Category Archives: columns

පෞද්ගලික වරදාන ගැන නොව රට ගැන සිතමු

මැතිවරණයක් ප්‍රකාශයට පත්වූ විට බහුලවම පක්ෂ මාරු කිරීම් සිදුවෙයි. මේ වනවිට පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති හෙයින් පක්ෂ මාරු වීම් සිදුවෙයි. ලිපිය ලියන විට ආසන්නතම සිදුවීම් වූයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියාණි විජේවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, ජනිපෙ ජාතික සංවිධායක පියසිරි විජේනායක, ජනිපෙ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර යන මහත්ම මහත්මීන් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමයි. ඇය දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරියකි.  

කලකිරීම් වැනි කරුණු හේතු කරගෙන පක්ෂ මාරු සිදුවුවත් අවධානය කළ යුතු කරුණ වන්නේ පෞද්ගලික වරදාන වරප්‍රසාද ගැන සිතනවාද එසේත් නොමැතිනම් රට ගැන සිතනවාද යන්නයි. දිනෙන් දින රට අගාධයකට යන විට අප සැමගේම වගකීම විය යුත්තේ රට හරි මගට ගැනීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළකට සහාය දැක්වීමය. එහිදී පක්ෂයක පාට හෝ ලකුණ වැදගත් නොවෙනු ඇත. වැදගත් වන්නේ ප්‍රතිපත්තිය.  ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ පිරිස ඊයේ රාත්‍රිය දක්වාම ආණ්ඩුව විවේචනය කළ පිරිසය. එසේම අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළ පිරිසය. 

දේශපාලඥයෙක් පක්ෂයක් මාරු කරයි නම් එය ප්‍රතිපත්ති මත සිදුවන දෙයකි. වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය පෙරේදා රාත්‍රිය දක්වා විවේචනය කළ පිරිස පසුවදා ආණ්ඩුවට එක්වෙන්නේ කුමක් නිසාදැයි යන්න පිළිබඳව අමුතුවෙන් ජනතාවට පැවැසිය යුතු නොවේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය කරන විට එයට සහාය දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ආණ්ඩුවට එක්විය. එය ප්‍රතිපත්ති කරුණකි.
මේ වන විට පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා කැඳවිම ආරම්භ කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය නියේජනය කරන පොදුජන පෙරමුණට තිබෙන ගැටලුව වන්නේ නාමයෝජනා බාර දීමය. එනම් පොදු ජන පෙරමුණ යටතේ තරග කිරීමට විශාල අපේක්ෂාකයන් පිරිසක් අපට නාමයොජනා ඉදිරිපත් කර තිබේ. එයින් සුදුසුකම් ලබන පුද්ගලන් තෝරා ගැනීමේ ගැටලුවකට අප මුහුණ දී ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයට, එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂවලට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන ගැටලුව වන්නේ ඔවුන්ට නාමයෝජනා ගැනීමය. මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීම වැළැක්වීමට නොහැකි වනු ඇත. ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා උතුරු හා නැගෙනහිර පළාත්වල ඡන්ද විශාල  කාර්යයක් ඉටු කළේය. 
කෙසේ වෙතත් මේ වන විට ද්‍රවිඩ ජාතික සන්ධානය දෙකඩ වීම හේතුවෙන් උතුරේ ඡන්ද ප්‍රතිඵලය දෙකඩ වෙනු ඇත. නැගෙනහිරද මුස්ලිම් ජනයා නියෝජන කරන පක්ෂ වෙන වෙනම මැතිවරණය ඉදිරිපත් වීම හරහා ඔවුන්ගේ ඡන්දද බෙදී යනු ඇත. මෙය අවසාන වශයෙන් සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් ඇති කරන තත්ත්වයකි. එම පළාත් දෙක හැරෙනු ඇති විට ඉතිරි පළාත් හතේම බහුතරයක් වූ ජනතාව දැන් ආණ්ඩු විරෝධී මතයක සිටින හෙයින් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් සිය ඡන්ද ආණ්ඩුවට එරෙහිව භාවිත කරනු ඇත. 
පළාත් පාලන මැතිවරණය යනු බිම් මට්ටමේ ජනතාවගේ මතය නියෝජනය වන මැතිවරණයයි. මෙහි ප්‍රතිඵලය ඉදිරි පළාත් සභා මැතිවරණයට, පාර්ලිමේන්තු මැතිවරණයට හා ජනපතිවරණයට සෘජු  බලපෑමක් ඇති කරනු ඇත.  මෙහි අවසාන ප්‍රතිඵලය කුමක් වුවත් ප්‍රධාන වශයෙන් ආණ්ඩුවේ පිරිහීම මේ හරහා එළියට පැමිණෙනු ඇත. 

මේ වන විට දුම්රිය වර්ජනයක් ක්‍රියාවට නැංවෙමින් තිබේ. දුම්රිය වර්ජනයක් මෙවැනි ආකාරයකට දීර්ඝව මෑත ඉතිහාසයේදී ගමන් කරන පළමු අවස්ථාව මෙය වෙයි. දුම්රිය සේවකයන්ට සාධාරණත්වය ඉටු නොකිරීම හරහා අවසන් වශයෙන් පීඩාවට පත්වෙන්නේ සාමාන්‍ය ජනතාවය. ආණ්ඩුව දුම්රිය සේවකයන්ගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට කළේ එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමයි. මේ හරහා ප්‍රශ්නය තවත් ව්‍යාකූල විය. අනෙක් අතින් සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමටත් ආණ්ඩුව තීරණය කර ඇත්තේ ‘යන්නේ කොහෙද මල්ලෙ පොල්’ වැනි පිළිතුරක් ලබාදෙමිනි.

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම හරහා මූල්‍ය ප්‍රතිපාදන අවභාවිත කිරීමට හා වෘත්තීය සමිති දැඩිව මර්දනය කිරීමට අවස්ථාව තිබේ. කෙසේ වෙතත් වෘත්තීය සමිති ඊයේ මෙම සටහන ලියන විටත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් නොකිරීමට තීරණය කර තිබුණි.
ආණ්ඩුව මේ වන විට පරිපූරක ඇස්තමේන්තු විශාල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ සඳහා අනුමැතිය ලබා ගනිමින් සිටියි. පසුගිය අයවැය ඉදිරිපත් කිරීමේදී සඳහන් කළේ ජනපති, අගමැති ඇතුළුව ආණ්ඩුවේ වියදම් සැලකිය යුතු ප්‍රමාණයක් කපා හැරි බවයි. අයවැයෙන් එසේ පෙන්වා එම කපා හැරූ බව පෙන්වන අගයට වඩා වැඩි ප්‍රමාණයක වියදම් පරිපූරක ඇස්තමේන්තු හරහා අනුමත කරවා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි.

අනෙක් අතින් ආණ්ඩුව පනත් සම්මත කර ගන්නේද බලහත් කාරයෙනි. යහපාලනයක් ලබාදෙන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වන විට පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කර ඇත. පාර්ලිමේන්තුවද මංකොල්ල කමින් සිටියි. පැති දෙකක සිටියත්, මත දෙකක් දරුවත් පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත් විවාදයේදී අමාත්‍ය රවුෆ්  හකීම් මහතා කළ ප්‍රකාශක් මම මෙහිදී අගය කිරීමට අවස්ථාවක්  කර ගන්නෙමි.
ඔහු පැවැසුවේ පාර්ලිමේන්තුවේ බලය ආණ්ඩුවට තිබූ පළියට පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා රටේ ජනතාවගේ අයිතීන් කඩා දැමීමට කටයුතු නොකළ යුතු බවයි. ඔහු උගත් දේශපාලකයෙක් ලෙස ඔහුට වත්මන් ක්‍රියාවලිය ගැන විවේචනයක් තිබුණත් යහපාලනය ගැන කතා කරන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් ඒ ගැන වැටහීමක් නොවීම ගැටලුවකි. 
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!

 

ඉගිලෙනකොට පේන සුද

ලංකාවේ දේශපාලනය තුළ පසුගිය දෙසතිය තුළ සිදු වූ විශේෂිතම සිදුවීම වූයේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කිරීමයි. පාර්ලිමේන්තුවේ පැවැති අය-වැය විවාදයේදී කිසිදු විශේෂ සිදුවීමකින් තොරව පාර්ලිමේන්තු කටයුතු පැවැති අතර, අයවැය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුව තුළ සම්මත විය. එයින් අදහස් වන්නේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ පාර්ලිමේන්තුවේ විශ්වාසය තවදුරටත් පවතින බවයි. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තු සුනුවිසුණු කරමින්, පෝයෙන් පෝය ගෙවී යමින් ඔවුන්ගේ ආණ්ඩු පෙරළීම සිහිනයක්ම පමණක් වෙමින් තිබේ.


ඒ කෙසේ වෙතත් ආණ්ඩුව විසින් ඉදිරි මැතිවරණය සඳහා බලමුළු සූදානම් කරමින් සිටී. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් නව මැතිවරණ යෝජනා ක්‍රමය පරිදි සියලුම ලැයිස්තු සඳහා ක්‍රියාකාරී දක්ෂ තරුණ කාන්තා පිරිසක් තෝරාගැනීමේ කටයුතු සඳහා විශේෂ අවධානයක් යොමු කොට තිබේ. මෙම මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි ආණ්ඩුවේ තක්සේරුවයි. එසේම ලංකාව පුරා විසිරී සිටින කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන ක්‍රියාකාරීන් හා සංවිධානවල නව බලාපොරොත්තු ඇති වී තිබේ.


තත්ත්වය මෙසේ තිබියදී ලංකාවේ ආණ්ඩුව විසින් පසුගිය කාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රාශියක් සිදු කරනු ලැබීය. විශේෂයෙන්ම වර්තමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ නිර්මාණශීලි කාර්යක්ෂම හා එඩිතර ක්‍රියාකාරීත්වය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉමහත් පිටුවහලක් වෙමින් තිබෙන බව බැලූ බැල්මට පෙනී යයි. එසේම අධ්‍යාපන අමාත්‍යාංශය හා සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව පිහිටවනු ලැබූ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයාගේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට හා සංස්කෘතික ක්ෂේත්‍රයටද විශාල වැඩ කොටසක් සිදු කරමින් තිබේ. විශේෂයෙන් පුරාවිද්‍යා ක්ෂේත්‍රය හා ඒ හා බැඳුණු ආගමික ස්ථාන, සංරක්ෂණය කළ යුතු ස්ථාන හා පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අදාළ විෂයයන් රාජ්‍ය පාලනයේදී නොවැදගත් ද්විතීය විෂයයන් ලෙස සැලකුවද, අකිල විරාඡ් කාරියවසම් ඇමතිවරයා එම විෂය භාරගත් පසු එය ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත්, කතාබහට ලක්වන විෂයයක් බවට පත් වී තිබේ.

විශේෂයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් තිබූ විශාල දූෂණ අක්‍රමිකතා වළක්වා, එම අරමුදල කාර්යක්ෂ්ම අරමුදලක් බවට පත් කරනු ලැබීය. එම අරමුදලේ ආදායම පෙර වර්ෂයට වඩා පස් ගුණයකින් පමණ වර්ධනය කොට මෙම වර්ෂයේදී ලබාගැනීමට හැකි වූ අතර, රට පුරා තිබෙන පුරාවිද්‍යා ස්ථාන හා විහාරස්ථාන දහසකට ඒවා සංවර්ධන කටයුතු සඳහා එක් ස්ථානයකට රුපියල් ලක්ෂ පහ බැගින් ආධාර අරමුදල් ලබා දුනි. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේදී පුරාවිද්‍යා ස්ථාන විශාල වැදගත්කමකින් යුක්ත වේ. නමුත් පසුගිය ආණ්ඩුව විසින් සංචාරකයන්ගෙන් උපයාගන්නා ලද මුදල් දේශපාලන ව්‍යාපෘතිවලට යෙදෙව්වා විනා අඩුම තරමේ එම පුරාවිද්‍යා ස්ථාන තුළ වැසිකිළි කැසිකිළි ඉදිකිරීමටවත් උනන්දුවක් නොදැක්වීය. විශේෂයෙන්ම මෙයින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සිදු වූ පාඩුව මිල කළ නොහැකිය. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ හෝර්ටන් පෙදෙසේ සංචාරකයන් සඳහා ඩොලර් විසිපහක මුදලක් ගෙන ලෝකාන්තය නැරඹීමට අවස්ථාව ලබාදුන්නද ඔවුන් වෙනුවෙන් එකදු වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමට හෝ මධ්‍යම සංස්කෘතික අරමුදලට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වීමයි.

එසේම සීගිරියේදී අය කරනු ලබන ඩොලර් විසිපහේ මුදල ඊජිප්තුවේ පිරමීඩ නැරඹීමේදී අය කරන මුදලට වඩා ඩොලර් පහක හෝ දහයක වැඩි වීමක් තිබේ. එය එසේ තිබුණද සීගිරිය නැරඹීමට එන සංචාරකයන් උදෙසා වැසිකිළි පද්ධතියක් පසුගිය වසර වනතුරුත් ඉදිකර නොතිබිණි. අකිල ඇමතිවරයා සංස්කෘතික අමාත්‍යාංශය බාරගත් පසු නවීන වැසිකිළි පද්ධතියක් ගොඩනංවනු ලැබීය. එසේම සීගිරිය තුළ සිදු වූ අතිවිශාල වංචා හා දූෂණවලට තිත තැබූ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා ප්‍රවේශ පත් විකිණීම Online ක්‍රමයකට මාරු කරනු ලැබීය. එමනිසා රජයට විශාල ආදායමක් ලබාගැනීමට හැකි වී තිබේ. සීගිරිය පරිශ්‍රය තුළ වංචා දූෂණ හා අක්‍රමිකතා අවම වී තිබේ. එසේම සීගිරිය තුළින් මධ්‍යම සංස්කෘතික අරමුදල ලැබූ ආදායම පස් ගුණයකින් වැඩි වී තිබේ. මෙසේ වැඩි වූ සහ දූෂණය වංචාව අවම කිරීමෙන් ඉතිරි කරගන්නා ලද අතිවිශාල මුදල විහාරස්ථාන දහසක් සංවර්ධනය කිරීම සඳහා මෙම වසරේදී පිරි නැමීය. ලබන වසරේදී තවත් විහාරස්ථාන දහසක් සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යෙදවීමට සංස්කෘතික අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මෙතුවක් කල් රටේ ජාතික සම්පත් සංචාරකයන්ට පෙන්වා උපයාගන්නා ලද මුදල් පටු දේශපාලන ව්‍යාපෘතිවලට යෙදවීම අවසන් කොට, සැබෑ ලෙසම එම මුදල් රටේ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණයටත්, විහාරස්ථාන නඩත්තුවටත් ආයෝජනය කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබේ. එසේම ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කරමින් තිබේ. සංස්කෘතික අමාත්‍යාංශය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ සිදු කරමින් පවතින වැඩපිළිවෙළෙහි සම්පූර්ණ ගෞරවය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට හිමිවිය යුතු බව මගේ පෞද්ගලික විශ්වාසයයි. මෙතුවක් කාලයක් හුදෙකලා වී කොන් වී තිබූ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදලද, එම විෂය පද්ධතියද අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා විසින් ඉහළට ඔසවා තබා ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය වැදගත් විෂයයක් බවට පත්කර තිබේ. එම විෂයය ලංකාවේ ජනතාව තුළත්, ආයතන පද්ධතිය තුළත් දේශපාලඥයන් තුළත් අවධානයට ලක්වීම නිසාවෙන් එම අංශය ශීඝ්‍ර දියුණුවකට ලක්වෙමින් තිබේ.

අවසාන වශයෙන් කිව යුත්තේ අකිල විරාජ් ඇමතිවරයා කිසිවෙකුත් නොසිතූ පරිදි සාර්ථක ඇමතිවරයෙකු බවට පත්වී තිබේ. ඔහු අත තබන තබන ව්‍යාපෘතිය සාර්ථක වේ. ඔහුගේ විචක්ෂණභාවයත්, ඉදිරි දැක්මත්, සංවිධාන හැකියාවත්, ප්‍රසන්න හදවතත්, පාක්ෂිකත්වයත් ඔහු අනාගතයක් ඇති ඇමතිවරයෙකු බවට පත්කර තිබේ.

‘ගැටිල්ල’


ගැටිල් අඩුවෙන තරමට හොඳය. එයට හේතුව ගැටිලි වැඩිවෙන තරමට ගැටලු දුරදිග යන නිසාය. කාගේවත් සමග ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් එය දාහෙන් සම්පතකි. ඒත් සමහර දෙනා කල්පනා කරන්නේ ගැටිලි වැඩි වන තරමට හොඳ බවය. ඒ නිසා හොස්ස අගින් මැස්ස යන විටත් කවුරුන් හෝ සමග ගැටිල්ලක් ඇතිකර ගන්න උත්සාහ කරනවාය. ඇතැමුන් උත්සාහ කරන්නේ ගැටිල්ලක් හදාගෙන තමාගේ වීරකම ප්‍රදර්ශනය කරන්නටය. බොහෝවිට දුර්වලයෙකු සමග ගැටිල්ලක් හදාගන්නේ පහසුවෙන් ජයගන්න පුළුවන් බව දන්න නිසාය. එහෙම නෝන්ජල් කෙනෙකු සමග ගැටිලි ඇතිකරගෙන පුහු වීරයන් වෙන්න දඟලන අය හයිකාරයකු සමග ගැටිලි හදාගන්න ගිය විට අමාරුවේ වැටෙනවාය.

අද බොහෝදෙනා පුරුදු වී සිටින්නේ අනවශ්‍ය ගැටිලි ඇතිකර ගෙන ප්‍රශ්න දුරදිග යවන්නටය. ඒ හින්දා සාමයෙන් විසඳා ගත හැකි ප්‍රශ්නවලදීද ගැටිලි හදාගන්නට උත්සාහ කරනවාය.
සමහරුන් පවසන්නේ ගැටිල්ලක් නැති ජීවිතයක කිසිම ගතියක් නැති බවය. ජීවිතය නැවුම් වන්නේ ගැටිලිවලට මුහුණ දුන් විට යැයි කියන අය ඉන්නවාය. ගැටිල්ලකට විසඳුමක් ඇත්තේ තවත් එවැනිම ගැටිල්ලකින් යැයි සිතන අය අද වැඩි වෙලාය. ඒ නිසා ගැටලුවකදී ගැටිල්ලක් නැතුව ප්‍රශ්න විසඳාගන්නට ඒ අය දන්නේ නැත්තේය. ඇතැම් අය ගැටෙන්නේ සිරුරෙන්ය. සිරුරෙන් ගැටෙන විට ශක්තිවන්ත සිරුරක් ඇති අය දුර්වලතා පරදා ජය ලබනවාය. මෙයට කියන්නේ ඇගේ හයියට ගැටෙනවා කියලාය.
ඒත් මත ගැටිල්ල, සිරුරු ගැටිල්ලට වඩා බරපතළය. එකට සිටිය යුතු අය මත ගැටිලි නිසා විරසක වෙනවාය. අඹු සැමියන්, දූ දරුවන්, දෙමවුපියන් විරසක වන්නේ මේ මත ගැටිල්ල හින්දාය. දෙපාර්ශ්වයම එක මතයකට එනවා නම් එතන ගැටිලි ඇතිවන්නේ නැත්තේය. එහෙත් දෙපැත්තම එලෙස එක මතකයකට ගැනීම අපහසු වන තරමට ගැටිලිද දුරදිග යනවාය. මේ මත ගැටිල්ල නිසා සමහර පවුල් කඩා බිඳ වැටෙනවාය. බිරිඳගේ මතය සැමියා සමගද, සැමියාගේ මතය බිරිඳ සමගද ගැටෙන විට පවුලට කණකොකා හඬනවාය. පෙම්කරන කාලයේ බලාපොරොත්තු වන්නේ කිසිම ගැටිල්ලක් නැති සුන්දර ලෝකයක්ය. ඒත් ඒ සුන්දර ලෝකය මායාවක් බව ඔප්පු වෙන්නේ විවාහ ජීවිතයේ බර වැඩි වී ගැටලු ඇතිවන විටය. ගන්නා පඩිය ජීවත්වන්න මදිවෙන විට දරුවන් වෙනුවෙන් වියදම් කරන සල්ලි බාගෙ අඩුපාඩු වන විට  පවුල්වල ගැටිලි ඇතිවෙනවාය. මෙම ගැටලු මුලදී විසඳාගෙන දුරදිග යන්න ඉඩ හැරියහොත්  පවුල් අවුල් වී ගැටිලිවලට සහනය ඉල්ලා උසාවිවලට පවා ගොඩවෙන්න සිද්ධවෙනවාය.

පවුල්වල දූ දරුවන් උස්මහත් වෙන විට ගැටිලි දුරදිග යන්නේ දෙමවුපියන්ගේ අණසකට යටත්ව සිටින්නට දරුවන් අකමැති වෙන නිසාය. මේ පිළිබඳව දෙමවුපියන් වගකීමෙන් කටයුතු කළහොත්  මෙම ගැටලු විසඳාගන්නට පුළුවන්ය. මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහබාහු නාටකය තුළින් උත්සාහ කර ඇත්තේ පියපුතු ගැටුම් නිරූපණය කිරීමටය. පුතා වැඩුණු පසු පියාගේ අත්අඩංගුවේ නොසිට අලුත් ලොවක් කරා යාමට උත්සාහ කිරීම මෙම ගැටිල්ලට හේතු විය. එහිදී පුතා පියා මරා තම  නිදහස රැක ගැනීමෙන් මෙම ගැටිල්ල නිමාවට පත්විය. මෙම නාට්‍ය‘යෙන් සමාජයට දෙන පණිවුඩය වන්නේ දෙමාපියන් තම දරුවන් සැමදාම තමා සමග රඳවා ගන්නට යාම මෙලෙස ගැටිලි මෝරා යාමට හේතුවන බවයි. මහමග සිදුවන වාහන ගැටිලි නිසා සිදුවන අනතුරුවලින් බොහෝ දෙනෙක් මිය යනවාය. දුම්රිය ගැටිල්ලෙන් සිදුවන ජීවිත විනාශය අති මහත්ය.

ගුරුගෝල ගැටිල්ල අනාදිමත් කාලයක සිට පැවත එන්නේය. ගුරවරයා සමග ගැටුම් ඇතිකර ගෙන ඉගෙනීම කඩාකප්පල් කරගත් සිසුන් එදා මෙන්ම අදද සිටිනවාය. අද ඇතැම් පාසල්වල ගුරු-සිසුන් අතර ඇතිවන ගැටිලි නිරාකරණය කර ගැනීමට පොලීසියට මෙන්ම උසාවිවලටද යන්නට සිදුවෙනවාය. දෙපාර්ශ්වය එකිනෙකාට අවශ්‍ය අවස්ථාවල නම්‍යශීලී වුවහොත් මේ ගැටුම් නිරාකරණය කරගන්න පහසු වෙනවාය. ගුත්තිල-මූසිල ගැටුමද, නිර්මාණය වූයේ දෙපාර්ශ්වයම එකිනෙකා අභිභවා යාමට උත්සාහ කළ නිසාය. අන්තිමට ඒ ගැටිල්ල නවතා ගුරුවරයාට ජය ලබාදෙන්නට ශක්‍රයාටද මැදිහත් වෙන්න සිදුවිය. ජය පරාජය දරාගන්න  බැරි වූ විට කෙළිබිමේදී ගැටිලි අැතිවෙනවාය. ඇතැම්විට මෙම ගැටිලි මෝරා ගොස් ගහමරා ගැනීමෙන්ද කෙළවර වෙනවාය.

අසල්වැසියන් සමග ඇතිවන ගැටීම්ද දුරදිග ගොස් මහ අමාරුවක වැටෙනවාය. සහෝදර සහෝදරියන් අතර දේපළවලට ඇතිවන ගැටිලි බොහෝදුරට පැතිරෙනවාය. ඉඩමේ මායිමට පැලඉන්නට අසල්වැසියන් සමගද ඇතිවන ගැටිලි නිසා ජීවිත අහිමි වන අවස්ථාද තිබෙනවාය. හැමදාම ජීවත්වෙන්නට පුළුවන් යැයි සිතාගෙන සිටීම මෙම  ගැටිලිවලට ප්‍රධාන හේතුව වන්නේය. විදුලිය කෙටීම ඇතිවන්නේ ධන හා ඍණ ආරෝපිත වලාකුළු දෙකක් එකට ගැටිල්ල නිසාය.

දේශපාලුවන් අතර ගැටිලි ඇතිවන්නේ පාර්ලිමේන්තුව තුළය. එහෙම පාර්ලිමේන්තුවේදී දවල් දවසේ එකිනෙකාට බැණගන්නා ඔවුන් රෑ වෙනකොට කිසිම ගැටිල්ලක් නැතුව ලොකු ලොකු හෝටල්වල එකට කනවා බොනවාය. දේශපාලුවන් අතර ගැටිලි වැඩිදියුණු වන්නේ මැතිවරණ කාලයේ ඡන්ද බෙදාගන්න බැරුවය. දේශපාලුවන් පසුපස යන ඡන්දදාසලා පිල්වලට බෙදී ගැටිලි හදාගෙන අමාරුවේ වැටුණත් දේශපාලුවන් නම් එහෙම මෝඩ වෙන්නේ නැත්තේය.

සොරොස්ත්‍රියානු ආගම

සරතුස්ත්‍රතුමා යනු ක්‍රිස්තු පූර්ව 1600කට එපිටින් වූ අතීතයේ ජීවත් වූ ආගමික ශාස්තෘවරයෙකි. අදටත් ලෝකයේ මිනිසුන් කණ්ඩායමක් විසින් අදහනු ලබන සොරොස්ත්‍රියානු ආගම දේශනා කරන ලද්දේ  ඔහු විසිනි. ඇතැම් උගතුන්ගේ මතය වන්නේ ඔහු විසින් ලෝකයේ පැරණිතම දහම දේශනා කරන ලද බවයි. මේ වන විට ලොව පුරා එක්ලක්ෂ අනූදහසක් පමණ එම ආගම අදහති. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ජීවත් වන්නේ ඉන්දියාවේ සහ ඉරානයේයි. 

සරතුස්ත්‍රතුමා ඉරානයේ ජීවත් වූවෙකි. ඔහු විසින් ආරම්භ කරන ලද ආගම ඉපැරණි පර්යාවේ විශාල වශයෙන් ව්‍යාප්ත විය. ඒ ඉස්ලාම් දහම ව්‍යාප්ත වන්නට ප්‍රථමයෙනි. ප්‍රඥාවේ දෙවියා වන අහුරා මැස්ඩා (Ahura Mazda) ඇදහීම මෙම ආගමේ සිදුවෙයි. දිව්‍යලෝකය සහ අපාය පිළිබඳ එහි විශ්වාසයක් විය. යුදෙව් දහම ඉස්ලාම් දහම ඇතුළු පසුකාලීනව බිහි වූ බොහෝ ධර්මයන්ට මෙහි බලපෑම එල්ල වූ බව විශ්වාස කෙරේ. 

සොරොස්ත්‍රියානු ආගමේ ඇති මූලික විශ්වාසයක් නම් අනෙකාට සේවය කිරීමයි. පාර්සිවරු සොරොස්ත්‍රියානු ආගම අදහන්නෝ වෙති. විශේෂයෙන් ඉන්දියාවේ සිටින පාර්සිවරුන් මේ සම්බන්ධයෙන් කීර්තියක් දිනාගෙන ඇත. එම ආගම අනුව ස්ත්‍රී පුරුෂයන්, දුප්පතුන් දිළින්දන්, මහල්ලන් තරුණයන් ආදී සියලුදෙනා සමානයන් ලෙස සැලකිය යුතුය. කෙනෙකු තවත් කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ උසස් ගතිගුණවලින් පමණකි. 
සොරොස්ත්‍රියානු ආගම හා බැඳුණු බොහෝ වතාවත් තිබේ. ඔවුන් විසින් අනුගමනය කරනු ලබන අවමංගල්‍ය චාරිත්‍රය ලෝකයේ විශේෂිත වූවකි. මළසිරුරක් භූමදානය කිරීම තුළින් පොළොව අපවිත්‍ර වෙතැයි ඔහු සලකයි. එබැවින් ඔවුන් මළසිරුරු හෙළන්නේ කුලුනක් මතටය. ඩොක්මා හෙවත් නිහඬතාවේ කුලුන වශයෙන් මෙය හඳුන්වනු ලැබේ. ඉන්දියාවේ මුම්බායිහි 35,000ක් පමණ පාර්සිවරු  ජීවත් වෙති. 

එබැවින් ඔවුන්, වනගත ප්‍රදේශයක අක්කර 57ක් පමණ වෙන් කරගෙන ඩොක්මා කණු සිටුවා ඇත. මෙම කණු මතට මළසිරුරු දැමීමෙන් පසු ගිජු ලිහිණියෝ ඒවා කා දමති. බටහිර රටවල මෙම චාරිත්‍රය සිදුකිරීමට අපහසු බැවින් පාර්සිවරු මළසිරුරු ආදාහනය කරති.
ශ්‍රී ලංකාවේද පාර්සි ප්‍රජාවක් ජීවත් වෙමින් සිටින අතර, එය ඉතා සුළු සංඛ්‍යාවකි. 20 වැනි සියවසේ මැද භාගයේ දී පමණ 300 දෙනෙකු පමණ ජීවත් වූ බවට වාර්තා තිබේ. එම සංඛ්‍යාව අද වන විට තවත් අඩු වී තිබේ. ශ්‍රී ලංකාවේ විසූ කීර්තිමත් පාර්සිවරයෙකු වශයෙන් හිටපු අමාත්‍ය කයිර්ෂසප් නරිමාන් චොක්සි හෙවත් කේ. එන්. චොක්සි මහතා පෙන්වා දීමට පුළුවන. ඔහුගේ පිය පාර්ශ්වය මෙන්ම මවු පාර්ශ්වයද ශ්‍රී ලංකාවේ ආනයන අපනයන ආර්ථිකයට විශාල දායකත්වයක් දැක්වූ ඉන්දියාවෙන් සංක්‍රමණය වූ පාර්සි පවුල්වලට අයත් වෙළෙඳ ව්‍යාපාරිකයෝ වූහ. 

ඉන්දියාවේද පාර්සි ජන කොට්ඨාසය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින අතර, මෙවැනි විශේෂිත ජන කණ්ඩායම් රැකගැනීම ලෝක උරුමයක් ලෙස සැලකෙනු ඇත. ඔවුන් සතුව පැවති සුවිශේෂිත සංස්කෘතියක්ද අහිමි වී යෑමේ අවදානමක් ඇත. යුනෙස්කෝව විසින් මේ සඳහා PARZOR නම් ව්‍යාපෘතියක්ද 1999 වසරේදී ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතියට ඉරානය, ඉන්දියාව, උස්බෙකිස්ථානය, ඇෆ්ගනිස්ථානය මෙන්ම ශ්‍රී ලංකාවද අයත්ය. 

- දර්ශන අශෝක කුමාර

 

පාසල් දරුවන්ගේ හා ග්‍රාම නිලධාරීන්ගේ ටැබ්

තාක්‍ෂණය යනු සරලම බව තුළින් ඵලදායීතාව අත්කර ගැනීමය. මෙම ප්‍රකාශය සිදුකරන්නේ ලෝකප්‍රකට විද්‍යාඥයෙකු, චිත්‍ර ශිල්පියෙකු හා චින්තකයෙකු වන ලියනාර්ඩෝ ඩාවින්චිය. තාක්‍ෂණය පිළිබඳ ලියන්නට හිතුණු ආසන්නතම කාරණය වූයේ පාසල් දරුවන්ට ටැබ් (Tab) ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබීමය. නමුත් ඇත්තෙන්ම ටැබ් ලබාදීම හොඳද? එහි ක්‍රම‘වේදය කුමක්ද? ටැබ් එකෙන් ඉගෙන ගන්නේ කොහොමද? ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනයක් තිබේද? යන්න සලකා බැලිය යුතු කරුණුය.

2016 දී රවි කරුණානායක එනම්, එවකට සිටි මුදල් අමාත්‍යවරයා පාසල් දරුවන්ට රුපියල් කෝටි 500ක මුදල් වෙන්කරනු ලබන්නේ ඔවුන් වෙනුවෙන් ටැබ් යන්ත්‍ර මිලදී ගැනීම සඳහාය. ඒ 2017 මූල්‍ය වර්ෂය සඳහාය. ටැබ් යන්ත්‍ර ලංකාව වැනි රටකට අලුත් වුවද, ලෝකයාට එය අලුත් නැත. විශේෂයෙන්ම %ටැබ්^ යනු ලෝකයේ යල්පැනගිය තාක්‍ෂණයක් වන අතර, ටැබ් භාවිතය ආරම්භ වූයේ මීට වසර ගණනකට පෙරාතුවය. 2017 දී ලංකාවේ දරුවන්ට ටැබ් යන්ත්‍ර ලබාදීමට යෝජනා වී තිබුණද, තවම ඒවා ක්‍රමිකව ලබාදීමට ක්‍රම‘වේදයක් නැත. මැයි මාසයේදී ටෙන්ඩරයෙන් ලංසු විවෘත කිරීම හේතුවක් නොමැතිව කල්යවන්නේ ප්‍රසම්පාදන කමිටුවය. ලංසු තැබුවාට පසුව පිරිවිතරයන් වෙනස් කිරීම කළ නොහැකිය.

නමුත් අතරමැද දී මොවුන් පිරිවිතවයෙන් (Specification) වෙනස් කරනු ලබයි. මුලින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධව සිටින්නන් ටැබ් යන්ත්‍රය සඳහා CE (Certificate From Europe) ඉල්ලා සිටියි. මෙය ලංකාවේ පිළිගත් සහතිකයකි. විශේෂයෙන්ම ජංගම දුරකථන සඳහා පරිපූර්ණය කළ යුතු සුදුසුකම වන්නේ මේ (CE) සහතිකයයි. නමුත් අතරමැද ප්‍රසම්පාදන කමිටුව CE සහතිකය ප්‍රමාණවත් නොවන බවටත්, FC සහතිකය අවශ්‍ය බවටත් පිරිවිතර සංශෝධනය කරනු ලබයි. FC (Federal Certificate) යනු ඇමෙරිකානු සහතිකයකි. ලංසු තබන සමාගම් අතරින් වැඩිම ලංසුව තබන්නේ මෙට්‍රොපොලිටන් සමාගමය.

එහි ලංසුව කෝටි 678කි. ඉන් අනතුරුව ප්‍රසම්පාදන කමිටුව නැවත පිරිවිතර සංශෝධනය කරන්නේ Federal Identification සහතිකය අවශ්‍ය බවටය. මෙම සහතිකය ලබාගැනීම දුෂ්කර කාර්යයකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාගම් ලියාපදිංචි විය යුතු අතර, මාස 06ක් පමණ ගතවන ක්‍රම‘වේදයකින් පසුව එම සහතික ලබාගැනීමට පුළුවන. එම සහතිකය තිබුණේ වැඩිම ලංසු ඉදිරිපත් කර තිබූ මෙට්‍රොපොලිටන් සමාගමටය.

තාක්‍ෂණය පැරණි වන කාලයක, ඉක්මනින් දරුවන්ට එම තාක්‍ෂණික උපකරණ ලබාදිය යුතු කාලයක, අත්තනෝමතික හා කාර්යක්‍ෂමතාව අඩු ප්‍රසම්පාදන ක්‍රමය නිසා දරුවන්ට සිදුවන්නේ දැඩි අනර්ථයක් බව පැහැදිලිය.

තවද අයවැයෙන් ටැබ් ලබාදීම සඳහා වෙන් කරන්නේ රුපියල් කෝටි 500කි. නමුත් ටෙන්ඩරය ප්‍රදානය කිරීමට යනුයේ කෝටි 678ක් ලංසු තැබූ සමාගමටය. වැඩිපුර කෝටි 178ක් ගෙවනුයේ ඇයිදැයි යන්න ප්‍රශ්නයකි.

මේ වනවිට විදුහල්පතිවරුන්ට යවා ඇති චක්‍ර‘ලේඛයක දැක්වෙන්නේ අලුත් පෙළපොත් ලබාදෙන්නේ 20%ක් බවත්, ඉතිරි 80%ට පැරණි පෙළපොත් පාවිච්චි කරන ලෙසත්ය. ටැබ් සඳහා වැඩිපුර කෝටි 178ක් ගෙවීමට වඩා දරුවන්ට අලුත් පෙළපොතක් ලබාදෙන්නට කටයුතු කරන්නේ නම් අගනේය.

අපි පුංචි කාලයේ එනම්, 80 දශකය අගභාගය හා 1990 මුල් කාලවකවානුවේ දරුවන්ගේ පෝෂණයට වෙනුවෙන් කිරිපැකට්, බිස්කට්, බනිස් දුන්නා මතකය. ඒ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේය. ප්‍රේමදාසගේ වැරදි තියෙන්නට පුළුවන. නමුත් පුංචි තැනකින් ජනාධිපති ධුරයට පැමිණි ඔහුට පුංචි මිනිසුන්ගේ නාඩි හඳුනා ගැනීමට හැකිවිය. ඇත්තෙන්ම අපි කුඩා කාලයේ කිරිපැකට් රැගත් ලොරිය පැමිණෙන තෙක් මගබලා සිටියෙමු. ඒ කාලයේදී අඩුම තරමින් හෝ දරුවන්ට පෝෂණය දෙන්නට ආණ්ඩුවට සුළුවෙන් හෝ හැකිවිය.

වරක් රණසිංහ ප්‍රේමදාස කැකිරාව ප්‍රදේශයේ පාසලකට ගියේය. එහි දරුවන්ගේ පැමිණීම ඉතා පහළ මට්ටමක පැවැතිණි. ලංකාව පුරා දුෂ්කර පාසල්වල පැමිණීම පහළ මට්ටමක පවතින බව එකල ජනාධිපතිවරයාට දැනගන්නට ලැබිණි. මේ පිළිබඳ සොයා බැලීමේදී නිල ඇඳුම්වල ප්‍රශ්නයක් බව දැනගන්නට ලැබිණි. සමහරුන්ට ඇත්තේ එකම නිලඇඳුමකි. කලින් දවසේ අඳින නිලඇඳුම සේදුවාට පසු අනෙක් දිනයේ පාසල් අඳින්නට නිලඇඳුමක් නොතිබිණි. ප්‍රේමදාස ජනාධිපතිවරයා කළේ, දරුවන්ට නිලඇඳුම් කට්ටලයක් ලබාදීමට කටයුතු කිරීමටය. මෙහිදී ටැබ් සඳහා අමතර කෝටි 178ක් ගෙවනවාට වඩා දුෂ්කර පාසල්වල එම දරුවන්ට අමතර නිලඇඳුමක් ලබාදෙන්නට හැකි නම් එය මිල කළ නොහැකිය.

'ටැබ්' දරුවන්ට ලබා දුන්නද, ඔවුන් ඒවායෙන් ඉගෙන ගන්නේ මොනවාද? විශේෂයෙන්ම විෂය නිර්දේශය තවමත් අන්තර්ජාලයට එක්කර නැත. මේ වනවිටත් රසායන විද්‍යාව, ජනසන්නිවේදන ඇතුළු තවත් විෂයන් රාශියක විෂය නිර්දේශවල ගැටලු පවතී. ඒ වගේම විෂය නිර්දේශයන් අන්තර්ජාලයට එක්කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් සැඳුම්ලත් කමිටුවක් ඇත. නමුත් ඒ සඳහා ඔවුන්ගේ අනුමැතිය පවා ලැබී නැත. ටැබ් ලබාදුන් දරුවන් ඉගෙන ගන්නේ මොනවාද? මේ සඳහා කළ යුත්තේ විෂය නිර්දේශය වගේම දරුවන්ට ටැබ් භාවිත කර ඉගෙන ගැනීම සඳහා මුලින්ම මාර්ගෝපදේශනයක් ලබාදීමය.

තවද මෙම රජයෙන් Wifi කලාප ඇතිකරන බව පැවසුවද, මෙතෙක් එම Wifi කලාප ඇතිකිරීම හරියාකාරව සිදුව නැත. ටැබ් ලබාදෙන්න කලින් කළ යුත්තේ, දුම්රියපොළවලට, ප්‍රසිද්ධ ස්ථානවලට Wifi ලබා දෙනවාට වඩා පාසල් පද්ධති තුළ Wifi කලාප හෝ අන්තර්ජාල පහසුකම් ස්ථාපනය කිරීමය. නැතිනම් පාසල් දරුවන්ට ටැබ් ලබාදීම මාළුවා ලබාදී බිලීපිත්ත ලබා නොදුන්නා වැනි තත්ත්වයක්ය. එසේ අන්තර්ජාල පහසුකම් නොමැති වීමෙන් දරුවන්ට ඩේටාකාඩ් (Data Card) මිලදී ගැනීමට සිදුවේ. නගරයේ ධනවතුන්ට මෙය ප්‍රශ්නයක් නොවූවද, දුෂ්කර ග්‍රාමීය පාසල් දරුවන්ගේ දෙමවුපියන්ට මෙය අමතර බරකි. එයින් වක්‍රාකාරයෙන් වන්නේ දුරකථන සමාගම් පොහොසත් වීම පමණි.

ග්‍රාම නිලධාරීන්ටද ටැබ් ලබාදීමට කටයුතු කරගෙන යන අතර, ඔවුන්ට ලබාදෙන ටැබ් යන්ත්‍ර ඇතුළට වතුර නොයන (Water Proof) හා බිම වැටුනොත් වැඩිපුර හානි නොවන ටැබ් යන්ත්‍රය. කෙසේ වුවද හොඳම ප්‍රමිතියෙන් යුතු ටැබ් ලබාදිය යුත්තේ පාසල් දරුවන්ටය.

ශ්‍රී ලංකාව තුළ ප්‍රසම්පාදන ක්‍රමය අතිශය අකාර්යක්‍ෂම මෙන්ම දූෂිතය. පිරිවැය අඩුකර ගනිමින් නව තාක්‍ෂණය යල්පැන යන්නට ඉඩනොදී ක්‍රමවත් හා හරවත් ලෙස දරුවන්ට ලබාදීමට හැකි නම්, එය රටේ අනාගතයට සාධනීය කාරණයක් වනු ඇත. තවද දූෂිත, ආකාර්යක්‍ෂම හා ඵලදායී නොවන ප්‍රසම්පාදන ක්‍රම බැහැර කිරීමද අත්‍යවශ්‍ය සාධකයකි.

නිපුන් ඒකනායක

Suhuru situwili

ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයට තවත් අවස්ථාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයට සත්‍ය වශයෙන්ම ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍යතාවක් ඇති බව නොපෙනේ. ඒ වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට දෑත් දික් කළද නායකයන් විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට සන්ධානයක් ලෙස ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුහුණදීමට තීරණය කර ඇත.

නමුත් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයට සත්‍ය ලෙසම ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය නම් තවත් එක් අවස්ථාවක් තිබේ. ඒ ඉදිරියේදී පැමිණෙන අයවැය ඡන්දයේදී එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරමින් අයවැය පරාජය කිරීමට කටයුතු කිරීමයි.  ඒ හරහා නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් තිබේ.

මේ වනවිට හම්බන්තොට වරාය චීනයට පවරාදී අවසන්ය. එහි මෙහෙයුම් කටයුතු ලබන 08 වැනිදා සිට ආරම්භ වීමට නියමිත බවට මාධ්‍ය තොරතුරු වාර්තා කළේය. හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළව ගිවිසුම්වලට අත්සන් කළේ ආණ්ඩුව නියෝජනය කරන 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකි.

ඉදිරියේදී මත්තල ගුවන් තොටුපොළද ඉන්දියාවට පවරාදීමට නියමිතය. ඒ සඳහා වන ගිවිසුම්ද අත්සන් කරනු ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකි. මේ අනුව වත්මන් යහපාලන ආණ්ඩුව විසින් සිදුකරන පව්වලින් වැඩි ප්‍රමාණයකට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය වගකිවයුතු වෙයි. අනෙක් අතින් ඔවුහු දිගින් දිගටම පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදෙමින් කටයුතු කරති.  
මැතිවරණ කොමසාරිස්වරයා කොන්ද කෙළින් තබා ගත් තීරණයක් හේතුවෙන් ආණ්ඩුව සිරවීමේ ප්‍රතිඵලය වූයේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් ඒවා ගොනු කළ පාර්ශ්ව විසින්ම ඉල්ලා අස්කර ගැනීමයි. මේ කුමන්ත්‍රණය පසුපස සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වය බවට බොහෝ දෙනෙක් චෝදනා කරන්නට වූහ. 

කෙසේ හෝ වේවා මේ වනවිට පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ඇති බාධා ඉවත්ව යමින් තිබේ. ඉදිරියට එන මැතිවරණ අපේක්ෂා කරගෙන ආණ්ඩුව මේ වනවිට කටයුතු ආරම්භ කර ඇත. ඒ අතර මැතිවරණ නීතිරීති උල්ලංඝනය වීම්ද සිදු වෙයි. ඉදිරියේදී වරාය අධිකාරිය වෙනුවෙන් සේවකයන් 3000 ක් බඳවාගැනීමට නියමිත බවටද තොරතුරු වාර්තා වේ.

මේ වනවිට හම්බන්තොට වරායේ රැකියා අහිමි වූ 450 ක පමණ පිරිසක් සිටිති. ආණ්ඩුව කළ යුතු වන්නේ මුලින්ම මෙම සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීමයි. හම්බන්තොට සිටින සේවකයන් ගැන ආණ්ඩුව සත්‍ය වශයෙන්ම වද වෙන්නේ නම් කළ යුතු වන්නේ ඔවුන්ට රැකියා ලබාදීමයි. 
පසුගියදා ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූවන් ඇතුළුව සමස්තයක් වශයෙන් ආබාධයට ලක්වූ ජනතාව වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. මුලින්ම පැවසිය යුතු වන්නේ ආණ්ඩුව නිසි සූදානමකින් සිටියා නම් සිදු වූ ජීවිත හානි බොහෝමයක් අවම කරගැනීමට අවස්ථාව තිබූ බවයි. ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රී ලංකාවට හදිසි ආපදාවක් සිදු වන බවට ප්‍රකාශ කරන විට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.
මේ අනුව ජනතාව එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යමින් සිටියහ. අාපදාවෙන් වැඩි වශයෙන්ම ජීවිතක්ෂයට පත්වූයේ ධීවරයෝය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හරියාකාරව ධීවර ප්‍රජාව දැනුවත් කළේ නම් ඔවුන්ට සිදු වූ හානිය වළක්වාගැනීමට අවස්ථාව තිබුණි. මේ පිළිබඳ අප පාර්ලිමේන්තුවේ පවා ප්‍රශ්න කරන විට ආණ්ඩුව සඳහන් කළේ ශ්‍රී ලංකාවට එවැනි බලපෑමක් නොමැති බවයි.  

නමුත් අපාදාවක් නැතැයි කියා පැය විසිහතරක් ගතවීමට මත්තෙන් ආපදාව පැමිණියේය.  ඒ සඳහා ජනතාව සූදානම් නොවී සිටීමෙන් විශාල හානියක් ඇති විය. මේ අතර ඇතැම් ප්‍රදේශ තුළ තවමත් විදුලිය යථාතත්ත්වයට පත්කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වී තිබේ. ඒ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇත.

කාලගුණය පාලනය කළ නොහැකි සාධකයකි. ඒ හේතුවෙන් 100% ක් නිවැරදිව අනාවැකි පළ කළ නොහැකිය. නමුත් ශ්‍රී ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුවට තවමත් ආසන්න වශයෙන් හෝ අනාවැකියක් පැවැසීමට නොහැකි වී තිබීම කනගාටුවට කරුණකි. 
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දිල්ලියේ පැවැත්වෙන තරගයේදී වායු දූෂණය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ගැටලුවකට පත්වීමේ සිදුවීම පිළිබඳ බොහෝ දෙනෙකු අවධානය යොමුකර ඇති තත්ත්වයක් දැකිය හැකිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඇති වූ අපහසුතාව වළක්වාගැනීම වෙනුවෙන් මුඛවාඩම් දමා ක්‍රීඩා කිරීම පිළිබඳ ඉන්දීය මාධ්‍යයත්, ඇතැම් ක්‍රීඩා විචාරකයනුත් උපහාසයෙන් කතා කරන අයුරු දැකගත හැකි විය.
නමුත් අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ ලෝකයේ ඉහළම වායු දූෂණයක් පවතින නගර අතර දිල්ලිය ඉදිරියෙන්ම සිටින බවයි. මෙවැනි තත්ත්වයකදී පන්දු යවන්නන්ට පන්දු යැවීම තරමක් අපහසු වෙයි. 
ශ්‍රී ලංකාවට සිදුවූයේද එයයි. ගුවන් යානා ධාවනය පවා නවත්වා තිබූ බවටද තොරතුරු වාර්තා විය. නවදිල්ලි නුවර තරග පැවැත්වීමේදී ඉදිරියේදී මේ පිළිබඳ හෝ අවධානය යොමුවනු ඇත. ක්‍රීඩාවේදී අංක එකට සලකා බැලිය යුතු වන්නේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවයි.
ඔබට සුබ අනාගතයක්!
ලබන සතියේදී යළිත් හමුවෙමු!

රනිල් ඇයි මෙහෙම

ඉන්දියානු සාගර කලාපයේ කාලගුණය කැළඹෙන්නට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ පසුගිය සති තුන ඇතුළත විශාල ලෙස කැළඹීමක් පැවතිණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහින්ද පිල අතර පැවැති සාම සාකච්ඡා හේතුවෙන් එම දෙපක්‍ෂය තුළත්, එක්සත් ජාතික පක්‍ෂය තුළත් විශාල කැළඹීම් ස්වරූපයක් තිබිණි. 

එමෙන්ම මහ බැංකු බැඳුම්කර සිද්ධිය මත අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසමට පැමිණීමත්, එම පැමිණීමට හා සමානව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් දියත් කරන ලද බැඳුම්කර කොමිසම එක්සත් ජාතික පක්‍ෂය දඩයම් කිරීම උදෙසා යොදාගත හැකි උපකරණයක් ලෙස මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීමත් වැනි කාරණා නිසා එක්සත් ජාතික පක්‍ෂය තුළ විචිකිච්චාවක් ඇති විය. 
එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විවේචනය කිරීමට උත්සාහ කළ අතර, සුජීව සේනසිංහ අමාත්‍යවරයා ඍජුවම ජනාධිපතිවරයා වෙත එම චෝදනා එල්ල කළේය. මෙම කාරණා දේශපාලන කරළිය තුළ සිදුවෙද්දී අග්‍රාමාත්‍යවරයා සිටියේ ඉන්දියානු සංචාරයේ නිරත වෙමිනි. එම සංචාරය අවසන් වී ශ්‍රී ලංකාවට පැමිණි විගස පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරනු ලැබුවේ, ජනාධිපතිවරයාට විරුද්ධව, ජනාධිපතිවරයාගේ පක්‍ෂය විසින් සිදුකරනු ලබන දේශපාලන කාරණාවලට විරුද්ධව ප්‍රකාශ නිකුත් නොකරන ලෙසයි. එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් එතරම් සතුටට පත් නොවූහ. නමුත් පක්‍ෂ නායකයාට එකඟවෙමින් ඔවුහු ජනාධිපතිවරයාට හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විරුද්ධව අදහස් දැක්වීම නවතා දැමූහ.

එක්සත් ජාතික පක්‍ෂයේ තත්ත්වය එසේ වුවත් රටේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම එහි නායකයන් විසින් එක්සත් ජාතික පක්‍ෂයට එරෙහිව මඩගැසීම් හා එහි නායකයා විවේචනය කිරීමක් පවත්වාගෙන ආවේය. අද වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් එක්සත් ජාතික පක්‍ෂය විවේචනය කිරීමේ කටයුතු ගම්මට්ටමේ සිට ජාතික දේශපාලන දක්වා හැම ස්ථරයකම සිදුකර ගෙන යයි. නමුත් එක්සත් ජාතික පක්‍ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වන්නේ කිසිදු හේතුවක් මත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලන කටයුතු විවේචනය නොකළ යුතු අතර, ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාකාරකමක නොයෙදිය යුතු බවයි.
සහජීවන ආණ්ඩුව පවත්වාගෙන යෑමෙන් මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්‍ෂයට හා ජනාධිපතිතුමාට ලබාදුන් ජනවරම අනුව පොරොන්දු වූ කටයුතු ඉටුකිරීමට අගමැතිවරයාගේ කැපවීම අප අගය කළ යුතුයි. විටෙක ඒ සඳහා ඔහුට හා ඔහුගේ පක්‍ෂයට ගෙවීමට සිදුවන වන්දිය විශාල වුවද, ජනවරමට අනුව කටයුතු කිරීමට අග්‍රාමාත්‍යවරයා අදිටන් කරගෙන ඇති බව බැලූ බැල්මට පෙනී යයි. කෙතරම් අපහසු තත්ත්වයක් තිබුණද, දේශපාලන බලය පවත්වා ගැනීමෙන් එහාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුකරණය පුළුල් දැක්මකින් හා පරිණතභාවයකින් යුතුව කරමින් සිටින බව අපට පෙනී යයි. විශේෂයෙන් එක්සත් ජාතික පක්‍ෂය මේ මොහොතේදී ජනතාව අතර සාපේක්‍ෂව ශක්තිමත් බවකින් පවතින අතර, පළාත් පාලන මැතිවරණය දිනාගැනීමේ ප්‍රබල හැකියාවක් ඇති බව අගමැතිවරයාගේ විශ්වාසයයි. 

එම නිසා මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලන ක්‍රියාවලිය ආරක්ෂා කරගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් දියත් කරනු ලබන වැඩපිළිවෙළට අකුල් හෙළීමෙන් වළකින ලෙසද එක්සත් ජාතික පක්‍ෂයට නියෝග කර තිබේ. 
මන්දයත් වත්මන් ආණ්ඩුව ස්ථාවරව පවත්වා ගැනීමට නම් එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත්ව පැවැතිය යුතු බව අගමැතිවරයාගේ අවබෝධයයි.
සැබැවින්ම එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහින්ද පිල නොහොත් පොදුජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ දැන් දැන් සමාජය තුළ විචිකිච්චාවක් පැනනැගී තිබේ. විශේෂයෙන්ම මහින්ද පිලට රට පුරා විසිරී පැතිරුණු පක්‍ෂ යාන්ත්‍රණයක් නොමැති නිසා එම මැතිවරණයට මුහුණදීමේ විශාල අපහසුකම් අත්විඳිමින් තිබේ. ජනතා විමුක්ති පෙරමුණටද සිදුව ඇත්තේ එයයි. ඔවුන්ද රට පුරා ඇති සියලුම කොට්ඨාසවලට අපේක්‍ෂකයන් යොදවා ගැනීමේදී කාන්තා නියෝජනයට අදාළ කාන්තා අපේක්‍ෂකයන් සොයාගැනීම් විශාල අර්බුදයකට මුහුණදී තිබේ.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ, පක්‍ෂ යාන්ත්‍රණය සියයට හැත්තෑවකටත් වඩා සතුව ඇත්තේ ජනාධිපතිවරයාගේ පිලටය. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපතිවරයාගේ පිලට මෙම තත්ත්වයට මුහුණදීමේ කිසිදු තාක්‍ෂණික අපහසුතාවක් නැත. 
එසේම එක්සත් ජාතික පක්‍ෂයට මෙවැනි තත්ත්වයන් අදාළම නොවේ. මේ මොහොත වනවිටත් එක්සත් ජාතික පක්‍ෂය අපේක්‍ෂක ලැයිස්තු සකස් කිරීමේ කටයුතුවල සියයට අසූවකටත් වඩා අවසන් කර ඇති අතර, අපේක්‍ෂකයෝ ඉතාමත් වේගයෙන් ග්‍රාමීය මට්ටමේ සංවිධාන කටයුතුවල යෙදෙමින් සිටිති. 

මෙම තත්ත්වය මත එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි විශ්වාසය, මෙම මැතිවරණය එක්සත් ජාතික පක්‍ෂයට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවයි. එම නිසා යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂ දෙකේ සහජීවනයට හානිවන ආකාරයේ කිසිදු දේශපාලන ක්‍රියාවලියක්, ප්‍රකාශයක් හෝ වැඩසටහනක් සිදුනොකරන ලෙස පක්‍ෂයේ සියලුම ස්ථරවල ක්‍රියාකාරීන්ට හා නායකයන්ට අගමැතිවරයා විසින් තරයේ අවවාද කරන ලදී.
මෙම තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්‍ෂය එක්තරා ආකාරයකට උභතෝකෝටිකයකට මුහුණදී තිබුණද, රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික වැඩසටහන හා සමාජ, ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණය පිළිබඳ කතිකාව ජනතාව හමුවේ තබමින් පරිණත දේශපාලනයක යෙදෙමින් පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරයි. 
එසේම චිරාත් කාලයක් වංචාවෙන්, දූෂණයෙන් හා අකාර්යක්‍ෂමතාවෙන් පිළුණු වී තිබූ ප්‍රාදේශීය පරිපාලනයට දක්‍ෂ, උගත්, බුද්ධිමත්, අලුත් මුහුණු හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභාවල බලය අත්පත් කර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය අපේක්ෂා කරයි.

චීනය, නැගෙනහිර යුරෝපයට පැමිණෙයි

ඇමෙරිකාව ලෝකය ජයගැනීමට සැරසුනේ තර්ජනයෙනි. ලෝක පොලිස්කාරයා වෙමිනි. තමන්ට අවනත නොවන රටවලට සම්බාධක පනවමිනි. ඒ සියල්ල හරහා ඔවුන්ගේ අභිප්‍රාය වූයේ තමන්ගේ වෙළෙඳාම ශක්තිමත් කිරීමයි. චීනයද තමන්ගේ ආර්ථිකය දියුණු වෙද්දී වෙළෙඳාම ශක්තිමත් කිරීමේ කාර්යයේ යෙදී සිටියි. එහෙත් චීනයට ලෝක පොලිස්කාරයා වීමට අවශ්‍ය නැත. තවත් රටකට තර්ජනය කිරීමට අවශ්‍ය නැත. තවත් රටක් පාලනය කිරීමට හෝ වෙනත් රටක් කොල්ලකෑමට අවශ්‍ය නැත. චීනය තමන්ගේ මිතුරා ශක්තිමත් කරමින් ලෝකය පුරා තමන්ගේ වෙළෙඳාම සිදුකරයි. 

නැගෙනහිර යුරෝපයේ රටවල් 16ක නායකයන් සමග හංගේරියාවේ බුඩාපස්ට් නුවරදී දින දෙකක විශේෂ සමුළුවකට එක්වූ චීන අගමැති ප්‍රමුඛ දූත පිරිස එය නිමා කරමින් පසුගිය අඟහරුවාදා නැගෙනහිර සහ මධ්‍යම යු‍රෝපීය නායකයන්ට පොරොන්දු වූයේ ඩොලර් බිලියන 3ක ආයෝජන කිරීමට චීනය සූදානම් බවයි. මෙය නැගෙනහිර සහ මධ්‍යම යුරෝපයේ සතුටට හේතු වන කරුණක් වුවද යුරෝපීය සංගමය (EU) නම් සසල වී ඇතුවාට සැක නැත. බ්‍රසල්ස්හි පිහිටි යූරෝපීය සංගමයේ මූලස්ථානයෙන් කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් නොමැති වුවද බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමයෙන් ඉවත් වීමෙන් පසුව ඔවුන්ට දැනුණු බරපතළම තිගැස්ම මෙය විය හැකිය.
චීනය ලබාදුන් මේ පොරොන්දුව මේ වන විටත් ඔවුන් නැගෙනහිර යුරෝපයේ සිදුකරමින් යන ආයෝජන සම්බන්ධයෙන් නිල වශයෙන් ලෝකයට දැනුම් දීමක් බව පැහැදිලි වෙයි. චීනය නැගෙනහිර යුරෝපයට පැමිණීම කොතරම් වැදගත් වී ඇතිදැයි හංගේරියානු අගමැති විකටර් ඔර්බාන් විසින් සිදුකළ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. ඔහු පැවසුවේ නැගෙනහිර යුරෝපීය රටවල් චීනයේ ආයෝජන ලබාගැනීමට දැවැන්ත තරගයක යෙදෙන බවයි. යුරෝපයේ දුප්පත් රාජ්‍යයන් ලෙස හැඳින්වෙන නැගෙනහිර යුරෝපීය රටවල් යුරෝපීය සංගමයේ සමාජිකයන් වුවද ඔවුන්ට යුරෝපීය සංගමයෙන් විශේෂ යමක් ලැබෙන්නේ නැත. මේ නිසාම චීන ආයෝජන නැගෙනහිර යුරෝපයට පැමිණීම හරහා නැගෙනහිර යුරෝපීය රටවලට බලපෑම් කරන බටහිර දේශපාලන දෘෂ්ටිය වෙනසක් වනු ඇතැයි බටහිර දේශපාලන යාන්ත්‍රණය බියට පත්වී තිබේ. 

චීන ආයෝජන පිළිගැනීමට එක් වූ රටවල් 16න් 11ක්ම යුරෝපීය සංගමයට අයත් ඒවා වෙයි. හංගේරියානු අගමැතිවරයාගේ අදහස වන්නේ යුරෝපීය සංගමයෙන් ලැබෙන ආධාර තමන්ගේ රටවල කාර්යයන් කරගෙන යෑමට ප්‍රමාණවත් නොවන බවයි. මේ නිසා චීන ආයෝජන සම්බන්ධයෙන් නැගෙනහිර සහ මධ්‍යම යුරෝපය ඇඳී යාම නැවැත්විය නොහැකි වී ඇත. මේ අතර චීනයට විරුද්ධව යුරෝපීය සංගමය නිකුත් කරන නිවේදන සඳහා නැගෙනහිර සහ මධ්‍යම යුරෝපීය රටවල් එක් නොවන ප්‍රවණතාවක්ද ඇතිවෙමින් තිබේ. මේ නිසා බටහිර දේශපාලන යාන්ත්‍රණය යළිත් වතාවක් නැගෙනහිර යුරෝපය දිනා ගැනීමේ උත්සාහයක යෙදෙමින් සිටියි. එහෙත් චීනයට අවශ්‍ය වන්නේ ඇමෙරිකාව මෙන් තමන්ගේ වැරදි වසා ගැනීමට අනෙක් රටවල් පාවිච්චි කිරීම නොවේ. මෙය බටහිර දෘෂ්ටිකෝණයෙන් චීනය දෙස බලන විට පෙනන චිත්‍රයයි. එහෙත් චීනයේ ප්‍රමුඛ අරමුණ වෙළෙඳාමයි. 

මේ අතර උතුරු කොරියානු ප්‍රශ්නය අරඹයා චීනය ක්‍රියා කරන ආකාරය විවේචනය කිරීමද මේ දිනවල බටහිර මාධ්‍ය දිගින් දිගටම සිදුකරමින් සිටියි. බටහිර මාධ්‍යවල තර්කය වන්නේ උතුරු කොරියාවට බලපෑම් කිරීමට චීනයට නොහැකි බවයි. ඒ හරහා චීනය ගෝලීය සුපිරි බලවතෙකු නොවන බව පෙන්වීමට බටහිර මාධ්‍ය උත්සාහ දරමින් සිටියි. කෙසේ වුවද චීනයට කිසිවෙකුට බලපෑම් කිරීමේ අවශ්‍යතාවක් නොමැත. ඔවුන් උතුරු කොරියාවට දන්වන්නේ සාමකාමීව සිටින ලෙසයි. එයට එක් හේතුවක් වන්නේ උතුරු කොරියාව සමග ඇමෙරිකාව යුද්ධයකට පැටලෙන්නේ නම් ඇමෙරිකාවේ බෝම්බ වැරදීම්වලින් චීන දේශ සීමාවටද වැටෙන්නට ඉඩ ඇති ඉතිහාසයක් ඇමෙරිකාවට තිබීම නිසාය. එසේම න්‍යෂ්ටික අවි සමග සෙල්ලම් කරන තරුණ උතුරු කොරියානු ජනාධිපතිවරයා මෙල්ල කිරීමට උත්සාහ කිරීමේ අවශ්‍යතාවක්ද චීනයට නැත. ඔහුගේ කාර්යය ඔහුට කරගෙන යෑමට ඉඩ දීම චීනයේ ක්‍රමය වී තිබේ. 

සිම්බාබ්වේ රාජ්‍යයේ සිදු වූ පාලනයේ වෙනස පිටුපසද චීනය සිටින්නේ යැයි චෝදනා එල්ල වෙයි. නව ජනාධිපති ම්වන්ගග්වා චීනයට හිතවත් යැයිද හමුදාව මුගාබේ නිවාස අඩස්සියට ගැනීමට දින කිහිපයකට පෙර සිම්බාබ්වේ හමුදාපතිවරයා චීනයට ගිය බවද නැගෙන චෝදනාවයි. එහෙත් මේ ආකාරයට කුමන්ත්‍රණ කිරීමේ අවශ්‍යතාවක් චීනයට නැත. හේතුව අතීතයේ සිට මුගාබේ පාලනයට චීනයෙන් සහයෝගයක් ලැබුණු නිසාය.  එහෙත් චීනයේ අපේක්ෂාව වන්නේ ශක්තිමත් දූෂණයෙන් තොර පාලනයක් ඕනෑම රටක බිහිවනු දැකීමයි. ඒ අනුව වර්තමාන සිම්බාබ්වේ පාලනය ශක්තිමත් වන්නේ නම් ඔවුන් දැනට සිම්බාබ්වේ හි ඇති සිදුකරන ආයෝජන තවත් ශක්තිමත් කරනු නියතය. බටහිර මාධ්‍යයට අවශ්‍යව තිබෙන්නේ තමන්ගේ රාමුවෙන් චීනය දෙස බැලීමට ලෝකය හුරු කිරීමටය. බටහිර රටවල් ලෝකය දිනා ගැනීමට සිදුකළ සියලු දේ චීනයද සිදු කරන්නේ යැයි උපකල්පනය කර ඔවුන් මේ කටයුත්ත සිදුකරයි. වඩාත් වැදගත් වන්නේ බටහිර මාධ්‍ය චීන පින්තූරය රාමු කරන බව දැනගෙන ඔවුන් කියවීමයි. 

පාසල ෆැක්ටරියක් වූ කල

ෆැක්ටරි ආකෘතියේ අධ්‍යාපනය (Factory model school)  යනු 19 වැනි සියවසේදී පමණ ලෝකයේ ප්‍රචලිත වූ අධ්‍යාපන මාදිලියකි. ශ්‍රී ලංකාව වැනි රටවල තවමත් ක්‍රියාත්මක වන්නේ එම මාදිලියයි. කාර්මික විප්ලවය සමයේ ෆැක්ටරිවල වැඩ කිරීමට අවශ්‍ය මිනිසුන් නිර්මාණය කර ගැනීම මෙම අධ්‍යාපන ක්‍රමයේ මූලික ඉලක්කය විය. 
සීනුවක් නාද කරන විට ආහාර ගැනීමට යෑම, නැවත සීනුවක් නාද කරන විට ආපසු පැමිණීම, පේළි සැදීම, සීනුවට අනුව සියලු කටයුතු සිදුකිරීම ආදිය මෙම අධ්‍යාපන ක්‍රමයේ ලක්ෂණයයි. මෙම පාසල්වල ඉහළ සිට පහළට දැඩි නිලධාරීවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වෙයි. දැඩි විනයක් අපේක්ෂා කෙරෙයි. නිදහස් චින්තනයට වඩා දිරිමත් කෙරෙන්නේ දෙන ලද ක්‍රමයක් යටතේ සිතීමටයි. 
ෆැක්ටරි ආකෘතියේ පාසල් සාමාන්‍ය සමාජයෙන් වෙන්කොට නිර්මාණය කෙරේ. මෙම පාසල්වල ගොඩනැගිලි පවා නිර්මාණය කෙරුණේ ෆැක්ටරි ගොඩනැගිලිවල ආකෘතිය අනුවයි. දැන් නැගෙනහිර ජර්මනිය වශයෙන් හැඳින්වෙන පෲසියාවේ (prussia) මුලින්ම එම අධ්‍යාපන ක්‍රමය අත්හදා බැලුණු අතර, හොරස් මෑන් (Horace Mann) විසින්  ඇමරිකාවට එය හඳුන්වා දෙන ලදී. වර්ග අඩි 800ක ෆැක්ටරි ආකෘතියට සාදන ලද පන්ති කාමරයකදී එකම වයස් කාණ්ඩයට අයත් ළමයින් 28 දෙනෙකු පමණ  පුහුණු කිරීම මෙම ක්‍රමය යටතේ සිදු විය. 

එහෙත් මේ වන විට මෙම ක්‍රමය යල් පැන ගොසිනි. බොහෝ රටවල් අධ්‍යාපනය සම්බන්ධයෙන් නව අත්හදා බැලීම් සිදුකරයි. ඒ අතරින් ෆින්ලන්ත අධ්‍යාපනය ලොව ඉහළින්ම සාර්ථක වූ අධ්‍යාපන ක්‍රමය ලෙස සැලකේ. ෆින්ලන්තයේ ළමයින් අවුරුදු 7 වනතුරු අකුරක් හෝ ඉගෙන ගන්නේ නැත. ගෙදර වැඩ හෝ විභාගවලින් ඔවුනට කරදරයක් නැත. අවුරුදු 16 වනතුරු කිසිදු දරුවෙකු විභාගයක් ලිවිය යුතු නැත. ඔවුන් පාසල් ගොස් පළමු අවුරුදු 06 ගතවනතුරුම කිසිදු තරගකාරී මැන බැලීමක් සිදුවන්නේද නැත. ඔවුන්ට වැඩි වශයෙන්ම පැවරෙන රාජකාරිය නම් පරිසරය හඳුනාගැනීම, සෙල්ලම් කිරීම වැනි දේයි.  

එරට සිසුන්ගෙන් සියයට 93ක් උපාධි ලබයි. එය යුරෝපයේ ඉහළම ප්‍රතිශතයයි. දක්ෂතම දරුවා සහ අදක්ෂතම දරුවා අතර පරතරය අඩුම රට එයයි. ගුරුවරුද පන්තියේ වැඩ කරන්නේ පැය 04ක් පමණි. පැය දෙකක් ඉගැන්වීම ගැන ඉගෙන ගනිති. ඔවුන්ට ඉහළ වැටුප් ගෙවනු ලබන අතර, වෛද්‍යවරුන් සහ නීතිඥයන් හා සමාන සමාජ පසුබිමක් හිමිවේ. ෆින්ලන්ත නීතිය අනුව සෑම විනාඩි 45කට වරක්ම විනාඩි 15ක විවේක කාලයක් ළමයින්ට ක්‍රීඩා කිරීම සඳහා ලබාදිය යුතුය. විභාගවලදී ඔවුන්ගෙන් විමසනු ලබන ප්‍රශ්නද සමාජ ජීවිතය හා බැඳුණු  ඒවා වෙයි. උදාහරණයක් ලෙස රැකියාවක් අහිමි වූ විට මුහුණ දෙන ආකාරය, ක්‍රීඩාවක නිරත වීමේදී අනුගමනය කළයුතු ආචාරධර්ම, ලිංගිකත්වය, කෑමබීම පාලනය කිරීම ආදිය ඒ අතර වේ. 
2001 වසරේ අන්තර්ජාතික සම්මතකරණ මැනුම් අනුව ගණිතය, විද්‍යාව, කියැවීම යන අංශවලින් ලෝකයේ අංක එකෙහි සිටින්නේ ෆින්ලන්ත දරුවන්ය. මේ වන විට ෆින්ලන්තය විෂයයන් පාදකව ඉගැන්වීම නතර කර ඇති අතර, මාතෘකා පාදක කර ගනිමින් ඉගැන්වීම සිදුකරයි. ඊට අමතරව ෆැක්ටරි ආකාරයේ පැරණි ගොඩනැගිලි පවා වෙනස් කෙරෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ටියුෂන් පන්ති ආදියෙන් බැටකන දරුවෙකුගේ සහ ෆින්ලන්ත පාසල් දරුවෙකුගේ වෙනස කොපමණද යන්න සිතා ගැනීමටද දුෂ්කරය. 

දර්ශන අශෝක කුමාර 

 

පළාත් පාලන ඡන්දය බලය පෙන්වන තැනක් නොවේ

පළාත් පාලන මැතිවරණය බලය රඳවා ගැනීමට, බලය පෙන්වීමට අවස්ථාවක් කර ගැනීමට ශ්‍රී.ල.නි.ප.ය, යූ.එන්.පී. ය හා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) කටයුතු කරමින් සිටිති. විවිධ ඩීල් දමති. සාකච්ඡා කරති. එක්වෙන්න හදති. මේ සියල්ල කරනුයේ තම තමන්ගේ දේශපාලන හයිය පෙන්වීමටය. නමුත් පළාත් පාලන ආයතන යනු දේශපාලන හයිය පෙන්වන්නට තිබෙන තැනක් නොවේය. එය හුදෙක් ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ඇති කළ ආයතනයකි. මේ හයිය පෙන්වීමෙන් තැළෙන්නේ අපිමය. 
ඉස්සර ගම්වල තිබුණේ ගම් සභා ක්‍රමයකි. ගම් සභාව හරහා ගම දියුණු කරන්නට, පොදු ප්‍රශ්න හඳුනා ගැනීමට 'මැම්බර්' කෙනෙකු ගම් සභාවට පත්කර ගත්තේය. ඔහු වැඩ කළේ ස්වෙච්ඡාවෙනි. ඔවුහු ගම දියුණු  කරන්නට එකට එක්වී කටයුතු කළහ. 

එම ගම් සභාවේ පරිනාමණයෙන් මෙම ප්‍රාදේශීය සභා, පළාත් පාලන ආයතන බිහි වී ඇත. එයින් සිදු කරන්නේද යටගිය දවස ගම් සභාවලින් කළ කාර්යයන්හි වැඩිදියුණු අවස්ථාවයි. පළාත් පාලන ආයතනයක් අපේ ජන ජීවිතයට බෙහෙවින් සමීපය. පළාත් පාලන නියෝජිතයන් පවසන්නේ උපතේ සිට මරණය දක්වාම ජනතාවගේ ජීවිතයට පළාත් පාලන ආයතන බද්ධව ඇති බවය. එය සැබෑවකි. කනත්ත, ආදාහනාගාරය පවා අයිති වෙන්නේ පළාත් පාලන ආයතනයටය. දැන් ඡන්දය නොපවත්වා වසර දෙකක් ඉක්මවා ගොස් ඇත. තමන්ගේ බලය රැකගැනීම උදෙසා පළාත් පාලන ඡන්දය වසර දෙකක් මුළුල්ලේ නොපැවැත්වීමෙන් ජනතාව අධික ලෙස පීඩාවට පත්ව ඇති බව නොරහසකි.
අද වනවිට පළාත් පාලන ආයතන විසුරුවාහැර ඇති අතර පාලනය වන්නේ කොමසාරිස්වරයෙකු යටතේය. ඒ සභාවේ ලේකම්ට පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ගැසට් පත්‍රයක් මගින් විශේෂ කොමසාරිස්වරයෙකු ලෙස බලය පැවරීමෙනි. මේ පත්කිරීම් හරහා අද වනවිට දැඩි අකාර්යක්‍ෂම තත්ත්වයට පළාත් පාලන ආයතන පත්වී ඇත. 

කොමසාරිස් යනු රජයේ පරිපාලන නිලධාරියෙකි. පරිපාලන නිලධාරීන් බොහෝ දුරට ඇඟ බේරාගෙන කටයුතු කරන පිරිසක් බවද කිවයුත්තේ කනගාටුවෙනි. අප අමාත්‍යාංශවල සිටින පරිපාලන නිලධරීන්, ලේකම්වරුන්ද එසේමය. බෑ කියාගත් ගමන්ය. දෙයක් කියූ විට කතා කරන්නේ නොකෙරෙන පැත්තටමය. ඒ රාජ්‍ය යාන්ත්‍රණය සකස් වී ඇති අවිඥානික ආකාරයයි. එබැවින් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට, සභාපතිට තරම් වැඩ කිරීමේ උනන්දුවක් මෙම පරිපාලන නිලධාරීන්ට නැත.
මාර්ග ප්‍රතිසංස්කරණය  කසළ කළමනාකරණය, වීථි ලාම්පු ඇතුළු පළාත් පාලන ආයතන මගින් ඉටුවිය යුතු කරුණු කාරණා රාශියක් ඉටු නොවෙමින් පවතී. විශේෂයෙන්ම ගමේ පාර හදාගන්නට දැන් හැකියාවක් නැත. සභාවක මන්ත්‍රීවරු තමන්ගේ ගමේ පාරවල් කොහොමින් හරි හදා ගනිති. උදාහරණයක් ලෙස ගමේ පාරක් හදන්නට ඇත්නම් ඒ අදාළ ගමේ මන්ත්‍රීවරයා සභාවට ගොස් කෙසේ හෝ එම පාර සාදාගන්නට අවශ්‍ය ප්‍රතිපාදන සම්මත කර ගනියි. නැත්නම් ඔහුට ගමේ මිනිසුන්ට මුහුණදෙන්නට නොහැකිය. 
ගමේ වැඩවලට එන පීඩනය දැනෙන්නේ ගමේ මන්ත්‍රීටය. නැතහොත් පරිපාලන නිලධාරියාට නොවේ. සමහරු එම පීඩනය නිසාම වැඩ කරති. ප්‍රතිපාදන මදිනම් පළාත් පාලන මන්ත්‍රී, සභාපති හෝ නගරාධිපතිට මධ්‍යම රජයේ ඇමතිවරුන්ට බලපෑම් කළ හැකිය. විශේෂයෙන්ම පළාතේ මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන්ට බලපෑම් කළ හැක. මන්ද ඇමතිවරුන්ගේ ආසනවල බිම් මටම්මේ සංවිධායකයන් වන්නේ පළාත් පාලන නියෝජිතයන්ය. එම නිසා ප්‍රතිපාදන වෙන් කරවාගෙන හෝ අවශ්‍ය වැඩ කටයුතු කරගැනීමට පළාත් පාලන නියෝජිතයන්ට පුළුවන.

දැන් හරියට කුණු ටික ඇදෙන්නේ නැත. පසුගිය කාලයේ ඩෙංගු ඩෙංගු යැයි කියමින් හැමෝම කෑමොර දුන්නා මතකය. ඩෙංගු කියා සෞඛ්‍ය ඇමතිට බැණ අඩගසා වැඩක් නැත. කළ යුත්තේ කසළ කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන බලාත්මක කිරීමය. කුණු කානු ශුද්ධ වන්නේ නැත. කුණු ටික හරියට ඇදෙන්නේ නැත. එක් පළාත් පාලන ආයතනයක කම්කරුවෙකු පැවසුවේ කොමසාරිස්වරයාගේ ක්‍රියා කලාපය නිසා සිය ට්‍රැක්ටරයට තෙල් ගසා ගැනීම අපහසු වී ඇති බවයි. 
පරිපාලන නිලධාරීන්ට දේශපාලඥයන් තරම් ජනතා සේවයට උනන්දුවක් නැත. ඔවුන්ට කුණු ඇද්දත් එකයි නැතත් එකය. නමුත් ගමේ දේශපාලඥයාට එහෙම නැත. කුණුටික ඇද ගන්නට බැරි වුණොත් ගමෙන් එන්නේ කුණු බැණුම්ය. යථාර්ථය ඒකය. &වීදි ලාම්පු දාගන්න විදිහක් නෑ*. &කුණුටික ඇදගන්න බෑ*. &ගෙදර ප්ලෑන් එක පාස් කරගන්න බෑ*, &කුණු හින්දා ඩෙංගු හැමතැනම*. මේ ජනතාවගෙන් එන චෝදනාය. ආණ්ඩුව කළ යුත්තේ ඉක්මනින්ම පළාත් පාලන ආයතන සඳහා වන ඡන්දය තැබීමය. 
ආණ්ඩුව බලය බෙදීම ගැන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරමින් සෝබන වැඩ කරනවාට වඩා කළ යුත්තේ ඉක්මනින් පළාත් පාලන ඡන්දය පවත්වා පළාත් පාලන ආයතන බලාත්මක කිරීමය. &ප්‍රාථමික මට්ටමින් බලය බෙදාහැර ඇති පළාත් පාලන ටික හරියට බලාගන්න බැරිව ෆෙඩරල් ගැන ලොකු ටෝක් දෙනවා* යැයි ආණ්ඩුවට සමච්චල් කරන්නටද බැරි නැත. 

තමන්ගේ ගෙදර ප්ලෑන් එක පාස් කරන්නේද පළාත් පාලන ආයතන මගිනි. පළාත් පාලන ආයතනය ඇති කළේ කාගේවත් දේශපාලන හයිය බලන්නට නොවේය. ජනතාවට උදව් කරන්නටය. සහභාගිත්ව සංවර්ධනය ඇති කරන්නටය. ජනතාවට දැනෙන පොඩි වැඩ ටික හරියට කරන්නටය. එදා ගමේ %මැම්බර්^ මන්ත්‍රී කළේ ප්‍රේමදාසය. ප්‍රේමදාසට මේ පළාත් පාලන ආයතන ගැන හොඳ අවබෝධයක් තිබුණේය. මහින්දත් පළාත් පාලන ආයතනවලට හොඳට සැලකුවේය. පළාත් පාලන ආයතන දියුණු කළේය. කවුරු මොනා කීවත් හොඳ දේට අපි හොඳයි කිව යුතුමය. ගමේ පාරවල් ටික හැදෙන්න ඕනෑය. ගම දියුණු කළොත්, රටත් දියුණු වන්නට පුළුවන්ය.  එය මහා පිටුබලයකි.

වෙලාවට මැතිවරණ පැවැත්වීම යහපාලන අංගයකි. ඒ නිසා ජනතාව වෙනුවෙන් පෙනී සිටින, ජනතාවගේ උපතේ සිට මරණය දක්වා බද්ධව ඇති පළාත් පාලන ආයතන මැතිවරණය පවත්වා යළි සක්‍රීය කළ යුතුය.
නමුත් තවත් දෙයක් අවසානයේ කියන්නට ඇත. මේ පළාත් පාලන මැතිවරණය පසුගිය අවුරුදු 2 ගැන ආණ්ඩුවට දෙන ප්‍රගති වාර්තාවක් වගේය. එහෙමත් නැතිනම් කුඩා ජනමත විචාරණයක් බවට පත්වීමේ ඉඩක්ද ඇත. මේවා කෙසේ වෙතත්  ජනතාවට සමීප මෙවැනි ආයතන තවත් බලාත්මක කර, අවශ්‍ය ප්‍රතිපාදන දී කාර්යක්‍ෂම ජනතා සේවයක් ලබාදීමට ඕනෑම ආණ්ඩුවක් කටයුතු කිරීම ගුණදායකය.