Author Archives: ගාල්ල- රවිඳු දියගහගේ

මුදල් සොරකමේ ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගත් සුනඛයා

යක්කලමුල්ල කොට්ටවගම දේවගිරි තේ වත්තේ කාර්යාලයට ඇතුළුවී රුපියල් තුන් ලක්ෂ අසූ අට දහසක මුදලක් සොරකම් කිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලීසිය පවසයි.

එම කම්හලේමසේවකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිල සුනඛයෙකුගේ මාර්ගයෙන් කළ පරීක්ෂණයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තේ වත්තට අයත් කාර්යාලයේ  තිබූ  රුපියල් තුන් ලක්ෂ අසූ අට දහසක මුදලක් සොරකම්කර  ඇති බවට පොලීසියටපැමිණිලිකර තිබේ.

ඒ අනුව ගාල්ල පොලිස් නිල සුනඛ ඒකකයේ ආටිස් නැමැති නිල සුනඛයා ගෙනවිත් පරීක්ෂණ පැවැත්වීමේදී  සැකකරු විසින් දමා ගොස් තිබූ ලියුම් කවරයක්  ඔස්සේ ගිය නිල සුනඛයා නිවසක් ඉදිරිපිට නතරවී තිබේ. පසුව එම නිවසේ පදිංචි පුද්ගලයා මෙම කම්හලේ සේවකයෙකු බව දැනගත් පොලීසිය ඔහු සෙවීමේදී නිවසින් පලා ගොස් ඇති බව හෙළිවී ඇත.

එම අවස්ථාවේ වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය විසින් ප්‍රදේශයේ සැඟවී සිටි සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙහිදී මෙම සොරකමට තවත් පුද්ගලයෙකු සම්බන්ධ බව හා සොරකම්කරන ලද මුදල් ඔහු සන්තකයේ  ඇති බවට එහිදී හෙළිවී තිබේ. එමසැකකරු අත්අඩංගුවට ගැනීමට යක්කලමුල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ගිනිඅවියක් ළග තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව බෝර 12 ගිනිඅවියක් සහ එම ජීව උණ්ඩ හතරක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු කබරගලදී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලීසිය පවසයි.

පනස් හතර හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට පත් සැකකරු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වරදකරුවී දඬුවම් විඳ නිදහස්වී ඇති අයෙකු බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලීසිය පවසයි.

හබරාදූව පොලීසිය  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ලංකාව වටේ යන තරැණියක්

ශ්‍රී ලංකාව වටා කිලෝ මීටර් 1268 ක දුරක් පයින් යන තරුණියක් අද (22) අහංගම නගරය පසුකරමින් සිටින බව ‘අදට’ වාර්තා විය. පසුගිය 10 වැනි දින කතරගම කිරිවෙහෙර අසලින් ගමන් ආරම්භ කළ දේවිකා කාසිචෙට්ටි නැමැති මෙම තරුණිය ලබන මැයි මාසයේදී කතරගම කිරි වෙහෙර අසලින් ගමන නිමා කිරිමට බලාපොරොත්තුව සිටින බව ඇය ප්‍රකාශ කරයි.

කතරගම මාතර ගාල්ල කලුතර කොළඹ හලාවත පුත්තලම මන්නාරම හරහා යාපනයට ගොස් නැවත යාපනයේ සිට මඩකලපුව ත්‍රීකුණාමලය අම්පාර යාල හරහා කතරගම කිරිවෙහෙර දක්වා මුහුදු මාර්ගය ඔස්සේ ඇය ගමන් කරන බව වැඩිදුරටත් සඳහන් කළාය. 

vvvvvvv

කරාපිටිය රෝහල තවත් වෙනසකට සැරසෙයි

ශ්‍රී ලංකාවේ රෝහලකදී ප්‍රථම වරට සිදුකරන පෙණහලු හා හදවත් බද්ධ කිරීමේ සැත්කම ලබන වසර අවසන් වීමට පෙර සිදුකිරීමට හැකිවනු ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ධම්මික රස්නායක මහතා පැවසීය.

එංගලන්තයේ නිව් කාසල් රෝහලේ මහාචාර්ය ස්ටිවන් ක්ලාක් මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙම සැත්කම සඳහා අවශ්‍ය තාක්ෂණය සහ පුහුණුව ලබාදෙන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ වෛද්‍ය රස්නායක මහතා,"මෙම සැත්කමට අවශ්‍ය අවයව ජීවතුන් අතර සිටින කිසිම කෙනෙකුගෙන් ලබාගන්න බැහැ. නමුත් අනතුරකින් පසුව මොළය අකර්මණ්‍ය වූ කෙනෙකුගේ හෝ එසේ නැත්නම් මොළය මිය ගිය රෝගියෙකුගේ අවයව මේ සැත්කම සඳහා ලබාගන්න පුළුවන්.

නමුත් රෝගියාගේ ඥාතීන්ගේ කැමැත්ත නැතිව රෝගියාගෙන් අවයව ලබා ගන්න බැහැ. රෝගියාගේ ඥාතීන්ගේ කැමැත්ත අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒ නිසා මේ අවයව ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව රෝගියාගේ ඥාතීන්ගේ කැමැත්ත ලබාගැනීම සඳහා විශේෂ පනත් කෙටුම් පතක් සකස් කිරීමට ක්‍රමවේදයක් පිළිබඳ සාකච්ඡා කළා.

ශ්‍රී ලංකාවට පැමිණි මහාචාර්ය ස්ටීවන් ක්ලාක් මහතා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකට සහභාගි වුණා. එහිදී ශ්‍රී ලංකාවේදී මෙම සැත්කම් සිදුකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය සහ පුහුණුව නොමිලේ ලබාදීමට මහාචාර්ය ස්ටීවන් මහතා කැමැත්ත පළකර තියනවා" යැයි පැවසීය.

ගාල්ල – රවිඳු දීයගහගේ

ඇවන්ට් ගාඩ් නැවේ ආයුධ පිළිබඳව යළි පරීක්ෂණ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාලු වරායේ නවතා ඇති ඇවන්ට් ගාඩ් නැවේ තිබී සොයාගත් ආයුධ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම සඳහා නියෝජ්‍ය රස පරීක්ෂක පී.සී. මඩවල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිවු දෙනෙකු ඇවන්ට් ගාඩ් නැව වෙත පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
පසුගිය බදාදා පැමිණි රජයේ රස පරීක්ෂක කණ්ඩායම විසින් කරන ලද පරීක්ෂණවලදී හඳුනාගත් අපැහැදිලි අංක සහිත ආයුධ නැවත පරීක්ෂා කිරීමට මෙම කණ්ඩායම පසුගිය 06 වැනිදා යළි පැමිණ ඇතැයි වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මෙම පරීක්ෂණවලට සහාය වී ඇත.

අලි පැටියාට පෙරහරේ යන්න බැරිවෙයි

හික්කඩුව ගිනිමැල්ලගහජයතිලකාරාම විහාරස්ථ ශ්‍රී සද්ධාතිස්ස දහම්පාසල විසින් නිකිණි පොහොය නිමිත්තෙන් සංවිධානය කර තිබූ පෙරහරේ ගමන් කිරීම සඳහා ගෙනවිත් තිබූ අලි පැටවෙකුගේ බලපත්‍රයේ දෝෂයක් නිසා එම අලි පැටවා වනජීවි නිළධාරීන්ගේ භාරයට ගෙන ඇත.

පෙරහැරේ ගමන් කිරීමට නොහැකි වන අන්දමට අලි පැටවාගේ කකුල් බැද තිබූ නිසා අලි පැටවා පෙරහැරින් ඉවත් කරන ලෙස ඌව සහ මධ්‍යම පළාත් භාර පශු වෛද්‍ය ඩබ්ලිව් ඒ ධර්මකීර්ති මහතා පෙරහැර සංවිධායකයින්ට උපදෙස් දී තිබ.එහෙත් සංවිධායකයින් අලි පැටවා පෙරහැරින් ඉවත්කර නැති අතර පසුව පොලිසියේ සහය ලබාගෙන අලිපැටවා පෙරහැරින් ඉවත්කර ඇත.

වනජීවී නිළධාරීන් විසින් අලි පැටවාගේ බලපත්‍රය පරික්ෂා කිරීමේදී අලි පැටවාගේ වයස සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත වඅලි පැටවා ඔවුන්ගේ භාරයට ගෙන ඇත.

ගොඨාගේ රට යෑමේ තහනම මසකට ඉවතට

ගාලු වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් විදේශ ගමන් තහනම් කර තිබූ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ එම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න සහ ඇවන්ගාඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුව සිටි පාලිත ප්‍රනාන්දු යන තිදෙනාට පනවා තිබු විදේශ ගමන් තහනම තාවකාලිකව  ඉවත් කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඔවුන් තිදෙනාට මාසයකට විදේශගතවිමට අද (13දා) අවසර දුන්නාය.

මේ  අනුව අගෝස්තු 20 වැනි දින සිට සැප්තැම්බර් 19 දක්වා ගෝඨාභය රාජපක්ෂටද අගෝස්තු 17 සිට සැප්තැම්බර් 17 දක්වා පාලිත ප්‍රනාන්දුටද අගෝස්තු 24 සිට සැප්තැම්බර් 24 දක්වා සුජාතා ජයරත්නටද විදේශගතවිමට මහේස්ත්‍රාත්වරිය අවසර දෙනු ලැබුවාය.

 

 

මෛත්‍රීගේ හෝටලයේ කිඹුලෙක්

දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන මෛත්‍රී ගුණරත්න මහතාට අයත් අහංගම කතළුවේ පිහිටි හෝටලයේ නාන තටාකයට ඊයේ (09දා) රාත්‍රීයේදී  කිඹුලෙකු පැමිණ තිබේ.

කොග්ගල කලපුවේ මෝය කට සමීපයේ මුහුදට යාබදව මෙම හෝටලය පිහිටා ඇති අතර, කොග්ගල කලපුවේ සිට කිඹුලා නාන තටාකයට පැමිණෙන්නට  ඇතැයි විශ්වාස කෙරේ. මෙම කිඹුලා අද (10දා) උදෑසන අටට පමණ නාන තටාකයෙන් එළියට පැන, ඒ අසල පිහිටි  කලපුවට පලාගිය බව එම හෝටලයේ සේවකයෝ පැවසූහ.

ලොව විශාලතම පාවෙන පුස්තකාලය ගාලු වරායේ

ලොව විශාලතම පාවෙන පුස්තකාලය ලෙස හඳුන්වන ලෝගෝස් හෝප් (Logos Hope) නැව මහජන ප්‍රදර්ශනය සඳහා මේ දිනවල ගාල්ල වරාය වෙත පැමිණ තිබේ. 2011 වසරේ මෙම නැව ගාල්ල වරාය වෙත පැමිණි අවස්ථාවේ එක්ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් නැවේ ඇති ප්‍රදර්ශනය නැරඹූ බව වාර්තා වේ.

මෙවර මෙම නැව දෙසැම්බර් 26 වැනි දින සිට ජනවාරි 7 වැනි දින දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා ගාලු වරායේ නවතා තබා ඇත. තට්ටු නවයකින් යුත් මෙම නැව මීටර් එකසිය තිස් දෙකක් දිගය. ජර්මනියේ ලියාපදිංචි අන්තර් ජාතික පුන්‍යාධාර හා සමාජ සංවිධානයක් වන GBA Ships e.V සංවිධානයට මෙම නැව අයත් වේ.

1970 සිට මේ දක්වා ලෝකයේ රටවල් එකසිය හැට හතරක සංචාරය කර ඇති ලෝගෝස් හෝප් නැව ලොව වරායවල් එක්දහස් හාරසියයක පමණ නැංගුරම් දමා තිබේ. දියමත පාවෙන ලෝකයේ විශාලතම පුස්තකාලය යනුවෙන් හඳුන්වන මෙම නැව තුළ ඇති පුස්තකාලයේ වෛද්‍ය විද්‍යාව, භාෂා දර්ශනවාදය, කලාව සහ විද්‍යාව ඇතුළු විවිධ විෂයන්ට අදාළ පන්දහසකට අධික පොත් ප්‍රමාණයක් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. එමෙන්ම දරුවන් සඳහා ශබ්දකෝෂ, සිතියම් සහ පාසලට අවශ්‍ය වෙනත් විවිධ පොත්පත් මිලදී ගැනීමේ පහසුකම් මෙම නැව තුළ ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් හතළිස් පහකට අයත් ජාතීන් නියෝජනය කරමින් හාරසියයක පමණ පිරිසක් මෙහි සේවයේ නිරතව සිටිති. එහෙත් ඔවුන් සියලුදෙනාම ස්වේච්ජාවෙන් සේවය කිරීම විශේෂත්වයකි. ඉංජිනේරුවන්, ජලනළ කාර්මිකයන්, පොත් තබන්නන්, වඩුකාර්මිකයන් සහ අරක්කැමියන් ඇතුළු විවිධ හැකියාවන් ඇති පුද්ගලයන් මෙම කාර්යමණ්ඩලයට අයත්වේ.විවිධ ජාතීන් අතර පවත්නා සංස්කෘතික විවිධත්වය හා එකමුතුකම එම කාර්යමණ්ඩලය විසින් මැනවින් පිළිබිඹු කරනු ලබයි.

ලබන ජනවාරි 7 වැනි දින දක්වා ගාලු වරායේ මෙම නැව නැංගුරම් ලා ඇති කාලය තුළදී සඳුදා සහ අඟහරුවාදා දිනවල පෙ.ව 10.00- ප.ව 3.00 දක්වාද, බ්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා පෙ.ව 10.00 – ප.ව 7.00 දක්වාද, ඉරිදා ප.ව.2.00 – ප.ව.7.00 දක්වාද, පොත් ප්‍රදර්ශනය නැරඹිය හැකිය. බදාදා දිනයේ පමණක් නැව වසා තැබේ.නැවට ඇතුළුවීමේ ගාස්තුව රුපියල් සියයකි. වයස අවුරුදු 12 පහළ දරුවන්ට නැව නොමිලේ නැරඹිය හැකිය. එහෙත් ඔවුන් වැඩිහිටියන් සමග පැමිණිය යුතුය.