Category Archives: international

ඉන්දු – ඊශ්‍රායල් සබඳතා නව යුගයකට පිවිසෙයි

ඉන්දියාව සහ ඊශ්‍රායලය නව යුගයක් සනිටුහන් කරමින් ආරක්ෂක, කෘෂිකාර්මික සහ ගුවන් යන ක්ෂේත්‍ර රැසක අවබෝධතා ගිවිසුම් රැසක් ඇති කරගෙන තිබේ.

ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉන්දියාවේ සංචාරය කරමින් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම එකඟතාවන් ප්‍රකාශයට පත්ව ඇත.

ඊශ්‍රායල ආරක්ෂක ක්ෂේත්‍රයේ සමාගම් ඉන්දියාව තුළ ආයෝජන ආරම්භ කරනු දැකීම තම කැමැත්ත බව මෝදි පවසයි.

නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායලයේ සංචාරය කළ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට පත්වී වසරකින් පසුව නෙතන්යාහුගේ ඉන්දීය සංචාරය ආරම්භ වී තිබේ.

ඔහු පසුගිය ඉරිදා 130 දෙනෙකුගෙන් යුතු දූත කණ්ඩායමක් සමග නව දිල්ලිය වෙත පැමිණියේය.

1_India 2

චීන මුහුදේ ගිනිගත් නැවෙන් විශාල තෙල් ඉසිරීමක් සිදුවේ

නැගෙනහිර චීන මුහුදේදී අනතුරට පත්ව ගිනි ගැනීමට ලක්වූ ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවෙන් මුහුදට විසිරෙන ඉන්ධන ඉවත් කිරීම සඳහා චීන නෞකා දැඩි පරිශ්‍රමයක් දරන බව විදෙස් වාර්තා පවසයි.

මේ හේතුවෙන් වර්ග කිලෝමීටර් 120ක විසිරුණු තෙල් තට්ටුවක් මුහුදු ජලයේ පාවෙමින් පවතින බව විශ්වාස කෙරෙයි.

මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාවේ අති සැහැල්ලු බොරතෙල් ටොන් 136,000ක් පැවතී ඇති අතර, අනතුරත් සමග විසිරුණු ඉන්ධන මෙන්ම මෙම අති සැහැල්ලු තෙල් හේතුවෙන් සාගර ජීවීන්ට හානි සිදුවනු ඇති බව සඳහන්ය.

අනතුරටත් පත් මෙම තෙල් නැව ගිනි ගැනීමෙන් පසුව එය සතියක පමණ කාලයක් ගිනි ගැනීමෙන් අනතුරුව මුහුදුබත් විය.

මෙම අනතුරින් එහි ගමන් කළ සියලු නාවිකයන් ජීවිතක්ෂයට පත්වූහ.

1_Fire China Sea Collision

ජකාර්තා කොටස් වෙළෙඳ පොළ කඩා වැටිලා

ඉන්දුනීසියාවේ ජකාර්තා කොටස් වෙළෙඳ පොළෙහි බිම් මහල සහ පළමු මහල අතර බැල්කනි කොටසක් හදිසියේ කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් රැසක් තුවාල ලබා තිබේ.

මෙම බැල්කනියේ රැඳී සිටි පාසල් සිසුන් 30ක් පමණ එය කඩා වැටීමත් සමග පහත ලොබියට වැටී ඇත.

පොලීසියේ මැදිහත්වීමෙන් රැස්ව සිටි පිරිස් ඉවත්කර තුවාලකරුවන් වහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව කොටස් වෙළෙඳ පොළ දෛනික කටයුතු සුපුරුදු පරිදි සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම අනතුරින් පුද්ගලයන් 72 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ජකාර්තාවේ රෝහල් තුනක ප්‍රතිකාර ලබන බව කියයි. කෙසේ වෙතත්, මින් කිසිවෙකුටත් බරපතළ තත්ත්වයක් ඇතිවී නොමැත.

1_Jakartha 2 3 4

බැග්ඩෑඩ් මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 35ක් මරු දකියි

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ද්විත්වයකින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙය දින තුනක කාලයක් තුළ බැග්ඩෑඩ් නගරයේ එල්ල වූ තෙවැනි ප්‍රහාරය ලෙස සැලකෙයි.

නගර මධ්‍යයේ වූ ටයිරාන් චතුරස්‍රයේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.

2014 වසරේදී ඉරාකයේ විශාල කොටසක බලය IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් අතට පත්වීමෙන් පසුව බැග්ඩෑඩ් නගරය අවස්ථා කිහිපයකදීම බෝම්බ ප්‍රහාරවලට මෙන්ම, ආයුද සන්නද්ධ ප්‍රහාරවලට ඉලක්ක විය.

කෙසේ වෙතත්, පසුගිය මාසයේදී ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහි යුද්ධය ජයග්‍රහණය කළ බව ඉරාක රජය ප්‍රකාශයට පත්කිරීමත් සමග එල්ල කෙරුණු ප්‍රහාර ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවිය.

1_Iraq 2

තුර්කි යානයක් ගුවන් පථයෙන් ලිස්සා මුහුදට නොවැටී බේරේ

තුර්කියේ ට්‍රැබ්සොන් ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් ගුවන් පථයෙන් ලිස්සා ගොස් අසල මුහුදට නොවැටී අනූ නවයෙන් බේරුණු අවස්ථාවක් වාර්තා වෙයි.

අන්කාරා නුවර සිට ට්‍රැබ්සොන් වෙත ගමන් කළ බෝයිං 737-800 දරණ පෙගසස් ගුවන් සේවයට අයත් යානය මේ අනතුරට මුහුණදී තිබේ.

යානයේ සිටි මගීන්ට හෝ එහි කාර්ය මණ්ඩලයට ඉන් කිසිදු හානියක් සිදුව නොමැති අතර, යානයේ ගොඩබාන අවස්ථාවේදී කුරුල්ලෙකු එහි එන්ජිමේ ගැටීම මෙම අනතුරට හේතුව බව කියැවෙයි.

1_Plane Skid 2 3

ලැක්ටාලිස් කිරිපිටි පැකට් මිලියන 12ක් යළි කැඳවයි

ප්‍රංශයේ ලැක්ටාලිස් සමාගමේ ළදරු කිරි පිටිවල salmonella ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බවට ඇති වූ අනාවරණයක් සමග රටවල් 83කට ආනයනය කෙරුණු කිරිපිටි පැකට් මිලියන 12ක් යළි කැඳවීමට සමාගම තීරණය කර තිබේ.

මෙම කිරි නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එමානුවෙල් බෙස්නියර්, ප්‍රංශ මාධ්‍ය විසින් අනාවරණය කරනලද කිරිපිටිවල වූ ක්ෂුද්‍ර ජීවී ගැටලුව පිළිගෙන ඇත.

ඒ අනුව, පසුගිය දෙසැම්බර් මාසයේ සිට නිෂ්පාදනය කෙරුණු කිරිපිටි පැකට් යළි කැඳවනු ඇති අතර, සමාගමට එරෙහිව එම කිරිපිටි ළදරුවන්ට ලබාදුන් දෙමවුපියන් නීතිමගින් කටයුතු කර ඇති බවද දැනගන්නට ලැබෙයි.

යුරෝපය, ආසියාව, ලතින් ඇමෙරිකාව සහ අප්‍රිකාව යන රටවලට යැවුණු කිරිපිටි ක්ෂුද්‍රජීවී බලපෑමට ලක්ව තිබුණත්, බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව සහ ඔස්ට්‍රේලියාවට යැවුණු කිරිපිටිවලට එම බලපෑම ඇතිව නොමැති බවද විදෙස් වාර්තා පවසයි.

1_Laktalis

හවායි වෙත මිසයිල අවදානම් පණිවුඩයක් ලැබී කලබලයක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත වෙත ලැබුණු මිසයිල අනතුරු ඇඟවීමේ කෙටි පණිවුඩයක් නිසා බොහෝ දෙනෙකු දැඩි කලබලයකට පත්ව තිබූ බව විදෙස් වාර්තා පවසයි.

සෙනසුරාදා උදය කාලයේදී ලැබුණු මෙම පණිවුඩය වැරදීමකින් එවූ පණිවුඩයක් බව දැනුම්දෙන තුරු බොහෝදෙනා තැති ගැන්මකින් පසුවී තිබුණි.

ජංගම දුරකථන වෙත කෙටි පණිවුඩයක් ලෙස ලැබුණු එහි කියවී තිබුණේ, "හවායි වෙත බැලස්ටික් මිසයිල අවදානමක් පවතින බැවින්, හැකි ඉක්මණින් ආරක්ෂිත පියවර ගන්න. මෙය පුහුණු සරඹයක් නොවෙයි." යනුවෙනි.

ප්‍රාන්ත ආණ්ඩුකාර ඩේවිඩ් ඉග් පවසා සිටියේ සේවකයෙකු විසින් වැරදි බොත්තමක් එබීමෙන් මෙම පණිවුඩය ලැබී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව ඇමෙරිකානු රජය අවධාරණය කර තිබේ.

හවායි දූපත් කලාපය උතුරු කොරියානු මිසයිල අවදානම වැඩිම කලාපයක් ලෙස සැලකෙන බැවින් පෙර දැනුම්දීමේ අනතුරු ඇඟවීමේ පද්ධතියක් එහි ස්ථාපිත කර තිබේ.

එමෙන්ම, පසුගිය දෙසැම්බර් මාසයේදී එම දූපත තුළ න්‍යෂ්ටික ප්‍රහාර සයිරන් අනතුරු ඇඟවීමේ නලාව පෙර පුහුණුවක් වෙනුවෙන් නාද කරනු ලැබූ අතර, එය සීතල යුද්ධයෙන් පසුව එම නලාව හැඬවූ ප්‍රථම අවස්ථාව බවද කියවුණි.

1_missle 2 3

පාසල් සිසුවියන් 40ක් රැගත් ඉන්දීය යාත්‍රාවක් අනතුරක

ඉන්දියාවේ මුම්බායි නුවර ධනූ වෙරළට නාවික සැතපුම් දෙකක් ඔබ්බෙන් පාසල් සිසුවියන් රැගත් පෞද්ගලික බෝට්ටුවක් පෙරළීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සෙසු පිරිස අතුරුදන්ව තිබේ.

පොලීසිය පවසා සිටියේ අනතුර සිදුවන විට එහි සිසුවියන්සි 40ක් ගමන් කර ඇති බවයි. අනතුරින් පසුව සුවියන් 32දෙදෙනෙකු බේරාගැනීමට හැකිවී ඇති නමුත්, අතුරුදන් වූ සෙසු දැරියන් සොයා වෙරළාරක්ෂක කණ්ඩායම් සහ ධීවරයන් එකතුව සෝදිසි මෙහෙයුම් ඇරඹූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මියගිය සිසුවියන් තිදෙනා සොනාල් සූරතී, ජාන්හාවි සූරතී සහ සන්ස්කෘතී මායාවන්ෂී ලෙස හඳුනාගෙන ඇති අතර, සියලුම සිසුවියන් 17 වැනි වියෙහි පසුවූවන් බව කියැවේ.

මෙම සිසුවියන් පිරිස විනෝද චාරිකාවක් සඳහා සහභාගී වී සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇති බව පොලීසිය පවසයි.

1_India 2

නීතිපතිට සම්බාධක රතුඉර ඉක්මවූ ඇමෙරිකානු වැඩක්

ඇමෙරිකාව විසින් ඉරානයට පැනවූ නවතම සම්බාධකවලදී ඉරාන නීතිපති අයතුල්ලාහ් සදීක් අමෝලි-ලැරිජානි ඉලක්ක කරමින් සම්බාධක පැනවීම රතු කට්ට පැනීමක් බව ඉරානය පවසයි.

මේ තීරණය සම්බන්ධයෙන් එකට එක කිරීමක් සඳහා තමන් සූදානම් වන බව එරට විදේශ අමාත්‍යාංශය කියා සිටියත් ඔවුන් කවර ක්‍රියාමාර්ගයක් මේ වෙනුවෙන් ගන්නේද යන්න පැහැදිලිව දක්වා නැත.

එමෙන්ම, ලෝක බලවතුන් සමග 2015 වසරේදී ඇති කරගත් සිය න්‍යෂ්ටික සම්මුතිය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක වෙනසක් කිරීමද ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඉරාන න්‍යෂ්ටික සම්මුතිය සම්බන්ධයෙන් වූ සම්බධක ලිහිල් කිරීම අවසන් වතාවට පමණක් සිදුකරන බව පවසමින් ඇමෙරිකානු ජනපතිවරයා දින 120ක කාලයකට එය දීර්ඝ කළද, ඉන් නොනැවතී ඉරානය ජාතිකයන් 14 දෙනෙකු සහ තවත් සිදුවීම් කිහිපයක් මුල් කර ගනිමින් එරටට නව සම්බාධක පැනවීමක් සිදුකළේය.

1_Iran

චෙක් ජනපතිවරණයෙන් වත්මන් ජනපති කලින්ම ඉදිරියට ආවාද?

චෙක් ජනරජයේ ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීම් තවදුරටත් සිදුවෙමින් පැවතියත් වත්මන් ජනපති මිලෝස් සේමන් කලින්ම ඉදිරියට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.

ආරම්භයේදීම 30%ක් පමණ ඡන්ද ගණන් කිරීම සිදුවන වනවිට ඔහු වත්මන් ජනපතිවරයා 42%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සිටි අතර, ඔහුගේ ප්‍රතිවාදී ජිරී ඩ්‍රාහොස් ලබාගෙන තිබුණේ 24%ක් පමණි.

කෙසේ වෙතත්, දැනට දක්නට ලැබෙන වාතාවරණය අනුව කිසිවෙකුට පැහැදිලි බහුතරයක් ලබාගැනීමට නොහැකි වීම නිසා මෙම මාසය තුළම එහි දෙවැනි වටයක් වෙතද යෑමට සිදුවනු ඇති බව විශ්වාස කෙරෙයි.

73 වැනි වියෙහි පසුවන සෙමන් සිය දෙවැනි පස් අවුරුදු ධුර කාලය සඳහා ජන වරම ඉල්ලා සිටියත්, ඔහුගේ පළමු වැනි ධුර කාලය විවාදයට තුඩුදී තිබුණි.

1_Check 2