Category Archives: IPL 2017

මහේලගේ මග පෙන්වීමෙන් මුම්බායි ශූරතාව දිනයි

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2017 වසරේ ශූරයන් බවට පවත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (21දා) රාත්‍රියේ සමත්විය.  ඒ රයිසින් පූනේ සුපර්ජයින්ට්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමිනි.

හයිද්‍රාබාද් හි පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ට ලකුණු 129ක් රැස්කළේය. ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව කෘනාල් පාණ්ඩ්‍යා (47) විසින් රැස්කළේය.

ලකුණු 130ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පූනේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී රැස්කළ හැකිවූයේ ලකුණු 128ක් පමණි. නායක ස්ටීවන් ස්මිත් (51) අර්ධ ශතකයක රැස්කළත් එය ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචෙල් ජොන්සන් පන්දුවාර 4 තුළදී ලකුණු 26ට කඩුලු තුනක් දවාගත් අතර ජස්ප්‍රීටී බුම්රාද පන්දුවාර 4 තුළදී ලකුණු 26ට කඩුලු 2ක් දවාගත්තේය. එසේම ලසිත් මාලිංග නියමිත පන්දුවාර 4 තුළදී ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 21ක් පමණි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර ශූරතාව දිනාගත්තේ තෙවැනි අවස්ථාවටය. තරගයේ වීරයා ලෙස කෘනාල් පාණ්ඩ්‍යා සම්මාන ලැබීය.

 

කොල්කටා පියවරක් ඉදිරියට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ තරගයක් (Eliminator) ලෙස ඊයේ (17දා) රාත්‍රියේ බැංග්ලෝර්හිදී අවසන් වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 07ක ජයක් ලැබීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

චින්නසාමි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් කොල්කටා කණ්ඩායම පන්දුවට ප්‍රථමයෙන් පහරදීම සදහා හයිද්‍රාබාද් නායක ඩෙවිඩ් වොනර්ට ඇරයුම් කළ අතර, ඔවුන්ට පන්දුවාර 20 අවසනදී කඩුලු 07ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි. එහිදී වොනර් ලකුණු 37ක් සහ කේන් විලියම්සන් ලකුණු 24ක් රැස්කිරීම හැරෙන්න වෙනත් පිතිකරුවෙකුට සාර්ථකවීමට කොල්කටා පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ නේතන් කාල්ටර්-නයිල් ලකුණු 20කට කඩුලු 03ක් සහ උමේෂ් යාදව් කඩුලු 02ක් බිඳ දැමීමට සමත්වූහ.

කෙසේ නමුත් හයිද්‍රාබාද් ඉනිම අවසන් වනවාත් සමග තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවූ අතර, ඒ හේතුවෙන් තරගය නැවත ආරම්භ කිරීමට බොහෝ වෙලාවක් ප්‍රමාද විය. ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යාය අනුව කොල්කටා කණ්ඩායමට පන්දුවාර 06කදී ලකුණු 48ක ඉලක්කයක් හිමිවිය. එම ඉලක්කය ඔවුන් කඩුලු 03ක් දැවී පන්දුවාර 5.2කදී සපුරාලීමට සමත් වූ අතර, එහිදී නායකත්ව ඉනිමක් ගොඩනගමින් විශිෂ්ට පිතිහරඹයක නියුතු ගෞතම් ගාම්භීර් නොදැවී ලකුණු 32ක් රැස්කිරීමට සමත්විය. තරගයේ වීරයාට හිමි සම්මානය කොල්කටා කණ්ඩායමේ නේතන් කොල්ටර් විසින් දිනාගනු ලැබීය.

මෙම පරාජයත් සමග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය. කෙසේ නමුත් කොල්කටා කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට තවත් එක් තරගයක් ජයගත යුතුව ඇත. පසුගිය අඟහරුවාදා (16දා) පැවති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී පූනේ සුපර්ජයන්ට් හමුවේ පරාජයට වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග කොල්කටා කණ්ඩායමට තරග වැදීමට සිදුවන අතර, එම තරගය හෙට (19දා) බැංග්ලෝර්හිදී පැවැත්වේ. එහි ජයග්‍රහකයා අවසන් තරගයට සුදුසුකම් ලබයි.

හයිද්‍රාබාද් 128/7 (පන්දුවාර 20)

ඩෙවිඩ් වෝනර් 37 (35, 4X2, 6X2 ), කේන් විලියම්සන් 24 (26, 4X2, 6X1 ), විජේ ශංකර් 22 (17, 4X2, 6X1 ), නේතන් කෝල්ටර්-නයිල් 3/20 (4), උමේෂ් යාදව් 2/21 (4)

කොල්කටා 48/3 (පන්දුවාර 5.2)

ගෞතම් ගාම්භීර් 32 (19, 4X2, 6X2 ), ක්‍රිස් ලින් 6 (2, 6X1), බුවනේෂ්වර් කුමාර් 1/11 (1), ක්‍රිස් ජොඩන් 1/9 (1)

ෂෙහානි දිල්රුක්‍ෂිකා

අවසන් සටනට පළමුවෙන්ම පූනේ එක්වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා සටනට සුදුසුකම් ලැබීමේ පළමු තරගය ලෙස මුම්බායිහීදි ඊයේ (16දා) රාත්‍රියේ පැවති තරගයෙන් සත්කාරක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 20ක ජයක් ලැබීමට ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන් යුත් රයිසිං පූනේ සුපර්ජයන්ට් කණ්ඩායම සමත්විය.

වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි නායක රෝහිත් ෂර්මා ප්‍රථමයෙන් පහරදීම සඳහා පූනේ කණ්ඩායමට ඇරයුම් කළ අතර, ඔවුන් පන්දුවාර 20 අවසනදී කඩුලු 04ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත්විය.

මෙහිදී දක්‍ෂ පිතිකරණයක නිරත වූ එම්.එස්. දෝනි පන්දු 26කදී නොදැවී ලකුණු 40ක් රැස්කළ අතර, ආරම්භක පිතිකරු අජින්කේ රහනේ ලකුණු 56ක් සහ මනොජ් තිවාරි ලකුණු 58ක් රැස් කිරීමට සමත්වූහ. කෙසේ නමුත් නායක ස්ටීවන් ස්මිත්ට රැස්කිරීමට හැකිවූයේ එක් ලකුණක් පමණි.

මෙහිදී ලකුණු 163ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසනදී කඩුලු 09ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142ක් පමණි. පූනේ කණ්ඩායමේ දක්‍ෂ පන්දුයැවීම ඔස්සේ පාර්තිව් පටෙල් පමණක් ලකුණු 52ක් රැස් කළ අතර, අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 16කට වඩා ලබා ගැනීමට නොහැකි විය.

පූනේ ජයග්‍රහණයේ ප්‍රධාන තුරුම්පුව වූ වොෂින්ටන් සුන්දර් ලකුණු 16කට කඩුලු 03ක් හා ශාදුල් ඨාකූර් කඩුලු 03ක් බිඳ දැමීමට සමත්වූහ. තරගයේ වීරයාට හිමි සම්මානය වොෂිංටන් සුන්දර් විසින් දිනාගනු ලැබීය.

මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ තරගවැදී මුම්බායි ඉන්දීය ක්‍රීඩකයන්ට ජයග්‍රහණය කරා පැමිණිමට නොහැකි වුවත්, ඔවුන් තරගාවලියෙන් ඉවත් නොවේ. මෙම තරගාවලියේ අවසන් සටනට සුදුසුකම් ලැබීමේ තවත් තරගයක් අද (17දා) රාත්‍රියේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ අතර, එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග නැවත තරග වැදීමට මුම්බායි කණ්ඩායමට අවස්ථාව හිමිවේ. එම තරගයේ ජයග්‍රාහකයා එළඹෙන 21 වැනිදා පූනේ සමගන් අවසන් මහා තරගයේදී හමුවෙයි.

පූනේ 162/4 (පන්දුවාර 20)

මනොජ් තිවාරි 58 (48, 4X4, 6X2 ), අජින්ක්‍යො රහානේ 56 (43, 4X5, 6X1 ), මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී) 40 (26, 6X5 ), ලසිත් මාලිංග 1/14 (3), කරන් ශර්මා 1/30 (4), මිචෙල් මැක්ලින්හම් 1/46 (4)

මුම්බායි 142/9 (20)

පාතිව් පටෙල් 52 (40, 4X3, 6X3 ), කරුණාල් පාන්ඩේ 15 (11, 4X2), වොෂින්ටන් සුන්දර් 3/16 (4), ශාදුල් ඨාකූර් 3/37 (4)

ෂෙහානි දිල්රුක්ෂිකා

අවසානයේදී බැංගලෝර් දිනයි

මේ වසරේ ක්‍රියාත්මක ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ අසාර්ථක කණ්ඩායමක් බවට පත්වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහභාගිවූ අවසන් තරගයෙන් ලකුණු 10ක ජයක් ලැබීය.

දිල්ලි කණ්ඩායම හා පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බැංගලොර් කණ්ඩායම ලකුණු 161ක් රැස්කළේය. එයට පිළිතුරු ලෙස දිල්ලි කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 151ක් පමණි.

බැංගලොර් කණ්ඩායම වෙනුවෙන් නායක විරාත් කෝලි අර්ධ ශතකයක් (58) රැස්කළ අතර ක්‍රිස්ගේල් ලකුණු 48ක් රැස්කළේය.

දිල්ලි කණ්ඩායම වෙනුවෙන් රිෂාබ් පාන්ට් ලකුණු 45ක් රැස්කළේය.

බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 43ට කඩුලු 3ක් දවාගත් හර්ෂාල් පටෙල් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

මහේලගේ මුම්බායි පෙරමුණ ගනියි

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මූලික වටයේ පෙරමුණ ගනිමින් එම වටය නිමා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (13දා) සමත්විය.

ඒ මූලික වටයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරගයෙන්ද කොල්කටා කණ්ඩායමට එරෙහිව ලකුණු 9ක ජයක් ලබාගනිමිනි.

මුම්බායි කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 173ක් රැස් කළේය. ආරම්භක පිතිකරු සවුරභා තිවාරි (52), අම්බති රායිදු (63) අර්ධ ශතක රැස්කරමින් මුම්බායි ඉනිම ශක්තිමත් කළහ.

ලකුණු 174ක ඉලක්කයක් හඹාගිය කොල්කටා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ට රැස්කළ හැකිවූයේ ලකුණු 164ක් පමණි. මනීෂ් පාණ්ඩේ ලකුණු 33ක් රැස්කළේය. මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග ක්‍රීඩා නොකළේය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරයි.

දිල්ලි කණ්ඩායමට ලකුණු 7ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ රයිසින් පූනේ සුපර්ජයින්ට්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම අතර ඊයේ (12දා) පැවැති තරගයෙන් දිල්ලි කණ්ඩායම ලකුණු 7ක ජයක් වාර්තා කළේය.

තරගාවලියේ 52 වැනි තරගය ලෙසින් දිල්ලි හි ෆේරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැතියේය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ට ලකුණ 168ක් රැස්කළේය. කරුන් නායර් පන්දු 45කදී ලකුණු 64ක් රැස්කළේය.

ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පූනේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7 ට ලබාගත හැකි වූයේ ලකුණු 161ක් පමණි.

මනෝජ් තිවාරි ලකුණු 60ක් රැස්කළේය.දිල්ලි කණ්ඩායම් කරුන් නායාර් තරගයේ වීරායා ලෙස සම්මාන ලැබීය.

පංජාබ් කණ්ඩායමට ලකුණු 14ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ඊයේ (09දා) පැවැති තරගයෙන් පංජාබ් කණ්ඩායම ලකුණු 14ක ජයක් ලැබීය. තරගාවලියේ 49 වැනි තරගය ලෙසින් පංජාබ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණ.

මුලින්ම පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම ලකුණු 167ක් රැස්කළේය. මැක්ස්වෙල් (40), රිද්දිමාන් සහා (38) ඉනිමේ ඉහළම ලකුණු ලාභියෝ වූහ.

ලකුණ 168ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොල්කටා කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු හයකට රැස්කළ හැකිවූයේ 153ක් පමණි. ආරම්භක පිතිකරු ක්‍රිස් ලීන් පන්දු 52කදී ලකුණු 84ක් රැස්කළත් ය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවූයේ අනෙක් අන්තයෙන් ඔහුට සහායක් නොලැබීම හේතුවෙනි.

පන්දුවාර 3ට ලකුණු 24ට කඩුලු තුනක් දවාගත් පංජාබ් කණ්ඩායමේ මෝහිත් ශර්මා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

මාලිංගගේ මුම්බායිට පරාජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ (08දා) හයිද්‍රාබාද්හි පැවැති තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.

තරගාවලියේ 48 වැනි තරගය ලෙසින් මෙය පැවැතියේය.

මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ලකුණු 138ක් රැස්කළේ කඩුලු 7ක් වැය කරමිනි. ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට නායක රෝහිත් ශර්මා (67) සමත්විය.

ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායම තරගයේ 18.2 වැනි පන්දුවාරයේදී ඉලක්කය සම්පූර්ණ කළේ කඩුලු තුනක් වැය කරමිනි. ශිකර් දවාන් ලකුණු 62ක් රැස්කිරීමට සමත්විය.

මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් ලසිත් මාලිංග මෙම තරගයට ක්‍රීඩා කළ අතර ඔහුගේ පන්දුවාර 4 තුළදි එක් කඩුල්ලක් දවා ගැනීමට මාලිංග සමත්වූයේ ප්‍රතිවාදීන්ට ලකුණු 33ක් ලබාදෙමිනි.

තරගයේ වීරයා ලෙස දවාන් සම්මාන ලැබීය. 

ඉන්දීය ප්‍රියමියර් ලීග වේගවත්ම අර්ධ ශතකයක් සුනිල් නාරායන්ගෙන්

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයට හිමි වාර්තාව සම කිරීමට කොදෙව් ක්‍රීඩක සුනිල් නාරායන් ඊයේ (07දා) සමත්වූයේය.

ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයේදී ඔහු පන්දු 15කදී අර්ධ ශතකයක් රැස්කරමිනි.

කොල්කටා කණ්ඩායමේම යූෂෆ් පතාන් මීට පෙරාතුව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පන්දු 15කදී ලකුණු 50ක් රැස්කරමින් අයි.පී.එල්. වේගවත්ම අර්ධ ශතකය රැස් කර තිබුණි. 

අම්ලාගේ ශතකය ස්මිත්ගේ අර්ධ ශතකයට යටවෙයි

ඉන්දීය ප්‍රිමියර් ලිග තරගාවලියේ කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම හා ගුජරාට් ලයන්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට සමත්වූයේය.

පංජාබ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගාවලියේ 47 වැනි තරගය ලෙසින් මෙම තරගය පැවැත්විණ. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම ලකුණු 189ක් රැස්කළේය. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ හෂීම් අම්ලා මෙවර තරගාවලියේ සිය දෙවැනි ශතකය වාර්තා කිරීමටත් සමත්වූයේය. පන්දු 60කදී ලකණු 104ක් රැස්කළ අම්ලාගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 8ක් ඇතුළත් විණ.

ඔහුට අමතරව ෂෝන් මාෂ්ද පන්දු 43කදී ලකුනු 58ක් රැස් කළේය. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 125ක සබඳතාවක් පැවැත්වීය.

ලකුණු 190ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ගුජරාට් ලයන්ස් කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු හතරක් පමණක් වැය කර අදාළ ඉලක්කය පසුකර ගියේය.

ආරම්භක පිතිකරු ඩ්වේන් ස්මිත් පන්දු 39කදී ලකුණු 74ක් රැස්කළේ හයේ පහර 8ක් හා හතරේ පහර 4ක් සමගිනි.

ඔහුට අමතරව ඉෂාන් කිෂාන් (29), සුරේෂ් රයිනා (39), දිනේෂ් කාර්තික් (35) පිත්තෙන් දක්ෂතා දැක්වූහ. තරගයේ වීරයා ලෙස ඩ්වේන් ස්මිත් සම්මාන ලැබීය.