Author Archives: ශාන් හුලංනුගේ

අර්තාපල්වලින් සකසන ලද ලෝකයේ දිගම අර්තාපල් කේක් ගෙඩිය ලංකාවෙන්

අර්තාපල්වලින් සකසන ලද ලෝකයේ දිගම අර්තාපල් කේක් ගෙඩිය නිර්මාණය කිරීමට නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සූපවේදීහු සමත්ව සිටිති.

මීටර් 111ක දිගකින් හා කිලෝ 380ක බරකින් යුත් මෙම කේක් ගෙඩිය සැකසීම සඳහා අර්තාපල් බහුලව යොදාගෙන ඇති අතර, ඒ සඳහා රුපියල් තුන්ලක්ෂ දසදහසක පමණ මුදලක් වැය වී ඇතැයි පැවසේ.

නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රය එළිමහනේ සකසා තිබූ මෙම විශාල අර්තාපල් කේක් ගෙඩිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) පැවැති උත්සවයකදී එළිදැක්විණි.

සංචාරක ව්‍යපාරය ප්‍රවර්ධනය කිරීම සහ අර්තාපල්වල අගය වැඩි කිරීම මුල් කරගනිමින් මෙම අර්තාපල් කේක් ගෙඩිය සැකසීමට නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටල් කළමනාකාරීත්වය විසින් පියවර ගෙන තිබිණි.

මෙම අවස්ථාවට නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, නුවරඑළිය පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු ග්‍රෑන්ඩ් හෝටල් කළමනාකාරීත්වය හා සූපවේදීහු එක්ව සිටියහ.       

DSC_1546 DSC_1547 DSC_1550 DSC_1552 DSC_1554 DSC_1555 DSC_1565 DSC_1570 DSC_1573 DSC_1580 DSC_1585                                                                                    

ටොරින්ටන් වතු මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ආගරපතන, ටොරින්ටන් වතු මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් අද (16දා) අලුයම මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී යෑමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ආගරපතන පොලීසිය පවසයි.

මෙම අනතුරින් තුවාල ලැබූවන් ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට මාරු කර යවා තිබේ.

ආගරපතන පොලීසිය අනතුර පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

IMG-20180416-WA0000 IMG-20180416-WA0001 IMG-20180416-WA0005

තලවකැලේට අයිස් වර්ෂාවක්

තලවකැලේ නගරය හා ඒ අවට ප්‍රදේශවලට සවස අද (28දා) සවස පතිත වු අධික වර්ෂාවත් සමඟ අයිස් කැට පතිත විහ.

පැය දෙකකට  අධික කාලයක් පැවැති  වර්ෂාවත් සමඟ මෙසේ වරින්වර විශාල වශයෙන් අයිස් කැට පතිත වු අතර වර්ෂාවත් සමඟ ම අයිස් වැටීම විශාල කාලයකට පසුව සිදු වු බව තලවකැලේ නගර වැසියන් පැවැසුහ.

DSC01026 DSC01028

නුවරඑළිය සම්පූර්ණයෙන්ම සාමකාමියි – නුවරඑළිය දිසාපති

නුවරඑළිය දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම සාමකාමී බවත්, දිස්ත්‍රික්කය තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතර පවතින සහෝදරත්වය වර්තමාන මෙම තත්ත්වයට හේතුව වී ඇති බවත් නුවරඑළිය දිසාපති එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වර්තමාන ආරක්‍ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (08දා) පැවැති සාකච්ඡාවකදීය.

දිස්ත්‍රික්කයේ පවතින සමකාමී තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යෑම සඳහා ආගමික නායකයන්, මහජනතාව හා ආරක්‍ෂක අංශ එක්ව තවදුරටත් කැපවිය යුතුව බවද දිසාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ සාමකාමී වාතාවරණයක් පවතින බවත්, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව එක්ව දිස්ත්‍රික්කය පුරා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන ගලප්පත්ති මහතා පැවසීය.

තම තමන්ගේ ආගම් අදහන ජනතාව දැනුවත් කර කිසිදු අයුරකින් හෝ කිසිවෙකුටවත් කරදරයක් සිදු නොවීමට වගබලා ගන්නා බව මෙම සාකච්ඡාවට එක්ව සිටි සියලු ආගම් නියෝජනය කරන ආගමික නායකයෝ පැවසූහ.

IMG_9009

 

හැටන් මහනුවර මාර්ගය යළි විවෘතයි

නායයෑම් හා ගිලා බැසීමට ලක්ව වසා දමා තිබූ හැටන් – මහනුවර මාර්ගය රථවාහන ගමනාගමන කටයුතු සඳහා යළි අද (19දා) සිට විවෘත කෙරිණි.

මෙම මාර්ගය පෙරේදා (17දා) ගිනිගත්හේන හා නාවලපිටිය අතර කොටසේ තැන් කිහිපයක් නායයෑම්වලට ලක්වීම හා මීපිටිය ප්‍ර‘දේශයේදී මාර්ගය ගිලා බැසීමකට ලක්වීම නිසා සම්පූර්ණයෙන්ම වසා දමා තිබිණි.

දැනට මෙම මාර්ගයේ එක් මංතීරුවක් රථවාහන ගමනාගමනයට විවෘත කර ඇති බව පවසන මාර්ග සංවර්ධන අධිකාරිය, ආපදාවට ලක්වූ ස්ථානවලින් රථවාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී. 

කාවන්තිස්ස නිරිඳුගේ කරඳහෙල තපෝවනය

කාවන්තිස්ස රජතුමා විසින් රුහුණේ ඉදිකරන ලද විශාලතම මෙන්ම පැරණිතම තපෝවනය ලෙස සැලකෙනුයේ කරඳහෙල තපෝවනයයි. මෙම ඉපැරණි තපෝවනය පිහිටියේ ඊටම සරිලන අති රමණීය පරිසර පද්ධතියක් මැදිකොට ගෙනය. වැවයි, දාගැබයි, වෙල්යායයි එකට සංකලනය වී මුහුදු මට්ටමේ සිට අඩි 633 ක් උසින් පිහිටි කරඳහෙළ කන්ද ආශ්‍රිතව මෙම තපෝවනය පිහිටා තිබේ.

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් පානම පත්තුවේ හුලංනුගේ හන්දියේ සිට බක්මිටියාව පැරණි මාර්ගයේ සැතපුමක් පමණ ගිය තැන කඳුරුගස්ආර ගම්මාන ආශ්‍රිතව මෙම තපෝවනය පිහිටා තිබේ. එකල මෙම ස්ථානයට ළඟාවීම අතිශය දුෂ්කර කටයුත්තක් වුවද අද එහි යෑම කිසිවෙකුටත් අපහසු කටයුත්තක් නොවන්නේ මාර්ග පද්ධතිය සංවර්ධනය කොට ඇති නිසාය.

මෙම ඉපැරණි තපෝවනය තුළ ස්ථූප, ශෛලමය ගොඩනැගිලි මෙන්ම ලෙන් කර්මාන්තයද දැකිය හැක. මෙම තපෝවනය කන්ද මුදුනේ හා කඳු බෑවුම් ප්‍රදේශ තුළ ලොකු කුඩා ලෙන් හතළිහක් පමණ පිහිටුවා ඇත. ඒවා බොහෝමයක වැසි ජලය ඇතුළට ගලා ඒම වළක්වාලීම සඳහා කටාරම් කොටා තිබෙන අතර, ලෙන් තුනක ශිලා ලිපි කොටා තිබේ.

මෙහි ඇති ලෙන් වලින් එක් ලෙනක් අඩි 512 ක් දිගකින් හා අඩි 30 ක පළලින් යුක්තවන අතර, කටාරම් කෙටූ එවැනි ගල් ලෙනක් මුළු රුහුණේම නොමැත. අඩි 175 ක් දිග, අඩි 35 ක් උස, අඩි 31 ක් පළලින් යුත් මෙහි තවත් විශාල ලෙනක් කන්දේ ඉදිරිපස නැගෙනහිරට මුහුණපා තිබේ. එම කටාරම් කෙටූ ගල් ලෙන තුළ සිව්වන සියවසට අයත් යැයි සැලකෙන බුදුමැදුරක් තනා තිබේ. එහි දිගින් අඩි 41 ක් පමණ වන විශාල සැතපෙන බුදු පිළිමයක් අඹා ඇත. නිදන් හොරුන් විසින් මෙම බුදු පිළිමයට වරින්වර දැඩි හානි කොට විනාශකර තිබේ. මෙම ලෙනේ බිත්ති තුළ පැරණි චිත්‍ර සටහන් සමූහයක් දැකිය හැකි අතර, ඒවා බොහෝමයක් මේ වනවිට විනාශ වී හා විනාශ වෙමින් පවතී.

මෙම ලෙනේ   කරවා ඇති මෙම සැතපෙන බුදු පිළිමය රෝහණයේ ඇති බුදු පිළිම අතරින් අද්විතීය බුදු පිළිමයක් බවට පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ සඳහන් කරති. මෙම තපෝවනය තුළ අවම වශයෙන් ස්ථූප තුනක්වත් තිබී ඇතැයි අනාවරණය වී ඇති අතර, එම ස්ථූපවල ගඩොල් කුඩුම්බිගල, ශාස්ත්‍රවෙල, යල්පන, කොටවෙහෙර යන ස්ථූපවල ගඩොල් හා සැසැදේ. ඒ අනුව මෙම ස්ථූප එකම කාල වකවානුවක පිහිටුවා ඇතැයි සිතිය හැකිය.

මෙහි ඇති විශාල පර්වතය මුදුනේ ස්වාභාවික ලෙස නිර්මාණය වූ විශාල ගල් කෙම් (ජල පොකුණු) දෙකක්ද කුඩා ගල් කෙම් හතරක්ද දැකිය හැකිය. වර්ෂාව දැඩිව පවතින කාලවලට මෙම ගල් පොකුණු ජලයෙන් පිරී උතුරා යන අතර, ඒවායේ ජලය වර්ෂයේ බොහෝ කලක් යනතුරු නොසිඳී පවතී.

කාවන්තිස්ස රජතුමා සමග විහාරමහා දේවිය මෙම සුන්දර පූජනීය ස්ථානයට නිතර නිතර පැමිණ ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වෙයි.කරඳහෙල විහාරය හා ඒ අවට ප්‍රදේශය කිසිදාක පුරාවිද්‍යා ගවේෂණයකට ලක් කොට නොමැත. පුරාවිද්‍යා කැණීම් කොට මෙහි ශේෂයන් මනා ලෙස පරීක්ෂණයකට ලක් කළහොත් ඉතිහාසයේ වැදගත් තොරතුරු රුසක් සොයාගත හැකිය.