Category Archives: international

උතුරුදිග යුරෝපය හරහා දරුණු කුණාටුවක් හමායයි

උතුරුදිග යුරෝපය හරහා හමාගිය දරුණු කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.

නෙදර්ලන්තයේ සහ වයඹදිග ජර්මනියේ මෙම කුණාටුව හේතුවෙන් ඇති වූ අනතුරු නිසා පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පැයට කිලෝමීටර් 140 ඉක්මවන හදිසියෙන් ඇතිවන සුළං එරට ප්‍රවාහනයටද දැඩි බලපෑමක් සිදුකර තිබේ.

ඒ අනුව, බ්‍රහස්පතින්දා දිනයේ ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය සේවා බොහෝමයක් අවලංගු කර තිබුණු අතර, නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි යුරෝපයේ කාර්යබහුලම ගුවන් තොටුපොළ ලෙස සැලකෙන ෂිෆොල් ගුවන් තොටුපොළේ කටයුතු තරමක් අඩාල වූ බවද කියවුණි.

ගුවන් තොටුපොළෙන් පිටත්වන ගුවන් යානා කිහිපයක් අවලංගු කිරීමටද කටයුතු කෙරුණු අතර, ගුවන්තොටුපොළ පර්යන්ත ගොඩනැගිල්ලක වහළක් ගැලවී ගොස් තිබුණි.

1_nethstrailerepa 2 3

තමිල්නාඩුවේ ජල්ලිකට්ටු නිසා 5ක් නසී 60ක් තුවාලයි

(UPDATE) ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ ජල්ලිකට්ටු ගොන් පොර ක්‍රීඩාව හේතුවෙන් මියගිය පිරිස 5 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.


ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ ජල්ලිකට්ටු ගොන් පොර ක්‍රීඩාවේ නිරත වූවන් තිදෙනෙකු ගොනුන් පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විවාදයට තුඩුදුන් මෙම ක්‍රීඩාවේදී ගොනාගේ අං තට්ටුවට තබා ගැටගසා ඇති ත්‍යාගය දිනාගැනීම සඳහා පිරිමි පාර්ශ්වය ගොනා පසුපස ලුහුබඳින අතර, මෙය සතුන් ක්‍රෑර ලෙස වදබන්ධනයට ලක්කරන ක්‍රීඩාවක් ලෙස සැලකෙයි.

සත්ත්ව හිංසනය යටතේ මෙම ක්‍රීඩාව 2014 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කරනු ලැබිණි.

කෙසේ වෙතත්, මෙය තම සාම්ප්‍රදායික ක්‍රීඩාවක් බව පවසමින් තමිල්නාඩුව පුරා උද්ඝෝෂණ පැවතීම හේතුවෙන් අවසානයේදී ජල්ලිකට්ටු ක්‍රීඩාවට යළි අවසරය ලබාදීමට ඉන්දීය රජය පසුගිය වසරේදී කටයුතු කළේය.

ඒ අනුව, වසර දෙකකට පසුව යළිත් එම ක්‍රීඩාව මෙවර තමිල්නාඩුව පුරා ආරම්භ වූ අතර, මෙම මරණවලට අමතරව තවත් 60 දෙනෙකු පමණ මෙම ක්‍රීඩාවෙන් මේ වනවිට තුවාල ලබා සිටින බවද තමිල්නාඩුවෙන් වාර්තා වෙයි.

1_beast.gif 2

ග්‍රීසියේ කම්කරු නීති විරෝධීන්ට ප්‍රහාරයක්

ග්‍රීසියේ කම්කරු නීති ප්‍රතිසංස්කරණ සඳහා පැවැත්වූ පාර්ලිමේන්තු විවාදයක් අතරවාරයේදී පාර්ලිමේන්තුව ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු උද්ඝෝෂකයන්ට පොලීසියෙන් පහරදී තිබේ.

මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ එරට සේවකයන්ට දැඩි නීති යටතේ සේවය කිරීමට සිදුවනු ඇති බවට විරෝධතාකරුවෝ චෝදනා නගති.

එරට වෘත්තීය සමිති සන්ධානය ඇතන්ස් නුවරදී මෙම දැවැන්ත විරෝධතාව සංවිධානය කර තිබූ අතර, ඊට 10,000කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.

කෙසේ වෙතත්, උද්ඝෝෂකයන් ක්‍රමයෙන් කලහකාරී වීමත් සමග පොලීසිය කඳුළුගෑස් සහ බැටන් ප්‍රහාර ආරම්භ කළ අතර, එම ප්‍රහාරවලින් උද්ඝෝෂකයන් පිරිසක් තුවාල ලබා ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.

2

කැටලෝනියාව යළි ඈඳා ගැනීමට ස්පාඤ්ඤය කැසකවයි

ස්පාඤ්ඤයේ කැටලෝනියා පළාත තුළ උද්ගතව ඇති දේශපාලන අස්ථාවරත්වය යළි ඔඩුදිවීමට යන්නේ නම් එහි පාලනය තමන් භාරගන්නා බව අගමැති මරිආනා රජෝයි අවධාරණය කරයි.

ඒ අනුව, කැලෝනියා පළාතේ හිටපු නායක කාර්ල්ස් පුයිග්ඩෙමොන්ට් යළිත් වරක් එහි පාලනය නතුකර ගැනීමට උත්සාහ කළහොත් තමන් එහි පාලනය භාරගන්නා බව ඔහු අවධාරණය කර තිබේ.

ජනමත විචාරණයක් පවත්වමින් කැටලෝනියා පළාත වෙනම රාජ්‍යයක් බවට පත් කිරීමට ගත් උත්සාහය අසාර්ථකවීමෙන් අනතුරුව පුයිග්ඩෙමොන්ට් බෙල්ජියම වෙත පළාගොස් එහි දේශපාලන රැකවරණ මත රැඳී සිටියි.

නමුත්, ජනමතවිචාරණය ව්‍යවස්ථා විරෝධී බව පවසමින් ස්පාඤ්ඤ රජය යළිත් මහ මැතිවරණයක් කැඳවූ අතර, එවරද කැටලෝනියා නායක පුයිග්ඩෙමොන්ගේ පක්ෂයට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිවිය. 

1_Spain

න්‍යෂ්ටික ව්‍යසනයක් ලොව සමීපයේ – පාප්තුමන්

එක් සුළු අත්වැරදීමකින් ලෝකය තුළ පෙර නොවූ විරූ න්‍යෂ්ටික අවදානමක් ඇති කර තිබෙන බව පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් අවධාරණය කරති.

දින හයක් පූරා සිදුකළ දකුණු ඇමෙරිකානු සංචාරය නිමා කරමින් යළි වතිකානුව බලා පිටත්ව යමින් සිටියදී ගුවන් යානයේ සිට මාධ්‍ය අමතමින් පාප් තුම්න මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

සැබෑ ලෙසම න්‍යෂ්ටික යුද්ධයක පෙර නිමිති පෙන්වන බව පවසන පාප් තුමන්, ඒ පිළිබඳ තමන් බියෙන් පසුවන බවද සඳහන් කර ඇත

දෙවැනි ලෝක සංග්‍රාමය සමයේ ඇමෙරිකාව ජපානයේ නාගසාකි වෙත හෙලූ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයේ ඡායාරූපයක්ද මාධ්‍ය වෙත පෙන්වමින් පාප් තුමන්, බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහෝදරයෙකු කරමත තබාගෙන සිටින කුඩා දරුවෙකු රැගත් එම ඡායාරූපය පෙන්වමින් යුද්ධයේ ඵලය මෙය යැයි අවධාරණය කර ඇත.

1_Pope

ඊජිප්තුව රජය කැබිනට් සංශෝධනයකට සූදානම්

ඊජිප්තු ජනාධිපතිවරණයට දෙමසක් තිබියදී එරට කැබිනට් සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවී තිබේ.

මෙම කැබිනට් සංශෝධනය යටතේ දේශීය සංවර්ධන, සංචාරක, සංස්කෘතික සහ රාජ්‍ය ව්‍යවසාය යන අමාත්‍යවරු හා අමාත්‍යාංශවල වෙනස්කම් සිදුවනු ඇත.

එමෙන්ම, මෙම කැබිනට් සංශෝධනය යටතේ නව නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුද පත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

ඊජිප්තුවේ අවසන් වරට කැබිනට් සංශෝධනය්ක සිදුවූ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය.

1_Egypt

වර්ගවාදී කතාව සංක්‍රමණික දරුවන් වෙනුවෙනුයි – ට්‍රම්ප්

හයිටිය හා අප්‍රිකාව සම්බන්ධයෙන් තමන් කළේ යැයි පවසන ආන්දෝලනාත්මක වර්ගවාදී ප්‍රකාශය සංක්‍රමණික දරුවන් සම්බන්ධයෙන් වූ එකඟතාවකට පැමිණීමේ උවමනාවෙන්u සිදුකළ ප්‍රකාශයක් පමණක් බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

"වර්ගවාදීබවෙන් අඩුම පුද්ගලයා මමයි. මම වර්ගවාදී පුද්ගලයෙකු නෙමෙයි. ඔබලාට හමුවන අයගෙන් වර්ගවාදීබවෙන් අඩුම තැනැත්තා මමයි" ෆ්ලොරීඩා හිදී මාධ්‍යයට අදහස් දක්වමින් ට්‍රම්ප් මෙම අදහස් පළ කර තිබේ.

සංක්‍රමණිකයන් ආරක්ෂා කර ගනිමින් ඔවුන් දරුවන් ලෙස එක්සත් ජනපදය වෙත ගෙන්වා ගැනීම තම ඒකායන බලාපොරොත්තුව බව පවසා ඇති ට්‍රම්ප්, හිටපු ජනපති බරැක් ඔබාමා හඳුන්වා දුන් ඩී.ඒ.සී.ඒ. වැඩසටහන ප්‍රමාණවත් නොවුනත්, එය ශක්තිමත් කර ගනිමින් වඩාත් පුළුල් වැඩපිළිවෙළකට යෑම තම අභිප්‍රාය බවද පවසා තිබේ.

1_Trump

කොසෝවෝ සර්බියානු දේශපාලඥයෙකුට වෙඩි

කොසේවෝ රාජ්‍යයේ විශාලතම සුළුතර ජනවර්ගය ලෙස සැලකෙන කොසෝවෝ සර්බියානු දේශපාලඥයෙකු වූ ඔලිවර් ඉවනොවික් වෙඩි තබා ඝාතනය කර තිබේ.

කොසෝවෝ සර්බියානු ජනතාව බහුතරයක් සිටින උතුරුදිග මිට්‍රොවිකා හි සිය කාර්යාලය ඉදිරිපිටදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

මැදහත් අදහස් ඇති දේශපාලඥයෙකු ලෙස පිළිගැනුණු ඉවනොවික්ගේ පපු ප්‍රදේශයට වෙඩි පහර හතරක් එල්ල වී ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.

කොසෝවෝ රාජ්‍යය ඒකපාර්ශ්වීයව සර්බියාවෙන් වෙන්වීමත් සමග කොසෝවෝ හි වෙසෙන ජනතාව ජනවාර්ගික ලෙස බෙදීමකට ලක්විය.

මෙම වෙඩි තැබීමේ සිදුවීමත් සමග කොසෝවෝ හි අල්බේනියානුවන් සමග බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයේ මැදිහත් වීමෙන් පැවැත්වෙන සාම සාකච්ඡාවලින් ඉවත්වීමට සර්බියානු රජය කටයුතු කර තිබේ.

1_kosivanovicafp

කොලොම්බියා පාලමක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

කොලොම්බියාවේ කඳුකර මාර්ගයක් යා කරමින් ඉදිකෙරෙමින් පැවති දැවැන්ත පාලමක කොටසක් කඩා වැටීමෙන් එහි සේවය කරමින් සිටි පුද්ගලයන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරින් තවත් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර, පාලමේ වැඩකටයුතු මෙම ජූනි මාසයේදී අවසන් වීමට නියමිතව තිබූ බව කියැවෙයි.

බොගෝටා අගනුවර සහ විලාවිසෙන්සියෝ නගරය යා කරමින් ඉදිකරමින් පැවති මාර්ගයේ මෙම පාලම ඉදිකර තිබුණේ චිරාජාරා ප්‍රදේශයේය.

මීටර් 450ක් දිග මෙම පාලමෙන් කොටසක් කඩා වැටී ඇති ආකාරය එරට මාධ්‍ය ඡායාරූප සහිතව වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කොලොම්බියා ප්‍රවාහන අමාත්‍යවරයා පවසා තිබුණේ මෙය අතිශය ඛේදජනක අවස්ථාවක් බවයි.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, පාලම කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

1_Bridge 2 3 4 5

දරුවන් 13ක් නිවසේ සිර කළ ඇමෙරිකානු යුවළක් දැලේ

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවසක වයස අවුරුදු දෙකත්, විසි නවයත් අතර පසුවන දරුවන් 13 දෙනෙකු විලංගු දමා නිවසේ අඳුරු කාමරයක සිරකරගෙන සිටි දෙමවුපිය යුවළක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ළමයින් අනතුරේ හෙළීම සහ වදහිංසාවට ලක් කිරීමේ චෝදනා යටතේ මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 57 හැවිරිදි ඩේවිඩ් ඇලන් ටර්පින් සහ 49 හැවිරිදි ඈන් ටර්පින් යුවළයි.

පොලීසිය විසින් බේරාගත් වයස අවුරුදු 02 සිට 29 දක්වා වූ සියලු දෙනා රැඳී සිටි නිවස ලොස් ඇන්ජලීස් නුවරට ගිණිකොණ දෙසින් කිලෝමීටර් 59ක් ඔබ්බෙන් වූ පෙරීස් නගරයේ පිහිටා තිබූ බව කියැවෙයි.

පොලීසිය දැනට තහවුරු කරගත් තොරතුරු අනුව මේ සියලු පිරිස මෙම යුවළගේම දරුවන්ය.

මේ දරුවන් අතර සිටි වයස අවුරුදු 10ක පමණ දැරියක සිය දෙමවුපියන් නොමැති අවස්ථාවකදී ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී පොලීසිය වෙත ලබාදුන් හදිසි ඇමතුම් පණිවුඩයකට අනුව මෙම මෙහෙයුම් දියත් කර ඇති අතර, ඇය පවසා ඇත්තේ තමාගේ සහෝදර සහෝදරියන් සියලු දෙනා දෙමවුපියන් විසින් සිරකරගෙන සිටින බවයි.

පොලීසිය එම නිවසට යනවිට ඔවුන් අඳුරු හා දුර්ගන්ධය හමන අපිරිසිදු කාමරයක සිට ඇති අතර ඇතැම් දරුවන් ඇඳටම තබා විලංගු හා ඉබියතුරු දමා බැඳ තිබූ බවද කියැවෙයි.

ඔවුන් බොහෝදෙනා මන්දපෝෂණයෙන් පෙළී ඇති අතර, ඉතාම අපිරිසිදු ඇඳුම් හැඳ සිටි බවත්, මේ සිදුවීම දැකීමෙන් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පවා පුදුමයට පත්ව ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මේ සියලු දරුවන් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

2 3