Category Archives: features

තරුණ කල්ලි අපරාධකරුවන් ලෙස ලේබල් කිරීම වහාම නතර කළ යුතුයිි

අද වනවිට කොළඹ නගරය ඇතුළු නාගරික ප්‍රදේශවල සුලභ ලෙසින් දැකගත හැකි තරුණ කණ්ඩායම් බහුතරයක් සමාජ විරෝධී ක්‍රියාකාරකම් සඳහා යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට තිබේ. මේ තත්ත්වයන් පිළිබඳව සහ එය වැළැක්වීම සඳහා අප සතුවන කාර්යභාරය පිළිබඳව විග්‍රහයක් ගෙන එන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නේරන්ජි විජේවර්ධන මහත්මියයි. 


HON100514136

'ඕනෑම රටක සංවර්ධන කාර්යයේදී තරුණයා කියන්නේ කිසි ලෙසකත් නොසලකා හැරිය නොහැකි පිරිසක්. මොකද රටක අනාගත පැවැත්ම ඔවුන්ගේ කරමත රඳා පවතිනවා. තරුණයා කියන්නේ එතරම්ම වැදගත් පුද්ගලයෙක් වුණත් අපිට අදටත් විශාල ගැටලුවක් තිබෙනවා මේ රටේ සංවර්ධන කාර්යයට තරුණ දායකත්වය සහ තරුණයා කියන සම්පත කොතෙක්දුරට භාවිතයට ගන්නවාද කියන කාරණය සම්බන්ධයෙන්.
ඒ ගැටලුවට පිළිතුරු හොයද්දී අපි විශේෂයෙන් කතා කළයුතු දෙයක් තමයි මේ ගැටලුවේ දැනට පවතින පසුබිම මොන වගේද කියන කාරණය. මේ පවතින අධ්‍යාපන රටාවට පවතින ප්‍රබල චෝදනාවක් තමයි අධික තරගකාරීත්වය සහ ක්‍රමයේ පවතින දුර්වලතාවන් නිසා පාසල් හැරයන්නන් ප්‍රමාණය වැඩිවෙමින් පවතිනවා යන්න. ඊට සමගාමීව විභාග ක්‍රමයේදී උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් නොලබන කණ්ඩායම් වෙනුවෙන් පවතින විකල්ප මොනවාද, පාසල් හැරයන දරුවන්ගේ අනාගතය නිර්මාණය කරදෙන්න අපිට ප්‍රතිපත්ති සහ ආයතනගත වැඩසටහන් ප්‍රමාණවත්ද කියන දේවල් සම්බන්ධයෙනුත් නැවත නැවත සිතන්නට සිදුවෙලා තියෙනවා.

තරුණයා කියන්නේ ස්වාධීනත්වය බලාපොරොත්තු වන සහ තමන්ටම ආවේණික වුණු ජීවන රටාවක් නිර්මාණය කරගන්න රුචිකත්වයක් දක්වන කණ්ඩායමක්. ඒ සෑම කරුණක්ම හා බැඳුණු ජීවන විලාසිතාවකුත් ඔවුන් සතුව දකින්නට ලැබෙනවා. තරුණ ප්‍රජාව තමන්ගේ ජීවන විලාසිතාව සකස් කරගන්නේ කුඩා කාලයේ සිටම ඔවුන් වටා පවතින පරිසරය පදනම් කරගෙන. මේ ආකාරයට නිසි ලෙස සමාජානුයෝජනය වුණු තරුණ පිරිස් තමන්ගේ අවස්ථාවන් හඳුනාගෙන ඉදිරියට යන්න සමත් වෙනවා. නමුත් තවමත් අපේ රටේ නිසි සමාජානුයෝජනයක් නොලද තරුණ කණ්ඩායම් සැලකිය යුතු ප්‍රමාණයක් මේ අවට සමාජයේ අපිට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. එම පිරිස් කල්ලි හදාගෙන වෙනම උප සංස්කෘතියක් නිරිමාණය කරගන්නවා. මෙ‘ම උප සංස්කෘතිය අපේ රටේ පමණක් නෙවෙයි දියුණු ලෝකයේ රටවලත් දකින්නට ලැබෙනවා. කල්ලි ගැසීම කියන්නේ සමාජයේ පොදු ධර්මතාවක්. තරුණ කල්ලි සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙන්නේ එම කල්ලිවල ක්‍රියාකාරකම් සහ අරමුණු අනුව.
මේ සඳහා අපේ සමාජයෙන්ම ගන්න පුළුවන් නිදර්ශකයක් තමයි වීදි දරුවන් කියන්නේ. වීදි දරුවන්ගෙන් බහුතරයක් ඔවුන් හැදී වැඩෙන සමාජ පරිසරයේ බලපෑම් එක්ක තරුණ වියට එළඹීමෙන් පසුව කණ්ඩායම් වශයෙන් එකතුවෙලා විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධවෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. මේ තරුණ කල්ලි අපිට නාගරික සමාජයේ පමණක් නෙවෙයි ග්‍රාමීය සමාජවලත් අද වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයකින් දකින්නට ලැබෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල දකින්නට ලැබෙන තරුණ කණ්ඩායම් බොහෝ අවස්ථාවල ත්‍රිරෝද රථ සංස්කෘතියත් සමග බද්ධවෙලා ගමේ කැපී පෙනෙන කණ්ඩායමක් විදියට කටයුතු කරනවා. ඒ සඳහා ඔවුන් උපක්‍රම විදියට භාවිතා කරන්නේ ගමේ පොදු කටයුතුවලදී එහි මූලිකත්වය ගෙන ක්‍රියාකිරීම, යම් යම් උත්සව කටයුතු සංවිධානය ඔවුන් මූලිකත්වය ගෙන සිදුකිරීම, අසාධාරණයක් සිදුවුණු අවස්ථාවක ඒ සඳහා මැදිහත්වීම ආදී ක්‍රියාකාරකම්. ග්‍රාමීය තරුණ කල්ලි අතින් සිදුවන සමාජ විරෝධී මැදිහත් වීම ඉතාමත් අඩුයි මොකද ග්‍රාමීය පරිසරයක සිටින අයගේ අනන්‍යතාව විවෘත වීම නිසා ඔවුගේ චර්යාවන් සම්බන්ධයෙන් යම් යම් පාලනයන් තිබෙනවා. 

නමුත් නාගරික සමාජයක දකින්නට ලැබෙන තරුණ කල්ලිවල එවැනි පාලනයක් නැහැ. එම තරුණයන්ගේ අනන්‍යතාව විවෘත නැහැ. සමහර අයගේ දෙමවුපියන් කවුද කියලා ඔවුන්වත් දන්නේ නැහැ. මේ කල්ලිවල සංයුතිය ගත්තොත් මේ අතර සිටිනවා බන්ධනාගාරගත වූ පිරිස්, නීතියත් සමග ගැටෙන පිරිස්, අවිධිමත් නිවාස ආශ්‍රිතව හැදී වැඩුනු හෝ වීදි දරුවන් ලෙස ජීවිතය ගත කරපු පිරිස්, මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ හෝ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පිරිස්, රාත්‍රී සමාජ ශාලාවල ජීවිතයට ඇබ්බැහි වූ පිරිස් යනාදී කණ්ඩායම්. භයානකම තත්ත්වයන් තමයි විවිධ සංවිධානාත්මක අපරාධවල මහ මොළකරුවන් තමන්ගේ අපරාධ වල අතරමැදියන් විදියට මේ තරුණ කණ්ඩායම් යොදා ගැනීම. උදාහරණයක් විදියට අද දකින්නට ලැබෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලදී ජාවාරම්කරුවන් විසින් මේ තරුණයන්ව බෙදාහරින්නන් සහ ප්‍රවාහනය කරන්නන් විදියට භාවිත කිරීම පෙන්වා දෙන්න පුළුවන්. ඔවුන් කල්ලි නිර්මාණය කරගන්නේ ඔවුගේ ආරක්ෂාවට. මේ තරුණයන්ට අනාගතය සඳහා විශාල බලාපොරොත්තු නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන් හුරුවී සිටින කෙටි කාලීන සහ දෛනික රසාස්වාදයන් පිනවා ගැනීමට සුදුසු ක්ෂණික සහ පහසු මුදල් උපයාගැනීමේ ක්‍රමවේදයන් පමණයි. මේ තත්ත්වයට දිගු කාලීනව හුරුවූ කණ්ඩායම් එයින් ගලවා ගැනීම පහසු කාර්යයක් නොවෙයි. ඊට හේතුව තමයි නාගරික සමාජයන්වලඅවස්ථාවන් ඕනෑ තරම් තිබෙනවා අයථා ක්‍රමවලින් මුදල් උපයාගැනීමට. මේ සමාජ ගැටලුව ශ්‍රී ලංකාවට පමණක් පොදු වුණු ගැටලුවක් නොවෙයි සංවර්ධිත රටවලට පවා මේ ගැටලුව සැලකිය යුතු මට්ටමකට අහිතකර තත්ත්වයන් නිර්මාණය කර තිබෙනවා.

ar

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම ආවේණිකව ඒ ඒ ප්‍රාදේශීය අනන්‍යතාෙවන් යුතු තරුණ කල්ලි දැකගන්න ලැබෙනවා. මේ තරුණ කල්ලිවලට නායකයෙක් ඉන්නවා. කල්ලිවල නායකත්වය තීරණය වෙන්නේ ඔහු කොතරම් වතාවක් බන්ධනාගාරගතවෙලා, අපරාධවලට සම්බන්ධවෙලා අත්දැකීම් ලබා තිබෙනවාද, ඔහුට කොතරම් පාතාලය වැනි පිරිස් සමග සම්බන්ධතා තිබෙනවාද කියන සාධක මත. කණ්ඩායමේ සියලුදෙනා අතරේ අන්‍යෝන්‍ය බැඳියාවක්, විශ්වාසවන්තභාවයක් තිබෙනවා. ඔවුන් එක්වෙලා ඉන්නේ සමජාතීය අදහස් සහිතවයි. ඔවුන්ගේ කණ්ඩායම ක්‍රියාත්මක වන ප්‍රදේශයේ පාලනය තිබෙන්නෙත් ඔවුන් අතේ. ඒ වගේම එම ප්‍රදේශවල සිදුවන යම් යම් අපරාධවලට මේ පිරිස්වල සම්බන්ධතා තදින් දකින්නට ලැබෙනවා සහ ඒවායේ අතරමැදියන් විදිහට කටයුතු කරනවා. උදාහරණයක් සලකලා බැලුවොත් පැහැදිලිවම දකිනට ලැබෙන කාරණයක් තමයි කොළඹ නගරය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට අත්අඩංගුවට පත් වන තරුණයන්ගෙන් වැඩිදෙනෙක් මේ කල්ලිවලට සම්බන්ධ පිරිස්. තවත් භයානක තත්ත්වයක් වෙන්නේ මේ තරුණ කණ්ඩායම් දේශපාලඥයන්ට විශාල සම්පතක් සහ ඔවුන් අතකොළු බවට පත් වීම.

කොළඹ නගරය ආශ්‍රිතව දකින්නට ලැබෙන තරුණ කල්ලිවල බහුතරයක් දෙනාට කොළඹ නගරයට සෘජු අයිතියක් නැහැ. බොහෝදෙනෙක් පිට පළාත්වලින් රැකියාවක් බලාපොරොත්තුවෙන් එහෙමත් නැත්නම් පදිංචියට හෝ වීදි දරුවන් විදියට පැමිණි පිරිස්. මේ තරුණ කල්ලි විවිධ පොදු කටයුතුවලට මූලිකත්වයගෙන කටයුතු කරනවා එහි ප්‍රධානම අරමුණ වෙන්නේ තමන්ගේ බල පුළුවන්කාරකම පෙන්නුම් කිරීම. මේ පිරිස්වලට නාගරික සමාජය තුළ පැවැත්ම තිබෙන්නේ මුදල් හා ප්‍රචණ්ඩත්වය මත. ඒ වගේම සැලකිය යුතු පිරිසක් අඩු වයස් විවාහවලට සහ අනියම් සම්බන්ධතාවලට යොමුවී සිටිනවා.

මෙම සමාජ විරෝධී තරුණ කල්ලි කියන සමාජ ප්‍රශ්නය නිර්මාණය වීම කෙරෙහි දේශපාලනයේ සෘජු වගකීමක් තිබෙනවා. මෙතනදී දේශපාලනය කියලා අදහස් කෙරෙන්නේ පක්ෂ දේශපාලනය පමණක් නෙවෙයි. පාලනාධිකාරිය විසින් ගනුලබන තීන්දු තීරණ, සමාජයේ විවිධ ජන කණ්ඩායම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තීන්වල දුර්වලතා, දේශපාලඥයන් පෞද්ගලිකව තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා මේ පිරිස් යොදාගැනීම යනාදියත් මේ සඳහා බලපානු ලබනවා.
මේ රටේ තිබෙන සෑම සමාජ ප්‍රශ්නයක්ම සලකා බැලුවොත් අපි විසින්ම සිදුකරන කුමන හෝ වරදක් ඊට හේතු සාධකයක් බවට පත්වෙලා තිබෙනවා. අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය සම්බන්ධයෙන්,  පාසල් අධ්‍යාපනය හැරයන්නන් සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. මේ අධ්‍යයනයට ලක්වුණු තරුණයන්ගෙන් අතිබහුතරය සාමාන්‍ය පෙළ වෙනකම්වත් අධ්‍යාපනය ලබලා නැහැ. තවදුරටත් සලකා බැලුවොත් දුප්පත්කම තවත් ප්‍රබල හේතුවක් වෙනවා. දුප්පත්කම නිසා නිසි අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය මේ දරුවන්ට නොලැබී ගොස් තිබෙනවා. මෙවැනි කණ්ඩායම් මගින් අර්ථගැන්වෙන්නේ තමන්ගේ මූලික අවශ්‍යතාවන්වත් නිසි ආකාරයට සපුරාගැනීමට නොහැකි ජන කොටස් තවමත් අපේ ජන සමාජය තුළ සිටිනවා කියන කාරණය. මේ ඔස්සේ බිහිවන තරුණයන්ගේ අනාගතය සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා. ඒ නිසා මෙවැනි ජන කොටස් වෙනුවෙන් නිසි පරිදි ප්‍රතිපත්ති සම්පාදනයක් නොවීම පිටුපස පිළිකුල් සහගත දේශපාලනික කාරණාවන් තිබෙනවා.

ඒ වගේම මේවා රටට හා අපේ සමාජයට කුමන ආකාරයකින්ද බලපෑම් කරන්නේ යන්න නොදන්න නිසා අපේ ජනතාවත් මේ තත්ත්වයන් පිළිබඳ එතරම් සැලකීමක් කරන්නේ නැහැ. ඒ නිසා අපි සිතන්නට ඕන සමාජයේ සිටින තරුණ ප්‍රජාවෙන් සැලකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වී සිටිනවා නම් අපරාධවල නියුක්ත වී සිටිනවා නම් මෙය නිරායාසයෙන්ම ඒ ඒ ප්‍රදේශවලට පමණක් නෙවෙයි මුළු රටටම බලපවත්වන ගැටලුවක් වෙනවා. මෙවැනි සමාජ විරෝධී තරුණ කල්ලි නිර්මාණය වීම වළක්වන්න රජයක් කටයුතු කරනවා නම් ඔවුන්ගේ මූලිකම කාර්යභාරය විය යුත්තේ දුප්පත්කම පිටුදැකීම. ඒ වගේම විශේෂයෙන්ම මෙවැනි සමාජවල දරුවන්ටත් සමාන අධ්‍යාපන අයිතිවාසිකම් ලබාදීලා ඒවා තහවුරු කළ යුතුයි. මේ ජනතාවට තමන්ගේ මූලික අයිතිවාසිකම් හෝ ලබාදිය යුතුයි. රාජ්‍ය ආයතනවල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ටත් මේ කාර්යයේදී විශාල භූමිකාවක් පැවරෙනවා. උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ක්ෂේත්‍ර නිලධාරීන් 40කටත් වැඩි සංඛ්‍යාවක් සිටිනවා. දරුවෙකුගේ උපතේ සිට මරණය දක්වාම ජනතාවට සේවය කරන්න බැඳී සිටින නිලධාරීන් ගණනාවක් මේවායේ සිටිනවා. නමුත් ඔවුන්ගේ වගකීම් නිසි ආකාරයට සිදුවනවාද කියලා විශාල ගැටලුවක් තිබෙනවා.

මේ අවිධිමත් නිවාස සංකීර්ණ ආශ්‍රිත ජනතාව වෙතත් සංවර්ධනය ගෙන යන්න අවශ්‍යයි. ඒ නිසා ඔවුන්ගේ භෞතික පරිසරයේ වෙනස් කිරීමක් සිදුකිරීම වැදගත් වෙනවා. ඒ තුළින් පාරිසරික සාධක වෙනස් කිරීම මගින් අපරාධ සිදුවීමට ඇති අවස්ථාවන් පාලනය කිරීමට හැකියාව පවතිනවා. ඒ වගේම ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේදී සමාජ සමානාත්මතාවෙත්, සම්පත් බෙදී යාමේත් ගැටලු සහගත තත්ත්වයන් දකින්නට ලැබෙනවා. අනෙක් අතින් විශාල භූමිකාවක් තිබෙන්නේ අධ්‍යාපන  ක්ෂේත්‍රයට. අද බොහෝදෙනෙක් පිළිගන්න කාරණයක් තමයි කාලීන සමාජයට විෂය කාරණා එක්ක පමණක් බැඳුණු මේ අධ්‍යාපන ක්‍රමය නොගැළපෙන බව. ඒ නිසා මේ අධ්‍යාපන රටාව කුසලතා සංවර්ධනයත් ඉලක්ක කරගත යුතු වීම ඉතා වැදගත්. තවද රජය පැත්තෙන් මේ තරුණ දරුවන්ට වෘත්තීය සුදුසුකම් සපුරාගත හැකි අවස්ථා තව තවත් සුලභ කිරීමට සහ ඒවා දියුණු කිරීමට වගකීමක් තිබෙනවා. මවුපිය දූ දරු සබඳතාව වගේම ගුරු සිසු සබඳතාවත් මීටත් වඩා තහවුරු කිරීම සහ ශක්තිමත් කිරීම අවශ්‍යයි. එමගින් දරුවන් පවුලෙන් දුරස් වීම සහ පාසල් හැරයාම අවම කිරීමට හැකියාව පවතිනවා. ඒ වගේම නෛතික යාන්ත්‍රණයත් දඬුවම් ලබාදීම වගේම චරිත ශෝධනය කියන කාරණයත් ඉටුකරන තත්ත්වයට පත් කළ යුතුයි. ජනතාවගේ පැත්තෙන් සිදුවිය යුතු වෙනස්කම වෙන්නේ මෙවැනි ජන සමාජවල ජනතාව සහ මෙම ප්‍රදේශ අපරාධකාරී ස්වරූපයක් අර්ථගැන්වෙන ආකාරයෙන් ලේබල් කිරීම සහ එම සමාජවල ජනතාව වෙන්කොට දැක්වීම වහාම නැවැත්වීමයි

පිටකොටුවේ නාට්ටාමි තරුව එම්. ජී. ආර්.

කොළඹ කොටුව කියන්නේ විවිධාකාරයේ මිනිස්සු ජීවත් වෙන වෙනස්ම පරිසරයක්. එදිනෙදා වැඩකටයුතු වලට කොළඹ එහා මෙහා කරක් ගහන අපිට ඒ වගේ විශේෂ චරිත මුණ ගැහෙනවා. එහෙම චරිතයක් තමා කොළඹ කොටුවේ එම්.ජී.ආර් කියන්නෙත්. ඔහු නාට්ටාමි කෙනෙක්. හැබැයි අපි හැමදාම දකින විදිහේ නාට්ටාමි  කෙනෙක් නම් නෙමෙයි. අපේ වචනෙන් කියනවානම් ලෝස් නැතුව ඇඳුම් වලට වියදම් කරන, විලාසිතා කරන නාට්ටාමි කෙනෙක්. මේ නිසාම අද අපි ඔහුව සොයාගෙන ගියා.


IMG_8350

“මම නාට්ටාමි කෙනෙක්. මට අවුරුදු 48ක් වෙනවා. මගේ නම මාණික්කම්. ඒත් මාව කවුරුත් දන්නෙ එම්.ජී.ආර් කිව්වොත් තමයි. මම හය වසර වෙනකන් ඉස්කෝලෙ ගියා. අම්මයි, තාත්තයි නැති වුණාට පස්සෙ ඉස්කෝලෙ යන එක නැවතුණා.  මගේ ගෙවල් තියෙන්නේ කොටුවෙ සාරදාස් බිල්ඩින් එක ගාව. එතන තමා මම ඉපදුනේ. අම්මයි, තාත්තයි මිය ගියාට පස්සෙ ඒ දේවල් විකුණුවා. දැන් ඉන්නෙ තොටලඟ. මම මේ රස්සාවට ආවේ අවුරුදු දාහතර පහළොව කාලෙදි. මගේ ජීවිතේ ගත්තම මම හොඳට හම්බ කරනවා. මම හම්බ කරන වැඩි හරියකින් කරන්නේ ඇඳුම් ගන්න එක තමයි. හොඳට අඳින්න ඕන කියන එක තමයි මගේ ප්‍රාර්ථනය. මම දෙයියන්ගෙන් ඉල්ලන්නෙත් ඒක. 

මම වැඩ කරන්නේ කොටුවෙ මේන් ස්ට්‍රීට් එකේ. ඔක්කොම වාහන ඇතුළු වෙන්නෙ, පිටවෙන්නෙ මෙතනින්. මම මේ හරියෙ තමා කරත්ත වලින් බඩු ගෙනියන්නේ.  ලක්ෂ ගණන් බඩු දවසකට එහාට මෙහාට ගෙනියනවා. ඒවට කාවවත් අරින්නෙ නැහැ. මොකද විශ්වාසෙ නැති නිසා. මට හැමෝම ආදරේ නිසා මට හැමදාම වැඩ තියනවා. ඒ වුණාට මම කියන්නේ අනිත් අයටත් වැඩ දෙන්න කියලා. එතකොට බොස්ලා කියන්නේ විශ්වාස නැහැ කියලා. මම කියන්නෙ ඒ වුණාට දීලා බලන්න කියලයි. ඒ කරන දේවල් අපි මැරුණම ගෙනියනවා. විශ්වාසෙ තමා ලෝකෙ තිබෙන ලොකුම දේ. දෙවි කෙනෙක් නෑ කියලා හිතුවට අපි කරන හැමදේම දෙවි කෙනෙක් ලියා ගන්නවා. මම කරන වැඩේ පිළිවෙළට කරනවා. මම අඳින පලඳින එක වුණත් එ‍ෙහමයි. වැස්ස වුණත් අව්ව වගේ හිතන් වැඩ කරනවා. ඒ නිසා මිනිස්සු මට හරි ආදරෙයි.

මම කරත්ත රස්සාව පටන් ගනිද්දි අවුරුදු 14ක් 15 ක් විතර ඇති. මට ඒ කාලෙ පඩිය සත 35යි, 50යි, 75 යි වගේ. ඒ කාලෙ මම හිතාගත්තා මේක හොඳ රස්සාවක් කියලා. මට ඒ ගාන හම්බුණා කියන්නේ මම පොඩි එකානෙ. මට හරි සන්තෝසයි. මම කරන්නෙ ඒවගෙන් හොඳට කනවා. හොඳට අඳිනවා. ඒත් එම්.ජී.ආර් වගේ අඳින්න ඕනෙ කියල හිතුණෙ අපෙ අම්මා දෙවියන්ගෙ පින්තූර වලට මාල දානවා. ඊට පහළින් එම්.ජී. ආර්ගෙ පින්තූරෙකුත් තියෙනවා. එයා අඳින්නෙ මන්ත්‍රීලා අදිනවා වගේ සුදු සූට් එකක් ඇඳලා කළු සන්ග්ලාස් දානවා. දකුණු අතට ඔරලෝසූව දානවා කමිසෙ අතට උඩින්. අම්මා ඒ පිංතූරෙට පොට්ටු තියලා වඳිනවා.

එතකොට මම අම්මගෙන් අහනවා කවුද අම්මා ඒ කියලා. අම්මා කියනවා එතකොට වැඳපන් වැඳපන් කියලා. මම එතකොට වඳිනවා. අම්මා කිව්වා මෙයා තමා එම්.ජී.ආර් මාමා කියන්නෙ කියලා. මම අම්මගෙන් ඇහුවා මෙයා අපේ මාමා කෙනෙක්ද කියලා. එතකොට අම්මා කිව්වා මෙයා උඹට විතරක් නෙමේ ලෝකෙටම තාත්තා කෙනෙක් වගේ මනුස්සයෙක් කියලා. එතකොට මම ඇඬුවා මට එයාව බලන්න යන්න ඕනෙ කියලා. අපේ තාත්තා ඊට පස්සෙ පිචර් හෝල් එකට එකන් ගිහින් එම්.ජී.ආර් ගේ පිචර් එකක් පෙන්නුවා. එදා තමා එයාව ඉස්සෙල්ලා දැක්කෙ. එදා ඉඳන් මම එයාව ෆලෝ කරන්න ගත්තා. මම එම්.ජී.ආර් ගෙ  මාර්ගෙ ජීවත්වෙන කෙනෙක්.  මම ඒ විදියට අඳිනවා. එයාගෙ සින්දු අහනවා. පිචර් බලනවා. මමත් එයා වගේ දුප්පතාගෙ හිතවතා.  මට ගොඩක් අය කියනවා අයියා ටිකක් සුදු වුණා නම් එම්.ජී.ආර් මයි කියලා.

IMG_8253

මම ගිය දීපවාලියට එතුමා අඳින විදිහට ඇඳුම් හතරක් මැහුවා. ඒ ටිකට මට රුපියල් 38,000ක් වියදම් වුණා. මම එතුමාගෙ චිත්‍රපටි බලනවා මොන වගේ ඇඳුම්ද එතුමා ඇන්දෙ කියලා. ඊට පස්සෙ ඒ විදියට මම ඇඳුම් මහ ගන්නවා. එම්.ජී.ආර් කියන්නෙ දුප්පතාගෙ හිතවතා. එයා මැරුණු දවසේ මිනිස්සු ගිනි තියාගෙන මැරුණා. ඒ තරමටම මිනිස්සු එයාට ආදරෙයි. මම යන්නෙත් එම්.ජී.ආර් ගිය පාරේ. 
මම ලස්සනට අඳින්න අවුරුද්දක් එනකන් බලන් ඉන්නෙ නැහැ. හැමදාම ගත කරන්නේ මෙහෙමයි.

මේ විදියට ඇඳගෙන තමයි මම වැඩ කරන්නේ. මම ඇඳුමට ගැළපෙන විදියට තමා සපත්තු, සන්ග්ලාස් දාන්නෙ. ගැළපෙන සන්ග්ලාස් තිබුණෙ නැත්නම් මම ඒ කිට් එක අඳින්නෙ නැහැ. මම හැමදාම රෑට නිදා ගනිද්දි හිතනවා හෙට අඳින්නෙ මොකද්ද කියලා. මේ කලිසමට මේ ටී ෂර්ට් එක, මේ බෙල්ට් එක, මේ කැප් එක, මේ සන්ග්ලාස් දෙක කියලා මම මැච් කරනවා. මට ඒක මැච් වෙන්නෙ නැත්නම් වෙන එකක් ඇඳගෙන එනවා. ඇඳුම් ඔක්කොම මහලයි මම අඳින්නේ. අපි ගෙනාපු දේකුත් නෑ. ගෙනියන දේකුත් නෑ. ඒ නිසා මම ජීවත් වෙලා ඉන්න මේ ටික කාලෙ ලස්සනට ඇඳලා කරලා ඉන්නවා. 

මට සපත්තු කුට්ටම් 52ක් තියෙනවා. කලිසම් 30යි, තොප්පි දුසිමකුයි, බෙල්ට් 50යි, අත්ඔරලෝසු 9යි, සන්ග්ලාස් 50කුයි තියෙනවා. මට ලස්සනට අඳින්නයි ඕනෙ. ඇඟපත බිල්ඩර් වගේ ආර්නෝල්ඩ් වගේ එන්න ඕනෙ කියන ආසාව නැහැ. මොකද එතකොට තමා වෙඩි පාර කන්න වෙන්නේ. මොකද එතකොට මට දෙන්නෙක් තුන්දෙනෙක් අරන් නමන්න හිතෙයි, බෙල්ල කඩන්න හිතෙයි. ඇයි ආනෝල්ඩ්නෙ. ඉතිං පාලනය කරන්න බැහැ. ඒ හින්දා මම මේ වගේ ඉන්න එකයි ලස්සන. 

මට මාසෙට ඇඳුම් වලට 30,000ක් 40,000ක් වගේ යනවා. මම ආවාට ගියාට ඇඳුම් ගන්නෙ නැහැ. කඩවල් 10කට 20කට ගිහින් බලනවා. මට ආස හිතුණොත් ඒ දේ කරන්න ඕන කියලා, මම ඒක කරනවා. ඒක තමා මගේ තියෙන නරක පුරුද්ද. කෙලින්ම යනවා පිටකොටුවට හරි මල්වත්තට හරි. සපත්තු ගන්නව නම් කල්පනා කරනවා, මේ සූට් එකට මේ සපත්තු තමා ගැළපෙන්නේ කියලා. කඩවල්වල අයත් මට ආදරෙයි. එන්ඩ එම්.ජී.ආර් අයියෙ කියලා මට කතා කරනවා.

මට හරියට සෙට් උනොත් 3000ක් වුණත් 4000ක් වුණත් ගන්නවා. මගේ අතේ සල්ලි අඩු වුණොත් මම ඩිපොසිට් එකක් තියලා එනවා. එයාලා දන්නවා මම ආපහු එනවා කියලා. හම්බ කරන එකෙන් වැඩියෙන් මට වියදම යන්නෙ ඇඳුම් වලට. කන බොන එක ඉපදුණ කාලෙ ඉඳන්ම කරනවනේ. ඒක වෙන දෙයක්. ඒක කවුරුත් කියන්න ඕන නැහැ. ඒත් අඳිනවා කියන දේ එහෙම නැහැ. මම පාරෙ යද්දි හැමෝම මගේ දහා බලනවා. මට එතකොට හරි සන්තෝෂයි. 

IMG_8323

මේ කොළඹ කොටුවෙ නාට්ටාමිලා එක්ලක්ෂ විසිදාහක් විතර ඉන්නවා. ඒ අය අතරේ මම ස්ටාර් කෙනෙක්. මාව හැමෝම අඳුනනවා. මේ කොළඹ ටවුමෙ මාව දන්නෙ නැති මිනිහෙක් නැහැ. ඒ වගේම මට ආදරෙයි”
එම්.ජී.ආර්. කියන්නේ විලාසිතා විතරක්ම කරන පුද්ගලයෙක් කිව්වොත් වැරදියි. ඇත්තටම ඔහු මනුස්සකම තියෙන හිත හොඳ මනුස්සයෙක්. ඔහුගේ වචනෙන් කියනවා නම් දුප්පතාගේ හිතවතෙක්. ඔහු සමග කතා කරද්දි දැනුණ දේ තමයි ඔහු සාමාන්‍ය නාට්ටාමි කෙනෙක් නොවන වෙනම දර්ශනයක් තියෙන වෙනස් මනුස්සයෙක් කියන එක. ඔහුට ජීවිතේ ගැන ඔහුගේ මට්ටමින් හොඳ කියවීමක් තියෙනවා. ඔහු ජීවිතේ දකින්නෙ මෙන්න මේ විදියටයි.
“අපි ගෙනාව කිසි දේකුත් නෑ. ගෙනියන දේකුත් නෑ. කෝටි ගණන් තිබුණත් වැඩක් නැහැ. අපි යද්දි ඒ දේවල් ගෙනියන්න බැහැ. අපි අවුරුදු තුන්සීයක් විතර ජීවත් වෙන්න ආවෙ නැහැ. අවුරුදු තුන්සීයකට ජීවත් වෙන්න ආව නම්  අවුරුදු 100ක් මොනා හරි මංකොල්ලයක් කරලා, මිනිස්සු මරාගෙන ජීවත් වෙන්න පුළුවන්. මොකද තව අවුරුදු දෙසීයක්ම තියනවනේ. ඒත් එහෙම නෙමේනෙ. අපි මේ ඉන්න ටික කාලය හැමෝටම අවංකව ජීවත් වෙන්න ඕන. මොකද ටික දවසයි වැරදි කරලා ජීවත් වෙන්න පුළුවන්. මොන දේ කරලා පැනල ගියත් කවදා හරි නීතියට අහුවෙනවා. මගේ  ජීවිතේ ගත කරන්නේ කාටවත් කරදරයක් නැතුවයි. කාගෙන්වත් ඉල්ලගෙන යන්නෙ නැහැ. මට ඉන්නෙ නංගි කෙනෙක් විතරයි. නංගී බැඳලා. නංගී කතා කරනවා අයියෙ ඇවිත් කාල යන්න කියලා. විශේෂ දවස් වලට මම යනවා. ඒත් හැමදාමත් යන්න හොඳ නැහැ. මොකද මම කාටවත් බරක් වෙන්න කැමති නැහැ. 

අනිත් දේ තමයි සමහර මිනිස්සු සද්දෙ දාගෙන, වෙඩි තියාගෙන, අනවශ්‍ය දේවල් කරගෙන ජීවත් වෙනවා. ඒ අය හිතන්නේ ඒ අයගෙ සද්දෙ තමයි ලොකුම සද්දෙ කියලා. ලෝකෙ ලොකුම සද්දෙ විදුලි සද්දෙ. ඒ වගේම මිනිස්සු ගොඩක් හිතන් ඉන්නේ අපි තමා දිනුම් කියලා. ඇත්තටම දිනන්නේ මේ මහපොළව. අපි කවදා හරි මහපොළවට පස්වෙලා යනවා. ඒ කාල සීමාව එනකන් අපි ජීවත් වෙන්න ඕන කාටවත් කරදයක් නැතිවයි. 
කවුරු හරි අපෙන් ඉස්සෙල්ලා අහන්නෙ නම මොකද්ද කියලා. ඊට පස්සෙ අහන්නෙ රස්සාව මොකද්ද කියලා. රස්සාවක් නැහැ කිව්වොත් හිතන්නෙ රස්තියාදුකාරයෙක් කියලා. නැත්තන් අයි ආර් සී කාරයෙක් කියලා. මනුස්සයෙක් වුණාම කුලී රස්සාවක් හරි කරනවා කියල කියන්න පුළුවන්කම තියෙන්න ඕන. 

අපි මනුස්සයෝ ඔක්කොම එකයි. අපි දෙමළ වුණත්, සිංහල වුණත්, මුස්ලිම් වුණත් ඔක්කොම එකයි. අපි හැමෝගෙම දුවන්නේ රතුපාට ලේ. මගේ එහෙම කිසිම බෙදීමක් නැහැ. හැම දෙවි කෙනෙක්ටම මම බස් එකේ ගියත්, පයින් ගියත් ගෞරව කරලා තමයි යන්නේ. අදට වැඩිය හෙට හොඳයි කියලා තමයි මම ජීවිතේ ගත කරන්නේ. මගේ නැව මුහුදේ ගිහින් ගිලුණත් මම උඩ ඉඳන් බෑන් චූන් ගහනවා. මං ළඟ සල්ලි තියෙන දවසටත් වැඩිය සල්ලි නැති දවසට මම සතුටින් ඉන්නවා”
ඇත්තටම ඔහු සරල මනුස්සයෙක්. ඔහු ඔහුට වගේම රස්සාවටත් අවංකයි. කොයි කවුරුත් ඔහුට ආදරේ වෙන්න හේතුවත් එයයි. ඔහුත් සමග කතාබහ කරද්දි කී දෙනෙක් නම් ඔහුට එම්.ජී.ආර් අයියෙ කියලා අත වනාගෙන ගියාද. ඒ ඔහු හිත හොඳ මනුස්සයෙක් නිසයි. ඔහුට ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. ඒත් ඔහු සතුටෙන් ඉන්නවා. ඇත්තටම ලොකු සල්ලිකාරයන් ළඟ අහලකවත් නැති සතුටක්, නිදහසක් ඔහුට තිබෙනවා. ඇත්තටම ඔහු දුප්පතාගෙ හිතවතෙක්.

පොලිතින් පාලනයෙන් පසු වගකීම සහ වගවීම?

රටක් වශයෙන් වැදගත් තීරණ ගැනීමට සැලසුම් කළ සෑම අවස්ථාවකදීම ලාංකේය සමාජය තුළ දක්නට ලැබෙන පොදු ලක්‍ෂණයක් බවට පත්ව ඇත්තේ විද්වත් ඇගයීමකට ලක්කිරීමෙන් තොරව එම තීරණවලට විරෝධය දැක්වීමය. එවැනි විරෝධතා හේතුවෙන් අක්‍රීය කරන ලද ජාතිකමය වැදගත් තීරණ මගින් නැවත නිවැරදි කරගත නොහැකි අයුරින් රටට සිදු වූ හානි මැනිය නොහැකි තරම්ය.


ඒ අයුරින්ම ලන්ච් ෂීට්, සිලි බෑග්, වරක් පමණක් භාවිතයෙන් ඉවතලන ආහාර ඇසුරුම් පෙට්ටි සහ ඒවා ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් රජය මගින් පනවන ලද පාලනයටද සුපුරුදු මහජන හඬ නැගෙමින් පවතී. මෙම පාලනය හමුවේ නැගෙන මහජන මතවාදයන් ආකාර දෙකකින් සමාජගත වෙමින් පවතිනු දැකිය හැකිය. 
ඒ අනුව තීරණයේ සාධනීය බව තේරුම්ගෙන රටක් ලෙස දීර්ඝ කාලීනව ඇතිවන යහපත සලකා එම තීරණය පිළිගැනීමට සහ ඒ අනුව ඉහත පාලනයට ලක්වූ නිෂ්පාදන සමග බැඳී පැවැති තම ජීවන රටාව වෙනස් කර ගැනීමට උත්සාහ කරන නිහඬ ජනතාව එක් පාර්ශ්වයක් නියෝජනය කරයි. 

අනෙක් පාර්ශ්වය විරෝධතාවන් විවිධ මට්ටම්වලින් සහ ක්‍රමවලින් රැගෙන ඒම දක්වා සංවිධානාත්මකව මෙම පාලන තීරණයට එරෙහි ප්‍රබල ප්‍රතිවිරෝධයන් සමාජගත කරමින් සිටිනු දැකිය හැකිය.
පරිසරයට සහ එහි ජීවත් වන මිනිසුන් ඇතුළු අනෙකුත් සත්ත්වයන්ට හානි කරන මට්ටම දක්වා වර්ධනය වූ පොලිතින් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අවිධිමත් භාවිතය හා බැහැර කිරීම සම්බන්ධයෙන් පාලනයන් ඇතිකළ යුතු බවට ප්‍රථම සාකච්ඡා ඇති වූයේ මීට දශකයකට පෙර එනම්, 2007 වසරේදීය. එම වසරේදී %ලන්ච් ෂීට්^ සඳහා තහනමක් ක්‍රියාත්මක නොවූ අතර, පැවැති ඉතා තුනී %ලන්ච් ෂීට්^ වෙනුවට ඝනකම මයික්‍රෝ මීටර් 20 හෝ ඊට වඩා වැඩි වන ලෙස නිෂ්පාදනය කළ යුතු බවට තීරණය කෙරිණි. එම තීරණය ගැනීමට හේතු වූ ප්‍රධාන කරුණු දෙකක් පැවැතිණි. 

ඝනකමින් වැඩි 'ලන්ච් ෂීට්' භාවිත කරන අයට හොඳින් පිරිසුදු කිරීමෙන් පසු කිහිප වාරයක් භාවිත කිරීමට අවස්ථාව ලබාදීම සහ භාවිතයෙන් බැහැර කළ පසු ඝනකම 'ලන්ච් ෂීට්' අනෙකුත් කසළ ඇතුළු අපද්‍රව්‍යවලින් වෙන්කර ගැනීමට ඇති පහසුව මෙහිදී ප්‍රධාන වශයෙන් සැලකීමට ලක්කෙරිණි. 
එවකට භාවිතයේ පැවැති තුනී ලන්ච් ෂීට්, අනෙකුත් පරිසරයේ ස්වාභාවිකව දිරායන අපද්‍රව්‍ය හෝ කසළ සමග මිශ්‍ර වීමෙන් පසු වෙන්කර ගැනීමට ප්‍රා‘යෝගිකව නොහැකි වූ අතර, දිරායන අපද්‍රව්‍යවල දිරීමේ ක්‍රියාවලියද අවහිර කෙරිණි. 
නමුත් පොලිතින් පාලන ක්‍රමවේදයන් ඒවායේ බලාපොරොත්තු වූ අරමුණු දක්වා විධිමත් ලෙස සැලසුම් නොකිරීමේ අවසානය වූයේ, වඩාත් වැඩි පාරිසරික ගැටලු නිර්මාණය කිරීමය. ඒ අනුව ඝනකමින් වැඩි %ලන්ච් ෂීට්^ නිපදවුවද, ඒවා භාවිතයෙන් බැහැර කිරීම, වෙන්කර ගැනීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොවිණි. මෙම 'ලන්ච් ෂීට්' දිරායන කසළ සමග මිශ්‍ර වීමෙන් වඩාත් විශාල කුණු කඳු ඉක්මනින් ගොඩ නැගීමට අවස්ථාව උදා කෙරිණි. මීතොටමුල්ල වැනි ස්ථානවල විශාල ජීවන හානිවලට අපද දායක වූයේ මෙලෙස නිර්මාණය කරන ලද කුණු කඳු මගිනි. මෑත කාලයේදී පාලනය කරගැනීමට අපහසු තරම් වර්ධනය වූ ඩෙංගු උවදුර, කෙටි කාලයක් තුළ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට බරපතළ හානි සිදුකළ ගංවතුර මේ හා බැඳුණු තවත් උදාහරණයන්ය. 
වැඩි ඝනකමින් යුතු %ලන්ච් ෂීට්^ නිපදවීම සඳහා වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සෑම විටම වැයවන බැවින් මේ මගින් ඇති වන ආර්ථිකමය හානියද ඉතා ඉහළය.
ඒ 'ලන්ච් ෂීට්' නිපදවීමට ගන්නා අමුඅද්‍රව්‍ය අප විදේශ රටවලින් ආනයනය කරන බැවිනි. 

13.Sri Vajiragana Mavatha. Colombo 09

2007 වසරේදී ඇති කරන ලද පාලන නියෝගවලට අනුගත වෙමින් ගත් තවත් සාධනීය පියවරක් වූයේ නොමිලේ සහ අවශ්‍යතාවන් ඉක්මවා දිවයිනේ සෑම ප්‍ර‘දේශයකම අද පවත්නා සුපිරි වෙළෙඳ සැල් මගින් ලබාදෙන %සිලි මලු^ පාලනයට ලක්වීමය. වර්තමානයේද මෙම වෙළෙඳ ස්ථාන පරිසරයට බරක් වන නොදිරන ද්‍රව්‍ය ජනනය කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක්ව පවතී. කෙසේ වුවත් මෙම වෙළෙඳ මධ්‍යස්ථානවල කළමනාකාරීත්ව, 2007 ක්‍රියාත්මක වූ පාලන ක්‍රමවේදයන්ට මනා සහයෝගයක් ලබාදෙමින්, අවශ්‍යම භාණ්ඩ සඳහා පමණක් නොමිලේ 'සිලි මලු' ලබාදුන් අතර, අතිරේකව පාරිභෝගිකයන් 
'සිලි මලු' ඉල්ලා සිටියොත් ඒ සඳහා මුදල් අයකර ගැනීම තුළින් එවැනි ඉල්ලීම් අධෛර්යමත් කිරීමට කටයුතු කරන ලදී. 
වෙනත් රටවලදී අප දකින ප්‍රධාන ලක්‍ෂණයක් නම් පාරිභෝගිකයන් සතුව පවතින ශක්තිය සහ අයිතියයි. පාරිභෝගිකයාට නොගැළපෙන අහිතකර භාණ්ඩ වෙළෙඳ පොළට ඉදිරිපත් වුවහොත් එම නිෂ්පාදනය නතර කරවීමට සමත් ප්‍රබල පාරිභෝගික සමාජයක් එම රටවල පවතී. 

නමුත් ලාංකික පාරිභෝගිකයා තවමත් හඳුනා නොගත් තම ශක්තිය තුළ බොහෝ ආකාරයන්ගෙන් වෙළෙඳ ලෝකයේ ගොදුරු බවට පත්වෙමින් පවතී. සැබැවින්ම ප්‍රතික්‍ෂේප කළ යුතු භාණ්ඩ වෙළෙඳ පොළ තුළ අප විසින් මිලදී ගනු ලබයි. 
මේ සඳහා හොඳම නිදසුනක් වනුයේ විශේෂයෙන්ම නිසි වෙළෙඳ පොළ අනන්‍යතාවන් නොමැතිව වෙළෙඳ දැන්වීම් මගින් සහ ආකර්ෂණීය ඇසුරුම් මගින් ලාංකේය තරුණියන් ආකර්ෂණය කරගන්නා විවිධාකාරයේ රූපලාවණ්‍ය ආලේපනයන්ය. නිසි ප්‍රමිතියෙන් යුතුව නොපැමිණෙන මෙවැනි නිෂ්පාදන සම්බන්ධව ක්‍රමවත් නියාමනයක් නිසි අයුරින් නොවන පසුබිමක ඉතා උග්‍ර විෂ සහිත රසායනික සංඝටකයන් මෙම රූපලාවණ්‍ය ආලේපන තුළ තිබීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතී.
ලාංකේය පාරිභෝගිකයාගේ නොදැනුවත්භාවය තුළ සිදුවන පාරිභෝගික අයිතිය භාවිතයේ අනෙක් පැතිකඩ වනුයේ වැරදි අයුරින් එම අයිතිය සපුරා ගැනීමකි. 2007 වසරේ සුපිරි වෙළෙඳ සැල් මගින් ක්‍රියාත්මක කරන ලද %සිලි බෑග්^ ලබාදීමේ පාලනයට එරෙහිව පාරිභෝගිකයන් අධිකරණයේ සහාය ලබා නැවතත් පෙර පරිදි අවිධිමත් භාවිතයට යොමුවීම මෙයට හොඳම නිදසුනකි. 

මීතොටමුල්ල විශාල ජීවිත හානියක් සිදුකර ඇත. ඩෙංගු බොහෝ මිනිස් ජීවිත අහිමි කර ඇත. නිතර පැමිණෙන ගංවතුර බරපතළ භෞතික හානි සිදුකර අවසන්ය. මේ සියල්ලෙන් පසු නැවතත් වසර දහයකට පසු අප පොලිතින් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන පාලනයට යොමුව තිබේ. පෙර පරිදිම මිනිසුන් දේශපාලන සහයෝගයෙන් යුතුව සංවිධානාත්මක විරෝධතාවන් මෙම පාලනයට එරෙහිව නැගෙනු දැකිය හැකිය. 
අනෙක් අතට ප්‍රා‘යෝගික මානසිකත්වයක් රහිත සුළු පිරිසක් සම්පූර්ණයෙන්ම පොලිතින්, ප්ලාස්ටික්, ඝන ආශ්‍රිත නිෂ්පාදනවලින් තොර ලෝකයක් ගැන සිහින දකිනුද දැකගත හැකිය. 
මෙම සියලු අන්තයන්ගෙන් බැහැරව වඩා නිවැරදි තත්ත්වයන් අවබෝධ කරගැනීම මෙම ලිපියේ අරමුණයි. ඒ අනුව පහත සඳහන් කරුණු ප්‍රායෝගික විමසුමට ලක්කළ යුතුව ඇත. 
මෙම නොදිරන පොලිතින් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන හඳුන්වා දෙන අවස්ථාවේදී ඒවා මගින් අපගේ ජීවිතවලට ලබාදුන් පහසුව සහ සහයෝගය පසු කාලීනව අත්විඳීමට සිදුවූ හානිවලට වඩා වැඩිවීම.
කාලීනව මුහුණ දෙන තත්ත්වයන් සලකා නිසි පාලන ක්‍රමවේදයකට යායුතු බව තේරුම් ගැනිම.

නීතියක් ලෙස යම් පාලන ක්‍රමවේදයක් හඳුන්වා දීමෙන් පසු ජනතාව (පාරිභෝගිකයා) සහ නිෂ්පාදකයා නීතිගරුක පුරවැසියන් වශයෙන් එයට දක්වන අවනතභාවය. 
නීතිය හඳුන්වා දුන් වගකිව යුතු රාජ්‍ය පාර්ශ්වයන් එම නීතිය බලාත්මක වීමට අවැසි සියලු පසුබිම ජනතාවට ලබාදීම සහ ජනතාව නොකැඩී ඒ තුළ රඳවා තබාගැනීම ඉහත කරුණුවලට අදාළ සියලු ක්‍ෂේත්‍රයන්හි බරපතළ හිස්තැන් පවතින බව පෙනී යයි. 
එක් එක් ප්‍රධාන කරුණක් සලකා බැලුවහොත් තහනම් කරන ලද නිෂ්පාදන මගින් ඉටුකරන ලද පාරිභෝගික අවශ්‍යතා සඳහා විකල්ප නිෂ්පාදන ඉදිරිපත් විය යුතුව ඇත. 
විකල්ප නිෂ්පාදන ඉදිරිපත් වුවද, ඒවා පරිසර හිතකාමී ලෙස නිෂ්පාදකයන් විසින් නම් කරනු ලැබුවද, නිසි ලෙස ඒවා තහවුරු කර ගැනීමට අවශ්‍ය විද්‍යාත්මක යාන්ත්‍රණය තවමත් රට තුළ ගොඩනැගී නොමැත. 
මේ සඳහා අවශ්‍ය පර්යේෂණ, සංවර්ධන කටයුතු සහ පරීක්‍ෂණාගාර පහසුකම් ඉතා සුළු පරිශ්‍රමයකින් ස්ථානගත කිරීමේ හැකියාව රට තුළ පවතී. නමුත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීමෙන් විධිමත් නිෂ්පාදකයන් සිර වී ඇත. 
මෙම නිෂ්පාදන පාලනයේ අරමුණු උවමනාවෙන්ම හඳුනා නොගත් ඇතැම් නිෂ්පාදකයන්, පාලන පනත මගින් ආවරණය නොවූ වඩාත් වැඩි කාලයක් පරිසරයේ නොදිරා පවතින අමුද්‍රව්‍ය භාවිත කර %බෑග්^ නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇති බවද පෙනී යයි. 
ඒ අතර විශ්වවිද්‍යාලවල අදාළ ක්‍ෂේත්‍රයන්හි පර්යේෂණකයන්ට හා අනෙකුත් විද්‍යාඥයන්ට මෙම පසුබිම හොඳ අවකාශයක් විවෘත කොට ඇති බවද සඳහන් කළ යුතුය. විද්වතුන්ගෙන් රටට ලැබෙන ඵලදායී තත්ත්වය ප්‍රශ්න කිරීමට සංවිධානාත්මක යම් පිරිස් උත්සාහ කරන බව දක්නට ලැබෙන කරුණකි. පරිසර හිතකාමී විකල්ප නිෂ්පාදන, එවැනි නිෂ්පාදනවල පරිසර හිතකාමී බව තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් සැකසීම තුළින් විද්වත් ප්‍රා‘යෝගික යොමුවකට සුදුසු පරිසරයක් මෙම පොලිතින් තහනම් පනත මගින් ඇතිකර තිබේ. 
ඒ සඳහා අදාළ ක්‍ෂේත්‍රයන්හි පර්යේෂණ සහ සංවර්ධන ක්‍රමවේදයන් සඳහා විද්වතුන්ගේ යෝජනා නිසි ඇගයීමකට ලක්කිරීමෙන් පසු අවශ්‍ය භෞතික සම්පත් ඔවුන් වෙත ලබාදිය යුතුව ඇත. එසේ කිරීමෙන් පමණක් විද්වතුන්ට ජාතික අවශ්‍යතාවන්ට දැනුමින් ප්‍රා‘යෝගික උරදීමේ වගකීම මග නොහැරිය හැකි ලෙස පැවැරේ. විද්වතුන්ගේ ජාතික වගකීම පිළිබඳ ප්‍රශ්න කිරීමේ හැකියාව අදාළ පාර්ශ්වයන්ට එවැනි ක්‍රමවේදයකින් පසුව පමණක් හිමිවනු ඇත. මෙලෙස විද්වත් දායකත්වය සහ එය ප්‍රමාණාත්මක දැයි ප්‍රශ්න කිරීම නිසැක ලෙස ජාතික කාර්යයන්ට සාධනීය ලෙස උරදීමට ඉවහල් වනු ඇත. 

ආචාර්ය සරත් මලවිපතිරණ
විශ්ලේෂණ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ව්‍යවහාර විද්‍යා පීඨය – ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය 
පරිසර අමාත්‍යාංශයේ පොලිතින් පාලනය පිළිබඳ ජාතික කමිටුවේ හිටපු සාමාජික 

 

අරමුණක් ඇතිව හෝ නැතිව ආරම්භ වන අපේ රටේ වැඩවර්ජන

කිසියම් රටක වාසය කරන මුල් පුරවැසියාගේ, එනම් ජනාධිපතිවරයාගේ සිට වැඩකරන කම්කරුවා දක්වා සියලුම ජනතාව එක්ව සංවර්ධනය කරා යන ගමනේදී විධිමත් ක්‍රමවේදයක් සහ කාර්යක්ෂමතාවකින් වැඩකටයුතු කළ යුතුය. එසේ නොවුණහොත් රට තුළ පවතින්නේ නිරායාසයෙන්ම ගැටලු සහගත තත්ත්වයකි. අද වනවිට ලංකාව තුළද මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, කෙමෙන් කෙමෙන් එය උග්‍ර තත්ත්වයකට පත්වෙමින් පවතී. 
මේ දිනවල බොහෝදෙනාගේ සවනට නිතර ඇසෙනුයේ වැඩවර්ජන ගැනය. කුමක් හෝ අරමුණක් ඇතිව හෝ නැතිව කුමන හෝ වෘත්තීය සංගමයක් විසින් මෙලෙස ආරම්භ කරන වැඩවර්ජන හේතුවෙන් පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවය. දැන් දැන් සිදුවන මෙම වැඩවර්ජන මහාපරිමාණ වශයෙන් ක්‍රියාත්මක වන්නා වූ ස්වරූපයක්ද දැකගත හැකිය. 


DSC_5212

ඈත අතීතයේ කම්කරුවන් තමන්ගේ සේවා මුරය පැය 08කට සීමා කිරීම සඳහා චිකාගෝ නුවරට රැස්වී සිය ජීවිත පරිත්‍යාග කළේ මුළුමහත් කම්කරු සමාජයේම අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමිනි. එය ආරම්භයේ සිටම වෘත්තීය සංගම් ක්‍රියාකාරීත්වයේ ප්‍රබලත්වය පෙන්නුම් කරන කදිම නිදසුනකි.

ලංකාවේ වැඩවර්ජන පුරාණය බ්‍රිතාන්‍ය යටත් විජිත සමය දක්වා ඈතට ගමන් කරන්නකි. ඒ අනුව ලංකාවේ මුල්ම සංවිධානාත්මක වැඩවර්ජනය සිදුකරන්නේ 1883 දී මුද්‍රණ ක්ෂේත්‍රයේ කම්කරුවන් පිරිසක් විසිනි. කර්මාන්ත ශාලා සේවකයන්ට නිසි පරිදි මුදල් නොගෙවීම මෙයට මූලික හේතුව විය.
මෙයින් මූලාරම්භය ගත් වැඩකරන ජනතාව එතැන් සිට සංවිධානාත්මකව මෙහෙය වී තම වෘත්තීය ක්ෂේත්‍රයේ අයිතිවාසිකම්, ඉලක්කයන් මුදුන්පමුණුවා ගැනීම සඳහා වර්ජන ක්‍රියාවලියේ යෙදිණ. මේ අනුව 1890න් පසුව මෙම ක්‍රියාවලිය නවමු මුහුණුවරකින් ඉදිරියට පැමිණි අතර, එය විශේෂයෙන් ආගමික සහ ජාතික ව්‍යාපාර සමග එක්ව කටයුතු කළේය.  මේ සමයේ බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයේ පීඩාවට පත්වූ කම්කරුවන් නැගී සිටීම සුලබව දැකිය හැකි වූ අතර, 1906 දී නගර සභා ආඥා පනතට අනුව කරත්තකරුවන් සහ රෙදි අපුල්ලන් වැඩවර්ජනයක නිරත විය. 

පසුව මෙම වර්ජන ක්‍රියාවලිය විධිමත් ක්‍රමයක් සහ නිවැරදි මගපෙන්වීමක් යටතේ ඉදිරියට ගමන් කෙරිණ. නොයෙක් පුද්ගලයන්ගේ නායකත්වයන් යටතේ එම වර්ජන සියල්ල ඉන් පසු කාලයේදී මෙහෙයවනු ලැබීය. ඒ අනුව ආගමික පුනර්ජීවනයක් ඇතිකිරීම සහ යටත් විජිත පාලනයෙන් මිදීමේ අරමුණු ඇතිව ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා 1921 වර්ෂයේ දුම්රිය සේවක වර්ජනය මෙහෙයවීය. මේ අයුරින් වැඩකරන ජනතාව සංවිධානාත්මකව පෙළගැසී ඉදිරියටම ගිය අතර, 1922 වර්ෂයේදී ඒ.ඊ. ගුණසිංහ මහතාගේ නායකත්වයෙන් ලංකා කම්කරු සංගමය පිහිටු වීම ඉතිහාසයේ විදිමත් වර්ජන ප්‍රවර්ධනයේ ප්‍රධාන වාහකය විය. 

ඒ අනුව කුඩා කුඩා සංවිධාන පිහිටුවා ක්‍රියාත්මක කළ වර්ජන වෙනුවට මෙම සංගමය පිහිටු වීමත් සමග වැටුප් වැඩි නොකිරීම, ජීවන මිල ඉහළ යෑම ප්‍රමුඛකොට සමස්ත ලංකාවම ආවරණය වන පරිදි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. 
මේ වනවිට කම්කරු සංගමය වටා 4000ක් පමණ වැඩකරන ජනතාව රැස්වීම කැපී පෙනෙන්නකි. ඒ අනුව 1928 වර්ෂයෙන් පසුව වැඩවර්ජන රාශියක් ලංකාව තුළ නොයෙක් අරමුණු මත ක්‍රියාත්මක විය.

මොටර් රථ කම්කරුවන්ගේ වැඩවර්ජනය
ටයිම්ස් සමාගමේ වැඩවර්ජනය
ට්‍රෑම් රථ හිමියන්ගේ වර්ජනය
කොළඹ මහ රෝහලේ වැඩවර්ජනය

ඒ අතරින් ප්‍රමුඛ වේ. මේ සඳහා සහාභාගි වන පිරිස් බලය ක්‍රමයෙන් වැඩි වීමත් සමග දේශපාලන ක්ෂේත්‍රයේ නොයෙක් ක්‍රියාදාමයන් සඳහා භාවිත කරන උපක්‍රමයක් ලෙසත් වැඩවර්ජන භාවිතයට ගැනීම ආරම්භ විය. 
ශ්‍රී ලංකාවේ දැවැන්තම වැඩවර්ජනය සිදුවන්නේ 1946 වර්ෂයේදීය. මෙය කාලයට සාපේක්ෂව සමාජ, ආර්ථික, දේශපාලනික කාරණා මත වෙනස් වෙමින් ඉදිරියට ගමන් ගත් අතර, එය මුල් කාලයේ මෙන් හුදු ඉල්ලීමකට පමණක් සීමා නොවී දේශපාලනික කාරණා මත පදනම් වෙමින් මෙහෙය වීය. ඒ අනුව කම්කරු ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා දේශයේ ප්‍රබල හඬක් නැගූ පුද්ගලයන් වන පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා යනාදී ප්‍රබල නායකයන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් 1946 වර්ෂයේ රාජ්‍ය සේවකයන්ගේ වර්ජනය සිදුවිය. මෙය විධිමත් අයුරින් 1948 වර්ෂයේදී ක්‍රියාත්මක වූයේ, රාජ්‍ය සේවකයන්ට වෘත්තීය සමිති පිහිටු වීමට අවස්ථාව ලැබීමත් සමගිනි.
මෙම වෘත්තීය සමිතිවල භූමිකාව එහි නායකත්වය අනුව යම් යම් වෙනස් ප්‍රතිපත්ති ඔස්සේ ගොඩනැගුණද, ඔවුන් සියල්ලන්ගේම පොදු අභිප්‍රාය වූයේ ස්වකීය වෘත්තීය අයිතීන් දිනා ගැනීමයි. 
නූතනයේ මෙය වඩාත් පුළුල් වපසරියක් හිමිකර ගනිමින් විටෙක සාමූහිකවද, තවත් විටක කණ්ඩායම් වශයෙන්ද ඒකරාශී වී ආණ්ඩුකරණය සහ රටේ රාජ්‍යතන්ත්‍රය තුළ සිදුවෙමින් පවතින අක්‍රමිතා වෙනුවෙන් නැගී සිටියි. 
ඇතැම් අවස්ථාවන් හිදී ඒවා දැවැන්ත අරගලයන් බවට දියත් කරමින් ඉන් සිදුවන පීඩාව හා හානිය පිළිබඳ ආණ්ඩුවට සහ ජනතාවට ඒත්තු ගන්වයි. නමුත් ඇතැම් ඒවා කිසිදු විධිමත්  හෝ නීත්‍යානුකූල පදනමක් නොමැතිව ක්‍රියාත්මක වේ. ඇතැම් පිරිස් දක්වන්නාක් මෙන් එවැනි වූ වැඩවර්ජන රැල්ලට, විලාසිතාවකට ක්‍රියාත්මක වන්නකි. 

මේ සෑම දෙයක්ම මැනවින් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ මෙහි හොඳ මෙන්ම නරක යන ද්විත්ව ලක්ෂණම පෙන්නුම් කරන බවයි. පවතින ආණ්ඩුව හෝ පැවති ආණ්ඩු ක්‍රියාත්මක කළ හෝ ක්‍රියාත්මක කිරීමට නියමිත යෝජනා, ව්‍යාපෘති පිළිබඳ සමාන්‍ය මහජනතාවට ප්‍රමාණවත් දැනුමක් නොමැත. නමුත් එහි සේවයේ නියුතු වෘත්තිකයන්ට මේ පිළිබඳ මනා අවබෝධයක් තිබේ. ඒ අනුව ඒ ක්ෂේත්‍රයේ සිදුවීමට නියමිත හෝ සිදුවෙමින් පවතින නොයෙක් අර්බුදකාරී දේවල් සම්බන්ධයෙන්ද ඔවුන් සතු දැනුම බහුලය. මේ නිසා ඊට අදාළ ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති විසින් ගැටලුව පිළිබඳ වගකිව යුතු පුද්ගලයන් හා සාකච්ඡා කර එයද සාර්ථක නොමැති නම් වර්ජන ක්‍රියාවලීන්වල නිරත වීම සුලභව දැකිය හැකි දෙයකි.
මේ පිළිබඳ අනතුරු හැඟවීමකින් පසුව ඔවුන් මෙම ක්‍රියාවේ නිරත වන්නේ මෙම ගැටලු සඳහා කිසිදු ක්‍රියාවක් රජය විසින් අනුගමනය නොකරන විටදීය.

නමුත් එහි අනෙක් පැත්ත වන්නේ මෙම වර්ජන හමුවේ පීඩාවට පත්වන්නේ ආණ්ඩු පාලකයන් නොව රටේ මහජනතාව වීමයි. එදිනෙදා තම කටයුතු අඩාල වීම, ගතවන අමතර කාළය ආදි කාරණා හේතුවෙන් මහජනයා මෙයින් මහත් පීඩා විඳී. එය ප්‍රධාන ගැටලුවකි. 
බොහෝ අවස්ථාවන්හි පාලන ක්‍රමයේ අක්‍රමතාවන් නිසා හෝ අයිතිවාසිකම් කඩවීම් නිසා, මෙම වැඩවර්ජන ඇති වූවත් අද වනවිට එය පාලන ක්‍රමයේ හා පරිපාලනයේ අක්‍රමිතා වැඩි නිසා හෝ දේශපාලන ක්‍රියාකාරීත්වයේ නොයෙක් කූඨ උපක්‍රමයන් නිසා වර්ජන රැල්ලක් වී හමාරය. අධ්‍යාපනික, සෞඛ්‍ය, විදුලිබල, වරාය, බැංකු, දුම්රිය, බස් රථ, මහාමාර්ග ආදී නොයෙක් ක්ෂේත්‍රයන්ගේ නොයෙක් අරමුණු අතැතිව සිදුවන වර්ජනයන් අපේ රටේ සුලබය. 
මේ දිනවල බොහෝ අයගේ කතාබහට ලක්වන්නේ සයිටම් අර්බුදයයි. සයිටම් වෛද්‍ය උපාධිය පිරිනමන සයිටම් ආයතනය අහෝසි කරන මෙන් ඉල්ලා විශ්වවිද්‍යාල වෛද්‍ය සිසුන් පන්ති වර්ජනය කළ අතර, වෛද්‍යවරුන්ද නොයෙක් අවස්ථාවල වැඩවර්ජනවල නිරත විය. එයින් පීඩාවට පත්වන්නේ වෛද්‍ය සේවය අපේක්ෂාවෙන් සිටින සාමාන්‍ය ජනතාවයි. මේ සඳහා රජය නොයෙකුත් යෝජනා ගෙන ආවද ඉන් ස්ථීර විසඳුමක් තවමත් උදා වූයේ නැත. ලාභය, නිදහස් අධ්‍යාපනය, පෞද්ගලීකරණය තුළ පීඩාවට පත්වන්නේ සමස්ත ජනතාවයි. ආණ්ඩුවට ස්ථීර විසඳුමක් හෝ ක්‍රියාපටිපාටියක් නොමැතිකමින් තවමත් ගැටලුව විසඳීය නොහැකි වී තිබේ. වෛද්‍ය අධ්‍යාපනය උදෙසා නිශ්චිත නිර්ණායක ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළ හැක. නමුත් මේ සියල්ලටම විසඳුම් සෙවීමේදී අවසානයේ සිදුවන්නේ මේ කිසිදු අර්බුදයකට විසඳුම් සොයාගත නොහැකි වීමයි. එම නිසා සයිටම් ප්‍රශ්නය මුලින් විසඳා අවසන් කළ යුතුය. පසුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විධිමත්භාවයකින් ආරම්භ කිරීමට  අවශ්‍ය පියවර ගත යුතුය. නමුත් සිදුවූයේ බොහෝදෙනාගේ වටිනා කාලය අපතේ යවමින් ප්‍රශ්නය තවත් ඔඩුදිවීම පමණි.

මේ ආණ්ඩුව බලයට පත්වීමත් සමග වැඩවර්ජනවලින් නම් කිසිදු අඩුවක් නොමැත. ඛනිජ තෙල් වර්ජනයද ජනතාවට කිසිසේත් අමතක කළ නොහැකි සිද්ධියකි. අවසානයේ සෘජු තීරණ ඔස්සේ ජනාධිපතිවරයා මෙය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් හමුදාව යොදවා ජනතාව අතර තෙල් ප්‍රවාහනය කෙරිණි. එයින් ජනතාව පත්වූ පීඩාව නවතාලීමට හැකි විය. එය අවස්ථාවට උචිත ක්‍රියාත්මක කිරීමක් වුවද නැවතත් සේවකයන්ගෙන් මෙවන් වර්ජනයක් නොවීමට පාලනාධිකාරිය වගබලා ගත යුතුය. හම්බන්තොට වරාය සහ ඛනිජ තෙල් සංකීර්ණය චීන සමාගමකට බදු දීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක විය. එම නිසා ඉදිරියට ගන්නා තීරණ පිළිබඳ වෘත්තීය සමිති සහ වැඩකරන ජනතාව දැනුවත් කළ යුතුය. මන්ද, යම් හේතුවක් නිසා එහි ගැටලු මතු වූ විට එයින් පීඩා විඳීමට සිදුවන්නේ ආණ්ඩුකරන්නන්ට වඩා සේවකයන්ට සහ මහජනයාට බැවිනි.

එමෙන්ම මීට මාස කිහිපයකට ප්‍රථම ආබාධිත රණවිරුවන් වැඩවර්ජනයක් පැවැත් වූ අතර, එයටද වත්මන් ආණ්ඩුව සාර්ථක ප්‍රතිචාරයක් දැක්වීය. 
එමෙන්ම පැවැත්වීමට තිබූ දුම්රිය සේවක වර්ජනයද නවතා දැමුවේ රජයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වීම නිසාය. මේ නිසා එයින් සිදුවන්නට ගිය අපහසුතාව මගහැරී ගියේය. තාවකාලික විසඳුම්වලින් දිර්ඝකාලීන සහනයක් අපේක්ෂා කළ නොහැකි නිසා ඔවුන් නැවතත් නැගී සිටින්නට පෙර මෙම ගැටලුවලට පිළියම් සකස් කළ යුතුයි.

ලංකාවේ ඇතැම් වැඩකරන ජනතාවට තම අයිතිවාසිකම් දිනා ගැනීමට තබා ඒ වෙනුවෙන් නැගීසිටීමටවත් වෙලාවක් නොමැත. ඒ තරමටම කාර්යබහුලය. ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතව බොහෝ විට මෙය දැකිය හැක. පිරිසක් ස්වකීය අයිතීන් ඉල්ලා වර්ජන කරද්දී තවත් පිරිසකට වර්ජනයක් කිරීමටවත් අයිතියක් නොමැත. ඇතැම් වෘත්තිකයන් මෙම වර්ජන විලාසිතාවක් ලෙසටද සිදුකරයි. නමුත් මේ සැවොම වෙසෙන්නේ එකම භූමියක වීම සුවිශේෂීම කාරණයයි.
කෙසේ නමුත් වර්ජන කර හෝ ඔවුන් අපේක්ෂා කරන්නේ හුදෙක් පෞද්ගලික යහපතක් නොව පොදු යහපතකි. එමෙන්ම පවතින ගැටලුවකට විසඳුමකි. එසේත් නොමැති නම් ගෙන ඒමට නියමිත යෝජනාවක් හෝ ප්‍රතිපත්තියක් පිළිබඳවය.  නොයෙක් සංගම් මගින් වැඩවර්ජන ක්‍රියාත්මක කරන්නේ නම් ඒ පිළිබඳ නොයෙක් නන් දෙඩුම් පවසා හිතුමතේ ක්‍රියා කිරීමට ආණ්ඩුවට නොහැකිය. එමෙන්ම එය මගහැර යාමටත් ඔවුනට නොහැකිය. කළයුතු එකම ක්‍රියාමාර්ගය වන්නේ ගැටලුව පැන නැගී ඇති මූලාශ්‍රය සොයා එයට හැකිතාක් ඉක්මනින් සාධාරණ විසඳුමක් ගැනීමය. එය ගත යුත්තේ වසරකින් දෙකකින් නොව එයට සුදුසුම යෝග්‍යම දිනයේදීය. නැතිනම් මෙම ප්‍රශ්න තවදුරටත් ඔඩුදුවා විසඳාලිය නොහැකි දැවැන්ත ප්‍රශ්න වනු නොවනුමානයි. සයිටම් ප්‍රශ්නයටද විසඳුම් ඉදිරිපත් කිරීමට ගත් කාලය ආණ්ඩුවක් ලෙසින් ඉතාමත් ප්‍රමාදය. ඒ සඳහා මෙතරම් කලක් ගතවීම තුළින් එම තත්ත්වය තවත් උග්‍ර අතට පරිවර්තනය විය. මේ නිසා ගැටලුවට කුමන කාලයේ හෝ පිළියම් සෙව්වද එම කාලය ඇතුළත ජනයාට සිදුවන පීඩා නැවත සකස් කළ නොහැකිය. එය මානසික හෝ ශාරීරික වශයෙන් සිදුවේ. එම නිසා වර්ජන ක්‍රියාවලියට යම් තීරණයක් ගන්නේ නම් රජයක් විසින් අදාළ ක්ෂේත්‍රය පමණක් නොව අදාළ පුද්ගලයන් ගැනද මීට වඩා සාවධාන අයුරින් සිතිය යුතුය.

වර්ජකයන්ද හුදෙක් ලාභ පරමාර්ථ අනුව නොයා පොදු ජනතාව සහ ස්වකීය රටේ යහපත වෙනුවෙන් ක්‍රියාකළ යුතුය. අතීතයේ සිට ඔවුන් හඬ නැගූ හෙයින් දිනාගත් අයිතීන් බොහෝය. එයින් රටටම සෙතක් සැලසිණ. තවත් දිනා ගැනීමට අප හට බොහෝ දේ ඇති මුත් එය කිසිසේත් පෞද්ගලික අරමුණු මත පදනම් නොවී රටේ සහ මහජනතාවගේ යහපත උදෙසා කළ යුතුය. එයට සාපේක්ෂව ආණ්ඩුවද මේ පිළිබඳ මනා විමර්ශනයකින් යුතුව අවශ්‍ය කටයුතු කිරීමට තරම් නම්‍යශීලී විය යුතුය. එවිට කාර්යක්ෂම හා විධිමත් පාලනයක් සහිත රටක් දක්වා ශ්‍රී ලංකාවද පරිවර්තනය කිරීමට හැකි වේවි. 

අපේ රණවිරුවන් අතින් නිමැවුණු ජයබිමක් වන් ගොවිබිමක්

එදා රුදුරු ත්‍රස්තවාදයත් සමග සටන් වැදිලා රටත්, ජනතාවගේ ජීවිතත් සුරක්ෂිත කළ රණවිරුවන් අද මහපොළොවත් සමග ගැටෙමින් අපේ මුතුන්මිත්තන් අපට දායාද කරපු, අපව ලෝකයේ ඉහළින්ම රඳවපු කෘෂිකාර්මික ආර්ථිකයට නැවතත් පණ පොවන්නට දරන නිහඬ වෑයමක් ඔබ වෙත ගෙන ඒමට අද විශේෂංගය තුළින් මේ විදියට ඉඩහසර වෙන් කෙරෙනවා. සෝමාවතිය පුදබිම අසලින් වැටුණු සේරුවිල වෙත දිවයන මාර්ගයේ කිලෝමීටර කිහිපයක් ගමන් කළාම හමුවන කන්දකඩුව යුද හමුදා ගොවිපොළ අද මෙරට තිබෙන සාර්ථකම සහ විශේෂිතම ගොවිපොළක් ලෙස හඳුන්වන්න පුළුවන්. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ නිරන්තර මගපෙන්වීමෙන් සහ යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් බුවනක ගුණරත්න මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන මේ ගොවිපොළේ මේ වනවිට නිලධාරීන් 5 දෙනෙකුත්, සෙසු නිලයන් 150 දෙනෙකුත් සහ අවට ගම්මානවලින් බඳවාගත් තරුණ තරුණියන් 200 දෙනෙකුගෙන් සමන්විත වෙනවා.  


DSCF3082

ගොවිපොළේ ඉතිහාසයdir

මෙම ගොවිපොළ වර්ෂ 1950 දී අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ  සහ එංගලන්ත ජාතික ඇන්කර් මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවූවකි. එවකට අක්කර 11436ක භූමි ප්‍රමාණයක් සහිත මෙම ගොවිපොළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වුණා. වසර ගණනාවක් ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන ගිය මෙම කන්දකඩුව ගොවිපොළ 1984 වසරේදී ප්‍රථම වතාවට රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්වෙනවා. එම ප්‍රහාරයෙන් ගොවිපොළේ සේවයේ නිරත වී සිටි පුද්ගලයන් හතරදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙන අතර, එල්.ටී.ටී.ඊ යේ ප්‍රහාර තවත් දැඩි වීමත් සමඟ ගොවිපොළ අත්හැර දැමීමට සිදුවෙනවා. ඒ සමග ගොවිපොළේ තිබුණු ගොඩනැගිලි, කෘෂි උපකරණ ආදී තවත් වටිනා බොහෝ දේවල් විනාශයට පත් වුණා. සමහර දේවල් එල්.ටී.ටී.ඊ සංවිධානයේ භාරයට පත්වී තිබෙනවා
.
2009 වර්ෂය වනවිට එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කරමින් මානුෂීය මෙහෙයුම අවසන් වීමත් එක්ක. එවකට සිටි යුද හමුදාපතිවරයාගේ උපදෙස් අනුව නැවතත් කන්දකඩුව යුද හමුදා ගොවිපොළේ කටයුතු ආරම්භ කරන්න ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායට පැවරෙනවා. ඒ අනුව 2009 වසරේ ඔක්තෝම්බර් මස 07 වැනිදා යුද හමුදා පොදු සේවා බළකාය කන්දකාඩු ගොවිපොළ නැවතත් රටට ඵලදායී ලෙස දායාද කරන්න වැඩකටයුතු ආරම්භ කරනවා. ඒ අතර වාරයේදී 2012 වර්ෂයේ අගෝස්තු මස 28 වැනිදා කන්දකඩුව ගොවිපොළ සම්පූර්ණයෙන්ම යුද හමුදාවේ පාලනයට භාරකෙරෙනවා.
 
_KSR2618

අද තත්ත්වය

අද වනවිට අක්කර 3500ක භූමි ප්‍රමාණයක් සහිත කන්දකඩුව යුද හමුදා ගොවිපොළේ අක්කර 1500කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කටයුතු සහ සංවර්ධන කටයුතු සිදුවෙනවා. මේ වෙද්දි ගොවිපොළේ, 
පහතරට එළවළු වර්ග වගාව, පලතුරු වගාව, වී වගාව, රබර් වගාව, කජු වගාව, අතුරු භෝග වගාවන්, විසිතුරු මත්ස්‍ය වගාව, සත්ත්ව පාලනය
ඉතාමත් සාර්ථක ලෙස සිදුවෙමින් තිබෙනවා. සුවිශේෂීතම කාරණය වන්නේ දරිද්‍රතාවෙන් දැඩි ලෙස බැටකමින් සිටි මේ ගොවිපොළ අවට ගම්මානවල පදිංචි ජනතාවගේ ආර්ථික සහ සාමාජීය තත්ත්වය නගාසිටුවන්න කන්දකඩුව යුද හමුදා ගොවිපොළ සමත් වීමයි. අවට ගම්මානවල තරුණ පිරිස් 200කට වැඩි ප්‍රමාණයකට 2013 වසරේ සිට ගොවිපොළ තුළ රැකියා අවස්ථා නිර්මාණය කර දීමෙන් මේ ප්‍රදේශවල ජනතාව එතෙක් කාලයක් දරිද්‍රතාව නිසා අත්විඳි වේදනාවන් අතීතයට පමණක් සීමා කරන්න කන්දකඩුව ගොවිපොළ සමත්ව තිබෙනවා. ඒ වගේම සිසුන් 5 දෙනෙක් පමණක් අධ්‍යාපනය ලැබූ කන්දකඩුව ප්‍රාථමික විදුහල අද වෙනකොට පහසුකම් අතින් දියුණු කරමින් සිසුන් 50කට වැඩි පිරිසකගේ නෙත් පාදන තත්ත්වයට පත්ව තිබෙන්නේත් මෙම ගොවිපොළ නිසයි. ඒ වගේම මේ ගොවිපොළේ සිදුකරන සෑම වගාවක් සඳහාම භාවිත කරන්නේ කාබනික පොහොර සහ ස්වාභාවික පළිබෝධන ක්‍රමවේදයන් වීම තවත් විශේෂත්වයක් වෙනවා.
_KSR2670
 

ගොවිබිමේ ලද ජයග්‍රහණයන්

මූලිකවම අක්කර 200ක භූමි ප්‍රමාණයක් පුරා දේශීය පාරම්පරික වී වර්ග සහ සාමාන්‍ය වී වගාව සාර්ථක ආකාරයෙන් සිදුවී තිබෙනවා. වී වගාව සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීම සිදුවෙන්නේ බ්‍රිගේඩියර් බුවනක ගුණරත්න මහතාගේ සංකල්පයක් මත අපේ විරුවන්ගේ අතින් නිමැවුණු 'ඉසුරු වැව 5' මගින්. ගොවිපොළට පිටින් දකින්නට ලැබෙන %ඉසුරු වැව 3^ අවට වනසතුන්ගේ පිපාසය නිවන්න සිදුකළ නිර්මාණයක්. අතීත රජදරුවන් ලෝකයම පුදුමයට පත්කරමින් සිදුකරපු විශ්මිත වාරි නිර්මාණයන් අද අපේ රණවිරුවන්ගේ දෑතින් සිදුවෙලා තිබෙන ආකාරය අපේ සිත්වලටත් ඇති කළේ විශාල අභිමානයක් බව සඳහන් කළ යුතුමයි. මේ අක්කර 200ක් වුණු වී වගාව තුළ දේශීය වී වර්ග 26ක්, අක්කර 50ක වපසරියක සාර්ථකව වගා කෙරෙනවා. 
කන්දකඩුව ගොවිපොළ භූමියෙන් අක්කර 50ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී තිබෙන මහා පරිමාණ %ටොම් ඇන්ඩ් ජර්සි^ අඹ වගාව මෙහි සාර්ථකව සිදුකරන තවත් විශේෂිත වගාවක්. මේ අඹ වර්ගය පළිබෝධ උවදුරු ඉතාමත්ම අවම වන ලෙසටත්, ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමටත් විශේෂිත ක්‍රමවේද බොහෝමයක් යුද හමුදාව විසින් භාවිත කරනු ලබනවා. කෙසෙල් වගාව අක්කර 15ක පමණ සිදුකර තිබෙනවා. එම භූමියේම අතුරු භෝගයක් ලෙස අක්කර 7කට වැඩි ප්‍රමාණයක රබර් වගාවක්ද දැකගන්න පුළුවන්. කෙසෙල් කොළ ආශ්‍රයෙන් නිපදවන ජීව ආහාර දවටනය සඳහා අවශ්‍ය කෙසෙල් පත්‍ර ලබාගැනීමටත් වෙනම කෙසෙල් වගාවක් ගොවිපොළ සතු වෙනවා.
විශාල වාණිජමය වටිනාමක් තිබෙන කජු වගාව කන්දකඩුවේ අක්කර 50ක භූමිභාගයක් පුරා සිදුකෙරෙනවා වගේම කජු සංස්ථාවත් සමග ඒකාබද්ධවෙලා තවත් අක්කර 25ක කජු වගාවක් සිදුකරන්න කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. මීට අමතරව සියලුම පහතරට එළවළු වර්ගවලිනුත්, ගස්ලබු, පේර, පැණි කොමඩු වැනි තවත් පලතුරු වර්ග රැසකිනුත් මේ අපූරු ගොවිබිම සශ්‍රීකයි. අතුරු භෝග විදියට මුංඇට, කව්පි, සෝයා බෝංචි, දෙළුම්, දෙහි, මිරිස් ආදී භෝග විශාල ප්‍රමාණයක් වගා කරනවා වගේම බීජ නිශ්පාදන ව්‍යාපෘතියක්ද ගොවිපොළ සතුව තිබෙනවා. මීට අමතරව එළ ගවයින්, මී ගවයින්, කුකුළන්, එළුවන් භාවිත කරමින් විශාල ප්‍රමාණයෙන් සත්ත්ව පාලන ව්‍යාපෘතියක්ද ගොවිපොළ තුළ ක්‍රියාත්මකයි. මේ විශේෂිත ව්‍යාපෘති අතරට වකුගඩු රෝගයටද යම් පිළියමක් ලබාදෙන්න සමත් නිෂ්පාදනයක් වූ ස්පිරුලිනා ඇල්ගී වගාවද අයත් වෙනවා. 
_KSR2786
 
වී වගාව හැර අනෙකුත් මේ සියලුම භෝග වගාවන් සඳහා අවශ්‍ය ජලය සපයාගන්න යුද හමුදාව භාවිත කර තිබෙන ක්‍රමවේදයත් සඳහන් කළයුතුම විශේෂිත කාරණයක් වෙනවා. කන්දකඩුව යුද හමුදා ගොවිපොළට කිලෝමීටර 4කට වැඩිදුරක සිට ගලායන මහවැලි ගඟෙන් ලබාගන්නා ජලය වනාන්තරය මධ්‍යයේ සිට නළ මගින් පොම්ප කරලයි ජලය ලබා ගැනෙන්නේ. ජලය පොම්ප කෙරෙන්නේ සූර්යපැනල් භාවිතයෙන් සකස් කරලා තිබෙන ස්වයංක්‍රීය ක්‍රමවේදයකින් වන නිසා කිසිදු පාරිසරික හානියක් සිදුවන්නේ නැහැ. වැදගත්ම කරුණ වෙන්නේ මේ අපූරු ජල සම්පාදන ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ යුද හමුදාව විසින්ම වීමයි.
ගතට සිතට සිසිල ගෙනෙන අපූරු නවාතැන
කන්දකඩුව ඇළට යාබදව පිහිටලා තිබෙන ඉතාමත් සුන්දර සිසිල් පරිසරයක ඉදිකෙරුණු නිවාඩු නිකේතනය කන්දකඩුව ගොවිබිමේ තිබෙන තවත් සුවිශේෂීතම අංගයක් වෙනවා. සෝමාවතියේ වන්දනාවට පැමිණෙන ඔබට, නිවාඩුවක් ගතකිරීමේ අදහසින් මේ ප්‍රදේශයේ සංචාරය කරන ඔබට මේ අපූරු සුන්දර නවාතැන ඉතාමත් සාධාරණ මිලකට වෙන්කර ගැනීමේ හැකියාව තිබෙනවා. එය ඔබට අලුත්ම අත්දැකීමක් ලබාදෙන බව සහතිකයි.
 

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා

coa_ltgenmaheshsenanayake

'1950 වසරේදී ආරම්භ කරලා කාලයක් ත්‍රස්තවාදී ප්‍රහාර නිසා අත්හැර දමලා තිබුණු මේ ගොවිපොළ යුද හමුදාවට බාර වෙන්නේ 2009 වසරේදී පමණ. එදා සිට මේ දක්වා කාලය ගත්තොත් මේ වෙනකොට කන්දකඩුව ගොවිපොළ විශාල දියුණුවක් ලබලා තිබෙනවා. මෙමගින් යුද හමුදාවට අවශ්‍ය ආහාර සපයාගන්නට හැකි වී තිබෙනවා වගේම මේ අවට ග්‍රාමීය ජනතාවට රැකියා අවස්ථා උදාකරලා දීලා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්නත්, සංවර්ධනය මේ ගම්වලට ගෙන එන්නත් හැකියාව ලැබී තිබෙනවා. සංවර්ධනය ගමට අරන් යන වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරන්න මේ ඔස්සේ යුද හමුදාව සමත් වෙලා තිබෙනවා.

ඒ වගේම මේ ගොවිපොළ මගින් වකුගඩු රෝගයටත් විසඳුමක් ලබාදිය හැකි ස්පිරුලිනා ඇල්ගී විශේෂය වගා කිරීම සිදුකරනවා. ඒ ආශ්‍රිත නිෂ්පාදන බිහිකරන්නත් සමත් වෙලා තිබෙනවා වගේම නුදුරේදීම මේ නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් යනවා.'
 

මංගලිකා-මුතුවැල්ල (ගොවිපොළේ සේවයේ නියුතු ගම්වාසී තරුණියක්)

' මේ ගොවිපොළේ වැඩට එන්න කලින් අපි කුලී වැඩ තමයි කළේ. ආර්ථික තත්ත්වය තිබුණේ බොහොම දුර්වල මට්ටමක. මුළු ගමේම තත්ත්වය වුණේ ඒක. 2013 අවුරුද්දේදී දැනගන්න ලැබුණා ගොවිපොළේ වැඩට කට්ටිය බඳවගන්නවා කියලා. ඒ එක්කම මමත් මේකට බැඳුණා. මේ රස්සාවට ආවත් එක්කම දැන් අපි හැමෝටම කාටවත් අත නොපා ජීවත් වෙන්න ලැබිලා තියෙනවා. අපිට නිලඇඳුම හැර සාමාන්‍ය සොල්දාදුවෙකුට ලැබෙන වැටුපත් එක්ක දීමනා, විශ්‍රාම වැටුප් හැමදේම ලැබෙනවා. මගේ සැමියා වැඩ කරන්නෙත් මේ ගොවිපොළේමයි. අපේ දරුවන්ටත් ශිෂ්‍යාධාර පවා කඳවුරෙන් ලබාදෙනවා. ඒක අපිට ලොකු හයියක්. මේ ගොවිපොළ නිසා අද වෙද්දි ගම වුණත් ඉස්සර තිබුණ තත්ත්වෙට වඩා සෑහෙන දියුණුවක් ලබලා තියෙනවා* 
 

ජයසේකර-මෛත්‍රීගම  (ගොවිපොළේ සේවයේ නියුතු ගම්වාසී තරුණයෙක්)

'මම මෙතන රස්සාවට එන්න කලින් කළෙත් කුඹුරු වැඩ. ඒත් අපිට ලොකු ආර්ථික තත්ත්වයක් තිබුණේ නැහැ. උදේ හවස ගෙදර එන්න පුළුවන් නිසාත්, හොඳ වැටුපක් එක්ක ස්ථිර රස්සාවක් ලැබෙන නිසාත් 2013 අවුරුද්දෙදී මෙතන වැඩට ආවා. මේ වෙනකොට ගෙවල් දොරවල් පවා හොඳට හදාගන්න පුළුවන් වෙලා තියෙනවා මේ රස්සාව නිසා. කිසි ප්‍රශ්නයක් නැතුව හැමෝම සමගියෙන්, ආසාවෙන් තමයි මෙතන වැඩට එන්නේ. ඕනම කරදරයකදී කඳවුරෙන් තමයි පිහිටට වුණත් එන්නේ*
 
ඡායාරූප-ක්‍රිෂාන් රණසිංහ
_KSR2677 _KSR2733 _KSR2778 _KSR2789

මද්‍යසාර පිළිබඳ තීරණ ගැනීමේදී වැදගත් වන්නේ භාවිත නොකරන බහුතරයයි

මද්‍යසාර නිෂ්පාදන යනු පුද්ගලයාගේ සෞඛ්‍යය මෙන්ම පෞරුෂත්වය ක්ෂය කර දමන්නකි. යුරෝපා රටවලට සාපේක්ෂව ලංකාවේ මද්‍යසාර භාවිතය අවම වශයෙන් සිදු වීම යම්තාක් දුරට සෑහීමකට පත්විය හැකි කරුණකි. එනමුත් බහුජාතික සමාගම් මද්‍යසාර භාවිතයට  පෙළඹවීම සහ උත්තේජනයක් ඇති කිරීම සඳහා නොයෙක් උපක්‍රම භාවිත කරයි. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය තරුණ ප්‍රජාවයි. එයට සාපේක්ෂව මද්‍යසාර භාවිතයට පෙළඹවීම වළක්වමින් නිවැරදි වූත්, ප්‍රායෝගික වූත් මාර්ගෝපදේශනයක් ඔවුන්ට ලබාදීම අප කාගේත් යුතුකමකි. ඒ සඳහා  අනිවාර්යයෙන්ම රටේ ක්‍රියාත්මක වන මද්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ශක්තිමත් කළ යුතුය. නමුත් එම  කාර්යය සරලව සහ පහසුවෙන්  කළ හැක්කක් නොවේ.


b2ap3_large_Fotolia_48925068_Subscription_Monthly_M

ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයනයක්, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජරට විශ්වවිද්‍යාලය සහ ස්වීඩනයේ මද්‍යසාර පිළිබඳ තොරතුරු කවුන්සිලය (CAN) ආයතනය විසින් සිදු කරනු ලැබිණි. ඒ මත පදනම්ව ශ්‍රී ලංකාවේ මද්‍යසාර හා අනාගත ප්‍රතිපත්ති සකස් විය යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පෙරේදා (07දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. එහිදී දැනට පවතින මද්‍යසාර භාවිතය හා සුලබත්වය සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යයන, ලෝකයේ මද්‍යසාර භාවිතය පාලනය සම්බන්ධයෙන් ප්‍රතිඵලදායක මැදිහත්වීම් සහ මද්‍යසාර භාවිතය පාලනය සම්බන්ධයෙන් නොගැළපෙන ප්‍රතිපත්තියක් ඇතිවීමේ අවාසි පිළිබඳ අවධානය යොමු කෙරිණි. පසුගිය වසර 25 ක පමණ දත්ත අනුසාරයෙන් සිදු කරන ලද අධ්‍යයනයන් පිළිබඳ මෙහිදී දැනුවත් කළ අතර, ශ්‍රී ලංකාවේ මද්‍යසාර ප්‍රවණතාව ප්‍රමුඛ ලෙස සාකච්ඡා කෙරිණි.

අපේ රටේ මද්‍යසාර භාවිතය සහ බලපෑම අනෙකුත් රටවල් සමග සංසන්දනය කිරීමේදී අවම මට්ටමක පවතී. මේ හේතුවෙන් මද්‍යසාර සමාගම් අනෙකුත් රටවලට සාපේක්ෂව අපේ රට තුළ සාර්ථක ව්‍යාපාරයක් කරමින් ඔවුන්ගේ අභිලාෂයන් මුදුන් පමුණුවාගැනීමට අපොහොසත්ව සිටී. එමනිසා 2018 අයවැය ඉලක්ක කරගනිමින් ඔවුන් විවිධ මාධ්‍ය හරහා මේ දිනවල අසත්‍ය තොරතුරු හා දත්ත ප්‍රචාරය කරමින් ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මහජනයා නොමඟ යවමින් තම ලාභය තර කරගැනීමේ අපේක්ෂාවෙන් සිටියි. නමුත් යථා ස්වභාවය ඔබ සැවොම දැනගත යුතු කරුණකි. 

ලංකාවේ 1995 වර්ෂයෙන් අනතුරුව මද්‍යසාර භාවිතයේ ඉහළ යෑමක් ආරම්භ වී තිබේ. එවකට මුදල් ඇමතිව සිටි ජී.එල්. පීරිස් මහතා සැර වැඩි මද්‍යසාර භාවිතය අඩු කිරීම සඳහා සැර අඩු බියර් බදු මිල පහත දැමීමට කටයුතු කළේය. ඒ අනුව 50෴කින් බියර් බදු අඩු කෙරිණි. නමුත් අපේක්ෂා කළ කිසිවක් සිදු නොවූ අතර, ප්‍රතිඵලය වූයේ අරක්කු, කසිප්පු පානය අඩු නොවී බියර් පානයට නව පිරිස් යොමු වීමයි. 2007 වර්ෂයේ මද්‍යසාරවල අඩු වීමක් යළිත් සිදු වූයේ 2006 වර්ෂයේ ගෙන ආ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ක්‍රියාවට නැංවීමත් සමගය. 

Capture

නමුත් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වී වසර තුනක් ගිය පසුව නැවතත් ශීඝ්‍ර ලෙස වැඩිවූයේ යුද්ධය අවසන් වීමෙන් පසුය. 
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහාභාගි වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මද්‍යසාර හා දුම්කොළ පාලනය සම්බන්ධ විශේෂඥ කමිටුවේ සාමාජික වෛද්‍ය සජීව රණවීර මහතා, මෙම තත්ත්වය වඩාත් වැඩි සමාජ, ආර්ථික බලපෑමක් රටට ඇති කරවන බව පැවසීය. 2015 වර්ෂයේ මද්‍යසාර මගින් රටට සිදු වූ හානිය මූල්‍යමය වශයෙන් ගත්කල රුපියල් බිලියක 141 කි. රටකට වඩාත් ප්‍රතිඵලදායී මද්‍යසාර පාලනයකට 2015 වර්ෂයේ පාර්ලිමේන්තුව තුළ සම්මත වූ මද්‍යසාර ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතු බව පොදුවේ වෛද්‍ය සංගමයේ මතයයි. විශේෂයෙන් එහිදී දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ මිල, බදු, සුලබතාව, ආකර්ෂණය සහ ඉල්ලුම අවම කිරීම වැනි සෑම ඉසව්වක්ම අවරණය වන පරිදි මද්‍යසාර ප්‍රතිපත්තිය කෙටුම්පත් කර ඇති අතර, එය ක්‍රියාත්මක කිරීම මේ කාලය වඩාත් කාලෝචිතය. මේ සඳහා ස්වීඩනයේ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු කවුන්සිලයේ අධ්‍යක්ෂ හෝකන් ලෙයිෆ්මාන් මහතාද සහාභාගි වූ අතර, ඔහු විදේශීය මූලාශ්‍රද යොදාගනිමින් මෙම තත්ත්වය මැනවින් පැහැදිලි කරදීමට සමත් විය. ඔහු සිය අධ්‍යයනයේදී පෙන්වා දුන්නේ පසුගිය වසර 25 තුළ මද්‍යසාර නිෂ්පාදන ප්‍රමාණයන් අනුව ගණනය කර බැලූ විට කර්මාන්ත විසින් මද්‍යසාරවල අන්තර්ගත කරන මද්‍යසාර ප්‍රතිශතයක් ශීඝ්‍රයෙන් වැඩි කොට ඇති බවයි. ඒ නිසා එය භාවිත කරන පිරිසට වැඩි හානියක් පමුණවයි. විශේෂයෙන් ලංකාවේ බියර්වල මද්‍යසාර ප්‍රමාණයද වෙනත් රටවලට සාපේක්ෂව වැඩි අතර, එමගින් සිදුවනුයේ බියර් භාවිත කරන්නන් ඉතා ඉක්මනින් සැර මද්‍යසාර භාවිතයට යොමු වීමයි. මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් අපේ රටේ මද්‍යසාර භාවිතය සෑම ආකාරයකින්ම අවම වීම සිදුකළ හැකි ආකාරයේ නිර්දේශ ඉදිරිපත් කළ යුතුය. සුලබතාව අවම කිරීම හා සියලුම ආකාරයේ මද්‍යසාරවල බදු නිසි නියාමනයකින් ඉහළ දැමීම සිදුකළ යුතුය. එසේ නොවී නොයෙක් පදනම් මත යැයි පෙන්වා බලපත්‍ර ලිහිල් කිරීම හා බදු අවම කිරීම මගින් ඉතිහාසයේ සිදු වූ වරද නැවත වරක් මෙම ආණ්ඩුව විසින් කිසිසේත් සිදු නොකළ යුතුය.

ලංකාවේ සමස්ත ජනගහනයෙන් ඉතා කුඩා ප්‍රමාණයක් භාවිත කිරීම හේතුවෙන් මද්‍යසාර සමාගම් විවිධ උපක්‍රම යොදා උත්සාහ කරනුයේ එම 230෴ ක ප්‍රමාණය තවදුරටත් වැඩි කරගැනීමටය. මෙම වාතාවරණය යටතේ අරක්කු, බියර් සමාගම් තම පැවැත්ම උදෙසා උත්සාහ කරන උපක්‍රම නම් උද්ධමනයට සාපේක්ෂව මිලදීගැනීමේ හැකියාව කෙසේ හෝ පවත්වාගෙන යාමයි. ඒ අවම මිල මට්ටමක් සහ සුලබතාව ඇති කරවීම හරහාය. එයට සමස්ත රටම වන්දි ගෙවීමට සිදුවනු නොඅනුමානය. යම් වැරදි තීරණයක් ආණ්ඩුව ගතහොත් එහි වාසි හිමිවන්නේ මද්‍යසාර සමාගම්වලට පමණි. 

ලංකාව තුළ මද්‍යසාර භාවිත නොකරන පිරිස 80% ක් පමණ සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු රට තුළ සිදුකරන ලද බොහෝ සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී තිබේ. එමනිසා අපේ රටේ ප්‍රධාන වශයෙන් මද්‍යසාර සම්බන්ධ කිසියම් තීරණයක් ගැනීමේදී වැඩියෙන් සැලකිලිමත් විය යුත්තේ මද්‍යසාර භාවිත නොකරන පිරිස් පිළිබඳවය.
මේ නිසා නොයෙක් මද්‍යසාර සමාගම් පතුරුවන සාවද්‍ය පදනම් විරහිත කාරණාවලට හසු නොවිය යුතුය. ඔවුන් ප්‍රකාශ කරන ඇතැම් විද්‍යාත්මක නොවන කාරණා කිහිපයකි. එනම්,

රටේ පවත්නා නීත්‍යනුකූල මද්‍යසාර මිල ඉහළ අගයක් ගන්නා හෙයින් නීති විරෝධී මද්‍යසාරවලට වැඩි වශයෙන් නැඹුරු වන බව.
මද්‍යාසාර භාවිත කරන්නන් සැර වැඩි මද්‍යසාරවලට වැඩි වශයෙන් යොමු වී ඇති බැවින් ඔවුන්ට ලෙඩ රෝග සහ අනෙකුත් සමාජ ප්‍රශ්න වැඩි බැවින් එම තත්ත්වය අවම වන බියර් වැනි මද්‍යසාර ප්‍රතිශතය අඩු පානයන් සඳහා මද්‍යසාර භාවිත කරනන්නන් යොමු කළ යුතු බව
නීත්‍යනුකූල මද්‍යසාර ලබාගැනීමේ පහසුව මඳ හෙයින් මද්‍යසාර භාවිත කරන්නන් නීත්‍යනුකූල නොවන මද්‍යසාර සඳහා පෙළඹෙන බව. ඒ නිසා නීත්‍යනුකූල මද්‍යසාර විකිණීමේ ස්ථාන ප්‍රමාණය වැඩි කළ යුතු බව.
මද්‍යසාර කර්මාන්තයට පනවා ඇති බදු සහ සීමා නිසා සංචාරක කර්මාන්තය බිඳ වැටෙන බව ආදිය ඔවුන් ප්‍රකාශ කරන ප්‍රමුඛ කාරණා වේ.
මේ හේතුවෙන් බොහෝ පිරිස් නොමඟ යා හැකිය. නමුත් ඒ පිළිබඳ නිවැරදි දත්ත මත පදනම් වෙමින් මද්‍යසාර භාවිත නොකරන බහුතරය ආරක්ෂා කරදීම සඳහා රජයක් විසින් කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයකි.

1. බදු වැඩි කිරීම් මගින් මද්‍යසාර මිල අගයක පවත්වාගෙන යෑම. එය රටේ උද්ධමනයට හා මිලදී ගැනීමේ හැකියාව වැඩි වීම අනුව වෙනස් වන ආකාරයේ මිල සූත්‍රයක් ඇති කිරීම.
2. මද්‍යසාර සුලබත්වය වැඩිවන ආකාරයේ ප්‍රතිපත්ති තීරණ නොගැනීම හා සුලබතාව අවම කිරීම උදෙසා නීති සම්පාදනය.
3. 2015 වර්ෂයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ මද්‍යසාර ප්‍රතිපත්තිය නීතිගත කොට ක්‍රියාවට නැංවීම. 

මේ මගින් ලංකාව තුළ ස්ථාවර ක්‍රමවේදයක් සකස් කිරීම මගින් මද්‍යසාර භාවිතය පාලනය සහ අවම කළ හැකිය. මෙය නොයෙක් ක්ෂේත්‍ර සඳහා බලපෑ හැකිය. නමුත් රජරට විශ්වවිද්‍යාලය සිදුකළ විදේශ සංචාරකයන් පිළිබඳ පර්යේෂණයේදී මද්‍යසාර සම්බන්ධයෙන් පැන නගින නීති රෙගුලාසි එම කර්මාන්තයට කිසිදු බලපෑමක් නොකරන බව හෙළිව තිබේ.
මේ හේතුවෙන් මද්‍යසාර සඳහා පහසුකම් ඇති කිරීමෙන් අනතුරුව ඉතාමත් ඉක්මනින් මුහුණදීමට සිදුවන තත්ත්වයන් රාශියකි. විශේෂයෙන්ම දෛනිකව අසන්නට දකින්නට ලැබෙන රිය අනතුරු, අනතුරු සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යෑමේ එක් හේතුවක් ලෙස මද්‍යසාර භාවිතය හඳුනාගත හැකිය. එමෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන බොහෝ ගෘහස්ථ පීඩාවලට ප්‍රධාන හේතුව වන්නේ මද්‍යසාරයි. එමෙන්ම ග්‍රාමීය හෝ කුඩා ආර්ථිකයකට හිමිකම් කියන බොහෝ පිරිසක ආර්ථිකය තවත් දුර්වල කරන ප්‍රධාන වාහකයක් ලෙසද මෙය ඉතාම බලපෑම් සහගත වේ. 

ලාංකේය පුරවැසියාගේ සමාජ, ආර්ථික ජිවිතයට ප්‍රබල පහරක් වන මෙම මද්‍යසාර භාවිතය අවම කිරීම තුළ නොයෙක් ක්ෂේත්‍රයන්හි ගුණාත්මක වර්ධනයක් සහ ප්‍රගතියක් අපෙක්ෂා කළ හැකිය. එමගින් පුද්ගල ජීවිත අකාලයේ විනාශ නොවී රටට වැඩදායී සේවයක් ලබාදීමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මද්‍යසාර හා දුම්කොළ පාලනය සම්බන්ධ විශේෂඥ කමිටුවේ සමාජික වෛද්‍ය සජීව රණවීර මහතා Dr.Sajeewa Ranaweera

අයවැයෙන් මද්‍යසාර භාවිතය වැඩි කිරීම සඳහා දීමට හැකි ප්‍රතිපත්ති කිහිපයක් පිළිබඳ ඉඟියක් දී ඇති බව, පළ වූ පුවත්පත් දැන්වීම්වලින් සහ හැන්සාඩ් වාර්තාවලින් පැහැදිලි වෙනවා. අපි මේ පිළිබඳ නිර්දේශ ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමාට සහ මුදල් අමාත්‍යතුමාට ඉදිරිපත් කළා. ලංකාවේ බහුතරයක් මද්‍යසාර භාවිත කරන්නේ නැහැ. පිරිමින්ගෙන් වයස අවුරුදු 15 සිට 35 දක්වා පිරිස මද්‍යසාර වැඩියෙන් භාවිත කරන පුද්ගලයන්. කාන්තාවන් 01෴ ක් පමණ ඉතා අඩු ප්‍රමාණයක් මද්‍යසාර භාවිත කරනවා. මේ සියල්ල එකතු කළහොත් ලංකාවේ 80෴කට වැඩි ප්‍රමාණයක් මද්‍යසාර භාවිත කරන්නේ නැහැ. අපි සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කිරීමේදී මද්‍යසාර භාවිතය නිසා සිදුවන ආර්ථික හානිය රුපියල් බිලියන 120 ක්. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය ආදී ආයතන කිහිපයක් එක්ව වසරක් පමණ කාලයකදී පර්යේෂණවලින් සොයාගත් නිවැරදි දත්ත. මෙම මුදල හිතාගැනීමට නොහැකි විශාල මුදලක්. දක්ෂිණ අධිවේගී මාර්ගයට වියදම් වුණෙත් බිලියන 90 ක පමණ මුදලක් පමණයි. 

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර   Pubudu Sumanasekara

මේ සඳහා මූලික පසුතලය නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුවක් වුණේ ඉදිරියේදී පැමිණීමට නියමිත අයවැය වාර්තාවයි. මේ වසරේ මුල සිට විවිධ මාධ්‍යවල තිබූ දේ විශ්ලේෂණය කිරීමේදී අපට පැහැදිලි වන්නේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යන දේවල් පිළිබඳ මැවුණු චිත්‍රයක්. බියර්, වයින් වැනි දේ සුළු බීමක් සේ නොයෙක් කතාබහ ඇති වීම, කසිප්පු පානය වැඩි වීම ආදී නොයෙක් තොරතුරු, තර්ක වරින් වර විකාශය වෙනවා. මද්‍යසාර පාලනය කිරීම සඳහා රජය නොයෙක් අණපනත් ගෙන ආවා. නමුත් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අදහස්වලින් පෙනී යන්නේ එවැනි පාලන අණපනත්ද යම් තරමින් ලිහිල් කළ යුතු බවයි. මෙහි මිල යන සාධකයත් ඉතා වැදගත්. සියල්ලටම බලපාන්නේ මෙම මිල යන දර්ශකයයි. එයද අඩු විය යුතු බව මේ දිනවල කතාබහට ලක්වන මතයක්. 

ස්වීඩනයේ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය පිළිබඳ කවුන්සිලයේ අධ්‍යක්ෂ හෝකන් ලෙයිෆ්මාන්   Dr.Hakan Leifman

තිබූ ප්‍රමාණයට වඩා බදු අඩු කළ ලෝකයේ හොඳම උදාහරණය තමයි ෆින්ලන්තය. ඔවුන් නීතිමය සහ විදේශ රටවලින් ආනයනය කරන දේ පාලනය කිරීම සඳහා බදු අඩු කළා. නමුත් සිදු වූයේ භාවිතය අඩු නොවී අලුතෙන් භාවිත කළ පුද්ගල සංඛ්‍යාව දෛනිකව ඉහළ යාමයි. මේ නිසා ඇතිවන රෝගී තත්ත්ව, සමාජ ප්‍රශ්න සහ මරණ ප්‍රමාණයේ වර්ධනයක් සිදුවුණා. නමුත් ඒ ගැටලුව තේරුම් ගනිමින් බදු මුදල තිබූ තැනටම ගෙන ආවත්, මද්‍යසාර භාවිතය නැවත පෙර තිබූ අඩු භාවිතය සඳහා ගෙන ඒමට අපොහොසත් වුණා. 

 

ඇත්තටම පෙට්‍රල් හිඟ වුණේ ඇයි?

කරළිය නැවතත් උණුසුම් කරමින් දැන් මතුවී තිබෙන්නේ හදිසි පෙට්‍රල් හිඟයකි. විෂය භාර අමාත්‍යවරයා සමාව ඉල්ලමින් පසුගියදා සඳහන් කළේ මෙම පෙට්‍රල් හිඟය කෘත්‍රිමව නිර්මාණය කළ එකක් බවයි. විපක්ෂ කණ්ඩායම් මේ ගැටලුවට රජය සෘජුවම වගකිව යුතු බවට චෝදනා කරයි. මේ සියල්ල අසමින් ජනතාව තවමත් සිටින්නේ පෙට්‍රල් පෝලිම්වලය. කෙසේ නමුත් ඉන්දියානු තෙල් සමාගමේ තවත් එක් හපන්කමක් මීට හේතු වී තිබෙන බව පැහැදිලිය. ගැටලුව නම් වරද බාරගන්නට හෝ වරදක් වී ඇති බව පිළිගන්නට ඔවුනගේ කිසිදු සූදානමක් නොමැති වීමයි. ඒ අමනකම් නවත්වන්නට රජයට ශක්තිමත් පිටකොන්දක් තිබිය යුතු බව ජනතාවගේ අදහසයි. උද්ගතව තිබෙන්නේ එක් නැවක් එනතුරු මුළු රටක්ම බලාසිටින තත්ත්වයකි. ඒ තත්ත්වය පිළිබඳව %අද^ කළ විමසීමේදී පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් සිය අදහස් පළ කළේ මේ අයුරිනි.


01111

බාලතෙල් ගෙනල්ලා මිනිස්සු අමාරුවෙ දාන්න අපට බැහැ – නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක 

'මගේ හිතවත් ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් කිහිප දෙනෙක්ගෙන්ම මම විමසීමක් කළා. ඔවුන් කිව්වේ තෙල් තියෙනවා කියලයි. සද්භාවයෙන් කරපු යහපත් දෙයක් නිසයි මේ තත්ත්වය නිර්මාණය වුණේ. රට ඇතුළට එන්න ගිය බාලතෙල් නැව දෙවරක්ම ප්‍රතික්ෂේප කරලා අපේ අර්ජුන රණතුංග අමාත්‍යතුමා කොන්ද කෙළින් තියාගෙන ගත්තු නිවැරදි තීරණය නොවෙන්න ජනතාවට මීටත් වඩා අපහසුතාවට පත්වෙන්න ඉඩ තිබුණා. පහුගිය රජය වගේ බාලතෙල් ගෙන්වලා හොරෙන්ම ඒවා බෙදාහැරලා ජනතාව අමාරුවේ දාන්න මේ රජය සූදානම් නැහැ. 
මේ උද්ගත වෙලා තියෙන තත්ත්වය අනුව ගිවිසුම් ගහලා තෙල් සැපයුම් සම්බන්ධයෙන් තවත් බලය ලබාදුන්නොත් ඔවුන් අපිව පාලනය කරන තත්ත්වයටත් එන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලේ ගහපු ගිවිසුම් නිසයි මේ දේවල් වෙලා තියෙන්නේ. මේවා ඇතුළෙ තියෙන්නේ ඉතා දරුණු විදිහේ ඩොලර් රජකරන ජාවාරම් සහ දේශපාලනයක්. සමහර විට ඔවුන් දැනට එමින් තියෙන නැවටත් යම් බලපෑමක් කරන්න ඉඩ තියනවා. අපි වගේ තුන්වැනි ලෝකේ රටවලට තමයි මේ ආර්ථික ඝාතකයෝ ඇවිත් මේ වගේ හෙණ ගහන අපරාධ කරන්නේ.
මේ වගේ තෙල් නැවක් යුරෝපයට හරි වෙනත් දියුණු රටකට හරි යැව්වා නම් ඒ රටවල් මේ වගේ උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැහැ. ඔවුන් මේවා බ්ලැක් ලිස්ට් කරලා ඒ කොම්පැනියත් තහනම් කරලා දානවා. නමුත් අපි වගේ ණය බරින් පීඩිත වුණු රටකට ඒ වගේ හයිකාරකම් දාන්න බැහැ. අපි බොහොම දුප්පත් අහිංසක රටක්. මම කියන්නේ අදාළ බලධාරීන් මේ තත්ත්වයන්ට නිසි පියවර ගන්න ඕන. ඒ වගේම ජනතාවගෙනුත් ඉල්ලන්නේ මේ සිදුවීමේ ඇත්ත තත්ත්වය තේරුම් අරගෙන ඉවසීමෙන් කටයුතු කරන්න කියලයි.

සරල ප්‍රශ්නයක්වත් විසඳගන්න ආණ්ඩුවට බැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල 

මේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව ආණ්ඩුවම නැවත වතාවක් ඔප්පු කරල තියෙනවා. මේ ප්‍රශ්නය ඇති කරල තියෙන්නේ තෙල් බෙදාහැරීමේ වෙළෙඳ පොළේ 20෴ක් පමණක් පාලනය කරන අයිඕසී සමාගම. පැහැදිලිවම මෙය නොසැලකිල්ලෙන් හෝ සිතාමතා කළ දෙයක්. 
2002 දී වර්තමාන අගමැතිවරයා එවකටත් අගමැති ධුරය දරන සමයේ අපේ රටේ සමස්ත තෙල් පිරවුම්හල්වලින් තුනෙන් එකක ප්‍රමාණයක් අයිඕසී  සමාගමට ලබාදෙන්න කටයුතු කළා. තවත් තුනෙන් එකක් භාරත පෙට්‍රල් කියන තවත් ඉන්දියානු සමාගමකට ලබාදීමට කේවල් කරමින් සිටියදී තමයි අපි ඒ ආණ්ඩුව යන්තම් පෙරළ ගන්නේ. එහෙම නොවුණ නම් අද වෙද්දි ලංකාවේ තෙල් බෙදාහැරීමෙන් තුනෙන් දෙකක් හසුරුවන්නේ ඉන්දියාව. 
සංස්ථාව සතු ඉන්ධනහල් ප්‍රමාණය වැඩි කිරීමෙන් මහින්ද රාජපක්ෂ යුගයේ අයිඕසී සමාගම සතු ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණය තුනෙන් එකේ සිට පහෙන් එක දක්වා පහළ දැම්මා. එහෙම නොවුණ නම්, අද සීයයට විස්සක් අයිඕසී එකට තිබියදී අර්බුදය මෙහෙම නම් සීයට තිස්තුනේ මට්ටමේ ඔවුන් සතු ඉන්ධන හල් ප්‍රමාණය තිබුණා නම් ඇති වන අර්බුදයේ තත්ත්වය අපිට හිතාගන්න පුළුවන්. මේ වගේ සරල ප්‍රශ්නයක්වත් විසඳාගන්න බැරි ආණ්ඩුවකින් ජනතාවට තියන ප්‍රයෝජනය මොකක්ද?

ඛනිජ තෙල් සම්බන්ධයෙනුත් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා- අමාත්‍ය පාඨලී චම්පික රණවක

'ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි විදුලිබල ක්ෂේත්‍රයෙත් හිඟයක් නිර්මාණය කරලා වැඩි මිලට ගැනීමේ මාෆියාවක් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙනවා. ජනතාව මේ ඇත්ත දැනගත යුතුයි. ඉන්දියානු ඔයිල් සමාගමට අයත් නැවක් ඔක්තෝම්බර් 15 වැනිදා ලංකාවට එනවා. නමුත් ඒ තෙල්වල ප්‍රමිතිය අනුමත කළ නොහැකි බව 17 වැනිදා වෙද්දි හෙළිදරව් වුණා.  ඒ වගේම ඒ වෙද්දිත් දින 15කට පමණ ප්‍රමාණවත් තෙල් තොග අපි සතුව තිබුණා. ඒ අතරවාරයේ තෙල් පිරිපහදුව අක්‍රීය වෙලා තෙල් ටොන් 550ක සැපයුමක් අපිට අහිමි වුණා. හරිනම් තෙල් නැව එන්න තිබුණේ පසුගිය 03 වැනිදා. නමුත් දැන් නැව එන්නේ 09 වැනිදා. ඉතින් මේ ආකාරයට තෙල් නැව් ප්‍රමාද වීම, පිරිපහදුව හිටිහැටියේ අක්‍රීය වීම සහ ඒ ඔස්සේ තෙල් හිඟයක් නිර්මාණය වීම සිදුවුණේ ස්වාභාවිකවමද කියලා අපිට සිතා බලන්න වෙනවා. මේ මාෆියාවන්ට විරුද්ධව මාත් කාලයක්ම සටන් කළා. මගේ කාලයේත් මේ වගේම තෙල් හිඟයක් ඇති කරන්න කටයුතු කරපු අවස්ථා තියෙනවා. නමුත් අපි ඒක සාර්ථකව මර්දනය කළා. රටේ පෙට්‍රල් අවශ්‍යතාව දිනකට ටොන් 2500ක් විතර වෙනවා. පිරිපහදුව මගින් දිනකට ටොන් 550ක් වැනි ප්‍රමාණයක් තමයි නිකුත් කරන්නේ. ඒ අනුව ටොන් 2000ක් පමණ බාහිරින් සැපයිය යුතු වෙනවා. 2015 වසර වෙද්දිත් කොළොන්නාව සහ මුතුරාජවෙල  පෙට්‍රල් ගබඩා කිරීමේ ධාරිතාව තිබුණේ ආසන්න වශයෙන් ටොන් 60000ක්. මම දින 100 වැඩසටහනේ තෙල් ඇමති විදියට වැඩ භාරගත්තට පස්සේ ඒක 90000ක් දක්වා වැඩි කළා.
ඊයේ පර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්

තෙල් නැති නිසා රටම අවුල් වෙලා- පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන 

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. ඒ නිසා මහජන ජීවිතයට සහ ආර්ථික කටයුතුවලට ඉමහත් බාධාවක් සිදුව තිබෙනවා. මේ නිසා රටම කැළඹිලා තිබෙනවා. මේ ප්‍රශ්නය තවදුරටත් පවතිනවාද? නිරාකරණය කරන්නේ කවදාද? යන්න පිළිබඳවත් අමාත්‍යවරයා දැනුවත් කළ යුතුයි. ඒ වගේම ඉන්ධන ගබඩා තොග පවත්වා නොගැනීම පිළිබඳ වගකියන්නේ කවුද? දැන් අපිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි නැහැ. හම්බන්තොට තෙල් ටැංකි නැහැ. පිරිපහදුවෙත් අර්බුදයක් තිබෙනවා. මේ අර්බුදය මගහරවා ගැනීමට ගන්නා පියවර මොනවාද? වගකීම භාරගන්නේ කවුද?

බාලතෙල් නැව ගොඩ බාන්න අයිඔසීය කරන කුමන්ත්‍රණයක්ද කියලා සැකයි- පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

නියමිත පටිපාටියකට අනුව තෙල් ගෙන්වීමේ ක්‍රමවේදයක් තිබුණත්, නියමිත පටිපාටිය අනුගමනය නොකරමින් ස්ථානීය මිලදී ගැනීම් සඳහා තෙල් නැව් 05ක් ගෙන ඒමට පසුගිය කාලයේ කටයුතු කර තිබෙනවා. මේ නිසා ඩොලර් මිලියන 40ක  ඉතා බරපතළ හානියක් සිදුව තිබෙනවා. ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි 99ක් තිබුණත්, 2003 වසරේදී වත්මන් අගමැතිවරයා විසින්ම වසර 35ක කාලයකට අයිඕසී සමාගමට ලබා දී තිබෙනවා. ඒ තුළින් ඔවුන් සැබැවින්ම භාවිත කරන්නේ ටැංකි 09ක් පමණයි.  ඉතිරි තෙල් ටැංකි 10 තෙල් සංස්ථා පරිහරණයට ලබාගැනීමට ගත් තීරණය අගමැතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් දමා අහෝසි කර තිබෙනවා. සපුගස්කන්ද පිරිපහදුන අකර්මණ්‍ය වීම තවත් හේතුවක්. 2007 දී පිරිපහදුවක් ඉදිකිරීමට මුල්ගල තැබුවත්, එය සිදුව නැහැ. මේ නිසා අයිඕසී සමාගම අත්තනෝමතිකව හිතාමතා පොරොන්දු කඩකරමින් තෙල් නොගෙන්වා රට තුළ කුමන්ත්‍රණකාරී ලෙස අර්බුදයක් නිර්මාණය කොට ඇති වන තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් බාලතෙල් නැව ගොඩබෑමට ප්‍රයත්න දරන බවට වෘත්තීය සමිති සාධාරණ සැකයක් මතුකරනවා.

බෝතල්වලට තෙල් අරගෙන යන්න දෙන්නෙත් නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

තෙල් නොමැතිකම නිසා අද බොහෝ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වී තිබෙනවා. මේ පිළිබඳව කථානායකතුමා සොයාබැලිය යුතුයි. තෙල් නොමැති වීම නිසා ඇතැම් වාහන නවතා තබා ජනතාව බෝතල්වලට තෙල් අරගෙන යන්න එනවා. නමුත් ඉන්ධනහල් වලින් බෝතල්වලට තෙල් ලබාදෙන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ. මෙය ප්‍රායෝගිකව හිතා බලා පියවරක් ගන්න. තෙල් නැතිව වාහනයක් අතරමග නැවතුණාම කොහොමද ඒ අය ඒ වාහනේ ඉන්ධන හලට රැගෙන එන්නේ. ඒ තීරණය වෙනස් කරනවාද කියලා ඇමතිතුමා කියන්න.

තෙල් නැව් දෙකක් 09දා වනවිට පැමිණෙනවා- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කිරීමට ඛණිජතෙල් සංස්ථාවට 2003 දී හැකියාව තිබු‍ණේ නැහැ. මෙය සිදුකිරීමට ඉන්දියාව එකඟ වුණා. ඉන්දියාව එකඟ වුණේ නැතිනම්  අපි වෙනත් රටක් තෝරා ගන්නවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කළොත් ලංකාවට අවශ්‍ය තෙල් සම්පූර්ණයෙන් ගබඩා කරන්නටත්, ඉන්දියාවට කොටසකට අවශ්‍ය තෙල් ගබඩා කරන්නත් හැකියාව තිබෙනවා. තෙල් මධ්‍යස්ථානයක් බවට එය පත් කරන්න පුළුවන්. 2003 ඇති කළ අයිඕසී ආයතනය සම්බන්ධයෙන් චෝදනා කළා. අයිඕසී එක හොඳ නැතිනම් පසුගිය අවුරුදු දහයේදී එක් අහෝසි කරන්න තිබුණනේ. ඇයි කළේ නැත්තේ. චීනයේ හම්බන්තොට අලුත් පිරිපහදුවක් හදනවා. අයිඕසී වහන්න කියලා කියන කාරණයට මම එකඟ නැහැ. ඒ වගේම  ලබන 09දා වනවිට ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් ලංකාවට පැමිණෙනවා. ජනාධිපතිතුමා සහ මම ඉන්දියානු මහ කොමසාරිස්තුමාට කතා කළා. ඒ අනුව එය සිදුවෙනවා. ලබන 09දා වනවිට නැව් දෙකක් ලංකාවට එනවා. ඒ අනුව තෙල් ප්‍රශ්නය විසදාගන්න අපිට පුළුවන්.

රටට හානියක් වෙන්න දෙන්නේ නැහැ- අමාත්‍ය අර්ජුන රණතුංග

රට තුළ ඩීසල්වල කිසිම හිඟයක් නැහැ. ඩීසල් අවශ්‍ය පමණින් තිබෙනවා. නමුත් අද වනවිට ඇතැම් ඉන්ධන හල්වල ඩීසල් බෙදන්නෙත් නැහැ. පෙට්‍රල් හිඟයක් තිබෙනවා. මේ ිසා වැඩි වශයෙන් අපහසුතාවට පත්වෙලා සිටින්නේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදිකරුවන්. ලබන 09දා සිට තෙල් සාමාන්‍ය පරිදි බෙදාහරින්නට පුළුවන්. අයිඕසී සමාගමේ තෙල් නැව පරීක්ෂණ 02කදීම අසාර්ථක වුණා. පසුගිය 02දා ලංකාවට පැමිණීමට තිබුණ තෙල් නැව දින කිහිපයක් ප්‍රමාද වුණා. ඒ වගේම මේ කාලසීමාවේදී තෙල් පිරිපහදුවත් තෙල් බෙදාහැරීමේ පරිගණක ජාලයත් අක්‍රීය වුණා. මේ සියල්ල පිළිබඳව සැකයක් තිබෙනවා. තෙල් මාෆියාවක් තිබෙනවා. රටේ තෙල් ප්‍රශ්නය විසඳුන පසුව අපි මේ ගැන සොයා බලනවා. සාමාන්‍යයෙන් ලංකාවේ දෛනික තෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 2500ක් පමණ වෙන්නේ. නමුත් මේ වනවිට තෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 47000 දක්වා වැඩි වී තිබෙනවා. පසුගිය සෙනසුරාදා තෙල් මෙට්‍රික් ටොන් 2800ක් නිකුත් කළා. ඉරිදා තෙල් නිකුත් නොකරන දවසක් වුවත් තෙල් මෙට්‍රික් ටොන් 963ක් නිකුත් කළා. සඳුදා මෙට්‍රික් ටොන් 2623ක් නිකුත් කළා. අඟහරුවාදා මෙට්‍රික් ටොන් 3000ක් නිකුත් කළා. එහෙම උනත් තෙල් ප්‍රශ්නය තවමත් තිබෙනවා. තෙල් මාෆියාව නැති කරන්න මෙම ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍යයයි. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක කරනවා. අපි ප්‍රතික්ෂේප කළ තෙල් නැව දින 14ක් තිස්සේ ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ නවතා තිබෙනවා. නමුත් අපි ඒ තෙල් ලබාගැනීම ප්‍රතික්ෂේප කළා. මේ නැවේ තෙල් ලබාගන්න කියා විවිධ පාර්ශ්ව බලපෑම් කළා. නමුත් මම වගකීමෙන් කියනවා ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා මේ සම්බන්ධයෙන් මට කිසිම දෙයක් කිව්වෙ නැහැ. රටට හානිවන කිසිම දෙයක් මම කරන්නේ නැහැ. තෙල් හිඟයක් පවතින මේ අවස්ථවේදී ඇතැම් අය බෝතල්වලට තෙල් අරගෙන වැඩි මිලට විකිණීමේ කූඨ ව්‍යාපාරයක නිරත වෙනවා. එවැනි දේ කරන්න දෙන්න බැහැ. ඒ නිසා බෝතල්වලට තෙල් නිකුත් කරන්න බැහැ. මේ නිසා සාධාරණ හේතු තිබෙන ජනතාවට අසාධාරණයක් වෙනවා. ඒ ගැන මම කණගාටු වෙනවා. නමුත් එය වෙනස් කරන්න බැහැ.

නඳුන් ශ්‍යාමාල් / චාමර සම්පත්

උමාඔයට බිලි වූ ගම්වැසියන්ගේ ජීවිතවලට සාධාරණය ඉටු වන්නේ කවදාද?

සංවර්ධනයේ නාමයෙන් දේශපාලඥයන් සැලසුම් කළ උමාඔය ව්‍යාපෘතිය රටට මහත් ව්‍යසනයක් ඇති කළ ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. රටක ප්‍රතිපත්ති සකස් කිරීම දේශපාලඥයන් සතු වුවද, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විද්වතුන් හා අදාළ ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ව්‍යාපෘති සිදුකිරීම ලෝකයා විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන්ය. එහෙත් රාජපක්‍ෂ පාලන සමයේදී දේශපාලන උවමනාවන් මත ප්‍රතිරූප ගොඩනගා ගැනීමේ අරමුණින් දේශපාලන බලයෙන් උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ විය. ඕනෑම ව්‍යාපෘතියක් සිදුකිරීමේදී පරිසර බලපෑම ඇගයීමේ වාර්තාවක් සකස් කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වන අතර, එහෙත් උමාඔයට සකස් කළ පරිසර ඇගයීමේ වාර්තාව පවා සකස් කර ඇත්තේ දේශපාලන බලපෑම මත බවට මේ වනවිට හෙළිව තිබේ.


DSCF9168

ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට පමණක් ආරම්භ කළ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, සුන්දරව ගලාගෙන ගිය උමාඔයේ ජලය හම්බන්තොටට රැගෙන යෑමය.
හම්බන්තොටට ජලය රැගෙන යෑමට ආරම්භ කළ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අද වනවිට බණ්ඩාරවෙල, හාලිඇළ, වැලිමඩ, ඌව පරණගම, ඇල්ල හා වැල්වාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් 36ක ජනතාවට බීමට පවා ජලය පොදක් නොමැති තත්ත්වයක් උද්ගතව ඇත.
විනාශයේ තරම කෙතරම්ද යත් එම ප්‍රදේශවල ජීවත් වන පවුල් 10435කට අධික ප්‍රමාණයකට මෙම ව්‍යාපෘතිය හේතුවෙන් කුමන හෝ ගැටලුවකට මුහුණදීමට සිදුව තිබේ.
ජන ජීවිත අනතුරට ලක්කරමින් ක්‍රියාත්මක වූ උමාඔය ව්‍යාපාතිය, නව ආණ්ඩුව පත් වීමත් සමග නවතා දමනු ඇතැයි බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව විය. 
එහෙත් රටට අලුත් වෙනසක් ඇති කර, ජනතාවට යහපත් හෙට දවසක් ඇති කිරීමට පැමිණි වර්තමාන ආණ්ඩුව විසින් රාජපක්‍ෂ ආණ්ඩුව නවතා දමා තිබූ තැන සිට ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන ලදී. ඒ හරහා බීමට ජලය පොදක් අහිමිව සිටි ජනතාවට පදිංචි නිවාස හා ඉඩම, වගා කළ ඉඩම්, පන්සල, පල්ලිය, කෝවිල සහ පාසල පවා අහිමි කර දමා තිබේ.
මේ හේතුවෙන් උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් සිදුව ඇති විනාශයට පසුගිය ආණ්ඩුව මෙන්ම වර්තමාන ආණ්ඩුවද වගකිව යුතුය.
මීට අමතරව විපතට පත් ජනතාවට සිදුව ඇති හානිය වෙනුවෙන් පූර්ණ වන්දි ලබාදීම, ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම යනාදියේ වගකීම වර්තමාන ආණ්ඩුව සතුව තිබේ.
එහෙත් ජනතාවට සාධාරණය කිරීමට බව පවසමින් බලයට පත්වූ ආණ්ඩුව වර්තමානය වනවිට එම වගකීම පැහැර හරිමින් රාජපක්‍ෂ ආණ්ඩු සමයේ සිදුකළ දේශපාලන බලහත්කාරකම් ක්‍රියාත්මක කරමින් ඇත.
උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රථම වරට බලපෑම් එල්ල වී ඇත්තේ මකුළුඇල්ල, හිල්ඔය, කුරුකුදේගම, හැවැන්වල, උඩුඋල්පත, බැද්දේආරාව, ලියන්ගහවෙල, වෙහෙරගලතැන්න, කුරුඳුගොල්ල, එගොඩෙගම, උඩපේරුව, මැදපේරුව, අම්පිටිය, පල්ලේපේරුව, කරගහවෙල, බොරලන්ද, රජකොටුව, අඟුරුකොටුව, පුහුල්පොළ, දික්කාපිටිය, ඉහළ කොටවර, පහළ කොටවර, අඹදණ්ඩෙගෙම, තන්තිරිය, කිනිගම, දෝව, දික්අරාව, මැදහින්න, බිඳුණුවැව, වටගමුව, ගෙඩියරොද, බුදුලුගස්තැන්න, මදුවැල්පතන, කිරිඔරුව, ඉසුරු උයන, අරාවත්ත, උඩැස්දුම හා වලස්බැද්ද ඇතුළු ප්‍රදේශවලටය.

ඒ උමාඔය ව්‍යාපෘතියේ ප්‍රධාන උමඟ වන මහතැටිල්ල ජලාශයේ සිට කරඳගොල්ල දක්වා භූගත උමඟ සකස් කිරීම ආරම්භ කිරීමත් සමගය.
කිලෝමීටර් 15.15ක දිගකින් යුත් මෙම උමඟ කැනීමත් සමග අවට ප්‍රදේශවල සියලු ළිං සිඳීගොස් තිබේ. සිදුවන විනාශය පිළිබඳ උමඟේ කැණීම් ආරම්භ කිරීමට පෙර සිටම විද්වතුන් හා පරිසරවේදීන් පෙන්වා දී තිබිණි.
එහෙත් දේශපාලන සිහින සැබෑ කර ගැනීමට උත්සාහ කළ රාජපක්‍ෂ ආණ්ඩුව එම පෙන්වාදීම් සතපහකට මායිම් නොකළේය. මෙම ව්‍යෘපෘතිය හේතුවෙන් සුන්දර බණ්ඩාරවෙල හා බදුල්ල අසුන්දර වන බව දැනදැනම ව්‍යාපෘතිය සිදුකිරීමට පසුගිය ආණ්ඩුව කටයුතු කළේය.
ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ කැණීම්වලට අමතරව උමාඔයේ අතුගංගා දෙකක් මූලික කරගනිමින් පුහුල්පොළ ජලාශයේ සිට මහතැටිල්ල ජලාශය දක්වා ජලය ගෙන යන කිලෝමීටර් 3.9ක දිගකින් යුත් දෙවැනි උම‍ඟේද කැණීම් ආරම්භ කෙරිණි.
මෙම උමඟ කැණීමත් සමග ලුණුවත්ත, මැදපන්සල, දක්කාපිටිය, පුහුල්පොළ, කොස්කනවිල හා බලතොටඇල්ල යන ගම්මානවල ළිං සිඳීයෑම හා නිවාස ඉරිතලා යෑම සිදුව තිබේ.
මේ අනුව නිවැරදි ලෙස පරිසර ඇගයීම් වාර්තාව සකස් නොකළ බවට තහවුරු කිරීමට වෙනත් කිසිදු සාක්‍ෂියක් අවශ්‍ය නැත. උමාඔය ව්‍යෘපෘතිය ඉදිකිරීමේදී පරිසර ඇගයීම් වාර්තාව සකස් කළ අවස්ථාවේ සිට නීතියට පිටින් කටයුතු සිදුව තිබේ.
එහි පාපය අද දවසේදී ගෙවීමට සිදුව ඇත්තේ එළවළු වගාකර ගෙන, කුඹුරක් කරගෙන, රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් කරගෙන කිසිවෙකුට බරක් නොවී ජීවත් වූ බදුල්ල, බණ්ඩාරවෙල ජනතාවටය. මීට අමතරව ජනතාවට ආගමික සිද්ධස්ථාන පමණක් නොව ඔවුන්ගේ දරුවන්ට පාසලද අහිමිව යමින් තිබෙන තත්ත්වයක් උදාවී ඇත.

DSCF9166

එහෙත් ජනතාවට සහන සැලසීම වෙනුවට වර්තමාන ආණ්ඩුව සිදුකරනු ලබන්නේ කුමක් හෝ කමිටුවක් පත්කර ප්‍රශ්නයෙන් පලා යෑමය.
සිදුව තිබෙන විපතේ ප්‍රමාණය අනුව ජනතාවට සිය ශක්තියෙන් හා ධෛර්යෙන් නැගී සිටීමේ හැකියාවක්ද නොමැත.
ශක්තියෙන්, ධෛර්යයෙන් ඉහළ මෙරට ජනතාව සුනාමි ව්‍යසනයේදී පවා සුළු කාලයක් ගතවන විට තම ජීවිත යථාතත්ත්වයට පත් කර ගැනීමට කටයුතු කළහ. සුනාමි ව්‍යසනය ජනතාවට සහ ඔවුන්ගේ දේපොළවලට කුමන හානියක් සිදුකළද, මෙරට භූමියට කිසිදු හානියක් සිදුනොකළේය. එබැවින් භූමිය උපයෝගී කරගෙන ජනතාව දෙපයින් නැගී සිටියහ.
එහෙත් උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් ජනතාවට තම නිවස පිහිටි භූමිය පමණක් නොව, වගා භූමියද අහිමිව තිබේ. ඒ පොළොව ඉරිතැලීමෙන් හා ගිලා බැසීමෙන්ය. මීට අමතරව බීමට ජලය පොදක් නොමැති වී ඇත. වගාවන් සඳහා ජලය ලබාගත් සියලු ජල මූලාශ්‍ර හා වගා භූමිවල හා පදිංචි ඉඩමේ භූගත ජලයද සිඳීගොස් තිබේ.

ඒ හරහා සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජනතාව දෙපයින් නැගී සිටි ආකාරයට බදුල්ල, බණ්ඩාරවෙල ජනතාවට දෙපයින් නැගී සිටීමට අවස්ථාවක් හිමිව නොමැත. ජනතාව දෙපයින් නැගී සිටවීම සඳහා අවශ්‍ය සහයෝගය පාලකයන් ලබාදෙන ආකාරයක්ද දක්නට නොමැත.
මෙරට ජනතාව විසින් පාලකයන් පත් කර ගනු ලබන්නේ තමන්ට තිබෙන ප්‍රශ්න විසඳා ගැනීමටය. මන්දයත් වසරේ කුමන හෝ කාලයකදී මෙරට ප්‍රදේශ කිහිපයක ජනතාව ගංවතුර, සුළි සුළං, නියඟය හා නාය යෑම වැනි ස්වාභාවික විපත්වලින් පීඩා විඳින බැවින්ය.
ජනතාව පත් කරන පාලකයන් විසින් සිදුකළ යුතු කාර්ය වන්නේ ස්වාභාවික විපත්වලින් ජනතාව බේරා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමය. එහෙත් වර්තමානයේදී පාලකයන් සිදුකර ඇත්තේ විදේශ රටවලින් ඩොලර් මිලියන ගණනින් මුදල් ලබාගෙන මහජනතාවට මරණ වරෙන්තු නිකුත් කිරීම වැනි කටයුතු කිරීමය.

ආපදාවන්ට පත්වන ජනතාවට ආණ්ඩුවලට පිහිටවීමට හැකියාව තිබේ. එහෙත් පීඩාවට පත් වන වනසතුන්ට ආහාරපාන ලබාදීමට ආණ්ඩුවකට හැකියාවක් නොමැත. ඔවුන්ට අහිමිව යන භූමිය නැවත සකස් කරදීමට ආණ්ඩුවලට හැකියාවක් නොමැත.
වර්තමානයේදී උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් ව්‍යසනයට පත්ව තිබෙන භූමිවල ජීවත්වන වනසතුන්ට මුහුණදීමට සිදුව  ඇත්තේ මෙම තත්ත්වයටය.
පොදුවේ උමාඔය ව්‍යාපෘතිය පිළිබඳ නිර්වචනය කරන්නේ නම්, එය ‘ණයට සල්ලි ගෙන බදුලු, බණ්ඩාරවෙල ජනතාව මහපාරට ඇද දැමීමක් වැනිය.
රටේ සංවේදී කලාපයක් වන මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ සිදුවන මෙම විනාශයේ බලපෑම මේ වනවිට රටේ ජනතාවට අත්විඳීමට සිදුව තිබේ. එනම් මෙරට තුළ උඩරට එළවළු නිෂ්පාදනයෙන් 38෴ක් සිදුවන්නේ මෙම ප්‍රදේශවල බැවිනි. එහෙත් වගා භූමි අහිමි වී යෑම නිසා උඩරට එළවළු නිෂ්පාදනයද ක්‍රමයෙන් අඩු වී තිබේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මෙරට පාරිභෝගිකයාට වැඩි මුදලට එළවළු මිලදී ගැනීමට සිදුවීමය.
මේ පිළිබඳ සොයා බැලීමට ‘අද’ උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාව සමග කතාබහක නිතර විය.

DSCF9192

ආගමික ස්ථාන 23කට හානි සිදුවෙලා – පූජ්‍ය වනසිරිගම සිරිරතන හිමි
(විහාරාධිපති – කුරුඳුගොල්ල ශ්‍රී පියරතනාරාමය)

“උමාඔය ව්‍යාපෘතිය නිසා ආගමික ස්ථාන 23කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුවෙලා තියෙනවා. මෙහිදී මුල්ම ජල කාන්දුව සිදුවුණේ 2014 වසරේ දෙසැම්බර් මාසයේදී. මේ නිසා මුලින්ම හානි සිදුවන්නේ වෙහෙරතැන්න, මකුළුඇල්ල හා  එගොඩගම කියන ග්‍රාම නිලධාරී වසම්වලට. එම වසම් තුළ පන්සල් තුනක් තිබුණා. ඒවායේ ගොඩනැගිලිවලට හානි සිදුවුණා. ළිං සිඳී ගියා. එක පන්සලක තිබුණා, බිම ඉඳන් බාල්දියෙන් අතින් වතුර ගන්න පුළුවන් ළිඳක්. ඒක සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියා.
මීට අමතර වසර 150කට වඩා ඉතිහාසයක් තියෙන හිල්ඔය විහාරස්ථානයේ තිබූ ළිං දෙකම සිඳී ගියා. දික්අරාව මෙහෙණි ආරාමයේ චෛත්‍යය ඉරිතලා ගියා. මේ පිළිබඳ මෙහෙණින් වහන්සේ වගකිවයුත්තන්ට දැන්වුවා. ඒත් කිසිදු විසඳුමක් ලබාදීලා නැහැ. ඒ වගේම මැදපේරුව තියෙන ජුම්මා මුස්ලිම් පල්ලියේ ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් ඉරිතලා තියෙන්නෙ. මේ ආකාරයට ඉරිතලා ගිය බොහෝ ස්ථානවල ආගමික වතාවත් සිදුකරන්න බැහැ. ජනතාවට අද වනවිට ආගමික වතාවත් කිරීමේ අවස්ථාවක් අහිමිවෙලා තියෙනවා.
මෙම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කළහොත් තවත්  විහාරස්ථාන කිහිපයකට හානි සිදුවෙන්න පුළුවන්.
සිදුවන විපත නිසා පන්සල්, පල්ලි නඩත්තු කළ ආගමික ප්‍රජාව ප්‍ර‘දේශයෙන් ක්‍රමයෙන් ඉවත් වෙමින්  සිටිනවා. මේ නිසා පන්සල්වලට දානය පූජා කළ දායකයන් ක්‍රමයෙන් අඩුවෙනවා. දික්අරාව භික්ෂූණී ආරාමයේ දායක දායිකාවන් ප්‍රදේශයෙන් ඉවත් වෙමින් සිටින නිසා ආරාමයේ භික්ෂූනී වහන්සේලා විශාල ගැටලුවකට මුහුණ දීලා සිටිනවා.
ආගමික ස්ථාන විනාශ වී යෑම යටතේ විහාරස්ථාන තුනකට යම් යම් මුදල් ඇස්තමේන්තු කර තියෙනවා. මේ අනුව එක් විහාරස්ථානයකට වන්දි ලෙස ලබාදීලා තියෙන්නෙ එක්ලක්‍ෂ පනස්දහසක්. තවත් පන්සලකට රුපියල් තුන්ලක්‍ෂ පනස් දහසක් හා තවත් විහාරස්ථානයකට රුපියල් ලක්‍ෂයක් වැනි මුදලක් තක්සේරු කර තියෙනවා. මෙම මුදල්වලින් පොදු වැසිකිළි පද්ධතියක්වත් හදාගන්න බැහැ. මේ සෑම ආගමික ස්ථානයක්ම ගොඩනගලා තියෙන්නේ ජනතාවගේ දහඩිය මහන්සියෙන්. මේ නිසා ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් අවශ්‍යයි.'

ගෙවල් කුලී තාම දුන්නේ නැහැ  – සමාලි රොඩිග්‍රො – උඩුපේරුව

“අපේ මුල් පදිංචිය කොළඹ. ඒත් මේ ප්‍රදේශයේ තිබුණු සුන්දරත්වය නිසා සහ ජීවත් වීමට පහසුකම් තිබීම නිසා කොළඹ දාලා 2000 වසරේදී මෙහේ පදිංචියට ආවා.
පර්චස් 20ක ඉඩමක් අරගෙන ලක්‍ෂ ගණනක් වියදම් කරලා අංගසම්පූර්ණ නිවසක් හැදුවා. අනාගතයේ දවසක දරුවන් දෙන්නාටත් ඉන්න හැකි විදියට තමයි ගේ හැදුවේ. ගෙට විතරක් ලක්‍ෂ 75කට අධික මුදලක් වියදම් වුණා. උමාඔයෙන් ගෙවල් ඉරිතලා ගිය නිසා ගෙවල්වලින් යන්න කියලා කිව්වා. ගෙදරින් යන්න අප‍ට සුදුසු වන්දියක් ලබාදෙන්න කියලා ඉල්ලුවා. ඊට පස්සේ ආණ්ඩුවෙන් කිව්වා වන්දි විදියට හයලක්‍ෂ හැත්තෑපන්දහසක් දෙන්නම් කියලා. ඒ මුදලට වඩා වැඩි මුදලක් ගෙදර තාප්පෙටත් වියදම් වුණා. ඒක නිසා එම මුදල අපි ප්‍රතික්‍ෂේප කළා. කොහොම වුණත් කුලී ගෙදරකට යන්න කියලා බලධාරීන් නියෝග කළා. අපි ගෙවල් කුලීවත් දෙන්න කියලා ඉල්ලුවා. ඒත් තාම ගෙවල් කුලී දෙන්නවත් කටයුතු කළේ නැහැ. අපි දැන් ගොඩක් අසරණයි. මේ නිසා අපට ගෙවල් කුලිය දෙන්න තරම් වත්කමක් නැහැ.'

වන්දියක් හෝ කුලී නිවාස මුදලක් ලබානොදී ජනතාව බලෙන්ම ඉවත් කරන්න හදනවා
ආර්.එම්. වසන්ත – දික්අරාව

“අලුත්ගමකන්ද ඉරිතැලීමකට ලක්වෙලා තියෙනවා. ගෙවල්වලට පවා හානි සිදුවෙලා තියෙනවා. කන්ද මුදුනේ ඉන්න අයටත්, කන්ද පහළ ඉන්න අයටත් ඉවත් වෙන්න කියලා නිලධාරීන් උපදෙස් ලබා දුන්නා. හැබැයි කන්ද මැද ඉන්න අයට යන්න කියන්නේ නැහැ. කන්ද මැද තියෙන ගෙවල් හැම එකක්ම එක්කෝ පුපුරලා, නැත්නම් ගිලා බැහැලා තියෙන්නෙ.
ගෙවල්වලින් යන්න කියපු කාටවත් වන්දි මුදල් හෝ කුලී නිවසක් ගන්න කුලී මුදලක් තාම ලබාදීලා නැහැ. හැබැයි ගෙදරින් යන්න කියලා කියනවා. මේ පැත්තේ  හැම කෙනෙක්ම වගේ මොකක් හරි වගාවක් කරලා ජීවත් වුණේ. පොළොව ඉරිතැලීම නිසා වගා කරන්න ඉඩම් නැහැ. මේ නිසා මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්නෙ. මෙහෙම තියෙද්දී කුලී මුදලක් ගෙවලා කුලී නිවාසයකට යන්නවත් වත්කමක් නැහැ. මේ නිසා ජනතාව අනාරක්‍ෂිත තත්ත්වයක් යටතේ නිවාසවල රැඳී ඉන්නවා. අනතුරක් වුණාම අනේ අපොයි කියනවට වඩා හොඳයි මේ ජනතාවට සාධාරණ ගෙවල් කුලී දීලා හරි, සම්පූර්ණ වන්දි මුදලක් දීලා හරි ඉවත් කරන එක. එහෙම නැතිවුණොත් ළඟදීම දවසක මහා විපතක් වෙන්න පුළුවන්.
මේ කන්ද අවට ප්‍රදේශවල ජනතාවගෙන් යම් යම් පවුල්වලට වන්දි මුදල් ලබාදීලා තියෙනවා. මෙතැනදී ජනතාවට මුලින් ලබාදීලා තියෙන නිවාස කුලී කපාගෙන තමයි වන්දි මුදල ලබාදීලා තියෙන්නෙ.
මේ නිසා මේ කන්දේ ජනතාවට කුලී මුදල් දීලා ඉවත් කළත් ඔවුන්ට සාධාරණයක් වේවිද කියලා හිතාගන්න බැහැ. ඒ වගේම කිසිම දෙයක් ලබාදෙන්නේ නැතිව ජනතාව බලෙන්ම වගේ ඉවත් කරන්නත් උත්සාහ ගනිමින් සිටින ආකාරයක් පේන්න තියෙන්නෙ.'

IMG-095a125bbd713187f23ab321fb6bcf9c-V

ජලය බෙදාහැරීම ක්‍රමවත් නැහැ- එස්.ඒ. ද සිල්වා – කුරුඳුගොල්ල

“උමාඔය විනාශකාරී ව්‍යාපෘතිය නිසා මුලින්ම ජලය නැතිවුණේ මේ පැත්තට, මේ පැත්තේ ළිංවල හැමදාම ජලය පිරිලා තිබුණා. දැන් බොන්න වතුර උගුරක් හොයාගන්න නැහැ. ජල ප්‍රශ්නයට විසඳුමක් කියලා මුලින්ම බවුසර් මගින් සතියකට දෙකකට සැරයක් ජලය ලීටර් 500ක් විතර දුන්නා. පස්සේ කොහොම හරි නළ දාලා වතුර දෙනවා කියලා විජ්ජාවක් කළා. එතැනදී කළේ දේශපාලඥයන්ගේ හොටෙල් දෙකතුනකට ජලය ගෙනයෑම. දැන් ගම හරහා බට දාලා තියෙනවා. ගමේ ජනතාවට වතුර දෙන්නේ සතියකට දවසයි. ඒකත් ටික වෙලාවකට පමණයි. අවසානයට වුණේ අපේ ප්‍රශ්නය පිටදාලා දේශපාලඥයන් හෝටල්වලට වතුර ටික ගෙනියනවා. මම ජීවත් වෙන්න කරන්නේ වෙළෙඳ සැලක් පවත්වාගෙන යන එක. හැබැයි කඩේට වන්දියක් දෙන්නේ නැහැ. මේ පැත්තේ ජනතාව අනුන්ට අතපාලා ජීවත් වුණු ජනතාවක් නොවෙයි.
හැබැයි දේශපාලඥයන්ගේ ව්‍යාපෘතිය නිසා ජනතාව මහපාරට වැටුණා. අද මේ ජනතාවට බොන්න වතුර ටිකවත්  හරියට දෙන්න බැරිවෙලා තියෙනවා. අනෙක් පහසුකම් ගැන කතා කරන්න දෙයක් නැහැ.
මෙහෙන් ඡන්දය ඉල්ලපු එක දේශපාලඥයෙක් අපට වුණු විපත බලන්න ආවේ නැහැ. අපේ ළිං ටික සි‍ඳෙනකොට පාලකයන් ඒ ගැන තේරුම් අරන් වැඩ කළා නම්, මේ වගේ විපතකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒත් දේශපාලඥයන් හැම දෙයක්ම කළේ ඔවුන්ගේ වාසියට විතරයි. අඩුම තරමින් ඡන්ද ලබාදීමේදීවත් සාධාරණයක් කරන්න කටයුතු කරන්නේ නැහැ.'

ජනාධිපති කොමිසමක් කඩිනමින් අවශ්‍යයි- සමන්ත විද්‍යාරත්න – ඌව පළාත් සභා මන්ත්‍රී 

“උමාඔය විපත කියන්නෙ බදුල්ල, බණ්ඩාරවෙල ජනතාවට විතරක් බලපාන ප්‍රශ්නයක් නොවෙයි. මේක මුළු රටටම බලපාන ප්‍රශ්නයක්. හැබැයි හිටපු පාලකයොත්, දැන් ඉන්න පාලකයොත් ඇතුළු පිරිස මේ ගැන හිතන්නේ සැහැල්ලුවෙන්. ඒ වගේම මේ පිළිබඳ සොයා බලන්න ඉන්න, ජනතා ප්‍රශ්නවලට මැදිහත්විය යුතු නිලධාරීන් පවා මෙම විනාශය පිළිබඳ හිතන්නෙ ඉතාමත් සැහැල්ලුවෙන්. විපතට පත් ජනතාවට යම් යම් සහන ලබාදීලා තියෙනවා. අපි ඒවා නැහැයි කියලා කියන්නේ නැහැ. හැබැයි සිදුවුණු හානියට එය සුළුවෙන් හෝ ප්‍රමාණවත් නැහැ.

පාලකයන් තාමත් කරන්නේ අර කමිටු, මේ කමිටු පත් කරකර ඉන්න එක. ජනතාව යම් දෙයක් ලබාගෙන තියෙනවා නම්, එය ලබාගෙන තියෙන්නේ මහපාරට බැහැලා සටන් කරලා. මේ නිසා අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කරලා තියෙනවා විපතට පත් ජනතාවට සහන සලසන්න හා භූමිය යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මෙම කොමිසමට ආර්ථික, සමාජීය හා කෘෂිකර්ම වගේම භූමිය පිළිබඳ විශේෂඥ දැනුම තියෙන පිරිස් පත් කළ යුතුයි.
එහෙම කළොත් විපතට පත් ජනතාවට යම් තරමකින් හෝ සාධාරණයක් ඉටුවේවි කියලා හිතනවා. හැබැයි දේශපාලන කමිටු පත් කිරීම තුළින් කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා ස්ථිරයි.
මෙතැනදී කියන්න ඕන දෙයක් තමයි ප්‍රදේශයේ ජනතාවට, වනසතුන්ට මහා විපතකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඒ වගේම තමයි අනාගතයේ රට බාරගන්න ඉන්න දරුවන්ට අධ්‍යාපනය ලබාදුන් පාසල් 22කටත් මේ තුළින් බලපෑම් එල්ලවෙලා තියෙනවා. සමහර පාසල්වල ගොඩනැගිලි ඉරිතලා ගොස් කඩාගෙන වැටීමේ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මේ හේතුවෙන් මෙම ප්‍රශ්නයට ඉතාමත් කෙටි කාලයක් තුළ විසඳුම් ලැබිය යුතුයි.

පොදුවේ මේ විපත ගැන කතා කළොත් බණ්ඩාරවෙල නගරය අස්ථාවරයි. ඒ වගේම තේ වගාකරුවන්, ගම්මිරිස් වගාකරුවනුත් අනාථයි. සිදුවෙලා තියෙන විනාශය කවදා යථාතත්ත්වයට පත්වේවිද කියා කාටවත් කියන්නත් බැහැ. ලංකා ඉතිහාසයේ දේශපාලඥයන් සිදුකළ විපතක් ලෙස උමාඔය විපත ඉතිහාසයට එක්වේවි.

IMG-040242f536fb90b797ed88aaeb12d6ac-V

මෙච්චර විනාශයක් වෙලා තියෙද්දීත් දිස්ත්‍රික් ලේකම් කරන්නේ කවි ලියන එකයි, කවි කියන එකයි.'- පදිංචි ඉඩමට තක්සේරුවක් නැහැ – මොහොමඩ් නසාර් – පල්ලේපොරුව

“මේ පැත්තේ පවුල් 43ක් මුලින්ම ඉවත් කළා. ඒ වගේම තවත් පවුල් 10කට වහාම ඉවත් වෙන්න කියලා ලියුම දීලා තියෙනවා. ආණ්ඩුවේ බලධාරීන් කියන කියන වෙලාවට ගෙවල්වලින් ගිහින් කොහේ යන්නද කියලා හිතාගන්න බැහැ. මොකද මේ අහල ගම් හතකවත් කුලී නිවසක් සොයාගන්න බැහැ. නිවසක් සොයා ගත්තත් විශාල කුලී මුදලක් ගෙවන්න වෙනවා. ඒ වගේම අත්තිකාරම් මුදලක් ගෙවන්න වෙනවා. මේ පැත්තේ ජනතාවගේ නිවාස හානි තක්සේරු කළාට ඉඩමට තක්සේරුවක් කරන්නේ නැහැ. ඒ වගේම පූර්ණ හානි, අර්ධහානි සහ ප්‍රතිසංස්කරණ වශයෙන් වන්දි ක්‍රම තුනක් භාවිත කරනවා. මේ කිසිම තක්සේරුවක් සාධාරණ නැහැ.
මේ පැත්තේ සමහර පවුල්වලට මුලින් රුපියල් 15,000ක කුලී මුදලක් ලබාදුන්නා. දැන් ගෙවල් තක්සේරු කිරීමේදී ඒ මුදලත් අඩුකරලා තමයි වන්දි මුදල සකස් කරන්නේ. හැබැයි ගෙවල් ප්‍රතිසංස්කරණය කරා කියලා ගෙවල්වල පදිංචි වෙන්න බැහැ. මොකද භූමිය සම්පූර්ණයෙන්ම ගිලාබැහැලා තියෙන්නෙ. මේ නිසා ජනතාවට අයත්ව තිබූ ජුම්මා පල්ලියේ ආගමික වතාවත් කරන්න බැහැ. මේ ගම්මානයේ පවුල් 685ක් ඉන්නවා. ළිං 759ක් තිබුණා. එක ළිඳකවත් වතුර නැහැ.
ඒ වගේම මේ පැත්තේ ජනතාව මානසික රෝගීන්ගේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. දැන් මේ ගෙවල්වල පදිංචි වෙලා ඉන්න බයයි. ඒත් යන්න එන්න තැනක් නැහැ. අඩුම තරමින් ගෙයක් කුලියට අරගන්න පුළුවන් මුදලක්වත් ලැබෙනවා නම්, ගෙදරින් යන්න පුළුවන්. එහෙම නැතිවුණොත් ගෙවල් කඩාගෙන වැටිලා විනාශයක් වේවි.'

ගොවීන් 2000කට  වගා භූමි අහිමි වෙලා  – ජී.ඒ. මහින්දරත්න (ලේකම් – උඩුපේරුව ගොවි සංවිධානය)

“උමාඔය විනාශකාරී ව්‍යාපෘතිය හේතුවෙන් මකුළුඇල්ල, වෙරගල තැන්න, උඩුපේරුව, මැදපේරුව, හිල්ඔය වැනි ග්‍රාම නිලධාරී වසම්වල පිහිටි වගා භූමි සියල්ලම මේ වනවිට විනාශ වෙලා තියෙනවා. මේ ප්‍ර‘දේශවල ජනතාව වී වගාව වගේම බෝංචි වැනි උඩරට එළවළු වගා කළා. පොදුවේ ගත්තාම මෙම ප්‍ර‘දේශවල ගොවීන් 2000කට ආසන්න පිරිසකට තම වගා භූමි අහිමි වෙලා තියෙනවා. භූමියේ ජලය සිඳී යෑම නිසා පොළොව ඉරිතැලීම්වලට ලක්වෙලා, භූගත ජලය පහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම වගා භූමිවලට ජලය ලබාගත් ජල මූලාශ්‍ර සිඳීගොස් තියෙනවා.
ඇතැම් භූමිවලට යන්නවත් එපා කියලා නියෝග කරලා තියෙනවා. හැබැයි තාම එක ගොවියෙකුටත් භූමිය වෙනුවෙන් කිසිදු වන්දි මුදලක් ගෙවලා නැහැ. සෑම ගොවියෙකුගේම ජීවන උපායමාර්ග වෙලා තිබුණේ ගොවිතැන. වන්දි ගෙවනවා කියලා අයදුම්පත කැඳවුවා. ඒ වෙලාවේ ඔප්පුව, ප්ලෑන් එක, පත්ඉරු ඉල්ලුවා, ඒවත් දුන්නා.
මේ නිසා ගොවි ජනතාවගේ ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. ඒ වගේම සමහර ගොවීන් ඉන්නවා ඉඩමේ අයිතිය වෙන කෙනෙකුට තියෙන. හැබැයි මෙවැනි ප්‍රශ්නවලදී ගොවියාගේ පැත්ත අරගෙන කවුරුවත් කතා කරන්නේ නැහැ. මේ නිසා වසර 20 – 25ක් ගොවිතැනින් ජීවත් වූ ජනතාව අන්ත අසරණ තත්ත්වයටම පත්වෙලා. ඔවුන්ට කිසිම වගාපාලු වන්දියක්වත් ලබාදීලා නැහැ.' 
නිවාස 7346ක් විනාශයි

??????????

ලලිත් විජේසුන්දර (උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කමිටු සාමාජක)

“මගේ ගෙදර හතර පැත්තෙන්ම පුපුරලා. ඒ නිසා මාස 08කට කලින් ගෙදරින් ඉවත් කළා. ගෙවල්වලින් ඉවත් කළත් තාම කුලී ගෙවල්වලට යන්නවත් ප්‍රමාණවත් මුදලක් ලබාදීලා නැහැ. ලබාදෙන කුලී මුදලින් වර්ග අඩි 100ක කාමරයක්වත් ගන්න බැහැ. වන්දි ගෙවීමේදීත් නිවාස හානි වෙනුවෙන් වන්දි තක්සේරුව නිවැරදි නැහැ. ඒත් දිස්ත්‍රික් ලේකම් කියනවා රුපියල් මිලියන 06ක්, 07ක් වශයෙන් වන්දි ගෙවලා තියෙනවා කියලා. හැබැයි අපි අභියෝග කරනවා රුපියල් මිලියන 06ක් ලබාදීලා තියෙන පුද්ගලයන් 10ක් හැකිනම් නම් කරන්න කියලා. මොකද තක්සේරු කරන්නේ රුපියල් 7,000ක් ඉඳලා ලක්‍ෂ හතඅටක් වගේ මුදලක්. පොදුවේ නිවාස 7346ක් පුපුරලා ඉරිතලා ගොස් තියෙනවා. මේවා ජනතාව ජීවිත කාලයේම හරි හම්බ කරගත් මුදල්වලින් හදාගන්න ඒවා.
ගෙවල් 100කට තක්සේරු හැදුවත් ගෙවල් 97කටම සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ. රුපියල් ලක්‍ෂ 07ක, 08ක වන්දියකින් කෙනෙකුට පර්චස් 10ක් අරගෙන ගෙයක් හදාගන්නවත් බැහැ. ආණ්ඩුව මේක තේරුම් ගන්න ඕන. මෙතැනදී වෙන අනෙක් අසාධාරණය තමයි ගෙට තක්සේරුවක් කළත්, ඉඩමට හා තාප්පයට කිසිම වන්දියක් නැහැ. ජල මූලාශ්‍ර සිඳී යෑම යටතේ ළිං ඇතුළු ජල උල්පත් 3700කට වැඩි ප්‍රමාණයක් සිඳීගොස් තියෙනවා.'

රැකියාවක් නැහැ, ඉන්න තැනක් නැහැ? – ඩබ්.කේ.ඩී. සුගතදාස – බණ්ඩාරවෙල

“මම රැකියාවක් ලෙස කළේ මේසන් වැඩ. අද මේ පැත්තට වෙලා තියෙන විනාශය නිසා මේසන් වැඩ නොවෙයි, කුලී වැඩක්වත් කරගන්න තැනක් නැහැ. මගේ ගෙදර සම්පූර්ණයෙන් ඉරිතලා ගිහිල්ලා තියෙන්නෙ. මම අවුරුදු 47ක් තිස්සේ හම්බු කරපු මුදල්වලින් ගෙදර හැදුවේ. ගණන් හැදුවොත් ලක්‍ෂ 20කට වැඩිය ගෙට යන්න ඇති. ඒත් තක්සේරුව ආවේ රුපියල් දෙලක්‍ෂ පනස්දහසක මුදලක්. අද වනවිට මට රැකියාව අහිමි වෙලා. ඒ වගේම ඉන්න ගෙදරත් නැතිවුණා. අපේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. අපෙන් පස්සේ මේ දේවල් උරුම වෙන්න තිබුණේ දරුවන්ට. ඒත් දරුවන්ට දෙන්න කිසිම දෙයක් මගේ සතුව නැහැ.
අපට මේ ගෙදරින් යන්න කිව්වා. ඉතින් රුපියල් දෙලක්‍ෂ පනස්දහසක් අරගෙන කොහේ යන්නද? මේ මුදලින් මාස 03කට කුලී ගෙයක්වත් ගන්න බැහැ. මේ නිසා කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැහැ. මේක උපන් බිමේදීම අමු අමුවේ මරා දැමීමක් වගේ වැඩක්.*

ගෙට වන්දිය ලැබුණේ රුපියල් 7500යි – කුමුදුනී මානෙල් – හිල්ඔය

“වසර ගණනාවක් හම්බු කරපු මුදල්වලින් හදපු ගේ ඉරිතලලා විනාශ වෙලා තියෙන්නෙ. මේ ගෙදරින් යන්න කියලා නිලධාරීන් කියනවා. අපි වන්දියක් ඉල්ලුවට පස්සේ අපට රුපියල් හත්දහස් පන්සියයක මුදලක් තක්සේරු වෙලා තිබුණා. වහලට ගහලා තියෙන රීප්පවලටත් මීට වඩා මුදලක් වියදම් වෙලා තියෙනවා. ආර්ථික අපහසුකම් එන්න එන්නම ආව නිසා මහත්තයා රට ගියා. ඒත් වැඩට ගියපු තැනින් හරියට පඩි දුන්නේ නැහැ. ඒක නිසා මහත්තයා ආයෙත් ලංකාවට ආවා. මේකෙන් අපි තවත් අසරණ වුණා.'

බෝගස්වැවට දිය දෙන බෝසත්වරයෙක්

වව්නියාව බෝගස්වැව ගම්මානයේ පදිංචි ජනතාව ජීවිත සටන ජයගැනීමට දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙමින් සිටින බව වසර කිහිපයක සිටම මාධ්‍යයේ කතාබහ වන කාරණයකි. ජීවත් වීමට අවශ්‍ය වන මූලික අවශ්‍යතා පවා ඔවුන්ට අහිමි වී ගොසිනි. මෙම මිනිසුන් බෝගස්වැව පදිංචි කිරීමට උනන්දු වූ කිසිවෙක් ඔවුන්ගේ එම අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි. බෝගස්වැව ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරා දී‍මට භික්ෂූන් වහස්සේ නමක් මූලිකත්ව ගෙන කටයුතු කරන බව දැන ගැනීමට ලැබීමත් සමග අපි ඒ පිළිබඳව සොයා බැලුවෙමු.

ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක, ඇමරිකාවේ චිකාගෝ බ්ලෝටස් බෞද්ධ විහාරාධිපති සහ ශ්‍රී ලංකාවේ පේරාදෙණියේ සනාත සුවය භාවනා මධ්‍යස්ථානාධිපති පේරාදෙණියේ සුජාත හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුවන බෝගස්වැව ජනතාවට පානීය ජල පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්  උන්වහන්සේ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

  19489536_10155453691478829_2050934035_n copy  

"මම ලංකාවට ආවට පසුව බෝගස්වැව ගම්මානයේ දරුවන්ට පාසල් උපකරණ බෙදා දෙන්න ඒ ගම්මානයට ගියා. එතැනදී ඒ මිනිස්සු මාව මුණගැහුණා. පුළුවන් නම් ඔවුන්ට වතුර ලබාදෙන්න කියලා ඒ අය අඬ අඬා කිව්වා. ඇත්තටම් මේ ගම්මානයේ ඉන්න මිනිස්සු වතුර හොයාගෙන හැතැප්ම ගණන් යන්න සිදුවෙලා තියෙනවා කියලා මම පසුව දැනගත්තා. එහෙම ගියත්, ඔවුන්ට ලැබෙන්නේ බොර වතුර.  ඒ ගම්මානයේ බොහෝ අය වකුගඩු රෝගීන්. මේ පිරිස ඇවිත් කියපු කාරණා අහලා මාව කම්පාවට පත්වුණා. මට දුක හිතුණා. ඒ නිසා මම තීරණය කළා මේ ගම්මානයේ මිනිස්සුන්ට කොහොමහරි වතුර ලබාදෙනවා කියලා.

එහෙම හිතලා කරන්න පුළුවන් මොකද්ද කියලා මම හොයල බැලුවා. මොකද වතුර ටිකක් නැතිනම් ජීවිතයක් නැහැනේ. බෝගස්වැව ගම්මානයේ ළිං හෑරුවට වතුර නැහැ. ඒ නිසා අපි තීරණය කළා නළ ළිං ව්‍යාපෘතියක් පටන් ගන්න. බෝගස්වැව, නාමල්ගම ගම්මානවල ජනතාවට පහසුවෙන් ජලය ලබාගන්න පුළුවන් වන විදිහට නළ ළිං 10ක් ඉදිකරන්න අපි තීරණය කළා. දැන් ඒ වැඩ පටන් අරගෙන තිබෙන්නේ. මේ වෙද්දි අපි නළ ළිං 04ක් ඉදිකර අවසන්. 

21935516_10155766122188829_441512186_n copy

මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ සැකයෙන්. මොකද නළ ළිං 10 ඉදිකරන්න තරම් මුදලක් අපිට තිබුණේ නැහැ. නමුත් මම මේ කාරණය ඇමරිකාවේ සුදු මිනිස්සුන්ට කිව්වට පස්සේ ඒ අය මට උදව් කළා. විදෙස්ගත ලාංකිකයෝ බොහොමයක් උදව් කළා. ඒ සියලුදෙනාගේම මූලිකත්වයෙන් තමයි අපි මේ කටයුතු ආරම්භ කළේ.

බෝගස්වැව ගම්මානයේ ජනතාව විඳින දුක දැක්කාම කාටවත් දොස් කියන්න මට හිතුණේ නැහැ.  මොකද මම එහෙම කළා නම් මගේ හිත නරක වෙනවා. අපේ රට වෙනුවෙන් මට මොකද්ද කරන්න පුළුවන් කියලා මම හිතුවා. ඇත්තටම ඒ දේවල් දැකලා මානසික වශයෙන් මම දැඩි පීඩාවට පත්වුණා.

4 copy

මම කුඩා කාලයේ හිටියෙ පේරාදෙණිය සුබෝධාරාම විහාරයේ. ඒ කාලේ වතුර නැතුව අපි කොච්චර දුක් විඳලා තියෙනවද කියලා මට මතක් වුණා. ඒ මතකය නිසා මම තීරණය කළා හැතැප්ම ගාණක් වතුර හොයාගෙන යන මේ පිරිසට උදව් කරන්න.මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න වැවගම ධම්මික හාමුදුරුවෝ මූලිකත්වය අරගෙන කටයුතු කරනවා. හමුදාවේ මහත්තයෙක් සහ බෝගස්වැව ගම්මානයේ පිරිසක් අපි සමග ඉන්නවා. මේ ව්‍යාපෘතිය කරගෙන යද්දි බෝගස්වැව මිනිස්සු අපිට පිං දෙනවා. ඔවුන්ගේ සිහිනයනක් සැබෑ කිරීමයි අපි කරන්නේ.

මම හිතන විදිහට රටක් හැටියට අපේ රට හදන්න බැරි තැනක තියෙන්නේ. ලෝකයේ රටවල් සමග  සසඳලා බලන විට අපේ රටේ සමාජක්‍රමය විනාශ වෙලා තියෙන්නේ. එය අවුල් සහගතයි. මේ අවුලට අපිත් එකතු වුණොත් විනාශ වෙලා යනවා. අඩුම තරමේ මට හැකි පමණින් උදව් උපකාර කරන්න තමයි මම කටයුතු කරන්නේ. තමන් තනි තනිවම හැදිලා උපකාර කරන්න කියලයි මම හැමෝටම කියන්නේ.

ලංකාවේ පන්සල්, වෙහෙර විහාර හදනවා. නමුත් මිනිස්සු හදන්නේ නැහැ. රටක ගොඩනැගිලි හදනවාට වඩා මිනිස්සු දියුණු වුණොත් තමයි ඕනෑම ජාතියක් දියුණු වෙන්නේ. නමුත් අපේ රටේ විලාසිතාවක් විදිහට තමයි හැමදේම කරන්නේ. පන්සල් හදන්න සල්ලි වියදම් කරනවා. හැබැයි අහිංසක මිනිසුන් වෙනුවෙන් දෙයක් කරන්න මැළි වෙන්නේ. පන්සල් හැදුවා ඇති, ජාතිය ගොඩනගමු කියා මම ජනතාවට කියන්න කැමතියි. මිනිස්සු හිත දියුණු කරගෙන ආත්මාර්ථකාමී නොවී ජාතිය ගොඩනගන්න කියලා තමයි මට කියන්න තිබෙන්නේ. 

අපි මේ කරන ව්‍යාපෘතියට දායක වෙන්න කැමති කවුරුන් හෝ සිටිනවා නම්  sujatha70@gmail.com ඊමේල් ලිපිනයෙන් හෝ 0719 203917 දුරකථන අංකයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන්."

3 copy21935625_10155766122308829_879234700_n copy

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ව්‍යවස්ථා විරෝධියි මුල පටන්ම බල ශුන්‍යයි

Capture

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු කුමක් ද ?

 
ඕනෑම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු එම රටේ ක්‍රියාත්මක වන මුඛ්‍ය නීති පද්ධතිය අඩංගු කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි උත්තරීතර ලේඛනයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. ඒවා පහත පරිදි වේ.
1. ජනතාවගේ අයිතිවාසිකම් සහතික කිරීම සහ ඒවා ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදය හඳුන්වා දීම.
2. ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල ක්‍රියාත්මක කළ යුත්තේ කවුරුන් විසින් හා කෙසේ ද යන්න නිර්ණය කිරීම.
3. රාජ්‍ය විසින් නොයෙකුත් ක්ෂේත්‍ර පිළිබඳ අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති මොනවා ද යන්න නිර්ණය කර තිබීම.
4. රාජ්‍ය විසින් පවත්වාගෙන යා යුතු ආයතන හා ඒවායේ බලතල නිර්ණය කිර තිබීම. 
මෙහිදී රාජ්‍යයේ ස්වභාවය කුමක් ද යන්න ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු අතර, රට තුළ අසමානතාවකින් තොර ව නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම ද තහවුරු විය යුතු ය. ‘රටේ වෙසෙන පාලිතයන් පමණක් නොව නීතිය හදන පාලකයන් ද නීතියට යටත් ය’ යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිගත් මූලිකම සංකල්පයකි.

 

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

 
වර්තමානයේ දක්නට ලැබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ඉතිහාසය තුළ මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස්වරූපයක් ගත් ප්‍රතිසංස්කරණයක් ලෙස හඳුන්වා දිය හැක්කේ 1833 කෝල්බෲක් – කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා ය. මධ්‍යගත පාලන ක්‍රමය, ව්‍යවස්ථාදායක, විධායක සභා ස්ථාපිත කිරීම, රාජ්‍ය සිවිල් සේවය ස්ථාපිත කිරීම, අධිකරණ ක්‍රමය නියමානුකූල කිරීම ඊට ඇතුළත්ය. පසුව 1911 මැකලම් ප්‍රතිසංස්කරණ යෝජනාවලිය මගින් එය වඩාත් විධිමත් වූ අතර, 1920 මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ තුළින් ව්‍යවස්ථාදායකයේ බලය තරමක් ශක්තිමත් විය. පසුව 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය සමග සර්වජන ඡන්ද බලය ශ්‍රී ලාංකිකයන්ට හිමි විය. 1948 ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් අපට ලැබුණේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. 

 

පළමු ජනරජ ව්‍යවස්ථාව

 
ශ්‍රී ලංකාව පූර්ණ ස්වෛරීභාවයකින් යුත් රාජ්‍යයක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලාංකිකයන්ට තිබුණේ වුව ද එවැනි නිදහස් තත්ත්වයක් තහවුරු කර ගැනීම පිණිස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා සෝල්බරි ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට බලයක් දී නොතිබුණි. සමගි පෙරමුණු සන්ධානය 1970 මහ මැතිවරණයේ දී පූර්ණ ස්වාධිපත්‍යයකින් යුත් ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ජනවරමක් ඉල්ලා සිටින ලදී. එම මැතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමග සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ආරම්භ කළ අතර, ඊට නායකත්වය ලබා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ඇමති ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ය.
 
නීතිය පිළිබඳ පැවති හසල දැනීම හා බුද්ධිය අනුව පාර්ලිමේන්තුව තුළ සිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බලයක් නොමැති බව වටහාගත් ඔහු පාර්ලිමේන්තු සභිකයන් පාර්ලිමේන්තුවෙන් පරිබාහිර තැනක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් (Constitutional Assembly) ලෙස රැස් වී නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම ආරම්භ කළේ ය. එම මණ්ඩලය රැස් වූයේ කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහල පරිශ්‍රයේ ය. එසේ සම්පාදනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 1972 මැයි 22 වැනි දින එය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත්හ. එවක පටන් පාර්ලිමේන්තුව වෙනුවට ජාතික රාජ්‍ය සභාව ආදේශ විය. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට අවකාශ නොමැති කම නිසා එසේ අනුගමනය කළ ක්‍රමය, විප්ලවකාරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කිරීමේ ක්‍රියාදායමක් විය. 
 

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව

 
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 වන ව්‍යවස්ථාව අනුව එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවලංගුකොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා නෛතික අධිකාරිය ජාතික රාජ්‍ය සභාව වෙත පැවරී ඇති අතර, අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ද එහි දක්වා ඇත. 1977 මැතිවරණයෙන් 5/6 ක බලයක් ලබාගත් ජේ.ආර්. ජයවර්ධන අගමැතිගේ ආණ්ඩුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ බාධාවක් නොවූයේ 1972 ව්‍යවස්ථාවේ ඉහත කී ප්‍රතිපාදන සලසා තිබීම නිසාවෙනි. ඒ අනුව ඔහු 1978 වසරේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ ය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 සහ 82(2) ව්‍යවස්ථා අනුව එම ව්‍යවස්ථාව අවලංගු කොට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා බලය පාර්ලිමේන්තුව වෙත පැවරී ඇත. එම බලය ක්‍රියාත්මක කළ යුත්තේ සහ කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූලව පමණි. ඒ අනුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට බලයක් ඇත.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මුල පටන් නීතිවිරෝධී එකකි

 
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ දී පාර්ලිමේන්තුවෙන් පිට ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවාගෙන කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තුව තුළ එවැනි කටයුත්තකට නීතියෙන් ඉඩ නොමැති නිසා ය. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත් කිරීමේ වගකීම ජේ.ආර් ජයවර්ධන ඔහුගේ මිතුරෙකු වූ දේශපාලන විද්‍යා මහාචාර්ය ඇල්ෆ්‍රඩ් ජයරත්නම් විල්සන් මහතාට පැවරීය. ඔහු සම්පාදනය කළ කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය අනුමත කිරීමෙන් පසු 1972 ව්‍යවස්ථාවේ 51 ව්‍යවස්ථාව අනුව ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් විය. 1978 ව්‍යවස්ථාවේ ද ඊට සමාන ප්‍රතිපාදන 82 වන ව්‍යවස්ථාවේ පවතින හෙයින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ බාධාවක් නැත. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් පාර්ලිමේන්තුව තුළ පත් කිරීමට 1978 ව්‍යවස්ථාවේ කිසිදු අයුරකින් බලයක් පාර්ලිමේන්තුවට ලබා දී නොමැත. නව ව්‍යවස්ථාවක් සකසා ගැනීමට ආණ්ඩුවට අසීරු කාරණයක් වන්නේ නම් ඒ සඳහා සහාය ලබා ගැනීමට ආණ්ඩුවට කළ හැක්කේ ස්ථාවර නියෝග අනුව තේරීම් කාරක සභාවක් පත් කරගෙන ඒ මගින් නිර්දේශ ලබා ගැනීමය. ඒ අනුව දැනට පාර්ලිමේන්තුව විසින් පත් කොට ගෙන ඇති ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සහ මෙහෙයුම් කමිටුව මුල පටන්ම සහ එනයින්ම අවලංගු හා බලශූන්‍ය වේ.
 

ව්‍යවස්ථාදායක මණ්ඩලය බල ශූන්‍ය බව ප්‍රකාශ කිරීමට අධිකරණයට බලය ඇත්තේය

 
ව්‍යවස්ථාදායකය ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක් වන අතර, එහි කටයුතු සම්බන්ධව නඩු විමසීමට හෝ තීන්දු දීමට අධිකරණයට බලයක් නැත. එය ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුළ පිළිගත් සම්ප්‍රදායක් වන අතර, ඒ පිළිබඳව මීට පෙර අධිකරණය හා පාර්ලිමේන්තුව විසින් තීරණ ගෙන ඇත. පාර්ලිමේන්තුව මෙන්ම පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන තේරීම් කාරක සභා, ස්ථාවර තේරීම් කාරක සභා, විශේෂ කාරක සභා සහ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා යන ආයතනවලට ද මෙම වරප්‍රසාදය හිමි වෙයි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කිසිදු ආකාරයකට පිළි නොගත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හා ස්ථාවර නියෝග මාලාව මගින් ආවරණය නොවන බැහැර වූ ආයතනයක් බැවින් එය නීතියෙන් බලශූන්‍ය වේ. එය පාර්ලිමේන්තු වරප්‍රසාද මගින් ආරක්ෂා නොවන්නකි. එවන් වූ පරිබාහිර ආයතනයක වලංගුභාවය පිළිබඳව තීරණයක් ගැනීමට අධිකරණයට කිසිදු බාධාවක් නොමැත. නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ ක්‍රියාදාමය 78 සහ 82 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මගින් සකසා තිබියදී ඉන් බාහිරව මණ්ඩල පත් කිරීම ව්‍යවස්ථා විරෝධී වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය බල රහිත එකක් වන හෙයින් එම මණ්ඩලය මගින් පත් කරන්නට යෙදුණු මෙහෙයුම් කමිටුව එනයින්ම බල රහිත වන්නේ ය. එමෙන් ම මෙහෙයුම් කමිටුව විසින් සකසා ඇති 2017 සැප්තැම්බර් 21 දිනැති අතුරු වාර්තාව ද නිරායාසයෙන්ම අවලංගු හා බලශූන්‍ය ලේඛනයකි. මහජන මත විමසීම සඳහා පත්කළ කමිටුවටද කිසිදු නීතිමය වලංගු භාවයක් නොමැත.

 Parliament_3_1 copy copy

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම

 
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ප්‍රවාහය තුළ ජනතාව සිය අභිමතය අනුව මන්ත්‍රීවරු තෝරා ගන්නේත්, විශාල මහජන මුදලක් වැය කරමින් පාර්ලිමේන්තුව හා මන්ත්‍රීවරු නඩත්තු කරන්නේත් රටේ ආරක්ෂාව සහ ජනතා සුභසිද්ධිය වෙනුවෙන් නීති පැනවීමේ සුවිශේෂ ඥානයක් ඔවුන්ට ඇත්තේ යැයි බලාපොරොත්තුවෙනි. අපරාධ නඩුවලදී අධිකරණය චූදිතයනට දඬුවම් පමුණුවන්නේ ඔවුන් පවතින නීතිය පිළිබඳ දැනගෙන සිටියාය යන පූර්ව නිගමනය මතය. එමෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් නීති සම්පාදය කරනු ලබන්නේ නීතිය පිළිබඳව අවබෝධයක් ඇතුව යැයි ජනතාව පූර්ව නිගමනය කරනු ලබයි. 1972 සිරිමාවෝ මැතිනිය ගෙනා ව්‍යවස්ථාව සහ 1978 ජේ.ආර් ජයවර්ධන මහතා ගෙනා ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දී කිසිදු විදේශීය උපදේශකයකුගෙන් උපදෙස් ලබා නොගත් අතර, උපදේශකයන් සඳහා ජනතා මුදල් කෝටි ගණනින් වැය නොකළහ. ව්‍යවස්ථාදායක මණ්ඩලයට තේරී පත් වන මන්ත්‍රීවරුන්ට රටට අවශ්‍ය නීතිය සම්පාදනය කරගත නොහැකි නම් මහජන මුදලින් ඔවුන් ව නඩත්තු කිරීමේ ඇති ඵලය කිම ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙත පැවරී ඇති මූලිකම වගකීම නීති සම්පාදනය කිරීමයි. අපට අවශ්‍ය නීතිය සකස් කර ගැනීමේ දී විදේශික උපදේශකයන්ට මිල මුදල් ගෙවීමට සිදු වන්නේ නම් එය මුළු මහත් පාර්ලිමේන්තුවම ලැජ්ජා විය යුතු කාරණයකි.
 
නීති සම්පාදයේ ලා කිසිදු සුදුසුකමක් නැත්තවුන් පාර්ලිමේන්තුවට යැවීම සම්බන්ධව දෝෂාරෝපණය භාරගත යුත්තේ දේශපාලඥයන් නොව ඡන්ද දායකයන් විසිනි. ඡන්ද කාලවලදී වියළි ආහාර, මත්පැන්, පාසල් පොත්, කෙසෙල් ගෙඩි බෙදාදෙන එමෙන්ම සෑම මළ ගෙයකටම, මඟුල් උත්සවයකට, කොටහළු උත්සවයකට, දන්සැලට පැමිණෙන්නවුන් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් විය යුතු බවට ප්‍රබල සංස්කෘතියක් ගොඩනගා ඇත්තේ ජනතාව විසිනි. එමෙන්ම ජාතික දේශපාලනයේ නියුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද කළ යුත්තේ පාරට තාර දැමීම, බෝක්කු සෑදීම, විදුලි පහන් සවිකිරීම, පයිප්ප එළීම යැයිද ඔවුන්ගේ මතයයි. ජනතාවගේ ඡන්ද බලය තුළින්ම ජනතාවගේ වළ කපා ගැනීමටද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඉවහල් කරගත හැකි බවට මෙය හොඳ උදාහරණයකි.    

 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

 
1978 ව්‍යවස්ථාව සම්බන්ධ ව දිගින් දිගටම ප්‍රබල විවේචන ඉදිරිපත් විය. ඊට භාජනය වූ ප්‍රධාන කරුණු දෙකකි. එනම් විධායක ජනාධිපතිගේ බලය අසීමිත වීම හා සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමයේ ඇති දූෂිත බවයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි විශාල ජනහඬක් නැඟුණේ ප්‍රේමදාස ජනාධිපතිගේ කාලයේය. 1994 ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආරම්භ වන්නේම රටට ශාපයක් වූ විධායක ජනාධිපති ක්‍රමය ප්‍රමුඛතා පදනම මත මාස 6 ක් ඇතුළත අහෝසි කරන බව පවසමිනි. ඇය එම ව්‍යවස්ථාව හැඳින්වූවේ ජේ.ආර්.ගේ බහුබූත ව්‍යවස්ථාව ලෙස ය. 2015 අප්‍රේල් 28 වන දින 19 වැනි සංශෝධනය සම්මත කරන තෙක් ම එහි පැවති බහුබූත ස්වරූපය එලෙසින් ම පැවතුණි. 2010 සිදු කළ 18 වන සංශෝධනයත් සමග එම තත්ත්වය ෆැසිස්ට් ව්‍යවස්ථාවක් දක්වා වර්ධනය විය.
 
19 වන සංශෝධනය ගෙන ආවේ ලංකා ඉතිහාසයේ එදා මෙදා තෙක් පිහිටුවන ලද සුළුතර බලයක් සහිත කුඩාම ආණ්ඩුව විසිනි. එදා එ.ජා.ප.ය ප්‍රමුඛ ආණ්ඩුවට පැවතියේ ආසන 47 ක් පමණි. අප කිසිදු විදේශ උපදේශකයකුගේ හෝ එන්.ජී.ඕ. කරුවන්ගේ මැදිහත් වීමකින් තොරව රටට වඩාත් හිතකර ලෙස එය සම්පාදනය කිරීම නිසා පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහාය මෙන්ම ජනතා ආශිර්වාදය ද අපට ලැබුණි. එම අවස්ථාවේ අප සද්භාවයෙන් කටයුතු කරන බවට ජනතාව තුළ තිබූ විශ්වාසය ඊට මූලික හේතුව විය. විපක්ෂය විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු සංශෝධන 144න් 3 ක් පමණක් භාර ගෙන 19 වන සංශෝධනය සම්මත කර ගැනීමට සියලු පක්ෂ දුන් සහාය සහ එවකට කථානායක චමල් රාජපක්ෂ මහතා ලබා දුන් දැඩි සහයෝගය නොවන්නට එය කිසිදා යථාර්ථයක් වීමට ඉඩ නොතිබුණු බවද කෘතවේදීව සඳහන් කළ යුතුය.

 

යෝජිත නව ව්‍යවස්ථාව අසාර්ථක වීමට බලපෑ හේතු සාධක

 
ඉහත කී පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75, 82 සහ 83 ව්‍යවස්ථා අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය. එම බලය මත පැනවී ඇති සීමා 76(1) ව්‍යවස්ථාවෙන් මෙසේ නිර්වචනය කොට ඇත.
 
“පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන්සතු නොකළ යුත්තේය. කවර වූ හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටුවිය යුත්තේ ය.”
 
ව්‍යවස්ථාවේ සඳහන් මෙම ප්‍රතිපාදන ඉතා සරල ය. එමෙන්ම පැහැදිලි ය. එසේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීමට පාර්ලිමේන්තුව අනුමත කළ යෝජනා සම්මුතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට අනුකූලව අවංකව ද, ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාතීව ද, උපරිම ශක්ති ප්‍රමාණයෙන් ආරක්ෂා කොට අනුගමනය කරන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථාව මගින් මන්ත්‍රීවරුන් දී ඇති ප්‍රතිඥාව/දිවුරුම උල්ලංඝනය කිරීමක් නොවන්නේ ද?
 
වර්තමානය වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තා සැකසීමෙහි ලා වඩාත් මැදිහත් වී සිටින්නේ මෙහෙයුම් කමිටුව නොව මහජන මුදලින් විශාල වැටුප් ලබන විදේශීය උපදේශකයන්, විදේශීය මුදල්වලින් යැපෙන දේශීයත්වයට අවමන් කරන රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් සහ දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස නොව ෆෙඩරල් රටක් බවට පත් කළ යුතු බවට මතය ගෙන ගිය පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු කිහිපදෙනෙක් විසිනි. ඊට අමතර ලෙස දෙමළ ඩයස්පෝරාව බලවත්ව පවතින රටවල් මූල්‍ය ආධාර සැපයීමට ඉදිරිපත් වූ අතර, සමහර සාමාජිකයන්ගේ විරෝධතා නිසා එය නතර වුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ව්‍යවස්ථාදායක බලය ඉහත කණ්ඩායම්වලට හා නීතියෙන් පිටුදැක ඇති මණ්ඩලයක් වෙත බාර දී ඇත්නම් පාර්ලිමේන්තුවෙන් ඇති ඵලය කුමක් ද?

 

නව ව්‍යවස්ථාව කා සඳහා ද?

 
රට ෆෙඩරල් රටක් බවට පත් කරමින්, බුද්ධශාසනයට ඇති ප්‍රමුඛතාව ඉවත් කරමින් උතුරු නැගෙනහිරට ස්වයං තීරණ ගැනීමේ අයිතිය ඇති බලතල බෙදීමක් කරමින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පැන නැගී ඇත්තේ කාටද? රාජ්‍ය නායකයන් පවසන්නේ බලතල බෙදීම ඇතුළු නව ව්‍යවස්ථාව සම්පාදනය කළ යුත්තේ දේශපාලඥයන් සඳහා නොව ජනතාව සඳහා ය යන්නයි. එය සාධාරණීකරණය කිරීම සඳහා ගෙනහැර පාන එකම උදාහරණය වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල ජනාධිපතිට ලැබුණු ඡන්ද අතරෙන් විශාල ප්‍රමාණයක් සුළු ජාතීන් විසින් දී ඇති බව ය. 2015 පැවති මැතිවරණවල දී ලියාපදිංචි ඡන්ද දායකයන් ව සිටි ප්‍රමාණය 14,268,000 කි. රටේ ජනගහනය 20,359,000 කි. ඒ අනුව සෑම පුරවැසියන් දස දෙනෙකුගෙන් හත් දෙනෙකුට ම ඡන්ද බලය ඇත. උතුර සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනගහනය 1,597,000කි. ඉන් 10 න් 7 ක් යනු 1,117,000 කි. උතුරු නැගෙනහිර සමස්ත දෙමළ ජනතාවගේ ප්‍රතිශතය රටේ මුළු ජනගහනයෙන් 7.84% කි.
 
ශ්‍රී ලංකාවේ සමස්ත දෙමළ ජනගහනය - 2,269,266 -15.27%
උතුර සහ නැගෙනහිර දෙමළ ජනගහනය (ශ්‍රී ලාංකීය) - 1,597,2767.84%
උතුර සහ නැගෙනහිරින් පිට සිටින දෙමළ 
ජනගහනය (ශ්‍රී ලාංකීය) - 671,9903.3%
ඉන්දියානු දෙමළ (සියල්ලන් උතුරින් සහ නැගෙනහිරින් පිටත) - 839,5044.12%
උතුර සහ නැගෙනහිරින් පිට සිටින සමස්ත දෙමළ ජනගහනය 1,511,4947.42%
 
ඒ අනුව මෛත්‍රීපාල ජනාධිපතිට ලැබුණු ඡන්ද ප්‍රමාණය තුළට රටේ සියලු ම ලාංකික සහ ඉන්දියානු ද්‍රවිඩ මෙන්ම මුස්ලිම් ජනතාවගේ ඡන්ද දී ඇතැයි උපකල්පනය කළත්, එය ලක්ෂ 25 ක් නොඉක්මවන බව පැහැදිලි ය. එවිට ඔහුට දී ඇති ඡන්ද ලක්ෂ 62 න් ලක්ෂ 25ක් අඩු වන විට ඉතිරි ලක්ෂ 37 සිංහල ජනතාවගේ ඡන්ද ය. මූලික වශයෙන් එය එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනමෙන් 1% ක් වත් ඊට ඇතුළත් ව නැත. එම මැතිවරණය මුළුමනින්ම එ.ජා.පාක්ෂිකන්ගේ ලේ, දහදිය සහ කඳුළු මතින් සිදුකළ එකක් මිස කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් එකදු රුපියලක් හෝ වැය නොකළ එකකි.
 
අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු ඡන්ද ප්‍රමාණය 5,768,000 කි. ඔහුට සුළු ජන කොටස්වල ඡන්දය නොලැබුණු බවට බොහෝ අය තර්ක කරයි.  එය එසේ උපකල්පනය කළොත් මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල යන මහතුන් දෙදෙනාට ලැබී ඇති සිංහල ඡන්ද ප්‍රමාණය එකතුව ඡන්ද ලක්ෂ 94 කි. ඒ අනුව දැන් මතුව ඇති ප්‍රශ්නය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසිය යුත්තේ බහුතර සිංහල ජනතාව ලක්ෂ 94 සම්පූර්ණයෙන් නොසලකා හැර ලක්ෂ 25 ක සුළුතර ඡන්ද දායකයන් ප්‍රමාණයක් සතුටු කරවීම සඳහා ද යන්නයි. අනෙක් අතට රටේ ජනගහනයෙන් 7.84% ක් පමණ වු සුළු ජන කොටසක් වෙනුවෙන් විශාල ලෙස බලතල බෙදා ඇති රාජ්‍යයක් ලොව පවතීද? 

 

නීති සම්පාදනය කළ යුත්තේ සුළුතර මතය අනුව නොව බහුතර මතය අනුවයි

 
ප්‍රජාතන්ත්‍රවාදය යන නාමයෙහි මුඛ්‍ය අර්ථය වනුයේ බහුතර ජනමතය අනුව රට පාලනය කිරීමයි. දේශපාලන විද්‍යාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු නිරන්තරයෙන් බුද්ධිමතුන්ගේ පාලනයක් නොවන අතර, එය මෝඩයන්ගේ පාලනයක් ද විය හැකි ය. ඡන්ද දායකයන්ගෙන් 51% ක් අඥානවන්තයින් නම් ඔවුන් තෝරා ගනු ලබන්නේ බුද්ධිමතෙකු නොව අඥානවන්තයෙකු ම ය. එවිට එය අර්ථකථනය වන්නේ මෝඩයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙසයි. එහෙත් එය ප්‍රජාතන්ත්‍රවාදය ම මිස ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීම සඳහා යොදාගනු ලබන මෙවලමක් නොවේ. මෙහි දී බහුතර බෞද්ධ මෙන් ම අබෞද්ධ සිංහල ජනතාවගේ මතය වන්නේ 1972 සහ 1978 ව්‍යවස්ථාවලට අනුව පවතින ශ්‍රී ලංකා රාජ්‍ය ඒකීය විය යුතු බව ය.
 
1815 උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය මගින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් පවා බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් ආරක්ෂා කොට පෝෂණය කරන බවට දී ඇති පොරොන්දුව 1972 හා 1978 ව්‍යවස්ථා මගින් ද සහතික කර ඇති පරිද්දෙන් ම තවදුරටත් පැවතිය යුතු ය. අති උතුම් කාදිනල් හිමිපාණන් මෙන් ම සමහර ද්‍රවිඩ සහ මුස්ලිම් නායකයන් ද ඊට එකඟතාව පළකොට ඇත. එය මෙරට ජනතාවගේ ඓතිහාසික උරුමය වන නමුත් අන් සියලු ආගමිකයන්ගේ අයිතිවාසිකම් කිසිදු අසමානතාවකින් තොරව ආරක්ෂා කරදීමේ වගකීම රජය හා බහුතර බෞද්ධ ජනතාව මත පැවරී ඇති අනුල්ලංඝනීය වගකීමක් බව අමතක නොකළ යුතු ය. ආගමික සහජීවනය රැකීමේ වගකීම සියලු ආගමිකයන්ට පැවරී ඇති සාමූහික වගකීමකි. අද වන විට ලන්ඩන් නුවර පමණක් දිනකට මුස්ලිම්වරුන්ට පහර දීමේ සිද්ධි 20 ක් වත් වාර්තා වේ. ඒ අතින් ගත් කල අපට සමානාත්මතාව සහ මානව හිමිකම් පිළිබඳ දේශන පවත්වන බටහිර ජාතිකයන්ට වඩා අප ඉදිරියෙන් සිටීම සතුටට කරුණකි.
 

සුළු ජාතිකයන්ට රාජ්‍ය නායකයන් විය නොහැකි ද?

 
සුළු ජාතිකයන්ට පවා රාජ්‍ය නායකත්වයට පත්විය හැකි ලෙස නව ව්‍යවස්ථාව සැකසිය යුතු බවට තර්ක කරන දේශපාලඥයන් පිළිබඳ ව කිව යුත්තේ ඔවුන්ට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අනවබෝධයක් බවයි. නොයෙකුත් රාජ්‍ය තුළ සුළු ජාතිකයන් රාජ්‍ය නායකයන් වූ අවස්ථා කොතෙකුත් ඇත. යුදෙව් ජාතික බෙන්ජමින් ඩිස්රායලි 1868 දී සහ 1874 දී දෙවතාවක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා බවට පත් වීය. ඉන්දියාවේ ජනගහනයෙන් 1.7෴ ක් පමණක් වන සීක් ජනතාව නියෝජනය කළ මන්මෝහන් සිං ඉන්දියාවේ අගමැති බවට පත් විය. ඉන්දියාවේ ජනගහනයෙන් 14෴ ක් මුස්ලිම් ජාතිකයන් වන අතර, අබ්දුල් කලාම් 2002 වසරේ ඉන්දියාවේ ජනාධිපති බවට පත් විය. ඉතාලියේ උපන් සෝනියා ගාන්ධි ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායිකාව බවට පත් වී ඇත. එම සිදුවීම් එකක් වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුවිශේෂීතාව නිසා සිදු වූවක් නොව සුළු ජන කොටසක නියෝජිතයකුට වුව බහුතර ජනතාවගේ හදවත් දිනාගැනීමට තිබූ දක්ෂතාව පෙන්නුම් කිරීමකි.
 
ශ්‍රී ලංකාව තුළ ජාති, ආගම්, භාෂා භේදයකින් තොරව අගමැති හෝ ජනාධිපති වීමට ලක්ෂ්මන් කදිරගාමර්ට හැකියාව හා දක්ෂතාව තිබිණි. ඒ ඔහු සියලු ජනතාවගේ හදවත් දිනාගෙන සිටි නිසා ය. එහෙත් ඔහු මරා දැමුවේ දෙමළ කොටින් විසිනි. එවැනි චරිත සුළු ජාතීන් අතරින් බිහි නොවීම බහුතර ජන කොටසේ දෝෂයක් නිසා සිදුවන්නක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින අඩුපාඩුවක් නිසා සිදුවන්නක් නොවේ. මෙරට අගවිනිසුරුවරුන්, නීතිපතිවරුන්, හමුදාපතිවරුන්, පොලිස්පතිවරුන් වැනි ඉහළ තනතුරු දැරූ සුළු ජාතිකයෝ කොතෙකුත් වූහ. සුළු ජන කොටස් අතරින් බිහිවුවද ලක්ෂ්මන් කදිරගාමර්, ඒ.සී.එස්. හමීඩ් වැනි නායකයන් සමස්ත රටට නායකත්වය දීමට කටයුතු කළහ. වර්තමානයේ සුළු ජාතීන් අතරීන් එවැනි නායකයන් බිහි නොවන්නේ ජාතිකත්වය වෙනුවට ජාතිවාදී ආකල්ප පමණක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන්නන් වීම නිසාය.
 
උතුරේ දේශපාලඥයන් නිරන්තරයෙන් මතු කරන කාරණා කිහිපයකි. උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ඉන් එකකි. එසේ කළහොත් දකුණු පළාතේ ජනතාව දකුණේ හමුදා කඳවුරු ඉවත් කිරීමට ඉල්ලා සිටියහොත් ඊට ද ඉඩ දිය යුතු ය. උතුරේ හමුදා ස්ථානගත කොට ඇති පුද්ගලික ඉඩම් ජනතාවට නැවත ලබාදිය යුතුය යන්න තවත් ඉල්ලීමකි. එය ක්‍රමානුකූලව රජය මගින් සිදුකරමින් පවතී. එහෙත් ප්‍රභාකරන් විසින් පැය 48 ක් තුළ දී උතුරෙන් නෙරපා දැමූ 100,000 ක් මුස්ලිම් ජනතාවගේ හා 40,000 ක් වූ සිංහල ජනතාවගේ ඉඩම් ආපසු ලබා දීම පිළිබඳ ඔවුන්ට වගක් නැත.
 
ඒ පිළිබඳ මුස්ලිම් හා සිංහල ජනතාව උනන්දු නොවන්නේ නිවට කමක් නිසා යැයි ඔවුන් සිතනවා විය හැකිය. සමූල ඝාතනවලට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටින චූදිතයන් දේශපාලන සිරකරුවන් ලෙස සලකා නිදහස් කිරීමට කරනු ලබන ඉල්ලීමට ඉඩදුනහොත් සිරගතව සිටින දහස් ගණන් දකුණේ අපරාධකරුවන් ද එවැනි ම නිදහසක් ඉල්ලනවා ඇත. යුද සමයේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධ ව හමුදා භටයන්ට එරෙහිව දෙමුහුන් යාන්ත්‍රණයක් ඉල්ලා සිටින ද්‍රවිඩ නායකයන් අඩු වශයෙන් ප්‍රභාකරන් හා ඔහුගේ සගයන් විසින් මරා දැමූ තම පක්ෂ නායකයන්ගේ මිනීමැරුම් සම්බන්ධව පරීක්ෂණ ඉල්ලා නොසිටීමෙන් ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය ඉතා හොඳින් පැහැදිලි වේ. ඔවුන් මරා දැමූ කොටි සාමාජිකයන් තවමත් ජීවතුන් අතර සිටිය හැකිය. ඔවුන්ට ජාත්‍යන්තර මානව හිමිකම් නීති අදාළ නොවේද? 
 

විධායක ජනාධිපති තනතුර අහෝසි කළ යුතු ද?

 
19 වැනි සංශෝධනය මගින් විධායක ජනාධිපති බලතල කප්පාදු කළද තවමත් මෙරට පවතින්නේ විධායක ජනාධිපති ක්‍රමයයි. මෙය ඇමෙරිකාවේ, ජර්මනියේ, ප්‍රංශයේ විධායක ජනාධිපති ක්‍රමයන්ට වඩා වෙනස් එකකි. එම රටවල ජනාධිපතිවරයා බවට පත්වන පුද්ගලයාගේ තරාතිරම අනුව සිදුවන වෙනස අල්ප ය. ක්‍රමවේදය ඊට වඩා බලවත් ය. ශ්‍රී ලංකාවේ ක්‍රමවේදයට වඩා එම තනතුරට පත්වන පුද්ගලයාගේ තරාතිරම අනුව සිදුකළ හැකි බලපෑම ප්‍රබල ය. එය කොතෙක් ප්‍රබලදැයි කිවහොත් මෙම ව්‍යවස්ථා රාමුව තුළ ලෝකයේ සිටි බුද්ධිමත් ම රජු ලෙස සැලකෙන සොලමන් රජු වැනි අයෙකු වීමට හෝ ලෝකයේ සිටි ධාර්මික ම රජු ලෙස සැලකෙන අශෝක රජු වැනි කෙනෙකු වීමට හෝ ජේසුස් වහන්සේ කුරුසයේ තබා ඇණ ගැසීමට නියම කළ පොන්ටියස් පිලාටේ වැනි රජෙකු වීමට හෝ පන්සල් වටා කටු කම්බි ගැසූ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ගල් ගැසීමට මහජනතාවට මූලික අයිතිවාසිකමක් ඇතැයි පැවසූ ජේ.ආර්. ජයවර්ධන වැනි ජනාධිපතිවරයෙකු වීමට හෝ එසේ නොමැති නම් වෙන දෙයක් සිදු වුණාවේ යැයි, දකින දේත් නොදැක්කා සේ බලා සිටින පතෝල ජනාධිපතිවරයකු වීමට හෝ කිසිදු බාධාවක් නැත. ඉහත කී කුමන ආකෘතියකට හෝ මොඩලයට අයිති වන්නේ ද යන්න තීරණය වනුයේ දැනට පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදන මත නොව එම තැනැත්තාගේ දැනුම, අවබෝධය, පරිණත බව, ජනහිතකාමීත්වය, කැපවීම වැනි කරුණු මත ය.
 

වර්තමාන ජනාධිපතිවරයාගේ වගකීම

 
රටේ ඒකීයභාවය සහ බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය දීම සිදු නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කිසිසේත් ඉඩක් නොතබන බව වර්තමාන ජනාධිපති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එහෙත් එවැන්නක් ඔහුගෙන් බලාපොරොත්තු විය හැකිද යන්න සොයා බැලිය යුතුය. හේතු කාරණා දෙකක් අනුව එවැන්නක් ඔහුගෙන් බලාපොරොත්තු විය නොහැකිය. 
 
පළමු කාරණය නම් නීති සම්පාදනය සිදු කරනුයේ පාර්ලිමේන්තුව විසිනි. ඊට මැදිහත් වීමට ජනාධිපතිට බලයක් නැත. ඔහුට පාර්ලිමේන්තුවේ ඡන්දයද හිමි නැත. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ඔහුට ඊට මැදිහත් විය හැකි වුවත්, රටේ ආරක්ෂාව පිළිබඳ බරපතළ කාරණයක් බවට පත් වූ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ විදේශිකයන්ට පැවරීම යන කාරණයේදී එය වළක්වාගැනීමට එතුමා ගත් උත්සාහය නිෂ්ඵල විය. දෙතුන් දෙනෙකුගේ බලපෑමට යටත් වීම නිසාවෙන්ම සයිටම් ප්‍රශ්නය මාස 10කට වඩා වැඩිකල් ඔඩු දුවන්නට හැර තීරණයක් නොගෙන බලා සිටියේය. විල්පත්තුවේ වන විනාශය පිළිබඳ මෙතෙක් විසඳුමක් ලබාදීමටද අසමත්ව ඇත.  
 
දෙවැනි කාරණය නම්, ඔහුගේ දේශපාලන අනාගතය පිළිබඳ පවතින ව්‍යාකූලත්වයයි. අනාගතයේ දේශපාලනයේ රැඳී සිටීමට නම් ඔහුට ඇති විකල්පයන් පහත සඳහන් පරිදි වේ.
 
1. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනමෙන් අවම වශයෙන් 80% ක ප්‍රමාණයක් ඔහුවෙත හරවා ගැනීම. එය කිසිසේත් යථාර්ථයක් නොවනු ඇති බව පෙනෙන්නට ඇත.
2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමග එක් වී ඒ තුළින් නායකත්වය තහවුරු කර ගැනීම. වර්තමානයේ පත්ව ඇති තත්ත්වය අනුව එයද කිසිසේත් නොවන්නක් බව පැහැදිලිය.
3. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගෙන එ.ජා.ප.යේ ක්‍රියාකාරිකයෙකු බවට පත් වීම. එයද වර්තමාන දේශපාලන සන්ධර්භය තුළ අභව්‍ය තත්ත්වයකි.
4. පවතින ආණ්ඩුවේ පුපුරා යාමක් ඇති වුවහොත්, එ.ජා. පක්ෂයේ දෙවැනි පෙළ නායකයෙකුගේ සහාය ඇතිව එ.ජා.පයේ කොටසක් තමා වෙත නතු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුට පාක්ෂිකව සිටින කොටසත් සමග පාලනය ගෙන යාම. එයද යථාර්ථයක් විය නොහැක. හේතුව එම කණ්ඩායමේ කොටසක් දැනටමත් මහින්ද පාර්ශ්වය වෙත එක්වීම සඳහා කල්යල් බලමින් සිටීමයි.
5. එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාවලට සහයෝගය ලබාදෙමින් ඉදිරි අවුරුදු දෙකයි මාස දෙකක කාලය ධුරය දරා අවසන් කිරීම.
 
මෙහිදී වඩාත් ප්‍රායෝගික ලෙස සිදුවිය හැකි යැයි බලාපොරොත්තු විය හැකි තත්ත්වය වන්නේ ඉහත කී පස්වැනි විකල්පය පමණක් බව පැහැදිලිය.
වර්තමාන විධායක ජනාධිපති පැහැදිලි පක්ෂ නායකත්වයක් තුළින් මතු වූ අයෙකු නොවේ. අනෙක් අතට කලක් විරුද්ධ දේශපාලන කඳවුර ලෙස පැවැති එක්සත් ජාතික පක්ෂයේ සහාය හේතුවෙන්ම එම ධුරයට පත් වූ අයෙකි. ඔහු මුහුණදී ඇති උභතෝකෝටික ප්‍රශ්නය වී ඇත්තේ රට අස්ථාවර කරන ව්‍යවස්ථා ගෙන ඒම සහ ජාතික සම්පත් විකිණීම යන කාරණාවලදී ඔහුට බලයට ඒමට උදව් කළ එ.ජා.පයේ ප්‍රතිපත්තිවලට පක්ෂග්‍රාහී බව දක්වමින් සිය ණය ගෙවා දැමිය යුතුද? නැතහොත් රාජ්‍ය නායකයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති විධායක බලතල රටේ ආරක්ෂාව සහ ස්ථාවරභාවය රැකගැනීමට තීන්දු තීරණ ගන්නවාද? යන කාරණාය. ඔහු ප්‍රමුඛතාව ලබාදෙන්නේ ඉහත කී පළමු විකල්පයට නම් තවදුරටත් විධායක ජනාධිපති තනතුර තබාගැනීම කුණු වූ මුව හමක් ළඟ තබාගැනීමකට සමානය.

 sri-lanka-president-maithripala-sirisena3

පාර්ලිමේන්තුව පිළිබඳ ජනතාව තුළ තිබෙන අවිශ්වාසය

 
පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරු පිළිබඳ ජනතාව සහ ජනමාධ්‍ය නිරන්තරයෙන් දක්වනුයේ අප්‍රසාදයකි. අකාර්යක්ෂ්මතාව, දූෂණය, අවිචාරවත් බව පිළිබඳ නගන ප්‍රශ්න බොහෝය. එය තීව්‍ර වෙමින් පාර්ලිමේන්තුව පිළිබඳ ජනතා විශ්වාසය මුළුමනින්ම බිඳ වැටුණේ 2017 සැප්තැම්බර් 21 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලැබූ 20 වැනි සංශෝධනයට ඇතුළත් වූ පරිදි පළාත් සභා ඡන්ද කල් දැමීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී පළාත් සභා මැතිවරණ සාමාන්‍ය ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වක්‍ර ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යටපත් කිරීමේ බරපතළ කාරණය මගිනි. එය තවත් බරපතළ තත්ත්වයට පත්වන්නේ මුල් සංශෝධන කෙටුම්පතේ සඳහන් නොමැති අලුත්ම කරුණු කාරක සභා අවස්ථාවේ දී කෙටුම්පතට ඇතුළත් කොට සම්මත කිරීම නිසාය. කෙසේ වෙතත් එම කෙටුම්පතට අදාළ කාරණය සර්වජන ඡන්ද බලය වන හෙයින් එය පළාත් සභා විෂයයක් නොවන්නේ ය.
 
එවැනි කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයෙන් සම්මත කිරීම මගින් වලංගු තත්ත්වයට පත්වන බවට කථානායකට උපදෙස් දීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ හැකියාවක් නීතිපතිට නොමැත. තත්ත්වය එසේ පැවතිය දී පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා හා නීතිපතිවරයා විසින් කථානායක නොමග යවමින් එය සම්මත කරගැනීම ඛේදජනක ය. මෙහි දී කථානායක කරු ජයසූරිය මහතාගේ අවංකභාවය සහ අව්‍යාජභාවය පිළිබඳ කිසිදු සැකයක් නැති නමුත් එතුමා නීති විශාරදයෙකු නොවීම යන කාරණය අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන එකී ඇමතිවරයා හා නීතිපතිවරයා සිදුකර ඇත්තේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට මරු පහරක් එල්ල වන සාහසික ක්‍රියාවකි. 
 
පාර්ලිමේන්තුව තුළ ඉහත සඳහන් ක්‍රියාදාමය හේතුවෙන් නව ව්‍යවස්ථාවද ජනතාවගේ මෙන් ම කථානායකගේ ඇස්වලට වැලි ගසමින් සම්මත කරගැනීමට ආණ්ඩුවේ ප්‍රයත්නයක් ඇතැයි යන්න ජනතාව තුළ ප්‍රශ්නයක් මතුව ඇත. රටට අහිතකර ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව සම්මත කළත් ඊට අත්සන් නොතබන බවට කථානායකවරයා කරන ප්‍රකාශයේ කිසිදු වලංගුතාවක් නැත. පනතක් සම්මත කළ පසු කථානායකවරයාට අත්සන් නොකර සිටීමේ නීතිමය හැකියාවක් නැත. අනෙක් අතට ඔහු අත්සන් නොකළහොත් ඔහු ඉවත් කොට වෙනත් කථානායකවරයෙකු පත් කරගෙන එයට අත්සන් කරගැනීමට ආණ්ඩුව කටයුතු කිරීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකිය.
 
හම්බන්තොට වරාය චීනයට දීමට විරුද්ධ වූ අර්ජුන රණතුංග ඇමති ඉවත් කර මහින්ද සමරසිංහ පත් කරගෙන එය සිදු කරගත් ආකාරයෙන් මෙය ද සිදු කිරීමට ඇති අවකාශ බොහෝ ය. 
 

ෆෙඩරල් ක්‍රමය හෙවත් බෙදා වෙන් වීමේ ආරම්භය

 
මල්වතු අස්ගිරි මහ නාහිමියන් බැහැදැක උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් පැවසුවේ බලය බෙදීමේ ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බෙල්ජියමේ මෙන් නව ව්‍යවස්ථාව මගින් මෙරටේ ද බලතල බෙදිය යුතු බවයි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1956 අගමැති වී පාර්ලිමේන්තුවේ කළ පළමු කතාවේ ද බෙල්ජියමේ බලතල බෙදීමේ ක්‍රමය පැසසුමට ලක් කළේ ය. එහෙත් බෙල්ජියමේ වර්තමාන තත්ත්වය ඉතා අවිනිශ්චිත බිඳෙනසුලු එකකි. ප්‍රංශ භාෂාව කතා කරන බෙල්ජියමේ දකුණු කොටසේ පිහිටි වලූන් (Walloon) හා නෙදර්ලන්ත භාෂාව කතා කරන බෙල්ජියමේ උතුරු කොටසේ ෆ්ලෙමිෂ් (Flemish) ප්‍රාන්ත මේ වනවිට බෙදී වෙන්විය යුතු බවට කතිකාවක් ආරම්භ වී ඇත. එමෙන්ම කලක් පෘථිවි භූමියෙන් 20 ක් සහ ලෝක ජනගහනයෙන් 1/3 ක් පාලනය කළ බ්‍රිතාන්‍යය ද අද බෙදී වෙන්වීමේ තර්ජනයට මුහුණදී ඇත.
 
2016 ජුනි 23 පවත්වන්නට යෙදුණු ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමයෙන් ඉවත් වීමේ තීරණයත් සමග ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය බ්‍රිතාන්‍යයෙන් වෙන් වීමේ කතිකාවක් ආරම්භ වී ඇත. කලකට පෙර ස්පාඤ්ඤය ලොව තුළ තිබූ විශාල අධිරාජ්‍යයකි. වර්තමානයේ ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තය ස්පාඤ්ඤයේන් ඉවත් වීමේ උද්ඝෝෂණ ඉතා තීරණාත්මක අවධියකට ළං වී ඇත. ඒ සඳහා පැවැති ජනමත විචාරණය ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව විසින් කඩාකප්පල් කළේ ය. එවැන්නක් ශ්‍රී ලංකාව තුළ සිදු වූවා නම් යුරෝපීය ජාතිකයන් නැගිටින්නේ කඟවේනුන් ලෙස ය. නමුත් එය සිදු වූයේ යුරෝපයේ නිසා ඔවුන් මුනිවත රකී.
 
1940 දශකයේ අගභාගයේ කොරියාව බෙදා වෙන් කිරීමෙහි ලා කිසිදු අභිලාෂයක් එරට ජනතාවට නොවීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී එය බලහත්කාරයෙන් බෙදා වෙන් කරන ලදී. අද වනවිට උතුරු කොරියාව ලෝකයට ම තර්ජනයක් වෙමින් න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් සිදු කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ පරිදි ම ඇමෙරිකාව හා බටහිර රාජ්‍යයන් එක් ව උතුරු කොරියාව විනාශ කරනු ලබන බවට සැකයක් නැත. අසල්වැසි ප්‍රබල රාජ්‍යයක් එම යුද උපකරණ නිර්මාණය කිරීමට සහාය දැක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු කොරියාව කලක දී විපතට පත්වන බව ඔවුහු දැන සිටියහ. එසේ උතුරු කොරියාව දුර්වල වන මොහොතේදී එය එකී ප්‍රබල රාජ්‍යයේ ප්‍රාන්තයක් වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි ය. එහි ඊළඟ ඉලක්කය වනුයේ දකුණු කොරියාව ද අල්ලා ගැනීමයි. එක්සත් ජාතීන් මැදිහත් වී සර්බියාවෙන් කොසෝවා බෙදී වෙන් කිරීම මෙන් ම 2011 වසරේ දී සුඩානය ද රටවල් 02 ක් ලෙස බෙදා වෙන් කිරීම සිදු කළහ. එසේ බෙදී වෙන් වීම තුළ එම රටවල ගැටලු විසඳී ඇති බවක් පෙනෙන්නට නොමැති අතර ඒවාහි පවතින ගැටලු තව තවත් ඔඩුදුවමින් පවතින බව පෙනෙන්නට ඇත.
 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය වෙනස්කම් මොනවා ද?

 
ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍ය වෙනස්කම් ලෙස ජනතාව නැගූ හඬ තුළ දිස් වූයේ ප්‍රධාන කරුණු 04 කි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම
මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම
යහපාලන සංකල්පය අන්තර්ගත කිරීම
සුළු ජාතීන්ගේ ඉල්ලීම් සලකා බලතල විමධ්‍යගත කිරීම (එය සුළු කොටසකගේ ඉල්ලීමක් පමණි)
 
19 වන සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ජනාධිපතිවරයාගේ බලතල යම් ප්‍රමාණයක් කප්පාදු කළේ ය. මහ බැංකු බැඳුම්කර වංචාව ඇතුළු නොයෙකුත් චෝදනා වර්තමාන ආණ්ඩුවට එල්ල වී ඇති හේතුව මත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වුවමනාවක් ජනතාවට ඇත්තේ නැත. අවම ලෙස එම වංචාව සම්බන්ධයෙන් කොමිසමක් හෝ පත්කරනු ලැබුවේ ජනාධිපති ධුරයේ බලතල පැවතීම නිසාය. එසේ නම් ඉතිරිව ඇති කාරණා අතර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට 2015 දී ඉදිරිපත් කළ 20 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන ඇත. සුළු ජන කොටස් වෙනුවෙන් බලතල බෙදීම සම්බන්ධව ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගෙන කටයුතු කිරීමේ අවහිරතාවක් නොමැත. ඒ සඳහා විදෙස් සංවිධාන, විදෙස් රාජ්‍ය, ඩයස්පෝරා, රාජ්‍ය නොවන සංවිධාන අවශ්‍ය නැත.
 
තමන්ගේ දේශපාලන පැවැත්ම පමණක් පදනම් කරගෙන දේශපාලනයේ යෙදී ඇති නායකයන්ගෙන් මීට විසඳුම් බලාපොරොත්තු විය නොහැකිය. සත්‍යවාදී ලෙස ජනතා සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ පවිත්‍ර චේතනාවෙන් යුත් දේශපාලන, ආගමික සහ සමාජ නායකයන් එක්ව සුහද ලෙස සංහිඳියාව කරා ගමන් කළ යුතු ව ඇත. වර්තමානය තුළ සංහිඳියාව තුළට රිංගා ඇති වෛරස් සහ බැක්ටීරියා මර්දනය කිරීමට අවශ්‍ය ප්‍රතිජීවක ලබා දීම සිදු කළ යුතු ව ඇත. උතුරේ සහ නැගෙනහිර ද්‍රවිඩ දේශපාලඥයන් වසර 100කට වැඩි කාලයක් ජාතිවාදය මතු කරමින් වෙනම රාජ්‍ය සහ බලතල බෙදීම ගැන කතා කළා මිස ද්‍රවිඩ ජනතාවට කළ සේවයක් නම් පෙනෙන්නට නැත. අවසානයේ ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දී රට මෙන්ම දෙමළ සමාජයද විනාශකර දැමූහ. 
 

කළ යුතු දේ

 
වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන සහ සමාජ සංයුතිය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ හැකියාව ඉතා අල්පය. 2015 වසරේදී ඒ සඳහා ඉතා යෝග්‍ය වාතාවරණයක් රට තුළ නිර්මාණය වුවද, ආණ්ඩුව අදූරදර්ශී ලෙස කටයුතු කිරීම නිසා එම තත්ත්වය මුළුමනින්ම පහව ගොස් ඇත. යෝජිත ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ 2/3 ක බලය ලබා ගැනීම හුදු කල්පිතයක් පමණක් වනු ඇත. පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත වුවද එය ජනමත විචාරණයකින් සම්මත වීම අත්‍යවශ්‍යය. එය මිරිඟුවක් පසුපස හඹායාමක් වනු නියතය. අති බහුතරයක් සිංහල හා මුස්ලිම් ජනතාව ඊට විරෝධය පළකොට ඇත. 
මෙම තත්ත්වය යටතේ ආණ්ඩුව විසින් අනුගමනය කළයුතු බුද්ධිමත් ක්‍රියාදාමය වනුයේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කොට පවතින ව්‍යවස්ථාව වඩාත් ප්‍රශස්ත එකක් බවට පත් කිරීම සඳහා සුදුසු සංශෝධනයන් හඳුන්වාදීමට කටයුතු කිරීමය. එහි ප්‍රමුඛතා පිළිවෙළ මෙසේ තේරුම් ගත හැක.
 
01 දැනට පවතින සමානුපාතික මැතිවරණ නියෝජන ක්‍රමය ඉවත්කොට රටට ගැළපෙන මැතිවරණ ක්‍රමයක් රටට හඳුන්වා දීමය.
02 නඩු කටයුතුවල පවතින ප්‍රමාදය වළක්වාගෙන පොදුවේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂ්මතාව වැඩි කිරීමට අවශ්‍ය සංශෝධනයන් සිදු කිරීම. (ඒ සඳහා සුදුසු සංශෝධනන් මා විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එය ඇතුළත් කිරීමේ බලාපොරොත්තුව මත එය තවමත් පසෙක තබා ඇත.)   
03 පළාත් සභා සහ පළාත් පාලන ආයතන සහ ඒවායේ සංයුතිය විධිමත් කොට ඒවා වඩාත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවන ආකාරයේ පරිපාලන බලතල සමමිතික ලෙස බෙදා හැරීම.
04 රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරකම් පිළිබඳ වගවීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම.
 
ඊට අමතර ලෙස පළාත් සභා බලතල පිළිබඳ යම් කතිකාවතක් පවත්වාගෙන යා හැකි වුවත්, ඒ පිළිබඳ ක්ෂණික තීන්දු තීරණ ගැනීමට මෙය කිසිසේත් සුදුසු කාලයක් නොවන්නේය. ඉහත කී සංශෝධන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් සිදු කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩකඩක් නැත. එහෙත් ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මාලාවේ 116 නියෝග අනුව ව්‍යවස්ථාදායක කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාවක් මගින් එය සිදු කිරීමේ ක්‍රමවේදය සලස්වා ඇත. එය ඉතා සරල පහසු ක්‍රමයකි.    
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සහ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් සිටිමින්ම ඒවායේ ව්‍යවස්ථා විරෝධීභාවය දැන දැන මෙතෙක් කටයුතු කිරීම පිළිබඳ මා හට එරෙහිවද චෝදනාවක් එල්ල කිරීම සාධාරණය.  එහි නීත්‍යනුකූල නොවන භාවය අදාළ තැනැත්තන්ට පෙන්වා දුන් නමුත් ආණ්ඩුවක් ලෙස ඉහත ක්‍රියාදාමය පිළිබඳ විශ්වාසයක් තැබීම නිසා සහ කෙසේ වෙතත් අවසානයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කරගත් ආකාරයට ගැටලුවකින් තොරව රටේ උන්නතිය වෙනුවෙන් එය ප්‍රයෝජනවත් වනු ඇතැයි යන බලාපොරොත්තුව නිසා එම නීතිමය ගැටලුව මතු නොකළෙමි. වර්තමානය වනවිට සමස්ත ක්‍රියාදාමයම අවුල් ජාලාවක් බවට පත් කරගෙන ඇති හෙයින් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම යුතුකමක් කොට සලකමි.