Category Archives: religion

බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවන්නටත් පෙර බුදු සසුනට ධර්ම සංගායනාවක් අවශ්‍ය වූයේ ඇයි?

how-to-volunteer-with-buddhist-monks-3-1461922112

බුද්ධ භාෂිතය එලෙසින්ම නොවූව ද, තරමක වෙනස්කම් සහිතව හෝ නූතනය දක්වාගෙන එන්නට ඉවහල් වූ ප්‍රධානතම සාධකයක් වන්නේ බෞද්ධ ධර්ම සංගායනායි. කාලීනව පැනනැගි විවිධ අවශ්‍යතා පදනම් කරගනිමින් විටින් විට ධර්ම සංගායනා පැවැත්වුණි. කෙසේ වුවද බුද්ධ පරිනිර්වාණයෙන් කොටසක් ඉක්මයද්දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූයේ ඇයිද යන පැනය බෞද්ධ ඉතිහාසය දෙස විචාර පූර්වකව බැලීමේදී පැන නගින ගැටලුවකි.
බුදු දහම කාල, දේශ වංශයෙන් සුඛනම්‍ය කරලීම උදෙසාත්, ධර්ම සාහිත්‍යයක් විධිමත්ව පවත්වාගෙන යාමත් උදෙසාත් මහතෙරවරුන් ගත් ප්‍රශංසනීය උත්සාහයක් ලෙස සංගායනා අර්ථ දැක්විය හැකිය. බුද්ධ භාෂිතය මුඛ පරම්පරාවෙන් පැවත යද්දී එහි තිරසාර බව වෙනුවෙන් යෙදූ ආරක්ෂිත ක්‍ර‘මෝපායක් ලෙස සංගායනා යන්න අරුත් ගැන්විය හැකිය.

කෙසේ වුවද බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවූ නිකිණි මස අව දියවක්දා අජාසත් රජු විසින් රජගහනුවර සප්තර්ණී ගුහාද්වාරයේ ඉදි කළ මණ්ඩපයට රැස්වූ මුලින් තෝරාගත් රහතන් වහන්සේලා 499 සහ එදින උදෑසන රහත් බව ලද ආනන්ද මහරහහතන් වහන්සේ සහ 500ක් මහරහතුන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන කර ගනිමින් අජාසත් රජුගේ රාජඅනුග්‍රහය හා ආරක්ෂාව මධ්‍ය‘යේ ප්‍රථම ධර්ම සංගීතිය පවත්වනු ලැබූ බව විනය පිටකයේ චුල්ලවග්ගයේ, පංචසතිකක්ඛන්ධයේ සඳහන් වෙයි.
ප්‍රධාන වශයෙන්ම ප්‍රථම ධර්ම සංගීතිතයට ඉවහල් වීයැයි සැලකෙන්නේ ඉතා මහලු වියේදී පැවිදි ජීවිතයට පත් සුභද්‍ර නමැති වයෝවෘද්ධ භික්ෂුවගේ නොමනා ප්‍රකාශය වුවද මෙතරම් කඩිනමින් හා ආරක්ෂාව මධ්‍ය‘යේ ධර්ම සංගීතියක් පැවැත්වීමට බලපෑ බොහෝ කරුණු පවතින්නට ඇතැයි සිතිය හැකිය.

මීට අමතරව අවිවාදාත්මක ලෙස මෙම සංගායනාවට හේතුවී යැයි පිළිගැනෙන කරුණුද කිහිපයකි. අනේකපර්යා‘යෙන් ඉදිරිපත් කළ බුද්ධ භාෂිතයන්ට විවිධ පුද්ගලයන් හා භික්ෂූන් විවිධ අර්ථකතන ලබාදීම දක්නට ලැබිණ. එයට තවත් රුකුල් දීමක් ලෙසින් එවකට පැවැති සන්නිවේදනයේ දුර්වලතාද තරමක් දුරට හෝ බලපාන්නට ඇත. මීට අමතරව කල්ගොස් බුදු සසුනේ සත්කාර තකා සසුන් ගතවූවෝ හේතුවෙන් ජබ්බග්ගිය, සත්තරවග්ගිය ආදී වූ කණ්ඩායම් බිහි වූ අතර සංඝ භේදයක් හා සමාන වූ තත්ත්වයක් පෙරදැරි වූ, දර්ශන, මතවාද බැහැර ලීමට අපොහොසත් වූ මෙම පිරිස් නිසා ඇතිවෙමින් තිබූ බව චුල්ලවග්ග හා මහාවග්ග යන විනය ග්‍රන්ථ දෙකත්, පාරාජිකා පාලිය ඇතුළු සූත්‍රයන්හිත් දැක්වෙයි. බහුශ්‍රැත භික්ෂූන් යටතේ ගුරුකුල බෙදීමේ අවදානමක්ද ඒ වනවිට පැනනැගී තිබූ අතර, ධර්මය හා විනය පිළිබඳ යම් යම් ගැටලුද පැනනගිමින් තිබුණි.

දීඝ නිකායේ සංගීති සූත්‍ර‘යේ දැක්වෙන පරිදි බුදුන් වහන්සේගේ සමකාලීන ශාස්තෘවරයෙකු වූ නිගන්ඨනාථපුත්තගේ කලුරිය කිරීමෙන් පසු ඔහුගේ අනුගාමිකයන් හැසිරුණු ආකාරය දුටු බුදුන්වහන්සේ තම දේශනාවන් සියලු සත්ත්වයාගේ සුගතිය උදෙසාම විය යුතු බවත්, එහෙයින් සංගීති පැවැත්විය යුත්තේ මෙපරිද්දෙන්ය යන්නත් සැරියුත්, හිමියන් සමග දේශනා කර තිබේ. ඒ අනුව තත්ත්වය අනාගතයේදී  මෙසේ වනු ඇතැයි පූර්ව නිගමනයකට පැමිණි බුදුන් වහන්සේ ඒ සඳහා අවශ්‍ය වන පසුබිම ගොඩනගා තබන්නට ඇත. අනෙක් අතට, තම පරිනිර්වාණයෙන් ඉක්බිතිව ශාස්තෘවරයෙකු නැතැයි ශෝක නොකරන ලෙසද, ඒ සඳහා ගැටුම් ඇති කර නොගන්නා ලෙසද වදාළ බුදුරදහු, ධර්ම – විනය ශාස්තෘෘත්වයෙහිලා සලකන ලෙස අනුශාසනා කළ බව මහා පරිනිබ්බාන සූත්‍ර‘යේ දැක්වේ. එයද බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්බිත්තෙහි මහා ධර්ම සංගායනාවක් ඇති කරන්නට ඇති කළ පෙළඹීමට සාක්ෂි සපයයි.

බුදුන් ජීවමාන සමයේ සිටම සත්තිස් බෝධිපාක්ෂික ධර්ම, කර්මය, පටිච්ඡ සමුප්පාදය ආදී වූ පුළුල් තේමා යටතේ දේශනා ගොනු කිරීමට කටයුතු කළ බවටද මහ පරිනිබ්බාන සූත්‍ර‘යෙන් සාක්ෂි ලැබෙද්දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වෙන විටත් මැනැවින් වෙන් නොකළද තරමක් දුරට හෝ වෙන්කරගත් බවත් හා කොටස් ලෙස සංගෘහිත කරගත් බවත් පවතින්නට ඇතැයි සිතාගත හැකිය.

කෙසේ වුවද ශාසනය තුළ ඇතිවන්නට ගිය ගැටුම් හා අශාස්තෘක යැයි මතුවිය හැකි හැඟීම යටපත් කිරීම උදෙසා ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා වෙත ධර්ම සංගායනාවක් යනු ඉතා හදිසි කාර්යයක් ලෙස හැඟී යන්නට ඇතැයි බුද්ධ පරිනිර්වාණයේ සිට ගතවූ තෙමස පිළිබඳ සලකා බැලීමේදී සිතිය හැකිය.

සංගායනාව පැවැත්වීමට විවිධ  ස්ථාන යෝජනා කරද්දී ඒවා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය ආරක්ෂාවක් යටතේ මෙම ධර්ම සංගායනාව පැවැත්වීමත් සමග මෙයට එරෙහි වූ පිරිස්ද සිටින්නට ඇතැයි විශ්වාස කළ හැකිය. 
අනෙක් අතට 500ක් රහතුන් විසින් පැවැත්වූ නිසාවෙන්ම සංඝ සමාජය මෙම සංගායනාව ඒකඡන්දයෙන් පිළිගත්තේ යැයිද කිවනොහැක. ඒ වනවිට රජගහ නුවරින් පිටත සිටි පුරාණ නම් මහ තෙරණුවෝ සංගායනාවට ඇරයුම් නොලත් අතර පසුව වැඩම කරන උන්වහන්සේ සංගායනය පසසා, තමන් බුදුන් ශ්‍රී මුඛ‘යෙන් ශ්‍රවණය කළ දහම පමණක් අනුගමනය කරන බව පැවසීම පෙර දැක්වූ කරුණ සනාථ කරවයි.

ථේරවාද පිළිගැනීම අනුව ත්‍රිපිටකය වත්මන් තත්ත්වයට සැකසෙන්නේ මෙම ප්‍රථම ධර්ම සංගායනාවේදී යැයි පිළිගැණුනද, වඩාත් ප්‍රා‘යෝගික හා යුක්ති සහගත පිළිගැනීම වන්නේ ප්‍රථම, දෙවන මෙන්ම තෙවන සංගායනාවන්හිදී ද සංස්කරණය වී සංග්‍රහ වූ බවය. අනෙක් අතට මේ වනවිට එහි අන්තර්ගත කරුණු අනුව සලකා බලද්දී විවිධ වකවානුවලට අයත් වීමත් සමග සංස්කරණයන්ට භාජන වී ඇති බව අවිවාදාත්මක පිළිගැනීමක් බවට පත් වී තිබේ.
විනය සූත්‍ර, අභිධර්ම යන තුන් පිටකයෙන් සංගෘහිත ත්‍රිපිටකයේ ඇතුළත්ව ඇත්තේ බුදුන් ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ බුද්ධ භාෂිතයන් පමණක්ම නොවේ. 

ජ්‍යෙෂ්ඨ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා විසින් දේශිත සූත්‍රද එහි අන්තර්ගතව තිබේ. දීඝ නිකායේ සංගීති, දසුත්තර ආදී සූත්‍ර සැරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනනා කරන ලද ඒවා වන අතර, මහා වේදල්ල සූත්‍රය සැරියුත් හිමියන් හා කොට්ඨාස හිමියන් අතර පැවැත්වූ සංවාදයක් වූ අතර චූලවේදල්ල සූත්‍රය ධම්මදින්නා තෙරණිය විශාඛාව සමග පැවැත්වූ සාකච්ඡාවකි.

මීට අමතරව සමන්ත පාසාදිකාවට අනුව මුල සිට පැවති ඇතැම් සූත්‍ර කිහිපයක්ම ප්‍රථම ධර්ම සංගායනාවේදී ප්‍රතික්ෂේප වූ බවද සඳහන් වෙයි.
කෙසේ වුවද ප්‍රථම ධර්ම සංගායනාව වූ කලී වසර ගණනක අනාගතයක් උදෙසා තැබූ පදනමක් බව කිවයුතු අතරම, බුද්ධ ධර්මයේ දිගුකාලීන පැවැත්ම තිරකරලීම උදෙසා ඉන් නොමඳ පිටුබලයක් සැලසී තිබිය යුතු බව කිවයුත්තේ තවත් කාලයක් ගොස් මෙම සංගායනාව පැවැත්වී නම්, බුද්ධ භාෂිතයන් අසා පිළිපැදි රහතුන්සේම, බුදුන් දෙසූ ධර්ම කරුණුද මගහැරී යාමට ඉඩ තිබූ බැවිනි. 

මාලිගාවත්තේ මොහොමඩ් සුවෙර් අරණායකදී පැවිදි බිමට

කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයේ 10 හැවිරිදි ඉස්ලාම් දරුවෙකු ගිහි ජීවිතය අත හැර සසුන් ගතවීමේ පුවතක් අරණායකින් වාර්තා වෙයි. අරණායක විහාරස්ථානයකට පැමිණ පිරිවෙන් අධ්‍යාපනයට යොමු ව ඇති මෙම දරුවා පැවිදිවීමෙන් අනතුරුව මොරාගම්මන ශ්‍රී මයුරපාද රාජමහ විහාරස්ථානයෙහි වැඩ වසමින් සිටියි.

උපතින් ඉස්ලාම් ජාතිකයෙකු වන මොහු සසුන්ගත වීමට ප‍්‍රථම ඔහුගේ ඡන්ම පත‍්‍රය අනුව නම සඳහන් වන්නේ මොහොමඩ් ඉසඩ් සමීර් සුවෙර් යනුවෙනි. උන්වහන්සේගේ පැවිදි නම වන්නේ මාලිගාවත්ත චන්දකිත්තිය.

අමේපිළිබඳ අදහස් දැක්වූ මොරාගම්මන ශ‍්‍රී මයුරපාද රාජමහ විහාරයේ විහාරාධිපති පුවක්මොටේ ධම්ම රතන නාහිමියෝ මෙසේ පවසා සිටියහ.

 “ මේ පැවිදිවෙලා ඉන්න හිමියන් ගිහි කාලයේදි ළමයෙක් විදිහට ලැබුණේ මාගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක වන ජඹුරේවල චන්ද්‍රරතන හිමියන් වහන්සේගෙන්. උන්වහන්සේ තමයි මට කීවේ මෙ වාගේ අසරණ දරුවෙක් ඉන්නවා අපේ හාමුදුරුවන්ට පුළුවන්ද මම ගෙනත් දුන්නොත් අධ්‍යාපනය ලබා දෙන්නට කියලා.  ඒ අනුව මාගේ කැමැත්ත ලැබුණට පස්සේ පොල්ගහවෙලට කොළඹ ඉදන් මෙ ගිහි දරුවා උන් වහන්සේ විසින් එක්කරගෙන විත් මට භාර කළා. ඊට පස්සේ එක් කරගෙන ඇවිත් දරුවා පිරිවෙන් අධ්‍යාපනයට යොමු කළේ අරණායක පොල්අඹේගොඩ පිරිවෙන් විහාරස්ථානයට.

දරුවා පිරිවෙන් ගිහින් ආපු මුල් දවස් වල පටන්ම බොහෝ දිනයන්හි දී මා සමග සහ අපේ පන්සලේ පිරිවෙන් යන අනිකතුත් හිමිවරුන් දෙනමක් ඉන්නවා ඒ අයටත් කියලා තිබුණේ ගිහිකම අත්හැර මහණ වෙන්න කැමති බවයි. ඉස්ලාම් දරුවෙකු වන නිසාත් මේ සඳහා දෙමාපියන්ගේ අවසරයක් ලැබෙන්නේ නැති නිසාත් මහණ වීමට අවශ්‍ය නැති බව අපි මේ දරුවාට කුඩා කාලයේ කීවත් මෙ පුතා නිතරම කීවේ මහණ වීමට කැමති බවයි.

ඔහුගේ කැමැත්ත නිසාම අවසානයේ දරුවා පැවිදි කරන්නට අවශ්‍ය කටයුතු සකස් කෙරුණේ දෙමාපියන්ගේ අවසරයෙන්. මෙ මහණ කම සිදු කිරීමට මත්තෙන් දෙමාපියන්ටත් අපි කීවා දරුවා පැවිදි කරනවාද නැද්ද කියලා තීරණය ගන්න කියලා. නමුත් ඒ දෙමාපියොත් දරුවාට මහණ වෙන්න එපා කීවා. එකට දරුවාගෙන් කැමැත්ත ගන්න බැරි වුණා. පස්සේ කර ගන්නම දෙයක් නැති තැන සියලු දෙනාගේම කැමැත්තෙන් මෙ දරුවා සසුනට ඇතුළත් වූවා. ඒ ම මාලිගාවත්ත චන්දකිත්ති නමින්. මේ දරුවා අද හොඳ ආදර්ශවත් භික්ෂු චරිතයක්.”

01 copy 02 copy 03 copy 05 copy 07 copy 

ජායාරූප හා සටහන මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර

 

 

ශාසනයේ සුගතිය උදෙසා ධම්ම විනයෙහි දෙසූ දඬුවම් ක්‍රම

how-to-volunteer-with-buddhist-monks-3-1461922112

භික්ෂුවකගෙන් සිදුවන වැරදි හෙවත් ආපත්ති සඳහා ඒ වරෙදහි ප්‍රමාණය අනුව දඬුවම් පැමිණ වීමට විනයෙහි නියමිතව තිබේ. තථාගත ධම්ම විනයට අනුව සංඝයාට දඬුවම් නියම කිරීමේ බලය පැවරී ඇත්තේ පුද්ගලයාට නොව සංඝයාටය.
දඬුවම් පැමිණ වීමට නම් චෝදනා, චෝදක, චෝදනාභිප්‍රාය, චූදිතක, සංඝ හා අනුවිජ්ජක යන අංග සය සම්පූර්ණව කෙරෙන විනිශ්චයක් නිමා විය යුතුය. චෝදනාවක් තිබිය යුතුය. එය ඉදිරිපත් කරන්නෙක් (පැමිණිලිකරුවෙක්) සිටිය යුතුය. චෝදනාව ඉදිරිපත් කිරීමේ අරමුණ වරදකරු ඇවතින් නගා සිටුවීමේ හා ආයති සංවරයෙහි පිහිටුවීමේ අභිප්‍රාය විය යුතුය. චෝදනා කරනු ලබන්නෙක් හෙවත් විත්තිකරුවෙක් සිටිය යුතුය. සංඝයා හෝ සංඝයා විසින් නම් කරනු ලබන නමක්, දෙනමක්, තුන් නමක් හෝ වැඩි පිරිසක් විය යුතුය. ඒ සමග අනුවිජ්ජක නමින් දැක්වෙන විනිශ්චය කරුවෙක්ද සිටිය යුතුය. මෙලෙසින් කරුණු එක්තැන්ව ලැබෙන අධිකරණ විනිශ්චය ඇතැම් විට සමථයක් විය හැකිය. නැතහොත් දඬුවමකි. දඬුවම් නියම කරනු ලබන්නේ සංවරය සඳහා හෙයින් වරදින් මිදී ආයති සංවරයෙහි පිහිටි කෙණෙහි එකී දඬුවම සංඝයා විසින් ඉවත් කෙරේ.

බෞද්ධ විනයෙහි උපසපන් භික්ෂුවගේත්, ගිහියාගේත්, සසුනේත්, යහපත සඳහා දඬුවම් සතක් (7) නියමිතව තිබේ.

තජ්ජනීය කම්ම

භික්ෂූන් අතර, නිතර අඩදබර – කලකෝලාහල ඇති කරන සංඝයාටත් බුදුරදුන්ටත් නිතර පැමිණිලි ලැබෙන පුද්ගලයන් දෙදෙනෙකු වන පණ්ඩුක, ලෝහිතක යන දෙනම මෙහි ආදිකර්මිකයෝ වූහ. ඔවුන්ට තර්ජනය කිරීම් වශයෙන් සංඝයා විසින් මේ දණ්ඩ කර්මය පනවන ලදී. එවන් වැරදි සඳහා තර්ජනීය කර්මය කරනු ලැබූ භික්ෂුව අදාළ වරද හෝ ඒහා සම්බන්ධ කිසිදු වරදකට මැදිහත් නොවී ශික්ෂා ගරුකව ජීවත්වන බව සංඝයාට පෙනී ගියහොත් නැවත එක්වී ඒ දඬුවම ඉවත් කරනු ලැබේ. එතෙක් වරදකරුට උපසම්පදා කිරීම, නිසදීම, සාමණේර උපස්ථානය ආදී සංඝ සමාජය හා සම්බන්ධ කිසිදු කාර්යයකට සහභාගි වීම තහනම් වේ.

නියස්සකම්ම

අයෝග්‍ය පරිදි ගිහියන් ඇසුරු කරමින් සිටි බාල අව්‍යක්ත, ආපත්ති බහුල සෙය්‍යසක නම් භික්ෂුවට මේ දඬුවම නියම කරන ලද බව චුල්ලවග්ග කම්මක්ඛන්ධයේ සඳහන් වේ. මෙහි විශේෂ ලක්ෂණය වනුයේ වරදකරුට සුදුසු කල්‍යාණමිත්‍ර භික්ෂුවකගේ ඇසුර ලබාගෙන ජීවත්වීමට බලකිරීමයි. උපසම්පදාව ලබා ගැනීමෙන් පසු යටත් පිරිසෙයින් පස් වසරක් වත් නිස සමාදන් ව උපාධ්‍යයයක් හෝ ආචාර්යයන් යටතේ ජීවත්වීම සාමාන්‍ය භික්ෂු ප්‍රතිපදාවයි. නියස්කම්ම නම් දඬුවම ලබන තැනැත්තා පුනරුත්ථාපනයට භාජනය වන්නෙකි. වැරදි සියල්ල දුරු කරගන්නා තෙක් ඔහුට උපසපන් භික්ෂුවක විසින් ලැබිය යුතු අයිතිවාසිකම් අහිමි වේ. කල්‍යාණමිත්‍ර තෙර කෙනෙකුගේ ආශ්‍රය ලබා ගනිමින් නොබෝ කලකින් ම ධර්මවිනයධර බහුශ්‍රැත, ශික්ෂාකාමී පුද්ගලයෙකු බවට පත්වීම නිසා සෙය්‍යසක භික්ෂුවකට පනවන ලද දඬුවම් සංඝයා විසින් ඉවත් කරන ලදී.

පබ්බාජනීය කම්ම 

කුල දූෂණ කෙරෙමින්, පාප සමාචාර ඇතිව, අසංවරව අනාචාර සම්පන්නව ජීවත්වන භික්ෂූනට කෙරෙන දණ්ඩකර්මයකි. සංඝයා විසින් සම්මත කරනු ලබන නියෝජිතයන් මගින් අනාචාරශීලී භික්ෂූන් වෙසෙන අරමට ගොස් ඔවුන් එයින් බැහැර කිරීම පබ්බාජනීය කර්මයයි. ඡබ්බග්ගිය භික්ෂූන් අතුරින් දෙදෙනෙකු වන කිටාගිරි අරම්වැසි අස්සජි – පුනබ්බසුක යන භික්ෂූන් දෙනමකට මුලින් ම මේ දඬුවම පනවන ලදී. සංඝ සම්මතය පරිදි මේ සඳහා කියාගිරියට ගොස් දඬුවම ගැන දන්වන ලද්දේ සැරියුත්, මුගලන් දෙනම විසිනි. එයින් සංවරයට පත් නොවී භික්ෂූන්ට ආක්‍රෝශ පරිභව කෙරෙමින් සිටි හෙයින් ඔවුන්ට පැන වූ දඬුවම ඉවත් නොකරන ලෙස බුදුරදුන් විසින් නියම කරන ලදී.
පබ්බාජනීය කර්මය කරනු ලැබ භික්ෂුව සංවරව ආචාරශීලීව ශික්ෂාගරුක භාවයට පත්ව භික්ෂූන් වෙත පැමිණ වරද කමා කර ගනී නම් ඒ දඬුවම ඉවත් කිරීමට සංඝයාට ඉඩ තිබේ.

පටිසාරණීය කම්ම

ගිහි – පැවිදි සම්බන්ධය බිඳුණු විටෙක නැවත සමගි සම්පන්නභාවයට එළඹීමට යොමු කරනු ලබන දඬුවමකි. යම් භික්ෂුවක් ගිහියෙකුට ආක්‍රෝශ පරිභාව නින්දා අපහාස කෙරේ නම්, ඒ භික්ෂුව ගිහියා වෙත ගොස් කමා කරවා ගැනීම සඳහා සංඝයා විසින් මෙය පනවනු ලැබේ. ගිහියාට අලාභ පිණිස, අනර්ථ පිණිස ඔවුනොවුන් භේදකරවීම පිණිස ක්‍රියා කිරීම ද මෙයට ම අදාළ වරද වශයෙන් ගැනේ. මව්ඡිකාසණ්ඩ නම් ස්ථානයෙහි විසූ සුධම්ම නම් භික්ෂුව සිය දායකයා වූ චිත්ත ගෘහපතියාට නින්දා කළ බැවින් මෙම දඬුවම පැමිණවීය. මෙහිදී අදාළ ගිහියා වෙත ගොස් සමාව ලබා ගත යුතුය. සුධම්ම භික්ෂුව සංඝයා විසින් දඬුවම් නියම කරනු ලැබීමෙන් පසු මච්ඡිකා ඝණ්ඩයට ගිය නමුදු චිත්ත ගෘහපති හමුවට යාමට මැළිව ආපසු සැවතටම ගියේය.
ඒ බව දත් බුදුරාජාණන් වහන්සේ එවන් අවස්ථාවෙක අනුදූතයෙකු ලබාදීම සුදුසුය^යි අනුදැන වදාළහ. එසේ ගොස් කමා කරවා ගැනීමෙන් පසු සංඝයා විසින් දඬුවම් ඉවත් කරන ලදී.

ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කම්ම

තමන් අතින් සිදුවන ඇවත ඇවතක් වශයෙන් නොපිළිගන්නා භික්ෂුව සමග සබ්‍රහ්මචාරී සංඝයාගේ සම්බන්ධතා නැවැත්වීම හෙවත් සම්භෝග තහනම මේ දණ්ඩ කර්මයෙන් අදහස් කෙරේ. ඡන්න භික්ෂුව තමා බුදුරජාණන් වහන්සේට අභිනිෂ්ක්‍රම‘ණයේ දී පවා ආධාර කළ පැරැන්නෙකු බව කියමින් වැඩිහිටි අවවාද නොපිළිගෙන දරදඬු ජීවිතයක් ගතකරන බව දැන මේ දඬුවම නියම කරන ලදී. ආශ්‍රය නොකළයුතු බවට සම්මත කරනු ලැබීමෙන් පසු ඒ බව විහාරයක් පාසාගොස් භික්ෂූන්ට දැනුම් දිය යුතුය. දඬුවම් ලැබූ භික්ෂූව අසංවරශීලීව ගතිවලින් මිදී ඒ බව සංඝයාට දැන්වීමෙන් පසු එකී දඬුවම ඉවත් කරනු ලැබේ.

 ඇවතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කම්ම

තමන් අතින් වරදක් සිදුවුවහොත් එය පිළිගෙන පිළියම් කොට ආයතිසංවරයෙහි පිහිටීම ශික්ෂාකාමී භික්ෂුවගේ ලක්ෂණයකි. ඡන්න භික්ෂුව තමන් කළ වරද පෙන්වා දීමේදී එයට පිළියම් යෙදීමට කැමති නොවීම නිසා මේ දණ්ඩ කර්මය පනවන ලදී.
 ඡන්න භික්ෂුවට පනවන ලද මේ දඬුවම් දෙකෙහි දීම ඒවාට යටත් නොවී මුරණ්ඩුව ක්‍රියා කිරීම නිසා බුදුරාජාණන් වහන්සේ ජීවත්ව සිටින තුරුම ඒ දඬුවම් ඉවත් කිරීමට ඉඩක් නොලැබිණ. පරිනිර්වාණ සමයෙහි දී ආනන්ද හිමියන් බුදුරදුන්ගෙන් ඡන්න තෙරුන් පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳ ව විමසන ලද්දේ එහෙයිනි. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනය පනවන ලෙස නියම කර වදාළ සේක.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු සංඝයා එක්ව ඡන්න තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩනය පනවනලදී. කිසිවෙක් කවර අවස්ථාවකදී හෝ ඡන්න තෙරුන් සමග කතා නොකළ යුතුය. යන්න බ්‍රහ්ම දණ්ඩනයේ ලක්ෂණයයි. සම්භෝග තහනමෙන් පසු මුළු සමාජයෙන්ම බැහැර කොට වචනයකුදු කතා නොකිරීමෙන් අවවාද අනුශාසනා නොකිරීමත් නිසා බලවත් සංවේගයට පත්ව ඡන්න භික්ෂුව සිහිසුන්ව වැටුණු බව පඤ්චසතිකක්ඛන්ධයේ සඳහන් වෙයි. මෙයින් පසු තමා පිළිබඳව ලජ්ජාවට හා කළකිරීමට පත්ව උත්සාහ වැඩීමෙන් නොබෝ කලකින්ම රහත් බවට පැමිණියේය. ඒ බණ අනඳ හිමියන්ට දැන්වීමෙන් පසුව රහත් බවට පත් වීමත් සමග සියලු දඬුවම් ඉවත්ව ගිය බව දේශනා කළහ.

පවිටු මිසදුටුව අත් නොහැරීමෙහි උක්ඛේපනීය කම්ම

බුදුන්, දහම්, සඟුන් පිළිබඳවත්, ශික්ෂාපද පිළිබඳවත්, විමුක්ති මාර්ගය හා නිවන පිළිබඳවත්, වැරදි දැකීම් අදහස් ඇතිකර ගැනීම මිථ්‍යා දෘෂ්ටිය යි. තථාගතයන් වහන්සේ විසින් දේශිත වූ සග-මොක් සුවයට අන්තරායකර ධර්ම කොට්ඨාසයන් එසේ අන්තරායකර නොවේ යයි. මිසදිටුවක් ගත් අරිට්ඨ භික්ෂුවට පනවන ලද දඬුවමකි. මෙය ද ඉහත සඳහන් ඡන්න භික්ෂුවට පනවන ලද දඬුවම මෙන් සෙසු භික්ෂු සමාජය සමග සම්බෝගය  තහනම් කිරීමකි.
දණ්ඩකම්ම සියල්ල ගිහි පැවිදි දෙපක්ෂය අතර අඩදබර කළ කෝලාහල ඇතිකරගන්නා භික්ෂූන් පුනරුත්ථාපනය සඳහා පනවන ඒවාය. සංඝයා එක්ව ඤත්ති චතුත්ථ කර්මයෙන් දඬුවම් නියම කළ යුතුය. ප්‍රතිබල සම්පන්න (කාර්ය සාධනයෙහි සමන්) මහතෙර කෙනෙකුගේ හෝ පිරිසක් මගින් අදාළ චූදිතයා වෙත දන්වා සිටිය යුතුය. දඬුවම නියම කරනුයේ ඔහු වරද පිළිගැනීමෙන් පසුවය. ආර්ය සංවරයෙහි පිහිටා සංඝයා සමා කරවා ගැනීමෙන් පසුව නැවත කර්ම වාක්‍යයකින් දඬුවම ඉවත් කිරීම විනය නියමය වේ.

ලොව පවතින සියල්ල සමස්ත ජීවිතයම කර නොගන්න

ඉල් පුර පොහොය යෙදෙන අද (03දා) දිනයේ ධර්ම දේශනය සිදුකරන්නේ දඩගමුව රාජමහා විහාර වාසී පූජ්‍ය පැපිලියවල නාරද හිමියන්ය.ඉල් පුර පසළොස්වක පොහොය දිනය යනු බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දූත කණ්ඩායම සිය ධර්ම ප්‍රචාරය ආරම්භ කළ දිනයයි. එමෙන්ම ලොව්තුරා බුදුරදුන්ද සිය දහම් බෙරය වැයීම  සඳහා උරුවෙල් දනව්වට වැඩම කරවන ලද දිනයයි. එහෙයින් ඉල් පුර පසළොස්වක පොහොය ධර්ම ශ්‍රවණය, දේශනය හා ඒ අනුව හැසිරීම වඩාත් අර්ථවත් කරවන පොහොය දිනයක් වෙයි.

Untitled-1 copy

බුදුරදුන් සිය ධර්මය දේශනා කරන ලද්දේ සමස්ත මානව සමාජයේම උභයාර්ථ සංසිද්ධිය අරමුණු කොට ගෙනය. එහෙයින් එය පරලොව පමණක් නොව මෙලොවාභිවෘද්ධියද කේන්ද්‍ර කර ගත්තකි. ධර්මයෙහි සාන්දෘෂ්ටික ඵලය පරලොවට වඩා මෙලොව දීම සාක්‍ෂාත් කළ යුතුය. එය ධර්මයේ සන්දිට්ඨික ගුණයයි.

මානව ජීවිතයක ධර්මය අදාළත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ජීවිතය යනු කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමුකළ යුතුය. ජීවිතය යනු කුමක්ද යන ප්‍රශ්නයට දිය හැකි සාර්ථකම පිළිතුර වනුයේ ජීවිතය යනු උත්පත්තියත්, මරණයත් අතර කාලසීමාව යන්නය. පුද්ගලයා එකී කාලසීමාව තුළ අත්දකින, අත්විඳින හා මුහුණ දෙන සියල්ලටම අපි ජීවිතය යැයි කියමු. බුදුසමය මග පෙන්වනුයේ මෙම ජීවිතය සාර්ථක කරගෙන එමගින් සියල්ල සාර්ථක කරගැනීම උදෙසාය.

පුද්ගලයා සිය උපතේ පටන් මරණය තෙක් කටයුතු කරනුයේ සියල්ල ඌනත්වයෙන් සලකමිනි. හේ තමන් සතුව පවතින මිලමුදල්, යානවාහන, ඉඩකඩම් ආදී භෞතික සම්පත් තමන්ට ප්‍රමාණවත් නොවන්නේ යැයි සිතයි. එකී සංකල්පනාව තුළ භෞතික සම්පත් අත්පත් කරගැනීමේ අභිලාසයෙන් වනයෙහි අන්ධ මීවුන් සේ හැල්මේ දුවයි. මෙම දිවීමේ අවසාන ප්‍රතිඵලය මානසික අතෘප්තිකර ස්වභාවය නිරන්තරයෙන්ම පුද්ගල සන්තානයෙහි ක්‍රියාත්මක වීමය. සියලු අසහනයන්, චිත්ත පීඩාවන් පුද්ගල ජීවිතයට උරුම කරනුයේ මෙකී අනවර්ථ ක්‍රියාදාමයයි.

බුදුසමය වරදට වඩා වරද කොතැනද, ඊට හේතුව කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමුකර ඊට පිළියම් කරන දහමකි. එහෙයින් පුද්ගලයාගේ අතෘප්තිකර ස්වභාවයට මූලිකම හේතුව ලෙස බුදුරදුන් දේශනා කරනුයේ ආශක්ත බව (ලෝභ), තරහව (ද්වේෂය) හා නොදැනීම (මෝහ) යන මනෝභාව ත්‍රිත්වයයි. මෙකී ත්‍රිත්වය සියලුම ආකාරයේ ගැටුම්, අතෘප්ති, අසහන හා ඉච්ඡාභංගත්වය සඳහා මුල්වෙයි. ඒ හේතුවෙනි, බුදුරදුන් මෙම ළාමක ධර්ම කළමනාකරණය පිණිස උපදෙස් ලබා දෙනුයේ. එම උපදෙස් පිළිපැදීමෙන් පමණි, ජීවිතයක තෘප්තිමත්භාවය මෙන්ම ජීවිත සාර්ථකත්වයද ළඟා කර ගත හැකි වනුයේ.

ජීවිතයක සතුට නැති කර අතෘප්තියම ඇති කරවන ලෝභ, ද්වේෂාදී අයහපත් මනෝභාවයන් නිවාරණය කරනු පිණිස නූතන අර්ථයේ ප්‍රතිකාරාත්මක ක්‍රමෝපායන් කිහිපයක් බුදුරදුන් සමාජය උදෙසා දේශනා කරනු ලබයි. ඒ අනුව යම් අරමුණක් හේතුවෙන් පුද්ගලයා තුළ ළාමක සිතිවිලි පහළ වන්නේ නම්, සියුම් ඇණයක් භාවිත කරමින් මහ ඇණයක් ඉවත් කරන්නා සේ එම ළාමක සිතිවිලිවලට ප්‍රතිවිරුද්ධ යහපත් සංකල්පනාවන් ඇති කර ගත යුතු වෙයි.

ඒ සඳහා ප්‍රමාණාතික්‍රාන්තව වැඩිය යුතු ධර්මතා හතරක් බුදුදහමෙහි සඳහන් වෙයි. එනම් මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා මැදහත් බවයි. මෙම සංකල්පනාවන් තුළින් අයහපත් මනෝභාවයන් මැඬපැවැත්වීමට අමතරව මෙතෙක් ගත කළ ඒකාකාරී ජීවිතයෙන් අත්මිදී භාව සන්තර්පණයෙහිලා උපකාරී වන සමාජ වටාපිටාවක් ඇසුරු කරගත හැකිය. ඒ අනුව පරිසරයට සංවේදී වීම, කල්‍යාණ මිත්‍රාශ්‍රය, ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ චරිතාපදාන පරිශීලනය මෙන්ම, අගමික කටයුතුවල නියුක්ත වීමද සිදුකළ හැකි වන අතර, මෙය %අඤ්ඤනිමිත්තපබ්බ^ නම් වෙයි.

එසේම යම් සංසිද්ධියක් හෝ වස්තුවක් හේතුවෙන් ජීවිතයෙහි සැනසිල්ල, තෘප්තිය බිඳවැටේ නම් එකී සංසිද්ධියෙහි හෝ වස්තුවෙහි පවත්නා ආදීනවය හෙවත් දුක්ඛ ස්වභාවය, සාවද්‍ය ස්වභාවය පිළිබඳ මෙනෙහි කර එය සිතින් ඉවත් කිරීම තුළින් මානසික සහනය හා ගැටුම් නිරාකරණය කරගත හැකි බව බෞද්ධ ඉගැන්වීමය. පුද්ගලයා බොහෝ අවස්ථාවන්හි මානසික සහනය විනාශ කරගනුයේ කාම වස්තූන්හි පවත්නා ආදීනවය මෙනෙහි නොකිරීම හේතුවෙනි. කාම වස්තූන් සිය ජීවිතය බවට පරිවර්තනය කරගැනීමේ හේතුවෙනි.

සියල්ල කැඩෙන, බි‍ඳෙන ලෝකයක එකී ස්වභාවයෙන් යුක්ත වස්තූන් ජීවිතය බවට පත් කර ගැනීමෙන් සිදුවනුයේ වස්තුවේ විනාශය සිදුවන විටම ජීවිතයද විනාශ වීමය. එහෙයින් ලොව පවත්නා සියලුම දෑ සමස්ත ජීවිතය බවට නොව ජීවිතයේ එක් කොටසක් බවට පත්කර ගත යුතු වෙයි. එසේ පත් කර ගැනීමට නම් එම වස්තුවෙහි ආදීනවය පිළිබඳ මනා වැටහීමක් ලැබිය යුතුය. අාදීනවනිමිත්තපබ්බ නම් වන මේ සඳහා කල්‍යාණ මිත්‍ර සේවනය හා නිවැරදි අධ්‍යාපනයද අවැසි වෙයි.

පුද්ගලයාගේ මානසික අසහනය ප්‍රබල වනවිට ඊට පිළියම් කිරීමේ ප්‍රතිකාරාත්මක ක්‍රමෝපායක් ලෙස බුදුසමය ඉදිරිපත් කරන අනෙක් ක්‍රමය වනුයේ අසතිඅමනසිකාර ක්‍රමයයි. එනම් සිතේ අසහනයට හේතු වූ අරමුණ සිතින් මෙනෙහි නොකරමින් ඒ පිළිබඳ සිහිපත් නොකරමින් කටයුතු කිරීමය. මෙය පහසු කටයුත්තක් නොවන හෙයින් ඒ සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගයක් ලෙස ධර්ම ප්‍රබන්ධ කතාදිය උස් හඬින් සජ්ඣායනා කිරීම හෝ ශ්‍රවණය කිරීම කළ යුතුය. එනම් මානසික අසහනයට හේතු වූ දෙය අමතක කිරීම පිණිස වෙනත් ක්‍රියාවන්හි නිරත වීමය.

පුද්ගලයා විසින් සිදුකරනු ලබන ආත්මාවලෝකනය බුදුදහම දැඩිව අගයන්නකි. එම ආත්මාවලෝකනව තුළ පුද්ගලයාට සතුටු විය හැකි තැන් වේ නම්, ඒ පිළිබඳ සිතමින් නැවත නැවතත් සතුටු විය යුතුය. එහෙත් පසුතැවිල්ලට කරුණු තිබේ නම්, ඒ පිළිබඳ සිහිපත් නොකළ යුතුය. නමුත් ඉන් පාඩම් උගත යුතුය. එම සිදුරු පිරිමැසීමට උත්සාහ කළ යුතුය. 

සිතෙහි සතුට පුද්ගලයා විසින් විනාශ කරනුයේ මූලික කරුණු කිහිපයක් හේතුවෙනි. ඉන් පළමුවැන්න වනුයේ හේ වර්තමානය තුළ හිඳිමින් ගෙවුණු අතීතය තුළ ජීවත් වීමය. දෙවැන්න වර්තමානය තුළ හිඳිමින් නොඑළැඹුණු අනාගතය තුළ ජීවත් වීමය. එහෙයින් බුදුරදුන්ගේ අනුශාසනාව වනුයේ ගෙවුණු අතීතය පිළිබඳ සෝක නොකරමින්, නොඑළැඹුණු අනාගතය පිළිබඳ සිහින නොමවමින් පවත්නා වර්තමානය සිහියෙන් යුක්තව කටයුතු කළ යුතු බවය. 

අනෙක් අතට පුද්ගලයා නිරන්තරයෙන්ම බාහිර ලෝකය පිළිබඳවත්, තමන් පිළිබඳවත් ප්‍රපඤ්ච හෙවත් සංකල්ප රූප ගොඩනගා ගැනීම සිදුකරයි. ඒ සංකල්ප රාමුවලට විවිධ දෑ ගොනු කරමින් ඒ සියල්ල ඒ අනුව පැවැතිය යුතු යැයි අදහස් කරයි. නමුත් වෙනස් වන ලෝකයෙහි එවැන්නක් අපේක්‍ෂා කිරීම අතිශය මුග්ධභාවයකි. අන් අය හෝ මා සන්තක වස්තු හෝ ‘මට මෙසේ කළ යුතුමය, මට මෙසේ දිය යුතුමය’ යැයි නියමයක් නොමැත. යමෙක් එසේ සිතමින් ජීවත් වන්නේ නම්, සතුට ඒ තැනැත්තාගෙන් බොහෝ දුරස්ථය. බුදුදහම මැදහත් බව නිර්දේශ කරනුයේ මේ හේතුවෙනි. මධ්‍යස්ථ බව මානසික සහනයෙහි රහසයි.

අපි සියල්ලෝම විමුක්තිය සොයායන සාංසාරික වන්දනාවෙහි නඩකාරයෝ වෙමු. එම ගමනෙහි කවරෙකුගේ හෝ මානසික සතුටට බාධා කිරීමේ අයිතියක් අප කිසිවෙකුටත් නැත. සර්වතෝභද්‍ර කිසිවෙකු හෝ සර්වපාපකාරී කිසිවෙකු මේ මිහිතලයෙහි කවර හේතුවක් නිසාවත් පහළ නොවෙයි. සෑම පුද්ගලයෙක් සතුව ගුණයක් මෙන්ම, දෝෂයක්ද පවතී. පුද්ගලයා ඇසුරු කළ යුත්තේ, සිහි නගාගත යුත්තේ, මෙනෙහි කළ යුත්තේ එකී ගුණය මිස දෝෂය නෙවේ. දුරුකළ යුත්තේ දෝෂය මිස ගූණය නොවේ. දෝෂයට පිළියම් කිරීම ශ්‍රේෂ්ඨ මානව ධර්මතාවකි. 

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව වනුයේද සියලු පාපයන්ගෙන් බැහැර වීමත්, යහපතෙහි  යෙදීමත්, ඒ අනුව සිත පිරිසුදු කරගැනීමත්ය. 
සෑම මානව ජීවිතයකටම දැවැන්ත වටිනාකමක් පවතී. එම වටිනාකම හඳුනා නොගැනීම අවිද්‍යා මෝහයෙහි එක් පැතිකඩකි. එහෙයින් පළමුව තමන් හඳුනාගත යුතුය. තමන්ගේ ශක්‍යතාවන් හඳුනාගත යුතුය. ජීවිතය හමුවේ එන ප්‍රශ්න, ගැටලු සියලු දෙනාටම පොදු වූ ධර්මතාවකි. ඒ සඳහා සියලු දෙනාම මුහුණ දිය යුතුය. ජීවිත ප්‍රශ්න දෙස වාස්තවිකව බැලීම ප්‍රශ්න නිරාකරණයට හොඳම විසඳුමය.

ප්‍රශ්නවලට බද්ධ වීම තුළින් සිදු වනුයේ ප්‍රශ්නය වඩාත් තීව්‍ර වීමය. බුදුදහම උක්ත ක්‍රියාමාර්ගයන් නිර්දේශ කරනුයේ ප්‍රශ්න, මානසික අසහන, පීඩා තේරුම් ගෙන ඊට බද්ධ නොවී ඉන් ඉවත්ව යෑමේ සාර්ථකම උපායමාර්ග වශයෙනි. ඒ අනුව කටයුතු කිරීම තුළින් සාර්ථක ජීවිතයක් මෙන්ම උභයාර්ථ සංසිද්ධියම සලසාගත හැකි බව සුධීහු සිහිකළ යුත්තේමය.
තෙරුවන් සරණයි.!

 

තථාගතයාණන් වහන්සේ එපායැයි වදාළ දේම සිංහලයන් වැලඳ ගන්නවා

පූජ්‍ය මාවරලේ භද්දිය හිමි විසින් පවත්වනු ලැබූ ධර්ම දේශනයක් මාවනැල්ල හෙම්මාතගම කපුරැක්ක විහාරස්ථානයේදී පසුගියදා පැවැත්වුණි. හෙම්මාතගම එක්සත් බෞද්ධ බලමණ්ඩලය විසින් මෙම ධර්ම දේශනය සංවිධානය කර තිබුණි. එහිදී ධර්ම දේශනය පැවැත්වූ දේශකයාණන් වහන්සේ මෙසේ පැවසූහ.


03

'අනාගතයේ ධනවත්වීමට නම් අද ඔබ අධිෂ්ඨානයෙන් ඉගෙන ගත යුතුයි. රටේ ප්‍රබල ප්‍රධාන වෘත්තීන්වලට අපේ දරුවෝ පත් වෙන්නම ඕනෑ. එක අත්‍යවශ්‍යයි. එය රාජ්‍ය අංශයේද පුද්ගලික අංශයේද කියලා වැඩක් නැහැ. ඔබ මුදල් ඉපැයිය යුතුයි. ඒ නිසා ඔබ ඉපැයිය යුත්තේ කොතැනින්ද, එතැනින් උඩට යන්න ඕනෑ. හැබැයි මතක තියා ගන්න, අපි මුදල් ඉපැයිය යුත්තේ වැරදි ක්‍රමෝඋපායන්ගෙන් නොවෙයි කියලා. අපට ඒවාට අයිතියක් නැහැ.* යැයි  පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ පැවසූහ.
එහිදී වැඩිදුරටත් දේශනයේ යෙදුණ උන්වහන්සේ,

'අපි ඉන්න ඕනෑ සම්මා කියන පදයට යටත්ව යහපත්වයි. අපි සල්ලි උපයන ක්‍රමය නිවැරදි වෙන්න ඕනෑ. අපිට අයිතියක් නැහැ මත්ද්‍රව්‍ය, මත්වතුර, වස විෂ විකුණන්න. ඒවගේම  මිනිස් ජාවාරම් සිදු කරන්න, සත්තු මරලා විකුණන්න අපිට අයිතියක් ඇත්තේ නැහැ. එවැනි දේවල්වලින් වැළකී ධර්මානුකූලව ව්‍යාපාර කරලා හෝ වෘත්තියක නියැළිලා මුදල් ඉපයිය යුතුයි. 

ඒක තමයි අපේ තථාගතයාණන් වහන්සේ නිවනට හානි නොවෙන්න දුකෙන් නිදහස් වන ගමනට හානි නොවෙන්න අපිට ජීවත් වෙන්න කියපු ක්‍රමවේදය. උට්ඨාන වීර්යය තිබෙනවා නම් කැපවීම තිබෙනවා නම් අපිට අපේ රටේ සල්ලි හොයාගන්න බැරිකමක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ කම්මැලිකමයි. සිංහල බෞද්ධ ගෙදරක එක් කෙනෙක් හම්බ කරද්දි කීදෙනෙක් නිකම් කන්න ඉන්නවාද? එක් අයෙක් උපයද්දී අනෙක් අය සියලු දෙනාම යැපෙන්නෝ. අර දෙන්නා තමයි සියලුදෙනා ජීවත් කරවන්නේ. එහෙම වෙද්දී අපේ ආර්ථිකය ශක්තිමත් වන්නේ නැහැ. 

අවුරුදු 18 වැඩි හැම දුවෙක් සහ පුතෙක්ම සල්ලි හම්බ කරන්න ඕනෑ. ලැබෙන රැකියාව කුමක් වුණත් අනතිමානීව එය සිදු කළ යුතු වෙනවා. ඔබ අභිමානවත් වෙන්න ඕනෑ මට රැකියාවක් තියෙනවා කියලා. 
අපිට සිද්ධවෙලා තියෙන්නේ අපේ මානය වැඩිකම. මානය වැඩි නිසා සාමාන්‍ය පෙළ පාස් වුණේ නැති කෙනාත් හොයන්නේ කන්තෝරුවල වැඩ කරන්න. නිකම් කන්තොරු නොවෙයි වායු සමීකරණය කරපු කන්තෝරුවල ටයි පොල්ලකුත් දාගන්න පුළුවන් නම් තවත් සතුටුයි. 

නමුත් සාමාන්‍ය පෙළවත් අසමත් දරුවන්ගේ දෙමවුපියොත් තමන්ගේ දරුවන්ට දේශපාලඥයන් ගාවට ගිහින් ඉල්ලන්නේ රජයේ රැකියාවක්. නිකම් අවුරුදු 20ක් විතර ගිලින්න පුළුවන් රැකියාවක් තමයි හොයන්නේ. මම ඔබට යෝජනා කරනවා කරුණාකරලා මේ හිතන ක්‍රමයෙන් නිදහස් වුණේ නැත්නම් අපි ජාතියක් විදිහට ඉතාම අසමත් කියලා. ඒ නිසා මේ හිතන විදිහ වෙනස් කර ගන්න. 

05

මම ඇමෙරිකාව ඇතුළු ලෝකයේ රටවල් 40කට ගිහින් තියෙනවා. ඒ රටවල්වලදී මම දැකලා තියෙන දේවල් මම හිතන විදියට අපේ ජාතියට නම් ඉතා ආදර්ශවත්. මම ඇමෙරිකාවේ වර්ජිනියා නුවර මා වැඩ සිටි ස්ථානයට එනවා නගර සභාවේ කුණු ගෙනයන ලොරිය. එහි එක්කෙනායි එන්නේ. රියදුරාත් ඔහුයි. කසළ පටවා ගන්නෙත් ඔහු. එයා හරි සතුටින් ඒක කරන්නේ. ගෙවල් හිමියන්ට ඉතා සතුටෙන් කතා කරලා සුබ උදෑසනක් කියලා කියමින් කුණු භාජනය ඉල්ලා ගන්නවා. හරි අභිමානයෙන් ඔහු ඒක සිදු කරන්නේ. 
මම ඔහුගෙන් ඇසුවා ඔබට අසතුටක් නැද්ද ඔබට මෙ කුණු අදින්න වුණු එක කියලා. ඔහු නැහැ කියලා කියන්නේත් ඉතා සතුටින්. මේක මගේ රැකියාව කියලා ඔහු පවසන්නේ ඉතාම ආඩම්බරයෙන්, අභිමානයෙන්. එයාලා සතුටු වෙන්නේ එයාට රැකියාවක් තියෙනවා කියලා. අපි සතුටු වෙන්නේ ලෝකයේ ලොකුම රැකියාවක් ලැබුණාම, අඩුවෙන් වැඩකරන්න පුළුවන් රැකියාව ලැබුණාම, වැඩිම කපටි වෙන්න පුළුවන් රැකියාව ලැබුණාම. ඔක්කොම හොයන්නේ ආණ්ඩුවේ රැකියාවක්. 
අපි පුද්ගලික අංශයේ හරි හොඳ රැකියාවක් ගන්න සුදුසුකම් ලැබිය යුතුයි. පුද්ගලික අංශයේ හිටියා කියලා සල්ලි නැත්තේ නැහැනේ. 

04

පොඩි වයසින් වෙනත් දේවල් ඔළුවට දාගත්තට පස්සේ තමයි ළමා මවුවරුන් බිහිවෙන්නේ. ඒකෙන් තමන්ගේ වගේම රටේ ආර්ථිකයත් දුර්වල වෙනවා. අන්තිමේට හිඟා නොකා හිඟාකන තත්ත්වයට සිංහල මිනිස්සු ටික පත් වෙනවා. ඒ නිසා ඉගෙන ගන්න තාත්තලාත් අම්මලාත් බුද්ධිමත්ව ධනය උපයන්න. අපි හම්බ කරන එකේ නොවෙයි ගැටලුව. ඒවා පාවිචිච් කරන්න දන්නේ නැති එකයි. සිංහල මිනිස්සු පිරිහිලා තියෙන්නේ සිංහල මිනිසුන්ගේම වැරදි ජීවන ක්‍රම නිසා. ඒ අයගේ ශ්‍රද්ධාව නැහැ. තථාගතයාණන් වහන්සේ විශ්වාස කරන්නේ නැහැ. තථාගතයාණන් වහන්සේ එපායැයි වදාළ දේම වැලඳ ගන්නවා. තථාගතයාණන් වහන්සේ කරන්න කියපු ටික කරනවා නම් සිංහල බෞද්ධ මිනිසුන් බියෙන් ජීවත් විය යුතු නැහැ. මොකද උන්වහන්සේ අපේ ධනය විනාශ නොවෙන්න අපට උගන්වලා තියෙනවා.* යැයි ද පවසා සිටියහ.

කපුරැක්ක විහාරාධිපති ශාස්ත්‍රපති හකුරුගම්මන සුසීල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම  පිංකමට විශාල පිරිසක් පැමිණ සිටියහ. 

මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර

 

යාපනයේ නාගදීප සහ දඹකොළ පටුන යන විහාරස්ථානයන්හි වාර්ෂික කඨින චීවර මහා පින්කම් නාවික හමුදාවේ අනුග්‍රහයෙන් නිමාවේ

යාපනයේ නාගදීප සහ දඹකොළ පටුන යන විහාරස්ථානයන්හි වාර්ෂික කඨින චීවර මහා පින්කම් නාවික හමුදාවේ අනුග්‍රහයෙන්  පැවැත්වුණි.
දඹකොළ පටුන විහාරස්ථානයේ කඨින චීවරය රැගත් ‍ෙපරහර පසුගියදා (06දා) වීථි සංචාරය කිරීමෙන් අනතුරුව උතුර නාවික විධාන අඥාපති රියර් අද්මිරාල් ජයන්ත සිල්වා මහතා විසින් එම චීවරය නාගදීප රජමහා විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝ නායක ප්‍රවීණාචාර්ය ධර්මකීර්ති ශ්‍රී පූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්ස හිමියන්ට පිළිගන්වන ලදී. එදින දහවල් පැවති සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව කඨින පින්කමේ කටයුතු අවසන් කෙරුණි.

ඉන් අනතුරුව (13දා) නාගදීප පුරාණ රජමහා විහාරයේදී වාර්ෂික කඨින පින්කම පැවති අතර එහිදී උතුරු විධාන නාවික අාඥාපතිවරයා හා කපිතාන් කෝසල වරණකුලසූරිය මහත්වරුන් විසින් වැඩම කළ සධාතුක කරඬුව හා කඨින චීවරය නාගදීප විහාරාධිපති උතුරු පාළාතේ ප්‍රධාන සංඝ නායක ප්‍රවීණාචාර්ය ධර්මකීර්ති ශ්‍රී පූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්ස හිමියන්ට පිළිගන්වන ලදී.එහිදී නාවික හමුදාවට මෙන්ම බැතිමතුන්ට සෙත් පතා සංඝයා වහන්සේ විසින් පිරිත් සජ්ඣායනයක්ද පැවැත්වුණි.
උතුරු නාවික විධාන භාර රියර් අද්මිරාල් ජයන්ත සිල්වා මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම පින්කම් සඳහා එක්ව සිටියහ.

 - වවුනියාව – මධුෂංඛ අමරසිංහ

6 7 14 18 19

සංගා කී දෙයක් පාකිස්තාන බස් රියදුරු වසර 8කට පසු කියයි

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන විට ක්‍රීඩකයන්ගේ ජීවිතය ආරක්ෂා කරගනිමින් බස්රිය ධාවන කළ මුහම්ම්ද් ඛලිල් පිළිබඳව නොදන්නා කිසිවෙකු නොමැති තරම්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් පාකිස්තානයේ තරග සංචාරයකට යෑමට සූදානම් වන අවස්ථාවේදී මුහම්මඩ් පිළිබඳවද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ඔහු විවිධ මාධ්‍යන්ට අදහස් දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවත පාකිස්තානයට පැමිණීමට ගත් තීරණය පිළිබඳව සිය උපරිම සහයෝගය ලබාදෙන බවයි.

මෙම ප්‍රහාරයෙන් පාකිස්තාන ජාතිකයක් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හත්දෙනෙකු තුවාල ලැබීය.

මෙහිදී වෙඩි තැබීම සිදුවූ දිනට පෙරදින රාත්‍රියේදී කුමාර් සංගක්කාර ඔහුගෙන් විමසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පාකිස්තානයේදී ආරක්ෂිත බවද යන්නයි.

පාකිස්තානු සංචාරය පිළිබඳ අදහස් දක්වමින් මුහම්මඩ් මෙසේ  පවසා ඇත.

“බලන්න ඔවුන් මොන තරම් බුද්ධිමත් ජාතියක්ද කියලා. මේ සිදුවීම වුණේ ඔවුන්ට. ඒත් ඔවුන් නැවතත් පාකිස්තානයට ඇවිත් ක්‍රීඩා කරන්න සූදානම්. හැම පාකිස්තානුවෙක්ම ඔවුන්ට ගෞරව කළ යුතුයි. අපි ඔවුන්ව ඉහළින්ම පිළිගන්නවා”

“සංගක්කාර මගෙන් ඇහුවා ‘මුහම්මඩ් මහත්මයා අපි පාකිස්තානයේදී ආරක්ෂිතද?’ කියා. මම කිව්වේ මුකුත් වෙන්නේ නෑ. යමක් සිදුවුණොත් මම වගේ දහස් ගණනක් පාකිස්තානු මිනිසුන් ඔබ වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය කැප කරාවි කියලයි.”

ප්‍රහාරයෙන් තුවාල ලබාසිටින සංගක්කර ඇතුළු පිරිස බැලීමට මුහම්මඩ්  රෝහලට පවා ගොස් ඇත.

“ඔහු (සංගක්කාර) මට කිව්වේ ‘ ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඔබ මගේ වීරයා’ කියලයි ” යනුවෙන් මුහම්මඩ් පවසා තිබේ.

22-000_TB3VG

 

 

මහා කාශ්‍යප දළදා වහන්සේ පුදට මල් සැපයූ, චෛත්‍ය දෙකක් සහිතව ඉදිවූ ලංකාවේ පළමුවැනි විහාරස්ථානය

කොළඹ සිට මහඉඳුරුව දුම්රියපොළෙන් හෝ බස් නැවතුම්පොළෙන් බැස සුදුවැලිපොත මාවත ඔස්සේ කිලෝමීටර් තුනක දුරක් ගිය පසු ගල්තලාවක් මත පිහිටි මල්මඩුවාකන්ද පුරාණ විහාරය හමුවේ.
ඉඳුරුව ප්‍රදේශයට ඉඳුරුව යන නාමය ලැබී ඇත්තේ හිඳි බුදුරුවක් තිබෙන නිසාවෙනි. එදා පටන් මේ හිඳිරුව, ඉඳුරුව නම් විය යැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. 

02

මල්මඩුවාකන්ද විහාරස්ථානයේ අවට පරිසරය අරලිය මල්ගස්වලින් යුක්ත නිසාද, මල් මණ්ඩලයක්, මල් මාලාවක් වැනිවූ නිසා ද, බෙන්තොට ගලපාත විහාර මහා කාශ්‍යප දළදා පූජාවට මල් සැකසූ 'මල් වඩුවා' මෙහි සිටි බැවින්ද මෙම විහාරස්ථානයේ නම නිර්මාණයවී ඇති බවද පැවසේ.

මෙම පුදබිම ඈතට නීල වර්ණයෙන් දිස්වන බැවින් නිල්ගල් තලාව විහාරය නමින්ද හඳුන්වා තිබේ. 
මෙම විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳ සෙවීමේදී දුටුගැමුණු රජතුමාගෙන් සද්ධාතිස්ස යුව රජුට ලැබුණු මහා කාශ්‍යප දළදා වහන්සේ බෙන්තොට මහා විහාරයේ තැන්පත් කර දළදා පූජාව පවත්වා ඇති බවත්, එම පූජාවට මල් සපයා ඇත්තේ මෙම විහාරස්ථානයෙන් බවටත් සඳහන් වේ.

මෙම විහාර භූමිය මුහුදු මට්ටමේ සිට අඩි සියයක් පමණ උසින් අක්කර 2ක ප්‍රමාණයේ පැතිරී ගිය මහ කළු ගල්තලාවක් මත පිහිටා ඇති අතර, ඒ මතට පිවිසි ඔබට බටහිරින් මහ සමුදුරත්, ඊශාන දිශාවෙන් සිරිපා කඳුවැටි පෙළත් මෙහිදී දක්නට ලැබේ.
මල්මඩුවාකන්ද විහාරස්ථනය සුවිශේෂී වන්නේ චෛත්‍ය රාජයාණන් වහන්සේලා දෙනමක් සහිත ඉදිවූ ලංකාවේ පළමුවැනි විහාරස්ථානය නිසාවෙනි. එමෙන්ම මෙහි ගල් ළිං දෙකක්, සුවිශාල නාගස් දෙකක් පැවතීමද විශේෂිත කරුණකි. 
මීට අමතරව දෙමහල් විහාරය, ඝන්ඨාර කුලුන, පැරණි ධර්ම ශාලාව, සිතුවම් මන්දිරය මෙම විහාරස්ථානයට වඩාත් ආලෝකයක් ලබාදෙයි. 
ඉඳුරුවේ මුල්ම පැරණිම විහාරස්ථනය ලෙසද මෙම විහාරය සැලකෙන අතර, විහාර මන්දිරයේ බිම්මාලයේ මාර පරාජය නිරූපණය කෙරෙන චිත්‍ර මුද්‍රාව වෙනත් ප්‍රතිමාවල දක්නට නොමැති බවද සඳහන් වේ.

තිසර ගංගාදර

01 03 04 DSC_3143 DSC_3149 DSC_3150 DSC_3185

තෙරණියකගේ ආධාරයෙන් වයෝවෘද්ධ කාන්තාවකට නිවසක්

කිසිවෙකුගේත් හවුහරණක් නොමැතිව ගරාවැටුණු පැල්පතක  දුෂ්කර ජීවිතයක් ගතකළ මහියංගන ආදාඋල්පත ගම්මානයේ  අසරණ වයෝවෘද්ධ කාන්තාවකට ප්‍රදේශවාසී දායක දායිකාවන්ද හවුල් කරගෙන පානීය ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්වලින් යුත් නිවසක් ඉදිකරදීමට ආදාඋල්පත ශ්‍රී සුමනාරාම භික්ෂුණී ආරාමයේ  මහඋල්පත සුමනපාලී  තෙරණියෝ  කටයුතු කළහ.


මෙම නිවස හිමිවූයේ ආදාඋල්පත, නාගදීප හන්දිය, පදිංචි ඩී. එම්. බණ්ඩාර මැණිකා මහත්මියටය.
එසේ  ඉදිකළ නිවස අදාළ කාන්තාව වෙත පිළිගැන්වීම නිමිත්තෙන් චාම් උත්සවයක්ද පසුගියදා සංවිධානය කර තිබිණි.
එහිදී නව නිවසේ යතුරු බාරදීම , නිවස ඉදිකිරීමට මුල්වූ ශ්‍රී ලංකා භික්ෂුණී ශාසන මණ්ඩලයේ මොනරාගල, බදුල්ල, දිගාමඩුල්ල ශාඛා සංවිධානයේ ලේඛකාධිකාරී, රංගිරි දඹුල්ල භික්ෂුණී උපසම්පදාවේ කර්ම විනයාචාර්යය, මහඋල්පත සුමනපාලී තෙරණීන් වහන්සේ අතින් සිදුවිය.

02

අදාළ කාන්තාවගේ ප්‍ර‘යෝජනය සඳහා වියළි ආහාර පාන මල්ලක් පිරිනැමීමද ආදාඋල්පත ග්‍රාම නිලධාරී ටී.එම්. අබේවික්‍රම මහතා අතින් එහිදී සිදුවිය.

ගරුතර සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍ය‍යේ නව නිවස විවෘත කිරීම රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් බන්දුලසේන මහතා අතින් සිදුවූ අතර, කිරි ඉතිර වීම බණ්ඩාර මැණිකා මහත්මිය අතින් සිදු විය.
මේ පිළිබඳ අදහස් දැක්වූ සුමනපාලී තෙරණීයෝ මෙසේ පැවසූහ.

‘‘අද වැඩිහිටියන් ගැන සොයා බැලීම ඉතා පහළ මට්ටමකට වැටී තිබෙනවා. වත්මන් පරපුර වයෝවෘද්ධ වැඩිහිටියන් රැකබලා ගැනීම අමතක කර දමා තිබෙනවා. ඒ නිසාම අද වැඩිහිටි නිවාස අසරණ මිනිස්සුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනවා. අපේ දරු පරපුරට වැඩිහිටියන්ට සලකන ආකාරය ගැන කියා දිය යුතු තත්ත්වයට අද පැමිණ තිබෙනවා. එබඳු ආදර්ශයක් දීමට වගේම අසරණ මිනිසුන්ට සැලකිය යුතු ආකාරය ගැන මේ පළාතේ දරුවන්ට, තරුණ පිරිසට කියා දීම ගරුතර සංඝයා වහන්සේලාගේත් යුතුකමක් කියා මා විශ්වාස කරනවා.'

05

 ඩී.එම්. බණ්ඩාර මැණිකා මහත්මිය ඉතාම අසරණයි.  ඇය සිල් ගන්නට පන්සලට ආව දවසක මට කීව ඇයට ඉන්න හිටින්න නිවසක් නැති බව. ඒ වගේම හිටිය නිවස ගරාවැටුණු බවත්, ඇයගේ දරුවන්ට ඇය වෙනුවෙන් නිවසක් ඉදිකර දෙන්නට වත්කමක් නැති බවත් ඇය ප්‍රකාශ කළා.

මේ කතාව ඇහුවට පස්සේ මම එදාම ඇය ඉන්න තැන බලන්න ගියා. ඇත්තටම මට විශාල කනගාටුවක් ඇති වුණා. මම  මුලින්ම හිතුවේ නිවසේ වහල හදල දෙන්න කියලයි. ඒත් ඒක තාවකාලික පිළියමක් බව මට තේරුණා. මම මේ වැඩේට ගමේ තරුණ පිරිසගේ උදව් ඉල්ලුවා. ඒ වගේම ඒ පිරිස හරිම උනන්දුවෙන් වැඩේ පටන්ගමු කියල එකතු වුණා. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමා වගේම අනෙත් පිරිසත් විශාල දායකත්වයක් මේ සඳහා ලබා දුන්නා. ඒ දායකත්වය නිසාම හරියටම දින 30ක් ගතවෙද්දී කාමරයක් සහ මුළුතැන්ගෙයක් සහිත නිවසක් ඉදිකර ඊට විදුලිය ලබාදීමටත්, ඇඳක්, පුටුවක්, මේසයක් වගේ නිවසට අවශ්‍ය උපකරණ ලබාදීමටත් අපිට හැකියාව ලැබුණා. මෙවැනි නිවසක් ඉදිකර දීමට කටයුතු කළ හැමෝටම මම පින් අනුමෝදන් කරන්න කැමැතියි.*
මේ පිළිබඳව අදහස් දැක්වූ ඩී.එම්. බණ්ඩාර මැණිකා මහත්මිය, 

9

'මම හරිම අසරණ වෙලා හිටියේ. දරුවෝ හිටියත් ඒ අයට මේ වගේ දෙයක් කරල දෙන්න වත්කමක් නැහැ. මේක මහා පින්කමක්. දැන් මට ජීවිතේ ඉතිරි කාලේ පිනක් දහමක් කරගෙන සතුටින් ඉන්න පුළුවන්. මේ පින්කම කරපු මෑණියන්ටත් අනෙත් හැමදෙනාටමත් පින් දෙනව ඇරෙන්න මට කරන්න දෙයක් නැහැ* යැයි පැවසුවාය.

එහිදී රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක   රොෂාන් බන්දුලසේන, ආදාඋල්පත ග්‍රාම නිලධාරී ටී.එම්. අබේවික්‍රම මහතාද පිංකම අගය කරමින් අදහස් දැක්වූහ. 
මෙම අවස්ථාව සඳහා රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් බන්දුලසේන, ආදාඋල්පත ග්‍රාම නිලධාරී ටී.එම්. අබේවික්‍රම යන මහත්වරු මෙන්ම ප්‍රදේශයේ ජනතාව, දහම්පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මීගහකිවුල – එන්. කේ. නිශ්ශංක 

08 07 04

 

අද සැබෑ වන එදා කොසොල් රජු දුටු සොළොස් මහා සිහින

අද වනවිට සිදුවන්නේ බුදු හිමි දේශනා කළ සොළොස් මහා සිහිනවල ඇති කරුණුය. පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ 77වැනි ජාතක කතාව මහා සුපින ජාතකයයි. කොසොල් මහ රජතුමා එක් දිනක් නින්දේදී දුටු සිහින හා ඒවාට පිළිතුරු වශයෙන් ලැබුණු දෑ මෙහි අන්තර්ගතය. 

කොසොල් මහ රජතුමා තමා දුටු සිහින 16 පළමුව පවසන්නේ ශාන්ති බ්‍රාහ්මණයාට හා පුරෝහිත බ්‍රාහ්මණයා වෙතය. ඔවුන් ඊට පිළිතුරු වශයෙන් සඳහන් කර සිටින්නේ රජතුමාට සිදුවන අනතුරු පිළිබඳවය. එනම් රාජ්‍යත්වයට, භෝග සම්පත්වලට හා ජීවිතයට අනතුරක් වන බව ඔවුහු පවසති. 

කොසොල් රජතුමා මෙතුළින් තැති ගැන්මකට ලක්වන අතර, එයට විසඳුමක් වශයෙන් බමුණන් සඳහන් කරන්නේ සත්ත්වයන් ගින්නට දමා දෙවියන් සතුටු කරන %සර්ව චතුස්ක^ නම් වූ යාගය සිදුකළ යුතු බවයි. 
මෙහිදී ශ්‍රද්ධාවෙන් හා බුද්ධියෙන් අනූන කොසොල් රජතුමාගේ බිසව වූ මල්ලිකා දේවියගේ උපදෙස් මත එම යාගය කිරීමට පෙරාතුව රජතුමා මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමේ අදහසින් බුදුරදුන් හමුවිය. 
එහිදී බුදු හිමියෝ යථාර්ථවාදී දේශනාවක් කොසොල් රජතුමාට දේශනා කළහ.

“උසහා රුක්ඛාගාවියො ගවාව අස්සෝ කංසා 
සිගාලිවි කුම්භො පොක්ඛරණී ච අපාක චන්දනං 
ලාපූනි සීදන්ත සිලාප්ලවන්ති මණ්ඩුකියො කණ්හා සප්පො ගිලන්ති 
කාකා සුවණ්ණා පරිවාරයන්ති තසාවකා ඵලකානං භයාතීති*
මෙහිදී කොසොල් රජතුමා සිහින 16ක් දුටු බවත්, ඒවායේ තේරුම පැහැදිලි කරදෙන ලෙසත් බුදු හිමිගෙන් ඉල්ලූ පුවත වැඩිදුරටත් විස්තර වේ. 
අප එම ජාතක කතාවෙහි ඇතුළත් සිහින දහසය පිළිබඳ මදක් විමසා බැලීම වැදගත් වනු ඇත. 

එම සිහින 16 පිළිවෙළින් ගත්කළ මෙසේය.

1. කළු ගොනුන් 4 දෙනෙක් රජ මිදුලට පැන තරගෙට ඇන ගන්නා විදිහට ඉද, පිරිස එකතු වූ කල ආපසු පැන දිවීම.
2. ගස් ලොකු වෙන්නට පෙර ගෙඩි හට ගැනීම
3. වැදූ විගසම එම වසු පැටියන්ගෙන් එළදෙනුන් කිරි බීම. 
4. පුරුදු ගොන්බාන, පුරුදු කරත්තය නොඇද නුපුරුදු කරත්තය ඇදගෙන යෑම. 
5. දෙපැත්තෙන්ම කටවල් දෙකක් තිබූ සතෙක් දෙපැත්තෙන්ම භක්‍ෂණය කිරීම. 
6. කහවනු ලක්ෂයක් වටිනා රන් තැටියකට හූනෙකු මූත්‍රා කිරීම.
7. මිනිසෙකු ලණුවක් අඹරන අතර, සිවල් දෙනක් එහි කෙළවර කෑම.
8.හිස් කළ ගෙඩි තිබියදී එය නොබලා පිරුණු කළවලටම තව තවත් ජලය පිරවීම.
9.පොකුණක සිවුපාවුන් බැස දිය බීවත්, දිය බොර නොවී දියට බැස කලඹන තැනම පිරිසුදු වීම. 
11. එක හැලියේ බත් තුන් විදිහකට ඉදීම.
සඳුන් අරටුවක් ගින්නෙන් දැවී අළු වීම.
12. වියළුන ලබු ගෙඩියක් වතුරට දැමූ කල දිය යටට යෑම.
13. පර්වතයක් දිය මතුපිට පා වී තිබීම.
14. රන් හංසයන්ට කපුටන් රජෙක් වීම.
15. කුඩා මැඩියෝ සර්පයන්ව එළවීමත්, සර්පයෝ මැඩියන්ට බියේ දිව යෑමත්.
16.දිවියෙක් පසුපස හරකෙක් එළවා ගොස්, ඌව මරාගෙන කෑම

මෙම සිහින 16 තුළ අන්තර්ගත වන්නේ ගැඹුරු අර්ථයන්ය. රටක සමාජයක පිරිහීම මින් ප්‍රධාන වශයෙන් කියවේ. මේවායේ අර්ථයෙන් කියවෙන දෑ මිනිස් ප්‍රජාව ක්‍රමක්‍රමයෙන් පිරිහීගෙන යන වර්තමානය තුළ සිදුවෙමින් පවතී. 
එදා කොසොල් රජතුමා දුටු සිහින එදාට බලපාන ඒවා නොව අදට බලපාන ඒවා බව බුදු හිමියෝ බුදු ඇසින් එදා අනාගතය බලා වදාළ සේක.
මෙම සිහින 16ම එකට සම්පිණ්ඩනය කොට බැලීමෙන් ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ එය විකාශය වී ඇති බව පැහැදිලි වේ. අද කාලීන වශයෙන් සිදුවන සියලු ප්‍රශ්න ගැටලු මෙම සිහින 16 තුළ අන්තර්ගතය. ඒවා සිදුවන අයුරු දෑසින් බලාගෙන ඉන්නා කෙනෙකු සේ බුදු හිමියෝ බුද්ධ ඥානයෙන් අද සිදුවන සියලු දේවල් එදා මනාව දේශනා කළහ. 

යුක්තිය දහම නොපිටට පෙරළීම. 
ආයුෂ අඩු වීම. 
කටේ වරද නිසා නැති ප්‍රශ්න ඇති වීම. 
මවුපියන්ට වැඩිහිටියන්ට නොසැලකීම.
දුවා දරුවන් හිතුමතේට ක්‍රියා කිරීම හා ගුරු දෙගුරුන්ටද අවනත නොවීම.
සුදුසු අයට සුදුසු තැන අහිමි වී නුසුදුසු අයට එම ස්ථාන ලැබීම.
බොරුව, වංචාව තුළින් තවකෙකු අසරණ වීම සඳහා ක්‍රියා කිරීම.
පිරිමින්ට ආවේණික ක්‍රියා ගැහැනුන්ද කිරීම හා කිරීමට උත්සාහ කිරීම. 
දෙපැත්තෙන්ම පගා ගැනීම හා වාසි අතට නඩුහබ සිදු වීම. 
සිල්වතුන්ට, ගුණවතුන්ට පූජා සත්කාර නොකිරීමත්, වද හිංසා දීමත්, දුස්සීලයන්ට තැන දීමත් ආදිය සිදුවීම. 
නිවෙස් තුළ ස්වාමි භක්තිය නොකොට පරදාර සේවනය සිදුවීම. 
අයබදු ගැනීම ආදිය වැඩි වී ජනතාව කෑකෝ ගැසීම.
අපරාධ දූෂණ වැඩිවී ජනතාව කෑකෝ ගැසීම.
අපරාධ දූෂණ වැඩිවීම හේතුවෙන් දෙවියන් කෝප වී අව්ව වැස්ස නිසි කලට නොදී අනිසි කලට ඒවා ලැබී ජනතාවට වද පැමිණීම.
දුසිරිත්කම් ඇති ගිහි පැවිදි අය බිහිවී බුදු සසුන කෙලෙසීම.
මිල මුදල්වලට යටවී කළගුණ සැලකීම හා ගුණ ධර්ම නොදත් පිරිසක් සේ කටයුතු කිරීම. 
ජාතිය ක්‍රමක්‍රමයෙන් වැනසීමත්, ඇත්ත බොරුවවී බොරුව ඇත්ත වීම, මිසදිටුවන් ජය පැන් වීම.
ආගම ධර්මයට තැන නොදීම හා පහත් මිනිසුන් වැදගත් අයට ගැරහීම.
අඩු වයසින් විවාහ වීමත්, ගැහැනුන්ට මිනිසුන් යටත් වීමත්, රාගයෙන් ජීවිත පවා විනාශ කිරීම.
ගිහියන් විසින් කළ යුතු දේවල් පැවිද්දන් කිරීමත්, පැවිද්දන් විසින් කළ යුතු දේවල් ගිහියන් කිරීමත් ආදී වශයෙනි. 

මේ ආදී වශයෙන් මුළු සමාජ සංස්ථාවම පිරිහීමට බලපාන සියලු ප්‍රශ්න, ගැටලු එම සිහින තුළ අන්තර්ගතය. එය අද සිදුවන අයුරු ඇස්කන් තිබෙන කාට වුවද අවබෝධ කරගත හැකිය. එදා බුදුරජාණන් වහන්සේ පහදා දුන් මෙම සිහින 16 අද සිදුවන අයුරු අමුතුවෙන් කිව යුතු නැත. 

රටත්, සමාජයත්, ජනතාවත්, පිරිහීගෙන යන ප්‍රවණතාව අද ශීඝ්‍රයෙන් උත්සන්න වී ඇත. ජාති, ආගම්, කුලමල සේම දේශපාලනික වශයෙන්ද මිනිසුන් විරසකවී භේද බින්නතා ගොඩ නගාගෙන තිරිසන් සත්ත්වයන්ටත් අන්ත ආකාරයට පිරිහී තිබේ.
මෙම කරුණු දැක බලා කෙනෙකුට හෝ පිරිසකට ආවේගයක් ඇති නොවිය යුතුය. එයට හේතුව මෙම කරුණු තුන්කාලයම කැඩපතකින් මුහුණ බලන්නා සේ දැකිය හැකි උත්තමයෙකු දේශනා කර තිබීම හේතුවෙනි. එසේ නම් අප කළ යුත්තේ තනි තනිවම මෙම කරුණු අධ්‍යයනය කර තම තමන්ම සුචරිතවත් වීමය. 

එකිනෙකා තනි තනිව හැදෙන කල සියල්ලෝම හැදුනා වන්නේය. බුදු දහමේ අන්තර්ගත කරුණු ජාති, ආගම්, කුල,පක්ෂ භේදයකින් තොරව කාටත් පොදු වූවකි. කාල, දේශවලට සීමා නොවී සෑම කාලයකටම සදාතනික අයුරින් බලපාන එම උතුම් පරම සත්‍ය තව තවත් ගවේෂණය කර අප සෑම දෙනෙකුම හොඳ මිනිසුන් වීමට උත්සාහවත් විය යුතුය.

රටක සමාජයක ජීවත් වීමේදී අප කවුරුත් වගකීම්වලින් පිරිපුන්ව සිටින්නෙමු. එබැවින් අප සියලු දෙනාම වගකීමෙන් කටයුතු කිරීමට සිතට ගතයුතුය. 2013 වර්ෂය උදා වී මාස දෙකක්වත් ගත නොවූ මෙවැනි කාලයක සියලු දෙනාටම එම කාර්යය සඳහා යහපත් ප්‍රාර්ථනා ඇති කරගත හැකිය. එසේ ඇති කොට ගෙන මෙලොව ජීවිතය සාර්ථක කරගැනීමටත් නිවැරදිව කටයුතු කර තම තමන්ගෙන් ඉටු විය යුතු සේවාව ඉටු කිරීමටත් සිතට ගැනීම, කළ යුතු එකම ක්‍රියාදාමය වන්නේය.

මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ ආචාර්ය ගලගෙදර රතන වංශ හිමි.