Author Archives: එප්පාවල- තිසර සමල්

අපුර පාසලක අක්කලා නංගිලාගේ කරාබු බලෙන් ගලවාගෙන?

අනුරාධපුරය නගරයේ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් පිරිසක් එම විද්‍යාලයේ පහළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් පැලඳ සිටින කරාබු පාසල් වේලාවේදී බලහත්කාරයෙන් කොල්ලකෑමේ සිද්ධියක් පිළිබඳ දෙමවුපියෝ පිරිසක් අනාවරණය කළහ.

තමන් මේ පිළිබඳ විද්‍යාලයේ පරිපාලනයට පැමිණිලි කළද, කිසිදු සාධාරණ පරීක්‍ෂණයක් සිදු නොකිරීම හේතුවෙන් මාධ්‍ය මගින් අනෙකුත් දෙමවුපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔවුහු පැවසූහ.

මීට සති දෙකකට පමණ ඉහතදී විද්‍යාලය තුළ මෙම සිද්ධිය සිදුව තිබුණද, එවැනි සිදුවීමක් සිදුනොවූ බවට ඒත්තු ගැන්වීමට විද්‍යාලයීය පරිපාලනය අසාර්ථක උත්සාහයක නිරත වන බව ‍එම දෙමවුපියෝ පවසා සිටිති.

පාසල අවසන්ව නිවසට පැමිණි තම දියණියන්ගේ කනේ පලඳා තිබූ රත්‍රන් කරාබු අස්ථානගත වීම පිළිබඳ ප්‍රශ්න කිරීමේදී පාසලේ වැඩිමහල් ශිෂ්‍යාවන් පිරිසක් තම කරාබු ගලවා ගත් බවට පැවසූ බවත්, ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුවියන් දහයකට වැඩි පිරිසක් මෙම සිද්ධියට මුහුණපා තිබෙන බවත් ඔවුහු ප්‍රකාශ කරති.

41257486-31f5-4ce1-82e8-126124234d81

වී ගොවීන්ට අක්කරයකට රු 40000ක රක්‍ෂණයක්

ඉදිරි කන්නයේ සිට වී ගොවීන්ගෙන් කිසිදු මුදලක් අය නොකර අක්කරයකට රුපියල් 40,000ක රක්‍ෂණාවරණයක් ලබා දීමට කටයුතු කරන බවත්, ආණ්ඩුව එක් කන්නයක් සඳහා සමස්ත ගොවීන් රක්‍ෂණය කිරීමට රුපියල් බිලියන දෙකකට වැඩි මුදලක් දරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, 'රන් දෑතට රැකවරණය' නමින් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පසුගිය මහකන්නයේ වගා හානි වූ  ගොවි ජනතාව වෙත වගා හානි සඳහා වන්දි බෙදාදීමේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

"ඉතිහාසයේ ඉඳන් අක්කරයකට රුපියල් 10,000ක් පමණයි වගා හානි වන්දි  ලැබුණේ. හැමදාමත් ගොවියාව  ශක්තිමත් කරවන්න ගොවියාව රජකරවනවා කියලා මැතිවණ කාලයට නොයෙකුත් පොරොන්දු දෙනවා. අපි කලින් හිටිය ආණ්ඩු කාලයේ  2012 – 2013 වර්ෂයේ විශාල නියඟයක් පැවතුණා. ඒ වෙලාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයයි, අපියි අරක දෙන්නම්, මේක දෙන්නම් කිව්වා. හැබැයි කිසිම දෙයක් අපට දීගන්න පුළුවන්කම ලැබුණේ නෑ.

අක්කරයක වගා හානියක් සඳහා රුපියල් 40,000ක වන්දි මුදලක් ලබා දීමට පසුගිය අයවැයේදී අපි තීන්දුවක් ගත්තා. ගොවීන් අපෙන් ඒ සඳහා ඉල්ලීමක් කළේ නෑ. හැබැයි වගාවට යම්කිසි හානියක් සිදු වුණොත් රුපියල් 10,000ක් ලැබුණොත් ඒක දැනෙන්නෙවත් නෑ. වී වගා කරලා, අස්වැන්න ලබාගෙන ඒ අස්වැන්න විකුණලා ලැබෙන ලාභය අක්කරයකට දළ වශයෙන් රුපියල් 40,000ක් පමණ වෙනවා. ඒ නිසා තමයි රුපියල් 10,000ට තිබුණ රක්‍ෂණය රුපියල් 40,000ක් දක්වා වැඩි කරලා දුන්නේ. 

ඉදිරි කන්නයේ සිට රුපියලක්වත් අය නොකර වී වගා කරන සියලුම ගොවි මහත්වරුන් අක්කරයකට රුපියල් 40,000ක රක්‍ෂණ ආවරණයක් ලබාදී තිබෙනවා. ආණ්ඩුව එක කන්නයක් සඳහා සමස්ත ගොවි මහතුන් රක්‍ෂණය කිරීම සඳහා රුපියල් බිලියන 02කට වැඩි මුදලක් දරනවා."

Duminda-disanayaka

 

ගිරාඹේ ආනන්ද අනු නාහිමියෝ දැයෙන් සමුගනිති

අපවත් වී වදාල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක අති පූජ්‍ය ගිරාඹේ  ආනන්ද නාහිමියන්ගේ ශ්‍රී  දේහයට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුරාධපුර ශ්‍රී  සාරානන්ද පිරිවෙනේදී අද (24) අවසන් ගෞරව දැක්වීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක අති පූජ්‍ය ගිරාඹේ  ආනන්ද නාහිමියන්ගේ දේහය මහජන ගෞරවය සදහා අනුරාධපුර සාරානන්ද පිරිවෙනෙහි තැන්පත් කර තිබූ අතර පසුගිය දින කිහිපයේ මහා සංඝරත්නය, මැති ඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් නාහිමියන්ට අවසන් ගෞරව දැක්වූහ.

අති පූජ්‍ය ගිරාඹේ  ආනන්ද නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (24) පස්වරු 3.00 ට අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී රාජ්‍යය අනුග්‍රහය සහිතව සිදුකෙරිණි.

1

 

තිරප්පනේ ප්‍රා සභාවට පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේපයි

තිරප්පනේ ප්‍රාදේශීය සභාවට පොදුජන පෙරමුණ ලබාදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. එම නාම යොජනා පත්‍රයේ  දිනය සඳහන් නොවීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වෙයි.

sri_lanka_podujana_peramuna

සිසුවියන්ට පෙම්වතුන්ගෙන් අසභ්‍ය දර්ශන සහිත ජංගම දුරකථන තෑගි ලැබිලා ?

අනුරාධපුර මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියන්ට පෙම්වතුන්ගෙන් අසභ්‍ය දර්ශන ගබඩා කළ ජංගම දුරකථනයන් තෑගි වශයෙන් ලැබීමේ සිද්ධින් කිහිපයක් අනාවරණය කරගැනීමට හැකිවූ බව ගුරුවරුන් පිරිසක් අනාවරණය කළහ.

සිසුවියන් කිහිප දෙනෙකුම අතවූ නවීන පන්නයේ ජංගම දුරකථනවල තිබී අසභ්‍ය දර්ශන හා අසභ්‍ය හඬපටයන් සහිත වීඩියෝවන් හමුවූ බව ඔවුහු පවසා සිටියහ.

දුරකථනවලට අසභ්‍ය දර්ශන ඇතුළත් කරගත්තේ කෙසේදැයි විමසූවිට ඔවුන් පවසා තිබුණේ, සිය පෙම්වතුන් විසින් තෑගී වශයෙන් ලබාදුන් ජංගම දුරකථනවල එම දර්ශන තිබූ බවයි.

පාසලේ ඉගෙනුම ලබන සිසුවියන් හොර රහසේ සඟවාගෙන ජංගම දුරකථන ඉතා ඕනෑකමින් නරඹමින් සිටියදී ඒවා ගුරුවරුන් භාරයට ගෙන සිදුකළ පරීක්ෂාවේදී අසභ්‍ය වීඩියෝ දර්ශන විශාල වශයෙන් ගබඩා කරගෙන තිබූ බව ඔවුන් අනාවරණය කරගෙන ඇත.

පාසල් වයසේ හා පාසල් නොයන පෙම්වතුන් විසින් පාසල් සිසුවියන් අනවශ්‍ය ආකාරයේ ඇසුරු සඳහා පොළඹවා ගැනීම සඳහා මෙම උපක්‍රමය සිදුකර ඇතැයි ගුරුවරු අනාවරණය කළහ.

79681972_181264085

 

ජීවිත දෙකක් බේරාගත් වෛද්‍යවරායට විගණනයක් ඉල්ලයි?

ගිලන් රථ රියදුරෙකු නොමැති අවස්ථාවක ගිලන් රථයක් යොදවා රිය අනතුරකට ලක්වූ ‍ගැබිනි කාන්තාවක අනුරාධපුරය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට කටයුතු කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් විගණනයක් පවත්වන ලෙස ගිලන් රථ වෘත්තීය සංගමයේ ඉහළ නිලධාරියෙකු අද (17දා) උතුරු මැද පළාත් සෞඛ්‍යය විගණන ඒකකයට පැමිණිල්ලක් කර තිබේ.

රාජංගණය, යාය 11 ප්‍රාදේශීය රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයාගේ දැඩි කැපවීම හේතුවෙන් ගැබිනි කාන්තාවගේ හා ඇයගේ දරුවාගේ ජීවිත බේරා ගැනීමට හැකිව තිබුණද, රෝහලේ ගිලන් රථ රියදුරා නොමැතිව පිටස්තර රියදුරෙකු මගින් රෝගීන් රෝහලට රැගෙන ඒම පිළිබඳ කූපිත වූ වෘත්තීය සමිති නිලධාරියා මෙලෙස පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

වෛද්‍යවරයා රෝගියාව අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යෑමට පෙර සිටම විගණන ඒකකයේ නිලධාරින් එම ස්ථානයේ රැඳී සිට ඇතැයිද වාර්තා වේ.

අදාළ ගැබිනි කාන්තාව සිය සැමියා සමග අද (17දා) උදෑසන යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී යතුරුපැදියෙන් ඇදවැටී ඇති අතර, සති 36ක් පමණ වන දරු ගැබක් සහිත ඇය අසාධ්‍ය තත්ත්වයෙන් රාජංගණය, යාය 11 ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

ඇයගේ කුස තුළ සිටින දරුවාගේ හෘද ස්පන්ධනය ඉතා වේගයෙන් අඩුවීම පිළිබඳ වෛද්‍යවරයා දැඩි අවධානය යොමුකර ඇති අතර, ඇය  අනුරාධපුරය ‍ශික්ෂණ රෝහලට යොමුකළ යුතුව තිබුණද, ගිලන් රථ රියදුරු නිවාඩු ලබා තිබීම හේතුවෙන් එය නොහැකි වී ති‍බේ.

වෙනත් රෝහල් කිහිපයකින් ගිලන් රථයක් ලබාගැනීමට වෛද්‍යවරයා උත්සාහ කර තිබුණද නොලැබුණු බැවින් ඒ පිළිබඳ උතුරු මැද පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂවරයාට වාචිකව පවසා පිටස්තර රියදුරෙකු සමග කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි අනුරාධපුරය ශික්ෂණ රෝහලට රෝගියා රෝහලේ ගිලන් රථයකින් රැගෙන යෑමට ‍වෛද්‍යවරයා කටයුතු කර තිබිණි.

පවුල් සෞඛ්‍යය සේවිකාවක, ඇයගේ සහායිකාව, රිය සහායක හා වෛද්‍යවරයා ගිලන් රථයෙන් රෝගියා අනුරාධපුරය රෝහලට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී රෝහලේ කිසියම් සේවකයෙකු විසින් අදාළ වෛද්‍යවරයා වෙනත් රියදුරෙකු යොදවා රෝගියෙකු තම රෝහලට රැගෙන ආ බව නිවාඩු ලබා සිටි ගිලන් රථයේ රියදුරුට පවසා ඇත.

ඉන් දැඩි කෝපයට පත් ගිලන් රථ රියදුරා වහාම ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයාට දන්වා තිබේ. ඔහු ඒ පිළිබඳ උතුරු මැද පළාත් සෞඛ්‍යය සේවා විගණන ඒකකයට දන්වා ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ එම ඒකකය වෛද්‍යවරයා රෝහලට පැමිණි අවස්ථාවේ ගිලන් රථය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.

ගිලන් රථය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බව පවසමින් ගිලන් රථ වෘත්තීය සංගමයේ නායකයා විසින් වෛද්‍යවරයාට අවලාද නගා ඇති අතර, තමන් ලැජ්ජා වීමට පෙර ජීවිත දෙකක් බේරාගැනීමට ගත් උත්සාහය අවභාවිතයක් යැයි පැවසන වෘත්තීය සමිති නායකයන් ලැජ්ජා විය යුතු බව වෛද්‍යවරයා ඔහුට පවසා තිබේ.

වෛද්‍යවරයා අප්‍රමාදව කටයුතු කිරීම හේතුවෙන් අද (17දා) සවස් වනවිට මව හා කුස තුළ සිටි දරුවා යහපත් සෞඛ්‍යය මට්ටමකින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිටි බව වාර්තා විය.

doctors

 

රජයේ ඉඩමක් හා ගොඩනැගිල්ලක් SM පුතාට පවරා දීලා?

රජයේ මුදලින් තඹුත්තේගම නගරයේ  ඉදිකළ ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා  විසින් ඔහුගේ පුත්‍රයාට පවරා දී පසුගිය රජය සමයේ විශාල වංචාවක් සිදුකර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ, අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ඡායාරූප හා ලිපි ලේඛන රැසක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.

"තඹුත්තේගම නගරයේ ඉදිකෙරුණු නව සතිපොළ භූමියට යාබදව 2014 සැප්තැම්බර් මාසයේ රුපියල් ලක්‍ෂ 200ක වියදමින් ගොඩනැගිල්ලක් ඉදිකළා, විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයෙන්. තාම මේ ගොඩනැගිල්ල විවෘත කරලා නැහැ, ඒ සම්බන්ධයෙන්  පරීක්‍ෂණයක් පැවැත්වෙන නිසා. මේ ගොඩනැගිලි හදන්න ඉඩම් පවරා ගෙන තියෙන ලිපි ලේඛන මා සතුව තිබෙනවා.

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා, 2014 මාර්තු මාසයේ බහුකාර්යය ගොඩනැගිල්ලක් ඉදිකරන්න ඉඩම් ඉල්ලීමක් කරමින් ලිපියක් යොමුකරලා තියෙනවා,  මහවැලියට ගොඩනැගිල්ල ඉදිකරන්න. මහවැලියෙන් ඉල්ලීමක් කරන ඉඩමේ නෙමෙයි ගොඩනැගිල්ල ඉදිකරලා තියෙන්නෙ. ඊට අල්ලපු ඉඩමේයි ගොඩනැගිල්ල ඉදිකරන්නෙ. තඹුත්තේගම නගරයේ  41-සී 2 කියන ඉඩමේ තමයි බහුකාර්යය ගොඩනැගිල්ල ඉදිකරන්න ඉල්ලීම කරන්නෙ. හැබැයි ගොඩනැගිල්ල ඉදිකරන්නේ  41 – සී 1 කියන ඉඩමේ.

එවකට විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා එතුමාගේ ලිපි ශීර්ෂයෙන් ඉල්ලීමක් කරනවා නේවාසික ව්‍යාපාර කළමනාකරුගෙන්. 'කලාවැව ආසනයේ කාර්යාල පහසුකම් හා නේවාසික පහසුකම් ලබාගැනීමට ඉල්ලීම' කියන මාතෘකාවෙන් උක්ත කරුණ සම්බන්ධයෙන් 'මහවැලි එච් කලාපයේ තඹුත්තේගම, තම්මැන්නාපුර ඇති 41-සී 1 ලෙස නම් කර ඇති පර්චස් 40ක බිම් කොටස ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි' කියලා. එහෙම ඉල්ලලා ඊට යාබද ඉඩමේ ආණ්ඩුවේ රුපියල් ලක්‍ෂ 200ක වියදමින් ගොඩනැගිල්ල හදනවා. ඊට පස්සේ 2014-11-03 නැවත එස්.එම්. චන්ද්‍රසේන ඇමතිතුමා මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරුට ලිපියක් එවනවා. 'නේවාසික පහසුකම් සඳහා ඉඩම් කොටසක් ලබාගැනීම සම්බන්ධවයි' කියලා.

නව නුවර පාර කුරුන්දන්කුලම, අනුරාධපුර ලිපිනයේ තාවකාලිකව පදිංචිව සිටින එස්.එම්. ඉසංක චතුරංග යන අයට, ඒ කියන්නේ චන්ද්‍රසේන ඇමතිතුමාගේ පුතාට 'නේවාසික පහසුකම් සඳහා මහවැලි එච් කලාපයෙන් ඉඩම් කොටසක් ලබාදෙන ලෙස මා වෙතින් ඉල්ලීමක් කර සිටී. මේ පිළිබඳ ඔබතුමන්ගේ අවධානය යොමුකර මහවැලි නේවාසික ව්‍යාපාර කාර්යාලයෙන් මැන සකස් කරන ලද 41 සී 2 ඉඩම් කට්ටිය ඒ සඳහා ලබාදෙන මෙන් කාරුණික වෙමි' කියලා'.

එස්.එම්. චන්ද්‍රසේන ඇමතිවරයා, තඹුත්තේගම සතිපොළ අසල 41 සී 1  රජයේ ගොඩනැගිල්ලක් ඉදිකරන්න ඉල්ලලා, ඊට යාබද ඉඩමේ ආණ්ඩුවේ මුදලින් විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයෙන් ලක්‍ෂ 200ක් වියදම් කරලා ගොඩනැගිල්ලක් හදලා, ඒ ඉඩම ඉල්ලනවා තමන්ගේ පුතාට. මේ කාරණා නිසා තාමත් මට මේ ගොඩනැගිල්ල විවෘත කරගත නොහැකි වෙලා තියෙනවා. මේ ගැන මේ වනවිට පරීක්‍ෂණයක් කරනවා. ආණ්ඩුවේ මුදල් වියදම් කරලා අපට අපේ ගෙවල් හෝ කාර්යාල හදාගන්න පුළුවන්කමක් නැහැ. මේවා විශාල වංචා. මේ කාරණා මම ඉදිරිපත් කරනවා, ඇස් ඇරගෙන ඉන්න අයට" යැයි පැවසීය.

අප මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍ර‘සේන මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ,

“මට සිදුකරන මේ චෝදනාව මම ප්‍රතික්‍ෂේප කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කලාවැව ආසන සංවිධායක විදිහට මම කටයුතු කරද්දී කාර්යාලයක් පවත්වා ගෙන යන්න නිමල් සිරිපාල ඇමතිතුමාගෙන් මම ඉල්ලීමක් කළා. නමුත් ඒකට වැඩ ගොඩක් තියෙන බවත්, නෛතික පැත්ත ගැනත් ඇමතිතුමා මට පැහැදිලි කරලා දුන්නම මට ඒ අදහසත් අතහැරලා දැම්මා. මම කවදාවත් පුතා වෙනුවෙන්වත්, පෞද්ගලිකවත් ඉඩමක් ඉල්ලා නැහැ. 

මට මේ චෝදනාව කරන දුමින්ද දිසානායක ඇමතිතුමාගේ ඉඩම් ගනුදෙනු ගැන නම් ලිපි ගොඩක් මගේ ළඟ තියෙනවා. ඕනේ නම් ඒවා ඉදිරිපත් කරන්නම්" යනුවෙනි. 

මහඉලුප්පල්ලම අක්කර 300 බංග්ලාදේශයට දෙන්නේ නෑ

මහඉලුප්පල්ලම රජයේ බීජ ගොවිපොළ බංග්ලාදේශයට විකිණීමක් හෝ බදු දීමක් සිදු නොවන බවත් එරට ප්‍රකට බීජ නිෂ්පාදන සමාගමක් සමග දෙමුහුන් බීජ නිෂ්පාදන තාක්ෂණය හුවමාරුව කර ගැනීම පමණක් සිදු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

එම ගොවිපොළේ සේවකයන් සමග අද (22දා) පැවැත්වූ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය. 

මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර භෝග පරීක්‍ෂණ ආයතනයේ අක්කර 300ක් බංග්ලාදේශයේ පෞද්ගලික සමාගමකට වසර 150 කට බදු දී ඇති බවට පැතිර යන  ප්‍රචාරය සම්බන්ධයෙන් එම ආයතනයේ සේවකයන් දැනුවත් කිරීම සදහා මෙම සාකච්ඡාව පැවැත් වුණි.

වර්ෂයක් තුළ ශ්‍රී ලංකාවට බීජ ආනයනය කිරීමට පමණක් රුපියල් මිලියන 1400ක් පමණ වැය වන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

මහඉලුප්පල්ලම රජයේ බීජ ගොවිපොළෙහි අධ්‍යක්ෂ ඩබ්.ඒ.කේ කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

උතුරු මැද ඇමතිට ඉල්ලා අස්නොවීමට මහින්දගෙන් උපදෙස්

උතුරු මැද පළාත් සභාවේ හටගෙන තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ උතුරු මැද පළාත් වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන, කාන්තා කටයුතු අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ඒකාබද්ධ විපක්ෂයෙන් දන්වා ඇතැයි වාර්තා වේ.

උතුරු මැද පළාත් සභාවේ අර්බුදකාරී තත්ත්වයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතීව කටයුතු කරන එච්.බී. සේමසිංහ මහතාද සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වී තිබූ අතර, අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට හේතු නොමැති බැවින් ඉල්ලා අස්නොවන ලෙස ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම දන්වා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් උතුරු මැද පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස සහ පළාත් සභා පිළිබඳ අමාත්‍ය කේ.එච්. නන්දසේන මහතා ඇමති ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ උතුරු මැද පළාත්  සභා අර්බුදය පිළිබඳව හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ බලමණ්ඩලය උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ඇමතිවරු සමග විජේරාම නිවසේදී  පැවැති සාකච්ඡාවකදී මේ බව දැනුම්දී තිබේ.

උතුරුමැද පළාත් සභාව හෙල්ලෙයි

(UPDATE) 

උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ධුරයෙන් කේ.එච්. නන්දසේන මහතා වහාම ඉන් ඉවත් කර එම්. හේරත් බණ්ඩා මහතා පත්කිරීම හා ඊට විරෝධය පා උතුරු මැද පළාත් ප්‍රවාහන හා යෞවන කටයුතු අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමගම උතුරු මැද පළාත් සභාවේ බලය හෙලවී තිබේ.

උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කර දැමූ කේ.එච්. නන්දසේන මහතාගේ පුරප්පාඩුවට ඊයේ (10දා) උදෑසන 9.12ට යෙදුණු සුබ මොහොතින් උතුරු මැද පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන එම්. හේරත් බණ්ඩා මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

ඒ අනුව හේරත් බණ්ඩා මහතා සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධක, පරිවාස හා ළමාරක්ෂක, කාන්තා කටයුතු අමාත්‍යවරයා වශයෙන් වැඩ භාරගැනීමට නියමිතය. වසර කිහිපයක්ම උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ හෙතෙම  කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව ගෞරව උපාධිධාරියෙකි. 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේ උතුරුමැද පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්තෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කේ.එච්. නන්දසේන අමාත්‍යවරයා වර්තමාන පළාත් සභාවේ වසර දෙකකට ආසන්න කාලයක් සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබසාධක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කළේය.

උතුරුමැද පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යධුරයෙන් කේ.එච්. නන්දසේන මහතා ඉවත් කිරීමේ තීන්දුවට විරෝධය පා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර සිටින එස්.එම්. රංජිත් සමරකෝන් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම තනතුරට පේශල ජයරත්න මහතා පත්කෙරිණි. අනතුරුව එස්.එම්. රංජිත් සමරකෝන් මහතා උතුරුමැද පළාත් යෞවන කටයුතු, ක්‍රීඩා, ප්‍රවාහන හා සමුපකාර අමාත්‍යවරයා ලෙස පත්කෙරිණි.


උතුරුමැද පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්කර දැමූ කේ.එච්. නන්දසේන මහතාගේ පුරප්පාඩුවට අද (10දා)  උතුරු මැද පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන එම්.හේරත් බණ්ඩා මහතා උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා ඉදිරියේදී දිවුරුම් දෙන ලදී.

ඒ අනුව ඒ මහතා සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබසාධක පරිවාස හා ළමාරක්ෂක කාන්තා කටයුතු අමාත්‍යවරයා වශයෙන් වැඩබාර ගැනීමට නියමිතය. වසර කිහිපයක්ම උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ හෙතෙම කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව ගෞරව උපාධිධාරියෙකි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ විධායක නිලධාරියෙකු වශයෙන් වසර 24ක් කටයුතු කළ අයෙකි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේ උතුරුමැද පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්තෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නන්දසේන අමාත්‍යවරයා වර්තමාන පළාත් සභාවේ වසර දෙකකට ආසන්න කාලයක් සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබසාධක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර ඒ මහතාට අද (10) දිනයේ සිය අමාත්‍යධුරය අහිමිවිය.

මෙම තීන්දු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා වර්තමාන ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීන්දුවක් බව අභිනවයෙන් අමාත්‍යධුරයට පත්වූ උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී එම්. හේරත් බණ්ඩා මහතා පැවසුවේය.

දිවුරුම් දීමේ උත්සවයට ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න, කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

01 02 03