම මෙය Exynos 7870 චිප් පද්ධතිය මත ස්ථාපිත Octa-core 1.6 GHz Cortex-A53 ප්‍රොසෙසරයකින් සමන්විත වේ. ගිගාබයිට් 3 ක ‍රැම් මතකයක්, ගිගාබයිට් 16ක අභ්‍යන්තර මතකයක් මෙන්ම ගිගාබයිට් 256 දක්වා ඉහළ දැමිය හැකි බාහිර මතකයක්ද සහිත මෙය ධාවනය වන්නේ Android 7.1.1 (Nougat) මෙහෙයුම් පද්ධති සංස්කරණය මතිනි. මෙහි මෙගාපික්සල් 8 ක විභේදන බලයකින් යුතු ප්‍රධාන කැමරාවක් සහ මෙගාපික්සල් 5 ක ඉදිරිපස කැමරාවක්ද තිබේ. එසේම මෙහි 4,450mAh ධාරිතාවේ බැටරිය ඔබට එක දිගට පැය 10 කට වඩා වැඩ කිරීමේ හැකියාව ලබාදෙනු ඇත. එපමණක් නොව සාමාන්‍යයෙන් ඔබ දකිනා ටැබ් උපාංගයක මෙන් නොව මෙහි බැටරි අතිශයින්ම පහසුවෙන් මාරු කිරීමේ හැකියාවද තිබෙනා බැවින්, ඔබට බැටරි බැස ගිය පසුව ආරෝපණය කිරීම සඳහා වැඩ නොනවත්වා, වෙනත් බැටරියක් යොදා එක දිගට වැඩ කිරීමටද හැකියාව තිබේ.

මෙහි සාමාන්‍යයෙන් දක්නට ලැබෙනා accelerometer, gyroscope, GPS, geomagnetic වැනි සෙන්සරයන් ඇතුළු මෙවලම් ගණනාවක් තිබෙනා අතර, විශේෂයෙන්ම වෘත්තීයමය වැඩකටයුතු සඳහා මෙම සෙන්සරයන් හරහා ලබාගත හැකි භාවිතයන් ප්‍රමාණය අතිවිශාල වේ. ඒ සඳහා අවශ්‍ය තුන්වන පාර්ශවයන්ගේ යෙදවුම්ද ඔබට Google Play වෙතින් සොයාගත හැකිය. එයට අමතරව මෙම ටැබ් උපාංගයේ වැඩිදියුණු කළ යථාර්ථය හෙවත් AR (Augmented Reality) හැකියාවන්ද තිබීමද වාසියකි.
මෙහි Wi-Fi, Bluetooth, NFC සහ අවශ්‍ය නම් ලබාගත හැකි LTE ‍රැහැන් රහිත සබඳතා තිබේ. එසේම මෙහි හැඩිදැඩි  POGO Pin connector හරහාද සම්බන්ධතාව ඇති බැවින් ඔබට අවශ්‍ය නම් තවත් උපාංග කිහිපයක් එක් විට ආරෝපණය කිරීමට මෙන්ම බාහිර යතුරුපුවරුවක් ටැබ් උපාංගයට සම්බන්ධ කර ගැනීමද කළ හැකිය.

මෙහි මිලද සාපේක්ෂව ගැටලුකාරී නොවන අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රයන්හි නියැළෙන්නන්, ඉංජිනේරුවරුන් වැනි විශාල පරාසයක පරිශීලකයන් සඳහා තම වෘත්තීයමය කටයුතු ඉ‍ටු කරගැනීමට මනා මෙවලමක් ලෙසින් Galaxy Tab Active2 උපාංගය භාවිත කළ හැකි වනු ඇත.

1  

 

පරිගණක ක්‍රීඩා ලෝලීන්ට නවීන ස්පීකර් පද්ධතියක්

logitech-g560-lightsync-pc-gaming-speakers-1

අපගේ කුඩා කාලයේදී පරිගණක හෝ වීඩියෝ ක්‍රීඩාවන් අත්විඳීමේදී අපට තිබූ ප්‍රධානතම ගැටළුව නැතිනම් සැලකිල්ලට බඳුන් විය යුතු කරුණ වූයේ එම පරිගණක ක්‍රීඩාව ධාවනය කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතාවයන් සහිත පරිගණකයක් තිබේද යන්න පමණි. එතැනින් එහාට පරිගණක තිරයේ දිස්වන ක්‍රීඩාවේ දසුන් සහ මනා පාලකයන් -එනම් මැනවින් ක්‍රියාත්මක වන යතුරු පුවරුවක්, මවුසයක් හෝ ජෝයිස්ටික් උපාංගයක් තිබීම ප්‍රමාණවත් විණි. නමුත් තව දුරටත් පරිගණක ක්‍රීඩා ලෝකය එතැන නැත. වර්තමානයේදී පරිගණක ක්‍රීඩාවක සැබෑ අත්දැකීම ලබාගැනීමට නම් ඉහළ ගුණාත්මක තත්වයක මොනිටරයන්, පරිගණක ක්‍රීඩා කිරීම සඳහාම නිර්මාණය කළ ආදාන උපාංග පමණක් වුවත් ප්‍රමාණවත් නොවේ. ඔබේ මොනිටරයෙන් එපිටටද පරිගණක ක්‍රීඩාවේ දසුන් විහිදී යන ආකාරයේ අත්දැකීමක් ලබාදෙන ප්‍රොජෙක්ටර උපාංගයන් පවා වෙළෙඳ පොළට පැමිණි බව මෙහිදී සඳහන් කිරීම වටී. එසේම  ඔබට පරිගණක ක්‍රීඩාවේ නියම රසාස්වාදය, නියම හඬ ගුණාත්මක තත්වය ලබාගැනීම සඳහා නිර්මාණය වූ ස්පීකර් පද්ධතීන් නැතිනම් ගේමින්ග් හෙඩ්සෙට් උපාංග පවා පරිගණක ක්‍රීඩා පද්ධතියක් නිර්මාණය කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය අංගෝපාංග වේ. මෙම පරිගණක ක්‍රීඩා අත්දැකීම් පරිණාමය මෙතැනින් නතර වන්නේ හෝ පරිණාමය වන වේගය අඩාල වන්නේද නොවේ.

මේ සමගින් යමින් ලොජිටෙක් සමාගමද පරිගණක ක්‍රීඩා ලෝලීන් හට නව උපාංගයක් පිරි නමා තිබේ. මෙය ඔබේ පරිගණක ක්‍රීඩා පද්ධතියට එක් වන ස්පීකර් පද්ධතියයි. මෙය G650 Lightsync Gaming Speakers ලෙසින් නම් කොට ඇත.
මෙය බැලූ බැල්මට පෙනී යන්නේ නිවෙමින් දැල්වෙන LED බල්බ පද්ධතියක් සහිත නවීන ස්පීකර් යුගලක් ලෙසිනි. කෙසේ නමුත් සැබෑව වන්නේ මෙහි ඇති නවීන පෙනුම හා සමාන වූ හැකියාවන්ද ඇති බවයි. එකිනෙක හා සමමුහුර්ත වූ මෙම LED බල්බ පද්ධතියට, ඔබගේ පරිගණකයේ ධාවනය වෙමින් පවත්නා ක්‍රීඩාවේ ඒ මොහොතේ සිදුවන දෙයට සමගාමීව, එයට ගැලපෙන ලෙසින් ආලෝකය විහිදවීමේ හැකියාව ඇත. මෙහිදී පැවසෙන්නේ අහඹු ලෙසින් විවිධ වර්ණයන් විහිදුවීම නොවේ. උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, ඔබ මෝටර් රථ ධාවන ක්‍රීඩාවක නිරත වී සිටින්නේ යැයි සිතමු. දැන් ඔබ පසුපස පොලිස් මෝටර් රථ ලුහුබැඳ එන්නේ යැයි සිතමු. එවිට ඔබේ Logitech G650 Lightsync ස්පීකර් පද්ධතිය මගින් නිල් සහ රතු නිවෙමින් දැල්වෙන පොලිස් මෝටර් රථ ආලෝක දහරාවන් අනුකරණය කරමින් ආලෝක රටාවක් නිර්මාණය කරනු ඇත. එසේම ඔබ අත්දකිමින් සිටිනා පරිගණක ක්‍රීඩාව තුළ පිපිරුමක් සිදුවන විටකදී කහ, තැඹිළි, රතු සම්මිශ්‍රණය වූ පිපුරුමක ආලෝකයන් අනුකරණය කිරීමටද, ඔබට වෙඩි වදිනා මොහොතකදී රත් පැහැ ආලෝක ධාරාවන් විහිදුවීමෙන් එය අනුකරණය කිරීමටද Logitech G650 Lightsync ස්පීකර් පද්ධතියට හැකියාව ඇත.

logitech-g560-lightsync-pc-gaming-speakers-2

මෙම ස්පීකර් පද්ධතියේ ආලෝකය විහිදුවීමේ කලාප හතරක් ස්ථාපනය කොට ඇත. මෙය ලොජිටෙක් ගේමින්ග් මෘදුකාංගය සමගින් ක්‍රියාත්මක වන අතර, මෘදුකාංගය මගින් අදාළ පරිගණක ක්‍රීඩාව හා සන්නිවේදනය කරමින් ඒ අනුව ස්පීකර් පද්ධතියේ ආලෝක රටාවන් පාලනය කරනු ඇත. කෙසේ නමුත් මේ වනවිට මෙම ස්පීකර් පද්ධතිය හා ලොජිටෙක් ගේමින්ග් මෘදුකාංගය හා ක්‍රියාත්මක වීම සඳහා විශේෂයෙන් සැකසී ඇත්තේ Counter Strike, Grand Theft Auto, Fortnite වැනි ප්‍රධාන පරිගණක ක්‍රීඩාවන් 12 ක් පමණි. අනෙකුත් පරිගණක ක්‍රීඩාවන්ද ක්‍රම ක්‍රමයෙන් ලොජිටෙක් හා එකතු වනු ඇති වුවත්, එය එක් ‍රැයකින් සිදු නොවනු ඇත.

කෙසේ නමුත් ලොජිටෙක් ගේමින්ග් මෘදුකාංගය හා ස්පීකර් පද්ධතිය සමගින් සමමුහුර්තව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කේතයන් පරිගණක ක්‍රීඩාව තුල අන්තර්ගත නොවී ඇති විටදී මෙම ස්පීකර් පද්ධතිය ක්‍රියාත්මක නොවන්නේ නැත. එහිදී ඔබට කළ හැකි යමක් තිබේ. එනම් ඔබේ මොනිටරයේ ඕනෑම කොටස් හතරක් ‍තෝරා, එම කොටස් හතර ලොජිටෙක් ගේමින්ග් මෘදුකාංගය හරහා ස්පීකර් පද්ධතියේ ආලෝක දහරා කලාප හතරට වෙන් කර දීමයි. දැන් මෘදුකාංගය මගින් මොනීටරයේ මෙම එක් එක් කොටසක පෙන්වන දසුන් වල ප්‍රධාන වර්ණයන් හඳුනාගනිමින්, ඊට අනුරූපීව ස්පීකර් පද්ධතියේ ආලෝකය විහිදුවීමේ කලාපයන් ක්‍රියාවේ යොදවනු ඇත. මෙය ක්‍රීඩාව තුළම ලොජිටෙක් මෘදුකාංගය හා පද්ධතිය සමගින් ක්‍රියාත්මක වීමට කේතයන් ඇති පරිගණක ක්‍රීඩා වලදී තරම් සියයට සියයක් නිරවද්‍ය නොවූවත්, ඔබගේ පරිගණක ක්‍රීඩා අත්දැකීම සෑහෙන දුරකට සාර්ථකව වැඩි දියුණු කරන්නට සමර්ථ වනු ඇත.

මෙයට අමතරව ඔබ සංගීතයට සවන් දෙන විටදීද එම සංගීත ශෛලියට අනුව විවිධ වර්ණ විහිදුවීමේ හැකියාව Logitech G650 Lightsync ස්පීකර් පද්ධතියට ඇත.
මෙම ස්පීකර් පද්ධතියේ ශ්‍රව්‍ය ප්‍රතිදානයද ඉහළ ගුණාත්මක තත්ත්වයක තිබේ. මෙයට high-strength metallic ඩ්‍රයිවරයන් ද්විත්වයක් සහ 
down-firing සබ්වූෆරයක් ඇතුළත් වේ. මෙම සංකලනයෙන් වොට් 240 ක ඇම්ප්ලිෆයරයක් හරහා, පරිගණක ක්‍රීඩාවක නියම රසය විඳ ගැනීමට අවශ්‍ය ආකාරයේ ඉහළ ගුණාත්මක භාවයක ශ්‍රව්‍ය ප්‍රතිදානයක් ලබාදෙනු ඇත. මෙය DTS:X Ultra තාක්ෂණය භාවිතා කරමින් ඔබට ත්‍රිමාන ශ්‍රව්‍ය ප්‍රතිදානයක් ලබාදෙනු ඇත. සරලව පැහැදිලි කරන්නේ නම් ඔබ පරිගණක ක්‍රීඩාවක නිරතව සිටින විට ඔබට සතුරාගේ අඩි ශබ්ද කුමන දිශාවේ සිට ඔබ වෙත ලඟා වන්නේද යන්න පවා මනාව ඇසෙනු ඇත.
ඔබ පරිගණක ක්‍රීඩාවක නිරත වන්නේ නම් මෙම ස්පීකර් පද්ධතිය ඔබේ පරිගණකයට USB සම්බන්ධතාව හරහා ඈඳීම අනිවාර්ය වුවත්, වෙනත් අවස්ථාවක වෙනත් උපාංගයන් හා සම්බන්ධ කිරීම සඳහා 3.5mm ඕඩියෝ ජැක් එක හෝ USB සම්බන්ධතාව හෝ ‍රැහැන් රහිත Bluetooth සම්බන්ධතාව හෝ භාවිත කළ හැකිය. එසේම එක් මොහොතක උපරිම උපාංග හතරක් දක්වා මෙම ස්පීකර් පද්ධතිය හා සම්බන්ධ කිරීමටද හැකියාව ඇති අතර, ඔබට අවශ්‍ය උපාංගය එක් බොත්තමක් එබීමෙන් ‍තෝරාගත හැකිය.
Logitech G650 Lightsync ස්පීකර් පද්ධතිය මෙතැනින් නරඹන්න:

get-frame

logitech-g560-lightsync-pc-gaming-speakers-3

 

ස්මාට්ෆෝන් කැමරාවේ පරිණාමය

වර්තමානයේදී ඔබ කොතැනකදී හෝ කැමරාවක් රහිත ස්මාට්ෆෝනයක් දැක තිබේද? මෙයට අනිවාර්ය පිළිතුර වනු ඇත්තේ නැත යන්නයි. මන්දයත් ස්මාට්ෆෝන් සංකල්පය සමගින්ම ස්මාට්ෆෝන් කැමරාවද මේ වනවිට බැඳී පවත්නා බැවිනි. එය එසේ වුවත් මෙය ආරම්භ වන්නේ ස්මාට්ෆෝන් සමගින් නොවේ. අප "කැමරා ෆෝන්" යන යෙදුම මුලින්ම භාවිතා කරන්නට යෙදුණේ පසුපස කැමරාවක් සහිත විශේෂාංග ජංගම දුරකථන සඳහායි.

මෙම මූලික කැමරා සහිත ජංගම දුරකථන භාවිතා වූයේ ඩිජිටල් කැමරාවක් නොමැති අවස්ථාවක දකිනා යමක් රූගත කර ගැනීමට වූ නමුත්, මුල් කාලීන ජංගම දුරකථන කැමරාවන්ට ගුණාත්මක භාවය අතින් ඩිජිටල් කැමරා වෙත ආසන්න වීමට හෝ හැකි නොවුණි. කෙසේ නමුත් ස්මාට්ෆෝන් ප්‍රචලිත වීමත් සමගින් ක්‍රම ක්‍රමයෙන් මම ස්මාට්ෆෝන් කැමරාවද දියුණු වීමටත්, විශේෂ හැකියාවන් අත්පත් කරගැනීමටත් පටන් ගනී. මෙම පරිණාමයේ එක් තැනකදී ස්මාට්ෆෝනයට කැමරා දෙකක්, එනම් ඉදිරිපසටද කැමරාවක් එක් වීම ඇරඹේ. මෙහි මූලිකම අවශ්‍යතාව වූයේ ස්කයිප් වැනි ශ්‍රව්‍ය දෘෂ්‍ය සන්නිවේදනයන් සඳහා පහසුවක් වීමට යැයි සිතිය හැකිය.

පසුකාලීනව ශීඝ්‍රයෙන් ස්මාට්ෆෝන් කැමරාවන් දියුණු වීම සිදුවූ අතර, නවීන ඩිජිටල් කැමරාවන්ට පවා අභියෝග කළ හැකි ආකාරයේ විශේෂාංගයන් සහ සෙන්සරයන් සහිත පසුපස කැමරා සහිත ස්මාට්ෆෝනයන් වැඩි වැඩියෙන් එළිදැක්වුණි. මෙසේ ගන්නා ඡායාරූප ක්ෂණිකව බෙදාගත හැකි සමාජ ජාලයන්ද කරලියට පැමිණීමත් සමගින් ස්මාට්ෆෝන් ඡායාරූපකරණය නව මගක් ගන්නා ලදී. ඒ සමගින්ම එසේ ගන්නා ඡායාරූපයන් ස්මාට්ෆෝනය හරහාම එසැණින් සංස්කරණය කිරීමට සහ විවිධ ‍ෆිල්ටරයන් එක් කිරීමටද හැකියාවෙන් සන්නද්ධ කෙරිණි.

මේ හා සමගාමීව ඉදිරිපස කැමරාවද වඩ වඩාත් දියුණු වන්නට පටන් ගත්තේ 'සෙල්‍ෆි' ඡායාරූප ගැනීම යනු නව ලෝකයේ උන්මාදයක් බවටත්, එතැනින් සමාජ ජීවිතයේ කොටසක් බවටත් පත්වීම සමගිනි. අද වනවිට ස්මාට්ෆෝනයේ ඉදිරිපස කැමරාවේ ප්‍රධානතම කර්තව්‍ය වී ඇත්තේ එයයි. සාමාන්‍යයෙන් අතීතයේදී පසුපස ප්‍රධාන කැමරාවට වඩා අඩු හැකියාවන්ගෙන් සහ අඩු ගුණාත්මක මට්ටමකින් ඉදිරිපස ද්විතීයික කැමරාව තබා තිබුණත්, අද වනවිට මෙම කැමරා ද්විත්වයම සමාන ගුණාත්මක මට්ටමකින් සහ හැකියාවන් හා විශේෂාංග එකතුවකින් යුතු වේ.

කෙසේ වුවත් අනාගතයේදී මෙම පරිණාමය අතරතුරදී සෙල්ෆි කැමරාව හෙවත් ඉදිරිපස කැමරාව තාක්ෂණික හැකියාවන් සහ ප්‍රමුඛත්වය අතින් පසුපස කැමරාව ඉක්ම යනු නැතිද? එය සිදුවිමේ ඉහළ ඉඩක් ඇති බව හඳුන්වා දීමට නියමිත Oppo F7 "Selfie Expert" වැනි ස්මාට්ෆෝනයන්ගෙන් දැනටමත් අනාවැකි පළවෙමින් තිබේ.

 2000 Sharp  J-SH04 (0.11MP)

2000 -  Sharp J-SH04

 මුල්ම කැමරා දුරකථනය වන මෙය සීමිත ප්‍රමාණයක් ජපානය සඳහා  නිකුත් කළේය. 


2003 Sanyo SCP-5300 (0.3MP)

2003 - Sanyo SCP-5300

එම කාලයේදී ඇ.ඩො.400ක් පමණ වූ මෙම දුරකථනය 2002 නොවැම්බර් මාසයේදී හඳුන්වා දුන්නේය. Basic flash, White balance control, Self-timer, Digital zoom හා විවිධ filter effects මෙහි දක්නට ලැබුණි.


2004 Audiovox  PM8920  (1.3MP)

2004 Audiovox PM8920 (Sprint)

මුද්‍රණය කිරීම සඳහා ගුණාත්මක ඡායාරූප ගත හැකි විය. multi-shot (eight quick photos) පහසුකම්න්ද යුක්ත විය.


2005 Nokia N90 (2MP)

2005 - Nokia N90

මුල්ම 2MP කැමරාව මෙයයි. Carl Zeiss optics සහිත කැමරාවකින් යුක්ත වූ අතර autofocus, LED flash හා Video-calling විශේෂාංගවලින් සමන්විත විය. තිරය හැරවීමේ හැකියාව නිසා  camcorder උපාංගයක අත්දැකීමද ලබාගත හැකි විය.


2006 Sony Ericsson K800i  (3 MP / VGA)

2006 - Sony Ericsson K800i

Auto-focus, image stabilization හා Xenon flash


2007 Nokia N95 (5MP/ QVGA)

2007 - Nokia N95


2007 Samsung i8510 (5MP/  Videocall camera)

2007 - Samsung i8510

මෙය INNOV8 ලෙසද හැඳින්විය. autofocus, LED flash, Geo-tagging, face, smile and blink detection, WDR වැනි විශේෂාංගවලින් යුක්ත විය.


2009 Samsung M8910 Pixon12 (12MP/ Videocall camera)

2009 - Samsung M8910 Pixon12

28mm lens, Touch focus හා WDR


Samsung B710 3D

2009 Samsung B710 3D

සැම්සුන්ග් සමාගම විසින් නිපදවූ Samsung B710 දුරකථනය 3D කැමරා සහිත දුරකථනයක් විය.


2010 Sony Ericsson S006 (16.2MP)

2010 - Sony Ericsson S006

4928 x 3264 Pixels විභේදනයක් සහිත CMOS කැමරාවකින් සමන්විත වෙයි.


2011 HTC  EVO 3D (5 MP/1.3 MP)

2011 - HTC EVO 3D

5 MP, autofocus, dual-LED flash, Stereoscopic photos (2 MP only)  තවද මෙහි HDMI හරහා 3D Output එකක් ලබාදීමේ හැකියාවද මෙහි පැවැතිණි.


2012 Nokia 808 (41 MP/ VGA)

2012 - Nokia 808


2017 Vivo V5 Plus (16MP/ Dual 20MP+8 MP)

2017 - Vivo V5 Plus

සුපුන් සම්පත්/ පැතුම් පුංචිහේවා

ඔබට අවශ්‍ය සැබෑම ‍ෆිට්නස් ස්මාට්වොච් උපාංගය Fitbit Versa

pp-versa-hero-bg-c9d272e2b2e205577f564e589d345780

Wearable devices යනු වර්තමානයේ වැඩි වැඩියෙන් ලෝකයේ අවධානය දිනාගනිමින් ශීඝ්‍රයෙන් වර්ධනය වන උපාංග පෙළක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. දැනට වසර ගණනකට පෙරාතුව 'ස්මාට්වොච්' සංකල්පය ලෝකයට පැමිණි අවස්ථාවේදී බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූයේ එය ස්මාට්ෆෝන් උපාංගයේ තැන ගනු ඇති, ස්මාට්ෆෝන් ලෝකයේ මීළඟ පරිණාමීය පිම්ම වනු ඇති බවටයි. කෙසේ නමුත් ස්මාට්වොච් උපාංගයක ඇති සීමාවන්ට ස්මාට්ෆෝන් උපාංගයක් අතික්‍රමණය කිරීම නුදුරු අනාගතයේදී කිරීමට නොහැකි බව වටහා ගැනීමත් සමගින්, ක්‍රමක්‍රමයෙන් ස්මාට්වොච් සහ සම්පූර්ණ අතේ පලඳින උපාංග වෙළෙඳ පොළ සිය අවධානය යොමු කරන්නට වූයේ අනෙක් කටයුතු අතර ප්‍රධාන වශයෙන්ම ශරීර සුවතාව සඳහා සහාය ලබාදීමටයි. ඉක්මනින්ම නිෂ්පාදකයන් වටහා ගනු ලැබුවේ ස්මාට්වොච් සහ අතේ පලඳින උපාංගයන්ට '‍ෆිට්නස් ට්‍රැකර්' එකක් ලෙසින් ක්‍රියාත්මක වීමට ඇති හැකියාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙළෙඳ පොළක් නිර්මාණය කරනු ඇති බවත්, ස්මාට්ෆෝනය හා තරග කරනු වෙනුවට ස්මාට්වොච් උපාංගයන් ස්මාට්ෆෝනය හා ක්‍රියාත්මක වන ආකාරයෙන් සැලසුම් කිරීම වඩාත් ප්‍රතිඵලදායක බවත් විණි.

මෙම අතේ පලඳින උපාංග වෙළෙඳ පොළ තුළ Fitbit යනු ආගන්තුක නාමයක් නොවේ. ශාරීරික සුවතාව සහ යෝග්‍යතාව පවත්වා ගැනීමට උරදෙන '‍ෆිට්නස් ට්‍රැකර්' උපාංගයන් නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනප්‍රිය නාමයක් හිමිකරගෙන ඇති Fitbit සමාගම මගින් ඔවුන්ගේ ප්‍රථම සැබෑ ස්මාට්වොච් උපාංගය ලෙසින් Fitbit Iconic වෙළෙඳ පොළට ඉදිරිපත් කර සිටියත් එය එතරම් ජනප්‍රියත්වයක් ලබාගැනීමට සමර්ථ නොවුණි. කෙසේ නමුත් එහි තිබූ ගැටලු නිවැරදි කරගනිමින් වඩාත් ලාභදායී නමුත් නවීන නිමාවකින් යුතු අනුප්‍රාප්තිකයෙකු ඉදිරිපත් කරන්නට Fitbit සමාගම කටයුතු කොට ඇත. මෙය Fitbit Versa නමින් හැඳින්වේ.

fitbit-versa-1

මෙම Fitbit Versa ස්මාට්වොච් උපාංගය ධාවනය වන්නේ Fitbit OS 2.0 මෙහෙයුම් පද්ධතිය මතිනි. බැලූ බැල්මට මෙය එහි පූර්වජයා වූ Fitbit Iconic උපාංගයෙන් Fitbit Versa වෙනස් වන්නේ එහි හැඩයෙන් සහ නිමාවෙනි. විශේෂයෙන්ම Fitbit Iconic හි තිබූ වඩාත් තියුණු කෝණ සහිත හත‍රැස් හැඩයෙන් වෙනස් වෙමින්, දැනෙන නොදැනෙන තරමින් වක්‍ර වූ  මුළු සහිත හත‍රැස් හැඩයකින් යුතුව Fitbit Versa උපාංගය ඉදිරිපත් කර ඇත. මෙම හැඩය ඔවුන් හඳුන්වන්නේ Squircle නමිනි.
සාමාන්‍යයෙන් මෙහි බැටරිය එක් ආරෝපණයකින් පවතින කාලය විවිධ සැකසුම් සහ භාවිතය මත වෙනස් විය හැකි නමුත්, නිෂ්පාදකයන් පවසන්නේ Fitbit Versa ස්මාට්වොච් උපාංගය සාමාන්‍ය භාවිතය යටතේ එක් ආරෝපණයකින් දින 4 ක් පමණ ක්‍රියාත්මක වනු ඇත. මෙහි ඉහළ විභේදනයකින් යුතු ස්පර්ෂ තිරය දිප්තිමත් හිරු එළිය ඇති දිනකදී වුවත් ඔබට පහසුවෙන් කියැවිය හැකි තරමේ දීප්තියකින් යුතුවේ. එසේම මෙය මීටර් 50 ක් දක්වා ජල ප්‍රතිරෝධී වන නිසා, ඔබට පිහිනුම් කටයුතු සඳහා ගැටලුවක් නැතිවම මෙය භාවිත කිරිමට හැකිය. මෙය හෘද ස්පන්දනය මැන බැලීමේ හැකියාව සමගින් ව්‍යායාම ආකාර 15ක් පරිශීලකයා වෙත ලබාදේ. 

pp-versa-moment-overview-bg-30845bbf5b07af6a58dffa44514fcbef

මෙහි ඇති සියලුම සෙන්සරයන් ලැයිස්තු ගත කරන්නේ නම්,  3-axis accelerometer, 3-axis gyroscope, Optical heart rate monitor, Altimeter, Ambient light sensor, SpO2 sensor ලෙසින් දැක්විය හැකිය. මෙහි පරිශීලකයාට සංඥාවන් සහ සිහිකැඳවුම් ලබාදීම සඳහා කම්පන හැකියාවද තිබේ. ‍රැහැන් රහිත සම්බන්ධතාව සඳහා Wi-Fi සහ Bluetooth පහසුකමද තිබෙන අතර, Fitbit Versa special edition සංස්කරණය සමගින් NFC චිපයක්ද ලැබේ. ඔබට ස්මාට්ෆෝනය හා Fitbit Versa ස්මාට්වොච් උපාංගය සම්බන්ධ කිරීම සඳහා Bluetooth සම්බන්ධතාව උපයෝගී වේ. කෙසේ නමුත් මෙහි පූර්වජයා වූ Fitbit Iconic උපාංගයේ මෙන් ස්ථාපිත GPS හැකියාව මෙහි නොමැති බවද සඳහන් කළ යුතුවේ. ඒ වෙනුවට මෙය හා සම්බන්ධව ඇති ස්මාට්ෆෝනයේ GPS පහසුකම සිය දත්ත ගණනයන් වෙත උපයෝගී කරගැනීමට Fitbit Versa ස්මාට්වොච් උපාංගය සමර්ථ වේ. එසේම ගීත 300 ක පමණ ප්‍රමාණයක් ඔබට Fitbit Versa ස්මාට්වොච් උපාංගයේ මතකයේම සුරක්ෂිත කර තැබීමට හැකි ප්‍රමාණයේ මතක ධාරිතාවක්ද මෙහි ඇත.

මෙහි ඇති Fitbit Today විශේෂාංගය මගින් ඔබේ දෛනික ජීවන රටාව පිළිබඳ සම්පූර්ණ දත්ත එකතුවක් ලබාදෙන අතර, ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම සඳහා අධීක්ෂණ සහ සැලසුම් සඳහා එය ප්‍රයෝජනවත් වනු ඇත. මෙහිදී ඔබගේ ක්‍රීඩා කාලය පමණක් නොව, දිනය පුරා ඔබ ඇවිදින පියවර ප්‍රමාණය, ඇවිදින දුර, ගොඩනැගිල්ලක ඔබ නගිනා උස ආදී සෑමදෙයක්ම මෙහිදී අධීක්ෂණය කරනු ලැබේ. ඒ අනුසාරයෙන් ඔබගේ කැලරි දහනය වන ආකාරයද දත්ත ලෙසින් ඔබට සැපයීමට Fitbit Today ක්‍රියාකරනු ඇත. මීට අමතරව ඔබගේ නින්දද විස්තරාත්මකව අධීක්ෂණය කිරීමට මෙයට හැකියාව ඇත. එසේම ඔබගේ ගැහැනු පිරිමි භාවය අනුව එකිනෙකාගෙන් වෙනස් වන තැන් වලට අනුකූලව මෙම දත්ත සැපයීමටද Fitbit Versa උපාංගයට හැකියාව ඇත.

versa-black-black-aluminum-0-4d70f54ede557d65061a77d521339857

මෙය මිල නියම කොට ඇත්තේ ඇමරිකානු ඩොලර් 199කට වන අතර, එය මින් පෙර දක්නට ලැබුණු Fitbit Iconic උපාංගයට වඩා අඩු බව නොකිවමනායි. කෙසේ නමුත් මෙහි සුවිශේෂී හැකියාවන් තිබෙනා බව පිළිගත්තද, එම හැකියාවන් ඕනෑම නවීන ස්මාට්වොච් උපාංගයක් සමගින් ලැබෙනා බවද ඒ සමගින්ම පිළිගැනීමට සිදුවේ. මෙම කරුණු සියල්ලම සලකා බලන විට Fitbit Versa හි සුවිශේෂීත්වය වන්නේ එහි නවීන හැඩය සහ නිමාව, යම් යම් එක් කළ විශේෂ හැකියාවන් සහ අඩු මිල වේ. මේ සියල්ල සමගින් ස්මාට්වොච් වෙළෙඳ පොළ ජයගැනීමට Fitbit සන්නාමයට හැකියාව ලැබෙනු ඇතිද? එයට පිළිතුරු නුදුරු අනාගතයේදීම ලැබෙනු ඇත.

pp-versa-moment-sleep-stages-e7f942d8b43b5bd73e8e43ea01d7038a

Sony A7 III

වර්තමානයේදී තවදුරටත් වෘත්තීය මට්ටමේ කැමරාවක් නම් එය DSLR කැමරාවක් විය යුතු බවට තිබූ මතයට Mirrorless හෙවත් CSC කැමරාවන් ප්‍රසිද්ධියේම අභියෝග කර තිබේ. DSLR කැමරා සහ CSC කැමරා අතර වෙනස්කම් තිබෙනවාක් මෙන්ම, ඒ අතර ප්‍රබලතා සහ දුබලතාද තිබේ. මේ අතර එක් සුවිශේෂී වෙනසක් වන්නේ මිලයි. සාමාන්‍යයෙන් ගත් විට ඉතාම අඩු මිල මූලික DSLR කැමරාවක වුවත් ගෙවන මිලට වඩා වැඩියෙන් පහසුකම් සහ හැකියාවන් තිබෙනා නමුත්, අඩු මිල CSC කැමරාවක් සම්බන්ධයෙන් එසේ කිව හැකි නොවේ. CSC කැමරාවක දර්පණ නොමැති නිසා අප දකිනා සාම්ප්‍රදායික වීව්ෆයින්ඩරයක් නොමැති මුත්, ඩිජිටල් වීව්ෆයින්ඩරයක් තිබේ. නමුත් අඩු මිල SCS කැමරාවක වීව්ෆයින්ඩරයද නොමැති වීම ඉහත දැක්වූ කරුණ සම්බන්ධයෙන් එක් උදාහරණයකි.

බොහෝ දෙනෙකු තවමත් CSC කැමරාවන්ට වඩා DSLR කැමරාවක් ‍තෝරාගැනීමට මෙම මිල සම්බන්ධ ගැටලුවද අදාළ වේ. කෙසේ නමුත් සෝනි සමාගම මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට උත්සුක වී ඇති බව පෙනෙන්නේ ඔවුන් වඩාත් අඩු මිල, මූලික Mirrorless මොඩලයේ කැමරාවක් වඩාත් වැඩි පහසුකම් සමගින් ඉදිරිපත් කර ඇති බැවිනි. මෙම CSC කැමරාව Sony A7 III ලෙස හැඳින්වේ.

DSC00963 copy copy

කෙසේ නමුත් සෝනි සමාගම ඉදිරිපත් කොට ඇති ප්‍රමුඛතම CSC කැමරා මාදිලි දෙක හා සසඳන විට Sony A7 III මාදිලිය එතරම් ප්‍රබල හෝ නවීන නැතැයි හැඟී යා හැක. එනමුත් එම ප්‍රමුඛ කැමරා මාදිලි ද්විත්වයම අතිශයින්ම ඉහළ මිලකට අලෙවි වේ. එනිසා පහසුකම් සහ මිල අතර මනා සමබරතාවයක් ඇති CSC කැමරාව ලෙසින් මෙය හඳුන්වා දිය හැකිය.

මෙම Sony A7 III කැමරාව තුළ නවමුයෙන් නිර්මාණය කළ පසුපසින් ආලෝකවත් කළ Exmor R සෙන්සරයක් ස්ථාපනය කර තිබෙනා අතර, එයට මෙගාපික්සල් 24.2 ක විභේදනයක ඡායාරූප සහ 4K ගුණාත්මක භාවය වීඩියෝ ග්‍රහණය කර ගැනීමට හැකියාව ඇත. මෙයට HDR රූප ග්‍රහණය කර ගැනීමේ හැකියාවද තිබෙනා අතර, ඒ නිසාවෙන් රූප ගුණාත්මක භාවය අතින් සෝනි අධි මිල CSC කැමරා හා පෙළට සිටීමට මෙයට හැකියාව ඇත. මෙයට පෙර මාදිලි වල තිබූ රූප ප්‍රොසෙසරයන් හා සසඳන විට, නව Sony A7 III කැමරාවේ ඇති BIONZ-X චිප පද්ධතියට 1.8 වාරයක් වඩා වේගවත්ව රූප සැකසුම් කළ හැකිය. ඒ නිසා වේගවත් චලනයන් පවා වඩාත් පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට Sony A7 III කැමරාවට හැකියාව ලැබේ.

එසේම මෙහි ISO පරාසයද 100-51200 දක්වා වැනි අතිශයින්ම ඉහළ පරාසයක් ගන්නා බැවින් ඔබේ ඡායාරූපයන්ගේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම වඩාත් පහසු වනු ඇත. එසේම අඩු සංවේදී ආලෝක තත්ත්වයන් යටතේ වුවත් වඩාත් හොඳ ඡායාරූප ග්‍රහණය සඳහා හැකියාවන් මෙහි තිබෙනා බවද සඳහන් කළ යුතුය.
වඩාත් ප්‍රබල සහ නවීන සෝනි Mirrorless මොඩලයන්ගේ ඇති 693 phase-detection autofocus points පහසුකම Sony A7 III මොඩලයටද ලබාදී තිබේ. එසේම මෙහි 425 contrast-detection autofocus points හැකියාවද තිබෙනා බැවින් පූර්ව මොඩලයන්ට වඩා දෙගුණයක වේගයෙන් ඔටෝෆෝකස් හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමට මෙහි අවකාශය ඇත.

විශේෂයෙන්ම සංකීර්ණ චලන වස්තු ලුහුබැඳීමට මෙන්ම ක්ෂණික චලනයන් පෙර අනුමාන කිරීමට මෙයින් හැකියාව ලැබෙනා නිසා වේගවත් චලනයන් ග්‍රහණය කරගැනීමට මෙම පහසුකම අපූරු පි‍ටිවහලක් සපයයි. මෙහි gyro සෙන්සරයන්ගෙන් ලැබෙනා අක්ෂ පහක optical image stabilization හැකියාව නිසා ඔබට වඩාත් විශාල කාචයන් භාවිත කරමින් වුවද Sony A7 III කැමරාවෙන් ඉතාමත්ම ස්ථායී ඡායාරූප සහ වීඩියෝ ග්‍රහණය කරගැනීමටද හැකියාව ඇත.

sony-a7-iii-header1 copy

සාමාන්‍යයෙන් Mirrorless කැමරාවන් සහ DSLR කැමරාවන් සැසඳීමේදී Mirrorless කැමරා තුළ ඇති ප්‍රධාන අඩුවක් වන්නේ බැටරිය එක් ආරෝපණයකින් භාවිත කළ හැකි කාලය සීමිත වීමයි. මේ නිසා ඔබට අනිවාර්යයෙන්ම Mirrorless කැමරාවක් සමගින් අමතර බැටරි පැක් භාවිතා කිරීමට සිදුවේ. කෙසේ නමුත් සෝනි සමාගම පවසන්නේ වෙළෙඳපොළේ ඇති Mirrorless කැමරාවන්ගේ බැටරි ආයුකාලය සැලකිල්ලට ගත් විට, නවතම Sony A7 III කැමරාව වඩාත් දීර්ඝතම එක් ආරෝපණයකින් පවතින බැටරි ආයුකාලය වාර්තා කරනා බවයි. එනම් Sony A7 III කැමරාවේ බැටරිය එක් වරක් ආරෝපණය කළ විට ඔබට ඡායාරූප 710ක් පමණ ගැනීමට හැකියාව ඇත.

මෙය තවමත් සාමාන්‍ය DSLR කැමරාවකින් වුවද ලබාගත හැකි ඡායාරූප ප්‍රමාණයට (600-800) මඳක් අඩු වුවත්, Mirrorless කැමරාවක සාමාන්‍යයෙන් ලබාගත හැකි ඡායාරූප ප්‍රමාණය (300-400) හා සසඳන විට සැලකිය යුතු ප්‍රමාණයේ වැඩි වර්ධනයකි. කෙසේ නමුත් වීඩියෝ ග්‍රහණයේදී මෙම බැටරියේ ආයුකාලය කෙසේ වනු ඇතිදැයි යන්න සම්බන්ධයෙන් සඳහනක් තවම දක්නට නැත.

මෙහි ඇති අනෙකුත් විශේෂාංගයන් සම්බන්ධයෙන් සඳහන් කරන්නේ නම් මෙහි quad-VGA OLED වීව්ෆයින්ඩරයක් ස්ථාපනය කොට ඇත. එසේම මෙහි තෙතමනයට ඔරොත්තු දෙන බඳ මත සැකසුම් කළ හැකි පාලකයන් 11 ක් තිබෙනා අතර, ඔබට ඒ වෙත විවිධ කාර්යයන් 81කින් අවශ්‍ය කාර්යයන් අනුයුක්ත කළ හැකිය. මෙහි සම්බන්ධතාවන් සලකන විට ප්‍රධාන වශයෙන් USB-C පෝට් එකක් සහ HDMI පෝට් එකක් තිබේ. එසේම ‍රැහැන් රහිත සම්බන්ධතාව සඳහා Wi-Fi, Bluetooth සහ NFC තාක්ෂණයන් මෙහි අන්තර්ගත කොට තිබේ. මෙම කැමරාව සමගින් පැමිණෙන Edge Software Suite එක හරහා ඔබට පරිගණකය ඔස්සේ දුරස්ථව කැමරාව පාලනය කරමින් ඡායාරූප ගැනීමටත්, RAW දත්ත සංස්කරණය කිරීමටත් එසේම වඩාත් පහසුවෙන් ඔබ ගන්නා ඡායාරූප සහ වීඩියෝ වර්ගීකරණය කොට තැන්පත් කිරීමටත් හැකියාව තිබේ.

Sony A7 III හි මිල සම්බන්ධයෙන් සලකා බලන විට සැබවින්ම තවමත් මෙය DSLR කැමරාවකට වඩා වටින්නේද යන සැකය පැන නගිනු ඇත. මන්දයත් මෙහි කැමරාව පමණක් ඇමරිකානු ඩොලර් 2,000 කට මිල කර ඇති බැවිනි. එය ඩොලර් අගයෙන් පමණක් පරිවර්තනය කොට බැලුවද රුපියල් ලක්ෂ තුනක මුදලකි. එසේම මෙහි ලෙන්ස යන් සමගින් මිල ඇමරිකානු ඩොලර් 2,200 ක් ලෙසින් නම් කොට ඇත. එම මුදලට Sony A7 III කැමරාව වටින්නේද? සැබවින්ම අනාගතය වන්නේ CSC කැමරාවන් වනු ඇතැයි යන පොදු මතයද සමගින් සලකා බලන විට අපට කීමට සිදුවන්නේ එම මුදලට Sony A7 III කැමරාව වටිනා බවයි.

  Sony-a7-III-mirrorless-camera copy