Author Archives: සරසි නෙත්මිනී

සිතිවිල්ල යථාර්ථයක් බවට පත්කර ගනිමින් මහා පරිමාණ ව්‍යාපාරයක් ඇරඹූ දිරිය කතක්

ජීවිතයේ බාධක හමුවේ නොසැලී සිටින්නට ගතින් ශක්තියක් නොමැති කලකදී ඇය සිතින් ශක්තිමත් විය. එකී චිත්ත ශක්තිය තුළින් තනිවම ව්‍යාපාරයක් ආරම්භ කළ ඇය අද වන විට විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට පවා රැකියා අපේක්ෂාවන් රැසක් උදා කරදී අවසන්ය. ඇය නමින් සේනානි ප්‍රනාන්දු මහත්මියයි. මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ඇය දැන් සංචාරක ඒජන්සියක හිමිකාරිනියකි. අභියෝගකාරී ජීවිතයෙන් මිදී මෙම ව්‍යාපාරය හරහා ඉදිරියට පැමිණි ඇය ඒ බව අද හමුවේ පැවසූවේ මෙලෙසිනි. 


DSC_0008

ඔබ කරන ව්‍යාපාරයට පසුබිම සකස් වූ ආකාරය ගැන සඳහන් කළොත්?

මම මුලින් කාර්යාලයක රැකියාවක් කළ කෙනෙක්. ඒ කාලයේදී මම කිතුල්ගල වෝටර් රාෆ්ටින් ගිහින් අඩි 30ක් පමණ උස දිය ඇල්ලකින් පහළට වැටුණා. එහිදී මගේ කකුල කැඩුණා. ඒ නිසා මට අවුරුදු තුනක් පමණ යනකම් අධාරකයක් මගින් තමයි ඇවිදින්න සිද්ධ වුණේ. ඒ කාලෙදී මගේ හිතට ගොඩක් දේවල් ආවා. මම හදිසියේවත් පැරලයිස් වුණොත් කියලා හිතුණ අවස්ථාද බොහෝ තිබුණා. ඒ නිසා තමයි මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න මම හිතුවේ. ඒ නිසා මගේ තියෙන දැනුම පාවිච්චි කරලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න න්‍යායික දැනුම සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායක අධ්‍යයනය හදාරන්න පටන් ගත්තා. මම මුල් දවස්වල ආධාරකයක් භාවිතයෙන් තමයි අදාළ දේශනවලට පවා සහාභාගි වුණේ.

ඔබ කරන ව්‍යාපාරය ගැන කෙටියෙන් හැඳින්වුවහොත්?

ගුවන් ටිකට්පත් සේවා හා  ඒ ආශ්‍රිත වීසා ලබාගැනීම, හොලිඩේ පැකෙජ් වැනි දේවල් තමයි අප ආයතනය මගින් අපේ සේවාදායකයන්ට ලබාදෙන්නේ. කොහුවල තිබෙන මගේ ඒජන්සිය %ලෙගසි ට්‍රැවල්ස්^ පෞද්ලික සමාගම නමින් තමයි හඳුන්වන්නේ. දැන් මම මේ ව්‍යාපාරය  ආරම්භ කරලා වසර 8ක් වගේ කාලයක් වෙනවා. 

අපි යුරෝපය, චීනය, මැලේසියාව ආදී රටවලටත් යෑමට අවශ්‍ය සේවාදායකයන්ගේ විදෙස් ගමන් සම්බන්ධ කටයුතු සිදුකරනවා. ඒ වගේම විශාල කණ්ඩායම් වශයෙන් යනකොට එවැනි අවස්ථාවන්ට අවශ්‍ය පහසුකම්ද අපි සලසනවා. බොහෝ වේලාවට විදෙස්ගත වන්නෙකු ට්‍රැවල් ඒජන්සියක් වෙත පැමිණෙන්නේ ඔවුන්ට විදෙස්ගත වීමට අවශ්‍ය ලියකියවිලි හා පැකේජයක් නම්, නවාතැන්, ප්‍රවාහන, ආහාර ආදී සෑම පහසුකමක්ම සලසා ගැනීමේ අපේක්ෂාවෙන්. අපි ඔවුන්ගේ ඒ අවශ්‍යතා ඉටු කර දීමට කටයුතු කරන්නේ ඔවුන්ට ඒ පිළිබඳ තනිවම කර ගැනීමට නිසි අවබෝධයක් නොමැති නිසා. අපි අපේ සේවාදායකයන්ගේ ගුවන් ටිකට්පතේ සිට සියලු කටයුතු වගකීමෙන් හා විශ්වාසනීයත්වයෙන් යුතුව සිදුකර දෙනවා. 
මීට අමතරව ජයවර්ධනපුර, කැලණිය යන විශ්වවිද්‍යාලවල ආරාධිත දේශන සඳහාද මම සහභාගි වෙනවා.

ඔබ ඒවා අතරින් මොනවගේ විදෙස් සංචාර සඳහාද වැඩි උනන්දුවක් දක්වන්නේ?

මම වැඩිපුරම උනන්දුවක් දක්වන්නේ අධ්‍යාපනික සංචාර සඳහා. ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, මොරටුව හා ශ්‍රී ලංකා විවෘත  විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාලවල බොහෝ විදෙස් අධ්‍යයන චාරිකා මෙහෙයවීමට මට හැකි වී තිබෙනවා. විශේෂයෙන්ම එවැනි අධ්‍යයන සංචාර දැනට යුරෝපය මෙන්ම ආසියාවේ බොහෝ රටවලට සිදු කර තිබෙනවා. 

DSC_0024

ව්‍යාපාරයක් කෙසේ හෝ ආරම්භ කිරීමට සිටි ඔබ ඇයි මේ වගේ සංචාරක ක්ෂේත්‍රයක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යොමු වෙන්නේ?

මම සංචාරය කරන්න ගොඩක් කැමති කෙනෙක්. ඒ නිසා තමයි මේ වගේ දෙයක් තෝරා ගැනීමට මුල් වුණේ. මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ඇත්තෙන්ම මම සත පහක්වත් යෙදෙවූයේ නැහැ. මුලින්ම නිවසේ සිටින අතරතුරම තමයි මම මේ රැකියාව ආරම්භ කළේ. එහිදී මම දන්න අඳුරන සම්බන්ධතා මත මුලින්ම අන්තර්ජාලය හරහා මේ වැඩකටයුතු සිදුකරගෙන ගියා. ඒ හැම කෙනෙක්ම මම හොඳින් දන්නා හඳුනන අය. මම අන්තර්ජාලය හරහා ඔවුන් හා සම්බන්ධ වෙලා මුදල් ගනුදෙනු සිදුකළා. ඇත්තෙන්ම මම මෙහි හුවමාරු කිරීමක් පමණයි මුලින්ම  සිදුකළේ. මම මේ ව්‍යාපාරය ආරම්භ කළ මුල් කාලයේ හරිහැටි ක්‍රමවේදයක්වත් තිබුණේ නැහැ. අඩුම තරමේ කාර්යාලයක්වත් නැහැ. 

නමුත් මේ විදිහට කාලයක් අන්තර්ජාලය ඔස්සේ වැඩකටයුතු සිදුකරනකොට මම හිතුවා මේක මීට වඩා දියුණු කරන්න අවශ්‍යයි කියා. පසුව බොරලැස්ගමුවේ පොඩි කාර්යාලයක් සකස් කරලා එහි සේවය සඳහා දෙන්නෙක් වැඩට ගත්තා. අන්න ඒ විදිහට තමයි මම වැඩ පටන් ගත්තේ.

ධෛර්යයෙන් ආරම්භ කළ මේ ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් න්‍යායික දැනුමක් දැන් ඔබ සතු වෙනවාද?

ඔව්. මම ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අවශ්‍ය නිසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායක අධ්‍යයන අංශයේ පාඨමාලා හැදෑරීමට යොමු වුණේ. අද වෙන කොට මට ව්‍යවසායක අධ්‍යයන අංශයේ පශ්චාත් උපාධිය පවා හිමිකර ගැනීමට හැකි වී තිබෙනවා. ඇත්තෙන්ම ඒ උපාධිය නිසා තමයි මම මේ වගේ තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන්න යොමු වුණේ. 

දැන් ඔබේ ව්‍යාපාරික තත්ත්වය කොහොමද?

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආභාසය නිසා මට විශ්වවිද්‍යාල රැසක සම්බන්ධතා ඇතිකර ගැනීමට හැකි වුණා. ඒ ඔස්සේ මගේ ව්‍යාපාර කටයුතු අද වන විට ගොඩක් දියුණු වෙලා තිබෙනවා. මම දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපන  සංචාරවලට තමයි වැඩි නැඹුරුවක් දක්වන්නේ.

අනාගත සැලසුම් ගැන කතා කළොත්?

මිනිසුන් වැඩිපුරම කැමති විදෙස්ගත වීම් සම්බන්ධ කටයුතු ඔන්ලයින් හරහා සිදුකරන්න. වෙබ් පිටු හරහා අපි දැනට කටයුතු සිදුකරගෙන ගියත් මේ ඔන්ලයින් ක්‍රමවලට මිනිසුන් බහුතරයක් යොමු වී තිබෙනවා. ඒ නිසා මමත් ඔන්ලයින් ක්‍රමයකට යොමු වෙන්න අපේක්ෂා කරනවා. පළවෙනි පාර වෙනත් රටකට යන්න ඉන්න අයට ටිකක් මේ වැඩ තනියම කර ගැනීමේ අපහසුවක් තිබෙනවා. පළමු වර ඔන්ලයින් හරහා විදෙස්ගතවීම් කටයුතු සිදුකිරීමත් අපහසු දෙයක්. ඒ නිසා අපේ ආයතනය විසින් ඉදිරියේදී එය සේවාදායකයන්ට හඳුන්වා දීමට අපේක්ෂා කරනවා.  

ඔබේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිශේෂී ක්‍රමවේදයක් යොදා ගන්නවාද?

බොහෝ අය දකින්නේ ෆේස්බුක්වල නරක පැත්ත විතරයි. නමුත් මම නම් මෙහි හොඳ පැත්තකුත් දකිනවා. මගේ ව්‍යාපාරයේ බොහෝ සම්බන්ධතා සකස් වුණේ මේ ෆේස්බුක් පිටුව හරහා. මම හිතනවා ඕනම දෙයක් හරි විදිහකට යොදා ගත්තොත් ඇත්තෙන්ම එයින් හොඳ දෙයක් ලබාගන්න පුළුවන් කියලා. මම ගොඩක් වැඩකටයුතු සිදු කරන්නේ ෆේස්බුක් හරහා. මම දැනට ඔන්ලයින් වැඩ නොකළත්, විද්‍යුත් ලිපි හරහා ඊමේල් කැම්පේන් වගේ දේවල් සිදුකරනවා. 
ඔබට මේ ව්‍යාපාරය හරහා විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට පවා රැකියා අවස්ථා උදා කර දීමට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ ගැන මොකද හිතන්නේ?
මගේ ළඟ දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ උපාධිය හැදෑරූ ශිෂ්‍යයෙකු වැඩ කරනවා. ඊට කලිනුත් මගේ ආයතනයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ළමයින් සේවය කරලා තිබෙනවා. මම ඇත්තෙන්ම සතුටු වෙනවා මේ වගේ විශ්වවිද්‍යාලවලින් උපාධිය නිම කර පැමි‍ණෙන ශිෂ්‍යයන්ට පවා රැකියා අවස්ථා ලබාදීමට පුළුවන් වීම පිළිබඳ. 

නොයෙක් බාධක හමුවේ මේ තරම් දුර පැමිණීම ගැන ඔබ සිතන්නේ කොහොමද?

ඇත්තෙන්ම මගේ හිතේ තිබෙන ශක්තිය තුළින් තමයි මම මේ තරම් දුරක් පැමිණියේ. දරාගැනීමේ හැකියාව ඇත්තෙන්ම මට ඒ කාලේ ඉඳන්ම තිබුණ දෙයක්. මොන අභියෝගයක් ආවත් ඒ සඳහා සාර්ථකව මුහුණදෙන්න හිතාගෙන තමයි මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ. ඇත්තෙන්ම ගැහැනු කෙනෙක් වීමත් ඇතැම් අවස්ථාවල වාසි සහගත වෙනවා. නරක විදිහට නම් නෙමෙයි. ඕන තැනක ගිහින් ඉක්මනට වැඩක් කර ගන්න පිරිමි කෙනෙකුට වඩා ගැහැනු කෙනෙකුට වැඩි අවස්ථාවක් තිබෙනවා. 
අපි මේ ව්‍යාපාරයක් කරන්න වුණත් බලපත්‍රයක් ගන්න අවශ්‍යයි. මේ වගේ ලියකියවිලි වැඩ කරගන්න ගියහම ඇත්තෙන්ම කාන්තාවකට වැඩි ගෞරවයක් ඒ නිලධාරීන් දක්වනවා. ගොඩක් කාන්තාවන් සිතන්නේ කාන්තාවන් වීම ඇත්තෙන්ම ඇතැම් තැන්වලදී පීඩනයක්, බාධාවක් ලෙසින්. නමුත් කාන්තාවක් වීම මම හිතන විදියට ඇත්තෙන්ම බොහෝ අවස්ථාවලදී වාසිදායකයි. ඇත්තෙන්ම එය ව්‍යාපාරික අංශයටත් ඉතාම සාර්ථකව යොදා ගැනීමට පුළුවන්. මම හිතන විදිහට නම් ඒ ගැහැනුකම අභියෝගයක් කරගෙනම යම් දෙයක් ආරම්භ කරනවා නම් එයින් හුඟක් දුර යන්න අපිට පුළුවන්. 

කාන්තාවක් වශයෙන් මෙවැනි ව්‍යාපාරයක් තනිව කරන විට නොයෙක් අභියෝග බාධක එන්න පුළුවන්. ඒවා ඔබ බාරගන්නේ කොහොමද?

මම ඇත්තෙන්ම අභියෝගවලින් පැනලා යන කෙනෙක් නෙමෙයි. අභියෝග බාරගෙන සාර්ථකව ඉදිරියට යන්න මම හරි කැමතියි. මම මගේම යහළුවෙක් සමග තමයි මේ ව්‍යාපාරය ආරම්භ කළේ. නමුත් කාලයක් යන විට මට තේරුණා අපි දෙන්නගේ ව්‍යාපාර අදහස් මාර්ග දෙකක යන ඒවා කියලා. නමුත් මම මුලදී බය වුණා එයා ගියොත් මේ ව්‍යාපාරයේ කඩා වැටීමක් වේවි කියලා. නමුත් මට ඊට වඩා වැඩි ලාභයක යටතේ මගේ ව්‍යාපාරය කරගෙන යන්න මට හැකි වුණා. 

ව්‍යාපාර කටයුතුවලදී ඔබට මතු වුණ ගැටලු ගැන කතා කළොත්?

අපේ ආයතනවලට සේවකයන් ගැනීමේදී ඇත්තෙන්ම ගැටලුකාරී තත්ත්වයන්ට අපි මුහුණදෙනවා. විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් ඇතැම් විට අපේ ආයතනවලට පැමිණ සේවය කරනවා. ඔවුන් අපේ කාර්යභාරයන්ට හොඳින් පුරුදු පුහුණු කළ විට අවසානයේ රැකියා සුලභත්වය හා ඒ ඒ ක්ෂේත්‍රයේ තවත් රැකියාවක් සොයා යෑම මත සේවයෙන් ඉවත්ව යනවා. 
රැකියාව සඳහා කෙනෙක්ව ගත්තහම අවුරුද්දක් වගේ ඉඳලා හොඳ මට්ටමකට පැමිණියාට පස්සේ ඔහු හෝ ඇය යන්න යනවා. තව කෙනෙක් පුහුණුව සඳහා ගත්තත් ඒ ගැටලුවම තමයි මතුවෙන්නේ. ඒක තමයි මට මේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ආපු ලොකුම ගැටලුව. නමුත් දැන් මම යටතේ වැඩකටයුතු කරන්න හොඳ සේවක මණ්ඩලයක් ඉන්නවා. 

 මේ සඳහා ලැබෙන සහයෝගය ගැන පැවසුවොත්?

ඇත්තෙන්ම මට අම්මයි, තාත්තයි දෙන්නම නැහැ. මගේ වයස අවුරුදු දහතුනක් විතර වෙනකොට ඔවුන් දෙන්නම මට නැති වුණා. ඒ නිසා හැම දෙයක්ම තනිවම තමයි සිදුකළේ. 
මගේ පවුල් පසුබිම වුණත් ව්‍යාපාරික අංශයට වැඩි නැඹුරුවක් තිබෙන එකක්. අපේ තාත්තා වගේම අයියලා අක්කලා ඔක්කොමලා එවැනි ව්‍යාපාරික පසුබිමකින් පැමිණි අය. 
මටත් තිබුණා ගොඩක් අයට හිතෙනවා වගේ රස්සාවක් කරන්න ඕන කියන මතය. කාර්යාලයක සේවය කරන්න. නමුත් පස්සේ හිතුණා මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරලා තව කෙනෙක්ට හරි රැකියාවක් ලබාදෙන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා. විශේෂයෙන්ම මගේ අක්කා මේ හැම දෙයක් පිටුපසම මගේ උදව්වට හිටියා. ව්‍යාපාර වැඩවලදී පැනනගින ගැටලු විසඳා ගන්න ඇය මට ලබාදුන් සහයෝගය පිළිබඳ බෙහෙවින් කෘතඥ විය යුතුයි. 

අනෙකුත් කාන්තාවන්ට ඔබ මොන වගේ උපදෙසක්ද දෙන්න කැමති?

කාන්තාව, කාන්තාවක් වීම සම්බන්ධයෙන් යම් බියක් හිතේ තබාගෙන සිටිනවා. ඔවුන් සිතන්නේ කාන්තාවකට වැඩක් කරගන්න බැහැ, පිරිමි ඉක්මනින් දියුණු වෙනවා කියන කාරණය. නමුත් මම නම් කියන්නේ එසේ නොසිතා කුමක් හෝ අලුත් වැඩක් සාර්ථකව පටන් ගන්න කියලා. 

කාන්තාවක් වීම අනිවාර්යයෙන් තමාට ලැබුණු වාසියක් සේ සිතා කටයුතු කිරීම අවශ්‍යයි. සමාජයේ තියෙන ප්‍රශ්නත් එක්ක කාන්තාවට අලුතින් තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බියක් ඇති වෙන්න පුළුවන්. අපි ඒ හැම දෙයකටම නොබියව මුහුණදිය යුතුයි. ඒ හැම දෙයකටම අපි හුරුවෙන්න ඕන. ඇතැම් කාරණා අප එතරම් ගණන් ගතයුතු දේවල් නෙමෙයි. 
සමාජයේ මිනිසුන් බොහෝ කතා කියනවා. නමුත් අපි ඒ හැම දෙයක් ගැනම සිතන්ට අවශ්‍ය නැහැ. ඒ නිසා මේ සෑම අභියෝග හමුවේ සාර්ථකව ව්‍යාපාරයන් ආරම්භ කිරීමට කාන්තාව කිසිවිටකත් පසුබට වීම හොඳ නැහැ. කෙනෙකුගේ යටතේ සේවය කරනවාට වඩා අලුතින් එක් අයෙකුට හෝ රැකියා සඳහා ඉඩප්‍රස්ථා ලබාදීමට ඒ තුළින් ඔබට හැකි වේවි. 

ආර්ථික පැත්ත බලාගෙනම කණ්ඩායමට ක්‍රීඩා කරන්න සම්බන්ධ වෙන්න එපා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද වන විට ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ඉතාමත් කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත් වී හමාරය. ඒ තැනට කණ්ඩායම ගෙන යෑමට දහඩිය මහන්සිය කැප කළ කාන්තාවෝ බොහෝය. ඒ අතර කැපී පෙනෙන ක්‍රීඩිකාවක ලෙස ශෂිකලා සිරිවර්ධන හැඳින්විය හැකිය. ඇය දැනට කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවද වේ. අද අප මේ කතාබහ සිදුකරනුයේ ඇය සමගය.


IMG_6208

ඔබ ගැන විස්තරයක් කළොත්?

මගේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි.නංගියි. තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. මම ක්‍රිකට්වලට යොමු වුණේ තාත්තයි, අයියයි නිසා. ඒ මට අවුරුදු 11දී විතර. මගේ අයියා චාමර සිරිවර්ධන. ඔහු වෙස්ලි විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම වගේම ඉතාලි කණ්ඩායම නියෝජනය කළා.

ක්‍රිකට් ක්‍රීඩාවේ මේතාක් ඔබ ආ ගමන ගැන සඳහන් කළොත්?

තාත්තා තමා මාව අවුරුදු ගණනක් පුහුණුවීම්වලට එක්කගෙන ගියේ. මම හාර්ඩ් බෝල් ක්‍රිකට් පටන් ගත්තෙ %පාලින්ච් කෝච්^ ක්ලබ් එකේ. තාත්තාගෙ යාළුවෙක් වන ජයන්ත දිසානායක අංකල් තමා මාව පාලිත ගුණසේකර සර්ට හඳුන්වලා දුන්නේ. ඒ වෙද්දී ඒ සර් පිරිමි ළමයින්ට තමයි පුහුණුවීම් සිදුකළේ. නමුත් ඔහුට කාන්තා කණ්ඩායමක් නිර්මාණය කිරීමට අවශ්‍ය වෙලා තිබුණා. ඊට පස්සේ %පාලින්ක් ගර්ල්ස්^ කියලා ටීම් එකක් ආරම්භ කළා 98 අවුරුද්දේ. ඒ වෙද්දී මට අවුරුදු 12ක් වගේ වෙනවා. ඉන් අනතුරුව 2003 වර්ෂයේදී මම ජාතික කණ්ඩායමට තේරී පත්වෙනවා. මගේ පාසල කෝට්ටේ ජනාධිපති විද්‍යාලය. එහි ක්‍රිකට් ක්‍රීඩාව තිබුණෙ නැහැ ගැහැනු ළමයින්ට. නමුත් මම ඇත්ලැටික්ස් කළා. පළාත් වගේම සමස්ත ලංකා තරගවලට සහභාගි වුණා. මම 2005 අවුරුද්දෙ තමා මුලින්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වුණේ. ඉන් පසු වරින්වර තෙවතාවක් පමණ මම නායකත්වයට පත්වුණා. අවසන් වතාවට 2016 විස්සයි20 ලෝක කුසලානයේ නායකත්වය දැරුවා. ඉන්පසු මම අබාධයට ලක්වුණා. ඒ වගේම අනතුරකටත් ලක්වුණා. ඒ නිසා අවුරුද්දයි මාස 2ක් වගේ මම ක්‍රීඩාවෙන් ඉවත් වී ඉඳලා 2017 පන්දු වාර 50 ලෝක කුසලාන තරගාවලියට තමයි නැවත කණ්ඩායමට පැමිණියේ. 

විවාහ ජීවිතයයි, ක්‍රිකට් ජීවිතයයි කොහොමද කාන්තාවක් විදියට  ඔබ සමබර කර ගන්නේ?

මම 2013 වර්ෂයේ විවාහ වුණේ. මගේ සැමියා නාමල් සෙනෙවිරත්න. මම විවාහයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න අදහස් කර තිබුණේ. නමුත් සැමියාගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මම තවමත් ක්‍රීඩාවේ නියැළෙන්නේ. 
මම විවාහ වන විටත් කණ්ඩායම වෙනුවෙන් වසර 10කට වැඩි කාලයක් ක්‍රීඩා කළා. 2013 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලිය අපි හොඳට කළා. පළවෙනි වතාවට ඉන්දියාව, එංගලන්තය වගේ කණ්ඩායම් පරාජය කළා. ඉතිං මම හිතුවා විවාහයෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද මට බය තිබුණා ක්‍රීඩාව වෙනුවෙන් මට කැපවෙන්න අවස්ථාවක් නොලැබෙයි කියලා. නමුත් මගේ සැමියාත් කෑගලු විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඉන්පසු ඔහු එංගලන්තය වෙනුවෙන් ප්‍රාන්ත කණ්ඩායම්වලත් ක්‍රීඩා කරලා තිබෙනවා. මේ වෙද්දී ඔහු %මර්කන්ටයිල්^ ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරුවෙක් විදිහට සේවය කරනවා. ඒ නිසා ඔහුට හොඳට මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තිබෙනවා. ඔහු පවසන්නේ මේ ලැබිලා තිබෙන අවස්ථාව හැමෝටම ලැබෙන දෙයක් නොවන නිසා දිගටම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න කියා. විවාහයෙන් පසුව මට 2014 වසරේ විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වලින් පළමු තැන ලැබුණා. ඒ දෙයින්ම මට ලොකු සහයෝගයක් ලැබෙන බව පෙනෙනවා. මොකද මම ඒ වන විට ශ්‍රේණිගත කිරීම්වල හිටියේ 5 වැනි ස්ථානයේ. නමුත් මට කලින් කරපු කැපවීමම කරන්න පුළුවන් වුණා සැමියා මට ගොඩක් උස්සයිවා. ඒ කියන්නෙ නෑයන්ගෙ දේවල්වලට යන්න වෙන්නෙ නැහැ. ගෙදර වැඩ ගොඩක් අතපසු වෙනවා. සමහර දාට සතියෙ දවස් පහම පුහුණුවීම්. උදේ 6ට ගෙදරින් ආවම හවස හයයි ඉවර වෙද්දී. එහෙම බලද්දී මම හිතනවා ක්‍රීඩිකාවක් විදියට ලේසි නැහැ සැමියගේ සහයෝගය නැතිව සාර්ථකව පවුල සමබර කර ගන්න. මම ඒ අතින් ගොඩක් වාසනාවන්තයි. 

කාන්තාවක් විදිහට ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීමේදී මුහුණදුන් අභියෝග ගැන සඳහන් කළොත්?

ඇත්තටම පොඩි කාලේ බස් එකේ ලොකු බෑග් එකත් අරන් පුහුණුවීම්වලට යද්දී ගොඩක් දෙනෙක් හිනා වුණා. ඒක තමා ඒ කාලයේ හිතට දැණුනු ලොකුම අභියෝගය. ඉතිං මම සමහර දාට තාත්තට කියනවා තාත්තෙ මට බස් එකේ යන්න බැහැ. මට ලැජ්ජයි කියලා. තාත්තා කිව්වා දැන්ම ඉඳන්ම ඒ දේවල්වලට මුහුණදෙන්න පුරුදු වෙන්න. මොකද මේක පිරිමි ළමයින්ගේ ක්‍රීඩාවක් නිසා කියලා. 2000 වර්ෂය පමණ වෙද්දී කාන්තාවන් අතර මේ ක්‍රීඩාව ගොඩක් ප්‍රචලිත වී තිබුණෙ නැහැ. ඊට පස්සෙ ක්‍රීඩා කරද්දී ගොඩක් අභියෝග ආවා. ආර්ථික ප්‍රශ්නවලට ගොඩක් මුහුණදෙන්න සිදුවුණා. 2006 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තේරී පත්වන තෙක් අපිට ආර්ථික අපහසුතා තිබුණා. ඒ අපිට ඒ වෙද්දී අනුග්‍රාහකයො හිටියෙ නැති නිසා. ඉන් පස්සෙ 2006 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වුණාම තමයි මේ හැම පහසුකමම ලැබුණෙ. නමුත් දැන් වෙද්දී ඒ අභියෝග ගොඩක් අඩුයි. ගැහැනු ළමයින්ට ලෙහෙසියි. 

කණ්ඩායමේ අත්දැකීම් වැඩිම ක්‍රීඩිකාව ලෙසට කණ්ඩායමට අලුතෙන් සම්බන්ධ වන අයට ඔබ මොන වගේ මගපෙන්වීමක්ද ලබාදෙන්නේ?

මම මේ වෙද්දී ජෙනරේෂන් තුනක් එක්ක පමණ සෙල්ලම් කරලා තියෙනවා. ඒ කියන්නෙ කාන්තා ක්‍රිකට් පටන් ගත්ත අක්කලා එක්කත්, මගේ වයසේ කට්ටිය එක්කත්, දැන් ක්‍රිකට්වලට අලුතෙන්ම සම්බන්ධ වුණ අය එක්ක මම ක්‍රීඩා කරලා තියෙනවා. මේ වෙද්දී ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන්ගෙන් අත්දැකීම් වැඩිම ක්‍රීඩිකාව මමයි. මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වෙලා අවුරුදු 15ක් පමණ වෙනවා. අලුතෙන් කණ්ඩායමට සම්බන්ධ වෙන්න ඉන්න අයට මම කියන්නෙ ආර්ථික පැත්ත බලාගෙන කණ්ඩායමට ක්‍රීඩා කරන්න සම්බන්ධ වෙන්න එපා කියලා. මම හැමෝටම කියන්නෙ ඒ දේවල් අපේ දක්ෂතාව මත ඉබේ ලැබෙන දෙයක්. මම ඒ අයට කියලා දෙන්නෙ මේ සිංහ ලාංඡනයේ තියෙන වටිනාකම සහ කණ්ඩායමේ තියන වටිනාකම ගැන. ඒ වගේම විනය සහ කැපවීම මේ සඳහා ගොඩක් අවශ්‍යයි. මම කියන්නෙ ක්‍රීඩා පිටිය තුළ අපිට ගැහැනු ළමයෙක් විදිහට සෙල්ලම් කරන්න බැහැ.මොකද මේක පිරිමි ළමයින්ගේ ක්‍රීඩාවක්. හොඳ කැපවීමක් වගේම හොඳ ජවයකින් ක්‍රීඩා කරන්න ඕන. නමුත් ක්‍රීඩා පිටියෙන් පිටතදී අපි සාමාන්‍ය ගැහැනු ළමයෙක්. ඒ වගේම ක්‍රීඩාවට සියයට සියයක් කැපවීම ලබාදෙන ගමන් අධ්‍යාපනයට මූලිකත්වය ලබාදෙන්න ඕන. මොකද අධ්‍යාපන දැනුමත් සමග ක්‍රිකට් ක්‍රීඩා කරද්දී ගොඩක් පහසුයි. මොකද ඒ බුද්ධි මට්ටම අවශ්‍යයි ක්‍රිකට් ක්‍රීඩාවෙන් හොඳ තැනකට එන්න. මම අලුතෙන් කණ්ඩායමට එක්වන ක්‍රීඩිකාවන්ට ඒ දේ තමයි කියන්නෙ.

154014

කණ්ඩායම් නායිකාවක් ලෙස කටයුතු කිරීමේදී ලබාගත් ජයග්‍රහණ ගැන කතා කළොත්

2013 නායකත්වයෙන් පසු එක්දින තරගාවලියන්හිදී ළඟා කර ගත්ත ලොකුම ජයග්‍රහණය තමයි ශ්‍රේණිගත කිරීම්වලින් පස්වැනි ස්ථානයට පැමිණීම. එය 2013 ලෝක කුසලාන එකේදී තමයි ලබා ගත්තේ. ඒ වගේම පන්දුවාර 50 තරගවලින් ලංකාව පස්වෙනි තැනට ගේන්න පුළුවන් වුණේ මගේ නායකත්වය යටතේ පළමු වතාවට එංගලන්තය හා ඉන්දියාව පරාජය කරලා. ඒ වගේම ඉන්දියාවේදි විස්සයි20 තරගාවලියක් අපි ජයග්‍රහණය කළා. ඒ වගේ ජයග්‍රහණ ළඟා කරගන්න මට නායිකාවක් විදිහට හැකියාවක් ලැබුණා. 
ඒ වගේම සාමාන්‍ය ක්‍රීඩිකාවක් විදියට මම විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල අංක එක වුණා. එමෙන්ම මම පන්දු රැකීම, පන්දු යැවීම සහ පන්දුවට පහරදීම් පැත්තෙන් පළමු දහය අතර ඉඳලා තිබෙනවා. ඒ වගේම අාසියා කණ්ඩායමේ උපනායකත්වය දරලා ඇෆ්ෙරා්ඒෂියා තරගාවලිය ජයග්‍රහණය කළා. ඒ වගේම මම ලකුණු 1500යි කඩුලු 100යි ගත්ත ආසියාවේ පළමු ක්‍රීඩිකාව. ඒ වගේම ලෝකයේ 4 වැනි ක්‍රීඩිකාව. 

වර්තමානයේ පාසල් කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල තත්ත්වය මොන වගේද?

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැලැස්ම යටතේ කාන්තා පාසල් බොහොමයක කාන්තා ක්‍රිකට් ආරම්භ කර තිබෙනවා. ඉස්සර හැම පළාතකම තුන හතරක පමණයි තිබුණේ. අලුතෙන් සංචිතයට පැමිණි ගොඩක් ළමයි අගනුවරින් පිටත ළමයි. මේ වෙද්දී දහනවයෙන් පහළ වගේම දහතුනෙන් පහළ කණ්ඩායම් වෙන වෙනම තිබෙනවා. ඉස්සර වගේ නෙමේ ගොඩක් තරගාවලි තිබෙනවා. ඉස්සර අපිට තිබුණෙ මුළු වසරටම තරග 6ක් වගේ ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දී තරග විශාල ප්‍රමාණයක් ලැබෙනවා. 

කාන්තා ක්‍රීඩිකාවන් බොහොමයක් ජ්‍යෙෂ්ඨත්වයට පත්වීමෙන් පසු ක්‍රීඩා දිවියෙන් සමුගන්නවා. එය කණ්ඩායමට මුහුණදෙන්න වන අවාසි සහගත තත්ත්වයක් නේද?

දැන් තත්ත්වය ඊට තරමක් වෙනස්. මොකද දැන් පාසල් ක්‍රිකට් තිබෙනවා. මම අහඹු ලෙස අවුරුදු 12දී ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණියාට ගොඩක් ක්‍රීඩිකාවෝ අවුරුදු 19දී විතර ක්ලබ්වල සෙල්ලම් කරලා කණ්ඩායමට ඇතුළු වෙන්නෙ. එතකොට ඒ අය ජ්‍යෙෂ්ඨත්වයට පත්වෙද්දී සමහර වෙලාවට වයස අවුරුදු 32 ,33 වෙනවා. එතැන තමා අපිට ගොඩක් ගැටලුව තිබෙන්නෙ. මොකද ලංකාවේ, ආසියාව ගත්තම 32,33 වෙද්දී විවාහ වෙන ගැටලු එනවා. එතකොට ක්‍රීඩාවෙන් ජ්‍යෙෂ්ඨත්වයට පත්වෙද්දීම ගොඩක් ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවෙන් සමුගන්න සිදු වෙනවා. ඒ ප්‍රශ්නය දැනට තිබෙනවා. නමුත් පාසල් ක්‍රිකට් දැන් තිබෙන නිසා ඉදිරියේදී ඒ ගැටලුව නැතිවෙයි කියා හිතනවා. පාසල් ක්‍රිකට් නිසා ජ්‍යෙෂ්ඨත්වයට පත් වෙන්න 30,31 වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. අවුරුදු 25, 26දී ජ්‍යෙෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන් වෙනවා.විශේෂ ක්‍රීඩිකාවෝ ඉන්නවා අවුරුදු 30ට පසුවත් ශරීර යෝග්‍යතාව තිබෙන. ඒ අය කවුද කියන එක හඳුනගෙන නවක ක්‍රීඩිකාවන් සමග ක්‍රීඩාවේ යෙදෙන්න පුළුවන්.

ඔබගේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්?

ඉදිරියේදී ලෝක කුසලාන 3ක් වගේ පැවැත්වීමට නියමිතයි. මගේ ශරීර යෝග්‍යතාව තිබෙන තාක්කල් ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම දැනට පුහුණුකාරිනියක වශයෙන්ද සේවය කරනවා. ඉදිරියේදී ක්‍රිකට් වැඩකටයුතුයි, මගේ පවුලේ වැඩකටයුතුයි හොඳින් සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙනවා. 

ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීමට බලාපොරොත්තුවෙන් සිටින ගැහැනු ළමයින්ට කියන්න තිබෙන්නේ මොන වගේ දේවල්ද?

ඇත්තටම ක්‍රිකට් බලලා දැකලා ගැහැනු ළමයි ගොඩක් ආසයි මේ ක්‍රීඩාව සඳහා යොමු වෙන්න. ගැහැනු ළමයෙක් ක්‍රිකට්වලට යන්නද කියලා ඇහුවොත් ගොඩක් අඩුයි ඒ දේට අවස්ථාව ලබාදෙන. මම දෙමවුපියන්ට කියන්න කැමතියි තමන්ගේ දුව එවැනි ඉල්ලීමක් කළොත් ඒ දරුවගෙ හැකියාව විශ්වාස කරලා ඒ දරුවට ඒ අවස්ථාව ලබාදෙන්න ඕන. ඒ වගේම ක්‍රිකට් කණ්ඩායමට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගැහැනු ළමයින්ට කියන්න කැමතියි ලංකාවට ක්‍රීඩා කිරීම ප්‍රධාන අරමුණ කරගෙන ජය පරාජය හොඳින් තේරුම් අරන් ක්‍රීඩා කිරීම තමා වැදගත්ම දේ. ඒ දේ සිහි තබාගෙන මෙතෙන්ට පැමිණියොත් අනෙක් හැමදේම ළඟා කරගන්න පුළුවන්. 

ස්තුති කළ යුතු පිරිසක් සිටිනවාද?

අම්මා, තාත්තා ඇතුළු පවුලේ සැවොම වගේම. විශේෂයෙන් මගේ සැමියාටත්, මගේ පුහුණුකරුවන්ටත්, මේ දක්වා සෑම දෙයින්ම උපකාර කළ සැමටත් ස්තුති කරනවා.

මම බලාපොරොත්තු වෙන්නේ මගේ රටට උපරිමයෙන් සේවය කරන්න

කාන්තාවකට පිත්තයි පන්දුවයි අකැප වූ යුගයක් මීට දශක කිහිපයකට පෙර තිබුණි. නමුත් අද වන විට ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස් වී තිබේ. අද වන විට එයින් දස්කම් පා ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යන්නට ලාංකේය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වී තිබේ. අද අපගේ කතාබහ සිදුවන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මෙන්ම කණ්ඩායමේ දක්ෂතම පිතිකාරිනිය වන චමරි අතපත්තු සමගයි.


ඔබ ගැන විස්තරයක් කළොත්?

මගේ ගම කුරුණෑගල ගොකරැල්ලෙ. මගේ අප්පච්චි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. අම්මා හෙදියක් විදියට කටයුතු කළා. මගේ අප්පච්චි මේ වන විට ජීවතුන් අතර නැහැ. 

ක්‍රිකට් ක්‍රීඩාවේ මේතාක් දුර ඔබ ආ ගමන ගැන සඳහන් කළොත්?

මම ක්‍රිකට් ක්‍රීඩාවට කැමති වුණේ මගේ මාමා නිසා. ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙක්. මට වයස අවුරුදු 4ක් වගේ වෙද්දී මම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු වුණා. ඒ කාලෙ පටන් මම මාමා සමග ක්‍රිකට් තරග නරඹන්න වගේම ක්‍රිකට් ක්‍රීඩා කරන්න යනවා. ඇත්තටම මට බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන ළමා කාලයක් තිබුණෙ නැහැ. පිත්තයි පන්දුවයි එක්ක ගෙවුණු ජීවිතයක් තමා මට තිබුණෙ. 
ගොකරැල්ලෙ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මම ශිෂ්‍යත්වය සමත් වීමත් සමග ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට මම ඇතුළත් වෙනවා.  මගේ වාසනාවකට ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ කාන්තා ක්‍රිකට් තිබුණා. ඒ නිසා මට පාසල තුළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන්න ලැබෙනවා. පුංචි කාලෙ පටන් හාර්ඩ් බෝල් වගේම සොෆ්ට් බෝල් ක්‍රිකට් පුහුණු වීම් කළ නිසා මට ක්‍රිකට් ක්‍රීඩාවට එන්න පහසු වුණා. පාසල තුළ දැක් වූ දක්ෂතාවත් සමග මට කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයෙන් ඇරයුමක් ලැබෙනවා ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කරන්න. මම ඒ පළමු වසරේ ක්‍රීඩා කළාට පස්සේ මට අවස්ථාවක් ලැබෙනවා ජාතික සංචිතයට එන්න. ඒ 2008 වර්ෂයේ. අවාසනාවකට මගේ අප්පච්චි ඒ වර්ෂයේ ජීවිතයෙන් සමුගන්නවා. ඒ නිසා මට වසරක් වගේ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වෙන්න සිදු වෙනවා. ඒ නිසා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එන්න අවස්ථාව මගහැරෙනවා. නමුත් නැවත වතාවක් කුරුණෑගලදී පුහුණු වීම් කටයුතු කරලා 2009 වර්ෂයේදී නැවතත් ජාතික කණ්ඩායමට එනවා. එදා ඉඳන් අද දක්වා මම ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. 

මේ පැමිණි ගමනේ ඔබට බාධා නොතිබුණා  විය නොහැකියි. ඔබ මුහුණදුන් බාධා ගැන  සඳහන් කළොත්?

අප්පච්චිගේ වියෝවත් සමග මට පුහුණු වීම්වලට සහභාගි වෙන්න කොළඹ යන්න එන්න කෙනෙක් හිටියේ නැහැ. නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණියේ ගොඩක් බාධක වගේම හැලහැප්පීම් මැද්දෙ. අප්පච්චි එක්ක එන කාලෙත් පුහුණුවීම් සඳහා කොළඹ උදෑසන 6 පමණ වෙද්දී සහභාගි වෙන්න ඕන. සමහර වෙලාවට පුහුණුවීම් අවසන් වෙද්දී සවස 6.30/7.00 වෙනවා.  ගෙදර යද්දී රෑ 10 වගේ වෙනවා. ඒ ඇවිත් පහුවදා පාසල් යන්නත් ඕන. මේ වගේ බාධක මැද්දෙ තමයි ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගි වුණේ. නමුත් අද හිතනවා මේ කොපමණ බාධා තිබුණත් මම අද සාර්ථකයි කියලා. 

ජාතික කණ්ඩායමට ඇතුළු වීමත් සමග ඔබ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණ ගැන  කතා කළොත්?

මම ජාතික කණ්ඩායමට ආවට පස්සේ ගොඩක් දේවල් ජීවිතයට ළඟා කර ගත්තා. මට ලංකාවේ ප්‍රථම ශතකය ලබා ගන්න හැකි වෙනවා. මම හිතන්නෙ පසුගිය ලෝක කුසලානෙත් මම හොඳට ක්‍රීඩා කරලා ලකුණු 178ක් ලබාගත්තා.  ඒ වගේම විස්සයි 20 ලෝක කුසලානෙත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලබාගත්ත ප්‍රථම අර්ධ ශතකය මම වාර්තා කළා. ඒ වගේම 2014 වසරේ සිට 2015 දක්වා කණ්ඩායම් නායිකාව බවට පත් වෙනවා. ඉන් පස්සෙ උපනායිකාව විදියට කටයුතු කළා. ඊට පසුව සාමාන්‍ය ක්‍රීඩිකාවක් ලෙස වසර එකහමාරක් වගේ කටයුතු කරනවා.  ඉන් පසු නැවත වතාවක් මේ වසරේ නායකත්වයට පත්වෙනවා.

IMG_6189

කණ්ඩායම් නායිකාව ලෙස ඔබට පැවරී ඇති වගකීම් ගැන කතා කළොත්?

කණ්ඩායමේ සිටින ක්‍රීඩිකාවන් විවිධ ප්‍රදේශ, විවිධ පවුල් පසුබිම් අය. ඉතිං ඒ විවිධාකාර අය එකට කැටි කර ගන්න එක ටිකක් අපහසුයි. මම උපරිමයෙන්ම සියලු දෙනාට එක විදියට සලකන්නෙ. මම  ඔවුන්ගේ උපරිම හැකියාව ගන්න බලාපොරොත්තු වෙනවා ඒ හැම ක්‍රීඩිකාවකගෙන්ම. ඒ වගේම කණ්ඩායම තුළ විවිධ අදහස් වගේම විවිධ අත්දැකීම් තිබෙන ක්‍රීඩිකාවන් සිටිනවා. මගේ වගකීම තමා මේ සියලු දෙනාම එකට කැටි කරලා හොඳ කණ්ඩායමක් නිර්මාණය කිරීම.

කාන්තාවක් විදියට ක්‍රිකට් ක්‍රීඩාවේ  යොමු වීමේදී මුහුණදෙන අභියෝග ගැන  සඳහන් කළොත්?

මම හිතන්නේ කාන්තාවක් විදියට ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගැනීමම අභියෝගයක්. ගොඩක් කාන්තාවෝ තෝරා ගන්නේ නෙට්බෝල්, බාස්කට් බෝල් වගේ ක්‍රීඩාවන්. නමුත් අද වන විට ඒ මතය මග ඇරිලා තිබෙනවා.  නමුත් මම ක්‍රිකට් ක්‍රීඩාවට එළඹෙද්දී ගොඩක් අය උපහාසයෙන් බලපු අවස්ථා තිබුණා. මම ගියේ මිශ්‍ර පාසලකට. මම බැට් එක අරන් යද්දී පිරිමි ළමයි හිනා වුණ අවස්ථා ඕන තරම් තිබුණා. නමුත් මම හිතන්නෙ අද වෙද්දී ඒ තත්ත්වය වෙනස් වෙලා කියලා. ඒ වගේම මම පුහුණුවීම් ඉවර වෙලා ඒ කාලෙ බැට් එකයි, ලොකු බෑග් එකයි අරන් බස් එකේ යද්දී හිනා වුණ අය ඉන්නවා. නමුත් දැන් වෙද්දී ඒ තත්ත්වය වෙනස් වෙලා. මගෙ නම කිව්වම, මාව දැක්කම හැමෝම අඳුනන මට්ටමට ඇවිත් තිබෙනවා. මම හිතන්නෙ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවටත් දැන් පිළිගත් තත්ත්වයක් තිබෙනවා. 

කාන්තා හා පිරිමි ක්‍රිකට් කණ්ඩායම්වලට ලැබෙන වරප්‍රසාදයන්ගේ  සමානාත්මතාවක් තිබෙනවාද?

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව  ගත්තම ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයෙක් ගතහොත් මූල්‍යමය වටිනාකම එකම මට්ටමක නැහැ. නමුත් ක්‍රීඩිකාවකට අවශ්‍ය පෝෂණ පහසුකම්, ඇඳුම් පැලඳුම්, පුහුණුවීම් පහසුකම් සියල්ල ලබා දෙනවා. නමුත් මූල්‍යමය වටිනාකම ක්‍රිකට් ක්‍රීඩිකාවකට සාපේක්ෂව ක්‍රීඩකයෙක්ට ඉහළ මට්ටමක තිබෙනවා. නමුත් ටිකෙන් ටික මූල්‍යම වටිනාකම ක්‍රීඩිකාවන්ගෙත් ඉහළ නැංවීමක් සිදුකරනවා. මේ වන විට ක්‍රිකට් ක්‍රීඩිකාවන් ලීග් තරගාවලිවලට සහභාගි වෙනවා. ඒ නිසා ඔවුන්ගේ මූල්‍යමය වටිනාකම වැඩි වී තිබෙනවා. ඒ නිසා වසරක්, වසර එකහමාරක් යද්දී ක්‍රිකට් ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයෙක්ට එකම මූල්‍යමය වටිනාකමක් ලැබේවි. මේ වෙද්දී සෑහෙන වෙනසක් තිබූ නමුත් මම හිතනවා අනාගතයේදී ඒ තත්ත්වය වෙනස් වෙයි කියා. 

ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇයි ඉක්මනින්ම ක්‍රීඩාවට සමුදෙන්නේ? කාන්තාවක් වීමද?

 අනිවාර්යයෙන් ඔව්. මෙය ක්‍රීඩිකාවගෙන් ක්‍රීඩිකාවට වෙනස් වෙනවා. එය තීරණය වෙන්නෙ ශරීර යෝග්‍යතාව මත. ඒ වගේම විවාහයෙන් පසු ලැබෙන සහකරුගේ සහයෝගය මත එය තීරණය වෙනවා. මම තීරණය කර තිබෙන්නේ තව වසර 3, 4ක් ක්‍රීඩා කරලා ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙනවා කියලා. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ නායකත්වය, උපනායකත්වය යන්න සැම විටම වෙනස් වීම්වලට ලක් වෙනවා. 

Chamari-Atapattu-

ඒ නායකත්වයන් මාරු වීමේදී දැනෙන හැඟීම මොන වගේද?

මම ක්‍රීඩා කරන්නේ මගේ රටට. නායකත්වය ලැබුණා හෝ නැතා මම බලාපොරොත්තු වෙන්නේ මගේ රටට උපරිමයෙන් සේවය කරන්න. මම නායකත්වයේ ඉද්දිත් හොඳින් ක්‍රීඩා කළා. නායකත්වයේ නැතිවත් හොඳින් ක්‍රීඩා කළා. මම ලකුණු 178ක් ලබාගත්තෙ මම නායිකාවක් හැටියට ඉද්දි නෙමේ. ඒ වගේම මගෙ ප්‍රථම ශතකය වාර්තා කළෙත් සාමාන්‍ය ක්‍රීඩිකාවක් ලෙසට ඉද්දී. ඒ වගේම %ICC Champions^ ශ්‍රේණිගත කිරීම්වල මාස 6ක් ලෝකයේ අංක එකේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස මම හිටියා. ඒ වෙද්දී මම නායිකාව. ඉතිං මම හිතන්නේ නායකත්වය තිබුණා හෝ නැතා කෙසේ හෝ මගේ කණ්ඩායම වෙනුවෙන් මගේ උපරිමයෙන් ක්‍රීඩා කරන්න තමයි මගේ බලාපොරොත්තුව වෙන්නේ. 

කණ්ඩායමේ සිටින බොහෝ ක්‍රීඩිකාවන්  ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන්නේ ඇයි?

මුලින්ම ක්‍රීඩිකාවන් පාසලේ ක්‍රීඩා කරලා, ක්ලබ්වල ක්‍රීඩා කරලා තමයි ක්‍රීඩාවට පැමිණියේ. මේ වෙද්දී ගුවන් හමුදාව, නාවික හමුදාව සහ යුද හමුදාවෙන් ඔවුන්ට රැකියා ලබාදීලා අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ නිසා ඒ ක්‍රීඩිකාවන් හමුදාවට සම්බන්ධයි. නමුත් ඔවුන් මූලිකව සිදු කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන එක. ඔවුන් හමුදාව නිසා ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණියා නෙමේ. ක්‍රිකට් නිසා හමුදාවට සම්බන්ධ වුණ එකයි. ඒ නිසා ත්‍රිවිධ හමුදාවෙන් ලොකු සහයෝගයක් කණ්ඩායම සඳහා ලැබෙනවා. 

ඔබගේ ඉදිරි බලාපොරොත්තු  ගැන කතා කළොත්?

මම ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ තව වසර 3ක් හෝ 4ක්. ඒ කාලයේ ඉතා හොඳට ක්‍රීඩා කරලා ලංකාව හොඳ තැනකට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව පුහුණුකාරිනියක් විදියට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ස්ථිර පදිංචිය සඳහා ඔස්ට්‍රේලියාවට යන්න. 

ඇයි ලංකාව අතහැර පිටරට  පදිංචියට යන්න තීරණය කළේ?

මගේ බලාපොරොත්තුවක් තිබෙනවා අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ දේවල් ඉගෙන ගන්න. මට ඒ දේවල් ලබාගන්න පහසුයි ඔස්ට්‍රේලියාවේ සිටියොත්. ඒ වගේම ක්‍රිකට් පුහුණුකාරිනියක වීම සඳහා ඔස්ට්‍රේලියාවේ තිබෙන ලෙවල් 2 විභාගය කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් මම මගේ රටට වගේම කණ්ඩායමට අවශ්‍ය දේවල් සිදුකරනවා. 

ස්තුති කළ යුතු  පිරිසක් සිටිනවාද?

අම්මා ,අප්පච්චී, පවුලේ සැවොමත් වගේම මෙතෙක් සිටිය සියලුම පුහුණුකරුවන්ටත්, ජීවිතයේ හැම වැටුණු අවස්ථාවකදීම මගෙත් එක්ක සිටිය සියලු යහළුවන්ටත් මා මෙහිදී ස්තුති කරනවා.

අත්යන්ත්‍ර ෙරදි කලාවෙන් ව්‍යාපාර ලොව ජයගත් කතක්

කාලයෙන් කාලයට විලාසිතා අලුත් වේ. අත්යනුත්‍ර (handloom) ඇඳුම් විලාසිතා යැයි  පවසන්නේත් එවැනි විලාසිතාවකි. අද වන විට මේ විලාසිතාව කා අතරත් ජනප්‍රියත්වයට පත්ව තිබේ. එමෙන්ම අවුරුදු සමය කියන්නෙත් මේ විලාසිතා සඳහා හොඳම ඉල්ලුමක් තිබෙන කාලයකි.


0U6A4975

අද අප මේ පැවසීමට සූදානම් වන්නේ හෑන්ඩ්ලූම් සාරි නිර්මාණයන්ගෙන්  ජීවිතය ජයගත් කාන්තාවක් පිළිබඳවයි. ඇය %කසී සළු^ වෙළෙඳ ආයතනයේ අධිපතිනිය වන කාංචනා හේරත් මහත්මියයි. මේ ඇගේ කතාවයි. 
මම මේ ව්‍යාපාරය පටන් අරන් අවුරුදු 20ක් පමණ වෙනවා. මගේ දුවයි පුතයි පොඩිම කාලෙ තමා මම මේ ව්‍යාපාරය පටන් ගත්තෙ. මුලින්ම මගේ නැන්දම්මා තමයි මේ ව්‍යාපාරය කරගෙන ගියේ. මම ඒ කාලෙ ඉඳන් හෑන්ඩ්ලූම් අඳින්න තමයි ආස කළේ. ඉතිං මම ඒ විදියට අඳිද්දී ගොඩක් අය අහනවා කොහෙන්ද ගන්නෙ, හරි ලස්සනයි කියලා. ඉතිං ඒ අයත් ගෙනත් දෙන්න කියලා මට කියනවා. ඒ විදියට මගේ යාළුවෝ 5ක් 10ක් අතරෙ මගෙ ව්‍යාපාරය පටන් ගත්තා.

IMG_2541

මම ව්‍යාපාරය මුලින්ම ආරම්භ කළේ සාරි 5කින් 10කින් තමයි. නමුත් මට ඒ කාලේ ගොඩක් කැපවෙලා මේ ව්‍යාපාරය කරන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. මොකද මගේ බබාලා දෙන්නා ඒ කාලේ ගොඩක් පොඩියි. ඒ වගේම මගේ සැමියා සේවය කළේ හමුදාවේ නිසා මට නිවසේ වැඩත් එක්ක කාර්යබහුල වෙන්න සිදු වුණා. නමුත් කාලය කළමනාකරණය කරගෙන පොඩියට ව්‍යාපාරය කරගෙන ගියා. 

ඉන් පස්සෙ මට පුවත්පත්වල විලාසිතා කවරවලට සාරි විලාසිතා ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. ඒ දෙයින් ගොඩක් අය මාව අඳුන ගත්තා. ඒ වගේම ගොඩක් අය මගෙන් ෙතාගයට සාරි මිලදී ගත්තා. ඊට පස්සෙ මම සාරි තොග පිටින් ගෙදර ගෙනත් බිස්නස් එක කළා. ව්‍යාපාරය ටිකක් සාර්ථක වේගෙන එනකොට මම ලොකු ලොකු සාප්පු වෙත ෙතාග වෙළඳාමක් සාරි දුන්නා.  ඊට පස්සෙ කාලයක් මට ව්‍යාපාරය නවත්තන්න වුණා. මොකද මගෙ මහත්තයා හමුදාවේ හිටපු නිසා. ඊට පස්සෙ මගේ දුව විවාහ වුණා. ඒත් එක්කම දුව රැකියාවෙන් අස් වුණා. ඒ නිසා දුවට මේ ව්‍යාපාරය නැවත ගොඩනගලා දෙන්න ඕන කියලා මට හිතුණා. ඊට පස්සෙ මමයි දුවයි එකතු වෙලා මේ ව්‍යාපාරය වෙන පැත්තකට ගෙන ගියා. 

හෑන්ඩ්ලූම් ගත්තම අතීතයෙ ඒවා ඇන්දෙ රදළ පරම්පරාවේ අය. ඊට පස්සෙ සාමාන්‍ය ජනතාවත් අඳින්න පටන් ගත්තා. ඊට පස්සෙ ඒක නැති වෙලා ගියා. ඊට පස්සෙ අද වන විට මේ තත්ත්වයට ඇවිත් තිබෙනවා. මේ නිසා මට හිතුණා මේ හෑන්ඩ්ලූම් කියන එක වෙනස් කරන්න ඕන කියලා. මොකද සමහර අය හිතනවා මේවා විවාහ උත්සවවලට අඳින්න බැහැනෙ. පෙනුමක් නෑනෙ කියලා. එහෙම කියනවා මටම ඇහිලා තිබෙනවා. ඒ නිසා හෑන්ඩ්ලූම්වලට වෙනසක් අවශ්‍යයි කියලා හිතුණ නිසා මම පැච්වර්ක්, කට්වර්ක්වලට ගියා. 
මුල් කාලයේ මමයි මගේ දුවයි මේ සියලු නිර්මාණ කළේ. නමුත් මම ළඟ මේ වන විට සේවය කරන්න දුවලා 20ක් විතර ඉන්නවා. මගෙයි දුවගෙයි ඔළුවෙ මැවෙන ඩිසයින් මේ දරුවන්ට කිව්වම ඒ විදියට නිර්මාණය කරනවා.
ඇත්තටම මේ දේවල්වලට ලොකු ඉල්ලුමක් තිබෙනවා. ලංකාවේ ගොඩක් අය කැමතියි වෙනස් දේකට. ඒ වගේම දේශීය දේවලට කැමතියි කියලා මට හිතුණා. ඒ වගේම මේ රෙදි ඕනම කෙනෙක්ට ඕනම අවස්ථාවකට අඳින්න පුළුවන්. ඒ වගේම විවාහ උත්සවයකට ගියත් කැපිලා පෙනෙනවා. මොකද ගොඩක් අය ඉන්දියන් සාරි අඳින නිසා. මේ සාරිවල ඇත්තටම වෙනසක් තිබෙනවා. මේ වන විට මම මේ දෙයින් එහා ගිහින් බතික් සාරි නිර්මාණය කරන්නත් යොමු වුණා. ඒ හෑන්ඩ්ලූම් බතික්. ඒක ටිකක් කාලය යන වගේම ගොඩක් අමාරු කටයුත්තක්. ඒ නිසා බතික් හෑන්ඩ්ලූම් මිල අධික වෙනවා. 

ඇත්තටම මම ළඟ සේවය කරන දරුවො මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. ටොප් එකක් මැහුවත්, ලුන්ගියක් මැහුවත්, සාරි ජැකට් එකක් මැහුවත් හැම එක්කෙනාම හරිම උනන්දුවෙන් මාත් එක්ක ඒ දේ කරනවා. ඒ වගේම මගේ සැමියා, මගේ දරුවෝ උදව් කරනවා. ඇත්තටම අද මේ විදියට සාර්ථකත්වයක් ලබන්න ඒ සියලු දෙනාගේ කැපවීම සහ සහයෝගය හේතු වෙනවා.  ඇත්තටම මෙය ලොකු තෘප්තියක් ලබන්න පුළුවන් ව්‍යාපාරයක් කියන්න පුළුවන්. 

අපි මුල් කාලයේ නම් කළේ අවශ්‍ය නූල් ඉන්දියාවෙන් ගෙනත් රෙදි වියන අයට දී සාරි නිර්මාණය කර ගත්තු එක. නමුත් මේ වෙද්දී හෑන්ඩ්ලූම් සඳහා ඉල්ලුම ගොඩක් වැඩියි. ඒ නිසා කුරුණෑගල, දිවුලපිටිය, මඩකලපුව, අම්පාර, අනුරාධපුරය වැනි පළාත්වල මේ රෙදි වියන ගම්මාන බිහි වෙලා තිබෙනවා. ඒ ගම්මානවලින් අපි අවශ්‍ය රෙදි මිලදී ගන්නවා. මේ ව්‍යාපාරය ගොඩක් හොඳ ව්‍යාපාරයක්. ඇත්තටම කොළඹ වුණත් මේ රෙදි වියන්න පුළුවන්. ඇත්තටම වෙලා තියෙන්නෙ ගොඩක් අය මේ වගේ දේවල් කරන්න කම්මැලි වීමයි. ඇත්තටම ස්වයං රැකියාවක් විදියට රෙදි විවීම පටන් ගත්තොත් ඒක හොඳ ව්‍යාපාරයක්. මොකද අද වෙද්දී දේශීය මෙන්ම විදේශීය වශයෙන් එයට ලොකු ඉල්ලුමක් තිබෙන නිසා. 

ඇත්තෙන්ම මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් පළමුවෙන්ම ඒ සඳහා ආශාවක් තියෙන්න ඕන. දෙවනුව ඊට අවශ්‍ය දැනුම ලබාගන්න ඕන. තුන්ෙවනුව හරියට ඒ කරන දේ කරන්න ඕන. මොකද හෑන්ඩ්ලූම් එකකට එකක් වෙනස් වෙන්න ඕන. එතකොට පාරිභෝගිකයන්ගේ තිබෙන ඉල්ලුම වැඩියි. ඒ නිසා ඒ පාරිභෝගිකයාව රැකගන්න අපි ඔවුන්ට හොඳ සේවයක් ලබාදෙන්න ඕන. එයාලට ඕන දේ අපි දෙන්න ඕන. අපිට ඕන දේ නෙමේ දෙන්න ඕන. ඒ වගේම හැමෝම කරන නිසා පටන් ගන්නෙ නැතිව කැපවීමෙන් කළොත් ගොඩක් දියුණු වෙන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි මේක. 

IMG_2520

ඇත්තෙන්ම මේ වගේ ව්‍යාපාරයක් කරන්න කැමැත්තෙන් ඉන්න කාන්තාවන්ට මට කියන්න තිබෙන්නේ මහන්න අතේ හුරුවක් තියෙනවා නම් අතේ තිෙයන මුදලට රෙදි ටිකක් අරන් ගිහින් ඇඳුම් මහන්න ගන්න කියලයි. මම උදව් කරපු පිට පළාත් වල කාන්තාවෝ ඉන්නවා ඒ වගේ පොඩියට රෙදි අරන් ගිහින් අද වෙද්දි ගොඩක් දියුණු වුණ. මම ඒ වගේ අයට මට පුළුවන් උපරිමයෙන් උදව් කරනවා. මේ රස්සාව කාටවත් අතනොපා ආසාවෙන් කරන්න පුළුවන් රස්සාවක්. 

මේ වෙද්දී ගොඩක් විදේශිකයො මගෙන් සාරි, ඇඳුම් මිලදී ගන්නවා. ඒ වගේම ලංකාවෙන් පිටරට ගිය අය මගෙන් අැඳුම් මිලදී ගන්නවා. ඔවුන්ට අවශ්‍ය අාකාරයට සාරි ජැකට් පවා නිර්මාණය කරදී අපි ඒවා විදෙස් රටවලට යවනවා. ඒ වගේ මිලදී ගන්න ගොඩ දෙනෙක් විදේශ රටවල ඉන්නවා. 

ඒ වගේම මම මේ වන විට අත්යන්ත්‍ර රෙදි කලාව තව ඉදිරියට ගෙනෙන්න එක පියවරක් විදියට මානාලියන් සඳහා හෑන්ඩ්ලූම් සාරි නිර්මාණයටත් යොමු වුණා. අපේ හෑන්ඩ්ලූම්වලින් මනමාලියක් ලස්සනට සරසන්න පුළුවන්. මොකද ඒ මගින් ලොකු ගාණක් වියදම් කරන්නෙ නැතිව සරලව චාම්ව සැරසෙන්න පුළුවන්. 
ඇත්තෙන්ම උත්සාහය තිබෙනවා නම් කළ නොහැකි යමක් නැති බව ඔබට ඔප්පු කළ දිරිය කතකගේ කතාවයි මේ. මෙහි හෙට දින ලියැවෙන්නේ ඔබේ කතාව විය හැකිය. එනිසා තැබූ පියවර ඉදිරියටම තබන්න යැයි අද අපි ඔබට ඇරයුම් කරන්නෙමු.

IMG_2581 IMG_2601

තම උරුමය විලාසිතාවක් කළ බිබි රසල්

බිබි රසල් යනු ලොව ප්‍රමුඛ පෙළේ විලාසිතා නිර්මාණ ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක්ද වේ. ඇය බංග්ලාදේශයේ උපත ලබා තම සංස්කෘතියේ වූ සුවිශේෂීත්වය ජාත්‍යන්තරයට ගෙන යමින්, අද වන විට විලාසිතා නිර්මාණ උපදේශිකාවක ලෙසද කටයුතු කරමින්, ලොව ප්‍රමුඛ පෙළේ විලාසිතා සති නියෝජනය කරමින් සිය දැනුම බෙදා දීම සිදු කරයි.


1690043 copy

ඇය ගැන මීට පෙර නමින් දැන තිබුණද ඇයව හැබැහින් දැක ගන්න ලැබුණේ මේ දිනවල කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන විලාසිතා සතියක් වන %Colombo fashion week^ හරහාය. එහි පැමිණ සිටි සියල්ලන්ගෙන්ම ඇය වෙන් කර හඳුනා ගැනීමට හැකි වූයේ ඇගේ පෙනුම මෙන්ම ඇගේ විලාසිතාවන් නිසාවෙනි.

බංග්ලාදේශයටම විශේෂ වූ සාරියකින් සහ උපැස් යුවළකින් සැරසී සිටි ඇය ඇත්තෙන්ම ප්‍රියමනාප කාන්තාවකි. සිය හීන පසුපස හඹායමින් කොපමණ කඩා වැටීම් සිදු වුවද ඒ හීන හැබෑ කර ගනිමින් ජීවිතය දිනූ කාන්තාවක් ලෙස ඇයව හැඳින්වීමට පුළුවන. ඇයටද ඇගේ ගමන සම්බන්ධව සුවිශේෂී කතාවක් නැතුවා නොවේ. ඒ නිසාම ඇයව අප හා සම්බන්ධ කර ගැනීමට %අද^ අප පසුබට වූයේ නැත. මේ ඇගේ කතාවයි.
“ මම උපත ලබන්නේ බංග්ලාදේශයේ චිතාගොන්වල. මම පවුලේ තුන්වෙනියා. ඇත්තෙන්ම මම කුඩා අවධියේ පටන් ඇඳුම් පැලඳුම්වලට දැක්වූයේ මහත් උනන්දුවක්. මම කුඩා අවධියේ පටන් මගේ මව මට මසාදෙන ඇඳුම් සම්බන්ධව නම් මගේ කැමැත්තක් තිබුණේ නැහැ. මට නිතරම අවශ්‍ය වූයේ වෙනස් විදියකට අඳින්න. මගේ තාත්තා මගේ මේ ආසාව තේරුම් ගත්තා. ඒ නිසාම මට අවුරුදු 10දී මහන්න මැෂිමක් අරන් දුන්නා. මම තනිවම එය හසුරවන්න පුරුදු වුණා. මට හිතෙන විදියට රෙදි කපලා එක එක විදියට ඇඳුම් මහලා මම ඒවා ඇඳගෙන ඉන්නවා.ඇත්තෙන්ම එය මට ලොකු සතුටක් ගෙන ආවා. 2bc253c0ed28c646fec5c4987bf12aaa--ethnic-chic-bibi

මට අවුරුදු 16දී පමණ මගේ තාත්තා විලාසිතාකරණය සම්බන්ධ පොතක් මට ගෙනවිත් දුන්නා. එය ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ ශිල්පියෙකු වන Coco Chanel විසින් ලෝක විලාසිතාකරණය සම්බන්ධව ලියූ පොතක්. ඒ පොත හරහා මට ඒ වන විට ලෝකයේ පැවැති විලාසිතාවන් හඳුනා ගන්නට පුළුවන් වූණා. ඒ සමග මට ආසාවක් ඇති වූවා විලාසිතාකරණය සම්බන්ධව ඉගෙන ගන්න. ඒ නිසාම මම %Home Economic College  වෙත ඇතුළත් වෙනවා. මට එහිදී සිද්ධිකා කබීර් යන පෝෂණවේදියා සහ හොස්නා බානු යන ගුරු මහත්මිය මුණගැසුණා. ඔවුන් සෑමවිටම මාව දිරිමත් කළා මගේ සිහිනය සැබෑ කර ගන්න. 

ඒ වන විට මගේ ලොකු ආශාවක් තිබුණා %London College of Fashion හි අධ්‍යාපනය හදාරන්න. නමුත් මට ඒ සඳහා අවසර ලැබුණේ මාස 6කට පසුවයි. මොකද මම ඒ වන විට සාමාන්‍ය පෙළවත් උසස් පෙළවත් සිදුකර තිබුණේ නැහැ. විලාසිතා නිර්මාණකරණය සම්බන්ධ ඒ වන විට අධ්‍යාපනයක් හෝ දැනුමක් නොතිබුණු නිසා මාව ප්‍රතික්ෂේප වුණා. නමුත් ඒ ප්‍රතික්ෂේප වුණ එක මොහොතකවත් මම මගේ උත්සාහය අතහැරියේ නැහැ. හැමදාම මම ඒ පාසල වෙත දුරකථන ඇමතුම්දී මට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළා. ඉන් පසුව මාව සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරාගත් බවට පවසමින් ලියුමක් ලැබුණා. ඒ සඳහා 60 දෙනෙක් පමණ කැඳවා තිබුණා. මට ලොකු විශ්වාසයක් තිබුණෙ නැහැ මට අවස්ථාවක් ලැබෙයි කියලා. මට සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාව දී තිබුණේ උදෑසන 11.30ට පමණ. නමුත් මම එතැනට උදෑසන 10ට ගියා. මට දී තිබූ වේලාවට විනාඩි 10කට කලින් මාව පරීක්ෂණය සඳහා කැඳවූවා. ඇත්තෙන්ම ඒ නිසා මම තිගැස්සුණා. මම එවිට ඔවුන්ගෙන් ඇසුවා මොන වගේ ප්‍රශ්නද අසන්නේ කියා. එවිට ඔවුන් පැවසුවේ අසන සියල්ලටම උත්තර දෙන්න. පරීක්ෂණයට ප්‍රථමයෙන් ඒ සම්බන්ධව ඔබට කිසිවක් පවසන්න බැහැ කියායි. 

ඒ පරීක්ෂණයේදී මගෙන් ඇහුව පළවෙනි ප්‍රශ්නය තමයි බංග්ලාදේශය යන්න කීමට යෙදෙන අක්ෂර  ෙමානවද කියා. ඒ ප්‍රශ්නයට මට පිළිතුරු දෙන්න හැකි වුණා. ඒ වගේම වර්ණ , හැඩතල සම්බන්ධ මූලික ප්‍රශ්න මගෙන් ඇසුවා. ඒ වගේම විලාසිතාකරණය සම්බන්ධ ප්‍රශ්න ඇසුවා. නමුත් මට ඒ කිසිම ප්‍රශ්නයකට පිළිතුරු දී ගන්න නොහැකි වුණා. නමුත් මාව සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගනු ලැබුවා. මොකද බංග්ලාදේශයෙන් මේ පාසලට පැමිණි පළමු ශිෂ්‍යාව මම නිසා. ඉන් පසු මම විලාසිතාකරණය සම්බන්ධ මූලික දැනුම රාත්‍රී පන්ති ඔස්සේ ලබාගත්තා. ඒ නිසා මම මේ පාසලේ පළමු වසරේදී ලොකු කැපවීමකින් අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. 

මම 1975 වසර වෙද්දි මගේ උපාධිය සම්පූර්ණ කරන්න හැකි වූණා. මගේ උපාධි උත්සවයෙන් පසුව පාසලේ විදුහල්පතිවරයා මට පැවසුවා ප්‍රසිද්ධ විලාසිතා ඒජන්සියක් පවත්වාගෙන යන Laraine Ashton මට නිරූපණය සඳහා ආරාධනා කළ බව. නමුත් මට ඒ වෙද්දී නිරූපණ ශිල්පිනියක් වෙන්න කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැහැ. නමුත් නිරූපිකාවක් වුවහොත් තව දුරටත් විලාසිතා ලෝකය සම්බන්ධ ඉගෙන ගන්න හැකියාව ලැබෙන බව මට තේරුම් ගියා. 
මගේ පළමු නිරූපණය සිදු කළේ ප්‍රසිද්ධ සඟරාවක් වන %Harper’s Bazaar^ වෙතයි. ඉන් පසුව Vogue, Cosmopolitan^ වගේම වෙනත් විලාසිතා සඟරා සඳහා ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. මම ඉදිරිපත් වූ පළමු විලාසිතා දැක්ම වූයේ ඉතාලියානු විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වන වැලන්ටිනෝ යටතේයි. මගේ උස 5’10ක් වීම සහ මගේ සමේ වර්ණය වගේම මගේ දිග කොණ්ඩය මේ සෑම දේම ලැබෙන්න එක් හේතුවක් වූවා. ඒ නිසා මට ලොව ප්‍රසිද්ධ සන්නාම වන BMW, Jaguar, Rolls Royce, Toyota වෙත සහභාගිවී සන්නාම ප්‍රවර්ධනය කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මට ඒ හරහා විවිධ රටවලට වගේම විවිධ සංස්කෘතීන් වෙත සහභාගි වෙන්න හැකියාව ලැබුණා. 

ඉන් පසුව මම නිවාඩුවට නැවතත් බංග්ලාදේශයට පැමිණෙනවා. එහිදී මම රෙදි වියන්නන් වගේම අත්කම් නිර්මාණ ශිල්පීන් මුණගැසෙන්න ගියා. ඒ අවස්ථාවේදී මට හිතුණා ඔවුන් වෙනුවෙන් යම් කිසි දෙයක් මම කළ යුතුයි කියා. බංග්ලාදේශය ගත්තම සියයට අනූවකට වැඩිය තිබෙන්නෙ ග්‍රාමීය පළාත්. ඒ බොහෝ ජනතාව ජීවත් වන්නෙ ගොවිතැනින් හෝ අත්කම් නිර්මාණ, රෙදි විවීම හරහායි. ඇත්තෙන්ම බොහෝ දෙනෙක් බංග්ලාදේශය හඳුන්වන්නේ දුප්පත් රටක් ලෙසටයි. නමුත් මට කියන්න තියෙන්නේ බංග්ලාදේශය කියන්නේ සුවිශේෂී සංස්කෘතියකින් පොහොසත් රටක්. ඒ නිසා ඒ සංස්කෘතිය තුළින්ම ජාත්‍යන්තරය වෙත රටේ නම ගෙනියන්න වගේම දුප්පත් ජනතාවට ඒ ඔස්සේම සේවයක් කළ යුතුයි කියන අදහස මා වෙත පැමිණියා. ඒ නිසා මම බංග්ලාදේශයට පැමිණිය යුතුයි කියන හැඟීම මා තුළට පැමිණියා. නමුත් මගේ යාළුවෝ හිතුවේ නැහැ මම නැවත බංග්ලාදේශයට පැමිණෙයි කියා. මන්ද ඒ දිනවල මට රඟපෑම සඳහා සම්බන්ධ වන්නටද මට නොයෙක් ආරාධනා ලැබුණා. නමුත් මගේ මනස ඒ වෙද්දී හැදිලා තිබුණෙ මම මගේ ගමන යායුතුයි කියායි. ඒ නිසා මම ඒ සියල්ල අතහැර 1994දී නැවතත් බංග්ලාදේශයට පැමිණෙනවා.

54fea1f4fcf7a3446b56d9e4ee6093be

මම බංග්ලාදේශයට පැමිණිය පසු මම මගේ අම්මාට පැවසුවා මට හැන්ඩ්ලූම් ඉන්ඩස්ට්‍රි එක ගැන ඉගෙන ගන්න අවශ්‍යයි කියා. ඒ නිසා අවුරුදු එක හමාරක් ඇතුළත මම බංලාදේශයේ ගම්මාන වෙත ගොස් රෙදි වියන්නන්ගෙන් සහ අත්කම් නිර්මාණශිල්පීන් මුණගැසුණා. ඒ ඔස්සේ මට ලොකු දැනුමක් ඔවුන් තුළින් ලබාගන්න හැකි වුණා. ඇත්තෙන්ම ඔවුන්ගේ ඇඟිලිවලට ඇත්තේ මැජික් බලයක්ද කියා මට සිතුණු වාර අනන්තයි. මන්ද ඒ තරමටම ඒ නිර්මාණ විචිත්‍රයි. ඒ ලබාගත් දැනුමත් සමග 1995 වර්ෂයේදී මම මගේම නිෂ්පාදන %BIBI Production^ ලෙස ගෙන එන්න හැකියාව ලැබුණා.  මම ඒ සඳහා අවශ්‍ය රෙදි බංග්ලාදේශයේ Rajsahai, Comilla, Candina, Kudhtia යන ගම්මානවලින් මිලදී ගත්තා. ඒ හරහා අත්කම් නිර්මාණශිල්පීන් සමග මෙන්ම රෙදි වියන්නන් සමග හොඳ සම්බන්ධතාවක් ගොඩ නගා ගන්නට හැකියාව ලැබුණා. මම අදටත් ඔවුන්ට විශාල ගෞරවයක් දක්වනවා. මොකද මම අද යම් තැනක සිටිනවා වගේම BIBI Production ජාත්‍යන්තරයට ගෙනියන්න අවස්ථාව ලැබුණේ ඔවුන් නිසයි. ඒ නිසා ඒ සියලු ගෞරවය ඔවුන්ටද ලැබිය යුතුයි කියා මා විශ්වාස කරනවා. 

මගේ පියා රන්පුර්වල කෙනෙක්. අම්මා ඩකාවල. ඇත්තටම මේ ප්‍රදේශ දෙකම සංස්කෘතික වටිනාකමක් ඇති ග්‍රාමීය ප්‍රදේශ. ඒ ඔස්සේ මට හැකියාව ලැබුණා ‍ෙබංගාලි සංස්කෘතිය හොඳින් හඳුනාගන්න. ඒ මට ලැබුණ සංස්කෘතිය ඔස්සේ මම සෑමවිටම උත්සාහ කරන්නේ සරල ජීවිතයක් ගෙනියන්න. මම  හැමවිටම හැදී වැඩුෙණ් තාගෝර් සංස්කෘතියේ වගේම මහත්මා ගාන්ධිගේ දර්ශනය තුළ. ඒ නිසා මම සෑමවිටම දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. මම මේ වෙද්දී මගේ ආයතනය තුළ 30 දෙනෙකුට පමණ රැකියා ලබාදී තිබෙනවා. ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවිතවලට සවියක් දෙන්න මට අවස්ථාව ලැබුණා.

මම ඇඳුම් වගේම බෑග්, වළලු, මාල වැනි දේත් නිර්මාණය කරනවා. මම හැම විටම ස්වාභාවික දේ උපයෝගී කර ගන්නේ. මම ආස නැහැ කෘත්‍රිම දේවල් භාවිත කරන්න. මෙලෙස මම මගේ පළමු විලාසිතා එකතුව මම ඉදිරිපත් කළේ 1995 වසරේදී. අද වෙද්දී මගේ නිර්මාණ සඳහා ලෝකයේ විශාල ඉල්ලුමක් පවතිනවා. මම හැමවිටම මා හැදුණු වැඩුණු සංස්කෘතියේ තිබූ දෑ නව ආරකින් ජාත්‍යන්තරයට ගෙන ගියා. ඇත්තටම මට විලාසිතා නිර්මාණ ශිල්පීන්ට පවසන්න තිබෙන්නේ ඔබ ඔබේ රටේ සංස්කෘතියෙන් ඔබටම උරුම දෙයින් ඔබේ ගමන ආරම්භ කරන්න. එවිට ඔබට වගේම ඔබේ රටත් ජාත්‍යන්තරයට ගෙන යන්න අවස්ථාව ලැබේවි. 

ඇත්තෙන්ම බිබි තුළින් අපට ගතහැකි දෑ බොහෝය. ඔබත් ඔබගේ හීන පසුපස යන්න. හීනය හැබෑ වනතුරු උත්සාහය අත් නොහරින්න. බිබි සෑමවිටම පවසන්නේ &කිසිම විටක ඔබේ හැකියාව ගැන උද්දාම නොවන්න. එවිට ඔබේ ගමන කෙටි වේවි. ජීවිතයේ ලබන සෑම අත්දැකීමක් තුළින්ම ජීවිතයට කියා දෙන්නේ පාඩම්. ඔබ සෑමවිටම එය සිහි තබා ගන්න* යනුවෙනුයි. 

කර්කෂක කොළඹ අහස යට, සිත නිවන ආනන්ද කුමාරස්වාමී මාවත දිගේ…

‘කලාව’ සමාජ, දේශපාලන, සංස්කෘතිකමය, තාක්ෂණික විපර්යාසයන්ට අනුකූලව ගමන් කරන්නකි. කාර්මීකරණය, නාගරීකරණය, නව තාක්ෂණය, නව මධ්‍යම පන්තියේ වර්ධනය, පරිභෝජනවාදී සංස්කෘතිය ආදී සියල්ල චිත්‍ර කලාවට එදා සිට බලපෑම් කළේය. එය චිත්‍ර නිර්මාණකරණ ක්‍රමවේදයේ සිට චිත්‍ර ප්‍රදර්ශනය, චිත්‍ර පිළිබඳ කතිකාවත සහ චිත්‍ර එකතු කිරීම යන කාරණාවලටද තදින් බලපාන්නට විය. විවෘත ආර්ථිකයත් සමග චිත්‍ර කලාවේ අනුග්‍රාහක පන්තිය වෙනස් වූ අතර, චිත්‍ර සඳහා මුදල් යෙදවීම යන්න වෙනුවට චිත්‍ර මිලදී ගැනීම ආදේශ විය. මේ තුළින් චිත්‍ර ශිල්පියාට පර්යේෂණාත්මක මෙන්ම නව ආරක චිත්‍ර නිර්මාණය කිරීමේ ඉඩප්‍රස්තාව සපුරා දුන්නේය. එමෙන්ම චිත්‍ර ශිල්පීහු නව ආරක් ගත් දෙමුහුම්කරණය වූ පර්යේෂණාත්මක ගුණයෙන් යුත් නිර්මාණ බිහි කිරීමට අවශ්‍ය අවකාශය සලසා ගත්තේය.


IMG_9411

මෙලෙස අපේ රටේද චිත්‍ර කලාවට අවකාශය සලසා ගත් වෙනම භූමියක් ලෙස නෙළුම් පොකුණ වටරවුමෙන් ඇරඹි පුස්තකාල වටරවුම තෙක් ඇදෙන ආනන්ද කුමාරස්වාමි මාවත හඳුන්වන්න පුළුවනි. මාර්ගය දෙපස ගමන් කරන ඕනෑම කෙනෙක්ගේ නෙත් ගැටෙන්නේ මේ නොයෙක් වර්ණයන්ගෙන් යුත් සිත්තම් දෙසය. කර්කෂ කොළඹ අහස යට විහාරමහාදේවි උද්‍යානයට මුහුණලා තිබෙන මේ මඟ දෙපස තබා ඇති මෙම සිත්තම් නැරඹීම එක්තරා භාවනාවක් කිවහොත් එය අතිශයෝක්තියක් නොවන්නේය.
මෙම වීදිය දෙපස ඇති චිත්‍රවලට මෙන්ම එම කලාකරුවන්ටද ඇත්තේ වෙනම කතාන්දරයකි. ලාංකික චිත්‍ර කලාව එක් සමයක කොළඹ කේන්ද්‍ර කර ගනිමින් සීමිත ගැලරි ප්‍රමාණයක, සීමිත රසිකයන් පිරිසක් වටා ගොනු වී තිබුණි. නමුත් 1980 දශකයෙන් පසු විවෘත ආර්ථිකයේ ආගමනයත් සමග තාක්ෂණය යන කාරණය චිත්‍ර කලාවට අඩු වැඩි වශයෙන් බලපෑවේය. එහිදී බඩවියතට පහර වැදුණේ ස්වායක්තව කලාව කරගෙන ගිය කාලාකරුවනටය. උදාහරණයක් ලෙස කිවහොත් චිත්‍රපට වලට පුවරු අඳිමින් ජීවිතය ගෙන ගිය කලාකරුවන්ට තම රැකියාවට තිත තබන්නට සිදුවිය. මේ ස්ථානය බිහිවීමට එයද එක්තරා හේතුවක් විය.

ජෝජ් හිල් පදනම යනු කලාකරුවන්ගේ උන්නතිය උදෙසා දායකත්වය නොමඳව ලබාදෙන තැනකි. කලා පොළ යනුද ඒවන් වූ  කටයුත්තකි. මේ සඳහා ස්වායක්තව චිත්‍ර කලාවෙහි යෙදෙන පිරිස මෙන්ම ඇකඩමිවල චිත්‍ර කලාව හදාරන පිරිසද දායකත්වය දක්වති. උදාහරණයක් ලෙස කිවහොත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ජෝජ් හිල් පදනම සමග එකතු වී වසරකට වරක් ආනන්ද කුමාරස්වාමී මාවතෙහි චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වනු ලබයි. එහි ආභාසයත් සමග 2000 වර්ෂය පමණ වන විට ස්වායක්තව චිත්‍ර කලාවෙහි යෙදෙන පිරිස සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එවකට ඉගෙන ගත් පිරිසද එක්ව එදිනෙදා වියදම් මුදල් සොයාගැනීම සඳහා මෙම ස්ථානයට එකතු වේ. සාමාන්‍යයෙන් මෙම ස්ථානයට එවන් කලාකරුවන් 40ක පමණ පිරිසක් එකතු වේ. එම එකතු වීමත් සමගින්  යම්කිසි කතිකාවතක් ඇති වී මේ අයුරින් මෙම ස්ථානයේ චිත්‍ර අලෙවි කිරීමට පදනම සකස් විය.

IMG_9424

2006 වසර වන විට මෙම ස්ථානයේ Colombo Still Art Society යනුවෙන් සංගමයක් පිහිටුවා ගනු ලැබීය. එවැනි සංගමයක් පිහිටුවා ගැනීමට  මූලිකව හේතු වූයේ කලාව සමාජගත කිරීමට  හැකි ස්ථානයක් මෙන්ම මුදල් සොයා ගැනීම යන කාරණා නිසාවෙනි. 
මේ වන විට මෙහි නිත්‍ය සාමාජිකයන් 60ක් පමණ වෙති. මේ වන තෙක් සිටි සාමාජිකයන් ගණන 100ක් පමණ වේ. එමෙන්ම සති අන්තයේ කලාකරුවන් 30ක් 40ක් වැනි පිරිසක් ඔවුන්ගේ නිර්මාණ මෙතැනට ගෙන එනු ලබයි. සතියේ මැද පැමිණියහොත් කලාකරුවන් 10- 15ත් අතර පිරිසක් ඔවුන්ගේ  චිත්‍ර මෙතැනට ගෙන එනු ලබයි. මුල් යුගය ගතහොත් මෙහි චිත්‍ර අලෙවි කරනු ලැබුවේ සති අන්තයේදී පමණි. නමුත් අද වන විට සංචාරකයන්ගෙන් චිත්‍රවලට ඇති ඉල්ලුම ඉහළ නිසා සේම ලාංකිකයන්ටද මේ තැන හුරුපුරුදු වූ නිසා සතිය පුරාම චිත්‍ර අලෙවි කිරීම සිදුකරනු ලබයි. කෙසේ වෙතත් චිත්‍ර ඇඳීම සඳහා කාලයක් අවශ්‍ය බැවින් සතියේ මැද මෙතැනට පැමිණෙන කලාකරුවන් පිරිස අඩුය. 

ඔබ ඇතැම් විට චිත්‍ර ප්‍රදර්ශන නරඹා ඇති. නමුත් ඔබට එම චිත්‍රයන්හි නිර්මාණ ශිල්පීන් සමග කතා කරන්නට අවස්ථාව නොලැබෙනවා විය හැකියි. එමෙන්ම එකී චිත්‍ර සම්බන්ධයෙන් ඔබට මතුවන ගැටලුවලට පිළිතුරු විමසීමට අවස්ථාවක් නොලැබෙනවා විය හැකිය. එවන් ගැටලු රැසකට පිළිතුරු මෙම ස්ථානයෙන් ලබාගත හැකිය. මන්ද මෙතැනට පැමිණි විට අදාළ චිත්‍රයේ නිර්මාණ ශිල්පියා සමගම එම නිර්මාණ සම්බන්ධ ඔබට අදහස් විමසන්නට, කතා කරන්නට අවස්ථාව හිමිවනු ඇත. එමෙන්ම පැවසිය යුතු තවත් කරුණක් තිබේ. එනම් මෙහි සිටින බොහෝ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ ආර්ට් ගැලරිවලදීද ඔබට දකින්නට ලැබේ. 

IMG_9425

සැබැවින්ම මේ වීදිය පුරා සිටින කලාකරුවන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වනුයේ ඔවුනට ඔවුන්ගේ නිර්මාණ උදේ සවස මෙතැනට රැගෙන ඒමට හා රැෙගන යෑමට සිදුවීමයි. මන්ද ඔවුන්ට මෙම නිර්මාණ ආරක්ෂිතව තබා යා හැකි පහසුකමක් නොමැති බැවින් විශාල ප්‍රවාහන ගාස්තුවක් ගෙවමින්, විශාල කැපකිරීමක් සිදුකරන්නට වේ. මේ අපහසුතාව නිසාම මෙම සංගමයේ ඉල්ලීම මත ස්ටෝල්ස් සෑදීම සඳහා රජයෙන් පළාත් පාලන අමාත්‍යාංශය වෙත මුදල් වෙන්කර මේ වන විට ඔවුනට ස්ටෝල්ස් ලබා දී ඇත. සැබැවින්ම එය අගය කළයුතු කාරණයකි.
රටේ ආර්ථිකය, කලාපීය ආර්ථිකය, ලෝක ආර්ථිකය යන සෑමදේම කලාවට බලපෑම් කරන බව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. නමුත්  දේශීය, විදේශීය කියා භේදයක් නොමැතිව සැමටම එකම මිලකට මෙහිදී චිත්‍ර අලෙවි කරනු ලබයි. එමෙන්ම මෙහි ඇති එක් වි‍ශේෂත්වයක් වන්නේ ගැනුම්කරුට අවශ්‍ය ආකාරයේ චිත්‍ර මෙම චිත්‍ර ශිල්පීන්ට කියා සිත්තම් කර ගැනීමේ හැකියාව පැවතීමයි. මෙතැනට පැමිණෙන ඔබට සාම්ප්‍රදායික චිත්‍රයන්ගේ සිට නව ඇබ්ස්ට්‍රෑක් චිත්‍ර දක්වා මිලදී ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම එම කලාවන් අතර පවතින වෙනස්කම් පහදා දී තම පාරිභෝගිකයාට යම්කිසි දැනුමක් ලබාදීමටද මෙම ශිල්පීන් මැළි නොවේ. 

ලෝකයේ බොහෝ කලා නිර්මාණ කෙරෙහි විවිධ වූ විචාරයන් බිහිවී ඇති අතර, ඒ සෑම විචාරයකින්ම පාහේ එම නිර්මාණය නැවත ඉපදීමක් සිදුවේ. නමුත් අද වන විට මෙම කලා කෘති පිළිබඳ කියවීමක් තිබෙනවාද යන්න ගැටලු සහගතය. එය සැබැවින්ම කලාව පැත්තෙන් අහිතකර තත්ත්වයකි. අද වන විට ලංකාවේ පාරිභෝගිකයන් බහුතරයක් චිත්‍ර කියවීම අඩුය. සැබැවින්ම අද මෙම ස්ථානයෙන් චිත්‍ර මිලදී ගන්නා බොහෝ පිරිසක් විලාසිතාවකට මිලදී ගන්නවා විනා ඒවායෙහි අර්ථය හෝ කලාත්මක බව පිළිබඳ අදහසක් ඔවුනට නොමැත. ඒ බොහෝ දෙනෙකුට මෙම චිත්‍ර ඔවුන්ගේ හිඩැස් පුරවා ගැනීමට යොදාගන්නා තවත් එක් දෙයක් පමණි. මෙහි සිටින චිත්‍ර ශිල්පීන් බොහොමයකගේ අදහස වූයේ මෙම ස්ථානයට චිත්‍ර  මිලදී ගැනීමට පැමිණෙන ඇතැම් පිරිස් මෙම කලා නිර්මාණ දකින්නේ පොළකට ගොස් එළවළු මිලදී ගැනීමක් හා සමානවය. මන්ද ඔවුන් අද වන විට මෙම කලාව කේවල් කරන තත්ත්වයට වැටී ඇති බැවිනි. සැබැවින්ම එය ශිෂ්ටසම්පන්න නොවන්නකි. මන්ද එම නිර්මාණය වෙනුවෙන් ඔවුන් මිල නියම කර තිබෙන්නේ නිර්මාණකරුවෙකු තුළ ගැබ් වී ඇති හැකියාව මෙන්ම ඒ වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම සහ මහන්සිය සඳහායි. එබැවින් එවැනි නිර්මාණයන් මිලදී ගැනීමේදී කේවල් නොකර තම හිඩැස වෙනත් දෙයකින් පුරවා ගැනීම වඩාත් ශිෂ්ටසම්පන්නය.

IMG_9427 IMG_9440 IMG_9441 IMG_9448 IMG_9450 IMG_9451

COLOMBO FASHION WEEK 2018 19 වැනිදා සිට

මෙම වසරේ ‘කොළඹ සමරමු' (Celebrate Colombo)’ යන තේමාව යටතේ විලාසිතා හා ඒ අදාළ අනෙකුත් ක්ෂේත්‍රද එකතු කර ගනිමින් නිර්මාණශීලී ඇසකින් කොළඹ නගරයට නව ජීවයක් ගෙන ඒමට COLOMBO FASHION WEEK බලාපොරොත්තු වේ. මේ සම්බන්ධ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පෙරේදා (06දා) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. 

IMG_3151 copy

ශ්‍රී ලාංකේය විලාසිතා සංවර්ධනයේ ආරම්භය සනිටුහන් කළ COLOMBO FASHION WEEK සිය 15 වැනි සංවත්සරය මේ වසරේදී සමරනු ලබයි. 2003 වසරේ තැබූ ආරම්භක පියවරත් සමග ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයේ දියුණුවට මෙන්ම නිර්මාණකරුවන් ලෙස කලඑළි බැසීමටත්, ඒ වෙනුවෙන් වාණිජ වටිනාකමක් හිමිකර ගැනීමටත් මේ ඔස්සේ ශ්‍රී ලාංකේය තාරැණ්‍යයට මාර්ගය විවිර විය. 

C73D6567 copy

මෙවර COLOMBO FASHION WEEK මෙම මස 19දා සිට 25දා දක්වා පැවැත්වෙන අතර, මෙය කලා නිර්මාණ, චිත්‍රපට, ආහාර, සංගීතය මෙන්ම දැනුම් සම්පාදන වැඩමුළු, ආචාරාත්මක විලාසිතා, නිර්මාණ ප්‍රදර්ශන සහ නැගී එන නිර්මාණකරුවන් හඳුන්වාදීම වැනි විවිධ අංගයන්ගෙන් සමන්විතය.COLOMBO FASHION WEEK සඳහා මෙවර නීත්‍යානුකූල පාර්ශ්වකරු ලෙස දායකත්වය ලබා දෙන්නේ HSBC බැංකුවයි. මේ ඔවුන්ගේ සහයෝගිත්වයේ 10 වැනි වසර වන අතර, එහිදී විලාසිතා සංවර්ධනය අරමුණු කරගත් වැඩසටහන් සමගින් දේශීය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ඔවුන් විසින් දායකත්වය සපයන ලදී. මෙම වසරේදී ඔවුන්ගේ දැක්ම ඉදිරි වසර 10 වෙත යොමු වේ.

මේ සඳහා සත්කාරකත්වය Hilton Colombo විසින් සපයනු ලබන අතර, ඔවුන්ගේ එම සත්කාරකත්වය පසුගිය වසර කිහිපය පුරාම මෙම උත්සවය වෙනුවෙන් හිමි විය. ඒ අනුව Hilton සමග වූ සහයෝගිත්වයේ 9 වැනි සංවත්සරය මෙවර සැමරේ.මෙහි නිල රූපලාවණ්‍ය සහකරු ලෙස Ponds BB+ දායකත්වය දක්වයි. නිල රථවාහන සහකරු ලෙස දායකත්වය සපයන්නේ Audi සමාගමයි. පානීය ජලසහකරු ලෙස OLUද, නිල පානීය සහකරු ලෙස Wine world.lkද  කටයුතු කරයි. 

මේ සඳහා හිසකෙස් හා රූපලාවණ්‍ය සහකාරත්වය ලබා දෙන්නේ රමණී ප්‍රනාන්දු මහත්මිය විසිනි. නිල ඇස් පලඳනා සහකරු ලෙස Vision Care සමාගම කටයුතු කරයි. Hameedia , Leo Burnett Sri Lanka සහ MSLGROUP Sri Lanka නිල මහජන සම්බන්ධතා සහකරු ලෙස කටයුතු කරයි. මෙහි වෙබ් අඩවි සංවර්ධන සහකරු ලෙස We are Designers සහාය දක්වයි. Outdoor Digital Media සහකරු ලෙස Emerging Media කටයුතු කරයි. 
COLOMBO FASHION WEEK සඳහා මෙවර දේශීය මෙන්ම විදේශීය නිර්මාණකරුවෝ 30 දෙනෙකුට වැඩි පිරිසක් දින 4ක කාලයක් පුරා සිය නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට සූදානමින් සිටිති.

 මෙහි විදේශීය නිර්මාණකරුවන් අතර බිබි රසල්, එමෙරික් ෆ්‍රැන්කෝසිස්, උර්වශී කෝර් සහ ටරැන් ටහිලියානි යන පිරිස වෙති. දේශීය නිර්මාණකරුවන් අතර දර්ශි කීර්තිසේන, උපේක්ෂා හේගර්, චාරිනී සූරියගේ, මාස්, දිමුතු සහබන්දු, කොන්සයන්ස්, මෙරාකි, සොනාලි ධර්මවර්ධන, ෆවුසල් හමීඩ්, ජයශ්‍රී, අමිලානි පෙරේරා, කැතරින් රෝව්සන්, ලොවී සිලෝන්, නිලංක සිල්වා, අස්ලම් හුසේන්, ඉන්දීවරී යාපා අබේගුණවර්ධන සහ ගිහින් එදිරිවීර සිටිති.

 

LICC Jeans Pregnancy Fashion

LICC Jeans වෙතින් ඉදරිපත් කළ විලාසිතා දැක්ම පසුගියදා කොළඹ හිල්ටන් රෙසිඩන්ස්හිදී පැවැත්විණි. එහිදී ගැබිණා කාන්තාවන් වෙනුවෙන්ද ඩෙනිම් විලාසිතතා රැසක් ඉරිපත් කෙරණි. 

IMG_1832 IMG_1837 copy Untitled-1 copy copy Untitled-1 copy Untitled-2 copy Untitled-3 copy

අල වගාවට නිසි විසඳුමක් නැතිව ‘අල’ වන ගොවියා

දේශීය ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වාතාවරණයක් පැන නැඟී ඇත්තේ අද ඊයක සිට නොවේ. වසර ගණනාවක සිට පැන නැඟ ඇති මෙම ගැටලුවට මෙතෙක් කිසිදු රජයක් නිසි විසඳුමක් ලබා නොදී පැලැස්තර විසඳුම් ලබාදීම හේතුවෙන් පීඩා විඳින්නේ අසරණ ගොවියාය.දුක් මහන්සියෙන් ණය වී වගාකරන ගොවියාගේ අස්වැන්නට නිසි වෙළෙඳපොළක්, වටිනාකමක් නොලැබීම හේතුවෙන් අද වන විට ගොවියාට තම අස්වැන්න විනාශ කර දැමීමට පවා සිදුව තිබේ. මෙය අප රටේ සෑම වගාවකටම ඇති වී තිබෙන්නා වූ ශෝචනීය තත්ත්වයකි.


මේ දිනවල මෙම තත්ත්වයට වැඩියෙන් මුහුණ දෙනු ලබන්නේ අල ගොවියාය. අල ගොවියාට මේ දිනවල අල කිලෝවකින් රුපියල් 30, 40ක් පාඩු ලබමින් සිය අස්වැන්න කුණුකොල්ලයට විකිණීමට සිදුවී තිබෙන්නේ රජය විසින් ගනු ලබන අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසාය. ණය වී වගා කරන ගොවියාට අස්වැන්න නෙළා  ගත් පසු ගෙල වැලලා ගැනීමට සිදුවන තත්ත්වයට ඔවුන්ව ඇද දමා ඇත්තේ රජයේ නිසි පදනමක් නැති ආර්ථික ප්‍රතිපත්තීන්ය. මේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 'අද'ට සම්බන්ධ කර ගත්තෙමු.

Scope-for-potato-processing1 copy

 “මේ වන විට අල කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් රුපියල් 65ක 70ක මුදලක් ගොවියාට වැය වෙනවා. නමුත් මේ වන විට අල කිලෝවක මිල රුපියල් 80 දක්වා පමණ පහළ වැටී තිබෙනවා. මෙයට බලපාන එක් හේතුවක් වන්නේ අල සඳහා ගසා තිබූ බද්ද 2%ක් දක්වා අඩු කිරීමයි. ඒ අඩු කිරීමත් සමග පිටරටින් අල ආනයනය කිරීම සිදුකළා. ඒ ආනයනය කළ අල ගබඩා කිරීම සිදුකළා. ඒ තත්ත්වය අල මිල මේ තරම් පහත වැටෙන්න හේතු වී තිබෙනවා.

අපට ඉල්ලුමට සරිලන තරම් නිෂ්පාදනය කිරීමට නොහැකි වීම නිසා රටේ අල අවශ්‍යතාවයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් පිටරටින් ආනයනය කිරීමට සිදු වී තිබෙනවා. නමුත් රජය විසින් අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දෙනවා නම් රටට අවශ්‍ය තරම් අල නිෂ්පාදනය කරන්න පුළුවන්.

රටේ අවශ්‍යතාවත් එක්ක ගතහොත් අපේ ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදනය කරන්නෙ නැහැ. නමුත් මේ වන විට රට තුළ අර්තාපල් අතිරික්තයක් හටගෙන හමාරයි. එය එසේ නම් මේ වගේ විකෘතියක් එන්නේ ඇයි?  එයට ප්‍රධානම හේතුව තමයි මෙරට අස්වනු නෙළන සමය වන විට පිටරටින් අල ආනයනය කිරීම. ලොකු ලූනු ගත්තොත් එහි ප්‍රශ්නයත් මේ වගේමයි. ලොකු ලූනු අස්වනු නෙළන සමයේදී ලොකු ලූනු ආනයනය කරනවා. එවිට ලූනු මිල පහළ බහිනවා. වී අස්වනු නෙළන සමයේදී හාල් ටික පිටරටින් ගෙනෙනවා. එවිට වී මිල පහළ බහිනවා. අප රටේ සෑම භෝගයකටම මේ කාරණය බලපානවා. ඒ නිසා ගොවියාට පැනනඟින ප්‍රධාන ගැටලුව වන්නේ මිල සම්බන්ධවයි.

ඇත්තටම අපේ රටේ හොඳම අල තිබෙන්නේ ඌව වැලිමඩ ප්‍රදේශයේයි. අප රටේ අල වවන ප්‍රධාන දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයි. ඊට අමතරව යාපනය දිස්ත්‍රිකයෙත් අල වගා කිරීම සිදුකරනවා. වැලිමඩ අල ගත්තාම පිටි ගතිය වැඩියි. දිය ගතිය අඩුයි. රසය වැඩියි. නුවරඑළිය ගත්තාම අල වල දිය ගතිය වැඩියි. පිටි ගතිය අඩුයි. රසය අඩුයි. ඒ නිසා අප රටේ වැලිමඩ අල වලට විශේෂ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම යාපනයෙනුත් අල එනවා. නමුත් ඉන්දියාවෙන් ගෙනෙන අල යාපනයේ අල ලෙස රට මැදට එනවා. ඉතින් මේ වගේ අක්‍රමිකතාවන් ගණනාවක් සිදුවෙනවා.

Namal Karunarathne copyඒ වගේම අපේ රටේ එළවළු හෝ පලතුරු කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. අස්වනු නෙළන කාලයට ලොකු අස්වැන්නක් වෙළෙඳපොළට එන විට කෑමට අවශ්‍ය ප්‍රමාණය රටට නිදහස් කරලා අතිරික්තය අපි ගබඩා කරන්න අවශ්‍යයි. නමුත් ගබඩා පහසුකම් නැතිකමත් එක්ක මේ ගැටලුව මතුවෙනවා. ඇත්තටම අපේ රටේ එළවළු, පළතුරු වගාවේ විකෘතියක් තිබෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් තාක්කාලි අස්වනු නෙළන සමයට සති දෙක තුනක් ඇතුළත පරිභෝජනයට ගන්න අවශ්‍යයි. එසේ නැති වුණොත් කල් තබා ගන්නා ක්‍රමවේද නැහැ.

ඒ කිසිවක් නැති ක්‍රමවේදය තුළ ලොකු අස්වැන්නක් වෙළෙඳපොළට පැමිණෙද්දී ඒවා පරිභෝජනය කර අවසන් කරන්න ඕන. ඇත්තටම මේ ආශ්‍රිත කර්මාන්ත තිබෙනවා නම්, මේවා ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් තිබෙනවා නම්, අස්වනු නෙළන විට රටට අවශ්‍ය ප්‍රමාණය නිදහස් කරලා ඉතිරි ප්‍රමාණය ගබඩා කරන්න පුළුවන්. එවිට මේ වගේ විකෘතියක් හටගන්නේ නැහැ. මේ වගේ ගැටලු නිසා තමා අපේ ගොවීන් අස්වනු නෙළන කාලයට අස්වනු නෙළීම අතහරින්නේ. මොකද ගොවියාට විකුණ ගන්න නොහැකි වීම තුළ ගැටලු මතුවෙනවා. මේ තත්ත්වය අපේ රටේ එළවළු පළතුරු හැම එකටම බලපාලා තිබෙනවා. අල ගොවියාටත් මේ දේ අඩු වැඩි වශයෙන් බලපාලා තිබෙනවා. මේ වන විට අල ගොවියා ලොකු ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. මේ විදියට දිගටම පැවතුණොත් අල ගොවියා අල වගාවෙන් ඉවත් වෙනවා.

මෙහිදී රජය විවිධ අවස්ථාවන් වලදී පියවර ගත් නමුත් ඒ සෑම අවස්ථාවකදීම සිදුකර ඇත්තේ අශ්වයා ගියාට පසුව ඉස්තාලය වහන එක. මේ තුළ තිබෙන්නේ ඇත්තටම බිස්නස් එකක්. අල, ලූනු පිටරටින් ගෙනෙන විට ඒ ගේන අයට කොමිස් ලැබෙනවා. ඒ අය මේ වැඩේ කරන්නේ ඒ කුට්ටිය බලාගෙන. නමුත් අවසානයේ මහජන විරෝධය පැමිණීමේදී බදු ගැසීම සිදුකරනවා. බද්ද ගසන විට සියල්ල සිදුවී හමාරයි. ආණ්ඩුව මේ වන විට ගෙන ඇත්තේද එවැනි පියවරක්.

අපේ රටට අවශ්‍ය අල ප්‍රමාණය අපේ රටේම නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් ඒ සඳහා පියවරක් ගෙන නැහැ. ගොවියා හුදකලාව, සිතා බලා වගා කරනවා විනා රාජ්‍ය  මැදිහත්වීමක් සිදුවන්නේ නැහැ. රටේ අර්තාපල් අවශ්‍යතාව මෙච්චරයි, ඒ සඳහා මේ තරම් භූමි ප්‍රමාණයක වගා කළ යුතුයි, ඊට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි කියා පදනමක් අවශ්‍යයි. නමුත් එවැනි වගා සැලැස්මක් අප රට තුළ නැහැ. එවැනි සැලැස්මකට අනුව මෙය මෙහෙයවනවා නම් මේ තත්ත්වයට විසඳුම් තිබෙනවා."

BL23_POTATO_GKQ4GJG_991386f copy

LICC JEANS Fashion

LICC JEANS සංවිධානයෙන් හිල්ටන් රෙසිඩන්ට්හි පසුගියදා (21දා) පැවති ඩෙනිම් විලාසිතා දැක්මේ අපූරු වූ විලාසිතා රැසක් 'අද' කැමරාවට හසු වූයේ මෙලෙසිනි.

IMG_1862 IMG_1886 IMG_1901 IMG_1910 IMG_1984 IMG_2058 IMG_2077 IMG_2104 IMG_2116 IMG_2127 IMG_2192