Category Archives: entertainment

නාට්‍ය කලාවක් තියා අපට තාම ආණ්ඩුවක්වත් හොයාගෙන නැහැ

ධර්මප්‍රිය ඩයස්ගේ දෙවැනි නාට්‍ය නිර්මාණය වන 'සාදය මාරයි සල්ලි හමාරයි' වේදිකා නාට්‍යයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එහි 200 වැනි දර්ශනය අනිද්දා (19 වැනිදා) සවස 3.30ට සහ 6.30ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී පැවැත්වීමට නියමිතය. 2015 වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නළුවා (ගිහාන් ප්‍රනාන්දු) සහ හොඳම නිළිය (ජයනි සේනානායක) සම්මානය මෙන්ම හොඳම වේදිකා නාට්‍ය පරිපාලනයට හිමි සම්මානය (අරුණ ජයසේන) හිමි වූ මෙම නාට්‍ය පිළිබඳ ධර්මප්‍රිය ඩයස් සමගින් කතාබහක නියැළීමට අප සිතුවේ එබැවිනි. 


2017.4

Q ප්‍රවීණ ශිල්පීන් කණ්ඩායමක් සමගින් නාට්‍ය දර්ශන වාර 200ක් වේදිකාගත කිරීම පහසු කටයුත්තක් නෙවෙයි නේද?

මට හොඳ නාට්‍ය කණ්ඩායමක් ලැබුණා. හොඳ නිෂ්පාදකයෙක් සහ සංවිධාකයෙක් හම්බ වුණා. ඒ නිසා වෙන්න ඇති මේ තරම් දුරක් මට එන්න පුළුවන් වෙන්න ඇත්තේ. අනික මේක හොඳ නාට්‍යයක්.

Q 'සාදය මාරයි සල්ලි හමාරයි' කියන්නේ හාස්‍ය නාට්‍යයක්ද?

නැහැ. මේක අර්ථාන්විත ප්‍රහසන නාට්‍යයක්.

Q විනෝදාත්මක සහ හාස්‍ය යන්නෙහි මායිම කොතැනින්ද සලකුණු කෙරෙන්නේ?

අපේ නාට්‍යයෙන් අපි ප්‍රේක්ෂකයාව මොනවාහරි කරලා හිනස්සන්නේ නැහැ. ඒත් විනෝදාත්මක යන්න ඇතුළේ මොනවාහරි කරලා ප්‍රේක්ෂකයාට විනෝදය සැපයීමක් සිදුවෙනවා. විශේෂයෙන් අපි මේ නාට්‍යයේදී ශාරීරික හෝ මානසික දුබලකම්වලට හිනාවෙන්නේ නැහැ. නුහුරු භාෂාවක් කතා කරන කෙනෙක්ට හිනාවෙන්නේ නැහැ. වෙනත් සංස්කෘතියකට හුරුවීමට යාමේදී එතැනදී මුහුණපාන අනපේක්ෂිත සිදුවීම්වලට හිනාවෙන්නේ නැහැ. අපි මෙතැනදී හිනාවෙන්නේ වේදිකාව මත මැවෙන එක්තරා පරිසරයකට. මේ ගැන ප්‍රේක්ෂකයත් දන්නවා. හැබැයි ඇතැම් චරිත දන්නෙ නැහැ. ඇතැම් චරිත දන්නවා. ඒ හින්දා සැබෑ මිනිස්සු සහ සැබෑ නොවන මිනිස්සු අතර තමයි මෙහි කතාව දෝලනය වෙන්නේ.

Q කාලෙන් කාලෙට වෙනස් වන පිටපතක්ද මෙහි පවතින්නේ?

නැහැ. අපේ නාට්‍යයට පසුබිම් වෙන්නේ එක්තරා ස්ථාවර සිද්ධියක්. ඒත් කලින් කලට වෙනස් වන නාට්‍යයත් ලංකාවේ තියෙනවා. ලෝකෙත් තියෙනවා. එය එම නාට්‍ය ශෛලියේ ස්වරූපයක්. හැබැයි රූපණ ශිල්පීන් ප්‍රේක්ෂකයාට පිටපතේ පවතින අරුත් සන්නිවේදනය කරන ආකාරය මත මේ නාට්‍යයේත් කලින් කලට එහි නිර්වචන වෙනස් වෙන්න පුළුවන්. ඊට ඔවුන් භාවිත කරන ශිල්පීය උපක්‍රම තමා හේතු වෙන්නේ. අපි ඒවා එකතු කර ගත්තේ සහ ගන්නේ ගැළපෙනවා නම් පමණයි. විශේෂයෙන් අපි එහිදී නාට්‍යයේ පෙළ සහ අවස්ථාව ගැන සැලකිලිමත් වෙනවා.

0111

Q කෙසේ වෙතත් හාස්‍ය උපදින්නේ වැරදීමෙන් සහ සැඟවීමෙන් (Comedy of Errors and Disguise) නේද?

එය හාස්‍ය උපදින එක් ආකාරයක් පමණයි. මොකද අපේ නාට්‍යයේ පවතින්නේ වෙනස් ශෛලියක්. එය මෙහි කතාව ගලා යන ආකාරයෙනුත් පැහැදිලි වේවි. අනපේක්ෂිත මුදල් සම්භාරයක් එක්වර ලැබීමත් සහ අහිමි වීමත් එක්ක අනාදිමත් කාලයක ඉඳන් රැකගෙන ආ පුරුෂාර්ථ, පරමාදර්ශ, සංස්කෘතික ලක්ෂණ උඩු යටිකුරු වන ආකාරයයි මෙහි වේදිකාවට ඇවිත් තියෙන්නේ. 

Q ශීඝ්‍රයෙන් දියුණු වන වත්මන් සමාජය තුළ ප්‍රස්තූතයන් තෝරා ගැනීමේදී නවක රචකයන් විශාල අර්බුදයකට මුහුණ පානවා නේද?

ඒක ඕනෑම කාලයකට පොදු තත්ත්වයක්. සම්මත යැයි අපි හිතන දේ කාලයත් සමග යල් පනිනවා. ඒත් ඒකටම අලුතින් දේවල් එකතු වී සම්මතයක් බවට පත්වෙනවා. ඒ වගේම කවදා හෝ යල් පැන ගිය දේවල්ම නැවතත් අලුත් සම්මතය ලෙස පැමිණෙන්නත් පුළුවන්. ඒකයි සමාජයේ ස්වභාවය. ඊට දේශපාලනික, සමාජයීය, පාරිසරික තත්ත්වයන් බලපානවා.

Q ඒ කියන්නේ කාලීන ප්‍රශ්න නාට්‍ය කෘති හරහා කතා කිරීම අසාර්ථකයිද?

නැහැ නැහැ. කාලීන මාතෘකා තෝරා ගැනීමට නිර්මාණකරුවන්ට අයිතියක් තියෙනවා. නිර්මාණවලට එකතු කර ගන්නත් අයිතියක් තියෙනවා. හැබැයි එයත් මුදල වගේ. සුගතපාල ද සිල්වා වැනි නාට්‍යකරුවන් තමන්ගේ ප්‍රස්තූතයට පාදක කර ගත්තෙත් කාලීන මාතෘකා. එවැනි නාට්‍යකරුවන් අවශ්‍යයි.

Q එහෙනම් සර්වකාලීන නිර්මාණ ලෙස පවතින නිර්මාණවල රහස මොකක්ද?

අනුභූතිය අපූරුවත්වයෙන් ඉදිරිපත් කිරීම. ඒ අනුවයි නාට්‍ය රසය ඉස්මතු වෙන්නේ. ඒක ඉතා වැදගත් මූලික පාඩමක්. ඒ නිසා එතැනදී අපි කාලීන ගැටලු තෝරා ගැනීම සිදුකළත් විශාල ගැටලුවක් නැහැ. මහාචාර්ය සරච්චන්ද්‍රයන් පවා සර්වකාලීන නිර්මාණයක් කරනවා කියලා නිර්මාණකරණයේ යෙදුණා කියලා මම හිතන්නේ නැහැ. එතුමා සිදුකළෙත් තමාට දැනෙන හැඟීම නිර්මාණාත්මකව මුදාහැරීමයි. නිර්මාණකරුවා සිදුකළ යුත්තේ එයයි. ඒ නිසා සර්වකාලීන වීම හෝ නොවීම පසුවට සිදුවෙන දෙයක්.

Q අපි තාමත් සාම්ප්‍රදායික නාට්‍ය ආකෘතිවල හිර වෙලා නේද?

ඔව්. අපි තාමත් ස්ටැනිස්ලව්ස්කි, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ආදී නාට්‍යකරුවන්ගේ රීතීන් පස්සෙයි ඇලී ගැලී ඉන්නේ. එතැනින් එහා යන්න උත්සාහ කරන්නේ නැහැ. ඒත් අපි ඒවායින් ගැලවෙන්න ඕන. ලංකාවේ විදිහට කිව්වොත් අපි තාමත් ඉන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් ළඟ හිරවෙලා. එතැනින් එහාට යන්න ඕන. මොකද දැන් ලෝක නාට්‍ය කලාව නොහිතන පැතිකඩවල් හොයාගෙන ගිහින්.

Q ඒ කියන්නේ අපි තාමත් ලාංකේය නාට්‍ය කලාවවත් හොයාගෙන නැහැ කියන එකද?

අපි තාම කිසිම දෙයක් හොයාගෙන නැහැ. නිශ්චිත ආර්ථික රටාවක් නැහැ. නිශ්චිත සංස්කෘතියක් හොයාගෙන නැහැ. තිබුණු සංස්කෘතියක් කරේ තියාගෙන යනවා. වර්තමානයේ ජීවත් විය යුතු සංස්කෘතියක්වත් හොයාගෙන නැහැ. නීතියක් හොයාගෙනත් නැහැ. ඒ නිසා අපිට තාම ආණ්ඩුවක් හොයාගෙනත් නැහැ.

Q චරිත අභ්‍යන්තරයට කිඳා බැස රූපණයේ යෙදීම නිසා රූපණ ශිල්පීන්ට සිදුවන හානිය පිළිබඳ පසුගිය දිනෙක කතාබහක් ඇති වුණා?

එහෙම නොවෙන්න වගබලාගත යුත්තේ රූපණ ශිල්පීන්. ඒකයි රූපණ ශිල්පියෙකුගේ දක්ෂතාවය.  ඒත් අද එවැන්නකට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩියි,
ඊට තමන්ගේ කුසලතාව, විභවය, සතතාභ්‍යාසය සහ ප්‍රේක්ෂකයා වැළඳ ගන්නවාද නැද්ද වැනි කාරණා බලපානවා. අනික ටෙලිනාට්‍ය කලාවේ සිටින රූපණ ශිල්පීන් දවස් කුලියේ පදනමට යොදා ගැනීමෙනුත් හානි සිදුවෙනවා. ඒ ගැන කවුරුත් හිතන්නේ නැහැ. ඒ වගේම තමයි චරිතයේ බරපතළකම මත ගෙවීමක් පැවති ටෙලිනාට්‍ය කලාවට මෙවැන්නක් සිදුවේවි කියලා අපි හීනෙකින්වත් හිතුවෙ නැහැ. හැබැයි විදෙස් රටක මම එක් චරිතයක් රඟපෑවා නම් මට අවුරුද්දක් ජීවත් වෙන්න ඇති. එහෙම බැලුවාම අපි රඟපෑ චරිතවල හැටියට අපේ දරුවන්ට ලබන ආත්මෙත් ජීවත් වෙන්න ඇති. හැබැයි තමන්ගේ තත්ත්වය පවත්වාගෙන නොයෑමෙනුත් රූපණ ශිල්පියා හානියට පැමිණෙන්න පුළුවන්. මොකද ඔවුන් තමන්ගේ ජනප්‍රියත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ගිහින් කඩාවැටෙන්න පුළුවන්. එහෙම වෙලත් තියෙනවා. ඒ නිසා නිර්මාණකරුවන්ට හොඳ විනයක් තිබිය යුතුයි. ඒක වැදගත්. මොකද එහෙම නැත්නම් ඒ හරහාත් රූපණ ශිල්පීන්ට හානි පැමිණෙන්න පුළුවන්.

වසරේ අවසාන චිත්‍රපටය සරසන ලුසී ෆ්‍රයි

MK1_6771.CR2

2017 වසරේ අවසානයත් කෙමින් කෙමින් ළංවෙමින් තිබේ. මේ වසර සඳහා නිෂ්පාදිත බොහෝ චිත්‍රපට එළිදැක්වීමට තිබුණද, එහි ප්‍රධාන ගණයට අයත් වන්නේ චිත්‍රපට කිහිපයක් පමණි. ඒ අතරින් මේ වසරේ අවසානයට එළිදැක්වීමට ඇති චිත්‍රපටයක ප්‍රචාරණ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. එනම් දෙසැම්බර් මාසයේ 22 වැනිදා එළිදැක්වීමට නියමිත 'බ්‍රයිට්' චිත්‍රපටයයි. එහි ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ විල් ස්මිත්ය. මෙම චිත්‍රපට මනඃකල්පිත චිත්‍රපටයක් ලෙස නිර්මාණ කර තිබේ. ෆැන්ටසි ප්‍රභේදයට අයත් වන මෙම චිත්‍රපටයේ බෙදාහැරීමේ කටයුත්තේ සිට ප්‍රචාරක වැඩසටහන් සඳහා මූලිකව කටයුතු කරනු ලබන්නේ නෙට්ෆිල්ක්ස් සමාගමයි. %බ්‍රයිට්^ චිත්‍රපටයේ ප්‍රචාරකපටය නැරඹූ බොහෝදෙනා මෙම චිත්‍රපටය සඳහා විශේෂ කැමැත්තක් දක්වන බව සඳහන් වෙයි. හැරී පොටර් චිත්‍රපටයේ ඇති මායා ලෝකයක් තුළ මෙම චිත්‍රපටයේ ඇතැම් කොටස් නිර්මාණය වීමත් විශේෂ කාරණාවකි. එමෙන්ම මෙම නිර්මාණයේ ප්‍රධාන නිළිය ලෙස කටයුතු කරනු ලබන්නේ නවක නිළියකි. ඇය නමින් ලුසී ෆ්‍රයි නම් වේ. ලුසී සිනමා නිර්මාණ සඳහා පිවිසියේ 2014 වර්ෂයේදීය. නමුත් ඇය 2010 වසරේ සිට රූපවාහිනී තිරය තුළ බොහෝදෙනාගේ කතාබහට ලක් වූ චරිතයකි.

ඇයගේ සැබෑ නාමය වන්නේ ලුසී එළිසබෙත්ය. ඇය උපත ලබා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ වූලූවින් නම් ප්‍රදේශයේය. 2009 වර්ෂයේදී මුල්ම වශයෙන් රංගනයෙන් දායක වීමට ලුසීට අවස්ථාව උදාවී ඇත්තේ Instead of Breakfast නම් කෙටි චිත්‍රපටයකිනි. ඉන්පසු ඇය පුංචි තිරයේ රසිකාවියක් විය. ඒ 2010 වර්ෂයේදී H2O: Just Add Water නම් රූපවාහිනී කතාමාලාව සඳහා දායක වීමෙනි. එහි ඇය දායක වූයේ අතුරු චරිතයක් සඳහාය. ඉන්පසු ඇයට 2012 වර්ෂයේදී විකාශනය වූ Lightning Point නම් රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිතය සඳහා රංගන වරම් හිමි විය. එහි කතාංග 26ක් සඳහා දායක වීමට ඇයට අවස්ථාව උදාවිය. ටෙලිනාට්‍ය කලාව තුළ ඇයගේ අනන්‍යතාව කෙමෙන් කෙමෙන් ගොඩනැගුණු අතර, 2013 වර්ෂයේදී ඇයට නැවතත් රූපවාහිනී කතාමාලාවක් සඳහා දායක වීමට වරම් හිමි විය. ඒ Reef Doctors නම් රූපවාහිනී කතාමාලාවයි. එම වසරේදීමට ඇය නැවතත් Mako: Island of Secrets නම් රූපවාහිනී කතාමාලව සඳහා දායක වී ඇත.

රූපවාහිනී තිරය මත තරුවක් වූ ඇය සිනමාවට පිවිසෙනු ලබන්නේ 2014 වර්ෂයේදීය. ඒ Vampire Academy නම් චිත්‍රපටය ඔස්සේය. ඉන්පසු 2015 වර්ෂයේදී දායක වූ Now Add Honey චිත්‍රපටය ඇය රංගනයෙන් දායක වූ දෙවැනි චිත්‍රපටයයි. එම වසරේදී ඇයට තවත් චිත්‍රපටයක් සඳහා රංගන වරම් හිමිවිය. ඒ The Preppie Connection නම් චිත්‍රපටය සඳහාය. 2016 වර්ෂයේදී ලුසී චිත්‍රපට දෙකක් සඳහා දායක විය. එහි එක් චිත්‍රපටයක් වන Mr.Church චිත්‍රපටය පසුගියදා එළිදැක්වූ අතර, එතරම් ආදායම් වාර්තා අතරට නොපැමිණුනි. ලුසී එම වසරේදීම දායක වූ The Darkness චිත්‍රපටය ආදායම් වාර්තා අතරට පැමිණුනි. එම වසරේදීම නැවත ඇය රූපවාහිනී කතාමාලාවක් සඳහා දායක වූ අතර ඒ %11.22.63^ රූපවාහිනී කතාමාලාවයි. 2016 වර්ෂයේදී ඇය අවසාන වශයෙන් Wolf Creek නම් රූපවාහිනී කතාමාලාව සඳහා රංගනයෙන් දායක විය. 2017 වසර ලුසීගේ රංගන ජීවිතයේ අභියෝගාත්මක වසරකි. ඒ තිරගත වීමට නියමිත %බ්‍රයිට්^ චිත්‍රපටය හේතුවෙනි. පසුගිය වසරේ රූපවාහිනී කලාවට සමුදුන් ලුසීගේ ප්‍රධාන බලාපොරොත්තුව ලෙස ඇය සඳහන් කරන්නේ සිනමා නිළියක ලෙස ඔස්කා සම්මානයක් ලබා ගැනීමයි.

article-0-1BAAF35D00000578-587_634x893 BrightPoster https-%2F%2Fblueprint-api-production.s3.amazonaws.com%2Fuploads%2Fcard%2Fimage%2F542854%2F40e7f6e0-00dd-4791-ab6e-edb74254577b

නාට්‍ය කලාවට ව්‍යවස්ථාපිත මණ්ඩලයක් තියෙන්න ඕනි

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී හොඳම සාහිත්‍යමය නාට්‍ය පිටපත් රචනයට හිමි සම්මානය දිනාගත්තේ  ආචාර්ය ජයලත් මනෝරත්නයන්ය. ඒ 'හඬ නිහඬ' වේදිකා නාට්‍ය වෙනුවෙනි. මේ දිනවල සිය නවතම වේදිකා නාට්‍ය වන 'වන ලැහැබ' වේදිකා නාට්‍යයද නිර්මාණය කරමින් සිටින මනෝරත්නයන් සමගින් කෙටි කතාබහකට අපි එක්වූයෙමු.


Q මුලින්ම 'වන ලැහැබ' ගැන කතා කරමු?

නෘත්‍ය නාට්‍ය ශානරය යටතේ තමයි මේ වේදිකා නාට්‍ය වර්ගීකරණය වෙන්නේ. අකිරා කුරසාවාගේ රෂෝමොන් තිර නාටකය පාදක කරගෙන තමයි මේ නාට්‍ය නිෂ්පාදනය වෙන්නේ.

ඔබ මෙවර දිනාගත් 'හඬ නිහඬ' රාජ්‍ය සාහිත්‍ය සම්මානය ගැන කතා කරමුද?

මේක මගේ හතර වැනි සාහිත්‍ය සම්මානය. මීට පෙර මගේ නාට්‍ය හතරකට සාහිත්‍ය සම්මානය ලැබිලා තියෙනවා. මීට පෙර මට 'අන්දරේලා', 'සුදු රෙදි හොරු', 'සෙල්ලම් නිරිඳු' යන නාට්‍ය සඳහා සම්මාන හිමිවුණා.

ඔබ හිතනවද ලංකාවේ දැන් අලුත් සාහිත්‍යමය පිටපත් රචකයෝ ඉන්නවා කියලා?

ඉතාම අඩුවෙන් ඉන්නේ. අද පවතින අර්බුදයත් ඒක. අනික මෙවර මේ සම්මානයට නිර්දේශ වූ සෙසු කෘතීන් දෙකෙනුත් එකක් මගේ. ඒ නිසා මටත් පේන්නේ අද රඟහලේ සාහිත්‍යය කඩා වැටුණු ස්වරූපයක්. 

Jayalath Manorathne 2013.5

භාෂාව පිළිබඳව දුරවබෝධයක්ද මීට බලපා තිබෙන්නේ?

පිටපත තුළින් තමයි නාට්‍යයේ විශාලම පරාසයක් ආවරණයක් කරන්නේ. ඒත් ඒ කෙරේ තියෙන අවධානය කෙමෙන් කෙමෙන් අඩුවන සේයාවක් තමයි පේන්නේ. ඒ නිසා බස පිළිබඳවත් සංවේදනාවක් තිබිය යුතුයි. උදාහරණයකට සුගතපාල ද සිල්වා සූරීන්ගේ භාෂාව හරිම අපූරුයි. කාව්‍යාත්මකයි. ඒ නිසා භාෂාව පරිහරණය කිරීම පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම තරුණයන්ට සාහිත්‍යය පිළිබඳ අවබෝධයකුත් තිබිය යුතුයි. අනික හොඳ පරිකල්පනයකුත් තිබිය යුතුයි. ඒ ඔස්සේයි කලා කෘතියක පරිකල්පනය සැකසෙන්නේ. ඒ අනුවයි දෘෂ්ටිය නිර්මාණය වෙන්නේ.

දැන් ඔබ නාට්‍ය කලාවට වඩා සිනමාව හරහා වැඩි වශයෙන් ඉදිරියට එන හැඩක් තියෙන්නේ?

ඉදිරියේදී මම රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට නියමිතයි. ඒ අතර රොහාන් පෙරේරාගේ 'ගෝල්' ළමා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කළේ මම. මම හිතනවා ඒක ඉතා හොඳ චිත්‍රපටයක් වෙයි කියලා. ඒ වගේම පාලිත පෙරේරාගේ %තක්කිට තරිකිට^ ළමා චිත්‍රපටයේත් මම ප්‍රධාන චරිතය රඟපෑවා. මම හිතනවා එයත් හොඳ චිත්‍රපටයක් වෙයි කියලා. මම තරුණ සිනමාකරුවන් සමගත් සිනමා කෘති කිහිපයක රූපණයේ නියැලුණා.

තෝරා බේරාගෙන රූපණයේ යෙදෙන මනෝ මීට මාස කිහිපයකට පෙර විකාශය වූ ටෙලිනාට්‍යයක දෙවැනි කොටසක් නිසා තමන්ගේ තත්ත්වය විනාශ කරගත්තා නේද?

මම අවුරුදු හතරකින් ටෙලිනාට්‍යයක රඟපෑවේ නැහැ. ඒත් ඒ ටෙලිනාට්‍යයේ මට රඟපාන්න වුණේ විශිෂ්ට නළු ජෝ අබේවික්‍රමයන්ට දුන් පොරොන්දුවක් නිසා. මමත් විශ්වාස කරනවා ඒ ටෙලිනාට්‍ය ඒ තරම් හොඳින් නිර්මාණය වුණු එකක් නෙමෙයි කියලා. එහෙම තමයි. රූපණ ජීවිතයෙත් ඒ වගේ උස් පහත්වීම් වෙනවා. මේ ගැන මටත් විශාල දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් ආවා.

නාට්‍යධර්මී නාට්‍යවල රඟපෑ හැකි ශිල්පීන්ගේ රික්තයක් දැන් පවතිනවා නේද?

ඔව්. අපටත් ඒ ගැන සැකයක් තියෙනවා. හැබැයි අපි එහෙම අය නැහැ කියන්නේ නැහැ. පේන තෙක් මානෙක නම් අපට පේන්නෙ නැහැ. හිටියත් රැඳී ඉන්න පාටක් නැහැ. ඒ නිසා මගෙන් පස්සේ මගේ නාට්‍යධර්මී නිර්මාණ කෙසේ නිෂ්පාදනය වේවිද යන්න ගැන යම් ගැටලුවක් තියෙනවා. 

ඉතා නම්‍යශීලී රූපණ හැඩයක් ඇති ඔබ වැනි රූපණ ශිල්පීන්ගේ අඩුවක් දැන් පවතිනවා නේද?

දක්ෂයන් නම් ඕනෑතරම් ඉන්නවා. ගැටලුව ඔවුන්ට පොකුණක් නැතිකමයි. හොඳ නිර්මාණ, හොඳ පිටපත්, හොඳ වපසරියක් නැතිකමයි. අනික දක්ෂයන් බිහිවෙන්නේ අත්දැකීම් මතයි.

ලාංකේය නාට්‍යකරුවන්ට ලෝකය ආක්‍රමණය කරන්න තවමත් නොහැකි වෙලා නේද?

'සිංහබාහු' නාට්‍ය ඉංග්‍රීසියට නගන්න ගිහින් අසාර්ථක වුණා. කොහොම වුණත් එවැනි අවස්ථා දශම ගණනයි තියෙන්නේ. අපිත් අපේ නාට්‍ය වසර තිහක් තිස්සේ විවිධ රටවලට අරගෙන ගියා තමයි. හැබැයි නැරඹුවේ ශ්‍රී ලාංකිකයෝම තමයි. අනික කාටද එවැනි ලෝකය ආක්‍රමණය කරන්න උවමනාවක් තියෙන්නේ? අඩුම ගානේ සැලසුම්සහගත වැඩපිළිවෙළක්වත් තවම නැහැ. ඒ නිසා නාට්‍ය කලාව පිළිබඳ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් තියෙන්නේ ඕන. මේක සිමෙන්තිවලට තියෙනවා. ලුණුවලට තියෙනවා. ඒ නිසා එවැනි ගැටලුවකුත් තියෙනවා.

තරුණ කලාකරුවන් අද යම් වාමාංශික මුහුණුවරකට යොමුවෙලා නේද?

ඔවුන් දැන් ප්‍රගතිශීලී වෙලා. එවැනි මුහුණුවරක් තියෙන්නේ. අනික වාමාංශිකයන්ට වගේම ධනේෂ්වරයන්ටත් ප්‍රගතිශීලී වෙන්න පුළුවන්. ජර්මනිය, ඔස්ට්‍රේලියාව වගේ ධනේෂ්වර රටවල මිනිස්සු කොයිතරම් සතුටින් ඉන්නවද? කොයිතරම් දියුණුද? ඒ වගේම උතුරු කොරියාව, කියුබාව, රුසියාව වගේ වාමාංශික රටවල් පවා ප්‍රගතිශීලී දෘෂ්ටියක් යටතේ වාමාංශික වුණාට කමක් නැහැ. ලංකාවේ තියෙන්නේ පටු වාමාංශික දේශපාලනයක්.

දැනගෙන කතරගම ගිය කොළඹගේ නිමැවූ ‘දේදුනු ආකා‍ෙස’ සිනමා වියරණ භාවිතයේ අරුමය පෙන්වයි

අපගේ ජනවහරට අනුව දැනගෙන කතරගම ගියහොත් අතරමග නවතින්න සිදුවන්නේ නැත. සිනමා වියරණ දැනගෙන සිනමාව පරිශීලනය කළහොත් ප්‍රස්තුතය කුමක් වුවත් හිරිකිතයකින් තොරව බලා සිටිය හැකි සිනමා නිර්මාණයක් කළ හැකි බව ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කළ 'දේදුනු අකා‍ෙස්' සිනමා ප්‍රේක්ෂකයාගේ සවනට කොඳුරා කියනා ප්‍රබලතම රහස වන්නේය.

හැට වසරක අප නැරඹූ සිනමා නිර්මාණ අති බහුතරයක් සිනමා වියරණ නිවැරදිව අවබෝධ කර නොගත් සිනමා අධ්‍යක්ෂවරුන් විසින් ප්‍රේකෂකයාට තිළිණ කළ චිත්‍රපටයන්ය. ඒවා නිර්මාණ ලෙස හැඳින්වීමද සැබෑ සිනමා නිර්මාණකරුවන්ට කරනා අපහාසයකි. සැබැවින්ම තිරනාටකය රචනා කළ තාරක දමුණුවැල්ල සහ ප්‍රියන්ත කොළඹගේ අතට පත්ව ඇත්තේ කෙටි කතාවක් විය යුතුය. එය දිගු වෘතාන්තයක් වන්නේ තිරනාටක රචනයේදීය. එය ප්‍රේක්ෂකාගාරයේ අවධානය රඳවා තබා ගැනීමට දායක වන්නේ මෙම නිර්මාණයේ ගලා යෑමට දායක වන සංස්කරණ රටාවක් අනුගමනය කිරීමට මෙහි සංස්කාරකවරුන් වන කාවින්ද කොළඹගේ සහ ඉන්දික සුරවීර සමත් වූ හෙයිනි.  
මෑත කාලයේ සිනමා නිර්මාණයන්ට එක්වූ සෑම අධ්‍යක්ෂවරයෙකුම කතාවේ ගලා යෑමට ආලෝකයක් එක් කරනා සුන්දර දර්ශන තල තෝරා ගැනීමේ විශේෂ අවධානයක් යොමු කරනා ආකාරය දක්නට ලැබිණි. එය මෙහිදී ප්‍රියන්ත කොළඹගේ වෙතින්ද අපූරුවට ඉටු වී තිබිණි. සිනමාපටය ආරම්භයේදී සමුද්‍ර තම බිරිඳ මිය යෑමේ කම්පනයෙන් නිවසේ වීදුරු බිඳින දර්ශනයේදී නිතැතින් අප මතකයට ආවේ මෙහි අධ්‍යක්ෂවරයා මෙයට පෙර නිර්මාණය කළ %ආදරණීය කතාවක්^ හි ආරම්භක දර්ශන පෙළයි. මෙම සිනමාපටයේදීද මන්ද චලනයකින් යුක්තව තිරයේ දිගහැරෙන පරිදි එම දර්ශන සංස්කරණය කර තිබිණි.

A090_C006_04098E

එම දර්ශනයේදී ඔහුගේ නිවසේ මෙහෙකරු ලෙස රඟපෑ සුදු පැහැ කෙස්වැටිය සහිත දයා තෙන්නකෝන් දකින විට අප මතකයට පැමිණියේ ගාමිණී ෆොන්සේකාගේ %පරසතු මල්^ සිනමාපටයේ ඩී.ආර්. නානායක්කාර රඟපෑ %අමාරිස්^ගේ චරිතයයි. මෙහිදී සමුද්‍රගේ චරිතය ඇමතීම සඳහා %අප්පෝ^ යන සබරගමු පළාතේ භාවිත වදන එක්කිරීම මගින් සමුද්‍රගේ නිවස ලෙස එම දැවැන්ත නිවසක් යොදා ගැනීම සාධාරණීකරණය කර ඇති බවක් හැඟේ. මෙම සේවකයා සුදු ඇඳුමින් සරසා තිබීම මගින් මොවුන් පාරම්පරික ධනවතුන් බව හැඟවීමට යොදා ගතයුතු දර්ශන රැසක් භාවිත කිරීමෙන් වැළකී සිටීමට අවස්ථාව ලැබී ඇත. 

පවනි සමග විවාහ වීමෙන් පසු දිනෙක වාහනයෙන් පැමිණෙන අවස්ථාවක ඇය සිප ගැනීමට සැරසෙද්දී සිදුවන අනතුරේදී සිනමාපටයේ ආරම්භයේ ඇයගේ රුව නොපෙන්වීම මගින් කුතුහලය කතාව තුළ රඳවා ගැනීමට අධ්‍යක්ෂ කොළඹගේ සමත්ව ඇත. අතීත ආවර්ජනාවලියක් ලෙස ආරම්භ වන මෙහි ඉදිරි දර්ශන තමන්ට රුචි අයුරින් ගලා යෑමට සැලැස්වීමට අධ්‍යක්ෂ සහ කතා රචකට හැකිවී ඇත්තේ එය පොපියන තාරුණ්‍යයේ නර්තන ඇකඩමියක වූ කතාවක් නිසාවෙනි. මේ නිසාම මෙහි සෑම තරුණ චරිතයක්ම ඕපපාතික චරිත නොවනා ආකාරයෙන් පවත්වාගෙන යෑමට හැකිවී තිබේ. එම පොපියන තාරුණ්‍යයේ හැසිරීම මෙම සිනමාපටයට දීර්ඝායුෂ ළඟා කර ඇති බව මැනවින් පැහැදිලි වන්නේ ඉන් අධ්‍යක්ෂ කොළඹගේට පහසුවෙන් උද්වේගකර දර්ශන වෙත ළඟා වීමට උදා කර දුන් අවස්ථාව හේතුවෙනි. ඒ නිසාම සම්මත ත්‍රිකෝණ පෙම් පුවතක් සුන්දර අත්දැකීමක් ලෙස ප්‍රේක්ෂකයා වෙත රැගෙන යෑමට අධ්‍යක්ෂවරයාට හැකියාව ලැබී තිබිණි. එය මනා ශික්ෂණයකින් යුතුව ප්‍රේක්ෂකාගාරය වෙත තිළිණ කිරීමට අධ්‍යක්ෂවරයා සමත්ව ඇත්තේ එම සිනමාපටය එකම රිද්මයකින් එහි අවසානය තෙක්ම රැගෙන යමිනි.

සිනමා නිර්මාණයකින් එම නිර්මාණකරුවාගේ සංස්කෘතිය විසඳිය යුතු බව ජාත්‍යන්තර පිළිගැනීමයි. එහිදී මෙම නර්තන ඇකඩමියේ සිසුවියන් හැඳ පැලඳ එන ඇඳුම් පැලඳුම් අප සංස්කෘතිය නොවේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් ඇතැම් පෞද්ගලික නර්තන ආයතනයන්හී මෙවන් අඩනිරුවත් ඇඳුමින් සැරසී එන තරුණ තරුණියන් නැතිවා නොවේ. එහිදී මෙහි නරඹන්නන්ට එක සිතිවිල්ලක් පහළ වනු ඇත. එනම් මෙම සිනමාපටයේ එන නර්තන ආයතනයේ රජයේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් රඟපානු ලැබුවද, එය රජයේ සෞන්දර්ය ආයතනයක් විය නොහැකිය යන්නය. මන්ද එසේ වූවා නම් අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ සාමාජිකයන් මෙවන් නවීන විලාසිතාවන්ගෙන් සැරසී පැමිණෙන සිසුවියන්ට වැට බඳිනා බැවිනි. දිගු කලිසම්වලින් සැරසී පැමිණීම වළකාලමින් පළමු වසරේ සිසුවියනට එම ශිෂ්‍ය බලමණ්බලය තහනමක් පැනවූ අයුරු අපට තවම මතකය.

DSC_3502 DSC_5071 DSC_5312

තිරනාටකයේ සිට ඉන් අනතුරුව සැකසුණු රූප රචනය දක්වා අධ්‍යක්ෂවරයා දැක්වූ කැප කිරීම ප්‍රකට වනුයේ ඔහු හුදෙකලා දර්ශන නිර්මාණය කිරීමේදී පළ කළ නිර්මාණශීලීත්වය හේතුවෙනි. විහඟි ගැබ්ගෙන ඇති බව කියවෙන දර්ශනයේදී ඇයගේ පියාගේ කෝපය එක්වර නිවී යථා තත්ත්වයට පත්වීම මඳක් තාත්ත්වික නොවන බවක් පළ කරයි. ඇය මව නොමැති දියණියක් බව හැඟී යෑමෙන් පසුව කෝපය නිවී යන තත්ත්වයක් මෙහිදී සිදුවූවා නම් එය මනෝ විද්‍යාත්මකව පියාගේ සෙනෙහස පුතුන්ට සාපේක්ෂව දියණියන් කෙරෙහි ඇදී යෑමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව සනාථ කිරීමට හැකියාව තිබිණි. විහඟිගේ නිවසේ සහ ගෙවත්තේ දර්ශනයන් හීදී ඔහු රූප රචනය කෙරෙහි විශාල අවධානයක් පළ කළ බවක් පෙනිණි. එසේම දියණියගේ නැටුම් ජවනිකාව අතරතුර එහි පවනිද පැමිණ ප්‍රේක්ෂකාගාරයේ සිටිනු පෙන්වුවද, කතාවට අනුව ඇය ඒ වනවිට මළවුන් අතරට ගොසිනි. එය මළවුන් අතර සිටද පවනි, සමුද්‍ර සහ විහඟි එක්කිරීමට ගත් උත්සාහය පෙන්වීමක් සඳහා භවිත කළා නම් ඉන් චිත්‍රපටයේ කතාවට වූ යහපතක් බවක් අපට නොපෙනේ.

එහෙත් සමුද්‍රගේ දෙමවුපියන් විසින් ඔහුගේ මනාලිය ලෙස පවනි හඳුන්වා දීමේදී ඉන් කතාවට හානියක් ඇති නොවන්නේ එය දෙමවුපියන් විසින් සැලසුම් කළ දෙයක් බව පවනිගේ පියාගේ මුවගට නැගෙන සිනහව මගින් පිළිඹිබු කරනා බැවිනි. එසේම විවාහ වූ සමුද්‍ර සහ පවනි ලොරි රථයක ගැටෙන අනතුර සිදුවන ආකාරය පළමුව චිත්‍රපට‍ෙය් ආරම්භක දර්ශන රාමුවෙන් පෙන්වා පසුව සිනමාපටය අවසානයේ යළි පෙන්වන අවස්ථාවේදී ඔවුන් අනතුර හමුවේ මුහුණින් පළ කරනා හැඟීම්හි සමීප රූප මගින් පෙන්වීම අප මතකයට නගනුයේ, බටහිර සිනමා නිළි සොෆියා ලොරේන්ගේ සැමියා වූ ප්‍රංශ සිනමාකරු කාලෝ පොන්ටි අධ්‍යක්ෂණය කළ %කැසෙන්ඩ්‍රා ක්‍රොසින්^ සිනමාපටයේ කැසෙන්ඩ්‍රා පාලම තරණය කිරීමේදී වූ ජවනිකාවන්ය.

නවක නිළියන් වූ විහඟි ලෙස රඟපෑ චූලක්ෂි රණතුංග සහ පවනි ලෙස රඟපෑ ශෙනලි ප්‍රනාන්දුගෙන් උසස් රඟපෑමක් %දේදුනු ආකාසේ^ නිර්මාණය වෙත ලැබී ඇත. හේමාල් රණසිංහගේ පෞරුෂය හමුවේ අධ්‍යක්ෂ කොළඹගේ වැඩිපුර සටන් ජවනිකා සඳහා යොදා ගැනීමට උත්සාහ කර ඇති බවක් ප්‍රකට කරයි. එය වාණිජ අරමුණු සාර්ථක කර ගැනීමෙන් නිෂ්පාදකවරයා රැක ගැනීමේ පරමාර්ථයෙන් සිදු වූවා විය යුතුය. එහිදී අප තුළ පළ වන්නේ අනුකම්පාවක් පමණි. මන්ද වත්මන් සිනමා අර්බුදය හමුවේ නිෂ්පාදකයන් සොයා ගැනීමේ සටනක නියැළීමටද අධ්‍යක්ෂවරයාට සිදුවන බැවිනි. කැමරා ශිල්පියා, සංස්කරණ ශිල්පියා, සංගීත අධ්‍යක්ෂවරයා ඇතුළු සියලු ශිල්පීන්ගේ සහ නළු නිළියන්ගේ නිර්මාණ හැකියාව සිය නිර්මාණයට දායක කර ගැනීමට මෙහිදී ප්‍රියන්ත කොළඹගේ සමත්ව ඇත. කෙසේ හෝ සිනමා වියරණ දන්නා නිර්මාණකරුවෙකුට කුමනාකාරයේ වස්තු බීජයක් හමුවුවද එය සිනමාත්මක ගුණයෙන් යුත් නිර්මාණයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙන බව මෙම සිනමා නිර්මාණය මගින් පිළිබිඹු කර ඇති බව කිව යුතුය. 

තේ බෑගයට නව අරුතක් එක් කරන Ruby Silvious

ළබාල කාලයේ සිට මහලු විය දක්වා මිනිසුන් සතු නිර්මාණ ශක්තිය පිළිබඳව අද බොහෝදෙනෙකු වටහාගෙන ඇත. එවැනි නිර්මාණකරණ සමාජයක් තුළ විශිෂ්ට නිර්මාණ ශිල්පියෙකු ලෙස Ruby Silvious හැඳින්විය හැකිය. 
Ruby Silvious යනු තාක්ෂණික මට්ටමෙන් දියුණුව කරා යනු ලැබූ නිර්මාණකාරිනියකි. අද සෑම නිර්මාණයක්ම පරිගණකය ආශ්‍රිතව සිදුකිරීමට හැකියාව තිබුණද, ඇය පරිගණක ආශ්‍රයෙන් නිර්මාණ ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. ඇය විෂුවල් ආර්ටිස්ට් කෙනෙකු සහ පරිගණක නිර්මාණ ශිල්පියෙකු ලෙස සේවය කරනු ලැබුවද තමන්ගේ වෘත්තීය පසෙකලා ඇය ස්වකීය නිර්මාණයන් සිදුකරනු ලබයි.

Ruby සිය නිර්මාණයන් සඳහා නවමු අදහස් එක් කිරීමට සමත්ව තිබේ. එහිදී ඇය 363 Days of Tea පොතක් නිර්මාණය කර ඇති අතර, ඒ සඳහා නිර්මාණ 363ක් එකතු කරනු ලැබීය. මෙම නිර්මාණ පොත සඳහා ඇය භාවිත කරනු ලැබුවේ Tea Bag 363කි. ඒ සඳහා කරනු ලැබූ සිතුවම් එක්කොට එක් නිර්මාණයක් ලෙස එළිදක්වනු ලැබීය. මෙම නිර්මාණ පොත නිව්යෝර්ක් හි පිහිටි තේ අලෙවි සැලක් විසින් මිලට ගෙන තිබේ. ඒ සඳහා ඇයට විශාල මුදලක් ගෙවනු ලැබීය. ඉන්පසු ඇය මෙවැනි අලෙවි සැල් සහ හෝටල් සඳහා ඔවුන් භාවිත කරනු ලබන Tea Bag භාවිත කර Coffee Table පොතක් එළිදක්වන ලදී.

2015 දී ආරම්භ කරනු ලැබූ මෙම නිර්මාණයන් මේ වන විට ලෝකයේ බොහෝ ලෙස කතාබහට ලක්ව තිබේ. මීට අමතරව Ruby තවත් නිර්මාණ සංකල්පයන් නිර්මාණ කලාවට හඳුන්වාදී තිබේ. ඇය චිත්‍ර නිර්මාණ ශිල්පිනියක ලෙසද සම්මානලාභිනියකි. කුඩා කාලයේ සිටම නිර්මාණ කලාව තුළින් ජයග්‍රහණයන් අත්කර ගනු ලැබූ ඇය 1998 වසරේදී දියසායම් මගින් කරන ලද සිතුවමකට තරගයකදී පළමු ස්ථානයද හිමිකරගෙන තිබේ. 

2009 වසරේදී පැවති ජනතා සම්මාන උලෙළේදීද ඇයට සම්මානයක් හිමි වී තිබේ. ඉන්පසු 2011 වසරේදීද එම ජනතා සම්මානය ලබා ගැනීමට ඇයට හැකියාව ලැබිණි. මේ ආකාරයෙන් 2015 වසර වන විට ඇයට තවත් සම්මාන 02ක් සඳහා උරුමකම් කීමට හැකියාව ලැබිණි. 2012 Ruby චිත්‍ර නිර්මාණ ප්‍රදර්ශනයක්ද පවත්වා ඇති අතර, එය ඉතාමත් සාර්ථකව නිමකර ගැනීමට හැකියාව ලැබුණු බවද සඳහන් වෙයි. 

1c8b1d1f18c6f1a68f8065426bb3236b 1-E5oLoGqXyVdiP9qc9c_rubysilvious4 8d3d99775cc22fb3881d64658dd0bba1--tea-bag-art-teabags 80a6cb9afcf7c36124402a5da9f90c68 b1wiacqzTh9vpuO869Yh_rubysilvious6 content_plain-magazine-ruby-silvious-tea-07 e8702sFY1u2oa3vda3v7_rubysilvious7 FYuWTi3eyHDmi8cc42BD_rubysilvious11 GVecJSNjYGUQ3uNbkR01_rubysilvious1 hqdefault

මම මහා පහන් කන්දක සෙවණ ලබන පුංචි කණාමැදිරියෙක්

'අම්මා සඳකි ඔබ ඒ ලොව හිරුය රිදී' නම් ගීතය එක් වරක් හෝ නෑසූ අයෙකු ඇත්නම් ඒ විරල සංසිද්ධියකි. මෙරට ගීත අතර වැඩිම මිලක් හිමි වූ ගීතය වන එය රචනා කළේ මාලිනී ජයරත්න නම් ගීත රචිකාවියයි. ඇයතින් ලියැවුණු පදවැල් බොහෝ වෙතත් කිසිදිනක එයින් බැබළෙන්නට උත්සාහ නොගත් මේ සඳ  ලබන 22 වැනිදා දිලෙන්නට සූදානම්ය. ප්‍රවීණ ගායක ටී.එම්. ජයරත්න මහතාගේ බිරිඳ වූ මාලිනී ජයරත්න තම අත රැඳි පන්හිඳෙන් උපත දුන් ගී සියයක් ඇතුළත් පොතක් සහ 'අම්මා සඳකි' නම් වූ සංයුක්ත තැටිය එළිදැක්වීම නිමිති කොටගෙන අප ඇය සමග කළ කතාබහකි මේ.


සටහන – නාලිකා රාජපක්ෂ / ඡායාරූප – ඇලෙක්සැන්ඩර් බාලසූරිය

මම ගී ලියුවේ කවදාවත් ගී පොතක් එළිදැක්වීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. හිතට දැනෙන බොහෝ දේ මම ගීතයකට ගොනුකර ඒ කඩදාසි මගේ අල්මාරි ලාච්චුව තුළ දමා තැබුවේ ඒවා ගීත විය යුතුම යැයි හිතපු නිසාත් නෙවෙයි. නමුත් ඒ අතරින් බොහෝමයක් ගීත ලෙස රසිකයන් අතරට ගියා. ඇත්තෙන්ම මොකක්දෝ ලොකු වාසනාවක් මට නිරායාසයෙන්ම හොඳ ගායක ගායිකාවන් අතරට මගේ පද වැල් ගෙන යන්න බලපෑවා කියලා මං හිතනවා. පසුගිය කාලවකවානුවේ මට ශල්‍යකර්මයකින් පසු ගිලන් ඇඳේ ටික කාලයක් ගත කරන්න සිදු වුණා. ඒ අතරදි මං ජීවිතේ හුඟාක් දේවල් ගැන හිතුවා. මට ආයෙමත් මම ලියූ දේවල් අලුතින් කියවා බලන්න ඕන වුණා. අල්මාරි ලාච්චුවේ තිබුණු ඒ පදමාලා ලියූ කොළ සමහර ඒවා පරණ වෙලා ඉරී ගිහින්. සමහර ඒවාවල අකුරුත් මැකිලා. මට හිතුණා ඒ ටික ආයෙම පිටපත් කරන්න ඕන කියලා. මං මේ වැඩේ කරද්දි මහත්තයාත් ඔන්න එයාට ඉඩ ලැබෙන ලැබෙන විදිහට මේවා මට පිටපත් කරලා දුන්නා. ගීත රචනා ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක් වුණු සුනිල් සරත් පෙරේරා මහත්තයා අපේ පවුලේ ඉතාම ළඟ හිතවතෙක්. මේ නිසා එතුමා දුරකථනයෙන් කතා කළ වෙලාවක අපේ සුවදුක් විමසද්දි මොනවද මේ දවස්වල කරන්නේ ඇහුවම මම කිවුවා මම ලියපු ගීත මේ දිනවල අලුතින් පිටපත් කරමින් ඉන්න බව. එතැනින් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. ඔහු කීවා එය පිටපත් කිරීමෙන් රසවිඳින්න ලැබෙන්නේ පවුලේ අයට විතරයි. ගීතයක් අයිති එය රසවිඳින අයටයි. ඒ නිසා ඒ ගීත සංරක්ෂණය වෙන්න ඕන මුද්‍රණයෙන් සකස් වෙන පොතකින් කියලා. ඉතිං එතුමා එයින් පස්සෙත් කතා කරන හැම වෙලාවකම මේ ගැන මගෙන් ඇහුවා මාව උනන්දු කෙරෙව්වා. නමුත් සුපුරුදු පරිදි මම ඒ ගැන එතරම් ලොකුවට හිතුවෙ නැහැ. අනේ මං මේ ලොකු ගීත රචිකාවියක් නෙවෙයිනේ වගේ අදහස් තමයි මට තිබුණේ. සමුද්‍ර වෙත්තසිංහ මල්ලිත් මේ ගැන නිතරම මට කියූ කෙනෙක්. ඔහුත් මට මේ වැඩේ කරන්නම කියලා උනන්දු කෙරෙව්වා. අවසානයේ මගේ මහත්තයා එයාගේ වැඩ අතපසු කරගෙන මට මේ වැඩේට උදව් දුන්නා. සරත් විජේසූරිය මහත්තයාත් අපේ හොඳ හිතවතෙක්. මම ඔහුට මේ ගැන කීවාම ඔහුත් කීවේ අපි මේ පොත කරමු කියලා. ඒ අනුව විජේසූරිය මහත්තයා එය ප්‍රකාශනයට පත් කරවන්න මට අත දුන්නා. අංජලී පෙරේරා දුව මේ ගීත අකුරු පරිගණක සංයෝජනය කරදුන්නා ඉතාම කෙටි කාලයකින්. ඒ ගැන නොකීවොත් අඩුවක්. සමුද්‍ර මල්ලි ඒවායේ සෝදුපත් බලන්න මට සහාය දුන්නා. ඔන්න ඔය විදිහටයි 'අම්මා සඳකි' දහසකුත් එකක් කරදර මැද  එළිදකින්න යන්නේ.

DSC_4211

Q එතකොට සංයුක්ත තැටිය ?

එය නම් මා විසින්මයි  නිෂ්පාදනය කරන්නේ. දැන් එවැනි දෙයට නිෂ්පාදකයන් ඉදිරිපත් වෙන්නෙත් නැති තරම්නේ. මා විසින් රචිත ජනප්‍රිය ගීත රැසක්ම එහි අඩංගුයි. 

Q 'අම්මා සඳකි' ගීත අම්බරයට පායන දවස කවදාද ?

නොවැම්බර් 22 සවස 3.30 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී  %අම්මා සඳකි^ ගී පොත සහ සංයුක්ත තැටිය ජනගත කෙරෙනවා. මේ උත්සවයේ මුලසුන හොබවන්නේ මං කුඩා කාලයේ ඉඳලම ගොඩාක් ආදරය කරන අපේ ගීත ක්ෂේත්‍රයේ මුදුන්මල්කඩක් බඳු ආචාර්ය විශාරද නන්දා මාලිනී විසින්. ප්‍රධාන දේශනය කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන්ගෙන්.  අදහස් දැක්වීම් සිරිල් ගාමිණී පියතුමා, මහාවාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය සුනිල් ආරියරත්න, ජ්‍යෙෂ්ඨ ගීත රචක සුනිල් සරත් පෙරේරා සහ ආචාර්ය රෝහණ වීරසිංහයන්  විසින්. මෙයට ගීත ගායනා කීපයකුත් ඇතුළත්. ටී.එම්. ජයරත්න, සමිතා මුදුන්කොටුව, නෙලූ අධිකාරී, කපිල පූගලආරච්චි, ඉසුරු ජයරත්න, අරෝෂා සමරදිවාකර, රවීන් කණිෂ්ක, ඉසූක ගීනෙත්  ඒ ගීත ගයනවා. සංගීතය මෙහෙයවන්නේ රවීන් කණිෂ්ක පුතා. ඒ කියන්නේ දෙවෙනි ඉනිමේ අනුහස්.  සහෘද ඇමතුම බණ්ඩාර ඇහැළියගොඩ සොහොයුරා විසින් පවත්වන්නයි සැලසුම් කර තිබෙන්නේ. ගීත රචිකාවක් විදිහට මෙතෙක් ආ ගමනෙ මට සවියක් වුණු මගේ ආදරණීය රසික රසිකාවියන්ට එදාට පදනම් ආයතනයට ඇවිත් මේ අවස්ථාවට සහභාගි වෙන්න කියලා විවෘත ආරාධනයක් කරනවා. 

Q සංයුක්ත තැටියේ ගීත ගැන විශේෂයෙන් කියන්න තියෙන තොරතුරු ගැන මතක් කරමු?  

කාන්තා හා මාධ්‍ය සාමයික කේන්ද්‍රයේ කතුන් %ස්ත්‍රී^ නමින් ගීත එකතුවක් කළා. එයට මමත් පද රචනා ඉදිරිපත් කළා. එහිදී ඒ ගී පද මාලා තෝරාගෙන තිබුණේ ආචාර්ය නන්දා මාලිනියන් විසින්. ඇය මගේ ගීතයක් එයට තෝරාගෙන තිබුණා. එය බිළිඳිය, දැරිය, යුවතිය, බිරිය, මව, මිත්තණිය යන කාන්තා ජීවිතයේ අවධීන් සම්බන්ධයෙන් මා කළ පබැඳුමක්. ඒ ගීතයත් මම ඔවුන්ගේ අවසරය ඇතිව මෙයට යොදාගත්තා. මේ හැරෙන්නට ඔස්කා සංවිධානයෙන් තෝරාගත් ගීතයක් ලෙස මා ලියූ %වෙහෙසකර^ දිවි කතර ගීතය සුනිල් එදිරිසිංහ මහතාගේ ගායනයක් වශයෙන්  බිහි වී තිබෙනවා. මෙයාකාරයෙන් මට මගේ ජීවිතයේදී නිරායාසයෙන්ම ගීත අතරින් උදා වූ වාසනාවන්ත අත්දැකීම් තිබෙනවා. එය හරි සතුටක්. 
මම මගේ ස්ත්‍රීත්වය සම්බන්ධයෙන් බොහෝ සතුටු වෙන කාන්තාවක්. ගැහැනියක වී ඉපදීම මට දුකක් නෙවෙයි. ගැහැනියක, අම්මා කෙනෙකු, බිරිඳක වශයෙන් ලෝකයේ සෑම සුන්දරත්වයකටම දක්වන දායකත්වයට අමුතු අගැයීමක් නැති වුණත් එය නිරායාසයෙන්ම මුළු ලෝකයක්ම පිළිගත් පදවියක්. ඒ පදවිය මටත් හිමියි. ඊට වඩා වෙන මොන දෙයද ගැහැනියකට වටින්නේ? ලෝකයේ සෑම දෙයකම උල්පත අම්මා. අම්මා සඳකි තුළින් මම කියන්න උත්සාහ කළේ අම්මාට ඒ විවරණය දෙන තාත්තාටත් අම්මා සමානවම ඒ ගරුත්වය දිය යුතුයි කියන එකයි.

DSC_4231

මම මහා පහන් කන්දක සෙවණ ලබන පුංචි කණාමැදිරියෙක්. ඒ පහන් කන්දෙ ආලෝකයට මුළු ලොවම එළිය වන අතරෙ, මේ පුංචි කණාමැදිරියත් තම හැකි පමණින් ලෝකයට එළියක් ගේන්නට ගන්නා පුංචි උත්සාහයක් මිස මෙය වෙනත් අරමුණක් නොගත් වැඩක්. සංයුක්ත තැටියේ සහ පොතේ පිට කවරය ගැනත් මතක් නොකළොත් අඩුවක්. සිසිර විජේතුංග සොහොයුරා එය ඉතාමත් ලස්සනට ඉටුකොට දුන්නා.  ජීවිතයේ අපට අත්දකින්න ලැබෙන දුලබ සුලබ සිදුවීම් ඇසුරෙන් අන් අයටත් ඒවා රසවිඳින්න අවස්ථාවක් සලසා දෙන කලාව ඉතා උතුම් දෙයක්. මගේ පුංචි උත්සාහය තුළින් මම අරමුණු කරගත්ත එක දෙයක් තමයි ඒ. ජීවත්වන කාලයේ තව කෙනෙකුගෙ සිත සතුටින් තියන්න අපට කළ හැකි යමක් කරන එක. 

DSC_4275

Q අම්මා සඳකි ගීත ඉතිහාසයේ වැඩිම මිලක් ලද ගීතය බවට පත් වුණා නේද?

ඔව්. ඒ ගීතය එක්තරා සමාගමක් විසින් මගෙන් ඉල්ලා සිටියා එයාලගේ වැඩකට යොදාගන්න අයිතිය. නමුත් මම එයට එක්වරම බැහැ කීවා. ඔය ගීත හරියට මට මගේ දරුවෝ වගේ, දරුවෙක් විකුණන්න බැරි බව මම ඒ අයට කීවා. නමුත් ඔවුන් මේ ගීතය අරමුණු කොටගෙන ඒ පටන් ගත්ත වැඩේට බොහෝ වියහියදම් දරා තිබුණා ඒ වෙනකොටත්. ඇත්තෙන්ම ඔවුන්ට වෙනත් විකල්පයකට මාරු වෙන්න කාලය ඉතිරි වෙලා තිබුණෙත් නැහැ. අවසානයේ අවුරුදු දෙකකට පමණක් මම එය භාවිත කිරීමේ අයිතිය ඔවුන්ට දුන්නා. ඒ වෙනුවෙන් ඔවුන් සැලකිය යුතු මුදලකින් මට ගෙවීම් සිදුකළා. මේ විදියට ඔවුන් වසර දෙකක් ඒ ගීතය යොදාගනිමින් ප්‍රචාරක කටයුතු කරගෙන යන අතර, එය වෙනත් සමාගමකට විකිණීම සිදුකර තිබුණා. අවසානයේ පොරොන්දු වූ කාලයට වඩා ඔවුන් ඒ ගීතය යොදාගනිද්දි මම ලිපියකින් ඔවුන්ට ඒ බව දැන්වූවා. ඉන්පසුව ඒ අදාළ නව පාලනාධිකාරිය ඒ සම්බන්ධව නැවත වතාවක් කලින් වතාවටත් වඩා මුදලක් ගෙවා ගිවිසුම තවත් හය මසකට දික් කළා. එයින් පසුව ඔවුන් එය නියමිත කාලය අවසානයේදී  නැවැත්තුවා. ඒ අනුව ගීත ඉතිහාසයේ වැඩිම මිලක් ගෙවූ ගීතය විදිහට %අම්මා සඳකි^ ගීතය පත් වුණා.

අනාගතයේදී මගේ ගීතවල අයිතිය සංදේශා නම් මාගේ මිණිබිරියගේත්, මගේ පුතාගෙත් වේවි

සුජාතා අත්තනායක යනු සිංහල සංගීතයේ රන් සීනුව යැයි විරුදාවලි ලබන්නේ නිකන්ම නොවේ. සංගීතයේ මන්ද්‍ර, මධ්‍ය සහ උච්ච යන ස්වර පරාස තුනම ජයගත් එකම ගායිකාව ලෙස කවදත් ගී අම්බරයේ දිලුණු තරුවක් වූ ඇය අප රටේ භාෂා හතකින් ගී ගැයූ ගායිකාවද වෙයි. සිංහල සිනමාවේ මුල්ම සංගීත අධ්‍යක්ෂවරියද වන ඇගේ ජීවන චරිතය අලලා  ලියැවුණු 'සුජාතා අත්තනායක දිවි සිරිත' කෘතියත්, 'සුජාතා අත්තනායක ගීතාවලිය 50-60 දශකය' නම් ගී පොතත් අනිද්දා (11 වැනිදා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සවස 3.00 ට එළිදැක්වීමට නියමිතය. මේ සටහන ඒ වෙනුවෙනි.


DSC_0447

Q මේ පොත් එළිදැක්වීම පසුපස පවතින සිදුවීම් සමුදාය ගැන දැනගන්න ඔබේ රසික රසිකාවන් මුලින්ම කැමති වේවි ?

මෙයට එක හේතුවක් නෙවෙයි, හේතු තුනක්ම බලපානවා. එකක් මට වයස අවුරුදු හැත්තෑ පහක් පිරීම. අනෙක් කාරණය අපි විවාහ වී වසර පණහක් පිරීම. මගේ සංගීත දිවියට අවුරුදු හැට හතක් පිරීම ඒ කාරණා තුනයි. මගේ ජීවන චරිතයේ ඇති කාරණා ලියන්න අනුජ ලොකුමාන්න කියන නව පරපුරේ තරුණයා කළ ඉල්ලීමකට මම ඔහුට අවස්ථාව දුන්නා. ඔහු අපි මෙන් වියපත් පුද්ගලයෙක් නෙවෙයි. තරුණ, උගත් කෙනෙක්. එවැනි කෙනෙක් පැරණි අපි ගැන ලියන්න කැමැත්තක් දක්වනවා කියන්නේ ඇත්තෙන්ම රසිකත්වයේ පවතින කිසියම් තීව්‍රතාවක් හේතුවෙන් නේද කියා සිතලා මම ඔහුට ඊට අවසර දුන්නා. මීට කලින් ප්‍රවීණයන් පිරිසක් සහ ගීත රචකයන් කීපදෙනෙක් මගේ ජීවන චරිතය ලියමු කියා යෝජනා කළත් මට ඊට ආසාවක් හෝ උවමනාවක් තිබුණෙ නැහැ. නමුත් අනුජ නිරන්තරයෙන් ඒ ගැන කැපවුණ තරුණයෙකු නිසා අවසානයේ මම ඔහුගේ යෝජනාව පිළිඅරන් මගේ ජීවිත කතාව ඔහුට කිවුවා. ඔහු අතින් ඉතාම රසවත්ව ලියවුණු මගේ ජීවිතයේ සැබෑව තමයි ඔය එළිදකින්නේ. මා කියූ ගීතවල ඉතිහාසය ගොඩාක් පරණයි. පනහ දශකයේ සිට හැටේ දශකයේ මැද භාගය දක්වා මම ගැයූ ගීත තුන්සීයයක් මේ එළිදක්වන පොතින් රසිකයන් අතරට එනවා. මේ ගීත ලිව්වෙ කවුද, සංගීතවත් කළේ කවුද, පටිගත කළේ කවදාද, කොහේදීද, කුමක් වෙනුවෙන් ගැයූ ගීතයක්ද ආදී මේ සියල්ලම එහි ඇතුළත්. 

Q මේ ගීත පොත ඔබේ වියදමින්ම මුද්‍රණය කරන්න අදහස් කළේ මේ ගීත අද වනවිට ඔබේ ගායනා බව හෝ නොකියවෙන නිසාද ?

ඇත්තම කතාව නම් අද වනවිට අපේ ගීත දරුණු ලෙස කොල්ලෑකෑමට ලක්වෙලා. අපි කොයි තරම් කැපවීම් කරලද ඔය ගීත ජනප්‍රිය කරගත්තේ. එක ගීතයක් නිසියාකාරව පටිගත කරවාගන්නම කොයි තරම් වෙහෙසක් ගත්තාද? ඒවා ජනප්‍රිය වෙද්දි අපි අපේ දරුවන් වැඩෙන හැටි බලා සතුටු වුණු තරම්ම සතුටක් ලැබුවා. නමුත් අද ඒ ගීතවල මම නැහැ. නවකයන් තරගයක් දිනන්න මේ ගීත ගැයුවාට මම දොස් කියන්නේ නැහැ. නමුත් ඔවුන් පිටරට සංචාරයකට ගියත් ගයන්නේ මගේ ගීතමයි. එතනදි ඔවුන් සල්ලි වෙනුවෙන් මාව මුළු ලෝකයටම අමතක කරවනවා. කිසි තැනක මගේ ගීත මගේ  කියලා තහවුරු වෙන්න තැනක් නැහැ. ඒ නිසා නව පරපුර මේ ගීතවලින් අපේ නම හඳුනන්නෙ නැති දවසක් ඒවි, ඒ අයට අපි ගැන දැනගන්න ක්‍රමයක් නොලැබෙන නිසාමයි මම මේ පොත කරන්නේ. මේ ගීත තුන්සීයය කියන්නේ මා ගැයූ ගීත අතරින් ඉතාම අතළොස්සයි. ඒ පොත මම මගේ වියදමින් ගීත සංරක්ෂණය වෙනුවෙන් එළිදක්වනවා. නමුත් සංගීතය සම්බන්ධයෙන් බොහෝ විෂය කරුණු නව පරපුරට දෙන්නට මා සතුව තිබෙනවා. ඒ සියල්ල මට පොත් ලෙසින් එළිදක්වන්න ක්‍රමයක් නැහැ. ඒ ඊට වැය කළ යුතු මුදල හේතුවෙන්. කිසියම් ප්‍රකාශන ආයතනයක් ඒ සඳහා ඉදිරිපත් වෙනවා නම් මට ඒ දැනුමත් සඟවගෙන නිකම්ම මැරෙන්නට කලින් අපේ අනාගත පරපුරට එය තබා යන්නට පොත් පෙළක් දෙන්නට පුළුවනි. ඒ සඳහා කැමැත්තක් දක්වන ප්‍රකාශන ආයතනවලට මට කතා කරන්න පුළුවන්.DSC_0454

ඔබ සිංහල සිනමා වංශකතාවේ එක් සුවිශේෂී චරිතයක්. ඒ 'හරියට හරි' චිත්‍රපටය වෙනුවෙන් සංගීත අධ්‍යක්ෂණයේ යෙදෙමින් සිනමාවේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කිරීම නිසා.
ඔව්, එය සත්‍යයක්. ඒ චිත්‍රපටය විලියම් ඔලම්ස්ගේ අධ්‍යක්ෂණයක්. මේ චිත්‍රපටයට වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා, රංජනී පෙරේරා සහ මම ගීත ගැයුවා. %නීල නුවන් දිගු දෑලවරින්^ කියන ගීතය මෙහිදී වික්ටර් ගායනා කළා. මිල්ටන් %ජීවන ආකාසේ^ ගීතය  ගැයුවා. 'මෙතෙක් හෙළූ දුක් කඳුළැලි' ගීතය මා ගැයුවේ නීටා ප්‍රනාන්දු වෙනුවෙන්. මිල්ටන් සහ රංජනී, සෝනියා දිසා සහ සේනාධීර රූපසිංහ වෙනුවෙන් පසුබිම් ගීත ගයද්දි වික්ටර් ගැයුවේ රවින්ද්‍ර රන්දෙණිය වෙනුවෙන්. 

Q ඔබ මීට පෙරත් එක් පොතක් එළිදක්වා තිබෙනවා ?

ඔව්, ඒ ටවර් හෝල් නූර්ති ගී සම්බන්ධයෙන්. ඇත්තෙන්ම මේ පොත්වලට ස්වර ලිපි ඇතුළත් කරන්න ලැබුණා නම් මං හුඟාක් සතුටු වෙනවා. නමුත් 60–70 දශකයේ ගීත ලෙසින් පොතක් නිකුත් කරන දවසක ස්වර ලිපි සමග එය ඉදිරිපත් කරන්න මා ජීවත්ව සිටියොත් උත්සහ කරනවා. දැන් අපි වයසයි. නමුත් අපි තුළ තියෙන දැනුම හැකියාව තවත් අයට දී යන්න කැමතියි. ඒත් ඒවා ගන්න කැමති අය ඉන්නවාද කියන එක මත තමයි ඒවා සමාජගත වීම ඇති විය හැකි වෙන්නේ.

Q ඔබ එසේ කියන්නේ කලකිරීමෙන්ද ?

එක්තරා විදිහක කලකිරීමක් තියෙනවා. අපි ජීවිතය තරම් කියා සිතූ සංගීත ක්ෂේත්‍රයේ අද ඇති වී තිබෙන සුළි කුණාටු ගැන හිතද්දි. අද නව පරපුර විතරක් කියලා චෝදනා කරන්නේ නැහැ. සමහර මගෙන් ඉගෙනගත්තු අය පවා මාව දුටුවත් නොදුටුවා සේ ඉන්න අවස්ථා තිබෙනවා. ඒ වගේම දෙනෝදාහක් අතර හිටියත් මාව දැක්කම ඇවිත් මට කතා කරලා වැඳලා යන ගෝලයිනුත් ඉන්නවා. අපි කලාව තුළින් සල්ලි උපයන්න වලි කෑව අය නෙවෙයි. අපි ඉපයුවේ රසිකත්වයයි. ඒ නිසා අපි ගැන අද මතක් කරන්නවත් කැමති නැතිද මන්දා. ඒ වුණාට අර මම හම්බු කරපු ධනය මට තවම තියෙනවා. ශ්‍රී මහා බෝධිය වඳින්න ආව එවැන්නෝ ඒ පූජනීය බෝධිය වඳින්න කලින් මට දණගහලා වැඳලා කතා කරන්නේ ඒ අය වෙනුවෙන් මම මගේ හැකියාවෙන් කළ මෙහෙවරට මිස වෙනත් දෙයකට නෙවෙයි. ඒ සතුට මට ලොකු දෙයක්.

Q මේ උත්සවයේ වැඩසටහන සම්බන්ධයෙන් යම් විස්තරයක් කළොත්  ?

මේ වෙනුවෙන් එදින මමත් ගීත කීපයක් ගායනා කරනවා. ඊට අමතරව මගේ පුතාගේ දුව, ඒ කියන්නේ මිණිබිරිය මගේ ගීත ගයනවා. අනාගතයේදී මගේ ගීතවල අයිතිය සංදේශා අත්තනායක නම් වූ ඇයගෙත්, මගේ පුතාගෙත් වේවි. දැනට මම කිසිම කෙනෙකුට මගේ ගීතවල අයිතිය ලබා දී නැහැ. සංදේශා ඉතාම හොඳින් ගැයීම මට සතුටක්. මේ උත්සවයේදී %සුජාතා අභිනන්දන ගීතය^ ලෙසින් ගීතයක් ගැයෙනවා. ඒක ගයන්නේ නෙලූ අධිකාරි, සමිතා මුදුන්කොටුව, ඉන්දිකා උපමාලි, ගයත්‍රි ඒකනායක, සංදේශා අත්තනායක, හේළි අත්තනායක සහ ජගත් වික්‍රමසිංහ විසිනුයි. ගායනා මගේ සිසුවියන් විසින්ද ඉදිරිපත් කරනවා. දුල්ශාරා දසන්ති, තිළිණි ශිරෝණිකා, චාතුර්යා ගීත්මි, ජනනි ඉමාත්මා, අමානි ජයාත්මා යන අයයි ඒ. ජගත් වික්‍රමසිංහ විසින් සංගීතය මෙහෙයවන අතර කථනයෙන් හේමනලින් කරුණාරත්න  එක්වෙනවා. උත්සවය ආරම්භ වෙන්නේ සවස තුනටයි. මේ උත්සවයේ කෙටි දෙසුම් දෙකක් තිබෙනවා. ඒ මහාචාර්ය කෝලිත භානු දිසානායක සහ දිලීප අබේසේකරගෙන්. මෙය සංවිධානය කරන්නේ සුජාතා අත්තනායක රසික සංසදයයි.  කිසියම් අයෙකුට අප සම්බන්ධ කරගන්නට අවශ්‍ය නම් 0715 495 710 අංකයෙන් අමිල, 
0714 452 110 අංකයෙන් අශෝක හෝ 0714 543 338 තරිඳ යන සංවිධායකවරුන්ට කතා කළ හැකියි.

මම කවදාවත් පක්ෂ දේශපාලනය මූලික කරගත් ව්‍යාපාරයකට වැඩ කරන්නේ නෑ

'බොහිමියානුවා', 'අප්පච්චී', 'රතු අහස', 'ජීවිතේට ඉඩදෙන්න', 'අහසින් වැටුණා' ආදී ‍ටෙලි නාට්‍ය සඳහා සම්මාන දිනාගත් සම්මානනීය තිර රචකයකු වන නාමල් ජයසිංහ අධ්‍යක්ෂණය කළ පළමු ටෙලි නාට්‍ය වන 'සහෝදරයා' නොවැම්බර් මස 18 වැනිදා සිට රාත්‍රී 08.30ට ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වීමට නියමිත 'සහෝදරයා' පිළිබඳ කතා කිරීමට අප ඔහු සමගින් එකතු විය.


17800334_1417862261604977_1208076925190824719_n

Q 'ස‍හෝදරයා' යන්න ‍ටෙලි නාට්‍යයක් බවට පත්වෙන්නේ වාමාංශික උවමනාවකටද ?

ලංකාවේ තත්කාලීන දේශපාලනය සහ 'සහෝදරයා' අතර කිසිම සම්බන්ධයක් නැහැ. අනික %සහෝදරයා^ කියන්නේ වාමාංශිකයන්ට ලියලා දුන්නු වචනයක් නෙමෙයි.

Q ඒ කියන්නේ ඔබත් වාමාංශිකයෙක් නෙමෙයි?

මම වාමාංශිකයෙක් නෙමෙයි.

Q ආන්දෝලනාත්මක මාධ්‍යවේදී ඝාතන දෙකක සම්බන්ධයක් නේද මේ ටෙලි නාට්‍යයට පාදක වෙන්නේ?

ඒ වගේ තමයි පේන්නේ. ඒත් එවැනි සම්බන්ධයක් නැහැ

Q කොහොමද ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පසුබිම සැකසෙන්නේ?

මට ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න කතා කළේ ජයන්ත වැලිවිට නිෂ්පාදකතුමා. මොකද එතෙක් මම සිදුකළේ මේ ක්ෂේත්‍රය තුළ තිර රචකයකු ලෙස කටයුතු කිරීම. අනික මමත් ඒ වෙනතුරු අධ්‍යක්ෂවරයකු වීමට තරම් සුදුසු මට්ටමක හිටියා කියල මම හිතුවෙත් නැහැ. අනික මට මගේ කණ්ඩායම ලැබුණෙත් නැහැ. ඒත් මෙවර ඒ කණ්ඩායම මට ලැබුණා.

Q තිර රචනය රූපයට නැගීමේදී අධ්‍යක්ෂවරුන්ගෙන් යම් අසාධාරණයක් වීමත් මේ සඳහා බලපෑවද?

මට එහෙම කිසිම වෙලාවක එහෙම හිතිල නැහැ. මොකද මම දන්නවා මම ගොඩනගන විශ්වය නෙමෙයි අධ්‍යක්ෂවරයා ගොඩනගන්නේ. ඒ පූර්ව කොන්දේසිය දැනගෙනයි මම තිර පිටපත ලියන්නේ සහ අධ්‍යක්ෂවරයාට බාරදෙන්නේ.

17904342_1426943474030189_7655160443716975388_n

Q 'සහෝදරයා' පිළිබඳ දැනටමත් විශාල කතාබහක් ඇවිත්?

එක්තරා කණ්ඩායමක් අතර පමණයි ඒ කතාබහ තියෙන්නේ. ඒ නිසා මම ඒකෙන් රැවටෙන්නේ නැහැ. මොකද මගේ ඉලක්කය සයිබරයෙන් එපිට, මාව නොදන්නා පොදු ප්‍රේක්ෂකයාවයි.

Q එදා පටන් ලංකාවේ සමාජ ව්‍යාපාරවලට සම්බන්ධ කලා කෘතීන් නිර්මාණය වුණේ පන්ති වෛරයෙන්. මේකත් එහෙමද?

ලංකාවේ හුඟක් සමාජ ව්‍යාපාරවල නොකියවුණු කාරණාව තමයි තමන්ගේ විරුද්ධවාදියා සමග වෛරයක් ගොඩනැංවීම. ඒ නිසා අපට කල්පනා කරන්න වෙන්නේ විරුද්ධවාදියා කියන්නේ අඟහරු ලෝකෙන් ආපු එකෙක්ද කියලයි. උදාහරණයකට ජාතික අරමුණක් වෙනුවෙන් වැඩ කරද්දි අපි දෙමළ, මුස්ලිම් ආදී සෙසු ජාතීන් විරුද්ධවාදීන් කර ගන්නවා. විප්ලවය ගැන කතා කරද්දි ඉහළ පන්තිය හෝ සල්ලි තියෙන මනුස්සයාව විරුද්ධවාදියා කර ගන්නවා. එවැනි සංස්කෘතික ව්‍යාපාරවල වැරැද්ද තමයි අද අපි අත්විඳිමින් ඉන්නේ. ඒ නිසා අපේ මතය ඉස්මතු කිරීම අප කළ යුත්තේ විරුද්ධ මත දරන පුද්ගලයන් කෙරෙහි වෛරය හැදීමෙන් නෙමෙයි. හැබැයි එතැනම තමයි සමාජ ව්‍යාපාරවලටත් වැරදුණු තැන. තර්ක කිරීම, සංවාදය වැනි දියුණු කාරණාවලින් පමණයි ඒ මතය ඉස්මතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා වෛරය කියන්නේ සමාජ ව්‍යාපාර ගොඩනංවන පදනම නෙමෙයි. වෛරය පුපුරවලා තමයි සමාජ ව්‍යාපාර නිර්මාණය කළ යුත්තේ.

Q ඔබේ ටෙලි නාට්‍යයත් එක්තරා වාමාංශික ව්‍යාපාරයක ආයෝජනයකින් නිෂ්පාදනය වුණා නම් තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා නේද?

 මම මේ නිර්මාණය මුදාහැරියාට පස්සේ එය මොන ආකාරයෙන් සමාජයේ අලෙවි වෙයිද කියන්න මට බැහැ. කවුරු මොන අරමුණකට පාවිච්චි කරයිද කියල මම දන්නේ නෑ. ඒත් මට මූලික අදහසක් තියෙනවා මම අලෙවි විය යුත්තේ කුමක් සඳහාද කියන එක ගැන. මොකද මම කවදාවත් පක්ෂ දේශපාලනය මූලික කරගත්  ව්‍යාපාරයකට අලෙවි වෙන්නේ නැහැ. මම යහපත් කියලා විශ්වාස කරන දේ කරන්න ඉඩදෙන තුරු ඕනෑම කෙනෙක් සමග කටයුතු කරනවා. මම මට ඕන දේ කරනවා. හැබැයි මට තියෙන වෙළෙඳ පොළ සීමාවන් ගැනත් මම දන්නවා.

18403894_10211022527231258_7863047371704991587_o

Q කලාවට යම් වාරණයට අවශ්‍යයි නේද?

වාරණය වෙනුවට වර්ගීකරණයයි අවශ්‍ය වෙන්නේ. ශිෂ්ටාචාරය දැන් ඒ තරම් දුර ගමන් කරලා. තමන්ට කැමති දේ තෝරාගන්න මිනිස්සුන්ට අයිතිය තියෙනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ වත්මන් සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා සහ විමල් කැටපේආරච්චි මහත්වරු ඒ දියුණු අදහසේ ඉන්න බව පේනවා. ඒ ගැන සතුටුයි. මං හිතන්නේ එය ඉතා හොඳ ලිබරල් තත්ත්වයක්. තමාගේ රසයට අනුව ගැළපෙන නිර්මාණ තෝරා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මිනිසුන්ට ලැබිය යුතුයි.

Q ඒ නිසාම නේද ගුණාත්මක කලාවක් වෙනුවෙන් යම් වාරණයක් තිබිය යුත්තේ?

කලාවේ අභිමතාර්ථ ගැන දැනුවත් වීමයි වඩා වැදගත් වෙන්නේ. කලාවේ අභිමතය මතයි කලාවේ හැඩය තීරණය වෙන්නේ.

Q එතකොට 'සහෝදරයා' ටෙලි නාට්‍ය කාටද ඉලක්කගත වෙන්නේ?

අනාගතයේදී තීන්දු තීරණ ගන්න ඉන්න තරුණ පරම්පරාව සහ දැනටමත් එයාලට බලපාමින් සිටින වැඩිහිටි පරම්පරාව තමයි මගේ ඉලක්ක. මම හිතන්නේ එයාලා අතර යම් සංවාදයක් ඇති වේවි. මම හිතනවා ඒ තුළින් මීට වඩා යහපත් සංස්කෘතික අවකාශයක් ගොඩනැගෙයි කියලා.

18403924_10211022569912325_655982825052821334_o

Q ඔබ හිතනවද කලා කෘතියකින් ජනතාව වෙනස් කරන්න පුළුවන් කියලා?

ඔව්. අනික රූපවාහිනිය කියන්නේ ඉතා දියුණු සංස්කෘතික මෙවලමක්. ඒක හැමෝම පිළිගත යුතුයි. ඒ නිසා ඒ තුළින් සමාජයේ භෞතික සහ මානව සංවර්ධනය වෙනුවෙන් සේවයක් කරන්න පුළුවන්.

Q ඒත් අද තරුණයා ජීවත් වෙන්නේ ස්මාට්ෆෝන් සංස්කෘතියකට කොටු වුණු ලෝකෙක. ඔවුන්ට මුළු විශ්වයම දුරකථනයට ගෙන්වා ගැනීමට තරම් පහසුකම් තියෙනවා?

සයිබරය කියන්නෙම අලුත් වැඩවසම් තත්ත්වයක්. අතට හසු නොවන මායාමය සම්බන්ධයක්. පුද්ගල සම්බන්ධය ඊට වඩා නිදහස්. අර්ධ සත්‍යය හෝ ඇහැට පේනවා. ඒ නිසා ස්වාභාවික සම්බන්ධයක් සහ සයිබර් සම්බන්ධයක් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ නිසා අපි කටයුතු කළ යුත්තේ සැබෑ මනුෂ්‍ය හැඟීම් එක්ක. එතකොටයි ජීවිතය දැනෙන්නේ. ඒත් සයිබරය කියන්නේ සමස්ත පද්ධතියෙන්ම හදපු එක්තරා මායාවක්.

18422299_10211022580632593_8320905622933356788_o

Q අද දක්ෂ රූපණ ශිල්පීන්ට පවා සිදුවෙලා තියෙන්නේ අවකාශය පිරවීමලු? එහෙම නැතුව දක්ෂ රූපණයක යෙදීම නෙමෙයිලු?

මේක පද්ධතියේම අවුලක්. මොකද අපි බලන්න ඕන, ඇයි ගුණාත්මක රසිකත්වයක් ඇති ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න බැරි කියලයි. එතැනදි අපට එක්තරා කාරණයක් පැහැදිලි වෙනවා. ඒ තමයි පෞද්ගලික රූපවාහිනී නාළිකා ක්‍රියාත්මක වන ආකාරය. මොකද ඔවුන් රූපවාහිනිය තුළ කරන්නේ ව්‍යාපාරයක්. සමාජ සේවයක් නෙමෙයි. සමාජ සේවයක් කරන බව පෙන්වීමත් ඔවුන්ගේ එක්තරා ප්‍රචාරණ උපක්‍රමයක්. අනික ඒ නාළිකාවල සිදුවෙන්නේ එම නාළිකාවල අධිපතියාගේ මතය නියෝජනය කිරීමක්. එහෙම නැතුව සමස්ත ජනතාවගේ අවශ්‍යතාව නියෝජනය කිරීමක් නෙමෙයි. ඒ වගේම අවර ගණයේ නිර්මාණ විකාශනය කිරීමෙන් අනතුරුව සමාජයට සිදුවෙන හානිය ඔවුන්ට වැදගත් නැහැ. එවැනි වටපිටාවක තමයි අද නිර්මාණ සිදුකෙරෙන්නේ. එවැනි වටපිටාවක ගුණත්වයෙන් යුතු නිර්මාණ සිදුවෙනවා අඩුයි. ඉතින් රූපණ ශිල්පීන් ගිහින් මොනවා රඟපාන්නද?

Q  එතකොට රාජ්‍ය නාළිකාවලටවත් එවැනි ජාතික අරමුණක් තියෙනවද?

මොකක්ද ජාතික අරමුණ කියන්නේ? එහෙම එකක් එයාලට තියෙනවද? එහෙම සංස්කෘතික අරමුණක් එයාලට තියෙනවද? එහෙම ක්‍රමවේදයක් තාම හැදිලා නැහැ. ඒ නිසා තමයි දැන් හෝ එවැනි උවමනාවක් නිර්මාණය කළ යුත්තේ. රටේ භෞතික සහ මානව සංවර්ධනය ගැන රාජ්‍ය සැලැස්මක් තිබිය යුතුමයි.

Q අපට අවශ්‍ය කරන්නේ බත් කන ප්‍රේක්ෂකයන්ද? මැල්ලුම් කන ප්‍රේක්ෂකයන්ද?

බත් කන අයට බත් කන්නත්, මැල්ලුම් කන අයට මැල්ලුම් කන්නත් නිදහස තිබිය යුතුයි. ඒකට අවශ්‍ය වටපිටාව කලාව ඇතුළේම තිබිය යුතුයි. මොකද අපට යුතෝපියානු අදහසක් ඇතුළේ කලාව ගැන හිතන්න බැහැ. මේක ලිබරල් තත්ත්වයක්. ඒ නිසා ඔවැනි කවුරුන් හෝ තීරණය කරන යහපත් කලාවක් පිළිබඳ අදහසම හරිම වැඩවසම්. කාටවත් බැහැ මේකයි කලාව කියලා තීරණය කරන්න. කලාවට නිදහසේ ගලන්න වැඩෙන්න ඉඩ තියෙන්න ඕන. මිනිස්සුන්ගේ ආශාවන්, ෆැන්ටසි, පරිකල්පනයන් වෙනස්. එහෙම නැතුව ඔවුන්ගේ රසයට බල කරන්න අපට බැහැ. මෙහෙම රස තැනුත් තියෙනවා කියලා පෙන්වීම පමණයි අපට කරන්න පුළුවන් වෙන්නේ.

18423217_10211022583632668_3461914459800632786_o

Q කලාව හරහා අරගල කළ ලෝක පූජිත කලාකරුවන්ට පවා නිර්මාණකරණයේ යෙදෙන්න වුණේ හැංගිලා?

නිර්මාණකරුවන්ව අභියෝගයට ලක්වෙන්නේ පවතින ක්‍රමයට විරුද්ධ වුණාම. ඒ නිසා එවැනි අභියෝගයක් එල්ල වෙන බව දැනගෙනම තමයි ඔවුන්  ඒ නිර්මාණ සමාජගත කරන්නේ. මිනිස්සු වැළලුවට ඇත්ත වළලන්න බැහැ. අනික එවැනි මිනිස්සුන්ගේ ලෙයින්, දහඩියෙන්ම තමයි ශිෂ්ටාචාරය මේ තාක් දුර ආවේ. නැත්නම් අපි තාමත් ගල් අතුල්ල අතුල්ල ගින්දර හොයනවා. අනික ෆැන්ටසිවල ජීවත් වුණු, හීන දැකපු මිනිස්සු  හින්දා තමයි ලෝකය වෙනස් වුණේ.

Q ඔබේ කලාව සහ ජීවිතය කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියන්නේ ඇත්තද?

ඔව්. මේ තමයි මගේ ජීවන විලාසය. මම කතා කරන්නෙත් මම ගත කරන ජීවිතය ඇතුළේම තමයි. එහෙම නැතුව මම කලාව ඇතුළේ එක විදිහකට සහ ජීවිතේ ඇතුළෙ තව විදිහකට හැසිරෙන්නේ නැහැ. ඒ නිසා කාටහරි දැනගන්න ඕන නම් මම, 
මම විශ්වාස කරන කලාව, ඒ තමයි මම මේ ජීවත් වෙන විදිහ.

Q එතකොට මොකක්ද ඔබ ගෙන ආ 'සමාජ ආදරය' යන සංකල්පයෙන් කියවෙන්නේ?

එය පැමිණෙන්නේම පෞද්ගලික උවමනාවකටම තමයි. මම හිතන විදිහට කිසිම සමාජ ව්‍යාපාරයක් නැහැ හුදු පොදු අරමුණක් වෙනුවෙන් පමණක් කටයුතු කරන. හැම සමාජ, සංස්කෘතික ව්‍යාපාරයකම අරමුණ‘ මේ පවතිනවාට වඩා යහපත් භෞතික, මානවවාදී සංස්කෘතියක් සහිත සමාජයක් අත්පත් කර ගැනීම. එවැනි සමාජයක ජීවත්වීමේ ‘පෞද්ගලික ආශාව තමයි අවසානයේදී ‘පොදු අදහසක් බවට පත්වෙන්නේ. %සමාජ ආදරය^ කියලා කියන්නේ මීට වඩා යහපත් සමාජ අවකාශයක ජීවත්වීම සඳහා පොදු මිනිස්සුත් එක්ක කරන ගනුදෙනුව.

Q අද සිටින්නේ කලාකරුවොද? නිර්මාණකරුවොද?

කලාකාරයා යන පදයම වැඩවසම්. ඒ නිසා මම කැමතියි නිර්මාණකරුවා යන වචනයට. මේ වාණිජවාදී ක්‍රමය තුළ කලාකරුවාට පැවැත්මක් නෑ. මොකද කලාකරුවා හැමවිටම පවතින්නේ රාජ්‍ය හෝ කුමන හෝ ආයතනයක අනුග්‍රහයෙන්. කාගෙන් හෝ අනුග්‍රහය ලැබූ ගමන් ඒ නිර්මාණයේ ස්වාධිපත්‍ය අහෝසි වෙනවා. නිර්මාණ කියන්නේ චින්තන නිෂ්පාදනයක්. ඔහු යෙදෙන්නෙත් නිෂ්පාදන ක්‍රියාවලියක. ඔහු කරන්නෙත් තම නිර්මාණය අලෙවි කරන එක. ඒකට අමුතු වටිනාකම් ඕන නැහැ.

Q ලංකාවේ සංස්කෘතිකමය වශයෙන් පොහොසත් ක්‍රියාකාරී ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා කියලද ඔබ විශ්වාස කරන්නේ ?

ඉන්නවා. අති බහුතරයක් එහෙම අය. ඒ අය තමයි අද ඉන්දියානු ටෙලි නාට්‍ය බලන්නේ. ඒ අයම තමයි මම ලියූ ටෙලි නාට්‍ය බාර ගත්තෙත්. ඒ අයම තමයි අනූව දශකයේ විකාශය වූ ටෙලි නාට්‍යයත් රසවින්දේ. ඒ අයම තමයි දැන් නැවත කූඹියෝ බලන්නෙත්. අපි ගුණත්වය ගෙන ආවොත් ප්‍රේක්ෂකයා එය බාර ගන්නවා.

Q හැබැයි ලංකාව තාමත් ඉන්නේ කොදෙව් මානසිකත්වයක. ඔබටවත් ලෝකය ආක්‍රමණය කරන්න උවමනාවක් නැද්ද?

නැහැ. මට නම් එහෙම ජාත්‍යන්තර උවමනාවක් නැහැ. මොකද මට වැදගත් වෙන්නේ මගේ රට. මම එතැනදි පටු ඇති. නමුත් මට වැදගත්, මගේ රටේ සංස්කෘතික අවකාශය පුළුල් කරගන්න. මට පුළුවන් තරමින් මැදිහත් වෙන එක. මොකද මේ මගේ රට.

Q හැබැයි ප්‍රගතිශීලී සමාජ ගොඩනැංවීමේදී මුදල යන්නත් වැදගත්?

ඔව්. සංස්කෘතික පරිභෝජනයටත් ක්‍රය ශක්තිය වැදගත්. නමුත්, ක්‍රය ශක්තිය තිබූ පමණින්ම දියුණු සංස්කෘතික සමාජ ගොඩනැගෙන්නේ නැහැ. ලෝකේ එහෙම නිදර්ශනත් නැහැ. රටක නිෂ්පාදන ක්‍රියාවලියක් තිබිය යුතුයි. අනෙකුත් සියලුම සාධක නොවෙනස්ව තිබියදී මිනිස්සු අතට මුදල් පමණක් ගලා එන්නේ නැහැ. ඒ නිසා කලාව හොඳින් මල්ඵල දරන්නේ දියුණු නිෂ්පාදන ක්‍රියාවලියක් සිදුවන බිමක.

හඬකවන විදෙස් චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වාණිජ වැඩසටහන් බද්ද වැඩිකරයි

ශ්‍රී ලංකාවට පිටරටින් ආනයනය කර හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකර තිබේ.

චිත්‍රපට හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අදාළ සංවිධාන හා නිර්මාණකරුවන් විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත කරන ලද ඉල්ලීමට අනුව දැනට අයකරනු ලබන ගාස්තුව වැඩිකර ඇත.

ඒ අනුව, විනාඩි 30 ක් හෝ ඊට අඩු කාලපරිච්ඡේදයක සිංහල හෝ දෙමළ භාෂාවෙන් හඬකවන ලද උපරිමය කොටස් 4 ක ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් සඳහා දිනකට පළමු විකාශන කාලපරිච්ඡේද වලට දැනට අයකරනු ලබන අවම ගාස්තුව රු. 90,000 ක මුදල රු. 150,000 දක්වා වැඩිකර තිබේ.

මෙරට විකාශය කරනු ලබන ඇතැම් විදේශ ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් ශ්‍රී ලාංකීය සම්ප්‍රදාය, අනන්‍යතාවය හා ආචාර ධර්ම වලට පටහැනි වන අවස්ථා නිරීක්ෂණය වන බැවින් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට මෙන්ම කලා ක්ෂේත්‍රයටද සිදුවන්නා වූ හානි අවම කිරීමට පියවර ගන්නැයි කලා ක්ෂේත්‍රයේ පුද්ගලයන් විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා ඇත.

ඒ අනුව, ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා දැනට ගාස්තු අයකිරීම සඳහා වලංගු 2006 අංක 11 දරණ මුදල් පනත යටතේ මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදන තුන අවලංගු කර ඇති අතර ඊයේ (07දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නව ගාස්තු අඩංගු ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

කෙසේවුවද සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන්ගෙන් නිෂ්පාදනය කරනු ලබන ටෙලිනාට්‍ය, චිත්‍රපට වල මුල් පිටපත් හඬ කවා නොමැති නම් ඒවා මෙම නව ගාස්තු අයකිරීමෙන් නිදහස් කෙරේ.

 ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සම්බන්ධයෙන් ගෙවිය යුතු බදු අනුප්‍රමාණයන්

වර්ගය                         විකාශිත කාලය                          අනුප්‍රමාණය (රු.)

සිංහල හෝ දෙමළ
භාෂාවෙන් හඬ කවන
ලද ටෙලිනාට්‍ය හෝ
චිත්‍රපට

(අ) පළමු විකාශය, සෑම විනාඩි 30 ක් හෝ ඊට අඩු කාල පරිච්ඡේදයක් සඳහා

(ඊ දිනකට පළමු විකාශන කාල පරිච්ඡේද 04 සඳහා 150,000
(ඊ) එක් දිනකට එම පළමු විකාශන කාල පරිච්ඡේද 04 න්
පසු එළඹෙන විකාශන කාල පරිච්ඡේද 04 සඳහා250,000
(ඊ) එක් දිනකට අනෙකුත් විකාශන කාල පරිච්ඡේද සඳහා 350,000
(ආ) නැවත විකාශය, සෑම විනාඩි 30 ක් හෝ ඊට අඩු කාල පරිච්ඡේදයක් සඳහා
(ඊ දිනකට පළමු විකාශන කාල පරිච්ඡේද 04 සඳහා 50,000
(ඊ) එක් දිනකට එම පළමු විකාශන කාල පරිච්ඡේද 04 න්
පසු එළඹෙන විකාශන කාල පරිච්ඡේද 04 සඳහා 80,000
(ඊ) එක් දිනකට අනෙකුත් විකාශන කාල පරිච්ඡේද සඳහා 120,000

වෙනත් ටෙලිනාට්‍ය

(පළමු විකාශය හෝ
නැවත විකාශය)

සෑම විනාඩි 30 ක් හෝ ඊට අඩු කාල පරිච්ඡේදයක් සඳහා 100,000

වෙනත් චිත්‍රපට (අ) පළමු විකාශය 200,000
(ආ) නැවත විකාශය 100,000

වර්ගය විකාශිත කාලය අනුප්‍රමාණය
(රු.)
වාණිජ වැඩසටහන් යම් බලපත්‍රලාභී ආයතනයක් විසින් නිෂ්කාශන සහතිකයේ

සඳහන් දින සිට යම් වාර ගණනක් විකාශය කිරීම සඳහා
(ඊ නිෂ්කාශන සහතිකයේ සඳහන් දින සිට දින 183 ක කාල
පරිච්ඡේදයක් සඳහා. 500,000

(ඊ) නිෂ්කාශන සහතිකයේ සඳහන් දින සිට දින 365 ක කාල
පරිච්ඡේදයක් සඳහා 1,000,000mangala-samaraweera

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි

සිතුවම් මවනා අපූරු ටැටූ ශිල්පියා

Atomic Circus යනු වෘත්තීමය ටැටූ ශිල්පියෙකි. එවැනි නිර්මාණකරුවෙකුගේ දෑත්වල ඇති නිර්මාණ ශක්තිය පිළිබඳව අමුතුවෙන් කතා කළයුතු නැත. ටැටූ නිර්මාණ ශිල්පියෙකු යනු අද වනවිට ලෝකයේ පිළිගන්නා නිර්මාණකරුවන් අතරේ ප්‍රමුඛයෙකි. ඔවුන්ගේ හැකියාවන් සැසඳීමට තවත් කාරණා අවශ්‍ය නොවේ.

Atomic ගේ මතය වන්නේ කලාව කිරීමට කැපකිරීමක් අත්‍යවශ්‍ය බවයි. කලාවට ආදරය කරන කුමන හෝ පුද්ගලයෙකු ජීවිත රටාවටද ආදරය කරන බව Atomic පවසයි. මෙවැනි මතයක් තුළ තම නිර්මාණ හැකියාව සම්පූර්ණ කරන ඔහු පිළිබඳව ඇගයීමට තරම් හේතු කාරණා බොහෝ ඇත. ඔහුගේ සිතුවම් කලාව වෙනස් මාර්ගයක් තුළ අපහසුතා මතින් ගොඩනැගෙයි. උපන් කාලයේ සිට තම පවුල් පසුබිමින් නිර්මාණ හැකියාවක් තමන්ට පිහිටි බව ඔහු පිළිගන්නා කාරණාවකි. කෙසේනමුත් වාණිජකරණයට හසුවූ නිර්මාණ රැල්ලක්ද ඔහුගේ දෑත මත ඇති බව කිවයුතුය. ටැටූ නිර්මාණය වෘත්තියක් ලෙස කරමින් තම එදිනෙදා කටයුතු කරන ඔහු, තමන්ගේ විනෝදාංශය වෙනුවෙන් වෙනත් නිර්මාණයන්ද සිදුකරනු ලබයි. කාලයෙන් කාලයට ඔහුගේ නිර්මාණයන්වල සංකල්ප වෙනස් වනු ඇත. එවැනි සංකල්පයක් තුළ තම නිර්මාණ සඳහා සාධාරණ මතිමතාන්තර ගොඩනගා ගනිමින් තම නිර්මාණයන් වාණිජකරණයේ මුදුනට ගෙන යාමට ඔහුට හැකියාව ලැබුණි. 

agagagagha_by_atomiccircus-d5yl94c

Atomic කාටූන් නිර්මාණයන් සඳහාද තම කලා හැකියාවන් පණ පොවනු ලබන තරුණයෙකි. ලෝකයේම සුප්‍රසිද්ධ Biker mice from mars කාටූනයේ චරිත තම නිර්මාණ හැකියාවන් ලොවට පෙන්වීමට ඔහු සමත් වී තිබේ. ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ නිර්මාණ අතරින් බොහෝදෙනෙකුගේ ප්‍රතිචාර හිමිවූ චිත්‍ර ලෙස මෙය සඳහන් වෙයි. 
ඊට අමතරව Atomic විසින් මිනිස් රූපයන් සිතුවමට ගෙනෙන තිබේ. ඒ ආකාරයෙන් නිර්මාණ කරමින් සිටි ඔහු සිය නිර්මාණ සඳහා නවමු පණක් ගෙන ඒමට අලුත් නිර්මාණ සංකල්පයක් ගෙන එන ලදී. ඒ ලුණු උපයෝගී කරගනිමින් සිතුවම් නිර්මාණය කිරීමයි. එම නිර්මාණයන් සඳහාද විශාල ඉල්ලුමක් ගොඩනැගී තිබෙන බව  Atomic සඳහන් කරයි.

Atomic ගේ ජීවන වෘත්තියද වන කලාව ඔහු කිසි දිනක පහත් මට්ටමින් විකුණා නොමැති බව සඳහන් වෙයි. ඔහු විසින් තම සිතුවමක් අලෙවි කරනු ලබන්නේ ඉතාමත් අධික මිලකට බව සඳහන් වෙයි. ඔහු සිතුවම් අලෙවිකරණය තුළින් ඉහළ ආදායමක් ලබන අතර, ඔහු සිය ආදායමෙන් කොටසක් තමන් විසින් ආරම්භ කරනු ලැබූ පුණ්‍ය ආයතනයක් සඳහාද යොමු කරයි. බුද්ධි මට්ටම අඩු දරුවන් වෙනුවෙන් එම මුදල් වැය කරන බව සඳහන් වේ. 

2013_by_atomiccircus-d70bweb ae0b6c096f309c7e717ccaecf58ced15 Astounding-Immense-Portraits-And-Mandalas-Created-With-Kitchen-Salt-By-Dino-Tomic-02-740x718 athena_tattoo_done_in_new_york_by_atomiccircus-dbrru88 biker_mice_from_mars_by_atomiccircus-d5yldwh dino_large_by_atomiccircus-d7ujfcw_large dino-tomic-5 dino-tomic---lion-splatter---painting------23102015130003 eye_color_pencil_drawing_study_by_atomiccircus-d670g0w ferdig_copy_by_atomiccircus-d68lms7 maxresdefault mixed_media_portrait_of_my_grandmother_by_dinotomic-d6s9hgl nnw6tpc sffa_by_atomiccircus-dbotbkt untitled_1_copy_by_atomiccircus-d83qw81