Category Archives: health

සෞඛ්‍ය නැංවීමටම රූපවාහිනී නාළිකවක්

රටවැසියාගේ සෞඛ්‍ය නැංවීම අරමුණින් ජාතික සෞඛ්‍ය රූපවාහිනී නාළිකාව හෙට(20) කොළඹ දී  එළිදැක්වෙනු ඇත.shutterstock_15814657-350x233

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට හා සෞඛ්‍යමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි. බෝ නොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, පවුල් සෞඛ්‍ය සම්බන්ධව පුළුල් දැනුමක් ලබාදීම, පෝෂණය, ක්‍රීඩාව හා ගෘහ ජීවිතය පිළිබඳව දැනුවත් කිරීම, ආදී වැඩසටහන් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න අධිකාරි මහතා සඳහන් කළේ ය.

කොළඹ, ගලදාරී හෝටලයේ දී රූපවාහිනී නාළිකාව එළි දැක්වීම සිදු කෙරෙන අතර ඒ සඳහා සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙයි.

නහර ගැටගැසීමෙන් ඔබත් පීඩාවෙන්ද?

දෙපාවල ඇතිවන නහරගැට ගැසීම ඉතාම සුළභ තත්ත්වයක්. විශේෂයෙන්ම මැදිවිය සමග මේ ගැටලුව බොහෝ දෙනෙක් අත්විඳින නමුත් මෙම තත්ත්වය තරුණ වයසේ අයටත් ඇතිවෙන්න පුලුවන්. දෙපාවල ඇතිවන තත්ත්වයක් නිසා බොහෝ දෙනෙක් මේ තත්ත්වයට ශළ්‍යකර්ම කරගන්නට අකමැතිබවක් පලකරනවා.එවැන්නන්  රෝග සුවය සඳහා ඖෂධ ප්‍රතිකාර පිළිබඳ පමණක් උනන්දුවක් දක්වතත් සමහර අවස්ථාවලදී ඇතැම් පුද්ගලයින්ට ශල්‍යකර්ම යෙදීම අත්‍යවශ්‍ය අවස්ථා පැවතිය හැකිය. නහර ගැට ගැසීම නැති නම් වෙරිකෝසිස් වේන් යනුවෙන් හඳුන්වන මේ රෝග තත්ත්වයද ශල්‍යකර්මයකට යොමු විය යුතු අවස්ථාවක් ලෙස මතු විය හැකි ය. ඇතමුන් මේ සඳහා වෙළුම් යෙදීම මෙන්ම එන්නත් පිළිබඳ උනන්දුවෙයි. නමුත් එයින් ලැබෙන ප්‍රතිඵලය ශල්‍යකර්මයකින් ලබන සුවය තරම් තීව්‍රද යන්න විමසීමට අද අපි සෞඛ්‍ය පිටුවේ ප්‍රධානතම ඉඩකඩ වෙන් කර ඔබව දැනුම්වත්කිරීමට අදහස් කරමු..


JV_Nov03_06_2_Sore-Legs-or-Varicose-Veins-This-Is-How-You-Should-Treat-Them

වෙරිකෝසිස් නැතිනම් නහරගැට ගැසීම යන තත්ත්වයට ශල්‍යකර්මයක් අවශ්‍යද යන්න බැලූ බැල්මට තීරණය නොකෙරෙනු ඇත. සාමාන්‍යයෙන් කිසියම් රෝගයක් පිළිබඳ නිර්ණය කිරීමට නිසි වෛද්‍ය පරීක්ෂාවක් සහ ඒ සඳහා නියමිත පරීක්ෂණවලට යොමු වීම අත්‍යවශ්‍යය. නමුත් නහරගැට ගැසීම නැතිනම් වෙරිකෝසිස් වේන් යනු රෝගියාටම පියවි ඇසින් දැක තමන්ට එවන් තත්ත්වයක් ඇති බව තීරණය කරගත හැකි රෝගයකි. මෙවන් තත්ත්වයක් දුටු විට එය රෝගයක් බව පවා බොහෝ දෙනා පිළිනොගන්නා කරුණකි. එයට හේතුව එවන් තත්ත්වයක් පවතින්නට හැරීමෙන් පසුකාලීනව ඇතිවන කරදරකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් අත්දැකීමක් ලබා නොතිබීමයි. නහර ගැට ගැසීම ඇතැම් විටෙක ප්‍රවේණියට නැතිනම් ආරයට සම්බන්ධයක් දක්වන  තත්ත්වයක් ලෙසද අනුමාන කෙරෙයි.  දෙමවුපියන්ට මේ තත්ත්වය පැවතියේ නම් ඇතැම් විටෙක දරුවන්ටද ඇතිවිය හැකි යැයි  සැකයක් පවතියි. එය ශිරාවල පිටත පටකවල  උපතින්ම පවතින දුර්වලතාවයක් සහිත මවුපියන්ගේ දරුවන්ටත්වීමට  ඉඩකඩ පවතින  බව විශ්වාසය පදනම් කරගත්  තත්ත්වයකි. සාමාන්‍යයෙන්  නහර ගැට ගැසීම  දෙපා සම්බන්ධයෙන් ඇති විය හැකි තත්ත්වයක් වුවත් කලාතුරකින් අත්වලත් මෙවන් තත්ත්වයක් දැකිය හැකි අවස්ථා හමුවෙන්නට පුලුවන.

මෙසේ නහර ගැට ගැසීමට හේතුව කුමක් වුවත් එය නොසලකා හැරිය යුතු  නොසලකා හැරිය නොහැකි තත්ත්වයක් නොවන බව ඔබ දැන සිටිය යුතුයි. මේ නිසා මතුවන බොහෝ සංකූලතා වලින් ගැලවී සිටීමට ඔබට උපකාරීවන  එම දැනුම පසුකාලීනව මේ රෝගයෙන් ඇතිවන පීඩාවලින් ඔබ මුදවා ගැනීමට සමත්වනු ඇති. ඔබ නහර ලෙස හඳුන්වන්නේ රුධිරය ගෙන යන ශිරා බව ඔබ මුලින්ම දැනගත යුතුයි. මේ ගැට ගැසුණු ශිරාවන් සඳහා ඉක්මන් ප්‍රතිකාර නොකලොත්  යම් විටෙක මේවා නැවත ස්ථීර ලෙස සාමාන්‍ය තත්ත්වයට පත්කරීම නැතිනම් දිගින් හා පළලින් අඩු නොවී ඒ ආකාරයටම පවතින්නට පුලුවන. මේ ආකාරයට මේ ශිරාවන් කැටි ගැසීම නිසා ඒ තුළ රුධිරය කැටි ගැසීම ඇතිවෙන්නට පුලුවන. මේ නිසා රුධිර සංසරණයේ වෙනස්කම් ඇති වී කකුලේ මැද ඇති ප්‍රධාන රුධිර නාලයේද ලේ කැටි ගැසීම් ඇතිවෙන්නට පුලුවන.  ආරය යන හේතුව හැරුණු විට කාන්තාවක් ගර්භිණී වූ විට වඩා ක්‍රියාකාරී ෙවන ඊස්ට්‍රජන් හෝර්මෝනය නිසා ශිරාවල තිබෙන මාංශ ස්ථරයේ හැකිලීම අඩුවීම හේතුවෙන් ශිරාව මහත්විම ඇතිවෙන නිසාත්, ගැබේ සිටින දරුවා උදරයේ ඇති ශිරාවලට තෙරපීම නිසා කකුලේ ශිරාවල පළල්වීමක් ඇති වී  ඒවා ගැට ගැසෙන්නට ඉඩ තිබෙනවා. නමුත් මෙය දරුවා ලැබුණු පසු තරමක් දුරට මග හැරී යන්නට හැකියි. නමුත් මේවා දිගින් දිගටම පවතින්නේ නම් ප්‍රතිකාර පැතීම අවශ්‍යය. මේ හැරෙන්නට යම් අයෙකුගේ උදරයේ ගෙඩි ඇතිවීමකදීත්  නැතිනම් උදරය ඇතුලේ ශිරාවල ලේ කැටි ගැසීමක්  ඇතිවීමේදීත්  දෙපාවල නහර ගැට ගැසීමට ඉඩ කඩ පවතියි.  මේ ලේ කැටි දියවී ගියත් එය  නහර ගැට ගැසීම නතරවීමට හේතු නොවෙන්නේ  ශිරාවල ස්වභාවිකව  පවතින කපාට මෙසේ සිරුරේ ඉහළ සිට පහළට අනවශ්‍ය  තරම් පැමිණ ශිරා විස්තාරණය කිරීමේදී ශිරාවල ඇති කපාට විනාශ වි යන නිසයි. සාමාන්‍යයෙන් වැඩි ස්ථූලතාවයක් සහිත අයට ශිරාවල ලේ කැටි ගැසීම වැඩිපුර ඇතිවන බව දකින්නට ලැබෙයි. එමෙන්ම වැඩිවේලාවක් සිටගෙන ඉන්නා ආකාරයේ රැකියාවන් කරන අයට මේ තත්ත්වයේ වැඩි බවක් දකින්නට ලැබීමත් මේ අනුව එම හේතු මේ තත්ත්වයට  යම් සබඳතාවයක් තිබිය හැකි යැයි  අනුමාන කළ හැකි වුවද එය තහවුරු කොට නැත. නහර ගැට ගැසීමේ තත්ත්වය ඇතිකරන වෙනත් සංකූලතා සම්බන්ධයෙන් පැවතිය හැකි අවදානම පිළිබඳ අප මුලින්ම සඳහන් කළ බව ඔබට මතක ඇති. දැන් අප ඒවා එකින් එක සවිස්තරාත්මකව විග්‍රහ කරමු. මෙහිදී කලාතුරකින් නමුත් දැකිය හැකි තත්ත්වයකි මේ නහර ගැට සිදුරු වී රුධිරය ගැලීම. මෙය ඉතා පීඩාකාරී ලෙස කෙනෙකුට ඇතිවීමට ඉඩ ඇති නිසා මේවා සිදුරු වී රුධිරය ගැලීමට ඇති ඉඩ කඩ අවමකර ගැනීමට මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්ය. veines-variqueuses-douloureuses-d-araignée-varices-sur-une-jambe-sévèrement-affectée-vieillissant-la-maladie-de-vieillesse-101650943

මේ හැරෙන්නට කකුලේ පහළ කොටසේ වළලු කර ප්‍රදේශයේ සාමාන්‍යයෙන් සමේ පවතින මෘදු බව නැතිවී ගොස් තුවාල ඇතිවීමට පටන් ගැනිමත් එම තුවාල කුඩා සිරීමකින් ආරම්භ වී සුව නොවී පැවතිම තවත් එක් සංකූලතාවයක් ලෙස දැක්විය හැකිය.  මේ තුවාල සුව වෙන්නට නම් මුලින්ම ගැට ගැසී ගිය නහරවලට ප්‍රතිකාර ලබා සිටිය යුතුය. නහර ගැට ගැසීම් නැතිවන්නට ප්‍රතිකාර කළත් ඇතැම්විටක මෙසේ ඇති වූ තුවාල සුවනොවී පවතින්නටඑම තුවාලය විසින් ඇතිකරනු ලබන කැළලක් වැනි ලක්ෂණය හේතුවන්නට හැකිය. එය එසේ වෙන්නේ එම කැළල මතින් සම නැවත වර්ධනය නොවන බැවිණි. මෙසේ ඇතිවන තුවාල කකුලේ අස්ථිවලට කිට්ටුවෙන් පවතින නිසා අස්ථිවල තද බල වේදනාවක්ද මතුවන්නට ඉඩ කඩ තිබේ.  අස්ථියේ මතුපිට ස්ථරය ඉදිමීම එයට හේතුවයි. තුවාල බොහෝ කල් පවතින විට  තවත් සංකූලතාවයක් මතුවීමේ අවධානමක් තිබේ. ඒ කකුලේ ඇඟිලි සහ වළළුකර සම්බන්ධව ක්‍රියාකරන කණ්ඩරාවල හැකිලීමක් ඇතිකිරීමයි. මෙවන් තත්ත්වයක් ඇති වූ විට වළළුකර පහළට නැවීයාමක් ඇතිවන අතර එය නැවත යථා තත්ත්වයට  පත්කරවන්නට ප්‍රතිකාර කිරීම  අපහසුය. වසර දහයක් දොළහක් තරම් දිගු කාලයක් මෙම තුවාල සුව නොවී පැවතිය හොත්  එය පිළිකා බවට පත්වෙන්නට ඇති හැකියාව කිසිසේත්ම නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවේ.  සාමාන්‍යයෙන්  නහර ගැට ගැසීම යථා තත්ත්වට පත්කිරීම සඳහා ප්‍රතිකර්ම ලෙස ශල්‍යකර්ම හා ඖෂධ එන්නත් කිරීමට වෛද්‍යවරු තීරණය කරනු ලබයි. මෙසේ ප්‍රතිකාර තීරණය කරද්දී මුලින්ම සොයා බැලෙන්නේ නහර ගැට ගැසීම  ආරම්භ වනුයේ කොතැනින්ද යන්නයි. එසේ ගැට ගැසීමට අප මුලින්ම කියූ හේතුවලින්  කුමන හේතුවක් බලපා ඇත්දැයි ඊළට සලකා බැලෙන හේතුවයි. සාමාන්‍යයෙන් නහර ගැට ගැසීම ආරම්භ වනුයේ  ඉකිළිය ප්‍රදේශයෙන් සහ දණහිස පිටුපසින්ය.

දණහිස පිටුපසින් ආරම්භ වී ඇත්නම් සහ එහි ශිරාවල ඇති කපාට විනාශ වී ඇත්නම් එය ශල්‍ය කර්මයක් කළ යුතු අවස්ථාවක් ලෙස තීරණය වෙන්නට පුලුවන්. දණහිසත් ඉකිලියත් අතර නම් ඒ සඳහාත් ශල්‍ය කර්මයක් නිර්දේශ වෙන්නට පුලුවන. දණහිස පහළින් පටන් ගෙන විශාල ප්‍රමාණයක් ගැට ගැසී තිබේ නම් එයද ශල්‍ය කර්මයක් මගින් ප්‍රතිකාර යෙදිය යුතු අවස්ථාවකි. නමුත් දණහිසට පහළින් පටන් ගෙන සාමාන්‍ය ප්‍රමාණයක් නහර ගැට ගැසී ඇත්නම් බෙහෙත් විදීම මගින් ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. නමුත් කකුලේ මැද ඇති ප්‍රධාන ශිරාවේ අවහිරතාවයක් පවතියි නම්  පිටින් පෙනෙන නහර ගැට ගැසීමට ප්‍රතිකාර කළ නොහැකිය. එවැනි අයෙකුට පිටත ගැට ගැසී ඇති නහර ඉවත් කර ප්‍රතිකාර කළහොත් රුධිර ගමනාගමනය අවහිරවීම හේතුවෙන් පාදය විශාල ලෙස ඉදිමිය හැකිය. මේ සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් විශේෂ ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ඒ අනුව ප්‍රතිකාර කළ යුත්තේ කෙසේදැයි තීරණය කෙරෙනු ඇත. මේ නිසා ඔබටත් මෙවන් තත්ත්වයක් ඇත්නම් වහාම ශල්‍ය වෛද්‍යවරයෙකු හෝ ශල්‍ය සායනයකට ගොස්  ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීමට නොපමා වෙන්න.නහරගැට ගැසීම සඳහා ශල්‍ය කර්මයකට ලක්වෙන්නෙකුට පාදයේ මැද ශිරාව හොඳින් ක්‍රියාකාරී නම් දින තුනකට පසු රෝහලෙන් පිටව යා හැකිය. ශල්‍යකර්මයට ලක් වූ දිනට පසු දින රෝගියා ඇදෙන් බස්සවනු ලබන අතර ක්‍රේප් බැන්ඩේජ් යොදා රෝගියා ඇවිද්දවීම මගින් නහර වල ලේ කැටි ඇතිවීම වැලැක්වීමට හේතු කාරණා යෙදේ.මේ ප්‍රතිකාර මගින් සියයට හැත්තෑවක් දෙනාට සුවය ලද හැකි අතර සියයට තිහක් පමණ නැවත රෝගය ඇතිවීම සඳහා අවදානමක් පවතින බව අමතක නොකළ යුතුය.

චිත්ත වික්ෂේපය ගැන ඔබ දැනුම්වත්ද

වැඩිහිටි  නැතිනම් මහළු විය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිතන්නේ  එතරම් කැමැත්තකින් නොවේ. එයට හේතුව වියපත්වීමත් සමගම ඇතිවේ යැයි සිතන රෝගාබාධ මෙන්ම කායික ශක්තියේ මතුවන නොයෙකුත් දුර්වලතා හේතුවෙනි. මේ වන විට අප රටේ වැඩිහිටි ජනගහණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර ඒ සමගම වැඩිහිටියන් වෙනුවෙන් සපයන සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබේ. නමුත් වියපත්වීම යනු රෝගීවීම නොවේ. බොහෝ විට විශ්‍රාම වීවිතය සම්බන්ධයෙන් අප අසන්නට දකින්නට හුරු පුරුදුව ඇත්තේ වැඩක් නොකර නිකම් සිටීමට උදාවන කාලය යන්න වුවත් වැඩිහිටි විය යනු වඩාත් ඵලදායී ලෙස ක්‍රියාකාරීව වැඩ කළ හැකි අවධියක්ය යන්න  ලෝකයේ පිළිගැනීමයි. කෙසේ නමුත් මහළු විය එළැඹීමේදී වඩාත් නිරෝගී විය යුත්තේ මානසිකත්වයයි. ඒ හරහා නීරෝගීමත් ශරීර ශක්තියක් ඇතිකර ගැනීමට යමෙකුට  බාධාවක් නොවේ. එහෙයින් අද අප සෞඛ්‍ය පිටුව තුළින් සාකච්ඡාවට බඳුන් කරනුයේ වියපත්වීම සමග නොදැනීම ඇතිවීමට ඉඩ පවතින මානසික තත්ත්වයේ එක් වෙනස්වීමක් පිළිබඳවය.


160503_dx_sexualharassment_jpg_CROP_cq5dam_web_1280_1280_jpeg

මහළුවිය එළැඹීම , නැතහොත් වියපත්වීම යනු දුර්වලවීම හෝ හැකියාවන්ගෙන් තොරවීම නොවේ. බොහෝදෙනෙකු සිතාසිටින්නේ වියපත්වීම යනු සිරුරින් මනසින් දුර්වල රෝගියෙකු බිහිවීමට මග විවෘතවීමක් ලෙසය. එහෙයින් ඔවුන් කයින් මනසින් ඇතිවන යම් දුර්වලබවක් වයස මත පටවා ප්‍රතිකාර වෙත යොමුවීම මගහැර සිටී එයින් සිදුවන්නේ එය තීව්‍ර රෝගී තත්ත්වයක් ලෙස වැඩි දියුණු වී විශාල සමාජ ප්‍රශ්නයක් ගොඩ නැංවෙන අතර වැඩිහිටියාට ජීවිතයේ සැඳෑ සමය අසතුටින් රෝගී අයෙකු ලෙස සීමා වී ගෙවන්නට සිදුවීමය. ඩිමෙන්ෂියා නැතිනම් චිත්ත වික්ෂේපය  ගැන ඔබ දැන සිටිය යුතුවන්නේ මෙවැනි පසුබිමකය. වයස අවුරුදු 60 ට වැඩි  මෙන්ම ඇතැම් විට ඊට අඩුවයස් වලදීද ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ මතුකරවන්නට ඉඩ ඇති අතර කාන්තාවන් අතර තුන් ගුණයකින් බහුලය. ඩිමෙන්ෂියාවට ප්‍රතිකාර ලබානොගත හොත් මරණීය රෝගයක් දක්වා වැඩි දියුණු විය හැකිවාක් මෙන්ම විෂාදය වැනි වෙනත් මානසික රෝගවලටද ගොදුරුවීමේ ඉඩකඩක් සලසනු ඇත. ඇතැම් විට වැඩිහිටියන් විසින් සිදුකරන සමහර කාර්යයන් අප  ඩිමෙන්ෂියාව යැයි හඳුනානොගන්නා තරමට සුලභ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

ආහාර ගෙන සිටින විටත් ආහාර නොගත් බව පැවසීම, උපැස් යුවළ නළලත රඳවාගෙන සිටියදී එය අස්ථානගතව ඇතියි පවසමින් සෙවීම, නිතරම අමතකවීම් සිදුවීම, ලැජ්ජාව බය නොමැති හැසිරීම් පෙන්වීම ,වයස්ගත බවට නොගැලපෙන සේ ආදර සම්බන්ධතා පිළිබඳ තරුණ අයෙකු සේ කතාකිරීම කටයුතු කිරීම, පිරිසක් ඉදිරියේ අඳුම් මාරුකිරීම ,බහිශ්‍රාවීය කටයුතු කරන්නට ඉදිරිපත්වීම හා ලිංගික වශයෙන් යම් යම් වෙනදා නොපැවති හැසිරීම් දැක්වීම තුළින් ඇතමුන් මනමාලකම් පෑම ලෙසින් හඳුන්වන හැසිරීම්වලට නිරන්තරයෙන් යොමුවීම,වැනි ලක්ෂණ චිත්ත වික්ෂේපයේ ලක්ෂණ ලෙස සැළකිය හැකිය. යම් හෙයකින් ඔබේ මව හෝ පියා නැතිනම් විවාහ නොවී  වියපත්ව සිටිමින් පසුවන ඔබේ සොයුරිය,සොයුරා ,වැඩිහිටි ඥාතියා විසින් මෙවැනි හැසිරීමක් පල කරන්නේද? වයසට නොගැලපෙන ඉහත කී හැසිරීම් දක්වන අයෙකු දුටු විට ඔබ ඒ සම්බන්ධයෙන් පළමුව සිතන්නේ කුමක්ද?

අක්කා හැසිරෙන්නෙ හරියට දාසයයි මාසයයි වගේ. කොයිවෙලාවෙත් කතාකරන්නේ ආදරේ කරන හැටියි, කසාද ගැනයි එයාට දැන් මොන මගුල් ද අවුරුදු පණහත් පැනලානේ පොඩි කෙල්ලො වගේ  එයාගේ බොළඳ හැසිරීම් දකිද්දි අප්පිරියයි. අයියා තරුණ කාලෙවත් නැති තරම් මනමාලකම් කරන්න පටන් අරන්නේ දැන් ,අම්මාව ගෙදර තියාගන්නත් බැරි තරම් ජරා විදිහට හැසිරෙන්නේ.? හරියට අපෙන් පළිගන්න වගෙයි. මෙයාව කෙනෙක් ආවට ඉස්සරහට ගන්නවත් පුලුවන්ද ? මොනවා හරි අපිට අවනම්බුවක් වෙන වැඩක්මයි කරන්නේ..
මේ සමහර විට ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වූ මවක්  සොහොයුරියක් , සොහොයුරෙක් පිළිබඳ ඇතමුන්  සිතන ආකාරය වෙන්නටත් පුලුවන්. නමුත් ඒ අයගේ  හැසිරීමේ අමුත්තක් ඔබ පැහැදිලිවම දකිනවා නම් ඔවුන්  සම්බන්ධයෙන් එවැනි නිගමන වලට එළැඹෙන්නට පළමුව ඔවුන්ව කාරුණිකව මනෝ වෛද්‍යවරයෙකුගේ පරීක්ෂණයකට යොමුකරන්න.

කිසියම් අයෙක් විවාහ නොවී වයස්ගතව සිටින විට ඔවුන් අතින් මෙවන් චිත්ත වික්ෂේප තත්ත්වයක් නිසා මතුවන හැසිරීමේ වැරදි  බොහෝ දෙනෙකු බැර කරන්නේ විවාහවීමට අවස්ථාවක් නොලැබුණු නිසා ඇතිවුණ මනමාලකම් වශයෙන් වීමට ඇති ඉඩ කඩ බොහෝය.  ඒ අයට එම හැසිරීම තමන්ට නොගැලපෙන බව හෝ තමන් දැන් සිටින්නේ එවැනි හැසිරීම් පෑමට උචිත නොවන වයසකය යන්න සිතන්නටද ස්වාධීන මානසික නිරවුල්බවක් නොමැතිවීමෙන් ප්‍රශ්නය තවත් දික් ගැස්සෙයි.මෙවැනි තත්ත්වයක් ඇති අයෙකු දුටු විට එය පිළිබඳ අවබෝධයෙන් වහාම මානසික වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවකට රෝගියා යොමුකිරීමෙන් මෙම තත්ත්වය උත්සන්නවීමෙන් ඇති විය හැකි ප්‍රශ්න කල්තියාම විසඳාගන්නට හැකියාව ලැබේ.
අප බොහෝ දෙනෙකු සිතන්නේ වයස්ගතවීම අමතකවීමට බලපාන ප්‍රධාන හේතුවක් බවයි. (නමුත් මේ රෝගයට විවාහ වූවාය නොවූවාය යන්න බලපාන්නේ නැත.) ඒ නිසා අම්මට තාත්තට නිතර ඇතිවන අමතකවීම් දැන් ඉතිං වයසයිනේ කියා සාධාරණීකරණය කරන්නට පෙළඹෙන්නට එපා. එය ඔවුන් ප්‍රතිකාර ලබාගත යුතු රෝගයක්.

මේ රෝගය වයස්ගතවන හැම අයෙකුටම ඇතිවෙන්නේ නැහැ. වයස්ගතවීම සෑම රෝගයකටම බලපාන පොදු සාධකයක්ද නොවෙයි. නමුත් ඇතැම් අය වයස්ගතවීම නිසා කායිකව මානසිකව දුර්වලතාවයන් ඇතිකරන්නට සමත් බව සිතා සිටියත් එහි සත්‍යයක් නැති බව ඔබ දැන සිටිය යුතුයි. නමුත් මොළයේ සෛල යම් ආකාරයකින් ප්‍රමාණාත්මකව අඩුවෙන්නට බලපෑ හැකි හේතුවක් හමුවුවොත් මොළයේ ක්‍රියාකාරිත්වය අඩුවෙන්න පුලුවනි. යම් ආකාරයකින් මේ නිසා මොළයට යම් හානිකර තත්ත්වයක් ඇතිවුවහොත් නැවත එය යථා තත්ත්වයට පත්වීම අඩුවෙන්නට පුලුවන්. නමුත් මෙය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් රෝගය ආපසු හරවා යවන්න පුලුවන්. සාමාන්‍යයෙන් දියවැඩියාව අධිරුධිර පීඩනය සහ කොලෙස්ටරෝල අධිකතාවය වැනි බෝ නොවෙන රෝග හේතුවෙන් මොළය අතුරු ආබාධයන්ට ලක්වීම අද බහුලව දකින්නට තිබෙන තත්ත්වයක්. මෙවැනි තත්ත්වයන් මත ඩිමෙන්ෂියා වැනි තත්ත්වයක් කළින්ම හඳුනාගෙන ප්‍රතිකාර කරන්නට ක්‍රියා නොකළහොත් රෝගය වඩාත් වැඩි දියුණු තත්ත්වයට පත්වෙන්නට හැකියි.

 රෝගයේ ප්‍රධානතම ලක්ෂණ විවිධ ආකාරයෙන් මතුවෙන්නට පුලුවන්. අස්වාභාවික ලෙස හදිසියේ සියලු දේ සැක කරන්නට පටන් ගැනීම . තමන් වයස්ගත බව අමතක කරමින් තරුණ වයසේ පසුවන්නේ යැයි සිතමින්, තමා  සමග  ලිංගික සම්බන්ධකම් පවත්වන  තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය  යැයි සිතින් මවාගත් කිසියම් පිරිමියෙකු හෝ ගැහැණියක තවත් කෙනෙක් විසින් උදුරාගන්නට කටයුතු කරනවා යැයි කියමින්  බැණ වැදීම සහ එවැනි කාරණාවලට භාහිර පුද්ගලයින් සමග කළහ කිරීම , තමන්ට කිසියම් නොපෙනෙන අයෙකු ඉතා දරුණු ලෙස චෝදනාකරමින්  බැන වදින්නේ යැයි පැමිණිලි කිරීම, වෙනදා පැවති පෞරුෂය බිඳ වැටෙමින් පවතින බව පෙන්වමින් විවිධ නොගැලපෙන හැසිරීම් මතුකිරීම, ඩිමෙන්ෂියා තත්ත්වයක පෙර නිමිත්තක් වෙන්නට පුලුවන. 

ඇතැම් වැඩිහිටියන් ඔවුන්ට හුරු පුරුදු පරිසර තුළින් ඈත්වන විට නොසන්සුන් ලක්ෂණ පෙන්වන්නට පුලුවන්. ඔහු හෝ ඇය ඩිමෙන්ෂියා තත්ත්වයට යමි සමීපතාවයක් දක්වන්නේ නම් හුදකලාවීම තුළ තත්ත්වය තවත් දරුණු අතට පත්වෙන්නටත් පුලුවන්. බොහෝ විට ඔවුන් තමන්ට නින්ද නොයන බව පවසන්නටත් ඒ සඳහා ඖෂධ ලබාගන්නටත් පෙළඹෙන්නට හැකියි. එමෙන්ම ඔවුන් වෙනදා කළ බොහෝ දෑ කරන්නට නොහැකියාවක් දක්වන්නට පුලුවන්. උයා පිහා ගැනීම  හා යමක් ලියන්නට කියවන්නට වූ හැකියාවද මේ සමග වෙනස් වෙන්නට පුලුවන. ඇතමුන් නින්ද යන්නට යැයි සිතා මත් පැන් බීමට යොමු වෙයි. නමුත් මත් පැන් යනු මනෝ රෝග හෝ කිසිදු අන්දමේ කායික රෝගයකට ඖෂධයක් නොවේ. ඒවා වැඩි දියුණුවීමට බලපානු ලබන හා ක්‍රියාකරනු ලබන සංයුතියක් පමණකි. ඩිමෙන්ෂියා රෝගයේදී  එම රෝගීන් විෂාදයට ගොදුරුවීමද බහුලව දැකිය හැකිය. ඔවුන්ට ස්වාධීන ජීවිත ගතකරන්නට හැකියාවක් නොමැතිව යන අතර  එන්න එන්නම මේ තත්ත්වය වර්ධනය වෙන්නට ඉඩ තිබේ. අමතකවීම තුළින් ආරම්භ වෙන අල්ෂයිමර් ඩිමෙන්ෂියාව මෙන්ම වැස්කියුලර් ඩිමෙන්ෂියාව යන මේ කුමන තත්ත්වයක් වුවත් ඒ සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමුකිරීම අවශ්‍යය. අල්ෂයිමර් ආරම්භ වෙන්නේ මොළයේ බුද්ධිමය හැකියාවන් ඇතිකරන ප්‍රදේශය ආශ්‍රිතව ඉතාම සුලු ප්‍රදේශයක් ආක්‍රමණය කරමිනුයි. එයින් සිදුකරන්නේ මොළයේ සෛල මැරෙමින් මොළය ආක්‍රමණය කිරීමයි. මුලදී සුළුවෙන් පටන් අරගත්තත් පසුව එය ක්‍රමයෙන් පැතිරෙන්නට පටන්ගැනීමත් සමග මොළය ක්ෂයවීමට නැතිනම් හැකිලී  කුඩාවීමට පටන් ගනී.  මේ සමග රෝගියාගේ රෝග ලක්ෂණද තීව්‍ර තත්ත්වයකට පත්වෙයි. එන්න එන්නම වැඩිවෙන  අතර මුදල් හංගා ඒවා හැංගුව තැන් අමතකව යාම , ගෙයින් පිටත ඉබාගාතයේ ඇවිද නැවත එන්නට පාර අමතකවීම,  වදන් පිටකිරීමට නොහැකියාව,  පිරිසක් ඉදිරියේ වෙන අන් කවරදාකවත් නොකළ අන්දමේ හැසිරීම් පෑම, ප්‍රසිද්ධියේ ලැජ්ජා බය නැතිව හැසිරීම , ඇතැම් විට තම පවුලේ අයට මෙන්ම පිටස්තර අයටද  ලිංගිකව අතවර කිරීමට  උත්සහ දැරීම  වැනි ලක්ෂණ පෙන්වන්නටද ඉඩ ඇත. මෙවන් ලක්ෂණ දුටු වහාම ඔහු හෝ ඇය වහාම මනෝ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීම තුළ ස්මරණ හා බුද්ධි පරීක්ෂණයක් සිදුකර හා එයට අදාල අනෙකුත් පරීක්ෂණ මගින් ඩිමෙන්ෂියා රෝග තත්ත්වය තහවුරු කරගන්නා අතර  අදාල ප්‍රතිකාර වෙත යොමු කරමින් තවදුරටත් මොළයේ සෛල විනාශවෙමින් හැකිලීයාම නවතා රෝගියා ප්‍රකෘති මානසික තත්ත්වය වෙත ලඟාකිරීම  කඩිනමින් සිදුකරනු ඇත.  එතෙක් ඔවුන් වෙතින් සිදුවන ක්‍රියාවන් විවේචනය කරමින් හෙලාදකිමින් ඔවුන් වැරදි කරුවන් කිරීම මොහොතකට ප්‍රමාද කරමු. මන්ද සැබවින්ම ඔවුන් වරදිකරුවන් නොවෙන බැවින් ඔවුන් දෙස සානුකම්පිතව බැලීම වැදගත් බැවිණි. ප්‍රතිකාර තුළින් මේ සියලු රෝග ලක්ෂණ පාලනය කළ හැකි වග සිහිතබාගන්න. යම් ආකාරයකින් ඩිමෙන්ෂියාවද යන්න සැකහැර දැනගන්නට හෝ ඩිමෙන්ෂියා රෝගියෙකුගේ ඇවතුම් පැවතුම් මෙන්ම රැකබලාගැනීම සම්බන්ධයෙන්ද  ඔවුන්ගේ ආර්ථිකමය ගැටලු සඳහා ආධාර වශයෙන් සමාජසේවා ආයතන මගින් සිදුකරන සේවාවන් වැනි දෑ සම්බන්ධ තොරතුරුද ඔබට 011 3140844 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය. මෙම පුද්ගලයන් රැකබලාගැනීම පවුල තුළ තබාගැනීම තුළින්ම කළ යුතු අතර එම හැසිරීමට මුල්ව ඇත්තේ රෝගි තත්ත්වයක් බැවින් රෝගියා වෙක දක්වන ආදරය කරුණාව දයාව මෙන්ම රැකවරණය ලබාදෙන්නට තරම් සංවේදී වීම වැදගත්ය. ඔවුන්ට ඔබේ ජීවිතය තුළ ඔබ දුන් වටිනාකම රෝගය නිසා නැතිවී යන්නට ඉඩ තබන්නට එපා. නිසි ප්‍රතිකාර තුළින් ආයෙමත් ඔහුට අයට ඔබේ ලෝකයේ ඇති ස්ථානය පිරිනමන්න අත දිය යුතුම මොහොතේ ඔබේ හදවතට ඊට ආරාධනය කරන්න. ඩිමෙන්ෂියාව ජයගන්නට ඔබටද බොහෝ දේ කළ හැකිය.

 

අපේ සෞඛ්‍ය ගැන අලුතින් සිතමු

අද නව වසරේ ඇතැම් පාසල් නැවත විවෘත වන දිනයයි. ඔබේ දරුවා පසුගිය වසරේ හොඳින් නිරෝගීව තම කටයුතු සිදුකරමින් පසුවූවා නම් මෙම වසරේද එම තත්ත්වය වැඩි දියුණු කොට පවත්වාගන්නට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම ලිපිය ඔබට වඩාත් වැදගත් මග පෙන්වීමක් කරනු ඇත. නමුත් පසුගිය වසරේ දරුවා වැඩි පුර අසනීප වූවා නම් දරුවාගේ වැඩ කටයුතු අඩාල වූවා නම් මේ වසරේ එවැනි තත්ත්වයකට ඉඩ නොතබා දරුවා වෙනුවෙන් කැපවීමට ඔබට මේ කරුණු වඩා වැදගත් මෙහෙයක් ඉටුකරනු ඇත. අප මේ ඔබේ අවධානය යොමු කරනුයේ දරුවාට දියර හෝ පෙති ලෙස කෘතිමව විටමින් වර්ග ලබා දිය යුතු බව කියන්නටවත්  ෆුඩ් සප්ලිමන්ට් යනුවෙන් හඳුන්වන අතිරේක ආහාරමය නිෂ්පාදන වලට මුදල් වියදම් කළ යුතු බවට අවධාන යොමු කරවීම කෙරෙහි නොවේ. මේ වෑයම පානීය ජලය දරුවෙකුට කොතරම් බලපානවාද යන්න පිළිබඳ ජාතික වශයෙන් යම් අවධානයක් යොමුකරවීමේ මාධ්‍ය මෙහෙවරට අත හිත දෙමින් වසරේ ප්‍රථම සෞඛ්‍ය පිටුව වෙත යොමුවන්නටය


girl-drinks-pure-water-banner

වැඩිහිටියන් බොහෝ දෙනෙකු දරුවාගේ සහ තමන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් කතාකරන විට වැඩි අවදානයක් දක්වන්නේ ආහාර සම්බන්ධයෙනි. කන්නේ මොනවාද සහ කෑමට දිය යුත්තේ මොනවාද යන්න මිස පානය සඳහා වඩා යෝග්‍ය වනුයේ මොනවාද යන්න එතරම් අවධානයකට ලක් නොවෙයි. නමුත් සිරිතට මෙන් නිවසෙන් සකස් කළ වතුර බෝතලයක් දරුවාගේ පාසල් බෑගයත් සමග ලබාදෙන නමුත් ඇතැම් විට ඔබේ දරුවා ඒ වතුර බෝතලය පානය නොකර නැවත නිවසට රැඟෙන එනවා ඇත. මෙවැනි අවස්ථාවක ජලය පානය නොකරේ ඇයි දැයි නාසන ඔබ කෑම පේටියේ කෑම ටික ඉතිරි වූ විට නම් නොකෑවේ ඇයි දැයි අසන්නට පමා නොවනු ඇත. 

ඇතැම් පාසල් ගුරුවරුන් දරුවන් පංති කාමරවලින් පිටට නොයවා රඳවා ගැනීමේ වෑයමක් ලෙස දරුවාට වැසිකිලි යෑමේ අවසරය ලබා දෙන්නේ විවේක කාලයට පමණි. නමුත් අවශ්‍ය තරම් ජලය පානය කරන්නට දරුවාට උවමනාව තිබුණත් පංති කාමරයෙන් පිටට  යෑමේ අවසරය ලබා ගැනීමට ඇති අසීරුතාව නිසා දරුවා ජලය පානය කිරීමෙන් වැළකී ඉන්නා අවස්ථා දරුවන් විසින්ම හෙළි කර තිබීම මෙය ගැටලුවක් බවට ඉස්මතුවී පෙනෙන්ට හේතුවකි. විවේක කාලයද ඉතා සීමිත බැවින් මුලු පාසලටම ලැබෙන එම විවේකයේදී බහිශ්‍රාවීය කටයුතු වෙනුවෙන් යොදවන්නට දරුවන්ට කාලයක් නොලැබීම හේතුවෙන් දරුවන් ජලය පානය නොකර ඉන්නට හුරුව ඇතැයි යන්න ඇතැම් දරුවන් ජලය පානයෙන් ඈත්වී ඉන්නේ ඇයි දැයි ඇසූ විට දැන් දැන් බහුලව ලැබෙන පිළිතුර වී තිබේ. නමුත් දෙගුරුන් මෙන්ම දරුවන්ද ජලය පානය දෛණික ජීවිතයට හා සිරුරේ ක්‍රියාකාරිත්වයට බලපාන්නේ කෙසේදැයි යන අවබෝධය දැඩිව ලබාගත යුතු කාලයකි මේ. මන්ද දැන් දැන් වකුගඩු රෝගී දරුවන් ගැන අසන්නට දකින්නට ලැබෙන අවස්ථා බහුලවීම දිවයිනේ සියලුම පළාත්වලින් වාර්ථාවන බැවිණි.
මිනිස් සිරුරේ දේහ බරින් සියයට හැටකටත් වඩා පවතින්නේ ජලය බව ඔබ දන්නවාද? කෙසේ නමුත් මිනිසෙකුට ජලය නොමැතිව ජීවත් විය හැකි කාලය වනුයේ දින තුන සිට පහ දක්වා අතර කාලයකි.  ආහාර නොමැතිව ඊට වඩා යම් කාල පරාසයක් ජීවත් විය හැකි වුවත් ජලය නොමැතිව  ජීවත්වීමට බැරි බව ඇත්ත කතාවයි.

ජලය එසේ අත්‍යවශ්‍ය වනුයේ ඇයි.

රුධිරයේ ප්‍රධාන සංඝටකයක් ලෙස පෝෂණ ද්‍රව්‍ය හා  සිරුරට ඔක්සිජන් බෙදා හැරීමේ කාර්යයට  ජලය අවශ්‍යය. එමෙන්ම අප ගන්නා කුමන ආහාරයක් හෝ දිරවීමටද ජලය අවශ්‍යය. අප ශරීරයේ උෂ්ණත්වය නිසිලෙස පවත්වා ගැනීමට, ශරීරය අනතුරුවලින් ආරක්ෂාකර ගැනීමට මුඛය, ඇස් නාසය ආදියේ පටලවල තෙතමනය පවත්වා ගැනීමට  , මුත්‍රා සහ දහඩිය ලෙස අපද්‍රව්‍ය ශරීරයෙන් බහිශ්‍රාවය කිරීමට  මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වය නිසිලෙස පවත්වා ගැනීමට, මළබද්ධය වළක්වා ගැනීමට, අනිවාර්යයෙන් ජලය පානය තුළින් ශරීරයට එක්කර ගැනීම අවශ්‍යය.

පාසලේදී වැසිකිලි යෑමට දරුවන්ගෙන් එන ඉල්ලීම්වලට අවසර නොදීමක් සිදුවනවා යැයි දරුවන් පවසන්නේ සත්‍යයක් නම් ,හා එම නිසා දරුවන් ජලය පානයෙන් වැළකී සිටින්නේ නම් පාසලකින් දරුවාගේ නීරෝගීබවට යම් බාධාවක් එල්ලකරවන බවත් එයින් දරුවාට ඇති විය හැකි ශාරීරික පීඩාවන් සම්බන්ධවත් විෂය කරුණුවලට අමතරව පාසාල්වල ගුරුවරුන් දැනුම්වත්ව සිටීම වැදගත් බවද සිහිපත් කළ යුතුව ඇත. දෛණිකව ඔබ සහ  ඔබේ දරුවා කොතරම් ප්‍රමාණයක් ජලය පානය කළ යුතුද  යන්න ඔබ දන්නවාද?  ඔබ පානය කුළ යුතු ජල ප්‍රමාණය ගණනය  ඔබේ වයස  අනුව සිදු කළ හැකිය.  

අවුරුදු එක සිට පහ දක්වා  ළමා අවධියේ පසුවන දරුවෙකු දිනකට මිලි ලීටර 750 ත් 1000 ත් අතර  ප්‍රමාණයක් ජලය නැතිනම් දියර  පරිභෝජනය කළ යුතුය.  අවුරුදු හය සිට දහය දක්වා දරුවන් විසින් දිනකට පානය කළ යුතු ජලය ප්‍රමාණය මෙයින් වෙනස්ය. ඔවුන් ලීටර් එකේ සිට 1.5 දක්වා  ජල හෝ දියර ප්‍රමාණයක් ශරීරයට එක් කරගත යුතුය. නමුත් දරුවා අවුරුදු එකොළහේ සිට දහ අට දක්වා නවයොවුන් වියේ පසුවන්නෙකු ලෙස පානය කළ යුතු ජල ප්‍රමාණය දෛණිකව ලීටර 1.5 සිට 2 දක්වාය. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ළමා වර්ධක සටහන සහ සී ඩී සී ළමා වර්ධක සටහන්පත්වලට අනුව මධ්‍යස්ත බරින් යුතු  පිරිමි ළමයෙකුගේ දිනෙක ජල අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන සකස් කරනු ලැබූවකි.  නමුත් වැඩිහිටියන් කොපමණ දියර ප්‍රමාණයක් දෛණිකව ලබා ගත යුතුද යන්න මේවායින් වෙනස්ය.  වැඩිහිටියන් සඳහා සිරුරේ බර කිලෝ ග්‍රෑම්වලින් මැන එය 30 න් බදූ විට එන ප්‍රමාණය ලෙස පහසුවෙන් ගණනය කළ හැකිය. කෙසේ නමුත් මේ දක්වා ඇත්තේ  දිනකට අවශ්‍ය ජල ප්‍රමාණයේ දළ අගයකි.  නමුත් ඇතැම් විශේෂ අවස්ථාවලදී මේ ප්‍රමාණයන් වෙනස් විය හැකි බව සිහිතබා ගන්න. සමහර අවස්ථාවලදී අවශ්‍යතාවයට වඩා ජලය පානය කරන්නට සිදුවෙයි.  ඒ ව්‍යායාම හෝ ක්‍රීඩාවල යෙදෙන අවස්ථාවක, උණුසුම වැඩි දිනවලදී, හිරු රශ්මියට දිගුවෙලාවක් නිරාවරණය වී සිටින විට, ඔබ විදුලි පංකාවක හෝ වායුසමීකරණයක් යටතේ සිටින විට, දැඩි සුළඟට දිගුවෙලාවක් නිරාවරණය සිටින විට,  උණ පාචනය වැනි රෝගවලින් පෙළෙන විට දෛණික අවශ්‍යතාවයට වඩා වැඩියෙන් ජලය පානය කළ යුතු වෙයි.

දරුවා ක්‍රීඩාකරන විට නියමිත ප්‍රමාණයට වඩා ජලය පානය කිරීමෙන් ඇතිවන වාසිය කුමක්දැයි දැන් අප සොයා බලමු.  සැබවින්ම එසේ දෛණික අවශ්‍යතාවය ඉක්මවා ඒ අවස්ථාවලදී ජලය පානය කිරීමෙන්  ඉතාමත් හොඳින් ක්‍රීඩාකිරීමේ හැකියාව ඇතිවෙයි.
දැන් අප ශාරීරික ක්‍රියාකාරකම්වල නියැලෙන විට පානය කළ යුතු ජල ප්‍රමාණයන් ගැන අවබෝධයක් ලබා සිටිමු. ශාරීරික ක්‍රියාකාරකමකට පැයකට පෙර මිලි ලීටර 500 ක පමණ ජල ප්‍රමාණයක් පානය කර සිටින්න. ක්‍රියාකාරකම අතර තුර දී  සෑම ක්‍රියාශිලී මිනිත්තු 15 කට වරක්  මිලි ලීටර් 250 ක්  පානය කරන්නට වග බලා ගන්න. ක්‍රියාකාරකමකට පසු මි ලි ලීටර 250 ක්  පානය කරන්න. මේවා නිර්දේශිත නියම ප්‍රමාණයන් වෙයි.

අප දැන් පානය කරන්නට අවශ්‍ය මොනවාද යන්නත් සොයා බලමු.  අප මේ දියර ප්‍රමාණයන් වශයෙන් කතාබහට ලක්කරනුයේ පැණි බීම හෝ ශක්ති ජනක පානයන් යැයි කියාගන්නා වෙළඳ පොලේ පවතින පාන වර්ග පිළිබඳව නොවේ.  එම පානයන් සියල්ලම කෘතිම පානවර්ග වන අතර  ඒවායේ අඩංගු විවිධ රසායණ ද්‍රව්‍ය දරුවාට ව්ව්ධ ආකාරයේ හානි ඇතිකරවයි.  බොහෝ විට කෘතිම බීම වර්ගවල සීනි බහුලය, උදරයේ අපහසුව ඇතිකරවයි. රසායණික බහුලයි, කැලරි අධිකයි,කෘතිමයි, ස්ථූලබව ඇතිකරයි. 
 නමුත්, ජලය සජලනය ඇතිකරයි, නැවුම් බව ඇතිකරයි, සිරුර සෞඛ්‍යමත් කරයි, කුරුලෑ වළකයි, කැලරි රහිතයි, ස්වභාවිකයි,  තෘප්තිය ඇතිකරයි, සිරුරට ගුණදායකයි. මේ හැරෙන්නට ඔබට වෙනත් ආහාර මගින්ද ජලය ලබාගත හැකිය.  ඒ පලතුරු , පලා, කිරි ආහාර සහ තේ, තැඹිලි, කැඳ සුප්, වැනි පානයන්වලද ජලය විශාල ප්‍රතිශතයක් අන්තර්ගතව පවතියි.  එමෙන්ම ඖෂධීය පාන ලෙස අප කවුරුත් දන්නා රණවරා, පොල්පලා, බෙලි මල් වැනි ඖෂධීය පානයන්  පරිභෝජනයට එක්කර ගැනීමෙන් සිරුරට ජලය ලබාගත හැකිය.
 ඔබ ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්නේ නම් මුත්‍රා දැවිල්ල ආදී තත්ත්වයන් ඉතාමත් අඩු වන අතර මුත්‍රා අවර්ණ බවකින් යුක්තය.
 පිපාසය ඇතිවන්නට පළමු ඔබ ජලය පානය කළ යුතු බව මතක තබාගන්න.  නිතර නිතර ජලය යම් ප්‍රමාණයක් පානය කිරීමේ පුරුද්ද ඇතිකර ගන්න. එමෙන්ම දවස පුරාම ජලය පානය කිරීමට අවශ්‍යය.  දරුවා පාසල් යන විට ඔබ කිසියම් ගමනකට පිටත්වන විට වතුර බෝතලයක් රැගෙන යන්නට වග බලාගන්න. විශේෂයෙන් උදෑසන අවදි වූ විගසම වතුර වීදුරුවක් බොන්නට පුරුද්දක් ඇතිකර ගන්න, රාත්‍රි නින්දට පෙර හා ස්නානයට නැතිනම් පිහිනීමට ප්‍රථම ජලය පානය කරන්නට හුරුවෙන්න. එවිට ඔය ඔබේ හොඳ සෞඛ්‍ය පුරුදු අතර වඩා හිතකර පුරුද්දක් ලෙස එය පවතිනු ඇත. 

ඔබ දිනකට අවශ්‍ය තරමේ ජලය ප්‍රමාණයක් පාවිච්චි නොකරන්නේ නම්,  
අධ්‍යාපන කටයුතු සඳහා මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීමට අපහසුවීම
ප්‍රශස්ත මට්ටමින් ක්‍රීඩා සහ විෂය භාර ක්‍රියාකාරකම් කිරීමට නොහැකි වීම
 ශරීරය විජලනයට ලක් වී පිපාසය ඇතිවීම
මුඛය සහ ඇස් වියළීම නිසා ඒවායේ විෂ බීජ වර්ධනය වීම
 නිදිමත ගතිය හා ශාරීරික දුර්වලබව  ඇතිවීම
 ඉක්මණින් කේන්ති යෑම
සම වියළි යාම සහ රැළිවැටීම

 යන ලක්ෂණ පහළ වෙයි.  දැන් ඔබේ පාසල් කාලය තුළ නිවසෙන් රැඟෙන යන ජල බෝතලය පාසල් කාල වේලාව තුළ දී හැකි අයුරින් පානය කිරීම ඔබගේ පාසල් කටයුතුවලට සහ ක්‍රීඩාවට කොතරම් සේවයක් සලසන්නේද යන්න සිතා බලන්නට කාලය මදක් වැය කරන්න.එමෙන්ම ඔබ වැඩිහිටි අයෙකු නම් ජලය නිසි අයුරින් පානය කිරීම තුළ ඔබට අත්විඳින්නට ලැබුණු ක්‍රියාශීලීබව සම්බන්ධයෙන් අන් අයද දැනුම්වත් කරන්න.

මේ දවස්වල බහුලව පැතිරෙන උණ

කලින් කලට හිස ඔසවන වසංගත රෝග අතර බොහෝමයක් රෝගවල මූලික රෝග ලක්ෂණය වන්නේ උණ ඇතිවීමයි. උණ කියන්නේ රෝගයක් නොව රෝග ලක්ෂණයක් බව අප කොතෙකුත් අද සෞඛ්‍ය පිටුව හරහා සාකච්ඡා කර ඇත. නමුත් උණ කියන්නේ ඉස්සර නම් ඒ තරම් ගණනකට ගත් රෝගයක් නෙවෙයි. වෙනිවැල්ගැට, කොත්තමල්ලි ටිකක් තම්බලා බිව්වම ඇරිල යයි කියලා හිතපු උණ කියන රෝග ලක්ෂණය ගැන දැන් අමුතුවෙන් හිතන්න වෙලා තියෙන්නේ පරිසරයේ තිබෙන වෛරස හා ඇතැම් බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වය නිසාම විතරක් නෙවෙයි. උණ හැදුණම දැන් දින දෙකකට වඩා ඉවසන් ඉන්න කියලා වෛද්‍යවරුන්ට උපදෙස් දෙන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. උණ කියන්නේ මනුස්සයෙකුට ජීවිත කාලයේදී වැඩි පුරම අත්දකින්න සිදුවී ඇති තත්ත්වයක් වුණත් අද අපි ඒ ගැන අලුතින් කතාකරන්න පෙළඹෙන්නේ ඒ උණට යටින් ඔබව සොයා එන අනෙකුත් රෝග ගැන නොසැලකිලිමත් වෙන්න බැරි නිසයි. උණ කියන්නේ මොනවගේ දෙයක්ද? ඇත්තටම උණක් ඇතිවෙන්නේ ඇයි 'අද' සෞඛ්‍ය පිටුව තුළින් අද කතාබහ ඒ ගැනයි.


උණ කියන්නේ අපේ සිරුරේ පවතින සාමාන්‍ය උෂ්ණත්වය ඉක්මවා අපේ සිරුරේ උෂ්ණත්වය ඉහළ යන ක්‍රියාවක් බව ඔබ දන්නවා . ඇඟපත රිදීම, හිසරදය, ප්‍රතිශ්‍යාව, කැස්ස , කොන්ද කැක්කුම වැනි ලක්ෂණ කීපයක් එකවර ඇති වුණාම මට උණ ගැනෙන්න වගේ කියලා ඔබම රෝගය තීරණය කරන තරම් සුලබ තත්ත්වයක් තමයි උණ කියන්නේ. නමුත් මෙසේ ශරීර උෂ්ණත්වය නිකරුණේ ඉහළ යන්නෙ නැති බව ඇත්තක්. එයට යම් කිසි හේතුවක් පැවතිය යුතුයි. බහුලම හේතුව ලෙස අපට හමුවෙන්නේ අපේ සිරුරට කිසියම් විෂ බීජයක් වෛරසයක් ඇතුළු වුණාමයි. වෛරසයන් කළින් කළට අවුරුද්දකට කීප වතාවක්ම මෙසේ පැතිර යමින් උණ රෝග ඇතිකරයි. නමුත් හැමවිටම උණ ඇතිවන්නේ වෛරසයක් නිසා නොවේ. විවිධ විෂ බීජ වර්ගවලටද මේ වෙනුවෙන් ඇඟිල්ල දිගුකරන අතර  විෂ බීජයක් හෝ වෛරසයක් යනු පියවි ඇසින් දැනගත නොහැකි  නමුත් වාතය තුළ විශාල වශයෙන් පැවතෙමින් වැඩෙමින් පැතිර යා හැකි වූවකි. 

 සිරුර තුළට මේ විෂ බීජ ආදිය ඇතුළුවෙන්නේ කෙසේදැයි දැන් ඔබට ගැටලුවක් පැන නගිනු ඇත. විෂබීජයක් හෝ වෛරසයකින් ආසාදනයක්  ඇතිවූවෙකුට කිවිසීම හෝ කැස්ස ඇතිවීම රෝග ලක්ෂණයකි. මේවා එවැනි අයෙකුට නිරායාසයෙන්ම ඇතිවෙන්නක්  බව ඔබ අත්දැකීමෙන්ම දනී. නමුත් එවිට අපේ ස්වසන මාර්ගය හරහා  කෝටි ගණනක් විෂ බීජ වාතයට මුදා හැරෙයි.
නමුත් අපිට උණක් හැදෙන්න නම් මේ විෂ බීජ කෝටි ගණන අවශ්‍ය වන්නේ නැහැ. එයින් එකක් පමණක් ශ්වසන මාර්ගයෙන් ශරීරයට ඇතුළු වුණාම ප්‍රමාණවත්.  මේ දිනවල උණ රෝගීන් වැඩි පුර හමුවන්නට හේතුව දැන් දැන් ඔබට යම් අවබෝධයක් ගෙන දෙනු ඇති. මේ දිනවල වැඩි පුර ජනයා ගැවසෙන තැන්වල ඇවිදීම එතරම් සුදුසු දෙයක් නොවන්නේ මෙවැනි විෂබීජ ආසාදනයකින් පෙළෙන අය ඒ ජනාකීර්ණ පරිසර තුළ කෙතරම් ගැවසෙනු ඇත්ද, යන්න ඔබට පියවි ඇසින් දැකගත නොහැකි නිසාමය.  අනෙක එක් අයෙකුගෙන් කෝටි ගණනක් විෂ බීජ පරිසරයට මුදාහැරෙනවා නම් වැඩි පිරිසක් ගැවසෙන ජනාකීර්ණ පරිසරයකින් ඔබට ඇතිවෙන අවධානම කොතරම්ද යන්න මදක් සිතා බලන්න. ඒ නිසා උත්සව සමයේ හැම විටම කිසියම් ආකාරයක වෛරස් උණක් ඇති වී වේගයෙන් පැතිරීම සම්බන්ධව  අසන්නට ලැබීම දැන් දැන් සුලබය.

20525210_1425183577566606_491962029496079411_n

 කෙසේ නමුත් මෙවැනි උණකින් වැඩිපුරම සංකූලතා මතුවිය හැකි අවධානම් සහිත පිරිසක් ලෙස කුඩා අතදරුවන් ගැබිනි මවුවරුන් මෙන්ම වයස්ගත පුද්ගලයන් හඳුන්වන්නට පුළුවන්. උණ සෑදීම ආරම්භ වෙන්නේ එසේ සිරුරකට ඇතිවෙන ආගන්තුක විෂබීජයක් වෛරසයක් ශරීරරය තුළට ඇතුළු වී එය පැතිරයාමට විරුද්ධව සිරුර විසින් ඇතිකරන සටනෙහි ප්‍රතිඵලයක් ලෙසයි. උණ ඇති වූ විට දින කීපයක ඇවෑමෙන් එය ඉබේම බැස යතත් ප්‍රතිකාර එය පවතින්නට ඉඩ නොහැර ඉක්මනින් සුවකර ගන්නේ විෂබීජය පාලනය කරගැනීම අවශ්‍ය වන බැවිනි. සෙම්ප්‍රතිශ්‍යාව ඇති වූ විට එය වෛරසයක් මාර්ගයෙන් ඇති වී නම් එයට බැක්ටීරියාවක බලපෑමක්ද ඇතිවෙන්නට යම් සම්භාවිතාවක් තිබෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්ත්වයකදී සෙම සුදු පැහැයක් ගන්නා නමුත් එයට බැක්ටීරියා බලපෑමක්ද ඇති වී නම් එය පහසුවෙන් දැනගන්නට ඔබට හැකියාවක් ලැබෙයි. බැක්ටීරියාවක් ඇතුළු වී නම් සෙම සොටු කහපාටවීමක් දකින්නට පුළුවන. එසේම දියර ආකාරයේ සෙම වෙනුවට කැදලි සහිත උකු ස්වරූපයක් බැක්ටීරියාවක බලපෑමට හසුවූ සෙම තුළින් දැකිය හැකියි. මේ තත්ත්වය නොසලකා හැරිය යුතුවූවක් නොවේ. මේ තත්ත්වය නොසලකා හිඳීම තුළ ශ්වසන මාර්ගයේ පතුලට බැක්ටීරියාව ඇතුළුවුවහොත් නියුමෝනියාව වැලඳෙන්නට ඉඩ ඇති බව අමතක කළ යුතු නොවේ. මෙහිදී ප්‍රතිකාර නොසලකා සිටිය හොත් නියුමෝනියාව දරුණු වී මරණාසන්න තත්ත්වයටද පත්වීමට හැකියාව තිබේ.  කහපාට සෙම ලා පැහැති ගුරු පැහැයක් ඇතිවීම හෝ රුධිරය  සහිත බවක්  ඇතිවීම පපුවේ එක් පසෙක වේදනාව දැනීම මෙන්ම නොබසින උණ ලක්ෂණ ලෙස හඳුනාගන්නට හැකියි. කෑම අරුචිය වමනය ආදී තත්ත්වයන් දිගින් දිගටම පැවතීම නිසා  රෝගියාට මුත්‍රා පිටවීම අඩුවෙන්නට හැකි වනුයේ ශරීරය විජලනයට පත්වීම නිසාය.  ඒ නිසා උණ සහිත රෝගියාට වමනය ආදී රෝග ලක්ෂණ පැවතියදී වුවත් දියර වර්ග ලබාදීම අත්‍යවශ්‍ය වන අතර ජීවනී වැනි පාන වර්ගවලින් සිරුරට අවශ්‍ය ලවණ ආදියද ලබාදෙන්නට හැකියාව පවතියි. බොහෝ විට උණ ඇතිවන්නේ වෛරසයකින් වුවත් බැක්ටීරියා ආසාදනයකින් වුවත්  ඔබ විසින් අමතක නොකළ යුතුවන්නේ උණ යනු රෝග ලක්ෂණයක් බැවින් ඒ ගැන අවධානය දැක්වීම ඉතා වැදගත් බවයි. ඇතැම් විට බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයකින් තොරව වුවත් උණ ඇතිවන අවස්ථාවන් පැවතිය හැකිය. ඒ සිරුරේ කිසියම් අවයවයක ඇතිවන වෙනත් රෝග තත්ත්වයක ලක්ෂණයක් ලෙසය. මේ නිසා උණ යනු හෙම්බිරිස්සාවක හෝ සෙම යන තත්ත්වයක ප්‍රතිඵලයක් සේ සිතා නොසලකා හැරීමෙන් වළකින්න. ඩෙංගු වැනි රෝග තත්ත්වයකදී ඇතිවන උණ ,සෙම හෝ කැස්සක සලකුණු නැතිව මතුවිය හැකිය. බොහෝ විට වෛද්‍යවරුන් උපදෙස් දෙනුයේ දින දෙකකට වඩා උණ පැවතියේ නම් වහා රුධිර පරීක්ෂණයක් සිදුකරගන්නා ලෙසයි. එසේ රුධිර පරීක්ෂණයක් සිදුකරගන්නා විට රුධිර පට්ටිකා අඩු බවක් දකින්නට නොවුනේ නම් ඔබ එය ඩෙංගු රෝගයට වැලඳුන උණක් යැයි අමතක කරන්නට ඉඩ තිබේ.

c9e8d9069e929f4898939a62f1adcffd_XL

තෙවැනි දිනයටත් උණ සුව නොවී හෝ අඩු නොවී ඇස්යට වේදනාව, හන්දිපත් වේදනාව වැඩිවෙමින් පවතින්නේ නම් පැරසිටමෝල් හැර අන් ඖෂධයක් පානය නොකොට වහා නැවත රුධිර පරීක්ෂණයක් කළ යුතු බව මතක තබාගන්න. උණ කුමන හේතුවක් නිසා මතුවුවත් පැරසිටමෝල් පමණක් මූලිකව ලබාගන්න. වෛද්‍ය නිර්දේශය නොමැතිව කිසිම වෙනත් ඖෂධයක් හිතුමතයේ නොගන්න වග බලාගන්න. ඇස්ප්‍රීන් වර්ගයේ ඖෂධ ඩෙංගු වැනි තත්ත්වයකදී භයානක ප්‍රතිඵල ගෙනදිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටින්න. උණ ඇති වූ විට සමහරෙකු ඇඟ සීතල කරන්නේ යැයි කියනු ඔබ අසා ඇති. එවන් අවස්ථාවල බොහෝ දෙනෙකු සිතන්නේ ශරීරය උණුසුම් කිරීමට උණුසුම් ඇඳුම් හෝ බ්ලැන්කෙට්ටුවකින් සිරුර පොරවා ගැනීම අවශ්‍ය බවයි. නැත. කාමර උෂ්ණත්වය ඇති වතුරින් සිරුර හොඳින් තෙත මාත්තු කර ඇඳුම්වලින් සිරුර හොඳ හැටි ආවරණය කිරීමෙන් වැළකී ,පහසු ඇඳුමකින් යුතුව විදුලි පංකාවක් ඇසුරේ රැඳීමෙන් සිරුරේ උෂ්ණත්වය පහළ බසිනු ඇත. සමහර වෛරස් උණ ඇති වූ රුධිරයේ පට්ටිකා ප්‍රමාණයේ යම් පහළ බැසීමක් විය හැකිය. නමුත් එය විශාල ප්‍රමාණයකින් නොවේ. යම් පමණකින් මදක් වැඩි ආකාරයකින් රුධිර පට්ටිකා බැස ඇතැයි රුධිර පරීක්ෂණය අනුව හෙළි වුවහොත් නැවත වතාවක් රුධිර පට්ටිකා සම්බන්ධ පරීක්ෂණයක් සිදුකරවාගෙන බලන්න.

එහිදී ඩෙංගු උණ වැලඳී ඇත්නම් රුධිර පට්ටිකා සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ බැස තිබෙන්නට පුළුවන. කෙසේ නමුත් උණ ඇති වූ විට ඔබ විසින් නොකළ යුතු ක්‍රියා කීපයක් සම්බන්ධයෙන් මතක් කිරීමක් කිරීම වැදගත්ය. උණ ඇති විට ස්නානය කිරීමෙන් වළකින්න. එමෙන්ම ආහාර අරුචිය ඇත්නම් ආහාර සහ පාන යන සියල්ලම නොගෙන සිටීමෙන් වළකින්න. ඇතමුන්ට උණ ඇති වූ විට බඩ බුරුලට යෑමේ ලක්ෂණ පැවතිය හැකිය. එහෙත් බත් කැඳ, වතුර , ජීවනී , සුප්  හෝ සුදුසු පාන වර්ග ගැනීමට වග බලා ගන්න. ඔබේ සිරුරෙන් වමනය ලෙස හා බඩ එළිය ලෙස ද යම් ජලය ප්‍රමාණයක් පිටවන බැවින් විජලනය ඇතිවන්නට පාන වර්ග නොගෙන සිටීම බලපෑ හැකි අතර එය වඩාත් බැරෑරුම් ගැටලු මතුකරවිය හැකි බව අප ඉහතදීද ඔබට සිහිපත් කළෙමු. සෙම හෝ කැස්ස වැනි ලක්ෂණයක් ඇති විට හිතුමතයේ ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීමෙන් වළකින්න.ඔබට වැලඳී ඇත්තේ බැක්ටීරියා ආසාදනයකින් එන තත්ත්වයක්ද වෛරස් ආසාදනයකින් මතුවන තත්ත්වයක්ද යන්න විනිශ්චය කරන්නට ඔබට හැකියාවක් නැති බැවින් එය ඔබේ වෛද්‍යවරයාට බාර කරන්න. හැකි තාක් මද උණුසුම් වතුර පානය කිරීමට උත්සහ කරන්න. කය වෙහෙසවීමෙන් වළක්වා මදක් විවේක ගන්න. ඩෙංගු උණ තත්ත්වයකදී මෙය ඉතා අත්‍යවශ්‍ය දෙයකි. ඔබට උණ වැලඳී ඇත්නම් සෙනඟ ගැවසෙන තැන්වලට යෑමෙන් වළකින්න. මෙකළ උණ වැඩි වීමට හේතුව කුමක්දැයි ඔබම විශ්ලේෂණය කර බලන්න. එවන් ආසාදන සහිත උණ රෝගීන් බහුලව සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් වෙත ගොස් රැඳීමෙන් වළකින්නේ නම් ඔවුන්ගෙන් නිකුත්වන විෂබීජ නිරෝගී පුද්ගලයන්ගේ ශ්වසන මාර්ග හරහා ඔවුන් ආක්‍රමණය කිරීම සෑහෙන දුරකට වළකිනු ඇත.

 

 

නිරෝගිමත් ජීවිතයකට යකඩ ඕනෙමද ?

අද යකඩ යැයි කියූ විට ඔබට එක්වරම සිහිපත් වනුයේ  යකඩ නම් වූ ලෝහය විය හැකිය. නමුත් මේ කතාබහ නම් ඒ යකඩ ගැන  නොවේ. අපේ සිරුරට අත්‍යවශ්‍ය නමුත් මේ වන විට එතරම් තැකීමක් ඇතිව ලබා නොගන්නා පෝෂකයක් වූ යකඩ නැතිනම් අයන් පිළිබඳවය.  බොහෝ දෙනෙකු ආහාර  අවශ්‍ය යැයි සලකන්නේ කුසගින්න නිවීමට මිස ශරීරයේ පැවැත්ම උදෙසා නොවේ. අතට අසුවන යමකින් කුසගින්න නිවාගන්නට පෙළඹෙන බොහෝදෙනෙකුට පෝෂණය සම්බන්ධයෙන් අවධානයක් දක්වන්නට මතක් වෙන්නේ කිසියම් රෝගී තත්ත්වයකට මුහුණ දුන්පසුව විය හැකිය. නමුත් යමෙකුට පෝෂණය අවශ්‍ය වෙන්නේ කිසියම් ගැටලුවක් සම්බන්ධයෙන් රෝහල් ගත වූ විට පමණක් නොවේ. මෙවර අපි අද සෞඛ්‍ය පිටුවේ විශේෂ අවධානයට බඳුන් කරනුයේ එම කාරණයයි.


අද බොහෝදෙනෙකු ,පෝෂ්‍යදායක ආහාර යනු කුමක්දැයි සොයන්නට කාලය කැප නොකර අධික මේදය සහිත කෙටි කෑම වර්ග මෙන්ම ප්‍රයිඩ් රයිස් යනුවෙන් හඳුන්වන තෙලින් තෙම්පරාදු කරන ලද බත් ආහාරයට ගැනීම විලාසිතාවක් බවට පත්කරගෙන තිබේ. නමුත් මේවායින් සිරුරට ලැබෙනුයේ කිනම් පෝෂණයක්ද යන්න සෙවීමට උනන්දු නොවෙන්නේ කුසගින්න නිවුනු පසු එයින් එහා ඒ සම්බන්ධයෙන් සිතන්නට කාලයක් වෙන් නොකරන බැවිණි. සමහරු තුන් වේලටම බත් කන්නට පුරුදුව සිටින බව පැවසුවත් ඒ තුන්වේල තුළ ආහාරයට ගත් දේ සමබල ආහාර වේලක අවශ්‍යතාවය පිරිමැහුවාද යන්න තැකීමක් නොකරෙයි. බොහෝ විට පරිප්පු පොල් සම්බල වැනි යමක් සමග උදෑසන බත් වේලක් ආහාරයට ගන්නා අය. නැවත දිවා ආහාරයටත් එක් එළවළුවක් හෝ මාළුවක් යොදාගනිමින් උදය ආහාරවේලෙන් දිවා ආහාර වේලට වෙනසක් ඇතිකරගන්නා අතර  රාත්‍රි ආහාරයටද බත් සමග එක් එළවළුවක් හෝ දෙකක් නැතිනම් පාන් වැනි යමක් ආහාරයට ගන්නට හුරු පුරුදුව සිටී. මෙසේ කළක් වැරදි ආහාර පුරුදු හා ජීවත්වන්නන් විවිධ පෝෂණ ඌණතාවයන් මෙන්ම ඒවා පදනම් කොට ගත් රෝගාබාධයන්ට මෙන්ම විවිධ බෝ නොවන රෝගවලටද ගොදුරු වෙන බව නොරහසකි. 
14927683559867_hd
 
නමුත් අපටම ආවේණික වූ ආහාර රටාවක් පැරැන්නන් අතර වූ බව සත්‍යයකි. උදෑසන ආහාරවේලට කිසියම් ධාන්‍යවර්ගයක් හෝ  කුරහන් ආදියෙන් සකස් කළ තලප හාල්මැස්සන් හෝ වෙල් මාලු වැනි හොද්දක් සමග ගන්නට පුරුදුව සිටි ඔවුන් තේ කෝප්පය වෙනුවටද කොළ කැඳ කෝප්පයක් බොන්නට හුරු පුරුදුව සිටියහ එයින් ඔවුන්ගේ උදෑසන ආහාරවේල රජෙකු මෙන් ගන්නට හැකියාවක් ඔවුනට වූයේ පෝෂණය එතරම්ම උසස් තලයක තිබුණු බැවිණි. දිවා ආහාරය ලෙසත් ඔවුන් ඒකාකාරී ආහාර රටාවක් නොව විවිධත්වයෙන් යුතු ආහාර ගන්නට හුරු පුරුදුව සිටි අතර ඒවා බොහෝ විට තම ගෙවත්තෙන් කොරටුවෙන් නෙලා ගත් එළවලු හෝ පලාවර්ග වූ අතර වෙල් මාලු ආදිය කරවල මේ ආහාර වේල් අතරට එක්ව තිබිණි.නමුත් අද එය දිනකට කුමන හෝ එළවලු වර්ගයක් දෙකක් වන තැනට පත්ව ඇති අතර පලතුරු පරිභෝජනයෙන් බොහෝ ඈත්ය. මේ නිසා මෙකළ බොහෝ දෙනෙකු පෝෂණ අෟණතාවයන්ට මුහුණ දී සිටියි.
 සැබවින්ම මෙසේ පෝෂණ ඌණතාවයන් වෙත ගොදුරුවෙන්නේ අප රටේ අය පමණක් නොවේ මෙය ලොව පුරාම පවතින ගැටලුවකි. කෙසේ වෙතත්  පෝෂණය යනුවෙන් හඳුන්වන්නේ පුළුල් පරාසයකට දිවෙන විෂයක් වුවත් අප එයින් අද යකඩ සම්බන්ධයෙන් පවතින තත්ත්වය විමසා බලමු.
0222
යකඩ, අපේ පෝෂණයට ඉතාම අවශ්‍ය සංඝටකයක්. අපි යකඩ ඌණතාවය ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් වශයෙන් මේවන  විට හඳුනාගෙන ඇති   තත්ත්වයක්. එමෙන්ම යකඩ ඌණතාවය ලොව පුරාම ඉතා බැරෑරුම් ප්‍රශ්නයක්ව පවතින්නක් වන අතර විශේෂයෙන්ම සංවර්ධනය වෙන රටවල වඩාත් බහුල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබෙන්නක්.  බොහෝවිට අප නීරක්තිය නැති නම් රක්තහීනතාවය රෝගයක් ලෙස සැලකුවත් එයට පදනම යකඩ ඌණතාවය බව එතරම් සිතන්නේ නැතිවීම ගැටලුවකි. සැබවින්ම යකඩ අපට අවශ්‍යද ඒ කුමක් සඳහාද යන්න අප දැනුම්වත්ව සිටිය යුතු කරුණකි. ආහාර මගින් අප ගන්නා යකඩ ප්‍රමාණය  අවශෝෂණය වී එය රුධිරට එක්වීමෙන් පසුව එයට රතු පැහැය ලැබෙන රතු රුධිරානුවල අඩංගු හිමෝග්ලොබීන් ප්‍රමාණවත්ව තබා ගැනීමට දායක වෙයි පසුව  පසුව හිමොග්ලොබීන්වලින් පොහොසත් එම රුධිරය ශරීරයේ පැවැත්මට අවශ්‍ය නොයෙක් අවයව කරා ගමන් කරනු ඇත. එයින් වඩාත් විශේෂත්වයක් ගනු ලබන්නේ පෙණහලු සිට ශරිරයේ පටක වෙත ප්‍රමාණවත්ව ගෙන යෑමට අවශ්‍ය හිමෝග්ලොබීන්  මෙම යකඩ නිසා ප්‍රමාණවත්ව පවතින බැවිණි. යම් ආකාරයකින් යකඩ අඩුවුවහොත් රුධිරයේ පවතින හිමෝග්ලොබීන් ප්‍රමාණය අඩුවෙයි. එවන් අවස්ථාවකදී යම් පුද්ගලයෙකු නීරක්තියට පත් වූවෙකු යන්න තීරණය කෙරෙයි.  දැන් අප මෙසේ නීරක්තියට ලක්වීම සම්බන්ධයෙන් මෙතරම් කලබල විය යුත්තේ ඇයිද යන්න විමසා බලමු. ? මෙකී ඌණතාවය මොළය , ස්නායු පද්ධතිය, ඇට මිදුළු, පේශීන් වැනි ශරීරයේ එදිනෙදා ක්‍රියාවලියට බලපාන විශේෂිත කොටස්වලට බාධා පමුණුවයි. නමුත් හානිය මෙතැකින් නිමවන්නේ යැයි පැවසිය නොහැකිය. අක්මාවේ නොයෙකුත් දුෂ්කරතාවලටද, මෙය බලපානු ලබන අතරම මෙය ඉතාම භයානක තත්ත්වයක් ලෙස හඳුනාගත හැකි වන්නේ යොවුන් වයසේ පසුවන තරුණියන් ගැබිනියන් බවට පත්වීමේදීය. අවසාන ප්‍රති ඵලය වෙන්නේ එවන් තැනැත්තියක් විසින් උපත ලබාදෙන බිළිඳා දක්වා මෙම යකඩ ඌණතාවයට ගොදුරුවීමේ ඉඩ කඩ සලසන බැවිණි. අප යකඩ සිරුරට අත්‍යවශ්‍යම පෝෂකයක් ලෙස සැලකීමට හා එම ඌණතාවයන් මගහැර ගැනීමට වෙහෙස ගත යුත්තේ එවැනි ඌණතා අපට මහත් හානි ඇතිකිරීමේ අවදානමක් ඇතිබැවිණි.
අප කවුරුත් එතරම් අවධානයක් නොදැක්වුවත් අපේ සිරුරින් යකඩ ඉවත්ව යන අවස්ථාද තිබෙයි. මෙසේ ඉවත්ව යන අවස්ථා  හඳුනාගෙන එම ඉවත්ව යන ප්‍රමාණයට ද සරිලන පරිද්දෙන් යකඩ සහිත ආහාර ලබාගැනීමට උනන්දුවෙන්නේ නමි එයින් ඇතිවන හානිය අවම කර ගත හැකිය.
 
එසේ යකඩ ශරීරයෙන් බැහැරවන අවස්ථා ලෙස සෛල බිඳීම්, කාන්තාවන්ගේ මාසික ආර්ථවය  හා වෙනත් රුධිර වහනයක් හැඳින්විය හැකිය. නමුත් සමහරෙකු ගේ සිරුරේ යකඩ ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ ද තවත් කෙනෙක්ගේ එසේ නොවන්නේ ඇයිද යන්න අප විසින් අවධානය යොමුකළ යුතු කරුණකි.බොහෝවිට එයින් එක් ප්‍රධාන හේතුවක් වනුයේ  ආහාරයේ යකඩ අවශ්‍ය ප්‍රමාණයට අන්තර්ගත නොවීමය. 
 එසේත් නැතිනම් ආහාරයේ ඇති යකඩ උරාගැනීම  අඩුවිය හැකිය. එමෙන්ම ජීවන චක්‍රයේ සමහර අවස්ථාවල යකඩ අවශ්‍යතාවය වැඩිවෙන විට ඊට අවශ්‍ය ප්‍රමාණය නොගැනීමද විය හැකිය. අප ඊට උදාහරණ සැළකුවහොත් ගර්භිණී සමය ළදරු සමය, 1-2 වසර සඳහා අවශ්‍යතාව, යොවුන් විය, පේශින් වැඩීම, රතු රුධිරානු වැඩිවීම, මාස් ශුද්ධිය  ඇතිවීම සැලකිය හැකිය. මේ හැරුණු කොට ශරීරයෙන් අධිකව රුධිරය පිටවීම සම්බන්ධයෙන්ද  අවධානය දැක්විය යුතුව තිබේ. එයට උදාහරණ සැලකුවහොත් දරු ප්‍රසූතිය, අඩු මස් දරු උපත්, කොකු පණු රෝගය, මළ සමග රුධිරය පිටවීම වැනි දෑ වැදගත්ය. සාමාන්‍යයෙන් යකඩ ඌණතාවය හැම ජන කොටසකටම බලපාන්නකි.  අප දැන් ඒවා වෙන වෙනම විමසමු

ගැබිනි මවුවරුන්ට -

මාතෘ මරණ ඇතිවීමේ අවකාශය වැඩි කරයි. 
කළලයේ වර්ධනය හීන කරයි.
උපතට පෙර හෝ අළුත උපන් බිළිඳ මරණ  වැඩිකරයි.

ළදරුවන්ට සහ ළමුන්ට -

 මානසික වර්ධනය හීන වීම
ශාරිරික වර්ධනය දුර්වලවීම
ක්‍රියාකාරීබව අඩුවීම
 රෝගවලට ගොදුරුවීමේ හැකියාව වැඩිවීම

යෞවන යෞවනියන් -

ළදරුවන්ට  සහ ළමුන්ට පෙර සඳහන් ආකාරයටම සිදුවීම

 වැඩිහිටියන් -

ක්‍රියාශීලී බව අඩුවීම 
මානසික අවධානය දුර්වලවීම
ආදායමි ඉපයීමේ හැකියාව අඩුවීම රෝගවලට ගොදුරුවීමේ හැකියාව වැඩිවීම
 
කොහොම නමුත් යකඩ ඌණතාවය නිසා ඉක්මණින් වෙහෙසට පත්වීම, සුදුමැලි පෙනුම, පාඩම් කිරීමට බාධා ඇතිවීම ඇතිවිය හැකිය. යම් අයුරකින්  යකඩ ඌණතාවයෙන් පෙළෙන  යෞවනියක් ගැබිනියක් වුවහොත් නිතර ලෙඩ රෝග ඇතිවීම, දරුවාගේ උපත් බර අඩුවීම, සිදුවිය හැකි අතර එයින් ඇතිවන බැරෑරුම්ම අවස්ථාවකදී දෙදෙනාගේම මරණය  පවා සිදුවිය හැකිය. 
දැන් අපි මෙහි වැදගත්ම කොටස සම්බන්ධයෙන් විමසමු.  ඒ ආහාරවලින් ශරීරයට යකඩ උරාගන්න  පහසු කරවන්නට අපට කුමක් කළ හැකිද යන්නයි. 
සාමාන්‍යයෙන් සත්ත්ව ආහාර  භාවිතයට ගන්නේ නම් ඒවායින් යකඩ පහසුවෙන් ශරීරරයට උරා ගැනෙයි. ඒත් ශාක ආහාර වලින් එසේ පහසුවෙන් යකඩ අවශෝෂණය කරගන්නට නොහැකිය.  නමුත් නිර්මාංශික අය ශාක ආහාර වේලක් ලබා ගැනීමෙන් අනතුරුව විටමින් සී සහිත ආහාරයක්  ලබා ගත යුතුය .අලුත් පලතුරක් ආහාරයට ගැනීම මේ සදහා ප්‍රමාණවත්ය.මේ හේතුවෙන් එහි ඇති යකඩ ප්‍රමාණය පහසුවෙන් ශරීරයට උරාගැනෙයි.  තවද ශාක ආහාර පිළියෙළ කිරීමේදී ඉතා සුළු වශයෙන් හෝ සත්ත්ව ආහාර ප්‍රමාණයක් එක් කිරීම, එළවළු සහ අනෙකුත් ශාකමය ආහාරවල යකඩ උරා ගැනීමේ ප්‍රවණතාවය පහසු කරයි.  එමෙන්ම එම ආහාර වේල් සඳහා  දෙහි තක්කාලි, විනාකිරි, සියඹලා, වැනි දෑ එක් කිරීම මගින් ඒවායේ අඩංගු ඇසිටික් අම්ලය, නිසා යකඩ උරා ගැනීම පහසු කෙරෙයි.  එමෙන්ම වඩාත් වැදගත් වන කරුණක් වනුයේ යම් ආහාරයක් ගෙන පැයක් හෝ දෙකක් යන තුරු තේ හෝ කෝපි වැනි පානයක් ලබා නොගැනීමයි .එයින් ආහාරයේ ඇති යකඩ ශරීරයට උරා ගැනීමට බාධා පමුණුවයි. 

කුද්දෙටි ඉදිමීම, නොසලකා ඉන්නට එපා

 කුද්දෙට්ටක් අතිවීම ගැන බොහෝ දෙනෙක් එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. එසේ ඇතිවන කුඩා ගැටිති කියම් ආකාරයකින් සිරුරේ ඇතිවන කිසියම් අර්බුදයක ලක්ෂණයක් විය හැකිය. නමුත් මෙවන් ගැටිති එළෙස පහසුවෙන් අමතක කර දැමීම එතරම් සුදුසු නොවේ. මේවා පරණවන්නට ඉඩ නොදී ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. ඇතැම්විට මේ කියන කාරණය පිළිබඳ ඔබට  මේවන විටත් යම් ගැටලුවක් මතුව තිබෙන්නට පුළුවන. අප ඒවාට කුද්දෙටි යැයි කියු විට මේ කියන්නේ කුමක් ගැනද යන්න ඔබ හොඳින් හඳුනනවා ඇත.  ශරීරයේ කිසියම් තැනක කුද්දෙටි ඉදිමුමක් ඇතිවී වේදනා ගෙනදෙන විට බොහෝ දෙනා මෙය නම් කිසියම් තුවාලයක් සම්බන්ධ දැනුම්දීමක් බව දැන වහා වහා එම තුවාලයට බෙහෙත් යොදවා සුව කරගන්නට වෙහෙසෙන්නේ එසේ නොමැති නම් තුවාලයේ වේදනාවට අමතරව මේ කුද්දෙටි ඉදිමුමේ වේදනාවද දරන්නට සිදුවෙන බැවිණි. සැබවින්ම මෙසේ කුද්දෙටි ඉදිමෙන්නේ ඇයි? ශරීරයේ කිසියම් තැනක කුද්දෙටි ඇතිවීමට අනිවාර්යෙන්ම තුවාලයක් ඇතිවී තිබෙන්නටම උවමනාද? කුද්දෙටි නැතිනම් වසා ගැටිති මෙසේ ඉදිමීමට තුඩුදෙන වෙනත් ශාරීරික හේතුන් තිබිය හැකිද? අද අප සෞඛ්‍ය පිටුව තුළින් මේ කාරණය සාකච්ඡාවට බඳුන්කරමු.


ent-hero-secondary-top
ඇතැම් විටක අප වසා ගැටිත්තක් ඉදිමීම සම්බන්ධයෙන් සැලකිලිමත්වීමේදී එය පිහිටා ඇත්තේ ඉකිළි ප්‍රදේශයේ යැයි පවසමු. තවත් විටෙක එය කිහිල්ලේ යැයි පවසන අප තවත් විටෙක එය ගෙල ප්‍රදේශයේ ඇතිවී තිබෙන්නේ යැයි පවසමු. සැබවින්ම වසා ගැටිති පිහිටා ඇත්තේ කොතැනකද ? තොකැනක පිහිටා තිබුණත් වසා ගැටිත්තක් ඉදිමෙන්නේ  නිකමට යැයි සිතා අමතක කිරීමෙන් වළකින්න. වසාගැටිත්තක් ඔබට ඉඟිකරනුයේ කුමක්ද යන්න ඔබ විශේෂයෙන්ම සොයා බැලිය යුතු කරුණක් වනුයේ එය මූලික ලක්ෂණ අතරින් එකක් ලෙස මතුකර පැන නගින වෙනත් රෝග නිසාමය. ගැටිත්තක් ලෙස වසා ගැටිත්ත ඉදිමී වේදනා දෙන්නේ ඉකිලිවලද , කිහිලි වලද එසේත් නැති නම් ගෙලෙහි කිසියම් ස්ථානයකද යන්න නොව අප මුලින්ම වසා ගැටිත්ත ඉදිමුණේ මන්දැයි සොයා ගන්නට උත්සහ දරමු . ඔබ රුධිර සංසරණය සේම සිරුරේ වසා පද්ධතිය ගැනත් යමක් අසා දැනගෙන ඇති. වසා පද්ධතිය සිරුරට විසල් මෙහෙයක් ඉටුකරන්නකි. එසේම

මිනිස් සිරුරේ වසා ග්‍රන්ථි යන කොටස් සිරුර  පුරා පැතිරී ඇති දෙයකි. මේවායෙන් සිදුවන්නේ කුමක්ද ,ඇත්ත වශයෙන්ම  සිදුවන්නේ සිරුරේ රුධිරයට අමතරව රුධිරයේ තරලය රුධිර වාහිනීවලින් පිටතට ගිය විට ඒවා වසා තරලය බවට පත්වීමයි. මේ වසා තරලය නැවතත් රුධිර පද්ධතියට ඇතුල්විය යුතුය. එසේ නොවුණහොත් එය ශරීරයේ එකතුවී ශරීරය ඉදිමීමක් ඇතිකිරීමට සමත්වෙයි. රුධිරවාහිනීවලින් පිටවන තරල පිටත ඇති පටකවල එක්රැස්වූ විට ඒවා නැවත රුධිර පද්ධතියට එක්කිරීමට ක්‍රියාකරන නාලවලට අප වසා නාල යැයි කියමු. මෙම වසා නාලවලට අප වසාවාහිනී යන නම ව්‍යවහාර කරමු.  වසාවාහිනී හෘදය දෙසට මේවා ගෙන යනවිට ඒවා වසා ගැටිතිවල එකතුවී වසාවාහිනී හරහා ගමන්කරයි. ඒ නිසා සාමාන්‍යයෙන් ප්‍රධානතම වසා ගැටිති බෙල්ලේ, හිසේ පිටුපස ,කිහිල්ලේ, බඩ ඇතුළත
හා උරස් කුහරයේ  ඇතුළත මැදට වෙන්නට , හා ඉකිලිය වැනි තැන් වල පිහිටා තිබේ. මේ හැරෙන්නට පොඩි පොඩි වසා ගැටිති සිරුරේ සෑම තැනකම පවතින්නට පුළුවන. දණහිස පිටුපස දණහිස ඇතුළත ආදී මේවාට උදාහරණවෙයි. දැන් අප මේවා විශාලවීමක් ඇතිවෙන්නට තුඩුදෙන හේතු මොනවාද යන්න හඳුනාගෙන සිටිමු. සැබවින්ම වසා ගැටිතිවල තිබෙන ප්‍රධානතම කාර්යය වෙන්නේ සිරුරට ඇතුළුවෙන විෂබීජ අපේ සිරුරේ පටකවලට ඇතුළුවූ විට  රුධිරවාහිනීවලින් පිටවන තරලය වසා තරලය බවට පත්වෙන බැවින් එවා විසින් මෙවැනි විෂබීජ එකතුකරගෙන ගොස් වසා ගැටිතිවල තැන්පත්කර එම විෂබීජ විනාශයට පත්කිරීමේ කාරියත් අනෙක් අතට එම විෂබීජ  වසා ගැටිත්තෙහි  තිබියදී එම විෂබීජයට විරුද්ධ ප්‍රතිදේහ නිපදවීමත් ආරම්භකරයි. 

How-to-treat-swollen-lymph-glands

එම නිසා මෙම වසා ගැටිති ඉතාම ප්‍රයෝජනවත්ය. උදාහරණයක් වශයෙන් අප පාදයේ පතුලේ ඇතිවූ තුවාලයක් සලකමු. එවිට එයින් ඇතුළුවන විෂබීජයකට විරුද්ධවීම සඳහා ඉකිලියේ ඇති වසා ගැටිත්ත විශාලවී ඉදිමීමක් දකින්නට ලැබිය හැකිය. ඇතැම්විට මේ වසා ගැටිත්තේ පැසවීමක්ද ඇතිවීමට ඉඩ තිබේ.ඇතැම්විට විශාලවශයෙන් බලපෑමක් ඇතිකරන විෂබීජයක් ඇතුළුවූ අවස්ථාවක එයින් ශරීරයට ඇතිකරන පීඩාව බලවත් නම් එයින් මේ වසා ගැටිත්තේ සැරව ගෙඩියක් ඇතිවීමටද ඉඩ තිබේ. වසා ගැටිති විශාලවීමට ඇති ප්‍රධානතම හේතුව මෙයය. විෂබීජ ඇතුළුවන ස්ථානය අනුව එසේ විශාලවන්නේ මොන කාණ්ඩයේ වසා ගැටිතිද යන්න දැනගැනීමට හැකියාව පවතී. මෙයට උදාහරණ සැලකුවහොත් පයක ඇතිවූ තුවාලයකින් නම් ඉකිලියේද, අතක තුවාලයකින් නම් කිහිල්ලේද හිසේ හෝ ශරීරයේ පපු කොටසේ ඇතිවූ තුවාලයකින් නම් ගෙල පිටුපසද, උගුරේ ආසාදනයක් ඇතිවූ විට ගෙල පෙදෙසේ වසා ගැටිතිද  උදරකුහරයේ ඇතිවන තත්ත්ව වලදී උදර කුහරයේ ඇතුළත වසා ගැටිතිද, ඉදිමීමට පුළුවන.මේ හැරෙන්නට වසා ගැටිති ඉදිමීමකට ලක්කරන තවත් හේතුවකි සිරුරේ ඇතිවන පිළිකා. එවිට භාහිරෙන් යම් තුවාලයක් දකින්නට නැතත් වසා ගැටිත්තෙහි ඉදිමුමක් දැකිය හැකි වෙයි. ඒවා වසා නාල දිගේ පැතිරීමටද පුළුවන. එහෙයින් පිළිකා පැතිරෙන එක් ක්‍රමයකි වසා නාල දිගේ පිළිකා සෛල පැතිරීම . එසේ වසා නාල දිගේ පිළිකා සෛල ගමන්කර ඒවා වසාගැටිතිවල තැන්පත්වීමෙන්  වසා ගැටිතිවලද පිළිකා හටගනියි. ඉන් අනතුරුව පිළිකාව එහි වර්ධනයවීමෙන්ද වසා ගැටිති ඉදිමෙයි. එමෙන්ම මෙම පිළිකාවලට එරෙහිව සටන්කිරීමේ හැකියාවක්ද මෙම පිළිකාවලට තිබේ.නමුත් පිළිකාවලට විරුද්ධව කරන සටනින් බොහෝවිට වසා ගැටිති පරාජයවෙන්නේ පිළිකාව යනු සුළු තත්ත්වයක් නොවන බැවිනි. වසා ගැටිතිවල පිළිකාව තැන්පත්වීම නිසා වසා ගැටිත්තෙන් එහාට පිළිකාව පැතිරීම තාවකාලිකව වැළැක්වෙන,ආරක්ෂක ක්‍රමයක් එහි තිබෙයි. එයින් පිළිකා සෛල පෙරීයාමක් වැනි දෙයක් සිදුවෙයි.

පිළිකා සෛල එහි රැඳීමද එක්තරා ආරක්ෂක ක්‍රමයක් ලෙස සැලකෙන්නේ එබැවිනි. පිළිකා සෛල වසා නාල හරහා මුළු ශරීරයේම පැතිරෙනවා වෙනුවට වසා ගැටිතිවලට පමණක් පැතිරී නැවතීමක් සිදුවෙයි.තරමක් සුලභ නොවන හේතු කීපයක්ද මෙහිදී අවධානයට ලක්විය යුතුය. ඒ වෛරස හේතුවෙන් සිදුවන වසා ගැටිති විශාලවීමයි. බොහෝවිට එසේ විශාලවන වසා ගැටිති එම වෛරස ආසාදනය නැතිවී ගිය විට නැවත කුඩාවීමට හැකියාව තිබේ. ක්ෂය රෝග විෂබීජය ඇතුළුවූ විටද එම වෛරස ඇතුළු වූ කොටසේ වසා ගැටිති ඉදිමීමකට ලක්වෙයි. පෙනහළුවලින් ඇතුළු වූ විට පෙනහළුවේ මැද වසා ගැටිති විශාලවෙයි. මෙම විෂබීජය  උගුරෙන් ඇතුළුවූ විට බෙල්ලේ වසා ගැටිති ඉදිමෙයි. ඇතමුන් මෙම වසා ගැටිති හා ෂෙබේසස් සිස්ට් යනුවෙන් හඳුන්වන සමේ ඇතිවන ගැටිති හා පටලවා ගනී. නමුත් වසා ගැටිති හටගන්නේ සමට බොහෝ යටිනි. නමුත් ඇතැම්විටක වඩා විශාල වූ වසා ගැටිති හා විශාලවූ සෙබේෂස් සිස්ට් වෙන්කර හඳුනාගන්නට අපහසුවක් මතුවිය හැකිය. කලාතුරකින් පරපෝෂිතයින් හේතුකොටගෙනද  මෙම වසා ගැටිති මතුවෙන්නට පුළුවන. ලංකාවේ මෙසේ බහුලවම දැකිය හැකි පරපෝෂිත විශේෂයකි බළලුන්ගේ  මළ කොටස්වල වෙසෙන ටොක්සොප්ලාස්මා නම් පරපෝෂිත විශේෂය. මේවා මිනිස් ශරීරවලට ඇතුළු වූ විට වසා ගැටිතිවලට ගිය විට ඒ හේතුවෙන් වසා ගැටිති ඉදිමීමකට ලක්වෙයි.. ඒ නිසා විශේෂයෙන් ගර්භීණී මවකට මෙම පරපෝෂිත විශේෂයෙන් බලපෑමක් ඇතිවූ විට එය ගැබේ සිටින දරුවාට විවිධ සංකූලතා මතුකරවීමට බලපෑ හැකිය. 

ඊළඟට තවත් ආකාරයකින් ලංකාවේ ඇතිවිය හැකි කලාතුරකින් නමුත් වාර්තා වෙන පරපෝෂිත උවදුරකි ලීෂ්මානියා යනුවෙන් හඳුන්වන පරපෝෂිතයා. වැලි මැක්කන්ද එවන් පරපෝෂිත විශේෂයකි. නමුත් මුලදී අප කීවාක් මෙන්  පිළිකා තත්ත්වයන්වලදී හැරුණු විට  තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවෙන පිළිකා තත්ත්ව මුලින්ම බෙල්ලේ ඇතිවෙන කුද්දෙටි ඉදිමීමක් හරහා වුවද දැනගැනීමේ හැකියාව ඇත. එමෙන්ම පියයුරු පිළිකාවලදීද කිහිල්ල ආශ්‍රිතව මෙවන් කුද්දෙටි ඉදිමුමක් දැකිය හැකිය. ශල්‍යකර්මවලට ලක්කිරීමේදී එම පිළිකාවලදී වසා ගැටිතිද ඉවත් කෙරෙයි. වසා ගැටිති විශාලවූ විට ඉවත් කරන්නට පළමුව මේවා නිසි පරිදි පරීක්ෂාවට  ලක්කළ යුතුය.

සාමාන්‍යයෙන් කුද්දෙටිවලින්ම ඇතිවෙන පිළිකාද පවතී. එනම් වසා සෛලවලින් ඇතිවන පිළිකාද මෙහිදී අවධානය යොමුකළ යුතු කරුණකි.මෙය  වඩාත් හොඳින් නිරීක්ෂණය කළ යුතුවන්නේ මෙවැනි අවධානමක් පවතින බැවිනි. සැබවින්ම මෙවැන්නක් දුටුවහාම වෛද්‍ය පරීක්ෂාවකට ලක්වීමට පමා නොවෙන්නට වගබලා ගන්න. අවශ්‍ය පරීක්ෂණවලට යොමුවෙන්න. පළමුව ඉඳිකටුවකින් විද ලබාගන්නා  සෛල පරීක්ෂාවක්ද  අනතුරුව ලොකු සිදුරක් ඇති ඉදිකටුවක් මාර්ගයෙන් කුද්දෙටියෙන් කොටසක් ගෙන සිදුකරන පරීක්ෂණද සම්පූර්ණ කුද්දෙටියම ඉවත්කර කරන පරීක්ෂණද මෙයට ඇතුළත්ය. කෙසේ නමුත් මෙය මදක් සංකීර්ණ කරුණකි. මේ අනුව වසා ගැටිති සම්බන්ධයෙන් නොසැලකිලිමත් නොවිය යුතුය. වසා ගැටිතිවල රෝගය පවතින අවස්ථාවේදී මෙය හඳුනාගතහොත් එයින් පිටතට රෝගය ව්‍යාප්තවීමේ හැකියාව අහුරා දැමිය හැකිය.  මේ නිසා වසා ගැටිත්තක් ඉදිමෙන්නේ එයට ඉටුකරන්නට වෙනත් කාරියක් නැති නිසා නිකමට යැයි නොසිතන්න .

එය ඔබට කිසියම් අනතුරු ඇඟවීමක් සිදුකරන්නේද යන්න දැන ගැනීමට ඔබේ ශල්‍ය වෛද්‍යවරයා මුණගැසී සාකච්ඡා කරන්න. බොහෝ විට මෙවැනි සරල ලක්ෂණ නොතකා හැරීම තුළ ඔබ වඩාත් දරුණු සංකූලතා සමග පොරබදන්නට සිදුවන යුගයකට අතවනනවා විය හැකි බැවින් ප්‍රථමයෙන්ම ඔබ ඔබේ නිරෝගීතාවය සම්බන්ධ කිසියම් නිශ්චය සහතිකයක් ලබන්නට උත්සහ දරන්න. මේ කරුණු ඔබේ මතකයට එක්වීම වඩා වැදගත්වනුයේ ඔබේ සමීපතමයන්ගේ ආරක්ෂාවද මෙවන් තත්ත්වයකදී ඔබ අතින් සහතික වෙන බැවිණි. අදම ඔබ ඔබේ දැනුමට එකතුකරගත් දේ ඔබේ සමීපතමයන්ගේ සෞඛ්‍යයේ සුරක්ෂිතතාව සඳහාද ආදේශ කරන්නට අමතක නොකරන්න. 

Is-Anxiety-Causing-Your-Swollen-Lymph-Node-Pain-Seven-Ways-to-Stop-It

 

සීතල නිසා මේ දිනවල ලෙඩ රෝග වැඩි වෙලාද?

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සීත දේශගුණයත් නිසා බොහෝ දුරට ලෙඩ දුක් වැඩියෙන් ඇතිවෙනවා කියලා ඔබට දැනෙන්න පුලුවන් ඒ වගේම ඇත්තටමත් එවැනි තත්ත්වයක් දකින්න පුලුවන්. නමුත් මේ ඇතිවෙන සමහර ලෙඩවලට බොහෝ දෙනාට එක්වරම මතක් වෙන්නෙ ක්ෂණික සහනයම පමණයි.  එහෙත් එක වරම කලබලවෙලා  ප්‍රතිජීවක ඖෂධ හෝ බෙහෙත් අහුරු බොන්නට කළින් නිවසේ කළ යුතු සාර්ථක වත්පිළිවෙත්  රැසක්ම අතීතයේ සිට පාරම්පරිකව අපට පවතින බව ඔබ හොඳාකාරවම දන්නා කරුණක්. එකක් පමණක් නෙවෙයි මෙවැනි ක්‍රම බොහෝමයක්ම තිබෙනවා. ඒවායින් බොහෝදුරට ලෙඩ රෝග හැදෙන්න කළින්ම ප්‍රවේශම් වෙන්න හැකියාවත් තිබෙනවා. අතීතයේ  මිනිසුන් මෙවැනි සෘතුවලදී ඇතිවෙන වෙනස්කම් හොඳින්ම හඳුනාගෙන සිටි බවට ඔවුන් සමාජ ගත කළ ඇතැම් වැකි තුළත් ගැබ්ව තිබෙනවා. 'ශීතකරයි උදුවප් මහ දුරුත්තේ' යනුවෙන් ඔවුන් පැවසූවේ දෙසැම්බර් සහ ජනවාරි මාසවල ශීත දේශගුණයක් ඇතිවන බව යි. ශිත කාලේ වාතයේ ජල වාෂ්පවලත් වැඩි බවක් දකින්නට පුලුවන්. ගස්වල කොළ හැලෙන නිසා පරිසරයේ පවිත්‍රතාවයටත් යම් යම් බලපෑම් ඇතිවෙන්නට පුලුවන්. මෙන්න මෙවැනි දේ ගැන දැනුම්වත් බවක් නැති අයට ඒ ගැන මතක් කිරීමක් කරන්න අපි අද සෞඛ්‍ය පිටුවේ ප්‍රධාන ලිපිය වෙන් කරන්නට අදහස් කළා.


defensas-mucosas-respiratorias-propicia-propagacion_1105999757_64732954_1534x1024

 වැස්සත් එක්ක මේ දවස්වල වාතයේ ජලවාෂ්ප ප්‍රමාණය අධිකවන නිසා,  සමහරුන්ට ස්වසන ආබාධ වැඩිබවක් දකින්න පුලුවන්. ඒ වගේම මෙවැනි කාලයක  ඇදුම රෝගීන්ට තම රෝග තත්ත්වයන් වැඩිපුර මතුවෙන්නට ඇති ඉඩ කඩ විශාලයි. වැස්ස නැතිකාලෙටත් නාසය තුළින් ඇතුලු වන දූවිලි හෝ මල් පරාග හෝ සත්ව ලොම්  වැනි දෑට ඇතිවන අසාත්මික තත්ත්වයන් හේතුවෙන් ස්වසන මාර්ගය තුළ ඇතිවන ඉදිමීම් නිසා සමහරුන්ට ඉන්හේලර සහ දුම් ඇල්ලීම වැනි ප්‍රතිකාර ක්‍රමවලට නිරන්තරයෙන්ම යොමුවන්නට සිදුවිය හැකියි. සීත වැඩි කාලයට ජලවාෂ්ප හේතුවෙන්ද මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නට පුලුවන්. නමුත් මෙවැනි රෝගවලට බටහිර වෙදකම පැමිණෙන්නට පෙර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඉතාම සාර්ථක පිළියම් සහ ප්‍රතිකාර  පැවති බව ඔබ නොදන්නවා ඇති. මෙසේම පැන නගින තවත් ගැටලුවක් වනුයේ පීනස වැනි කිවිසුම් අධිකව ඇතිවෙන ස්වසන ආබාධ තත්ත්වයනුයි. මෙවන් කාලවකවානු තුළ පීනස් රෝගීන් කළ යුතු නොකළ යුතු වත් පිළිවෙත් රාශියක්ම පවතිනවා. ප්‍රතිශක්තිය හීනවීම තුළ ඇතැම් කුඩා දරුවනුත් සෙම් සොටු වගුරවමින් සෙම් ප්‍රතිශ්‍යාව කැස්ස වැනි ආබාධයන්ට පහසුවෙන් ගොදුරු විය හැකියි.  මෙවන් අවස්ථාවල භාවිත කළ හැකි ප්‍රත්‍යක්ෂ ඖෂධ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පවතින අතර ඒවා භාවිත කිරීම කළ යුත්තේ රෝග තත්ත්වය හරි හැටි හඳුනාගැනීමෙන් අනතුරුවය. බොහෝවිට බාන්වැල් ගැට  යනුවෙන් හඳුන්වන( එමෙන්ම මෙයට වෙනිවැල් ගැට යනුවෙන්ද භාවිත කරයි.)  කබලේ බැද කුඩු කරගත් කොත්තමල්ලි සමග තම්බා පානයක් සේ සකසා බීමට සුදුසු අතර එයින් ප්‍රතිශක්තියේ වර්ධනයක් ඇති කෙරෙයි.  නමුත් කොත්තමල්ලි අමුවෙන් යොදාගැනීම සෙම් තත්ත්වය වැඩි වූ බවක් පෙන්වන්නට සමහරුන්ට හේතු විය හැකිබවද අමතක නොකළ යුතුය.කොත්තමල්ලි කබලේ බැදීම යනු කලු පැහැය ඇතිවන තෙක් කර කිරීම නොවේ. ඇතමුන් මෙම පානය අප්‍රිය කරන්නට හේතුව කොත්තමල්ලි අධික ලෙස කර කර ගැනීම නිසා මතුවන කර රසයයි.කොත්තමල්ලි කොහොමත් දුඹුරු පැහැයක් ගන්නා නිසා කොත්තමල්ලි කොතරම් බැද ගත යුතුද යන්න බොහෝ දෙනා නොදනී. තද දුඹුරු පැහැයක් නැතිනම් කොත්තමල්ලි සුවඳ මතුවන තුරු කබලේ බැද ගැනීම එම පදම වශයෙන් හැඳින්විය හැකිය. කොත්තමල්ලි දෙමිටක් පමණ යොදා ගන්නේ නම් වතුර පත හතරක් හෝ හයක් යොදා පත එකට සිඳවා ගැනීමෙන් නිසි පදමට කොත්තමල්ලි ටික තම්බා ගන්නට ඔබට හැකිය. සෙම මෙන්ම පීනස් ගතියද මෙයින් මද සහනයක් ලබා ගත හැකිය.

එමෙන්ම නාසයෙන් සොටුදියර ගලන්නේ නම් එවැන්නන් රාත්‍රි කාලයේ ස්නානය හා හිමිදිරි පාන්දර ස්නානය වැනි ඇවතුම් පැවතුම් වෙනස් කර ගත යුතුය. හිරු එළිය හොඳින් පවතින අවස්ථාවක ස්නානය කිරීමට ප්‍රථමව වෙනිවැල් ගැට වැනි පානයක් සකසා අඩුම තරමේ අඬු කෝප්ප භාගයක්වත් බොන්නට දී ශීතල ඉවත්ව ගිය වතුරින් දරුවන් නාවන්නේ නම් බොහෝදුරට සෙම් ගතිය ඇතිවීම පාලනය කළ හැකිය. වෙනිවැල් ගැට තැම්බූ වතුර මදක් තිත්ත රසයක් පවතින බව සැබවි. නමුත් නිසි පදමට වෙනිවැල් කැබැල්ල තම්බා ගැනීම වැදගත්ය. වතුර මද කහ පැහැයට හැරෙන නමුත් එය නිසි පරිදි තැම්බිමක් නොවේ. මදක් තද කහ දුඹුරු පැහැයකට හැරෙන ආකාරයෙන් තැම්බීම හොඳින් වෙනිවැල් ගැට කැබැල්ල තැම්බී ඇති බව අඟවන ලක්ෂණයකි. මේ හැරෙන්නට ශිත කාලවල ඔබ අපහසුතාවයට පත්කරන තවත් එක් තත්ත්වයකි සම වියළීම. සමේ ඇති තෙල් සහිත ස්වභාවය සමෙන් ඉවත්ව යාමට ශීතල බෙහෙවින්ම ඉවහල් වෙයි. සමේ කොරළ තත්ත්වයන් ඇතිවන්නට මෙන්ම තාවකාලිකව සමේ රැළි සහිත බවක් දිස්වීම සම වියළී යාම නිසා බොහෝවිට මතුවන්නකි. මේ ස්වභාවයට පත් සම කැසීමට ලක්වී නියපොතුවලින් සීරීයාම නිසා ඉස්මගලන සුලු තුවාල ඇති වී ඒවා ඇතිවූ අත් පා වණවන බවක්  පෙන්වමින් ඉදිමීම් ඇතිවන්නටද ඉඩ තිබේ. එවන් අවස්ථාවල බොහෝ දෙනෙක් උණුවතුර භාවිත කරන්නට හුරු පුරුදුව සිටින බව අප කවුරුත් දන්නා දෙයකි. මද උණුසුම් ජලය මෙන් නොව  වඩා උණු වතුර නිසා සමේ ඇති තෙත් ගතිය නැතිනම් තෙල් ගතිය ඉවත් වී තවත් වියළෙන්නට හැකියාව පවතියි. මේ නිසා උණුවතුර භාවිතය කළ යුත්තේ පරෙස්සමෙනි. කිසියම් සෙම අමාරුවක් නැති නම් හෝ විශේෂිත රෝග තත්ත්වයන් නැතිනම් ස්නානය සඳහා වඩාත් සුදුසුම ජලය ඇල්වතුරයි. එසේත් නැති නම් කාලීනව ඇතිවෙන එක්සීමා යනුවෙන් හඳුන්වන ආයුර්වේද ක්‍රමයේදී රක්තයා වශයෙන් හඳුන්වන දෙපා කැසීම නිසා ඉදිමී ඉස්ම ගැලීම වැනි තත්ත්වයකදී එම තුවාල සේදීම සඳහා විශේෂ ඖෂධ සංයෝග යෙදූ තැම්බුම් ජලය යොදා ගැනීමෙන් ඉක්මන් සුවය වෙත ළඟාවිය හැකිය. නමුත් මෙය වෛද්‍යවරයෙකු වෙත රෝගී තත්ත්වය පෙන්වා පරීක්ෂා කර ගැනීමෙන් අනතුරුව ලියවා ගත යුතු ඖෂධ පන්ති වේ.   සුවය යනුවෙන් හඳුන්වන ආයුර්වේද ඖෂධයද එසේ දියර ගලන තුවාල කුෂ්ට ආදිය සැරව ගෙඩි ඇතිවිට යන තත්ත්වයන් සඳහා ආලේප කිරීමෙන් ඉක්මණින් තුවාල වේලා ගැනීමට හැකියාව පවතී.( කිසියම් අද පාඨකයෙකුට එසේ ඉස්ම  ගලන තුවාල සහිත තත්ත්වයන් සඳහා  තුවාල සේදුම් දියර සකසා ගන්නට අවශ්‍ය වන උපදෙස්  පමණක්  නොමිලයේ මොරටුව රාවතාවත්ත චාර්ල්ස් පෙදෙසේ  අංක 54/ සී  හි පිහිටි සුවතරු ඖෂධාලය වෙත ගොස්  රෝග පරීක්ෂා කරවා ගෙන  ලබාගැනීමේ අවස්ථාව මේ පුවත්පත ඉදිරිපත් කිරීමෙන් ලබාගත හැක. 

dry-chapped-lips

 මේ අතර තවත් බොහෝ පීඩා විඳින තත්ත්වයකි ආතරයිටිස් තත්ත්වය.  ආතරයිටිස් රෝගීන්ට සීතල මෙන්ම වැසි ජලය හා දෙපා ගැටීමද අගුණය. මේ හැරෙන්නට  බතල, කඩල, මුං ඇට, කව්පි, වම්බටු, මෑකරල්,   බණ්ඩක්කා  වැනි ආහාර භාවිතය අත්හැර දැමීමට වගබලා ගත යුතුය.  ඇඟ පත කසමින් දියර ගලන රෝගීන්ට මෙන්ම රක්තයා තත්ත්වය හේතුවෙන් දෙපා තුවාල ඇතිවී ඉදිමුණ රෝගීන්ටද  අන්නාසි, අඹ, රඹුටන්, ගඩු ගුඩා, මැංගුස්, ජම්බු, කාමරංකා, ඇඹරැල්ලා, වැනි ඇසිඩ් සහිත උෂ්ණ අධික පලතුරු වර්ගද ඉස්සෝ ,දැල්ලෝ, බෝල්ලු, හුරුල්ලෝ , කෙළවල්ලෝ, සැමන්, කරවල වර්ග,  සියලු මස්වර්ග, ඌෂ්ණ අධික එළවලු වර්ගද අගුණය මේ හැරෙන්නට මොනොසෝඩියම් ග්ලූටමේට් යෙදූ  සියලු ආහාර සකස් කළ කෝපි වර්ග , කෝපි වොක්ලට් සහ චොක්ලට් පානවර්ග  සෝස්වර්ග ආදියද බැහැර කරන්නට වගබලා ගන්න.  මෙකළ මෙවන් ලක්ෂණ මතුකරන ඔබේ සිරුර වෙනුවෙන් කැකිරි , පිපිඤ්ඤා, පතෝල, වැටකොලු, ආදී සාමාන්‍ය එළවලු වර්ග,  පලා වර්ග, සාරණ නීරමුල්ලිය. පොල්පලා වැනි ඖෂධීය පාන වර්ග, බාර්ලි වතුර, සව් කැඳ, බෙලි මල් ඉරමුසු ආදී  පාන වර්ග නිතර භාවිතයට ගන්න.

සීතල නිසා සම වියළී කුඩු හැලෙන්නට  හෝ සම යන්නට පටන්ගෙන නම්  රෝසවතුර සමග රුවනාරී ආයුර්වේද ඖෂධය දිය කර ආලේප කර පැයකින් පමණ සෝදා හරින්න. මෙවන් දිනවල සමට සුදුහඳුන් ආලේපකිරීමෙන් වළකින්න.  සුදුහඳුන් සහිත ආලේපන සමේ වියළීමට යම් ආකාරයක උපකාරයක් සලසන බැවින් එසේ කිරීම යෝග්‍ය නොවේ.ශීතකාලය හා මතුව එන රෝග සහ ඒවායින් මිදෙන මග පිළිබඳ තවත් තොරතුරු  0112641733 දුරකතනයෙන්ද www.suwatharu.com වෙබ් අඩවිය ඔස්සේ ද ලබාගත හැකිය. ශීත සුළඟ විසින් සමේ තෙත් සහිත බව මැඩලන බැවින් වැඩිපුර ප්‍රමාණයක් උණුකර නිවාගත් ජලය පිපාසය දැනෙන තෙක් නොඉඳ පානය කරන්න.  ආතරයිටිස් රෝගය හා සන්ධී ඉදිමුම ඇත්නම් වැහිවතුර   හා ගැටීමෙන් වළකින්න. මේ දිනවල පවතින අධික සීතල ඔබේ දෙතොල් පෙති ද වියළා දමනු ඇත ඉරිතලා ගිය බවක් දෙතොල් පෙතිවල ඇත්නම් ඒ සම වියළි ගිය බව අඟවන සළකුණකි. මෙවන් වස්ථාවක දෙතොලේ නිරෝගී සමක් ඇති කර ගැනීම වෙනුවෙන් බටර් ස්වල්පයක් හෝ ඔලිවු තෙල් ස්වල්පයක් ගල්වා දෙතොලේ සම සෙමින් පිරිමැදීමෙන් වියලී ඉරිතලා යන සම මදක් ශීත බලපෑමෙන් බේරාගැනීමට හැකියාව පවතී.

 

හෙද සේවාවේ පුරුෂ පක්ෂයට හිමි සියයට 5 සීමාව සංශෝධනයට සැරසේ

හෙද සේවාව සදහා පුරුෂ පක්ෂය මෙතෙක් බඳවා ගන්නා ලද සියයට 5 සීමාව සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතාට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ හෙද හෙදියන් 10, 000 ක් පමණ හිගයක් ඇති බවත්, ඒ සඳහා පිළියමක් ලෙස හෙද විද්‍යාල සංවර්ධනය කර පුහුණු කරන හෙද හෙදියන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවැසීය. එසේම හෙද පීඨයක් ද ස්ථාපිත කර හෙද උපාධිධාරින් 2000 ක් එකවර පුහුණූ කිරීමට නියමිත බවත් ඔහු පැවැසීය.

495722171

 

නිසි අවධානයෙන් දුරු කරමු ලාදුරු

ඕනෑවට වඩා ජනාකීර්ණ ප්‍රදේශයක ගැවසෙන්න වුණාම  ඒ ඒ  පළාත්වලින්  මොන මොන ලෙඩ රෝග බෝ වෙයිද කියන සිතුවිල්ල ඇතිවෙන එක කාටත්  පොදුයි. මේ නිසා අපි හැමකෙනෙක්ම එවැනි ජනාකීර්ණ ප්‍රදේශවල ගැවසෙන කාලය පුලුවන් තරම් අඩු කරගන්න කැමති වුණත් අපත් නොදැනිම අප වඩාත් ජනාකීර්ණ පරිසරයක ගැවසෙමින් සිටින විට ඒ ගැන සතුටට පත්වෙන ඇතැම් රෝගකාරකයන් තිබෙනවා. පිරිසුදු වාතය සම්බන්ධයෙන් අපි හැමකෙනෙක්ම උනන්දු වෙන්නේ වාතය හරහා බොහෝ රෝග බීජ අපේ සිරුර ආක්‍රමණය කරන්නට කටයුතු කරන බවට අප තුළ තිබෙන ආකල්පය නිසාමයි. එහිදී ඔබ වැරදි යැයි පවසන්නට කිසිවෙකුටත් නොහැකියි. ඒ සැබවින්ම අප අද කතාකරන මෙම රෝගකාරකයත් අපව ආක්‍රමණය කරන්නේ අප හුස්ම ගන්න වාතය හා එක්ව නිසායි. කොහොම වුණත් අපි මේ  ඉන්නේ කිසියම් රෝගකාරකයක් ගැවසෙන වාතය සහිත  වටපිටාවක කියලා ස්ථිර වශයෙන්ම  කළින්  අඳුනගන්න අවස්ථාවකුත් අපට නැහැ. මේ නිසා අනාරක්ෂිත වටපිටාවක් බව තීරණය කරන්න වෙන්නෙ අනුමානයෙන්. එහෙම නැතත් ඔබට මෙහෙම අනතුරු ඇඟවීමක් කළ හැකියි. ඒ ඔබ වඩාත් ජනාකීර්ණ වටපිටාවක වැඩි පුර ගැවසෙන අයෙක් නම් ඔබට  යම් යම් බෝවන රෝගවලින් තර්ජනයක් ඇතිවෙන්න පුලුවන් බවයි. විශේෂයෙන් ලාදුරු රෝග බීජය කියන්නෙ මේ වගේ එකක්. ඒ නිසා මේ ගැන අද සෞඛ්‍ය පිටුවෙන් ඔබව දැනුම්වත් කරන්නට අපි අද ඉඩක් වෙන් කළා.


'ලාදුරු'  මේ කියන රෝගය දැන් නැහැ කියලා බොහෝ දෙනෙක් සිතා සිටියත් ලාදුරු අපේ රටෙන් මුලුමණින්ම තුරන් වී නැහැ. ඇත්තෙන්ම මේ මෙහොතේත් ඔබ ලාදුරු රෝගය ඇතිකරන බැක්ටීරියාවට නිරාවරණය වෙන අවධානම දරන බව නම් අමතක කරන්න එපා. ඒ වගේම ලාදුරු ගැන ඕනවට වඩා බය වෙන්නත් එපා .එසේ යම් අයුරකින් ඔබ ලාදුරු රෝග බීජයට නිරාවරණය වී ඇති බව පෙන්වන රෝග ලක්ෂණයකින් පෙළෙනවා නම් , ඒ ගැන එක්වරම සසල වෙන්නටත් එපා. කිසිම විකෘති වීමක් හානියක් ඇතිනොවෙන පරිද්දෙන් වගේම තවත් අයට බෝකිරීමෙන් වැළකෙමින් එයින් සුවය ලබන්නට හැකි බහුවිධ ප්‍රතිකාර ක්‍රමයක් ලාදුරු රෝගය වෙනුවෙන් දැන් අපේ රටේ  පවතිනවා. අවශ්‍ය වෙන්නේ කළට වේලාවට ඔබ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම පමණයි.

2

 ලාදුරු  යනු ඇඟිලි කුණු වී හැලී යන දෙපා විකෘති වී දියවී යන රෝගයක් වශයෙන් කළකට පෙර මේ රෝගය සම්බන්ධයෙන් මිනිසුන් සිතා සිටි බව ඇත්ත. එවන් මතයක් ගොඩනැගෙන්නට සැබවින්ම හේතු වුණේ, මෙම රෝගය සමට සහ පර්යන්ත ස්නායු පද්ධතියට හානි පමුණුවන නිසා රෝගයේ උත්සන්න අවස්ථාවේ ඇඟිලි ආදිය තරමක විකෘති පෙනුමකට ලක්වන නිසයි. නමුත් කිසිවිටක ඒවා කුණු වී හැලී යන තත්ත්වයක් ඇතියි සිතමින් ප්‍රතිකාර මගහැරිය යුතු නැහැ. දැන් පවතින අතිසාර්ථක බහුවිධ ප්‍රතිකාරයන් නිසා ලාදුරු කිසිම විකෘතියක් ඇතිනොකරන පරිද්දෙන් නිට්ටාවටම සුවකළ හැකි රෝගයක් බවට තහවුරු වී පවතිනවා. රෝගය බෝවෙන්නේ කොහොමද කියන එක ගැන අපි පළමුව කතාකර සිටිමු. මේ රෝගය ඔබට ගෙන එන්නේත් අපේ පරිසරයේ පවතින බැක්ටීරියාවක්. පරිසරයේ පවතින බැක්ටීරියාවක් යැයි කීවත් මෙය මිනිසාගෙන් මිනිසාට බෝවන බැක්ටීරියාවක්. මිනිසාගෙන් මිනිසාට බෝවෙන්නේ කෙසේදැයි විමසා බැලුවහොත් ඒ,බෝවන ගණයේ  ලාදුරු බැක්ටීරියාවන් සහිත කෙනෙක් හයියෙන් කතාකිරීම, කිවිසීම හඬ නගා සිනාසීම,කැස්ස  යන අවස්ථාවකදී වාතය වෙත නිකුත් කරන අදාල පුද්ගලයාගේ කෙළ බිඳිති වාතය හා මුසුවී නිරෝගීCapture පුද්ගලයාගේ ආශ්වාස වාතය හා ශරීරගතවීමෙන්. නමුත් මෙම කාරිය අප සිතන ආකාරයට අද බැක්ටීරියාවට නිරාවරණය වී හෙට රෝග ලක්ෂණ මතුකරවන්නක්  නම් නෙවෙයි. සමහර විට අද ඔබේ ශරීරයට එසේ එක්වන  බිඳිතිවලින්  ඔබට ලාදුරු රෝගය මතුකරවන්නේ නම් , එහි බීජෞෂණ සමය නැතිනම් රෝගබීජ ක්‍රියාත්මකවීමට ගතවන කාලය   , කෙටි කාලයක සිට අවුරුදු  තුන සිට පහ දක්වා මෙන්ම අවුරුදු දහය සිට පහළොව දක්වා වැනි කාලයක් වුවත්  වීමට ඉඩ තිබෙනවා. මේ නිසා  මේ ගැන අවදානමක් අපට ඇතිවෙමින් පවතින්නේද යන්න පිළිබඳ  පූර්ව අවධානය යොමුකරවන්නට අපට ඇති එකම මග සැලසී ඇත්තේ අපේ සමේ මතුවන ලක්ෂණවලින් . නමුත් සමේ මතුවන මේ ලකුණු ඇතැම්විට ඔබ විසින්ම වරදවා වටහාගෙන නොසැලකිලිමත්ව පසුවෙන්නට ඉඩ තිබෙනවා. පිටේ මතුවන  මෙවැනි ලප ඇතැම්විට නොදකින්නට ඉඩ ඇතත් දුටුවන් එය පැවසූවිට හෝ ඒවා අලුහම්ද නැතිනම් වෙනයම් ලපද යන්න සොයාබලමින් කාලය නොගෙවා වහාම චර්ම රෝග සායනයක් වෙත ගොස් පරීක්ෂා කරවා ගන්න. අලුහම් වුවත් එයද සමේ සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. එය සම මත වැවෙන දිලීර රෝගයක්. අනෙක් කාරණය නම් මෙය මුලු සිරුරේ සම පුරාම පැතිර යා හැකියි. එසේම මෙවැනි අලුහම් ලප දහඩිය දමන අවස්ථාවලදී සම මත කැසීමක් මතුකරන්නට හැකියි. එවැනි ලප සීරූ වීට සුදු පැහැති සියුම් කුඩු ආකාරයට ගැලවී යන සම් කොටස් දැකිය හැකියි. එහෙයින් එයද චර්ම රෝග ප්‍රතිකාර ලැබිය යුතු අවස්ථාවකි. හිතුමතයට ගල්වන ආලේප වර්ග නිසා සම දැවී රලු වී කලු පැහැ ගැන්වි හානි පැමිණවීමට පුලුවන්. මේ නිසා වඩාත් සුදුසුවන්නේ මේවා ගැන තවත් හොඳින් පරීක්ෂාකරවා ගෙන ප්‍රතිකාර පැතීමයි. ලාදුරු ලප සමේ පැහැයට වඩා මදක් ලා පැහැයක් දරන එමෙන්ම මදක් ඉළිප්පුන ස්වභාවයක් ඇති ලප විශේෂයකි. ඒවා තරමක ඝනැති බවක්ද දකින්නට හැකියි. විශේෂම ලක්ෂණය වන්නේ මේ ලප මත කිසියම් ආකාරයකින් තියුණු උල් සහිත උපකරණයකින් මද පීඩනයක් දුන් විට කිසිම ආකාරයක දැනීමක් වේදනාවක් ඇති නොවීමය. මෙවන් දැනීම් රහිත ලප බොහෝවිට ලාදුරු රෝගයේ ලක්ෂණයන්වීමට ඉඩ තිබේ.

ලාදුරු රෝගයේ රෝගබීජ ශරීරගත වූ සැණින්ම රෝග ලක්ෂණ මතුනොකරන්නා සේම  රෝගබීජ ශරීරගත වූ හැමෝටම රෝග ලක්ෂණ මතුවීමක් නැත. නමුත් සාමාන්‍යයෙන් සෑම වසරකම  අලුතින් ලාදුරු රෝගයට ගොදුරු වූ රෝගීන් 2000 ක් පමණ හමුවන අතර එයින් සියයට 41 ක්ම බස්නාහිර පළාතින් රෝගයට ගොදුරු වූවන් ලෙස වාර්ථා වෙයි. එයිනුත් බෝවන වර්ගයේ ලාදුරු රෝගීන් 48%කි .මේ නිසා ගමෙන් නගරයට පැමිණ ජනාකීර්ණ පරිසරයක ගැවසෙමින් රැකියාකරන ඉගෙනගන්න තරුණ ඔබ මෙවන් නිහඬ බැක්ටීරියා ආශ්‍රිත රෝගයන් පිළිබඳව වඩාත් දැනුම්වත්ව සිටින්නට උත්සහ දරන්න.මේ රෝගයත් සමග විකෘතිතා මතුවන්නේ යැයි ඔබ අසා ඇති කතාවට බිය නොවී වහාම ප්‍රතිකාර වෙත යොමුවෙන්න .එයින් කිසිම ආකාරයක විකෘතිතාවයක් නොමැතිව ඔබට රෝගය මුලුමණින්ම සුවකරගැනීමට පුලුවන.

leprosy-affected-Person

ලාදුරු රෝගය අවුරුදු පහළොවට අඩු දරුවන්ටද බලපෑම් එල්ලකර තිබුණු අතර මේ වයස්වල දරුවන් ඒතරම් තම සමේ ඇතිවන වෙනස්කම් පිළිබඳව සොයා නොබලන්නට හැකිය. එවන් අවස්ථාවල ඔවුන්ගේ සිරුරේ ඇතිවන ලපවල වගකීම අලුහම් යන තත්ත්වයට නොපවරා වැඩිහිටියන් විසින් මේ දරුවන් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කළ යුතුය. ජනගහණයෙන් ලක්ෂයකට ලාදුරු රෝගීන් දස දෙනෙකු සිටිතැයි අනුමාන පවතින බැවින් ඔබ ඒ පිළිබඳව සීරුවෙන් සිටින්න. මෙය හඳුනාගන්නට ඔබට තවත් ලක්ෂණ කීපයක් පිළිබඳව අපි ඔබේ අවධානය යොමුකරමු. මෙවැන්නන්ගේ ඇහි බැම ඇතැම්විට අඩුවී යන බවක් දැකිය හැකියි. එමෙන්ම සම රළු බවක්ද පෙනෙන්නට පුලුවන. නාසයේ අවහිරවීමක් ඇතිවී නාසයෙන් කතාකරන ස්වරයක් ඇතිවෙන්නටද පුලුවන.  නාසයෙන් ලේ ගලන්නට අතේ නිතර තුවාල ඇතිවෙන්නට අතපය හිරිවැටීම් නිසා ඒ තුවාල ඇති වූ බවක් නොදැන සිටින්නට හැකිය.ස්නායු වලට හානිකරන තුරු ඔබ ප්‍රතිකාර ප්‍රමාද කළහොත් ස්නායුවට හානි පැමිණවීමෙන් ඇතිවෙන විකෘති තා නැවත ප්‍රකෘති කරන්නට ප්‍රතිකාර මගින් හැකියාවක් නොවුණත් ස්නායුවට බලපෑම් කරන්නට කළියෙන් ප්‍රතිකාර ආරම්භ කළහොත් කිසිම විකෘතිතාවයක් ඇති නොවන පරිද්දෙන් හා ස්නායුව විනාශවිමෙන් වළකන පරිද්දෙන් රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය.  ළඟම රජයේ රෝහලේ සමේ රෝග සායනයට, ජාතික රෝහලේ භාහිර රෝගී අංශයට, වහාම ගොස් ඔබේ සැකය දුරුකරගන්න. ප්‍රතිකාර ගත් සැනින් ඔබේ ශරීරය තුළ පවතින බැක්ටිරියාව විනාශවීම ආරම්භ කළත් තවත් ටික කාලයක් සම මත ඇති වූ පැල්ලම පවතින්නට හැකියි. නමුත් කලබල වෙන්නට එපා නිසි ප්‍රතිකාර ගැනීමෙන් පැල්ලම් මැකී යන බව අසත්‍යයක් නොවෙයි.

යම් අයුරකින් දරුවෙක්ගේ සම මත මෙවැනි පැල්ලමක් මතුව ඇත්නම් එය දෙමවුපියන් විසින් සොයා බලා ප්‍රතිකාර වෙත යොමු කළ යුතුයි. එසේ නැතිනම් කිසියම් වැඩිහිටියෙකුගේ ශරීරයේ පැල්ලම් මතුව තිබේ නම් එය යම් අයුරකින් ලාදුරු රෝගීයෙකු පිළිබඳ ඉඟියක් නම් එම පුද්ගලයා අසල ගැවසෙන්නන්ද,කුඩා දරුවන්ද ලාදුරු රෝගයට ගොදුරු විය හැකිය. සිරුරේ පැල්ලම් පහකට අඩු ප්‍රමාණයක් පවතී නම් මාසහයක ප්‍රතිකාර මගින්ද පැල්ලම් පහකට වඩා පවතින්නේ නම් වසරක ප්‍රතිකාර මගින්ද ලාදුරු නිට්ටාවට සුව කළ හැකිය එමෙන්ම මෙම ප්‍රතිකාර ලබාගැන්ම ආරම්භ කළ දා සිට දින තුනක ඇවෑමෙන් මෙම රෝගීන්ගෙන් අන් අයට රෝගය පැතිරෙන්නේ නැති බවද මතක තබාගන්න. ලාදුරු නිට්ටාවට සුවකරගන්නට සැක සහිත රෝග ලක්ෂණ දුටු වහාම චර්ම රෝග සායනයක පරීක්ෂාවට ලක්වී වහාම ප්‍රතිකාර වෙත යොමුවෙන්න