Category Archives: opinion

‘රෝහින්ග්‍යා අනාථයන් ලංකාවට බාරගැනීමට තීරණයක් නෑ’

මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයන් ලංකාවට බාරගැනීමට තීරණයක් නැතැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියි. ඔහු මෙම අදහස් පළ කළේ දෙස් විදෙස්හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා මෙලෙස සිය අදහස් ගොනු කළේය.

මියන්මාරයේ රෝහින්ග්‍යා අනාථයන් දසදහස් ගණනක් ශ්‍රී ලංකාවට බාරගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණය කර ඇති බවට යම් යම් ප්‍රවෘත්ති විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතිනවා. මේ නිසා රට තුළ කිසියම් ආකාරයක ආතතියක් ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම ඉස්ලාමීය ඇතැම් දේශපාලනික හා ආගමික කණ්ඩායම් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ අනාගතය පිළිබඳ යම් යම් උද්ඝෝෂණ කොළඹ නගරයේ දියත් කර තිබෙන අතර, බෞද්ධ පාර්ශ්වයෙනුත් එවැනි උද්ඝෝෂණ සිදු කිරීමට යන බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ අමාත්‍ය මණ්ඩලය රෝහින්ග්‍යා අනාථයන් ශ්‍රී ලංකාවට බාර ගැනීම සඳහා කිසිදු ආකාරයක පොරොන්දුවක් හෝ කිසිදු උත්සාහයක් දරා නැහැ. ඒ වගේම කාලයකට පෙර ඇති වූ සිදුවීමක දී අපේ නාවික හමුදාව විසින් මුහුදේ අතරමංව සිටි රෝහින්ග්‍යා අනාථයන් කිහිප ගොල්ලක් බේරාගනු ලැබුවා. පසුව ඔවුන් මියන්මාරයට පිටත් කර හරිනු ලැබුවා. ඒ හැරෙන්නට පසුගිය කාලය තුළ මියන්මාර රෝහින්ග්‍යා අනාථයන් ශ්‍රී ලංකාවට පැමිණ නැහැ. ඒ අනුව මෙයින් පෙනී යන්නේ කිසියම් පිරිසක් මේ පිළිබඳ රට තුළ නොසන්සුන්තාවක් ඇති කරගැනීම සඳහා සංවිධානාත්මක ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යමින් තිබෙන බවයි.

71-voluntary-displaced-Myanmar-people-back-home

රෝහින්ග්‍යා හි සිදුවන්නේ කුමක්ද? එය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. එම ප්‍රාන්තයේ බුරුමයට, එහෙම නැත්නම් මියන්මාරයට අයත් එම ප්‍රාන්තයේ මුස්ලිම් ජනතාව සියදහස් ගණනින් අසල්වැසි රටවලට පලා යමින් තිබෙන බව වාර්තා වෙනවා. දැනටමත් බංග්ලාදේශය එවැනි අනාථයන් හාරලක්‍ෂයකට ආසන්න පිරිසක් බාරගත් බව ප්‍රකාශ කොට තිබෙනවා. ඒ වගේම ඉන්දියාව බලා පලාගිය හතළිස්දහසක පිරිසක් බාරගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව මෙය කිසියම් ආකාරයකට මානව අපරාධයක් බව ඉන්දියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ප්‍රධානියා චෝදනාවක් ගොනු කළා. කෙසේ වෙතත් ඉන්දියාව තම ස්ථාවරය වෙනස් කළේ නැහැ. ඒ වගේම බංග්ලාදේශයත් දැන් කිසියම් ආකාරයක සහනශීලී ප්‍රතිපත්තියක හිටියත් රෝහින්ග්‍යා අනාථයන් පිළිගැනීමට එතරම් සූදානමක් නොමැති බව පැහැදිලියි.

මෑත කාලයේ මේ ගැටලුව ඇතිවීමට ප්‍රධාන හේතුව වූයේ, එම රෝහින්ග්‍යා ප්‍රදේශයේ මුස්ලිම්වරුන් අතරේ අන්තවාදී කණ්ඩායමක් බිහිවෙලා, පොලිස් ස්ථානවලට පහර දෙමින් ස්වයං පාලන ප්‍රදේශයක් ඇති කරලීමට උත්සාහ කිරීමයි. මේ සඳහා සෞදි ආරාබියේ, කටාර් රාජ්‍යයේ හා පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන ඇතැම් අන්තවාදී, ඉස්ලාමීය මූලධර්මවාදී සුන්නි කල්ලි, කණ්ඩායම් ක්‍රියා කරන බවට චෝදනා නැගුණා. ඉන්දියාව විවෘතවම මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබුණා. කිසියම් හෙයකින් කාෂ්මීරයේ මෙන් මියන්මාරයේ මේ ප්‍රදේශයෙත් ත්‍රස්තවාදී ගැටලුවක් ඇති වුවහොත් එය තමන්ගේ ප්‍රාන්තවලට බලපාන බව වහාම ඉන්දියාවට වැටහී ගිය නිසයි එවැනි තත්ත්වයක් ඇති වුණේ. ඒ වගේම ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකම හින්දු, ඉස්ලාමීය, ඒ වගේම බෞද්ධ ඉස්ලාමීය ආතතීන් ඇති වී බරපතළ ප්‍රශ්න මතුවෙමින් තිබෙන බවත් ප්‍රකාශ කළ යුතුයි. ඇත්තටම බුරුමයේ, එහෙම නැත්නම් මියන්මාරයේ ඉතිහාසය දන්නා අයට මෙය එතරම් මවිත වීමට කාරණයක් නෙමෙයි. මියන්මාරය හෙවත් බුරුමය ඓතිහාසික රාජ්‍යයක්. කෙසේ වෙතත් එය විශාල ගෝත්‍ර ගණනාවක්, ඒ වගේම ජනවාර්ගික කණ්ඩායම් ගණනාවක්, භාෂා ගණනාවක් කතා කරන රටක්. එක්තරා ආකාරයක ෆෙඩරල් රටක් එම රට. එම රට මීට වසර 2000කටත් පොරොතුව එක්සේසත් කර රජ පෙළපතක් බවට පත් කරනු ලැබුවා. ඒ අභියාසා රජ පෙළපත බෞද්ධ පදනම මතයි ඇති වුණේ.

29china_600

ශ්‍රී ලංකාවේ අමරපුර හා රාමඤ්ඤ කියන නිකායන් දෙකම ඇතිවුණේ පිළිවෙළින් අමරපුර හා රාමඤ්ඤ රට නමින් මියන්මාරයේ විවිධ ප්‍රාදේශීය රාජ්‍යයන්ගෙන් පැමිණි උපසම්පදා උත්සවයන් සමගයි. ඒ වගේම ථේරවාදී බුද්ධාගම අදහන රටක් හැටියට මියන්මාරයට විශාල ශක්තියක් ථේරවාදී බෞද්ධ ලෝකයේ පවතිනවා. ශ්‍රී ලංකාවත් ථේරවාදී රටක් නිසා ඒ ඓතිහාසික සම්බන්ධය අපත් මියන්මාරයත්, තායිලන්තයත් අතර නිබඳවම පවතිනවා. අභියාසා රජ පෙළපතත් සමග රජවරුන් ගණනාවක් හරහා මියන්මාරය විවිධ ආකාරයේ බලපෑම්වලට නතුවෙමින් කටයුතු වුණා. එක් කලෙක මොංගෝලියානු ආක්‍රමණවලට, තවත් කලෙක චීනයේ බලපෑම්වලට ආදී වශයෙන් පැමිණි මියන්මාරයට මහත් ප්‍රහාරයක් එල්ල කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින්. බ්‍රිතාන්‍යය දකුණු මියන්මාරයේ, එහෙම නැත්නම් බුරුමයේ කොටස් අත්පත් කරගනු ලැබුවා. ඒ වගේම මියන්මාරය සමග යුද්ධ ගනණාවක් 19 වැනි සියවසේ ඇති වුණා. අවසාන වශයෙන් 1885 දී මුළු මියන්මාරයම අත්පත් කර ගැනීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමත් වුණා. එහිදී මියන්මාරයේ සිටි රජතුමා වන තීබෝ අපේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙන් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කරනු ලැබුවා. එම රජතුමාගේ මුණුපුරන් සහ මී මුණුපුරන් මේ මෑත කාලයේදී මියන්මාරයට පැමිණි බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් එතනින් රාජවංශය අවසන් වෙනවා. රාජවංශය අවසන් වෙලා බ්‍රිතාන්‍ය ඉන්දීය සමාගමට මියන්මාරයත් අයිති වුණා. ඉන්දියාවේ සිට තමයි, බ්‍රිටිප් රාජ් කියන සමාගම විසින් එම කලාපය පාලනය කරනු ලැබුවේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයට අභියෝගයක් එල්ල කරමින් ජපානය මේ කලාපයේ වර්ධනය වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම චීනය සමග 1890 ගණන්වල කළ යුද්ධය ජය ගැනීමත්, 1904 දී රුසියාව සමග කළ යුද්ධය ජයගැනීමත්, ඉන්පසුව මැන්චූරියාව සහ කොරියානු ප්‍රදේශවලට ඇතුළු වීමත් නිසා ජපානය අධිරාජ්‍යයක් ලෙස පෙරට එමින් තිබුණා. මේ අවස්ථාවේදී විශාල ප්‍රශ්නයක් මියන්මාර අභ්‍යන්තරයේ දැවෙමින් තිබුණා. ඒ තමයි මියන්මාරයේ ස්වදේශිකයන්ගේ ජනගහනයට අභියෝගයක් එල්ල කරමින්, ඔවුන්ගේ ව්‍යාපාර හා වෘත්තීයවේදීත්වයට අභියෝගයක් එල්ල කරමින් බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවේ සිට විශාල වශයෙන් ඉන්දීය ජාතිකයන් ගෙන ඒම. එය වර්තමාන බංග්ලාදේශ ප්‍රදේශයෙනුත් ගෙන ආවා. ඒ නිසා රෝහින්ග්‍යා ප්‍රශ්නයේ මුල තිබෙන්නේ එක්තරා අතකට මේ බ්‍රිතාන්‍ය පාලන සමය යටතේ ලක්‍ෂ සංඛ්‍යාත ලෙස බුරුමයට ගෙන ආ ඒ මහා ඉන්දීය ජනගඟ නිසයි. එක පැත්තකින් බුරුමයේ අගනගරවල ව්‍යාපාරික තැන්, රැන්ගූන්, මණ්ඩලේ ආදී අගනගරවල ව්‍යාපාරික ස්ථාන ඉන්දීය ජාතීන් අත්පත් කර ගත්තා. ඒ වගේම ප්‍රධාන වරායන් හා සිවිල් සේවාව බොහෝ දුරට ඉන්දීය ජාතීන්ගෙන් පිරී තිබුණා. මියන්මාර ස්වදේශිකයන්ට එම රාජ්‍යයේ තැනක් තිබුණේ නැහැ. ඒ වගේම කම්කරුවන් ලෙසත් අතිවිශාල පිරිසක් ගෙනැවිත් තිබුණා. මේ නිසා එම බ්‍රිතාන්‍ය විරෝධී ජාතික අරගලයේ එක අංගයක් වුණේ ඉන්දියානු විරෝධයයි. ඒ වගේම ඉන්දියාවත්, බංග්ලාදේශයත් එයට අයත්. ඔවුන් රටින් පිටුවහල් විය යුතු යැයි කියන හැඟීම ඒ ඇතුළේ ගැබ් වී තිබුණා.

අවුන් සාන් නම් තරුණ නීතිවේදී ශිෂ්‍යයෙක් මේ විමුක්ති අරගලයට නායකත්වය දුන්නා. ඔහු පසුව ජපානය සමග එක් වී කිසියම් සන්නද්ධ ක්‍රියාදාමයක් අනුගමනය කළා. මේ සන්නද්ධ ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලය වුණේ මියන්මාරය ජපානයට නතු වීමයි. බ්‍රිතාන්‍යයන් පරාජය කරමින් මියන්මාරය අල්ලාගෙන ගොඩබිමින් යුරෝපය දක්වා ගිය සේද මාවත අල්ලාගන්න ජපානය සමත් වුණා. ඇත්තටම මේ කාලය ඓතිහාසික වශයෙන් තවත් සිදුවීමක් සිදුවුණා. ඒ තමයි ඉන්දීය ජාතික කොංග්‍රසයේ ගාන්ධි අනුගමනය කළ බ්‍රිතාන්‍යයට පක්ෂපාතී ක්‍රියාදාමය හෙළා දකිමින්, එහි ප්‍රධාන චරිතයක් වන සුභාෂ් චන්ද්‍රබෝස් ජපානය සමග එක්වීම. අන්දමන් හා මියන්මාරයේ සිට ඔහු බ්‍රිතාන්‍යයට එරෙහිව සන්නද්ධ සටනක් දියත් කිරීමට නිදහස් ඉන්දීය හමුදාව බිහි කිරීමත් සිදු වුණා.

කෙසේ වෙතත් ඉන්දීය විරෝධී මහා ජාතිවාදී අරගල මැද මියන්මාරයට නිදහස ලැබුණා. අවුන් සාන් එහි ප්‍රධාන අගමැතිවරයා හැටියට පත් වුණා. නමුත් ඔහුට වැඩිකල් ආණ්ඩු කිරීමට හැකිවුණේ නැහැ. ඔහුත්, ඔහුගේ කැබිනට් මණ්ඩලයත් ඝාතනය කරනු ලැබුවා. ඉන්පසු ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ ඌනුට වැඩිකල් රට කරන්නට ලැබුණේ නැහැ. එහි තිබූ ජනවාර්ගික ගැටුම් හා නොයෙකුත් ආකාරයේ ගැටලු නිසා මියන්මාරයේ බලය නේවීන් නමැති යුද සෙනෙවියා අතට ගියා. ඒ කාලයේ ඇති වෙමින් තිබූ කොමියුනිස්ට් සමාජවාදී රැල්ල සමග යමින් ඔවුන්ගේ ප්‍රදේශයේ තිබූ කාම්බෝජියාව, ලාඕසය, වියට්නාමය ආදී රටවල් විශේෂයෙන්ම රතු චීනය එය ආදර්ශයට ගනිමින් සමාජවාදය බිහි කිරීම සඳහා කියමින් නේවින් හමුදා බලයක් පිහිටෙව්වා. ඒ වගේම 1962 චීනය හා ඉන්දියාව යුද වැදුණු අවස්ථාවේදී නේවින් එය ප්‍රයෝජනයට අරගෙන හමුදා පාලනයක් පිහිටෙව්වා පමණක් නෙමෙයි, සියලුම ඉන්දියානුවන් එම මියන්මාරයෙන් පිටුවහල් කළා. ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් මියන්මාරයෙන් පිටුවහල් කළා. ඉන්දියාවට මේ අවස්ථාවේදී මියන්මාරයට එරෙහිව යුද වැදීමට හෝ එය වැළැක්වීමට හැකියාවක් තිබුණේ නැහැ. මොකද චීනයත් සමග ඔවුන් පැටලී සිටි නිසාත් පාකිස්තානය සමග ගැටුම් ඇති කරගෙන සිටි නිසාත්. කෙසේ වෙතත් අතිවිශාල ජනගහනයක් මේ ලෙසම ඉන්දියාව කරා පලවා හරින්න මියන්මාරය ඒ අවස්ථාවේ කටයුතු කළා. ඇත්ත වශයෙන්ම ඔවුන් ඉන්දීය ජාතිකයන්. බ්‍රිතාන්‍යයන්ගේ සමයේ ගෙන ආ පිරිසක්.

ඒ වගේම මේ කාලයේ සිටම මේ අරකන් නමැති මේ ගෝත්‍රය ජීවත්වන ප්‍රදේශයේ, බංගලිදේශය නමින් පසුව ඇති වූ නැගෙනහිර පාකිස්තානයේ ජනතාව පැමිණීම ගැන විශාල විරෝධයක් පැතිරී තිබුණා. ඔවුන් පිටුවහල් කළයුතු බවට විශාල උද්ඝෝෂණයක් රට තුළ ඇති වුණා. කෙසේ වෙතත් 1982 දී හඳුන්වාදෙන ලද නව නීතිරීති අනුව මේ රෝහින්ග්‍යාහි ජීවත්වන පිරිසට මියන්මාරයේ පුරවැසිකමක් නැහැ. මියන්මාරයේ පුරවැසිකමක් ලබාගැනීමට අවශ්‍ය කරන කොන්දේසි ඔවුන් සපුරා තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් රටක් නැති පිරිසක් හැටියටයි සටහන් වුණේ.

කෙසේ වෙතත් පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ජයගැනීමත්, අවුන් සාන්ගේ දියණිය, අවුන් සාන් සුකී බටහිර රටවල ආධාරයෙන් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉෂ්ට කිරීමත් නිසා කිසියම් දුරකට මියන්මාරයට බටහිර අවධානය යොමු වුණා. කොටින්ම බරැක් ඔබාමා පවා මියන්මාරයේ සංචාරයක නියැළුණා, පමණක් නොව, මියන්මාරයද විවෘත ආර්ථිකය කරා ගමන් කළා. ඒ පැවතුණු ස්වදේශීය සමාජවාදී ස්වයංපෝෂිත ආර්ථිකය වෙනුවට විවෘත ආර්ථිකය තෝරා ගැනීමත් සමගම මියන්මාරයේ විශාල ආයෝජන පිබිදීමක් ඇති වුණා. ඒ වගේම මියන්මාරය අවට ප්‍රදේශය තෙල් ගවේෂණය ආදිය සිදුකිරීම නිසා තවත් ආකාරයකින් ආර්ථික සමෘද්ධියක් ඇති වෙන්නට පටන් ගත්තා. ඒ වගේම සුපුරුදු පරිදි අසල්වැසි යෝධ චීනයේ බලපෑමත් මියන්මාරයට එල්ල වුණා. චීනය විසින් මියන්මාරය ආර්ථික අතින් අකර්මණ්‍ය කරනවාය කියන චෝදනාවත් සමග මියන්මාරය එක් අවස්ථාවක චීනය දියත් කළ ප්‍රධාන ජලවිදුලි බලාගාරයක් පවා ප්‍රතිෂේප කිරීමට කටයුතු කළා. 

කෙසේ වෙතත් අවුන් සාන් සුකී ක්‍රමයෙන් චීනයේ ආයෝජන කරා ගමන් කරමින් සිටින බව පැහැදිලියි. ඒ නිසා කිසියම් ආකාරයකට අවුන් සාන් සුකීව බලයට ගෙන ඒම සඳහා ක්‍රියාකළ බටහිර රටවල් සහ ඉන්දියානුවන්ගේ මැදිහත්වීම්වලින් සිදුකළ මෙහෙයුම අසාර්ථක වෙමින් අවුන් සාන් සුකී චීනය පැත්ත ගැනීම ගැන කිසියම් ආකාරයක වෛරයක්, කිසියම් ආකාරයක දේශපාලන පළිගැනීමක් සිදුවෙමින් තිබෙන බවත් වාර්තා වෙනවා. ඒ වගේම මියන්මාරය කාලයක් මුළුල්ලේ පාලනය කළ යුද හමුදාව තවමත් එහි පාර්ලිමේන්තුවේ විශාල බලයක් උසුලනවා. එය නැවත වතාවක් සිවිල් පාලනයකට ලබාදීමට ඇති අකමැත්තත් අපට පෙනී යනවා.

rohingys-escping-in-boats

මියන්මාරයේ බෞද්ධයන් පවසන්නේ මේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වර්තමාන බංග්ලාදේශයෙන් පැමිණි විදේශිකයන් පිරිසක් බවයි. ඔවුන් ඉතා ශීඝ්‍රයෙන් සිය ජනගහනය වර්ධනය කරමින් මියන්මාරයේ ජනවාර්ගික සංතුලනය බිඳ දමන බවත්, ශීඝ්‍රයෙන් සෞදි අරාබියේ මුදල්වලින් පල්ලි පිහිටුවමින් ආක්‍රමණික වේශයෙන් හැසිරෙන බවටත් ඔවුන් චෝදනා කරනවා. එය වඩාත් දියුණු තියුණු වුණේ වහබ්වාදී අදහස් ඇති සුන්නි ත්‍රස්තවාදී ක්‍රියාවලියක් රෝහින්ග්‍යාහි ආරම්භ වීමත් සමගයි. මාස කිහිපයකට පෙර පොලිස් ස්ථාන 09කට පහර දුන්නා. ඒ වගේම සති කිහිපයකට පෙර පොලිස් ස්ථාන 43කට පහර දුන්නා. ඊට පස්සේ සිදු වුණා යුද නීතිය පනවලා හමුදාව ඒ ප්‍රදේශවලට යවන්න.

ඒ වගේම මුස්ලිම් රටවල්වලින් කිසියම් ආකාරයක ප්‍රචාරක යුද්ධයක් ගෙනයන බවට අපට පෙනී යනවා. විශේෂයෙන්ම කටාරයේ සිට ක්‍රියාත්මක වන %අල් ජසීරා^ නාළිකාව, %සීඑන්එන්^, %බීබීසී^ වැනි නාළිකා විශාල ප්‍රමුඛතාවක් මෙයට ලබාදෙනවා. ඔවුන් පවසන්නේ ඉතාම දුගී රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව ඉතාම භයානක ලෙස මියන්මාර ආරක්‍ෂක හමුදා විසින් ඝාතනය කරමින්, සිය ප්‍රදේශවලින් පලවා හරිමින්, ගම්බිම් ගිනිබත් කරමින් තිබෙන බවයි. මේ ජනතාව ඉතාම දුගී ජනතාවක් බව ඇත්ත. ඒ වගේම මේ ජනතාවට මියන්මාර හමුදාවේ ප්‍රහාරවලට මුහුණදීමේ හැකියාවක් නැති බවත් ඇත්ත. ඔවුන් ඉතා විශාල වශයෙන් අනාථ වෙමින් හාරලක්‍ෂයකට අධික පිරිසක් ඒ ප්‍රදේශවලින් පලා ගිහින් තිබෙන බවත් ඇත්ත. නමුත් තවත් සමහර විදේශීය විචාරකයන් පවසන්නේ මේ පිළිබඳ පවතින මේ මහා උද්ඝෝෂණය, ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානින් වනසා දැමීමට ඉස්ලාමීය මූලධර්මවාදීන් කටයුතු කළ අවස්ථාවේදී, පල්ලිවල බෝම්බ පුපුරවපු අවස්ථාවේදී, ඒ ජනතාව සමූල ඝාතනය කළ අවස්ථාවේ නැගුණේ නැති බවයි. සිරියාවේ, ලෙබනනයේ, ඉරාකයේ, ඒ වගේම වර්තමාන පාකිස්තානයේ, ඇෆ්ගනිස්තානයේ ජීවත් වූ සුළුතර ක්‍රිස්තියානීන් සහ බෞද්ධයන් ආදිය මරා දමා පලවා හරින විට ඇයි මේ උද්ඝෝෂණය පැන නොනැගුණේ කියා ඇතැමුන් ප්‍රශ්න කරනවා.

විශේෂයෙන්ම බංගලිදේශයේ බෞද්ධ ප්‍රාන්තය වන චිතගුන්හි බෞද්ධයන්ට සිදු කරන අසාධාරණයන් පිළිබඳ ඇයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදන නිකුත් නොකරන්නේ. 'බීබීසීය', 'සීඑන්එන්' සේවය, 'අල් ජසීරා' සේවය අවධානය යොමු නොකරන්නේ ඇයි කියාත් යම්කිසි ආකාරයකට ප්‍රශ්න කිරීමක් සිදු කෙරෙනවා. ඇත්ත වශයෙන්ම ඉස්ලාමීය මූලධර්මවාදීන් විසින් ඔවුන්ට බලය තිබෙන ප්‍රදේශවල දියත් කර තිබෙන මනුෂ්‍ය සංහාර දෙස බලන විට අප්‍රිකාවේ, ඒ වගේම මැද පෙරදිග හා වෙනත් රටවල සිදු කරගෙන යන ව්‍යසන තත්ත්වයන් දෙස බලන විට මේ මියන්මාරයේ සිදු වෙමින් තිබෙන කාරණය එතරම් ගණන් ගතයුතු කාරණයක් නොවන බවටත් ඇතැම් විචාරකයන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් එහි මනුෂ්‍ය ඛේදවාචකයක් සිදුවෙමින් තිබෙන බව අප සියලු දෙනාම පිළිගත යුතුයි. ඒ වගේම මෙහි දේශපාලන පසුබිමකුත් අනිවාර්යයෙන්ම තිබෙනවා. ඒ තමයි අවුන් සාන් සුකී චීනය සමග එකතු වීම නිසා චීනයේ %එක මාවතක් – එක තීරයක්^, එහෙම නැත්නම් %වන් බෙල්ට් – වන් රූට්^ කියන එම තේමාව යටතට චිතගොන්හි හා මියන්මාරයේ විශාල වශයෙන් වරායන් ඉදිකරන්නට, අධිවේගී මාර්ග ඉදිකරන්නට ඉඩදීමත්, තෙල් සම්පත ගවේෂණයට ඉඩ දීමත් පිළිබඳ කෝපයෙන් පසුවන බටහිර රටවල්, අවුන් සාන් සුකීට එරෙහිව යම් දේශපාලන ප්‍රහාරකයක් එල්ල කරමින් තිබෙන බවයි. මෙය අපට එක්වරම ප්‍රතික්‍ෂෙප කළ නොහැකියි. දැන් අද වනවිට දකුණු පැසිපික් සාගරයේත්, ඒ වගේම ඉන්දියානු සාගරයේත්, ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ලෝකයත්, ජපානය ඉන්දියාව ආදී කණ්ඩායමත්, සෞදි ආරබිය එක පැත්තකටත්, අනෙක් පැත්තට චීනය, පකිස්තානය හා රුසියාවේත් සහාය ලබා ගනිමින් ගැටුමක් ඇති වී තිබෙන බවයි. වර්තමාන උතුරු කොරියාවේ ඇතිවෙමින් තිබෙන සිදුවීමත් එහිම කොටසක් බව පැහැදිලියි.

කෙසේ වෙතත් ඉතාම කනගාටුදායක දෙය නම් මේ රෝහින්ග්‍යා අරගලය ඉස්ලාමීය මූලධර්මවාදීන් හා අනෙකුත් ලෝක ජනතාව අතර කෙරෙන අරගලයක් වීමත්, ඒ වගේම එයට දැන් ලෝක බලවතුන්ගේ සීතල යුද්ධය ඇතුළු වීමත්ය. මෙයින් අවසාන වශයෙන් බැට කන්නේ ඒ දුගී රෝහින්ග්‍යා ජනතාවයි. ඒ නිසා ඒ රොහින්ග්‍යා ජනතාවගේ ඛේදවාචකය ජාත්‍යන්තරකරණය වීමට ඉඩ නොදී, එය මැදිහත්ව විසඳීම සඳහා මැදිහත් ක්‍රියාදාමිකයෙකු මිස අරාබි සල්ලිවලින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට අවි ලබාදීම හෝ ප්‍රචාරක යුද්ධයක් මගින් අවුන් සාන් සුකී කොටු කිරීම හෝ ඒ වගේම නැවත වතාවක් මියන්මාරයේ හමුදා පාලනයක් එන තැනට වැඩ කටයුතු සැකසීම හෝ සිදු නොකොට, ඉතාම උපේක්‍ෂා සහගතව මේ ගැන බැලිය යුතුයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුත්, ශ්‍රී ලංකාවේ බෞද්ධයනුත් මේ පිළිබඳ උපේක්‍ෂාවෙන් බැලිය යුතුයි. මානුෂීය ගැටලුව ගැන එක් ආකාරයකටත්, අන්තවාදය හා ජාත්‍යන්තර දේශපාලනය ගැන තවත් ආකාරයකටත් අවබෝධ කරගනිමින් අප සියලු දෙනා කටයුතු කළයුතු වෙනවා."

අයවැය පොරොන්දු කඩන සම්ප්‍රදායට අලුත් ඇමතිලා තිතක් තියයිද?

2018 අයවැය පොරොන්දු මල්ල පිළිබඳව ජනතාව කුතුහලයෙන් පසුවන මෙම වකවානුවේ, පසුගිය වසරවල දුන් අයවැය පොරොන්දු පිළිබඳව පසුවිපරමක් කිරීම මෙම ලිපියේ අරමුණයි. අයවැය යනු ජනතාව විසින් පත් කළ මහජන නියෝජිතයන් සෑම වසරකම ජනතාව ඉදිරියට පැමිණ ඔවුන්ගෙන් එම වසර තුළ එකතු කරගන්නට බලාපොරොත්තු වන බදු මුදල සහ එම මුදලින් රටේ සංවර්ධනය වෙනුවෙන් කරන්නට යන කර්තව්‍යයන් පිළිබඳ කරන වැදගත් ප්‍රකාශයකි.  එසේම, ජනතාවට තමන් පත් කළ රජයේ ආර්ථික අරමුණු සහ ප්‍රතිපත්ති දිශානතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන ප්‍රකාශයක් ලෙසද අයවැය යෝජනා ඉතා වැදගත් වේ.


මෙසේ ජනතාව ඉදිරියට පැමිණ ඔවුන්ගෙන් ගන්නා බදු මුදල් පරිහරණය කරන ආකාරය පිළිබඳව දෙන පොරොන්දු රජය ඉටුකරනු ඇතැයි ජනතාව අපේක්ෂා කරයි. එහෙත් අවාසනාවකට මෙන් අයවැය පොරොන්දු බොහොමයක් දිගින් දිගටම ඉටු නොකරන සම්ප්‍රදායක් ලංකාවේ මේ වන විට ස්ථාපිත වී ඇත. මෙසේ කඩ කරන පොරොන්දු පිළිබඳ වටහා ගැනීමට උපකාරී වන වැදගත් නිර්ණායකයක් වන්නේ අයවැය යෝජනා කරන අවස්ථාවේ විවිධ ක්ෂේත්‍රයන් සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණය සහ වසර අවසානය වන විට සැබවින්ම එම ක්ෂේත්‍රයන්ට වියදම් කළ මුදල් ප්‍රමාණයත් අතර තිබෙන දැවැන්ත පරතරයයි. මෙම විසල් වෙනස පෙන්නුම් කරන්නේ සෑම වසරකම රජය අයවැය හරහා ජනතාව මුළාවට ලක්කරන බවයි.  

වෙරිටේ පර්යේෂණ ආයතනය වසර 2010-2014 අතර කාලය තුළ දුන් අයවැය පොරොන්දු ඉටුකිරීමට එවකට සිටි රජය අසමත් වූ අවස්ථා ගණනාවක් 2014 සහ 2015 වසරවල පළ කළ පුවත්පත් ලිපි මගින් පෙන්වා දී ඇත. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ 2015 සහ 2016 වසරවල ඉදිරිපත් කළ අයවැය පොරොන්දු කිහිපයක් පිළිබඳව පසුවිපරමක් කිරීමයි. එකී පසුවිපරමෙන් අනාවරණය වූ පහත කරුණු වැඩිදුර සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. 
ඡන්ද කාලෙට දෙන පොරොන්දු ඉටුකරන්න ඇති උනන්දුව ඡන්දෙන් පස්සෙ නැහැ – ඡන්දය ගන්නට ජනතාව ඉදිරියට යන්නට සැරසෙන වසරවල රජය අයවැයෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට දක්වන උනන්දුව වැඩි බව පෙනේ. එහෙත් එම උනන්දුව මැතිවරණයෙන් පසුව වියැකී යන බව අයවැය සම්බන්ධ දත්ත පෙන්වා දෙයි. 

ජනතාවට ඍජුව දැනෙන පොරොන්දු රකින්න රජයෙන් වැඩි අවධානයක් – ගෙවුණු කාලය තුළ ලබා දී ඇති අනේකවිධ ඡන්ද පොරොන්දු දෙස බැලූ විට පෙනී යන්නේ ජනතාවගේ ඇඟට/බඩට දැනෙන සහනාධාර සහ දීමනා සම්බන්ධ පොරොන්දු රැකීමට රජය වැඩිපුර උනන්දු වී ඇති බවයි. කැඩෙන පොරොන්දු බොහොමයක් දිගුකාලීනව ආර්ථික වර්ධනයට වැදගත් වන හෝ ජනතා අවධානයට පහසුවෙන් හසු නොවන ඒවාය.

රකින්නට බැරි බව දැනදැන දෙන ඇතැම් ලොකු පොරොන්දු අයවැයෙහි විශ්වසනීයත්වයට දැඩි පහරක් – පෙර තක්සේරුවකින් හෝ ඇගයීමකින් තොරව ඇතැම් ක්ෂේත්‍ර සඳහා දෙන මුදල් විශාල ලෙස වැඩි කිරීමට පොරොන්දු වීම, එම මුදල් වසර අවසානය වන විට එම ක්ෂේත්‍රයට යෙදවීමට අසමත් වීමට ප්‍රධාන හේතුවක් විය හැකි බව දත්ත පෙන්වා දෙයි. මෙසේ මනා සැලසුම්කරණයකින් තොරව රකින්නට බැරි බව දැනදැන දෙන පොරොන්දු රජයේ අයවැය ප්‍රකාශයේ විශ්වාසනීයත්වය හීන කරයි.

2015 මැතිවරණයෙන් පසු බිඳුණු පොරොන්දු

මෙම ලිපිය අවධානය යොමු කරන්නේ රජය විසින් සපයන සමාජ සේවා යටතට වැටෙන අංශ පහක් සඳහා වැය කරන්නට පොරොන්දු වූ මුදල් පිළිබඳවයි. අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස, සුභසාධන (විශ්‍රාම වැටුප්, සමෘද්ධි සහනාධාර වැනි) සහ අනෙකුත් සමාජ සේවා (කසළ එක්රැස් කිරීම, ආපදා කළමනාකරණය වැනි) එම අංශ පහයි. මීට අමතරව ග්‍රාමීය ආර්ථිකය නැංවීමට සහ දිළිඳුකම තුරන් කිරීමට වැදගත් අංශයක් වන කෘෂිකර්මාන්ත හා වාරිමාර්ග යන අංශ පිළිබඳවද මෙම ලිපිය අවධානය යොමු කරයි. මෙකී අංශවලට එම වසර සඳහා අයවැයෙන් වියදම් කරන බවට පොරොන්දු වූ මුදල් සහ සත්‍ය වශයෙන්ම වසර අවසානය වන විට වියදම් කළ මුදල අතර ඇති පරතරය පිළිබඳව මෙහිදී අවධානය  යොමු කරනු ලැබේ.

01

 1 රූපයෙන් පෙනෙන්නේ 2016 වසර තුළ සුභසාධන අංශය හැරුණුකොට අනෙක් සෑම අංශයක් සඳහාම රජය වියදම් කළ මුදල එම වසර සඳහා අයවැයෙන් පොරොන්දු වූ මුදලට වඩා බෙහෙවින් අඩු බවය. ප්‍රතිශතයක් වශයෙන් ගත් කල අදාළ අංශ සඳහා වියදම් කළ මුදල, පොරොන්දු වූ මුදලට වඩා 20%කටත් වඩා අඩු වී ඇති අතර, (උදා: අධ්‍යාපනය) සමහරක් අංශ සඳහා එය 30%කටත් වඩා අඩු වී ඇත. (උදා: කෘෂිකර්මය) 

2016 වසර මැතිවරණ දෙකක් පැවති 2015 වසර සමග සංසන්දනය කිරීමේදී පෙනී යන්නේ, 2015දී රජය අයවැයෙන් පොරොන්දු වූ මුදලටත් වඩා වැඩි මුදලක් අධ්‍යාපනය, සුභසාධනය සහ කෘෂිකර්මාන්ත සහ වාරිමාර්ග යන අංශවලට වියදම් කිරීමට උනන්දු වී ඇති බවයි. උදාහරණයක් ලෙස කෘෂි අංශයට 2015දී වැය කළ මුදල, පොරොන්දු වූ මුදලට වඩා 14% කින් ඉහළ ගොස් ඇත. පොරොන්දු  ඉටුකිරීමට ඇති උද්යෝගය සහ මැතිවරණ අතර ඇති සබඳතාව මෙයින් මනාව පැහැදිලි වේ.

අයවැය ගැන විශ්වාසය පලුදු කරන ලොකු පොරොන්දු

2015 නොවැම්බර් මස වෙරිටේ ආයතනය මගින් පළ කළ ලිපියකින් පෙන්වා දුන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවලට 2016 වසරේ වියදම් කරන්නට පොරොන්දු වූ  මුදල, සත්‍ය වශයෙන්ම වියදම් කිරීම රජයට අභියෝගයක් වනු ඇති බවයි. එසේම මෙවැනි රකින්නට බැරි ලොකු පොරොන්දු දී ජනතාව නොමග යැවීම යහපාලනය පොරොන්දු වූ රජයකට නොගැළපෙන බවත් එම ලිපියෙන් පෙන්වා දෙන ලදී. 2016 මහ බැංකු වාර්තාවේ පළ කරන ලද දත්ත අනුව, වෙරිටේ ආයතනයේ පෙර නිගමනය නිවැරදි බව පැහැදිලි වේ. මෙම අංශ සඳහා වැය කළ මුදල, පොරොන්දු වූ මුදලට වඩා බෙහෙවින් අඩුය.  

2015 අදාළ ක්ෂේත්‍ර සඳහා වැය කළ මුදලට සාපේක්ෂව 2016 පොරොන්දු වූ වෙනස සහ සැබෑ වෙනස අතර පරතරය 2 රූපයෙන් ප්‍රතිශතයක් ලෙස දක්වා ඇත.

02

2 රූපය දෙස බැලූ විට පෙනෙන්නේ සුභසාධන අංශයට හැරුණුකොට අනෙක් සෑම අංශයකටම වෙන් කරන්නට පොරොන්දු වූ මුදල් ප්‍රමාණය 2015ට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්නා බවය. උදාහරණයක් ලෙස නිවාස, සෞඛ්‍ය, කෘෂිකර්මාන්ත සහ වාරිමාර්ග, සමාජ සේවා සහ අධ්‍යාපන යන සියලු අංශවලට 2015 ට සාපේක්ෂව 2016 දී 25෴කටත් වඩා වැඩි මුදලක් වියදම් කරන බවට රජය අයවැයෙන් පොරොන්දු වී ඇත. අධ්‍යාපනය සහ සමාජ සේවා සඳහා 2016 දී වැය කරන්නට පොරොන්දු වූ මුදල 2015ට සාපේක්ෂව 40෴කටත් වඩා වැඩිය. එහෙත් සැබෑ ලෙසම වියදම් කර ඇත්තේ පොරොන්දු වන ප්‍රමාණයට වඩා ඉතා අඩු මුදලකි. ඇතැම් ක්ෂේත්‍රවලට 2015 ට වඩා 40෴කටත් වඩා වැඩියෙන් 2016  වියදම් කරන්නට පොරොන්දු වුවද, සැබෑ ලෙසම වියදම් කළ මුදල 2015 දී වියදම් කළ මුදලටත් වඩා අඩු අගයක් ගැනීම කනගාටුදායක කරුණකි. (උදා: නිවාස, සමාජ සේවා, කෘෂිකර්මාන්තය)

ජනතාවගේ ඇඟට දැනෙන පොරොන්දුවල වැදගත්කම 

2015 සහ 2016 යන වසර දෙක තුළ නොකැඩුණු පොරොන්දුවකට ඇත්තේ සුභසාධන වියදම් පමණි. වසර දෙකේදීම සුභසාධන අංශයට පොරොන්දු වූ මුදලට වඩා මඳක් ඉහළ මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට රජය කටයුතු කර ඇත. සුභසාධන වියදම්වලින් බොහොමයක් ජනතාවගේ ඇඟට දැනෙන වියදම්ය. විශ්‍රාම වැටුප්, සමෘද්ධි සහනාධාර වැනි ගෙවීම් සුභසාධන වියදම්වලට ඇතුළත් වේ. මෙයින් මනාව පැහැදිලි වන්නේ ජනතාවට බලපෑම ඉක්මනින් දැනෙන කෙටිකාලීන අයවැය පොරොන්දු රකින්නට රජය වැඩි උත්සාහයක් ගන්නා බවයි.  ලංකාවේ 580,000ක් පමණ විශ්‍රාමිකයන් සිටින අතර 25෴කට වඩා පවුල් ප්‍රමාණයක් සමෘද්ධිලාභීන් වේ. මෙම වියදම් ජනතාවට නොදැනෙන ලෙස කපා හැරීම අපහසු කාර්යයකි. එබැවින්, මේ සඳහා වෙන් කරන්නට පොරොන්දු වන මුදල කෙසේ හෝ ලබාදීමට රජය උත්සුක වන බව පෙනේ.

2018 අයවැය – අලුත් මුදල් ඇමැතිලාගේ කුළුඳුල් පොරොන්දු 

බලයට පත්වූ සෑම රජයක්ම පාහේ අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්ම හා වාරිමාර්ග යන අංශ දියුණු කිරීම තම සංවර්ධන සැලැස්මේ මූලික අරමුණක් බව මහජනතාව ඉදිරියේ පුනපුනා ප්‍රකාශ කර ඇත. එහෙත් ජනතාව ඉදිරියට පැමිණ කියන දේ සහ සැබවින්ම කරන දේ අතර විශාල වෙනසක් ඇති බව මෙම අංශවලට දීමට පොරොන්දු වන  මුදල සහ සැබෑ ලෙස ලබාදෙන මුදල අතර වෙනස කියාපායි. මෙසේ මහජනතාව පත් කළ මහජන නියෝජිතයන්, එම ජනතාවගෙන් උපයාගන්නා බදු මුදල් රටේ සංවර්ධනය සඳහා යොදවන ආකාරය පිළිබඳව කරන ජනතාව මුළා කරන ප්‍රකාශ එම ජනතාවට කරන අවමානයකි.  

මෙසේ සෑම වසරකම ජනතාව මුළා කරන්නට රජයට හැකියාව ලැබී තිබෙන්නේ පසුගිය වසරේ වූ පොරොන්දුවලට වුණේ කුමක්දැයි දැනගැනීමට ක්‍රමවේදයක් නොමැති බැවිනි. වත්මන් ක්‍රමය යටතේ, ජනතාව ඉදිරියේ අලුත් පොරොන්දු මල්ල දිග හරින්නට පෙර පරණ පොරොන්දු මල්ලට වූ දේ පිළිබඳ දත්ත සහ කරුණු ඇතුළත් වාර්තාවක් රජය ජනතාවට ඉදිරිපත් නොකරයි.

2018 වසරට අයවැය සකස් කරන්නට අලුත් මුදල් ඇමතිලා දෙදෙ‍නෙක් පත්කර ඇත. යහපාලන ආණ්ඩුව මෙම වසරේ මැයි මස මුදල් සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතාවද, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න මහතාවද පත්කරන ලදී. පාලන කාලයක් අතරමැදින් කරනා මෙවැනි පත්වීම් ජනතාව තුළ යම් ධනාත්මක වෙනසක් පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් ඇති කිරීමට හේතු වෙයි. 

2018 වසර සඳහා අයවැය ක්‍රියාවලිය දැනටම ආරම්භ වී ඇති අතර, තව මාස කිහිපයකින් නව මුදල් ඇමතිවරුන් සිය කුලුඳුල් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. මෙම අයවැයේදීවත් රකින්නට බැරි පොරොන්දු නොදීමටත්, දෙන පොරොන්දු මනා තක්සේරුවකින් සහ ඇගයීමකින් පසුව කරන්නටත් වග බලා ගැනීම තුළින් සහ පොරොන්දු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මනා සැලැස්මක් සකස් කිරීම මගින් අයවැය පොරොන්දු කඩන සම්ප්‍රදායට තිතක් තියන්නට අලුත් ඇමතිලා සමත් වේදැයි ජනතාව බලා සිටිනු ඇත.
වෙරිටේ පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකාවේ සහ ආසියා කලාපයේ ආර්ථික, නෛතික, දේශපාලන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි පර්යේෂණ හා  විශ්ලේෂණ කටයුතුවල නියුතු වේ. අදහස්, යෝජනා හෝ වැඩිදුර තොරතුරු පිණිස publications@veriteresearch.org වෙත ලියන්න.

ESY-005486944

 

නව ව්‍යවස්ථාව සඳහා වැය වන කාලය සහ මුදල් ඉදිරි ආයෝජනයක්

ආර්ථික සංවර්ධනය කරා රට මෙහෙයවීමට ආණ්ඩුව, 2025 පොහොසත් රටක් ප්‍රතිපත්ති මාලාව එළිදැක්වුණද මේ පිළිබඳ කතාබහ වන්නේ අල්ප වශයෙනි. එමෙන්ම එම ගමන්මග පිළිබඳ පැහැදිලි කිරීමක්ද සිදුනොවුණි. මේ නිසාම ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සමග මේ පිළිබඳ සාකච්ඡා කළෙමු. 


Q ජීඑස්පී ප්ලස් සහනය මෙරටට හිමි වූවා. මේ වනවිට එමගින් ලබාගත් සහන පිළිබඳ සඳහන් කළොත්?

ජීඑස්පී ප්ලස් සහනය අපිට ලැබීම ලොකු ජයග්‍රහණයක්. මේ නිසාම අපේ නිෂ්පාදන බොහොමයක් යුරෝපා වෙළෙඳ පොළට ඇතුළු කරන්න පුළුවන්. නමුත් ජීඑස්පී ප්ලස් ලැබුණා කියලා අපේ ආර්ථිකයට එකවර වාසි ලැබෙන්නේ නැහැ. එය ලබාගන්න අපිත් ක්‍රියාකාරීව කටයුතු කළ යුතුයි. මේ නිසා තරගකාරී ස්වභාවයට මුහුණදිය හැකි භාණ්ඩ නිෂ්පාදනය කළ යුතුයි.

මත්ස්‍ය ක්ෂේත්‍රය සහ ඇඟලුම් ක්ෂේත්‍රය හරහා මෙම ප්‍රතිලාභ මේ වනවිටත් රටට ලැබී තිබෙන්නේ. අනිකුත් ක්ෂේත්‍රවලින් ඒ වාසිය ලබාගැනීමට අපි මහන්සි වුණොත් ජනවාරි මාසයේ සිට ජීඑස්පී ප්ලස් සහනය අපේ රටට ලබාගැනීමට හැකියාව තිබෙනවා.
ඒ වගේම ජීඑස්පී ප්ලස් සහනය ලැබෙන නිෂ්පාදන අලුතින් ලංකාවේ නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා ආයෝජන මෙරටට ගෙන ඒමට කටයුතු කරගෙන යනවා. අපේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළ එයයි. ඒ සඳහා හිතකර ආර්ථික පදනමක් ඇති කිරීමටත් රජය බලාපොරොත්තු වෙනවා.

2

Q 2025දී පොහොසත් රටක් ආර්ථික සැලැස්ම පසුගියදා ප්‍රකාශයට පත් කළා. ඒ  කරා ළඟා වීමට වාර්ෂිකව කළ යුතු කාර්යයන් පිළිබඳ සැලැස්මක් තිබෙනවාද?

අනිවාර්යයෙන්ම එවැනි සැලැස්මක් තිබෙනවා. මේ හා සමගාමීව මහජන හිතකර ආයෝජන සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය දියුණු කිරීම, ජන ජීවිත ශක්තිමත් කිරීම හරහා මෙම ආර්ථික ඉලක්කය වෙත ළඟා වීමයි රජයේ සැලසුම වී තිබෙන්නේ.

අපේ රටේ පිහිටීම  සහ මානව සම්පත උපයෝගී කරගෙන ලංකාව වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමයි අපේ අරමුණ. 

අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන තරුණ සේවා සභාව, යොවුන් සේනාංක හරහා තරුණ තරුණියන්ට ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා දී අනාගත ලෝකයට ඔවුන්ව සූදානම් කිරීමට කටයුතු කරනවා.
ඒ වගේම තරුණ ව්‍යවසායකයන් වැඩි කිරීමටත් අපි තීරණය කර තිබෙනවා. ඒ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ජාලයක් ඇති කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

තරුණ තරුණියන් හැකියාවෙන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ඔබතුමා සඳහන් කළා. නමුත් පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතින් තරුණ නියෝජනයට වෙන්කර තිබූ 35% ඉවත් කිරීමෙන් තරුණයන් දේශපාලනයට යොමු වීමේ අවස්ථා අහිමි කරනවා නේද?
තරුණ සේවා සභාව සහ යොවුන් සේනාංක ආරම්භ කිරීමේ අරමුණ වූයේ ගමේ තරුණයන්ව ජාතික මට්ටමට ගෙන ඒම. ගම් තුළ හුදෙකලා වූ තාරුණ්‍යය යොවුන් පාර්ලිමේන්තුව හරහා වැදගත් කාර්යභාරයක් කිරීමට යොමු වී තිබෙනවා. ඒ වගේම ගම් තුළ සංවර්ධන කටයුතු වෙනුවෙන් යොවුන් පාර්ලිමේන්තු සාමාජිකයන් සම්බන්ධ කරගෙන තිබෙනවා. ඒ හරහා ගමේ නායකත්වයන් ගොඩනැගීමට අපි කටයුතු කරනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එම තරුණ නායකත්වයන්ට දේශපාලක පක්ෂ විසින් අවස්ථාවක් ලබාදීලා ඔවුන්ට දක්ෂ මහජන නියෝජිතයන් වීමට අවස්ථාව උදා කර දේවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

Q 35% කප්පාදුව තුළින් ඔබ ඉහත පැවසූ කරුණු ඉටුකිරීමට නොහැකි වෙනවා නේද?

පක්ෂ තුළ තාරුණ්‍යයට විශාල අවස්ථාවක් ලබාදිය යුතුයි කියන මතය තිබෙනවා. පක්ෂ තුළ තරුණ සංවිධානත් ප්‍රබලව ගොඩනැගී තිබෙනවා. මේ නිසා එය බාධාවක් වෙන්නෙ නැහැ. 35෴ ආදී ලෙස සීමාවක් දාන්නෙ නැතිව තරුණ තරුණියන්ට හැකි උපරිමයෙන් අවස්ථාව ලබාදීමට අපි දේශපාලන පක්ෂවලට අවස්ථාව ලබාදී තිබෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය වගේ නෙවෙයි, කොට්ඨාස  ක්‍රමයට ක්‍රියාත්මක වන මැතිවරණයක් නිසා සෘජුවම මේ ප්‍රමාණය ඇතුළත් කරනවාට වඩා වැඩි අවස්ථාවල් ලබාදීමට ඉඩදෙන ලෙස බොහෝ දෙනා ඉල්ලීම් කර තිබුණා. ඒ නිසයි මේ විදිහට පනත සම්මත කළේ.

Q ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් වගන්ති ඇතුළත් කිරීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

රජයේ මුදල් භාවිත කරමින් ප්‍රදේශයේ ජනතාවට යම් බලපෑමක් කරන්නට ක්ෂේත්‍ර නිලධාරීන්ට අවකාශයක් තිබෙනවා නම් ස්වාධීන මැතිවරණයකට එය බාධාවක්. මේ නිසා ග්‍රාම නිලධාරීවරුන්ට මේ සම්බන්ධ නීති අතීතයේ පටන්ම තිබුණා. තමන්ගේ රාජකාරී ප්‍රදේශයෙන් බැහැරව ක්ෂේත්‍ර නිලධාරීන් ඕනෑම කෙනෙකුට මැතිවරණයට ඉදිරිපත් වෙන්නට පුළුවන්. එයට කිසිම බාධාවක් නැහැ. ජනතාවට බලපෑම් නොකරන ස්වාධීන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය ක්‍රමය සකස් කරගැනීම වැදගත් කියන අදහසේ මම ඉන්නවා. මොකද ජනතාවට නිදහසේ ඡන්දය දීමේ අයිතිය අපි තහවුරු කළ යුතුයි.

Q පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත අරමුදල් මගින් නිසි ප්‍රයෝජන ලැබෙනවා කියා සිතනවාද?

ගම ඉලක්ක කරගනිමින් ගමේ සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් ලබාදෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත අරමුදල් වැඩි කර තිබෙනවා. ඉදිරියේදීත් එම මුදල් ප්‍රමාණය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛතාවක් දී තිබෙනවා. මේ හරහා සාමාජීය සහ ආර්ථික දියුණුව ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා.

Q ඉදිරි වසර තුන තුළ ආණ්ඩුවේ සංවර්ධන ඉලක්ක කෙබඳුද?

රට තුළ සංවර්ධන මට්ටම් කිහිපයක් ඉලක්ක කර තිබෙනවා. ගෝලීය ආර්ථිකය පිළිබඳ බලාපොරොත්තු තබාගනිමින් ගෝලීය ආර්ථික පිවිසුම් මාර්ග සංවර්ධනය කිරීම මේ කාලය තුළ සිදුවෙනවා.
බලශක්ති ඉල්ලුම කෙරෙහි අවධානය යොමුකර අනාගතයේ අවශ්‍ය වන බලශක්ති ඉල්ලුමට සරිලන නව බලාගාර ඇති කරන්නට සැලසුම් කර තිබෙනවා. ලෝකයේ කාලගුණය වෙනස් වී තිබෙනවා. මේ නිසා බලාපොරොත්තු නොවන ස්වාභාවික විපත් ඇතිවෙනවා. ආපදා කළමනාකරණය සම්බන්ධ නව තාක්ෂණය ඇතුළුව ආපදා කළමනාකරණය දියුණු කිරීමට, සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ජනජීවිත සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර වගේම වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙවා. දුෂ්කර ගම්මාන දියුණු කිරීමටත්, දුප්පත්කම තුරන් කිරීමටත් අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. කොළඹ ඇතුළු ප්‍රධාන නගර සංවර්ධනය කර කලාපීය වශයෙන් දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.

Q ජාතික ආණ්ඩුවේ කාලය අවසන් වූවා. එහි ඉදිරිය පිළිබඳ තීරණය කර තිබෙනවාද?

2020 දක්වා ජාතික ආණ්ඩුවේ කිසිම වෙනසක් සිදුනොවන බව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා. ජාතික ආණ්ඩුව වසර දෙකයි කියා මුලින් පැවසුවත් නායකතුමන්ලා දෙපළ ඒ පිළිබඳව ඉතාම විශ්වාසයකින් සිටිනවා. රටට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක සුහද එකමුතුවකින් ඉදිරියට යා යුතුයි කියා අවබෝධයකින් සිටිනවා. ජාතික ආණ්ඩුවේ කිසිම වෙනසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. 2020න් ඔබ්බට වුවත් ජාතික ආණ්ඩුව රැගෙන යාමට අපේක්ෂාවෙන් සිටින බවට ඉඟි පළකර තිබෙනවා. කොහොම වුණත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනියන්නේ ජනතා කැමැත්ත මතයි.

Q එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිවිසුම්ගත වී අමාත්‍ය ධුර වැඩි කර ගනු ලැබුවේ වසර දෙකක් සඳහායි. වසර දෙක අවසන් වීමෙන් පසුව එය ක්‍රියාත්මක වන බවක් පාර්ලිමේන්තුවට දැනුම් දී නැහැ. එහි නීතිමය තත්ත්වය කෙබඳුද?

මේ පිළිබඳ නීතිමය තත්ත්වය මට ප්‍රකාශ කළ නොහැකියි. නමුත් නායකයන් දෙපළම නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන නිසාත්, ජාතික ආණ්ඩුව අහෝසියි කියා ප්‍රකාශ කර නොමැති නිසාත් මේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි යැයි මම විශ්වාස කරනවා.

Q නව ව්‍යවස්ථාවක් ගෙන ඒම මෙතරම් ප්‍රමාද වන්නේ කුමක් නිසාද?

ලංකාව වගේ රටක ව්‍යවස්ථාවක් හදනවා කියන්නේ ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවෙයි. පසුගිය ව්‍යවස්ථා සියල්ල ඇතිකර තිබෙන්නේ බලෙන් කියලා කිව්වොත් නිවැරදියි. ජනතාව ව්‍යවස්ථාව හරිහැටි තේරුම් නොගෙන තිබුණා. මේ නිසා සියලු දෙනාගේ එකමුතුවෙන් ව්‍යවස්ථාව ගෙන ඒමට අපි තීරණය කළා. මේ වනවිට එක් මට්ටමකට පැමිණ තිබෙනවා. නමුත් ව්‍යවස්ථාව හදිස්සි කළොත් අපිට සියලු පාර්ශ්වයන්ගේ සහයෝග ගන්න බැරි වෙනවා. සියලුදෙනාගේ සහයෝගයෙන් රටට වාසිදායක ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි කියන මතයේ අප සිටිනවා. එයට වැය වන කාලය සහ මුදල් ඉදිරි ආයෝජනයක් කියා අපි තේරුම් ගෙන දීර්ඝ කාලීන ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත යුතුයි.

 

‘ආණ්ඩුවේ දේවල් යන්නෙ නෑ කියලා දැන් ආණ්ඩුවෙන්ම චෝදනා තියනවා’

ජාතික රූපවාහිනිය සම්බන්ධව පසුගිය කාලයේදී විවිධ චෝදනා එල්ල විය. විශේෂයෙන්ම ඒකපාර්ශ්වීයව මාධ්‍යය හසුරුවන බවට එමගින් කියවුණි. යහපාලන රජය විසින් පත්කළ නව කළමනාකාරීත්වයක් යටතේ එහි පරිසරය වෙනස් වෙමින් තිබේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රි මහතා සම්බන්ධ කර ගත්තේ වර්තමානයේ එහි  කටයුතු සිදුවන ආකාරය දැන ගැනීමටය.


Q ජාතික රූපවාහිනිය දේශපාලන අරමුණු මත කටයුතු කරන බවට චෝදනා එල්ල වෙනවා. එම චෝදනාවෙන් මිදෙන්න උත්සාහයක් තිබෙනවාද?

දැන් ආණ්ඩුවෙන්ම චෝදනාවක් තියෙනවා ආණ්ඩුවේ දේවල් යන්නෑ කියලා. ආණ්ඩුවේ මතවාදය යන්නෑ, ආණ්ඩුවට ඕන දේවල් නෙමෙයි රූපවාහිනියේ යන්නෙ කියලා චෝදනා කරනවා. ඕනෑම රජයකට මතවාදයක් තියෙනවා. රජයේ මතවාදය සහ රජයේ ප්‍රතිපත්ති, රජයේ ඉදිරි දැක්ම, ඉදිරි වැඩකටයුතු කිරීමට මාධ්‍යයක් තියෙන්න ඕන. ඒ මාධ්‍යය තමයි රජයේ මාධ්‍යය. කාටවත් කියන්න බෑ ඒක නැහැයි කියලා. රජයේ මාධ්‍යය තියෙන්නේ රජයේ වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙනියන්න. එහෙම නැතිව රජයට වෙන මාධ්‍යයක් නැහැ. රජයට පෞද්ගලික මාධ්‍යයට ගිහින් කියන්න බැහැ අපේ එක දාන්න කියලා. කිව්වට දාන්නෙත් නෑ. පෞද්ගලික මාධ්‍යය බිහිවෙන්නේ රජයේ දේවල් විවේචනය කරලා, ඒවායේ අඩුපාඩු දක්වලා, රජයට සහයට කතා කරන්න නෙමෙයි. ඒ නිසා රජයේ මතවාදය ගෙනියන්න රජයේ මාධ්‍යය තියෙනවා. ඒක ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ හැම රටකම එහෙමයි. ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් තියෙන යුරෝපයේ  රටවල උනත් ආණ්ඩුවේ නාළිකාවෙන් තමයි රජයේ වැඩපිළිවෙළ, සාකච්ඡා, මතවාදය, සංවර්ධනය පිළිබඳ විශ්ලේෂණ ජනතාව අතරට ගෙනියන්නේ. නමුත් මම එන්න ඉස්සෙල්ලා පසුගිය කාලයේ ඒ දේවල් ටික කෙරෙන්නෑ කියලා ප්‍රශ්නයක් තිබුණා. එම ප්‍රශ්න විසඳාගෙන තමයි යන්නේ. ඒ ප්‍රශ්න විසඳාගෙන යද්දි කාටවත් කියන්න බැහැ පක්ෂාග්‍රාහීව කටයුතු කරනවා කියලා. පක්ෂග්‍රාහී කියන්නේ සම්පූර්ණ වෙන කතාවක්. රජයේ වැඩපිළිවෙළ, රජයේ ප්‍රතිපත්ති ජනතාව අතරට යන්න වෙන ක්‍රමයක් නැහැ. ඒක රජයේ මාධ්‍යයේ වගකීමක්.

Q ප්‍රවෘත්ති ඇතුළු සියලුම වැඩසටහන් පක්ෂග්‍රාහීව විකාශය කරන බවට පසුගිය ආණ්ඩුවට චෝදනා එල්ල වුණා. වත්මන් කළමනාකාරීත්වය එම චෝදනාවලින් බැහැර වෙන්න සිදුකළ වෙනස්කම් මොනවාද?

ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් විශාල චෝදනාවක් තිබුණා. ටෙලිනාට්‍යයක් දාගන්න බැහැ කියන චෝදනාව තිබුණා. නමුත් දැන් එහෙම චෝදනා නැහැ. ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. කසිකබල්, කිසිම තේරුමක් නැති, ළමයින්ට බලන්න බැරි ටෙලිනාට්‍ය අපි අයින් කරලා තියෙන්නේ. හතේ අටේ කාලය තුළදී දැන් ළමයින්ටත් බලන්න පුළුවන් දේවල් තමයි ඉදිරිපත් කරන්නේ. අපිටත් ළමයි ඉන්නවා. දැන් ස්වාධීන මණ්ඩලයක් ඉන්නවා. ඒ අය තමයි මේවා බලන්නේ. එතැනින් බලලා තව කමිටුවකට යනවා. එතැනින් බලන්නේ එම නිර්මාණය රූපවානියට කොතරම් සුදුසුද කියලයි. ළමයින්ට ප්‍රමුඛත්වය දීලා තමයි මම හැමවිටම වැඩ කරන්නේ. ඒ වගේම පසුගිය කාලයේදී මේ ආයතනයේ විනය අයාලේ ගොස් තිබුණා. කොච්චර දක්ෂයෙක් වුණත්, කොච්චර වැඩකාරයෙක් වුණත්, කොයිතරම් හැකියාවක් තිබුණත් විනය අයාලේ ගියාට පසුව ඒ හැකියාවන් වලින් මට සතපහකට වැඩක් නැහැ. මේ ලෝකයේ තියෙන අනර්ඝතම මාණික්‍ය වුණත් වැඩක් නැහැ පලුද්දක් තියෙනවා නම්. මේ වකවානුවේ මගේ ප්‍රධාන අවධානය යොමු වී තියෙන්නේ මේ ආයතනයේ විනය සකස් කිරීම සඳහායි. අවශ්‍ය අවස්ථාවලදී මම තීන්දු තීරණ ගන්නවා.

Q වත්මන් යහපාලන රජයෙන් ජාතික රූපවාහිනියට බලපෑම් එල්ල නොවන බවට ඔබට දිය හැකි සහතිකය මොකද්ද?

යහපාලන ආණ්ඩුව තුළ විෂයභාර ඇමතිවරු දෙන්නෙක් හිටියා. නියෝජ්‍ය ඇමතිවරුත් හිටියා. ඒ කිසිම ඇමතිවරයෙකුගෙන්  කිසිම ඇඟිලි ගැසීමක් වෙන්නෙ නෑ. දුරකථන ඇමතුමක් එන්නෙ නෑ. කිසිම බලපෑමක් එන්නෙ නෑ. කොයි දේ කවුරු කිව්වත් මෙතන තියෙන මාධ්‍ය නිදහස ගැන කියන්න වෙනවා. මට ඒක ඇඟට දැනෙනවා. මම මාධ්‍යයේ හිටපු පුද්ගලයෙක් නෙමෙයි. මම ස්වාධීන පුද්ගලයෙක්. ස්වාධීනව සිටි අයෙකුට තමයි මොකක්හරි බලපෑමක් තියෙනව නම් ඉස්සෙල්ලාම දැනෙන්නෙ. නමුත් එහෙම කිසිම දෙයක් නැහැ. මැති ඇමතිවරුන් ඇඟිලි ගහන්නෙ නෑ. යහපාලනයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඕනෑම දෙයක අඩුපාඩු තියෙනවා. තියෙන අඩුපාඩු හදාගෙන යෑමයි කෙරෙන්න ඕන. මෑත ඉතිහාසයේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න පුළුවන් යුගයක් ඇවිත් තියෙනවා කියල මට හිතෙනවා.

මෙතන තියෙන පරිපාලනය, විනය වැදගත් වනවා. පසුගිය කාලයේ තිබුණෙ දක්ෂකම් වෙන  වෙන දේවල්වලට පාවිච්චි වෙන එක. නමුත් විනය නැතිවුණාට පස්සෙ ඒ දක්ෂකම, ලැජ්ජ බය නැතිවෙනවා. ඉන්පසුව මහජනතාවගේ අප්‍රසාදයට ලක්වෙනවා. අපි පන්සලකට ගියාම, උසාවියකට ගියාම හැසිරෙන විදියක් තියෙනවා. ඒ වගේ තමයි ආයතනයක්. එක එක මට්ටම් එක්ක හැසිරෙන විදියක්, කටයුතු කරන්න ඕන ක්‍රමයක්  තියෙනවා. ආයතනයක විනය නැතිව ඉදිරියට යන්න බැහැ. දක්ෂයෝ ඉන්න පුළුවන්. මට ඇත්ත වශයෙන්ම දක්ෂයොම ඕන නැහැ. මේකෙ අතිශය දක්ෂයොත් ඉන්නවා, කිසිම දක්ෂකමක් නැති මිනිස්සුත් ඉන්නවා. මට ඒ දෙගොල්ලොම ප්‍රශ්නයක් නැහැ. විනය විතරයි ප්‍රශ්නෙකට තියෙන්නේ.

Q ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශනය ඇතුළු අනෙකුත් වැඩසටහන්වලදී විරුද්ධ පාර්ශ්වයන්ට ලබාදෙන ඉඩකඩ ප්‍රමාණවත් නැති බවට පසුගිය පාලන සමයේදී චෝදනා එල්ල වුණා. වත්මන් ආණ්ඩුව යටතේත් ඒ චෝදනාව ඒ ආකාරයටම එල්ල වෙනවා?

විපක්ෂයට දෙන ඉඩකඩ නැහැයි කියන එක විපක්ෂයමයි කියන්නේ. දැන් ආණ්ඩු පක්ෂයත් කියනවනේ ආණ්ඩුවට දෙන ඉඩකඩ මදි කියලා. ඇමතිවරුන් කියනවා අපේ ඒවා යන්නෑ කියලා. හැමදාම මේකෙ මොනවාහරි යන්නත් එපැයි. එතකොට මොකද්ද මේකෙ ගිහිල්ල තියෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. ආණ්ඩුවෙන් එල්ලවෙන චෝදනාව දැන් සමනය වෙන්න ඕන කියලා මම හිතනවා.මොකද ආණ්ඩුවේ මතවාදයට ඉඩක් ලබාදෙන්න අපි කටයුතු කර තිබෙනවා. ආණ්ඩුවේ මතවාදයට ඉඩ දුන්නට පසුව මේකෙ සියයට පනහ පනහ වෙන්න විදියක් නැහැ. විපක්ෂයේ මතය සියයට සියයක් ගෙනියන මාධ්‍ය මේ රටේ තියෙනවා. ඒ අතින් බලද්දී ජාතික රූපවාහිනිය කියන්නේ ආණ්ඩුවේ ගෞරවය රැකගෙන තමන්ගේ පරාසයන් තුළ ඉතා සාධාරණ විදියට කටයුතු කරන නාළිකාවක්. වෙනත් පෞද්ගලික නාළිකා තියෙනවා සියයට සීයක්ම ආණ්ඩුවේ එක නෙමෙයි කියන්නේ. ආණ්ඩුවේ කිසිවක් යන්නෑ. ගියොත් යන්නේ අනිත් පැත්තට. සාධාරණයක් එමගින් සිදුවෙන්නේ නෑ. වචනයෙන් හරි පොඩ්ඩක් හරි කරකවනවා. ඒක කොයි රටෙත් එහෙමයි. සුපිරි ප්‍රජාතන්ත්‍රය තියෙන රටවල පවා ඕවා අඩු වැඩි වශයෙන් තියෙනවා. අපි මේක පුළුවන්තරම් පාලනය කරලා මැද මාවතක යන්න ඕන. එහෙම නැතිව ඉතා තිරස්චීන විදියට, මිනිසුන්ට පහර ගහලා, චරිත ඝාතනය කරලා, නොවුණු දේවල් කියලා, නැති චෝදනා නගලා සිදුකළ සංස්කෘතිය දැන් රාජ්‍ය මාධ්‍යවල නැවතිලා තියෙනවා.

ජාතික රූපවාහිනියේ සේවකයන් ඉවත් කිරීම, දේශපාලන වුවමානා මත මාරුකිරීම්, පහතට ඇද දැමීම් ආදිය මගින්  යහපාලන ආණ්ඩුව සේවකයන්ගෙන් පළිගන්නා බවට චෝදනා එල්ල වෙනවා. අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ඔබ මේ චෝදනා ගැන සොයා බැලුවාද?
එහෙම චෝදනාවක් මම  දන්නෙ නැහැ. එහෙම මාරු කිරීම්, පළිගැනීම් සිදුවෙලා නැහැ. මාරු කිරීමක් වෙනවා නම් ඒක පළිගැනීමක් නෙවෙයි. මාරු කරන්නේ මොකක්හරි හේතුවක් ඇතිවයි. අපි සිදුකළ සියලු මාරු කිරීම් අතිශය සාධාරණව පරීක්ෂණ පවත්වලා, ඉතාමත් සාධාරණ විසඳුම් අරගෙන කළ දේවල්. අපි පිටට දෙනවා පරීක්ෂණ කරන්න කියලා. සමහර බරපතළ කාරණා තිබෙනවා නම්  අමාත්‍යාංශයෙන් නිලධාරීන් පත්කරන්න කියනවා. කොයිතරම් සාධාරණ විදියටද, විනිවිදභාවයෙන්ද මේවා යන්නේ කියන එකට ඒවා තමයි උදාහරණ. අසාධරණ විදියට මාරු කිරීම් කරනවා නම් මෙතන පුදුමාකාර විදියට මාරු කිරීම් කරන්න වෙනවා. මාරු කිරීම් නෙමෙයි සමහරු ගෙවල්වලම තියන්න වෙනවා. කිසිම අයෙකුට වැරැද්දක් කරල තියෙනවා නම් බේරෙන්න බැහැ. වෙබ්සයිට්වල කුමන මඩ ප්‍රචාර ගියත් කරන්න ඕන දේවල් අපි කරනවා. වෙබ්සයිට්වල යන ඒවා හිත හිත හිටියොත් මෙතන මෙලෝ දෙයක් කරන්න බැහැ.

Q ජාතික රූපවාහිනිය පසුගිය කාලයේදී පාඩු පිට පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වුණා.  මේ වන විට එම තත්ත්වය වෙනස් වෙලාද?

පසුගිය රජය සමයේදී ජාතික රූපවාහිනිය පාඩු ලබන්න පටන් ගත්තා. මේවා කොහොමද පාඩු වුණේ කියන එක ගැන ජනාධිපති කොමිෂන්වල නඩු යනවා. ඒවාට සම්බන්ධ අය දැන් පෝළිමේ කොමිෂන්වල ඉන්නවා. දැනට තියෙන තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ගොඩ එනවා. ලෝකයේ අනිත් රටවල ආණ්ඩුවේ නාළිකාවට රජයෙන් අරමුදල් සපයනවා. නමුත් අපිට සතපහක්වත් ලැබෙන්නෙ නෑ. අපිම හොයාගෙන අපිම කරන්න ඕන. රජයේ දේවලුත් අපිට කරන්න වෙලා තියෙනවා. රජයේ නොයෙකුත් දේවල්වලට රාජ්‍ය මාධ්‍ය ප්‍රචාරය දෙන්න ඕන. අපි ඒකට සැදී පැහැදී සිටිය යුතුයි. එහෙම නැතිව රජයේ වැඩපිළිවෙළ කොහෙද යන්නේ, කවුද දාන්නේ. රජයේ දෙයක්වත් රජයේ මාධ්‍ය දාන්නෙ නැත්නම් රජය අනාථයි. ආදාහන උත්සවවලට කවුද සල්ලි දෙන්නේ? ආදාහන උත්සව අපි කරන්න ඕන. ආදාහන උත්සවවලින් අපිට සල්ලි ඉල්ලන්න බැහැ. නමුත් කරන්න වෙනවා. රජයෙන් සල්ලි නොලැබෙන නිසා කරගෙන යන්න අමාරු තත්ත්වයක් තිබෙනවා. නමුත් ඒවා සියල්ල කරගෙන ගිහින් මෙතනට එන ආදායමත් එක්ක බැලුවාම පාඩුව කියන එක මහ ලොකු ගාණක් කියල කියන්න බැහැ. දැන් තියෙන කළමනාකාරීත්වය එකමුතුව ඉන්නවා. මීට කලින් මේ පරිපාලනයේ ලොකු විෂමතා තිබිලා, ඝට්ටන ඇතිවෙලා, ප්‍රශ්න තිබුණා. ඒ නිසා ආයතනයට ඉදිරියට යන්න බැරි වුණා.

Q දැනට සිටින සේවකයන් ප්‍රමාණය ආයතනට දරාගන්න පුළුවන්ද?

දාහකට ආසන්න සේවකයන් පිරිසක් ඉන්නවා. ඉන් බරපතළ ලෙස සේවක අතිරික්තයක් තිබෙනවා. ඒ නිසා තමයි මෙම ආයතනය වැටී තිබෙන්නේ. එහෙම වුණාම මිනිස්සුන්ට එක එක ඕපදූප කතා කරන්න, කැලෑ පත්තර ගහන්න වෙලාව තියෙනවා. වැඩ නැතිවුණාම තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ. වැඩ තියෙනවා නම් ප්‍රශ්න නැහැ. ඒවා ක්‍රමක්‍රමයෙන් හදාගන්න ඕන.

Q ඉදිරි සැලසුම් මොනවාද?

අපි ඉහළ සාමූහිකව ගන්න සැලසුම් තමයි මෙතන ක්‍රියාත්මක කරන්නේ. මෙතන කිසිම තීරණයක් අත්තනෝමතික වෙන්න මම ඉඩ තියන්නෙ නෑ. කිසිම කෙනෙකුගේ පෞද්ගලික තනි මතයට වැඩ කරන්න බැහැ. ටෙලිනාට්‍ය ගැනීම සම්පූර්ණයෙන්ම සමනය කරලා තියෙන්නේ. කිසිම කෙනෙකුට ඇඟිල්ල දිගු කරන්න බැරි විදියට වැඩපිළිවෙළ සකස් කර තිබන්නේ. සමහරු කිසිම ගාණක් නැතිව පරණ පුරුද්දට මෙතනට එනවා. කීයක් ඉල්ලුවද, කීයක් දුන්නද ඇහුවාම ඉල්ලුව ගාණ, දුන්නු ගාණ ඒ අය කියනවා. තව තියෙනවා කියන්න බැරි දේවල්. අපි ලෝක පූජිත හොඳ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇතුළේ වැඩසටහන් තවත් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. සේවකයන්ට පුහුණුවීම් ලබාදෙන්න ඕන. ඔවුන් තවත් දියුණු කරගත යුතුයි.

අපේ පුස්තකාලය සංරක්ෂණය කරගන්න වෙලා තියෙනවා. අවුරුදු 35කට පෙර තිබුණු ටේප් තමයි එහි තියෙන්නේ. ඒ ටේප් සදාකල් පවතින ඒවා නෙවෙයි. මේ ටික සංරක්ෂණය කරගන්න කොරියාව, ජපානය උදව් කරන වැඩසටහන් තියෙනවා.
ඒ වගේම මේ වසර අවසන් වීමට පෙර සංහිඳියාවේ නාළිකාව නමින් අපිට අලුත් චැනල් එකක් එනවා. ඒ සඳහා ජනාධිපතිතුමා විශාල මුදලක් අපිට දීලා තියෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සංහිඳියා කාර්යාලයෙන් ආධාර ලැබෙනවා. ඉතා ඉක්මනින් එම නාළිකාව ආරම්භ කරන්න යන්නේ. එවිට අපිට වැඩසටහන්වලට තව ඉඩ එනවා. අපේ සමහර වැඩසටහන් එම නාළිකාවට දාන්න පුළුවන්. චැනල් අයි නාළිකාවේ දෙමළ, සිංහල වැඩසටහන් යනවා. එම දෙමළ වැඩසටහන් සංහිඳියා නාළිකාවේ විකාශය කළහොත් චැනල් අයි නාළිකාවේ තව ඉඩප්‍රස්ථා ඇති වෙනවා. බොහෝ විට නව නාළිකාව දෙමළ පැත්තෙන් තමයි යන්නේ. සංහිඳියාවට අදාළ කරගෙන තමයි වැඩසටහන් සංවිධානය කරන්නේ. වැඩි බරක් දෙන්නේ දෙමළ සංස්කෘතියට. මොකද සිංහල නාළිකාවක් අපිට තියෙන නිසා. දැනට ඒ සඳහා විකාශන උපකරණ ගෙනැවිත් තිබෙනවා.

 

සිල්රෙදි වන්දි ගෙවීමට ජනතාවගෙන් මුදල් එකතු කිරීම සාධාරණයි, සදාචාරාත්මකයි

සිල්රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට ගෙවීමට නියම වූ රුපියල් මිලිය 140ක දඩ මුදල ගෙවීම සඳහා ජනතාවගෙන් මුදල් එකතු කිරීම සාධාරණ හා සදාචාරාත්මක බව පිවිතුරු හෙළ උරුම‍‍යේ නායක උදය ගම්මන්පිළ මහතා පවසයි. ඉරිදා ලංකාදීප පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි. 

එම සම්මුඛ සාකච්ඡාවේ උපුටාගත් කොටස..

Q අධිකරණයෙන් නියම කරපු දඩ මුදල ඒකාබද්ධයෙන් ගෙවන්න ලෑස්තියි

එහෙම නොවෙයි. ඒකාබද්ධ විපක්ෂයට දඩ මුදල ගෙවන්න සල්ලි නැහැ. එක පැත්තකින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මැදිහත්වෙලා ඉන්නවා. ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කරනවා. ඒ වගේම භික්ෂූන් වහන්සේලා පිඬු සිඟා වැඩලා අරමුදල් එකතු කරන්න සූදානමින් වැඩ ඉන්නවා. මොකද මේ නඩු තීන්දුවේදී විනිසුරුවරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා මෙම ව්‍යාපෘතියෙන් චූදිතයන් දෙදෙනාම කිසිම ප්‍රතිලාභයක් ලබාගෙන නැහැ කියලා. සාමාන්‍ය‘යෙන් අසාධාරණ ලෙස පොහොසත්වීම වැළැක්වීමටයි වන්දියක් නියම කරන්නේ. දැන් ශත 5ක් වත් හම්බ කරලා නෑ කියලා විනිසුරුවරයම ප්‍රකාශ කරන  දෙදෙනකුට ලක්ෂ 52 බැගින් ගෙවීමට නියම කිරීම අතිශයින්ම අසාධාරණයි.

Q ජනතාවගේ සල්ලිවලින් ජනතාවටම සිල් රෙදි බෙදලා අධිකරණයෙන් වැරැදිකාරයෝ වුණාට පස්සෙ ඒ වන්දි මුදල් ගෙවන්න ජනාතවගෙන්ම සල්ලි එකතු කරන එක සාදාචාරත්මකද?

හරිම සදාචාරත්මකයි.හරිම සාධාරණයි. ජනතාවගේ සල්ලිවලින් සිල් රෙදි බෙදනවා කියලා ඒ සල්ලි තමන්ගේ සාක්කුවේ දාගත්තානම් ඒ වන්දිය ගෙවිය යුත්තේ තමන්ගේ මුදලින්. එහෙම එක ශතපහක්වත් අරගෙන නෑ කියලා විනිසුරුවරයා පමණක් නොව පක්ෂ භේදයෙන් තොරව ආණ්ඩුවේ ඉන්න දෙපාර්ශ්වයේම ඇමැතිවරුන් කියනවා. ඒ නිසා ඔවුන් දඩ මුදල් ගෙවන්න ජනතාවගෙන් මුදල් එකතු කරනවා හැරෙන්න ඉතිරි වෙලා තියෙන විකල්පය කුමක්ද?

Q සිල් රෙදි බෙදන්න නියෝග කළ හිටපු ජනාධිපතිවරයා එළියේ නියෝග ක්‍රියාත්මක කළ නිලධාරීන් ඇතුළේ මොනවද මේ වෙන්නේ?

එහෙම සිදුවී තිබෙන්නේ නීතිය ඉදිරිපිට සියලු කරුණු නිසි පරිදි සැළකිල්ලට නොගත් නිසයි. ඔබ දන්නවද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තියෙන් ජනාධිපතිවරණයට මුක්තියක් ලබාදීලා තියෙනවා. ඒ නිසාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණ දැක්වෙන 170 වැනි වගන්තියේ රජයේ සේවකයා යන අර්ථ නිරූපණයට ජනාධිපති ලේකම්වරයා ඇතුළු ඔහුගේ කාර්ය මණ්ඩලය අයත් නොවන බව ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. එහෙම නම් රජයේ සේවකයන්ට තියෙන ආයතන සංග්‍රහ චක්‍රලේඛ ජනාධිපති ලේකම්වරයාට අයත් වෙන්නේ නැහැ. මේවා නොසළකා තමයි නඩු තීන්දුව ලබාදී තියෙන්නේ. ජනාධිපතිවරයට මුක්තිය ලබා දුන්නේ ජනාධිපති ලේකම්වරයා රජයේ සේවකයෙක් නොවේ කියලා අර්ථ කථනය ලබා දුන්නෙත් අපි නොවෙයි එක්සත් ජාතික පක්ෂය හැදූ ව්‍යවස්ථාවෙන්.

 

Q ඇමති විජයදාස රාජපක්ෂ ඉන්න කාලේ පමා වෙමින් තිබූ අධිකරණ කටයුතු දැන් වේගවත් වෙලා තියෙනවා.

පට්ටපල් බොරුවක්නේ. සිල් රෙදි නඩුව සම්පූර්ණයෙන්ම අසා නිම කළේ විජයදාස රාජපක්ෂ මහතා ඇමති ධුරය දරන සමයේ. නඩු තීන්දුව ප්‍රකාශ කිරීම පමණමයි ඔහු ඉවත්වීමෙන් පසුව සිද්ධ වුණේ. නඩුව අසන්නයි කල් යන්නේ. තීන්දුව දෙන්න නොවෙයි. මේක කවුරුහරි දේශපාලනිකව විග්‍රහ කරනවා නම් ඔය විදියට ඒක අඳුරේ සිට කරන ප්‍රකාශයක්.

Q ඔබ අඳුර ගැන මතක් කළා. එතකොට ගෝඨාභය රජපක්ෂගේ එළිය මොකක්ද? එළිය මොකටද?

එක පැත්තකින් අද මේ රට අඳුරේ තබමින් රටේ ඒකීය බව සුරකින බුදු දහම සුරකින ව්‍යවස්ථාවක් බව පෙන්වමින් රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. මේ ආණ්ඩුවේ උපාය මාර්ග වී තිබෙන්නේ එක පාරටම ප්‍රශ්න බෝල ගෝනි ගණනක් ජනතාවගේ හිස මත දැමීමයි. එතකොට ජනතාව තමන්ට ඍජුව බලපාන එක එක ප්‍රශ්නය මත එල්ලෙනවා. එවැනි පසුබිමක් පොදුවේ රටටම බලපාන ව්‍යවස්ථා අනතුර පිළිබඳව ජනතාව දැනුම්වත් කරන්න. එයට එරෙහිව ජනතාව පෙළ ගස්වන්න කැප වූ සංවිධානයක අඩුවක් රටේ තියෙනවා. ඒ අඩුව පුරවන්න තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරෝගාමීත්වයෙන් එළිය සංවිධානය බිහි වෙන්නේ.

වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධ පිළිබඳ දැන ගැනීමට ඔබට අයිතියක් ඇත

රෝගීන් මෙන්ම නිරෝගී පුද්ගලයන්ද ඖෂධ නිසි ලෙස භාවිත කිරීම පිළිබඳ දැනගැනීම ඉතා වැදගත් වේ. අප රටෙහි සාක්ෂරතාව ඉතා ඉහළ මට්ටමක තිබෙන නමුත් සෟඛ්‍යමය සාක්ෂරතාව 50%කටත් වඩා අඩුය.
මේ හේතුව නිසාම නිවැරදි ලෙස ඖෂධ භාවිත කිරීම පිළිබඳ නොදැනුවත්භාවය නිසාම සිදුවන අනතුරු මෙන්ම මරණ සංඛ්‍යාවත්, අතුරු ආබාධත් ඉහළ ගොස් ඇත. සැබැවින්ම මෙය ඉතා බරපතළ ගැටලුවකි. එබැවින් රටේ මහජනතාව තුළ ඖෂධ භාවිතය සම්බන්ධ දැනුවත්භාවය ඉහළ නැංවිය යුතුය. මේ නිසාම ලෝක රෝගී ආරක්ෂක දිනය වෙනුවෙන් මාධ්‍ය සම්මන්ත්‍රණයක් පසුගියදා (13දා) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැත්විණි. 'හානි හා අතුරු ආබාධ අවම වන සේ ඖෂධ භාවිත කිරීමට මහජනතාව දැනගත යුතු කරුණු' සම්බන්ධව එහිදී සාකච්ඡා කෙරිණි. එහි ඇති වැදගත්භාවය නිසාම ඒ සම්බන්ධව ඔබව දැනුවත් කිරීමට 'අද' අපි තීරණයක් කළෙමු. 


317C4C4400000578-3460321-Too_much_medicine_is_doing_more_harm_than_good_and_costing_hundr-a-19_1456259698007

ඖෂධ නිවැරදිව භාවිත කිරීම සම්බන්ධව අප දැනුවත් විය යුතුය. ඔබ යම් රෝගයකට ඖෂධ ලබාගන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ ලබාගන්නා සෑම ඖෂධයක් සම්බන්ධවම දැනුවත්ව සිටිය යුතුය. ඒ ඖෂධය ලබාදී ඇත්තේ කුමක් නිසාද, ඒ ඖෂධයේ නම, මාත්‍රාව ආදී සියලු දේ පිළිබඳ ඔබ දැන සිටිය යුතුය. ඔබට වෛද්‍යවරයාගෙන් ඒ ලබාදෙන ඖෂධයන් සම්බන්ධව දැන ගැනීමට අයිතියක් ඇත. කිසිවිටකත් ඔබ ඒ සම්බන්ධයෙන් දැන ගැනීමට බියක්වත්, මැළිකමක්වත් දැක්විය යුතු නැත. එය ඔබගේ අයිතියක් මෙන්ම ඔබට ලබාදෙන ඖෂධ සම්බන්ධව දැනුවත්  කිරීම වෛද්‍යවරයාගේ වගකීමද වේ.

අද බොහෝදෙනෙක් තමන් ලබාගන්නා ඖෂධ සම්බන්ධ නොදැනුවත්භාවය නිසාම හදිසි අනතුරකදී රෝහල්ගත කිරීමකදී ඔබ ලබාගන්නා ඖෂධ මොනවාදැයි විමසූ විට ඒ පිළිබඳ පැවසීමට නොදැනීමෙන් වෛද්‍යවරුන් අපහසුතාවට ලක්වේ. මේ හේතුව නිසා ඇතැම් අවස්ථා වල විවිධ අතුරු ආබාධවලට ලක්වන අවස්ථාද ඇත. එමෙන්ම මරණයට පත්වන අවස්ථාද ඇත. මේ නිසා ඔබ ලබාගන්නා ඖෂධයන් සම්බන්ධව ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතුය.

සංවර්ධිත රටක් වන ඇමරිකා එක්සත් ජනපදයේ පවා සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ සිදුවන වැරදි හේතුවෙන් වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 180,000ක් පමණ වේ. එවන් දියුණු රටක එපමණ මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ නම් අප වැනි රටක වසරකට කොපමණ සංඛ්‍යාවක් මේ හේතුවෙන් මිය යනවා ඇත්ද?

මේ හේතුව නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය අභියෝගය වනුයේ 2022 වන විට ඖෂධ වැරදීම් හේතුවෙන් සිදුවන බරපතළ හානි 50෴කින් වැළැක්වීමය. ඒ නිසා අන්තර්ජාතික මට්ටමෙන් මේ සඳහා විවිධ වූ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරමින් සිටී. 
එසේම ඖෂධ ලබා ගැනීමේදී වැරදි සිදුවිය හැකි අවස්ථා 06ක් ඇත. ඒවා නම්,

ඖෂධ නියම කිරීමේදී
ඖෂධ පිටපත් කිරීමේදී
සපයන හෝ විසුරුවා හැරීමේදී
ඖෂධ ලබාදීමේදී
අධීක්ෂණය කිරීමේදී (රෝහලකදී)

මෙවැනි අවස්ථාවලදී ඖෂධ ලබා ගැනීමේදී වැරදි සිදුවිය හැකිය. එසේම ඖෂධයක් වැරදීමට තවත් හේතුවක් වනුයේ සමහර ඖෂධවල නාමයන් සමාන ආකාරයෙන් ශබ්ද වීමයි. ඒ නිසා ඔබ ප්‍රතිකාර ගැනීමේදී වෛද්‍යවරයාගෙන් ඒ ඖෂධවල නාමයන් නිවැරදිව විමසා දැන ගැනීම වැදගත් වනවා සේම ඔබ ඒ ඖෂධ ඔසුසලෙන් ගැනීමේදී ඖෂධවේදීන්ගෙන් ඒ සම්බන්ධව අසා දැන ගැනීමටද ඔබට අයිතියක් ඇත.
එසේම ඖෂධ වැරදීම් සිදුවීමට තවත් හේතුවක් වනුයේ සමාන පෙනුමක් ගැනීමයි. ඒ නිසා ඔබ ඖෂධ ලබාගැනීමේදී ඒ ලබා දී ඇත්තේ නිවැරදිම ඖෂධයද යන්න පරීක්ෂා කිරීම වැදගත් වේ. මන්ද වැරදි ඖෂධ ශරීරගත වීමෙන් විවිධ අතුරු ආබාධවලට මුහුණ දීමට සිදුවන බැවිනි. 

උදාහරණයක් ලෙස Warfarin, Heparin, Insulins, Antidiabetics ඖෂධ වැරදීමකින් භාවිත කළහොත් ඉතා අවදානම්ය. සමහර විට මරණය පවා සිදුවිය හැකි.
යම් ඖෂධයක් ගැනීමෙන් ඔබට කැසීමක්, පළු දැමීමක් හෝ කුමන හෝ අපහසුතාවක් ඇති වුවහොත් ඒ සම්බන්ධව වෛද්‍යවරයා දැනුවත් කළ යුතුය. එවැනි ආසාත්මිකතා මීට පෙරද සිදු වී ඇත්නම් ඒ කුමන ඖෂධය භාවිතයෙන්ද යන්න ඔබ දැන සිටිය යුතුය. මන්ද හදිසි රෝහල්ගත කිරීමකදී ඒ සම්බන්ධව ඔබ වෛද්‍යවරයා දැනුවත් නොකළහොත් ඔබට නැවත ඒ ආසාත්මිකතාවලට ලක්විය හැක.
ඔබ අනිවාර්යයෙන්ම ඖෂධයක් ලබා ගැනීමේදී පහත කරුණු සම්බන්ධව දැනුවත් විය යුතුය.

ඖෂධයේ නම
ඖෂධයේ මාත්‍රාව
කුමන රෝගය සඳහා භාවිත කරනවාද?
කීවරක් ගත යුතුද?
ඖෂධය ගබඩා කළ යුත්තේ කෙසේද?
ඖෂධය ලබා ගැනීමෙන් සිදුවිය හැකි අතුරු ආබාධ මොනවාද
(උදා -: යකඩ අඩංගු විටමින් වර්ගයක් ඔබ ලබාගන්නවා නම් මලපහ කළු පැහැයට යාම )

එසේම බොහෝදෙනෙක් සිදුකරන වැරැද්දක් වනුයේ සමහර රෝග තත්ත්වයන්වලදී මේ ඖෂධය හොඳ යැයි කියා හිතුමනාපයට ඖෂධ භාවිත කිරීමයි. සමහර විට ඔබ ඒ භාවිත කරන ඖෂධය ඔබට නුසුදුසු විය හැකිය. ඒ නිසා සෑමවිටම ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් අනුව භාවිත කිරීම වඩාත් සුදුසු වේ. 
මෙලෙස දැනුවත් භාවයකින් ඖෂධ භාවිත කරනවා නම් සිදුවිය හැකි අනතුරු සහ ආබාධ පහසුවෙන් වළක්වා ගත හැකිය. ඒ නිසා මින් පසුව ඖෂධ ලබා ගැනීමේදී සැලකිලිමත් වන්න.

‘මේ ආණ්ඩුව බදු පනතට ආසයි, විගණන පනතට බයයි’

HA PAGE 01 -12

දේශපාලන පක්‍ෂ සිය බලය පෙන්වීම සිදුකරනුයේ තම පක්‍ෂ වෙත පාර්ලිමේන්තුවේ ඇති ආසන සංඛ්‍යාව පෙන්වමිනි. මේ හේතුවෙන් එක් පක්‍ෂයක මන්ත්‍රීවරයෙකු තවත් පක්‍ෂයක් විසින් බිලීබාගැනීමට ගන්නා උත්සාහයක් අතීතයේ සිට අපි දුටුවෙමු.  මේ වනවිට බල අරගලය පවතින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ධ විපක්‍ෂය තුළද මේ තත්ත්වය දැකගත හැකිය. එමෙන්ම මුදලට විකිණෙන මන්ත්‍රීවරුන් පිළිබඳවත්, ඒ අතර වැඩි ලංසුවකට විකිණීමට උත්සාහ ගන්නා මන්ත්‍රීවරුන් පිළිබඳවත් විවිධ තොරතුරු පසුගිය කාලය පුරා අනාවරණය විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ ඇති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට යන බවට දින කිහිපයක සිට ප්‍රකාශ කරමින් සිටිති. මේ අතර ඇතැමුන් දැමූ ඩීල් පිළිබඳවද තවකෙක් ප්‍රසිද්ධ කරමින් සිටිති.
කෙසේ වුවද ආණ්ඩුවෙන් යන බවට පාරම්බාමින් ප්‍රසිද්ධියේ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් දැරූ අරුන්දික ප්‍රනාන්දුය. මේ සතියේ කතාබහට ලක්වූ චරිතය වූයේද ඔහුය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍ය කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡා කිහිපයකින් පසුව වුවද, ඔහු ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් අවශ්‍ය නම් යන බවද ප්‍රකාශ කළේය.
නිදහස් පක්‍ෂ ඇමතිවරුන්ගේ ගැටලු විසඳීමට ජනාධිපතිවරයා  අවශ්‍ය පියවර ගනිමින් සිටින විට අනෙකුත් ඇමතිවරුන් ප්‍රසිද්ධියේ විවේචන කිරීම්වලින් වැළකී සිටියද අරුන්දික ඉන් නොනැවතී විවේචනය කළේය.

අරුන්දික ඉවතට

දිනපතා පුවත්පතකට සඳුදා දිනයේ ඔහු ප්‍රකාශ කර තිබුණේ,  තමන් තවත් 10 දෙනෙකු සමග ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවය. එදිනම රාත්‍රියේ රූපවාහිනී වැඩසටහනකදී අරුන්දික, තවදුරටත් ආණ්ඩුව විවේචනය කළේය.

මේ සියල්ලම ජනාධිපති මෛත්‍රීට ආරංචි වූ විට දැඩි ලෙස කෝපයට පත්වූ ඔහු වහාම අරුන්දික ධුරයෙන් නෙරපීය. විපක්‍ෂයට යන බවට පාරම්බෑ අරුන්දික ධුරයෙන් නෙරපාවි යැයි ඔහු නොසිතූ බැවින් අරුන්දිකද තීරණය පිළිබඳ තිගැස්සුණි. කෙසේ වුවද එය දැනගත් වහාම අරුන්දික මාධ්‍යයට පැවසුවේ, දූෂිත ආණ්ඩුව ගෙදර යැවීමට වහාම කටයුතු කරන බවයි. මින් පසු තමන් කටයුතු කරන්නේ, සිය ප්‍රදේශයේ ජනතාවගේ මතයට බවද ඔහු පැවසීය.
එදින රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන්ගේ හමුවේදී ජනාධිපතිවරයාද අමාත්‍යවරුන්ට තදින් කතා කළේය.
ආණ්ඩුවෙන් ඉවත්වන බව කලින් ප්‍රකාශ කර තිබූ අමාත්‍යවරු මෙදින වචනයක්වත් කතා නොකළහ. ඒ වෙනුවට සිදුවූයේ පක්‍ෂය ශක්තිමත් කිරීමට පොරකමින් වගකීම් භාරගැනීමය.

සමාව ඉල්ලයි

දැඩි ලෙස ආණ්ඩුව විචේචනය කළ අරුන්දික බදාදා උදෑසනම ජනාධිපති මෛත්‍රී හමුවීමට පැමිණියේය. නමුත් මෛත්‍රී අරුන්දික සමග කතා කළේ එතරම් කැමැත්තකින් නොවේ.
පෙර දිනයේ තමන් අතින් සිදුවූ සියලු දෝෂයන්ට අරුන්දික ජනාධිපතිවරයාගෙන් සමාව ගත් අතර, ශ්‍රී ලංකා නිදහස්  පක්‍ෂයෙන් ඉවත්වීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවද අරුන්දික ජනාධිපතිවරයාට පැවසීය. අරුන්දිකගේ අඳෝනාව අසා සිටි මෛත්‍රී උත්සවයකට යෑමට ඇති බව පවසමින් පිටත් විය.

අරුන්දිකද ජනාධිපතිවරයාගේ රථ පෙළේ එක් රථයකට ගොඩවූ අතර, එය ජනාධිපතිවරයා ගමන් ගත් රථය නොවීය.
ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ  උලෙළට මෛත්‍රී සහභාගි වූ අතර, එම අවස්ථාවට අරුන්දික ප්‍රනාන්දුද එක්විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සවය ඇමතීමක් සිදුනොවුණි. අරුන්දික ප්‍රනාන්දු මහතාට ළඟදීම වෙනත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවන බව සභාව ඇමතූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉඟි පළ කළේය.
ඔහු සභාවෙන් අවසර ගන්නා අවස්ථාවේ අරුන්දික ප්‍රනාන්දු මහතා හැඳින්වූයේ, "ඊයේ නියෝජ්‍ය ඇමති, අද මන්ත්‍රී, හෙට ආයෙත් නියෝජ්‍ය ඇමති" යනුවෙනි.

අරුන්දිකගේ ඉවත් කිරීම ගැන දැඩි ලෙස කතාබහට ලක්වූයේ සතියේ මාධ්‍ය හමුවේදීය. කැබිනට් හමුවට සහභාගි වූ ඇමති රාජිතගෙන් සහ දයාසිරිගෙන් මාධ්‍යවේදීහු විවිධ ප්‍රශ්න විමසූහ.
'ඇමතිතුමා අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමතිතුමා පදවියෙන් ඉවත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කළේ ඇයි? මේ ගැන විවිධ කතා මතුවෙනවා. අරුන්දික මන්ත්‍රීතුමා ජනාධිපතිතුමාගෙන් කෝටි 25ක් ඉල්ලුවා කියලා කියනවා. ජනාධිපතිතුමා ප්‍රතික්‍ෂේප කළා කියලා කියනවා. "කෝටි 25ක් දෙන්න මගෙ ළඟ සල්ලි නැහැ. තිබුණත් මේ වගේ කෙනෙක් තියාගන්න සල්ලි දෙන්නේ නැහැ' කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඒ මුදල දෙනන්ම් කියලා එහෙට යන්න හදනවා කියලා කියනවා. අගමැතිතුමා හමුවෙලා සල්ලි ඉල්ලුවා කියලා කියනවා. මේ කතා ඇත්තද ඇමතිතුමා."
එයට පිළිතුරු දුන්නේ ඇමති රාජිතයි, 'අපි කියන්න දෙයක් නැහැනේ. මේ හැමදේම දැනගෙන තියෙන්නේ* යැයි රාජිත කිව්වේ සිනහවෙමිනි.

මගේ පිංතූරේ තිබුණේ නැහැ

පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් කෝටි 600ක සිල්රෙදි බෙදාදීමට වැරදිකරු වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ කොමිසමේ අධ්‍යක්‍ෂ අනුෂ පැල්පිට වසර තුනකට සිරගත කෙරුණේ පසුගිය සතියේය. බ්‍රහස්පතින්දා සිරගත කෙරුණු ඔවුන් සිකුරාදා දිනයේ බන්ධනාගාර රෝහලට මාරුකර වූයේ සීනි වැඩිවූ බව පවසමිනි.

කොළඹ මහාධිකරණයේදී මෙම නඩුව දින 24ක් විභාගයට ගත් අතර, පසුව සාධාරණ සැකයකින් තොරව වරද ඔප්පුවන බැවින් වරදකරුවන් බවට පත්වූවන්ට සිරදඬුවම් නියම කෙරිණි. මෙම කිසිදු දිනයකදී මහාධිකරණයේදී ප්‍රකාශයක් සිදුනොකළ හිටපු ජනාධිපති  මහින්ද රාජපක්‍ෂ සිරදඬුවම් නියම වූ ලලිත් සහ අනුෂ බැලීමට වැලිකඩ බන්ධනාගාරය ගොස් පැමිණි විට එම නියෝගය ලබාදුන්නේ තමන් බව පිළිගත්තේය. 
&මේක වරදක් නොවේ. මේක පැහැදිලිවම ජනතාවගෙන් ආපු ඉල්ලීමක්. ඒ අනුව ගත්තු තීන්දුවක් මේක. මේ මැතිවරණය සඳහා කරපු එකක් නෙවෙයි. අපි වේලාසන යවලා තිබ්බේ. මගේ ඡායාරූප තිබුණේ නැහැ. මේ තීන්දුව අසාධාරණයි. අපි අභියාචනා කරනවා. මේ නියෝගය දුන්නේ මම. මම පිළිගන්නවා වරදක් නැහැ. මාව අවුස්සන්න එපා.* මහින්ද එය පැවසුවේ තරමක් තර්ජනාත්මක ස්වරූපයෙනි.

රංජන්ගෙන් චෝදනා

නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක බන්ධනාගාරය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකට එක්වෙමින් සිරකරුවන්ට දෙආකාරයකට සලකන බව පවසමින් චෝදනා කරන්නට වූයේ අඟහරුවාදාය.
'ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට නිරෝගීව උසාවියට ආවා. තීන්දුව දුන්නු ගමන් ලෙඩ වුණා. චීවරධාරීන්, හොරුන්ට කඩේ යනවා. හොරුන්ගේ සල්ලි ගෙවන්න පාරට බැහැලා සල්ලි හොයන්න හදනවා. ලලිත් වීරතුංග, අනුෂලාට හෝටල්වලින් ආහාර ලැබෙනවා. නීතිය දෙවිදියකට සලකනවා. එහෙම වෙන්න බැහැ. ඒ කියන්නේ මෙයලා ඩීල් දානවා' 

සිල්රෙදි නඩුවේ වැරදිකරුවන්ගේ දඩමුදල් ගෙවීමට භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාත සිදුකිරීමට කටයුතු සූදානම් කරමින් තිබේ. මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ මෙවැන්නකි.
"මං දැක්කා සමහර ස්වාමීන් වහන්සේලා සිල්රෙදි සම්බන්ධයෙන් කිපිලා තියෙනවා. මේ රටේ සිල්රෙද්දක්වත් බෙදන්න බැරිද කියලා අහලා තිබුණා. අපේ රටේ බෞද්ධ ජනයා, හාමුදුරුවන් වහන්සේලා කිපෙන්න ඕන ඒකට නොවෙයි. සිල්රෙද්දක් අල්ලසක් ලෙස පාචිච්චි කිරීම ගැනයි කිපෙන්න ඕන. ඇත්තටම කිපෙනවා නම්, එයයි කළ යුත්තේ. මම දැක්කා බන්දුල ගුණවර්ධන කියනවා මේ වන්දිය ගෙවන්න රුපියල රුපියල එකතු කරනවා කියලා. ඒ අස්සේ කියනවා අභියාචනා කරනවා කියාලා. අභියාචනා කරනවා නම්, දඩමුදල් ගෙවන්න ඕන නැහැ. තීරණය පිළිගන්නවා නම්, විතරයි දඩමුදල් ගෙවන්න ඕන. දැන් මොකද කරන්න හදන්නේ, ජනතාවගේ සල්ලිවලටත් කෙලින්න හදන්නෙ."

නඩු දාන්න පුළුවන්

ඇමති රාජිත මේ පිළිබඳ අදහස් දැක්වීමට සූදානම් වී කැබිනට් මාධ්‍ය හමුවට පැමිණ තිබිණි. සිල්රෙදි බෙදාදීමේදී එහි ඇතුළත් කර තිබූ සටහනක් ඔහු කියැවීය.
'සීල, සමාධි, ප්‍රඥා ධර්ම මාර්ගයේ පියවරෙන් පියවරට ගමන් කිරීමටද, සියලු කුසල් ක්‍රියාවල නිරත වී ගුණධර්ම රැස්කිරීමටද, දුක් දොම්නස්වලින් මිදී ආධ්‍යාත්මික සුවයෙන් සිත් සැනසීමටද අවසන බුදු, පසේ බුදු, මහ රහතුන් වහන්සේලා නිවි සැනසී වදාළ නිවන් සම්පත් සාක්ෂාත් කරගැනීමටද කැමැති සියලු පින්වතුන් වෙත, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ප්‍රතිපත්තිවලට අනුව යමින් දැහැමි රටක තිරසාර පැවැත්ම සහ එහි අභිවෘද්ධිය තහවුරු කරනු වස් සකස් කරන ලද මෙම දහම් පඬුර මහත් වූ භක්ත්‍යාධරයෙන් පිරිනැමූ වගයි' ලෙස එහි සඳහන්ව තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිල්රෙදි බෙදාදීමේ වගකීම භාරගැනීම පිළිබඳවද රාජිත මෙසේ සඳහන් කළේය.

"එතුමාට මේ ප්‍රකාශය කරන්න තිබුණේ කලින්. දැන් වීරයා වගේ කතා කරනවා. නඩු තීන්දුව දීලා ඒ මිනිස්සු හිරේ ගියාට පස්සේ කතා කරලා වැඩක් නැහැ. මේක වැරැද්දක්. වැරැද්ද දැන් ඔප්පුවෙලා තියෙනවා. එහෙම නම්, මේ වැරැද්ද කරලා තියෙන්නේ එයා. මේ නඩුව දවස් 24ක් විභාග වුණා. ඒ දවස් 24න් එක දවසක අධිකරණයට ඇවිත් මහින්ද මහත්තයට මේ කරුණු කියන්න තිබුණා. එහෙම කළේ නැහැ.  දඬුවම් දෙනකම් ඉඳලා වැලිකඩට ගිහින් එනගමන් කියන එක එයාගේ වීරත්වය.
මේ නියෝගය දුන්නේ මහින්ද මහත්තයා කියලා ඔහු බාරගන්නවා නම්, මේ ප්‍රකාශය උඩ තව පුද්ගලයෙකුට අධිකරණයට යන්න පුළුවන්."

ටී.එන්.ඒ. අර්බුද

උතුරු මහ ඇමති විග්නේශ්වරම් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැදැකීමට සතිය ආරම්භයේදීම ගිය අතර, සංඝ සභාව සමග සාකච්ඡාවකටද එක්විය. නමුත් විග්නේශ්වරම් මෙම සාකච්ඡාවට එක්වූයේ තනිවය. 
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නායකවරුන් මහ නායක හිමිවරුන් හමුවී සාකච්ඡා කිරීමට සූදානමින් සිටි අතර, එයට ප්‍රථම විග්නේශ්වරම් මෙලෙස මහ නායක හිමිවරුන් බැහැදැකීමට ගියේය.
නමුත් විග්නේශ්වරම් මෙලෙස යන බවට දෙමළ ජාතික සන්ධානයේ නායකවරුන් හෝ දැනුවත්කර නොතිබුණි.

විග්නේශ්වරම් මෙලෙස මහ නායක හිමිවරුන් බැහැදැකීමට යාම සම්බන්ධයෙන් මේ වනවිට දෙමළ ජාතික සන්ධානය අතර මත ගැටුමක් හටගෙන තිබේ.
එහි ඇතැම් පක්ෂ නායකයන් මේ වනවිට විග්නේශ්වරම්ට දෝෂාරෝපණය කර තිබේ.

එමෙන්ම මහා නායක හිමිවරුන් සමග සාකච්ඡාවෙන් පසුව විග්නේශ්වරම් මාධ්‍යයට පැවසූ කාරණා සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයෙන් දැඩි ලෙස විවේචනය කර තිබේ. නමුත් විග්නේශ්වරම් මේ කිසිවකට පිළිතුරු සපයා නොමැත.

ජනාධිපති රහසේම ගිය ගමන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයෙකු වන ලාල් සිරිසේන විසින් පැදවූ රථයේ ගැටී ජීවිතක්ෂයට පත්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.
ඒ.ජේ.එම්. ජයරත්න සහ ඔහුගේ වැඩිමල් සහෝදරයා වූ ඒ.ජේ.එම්. බුද්ධදාස  මෙහිදී ජීවිතක්ෂයට පත්විය. ඒ.ජේ.එම්. ජයරත්න ජවිපෙ දිරිය පුරවැසි සමිතියක සභාපති ධුරය දැරීය. බුද්ධදාස වකුගඩු රෝගියෙකු වූ අතර, ප්‍රතිකාර සඳහා රෝහලට ගොස් එමින් සිටියදී මෙලෙස අනතුරට ලක්විය. රිය අනතුරෙන් පසුව වාහනය පලා ගිය අතර, එය පැදවූ ලාල් සිරිසේන පොලීසියේ මැදිහත්වීමෙන් අත්අඩංගුවට ගත්තේය.

මෙම සිදුවීමෙන් පසු දින, එනම් පසුගිය ඉරිදා දිනයේදී ජනාධිපතිවරයා මිය ගිය දෙදෙනාට අවසන් ගෞරව දැක්වීමට පොළොන්නරුවට ගොස් තිබිණි.  ජනාධිපතිවරයාගේ පැමිණීම රහසක් වූ අතර, කිසිදු මාධ්‍යවේදියෙකුට එය දැනගැනීමට නොහැකි වී තිබිණි. ජනාධිපතිවරයා සමග මහින්ද අමරවීර ඇමතිවරයා පැමිණ සිටි අතර, ආරක්ෂකයන් කිහිපදෙනකුට පමණක් එය සීමා විය. 

"ඔබතුමාගේ මල්ලි මගේ මනුස්සයා මරාගත්තා* යනුවෙන් මිය ගිය ජයරත්නගේ බිරිඳ හඬා වැටුණි. ජනාධිපතිවරයා ඇය අස්වසාලීමට කටයුතු කළේය. 
ජවිපෙ පොළොන්නරුව සංවිධායක ටී.බී. සරත් සමග කතාබහ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ අනතුරුවය.

"අපි මේ ගැන නීතියෙන් සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නෙ නෑ. නමුත් අපි ඔබතුමාගෙන් මේ පවුලට, දරුවන් දෙදෙනාට යුක්තිය බලාපොරොත්තු වෙනවා. මොකද මේ පවුල බලාගත්ත දෙන්නා දැන් ජීවතුන් අතර නැහැ. දරුවන්ට යන කලදසාව ගැන අනිවාර්යෙන්ම මැදිහත් වෙන්න ඕනෑ. ඔබතුමාගේ මල්ලිට යුතුකමක් තිබුණා අනතුරට පස්සෙ අඩුම තරමේ මේ දෙන්නා රෝහලට ගෙනියන්න. ඒක කළේ නැහැ* ටී.බී. සරත් කියා සිටියේය. &අනිවාර්යෙන්ම ඒ පවුල වෙනුවෙන් සාධාරණයක් ඉටුකරනවා. මම ඒ ගැන ඩඩ්ලිට කියන්නම්. අනිවාර්යෙන් මැදිහත් වෙන්න කියලා මම කියනවා. දරුවන් ගැන යුතුකමක් ඉටුකරනවා* ජනාධිපති මෛත්‍රී කියා සිටියේය. අවසන් කටයුතු සඳහා සහභාගි වූයේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාය. ජවිපෙ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් අවසන් කටයුතු සඳහා සහභාගි විය.

සියලු ධීවර වරාය බද්දට?

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළිදරව්වක් කළේය. ඒ මෙරට තිඛෙන සියලුම ධීවර වරායන් පෞද්ගලික අංශයට බදු දීම සඳහා මහින්ද අමරවීර කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන ඇති බවය. ධීවර නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි ගොඩනැගිල්ල සහ භූමියද ධීවර වරායන් 10ක්ද කෝටි 170කට ආසන්න මුදලකට මේ වනවිටත් ඇස්තමේන්තු කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. මෙම හෙළිදරව්වත් සමග ධීවර අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පුවත්පතකට කියා තිබුණේ දේශීය හෝ විදේශීය හොඳ ගැනුම්කරුවෙක් පැමිණිය හොත් වරායන් බදු දෙන බවත්, ධීවර වරායන්හී වැලි ඉවත් කිරීමට විශාල මුදලක් දැරීමට සිදුවන නිසා ධීවර සංස්ථාවට එම මුදල සොයාගත නොහැකි බවත්ය. කෙසේවෙතත් මෙම හෙළිදරව්ව කළ පසු දිනම හිටපු ධීවර ඇමතිවරයෙකු විජිත හේරත් මන්ත්‍රීවරයාට දුරකථනයෙන් ඇමතීය. &මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවද? මේ ධීවර වරායන්වලට එකතුවන වැලි ටික විතරක් විකුණලා සංස්ථාවට ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඒ නිසා මේ වරාය ටික විකුණන් නොදී බේරගන්න ඔබතුමාලා වැඩ කරන්න. අපි පුළුවන් උදව්වක් කරන්නම්* හිටපු ඇමතිවරයා විජිත හේරත්ට කියා සිටියේය. කෙසේ වෙතත් මහින්ද අමරවීර ඇමතිවරයා පසුදින මාධ්‍ය හමුවක් පැවැත්වීය. 

"ජවිපෙ මන්ත්‍රීතුමාට කවුරු හෝ වැරදි තොරතුරක් ලබාදීලා. ධීවර වරාය බදු දෙන්න කැබිනට් පත්‍රිකා අත්සන් කරලා නැහැ. එක වාක්‍යයක් අල්ලගෙන චෝදනා කරනවා" ඇමතිවරයා කීය. 
මේ ප්‍රකාශයත් සමග සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ කැඳවුම්කරු රත්න ගමගේ විජිත හේරත්ට ඇමතුමක් දී මේ බව කියා සිටියේය. 

"දැන් ඇමති කලබල වෙලා. එහෙනම් ඇයි කැබිනට් පත්‍රිකාවට ජනාධිපතියි, ආරක්ෂක ඇමතියි, මුදල් ඇමතියි නීරීක්ෂණ ඉදිරිපත් කළේ. නාවික හමුදාවේ කටයුතුවලට බාධාවක් නොවන විදියට බදු දෙන්න කියලා තමයි ආරක්ෂක ඇමති විදියට ජනාධිපති නිර්දේශ දීලා තියෙන්නේ. වැඩේ එළියට ආවාම දැන් කලබල වෙලා විකාර දොඩවනවා. කොහොමත් මේවා බදු දෙන්න අපි ඉඩ තියන්නෙ නැහැ. ධීවර සංස්ථාවේ සේවකයෝ සියල්ලම මේ වැඩේට විරුද්ධයි* විජිත හේරත් කියා සිටියේය.
බදු පනතට ආසයි… විගණන පනතට බයයි…

ජවිපෙ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජවිපෙ ගත් තීරණයත් සමග ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් ජවිපෙ මන්ත්‍රීවරුන්ට ස්තුති කරමින් දුරකථන ඇමතුම් ලබා දුන්නේය. 
&මන්ත්‍රීතුමා මේ ආණ්ඩුවේ ලොක්කෝ බදු පනත දාලා අපිට බදු ගහනවා. අයවැය ගේනකොට දිගට හරහට බඩු මිල වැඩි කරලා, බදු ගහලා, දඩ වැඩි කරලා අපෙන් සූරලම ගන්නවා. ඒත් ඒ ගන්න බදු මුදල් වලින්, දඩ මුදල් වලින් මොකද රටට වෙන්නේ කියල ජනතාවට දැනගන්න විදියක් නැහැ. විගණන පනත සම්මත කළා නම් මේ සියලුම රාජ්‍ය ආයතනවල මුදල් ගනුදෙනු වෙන්නේ කොහොමද කියලා ජනතාවට පැහැදිලිව දැනගන්න පුළුවන්* හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලබාදී කියා සිටියේය. 

"ඔව්, මේ ආණ්ඩුව බදු පනතට ආසයි. විගණන පනතට බයයි. වංචා දූෂණ නැති කරන්න කැමති නම් මේ පනත ගේන්න ප්‍රමාද කරන්නේ නෑනේ. දැන් අවුරුදු දෙකහමාරයි ප්‍රමාදයට. මේ විගණන පනත සම්මත වුණොත් ඇමතිවරුන්ට තමන්ට ඕන විදියට ටෙන්ඩර් ටික යාළුවන්ට දෙන්න බැහැ. ලලිත් වීරතුංග වගේ නිලධාරීන්ට ඕන ඕන විදියට රජයේ මුදල් දේශපාලනයට යොදාගන්න බැරිවෙනවා. ඒකයි මේ පනත ප්‍රමාද කරන එකේ රහස. අපි මේ පනත කොහොම හරි පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා" සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. 

කථානායක වෙස්ට්මිනිස්ටර් සමුළුවේ

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීමේ මුඛ්‍ය අරමුණින් යුතුව මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට අනුබද්ධිතව ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ 25 වැනි සංවත්සර සමුළුව පසුගිය සතියේ ලන්ඩනයේදී පැවැත්විණි.
 වසර 22ක් පුරා එහි සක්‍රීය සාමාජිකයෙකු වන කථානායක කරු ජයසූරිය මහතා, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක්විය.  

 එහි විශේෂත්වය වූයේ මේ සඳහා අවශ්‍ය ගමන් පහසුකම් ඇතුළු සියලු වියදම් රජයේ අරමුදල්වලින් ලබා නොගැනීමට කථානායකවරයා පියවර ගෙන තිබීමය. 
 එහිදී වෙස්ට්මිනිස්ටර් පදනමේ පරිණත ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ කථානායකවරයාට ලැබුණේ සුවිශේෂී පිළිගැනීමකි.

 1995 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස තමන් ශ්‍රී ලංකාවට වෙස්ට්මිනිස්ටර් පදනමේ සාමාජිකත්වය ලබාගත් අවස්ථාවේ සිට දශක දෙකක් ඉක්මවන කාලය තුළ ලෝකයේ ප්‍ර‍ජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය සඳහා පදනම තැබූ ඉදිරි පියවර හෙතෙම අනුපිළිවෙළින් විග්‍රහ කරමින් කළ කතාවට සමුළුවේ සියලුම නියෝජිතයන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබිණි.

 විශේෂයෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෑත කාලීනව තබා ඇති ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරි පියවර තුළින් සිය රටවලටද වැදගත් පූර්වාදර්ශ ලබාගත හැකි බවටද විශ්වාසය පළකළ සමුළු නියෝජිතයන්, ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු ක්‍රමයේ පරිණතභාවයට පත් වූ සිය සාමාජික රටක් බව පැවසුවේ ගෞරවයෙනි.  
 නව ඡන්ද ක්‍රමයක් තුළින් නව ව්‍යූහයක් යටතේ ඉදිරියේදී ස්ථාපිත වන පළාත් පාලන ආයතනවල පරිපාලන ක්‍රියාදාමය හා භෞතික සම්පත් වැඩිදියුණු කිරීමට වෙස්ට්මිනිස්ටර් පදනමේ සාමාජික රටවල සහාය තමන් අපේක්‍ෂා කරන බව පැවසූ කරු ජයසූරිය මහතාට ඒ සඳහා ඉතා සුබවාදී ප්‍රතිචාරයක් ලැබිණි.

"ඒක නම් නියම ඉලක්කයක්නේ"

40 වැනි උදාගම්මානය – දිඹුලාගල, මීවත්පුර "සඳරැස්ගම" ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට ඉකුත් සෙනසුරාදා උදෑසන කොළඹ සිට හෙලිකොප්ටරයකින් යෑමට නියමිතව සිටි ජනාධිපතිවරයාට අයහපත් කාලගුණය නිසා සිදුවූයේ ගමනින් අඩක් මෝටර් රථයෙන් ගොස් ඉතිරි කොටස පමණක් ගුවනින් යාමටය. ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියට පෙර උදෑසනින්ම ගම්මානය වෙත ගිය සජිත් ප්‍රේමදාස මහතා එහි නිවාස 34ටම ගොස් පවතින තත්ත්වය සොයා බැලුවේය. එහිදී හමු වූ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරිය ඇමතිවරයාට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ ගම්මානය භාර තාක්ෂණ නිලධාරියා ඉතා හොඳින් සිය වැඩකටයුතු කළත්, ගම්මානයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් ආදියට වාර කීපයක්ම නොපැමිණි බවයි. සජිත් එම නිලධාරියා කැඳවාගෙන කීවේ 

“ඔයා හොඳින් වැඩ කරන කෙනෙක් බව මං දන්නවා… ඒත් ඉහළ නිලධාරීන් කැඳවන රැස්වීම් වලට යන්න තරම් විනීතකමක් තියෙන්නට ඕනෑ… මම ඔයාගේ ඉදිරි වැඩකටයුතු දිහා බලාගෙන ඉන්නේ* කියාය. අනතුරුව ඒ වනවිට ජනාධිපතිවරයා පැමිණ සිටි ස්ථානයට ගොස් එහි සිට ජනපතිවරයාගේ මෝටර් රථයෙන්ම උත්සව භූමියට පැමිණෙමින් සිටි සජිත් දුටුවේ ජනාධිපතිවරයා මග දෙපස බලමින් යමක් කීමට සැරසෙන අයුරුය. “සජිත්, මම පසුගිය ආණ්ඩුවේ හිටියෙ බොහොම පීඩනයකින්. මට මෙහේ සංවර්ධනය කරන්න එක සතපහක් දුන්නෙ නෑ.. දැන් තමයි මම "පිබිදෙන පොළොන්නරුව" වැඩසටහනින් මේ පැත්ත සංවර්ධනය කරන්න පටන් අරන් තියෙන්නේ* යැයි කී ජනාධිපතිවරයා ඊළඟට ඇසුවේ, 
“සජිත් මම දකිනවා ඔයාගේ උදාගම්මාන වැඩපිළිවෙළ… මේ 40 වැනි ගම නේද? තව කීයක් හැදෙනවද?" කියාය. 

“දැනට රට පුරා ගම්මාන 454ක් ඉදිකරගෙන යනවා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඒ ගණන 500ක් වෙනවා. 2018, 19,20 අවුරුදු තුනේ තවත් ගම්මාන 2000ක් හදනවා. ඒ අනුව සර් අපි ඊළඟ මැතිවරණයට යන්නේ අලුත් උදාගම්මාන 2500ක වැඩ අරඹලයි* සජිත් කියද්දී ජනාධිපතිවරයා පිබිදුණු මුහුණින් යුතුව කීවේ, 
“ඒක නම් නියම ඉලක්කයක්නේ" කියාය.

ජනධිපති තාත්තා

ජනාධිතිපති මෛත්‍රීගේ වැඩිමහල් දියණිය වන චතුරිකා පියාගේ දේශපාලන දිවිය සම්බන්ධන් ග්‍රන්ථයක් රචනා කර ඇති අතර, එය නම්කර ඇත්තේ "ජනාධිපති තාත්තා" නමිනි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වන සිකුරාදා දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එය දෙරට වැඩීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රී ධුරයට පත්ව වසර දෙකක් ගතව ඇත. ජනාධිපතිවරණ සමය මෙන්ම ඊට පෙර දේශපාලන දිවිය සම්බන්ධයෙන් මෙහි කරුණු ඇතුළත් කර තිබෙන බව චතුරිකා පවසා තිබිණි.

දියවන්නාරාළ විසිනි
diyawannarala@gmail.com

අපට තොරතුරු තාක්‍ෂණයේදී පරිගණක උපකරණ සම්බන්ධව ගැටලු තිබෙනවා

Maradana_technical_college_front_view

මරදාන ශ්‍රී ලංකා තාක්‍ෂණ විද්‍යාලය විසින් ලබන 14 වැනිදා සංවිධානය කරන තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ දිනය නිමිති කරගෙන එම වැඩසටහන සහ ආයතනය අද වනවිට පවතින තත්ත්වය සහ ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු. ඒ සම්බන්ධව තොරතුරු විමසීමට එම ආයතනයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන ඒ.එම්.ජී. සෙනවිරත්න මහතා 'අද'ට සම්බන්ධ කර ගතිමු.


අද වනවිට  මරදාන, ශ්‍රී ලංකා තාක්‍ෂණ විද්‍යාලයෙහි තත්ත්වය ගැන කතා කළොත්?

මෙම කාර්මික හා තාක්‍ෂණික විද්‍යාලය ආරම්භ වන්නේ 1893 වර්ෂයේ. මෙම ආයතනය පටන් ගෙන ලබන වසර වෙද්දි අවුරුදු 125ක් පමණ වෙනවා. 2010 වසරෙන් පසුව මේ ආයතනය 'ශ්‍රී ලංකා තාක්‍ෂණ විද්‍යාලය' ලෙස නම් කරනවා. අප ආයතනයේ වෘත්තීය අංශයේ සියලුම පාඨමාලා කෙරෙනවා. %NVQ^ 03, 04, 05, 06 යන මට්ටමේ සියලුම පාඨමාලා හැදෑරීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම මේ පාඨමාලා පූර්ණකාලීන වගේම අර්ධකාලීන ලෙස සිසු දරුවන්ට හැදෑරීමේ අවස්ථාව තිබෙනවා.

එළඹෙන 14 වැනිදා පැවැත්වීමට නියමිත තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ දිනය පැවැත්වීමේ අරමුණ කුමක්ද?

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ දිනය පැවැත්වීමේ මූලික අරමුණ තමයි අප ආයතනයේ ළමයින්ගේ හැකියා එළිදැක්වීම. අනෙක් කාරණය වන්නේ මේ වගේ දින පැවැත්වීම මගින් ළමයින්ට යම් වගකීමක් දීලා තොරතුරු හා සන්නිවේදන ක්‍ෂේත්‍රයට අවශ්‍ය  ප්‍රායෝගික දරුවෙක් බිහිකිරීම. 

මෙම ආයතනය වර්තමානය වනවිට මුහුණ දෙන ගැටලු සහ අවශ්‍යතා මොනවාද?

අපට ඇත්තටම සම්පත්වල ගැටලු තිබෙනවා. අපට තොරතුරු තාක්‍ෂණයේදී පරිගණක උපකරණ සම්බන්ධ ගැටලු තිබෙනව. නව තාක්‍ෂණික උපකරණවල අඩුවකුත් තිබෙනවා. ඒ දේවල් එකපාර ලබාගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. ඒ දේවල් ලබාගන්න කාලයක් බලාගෙන සිටීමට සිදුවන තත්ත්වයක් තිබෙනවා. 

අද වනවිට මේ වගේ රජයේ කාර්මික විද්‍යාලවලට එන තරුණ පිරිසගේ අඩුවක් තිබෙනවාද?

නැහැ. එන ප්‍රමාණය දිනපතා වැඩි වීමක් තමයි තිබෙන්නෙ. අපි නොමිලේ උගන්වන නිසා ඉල්ලුම් කරන ළමයි ප්‍රමාණය ඉහළයි. නමුත් අපට ඒ ඉල්ලන හැමෝම ඇතුළත් කරන්න ඉඩ ප්‍රමාණය මදිකමක් තිබෙනවා.

නව තාක්‍ෂණය සමග මෙහි දරුදැරියන්ට ගනුදෙනු කිරීමට අවස්ථාවක් ලබාදී තිබෙනවාද?

අපට නව තාක්‍ෂණික දෑ එකපාර පරිහරණය කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. නමුත් සම්පත් නැති වුණත් නව තාක්‍ෂණික කරුණු සම්බන්ධ දැනුම අන්තර්ජාලය ඔස්සේ අප ලබාදීම සිදු කරනවා

අද වනවිට මේ වගේ තාක්‍ෂණික ආයතනවලින් බිහිවන නව නිපැයුම්කරුවන්ගේ අඩුවක් තිබෙනවාද?

එහෙම අඩුවක් දකින්න ලැබෙන්නෙ නැහැ. නමුත් මෑතකදී එවැනි නිර්මාණ බිහි වුණාද කියා ප්‍රශ්නයක් තිබෙනවා. 

නව තාක්‍ෂණික දැනුම සහ නව තාක්‍ෂණික උපකරණ ලැබීමේ අඩුවක් තිබෙනවාද?

උපකරණවල අඩුවක් තිබෙනවා. උදාහරණයක් ලෙස ගතහොත් මේ අවුරුද්දට මුදල් පාස් වෙන ප්‍රමාණයට අනුව තමයි  උපකරණ ගැනීම සිදුවන්නෙ.  නව තාක්‍ෂණික උපකරණයක් වෙළෙඳ පොළට පැමිණියොත් අපට ඒ දේ ක්‍ෂණිකව ලබාගන්න බැහැ. ඒ දේට ඊළඟ වසරේ අයවැයෙන් මුදල් වෙන්කරන තෙක් බලාගෙන සිටීමට සිදුවෙනවා. ඒ වගේ අවශ්‍ය උපකරණ ලැබෙන්න ප්‍රමාදයක් තිබෙනවා. 

මෙහි ඉගෙන ගන්න ළමයින්ට දීමනා ලබාදීමක් සිදු වෙනවාද?

අපේ ආයතනයේ අධ්‍යාපනය ලබන ආර්ථික අපහසුකම් තිබෙන දරු දැරියන්ට රජය මගින් දීමනා ලබාදීම සිදු කරනවා. 

කඩුවෙලින් ආරම්භ වන සැහැල්ලු දුම්රිය සේවයක්

Champika

 

රාජ්‍ය ආයතන සියල්ල බත්තරමුල්ලට ගෙන එන අතර, කඩුවෙලට විධිමත් නාගරික සංවර්ධනයක් අවැසි බවත්, ·මහවැලි ව්‍යාපාරය මෙන් කැලණි ගඟ ව්‍යාපාරයත් වත්මනට අත්‍යවශ්‍ය බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා කියා සිටියේය.

'සුඛිත පුරවර' සංවර්ධන ව්‍යාපෘතියේ රුපියල් ලක්‍ෂ 1,450 ක ප්‍රතිපාදන, පූර්ණ අධීක්‍ෂණය හා සැලසුම් දායකත්වය යටතේ ඉදිකළ කඩුවෙල සතිපොළ හා අතිරේක බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියේය. 
මෙම අවස්ථාවට කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ සමසභාපති විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු පළාත් සභා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

“බස්නාහිර පළාත ශීඝ්‍රයෙන් නාගරීකරණය වීමත් සමග කොළඹ නගරයේ මිනිසුන්ට පදිංචි වීමට හැකි ඉඩම් පහසුකම් නොමැති වීම හේතුව නිසාත්, එහි වාණිජ වටිනාකම ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසාත් ජනතාව පදිංචි වීම සඳහා පැමිණෙන ප්‍රදේශ ලෙස මෙම කඩුවෙල, හෝමාගම ආදී ප්‍රදේශ හැඳින්විය හැකියි. එහිදී විධිමත් නාගරීකරණයක් මෙම ප්‍රදේශවලට අවශ්‍ය වන නිසා විධිමත් වැඩපිළිවෙළක් කඩුවෙලට සකස් කර ආණ්ඩුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහි ප්‍රධාන අංගයක් කඩුවෙල නගර සංවර්ධනය කිරීම, චන්ද්‍රිකා කුමාරතුංග මාවත සංවර්ධනය කිරීම. ඒ වගේම මෙයට සමගාමීව කොළොන්නාව ආසනයේ මුල්ලේරියාව වැව අවට ප්‍රදේශය සංවර්ධනය කිරීම, අතුරුගිරිය ප්‍රදේශයේ නව නගරයක් මෙන්ම විනෝදාස්වාද ප්‍රදේශයක් ඉදිරිකිරීමටද අප කටයුතු කරනවා.

මාලබේ නව නගර නිර්මාණයත්, කඩුවෙල පාර්ලිමේන්තු ප්‍රධාන මාර්ගයේ පවතින දැඩි මාර්ග තදබදයට විසඳුම් ලෙස රජය විසින් ජපන් රජය සමග සාකච්ඡා කර සැහැල්ලු දුම්රිය සේවයක් පිටකොටුව දක්වා සැලසුම් කර තිබෙනවා. මේ වනවිට එහි ශක්‍යතා අධ්‍යයනය සිදුකරමින් තිබෙන අතර, ඉඩම් අත්පත් කරගැනීමත් සිදුවෙමින් පවතිනවා. ලබන වසර අගභාගයේදී එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

බත්තරමුල්ල සෙත්සිරිපාය අසල ප්‍රදේශයේ අතිරේක මාර්ගයක් නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව ඉදිකරමින් පවතිනවා. එහි පළමු කොටස පසුගියදා විවෘත කරනු ලැබුවා. බත්තරමුල්ල ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් පත් මේ වසරේදී කැඳවනවා. එසේම බත්තරමුල්ල ප්‍රදේශයට රාජ්‍ය ආයතන ගෙන ඒම සඳහා මහා පරිමාණ ගොඩනැගිලි 03 ක් ඉදිකිරීමේ කටයුතුද ආරම්භ කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය ස්වාධීන කොමිෂන් සභා, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු කාර්යාල ඉදිකිරීම සඳහා සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඊළඟ දශකයේදී කඩුවෙල – බත්තරමුල්ල ප්‍රදේශය සැබෑ මහා නගරයක් හැටියට වෘත්තීයවේදී නගරයක් ලෙස දියුණු වීමට නියමිතයි.

මාලබේ සිට හෝමාගම දක්වා ප්‍රදේශය තාක්ෂණ විශ්වවිද්‍යාල, තාක්ෂණ ආයතනය, විද්වතුන්ගේ පුරවරයක් බවට පරිවර්තනය කරන්න බලාපොරොත්තු වන අතර, ඒ සඳහා දැනට ආයතන 16 ක් පැමිණ තිබෙනවා. ඉදිරියේදී තවත් ආයතන ඒ සඳහා යොමුවීමට ඉඩ තිබෙන අතර, නව යුගයක් මේ කලාපයට ඇති වන බව සඳහන් කළ යුතුයි.

තරගකාරී ලෝක ආර්ථිකය යටතේ තවදුරටත් තේ, පොල්, රබර් මත ආර්ථිකය ගෙනයන්න බැහැ. අපට තවදුරටත් ඇඟලුම් කර්මාන්තය මත ආර්ථිකය ගෙන යා නොහැකියි. තාක්ෂණයත්, නවෝත්පාදනයත් හරහා නව ගමනකට අපි අවතීර්ණ යුතුයි. ඒ තුළින් ආර්ථිකය සවිබල ගැන්විය යුතුයි. ඒ සඳහා රජය විසින් තෝරාගෙන තිබෙන්නේ මාලබේ සිට හෝමාගම දක්වා ප්‍රදේශය. එබැවින් මෙම නගරය අනාගතයේදී වියත් නගරයක් බවට, තාක්ෂණික පුරවරයක් බවට පරිවර්තනය වන බව බොහෝම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.

මහවැලි ව්‍යාපාරය, වළවේ ව්‍යාපාරය මෙන්ම මෙරටට අත්‍යවශ්‍යම ව්‍යාපාරය තමයි කැලණි ගඟ ව්‍යාපාරය. කැලණි ගඟ නිසි ලෙස සංවර්ධනය කර කඩුවෙල සිට කොළඹ දක්වා විකල්ප මාර්ගයක් ගං ඉවුර භාවිත කරමින් ඉදිකිරීමටත්, කැලණි ගඟේ ජල මට්ටම පාලනය කර කොළඹ වරායේ කුඩා නැව් කඩුවෙල දක්වා ගෙනැවිත්, අධිවේගී මාර්ගයත් සමග ගාල්ල වරාය සහ හම්බන්තොට වරාය දක්වා සම්බන්ධ කිරීමට හැකි වන ලෙස මෙම කැලණි ගඟ ව්‍යාපාරය ගොඩනැගිය යුතුයි. ඒ නිසා මෙම ව්‍යාපෘතිය රජය වෙත ඉදිරිපත් කළා. ඒ සඳහා ගරු ජනාධිපතිතුමාගෙත්, අග්‍රාමාත්‍යතුමාගේත් ශක්තිය මේ සඳහා ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම විද්වතුන්ට, වෘත්තීයවේදීන්ට නිවාස 50,000 ක් ඉදිකිරීම් කටයුතු සිදු කරගෙන යන අතර, පැල්පත්වාසීන්ටද නිවාස 50,000 ක් ඉදිකරමින් පවතිනවා. එහි නිවාස 20,000 ක් මේ වනවිට ඉදිකර අවසන් කර තිබෙනවා. එමගින් රට තුළ පැල්පත්වාසී යුගය අවසන් කිරීමට කටයුතු කරන අතර, මධ්‍යම පන්තිය සඳහා විධිමත් අනාගතයක් ඇති කිරීමටත් කටයුතු කරනවා. එවැනි අනාගතයක් සඳහා රට ගෙනයාමට නම් කුමන පක්ෂයකින් හෝ උගත්, බුද්ධිමත් වෘත්තීයවේදීන් පිරිසක් අතට කඩුවෙල නගර සභාව පත් කරන ලෙස ඉල්ලා සිටිනවා.*

 

විශ්වවිද්‍යාල ගුරුවරුන් සඳහා නව ඉගැන්වීමේ ව්‍යාපෘති කිහිපයක් හඳුන්වා දෙයි

නෙස්කෝ සංවිධානය මගින් උසස් අධ්‍යාපනය නංවනු වස් නව උගැන්වීමේ නවතා ව්‍යාපෘතියක් (Project of Building staff capacity for ICT-Driven Innovation in Cambodia and Srilanka) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ගුරුවරුන් සඳහා හඳුන්වා දී ඇති අතර, ඒ පිළිබඳව සහ වත්මන් අධ්‍යාපන ක්‍රමය පිළිබඳ කතාබහක යෙදීමට කොළඹ විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා අප සමග එක්වූයේය.


Q මෙවැනි නව්‍ය උගැන්වීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට වැදගත් වෙන්නේ ඇයි?

අපි අද ජීවත් වෙන්නේ ස්මාට් සංස්කෘතියක. ජාත්‍යන්තරව බැලූ විට තියෙන්නෙත් ස්මාට් දේශන ශාලා සංස්කෘතියක්. එහෙම නැතුව කළුලෑලි සංස්කෘතියක් නෙමෙයි. අපි ඊට අනුගත විය යුතුයි. ඒ අනුව එවැනි වටපිටාවක් නිර්මාණය කිරීමයි අපේ අරමුණ. ඊට විද්‍යාර්ථයන්ටත් උද්වේගයක් පැවතිය යුතුයි. ප්‍රායෝගිකත්වය තිබිය යුතුමයි. ඒ නිසා අපි කළ යුත්තේ දක්ෂයා ආරක්ෂා කිරීම සහ අදක්ෂයා දක්ෂයකු කිරීමයි. එයයි ගුරුවරයාගේ දක්ෂතාව. අනික ගුරුවරයා කියන්නේ යාවත්කාලීන වන කෙනෙක්. එයයි වැදගත් වෙන්නේ.

Q විශ්වවිද්‍යාලවල පවතින ගුරුකුල සංස්කෘතිය ගැන මොකද හිතන්නේ? 

දේශකයා අභියෝගයට ලක් කිරීමට විද්‍යාර්ථයාටත් නිදහස තිබිය යුතුයි. විද්‍යාර්ථයාගේ මතයට ගරු කිරීමේ හැකියාව දේශකයාට තිබිය යුතුමයි. ඒ නිසා විභාග මට්ටමේදී පෞද්ගලික පළිගැනීම් සිදුනොවිය යුතුමයි. එතකොටයි විශ්වවිද්‍යාලයෙන් අපේක්ෂා කරන විද්‍යාර්ථයා බිහිවෙන්නේ.

Q දියුණු රටවල දැන් පවතින්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් නෙමෙයි නේද?

ඔව්. දැන් පවතින්නේ නිර්මාණාත්මක ආර්ථිකයක්. ඒ නිසා නව පර්යේෂණ, නව නිපැයුම් සමගින් තමයි අපි ඒ පිම්ම ජයගත යුතු වන්නේ. ඒ නිසා අපි ගෝලීය ආර්ථිකයක් සමගයි ඉදිරියට යා යුත්තේ.

Q ඒත් සෙසු පීඨයන්ට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවල අද පවතින්නේ බංකොලොත් බවක්?

කිසිම විෂයයකට කිසිම විෂයයක් දෙවෙනි නැහැ. එහෙම අපට සංසන්දනය කරන්නත් බැහැ. ශාස්ත්‍ර පීඨවලින් තමයි ලෝකයා බලාපොරොත්තු වන නව සංකල්ප බිහි වෙන්නේ. ඒ නිසා එවැනි සංකල්ප බිහිවිය යුතුයි. මොකද ඒ සඳහා අවශ්‍ය න්‍යායාත්මක දැනුම අපට ලැබෙනවා. එයින් අපට සෙසු පීඨ සඳහාත් දැඩි බලපෑමක් ඇති කළ හැකියි. එයයි විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨ සිසුවාගෙන් ලෝකයාට ලැබිය යුත්තේ. උදාහරණයක් විදිහට මම පශ්චාත් උපාධි ආයතනයේ පීඨාධිපතිව සිටිනා අවධියේදී පශ්චාත් උපාධි සිසුන්ට තොරතුරු තාක්ෂණය හරහා තමන්ගේ අධ්‍යාපන කටයුතු ආවරණය කරගන්නා ආකාරය හඳුන්වා දුන්නා. ඒ අනුවයි මොබයිල් සංස්කෘතියකට අනුව ඉගෙනීම (Mobile Learning) විශ්වවිද්‍යාලයට එකතු වෙන්නේ. දැනටත් එහි අයිතිය පවතින්නේ මට.

Q වෘත්තීමය ජීවිතය සාර්ථක කර ගැනීමත් විද්‍යාර්ථයාගේ ප්‍රධානතම අභියෝගයක්?

අපි ඒ වෙනුවෙන් රැකියා සල්පිලක් පවත්වනවා. මම තමයි එය විශ්වවිද්‍යාලයේ ආරම්භ කළෙත්. ඒ අනුව මෙවර සල්පිලේදී ස්ථිර රැකියා පත්වීම් සියයකට අධික ප්‍රමාණයක් එවෙලේම විද්‍යාර්ථයන්ට ලැබුණා. තවත් සියයට අධික ප්‍රමාණයකට තාවකාලික පත්වීම් ලැබුණා. අනික එම පෞද්ගලික ආයතනම තමයි මීට අනුග්‍රාහකත්වය දක්වන්නේත්. මොකද ඔවුන් දන්නවා විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථයාගේ බුද්ධි මට්ටම ගැන. 

Q නමුත් වෘත්තීය අධ්‍යාපනය සහ දැනුම කේන්ද්‍රීය අධ්‍යාපනය යා යුත්තේ පීලි දෙකක නේද?

නැහැ. පීලි දෙකක යා යුතු නැහැ. දැනුම කේන්ද්‍රීය අධ්‍යාපනය ඔස්සේ තමයි වෘත්තීය අධ්‍යාපනයට අවශ්‍ය පදනම ගොඩනැගෙන්නේ. විශේෂයෙන්ම ශාස්ත්‍ර පීඨයේ සිසුන් මුහුණදෙන රැකියා අර්බුදය ගැන අපි පැහැදිලි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ අනුව තමයි වෘත්තීය මාර්ගෝපදේශක මධ්‍යස්ථානය අපි දියුණු කළේ. නමුත් අපට බැහැ විද්‍යාර්ථයන්ගේ සම්පූර්ණ පෞරුෂත්වය දියුණු කරන්න. ඒක විද්‍යාර්ථයාගේ කටයුත්තක්. අනික ඉතිහාසය වැනි නව විෂයයන් පවා මෙවැනි නව අධ්‍යාපන ක්‍රම ඔස්සේ අලුත් වෙනවා. එයයි මෙවැනි නව ඉගැන්වීමේ ක්‍රමවේදවල අරමුණ.

Q කෙසේ නමුත් මානව දයාවෙන් යුතු සෞන්දර්යාත්මක විශ්වවිද්‍යාල සිසුවෙක් බිහිකරන යාන්ත්‍රණයක් මීට පෙර විශ්වවිද්‍යාල පද්ධතියේ පැවතුණා?

ඒක කාලයක් තිස්සේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම පවතින ගැටලුවක්. අපි සීමාවලට කොටු වෙලා. න්‍යායාත්මක බවට ප්‍රමුඛතාව ලබා දීලා. එයයි අර්බුදය. මම එම පරතරය අපේ විශ්වවිද්‍යාල ඇතුළේ අඩු කරන්න උත්සාහ කරනවා. එවැනි උපක්‍රම අනුගමනය කරලා තියෙනවා. මොකද මට එවැනි වටපිටාවක් අලුතින් නිර්මාණය කරන තාක්ෂණ පීඨය ඇතුළේ ගොඩනගන්න හැකියාව ලැබුණා. ඒ අනුව අපි ඒ හරහා සියලුම පීඨ එකතුකර ගත්තා. එයයි විය යුත්තේ. මොකද මෙය විදෙස් විශ්වවිද්‍යාලවල සිදුවෙන සාමාන්‍ය දෙයක්. 

Q විද්‍යාර්ථයා කළ යුත්තේ දේශකයාට අවශ්‍ය දේද?

දේශකයෙක් කියලා කියන්නේ පාසල් ගුරුවරයෙක් නෙමෙයි. වනපොත් කරන කෙනෙක් නෙමෙයි. එය ඊට වඩා වෙනස් භූමිකාවක්. එය දිනපතා වෙනස් වෙන සුලුයි. ඒ නිසා දේශන ශාලාව කියන්නේ පාසල් පන්ති කාමරය නොවන බවත් දේශකයා දැන ගත යුතුයි. දේශකයා කියන්නේ දැනුම සංවිධානය කරගත් පුද්ගලයෙක්. ඒ නිසා තමයි පළමු වසරේදී මහාචාර්යවරයෙක් විද්‍යාර්ථයන් සඳහා උගැන්විය යුත්තේ. එතකොටයි විද්‍යාර්ථයන් විශ්වවිද්‍යාලයට අනුගත වෙන්නේ. අනික දේශකයා සහ විද්‍යාර්ථයන් අතර දේශන ශාලාවේදී සිදුවෙන්නේ දැනුම බෙදා ගැනීමක්. විද්‍යාර්ථයන් තුළින් දේශකයා හුඟක් දේ ඉගෙන ගන්නවා. යාවත්කාලීන වෙනවා. විශේෂයෙන් විද්‍යාර්ථයාගේ දැක්මත් දේශකයා හැදෑරිය යුතුයි. මොකද එකම කාරණාව වුණත් ඒ පිළිබඳ පවතින දෘෂ්ටිකෝණ පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙනවා. ඒ නිසා ළමයින්ගේ විසිරුණු දැනුම සංවිධානගත කිරීම තමයි දේශකයාගේ දක්ෂතාව විය යුත්තේ. එතකොටයි ඉගැන්වීම විනෝදයක් බවට පත්වන්නේ.

Q සෙසු පීඨවල විද්‍යාර්ථයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කටයුතු කරද්දී ශාස්ත්‍ර පීඨයේ විද්‍යාර්ථයන්ට පමණක් ඇයි කුඩම්මාගේ සැලකිලි?

අපි ඇතැම් පාඨමාලා ඉංග්‍රීසියෙන් පවත්වාගෙන යනවා. හැබැයි ඇතැම් විද්‍යාර්ථයන් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න කැමති නැහැ. ඇතැම් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු පවා කැමති නැහැ. ඉංග්‍රීසි කියන්නේ මාධ්‍යයක් පමණක් කියලයි ඔවුන් කියන්නේ. ඒත් බොහෝ අමතර පොතපත අපට හමුවෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒ නිසා තමයි අපි හැකි සෑමවිටම භාෂා ද්විත්වයෙන්ම කටයුතු කරන්න උත්සාහ කරන්නේ. උදාහරණයකට ඈත පිටිසර පාසලකින් එන ජීව විද්‍යා සිසුවෙක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අමාරුවෙන් ඉගෙනීම් කටයුතු කළත්, එම පාසලින්ම පැමිණෙන ශාස්ත්‍ර පීඨ සිසුවා ඉගෙන ගන්නේ සිංහල මාධ්‍යයෙන්. ඒ නිසා මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් කටයුතු කිරීම සඳහා සෑහෙන වෙහෙසක් දරන කෙනෙක්. දැනටත් ඇතැම් දෙපාර්තමේන්තු එයාකාරයෙන් කටයුතු කරමින් සිටිනවා.

Q සෙසු පීඨවලට ශාස්ත්‍ර පීඨවලින් පිටවන ජාත්‍යන්තර විද්වතුන්ගේ සහ පර්යේෂණවල රික්තයක් පවතිනවා නේද?

එදා ඉඳලම හුඟක් න්‍යායයන් හැදුවේ සුද්දන්. ලංකාවටත් ආපු ඔවුන් තමයි පර්යේෂණ කරලා පොත් රචනා කළේ. ඒත් ඒ න්‍යායයන් ඇතුළේ ජීවත් වූ අපට මේවා සාමාන්‍ය දේවල්. හැබැයි සුද්දන් මේවා දැක්කේ න්‍යායාත්මකව, සංකල්පමය රාමුවකින්. ඒ නිසා අපි සොයා ගන්නා බොහෝ පර්යේෂණයන් සාමාන්‍ය ජනතාව අතරට යන්නේ නැහැ. මාධ්‍ය හරහා ජනතාව අතරට යන්නේ නැහැ. ඒත් ජර්නල හරහා ජාත්‍යන්තර මට්ටමට ගිහින් තියෙනවා.

Q ඒත් හොඳ මට්ටමේ ශාස්ත්‍ර පීඨ පර්යේෂණවලට ලැබෙන අනුග්‍රහය සෙසු පීඨවලට ලැබෙන අනුග්‍රහයන්ට සාපේක්ෂව අඩුයි ?

මුදල් යන්න සෑම තැනකම පවතින දෙයක්. හොඳ මට්ටමේ පර්යේෂණයකට අනුග්‍රාහකත්වයක් සොයා ගැනීම අපහසු නැහැ. පර්යේෂකයාගේ දක්ෂතාව තමයි හොඳ පර්යේෂණ යෝජනාවලියක් සකස් කිරීම. එවිට ප්‍රතිපාදන අනිවාර්යයෙන් ලැබෙනවා. ඒ නිසා අපි අපේ අනන්‍යතාව ගොඩනගා ගැනීම තුළින් තමයි මෙවැනි වටපිටාවක් ගොඩනගාගත හැකි වෙන්නේ.