Author Archives: රනුෂිකා කාරියවසම්

තත්ත්පරයකටත් කලින් චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කිරීමට 5G පැමිණේ

සම්පූර්ණ සිනමාපටයක් තත්ත්පරයකටත් වඩා අඩු කාලයකදී ඩවුන්ලෝඩ් කරගත හැකි 5G අන්තර්ජාලසේවාවක් හඳුන්වාදීමට දකුණු කොරියාව කටයුතු කරන බවට තොරතුරක් පසුගියදා වාර්තා වුණා. මෙය වඩාත් සාර්ථක අන්දමින් සිදුකරන සමාගමකට පවුම් මිලියන 900 ක් ලබාදෙන බව එරට රජය පසුගියදා මේ බව අනාවරණය කරමින් කියා සිටියා. ලොව පුරා රටවල් බොහෝමයක්ම තවමත් 4G තාක්ෂණය භාවිත කරද්දී, දකුණු කොරියාව මෙවැනි පියවරකට යාම කාගේත් පුදුමයට හේතු වී තිබෙනවා. කෙසේ නමුත් 4G තාක්ෂණයටත් වඩා දහස් (1,000) ගුණයක් වේගවත් මෙම 5G තාක්ෂණය වෙත තවත් වසර හයක් ඇතුළතදී පිවිසීමට කටයුතු කරන බව දකුණු කොරියානු විද්‍යා අමාත්‍යාංශය ස්ථිරවම පවසා සිටිනවා. ඒ අනුව මෙගාබයිට් 800 ක බරකින් යුත් චිත්‍රපටයක් එක් තත්පරයක් තුළදී ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව 5G පාරිභෝගිකයන් හට අත්වෙනවා. මේ වනවිට භාවිත කෙරෙන 4G තාක්ෂණය හරහා ඒ සඳහා ගතවන කාලය තත්පර 40ක් ලෙස ගණන් බලා තිබෙනවා.

1990 දී 2G තාක්ෂණය හඳුන්වාදෙමින් එරට ආර්ථිකයේ වර්ධනය සඳහා විශාල දායකත්වය ලබාදීමටත්, ඉන් අනතුරුව 2000 දී 3G තාක්ෂණයත්, 2010 දී 4G තාක්ෂණය හඳුන්වාදීමටත් තමන්ට හැකිවූ බව රජයේ ප්‍රකාශකයෙකු පවසනවා. ඒ අනුව 5G තාක්ෂණය සඳහා මෙය සුදුසු අවස්ථාව බව ඔවුන් සලකනවා. ඔවුන්ගේ සැලසුම අනුව 2017 හඳුන්වාදෙන මෙම 5G තාක්ෂණය 2020 දී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවීමට බලාපොරොත්තු වෙනවා.මේ සඳහා SK ටෙලිකොම් සමාගම සහ සැම්සුන්ග් හා එල්ජී යන ජංගම දුරකථන උපාංග නිෂ්පාදන සමාගම් සමගින්ද කටයුතු කිරීමට රජය සූදානම් වෙනවා. මේ අතරම තමන් ඩොලර් මිලියන 600 ක මුදලක් වැය කර 2020 වසරේදී 5G තාක්ෂණය හඳුන්වාදෙන බව චීනයේ හුවාවි ජංගම දුරකථන සමාගමද පසුගියදා නිවේදනයක් නිකුත් කළා. 

ගඩාෆිගේ කාමුක කාමරය ප්‍රසිද්ධ කෙරේ

ලිබියාවේ හිටපු පාලක මුවම්මර් ගඩාෆි බාලවයස්කාර දරු දැරියන් අපහරණයට ලක් කිරීම සඳහා යොදාගත් බවට සැලකෙන නිදන කාමරයක විස්තර පසුගියදා විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කෙරුණා. 

ඔවුන් මෙය හඳුන්වන්නේ ගඩාෆිගේ 'ලිංගික ඇඳිරිගෙය' ලෙසටයි. මුවම්මර් ගඩාෆිගේ වසර 42 ක ඒකාධිපති පාලන කාලය තුළදී බොහෝ පිරිසක් වධබන්ධනයට ලක්ව ඔහුගේ ලිංගික වහලුන් ලෙස සිටි බවට තොරතුරු ගෙවුනු කාලය පුරාවටම අසන්නට ලැබී තිබෙනවා. 2011 ඔක්තෝබරයේ එරට මහාමාර්ගයක් මතදී උද්ඝෝෂකයන්ගේ වෙඩි පහරකින් මුවම්මර් ගඩාෆි මරණයට පත්කර වසර දෙකක් ගත වී තිබුණත් අදටත් ලිබියානුවන් බොහෝ පිරිසක් මේ ක්‍රෑර පාලකයාගේ සැහැසිකම් නිසා බියට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඔහු සිදුකළ මෙම බාල වයස්කාර අපයෝජන සම්බන්ධයෙන්ද තොරතුරු වාර්තා වෙන්නේ ඒ අතරතුරදීමයි.

මෙහිදී ප්‍රසිද්ධියට පත් කෙරුණු නිදන කාමරය වඩාත් සුවපහසුවෙන් යුක්තව, 70 දශකයේ තිබු ගෘහ නිර්මාණ මෝස්තර උපයෝගී කරගෙන නිර්මාණය කරවූවක්. එහිදී ගඩාෆි අතින් බහුලවම අපහරණයට ලක්ව තිබෙන්නේ වයස අවුරුදු 14 ට අඩු ගැහැණු ළමුන් බව පැවසෙනවා. ඔවුන්  බොහෝ පිරිසක්ම කන්‍යාවියන්. මීට අමතරව පාසල් සහ විශ්වවිද්‍යාල තුළ සිටි දැරියන්ද බලහත්කාරයෙන් මෙහි රැගෙන ආ බවත් සඳහන් කෙරෙනවා. එවැනි අධ්‍යාපන ආයතනවල පැවැත්වෙන උත්සව සඳහා සහභාගි වෙන ගඩාෆි තමුන්ගේ සිත් ගත් තරුණිය පිළිබඳව ආරක්ෂකයින්ට දන්වන්නේ සිහ හිස වැනීමෙන් යැයි සඳහන් වෙනවා. ඔහුගේ ආරක්ෂකයින් ලෙසට සිටියේද හමුදා පුහුණුව ලැබූ තරුණියන් පිරිසක්. ඒ තනතුර සඳහාද සුදුසුකම කන්‍යාවියකවීම බව පැවසෙනවා. මෙලෙස මෙම 'ලිංගික ඇඳිරිගෙය' වෙත රැගෙන එන බාලවයස්කරැවන්ට සජීවීව හෝ වීඩියෝ ගත කළ හෝ ලිංගික දර්ශන පෙන්වා ඔවුන්ට ඒ පිළිබඳ අධ්‍යාපනයක්ද ලබා දුන් බව කියැවෙනවා.

එසේම ඔවුන් ගඩාෆි වෙත ඉදිරිපත් කිරීම පෙර වෛද්‍යපරීක්ෂණවලට ලක්කෙරෙන බවත් සඳහන් වෙනවා. ඒ සඳහා යොදාගත් උපකරණ සහිත වෛද්‍ය කාමරයක්ද මෙම ගොඩනැගිල්ල තුළ තිබී සොයාගෙන තිබෙනවා. වසර ගණනාවක්ම ගඩාෆිගේ ලිංගික  වහලුන් බවට පත්ව සිටි තරුණියන් බොහෝ පිරිසක් ගඩාෆිගේ මරණයෙන් පසුව තමන් විඳි දුක් ඇතුළුව මේ තොරතුරු විදෙස් මාධ්‍ය වෙත එළිදරව් කර තිබෙනවා. මෙම ස්ථාන සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ ඒ අනුවයි.

             

 

 

වත්මන් මිනිසා පැයකට 21 ක් වතාවක් මොබයිල් අතරලු

සාමාන්‍ය පුද්ගලයෙක් සෑම පැයක් තුළදීම 21 වතාවක් ස්මාට්ෆෝන්, ටැබ්ලට් සහ ලැප්ටොප් යන තාක්ෂණික උපාංග අතර හුවමාරු වෙමින් වැඩකටයුතු කරන බව මෑතකදී සිදුකළ සමීක්ෂණයකින් හෙළිදරව් කර තිබෙනවා. බ්‍රිතාන්‍ය ජාතිකයන් 200 දෙනෙකු සම්බන්ධ කරගනිමින් දැන්වීම් සම්බන්ධ පර්යේෂණ ආයතනයක් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා. ඒ අනුව ඉහත සඳහන් කළ වඩාත් ජනප්‍රිය තාක්ෂණික උපාංග මේ තත්ත්වයට උදව් දී තිබෙන බව එම පර්යේෂකයන් පවසනවා.

මේ ගැන වැඩි විස්තර හෙට (8දා) 'අද' පුවත්පතින්…

අපරාධකරුවන් හඳුනාගැනීමේ අලුත් ක්‍රමවේදයක්

යම් කිසි පුද්ගලයෙකු ප්‍රාණ ඇපකරුවෙකු ලෙසින් තබා ගන්නා අවස්ථාවකදී හෝ ලිංගික පීඩාවකට පත් කරන අවස්ථාවකදී ලබාගත් ඔහුගේ හෝ ඇයගේ මුහුණේ ඡායාරෑපයක් ආධාරයෙන් එම අපරාධකරුවන් හඳුනාගත හැකි අලුත්ම ක්‍රමයක් පිළිබඳව යෝක් විශ්වවිද්‍යාලය සිදුකළ අධ්‍යයනයකින් හෙළිදරව් කර තිබෙනවා.

මෙහිදී සිදුවෙන්නේ එම පීඩාවට පත්වෙන්නාගේ ඇසෙහි කණිනිකාවේ සටහන්වන තමන්ගේ ඉදිරියෙන් ඇති පුද්ගලයන්ගේ පරාවර්තිත ඡායාරූප ආධාරකරගැනීමයි. අපගේ ඇසක කණිනිකාව සෑම විටකදීම කලුපැහැති කණ්නාඩියක් ලෙස ක්‍රියා කරන බව මෙම අධ්‍යනයේ ප්‍රධාන පර්යේෂකයා වන වෛද්‍ය ජෙන්කින්ස් පවසා සිටිනවා.

ඒ අනුව අප ආගිය තැන්, අප ගනුදෙනු කරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ඡායාරූපවල ඇති ඇස්මගින් අනාවරණය කෙරෙන බව ඔහු සඳහන් කරනවා.අඩු විභේදනයක් හෙවත් ලෝ රෙසලියුෂන් සහිත පාස්පෝට් ඡායාරූපවලදී පවා මෙවැනි විස්තර සොයා ගත හැකි බව පැවසෙනවා.මේවා ආධාරයෙන් අපරාධකරැවන් සොයා යන පොලිසියට බොහෝ උදව් උපකාර ලැබෙන බවත් වෛද්‍ය ජෙන්කින්ස් පවසනවා.

මේ අධ්‍යනයන සඳහා ග්ලැස්ගෝ විශ්වවිද්‍යාලයේද සහාය හිමිව තිබෙන අතර මෙහිදී පුද්ගලයින් අට දෙනෙකු ඉදිරියේ තවත් සිව් දෙනෙකු තබා ගනිමින් ඡායාරූප අටක් ගෙන  තිබෙනවා. එහිදී අවස්ථා 84% කදී ඔහු හෝ ඇය ඉදිරියෙන් සිටින පුද්ගලයින් කවුද යන වග කණිනිකාවේ පරාවර්තනය වන ඡායාරූපය හරහා ගඳුනාගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

එය සාර්ථක නොවූ තැන දෙවැනි ඡායාරූපයත් සසඳමින් සිදුකළ පරීක්ෂණයේ සියයට 71ක් සාර්ථකවී තිබෙන බව සඳහන් වෙනවා. ඉංග්‍රීසියෙන් පියුපිල් ලෙසින් හැඳින්වෙන කණිනිකාව යන්න පැමිණ ඇත්තේ ලතින් භාෂාවේ ඇති පියුපිලියා යන වචනයෙනුයි. එහි තේරැම වෙන්නේ තරැණිය හෝ බෝනික්කිය යන්නයි. ඒ අනුව මෙහිදීත් යමෙකුගේ කනිනිකාව දෙස බැලූ විට එහිදී අපට කුඩා බෝනික්කියකගේ ආකාරයේ පෙනීමක්  දැකගත  හැකි වන බව මෙම පර්යේෂකයින් පවසනවා.