Category Archives: sports

ඉන්දියාවට පරාද වුණත් මානසික මට්ටම හොඳයි – තිරී

ඉන්දියාව හා පැවැති ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මානසික මට්ටම පහතට නොගිය බවත්, කණ්ඩායම හොඳ මානසික මට්ටමක සිටින බවත් පාකිස්තානය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ උපනායත්වයට පත්වූ ළහිරු තිරිමාන්න සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ෆේස්බුක් පිටුවට එක්කළ වීඩියෝවකින් ඔහු ඉහත අදහස් දැක්වූ අතර පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් පුහුණු වූ බවත් ඒවායේ ප්‍රතිඵල ඉදිරියට බලාගත හැකි බවත් ඔහු සඳහන් කරයි.

එසේම පාකිස්තාන තරගාවලිය වෙනුවෙන් නම් කළ ටෙස්ට් සංචිතය නවක මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සමන්විත හොඳ කණ්ඩායමක් බවත් කණ්ඩායම ශක්තිමත්ව ක්‍රීඩා කර පාකිස්තානයට හොඳ තරගයක් දී ජයග්‍රහණය කරා යෑමට බලාපොරොත්තුවන බවත් ඔහු සඳහන් කරයි.

lahiruthirimanne-getty-1811-750

 

සංගා වසරේ අටවැනි ශතකයත් වාර්තා කරයි

එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලියට සරේ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර එම තරගාවලිය යටතේ මේ වසරේ වාර්තා කළ 8 වැනි ශතකයත් වාර්තා කිරීමට ඊයේ (20දා) සමත්විය.

සරේ කණ්ඩායම හා සමර්සෙට් කණ්ඩායම අතර පැවැත්වෙන් තරගයේදී ඔහු මෙම ශතකය වාර්තා කළ අතර ඊයේ දිනයට තරගය නිමා කරන විට සංගා නොදැවී ලකුණු 119ක් රැස්කරගෙන සිටියේය.

සමර්සෙට් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 269ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සරේ කණ්ඩායම කඩුලු 6ට ලකුණු 328ක් රැස්කරගෙන සිටියි.

සරේ කණ්ඩායම වෙනුවෙන් ඉනිම 13කදී ලකුණු 1396ක් රැස්කරගෙන ඇති සංගාගේ සාමාන්‍යය 124.45ක් ලෙස සටහන් වෙයි.

මේ වසරේදී සරේ කණ්ඩායම වෙනුවෙන් සංගා ලකුණු රැස්කළ අයුරු.

71, 46,136,105,114,120,200,84,4,26,180*,164,119*

 

ආරක්ෂාව මදි නම් පාකිස්තානයට යන්නේ නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයෙදී විස්සයි20 තරගයට ක්‍රීඩාකරනවාද යන්න පිළිබඳව වන තීරණය ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ආරම්භවීමට නියමිත ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගාවලිය ක්‍රියාත්මක වෙන අතර තුළදී ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈශ්ලිද සිල්වා මහතා පැවැසීය.

එසේම පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකිවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යොමු නොකරන බවත් ඔහු පැවැසීය.

අද (21දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරග තුනෙන් අවසන් තරගය ලාහෝර් නුවරදී පැවැත්වීමට මේ වන විට දෙරටේම අවධානය යොමුව තිබේ. 

" අාරක්ෂක තත්ත්වය තරගාවලිය ක්‍රියාත්මක වන අතරතුළදී තක්සේරු කර තීරණයක් ගන්නවා. ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ ආරක්ෂක නිලධාරියෙකු පාකිස්තානයට යොමුකරනවා. තරගය පැවැත්වීමට සති දෙකකට පෙර අපේ ආරක්ෂක නිලධාරියෙක් පාකිස්තානයට යොමුකරනවා" යැයි ඔහු සඳහන් කළේය.

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙක, එක්දින තරග 5 හා විස්සයි20 තරග තුනෙන් දෙකක් මැද පෙරදිග පැවැත්වීමට නියමිතය.

2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව මේ දක්වා ශ්‍රී ලංකාව පාකිස්තානයේ තරගයකට ක්‍රීඩා කර නොමැත.

මේ අතර ලෝක ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර ප්‍රදර්ශන විස්සයි20 තරග තුනක්ද පසුගියදා පාකිස්තානයේදී පැවැත්වීය.

 

තිරිමාන්න උපනායකයා ලෙසින් ටෙස්ට් සංචිතයට

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබිහිදී ලබන සතියේදී ආරම්භවීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ උපනායකත්වයට ළහිරු තිරිමාන්න පත්කිරීමට නව ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

තිරිමාන්න අවසන්වරට ටෙස්ට් තරගයට ක්‍රීඩා කර ඇත්තේ 2016 වසරේ ජුනි මාසයේදි එංගලන්තයට එරෙහිවය. ඔහු නිමාවූ ඉන්දීය එක්දින තරගාවලියේදී තරග තුනකට ක්‍රීඩා කරමින්  පිළිවෙළින් ලකුණු 80,18,67ක් ලෙස රැස්කිරීමට සමත්විය.

ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව නම් කළ පළමු සංචිතය මෙය වෙයි. පළමු ටෙස්ට් තරගය 28 දා ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කරන අතර නව ක්‍රිඩකයන් ලෙසින් සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා කණ්ඩායමට එක්ව තිබේ.

ඇන්ජලෝ මැතිව්ස් බත්කෙණ්ඩේ ආබාධයකට ලක්ව ඇති හෙයින් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරයි. සීමිත පන්දුවාර නායක උපුල් තරංග ටෙස්ට් තරගවලට මාස 6ක් තමාව සහභාගි නොකරන ලෙස දන්වා ඇති හෙයින් මෙම සංචිතයට ඔහුගේ නම ඇතුළත් නොවේ.

මේ අතර නැවතත් ටෙස්ට් සංචිතයට පිවිසීමට ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සමත්ව තිබේ. ආබාධයකට ලක්ව ඇති අසේල ගුණරත්නටද ටෙස්ට් තරගාවලිය අහිමිවී ඇත.

ශ්‍රී ලංකා සංචිතය

 

මැතිව්ස් ආබාධයකට – පාකිස්තාන පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට පාකිස්තාන කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු තරගය අහිමිවෙනු ඇති බව වාර්තා වෙයි. ඔහු ආබාධයකට ලක්වීම නිසා මෙම තරගය අහිමිවීමේ අවදානමට ඔහු ලක්ව තිබේ. 

පාකිස්තාන තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම්හි නිරත වෙමින් සිටි ‍ඔහු අද (20දා) බත්කෙණ්ඩේ ආබාධයකට ලක්ව ඇති බවද වාර්තා වෙයි.

පාකිස්තාන කණ්ඩායම සමග ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිත අතර එහි පළමු තරගයට අබුඩාබි ශෙයික් සායිඩ් ක්‍රීඩාංගණයේදී එළැඹෙන 28 දා ආරම්භ වීමට නියමිතය.

- ක්‍රික්බස් ඇසුරෙනි

තරංග ලෝක කුසලානයේදී මැජික් පෙන්වීමට සූදානමින්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරගවලදී සෑම අවස්ථාවකදීම පවා ශ්‍රී ලංකාව විශේෂ දක්ෂතා දක්වා ඇති බවත් එළැඹෙන 2019 ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකාව එය සිදු කිරීමට සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායක උපුල් තරංග පවසයි.

එංගලන්ත හා කොදෙව් කණ්ඩායම අතර පැවති එක්දින තරගය කොදෙව් කණ්ඩායම පරාජයට පත්වීමත් සමගින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් තරංග මේ බව පවසා ඇත.

“ මේ වන විට ශ්‍රී ලංකාව අමාරු අවස්ථාවක් පසු කරන්නේ. එය රහසක් නෙමෙයි. නමුත් අප කෙරෙහි විශ්වාසය තබන ප්‍රේක්ෂකයන්ට මම ස්තුති කරන්න ඕන. අයි.සී.සී. තරගවලදී  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෑම විටම මැජික් දර්ශනය (දක්ෂතා දැක්වූවා) පෙන්වූවා. මම එය නැවත වරක් ඔප්පු කර පෙන්වීමට සූදානම්.

අපිට ලෝක කුසලානයට පැහැදිලි සැලසුමක් තිබෙනවා. අපි එහි හැම පියවරක්ම ළඟා කරගැනීමට මහන්සියෙන් වැඩ කරනවා. අපි ක්‍රීඩා විවේකගාරයේදී කියන්නේ කුඩා ජයග්‍රහණ ලෙකු ජයග්‍රහණ ගෙනෙනවා කියලයි. ඔබට ශ්‍රී ලංකා ක්‍රිකට් අනන්‍යතාව ඉතාමත් ඉක්මනින් දැක ගැනීමට හැකියාවක් ලැබෙයි.” යැයිද පවසා සිටියි.

 

 

 

ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබයි

එංගලන්ත කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර ඊයේ (19දා) එංගලන්තයේදී පැවැති එක්දින තරගය පරාජයට පත්වීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම 2019 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

එංගලන්තය හා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරග පහ  5-0ක් ලෙස කොදෙව් කණ්ඩායම ජයගත්තානම් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවන අතර සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.

දැන් කොදෙව් කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කර ලෝක කුසලානයේ මූලික වටයට පැමිණීමට සිදුව ඇත. කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු හතක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්විය.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ඇත.

ශාරීරික යෝග්‍යතා සමත් ක්‍රීඩකයන් පමණක් ක්‍රිකට් කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන තරග සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ශාරීරක යෝග්‍යතා පරීක්ෂණ සමත් වන ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නව තේරීම් කමිටුවට උපදෙස් ලබාදී ඇත.

ඒ ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව අද (19දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීය.

එමෙන්ම ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

ඉදිරියේදී ශ්‍රී ලංකාව කලාප0 4කට බෙදා ක්‍රිකට් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

 

 

මාලිගේ ‘ස්ලිංගා’ පන්දුවට ඇමති නියමයෙන් පරීක්ෂණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නව මාවතකට යොමු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ වැඩමුළුවේදී තණතීරු සකස් කිරීමේ අක්‍රමිකතා පිළිබඳ ලසිත් මාලිංග හෙළිකළ කරුණු පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණය කර තිබේ.

ඒ අනුව එම පරීක්ෂණය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කමිටුවක්ද පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

කණ්ඩායම තණකොළ සහිත විකට්ටුවක් ඉල්ලූ විට සම්පූර්ණයෙන් තණකොළ ඉවත් කළ විකට්ටුවක් ලැබෙන බවත්, තණකොළ ඉවත් කළ විකට්ටුවක් ඉල්ලූ විට තණකොළ සහිත විකට්ටුවක් ලැබෙන බවත් ලසිත් මාලිංග එහිදී පැවසීය.

 

 

 

ක්‍රිකට් තේරීම් කමිටුව නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තේරීම් කමිටුව නම් කිරීමට ක්‍රිකට් ආයතනය අද (19දා) පියවර ගත්තේය. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේද අනුමැතිය ලැබී තිබේ.

තේරීම් කමිටු සභාපති ලෙස ග්‍රැහැම් ලැබ්රෝයි පත්කර ඇති අතර ගාමිණී වික්‍රමසිංහ, ජෙරී වව්ටර්ස්, සජිත් ප්‍රනාන්දු හා අසංක ගුරුසිංහ එහි සාමාජිකයෝ වෙති.

සනත් ජයසූරියගේ තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අසංක ගුරුසිංහද මෙම කමිටුවට පත්කර ඇත.

තෙරීම් කමිටුව මුලින්ම පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට නියමිතය.