Category Archives: business

වසරක් භාවිත කළ විද්‍යුත් මෝටර් රථ බදුත් අඩුවෙයි

බෑන්ඩ් නිව් විද්‍යුත් මෝටර් රථ සඳහා පමණක් ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණු බදු සහනය, වසර 01ක් පමණක් භාවිත කළ රිකන්ඩිෂන් විද්‍යුත් මෝටර් රථ සඳහාද ලබාදීමට හැකිවන ලෙස එම යෝජනාවේ සංශෝධනයක් සිදුවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

2018 අයවැය යෝජනා අනුව විද්‍යුත් මෝටර් රථ සඳහා පනවා තිබූ ආනයන බදු රු.ලක්ෂ 10කන් පමණ අඩුවනු ඇති බව මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී පවසා සිටියේය.

කෙසේ වෙතත්, භාවිත කළ වාහන මෙරටට ආනයනය කරන වාහන ආනයනකරුවන් බොහෝ දෙනෙකු මෙය අසාධාරණ යෝජනාවක් බව පවසා සිටි අතර, එවැනි යෝජනාවක් මේ අවස්ථාවේ ඵලදායී නොවන බවද ඔවුන්ගේ තර්කය විය.

ඒ අනුව, මෙම තත්ත්වයන් සලකා බලමින් වසර 01ක් පමණක් භාවිත කළ විද්‍යුත් මෝටර් රථ සඳහාද එම බදු සහනය ලබාදෙමින් අදාළ සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව දැනගන්නට ලැබේ.

මුදල් අමාත්‍යාංශයේ මෙම තීරණය සම්බන්ධයෙන් භාවිත කළ වාහන මෙරටට ගෙන්වන වාහන ආනයනකරුවන්ගේ ප්‍රසාදය හිමිවී ඇත. ඒ අනුව, ලබන වසරේදී බ්‍රෑන්ඩ් නිව් ලීෆ් රථද මෙරටට ගෙන්වීමට ඒ.එම්.ඩබ්. සමාගම තීරණය කර ඇති බව ප්‍රකාශ කරන නිසා ඉදිරියේදී පාරිභෝගිකයන්ට හරිත ඉන්ධන යොදා ගැනෙන වාහන සඳහා නැඹුරු වීමට වැඩි ඉඩප්‍රස්ථා උදාවන බව ද ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ව්‍යවසායක ශ්‍රී ලංකාවක් සංකල්පය ප්‍රශංසනීයයි – ජාතික වාණිජ මණ්ඩලය

2018 අයවැය යෝජනා අතර වූ 'ව්‍යවසායක ශ්‍රී ලංකාවක්' යන මැයෙන් රජය ඉදිරිපත් කර ඇති නව සංකල්පය ඉතාමත් ප්‍රශංසනීය බවත්, එය රට තුළ ව්‍යාපාර සංවර්ධනය දිරිමත් කිරීම සඳහා සාධනීය පියවරක් වනු ඇති බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි.

මෙවර අයවැය යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ අදහස් දැක්වීම සඳහා පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

එහිදී, 2018 අයවැය යෝජනා සම්බන්ධයෙන් ඉස්මතු වූ 'ව්‍යවසායක ශ්‍රී ලංකාවක්' සංකල්පයත් සමග 'ව්‍යවසායක ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය' සහ කෘෂි ක්ෂේත්‍රය සංවර්ධනය මෙන්ම, කාන්තා හා තරුණ ව්‍යවසාය සංවර්ධනය කිරීමට මෙවර අයවැයෙන් රජය යෝජනා ඉදිරිපත් කර ඇති බව එම මණ්ඩලය පවසයි.

ඊට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ මූල්‍ය අවශ්‍යතා සඳහා රු.බිලියන 10ක් වෙන්කරමින් සංවර්ධන බැංකුවක් පිහිටුවීමට රජය යෝජනා කිරීමත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය ලබාගැනීමේ ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ණය පහසුකම් අරමුදලක් ස්ථපිත කිරීමේ යෝජනාවද මෙහිදී පැසසුමට ලක්විය.

නීල ආර්ථිකය වැඩසටහන යටතේ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම දිරිගැන්වීම සහ ධීවර අංශය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ යෝජනා මෙහිදී අගය කර ඇති අතර, මහනුවර, ගාල්ල, අනුරාධපුරය සහ යාපනය යන නගර සඳහා යෝජිත සංවර්ධන ව්‍යාපෘති මගින් කලාප සඳහා ආර්ථික ප්‍රතිලාභ ලබාදෙනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

එමගින් කලාපය සඳහා බෙහෙවින් අවශ්‍ය සමාන සංවර්ධන අවස්ථා සැපයීම සහ රට තුළ ජාතික සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහාද සහාය වනු ඇති බවත්, රටේ මාර්ග යටිතල පහසුකම් සංවර්ධනය ආර්ථිකය කෙරෙහි ධනාත්මක බලපෑමක් එල්ල කරන අතර රජය ඉදිරිපත් කර ඇති නිර්මාණාත්මක යෝජනා වන ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සහ සියලු විද්‍යුත් වාහන සඳහා බදු අඩු කිරීම ප්‍රශංසනීය බවද එම සංගමය පෙන්වා දෙයි.

මීට අමතරව, ආදායම් අංශ සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රතිපත්ති අනුකූලතාවන් පිළිබඳ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ අදහස වන්නේ කෙටි කාලීන තාවකාලික ආදායම් ප්‍රතිපත්තිවලට වඩා මධ්‍ය කාලීන ආදායම් ප්‍රතිපත්ති යෝග්‍ය බවය. කෙසේ වෙතත්, මේ යෝජනා ඒ ආකාරයෙන්ම සවිබල ගැන්වීම රජයට බලවත් අභියෝගයක් වනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

සුළු හා මධ්‍ය පරිමාණ අංශ සංවර්ධනය අරමුණු කොට ගෙන රු.බිලියන 10ක මුදලක් වෙන් කිරීම සහ වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රය කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් කාලෝචිත බවද ඔවුන් පවසයි. අමතර බදු (Para-tariffs) ඉවත් කරමින් ආයෝජනය සඳහා පැහැදිලි පසුතලයක් ඇති කිරීමට රජය ගන්නා උත්සාහය යහපත් බවද ඔවුන් පවසයි. එමෙන්ම, වෙළඳ පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති තනි කවුළු පද්ධතිය (Single Window System) සහ වාණිජ තොරතුරු ද්වාරය (Trade Information Portal) අභියෝගාත්මක වුවද එය ප්‍රමාදයකින් තොරව ඉටුවීම බලවත් අවශ්‍යතාවක් බවද ඔවුන් පෙන්වා දෙයි. තවද දෙශීය කර්මාන්ත ආරක්ෂා කිරීම අරඹයා ගෙන ඒමට නියමිත ප්‍රපාතන නීති (Anti-dumping Laws) ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් වසර දෙකක් පුරා රජයට කරුණු දක්වා ඇති අතර එම පියවරද මෙහිදී අගය කිරීමට ලක්ව තිබේ.

ඒ අනුව, ඉදිරි වසර කිහිපය තුළ ඇ.ඩො.බිලියන 5ක් දක්වා විදේශ ඉපැයීම් වැඩි කිරීමේ අරමුණින්  තොරතුරු තාක්ෂණ අංශය සඳහා වැඩි අවධානයක් ලබාදී ඇති අතර, මෙම වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ තොරතුරු තාක්ෂණ ආරම්භකයන්ට සහාය දැක්ව්ම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය හරහා රු.බිලියන 3ක් වෙන්කර ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

අවසන් වශයෙන් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය තුළ පිහිටුවීමට නියමිත ආයතනය ජාතික වාණිජ මණ්ඩලයේ ඇගයීමට ලක්වන බවත්, රජය විසින් ඉදිරිපත් කර ඇති සියලු අයවැය යෝජනා ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ශක්තිය සහ හැකියාව ලැබේවා යන්න, ජාතික වාණිජ මණ්ඩලයේ ප්‍රාර්ථනය බවත් එම මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.

IMG_3586 IMG_3580

ඡායාරූප – ප්‍රදීප් දිල්රුක්ෂණ

2018 දී නිසාන් ලීෆ් බ්‍රෑන්ඩ් නිව් ලංකාවට

2018 වසරේදී ශ්‍රී ලංකාවට නිසාන් ලීෆ් බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්.) සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රදීප් විජේරත්න මහතා 'අද'ට පවසා සිටියේය.

මෙවර අයවැය යෝජනාවලදී විද්‍යුත් මෝටර් රථ සඳහා නිෂ්පාදන බදු අඩුකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව පවසන අදහස් මෙන්ම, අයවැය යෝජනාවල මෝටර් රථ සම්බන්ධයෙන් සිදුව ඇති නිෂ්පාදන බදු වෙනස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මෙසේ පැවසීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රදීප් විජේරත්න මහතා,

"විද්‍යුත් මෝටර් රථ ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අප දැනටමත් ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම සමග සාකච්ඡා කර, විද්‍යුත් මෝටර් රථ ආරෝපණයට අවශ්‍ය පහසුකම් (චාජින් සෙන්ටර්ස්) ආරම්භ කිරීමේ මූලික අදියරේ පසුවෙනවා. ජපානයේ නිසාන් සමාගම විද්‍යුත් මෝටර් රථ ගෙන්වීමේදී ඒවායෙන් ඉවත්කරන බැටරි නිවැරදි ආකාරයට ගබඩා කරන ආකාරයත්, ඒවා යළි ප්‍රතිඅපනයනය කරන ආකාරයත් පිළිබඳ අපත් සමග සාකච්ඡා කළා. ඒ අනුව, ඊට අවශ්‍ය පහසුකම් අප සම්පූර්ණ කර ඇති නිසා මෙම වාහන ලබන වසරේදී අපට ගෙන්වීමට අවකාශය සැලසෙනවා. එවැනි තත්ත්වයක් නොමැතිව ජපානයේ නිෂ්පාදන සමාගම එම වාහන ගෙන්වීමට අවසරය ලබාදෙන්නේ නැහැ.

නමුත්, අද රීකන්ඩිෂන් වාහන ලංකාවට ගෙන්වනවා. මේවායේ බැටරි සම්බන්ධයෙන්, ඒ වාහන සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවුද? ඇත්තම තත්ත්වය නම් මේවා නීත්‍යානුකූල නොවන ආකාරයට, නිෂ්පාදකයා නොදැනුවත්ව ගෙන්වූ වාහන. ඒ පැරණි බැටරි ඉවත් කරන්න තැනක් නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි වාහනයක බැටරි ආයුකාලය අවසන් නොවී, එක්වරම බැටරියේ දෝෂයක් ඇති වුණොත් බලයලත් නියෝජිතයාට ඒ වෙනුවෙන් අලුත් බැටරියක් ලබාදීමේ වගකීම තිබෙනවා. නමුත්, රීකන්ඩිෂන් වාහනයක එවැනි දෝෂයක් ඇති වුණොත් ඒ වියදමත් පාරිභෝගිකයා පිට පැවරෙනවා. විවිධ පාර්ශ්ව රීකන්ඩිෂන් විද්‍යුත් වාහන සඳහාත් මේ වගේ බදු සහනයක් ඉල්ලා සිටියත්, මේ පාරිසරික තත්ත්වයන් යටතේ එවැනි යෝජනාවකට එකඟ වීමට වගකිව යුතු රජයකට හැකියාවක් නැහැ.

ඒ වගේම, ශ්‍රී ලංකාවට විදේශයකින් වාහනයක් ගෙන්වීමේදී මෙරට පාවිච්චි කිරීමට සුදුසු වාහනයක් ගෙන්විය යුතුයි. ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන පෙට්‍රල් හා ඩීසල්වල ගුණත්වය අනුව, ප්‍රමිතීන් අනුව, උෂ්ණත්වයට හා පරිසර තත්ත්වයන්ට, මාර්ග තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කළ වාහනයක් තමයි වගකිව යුතු බලයලත් නියෝජිත ආයතනයක් විසින් ගෙන්වන්නේ. එසේ නොමැතිව, වෙනත් රටවල්වල තත්ත්වයට අනුව නිෂ්පාදනය කළ වාහනයක්, නිෂ්පාදකයාගේද අනුදැනුමකින් තොරව මෙරටට ගෙන්වා පාරිභෝගිකයා මුල නොකළ යුතුයි. සමස්තයක් ලෙස රීකන්ඩිෂන් වාහන ගෙන්වීමෙන් සිදුවන්නේ අපේ රටේ විදේශ විනිමය අමතර කොටස් සඳහාම විදේශයන්ට ඇදී යාමයි. නමුත්, බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගෙන්වීමේදී, බොහෝ විට කිලෝමීටර් 100,000ක හෝ වසර තුනක් නොමිලේ වගකීමක් ලබාදීමට නීත්‍යනුකූල බලයලත් නියෝජිත ආයතනය බැඳී සිටිනවා. එවැනි රථයක වගකීම් කාලයක තුළ සිදුවන දෝෂ සඳහා අමතර කොටස් ගෙන්වීමට රටේ විදේශ විනිමය වැයවීමක් සිදුවන්නේ නැහැ.

මෙවර අයවැය යෝජනා අනුව එන්ජින් ධාරිතාව 1,000 ට අඩු වාහන සඳහා මිලෙහි අඩුවැඩි වීමක් නැහැ. ඇතැම් අය එහි අඩුවීමක් ඇති බව සඳහන් කළත්, එවැනි දෙයක් නොමැති බව පැහැදිලියි. එකම දෙය නම් මේ දක්වා එන්ජින් ධාරිතාව සහ ඉන්වොයිසියේ මිල (වටිනාකම පදනම් වූ) අනුව නිෂ්පාදන බදු අයකළ ක්‍රමවේදයෙන්, ඉන්වොයිසියේ මිල අනුව බදු අයකිරීම ඉවත් කර තිබෙනවා. ඒ අනුව, ඉදිරියට එන්ජින් ධාරිතාව මත පමණක් බදු අය කිරීම සිදුවෙනවා. එහිදී, පෙට්‍රල් සහ පෙට්‍රල්-හයිබ්‍රිඩ් වාහන සඳහා එන්ජින් ධාරිතාව 1,300 සිට 1,500 දක්වා ඒකක බදු රු.500/- බැගින් වැඩිවෙනවා. නමුත්, 1,000 සිට 1,300 දක්වාත්, 1,500 සිට 1,600 දක්වාත් ඒකක බදු වැඩිවීමක් සිදුවන්නේ නැහැ. කෙසේ වෙතත්, එන්ජින් ධාරිතාව 1,600 සිට 1,800 දක්වාත්, 1,800 සිට 2,000 දක්වාත් ඒකක බදු රු.500/- බැගින් වැඩිවෙනවා. ( උදාහරණයක් හැටියට 1,290cc එන්ජින් ධාරිතාව වාහනයක් වැටෙන්නෙ 1,000 සිට 1,300 මාදිලියට. එම ධාරිතාවයේ වාහනයක මිල වැඩිවීමක් මෙවර අයවැයෙන් සිදුවන්නේ නැහැ. නමුත්, 1,490cc එන්ජින් ධාරිතාවයේ වාහනයක් 1,300 සිට 1,500 මාදිලියට වැටෙන නිසා, එවැනි එන්ජින් ධාරිතාවයේ වාහනයක මිල වැඩිවීමක් මෙවර අයවැයෙන් සිදුවෙනවා.)

එමෙන්ම, රජයේ සේවයකන්ට ලබාදුන් වාහන බලපත්‍රවලට ගෙන්වන වාහනවලට උපරිම සීමාව ඉවත්කර තිබෙනවා. ඒ නිසා ඕනෑම වටිනාකමක වාහනයක් ගෙන්වීමේ හැකියාව පවතිනවා. නමුත්, තීරුබදුවලින් උපරිම අඩුකිරීම රු.ලක්ෂ 30ක් පමණයි. මීට අමතරව, දැනට පවතින වසර 7ක් තුළ ගෙවනු ලබන සුඛෝපභෝගී වාහන බද්ද වෙනුවට එකවර ගෙවනු ලබන සුඛෝපභෝගී වාහන බද්දක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව, වාහනයේ එන්ජින් ධාරිතාව අනුව අර්ධ සුඛෝපභෝගී ගණයට වැටෙන වාහන සඳහා රු.250,000/- සිට රු.500,000/- දක්වා වාහනය ලියාපදිංචි කිරීමේදී එකවර ගෙවන බදු මුදලක්ද, සුඛෝපභෝගී ගණයට වැටෙන වාහන සඳහා රු.මිලියන 01ක එකවර ගෙවන බදු මුදලක්ද, අධි සුඛෝපභෝගී වාහන සඳහා රු.මිලියන 2ක එකවර ගෙවන බදු මුදලක්ද ඇතුළත් වෙනවා.

කෙසේ වෙතත්, එක පැත්තකින් රීකන්ඩිෂන් වාහන ගෙන්වන අයට විශාල ලාභයක් මේ අයවැය යෝජනා හමුවේ ලැබී තිබෙනවා. මන්දයත්, මේ බදු වැඩිකිරීම් දැනට තිබෙන තොගවලට බලපාන්නේ නැහැ. ඉදිරියේදී ගෙන්වන වාහනවලට පමණයි. නමුත්, මේ බදු වැඩිවීම දැනට ගෙන්වනලද වාහනවලටත් එකතු කරමින් පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට පුළුවන්. වාහන කිහිපයක් ගෙන්වන අය නොවෙයි, විශාල වශයෙන් වාහන ගෙන්වන ලොකු ව්‍යාපාරිකයන් සතුව මේ වනවිටත් විශාල වාහන තොග පවතිනවා. මේ තොග අනිවාර්යයෙන්ම මේ වැඩිවුණු ගණන්වලට තමයි විකුණන්නෙ.

ඒ වගේම, ඉන්වොයිස් මිලට බදු අයකිරීම ඉවත්කිරීමත් සමග සිදුවන තවත් කරුණක් සඳහන් කළ යුතුයි. එනම්, යුරෝපයේ නිෂ්පාදනය කරන වාහන තිබෙනවා. ඒ වගේම, ජපානයේ, කොරියාවේ, ඉන්දියාවේ මෙන්ම චීනයේ නිෂ්පාදිත වාහන තිබෙනවා. එහිදී, යුරෝපීය වාහනවල එන්ජින් ධාරිතාවට වඩා ඉන්වොයිස් මිල වැඩි නිසා ඒ සඳහා බොහෝවිට ඉන්වොයිස් මිලට නිෂ්පාදන බදු අය වීමක් මීට පෙර සිදුවුණා. නමුත්, දැන් ඉන්වොයිස් මිලට බදු අයවීම ඉවත්කර ඇති නිසා, මේ සෑම රටකින්ම ගෙනෙන වාහනවලට (උදාහරණයක් හැටියට එන්ජින් ධාරිතාව 1,500 නම්) එන්ජින් ධාරිතාව අනුව එකම බදු මුදලක් අය වෙනවා. වාහනයේ වටිනාකම කවරක් වුණත්, චීනයෙන්, ජපානයෙන්, කොරියාවෙන් හෝ ජර්මනියෙන් ගෙනාවත්, කවර රටකින් ගෙනාවත් නිෂ්පාදන බද්ද එකයි. මේ තත්ත්වය තුළ චීන සහ ඉන්දියානු වාහනවලට පවතින ඉල්ලුම අඩුවෙන්න පුළුවන්.

අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ වාහන ආනයනකරුවන් කියා පිරිසක් නිතර මාධ්‍ය හමු පවත්වන පිරිසක් නිසා ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරන්නේ මොවුන් පමණක් යැයි කියා මිනිසුන් මුලා වෙන්න පුළුවන්. නමුත්, සැබෑ තත්ත්වය නම් මෙය ජපානයේ ලියාපදිංචි කළ වාහන මෙරටට ගෙන්වීමේ එක් සංගමයක් විතරයි. මෙවැනි සංගම් තවත් කිහිපයක් පවතිනවා.

නමුත්, ජපානයේ පමණක් නොවෙයි, ලෝකයේ වාහන නිෂ්පාදකයන්ගේ සියලුම දේශීය නියෝජිතයන් නියෝජනය කරන ලංකා රථ වාහන අලෙවිකරුවන්ගේ සංගමය (Ceylon Motor Traders Association) නීත්‍යනුකූල වාහන, ඒ ඒ රටවල නිෂ්පාදකයන්ගෙන් මෙරටට ගෙන්වීම සිදුකරනවා. ලෝකයේ පිළිගත් මෝටර් රථ ගෙන්වා බෙදාහරින බලයලත් නියෝජිතයන් රැසක් මෙම සංගමය සමග සිටිනවා. මෙම සංගමය යටතේ ඇති නියෝජිත ආයතන ජපානයේ ලියාපදිංචි කළ වාහන නිෂ්පාදකයාගේ අනුදැනුමකින් තොරව ගෙන්වන්නේ නැහැ. ඒ වගේම, ශ්‍රී ලංකාවේ පාවිච්චි කිරීමට නුසුදුසු යැයි පැවසෙන වාහන ගෙන්වන්නේ නැහැ. නමුත්, ලාභ ලැබීම පමණක් පරමාර්ථය කරගත් පාර්ශ්ව, වෙනත් රටවලට නිෂ්පාදනය කළ වාහන කුණු කොල්ලයට ගෙනැවිත් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට විකුණා විශාල ලාභ ලබනවා. මේ නිසා පාරිභෝගිකයා වඩාත් බුද්ධිමත්ව බලයලත් අලෙවි නියෝජිතයෙකුගෙන්, වගකීමේ සහතිකයක් සමග තමාගේ මෝටර් රථය ලබාගැනීමට කටයුතු කළොත් මුලා නොවන්නේ ඔබයි."

01

ඡායාරූප – ප්‍රදීප් දිල්රුක්ෂණ

විද්‍යුත් මෝටර් රථ බදු සහනවල අක්‍රමිකතාවක්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ හරිත අයවැය යටතේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස විද්‍යුත් මෝටර් රථ පැවතියත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපිරීමට තවදුරටත් කටයුතු යෙදිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමය මෙසේ පවසා සිටියේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී රජය විසින් යෝජනා කර ඇති විද්‍යුත් මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාන ඉදිකිරීම අත්‍යවශ්‍ය පියවරක් ලෙස හඳුන්වාදුන්නද විද්‍යුත් මෝටර් රථ රට තුළ ව්‍යාප්ත කිරීම සඳහා එවැනි මෝටර් රථ රටට පැමිණීමට ඉඩ සැලැස්වීම වැදගත් බවත් එම සංගමයේ සභාපති රංජන් පීරිස් මහතා සඳහන් සඳහන් කළේය.

"මේ සඳහා චාර්ජින් සෙන්ටර්ස් විතරක් තිබුණට මදි. මේ වාහන රට තුළට පැමිණෙන විදියට ඉඩ සලසාදීමත් අතිශය වැදගත්. මොකද මේ ලබාදී ඇති තීරු බදු සහනය ක්‍රියාත්මක වුණොත් විද්‍යුත් වාහන රට තුළට අනිවාර්යයෙන්ම පැමිණෙනවා" යැයිද ඒ මහතා මෙහිදී පවසා සිටියේය.

විශේෂයෙන්ම අයවැය යෝජනාවේ සඳහන් වන ආකාරයට විද්‍යුත් වාහන සඳහා රු.ලක්ෂ 10ක තීරු බදු සහන යටතේ යොදා ඇති අලුත් සහ භාවිත කළ විද්‍යුත් මෝටර් රථ යන යෙදුම අක්‍රමිකතාවක් ලෙස හඳුන්වා දෙන එම සංගමය, එය නිවැරදි කිරීමකින් පසුව අදාළ සහනය පාරිභෝගිකයන්ට ලබාගත හැකි වනු ඇතැයි සඳහන් කර සිටියේය.

"අපි දන්න විදියට රටේ ප්‍රචලිත වෙලා තියෙන විද්‍යුත් මෝටර් රථයක් වන නිසාන් ලීෆ් රථය අලුතින්ම එහෙමත් නැත්නම් බ්‍රෑන්ඩ් නිව් විදියට ගෙන්වන්න හැකියාව තියෙන්නේ එහි මෙරට නිසාන් සමාගමේ නියෝජිතයාට. ඒත් ඔවුන් එම වාහන මෙරටට ගෙන්වන්නේ නෑ. ඒත් භාවිත කළ වාහන ගෙන්වන්නන් හැටියට අපේ සංගමය ඒ වාහන ගෙන්වනවා. මේ සිදුවෙලා තියෙන අක්‍රමිකතාව නිවැරදි කළොත් එය සකස් වේවි." යනුවෙන්ද එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතරම දැනට රජය විසින් අයවැය යෝජනා යටතේ ලබාදී ඇති බදු සහනය ක්‍රියාත්මක වුවහොත් අවම වශයෙන් රු.ලක්ෂ 30ක පමණ මුදලකට නිසාන් ලීෆ් රථයක් මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට හිමිවනු ඇති බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

3

මේ අතර, පසුගිය සිකුරාදා (10දා) මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයද පවසා සිටියේ 2018 වසර සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනා මගින් විදුලියෙන් ක්‍රියාකරන මෝටර් රථ සඳහා අඩුකළ රු.ලක්ෂ 10ක මුදල පාරිභෝගිකයන්ට හිමි නොවන බවයි.

ඒ අනුව මෙලෙස විද්‍යුත් මෝටර් රථ සඳහා අදාළ බදු සහනය හිමි නොවීමට පවතින එකම බාධාව වන්නේ යෝජනාවේ සඳහන් වන ආකාරයට අලුත්ම සහ භාවිත කළ ලෙස මෝටර් රථ සඳහා කොටස් දෙකක් අන්තර්ගත වීම බවත් ඔවුන් පවසා සිටියේය.

"මේ යෝජනාව මගින් රු.ලක්ෂ 10ක බදු සහනයක් හිමි වන්නේ අලුතින්ම මෙරටට ගෙන්වන විදුලි මෝටර් රථවලට පමණයි. ඒත් අපේ රටට ඒ අලුත්ම වාහන එන්නේ නෑ. දැනට රටේ තියෙන විද්‍යුත් මෝටර් රථ වුණත් අපි වගේ ආනයනකරුවන් මෙරටට ගෙන්වපු වාහනයි." යනුවෙන් එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා සඳහන් කළේය.

මෙහිදී විශේෂයෙන්ම දැනට රටෙහි ජනප්‍රියත්වයට පත්ව ඇති විද්‍යුත් මෝටර් රථයක් වන නිසාන් ලීෆ් රථය මෙරටට ගෙන්වීම සඳහා එහි නිෂ්පාදකයන් විසින් අදාළ බලයලත් මෙරට නියෝජිත සමාගම වෙත අවස්ථාව ලබානොදෙන බවත්, ඊට මෙරට විද්‍යුත් මෝටර් රථ සඳහා වන පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවක් ලෙස සඳහන් කරන බවත් මෙහිදී අනාවරණය විය.

"අයවැයෙන් ලබාදී තියෙන මේ වාසිය දැනට හිමිවෙන්නේ ඒ නිෂ්පාදනය මෙරටට ගෙන්වන බලයලත් නියෝජිතයාට පමණයි. ඒ හරහා රට තුළ විද්‍යුත් මෝටර් රථ සඳහා ඒකාධිකාරයක් බිහිවීම අනිවාර්යයෙන්ම සිදුවෙනවා." යැයි සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව සිදුවිය යුත්තේ අයවැයේ විද්‍යුත් මෝටර් රථ යටතේ සඳහන් වන අලුත්ම සහ භාවිත කළ යන කාණ්ඩ දෙක ඉවත්කර තනි කාණ්ඩයක් ලෙස එය හැඳින්වීම බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ අදහස වී තිබේ.

මේ අතරම 2018 අයවැය යෝජනා හරහා සිදුකර ඇති නව බදු අය කරගැනීමේ ක්‍රමවේදය මගින් Axio, Aqua හා Vessel යන හයිබ්‍රිඩ් මාදිලියේ මෝටර් රථවල මිලද රු.750‍,000/- ක මුදලකින් පමණ ඉහළයාමේ අවස්ථාවක් පවතින බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම 1,000CC ධාරිතාවට වඩා අඩු මෝටර් රථවල වටිනාකම රු.150,000/- කින් පමණ අඩුවීමේ හැකියාවක් පවතින බවත් එම සංගමයේ සභාපති මෙරෙන්චිගේ මහතා පවසා සිටියේය.

මේ අතරම අයවැය හරහා අලුතින් හඳුන්වාදුන් කාබන් බද්ද, යුරෝ4 තත්ත්වය සහ එයාර් බෑග් පහසුකම අනිවාර්යය කිරීම යන කරුණුද වැදගත් අවස්ථා බව මෙහිදී අනාවරණය කෙරිණි.

කෙසේ වෙතත්, මේ අයවැය හරහා කුඩා ප්‍රමාණයේ වාහනයක් මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී යාමෙන් අලුතින් වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිසකට බලපෑම් එල්ල වී ඇතැයිද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියේය.

02

ඡායාරූප – ලසන්ත කුමාර / රුවන් වල්පොල

ශ්‍රී ලංකන් මධ්‍යම හා දකුණු ආසියාව තෙවැනි වරටත් ජයගනී

ශ්‍රී ලංකන්  ගුවන් සමාගම 2017 අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙලේදී (Future Travel Experience Asia Awards ) මධ්‍යම සහ දකුණු ආසියාවේ විශිෂ්ටතම සමස්ත සේවා ගුවන්සේවය ලෙස නොකඩවා තෙවැනි වසරටත් පසුගියදා පිදුම් ලබා තිබේ.

මෙම සම්මාන උලෙළ ආසියාවේ සහ ඕෂනියාවේ බොහෝ පාරිභෝගික කේන්ද්‍රීය ගුවන් සේවා සහ ගුවන් තොටුපළවල් විසින් පිළිගනු ලබන සම්මාන උලෙළක් බව එම ගුවන් සමාගම පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “මේ සම්මානය ගුවන් සමාගමේ ගුවන් මෙන්ම භූමි කටයුතු මෙහෙයවන සෑම සාමාජික සේවකයෙකුගේම සුවිශේෂී උත්සාහයන්හි සෘජු  ප්‍රතිඵලයක් බව සතුටින් ප්‍රකාශ කර සිටිනවා. අපගේ සේවා සහ නිෂ්පාදන තුළ පවතින දිගුකාලීන සහ උසස් තත්ත්වයේ ප්‍රමිතීන් මෙමගින් පෙන්නුම් කරනවා. ඒ වගේම, ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා අප ලබාදෙන කැපවීම තුළින් අපගේ සමස්ත ගමන් මග තුරාවට පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ රැසක් හිමිකරදී ඔවුන්ව තෘප්තිමත් කිරීමේ අභිමානය ගුවන් සමාගම සතුව පවතිනවා" යනුවෙනි.

2017 සැප්තැම්බර් නිෂ්පාදන කර්මාන්ත සියයට 6ක් ඉහළට

2016 වර්ෂයේ සැප්තැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017සැප්තැම්බර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 6.0%ක වැඩිවීමක් වාර්තා වන බව 2017සැප්තැම්බර් මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසයි. තවද 2017 සහ 2016 යනවර්ෂ වල සැප්තැම්බර් මස මෙම දර්ශකය පිළිවෙලින් 107.7 ක් සහ 101.6 ක් වී තිබේ.

කාර්මික නිෂ්පාදන දර්ශකයද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලැබේ. මෙම දත්ත ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට, ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට, ප්‍රතිපත්ති සම්පාදනයට හා ඇගයීමට රජය මෙන්ම කර්මාන්තායතන ද භාවිත කරනු ලැබේ. ඒ අනුව නිශ්චිත යොමු කාලයකට සාපේක්ෂව, දෙනලද කාලපරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම කාර්මික නිෂ්පාදන දර්ශකය මඟින් සිදු කෙරේ. තව ද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

ඒ අනුව, 2016 සැප්තැම්බර් මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2017සැප්තැම්බර් මස 'පිරි සකසන ලද ලෝහ  නිෂ්පාදන', 'මූලික ලෝහ නිෂ්පාදන' සහ 'මුද්‍රණය සහ පටිගත කරන ලද මාධ්‍ය නිෂ්පාදන'වල පිළිවෙලින් 26.1%, 19.7% සහ 16.4% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. 2017 සැප්තැම්බර් මස ආහාර නිෂ්පාදන අංශයෙහි  නිෂ්පාදනය 7.3% ක වැඩිවීමක් වාර්තා වේ.

තවද, 'ගෘහ භාණ්ඩ නිෂ්පාදන', 'බීම වර්ග නිෂ්පාදන' සහ 'වෙනත්  නිෂ්පාදන'වල 2016 වර්ෂයේ සැප්තැම්බර්මස නිෂ්පාදනයට සාපේක්ෂවපිළිවෙලින් 14.9%, 13.9% සහ 12.7% ක අඩුවීමක් වාර්තා විය.2017 වර්ෂයේ තෙවන කාර්තුව තුළ නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 3.9 % කින් වර්ධනය වී ඇත.

අයවැයෙන් අඩුවූ බීර වෙළෙඳ සැලේ නැතිලු

අයවැයට අනුව අරක්කු මිල වැඩි කිරීමට වෙළෙන්ඳන් කටයුතු කළත්, බියර් මිල අඩු නොකිරීමෙන් පාරිභෝගිකයා ගසා කෑමට වෙළෙන්ඳන්ට ඉඩදී සුරා බදු අධිකාරිය හා පාරිභෝගික අධිකාරිය නිහඬව සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

2018 අයවැයෙන් මධ්‍යසාරවල සැර අනුව නිෂ්පාදනයේ මිල තීරණය වන අතර අරක්කු මිල වැඩි කිරීමටත්, බියර් මිල අඩු කිරීමටත් තීරණය කෙරිණි. ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි අරක්කු මිල වැඩි කිරීමට අදාල සමාගම් කටයුතු කිරීමෙන් සුපිරි වෙළදසැල් විසින් අරක්කු මිල වැඩිකර ඇති නමුත් බියර් මිල අඩු කර නොමැති බවද ඔවුහු පවසති.

මෙරට ව්‍යාපාරිකයන් සෑම විටම සිදුකරන්නේ කිසියම් භාණ්ඩයක මිල වැඩි වූ සැණින් භාණ්ඩ මිල වැඩි කිරීමත් භාණ්ඩයක මිල අඩු කළ විට භාණ්ඩ මිල අඩු නොකිරීමට කටයුතු කිරීමත් බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

ශ්‍රී ලංකන් ද.ආසියාවේ විශිෂ්ට ගුවන් සේවය ලෙස පිදුම් ලබයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කලාපීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ %ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය^ ලෙස 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උලෙළෙහිදී පසුගියදා පැසසුම් ලබා තිබේ. රටවල් ගණනාවකට අයත් අනෙකුත් ගුවන් සේවා අභිභවා යමින් ශ්‍රී ලංකන් ව්‍යාපාරික පන්තිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරි පන්ති අතරින් %විශිෂ්ටතම පංතිය^ ලෙස සම්මානයට පාත්‍ර වූ බවද එම ගුවන් සමාගම නිවේදනය කරයි.

මෙම සම්මාන උළෙල මාලදිවයිනට අයත් ගැන් දිවයිනේ අද්දු නගරයේ පිහිටි Equator Village නිවාඩු නිකේතනයේදී පසුගිය ඔක්තෝබර් 28දා පවත්වා තිබේ.

සමස්ත  සංචාරක  ක්ෂේත්ත්‍රයම ආවරණය කරමින්, එනම් සම්පූර්ණ සේවා සහිත ගුවන් සේවා, පිරිමැසුම් ගුවන් සේවා, හෝටල්, විවිධ ආකාරයේ නිකේතන, සම්මන්ත්‍රණ පහසුකම්, සංචාරක ඒජන්සි, සංචාර මෙහෙයවන්නන්, ත්‍රාසජනක සංචාරක ක්ෂේත්‍රය, ගුවන් තොටුපොළවල්, සුවතා මධ්‍යස්ථාන, සංචාර තාක්ෂණ සපයන්නන්, ප්‍රවාහන සපයන්නන් සහ ක්ෂේත්‍රයේ CSR ක්‍රියාකාරකම් යනාදිය සඳහා කාණ්ඩ 50 යටතේ මෙහිදී සම්මාන ප්‍රදානය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී  සිවා රාමචන්ද්‍රන් මහතා පවසා සිටියේ, “අප ලබා ඇති ගෝලීය සහ කලාපීය සම්මාන අතරට තවත් එක් ගෞරවාන්විත සම්මානයක් එකතුවීම පිළිබඳ ගුවන් සමාගම ඉතා සතුටට පත්ව සිටිනවා. මේ සම්මාන අපගේ පාරිභෝගිකයන් විසින් සිදුකළ තේරීමක් ලෙස විශ්වාස කරනවා" යනුවෙනි.

මේ අතර, ගුවන් සමාගමේ ලෝක ව්‍යාප්ත විකුණුම් බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා, "මේ සම්මාන තුළින් අප ගුවන් මගීන්ගේ ප්‍රියතම ගමනාන්ත වෙත සිදුකරන මෙහෙයුම් සිට ගෝලීය ගුවන් ගමන් ජාලය පුරාවට සිදුකරන ගුවන් සහ භූමි සේවාවන්, අපගේ අනගි නිෂ්පාදන යනාදිය ඇතුලත්ව සමස්ත ගුණාත්මකබව විදහා දක්වනවා" යැයි පවසා සිටියේය.  

විදුලි මෝටර් රථ ගැන යතුරු පැදි සංගම් නිගමනය වැරදිලු

විදුලි බලයෙන් ධාවනය වන මෝටර්  රථ සඳහා බදු සහන දීමට 2018 අයවැය යෝජනාවලිය මගින් රජය පියවර ගැනීම විවේචනය කරමින් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජනතාව නොමග යවනසුළු නිවේදනයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජය පවසයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම පෙ.ව.5.30 සිට ප.ව.6.30 දක්වා සාමන්‍ය අගයක පවතින අතර, ප.ව.6.30 සිට ප.ව.10.30 දක්වා එය අධික වී, ප.ව.10.30 සිට පෙ.ව.5.30 දක්වා ඉතාම අවම වන බවයි. නමුත්, මෙම ඉල්ලුමට අනුරූපව සැපයුම වෙනස් නොවනවා මෙන්ම, රාත්‍රී කාලයේ විදුලි නිපදවීමට ඉන්ධන භාවිත නොකරන අතර, වැය වන්නේ ඉතා අඩු පිරිවැයක් බවද ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් තම සංගමය මුල සිටම රජයේ අවධානය යොමුකළ බවත්, විදුලි ඉල්ලුම ඉතා අඩු ප.ව.10.30 සිට පෙ.ව.5.30 දක්වා කාලය තුළ විදුලි වාහන ආරෝපණය ඉදිරිපත් කිරීමේ විශේෂ අය ක්‍රම මේ වනවිට හඳුන්වාදී ඇති බවත් ඔවුහු පවසති. එමගින් විදුලි වාහන ආරෝපණය ජාතික විදුලි බල පද්ධතියට අමතර බරක් නොවී එමගින් විදුලි ඉල්ලුම් වෙනස පාලනයටද පහසු වනු ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසති.

මේ අතර,  ජාතික බලශක්ති අර්බුදයක් අවස්ථාවේදී පවා ජාතික හා ගෘහස්ත බලශක්ති සුරක්ෂිතතාව ඉහළ දැමිය හැකි බවට හොඳම උදාහරණය පසුගියදා සිදුවූ ඉන්ධන හිඟය බවත් ඔවුහු පෙන්වා දෙති. නමුත්, ජාතික විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණත් විදුලි වාහනය ගෘහස්ත සූර්ය බල පද්ධතිය මගින් ආරෝපණය කරගත හැකි වීම තුළින් ඉන්ධන නෞකා පැමිණෙන තුරු මුහුදට දත නියමවින් සිටියිය යතු නොමැති බවද ඔවුහු වැඩිදුරත් පවසති.

එමෙන්ම, සාමාන්‍ය වාහන මගින් ධාවනයේදී දුම පිටවීමට අමතරව නඩතුත් කිරීමේදී විශාල ලෙස තෙල් හා උපාංග පරිසරයට මුහාහරිනු ලබන අතර, විදුලි වාහනවල එම පරිසර හානිය නොමැති බවද පෙන්වා දෙයි. විදුලි වාහන බැටරියක් අවුරුදු 5 – 8ත් අතර කාලයක් වාහනයක භාවිත වන අතර, ඉන් පසු එය ගෘහස්ත බල පද්ධතිය සඳහා තවත් අවුරුදු 8ක් පමණ භාවිත කළ හැකි බවත් පෙන්වා දෙයි. එම භාවිතයෙන් පසුව බැටරි ප්‍රතිචක්‍රීයකරණය සඳහා නැවත අපනයනය කිරීමේ ක්‍රමවේද ඇති බවත්, රටක් ලෙස එම ක්‍රමවේද ඉක්මණින් හඳුන්වාදී ලෝකයත් සමග ඉදිරියට යාම මිස තාක්ෂණයට බිය වී සිටීම තම සංගමයේ කාර්ය නොවන බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

ඒ අනුව, යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සහෝදරයන් පරිසරය කෙරෙහි ඇල්මක් දැක්වූයේ නම් කළ යුත්තේ ශබ්ද දූෂණය, වායු දූෂණය නොකරන ආනයනික ඉන්ධන මත නොයැපෙන පරිසර හිතකාමී ගමනක් වෙනුවෙන් විදුලි යතුරුපැදි හා සූර්ය බලශක්තිය පිළිබඳ අවධානයක් යොමු කිරීම බවද ඔවුහු පෙන්වා දෙති.\1_Electric

රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර රැය පහන් වනතුරු

ලෝක විද්‍යා දිනය (නොවැම්බර් 10දාට යෙදෙන) වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ඇතුළු අනෙකුත් ආයතන එක්ව විද්‍යාව මහ ජනතාව අතර ප්‍රචලිත කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් ගණනාවක් සංවිධාන කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් 2017 නොවැම්බර් 10 දිනයට යෙදෙන ලෝක විද්‍යා දිනයට සමගාමීව ජාතික විද්‍යා සතිය සැමරීම නොවැම්බර් 10 සිට 17 දක්වා ග්‍රහලෝකාගාර පරිශ්‍රයේදී සිදුකෙරේ.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ඊයේ (10දා) දින ප.ව. 6.00 සිට පසුදින(11දා) උදෑසන 6.00 දක්වා විශේෂ වැඩසටහක් සංවිධාන කර තිබේ. එනම් රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරක් සහ විශේෂ දේශන මාලාවකි. එය පාසල් ළමයින් මෙන්ම, නාවික හමුදා නිලධාරීන්, බාලදක්ෂයින්, විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තීය පුහුණු ආයතනවල සිසුන් මෙන්ම මහජනතාව වෙනුවෙන්ම සංවිධාන කර ඇත.

මෙහිදී වත්මනෙහි සුලභව භාවිත කෙරන තාක්ෂණික උපකරණ, එනම්, ජංගම දුරකථන, පරිගණක, ටැබ් පරිගණක, වැනි උපකරණ වඩාත් ප්‍රයෝජනවත් ලෙස භාවිත කරනුයේ කෙසේද යන්න පිළිබඳව හා තාරකා විද්‍යාව සරලම ඉගෙන ගන්නේ කෙසේද යන්න පිළිබඳ දේශන මෙන්ම විද්‍යාත්මක සේවාවන ගණනාවක් පිළිබඳ දේශන රැසක් සිදුකෙරේ.

එමෙන්ම මෙරට සිටී කීර්තිමත් නිර්මාණකරුවෙකු වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පුත්‍රයා වන පූර්ණ සම්පත් අල්විස් මහතාගේ විශේෂ දේශනයක්ද ඇතුළත්ය.

1_Night_Sky_Photography