Author Archives: සජිත් ගයාන්

අද පස්වරුවේ බොහෝ ස්ථානවලට ගිගුරුම් වැසි

දිවයිනේ බොහෝ පළාත්වල අද (01දා) පස්වරු කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වල මි.මි. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මස 27 සිට මෙම මස 06දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. ඒ අනුව හෙට (02දා) දහවල් 12.10ට බංගදෙනිය, හෙයියාගම, ගෝනගම, ගස්සන්දළුපොත, කඹරව, දෙහිඅත්තකණ්ඩිය සහ කපුරැල්ල යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

විභාග වංචා වැළැක්වීමට නව විද්වත් කමිටුවක්

නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිදුකරන විභාග වංචා වැළක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබාගැනීම සඳහා විද්වත් කමිටුවක් ස්ථාපිත කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතාට උපදෙස් ලබාදී ඇත.

ඒ පසුගිය දිනවල වර්තා වූ ප්‍රශ්න පත්‍ර පිටකිරීමේ සිද්ධිය සහ නවීන තාක්ෂණය ආධාර කරගනිමින් විභාග වංචා සිදුකිරීම සඳහා ඇති ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින් හා ඒ අනුව තොරතුරු තාක්ෂණය සහ නව තාක්ෂණික මෙවලම් පිළිබඳ දැනුම මෙන්ම විභාග නීතිය පිළිබඳ දැනුම ඇති කමිටුවක් පත්කොට වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.

අනතුරුව එම නිර්දේශද ක්‍රියාත්මක කරමින් විභාග වංචා වැළැක්වීමට පියවර ගැනීම සඳහා වඩාත් සාර්ථක ලෙස මැදිහත්වීමට විභාග දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙනු ඇත. 

රයන් ජයලත් යළි රිමාන්ඩ්

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු  රයන් ජයලත් මහතා මේ මස 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23දා) නියෝග කරන ලදී.

උසස් පෙළ ප්‍රශ්න ඇතුළත් අත්පත්‍රිකා බෙදීමට අදාළව 3ක් රිමාන්ඩ්

මේ වර්ෂයේ අපොස උසස් පෙළ රසායන විද්‍යාව ​ii ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඇතුළත් අත්පත්‍රිකාවක් ගම්පහ ප්‍රදේශයේ බාලිකා පාසලක් අසල බෙදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනෙකු මේ මස 30දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (22දා) නියෝග කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණි. ඒ අනුව සිදු කළ විමර්ශනවලදී මෙම අත්පත්‍රිකා පරිගණක යතුරු ලියනය කරන ලද ගම්පහ, බෞද්ධාලෝක මාවතේ පිහිටි මුද්‍රණාලයක හිමිකරුවෙකුද ඊයේ (21දා) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මෙම සැකකරුවන් තිදෙනා අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

විගමණික ශ්‍රමිකයන් ගැන රජයට විශාල වගකීමක් තිබෙනවා

පසුගිය වසර 7ක 8ක පමණ කාලයක් මේ රටට වැඩිම ආදායම ලැබෙන්නේ විගමනික ශ‍්‍රමිකයන් උපයන වැටුප් මගින් බවත්, එම නිසා  ඔවුන් හා ඔවුන්ගේ පවුලේ ඥාතීන් සම්බන්ධ පූර්ණ වගකීම රජය සතු වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.

අම්පාර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (20දා) පැවති ශ‍්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහනේදී අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ අදහස් පළ කර සිටියාය

එහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

“පහුගිය අවුරුදු 7ක 8ක කාලය ඉඳන් මේ රට දුවන්නේ පිටරටවල සේවය කරලා බිලියන 7ක ආදායමක් ලබන ශ‍්‍රමිකයන්ගේ මුදල් වලින්. එතකොට රජයක් හැටියට අපිට වගකීමක් තියෙනවා ඔබ මුහුණ දෙන ගැටලුවලටත්, ඔබගේ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු පිළිබඳවත්, ඔවුන්ගේ සුභසාධනය හා මානසික මට්ටම මේ හැම දෙයක් ගැනම සොයා බලන්න.

ඔබ එවන මුදල් මෙහේ හරියට වියදම් කරනවද කියලා බලන්න. අපිට සමහර කාන්තාවෝ කියනවා ගෙදරට මුදල් අරිනවා කිසිම දෙයක් වෙන්නේ නෑ. ගෙදරවත් හදාගන්නේ නෑ කියලා. අම්මා නෑ ඒක නිසා පාසල් යන්න අපි කැමති නෑ කියලා ළමයි පාසල් යන එක අත ඇරලා තියෙනවා. මේවා තමයි අපි මේ ශ‍්‍රමික සුරැකුම වැඩසටහන කි‍්‍රයාත්මක කරන්නේ. වරප‍්‍රසාදයක් හැටියට ජනපතිවරයාගේ පොරොන්දුවකට අනුව මේ වසර අවසානයේ විගමනික ශ‍්‍රමිකයන්ගේ විශ‍්‍රාම වැටුප කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එහි හිමිකම් ලැබෙන්නේ මේකේ ලියාපදිංචි වෙන අයට පමණයි.

වත්මන් මුදල් ඇමතිවරයා අපිට යෝජනා කර තියෙනවා තීරු බදු සම්බන්ධයෙන්. තාම මේවා පොරොන්දු එහෙම නෙවෙයි. නැත්නම් කියයි මැතිවරණයක් ළඟ තියාගෙන තීරු බදු අඩුකරනවා කියලා. මේක එහෙම දෙයක් නෙවෙයි. පිටරටවල සේවය කරලා එන අය රැගෙන එන බඩුවලට මෙහේ බදුවල යම් කිසි වෙනසක් ඇතිකරන්න අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් සඳහන් කර සිටියාය.

ඛනිජ තෙල් සම්පත් නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය, කාර්යාංශයේ කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂ උපුල් දේශපි‍්‍රය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

20863614_1114259102039278_7551173015029817449_o 20900612_1114259418705913_2166862060433923155_o 20935080_1114259285372593_6668153005824517318_o 21013747_1114258965372625_4093335353567553678_o

විරෝධතාවයක් හේතුවෙන් කොටුව අවට දැඩි රථවාහන තදබදයක්

විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර මාර්ගය වසා දැමීමට කටයුතු කල බව පොලීසිය අද (21දා) සඳහන් කරයි.

මේ හේතුවෙන් කොළඹ කොටුව අසල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇත.

මෙම විරෝධතාවය සැප්තැම්බර් 01දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පොලිතීන් තහනමට විරෝධය පාමින් මේ විරෝධතාවය ආරම්භ කර ඇත. 

roadblock_iStock_000010780877XSmall

ගතවූ පැය කිහිපයේ රිය අනතුරුවලින් තිදෙනෙක් මිය ගිහින්

ගතවූ පැය කිහිපය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය අද (21දා) සඳහන් කරයි.

ඒ අනුව කටාන ප්‍රදේශයේ මීගමුව මීරිගම මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් එකවර තිරිංග යෙදීම හේතුවෙන් පුද්ගලයෙකු බස් රථයෙන් පිටතට විසිවීමෙන් සිදුවූ අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මේ අතර අහුංගල්ල ප්‍රදේශයේදී හමුදා බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇත.

මීට අමතරව රුවන්වැල්ල ප්‍රදේශයේදී වෑන් රථයක පුද්ගලයෙකු ගැටීමෙන් සිදුවූ අනතුරින් එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

විරෝධතාවයක් හේතුවෙන් පුරහල අවට දැඩි මාර්ග තදබදයක්

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් අද (18දා) කොළඹ පුරහල අවට දැඩි මාර්ග තදබදයක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ.

“මූසල දෙවසර” යනුවෙන් නම්කර ඇති විරෝධතාවය කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්වේ.

පොලීසියෙන් රියදුරන්ට රු.3000ක ත්‍යාගයක්

මහනුවර නගරය ආශ්‍රිතව රිය පදවන විනීත හා කාරුණික රියදුරන් හඳුනා ගැනීමේ වැඩසටහනක් පසුගිය 15දා සිට ආරම්භ කළ බව මහනුවර පොලීසිය පවසයි.

ඒ සඳහා මහනුවර නගරයේ ස්ථාන කිහිපයක පොලිස් කණ්ඩායම් 05ක් ස්ථානගත කර ඇති අතර හඳුනා ගන්නා විනීත රියදුරන්ගේ රථවල ස්ටිකරයක් ඇලවීම හා පොලීසියේ සහ AMW ආයතනයේ අනුග්‍රහයෙන් රුපියල් 3000ක ත්‍යාගයක් පිරිනැමීම සිදුකරන බවද පොලීසිය පවසයි.

ඒ අනුව පසුගිය 15දා පැවති සමාරම්භක උත්සවයේදී එසේ හඳුනාගත් විනීත හා කාරුණික රියදුරන් 44කට මෙම මුදල් ත්‍යාග හා ස්ටිකර් ඇලවීම සිදු කළ බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

IMG_7083 IMG_7098 IMG_7107 IMG_7120 IMG_7124

පොල්ගහවෙල ටිපර් රථ අනතුරින් දෙදෙනෙකු මිය යයි

කොළඹ – කුරුණෑගල මාර්ගයේ මැටිකුඹුර ප්‍රදේශයේදී අද (14දා) අලුයම සිදුවූ රිය අනතුරින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇතැයි පොල්ගහවෙල පොලීසිය පවසයි.

ගල්වෙල පදිංචි ලක්මාල් මදුසංක සඳරුවන් සෝමසිරි (22)  සහ කන්තලේ පදිංචි අජිත් ප්‍රියන්ත කුමාර (25)  මෙලස ජීවිතක්ෂයට පත්ව ඇත.

කුරුණෑගල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ වැලි පිරවූ ටිපර් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරුව විදුලි කණුවක හා තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් ටිපර් රථයේ ගමන් ගත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමේදී දෙදෙනෙකු මිය ගොස් තිබේ.

බරපතළ තත්ත්වයේ පසූවූ ටිපර් රථයේ රියදුරු කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇතැයි පොල්ගහවෙල පොලීසිය පවසයි.

පොල්ගහවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.