Category Archives: Champions Trophy 2017

තුන් ඉරියව් ක්‍රීඩකයන් කියලා යොදා ගැනීම වැදගත් නෑ

කණ්ඩායමක් ලෙස ඉදිරියට යෑමේදී ඉදිරියේදී විශේෂීකරණය වූ ක්‍රීඩකයන් යොදා ගැනීම වැදගත් බවත් තුන් ඉරියව් ක්‍රීඩකයන් යනුවෙන් ක්‍රීඩකයන් තෝරා ගැනීම වැදගත් නොවන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කරයි. පාකිස්තානයට එරෙහිව ඊයේ (12දා) පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.  

"අපි ඉස්සරහට යද්දී විශේෂීකරණය වූ ක්‍රීඩකයන් තෝරගන්න වෙයි සමහර අවස්ථාවලදී. තුන් ඉරියව් ක්‍රීඩකයන් කියලා නිකං ගහලා තේරුමක් නෑ. නමුත් මම හිතන්නේ ඒ ඒ තණතිලි හැටියට වෙනස් වෙන්න වෙයි.

ඉස්සරහට යද්දී සමහර විට ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්. තේරීම් කමිටුවත් සමග සාකච්ඡා කරලා අපිට ඉන්න ක්‍රීඩකයන් වෙනස් කරලා යවන්න පුළුවන්. නමුත් ඉස්සරහට යද්දී ඒ දේවල් වෙනස් වෙන්න වෙයි."

අසේල ගුණරත්න  පන්දු යැවීමට අඩුවෙන් යොදාගැනීම.

"ගිය තරගයේදීත් (ඉන්දියාවට එරෙහි) අසේල ගුණරත්නගේ පන්දු යැවිම ගැන කතා කළා. නායකයෙක් ලෙස හැමෝටම අවශ්‍ය දේ පිටිය මැද කරන්න බෑ. මට ඒ අවස්ථාවේදී හැගෙන දේ තමයි මම කරන්නේ හරි වුණත් වැරදි වුණත්. ඒ දේ මම කරනවා භය නැතුව. මොකද මම තමයි අන්තිමේදී උත්තර දෙන්නේ. ඒ වෙලාවේ පිතිකරුවන් මොකක්ද කරන්න යන්නේ කියලා තමයි වෙනස් කම් කරන්නේ."

දුර්වල පන්දු රැකීමෙන් ශ්‍රී ලංකාව පරදියි

(UPDATE) පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තීරණාත්මක තරගය කඩුලු තුනකින් ජය ගැනිමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම තරගයේ පරාජයට මූලිකම හේතුව විය. තරගයේ තිරණාත්මක අවසථාවේදී පාකිස්තාන නායක සෆ්රාස් අහමඩ් මාලිංගගේ පන්දුවකට ලබාදුන් පහසු උඩපන්දුවක් තිසර පෙරේරා අතින් ගිලිහී ගිය අතර මාලිංගගේ ඊළග පන්දුවාරයේදිම සෆ්රාස් ලබාදුන් තවත් උඩපන්දුවක් සීක්කුගේ ප්‍රසන්න අත්හැරියේය. ඊට අමතරව ශ්‍රී ලංකා පන්දු යැවීම ආරම්භ කරමින් ලසිත් මාලිංග යොමුකළ පළමු පන්දුවාරයේදී ධනුෂ්ක ගුණතිලකද උඩපන්දුවක් අත්හැරියේය. තීරණාත්මක දුවද්දී දැවී යෑම් දෙකක් ශ්‍රී ලංකා පන්දු රකින්නන්ට මගහැරුණු. 

පාකිස්ත්න කණ්ඩායම ලකුණු 162කට කඩුලු හතක්ව පවතින විට නායක සෆ්රාස් අහමඩ් හා මොහොමඩ් අමීර් නොබිඳුණු ලකුණු 75ක සබඳතාවක් ගොඩනගමින් තරගය ජයගත්තේය. ඒ අනුව ඔවුන් අවසන් පූර්ව තරගයටද සුදුසුකම් ලැබීය.


ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 237ක ඉලක්කය හඹා යමින් සිටින පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 17කදී කඩුලු තුනකට ලකුණු 99ක් රැස්කරගෙන සිටියි. පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 74දී දැවී ගියේය.

දැවී ගිය ක්‍රීඩකයන්

ෆක්හාර් සැමන් 50

බාබර් අසාම් 10

මොහොමඩ් හෆීස් 01


පාකිස්තානයට ලකුණු 237ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2 කදී සියලු දෙනා දැවි ලකුණු 236ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා පාකිස්තාන කණ්ඩායමට ලකුණු 237ක ඉලක්කයක් හිමිවිය. 


ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ ඉනිමද එක් ලකුණකට අවසන් විය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 36කදී කඩුලු 7ට ලකුණු 174ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ලකුණු 13කදී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4ක් බිඳී ගියේය.


දික්වැල්ලත් දැවී යයි

 ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු රැස්කරගෙන සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු මොහොමඩ් අමීර්ගේ පන්දුවක් හමුවේ සෆ්රාස් අහමඩ් ලබාගත් දක්ෂ උඩපන්දුව හේතුවෙන් පිටියෙන් ඉවත්විය. ඔහු ලකුණු 73ක් රැස්කරගෙන සිටියේය. තිසර පෙරේරා හා අසේල ගුණරත්න පිටියේ නොදැවී රැඳී සිටිති.


නායක මැතිව්ස්ගේ හා ධනංජයගේ ඉනිම් අවසන් 

ලකුණු 39ක් රැස්කරගෙ සිටි නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම අවසන් කිරීමට මොහොමඩ් අමීර් සමත්විය. ඒ ඔහු යොමුකළ පන්දුවක් පිත්තේ දැවටී කඩුල්ලේ වැදීමෙනි. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ඔහුගේ පළමු කඩුල්ල මෙය වෙයි. මැතිව්ස් හා දික්වැල්ල සිව්වැනි කඩුල්ලට පන්දුවා 16.1කදී ලකුණු 78ක සබඳතාවක් ගොඩනැංවීය. නව පිතිකරු ලෙස පිටියට පිවිසි ධනංජයද සිල්වාද එක් ලකුණක් රැස්කරගෙන සිටියදී ජුනයිඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහම්ඩ්ට උඩපන්දුවක් ලබාදෙමින් පිටියෙන් ඉවත්විය. නව පතිකරු ලෙස අසේල ගුණරත්න පිටියට පිවිසියේය.

නිරෝෂන් දික්වැල්ල 73*


 දික්වැල්ල අර්ධ ශතකය ලබයි

සිය එක්දින දිවියේ සිවුවැනි අර්ධ ශතකය රැස්කිරීමට නිරෝෂන් දික්වැල්ල සමත්විය. ඒ ශූරයන්ගේ කුසලාන තරගාවලියේදීය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22ක් අවසානයේදි කඩුලු තුනකට ලකුණු 106ක් රැස්කරගෙන සිටියි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 7 (පන්දු 24)


 චන්දිමාල් දැවී යයි

නැවත වරක් අසාර්ථක වෙමින් සිටින දිනේෂ් චන්දිමාල් පාකිස්තායට එරෙහිව පැවැත්වෙන තරගයේදීත් ලකුණු නොලබා දැවී ගියේය. ෆාහිම් අක්‍රම් යොමුකළ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියේය. මුළු ලකුණු සංඛ්‍යාවය 83දී ඔහුගේ ඉනිම අවසන් විය.

චන්දිමාල් අවසන් එක්දින ඉනිම 10දී ලකුණු රැස්කළ අයුරු 05, 01, 22, 36, 04, 59, 24, 21, 12, 0


කුසල්ගේ ඉනිම අවසන්

ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 27ක් රැස්කරගෙන සිටියදී හසන් අලීගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. ඒ මුළු ලකුණු සංඛ්‍යාව 82 (පන්දුවාර 14.5)දීය. නොදැවී කඩුල්ලේ රැඳී සිටින නිරෝෂන් දික්වැල්ල ලකුණු 40ක් රැස්කරගෙන සිටියි.


ගුණතිලකගේ ඉනිම අවසන්

ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ  පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 13කට දැවී ගියේය. ජුනයිඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ෂොයිබ් මලික් වෙත උඩපන්දුවක් ලබාදෙමින් ඔහු පිටියෙන් ඉවත්විය. පන්දුවා 5.1ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 26ක් රැස්කරගෙන සිටියි. 


ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ අවසන් තරඟය ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර අද (12දා) කාඩිෆ්හී සොෆියා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ විණි.

කාසිය වාසිය දිනාගත් පකිස්තානු නායක සර්ෆ්‍රාස් අහමඩ් පළමුව පන්දු රැකීම තොරාගත්තේය.

පකිස්තානය වෙනුවෙන් දඟ පන්දු යවන ශදාබ් කාන් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ෆාහිම් අෂ්රෆ් කණ්ඩායමට කැඳවා තිබෙන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අබාධයකට ලක්වූ කුසල් ජනිත් වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට නම් කර තිබේ.

මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලබනු ඇත.

264294 264296

එක ලකුණකට කඩුලු 3ක් දැවී යයි

ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 34ක් අවසානයේදී කඩුලු හයකට ලකුණු 165ක් රැස්කගෙන සිටියි.

පන්දුවාර 31.1 කදී කඩුලු 3කට ලකුණු 161ක් ලෙස දිස් වූ ශ්‍රී ලංකා ඉනිම අමීර් යොමුකළ 31.2 පන්දුවේදී නායක මැතිව්ස් දැවි යාමත් සමග තරගය වෙනස් විය.

ඉන් අනතුරුව අමීර් යොමුකළ පන්දු 4ට එක් ලකුණක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවිය. 32.3 පන්දුව යොමුකළ ජුනයිඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ධනංජයද සිල්වා එක් ලකුණකට දැවීගියේය.

ඔහුගේ ඊළඟ පන්දු තුනටම කිසිඳු ලකුණක් රැසකර ගැනීමට ශ්‍රී ලංකා පිතකරුවන්ට නොහැකි විය. නැවතත් 33.1 පන්දුව යොමුකළ මොහොමඩ් අමීර්ගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල දැවී ගියේය. ඒ අනුව එක් ලකුණකට ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනෙකු දැවී ගිය අතර තරගය එයින්ම වෙනස්විය.

 

අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙනුවෙන්

අයි.සී.සී ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන තෙවැනි තරගය අද (12දා) එංගලන්තයේ කාඩිෆ්හිදී පැවැත්වේ. ඒ පාකිස්තානු කණ්ඩායම සමගිනි. 'බී' කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව යන සියලුම කණ්ඩායම් මෙම සටහන තබන මොහොත වනවිට එක් තරගය බැගින් ජයගෙන සිටින බැවින් අද තරගය ශ්‍රී ලංකාවට මෙන්ම පාකිස්තානයටද එකසේ වැදගත්ය. ඒ අද තරගය ජයගන්නා කණ්ඩායමට අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවන බැවිනි.

පසුගිය බ්‍රහස්පතින්දා (08දා) ඉන්දියාවට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගය විශිෂ්ට ලෙස ජය ගනිමින් ශ්‍රී ලංකාව 'බී' කාණ්ඩයේ තරගකාරීත්වය තීව්‍ර කළේය. විශේෂයෙන් අත්දැකීම් අඩු තරුණ කණ්ඩායමක් වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 322ක ඉලක්කයක් පසුපස හඹා ගොස් අත්දැකීම් බහුල ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු 07කින් පරාජයට පත්කිරීම පැසසිය යුතුය. එවැනි දක්‍ෂතාවක් ඉදිරිපත් කළ හැක්කේ, හැකියාවෙන් පෝෂිත කණ්ඩායමකට පමණි. ්කෙදක්ෂතාවක් ඉදිරිපත් කළ හැක්‍ෙකෙසේ වෙතත් එවැනි දක්‍ෂතාවන් දිගින් දිගටම ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ කළ යුතුය. එසේ නොවන්නට ඉන්දියාවට එරෙහිව ලද ජයග්‍රහණය අහම්බයක් වනු වැළැක්විය නොහැකිය.

චාමර කපුගෙදරගේ ආබාධය හේතුවෙන් දෙවැනි තරගයට ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරමින් කණ්ඩායමට අවශ්‍යම ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහුගේ ඉනිම දෙවැනි තරගයේ ජයග්‍රහණයට ප්‍රබල පිටිවහලක් විය. අද තරගයේදී ද ආරම්භක පිතිකරුවන්ගෙන් හොඳ ආරම්භයක් අවශ්‍යය. එසේ වුවහොත් පාකිස්තානු කණ්ඩායම පහසුවෙන් පීඩනයට හසුකරගත හැකිය.

දෙවැනි තරගයේදී ආබාධයට ලක්වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායම සමගින් එක්ව සිටියි. කුසල්ගේ ආබාධය ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසියකි. ඒ අවසන් පන්දුවාර කිහිපයේදී මෙන්ම ලකුණු වේගයෙන් රැස්කළ යුතු අවස්ථාවක කුසල් ජනිත් වැනි ක්‍රීඩකයෙකු කණ්ඩායමේ සිටීම ඉතා වැදගත් වන බැවිනි. එබැවින් කුසල් ජනිත් වෙනුවට ධනංජය සිල්වා කණ්ඩායම සමගින් එක් වුවද සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායමට කැඳවීමට අවස්ථාවක් ඇත.

මේ අතර තිසර පෙරේරාද පෙරේදා (10) සිය පුහුණුවීම්හි නිරතව සිටියදී පන්දුව හිසේ වැදී ආබාධයකට ලක්ව තිබේ. එසේ නමුත් ඉන් තිසරට එතරම් බලපෑමක් නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

දෙවැනි තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්, පන්දු යවන්නෙකු ලෙස අසේල ගුණරත්න යොදාගත් ආකාරය ගැන එතරම් සෑහීමකට පත්විය නොහැකිය. අප දන්නා පරිදි පසුගිය තරගාවලි කිහිපයේ සිටම අසේල ගුණරත්න හොඳින් පන්දු යවමින් සිටියි. එවැනි තත්ත්වයක් යටතේ මෙන්ම කඩුල්ලක් දවාගෙන සිටි අවස්ථාවක ඔහුට තවත් එක් පන්දු වාරයක් යැවීමට අවස්ථාවක් ලබාදෙන්නට තිබුණි. එම පන්දුවාරයට වේගයෙන් ලකුණු රැස්කළේ නම් පමණක් ඔහුව ඉවත් කරන්නට තිබුණි. එසේ නොමැතිව පන්දුවාර 3ක් යවා ලකුණු 7කට එක් කඩුල්ලක් දවාගෙන සිටි අවස්ථාවේ, අසේල පන්දු යැවීමෙන් ඉවත් කිරීම නොකළ යුතුව තිබුණි.

දෙවැනි තරගයේදී ප්‍රහාරයකට ලක්වුවද, ලසිත් මාලිංග අද තරගයේදී සිය වගකීම මැනවින් ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. විශේෂයෙන්ම තනිව තරගයක් ජයග්‍රහණය කළ හැකි පන්දු යවන්නෙකු ලෙස ජාත්‍යන්තර පිටියේ නමක් දිනා සිටින ලසිත්, අද තරගයේදී සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණෙනු ඇතැයි බොහෝදෙනාගේ විශ්වාසයයි. එසේ වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල වාසියකි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (12දා) ප.ව. 3.00 ආරම්භවීමට නියමිතව ඇත.

 

ඉන්දියාව පහසුවෙන් අවසන් පූර්ව වටයට

ශිකර් ධවාන් හා විරාත් කෝලිගේ නොනවතින පිතිහරඹය ඉදිරියේ අසරණ වූ දකුණු අප්‍රිකාව පරදා ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව වටයට පහසුවෙන්ම පිවිසීමට ඉන්දියාව සමත්විය‍.

ඒ  ඊයේ (11දා) කෙනිංන්ටන් ඕවල්හිදී පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් හිමි කරගනිමිනි. තරගාවලිය් %බී^ කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය පැවැත්විණි.

තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් මෙම තරගය අනිවාර්යයෙන්ම ජයගැනීම දෙපිලටම අවශ්‍යව තිබූ අතර ලකුණු 192 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දුවාර 38 කදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන යනතෙක් රැඳී සිටි විරාත් කෝලි නොදැවී ලකුණු 76 ක්ද යුවරාජ් සිං නොදැවී ලකුණු 23 ක්ද රැස්කළහ.

ඉන්දීය ඉනිම ආරම්භ කරමින් රෝහිත් ෂර්මා හා ශිකර් ධවාන් පිටියට පිවිසියත් රෝහිත්ට දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට මෝනි මෝකල්ගෙන් අවස්ථාවක් නොලැබිණි.

නමුත් ඉන් අනතුරුව විරාත් කෝලි සමගින් එක්වූ ධවාන් දෙවැනි කඩුල්ලට ලකුණු 127 ක සබඳතාවක් පැවැත්වූහ. නැවතත් සාර්ථකවූ ධවාන් එහිදී ලකුණු 78ක් රැස්කළේය.

තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් ඉන්දීය නායක විරාට් කෝලි පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. ඒ අනුව දකුණු අප්‍රිකානුවන් සිය පළමු ඉනිමට පන්දුවාර 44.3කදී සියලු දෙනා දැවී  ලකුණු 191ක් රැස්කළේය. දකුණු අප්‍රිකානු ඉනිමට සාර්ථක ආරම්භයක් ක්වින්ටන් ඩි කොක් හා හෂීම් අම්ලා ලබාදුන්නද මැදපෙළ පිතිකරුවන්ගෙන් ඊට අවැසි දායකත්වය නොලැබිණ. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ක්වින්ටන් ඩි කොක් ලකුණු 53 ක් රැස්කළේය.

එහිදී අවසන් ලකුණු 51 තුළදී දකුණු අප්‍රිකානු පිතිකරුවන් 8 දෙනෙකුම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දියානු පන්දු යවන්නෝ සමත්වූහ.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බුවනේෂ්වර් කුමාර් හා ජස්ප්‍රීට්  බුම්රා කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

තරගයේ වීරයා සම්මානය ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ ජස්ප්‍රීට් බුම්රාහ්ට හිමිවිය.

දකුණු අප්‍රිකාව 191/10 (පන්දුවාර 44.3)

ක්වින්ටන් ඩිකොක් 53 (72,4×4), ෆෆ් ඩු ප්ලසිස් 36 (50,4 x1), බුවනේෂ්වර් කුමාර් 2/23(7.3), ජස්ප්‍රිට් බුම්රාහ් 2/28(08)

ඉන්දියාව 193/2 (38)

ශිකර් ධවාන් 78 (50,4×1,6×1),  විරාට් කෝලි 76 (නොදැවී)  (50,4×1,6×1), මෝනි මෝකල් 1/38 (7), 1/37 (6)

කුසල් වෙනුවට ධනංජය කණ්ඩායමට

ඉන්දියාව සමග ඊයේ පැවති එක්දින තරගය අතරතුරදී ආබාධයට  ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට තරගාවලියේ ඉතිරි තරග සදහා ධනංජයද සිල්වා  කණඩායමට එක් වීමට එංගලන්තය බලා පිටත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය  කරයි. එමෙන්ම අතිරේක ක්‍රීඩකයෙකු ලෙස හා දිල්රුවන් පෙරේරා ද එංගලන්තය බලා පිටත් වීමට නියමිතය.

කුසල් ජනිත් ඊයේ (08) පැවති තරගය අතරතුරදී කළවයේ ආබාධයකට ලක් විමෙන් පිටියෙන්  ඉවත් වූ අතර ඒ පිළිබද ඔහුව අද (09) දිනයේදී පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මැදපෙළ පිතිකරුවන් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කරයි

මැදපෙළ පිතිකරුවන්ගේ ඉවසිලිමත් පිතිහරඹය නිසා අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගයෙන් පෙරළිකාර ලෙස කඩුලු07 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

තරගාවලියේ 'බී' කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය ලන්ඩනයේ කෙනිංටන් ඕවල්හිදී පැවැත්විණි.

ලකුණු 321 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව සිය ඉලක්කය සපුරාගත්තේ පන්දුවාර 48.4කදී කඩුලු03 ක් පමණක් දැවී තිබියදීය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල ලකුනු 7 කට දැවී ගියත් ඉන් අනතුරුව ධනුෂ්ක ගුණතිලක සමගින් පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස් ඉවසිලිමත් පිතිහරඹයක නිරත වෙමිනි. ශ්‍රී ලංකා ඉනිම ශක්තිමක් කළේ පන්දුවාර 23.1කදී ලකුණු 159 ක සබඳතාවක් එක් කරමිනි.

ධනුෂ්ක මෙහීදී සිය එක්දින දිවියේ තෙවැනි අර්ධ ශතකය වාර්කා කරමින් ලකුණු 76 ක්ලබා ගත් අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා  වූ කුසල් මෙන්ඩිස් ලකුනු 89 රැස්කලේ සිය එක්දින දිවියේ 9 වැනි අර්ධ ශතකය වාර්තා කරමිනි.

කෙසේ වෙතත් කුසල් පෙරේරා ලකුණු 47 ක් ලබා සිටියදී ආබාධයකට ලක් විමෙන් පිටියෙන් ඉවත් වූ නමුත් ශ්‍රී ලංකා ජයග්‍රහණයට බාධාවක් කර නොගත් අසේල ගුණරත්න මැතිව්ස් සමගින් එක්ව ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ගෙනගියේ පන්දු 42ක් පමණක් වැය කරමිනි.සුපුරුදු වේගවත් පිතිහරඹයට යොමු වූ අසේල පන්දු 21කදී නොදැවී ලකුණු 34 ක් රැස් කළේය.

ඉනිමේ අවසන් භාගයේදී නොදැවී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක ඇන්ජලෝ මැතිව්ස් සිය එක්දින දිවියේ 32 වැනි අර්ධ ශතකය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව අවසන් වරට  එක්දින තරගයකදී ඉන්දියාව පරාජයට පත් කළේ 2014 වර්ෂයේදීය.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය එළඹෙන11 වැනිදා පාකිස්තානය සමගින් කාඩිෆ්හිදීපැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු06 ක් දැවී ලකුණු 321 ක් රැස් කළහ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට පන්දුවෙන් එතරම් සාර්ථක වීමට මෙහිදී ඉඩක් නොලැබුණු අතර, සිය පරිණතභාවය තරමක් දුරට විදහා දැක්වූ ලසිත් මාලිංග කඩුලු 02ක් දවාළීය. ඊට අමතරව සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා හා අසේල ගුණරත්න අතරේ එක් කඩුල්ල බැගින් බිඳී ගියේය.

තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ කුසල් මෙන්ඩිස්ට හිමි විය.

 

එංගලන්තයට ලකුණු 87ක ජයක්

(UPDATE)  එංගලන්ත  කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 87ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. එංගලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 311ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 223ක් පමණි. නායක කේන් විලියම්සන් ලකුණු 87ක් රැස්කළේය. එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් ලියම් ප්ලන්කේට් කඩුලු 4ක් දවා ගත්තේය.


ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49.3කදී සියලු දෙනා දැවී ලකුණු 310ක් රැස් කිරීමට සමත්වූයේය. ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, ජෝස් බට්ලර් අර්ධ ශතක රැස්කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළේය. නවසීලන්තය වෙනුවෙන් කුරේ ඇන්ඩර්සන් හා ඇඩම් මිලන් කඩුලු තුන බැගින් දවාගත්හ. තරගයේ ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායම ලකුණු 311ක් රැස්කළ යුතු වෙයි.

ඉන්දීය තරගයට මැතිව්ස් ක්‍රීඩා කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අනිද්දා (08දා) පැවැත්වීමට නියමිත තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කිරීමට නියමිතය.

ආබාධයක් හේතුවෙන් ඔහුට දකුණු අප්‍රිකාව හා පැවැති තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි විය.

අනිද්දා තරගයේදී මැතිව්ස් පන්දු යැවීමට ඇත්තේ අවම ඉඩක් වන අතර ඔහු පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට සිය දායකත්වය ලබාදෙනු ඇතැයි වාර්තා වෙයි.

දකුණු අප්‍රිකාව හා පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූ හෙයින් තරගාවලියේ ඉදිරියට යෑමටනම් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතුම වෙයි.

 

මැතිව්ස් නැති වුණොත් ශ්‍රී ලංකාව ගැටලුවක – සංගා

ශූරයන්ගේ කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අනිද්දා (08දා) පැවැත්වීමට නියමිත තරගයට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරයිනම් එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල බාධාවක් වෙනු ඇත බව කුමාර් සංගක්කා සඳහන් කරයි.

මෙවර තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස එක්ව සිටින සංගා අනිද්දා තරගය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවියට ලිපියක් ලියමින් මේ බව සඳහ්න කරයි.

එසේම මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 නියමිත වේලාවේදී යොමු කිරීමට කටයුතු කිරීම වඩාත් වැදගත් බවත් සංගා පෙන්වා දෙයි. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකාව පන්දුවාර 50 යොමුකිරීමට නියමිත වේලාවට වඩා විනාඩි 39ක් ගත කිරීම අනුමත කළ නොහැකි කරුණක් බවත් සංගා සඳහන් කරයි.

මෙම තරගයට උපුල් තරංග නොමැතිවීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් බවත් නියමිත පන්දුවාර සංඛ්‍යාව නියමිත වේලාවට යොමු කිරීමට කඩුලු රකින්නා, අනෙකුත් පන්දු රකින්නන් මෙන්ම පන්දු යවන්නන් වැඩි වගකීමක් ගත යුතු බවද ඔහු පවසයි.

ඉන්දියාව හා පැවැත්වෙන තරගයට තිසර පෙරේරා එක් කර ගැනීම වැදගත් බවත්  ඉන්දියාව මෙම තරගයට ඉහළ විශ්වාසයක් සහිතව පැමිණෙනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

තරගයට පැමිණීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නැවත සංවිධානය වීමත් නැවත සිතීමත් වැදගත් බවත් ක්‍රීඩා සැලැස්මද වෙනස් කළ යුතු බව ඔහු නේවා දෙයි.

තරගයට පැමිණීමේදී තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම උද්වේගයෙන් යුතුව කටයුතු කළොත් එය ඉන්දියාව හා පැවැත්වෙන තරගය ජයගැනීම හේතුවක් වෙන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.