Author Archives: රුවන් කාශ්‍යප

කොළඹ බැනර් හා කටවුට් ප්‍රදර්ශනය සඳහා දඩි නීති

කොළඹ සහ තදාසන්න නාගරික බල ප්‍රදේශවල කිසිදු අවසරයකින් තොරව බැනර් සහ කටවුට්ප්‍රදර්ශනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ අනුව නගර සභාවට නියමිත ගාස්තු ගෙවා අවසර ලබාගැනීමකින් තොරව බැනර් සහ කටවුට් එල්ලන්නේ නම් එම දැන්වීම හිමි පුද්ගලයා සහ එම දැන්වීම ඇලවීමට දායක වූ ආයතනය හෝ පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනු ඇත.

කැළිකසළ බැහැර කිරීම සම්බන්ධයෙන් වන ප්‍රගති සමාලෝචනය ඊයේ රාත්‍රියේ කොළඹ මහ නගර සභා පරිශ්‍රයේ පැවැති අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

විවිධ ආයතනහා පුද්ගලයන් කොළඹ සහ තදාසන්න නාගරික බල ප්‍රදේශවල පෝස්ටර් ඇලවීම සඳහා ස්ථාපිත කර ඇති පුවරු නොසලකා මග දෙපස තාප්පවල පෝස්ටර් ඇලවීමට කටයුතු කිරීමදනීති විරෝධී සහ පරිසරයට සිදු කරන හානි සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්නැයිද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මේ පිළිබඳ අද (25දා) සිට දින 14 ක කාලයක් නිවැරදිව දැනුවත් කිරීමට ලබාදෙන ලෙසත්, ඉන් අනතුරුව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

 

 

 

රංගන මිය ගිය බවට වාර්තා වූ තොරතුරු ගැන අවුරුදු 4ට පසු හෙළිකරයි

2013 වසරේදී ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඔස්ට්‍රේලියාවේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය බවට සමාජ මාධ්‍ය හරහා තොරතුරු වාර්තා විය. මේ පිළිබඳව අවුරුදු හතරකට පමණ පසුව රංගන හේරත් සිය අත්දැකීම ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ඔහු පවසන්නේ එදින ඔස්ට්‍රේලියානු වේලාවෙන් පාන්දර 3.30ට පමණ තම දුරකතනය නාද වෙන්න පටන් ගත් බවත් අඛණ්ඩව දුරකතනය නාද වෙන විට කුමක් හෝ දෙයක් සිදුවී ඇති බව හැඟුණු බව රංගන පවසයි.

“ඒ හිමිදිරි පාන්දර, මම හිතන්නේ පෙ.ව. 3.30ට පමණ ඇති. මගේ දුරකතන නාද වෙන්න පටන් ගත්තා. බොහෝ මිත්‍රයින් ලංකාවේ සිට කතා කළා. මට හිතුණා මොකක් හෝ දෙයක් වෙන බව. මම එක් දුරකතන ඇමතුමකට පිළිතුරු දුන් විට සිදුව ඇති දේ තේරුම් ගත්තා. රාත්‍රිය පුරාම දුරකතනය නාද වෙන්න පටන්ගත්තා.

මට දුරකතනය ක්‍රියා විරහිත කරන්න අවශ්‍ය වුනේ නෑ. එතකොට ඔවුන් හිතනවා සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය කතාව ඇත්තක් බව. ඒ වන විට මට ලැබෙන හැම දුරකතන ඇමතුමකටම මම පිළිතුරු ලබාදෙමින් හිටියේ. මට කතා කරපු හැම දෙනෙකුටම මම කීවේ මට කිසිම ගැටලුවක් නෑ.මම තාමත් පනපිටින් ඉන්නවා. මම තරගය ක්‍රීඩා කිරීමට  සූදානම් බවයි.” යනුවෙනි.

මේ අතර 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත ක්‍රීඩා කිරීමට  කැමතිදැයි තමන්ගෙන් දුරකතනයේ විමසා සිටියේ කුමාර් සංගක්කාර බවද හේරත් සඳහන් කළේය. මුත්තයියා මුරලිදරන් අබාධයට පත්වීම හේතුවෙන් හේරත්ට නැවතත් ක්‍රිකට් පිටියට පැමිණීමට අවස්ථාව ලැබුණි.

"ඒ වන විට මම එංගලන්තයේ ලීග ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩාකරමින් සිටියේ. එක්වරම මට ශ්‍රී ලංකාවෙන් දුරකතන පණිවිඩයක් ලැබුණා. කුමාර් සංගක්කාර මට කතා කර කීවේ මුරලි ආබාධයකට ලක්වුණා. ඔබ ක්‍රීඩා කරන්න ලෑස්තිද කියලයි. මම කීවා ඔව් කියලා. ඉන් පසුව ඔවුන් නැවතත් මට මගේ ගෙදරට එන්න සියලු දේ ලෑස්ති කළා.

සංගා මට දුරකතන ඇමතුම ලබාදුන්නත් මම දන්නවා ඒ ක්‍රියාවලිය පසුපස බොහෝ දෙනෙකු සිටි බව. මුරලි, කළමනාකරණය, තේරීම් කමිටුව විශේෂයෙන්ම චන්දික හතුරුසිංහ. ඔහු ඒ වන විට ශ්‍රී ලංකවේ පිතිකරණ පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිටියා. ”

 

යාපනය වෙඩි තැබීමේ සැකකරු පොලීසියට භාරවෙයි

යාපනය නල්ලූර් කොවිල අසළදි සිදු කළ වෙඩි තැබිමට සම්බන්ධ ප්‍රධාන සැකකරු යාපනය පොලීසියට භාර වී තිබේ. අද (25දා) පෙරවරුවේ ඔහු පොලිසියට භාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසාරග ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා මිය ගිය අතර අනෙක් පොලිස් නිලධාරියා තුවාල ලැබීය.

පොලීසියට භාර වී ඇත්තේ සේල්වරාසා ජයන්දන් නැමැති 39 හැවැරිදි පුද්ගලයෙකි.

හෂාන් තිලකරත්නට පුහුණුකරු තනතුරක්

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පිතිකරණ පුහුණුකරු වශයෙන් හෂාන් තිලකරත්න මහතා පත්කර තිබේ. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙන්නේ ඉන්දීය සංචාරය වෙනුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් මහතා, වේගපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කළ චම්පක රාමනායක මහතා මීට ඉහතදි සිය තනතුරුවලින් ඉවත්විය.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුද වෙයි.

ඔහුගේ සමකාලීනයෙකු වෙන චමින්ද වාස් මහතාත්  මේ වන විට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික වේග පන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.

ලෝකේෂ් රාහුල්ට ගාලු ටෙස්ට් තරගය අහිමිවෙයි

(UPDATE) 15.20 PM

 වෛරස් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ට ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ගාල්ලේදී එළැඹෙන 26 දා ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගය අහිමිවනු ඇත.

රාහුල්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් පළමු ටෙස්ට් තරගයෙන් විවේක ගැන්වීමට තීරණය කළ බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරයි.

පළමු ටෙස්ට් තරගයෙන් රාහුල් විවේක ගැන්වීම හේතුවෙන් ඉන්දීය ඉනිම ආරම්භ කිරීම වමත් පිතිකරුවන් වන අභිනව් මුකන්ඩ් හා ශිකර් දවාන් විසින් සිදුකරනු ඇත. 


11.20 AM ලෝකේෂ් රාහුල්ට උණ 

ඉන්දීය කණ්ඩායමේ ලෝකේෂ් රාහුල් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.ඉන්දීය කණ්ඩායම ශ්‍රී  ලංකාව හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට එක්වීම සඳහා මේ වන විට ගාල්ලට ගොස් තිබේ. නමුත් ලෝකේෂ් රාහුල් තවමත් කොළඹ රෝහල්ගතව සිටින බවත් වාර්තාවෙයි.

 

බිලියනයක වන්දි ඉල්ලා අැමති අර්ජුණ නඩු මගට

සිය කීර්ති නාමයට හානි පැමිණීම සම්බන්ධයෙන් රුපියල් මිලියන පන්සිය බැගින් වන්දි ඉල්ලා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයින් දෙදෙනකුට එරෙහිව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නඩු පවරා තිබේ.

කොළඹ දිසා අධිකරණයේදී අමාත්‍යවරයා මෙසේ නඩු පවරා අත්තේ ප්‍රසන්න කළුතරගේ සහ ලාල් බංගමුව යන පුද්ගලයින්ට එරෙහිවය.

මහජනතාව නොමඟ යන අයුරින් අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් තම කීර්ති නාමයට හානි කර ඇති බවත් ඊට වන්දි ලෙස තනි තනිවම රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවිය යුතු බවත් මෙම නඩුවෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉල්ලා ඇත.

 

මහින්දගෙන් මහ නාහිමිවරුන්ට විවෘත ලිපියක්

2017 අංක 9 දරණ අතුරුදන්වූවන්ගේ කාර්යාල (සංශෝධන) පනත යටතේ පිහිටුවන ආයතනය ‘කාර්යාලයක්’ ලෙස හැඳින්වුවද එය  උසාවියකට සමාන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වෙත විවෘත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.

අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතේ 12 වැනි වගන්තිය අනුව පිහිටුවන කාර්යාලයට පැමිණිලි පිළිගෙන විමර්ශන පවත්වන, සාක්ෂි කරුවන්ගේ කටඋත්තර ලබාගන්නා, තමන් ඉදිරියට පුද්ගලයින් කැඳවමින් නියෝග නිකුත් කරන හා විභාග පවත්වන උසාවියකට සමාන ආයතනයක් බව ඔහු නිකුත් කළ ලිපියේ සඳහන් වෙයි.  

මහින්ද රාජපක්ෂ මහතා යොමුකළ විවෘත ලිපිය

රණවිරු දඩයම සම්බන්ධයෙන් විදෙස් බලවතුන්ට කේන්ද්‍රීය කාර්යභාර්යක් පැවරීම සඳහා නව නීති හා ආයතන ස්ථාපිත කිරීම

මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත බලාත්මක කිරීමට අත්සන් තබා එය සංහිඳියාව වෙනුවෙන් ගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්වූයේය. 2016 අගෝස්තු මාසයේදී මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධයද නොතකා  එජාපයත්, ආණ්ඩුවේ ශ්‍රිලනිප කණ්ඩායමත්, ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත් එකතු වී පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලැබුවේ බලහත්කාරයෙනි. මේ පනත විවාද කිරීමට විනාඩි 40 ක කාලයක්වත් ඔවුන් මිඩංගු කළේ නැත. දැන් ජනාධිපතිවරයාගේ අත්සනින් බලාත්මක කර ඇති 2017 අංක 9 දරණ අතුරුදහන් වූවන්ගේ කාර්යාල (සංශෝධන) පනතින් සංශෝධනය වූ 2016 අංක 14 දරණ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනතේ පහත දැක්වෙන විධිවිධාන කෙරෙහි ගරුතර මහා සංඝරත්නයේ සුවිශේෂ අවධානය යොමුවිය යුතු යැයි මම විශ්වාස කරමි.

1.මෙකී නීතිය යටතේ පිහිටුවන ආයතනය ‘කාර්යාලයක්’ ලෙස හැඳින්වුවද, අදාල පනතේ 12 වන වගන්තියට අනුව මෙය පැමිණිලි පිලිගෙන විමර්ශන පවත්වන, සාක්‍ෂි කරුවන්ගෙන් කටඋත්තර ලබා ගන්න, තමන් ඉදිරියට පුද්ගලයන් කැඳවමින් නියෝග නිකුත් කරන, හා විභාග පවත්වන උසාවියකට සමාන ආයතනයක් බව පැහැදිලිය. මේ කාර්යාලයේ නිලධාරීන්ට දිවා රෑ ඕනෑම වෙලාවක, ඕනෑම පොලිස් ස්ථානයකට, හමුදා කඳවුරකට හෝ බන්ධානාගාරයකට ඇතුලුවීමටත්, ඔවුන්ට අවශ්‍ය ලියවිලි හෝ වෙනත් දේවල් තම භාරයට ගැනීමටත් බලය පවරා ඇත. කවුරුන් හෝ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සහයෝගය නොදී සිටියහොත් එය අභියාචනාධිකරණයට කරන ලද අපහාසයක් සේ සලකා දඩුවම් කළ හැකිය.

2. ඕනෑම දේශීය හෝ විදේශීය මූලාශ්‍ර‍කින් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට මුදල් ප්‍ර‍තිපාදන ලබා ගැනීමට පනතේ 21 වන වගන්තියෙන් බලය පවරා ඇත. ඒ අනුව මෙකී කාර්යාලයට විදේශීය ආණ්ඩුවකින්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයකින් හෝ තහනම් නොකරන ලද දෙමළ කොටි ඩයස්පෝරා සංවිධානයකින් වුවද මුදල් ලබාගත හැක.

3.සාක්‍ෂි ආඥාපනතේ සියලු විධි විධාන වලට පටහැනිව වුවත් ඕනෑම ප්‍ර‍කාශයක් හෝ භාණ්ඩයක් සාක්‍ෂි හැටියට පිළිගැනීමට පනතේ 12(ඇ)(iii) වගන්තිය යටතේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට බලය පවරා ඇත. සාක්‍ෂි ආඥාපනත නොසලකා හැරීම නිසා මේ ආයතනය ඉදිරියට කැඳවන සැකකරුවන්ට අපේ රටේ සාමාන්‍ය අපරාධ නඩුවකදී වුවත් චූදිතයෙකුට තිබෙන සාධාරාණ ආරක්‍ෂාව නොලැබෙනු ඇත.

4.මෙම පනතේ 12 (ඉ) වගන්තියට අනුව රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කරමින්  වුවත් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයෙන් ඉල්ලා සිටින සියලු තොරතුරු සහ ලියවිලි ඔවුන්ට ලබා දීමට සන්නද්ධ හමුදා හා බුද්ධි අංශ ඇතුලුව සියළුම රජයේ ආයතන බැඳී සිටී.

5.පනතේ 15 වන වගන්තියට අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට රහස්‍ය භාවය රැකීමේ පොරොන්දුව මත ලැබෙන තොරතුරු උසාවියට ඉදිරිපත් කරන මෙන් නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයටවත් බලය නැත. එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනත මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සම්බන්ධයෙන් බලපවත්වන්නේ නැත.

6.අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ නිලධාරීන්ගේ ක්‍රියාවක් හෝ පැහැර හැරීමක් හෝ ඔවුන් පලකරන වාර්ථාවක් සම්බන්ධයෙන් සිවිල් හා අපරාධ නඩු පැවරිය නොහැකි ආකාරයට පනතේ 25 වන වගනත්තිය යටතේ සම්පූර්ණ මුක්ත භාවය ලබාදී ඇත. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය කරන කිසිවක් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 126 හා 140 යන වගන්ති යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරණ නඩුවකින් මිස වෙනත් කිසිදු උසාවියක අභියෝගයට ලක් කල නොහැක. නමුත් පනතේ 15 වන වගත්නියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට වුවත් තොරතුරු හෙළි නොකර සිටීමට අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට ඇති බලය නිසා, මෙම කාර්යාලයේ කටයුතු වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමෙන්වත් පලක් නැත.

අතුරුදහන් වූවන්ගේ කාර්යාලය විසින් සොයාගන්නා තොරතුරු එම පනතේ 13(1)(එ) වගන්තිය යටතේ අදාල නීතිය ක්‍රියාත්මක කිරීමේ, නැතිනම් පරිචෝදක ආයතනය වෙත යොමු කල හැක. 2015 ඔක්තෝබර් 14 දින, අංක 30/1 දරණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට අනුව මෙකී අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ‘යටගියාව ගැන සෙවීමට’ යහපාලන ආණ්ඩුව විසින් පිහිටුවීමට එකඟ වී ඇති ආයතන කීපයකින් එකක් පමණි. මෙහි පරමාර්ථය වන්නේ, වෙනත් ආයනතන වලට තොරතුරු ලබා දීම බව පැහැදිලිය. මෑතකදී වත්මන් ආණ්ඩුව අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තිය ලංකාවේ බලාත්මක කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මේ යෝජිත නීතිය යටතේ ලංකාව තුළ  පුද්ගලයෙකු අතුරුදහන් කරවීමකට සම්බන්ධ යැයි සැක කරන ඕනෑම අයෙක් තමන්ට භාර දෙන මෙන් විදේශීය රටවලට ඉල්ලා සිටීමට බලය ලැබේ. ඒ ආකාරයට ලංකාවේ කරන ලදැයි කියන අපරාධයක් සඳහා තමන්ගේ රටට ගෙන්වා ගන්නා ශ්‍රී ලාංකික සැකකරුවකු ඒ විදේශීය රටේ උසාවියකට ඉදිරිපත් කිරීම හෝ ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට භාරදීම ඔවුන්ට කළ හැක.

මහා සංඝරත්නයත්, මහ ජනතාවත් අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තිය ලංකාවේ බලාත්මක කිරීමට ගෙන ආ පනත් කෙටුම්පතට දැක්වූ විරෝධය නිසා ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් දැමීමට ආණ්ඩුවට සිදු විය. නමුත් මේ කල්දැමීම තාවකාලික බවත් නුදුරු අනාගතයේදී ඔවුන් මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බවත් ආණ්ඩුවේ ඇමතිවරුන් පවසා ඇත. මේ අනුව අපට පෙනී යන්නේ යහපාලන ආණ්ඩුවෙන් මේ ගෙන එන නව‍ නීති එකිනෙකට සම්බන්ධ බවයි. විදෙස් රටවල මුදල් වලින් නඩත්තු වෙන අතුරුදහන් වූවන්ගේ කාර්යාලය යම් පුද්ගලයෙකුට එරෙහිව වාර්තාවක් පල කරමින් චෝදනාවක්  කළ පසු, එකී චෝදනාව මත පදනම්ව අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තියේ විධිවිධාන යටතේ එම සැකකරු තමාට භාරදෙන මෙන් ඉල්ලා සිටීමට විදේශීය රටවලට බලය ලැබේ. මේ ආකාරයට ලාංකික සැකකරුවෙකු තමාගේ රටට ගෙන්වා ගන්නා විදේශීය රටට එම පුද්ගලයාට එරෙහිව තමාගේ රටේ නඩු පැවරීම හෝ ඔහුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට භාරදීම හෝ කළ හැක.

අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තිය ලංකාවේ බලාත්මක කිරීමට ගෙන එන ලද පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල්දැමීමට සිදු වූ පසු එජාපයේ මෙන්ම ශ්‍රිලනිපයේ ඇමතිවරුන්ද එම පනත් කෙටුම්පත සාධාරණීකරනය කිරීම සඳහා පවසා සිටියේ එය අනාගතයට මිස අතීතයට බලපාන නීතියක් නොවන බවයි. මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍ර‍කාශයකි. අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තියේ විධිවිධාන ලංකාවේ බලාත්මක කිරීමට ගෙන එන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබුවේ නම්, එය අපේ ව්‍යවස්ථාවේ 13(6) වගන්තියේ විධිවිධාන වලට අනුව ස්වයංක්‍රීයවම අතීතයටද බලපානු ඇත. අපගේ සන්නද්ධ හමුදා වලට සහ යුද්ධයට නායකත්වය දුන් දේශපාලන බලධාරීන්ට දඩුවම් කිරීමට එජාපය, ආණ්ඩුවේ ශ්‍රිලනිප කණ්ඩායම, දෙමළ ජාතික සංධානය හා ජනතා විමුක්ති පෙරමුණ යන යහපාලන දේශපාලන පක්‍ෂ තුළ විශාල උනන්දුවක් තිබෙන බව පැහැදිලිය.

යහපාලන ආන්ඩුවේ මේ නව නීති හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නීති කෙටුම්පත් යටතේ රණවිරු දඩයම සම්බන්ධයෙන් ලංකාවේ නීතිය යටතේම විදෙස් බලවතුන්ට කේන්ද්‍රීය කාර්යභාර්යක් පවරා ඇත. සංහිඳියාව ඇතිකරනවා යැයි කියමින් කරන මේ මහා පාවාදීම් කෙරෙහි අතිපූජනීය ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඇතුලු මහා සංඝරත්නයේ නිසි අවධානය යොමු වෙනු  ඇතැයි මම විශ්වාස කරමි.

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති 

කොළඹ වරායට ගුවන් තොටුපොළක්

කොළඹ වරායට අනුබද්ධව ගුවන් තොටුපොළක් ඉදිකිරීමට රජයට යෝජනා කර ඇතැයි බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඉදිරි වසර 10 තුළදී එය ඉදිකළහොත් කටුනායක ගුවන් තොටුපොළට නොගොස් කොළඹින්ම ගුවන්ගතවීමේ අවස්ථාව ලැබෙන බවද ඔහු පවසා සිටියේය.

කොළඹ කසළ කළමනාකරණයට දහසක බළකායක් ඇති කිරීම සඳහා කොළඹ නව නගර ශාලාවේ පැවැති හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

“ලබන වසරේ ජූනි මාසයේ දී කොළඹ ඉදිවන මූල්‍ය නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනවා. මෙහිදී ප‍්‍රධාන වශයෙන් ලෝකයේම තිබෙන බැංකු එම ස්ථානයට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. කොළඹ නගරයේ දකුණු වරායට අමතරව නැගෙනහිර හා බටහිර වරාය ඊළඟ අවුරුදු 5 තුළදී ගොඩනැගෙනවා. එයත් සමග නව ජවයක් කොළඹ වරායට ලැබෙනවා.

කොළඹ වරාය මේ කලාපයේ ශක්තිමත්ම වරාය බවට ඉදිරිකාලයේ  දී අපි පරිවර්තනය කරනවා. එසේම අපි රජයට යෝජනා කර තිබෙනවා වරායට අනුබද්ධිතව ගුවන්තොටුපොළක් ඉදිකිරීමටත්. එමගින් කටුනායකට නොගොස් කොටුවෙන්ම ගුවන්ගත වීමට හැකියාව ලැබෙනවා. ඉදිරි වසර 10  තුළ එම යෝජනාව කි‍්‍රයාත්මක කළහොත්. මෙම ආයෝජකයන් කොළඹට එන්නේ නගරය ලස්සනව පිරිසුදුව විධිමත් නගරයක් ලෙස තිබුණොත් පමණයි.

එසේම අලුත් පිම්මක් ගැනීමට නම් නගරයේ දූ දරුවන්ට නිසි අධ්‍යාපනය ලබාදිය යුතුයි. විශ්වවිද්‍යලවලට, වෛද්‍ය පීඨයට, ඉංජිනේරු පීඨයට වගේම කොළඹ නගරයේ ප‍්‍රධාන පාසල්වලට නගරයේ දරුවන් යොමු කළ යුතුයි. ඒවායේ බොහෝමයක් අධ්‍යාපනය ලබන්නේ කොළඹින් පිට දරුවන්. එම ස්ථාන කොළඹ අපේ දරුවන්ගේ ස්ථාන බවට පත් කරගන්න සූදානම් විය යුතුයි ඊළඟ යුගයට කොළඹ රැගෙන යාමට.”

 

 

කාන්තා එක්දින ලෝක කුසලානය එංගලන්තයට

ඉන්දිය කණ්ඩායම ලකුණු 9කින් පරාජයට පත්කරමින් 2017 කාන්තා එක්දින ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම ඊයේ (23දා) සමත්විය.

ලෝඩ්ස් පිටියේ පැවැති අවසන් තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 7 ට ලකුණු 228ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 219ක් පමණි.

නාවික හමුදාව මුහුදේ ගසාගෙන ගිය තවත් අලි දෙදෙනෙකු බේරා ගනියි

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් අද (23දා) උදෑසන ත්‍රිකුණාමලය, රවුන්ඩ් දුපතට සහ කෙවුලියා තුඩුව අතර වු මුහුදු ප්‍රදේශයේ සැඩ පහරකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලි දෙදෙනෙකු  බේරා ගෙන ඇත. 

මුර සංචාරයේ නියුතු වෙරළබඩ යාත්‍රාවක් (IPC) මගින් මෙම අලි දෙදෙනා ගසාගෙන යන බව පළමුවෙන්ම නිරීක්ෂණය කර ඇත. මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුම් දී ඔහුන්ගේද සහය ඇතිව නාවික හමුදා පුද්ගලයින් විසින් අලි දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුම දියත් කරන ලදි. 

පසුව ඒ සඳහා මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රා තුනක් (03) සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. 

ඒ අනුව ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් අලි දෙදෙනාට උපද්‍රවයක් සිදු නොවන ලෙස මුහුදේ සිට නිරුපද්‍රිතව ගොඩබිම දෙසට රැගෙන ඒමට නාවික පුද්ගලයින් කටයුතු කළ අතර, අලි දෙදෙනා කෙවුලියා තුඩුව (ෆවුල් තුඩුව) ප්‍රදේශයට මුදා හැරිමට කටයුතු කෙ‍රිණි.

මේ අයුරින්ම එම විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ජුලි 11 වන දින කෝක්කුතුඩුවායි සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරකදී සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට කටයුතු කරන ලදි. එය ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේද දැඩි අවධානයක් දිනාගත් මාතෘකාවක් බවට පත්විය.

01 copy 02 copy 03 copy 04 copy 05 copy 07 copy 10 copy 11 copy 12 copy