Author Archives: සඳමාලි වික්‍රමආරච්චි

හෙළ සිනමාව ආලෝකවත් කළ මහා සිනමාවේදියා

සිනමාව නම් වූ සොඳුරු කලාව තුළ සිංහල සිනමාවට නව මුහුණුවරක් ලබාදෙමින් එය ජාත්‍යන්තරය දක්වා රැගෙන ගියේය. සිය 99 වසරක දිවිය තුළ දේශීය සිනමාව උදෙසා සුවිසෙස් මෙහෙවරක් කළ ඒ අද්විතීය අධ්‍යක්‍ෂවරයා, තිර රචකයා සහ චිත්‍රපට නිෂ්පාදකවරයා පෙරේදා (29දා) සිය දිවි සිනමාවට සමුදුන්නේය. මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් වූ ඒ අග්‍රගණ්‍ය සිනමාවේදියා වෙනුවෙන් තැබෙන සටහනකි.


Lester-800x445

ජාතික සිනමා කර්මාන්තයක් පවා බිහිව නොතිබූ යුගයක උපන් ලෙස්ටර් ජේම්ස් පීරිස්, සිංහල සිනමාවේ අමරණීය සලකුණක් වනු ඇතැයි කිසිවෙකුත් අපේක්‍ෂා නොකරන්නට ඇත. 1919 අප්‍රේල් මස 09 වැනිදා දෙහිවලදී උපන් ඔහුගේ පියා වූයේ වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස්ය. මව ඈන් ගෙස්ට්‍රියව් විනිෆ්‍රඩ් ජයසූරියයි. ඉංග්‍රීසි පන්නයට හුරු වූ රෝමානු කතෝලික පවුලක් වූ ජේම්ස් පීරිස් පවුලේ සිංහල භාවිතයක් නොතිබූ තරම් විය. ඔහුගේ මිත්තණිය පමණක් සිංහල කතාකළ දේශීය භාවිතය අගය කළ තැනැත්තියක වූවාය.

සිනමා නිෂ්පාදකයෙකු, අධ්‍යක්‍ෂවරයෙකු වීමේ සිහිනයක් හෝ නොවූ ලෙස්ටර්ට එකොළොස් හැවිරිදිව සිටියදී ඔහුගේ පියාගෙන් කොඩැස්කෝ ප්‍රක්‍ෂේපණයක් ත්‍යාගය ලෙස හිමි විය. එමගින් චාලි චැප්ලින්ගේ නිහඬ චිත්‍රපට නැරඹීමට ලෙස්ටර් ප්‍රිය කළ අතර, ඔහුගේ සොයුරන් සමග එක්ව දිනපතා කොටස් වශයෙන් විකාශය වූ විදේශීය චිත්‍රපට නැරඹුවේය.

අධ්‍යාපනය සඳහා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුළත් වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්, සිය ද්විතියීක අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව 17 වැනි වියේදී සිය ප්‍රථම වෘත්තිය වශයෙන් මාධ්‍ය ක්‍ෂේත්‍රය තෝරා ගත්තේය. ප්‍රථමයෙන් ‘ඩේලි නිවුස්’ පුවත්පත හා එක්වූ ලෙස්ටර්, එම පුවත්පතේ අතිරේකයක් සංස්කරණය කළේය. එය ලෙස්ටර්ට නවමු පන්නරයක් ලබාදුන් අතර අනෙකුත් ආධුනිකයන්ටද විවෘත කරදුන් පුළුල් මාවතක්ම වී යැයි පැවසිය හැකිය. එම අතිරේකය හරහා ලෙස්ටර් හා එක්වූවන් අතර, පර්සි විට්ටච්චි, ඇල්ප්‍රඩ් ද සිල්වා, මර්වින් ද සිල්වා, ජේ.බී. ද අල්විස්, හැරිසන් පීරිස් වැනි පසුකාලීන දැවැන්තයෝ රැසක් වූහ. පසුව ලෙස්ටර්, 1939දී  ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතේ ඉන්දියානු සංස්කාරකවරයෙකු වූ ෆ්‍රෑන්ක් මොරායස් යටතේ සේවය කළ අතර, ලෙස්ටර්ගේ භාෂා නිපුණ‍ත්වය හා සුවිශේෂී  කුසලතාවන් මැනැවින් හඳුනා ගත් මොරායස් සිය සහාය ඔහු වෙනුවෙන් උපරිමයෙන් දැක්වීය. පසුව ලෙස්ටර් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේද කෙටි කාලයක් සේවය කළේය.

ඒ වන විට යොවුන් වියේ පසු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ දැනුම තව තවත් පුළුල් වූයේ ඔහු නාට්‍ය මණ්ඩලයේ කණ්ඩායමට එකතු වීමෙන් අනතුරුවය.

1947 දී එංගලන්තයට යන ලෙස්ටර් එහි කලා ශිෂ්‍යත්වය හදාරමින් සිටි ඔහුගේ සහෝදරයා වූ අයිවන් සමග එක් වීය.

1952 වසරේ ලංකාවට පැමිණි ලෙස්ටර් ඉන් වසර තුනකට පසු දේශීය සිනමාවට ස්වකීය නිර්මාණ දායකත්වය දැක්වීම අරඹන්නේ විලී බ්ලේක් හා ටයිටස් තොටවත්තයන් හා එක්වෙමිනි. ඒ අනුව 1956 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් ගැමි තේමාවක් වස්තු  විෂය කරගත් වෘත්තාන්ත චිත්‍රපයටක් ලෙසින් ‘රේඛාව’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරමින් සිය සිනමා ජීවිතය ආරම්භ කළේය.

1946 දී මෙරට මුල්ම කතානාද චිත්‍රපටය තිර තිරගත කළ අතර, ඒ වන විට මෙරට ‘සුන්දර සවුන්ඩ්ස්’ හා ‘නව ජීවන’ චිත්‍රාගාර දෙක ඉදිවී තිබිණි. එහෙත් මෙරට සිනමා නිර්මාණයන්ට දකුණු ඉන්දීය සිනමා ආකෘතිය තුළින් මිදි ගන්නට නොහැකියාවක් තිබුණාක් මෙන්ම ස්වාධීන ලක්‍ෂණ කිසිවක් ඒවායින් පිළිබිඹු වූයේ නැත. 1956 වසරේදී සිංහල චිත්‍රපට 06ක් තිරගත වූ අතර, ‘රේඛාව’ හා ‘රම්‍යලතා’ හැර සෙසු සියලු චිත්‍රපට නිෂ්පාදනය කරන ලද්දේ දකුණු ඉන්දීය චිත්‍රාගාරයන් තුළදීය. එමෙන්ම බී.ඒ. ඩබ්ලිව් ජයමාන්න නිර්මාණය කළ ‘දෛව විපාකය’ හැර අනෙක් සියලු චිත්‍රපට ඉන්දියානු අධ්‍යක්‍ෂවරුන් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබීය. ඒ සියල්ල තුළ තිබූ දකුණු ඉන්දීය සිනමා ලක්‍ෂණ මෙන්ම, අධ්‍යක්‍ෂවරුන්ගේ ප්‍රවීණත්වයද අතර විශාල පරස්පරයක් ඇති කරමින් ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් 1956 අග භාගයේදී ‘රේඛාව’ නිෂ්පාදනය කරන්නේ ආරම්භයේදීම අනාගත මහා සිනමාවේදියෙකුගේ ලක්‍ෂණ මොනවට විෂද කරවමිනි.Capture

ස්ව‍භාව චමත්කාරයත්, චරිතානුබද්ධ සිදුවීම් මාලාවත් එකම රූපයකට සංක්‍ෂිප්ත කිරීමේදී ලෙස්ටර් දැක්වූ මනා වූ කුසලතාව සිංහල සිනමාවේ අනාගතය වෙත හිරු පායා එන වගට ගෙන ආ පූර්ව දැනුම් දීමක් බඳු විය.  ලෙස්ටර්ගේ මෙම ප්‍රවිෂ්ට වීම හේතුවෙන් සිංහල සිනමාවට ඒකීය වූ අනන්‍යතාවක් ගොඩනැගිනි.

ලෙස්ටර් 1964 දී එවකට දක්‍ෂ චිත්‍රපට චිත්‍රපට අධ්‍යක්‍ෂිකාවක වූ  සුමිත්‍රා ගුණවර්ධන සමග විවාහ වූයේය.

‘රේඛාවෙන්’ පසුව ලෙස්ටර් සම්භාවනීය චිත්‍රපට රැසක් බිහි කළ අතර, එයින්ද මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ‘ගම්පෙරළිය’ නවකතාව ඇසුරෙන් 1964 දී නිර්මාණය වූ ‘ගම්පෙරළිය’ චිත්‍රපටය යළිත් මෙරට සිනමාවේ අමතක නොවන මතකයක් ඉතිරි කළේය. 1966 දී ‘දෙලොවක් අතර’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන ලෙස්ටර්, නැවත ස්වකීය ආධිපත්‍යය සිනමාව තුළ තහවුරු කරන්නේ 1968 දී කරුණාසේන ජයලත්ගේ ‘ගොළු හදවත’ නවකතාව ඇසුරෙන් අධ්‍යක්‍ෂණය කළ ‘ගොළු හදවත’ චිත්‍රපටය මගිනි. 1970 වසරේ ‘නිධානය’ද, 1983 වසරේ ‘යුගාන්තය’ද ලෙස්ටර් අතින් අධ්‍යක්‍ෂණය විය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ට සිනමාව සම්බන්ධ මෙරට ආකල්ප වෙනස් කරලීමේ මහත් අරගලයක් කරන්නට සිදු විය. ‘රේඛාව’ තිරගත කරවීම සඳහා ලෙස්ටර්ට හමුවන්ට සිදුවන්නේ ‘සීමාසහිත සිලෝන් තියටර්ස්’ නිර්මාතෘ ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර්ය. ගාඩිනර් විසින් ලෙස්ටර්ට පෙන්වා දෙන ලංකාවේ හොඳම චිත්‍රපටය වන්නේ ‘සැඩසුළං’ චිත්‍රපටයයි.

වසර ගණනක් තිස්සේ දමිළ ආකෘතිය තුළ සිරව සිටි සිංහල සිනමා ප්‍රේක්‍ෂකයාට නව රසඥතාවක් ගොඩනංවන්නට ලෙස්ටර්ට ‘රේඛාව’ තුළින් හැකිවූයේ නැත. රේඛාව ඉහළින් වැලඳ ගත්තෝ සිනමා විචාරකයන් විනා සිනමා රසිකයන් නොවේ. එවකට අධ්‍යාපන ඇමතිවරයාව සිටි ආචාර්ය විජයානන්ද දහනායක විසින් ‘රේඛාව’ චිත්‍රපටය රටට අවමානයකැයි සඳහන් කොට එය තහනම් කළ යුතු යැයි ප්‍රකාශ කළේය. මූල්‍ය වශයෙන් අසාර්ථක වූ රේඛාව නිෂ්පාදනය කිරීමෙන් වසර ගණනාවකට පසු සර් ගාඩිනර්ගේ සමාගමට විශාලම ආදායම උපයා දෙන්නේ ලෙස්ටර් විසින් නිර්මාණය කරන ලද ‘ගොළු හදවත’ චිත්‍රපටයයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් තිළිණ කළ විශිෂ්ටම චිත්‍රපටයක් ලෙස දැක්විය හැකි ‘නිධානය’ නිෂ්පාදනයෙන්ද එක්වන්නේ සර් ගාඩිනර්ගේ සමාගමයි. ලෙස්ටර් වෙනුවෙන් චිත්‍රපට ත්‍රිත්වයක් නිෂ්පාදනය කිරීමේ භාග්‍ය ලත් එකම සමාගම වූයේ සර් ගාඩිනර්ගේ සමාගමයි.

‘රේඛාව’ වාණිජ වශයෙන් අසාර්ථක වීම මෙරට සැබෑ සිනමාවේ මෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමාවේද අවසානය වන්නට ඉඩ තිබිණ. සිනමාව පිළිබඳ මනස තුළ වූ අවබෝධයෙන් එය දුටුවන් පමණක් ‘රේඛාවේ’ අගය වටහා ගත්හ. නිවාඩුවකට ලංකාවට පැමිණි ප්‍රංශ සිනමා විචාරිකාවක වූ මාරියා ෂෙල්ට අහඹු ලෙස ‘රේඛාව’ නරඹන්නට ලැබිණ. සිංහල චිත්‍රපටයක් නරඹන්නට වුවමනා වූ මාරියා ෂෙල් ගල්කිස්ස හෝටලට අසල සිටි ටැක්සි රියදුරෙක් විසින් ඒ වන විට රේඛාව පෙන්වමින් තිබූ වැල්ලවත්තේ ‘රොක්සි’ සිනමාහල වෙත කැඳවාගෙන ගොස් තිබිණ‍. රේඛාවේ සිනමා බස වටහා ගන්නා ඇය මහත් වෙහෙසක් දරා එවකට නවක අධ්‍යක්‍ෂවරයෙකු වූ ලෙස්ටර් නම් සිනමාවේදියා සොයා ගැනීමෙන් පසු ප්‍රංශයට ගොස් ඊළඟ ‘කාන්ස්’ සිනමා උලෙළට රේඛාවට ඇරයුම් කළාය.

ජාත්‍යන්තරය දිනූ ‘රේඛාව’ දේශීය සිනමා හදවත ජය ගැනීමට නොහැකි වීම තුළ වාණිජ වශයෙන් අසාර්ථක වීම හේතුවෙන් ලෙස්ටර්ට වසර කිහිපයක් යනතුරු චිත්‍රපටයක් සඳහා ආයෝජකයෙකු සොයා ගැනීම අසීරු වුවද, එවකට මෙරට සිටි ප්‍රධානතම සිනමා නිෂ්පාදකවරයෙකු මෙන්ම ගාඩිනර්ගේ ප්‍රධාන ව්‍යාපාරික ප්‍රතිවාදියාද වූ කේ. ගුණරත්නම් ඔහුගේ සිනමාස් සමාගමේ දසවැනි සංවත්සරය සඳහා චිත්‍රපටයක් නිර්මාණය කරන ලෙස ආචාර්ය ලෙස්ටර්ට ආරාධනා කළේය. එහි වියදම සඳහා අවශ්‍ය මුදල ලියා ගැනීමට හිස් චෙක් පතක් ලබාදෙන්න තරම් ගුණරත්නම් ලෙස්ටර් කෙරෙහි තැබූ විශ්වාසය සිංහල සිනමාවත්, ලෙස්ටර් ජේම්ස් පීරිස් නම්වූ සිනමාවේදියාත් කඩා වැටීමෙන් වළක්වාලීය. ‘සංදේශය’ට නිෂ්පාදන දායකත්වය දක්වන්නට ගුණරත්නම් එක් වන්නේ එසේය. ඒ වන විට දකුණු ඉන්දියාවේ මුල්පෙළ සිනමාකරුවන් ලවා පමණක් චිත්‍රපට තැනූ ගුණරත්නම් ලෙස්ටර්ට සිනමා කෘතියක් ලබා දෙනුයේ රේඛාව නිසා නොව ඉන්දියානු සිනමාවේ දැවැන්තයෙකු වූ රාජ් කපූර්ගේ පෙළඹවීම හේතුවෙනි. චෙකොස්ලෝවැකියාවේ ‘කාලොවිවාරි’ උළෙලේදී රේඛාව නරඹා එයට වසඟ වී සිටි රාජ් කපූර්, ගුණරත්නම් ඊට පොළඹවා ගැනීම උදෙසා විශාල මැදිහත්වීමක් සිදුකළේය.

මුල්ම සරසවිය සම්මාන උළෙලේදී ‘ගම්පෙරළිය’ හොඳම චිත්‍රපටය ලෙස තේරී පත්වන අතර, ලෙස්ටර් සිංහල සිනමාව තුළ ඉහළම සලකුණ වීම ඒ වනවිට අරඹා තිබුණේය. 1965 ජනවාරි 21 වැනි දින නවදිල්ලියේදීද හොඳම චිත්‍රපටයට හිමි ‘රණ මයුර’ සම්මානය දිනා ගන්නට ගම්පෙරළියට හැකිවිය.

ඉංග්‍රීසියෙන් උගත්, ඉංග්‍රීසි ඉහළ පාන්තික පවුලක උපන් ලෙස්ටර්, එංගලන්ත අධ්‍යාපනයෙන් පසු මෙරටට නොපැමිණියා නම් ඇතැම් විට ඔහු බ්‍රිතාන්‍ය ජාතික මහා සිනමාකරුවෙකු වන්නට ඉඩ තිබිණි. එහෙත් ලෙස්ටර් තම මවුබිමේ මිනිසුන්ගේ ජීවිතය සොයා ඇවිද්දේය. ඒවා සැබෑ ලෙසින්ම තිරය මතට ගෙනාවේය. එනිසාම කාලයත් සමග ලෙස්ටර් යනු මිනිසුන්ගේ සිනමාකරුවා බවට පත්විය.

ලාංකේය සිනමාවේ අනාගතය විනිවිද දුටු සිනමාකරුවා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් පනහ දශකයේ පටන් මෙරටට සිනමා සංරක්‍ෂණාගාරයක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

2006 වසරේ දෙසැම්බර් ‘රේඛාව’ චිත්‍රපටයේ පනස් වැනි සංවත්සරය දා, තම නවතම චිත්‍රපටය වූ ‘අම්මාවරුනේ’ තිරයට එක් කරමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ස්වයං විශ්‍රාමය නිවේදනය කළේය.

කෙසේ නමුත් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කථා සංකල්පයකට අනුව ඔහුගේ බිරිඳවන සුමිත්‍රා පීරිස් නිර්මාණය කළ ‘වෛෂ්ණාවී’ සිනමා නිර්මාණය මේවනවිට ප්‍රදර්ශනය වෙමින් තිබේ. වසර 99ක ආයු කාලය තුළ සිනමාව උදෙසා කැප කළ 50 වසරක කාලයේ සිංහල සිනමාවට අමතක නොවන නිර්මාණයන් 20කට ආසන්න ප්‍රමාණයක් දායාද කළ ඔහු පෙරේදා (29දා) සිය ජීවන ගමනට සමුදුන්නේය. එහෙත් සිංහල සිනමාවේ කේන්ද්‍රස්ථානය සනිටුහන් කිරීමේ ගෞරවනීය නියමුවා ලෙස සදාකාලික ලෙසම ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් වූ සිංහල සිනමාවේ දැවැන්තයා සිනමා සහෘදයන්ගේ හදවත් තුළත් සිනමා ඉතිහාසය තුළත් වෙසෙස් සලකුණක්ව හිඳිනු ඇත.

2

පෝෂ්‍යදායී ආහාර වර්ග 7ක්

01. එළවළු හා පලතුරු

fruits-and-vegetables

පලතුරු හෝ එළවළු සම්බන්ධයෙන් පෝෂණයෙන් අවම යැයි තේරීමක් සිදු කළ නොහැකි අතර විටමින්, ඛනිජ ඇතුළු සංඝටක රැසක් ඒවායේ අඩංගු වේ. ඇතැම් ඒවා අධි ප්‍රතිඔක්සිකාරක මට්ටම් හේතුවෙන් සුපිරි ආහාර ලෙස සැලකේ. බෙරි වර්ග, චෙරි වර්ග, ඇපල්, බෝංචි හා අර්තාපල් පවා පිළිකා, විකිරණ ආදියට එරෙහිව සටන් කරන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වේ. කුළුබඩු වර්ගද මීට අයත්ය.


02. ධාන්‍ය වර්ග, බෝංචි සහ රනිල කුලයට අයත් සියලු ධාන්‍ය

vegetable-seeds-500x500

ධාන්‍ය වර්ග සඳහා අසංතෘප්ත ආහාරයන් ලෙසද ආහාරයට ගත හැකි අතර, පලතුරු සමග එක් කර සැලඩ් ලෙසද, පිරවුම් ලෙසද භාවිත කළ හැකි අතර පිටි වෙනුවට වඩා හොඳ ආදේශකයකි. බෝංචි බීජ ඇතුළු රනිල කුලයේ ධාන්‍යවලින්  ඔක්සිජන්, අත්‍යවශ්‍ය ප්‍රෝටීන මෙන්ම තන්තුද ලබාගත හැකිය. ටින් කළ බෝංචි බීජ ලබාගන්නේ නම් ඒවායේ සෝඩියම් අන්තර්ගතය ඉවත් කිරීමට හොඳින් සෝදා ගත යුතුය.


03. මස් හා මාළු

MeatPoultryFish_ICHeader

නොකැඩූ, මෘදු ලෙස පිසූ මස් යනු ලබා ගත හැකි පෝෂ්‍යදායී ආහාර අතුරින් ප්‍රධාන ආහාරයකි. කෙසේ වුවද ඇතැම් රසායනික ද්‍රව්‍ය එන්නත් කළ හෝ ඩයි වර්ග යෙදූ මස් හෝ මාළු ආහාරයට ගැනීම එතරම් උචිත නොවේ. කෙසේ වුවද මස් හා මාළු යනු ඉතා හොඳ ප්‍රෝටීන් අන්තර්ගතයන් ලෙසද හැඳින්විය හැකිය. 


04. බිත්තර සහ කිරි

milk-and-eggs

බිත්තර යනු පෝෂ්‍යදායී ආහාර අතර ඉදිරියෙන් සිටින තවත් විශේෂයකි. කොලෙස්ටරෝල් අධික යැයි පිළිගැනීමක් තිබුණද වඩා හොඳ ප්‍රොටීන් අන්තර්ගතයක් බිත්තර සතුව පවතියි. කිරි ශරීරයට ඉතා හොඳ කැල්සියම් ප්‍රතිශතයක් ලබාදීම කෙරෙහි බලපායි.


05. සෞඛ්‍ය සම්පන්න  පිසින තෙල්

12

ඔලිව් තෙල් යනු හෘද රෝගවලට එරෙහි වඩාත්ම පිළිගත් තෙල් හා බහු අසංතෘප්ත මේද වර්ගය වෙයි. කෙසේ වෙතත් තල, සූරියකාන්ත තෙල්ද වඩා හිතකර තෙල් වර්ග අතර වෙයි.


06. සම්පූර්ණ ධාන්‍ය නිෂ්පාදන

untitled

ක්ෂණික සුදු සහල් පිටි, සුදු පාන් හා ඒවා යොදා ගත් නිෂ්පාදන මෙම කොටසට අයත් නොවන අතර අපේක්ෂිත තන්තුමය ගුණයන් එමගින් ලබාගැනීම අවම හෝ දුෂ්කර වෙයි. ඒ වෙනුවට, සම්පූර්ණ රසවත් හා නිරෝගී ආහාර වේලක් වෙනුවෙන් සම්පූර්ණ ධාන්‍ය හෝ මුළුමනින්ම ධාන්‍ය යොදා සිදුකළ නිෂ්පාදන තෝරා ගැනීම උචිත වේ. 


07. යෝගට් 

yoghurt_16x9

යෝගට්, ප්‍රෝටීන් සහ කැල්සියම් ලබා ගැනීම සඳහා ඉතා හොඳ තෝරාගැනීමකි. අයිස් ක්‍රීම් භාජනයකින් ලැබෙනවාටත් වඩා වැඩි ප්‍රෝටීන් හා කැල්සියම් ප්‍රමාණයක් මෙමගින් ලබාගත හැකිය. යෝගට් යනු සෝඩියම් ඉතා අවම ආහාරයක් වීමද විශේෂයකි.

බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවන්නටත් පෙර බුදු සසුනට ධර්ම සංගායනාවක් අවශ්‍ය වූයේ ඇයි?

how-to-volunteer-with-buddhist-monks-3-1461922112

බුද්ධ භාෂිතය එලෙසින්ම නොවූව ද, තරමක වෙනස්කම් සහිතව හෝ නූතනය දක්වාගෙන එන්නට ඉවහල් වූ ප්‍රධානතම සාධකයක් වන්නේ බෞද්ධ ධර්ම සංගායනායි. කාලීනව පැනනැගි විවිධ අවශ්‍යතා පදනම් කරගනිමින් විටින් විට ධර්ම සංගායනා පැවැත්වුණි. කෙසේ වුවද බුද්ධ පරිනිර්වාණයෙන් කොටසක් ඉක්මයද්දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූයේ ඇයිද යන පැනය බෞද්ධ ඉතිහාසය දෙස විචාර පූර්වකව බැලීමේදී පැන නගින ගැටලුවකි.
බුදු දහම කාල, දේශ වංශයෙන් සුඛනම්‍ය කරලීම උදෙසාත්, ධර්ම සාහිත්‍යයක් විධිමත්ව පවත්වාගෙන යාමත් උදෙසාත් මහතෙරවරුන් ගත් ප්‍රශංසනීය උත්සාහයක් ලෙස සංගායනා අර්ථ දැක්විය හැකිය. බුද්ධ භාෂිතය මුඛ පරම්පරාවෙන් පැවත යද්දී එහි තිරසාර බව වෙනුවෙන් යෙදූ ආරක්ෂිත ක්‍ර‘මෝපායක් ලෙස සංගායනා යන්න අරුත් ගැන්විය හැකිය.

කෙසේ වුවද බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවූ නිකිණි මස අව දියවක්දා අජාසත් රජු විසින් රජගහනුවර සප්තර්ණී ගුහාද්වාරයේ ඉදි කළ මණ්ඩපයට රැස්වූ මුලින් තෝරාගත් රහතන් වහන්සේලා 499 සහ එදින උදෑසන රහත් බව ලද ආනන්ද මහරහහතන් වහන්සේ සහ 500ක් මහරහතුන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන කර ගනිමින් අජාසත් රජුගේ රාජඅනුග්‍රහය හා ආරක්ෂාව මධ්‍ය‘යේ ප්‍රථම ධර්ම සංගීතිය පවත්වනු ලැබූ බව විනය පිටකයේ චුල්ලවග්ගයේ, පංචසතිකක්ඛන්ධයේ සඳහන් වෙයි.
ප්‍රධාන වශයෙන්ම ප්‍රථම ධර්ම සංගීතිතයට ඉවහල් වීයැයි සැලකෙන්නේ ඉතා මහලු වියේදී පැවිදි ජීවිතයට පත් සුභද්‍ර නමැති වයෝවෘද්ධ භික්ෂුවගේ නොමනා ප්‍රකාශය වුවද මෙතරම් කඩිනමින් හා ආරක්ෂාව මධ්‍ය‘යේ ධර්ම සංගීතියක් පැවැත්වීමට බලපෑ බොහෝ කරුණු පවතින්නට ඇතැයි සිතිය හැකිය.

මීට අමතරව අවිවාදාත්මක ලෙස මෙම සංගායනාවට හේතුවී යැයි පිළිගැනෙන කරුණුද කිහිපයකි. අනේකපර්යා‘යෙන් ඉදිරිපත් කළ බුද්ධ භාෂිතයන්ට විවිධ පුද්ගලයන් හා භික්ෂූන් විවිධ අර්ථකතන ලබාදීම දක්නට ලැබිණ. එයට තවත් රුකුල් දීමක් ලෙසින් එවකට පැවැති සන්නිවේදනයේ දුර්වලතාද තරමක් දුරට හෝ බලපාන්නට ඇත. මීට අමතරව කල්ගොස් බුදු සසුනේ සත්කාර තකා සසුන් ගතවූවෝ හේතුවෙන් ජබ්බග්ගිය, සත්තරවග්ගිය ආදී වූ කණ්ඩායම් බිහි වූ අතර සංඝ භේදයක් හා සමාන වූ තත්ත්වයක් පෙරදැරි වූ, දර්ශන, මතවාද බැහැර ලීමට අපොහොසත් වූ මෙම පිරිස් නිසා ඇතිවෙමින් තිබූ බව චුල්ලවග්ග හා මහාවග්ග යන විනය ග්‍රන්ථ දෙකත්, පාරාජිකා පාලිය ඇතුළු සූත්‍රයන්හිත් දැක්වෙයි. බහුශ්‍රැත භික්ෂූන් යටතේ ගුරුකුල බෙදීමේ අවදානමක්ද ඒ වනවිට පැනනැගී තිබූ අතර, ධර්මය හා විනය පිළිබඳ යම් යම් ගැටලුද පැනනගිමින් තිබුණි.

දීඝ නිකායේ සංගීති සූත්‍ර‘යේ දැක්වෙන පරිදි බුදුන් වහන්සේගේ සමකාලීන ශාස්තෘවරයෙකු වූ නිගන්ඨනාථපුත්තගේ කලුරිය කිරීමෙන් පසු ඔහුගේ අනුගාමිකයන් හැසිරුණු ආකාරය දුටු බුදුන්වහන්සේ තම දේශනාවන් සියලු සත්ත්වයාගේ සුගතිය උදෙසාම විය යුතු බවත්, එහෙයින් සංගීති පැවැත්විය යුත්තේ මෙපරිද්දෙන්ය යන්නත් සැරියුත්, හිමියන් සමග දේශනා කර තිබේ. ඒ අනුව තත්ත්වය අනාගතයේදී  මෙසේ වනු ඇතැයි පූර්ව නිගමනයකට පැමිණි බුදුන් වහන්සේ ඒ සඳහා අවශ්‍ය වන පසුබිම ගොඩනගා තබන්නට ඇත. අනෙක් අතට, තම පරිනිර්වාණයෙන් ඉක්බිතිව ශාස්තෘවරයෙකු නැතැයි ශෝක නොකරන ලෙසද, ඒ සඳහා ගැටුම් ඇති කර නොගන්නා ලෙසද වදාළ බුදුරදහු, ධර්ම – විනය ශාස්තෘෘත්වයෙහිලා සලකන ලෙස අනුශාසනා කළ බව මහා පරිනිබ්බාන සූත්‍ර‘යේ දැක්වේ. එයද බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්බිත්තෙහි මහා ධර්ම සංගායනාවක් ඇති කරන්නට ඇති කළ පෙළඹීමට සාක්ෂි සපයයි.

බුදුන් ජීවමාන සමයේ සිටම සත්තිස් බෝධිපාක්ෂික ධර්ම, කර්මය, පටිච්ඡ සමුප්පාදය ආදී වූ පුළුල් තේමා යටතේ දේශනා ගොනු කිරීමට කටයුතු කළ බවටද මහ පරිනිබ්බාන සූත්‍ර‘යෙන් සාක්ෂි ලැබෙද්දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වෙන විටත් මැනැවින් වෙන් නොකළද තරමක් දුරට හෝ වෙන්කරගත් බවත් හා කොටස් ලෙස සංගෘහිත කරගත් බවත් පවතින්නට ඇතැයි සිතාගත හැකිය.

කෙසේ වුවද ශාසනය තුළ ඇතිවන්නට ගිය ගැටුම් හා අශාස්තෘක යැයි මතුවිය හැකි හැඟීම යටපත් කිරීම උදෙසා ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා වෙත ධර්ම සංගායනාවක් යනු ඉතා හදිසි කාර්යයක් ලෙස හැඟී යන්නට ඇතැයි බුද්ධ පරිනිර්වාණයේ සිට ගතවූ තෙමස පිළිබඳ සලකා බැලීමේදී සිතිය හැකිය.

සංගායනාව පැවැත්වීමට විවිධ  ස්ථාන යෝජනා කරද්දී ඒවා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය ආරක්ෂාවක් යටතේ මෙම ධර්ම සංගායනාව පැවැත්වීමත් සමග මෙයට එරෙහි වූ පිරිස්ද සිටින්නට ඇතැයි විශ්වාස කළ හැකිය. 
අනෙක් අතට 500ක් රහතුන් විසින් පැවැත්වූ නිසාවෙන්ම සංඝ සමාජය මෙම සංගායනාව ඒකඡන්දයෙන් පිළිගත්තේ යැයිද කිවනොහැක. ඒ වනවිට රජගහ නුවරින් පිටත සිටි පුරාණ නම් මහ තෙරණුවෝ සංගායනාවට ඇරයුම් නොලත් අතර පසුව වැඩම කරන උන්වහන්සේ සංගායනය පසසා, තමන් බුදුන් ශ්‍රී මුඛ‘යෙන් ශ්‍රවණය කළ දහම පමණක් අනුගමනය කරන බව පැවසීම පෙර දැක්වූ කරුණ සනාථ කරවයි.

ථේරවාද පිළිගැනීම අනුව ත්‍රිපිටකය වත්මන් තත්ත්වයට සැකසෙන්නේ මෙම ප්‍රථම ධර්ම සංගායනාවේදී යැයි පිළිගැණුනද, වඩාත් ප්‍රා‘යෝගික හා යුක්ති සහගත පිළිගැනීම වන්නේ ප්‍රථම, දෙවන මෙන්ම තෙවන සංගායනාවන්හිදී ද සංස්කරණය වී සංග්‍රහ වූ බවය. අනෙක් අතට මේ වනවිට එහි අන්තර්ගත කරුණු අනුව සලකා බලද්දී විවිධ වකවානුවලට අයත් වීමත් සමග සංස්කරණයන්ට භාජන වී ඇති බව අවිවාදාත්මක පිළිගැනීමක් බවට පත් වී තිබේ.
විනය සූත්‍ර, අභිධර්ම යන තුන් පිටකයෙන් සංගෘහිත ත්‍රිපිටකයේ ඇතුළත්ව ඇත්තේ බුදුන් ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ බුද්ධ භාෂිතයන් පමණක්ම නොවේ. 

ජ්‍යෙෂ්ඨ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා විසින් දේශිත සූත්‍රද එහි අන්තර්ගතව තිබේ. දීඝ නිකායේ සංගීති, දසුත්තර ආදී සූත්‍ර සැරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනනා කරන ලද ඒවා වන අතර, මහා වේදල්ල සූත්‍රය සැරියුත් හිමියන් හා කොට්ඨාස හිමියන් අතර පැවැත්වූ සංවාදයක් වූ අතර චූලවේදල්ල සූත්‍රය ධම්මදින්නා තෙරණිය විශාඛාව සමග පැවැත්වූ සාකච්ඡාවකි.

මීට අමතරව සමන්ත පාසාදිකාවට අනුව මුල සිට පැවති ඇතැම් සූත්‍ර කිහිපයක්ම ප්‍රථම ධර්ම සංගායනාවේදී ප්‍රතික්ෂේප වූ බවද සඳහන් වෙයි.
කෙසේ වුවද ප්‍රථම ධර්ම සංගායනාව වූ කලී වසර ගණනක අනාගතයක් උදෙසා තැබූ පදනමක් බව කිවයුතු අතරම, බුද්ධ ධර්මයේ දිගුකාලීන පැවැත්ම තිරකරලීම උදෙසා ඉන් නොමඳ පිටුබලයක් සැලසී තිබිය යුතු බව කිවයුත්තේ තවත් කාලයක් ගොස් මෙම සංගායනාව පැවැත්වී නම්, බුද්ධ භාෂිතයන් අසා පිළිපැදි රහතුන්සේම, බුදුන් දෙසූ ධර්ම කරුණුද මගහැරී යාමට ඉඩ තිබූ බැවිනි. 

ශාසනයේ සුගතිය උදෙසා ධම්ම විනයෙහි දෙසූ දඬුවම් ක්‍රම

how-to-volunteer-with-buddhist-monks-3-1461922112

භික්ෂුවකගෙන් සිදුවන වැරදි හෙවත් ආපත්ති සඳහා ඒ වරෙදහි ප්‍රමාණය අනුව දඬුවම් පැමිණ වීමට විනයෙහි නියමිතව තිබේ. තථාගත ධම්ම විනයට අනුව සංඝයාට දඬුවම් නියම කිරීමේ බලය පැවරී ඇත්තේ පුද්ගලයාට නොව සංඝයාටය.
දඬුවම් පැමිණ වීමට නම් චෝදනා, චෝදක, චෝදනාභිප්‍රාය, චූදිතක, සංඝ හා අනුවිජ්ජක යන අංග සය සම්පූර්ණව කෙරෙන විනිශ්චයක් නිමා විය යුතුය. චෝදනාවක් තිබිය යුතුය. එය ඉදිරිපත් කරන්නෙක් (පැමිණිලිකරුවෙක්) සිටිය යුතුය. චෝදනාව ඉදිරිපත් කිරීමේ අරමුණ වරදකරු ඇවතින් නගා සිටුවීමේ හා ආයති සංවරයෙහි පිහිටුවීමේ අභිප්‍රාය විය යුතුය. චෝදනා කරනු ලබන්නෙක් හෙවත් විත්තිකරුවෙක් සිටිය යුතුය. සංඝයා හෝ සංඝයා විසින් නම් කරනු ලබන නමක්, දෙනමක්, තුන් නමක් හෝ වැඩි පිරිසක් විය යුතුය. ඒ සමග අනුවිජ්ජක නමින් දැක්වෙන විනිශ්චය කරුවෙක්ද සිටිය යුතුය. මෙලෙසින් කරුණු එක්තැන්ව ලැබෙන අධිකරණ විනිශ්චය ඇතැම් විට සමථයක් විය හැකිය. නැතහොත් දඬුවමකි. දඬුවම් නියම කරනු ලබන්නේ සංවරය සඳහා හෙයින් වරදින් මිදී ආයති සංවරයෙහි පිහිටි කෙණෙහි එකී දඬුවම සංඝයා විසින් ඉවත් කෙරේ.

බෞද්ධ විනයෙහි උපසපන් භික්ෂුවගේත්, ගිහියාගේත්, සසුනේත්, යහපත සඳහා දඬුවම් සතක් (7) නියමිතව තිබේ.

තජ්ජනීය කම්ම

භික්ෂූන් අතර, නිතර අඩදබර – කලකෝලාහල ඇති කරන සංඝයාටත් බුදුරදුන්ටත් නිතර පැමිණිලි ලැබෙන පුද්ගලයන් දෙදෙනෙකු වන පණ්ඩුක, ලෝහිතක යන දෙනම මෙහි ආදිකර්මිකයෝ වූහ. ඔවුන්ට තර්ජනය කිරීම් වශයෙන් සංඝයා විසින් මේ දණ්ඩ කර්මය පනවන ලදී. එවන් වැරදි සඳහා තර්ජනීය කර්මය කරනු ලැබූ භික්ෂුව අදාළ වරද හෝ ඒහා සම්බන්ධ කිසිදු වරදකට මැදිහත් නොවී ශික්ෂා ගරුකව ජීවත්වන බව සංඝයාට පෙනී ගියහොත් නැවත එක්වී ඒ දඬුවම ඉවත් කරනු ලැබේ. එතෙක් වරදකරුට උපසම්පදා කිරීම, නිසදීම, සාමණේර උපස්ථානය ආදී සංඝ සමාජය හා සම්බන්ධ කිසිදු කාර්යයකට සහභාගි වීම තහනම් වේ.

නියස්සකම්ම

අයෝග්‍ය පරිදි ගිහියන් ඇසුරු කරමින් සිටි බාල අව්‍යක්ත, ආපත්ති බහුල සෙය්‍යසක නම් භික්ෂුවට මේ දඬුවම නියම කරන ලද බව චුල්ලවග්ග කම්මක්ඛන්ධයේ සඳහන් වේ. මෙහි විශේෂ ලක්ෂණය වනුයේ වරදකරුට සුදුසු කල්‍යාණමිත්‍ර භික්ෂුවකගේ ඇසුර ලබාගෙන ජීවත්වීමට බලකිරීමයි. උපසම්පදාව ලබා ගැනීමෙන් පසු යටත් පිරිසෙයින් පස් වසරක් වත් නිස සමාදන් ව උපාධ්‍යයයක් හෝ ආචාර්යයන් යටතේ ජීවත්වීම සාමාන්‍ය භික්ෂු ප්‍රතිපදාවයි. නියස්කම්ම නම් දඬුවම ලබන තැනැත්තා පුනරුත්ථාපනයට භාජනය වන්නෙකි. වැරදි සියල්ල දුරු කරගන්නා තෙක් ඔහුට උපසපන් භික්ෂුවක විසින් ලැබිය යුතු අයිතිවාසිකම් අහිමි වේ. කල්‍යාණමිත්‍ර තෙර කෙනෙකුගේ ආශ්‍රය ලබා ගනිමින් නොබෝ කලකින් ම ධර්මවිනයධර බහුශ්‍රැත, ශික්ෂාකාමී පුද්ගලයෙකු බවට පත්වීම නිසා සෙය්‍යසක භික්ෂුවකට පනවන ලද දඬුවම් සංඝයා විසින් ඉවත් කරන ලදී.

පබ්බාජනීය කම්ම 

කුල දූෂණ කෙරෙමින්, පාප සමාචාර ඇතිව, අසංවරව අනාචාර සම්පන්නව ජීවත්වන භික්ෂූනට කෙරෙන දණ්ඩකර්මයකි. සංඝයා විසින් සම්මත කරනු ලබන නියෝජිතයන් මගින් අනාචාරශීලී භික්ෂූන් වෙසෙන අරමට ගොස් ඔවුන් එයින් බැහැර කිරීම පබ්බාජනීය කර්මයයි. ඡබ්බග්ගිය භික්ෂූන් අතුරින් දෙදෙනෙකු වන කිටාගිරි අරම්වැසි අස්සජි – පුනබ්බසුක යන භික්ෂූන් දෙනමකට මුලින් ම මේ දඬුවම පනවන ලදී. සංඝ සම්මතය පරිදි මේ සඳහා කියාගිරියට ගොස් දඬුවම ගැන දන්වන ලද්දේ සැරියුත්, මුගලන් දෙනම විසිනි. එයින් සංවරයට පත් නොවී භික්ෂූන්ට ආක්‍රෝශ පරිභව කෙරෙමින් සිටි හෙයින් ඔවුන්ට පැන වූ දඬුවම ඉවත් නොකරන ලෙස බුදුරදුන් විසින් නියම කරන ලදී.
පබ්බාජනීය කර්මය කරනු ලැබ භික්ෂුව සංවරව ආචාරශීලීව ශික්ෂාගරුක භාවයට පත්ව භික්ෂූන් වෙත පැමිණ වරද කමා කර ගනී නම් ඒ දඬුවම ඉවත් කිරීමට සංඝයාට ඉඩ තිබේ.

පටිසාරණීය කම්ම

ගිහි – පැවිදි සම්බන්ධය බිඳුණු විටෙක නැවත සමගි සම්පන්නභාවයට එළඹීමට යොමු කරනු ලබන දඬුවමකි. යම් භික්ෂුවක් ගිහියෙකුට ආක්‍රෝශ පරිභාව නින්දා අපහාස කෙරේ නම්, ඒ භික්ෂුව ගිහියා වෙත ගොස් කමා කරවා ගැනීම සඳහා සංඝයා විසින් මෙය පනවනු ලැබේ. ගිහියාට අලාභ පිණිස, අනර්ථ පිණිස ඔවුනොවුන් භේදකරවීම පිණිස ක්‍රියා කිරීම ද මෙයට ම අදාළ වරද වශයෙන් ගැනේ. මව්ඡිකාසණ්ඩ නම් ස්ථානයෙහි විසූ සුධම්ම නම් භික්ෂුව සිය දායකයා වූ චිත්ත ගෘහපතියාට නින්දා කළ බැවින් මෙම දඬුවම පැමිණවීය. මෙහිදී අදාළ ගිහියා වෙත ගොස් සමාව ලබා ගත යුතුය. සුධම්ම භික්ෂුව සංඝයා විසින් දඬුවම් නියම කරනු ලැබීමෙන් පසු මච්ඡිකා ඝණ්ඩයට ගිය නමුදු චිත්ත ගෘහපති හමුවට යාමට මැළිව ආපසු සැවතටම ගියේය.
ඒ බව දත් බුදුරාජාණන් වහන්සේ එවන් අවස්ථාවෙක අනුදූතයෙකු ලබාදීම සුදුසුය^යි අනුදැන වදාළහ. එසේ ගොස් කමා කරවා ගැනීමෙන් පසු සංඝයා විසින් දඬුවම් ඉවත් කරන ලදී.

ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කම්ම

තමන් අතින් සිදුවන ඇවත ඇවතක් වශයෙන් නොපිළිගන්නා භික්ෂුව සමග සබ්‍රහ්මචාරී සංඝයාගේ සම්බන්ධතා නැවැත්වීම හෙවත් සම්භෝග තහනම මේ දණ්ඩ කර්මයෙන් අදහස් කෙරේ. ඡන්න භික්ෂුව තමා බුදුරජාණන් වහන්සේට අභිනිෂ්ක්‍රම‘ණයේ දී පවා ආධාර කළ පැරැන්නෙකු බව කියමින් වැඩිහිටි අවවාද නොපිළිගෙන දරදඬු ජීවිතයක් ගතකරන බව දැන මේ දඬුවම නියම කරන ලදී. ආශ්‍රය නොකළයුතු බවට සම්මත කරනු ලැබීමෙන් පසු ඒ බව විහාරයක් පාසාගොස් භික්ෂූන්ට දැනුම් දිය යුතුය. දඬුවම් ලැබූ භික්ෂූව අසංවරශීලීව ගතිවලින් මිදී ඒ බව සංඝයාට දැන්වීමෙන් පසු එකී දඬුවම ඉවත් කරනු ලැබේ.

 ඇවතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කම්ම

තමන් අතින් වරදක් සිදුවුවහොත් එය පිළිගෙන පිළියම් කොට ආයතිසංවරයෙහි පිහිටීම ශික්ෂාකාමී භික්ෂුවගේ ලක්ෂණයකි. ඡන්න භික්ෂුව තමන් කළ වරද පෙන්වා දීමේදී එයට පිළියම් යෙදීමට කැමති නොවීම නිසා මේ දණ්ඩ කර්මය පනවන ලදී.
 ඡන්න භික්ෂුවට පනවන ලද මේ දඬුවම් දෙකෙහි දීම ඒවාට යටත් නොවී මුරණ්ඩුව ක්‍රියා කිරීම නිසා බුදුරාජාණන් වහන්සේ ජීවත්ව සිටින තුරුම ඒ දඬුවම් ඉවත් කිරීමට ඉඩක් නොලැබිණ. පරිනිර්වාණ සමයෙහි දී ආනන්ද හිමියන් බුදුරදුන්ගෙන් ඡන්න තෙරුන් පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳ ව විමසන ලද්දේ එහෙයිනි. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනය පනවන ලෙස නියම කර වදාළ සේක.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු සංඝයා එක්ව ඡන්න තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩනය පනවනලදී. කිසිවෙක් කවර අවස්ථාවකදී හෝ ඡන්න තෙරුන් සමග කතා නොකළ යුතුය. යන්න බ්‍රහ්ම දණ්ඩනයේ ලක්ෂණයයි. සම්භෝග තහනමෙන් පසු මුළු සමාජයෙන්ම බැහැර කොට වචනයකුදු කතා නොකිරීමෙන් අවවාද අනුශාසනා නොකිරීමත් නිසා බලවත් සංවේගයට පත්ව ඡන්න භික්ෂුව සිහිසුන්ව වැටුණු බව පඤ්චසතිකක්ඛන්ධයේ සඳහන් වෙයි. මෙයින් පසු තමා පිළිබඳව ලජ්ජාවට හා කළකිරීමට පත්ව උත්සාහ වැඩීමෙන් නොබෝ කලකින්ම රහත් බවට පැමිණියේය. ඒ බණ අනඳ හිමියන්ට දැන්වීමෙන් පසුව රහත් බවට පත් වීමත් සමග සියලු දඬුවම් ඉවත්ව ගිය බව දේශනා කළහ.

පවිටු මිසදුටුව අත් නොහැරීමෙහි උක්ඛේපනීය කම්ම

බුදුන්, දහම්, සඟුන් පිළිබඳවත්, ශික්ෂාපද පිළිබඳවත්, විමුක්ති මාර්ගය හා නිවන පිළිබඳවත්, වැරදි දැකීම් අදහස් ඇතිකර ගැනීම මිථ්‍යා දෘෂ්ටිය යි. තථාගතයන් වහන්සේ විසින් දේශිත වූ සග-මොක් සුවයට අන්තරායකර ධර්ම කොට්ඨාසයන් එසේ අන්තරායකර නොවේ යයි. මිසදිටුවක් ගත් අරිට්ඨ භික්ෂුවට පනවන ලද දඬුවමකි. මෙය ද ඉහත සඳහන් ඡන්න භික්ෂුවට පනවන ලද දඬුවම මෙන් සෙසු භික්ෂු සමාජය සමග සම්බෝගය  තහනම් කිරීමකි.
දණ්ඩකම්ම සියල්ල ගිහි පැවිදි දෙපක්ෂය අතර අඩදබර කළ කෝලාහල ඇතිකරගන්නා භික්ෂූන් පුනරුත්ථාපනය සඳහා පනවන ඒවාය. සංඝයා එක්ව ඤත්ති චතුත්ථ කර්මයෙන් දඬුවම් නියම කළ යුතුය. ප්‍රතිබල සම්පන්න (කාර්ය සාධනයෙහි සමන්) මහතෙර කෙනෙකුගේ හෝ පිරිසක් මගින් අදාළ චූදිතයා වෙත දන්වා සිටිය යුතුය. දඬුවම නියම කරනුයේ ඔහු වරද පිළිගැනීමෙන් පසුවය. ආර්ය සංවරයෙහි පිහිටා සංඝයා සමා කරවා ගැනීමෙන් පසුව නැවත කර්ම වාක්‍යයකින් දඬුවම ඉවත් කිරීම විනය නියමය වේ.

විශාඛාෙවා් වේදිකාවේදී විශාඛාවට පණ පොවති

ඇය විශාඛා නම් වූවාය. බෞද්ධ ඉතිහාසය තුළ ඇය අග්‍රදායිකාව වෙද්දී, සාහිත්‍ය තුළට බොහෝ කතා එක් කළාය. පරම්පරා ගණනක කාන්තාවන්ට පරමාදර්ශී ගැහැනියද වූවාය. මේ ඇගේ කතාවය. විශේෂත්වය වන්නේ විශාඛාවන් විසින් විශාඛාවගේ චරිතය වේදිකාව මතට ගෙන ඒමයි. කොළඹ විශාඛා විද්‍යාලයීය සියවැනි සංවත්සරය වෙනුවෙන් 'විශාඛා ගීත නාටකය' අද (01දා) හා හෙට (02දා) විශාඛා විද්‍යාලයීය ජෙරේමියෙස් දියෙස් ශාලාවේදී දර්ශන වාර 04කට වේදිකාගත වේ. එයින් ප.ව. 6.30 මහජනතාවට දර්ශනය විවෘත වනු ඇත.  මේ සටහන විශාඛාවන් ගෙනෙන 'විශාඛා ගීත නාටකය' වෙනුවෙනි.


_KSR2833

විශාඛාව වූ කලී බෞද්ධ ඉතිහාසය තුළ ගුණෙන්, රුවෙන් මෙන්ම සීලයෙන්ද  සුවිශේෂී කාන්තාවක වූයේ සත්හැවිරිදි වියේදීම සෝවාන් වීමත් සමග ඇය ලත් ශික්ෂණයද සමගිනි.

නූතන විශාඛාවෝ

කොළඹ විශාඛා විද්‍යාලය වසර සියයකට අධික ඉතිහාසය තුළ නැණවත්, ගුණවත්, තෙදවත් කාන්තාවන් රැසක් බිහි කළේ විශාඛාවන් යනු මේ යැයි කියන්නා වූ පරමාදර්ශයද ලෝකයට දෙමිනි. යහගුණ සපිරි කාන්තා පරපුරක් උදෙසා විශාඛා විද්‍යාලය සිය මෙහෙවර නොපිරිහෙළා එදා මෙන්ම අදද ඉටුකරමින් තිබේ.

විශාඛාවට 100යි

විශාඛා විද්‍යාලය 2017 වසර පුරා ශතක සැමරුම උදෙසා වැඩසටහන් මාලාවක් පැවැත්වූ අතරම, %විශාඛා ගීත නාටයකට^ද වසර 10කට පසු යළි වේදිකාගත කරන්නේ විශාඛාවගේ ගුණ යළි යළිත් සමාජය වෙත සිහි කැඳවමිනි.
'විශාඛා ගීත නාටකය'
කාන්තාවකට අවශ්‍ය ගුණවත්කම, චරිත ශික්ෂණය,  ආත්ම විශ්වාසය, පරිත්‍යාගශීලිත්වය මෙන්ම අභිමානයද 'විශාඛා ගීත නාටකය' තුළින් නූතන දියණියන්ට උගන්වනු ලබයි. ගීතමය සංවාද ඇසුරින් දිගහැරෙන 'විශාඛා ගීත නාටකය' පුරාවට විශාඛා නම් වූ අභිමානවත් ගැහැනිය වර්තමානයට ගෙන එයි. 
1959 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් මුල් වරට රචනාකොට වේදිකාවට ගෙන ආ 'විශාඛා ගීත නාටකයට' දිගු ඉතිහාසයක් හිමිය. එදා පටන්ම 'විශාඛා ගීත නාටකය' හැඩ කළෝ විශාඛාවෝමය.  එවකට විදුහල්පතිනි පුලිමුඩ් මැතිනියගේ ඉල්ලීම පරිදි  ප්‍රථම නිෂ්පාදනයට රචනයෙන්  ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් එක්වෙද්දී, ගී තනු එඩ්වින් සමරදිවාකරගෙනි. අධ්‍යක්ෂණය සිදුකළේ ටී.එල් පෙරේරා විසින් වන අතර, සහාය අධ්‍යක්ෂණයෙන් ඩේසි කරවිට එක්ව තිබිණ.  
එච්. ඒ. පියදාස සංගීතය ලබාදී තිබූ ප්‍රථම විශාඛා ගීත නාටකයට එච්. ඩී. චන්ද්‍රපාල, සෝමදාස ඇල්විටිගල, බී. එඩ්වඩ් ද සිල්වා, එම්. ඩබ්.  පීරිස් වාදක මණ්ඩලය ලෙස එක් වූහ.  නර්තන නිර්මාණය එන්. සුකුමාරන් විසින්ද, වේදිකා පසුතල නිර්මාණය ඇල්බට් විමලරත්න විසින්ද සිදුකර තිබේ.  එවකට මානෙල් ජයසේන හා රුක්මනී විජේතිලක විශාඛාව ලෙසින්ද, ලලිතා විජේසූරිය හා කමලා වඩුගොඩපිටිය මිගාර සිටු ලෙසින්ද, පූර්ණවර්ධන චරිතයෙන් දිනලි බොතේජුද එක්වූහ. 
1967 වසරේදී දෙවැනි වර 'විශාඛා ගීත නාටකය' වේදිකාගත වන්නේ විශාඛා ස්වර්ණ ජයන්ති උලෙළේ අංගයක් ලෙසිනි. ලලිතා ලීනියගොල්ල  විශාඛාව ලෙසින්ද, රත්මලී ගුණසේකර මිගාර සිටු ලෙසින්ද, නයනතාරා ගුණසේකර පූර්ණවර්ධන ලෙසින්ද එය හැඩ කළහ.
යළිත් 1992 වසරේ 'විශාඛා ගීත නාටකය' එළිදක්වන්නේ විශාඛා විද්‍යාලයීය 75 වැනි සැමරුම වෙනුවෙනි. 
එහිදී 'විශාඛා ගීත නාටකය' කේ. බී හේරත් සූරීන් විසින් නව නිෂ්පාදනයක් ලෙසින් ඉදිරිපත් කරන අතර, එහිදී නිශාමනී වෙදගෙදර විශාඛාව ලෙසින්ද, කෝකිලානී ලංකාතිලක මිගාර සිටු ලෙසින්ද එක්වෙද්දී, පූර්ණවර්ධන චරිතයට නිශාමා සිරිවර්ධත්, මිගාර දේවිය ලෙස ධනේෂා ගුණවර්ධනත් පණ පොවති.

2007දී විශාඛා ගීත නාටකය නව නිෂ්පාදනයක්, නව සංස්කරණයක් ලෙස යළිත් එළිදකින්නේ කේ. බී. හේරත් වෙතින්ම වන අතර, නෙත්මි උමායා අධිකාරි, මධුෂානි උදයංගා සෙනෙවිරත්න, ජනිතා ලක්මාලි විතාන, ඉන්දිකා සුදර්ශනී පිළිවෙළින් විශාඛා, මිගාර, පූර්ණවර්ධන හා මිගාර දේවියගේ චරිත කරළියට ගෙනාවෝය.

_KSR2849

විශාඛා ගීත නාටකයේ 5 වැනි වේදිකාගත වීම

වසර 10කට පසු යළිත් විශාඛා විද්‍යාලයීය වේදිකාවට විශාඛා ගීත නාටකය එන්නේ විශාඛා විද්‍යාලයීය සියවස් සැමරුම නිමිත්තෙනි. පාසල් සංවර්ධන කමිටුව මගින් මෙවර විශාඛා ගීත නාටකය සංවිධානය කරනු ලබයි. මෙවරද අධ්‍යක්‍ෂණය කේ. බී හේරත් වෙතින් සිදුවෙද්දී සංගීත නිර්මාණය හා අධ්‍යක්ෂණය රංජිත් බාලසූරියගෙනි. සුවිනීතා පෙරේරා වේෂනිරූපණය සිදුකරන අතර, සහාය කමල් කාන්ති බෝගොඩ ගෙනි. අංග රචනයෙන් බුද්ධදාස ගලප්පත්තිද, රංග භාණ්ඩ හා ආභරණ නිර්මාණයෙන් චාමර අනුදත් බණ්ඩාර සහය දක්වති. ආලෝකකරණය ශිරාන් නාලකගෙනි. වේදිකා පරිපාලනය විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ චම්පිකා සෙනෙවිරත්න, ප්‍රසාදිනී අතපත්තු, විරාමි ද සිල්වා, උපුලි ජයසේකර යන අය සිදුකරති. පසුතල නිර්මාණය චතුර දිසානායකගෙනි. තාල තරංග මලිත් අනුරාධගෙන් වන අතර, වාදන සහාය විශාඛා විද්‍යාලයීය සිසුවියෝ ලබාදෙති.

චින්තනී උත්පලා ගජමාන්න, විජානි අමන්දා විජේතුංග, උත්තරා දිව්‍යාංජනී ලොකුමද්දුමගේ, දුලංගා නෙත්මි ඩයස් පිළිෙවළින් විශාඛා, මිගාර, පූර්ණවර්ධන හා මිගාර දේවියගේ චරිත සඳහා රංගන දායකත්වය දක්වති.
විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළ මහත්මියගේ මගපෙන්වීමෙන්, නියෝජ්‍ය විදුහල්පතිනියන් වන කළණි සූරියප්පෙරුම මෙනෙවිය, සුමුදු වීරසිංහ මහත්මිය, අනුෂා දමයන්ති මහත්මියගේ හා පාසල් සංවර්ධන කමිටුවේ කාමිණී රණසිංහ මහත්මිය, මිනෝකා ද සිල්වා මහත්මිය, දමිතා රණසිංහ මහත්මිය, වරුණි ජයවීර මහත්මිය, නෙලූම් රණසිංහ මහත්මිය මෙම ගීත නාටකය එළිදැක්වීම වෙනුවෙන් සිය උපරිම දායකත්වය දක්වද්දී නාට්‍ය හා රංග කලා ආචාරිණී චම්පිකා සෙනෙවිරත්න, ප්‍රසාදිනී අතපත්තු, විරාමි ද සිල්වා, උපුලි ජයසේකර යන ගුරු මහත්මීහු සිසුවියන් පුහුණු කිරීම වෙනුවෙන් සිය සේවය ඉටුකරති. විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ සහායද මේ වෙනුවෙන් ලබා දී තිබුණි.
'විශාඛා ගීත නාටකය' අද (01දා) හා හෙට (02දා) විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී ප.ව 6.30ට නැරඹිය හැකි අතර, ප්‍රවේශපත් විද්‍යාලයීය ප්‍රධාන දොරටුවෙන් ලබාගත හැකිය.

_KSR2870

 

නැගෙනහිර මුහුදේ ගුවන් යානා කොටසක්

පසුගියදා නැගෙනහිර මුහුදේදී ධීවරයන් දුටුබව පැවසූ ලෝහමය කොටස ගුවන් යානයක කොටසක් වියයුතු බවට සැකපළ කෙරෙන අතර, මේ වනවිට එම කොටස කාතන්කුඩි මුහුදේ සිට කල්මුණේ දෙසට පාවෙමින් ඇති බවද වාර්තා වෙයි.

පාසිකුඩා ඔබ්බෙන් ගිලුණේ ගුවන් යානයක්ද?

පාසිකුඩා වෙරළ තීරයට 12Km පමණ දුරින් ගුවන් යානයක් විය හැකි යමක් මුහුදේ ගිලෙමින් තිබෙන අයුරු දුටු බව ධීවරයන් පිරිසක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට දැනුම්දී තිබේ. ඒ අනුව අදාළ පරීක්ෂණ පැවැත්වීමට නාවික හමුදා නිලධාරීන් බෝට්ටුවකින් එම ප්‍රදේශයට ගොස් ඇතැයි වාර්තා වේ.

 

රියදුරු බලපත් ලබාගැනීමේ වයසේ වෙනසක් නෑ

රියදුරු බලපත් ලබාගැනීමේ වයස් සීමාව අවුරුදු 18 සිට 25 දක්වා ඉහළ දැමීමේ කිසිදු සැලැස්මක් නොමැති බවත්, එසේ කරන බවට ගෙන යන ප්‍රචාරය අසත්‍ය බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා 'අද' ට පැවසීය. ඒ අනුව රියදුරු බලපත් ලබාගැනීමේ වයස් සීමාව වයස අවුරුදු 18 ලෙසම පවතියි.

එසේම විවෘත ලියවිලි මත ළඟ තබාගෙන ඇති වාහන, දඩමුදල් නොගෙවා මාරු කිරීමේ කාලසීමාව දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන බැවින් හැකි ඉක්මනින් එම කටයුතු සිදුකරගන්නා ලෙසද කොමසාරිස්වරයා පැවසීය.

තවද එළැඹෙන ජනවාරි මස පළමු වැනිදා සිට රියදුරු බලපත් ගාස්තුව ඉහළ යන බවට රියදුරු පුහුණු පාසල් මගින් අසත්‍ය ප්‍රචාර යවමින් ඔවුන්ගේ අයකිරීම් වැඩිකරන බවත්, කිසිදු ආකාරයකින් රියදුරු බලපත් ලබාගැනීමේ ගාස්තුව ඉහළ දැමීමේ අදහසක් නොමැති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

සුඛාන්ත නාට්‍යයක රඟපාන එක ලේසි නැහැ

'ඊඩිපස්', 'තටු ඇවිත්',‍ 'අද වගේ දවසක ඇන්ටගනී', 'විසේකාරියෝ' වැනි වේදිකා නාට්‍ය රැසක නිර්මාණකරුවා වන ප්‍රියංකර රත්නායකගේ 'ප්‍රේමවන්ත කුමාරයෝ' දින හතරක් පුරා දර්ශනවාර 8ක් කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී වේදිකාගත වෙයි. 16, 17 දිනවලදී වේදිකාගත වූ එය අද (18දා) සහ හෙට (19දා) දිනවලදීද එම පරිශ්‍ර‘යේදී නැරඹිය හැකිය. අද 3.30 හා 6.30ත් හෙට 10.30 හා 2.30ත් ලෙසත් මෙහි දර්ශනවාර නැරඹීමට හැකියාව තිබේ. දක්ෂ නළුවෙකු, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම  කැලණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු ද වන ප්‍රියංකර රත්නායක 'ප්‍රේමවන්ත කුමාරයෝ' පිළිබඳ මෙසේ අදහස් දැක්වුයේය.

Q 'ප්‍රේමවන්ත කුමාරයෝ' කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශනයක් සූදානම් කෙරෙන්නේ ඇයි?

මෙය ගෙනෙන්නේ මූලිකවම නාට්‍යයක් පෙන්වීමේ අවශ්‍යතාවය මතයි. දවස් 4ක් එකදිගට පෙන්වන්නේ එක දවසක් විතරක් පෙන්නුවොත් කෙනෙක්ට නාට්‍ය මගඇරෙන්න පුළුවන් නිසයි. විශ්වවිද්‍යාලයේ වගේම ඒ අවට අයටත් මේ විදිහට දින 4ක් පෙන්නුවාම එන්න පුළුවන් දිනයක් හදාගන්න පුළුවන්. ඒක ප්‍රේක්ෂකයාට පහසුවක්. නමුත් ඒක එක පැත්තක් විතරයි. මේ වගේ සම්භාව්‍ය නාට්‍ය මිනිස්සුන්ට රසවිඳින්න, රඟපාන්න අමාරුයි කියන මතයක් සමාජයේ තියෙනවා. එහෙම එකක් නෑ. ඒ මතය ගෙනයාමේ අවශ්‍යතාවක් තියෙනවා. මේ නාට්‍යය සුඛාත්න නාට්‍යයක්. හාස්‍යෝත්පාදක නාට්‍යයක්. ලංකාවේ සාමාන්‍ය‘යෙන් හාස්‍යෝත්පාදක නාට්‍යයක් කියල කියන්නේ හිනාවෙලා ගෙදර යන නාට්‍යවලට. නමුත් හාස්‍යෝත්පාදක නාට්‍ය කියන එකේ ගැඹුරු අර්ථය තමයි මිනිස්සු නාට්‍ය බලල සතුටක් ඇතිවෙලා තමන් හිනාවුණේ ඇයි කියල හිතන්නයි. එමගින් සමාජ කථිකාවක් ඇති කිරීමයි අපේක්ෂාව.

එහෙම කතිකාවක් ඇතිවෙන්නට නම් හාස්‍යයට ලක්වෙන ගැඹුරු කාරණා තිබිය යුතුයි. ප්‍රේමය කියන මාතෘකාව තමයි ප්‍රධාන. ආදරය ඉදිරියට පවුල් සංස්ථාවෙන්, සමාජයෙන්, සංස්කෘතියෙන්, පාරම්පරික අදහස්වලින්, බාධා එන්න පුළුවන් තැන් තමයි මේ නාට්‍ය‘යේ කතා කරන්නේ. ඒ ආදරයේ තියෙන බලපෑම් කොයිතරම් සාධාරණද? ඒකෙන් ආදරය කියන දේ අද සමාජය තුළ වාණිජකරණයට ලක්වෙලා ඇති බව පෙන්වන්න මෙවැනි මාතෘකාවක් සාකච්ඡාවට ගෙනෙන එක වැදගත් බව මම හිතුවා.

ඒ වගේම සුඛාන්ත නාට්‍යයක රඟපාන එක දුක්ඛාන්ත නාට්‍යයක රඟපාන එක තරම් ලේසි නෑ. මොකද දුක්ඛාන්ත නාට්‍යයක හිනා වෙන්නේ නළු නිළියෝ කරන විහිළුවලට. නමුත් සුඛාන්ත ටෙලි නාට්‍යවල නළුවො හිනාවෙන්න  විහිළු කරන්නේ නෑ. ඒ අය බොහොම අපූරුවට චරිත කරගෙන යනවා. ඒ අයගේ දෙබස්වලටයි ප්‍රේක්ෂකයෝ හිනාවෙන්නේ. ඒ වගේ නාට්‍යයක රඟපෑම් පුහුණුවීමත් අසීරුයි. මේක නළු නිළියන්ට හොඳ අභ්‍යාසයක්. එකක් කායික ශක්තිය, මානසික ශක්තිය එක දිගට ප්‍රකාශ කරන්න පුළුවන් වීමෙන් එය තමන්ටම මැනගත හැකියි.

Q 'ප්‍රේමවන්ත කුමාරයෝ'ත් ඔබේ සුපුරුදු රිද්මයේම නාට්‍යයක්ද?

මගේ සුපුරුදු රිද්මය කිව්වට නාට්‍ය‘යෙන් නාට්‍යයට ඒවා වෙනස් වෙනවා. 'ඇන්ටිගනී' වගේ නාට්‍යයක් වුණත් එහෙමයි. සංගීතය වුණත් නාට්‍යයෙන් නාට්‍යයට වෙනස්. ඒ නිසා සංගීතමය නාට්‍ය බලපාන්නේ අපේ සංස්කෘතියේ පෙරදිග නාට්‍යයට ඒවා ටිකක් හුරු නිසයි. නැත්නම් අපරදිගත් එහෙම තමයි. හැම රටකම නාට්‍යවල සංගීතය, නර්තනය අඩංගුයි. තාක්ෂණය භාවිත කරමින්, දේශපාලන නාට්‍ය ආදිය පිළිබඳව ගැඹුරු ප්‍රශ්න සාකච්ඡා කරන සංවාදයක් ඇති කරන්නයි මට උවමනා. සංගීතමය නාට්‍ය කියන්නේ පොඩි තාක්ෂණික උපක්‍රමයක් පමණයි.

Q 'A midsummer night's dream' ඔබේ අධ්‍යක්ෂණයට තෝරාගන්නේ කොහොමද?

මේක අවුරුදු 40කට ඉස්සර පරිවර්තනය කරපු පොතක්. මම ශේක්ස්පියර් ගැන හොයන වෙලාවක මගේ මිත්‍ර‘යෙක් මට මේ පොත දෙනවා. මේ නාට්‍ය‘යේ පරිවර්තන කිහිපයක් තියෙනවා. නමුත් මට රුචි වුණේ මේ ජයවතී ජයසිංහගේ පරිවර්තනයටයි. මම මේක විශ්වවිද්‍යාල සිසුන් එක්ක අත්හදාබැලීමක් විදිහට කළා. ඒ කරද්දි තමයි මට හිතුණේ මේක ටිකක් දියුණු විදිහට කළොත් මේ නාට්‍ය හරහා ප්‍රේක්ෂකාගාරය තුළ යම් වෙනසක් ඇතිකළ හැකි බව.
ඒ නිසා අපිත් එක්ක ඉන්න අත්දැකීම් සහිත නළු නිළි පිරිස එක්ක මේ නාට්‍යය සැලසුම් කළේ ඒ නිසයි. කොළඹ අවට දර්ශනවාර 10කින් විතර පස්සෙ තමයි විශ්වවිද්‍යාලය තුළ දර්ශනවාර 4ක් පෙන්වන්නේ. මේක අත්හදාබැලීමක්. මේ පරිවර්තනයක් වුණත් ප්‍රෙක්ෂකයාට අපේ නාට්‍යයක් විදිහට පේන්න සකස් කරගන්නයි මට උවමනා වුණේ.

Q මීට වසර 400කටත් ඉහතදී ලියවුණු නාට්‍ය කොහොමද ඔබ නූතනය හා යාවත්කාලීන කරන්නේ?

බෞද්ධ දර්ශනය ඇතිවෙලා අවුරුදු 2500ක් විතර. ක්‍රිස්තියානි දර්ශනය ඇතිවෙලා අවුරුදු 2000ක් විතර වගේ හැම ආගමික දර්ශනයක්ම ඇතිවෙලා අවුරුදු ගාණක්. නාට්‍යයක් වුණත් එහෙමයි. ආගමක තියෙනවා වගේම දර්ශනයක් තමයි නාට්‍යයෙත් තියෙන්නේ. මනුෂ්‍ය ජීවිතය පිළිබඳ සියුම් ගවේෂණයක් සහිත දර්ශනයක් තමයි ඕනම විශිෂ්ට නාට්‍යයක තියෙන්නේ. කාගෙ වුණත් විශිෂ්ට නාට්‍යයක් එහෙමයි. කාලෙ ඉක්මවා ගිහිල්ලා, දේශයත් ඉක්මවා ගිහිල්ලා හැම සමාජයකම ඉන්න මිනිසුන්ගෙ මානුෂීය, සාමාජීය ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරනා නාට්‍යයක් තියෙනවා.

මම හිතන්නේ වසර 400කට පස්සෙත් ශේක්ස්පියර් නාට්‍යවලට ආගමක් වගේ දර්ශනයක් වගේ මිනිසුන්ගේ ජීවිතවලට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. අපිට මෙහෙම නිෂ්පාදනය කරන්න පුළුවන් වුණෙත් ශේක්ස්පියර් නාට්‍යවල තියෙන ඒ සර්වකාලීන ආධ්‍යාත්මය ආමන්ත්‍රණය කිරීමේ හැකියාව හින්දයි. සාමාන්‍ය මනුෂ්‍යයාගේ හදවත සතුටු කිරීමේ හැකියාව මේ නාට්‍යවලට තියෙනවා.

මේ නාට්‍ය බැලූ අපේ රටේ ප්‍රකට නාට්‍ය නිෂ්පාදකයන්ටත් ශේක්ස්පියර්ගේ නාට්‍යයක් නිෂ්පාදනය කිරීමේ ආසාවක් මතුවෙනවා. ඒක ඉතාම හොඳ දෙයක්. ඒ වගේම මේක අපි පෙන්නූ හැම වෙලාවකම විවිධ තරාතිරම්වල ප්‍රේක්ෂකයෝ ආවා. මේ කාලේ නාට්‍යයක් පැය 2ක් බලාගෙන ඉන්න එක ටිකක් අසීරුයි. ඒත් කිසිම අපහසුතාවයක් නැතිව කුඩා ළමයි වගේම ප්‍රවීණයොත් මේ පැය දෙක පුරා නාට්‍ය නැරඹුවා. මං හිතන්නේ මේක හොඳ උත්තේජනයක්.

Q ප්‍රවේශපත්‍ර ලබාගන්නේ කොහොමද?

එදින දොරටුවෙන් ප්‍ර‘වේශපත්‍ර ලබාගන්න පුළුවන්. ඕනෑම අයෙකුට ගන්න පුළුවන් මුදලකට ප්‍ර‘වේශපත්‍ර නිකුත් කරනවා.

1 paper2

කඩවත – කොට්ටාව අධිවේගෙය් ගාස්තුවලින් නිදහස්

කඩවත කොට්ටාව අතර කෙටි ගමන් සඳහා කොළඹ පිටත අධිවේගී මාර්ගය අද දිනයේදී ගාස්තු රහිතව සුදුසුකම්ලත් වාහන සඳහා පමණක් විවෘත කර ඇති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස කඩවත, කඩුවෙල, කොතලාවල, අතුරුගිරිය, කොට්ටාව යන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන භාවිතා කරමින් මගී ජනතාවට නොමිලයේ පිටත අධිවේගී මාර්ගය භාවිතා කළ හැක.

එමෙන්ම මේ අවස්ථාව වනවිට පවතින ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම පමණක් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබේ.