Category Archives: ada_7

එදිනෙදා ජීවිතයේ සිදුවීම් 7ක විද්‍යාත්මක පැතිකඩ

01. අක්මාවේ ආබාධ ඇති අයට තෙල් ආහාර සුදුසු නොවෙයි. 

අක්මාවේ ඇති පිත්යුෂයෙන් තෙල් සහිත ආහාර තෛලෝදකරණය කරයි. අක්මාවේ ආබාධ ඇතිවිට තෛලෝදකරණය නිසි ලෙස සිදුනොවෙයි. තවද තෙල් සහිත ආහාර ගැනීමෙන් අක්මාවෙන් පිත් යුෂ ශ්‍රාවයට උත්සාහ කරයි. ඒ හේතුවෙන් අක්මාවෙන් සිදුවන කාර්යයන් තව තවත් වැඩි වීමෙන් ආබාධය උත්සන්න වේ.


02. ඇතැම් ශාකවල අත්තක පොතු වළලු ආකාරයට ගැසු විට එහි ඵලදාව වැඩිවේ.

ශාකයක ආහාර පරිවහනය සිදු වන්නේ ප්ලෝයම පටක මගිනි. පොතු වළලු ගැසීමේදී එම ස්ථානයෙන් ප්ලෝයම පටකය සම්පුර්ණයෙන්ම ඉවත් වන බැවින් පත්‍ර මගින් නිපදවන ආහාර ශාකයේ පහළ කොටස් කරා පරිවහනය නොවී එහි රුස්වේ. වැඩි ආහාර ප්‍රමාණයක් රුස්වෙන බැවින් එහි සෑදෙන ඵල ප්‍රමාණයද වැඩිවේ.


03. අහසින් මාළු වැටීම

ඇතැම් අවස්ථාවල යම්යම් ප්‍රදේශවලට වර්ෂාවත් සමග හෝ වර්ෂා නොමැතිව සුළඟ සමග අහසින් කුඩා මසුන් වැටීමක් සිදුවෙයි. එහෙත් අහසෙහි මාළුන් නොමැත. මෙය සිදුවන්නේ ජලාශ ආශ්‍රිත හෝ මුහුද ආශ්‍රිත ප්‍රදේශයකට ටො‍ෙන්ඩෝ තත්වයක් ඇතිවී එහි සිටින කුඩා මසුන් ඇතුළු ජීවීන් අධික වේගයෙන් අහස දෙසට ඇදී යයි. එසේ ඇදීගිය මසුන් ටො‍ෙන්ඩෝවෙහි ශක්තිය අඩුවී ගොස් අහසෙහි සිට එම ප්‍රදේශයටම හෝ ඉන් බැහැර ස්ථානයකට නැවත වැටෙයි.   


04. එළවළු වෙ‍ෙළඳ පොළවල ඇතැම්විට අ‍ෙලවිකරන එළවළුවල පැහැයට සමාන පැහැයක් ඇති පොලිතින් ආවරණයකින් තාවකාලික වහලයක් සකසයි.

එළවළුවල පැහැයට සමාන පැහැයක් ඇති පොලිතින් ආවරණයක් ඇතිවිට සුර්යාලෝකය එ් හරහා ගමන් කිරීමෙන් එහි වර්ණය තව තවත් වැඩිවෙයි. එහි එළවළුවල පැහැය වැඩිවීමක් සිදුවෙයි.


05. හුමාලයෙන් පිළිස්සීම තදබලය.නටන ජලයට වඩා හුමාලයේ අඩංගු තාප ප්‍රමාණය වැඩිය.

හුමාලය සමට වැදුණු විට මෙම අතිරේක ගුප්ත තාපයද පිළිස්සීමට දායක වේ. නටන ජලයෙන් මෙම අතිරේක තාපය නොලැබේ.


06.  සෑම විටම අහසේ දේදුන්නක් දැකිය හැක්කේ වරෂාවක් ඇතිවීමෙන් පසුව හෝ සිහින් වරෂාවක් ඇතිවිටකය

සූර්යාලෝකය කුඩා ජල බිඳු හරහා ගමන් කිරීමෙන් එය වර්ථනය ලක්වී වර්ණාවලියක් ඇතිවීමේ සංසධ්දියි. මෙම ක්‍රියාවලිය සුර්යයා හොඳින් ඇතිවිට හා වර්ශා සහිත අවස්ථාවක දේදුන්නක් ඇතිවෙයි.


07. ඉඳිකටු පාවිච්චියට නොගන්නාවිට ඇළුමිනියම් පත්‍රව ඔතා තබයි. 

ඉඳිකටු තනා ඇත්තේ වානේවලිනි. වානේ සාමාන්‍ය පරිසරයේදී ජලවාශ්ප සමග එක්වීමෙන් මළ බැඳිමක් සිදුවෙයි. එහෙත් ඇළුමැනියම් සාමාන්‍ය පරිසරයේ ජලවාෂ්ප සමට එක්වීමෙන් මළ බැඳී විඛාදනයක් සිදුනොවෙයි.  එම නිසා ඉඳිකටු පාවිච්චියට නොගන්නාවිට ඇළුමිනියම් පත්‍රයක ඔතා තබයි.   

ස්ටීවන් හෝකින්ගේ විශිෂ්ට කියමන් 07ක්

ඇල්බට් අයින්ස්ටයින්ගෙන් පසුව ලෝකයේ පහළ වූ විශිෂ්ටතම විද්‍යාඥයා ලෙස සැලකූ ස්ටීවන් හෝකින් පසුගියදා මියගියේ ලෝකයට තවත් ශ්‍රේෂ්ඨයෙකුගේ හිඩසක් ඇති කරමිනි. ඔහු පැමිණි ශ්‍රේෂ්ඨත්වයේ ගමන් මග පුරාම ඔහු මුහුණදී ජයගත් අභියෝග බොහෝය. මේ ඔහු ලෝකයට සිය දිවියෙන් ලබාදුන් පණිවුඩ කිහිපයකි. වර්ෂ 1942 ජනවාරි මස 8 වැනිදා බ්‍රි‍තන්‍යයේ ඔක්ස්ෆර්ඩ්ෂයර් හි උපත ලබන ස්ටීවන් හෝකින් පසුගිය 14 වැනිදා මියගියේය.


stephen-hawking-1982-gty-thg-180313_4x3_992

 

01. ජීවිතය තුළ විනෝදයක් නොමැති නම් එම ජීවිතය සම්පූර්ණයෙන්ම වැදගත්කමක් නොමැති විකාරයක් බවට පත්වනු ඇත.


02. බුද්ධිය යනු අභියෝග භාරගැනීමට ඔබ තුළ පවතින හැකියාවයි.


03. සමහර විට දෙවියන් කියා පිරිසක් විශ්වයේ ඇති. නමුත් විද්‍යාවට දෙවියන්ගේ උදව් නැතුව විශ්වය ගැන සොයන්න පුළුවන්.


04. නිතර තරහ ගන්නා පුද්ගලයන් වෙනුවෙන් හා විවේචනය කරන අය වෙනුවෙන් ඔබ කිසිදු අයුරකින් ඔබේ කාලය වෙන්කළ යුතු නැත.


05. ශක්තිමත් මිනිසුන් නිරන්තරයෙන්ම නිහඬය.


06. හොඳ මිනිසුන්ව අධම ගති අැති මිනිසුන්ට පෙනෙන්නේ පිස්සන් ලෙසය.


07. ජීවිතය යනු ගැටලු සහ අභියෝගවලින් පිරුණු දෙයක් බව සැබෑවක් නමුත් ඒ ජීවිතය තුළ පවතිනවා ඔබට හොඳින්ම සිදුකළ හැකි හා ඔබට සාර්ථක විය හැකි දෙයක්. එය සොයාගන්න.

ස්ටීව් ජොබ්ස්ගේ විශිෂ්ට කියමන් 7ක්

සුප්‍රකට ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් හෙට දවස අද දුටු ශ්‍රේෂ්ඨයෙකි. 1955 පෙරවාරි 24 දින සැන්ෆ්‍රැන්සිස්කෝහිදී උපත ලැබූ ඔහු 2011 ඔක්තෝමබර් 05 වැනිදා පිළිකා රෝගයකින් මිය යන විට ලෝකයට දායාද කළ දේ බොහෝය.

 


01. ඔබට ඇති කාලය සීමිතයි. ඒ නිසා නොවැදගත් දේ වෙනුවෙන් හා නොවැදගත් පුද්ගලයන් වෙනුවෙන් එම කාලය කිසිම විදිහකින් වැය කරන්න එපා.


02. ව්‍යාපාරයකදී ලබන සාර්ථකත්වයන් කණ්ඩායමක් විසින් ලබාගත් සාර්ථකත්වයන් මිස තනි පුද්ගලයෙකුට පමණක් කිසි විටෙක එහි සම්පූර්ණ ගෞරවය ලබාගත නොහැකියි.


03. ඔබේ අරමුණු සහ සිහින තවකෙකුගේ මතයක් නිසා බිඳ වට්ටවා ගන්න එපා.


04. ඔබ කළ යුතු දේ තීරණය කිරීම වගේම වැදගත් වෙනවා නොකළ යුතු දේ තීරණය කිරීම.


05. සැබෑ නායකයෙක් කියන්නේ තමන්ගේ යටතේ සිටින අය සිදුකිරීමට අකමැති දෙයක් කරවන පුද්ගලයෙක් නොවෙයි. තමන්ට කවදාවත් කරන්නට බැහැ කියලා වැටී ඉන්න මිනිසුන්ට ඒ දේවල් කරන්න පොළඹවන සහ දිරිගන්වන පුද්ගලයාටයි.


06. අතීතයේ කළ නොහැකි වූ දෙයක් වෙනුවෙන් අලුත් දෙයක් නිපදවනවාට වඩා අනාගතයට වැදගත් දෙයක් නිපදවන්න උත්සාහ කරන්න.


07. ඔබට කිසිම අමතර උපකාරකයකින් තොරව යමෙකුට දෙයක් තේරුම් කරන්න පුළුවන් ඔබට ඔබ කතා කරන දේ පිළිබඳ හොඳ අවබෝධයක් සහ දැනුමක් තිබෙනවා නම්.


 

ශ්‍රී ලාංකිකයන් අදහන දෙවිවරු සත් දෙනෙක්

01. විෂ්ණු දෙවියන්

හින්දු සංකල්පයට අනුව ත්‍රිමූර්තියට අයත් එක් ප්‍රධාන දෙවියෙකි. බ්‍රහ්ම විසින් ලෝකය මවන ලද්දේ යැයිද, විෂ්ණු විසින් ලෝකය පාලනය කරන්නේ යැයිද ඔවුන්ගේ මතයක් පවතී. නිල්වන් ශරීරයකින් යුක්තය. ගුරුළු වාහනයක් අරා සිටී. බුද්ධ ශාසනයේ ආරක්ෂක දේවතාවා විෂ්ණු දෙවියන් බව බෞද්ධයන්ගේ පිළිගැනීමයි. තමන් වෙත පැමිණෙන දුක්ඛ, දොමනස්ස, කරදර කම්කටොලු ආදියේදී විෂ්ණු දෙවියන් අරභයා භාරහාර වීම සිරිතයි.


02. ස්කන්ධ හෙවත් කතරගම දෙවියෝ

වේදයෙහි සඳහන් දෙවියෙකි. කන්ද ස්වාමි, කදිරේෂ, ශන්මුග,ආරුමුග,කුමාරස්වාමි,මුරුක,කතරගාමම් සහ සුබ්‍රමන්‍ය යන නාමයන්ගෙන්ද හඳුන්වනු ලැබේ. මුහුණු සයක් සහ අත් දොළොසක් ඇත. එබැවින් බාසුරු කියාද පවසයි. මයුරා පිට වැඩ සිටී. රුහුණට අධිපති දෙවිඳුන්ය. සැවුල් ධජය දරයි. මිනිසුන් කෙරෙහි පැතිරෙන්නා වූ විවිධ දුක් කම්කටොලු වෙනුවෙන් බාරහාර වූ විට කතරගම දෙවිඳුන් විසින් එකී දුක් කම්කටොලුවලින් ඔවුන් මුදවාලීමට කටයුතු කරන අතර, මිනිසුන් විසින් එකී දෙවියන් වෙනුවෙන් වූ බාරහාර ඔප්පු කර දෙවියන්ට පිං පෙත් පැමිණවිය යුතුය. කතරගම ශ්‍රී ස්කන්ධ කුමාර මහ දෙවොල කතරගම දෙවිඳුන් අදහන ප්‍රධාන දේවාලය ලෙස පිළිගැනේ.


03. සුමන සමන් දෙවියෝ

මෙම දෙවිඳුන් සමනල අඩවියට එනම් සබරගමු ප්‍රදේශයට අධිපති දෙවිඳුන්ය. සබරගමු මහ සමන් දෙවොල සමන් දෙවිඳු නමින් කරවන ලද්දකි. සබරගමු සාම්ප්‍රදායික ශාන්තිකර්මවලදී ප්‍රමුඛ වශයෙන් පුද ලබන දෙවි කෙනෙකි. බුදුන් වහන්සේ ශ්‍රීපාදස්ථානයේ සිය පාද ලාංචනය තැබුවේ සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බවට පැවසේ. ශ්‍රී ලාංකිකයන් විසින් බැතිබරව අදහනු ලබන දෙවියෙකි.


04. දෙවොල් දෙවියෝ

දෙවොල් දෙවියන් හත් කට්ටුවකි. වෙළෙඳාමට පැමිණි මොවුන්ගේ නැව මහ මුහුදේදී කුණාටුවකට හසුවී කැඩී ගියෙන් මණිමේකලාව විසින් මවාදුන් පහුරක නැගී මෙරටට පැමිණි බවට කියවේ. පත්තිනිය දෙවොල් දෙවියන්ට ගොඩ බසින්නට නොදී ගිනි කඳු හතක් මවාලූ බවද කියවේ. එම ගිනි කඳු හත අතින් අල්ලා, පයින් පාගා පොඩි කොට ලංකාවට ගොඩ බසින්නට දෙවොල් දෙවියන් සමත් වූ බවට කියවේ. හිරු සාමි, තෙද රැස් සාමි,ගිනි රැස් සාමි, සඳ රැස් සාමි, යස රැස් සාමි,මහා සාමි, දෙවොල් සාමි නමින් හඳුන්වන දෙවොල් දෙවි හත් කට්ටුවට කුරුම්බර පිරිවරක්ද ඇත. දෙවොල් මඩු ශාන්තිකර්මය දෙවොල් යාගය, පත්තිනි යාගය යනුවෙන් කොටස් දෙකක් බවට පත්වූයේ එබැවිනි.


05. දැඩිමුණ්ඩ දෙවියෝ

දේවතා බණ්ඩාර යනුවෙන්ද මෙම දෙවියා හැඳින්වේ. හඳුන් කුමාර,මැණික් බණ්ඩාර යන පර්යාය නාමයද මොහුට යෙදී තිබේ. මහානුභාව සම්පන්න දෙවි කෙනෙකි. එරන්දතී නම් නාග කන්‍යාවගේ කුසින් පූර්ණක නම් වූ යක්ෂ සේනාධිපතියාට දාව තලගිරි කන්දේ උපන් බව කියවේ.


06. මංගර දෙවියෝ

මෙම දෙවියන් පිළිබද උප්පත්ති කතා රාශියක් ඇත. සබරගමු සාම්ප්‍රදායික ශාන්තිකර්මවලදී වෙසෙසින්ම පුද ලබන දෙවියෙකි. කිතල්ලව නම් රජෙකුට දාව උපන් බවට කියවේ. කිරි හරක්ට ඇළුම් කළ අතර, කුළු හරක් ඇල්ලීමේ දක්ෂතාවයක් මොහුට තිබුණි. දිනක් මීමෙකු විසින් ඇණ මරා දමන ලදී. එඬේර කුමරකු විසින් මීමා මරා උගේ ශරීරාංග ප්‍රයෝජනයට ගෙන කිරි උතුරුවා මෙම කුමරුගේ ඇඟට ඉස්සේය. ඉන් පසු නැවත පණ ආ කුමරු වනයට පැනගිය බවට කියවේ.


07. අයියනායක දෙවියෝ

බලසම්පන්න දෙවි කෙනෙකු වන මෙම දෙවියන්ට වැව් බැඳි රටේ ගැමියන් මහත් භක්ත්‍යාදරයෙන් පුද පූජා පවත්වයි. අයියනායක දෙවියන් ‍වෙනුවෙන් අතු එල්ලීම සඳහා ගස් වෙන් කර තිබේ. මෙකී ගස්වල අයියනායක දෙවියන් සිහිපත් කර අත්තක් එල්ලා තැබූ විට කිසිදු විපතක් සිදුනොවන බවට විශ්වාසයක් පවතී.      

ප්‍රියාන් ෂමික

යුනිසෙෆ් සංවිධානය පිළිබඳ කරුණු 7ක්


01. එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදල ලෙස හඳුන්වන, යුනිසෙෆ් සංවිධානය වර්ෂ 1946 දෙසැම්බර් මස 11දා පිහිටුවා තිබේ. එහි ප්‍රධාන කාර්යාලය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ පිහිටුවා තිබේ.


02. යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධාන අරමුණ වූයේ දෙවන ලෝක යුද්ධයේදී පීඩාවට පත් වූ දරුවන්ට පිහිටවීම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවීමයි. ඉන් ප්‍රමුඛස්ථානය හිමිවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල ළමුන්ගේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කිරීමයි.


03. වර්තමානය වන විට ලෝකයේ රටවල් 190ක මෙය ක්‍රියාත්මක වන අතර විශේෂයෙන් යුද්ධ පවතින රටවල දරුවන්ගේ සුබසිද්ධිය පිණිස මොවුහු කටයුතු කරති. වයස අවුරුදු 05ට අඩු ළමයින්ට සෑදෙන රෝග මැඬලීම සඳහාද වැඩි අවධානයක් මොවුන් යොමු කරයි.


04. නිව්මෝනියාව, පාචනය, ක්ෂය රෝගය, සරම්ප, කක්කල් කැස්ස, පෝලියෝ ආදී රෝගවලින් දරුවන් බේරා ගැනීම වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානය විශාල උත්සාහයක් දරන අතර,  ඒ සඳහා විශාල මුදලක් ඔවුන් වෙන් කරයි.


05. 1989දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ළමා අයිතිවාසිකම් පිළිබඳ වූ ප්‍රඥප්තිය පිළිගැන්වීමෙන් පසුව යුනිසෙෆ් සංවිධානය විසින් පළමු වරට වර්ෂ 1990 සැප්තැම්බර් මාසයේදී ළමයි සඳහා ලෝක සමුළුවක් පවත්වා තිබේ.


06. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුව, ළමා අයිතිවාසිම් පිළිබඳව කාර්යයන් තවත් ව්‍යාප්ත කරමින් අධ්‍යාපනය නොලබන දරුවන්ට අධ්‍යාපනය ලබාදීම, යුද්ධය හෝ මෙහෙකාර සේවයට දරුවන් පත්වීම වළක්වා ගැනීම සහ එම දරුවන්ට ආරක්ෂාව ලබාදීම, වද හිංසාවලට භාජනය වූ දරුවන්ට ආරක්ෂාව සැපයීම වැනි ළමා සුබසාධන කටයුතු සඳහා සේවාවන් ඉටු කිරීමට මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමට යුනිසෙෆ් සංවිධාන පෙළඹිණි.


07. යුනිසෙෆ් සංවිධානයේ පනස්වැනි සංවත්සරය වෙනුවෙන්  ශ්‍රී ලංකාවද 1996 වසරේදී මුද්දරයක් නිකුත් කළේය. තවද, ලොව දරුවන් සඳහා සිදුකරන මෙහෙවර වෙනුවෙන් වර්ෂ 1965 ඔක්තෝබර් මාසයේදී යුනිසෙෆ් සංවිධානයට නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ.

 

ඔරිගමි පිළිබඳ කරුණු 7ක්

1 'ඔරිගමි’ ලෙස අදහස් කරනුයේ ‘කඩදාසි නැමීම යන්නයි. 'ඔරි’ යනු ජපන් භාෂාවෙන් නැමීම යන අදහස දෙන වචනයක් වන අතර ‘ගමි’ යනු ‘කඩදාසි' යන තේරුම දෙන ජපන් වචනය.


2 ජපානය කියූ සැනින් කිමෝනාව ඔවුන්ගේ අනන්‍යතාවේ ප්‍රබල සලකුණක් වෙයි.එසේම ඔවුන්ගේ අනන්‍යතාවේ තවත් ප්‍රබල සලකුණක් වන්නේ ඔරිගමි කලාවයි.


3 දරුවන්ගේ බුද්ධි වර්ධනය වීම සඳහාත් ‘ඔරිගමි කලාව ඉතා වැදගත් වේ. වැඩිහිටියන්ගේ  ආතතිය නැති කර ගැනීමට මෙය විනොදාංශයක් ලෙස යොදාගත හැකිය.


4 වර්තමානයේ ලොව පුරාම රටවල මෙය ප්‍රචලිත අතර නව නිර්මාණ බිහිකිරීමට සේම හැඩ තල නිර්මාණයේදී සරල ගණිත සංකල්ප ඉගෙන ගැනීමට ද ඔරිගමි වි‍ෙශ්ෂ වෙයි.


5 ජපන් ඔරිගමි කලාව කොටස් දෙකකට බෙදෙයි. ඉන් එකක් ලෙස තෑගි එතීම සඳහා භාවිත කරන ‘ඔරිගමි කලාවයි. අනෙක නම් කුරුල්ලන්, සතුන්, මාළුවන්, මිනිස් රූප සහ වෙනත් ද්‍රව්‍ය සැකසීමට භාවිත කරන ‘ඔරිගාමි කලාවයි.


6 ජපානයේ සංස්කෘතික උත්සව, උපන්දින හා විවාහ උත්සවලදී  සැරසිලි සඳහා ඔරිගමි කලාව යොදාගනු ලබන අතර උත්සවයන්ට සහභාගි වන්නන්ගේ විනෝදය පිණිසද  යොදාගනු ලබයි.


7 හිරෝෂිමා සහ නාගසාකි නගරවල පරමාණු බෝම්බ හෙළීමේ සිහිවටන පිහිටි උද්‍යානවල තිබෙන ‘ඔරිගමි කොකුන් විශාල වශයෙන් තබා ඇත.

origami-210114_960_720

අයිස්ලන්තය පිළිබඳ කරුණු 7ක්

1. වර්ග සැතපුම් 40,000ක් පමණ විශාල දිවයිනක් වන මෙම රාජ්‍යය උතුරු අත්ලාන්තික් සාගරයේ ආක්ටික් වෘත්තයට සමීපව පිහිටා තිබේ.

 

2.ඉතා අලංකාර දිවයිනක් වන මෙහි දූපත් කිහිපයක්ද වේ. කුඩා මුහුදු තීරයක් ඇති මුත් එහි ගල්පර බහුල වේ. මෙහි මධ්‍යගත භූමිය යමහල් පස් හා ලාවා පස් සහිතය.

 

3. අයිස්ලන්තයේ ගිනිකඳු 100කට වැඩිගණනක්ද, උණුදිය උල්පත් කිහිපයක්ද වේ. මෙහි ප්‍රධාන ගංගාව ජෝතුල්සා වන අතර විශාල විල් කිහිපයක්ද, උස් දිය ඇලිද පිහිටා තිබීම විශේෂත්වයකි.

 

4. ක්‍රි.ව. 800දී පමණ අයිරිෂ් ජාතික පූජක පිරිසක් මුලින්ම අයිස්ලන්තයට පැමිණ ඇති බවට පැවසේ. පසුව නොර්වේජියානු ජාතිකයන් මෙහි සංක්‍රමණය වීමත් සමග මෙම පූජකයන් එරට අතහැර ගොස් තිබේ. ඔවුන්ද මෙම භූමියේ සතුන් ඇතිකිරීමට ඇති නොහැකියාව හේතුවෙන් රැඳී නොමැත.

 

5. ක්‍රි.ව 874දී පමණ මෙහි ස්ථිර පදිංචියට ඉන්ගෝල්ෆ් ආනසාර නැමති නෝර්වේජියානු ජාතිකයා පැමිණ ඇත. ඔහු විසින් නිරිතදිග වෙරළේ ජනපදයක් පිහිට වූ අතර එය රේක් යාවික් ලෙස හැඳින්විණි. අද අයිස්ලන්තයේ අගනුවර වී ඇත්තේද මෙම නගරයයි.

 

6.අයිස්ලන්තයේ ප්‍රධාන කර්මාන්තය වන්නේ ධීවර කර්මාන්තයයි. එහි ඉදිවන කර්මාන්තශාලා අතුරින් බොහෝමයක් මාළු ටින් කිරීම සඳහා වේ. තෘණ භූමිවල එළු, බැටළු ආදීන් ඇතිකිරීමද මෙරට සිදුකෙරේ.

 

7. වනාන්තර අඩු මෙම රටෙහි එරටට ආවේණික ශාක කිහිපයක් වැවේ. මෙහි උස් පෙදෙස හිමෙන් වැසී පවතින අතර ජනාධිපතිවරයෙක් යටතේ මෙරට පාලනය කෙරේ.

 

 

 

 

 

 

තෘප්තිමත්ව රැකියාව කිරීමට අදාල කරුණු 7ක්

waystogetandstayhappyatwork

01. රැකියාවේ ඇති ඒකාකාරී බව මඟහරවා ගැනීමට තම කාර්යාල මිතුරන් සමග එක් වී දිවා ආහාර ගැනීමට හෝ තේ පානය කිරීමට හෝ පුරුදුවන්න. 


02. තමන්ගේ රාජකාරී කටයුතු ආශ්‍රිතව ඇතිවන යම්යම් ගැටලු පිළිබඳ තමාට වඩා අත්දැකීම් ඇති නිලධාරියකු සමග හෝ ආයතන ප්‍රධානියා සමග හෝ සාකච්ඡා කිරීම වැදගත් ය. මේ සඳහා දිනකට, සතියකට හෝ මාසයකට වැනි නිශ්චිත කාලයක් වෙන්කර ගැනීමට කටයුතු කරන්න.


03. එදිනෙදා සිදුකරන රාජකාරී කටයුතුවල ක‍්‍රමානුකූල පෙළගැස්මක් හා විධිමත් බවක් ඇතිකර ගැනීම කලයුතුය.


04. මානසික අසහනයෙන් මදක් හෝ අත්මිදීමට කාර්යාලයේදී සිය මිතුරු මිතුරියන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීම ද වැදගත් කරුණකි. එහෙත් මේ සඳහා නිකරුණේ තම රාජකාරී කාලය ගත නො කිරීමට වගබලා ගතයුතුය.


05. රැකියාව සම්බන්ධ ගැටලු පිළිබඳ පවුලේ අන් අය සමග සාකච්ඡා කිරීම වැදගත්ය. එසේත් නැත්නම් ළඟින් ඇසුරු කරන පුද්ගල‍ෙයකු සමඟ හෝ තම ගැටලු සාකච්ඡා කිරීම සිදුකළ යුතුය.


06. තම රැකියාව නිම වීමෙන් පසු නිවසට පැමිණ තම විවේක කාලය ගතකරන අාකාරය පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්වීම ද වැදගත්ය. මෙහිදී පුවත්පත් සඟරා බැලීම, ගුවන්විදුලියට සවන්දීම, රූපවාහිනිය නැරඹීම, තම නිවසේ ගැටලු සොයා බැලීමට හා සාකච්ඡා කිරීම කළ යුතුය.


07. ඇතමෙක් කය වෙහෙසා වැඩ කරන්නේ නම් විවේකී අවස්ථාවලදී කියවීමට හුරුවීම වැදගත්ය. රාජකාරී කටයුතුවලින් ඔබ අධික ලෙස වෙහෙසට පත් වී සිටින අවස්ථාවක වුවද , ඔබ ප්‍රිය කරන සඟරාවක් හෝ පොතක්පතක් කියවීම මගින් ඔබට මානසික සහනයක් ලබාගත හැකි ය.

ඒබ්‍රහම් ලින්කන් පිළිබඳ අප්‍රකට කරුණු 7ක්

Abraham-Lincoln-758x430

01. ඒබ්‍රහම් ලින්කන් ඇමරිකා එක්සත් ජනපදයේ 16 වැනි ජනාධිපතිවරයා විය. දැඩි මානවහිතවාදියෙකු වූ ඔහු ඇමරිකාවේ වහලුන් ලෙස සැලකූ කළු ජාතිකයන් හට නිදහස ලබාදීමටද කටයුතු ක‍ෙළ්ය. ඒ නිසාම ඔහුට සුදු ජාතික වහල් හිමියන් දැඩිසේ වෛර කරන්නට විය.


02. 1809 වසරේ පෙබරවාරි මස 12 වැනිදා උපත ලැබූ ලින්කන් 1860 වසරේදී රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟකරමින් ජනාධිපති ධූරයට පත්විය. 1865 අප්‍රේල් මස 25 වැනිදා සාහසිකයෙකුගේ වෙඩි පහරකින් මියයන විට ඔහු 56 වැනි වියේ පසුවිය. එක්සත් ජනපද ඉතිහාසය තුළ ඝාතනයට ලක්වූ ප්‍රථම ජනාධිපතිවරයාද ලින්කන්ය.


03. ලින්කන් බයිබලය නිරන්තරයෙන් පරිහරණය කළ කිතුණුවෙක් වුවද ඔහු කිසිදු දිනක පල්ලියකට ගියේ නැත.


04. ඒබ්‍රහම් ලින්කන් නව නිපැයුම්කරුවෙක් විය. ඔහුට ගංගාවල ගමන් කරන බෝට්ටු සඳහා ජීවිතාරක්ෂක උපාංගයක් නිපදවීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය හිමිවුණි.


05. ඔහු මිය යන තෙක්ම විෂාදය නැමැති රෝගී තත්ත්වයෙන් පීඩා වින්දේය.
ලින්කන්ගේ බිරිඳ වූ 'මාරි ටොඩ් ලින්කන්' සැරපරුෂ කාන්තාවක් විය. කෙතරම් සැරපරුෂද කිවහොත් වරක් උත්සව අවස්ථාවකදී ප්‍රසිද්ධියේම ඇය ලින්කන්ට තේ කෝප්පයෙන් දමාගසා ඇත.


06. ලින්කන් සිය වැදගත් ලිපිලේඛන ආදිය නිරන්තරයෙන්ම තබාගෙන සිටියේ සිය හිස්වැසුම තුළය.


07. ඒබ්‍රහම් ලින්කන් නීති විෂයය කිසිදු උපාධියක් නොමැතිවම ප්‍රගුණ කර සිටියේය.

 

ලෝක බැංකුව පිළිබඳ කරුණු 7ක්

World-Bank

01. ප්‍රතිසංස්කරණ සහ සංවර්ධනය පිළිබඳ අන්තර් ජාතික බැංකුව, 'ලෝක බැංකුව' (world Bank) යන නමින් හැඳින්වේ. එය වර්ෂ 1944 ජූලි මස 4වැනිදා ඇමරිකාව ඇතුළු රටවල් 44ක ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇත.


02. 'ලෝක බැංකුව' 1944දී පිහිටුවා ගත් නමුත්, ක්‍රියාත්මක තත්ත්වයට පත් වූයේ වර්ෂ 1949දීය. එහි ප්‍රධාන කාර්යාලය ඇමෙරිකාවේ වොෂිංටන් නගරයේ පිහිටුවා ඇත. ශාඛා ලෙස බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරද, ප්‍රංශයේ පැරිස් නුවරද, ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ද පිහිටුවා තිබේ.


03. ලෝක බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබාගැනීම අනිවාර්යය. යම් රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වයෙන් ඉවත් වුවහොත් ලෝක බැංකුවේ සාමාජිකත්වයෙන්ද ඉවත් වීමට සිදුවේ.


04. ලෝකයේ දිළිඳු රටවල් බොහොමයක් ඇති බැවින් දුප්පත්කම ලොවින් තුරන් කිරීමට උදව් උපකාර කිරීම ලෝක බැංකුවේ පරමාර්ථයයි.


05. ආරම්භයේ සිට මේ දක්වා ලෝක බැංකුවේ සභාපතිවරුන් 12දෙනෙකි. වර්ථමාන සභාපති වන්නේ කොරියානු සම්බවයකින් යුත් ඇමරිකානු ජාතික 'ජිම් යොංග් කිම්' වෙයි. හෙතෙම වර්ෂ 2012 අ‍ෙප්‍ර්ල් මසදී මෙම තනතුරට තෝරාපත් කරගන්නා ලදී. 


06. මෙහි පරිපාලන කටයුතු සඳහා මහා මණ්ඩලය වසරකට වරක් ද විධායක මණ්ඩලය මසකට වරක් ද රැස්වේ. හත් දෙනෙකුගෙන් යුත් උපදේශක මණ්ඩලයක් ද පිහිටුවා තිබේ.පාලනයේ වගකීම පැවරී ඇත්තේ සභාපතිවරයාටය.


07. ශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ සාමාජිකත්වය ලබාගනු ලැබුවේ වර්ෂ 1950දීය. එසේ සමාජිකත්වය ලබාගැනීමෙන් පසු වර්ෂ 1954 සිට ලංකාවට ආධාර ලැබීම සිදුකොට ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාවට ලෝක බැංකු ආධාර සැපයෙනුයේ බල ශක්තිය දියුණුව, කෘෂිකාර්මික දියුණුව, ග්‍රාමීය සංවර්ධනය හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහාය.