Author Archives: රච්න්ත ජයවර්ධන

මෙම දරුවාට ඔබේ පිහිට අවැසිය

AID_9458

පුවත්පත් කාර්යාලයට අවුරුදු දහතුනක දරුවකු තම මවත් කුඩා මලණුවනුත් සමග පැමිණ සිටි අතර, ඔවුන් අප කෙරෙන් යම් උදවුවක් බලාපොරොත්තු විය. එය කිසිසේත්ම අපට ඉටු කරන්නට අපහසු උදවුවක් නොවුණු නිසාම මෙම සටහන ලියැවෙයි. අප සැවොම ජීවත් වන පොළොව මත ඉහළ නගින මිනිසුන් සේම ජීවිතයේ අතිශය දුක්ඛිත කාලයන් ගෙවා දමමින් සිටින මිනිසුන් අපට හමුවෙයි.  

අප හැකි පමණින් මිනිසුන් ලෙසින් තම වර්ගයාට ඉටු කළ හැකි තරමේ උදවු කරමින් මේ ජීවිතයේ ඉදිරියට යන මුත් ඒ අතරේ අපට මගහැරෙන අපගේ උදවු අවැසි බොහෝ පිරිසක් වෙයි. මෙම දහතුන් හැවිරිදි දරුවා එසේ මග නොහැරෙනු පිණිස මෙම සටහන තැබෙයි. මේ ඔහුගේ මව විසින් අපට පැවසූ කතාව සංස්කරණයකින් පසුව තබන සටහනයි. මෙම සටහන හා බැඳෙන දත්තවල සක්ෂි අප සතුව ඇති අතර, මෙම කාරණාවට මනුසත් බවින් බැඳෙන පිරිසට අවැසි වන ලෙස ඒවාද මෙම සටහනට එක් වෙනු ඇත.
“පුතාගෙ නම සියුම් ඉඳුවර. වයස අවුරුදු  13 යි. පුතා ඉපදෙනකොට පුතාගෙ ඇස් දෙකේම කළු ඉඟිරියාව තිබුණෙ නැහැ. අත් දෙකේම එක අතක ඇඟිලි දහය ගානෙ විස්සක් තිබුණා. කකුල් දෙකෙත් ඒ විදියටමයි. ඒ ඇඟිලි සියල්ල එකිනෙක බැඳිලයි තිබුණෙ. ඉන්පසුව කුඩා කාලයේදි කොළඹ අක්ෂි රෝහලෙන් පුතාට ඇහැක් බද්ධ කළා. නමුත් සිංගප්පූරු ගිහිල්ලා පරීක්ෂණ කළාම ඒ ඇහැ පේනවා අඩුයි කියල කිව්වා. ඒ සැත්කම සාර්ථක මදියි කියා ඔවුන් පැවසුවා. ඉන්පස්සෙ කැලණියේ සිටින මහත්තයෙකුගේ වියදමින් සිංගප්පූරුවෙනුත් ඔපරේෂන් එකක් කළා. ඒ ඔපරේෂන් එකෙන් පස්සෙ පුතාට ඉස්සරට වැඩිය ටිකක් පේනවා. දැන් පුතා පාට කියනවා. සල්ලි කොළ අඳුන ගන්නවා.

AID_9465

දකුණු අතේ එක් ඇඟිල්ලක් මම ළමා රෝහලෙන් හැදෙවුවා. අනිත් ඇඟිලිවල සැත්කම් කළේ ඩර්ඩන්ස් රෝහලෙන්. ඒ සම්බන්ධ සැත්කම් පුතා පුංචි කාලෙ ඉඳන්ම කරනවා. ඒකෙ අන්තිම ඔපරේෂන් එක කළේ ගිය අවුරුද්දෙ මැයි මාසෙ. වම් අතටත් ඒ වගේම ඔපරේෂන් කරන්න තියෙනවා. දැනට ටිකක් කරලා තියෙන්නෙ. මේ වෙද්දි දරුවාගෙ අත්දෙකට විතරක් ප්ලාස්ටික් සැත්කම් දහයක් කරල තියෙනවා. ඒ කරලයි මේ තත්ත්වෙට ගෙනාවෙ.මෙයාගෙ කකුල පිහිටලා තියෙන විදියට කකුලෙ ඇඟිලි හදන්න අමාරුයි කියල දොස්තර මහත්තයා කිව්වා. ඒ නිසා සෙරෙප්පු දෙකක් දාන්න පුළුවන් වෙන විදියට ඇඟිලි කරු දෙකක් විතරක් හිටින්න හදල දෙන්නට පුළුවන් වග කිව්වා. ඊළඟට ආයෙත් අනිත් අතට කරන ඔපරේෂන් එක කරන්න තියෙනවා. ඒක කරන්නෙ ප්ලාස්ටික් සැත්කම් අංශයේ රොමේෂ් ගුණසේකර වෛද්‍යවරයායි. දැනට අතට කරන්න තියෙන ඔපරේෂන් එකට ලක්ෂ තුනක වියදමක් යනවා. ඒක කරන්න නියමිත වෙලා තියෙන්නෙ ලබන මාසෙ දහ තුන් වැනිදා ඩර්ඩන්ස් රෝහලේදියි. කකුල්වලට යන වියදම ගැන තවම දන්නෙ නැහැ. මේ අතේ ඔපරේෂන් එක ඉවර වෙලා තමයි ඒ ගැන බලන්න වෙන්නෙ”

එසේම දිවයින පුරා නොයෙකු වූ ප්‍රෝඩාකාරී පිරිස් විසින් මෙවැනි අසරණ පිරිස් හරහා මුදල් ගරමින් සිටින අතර එවන් වූ අයෙකු මෙම දරුවා තම කළු සල්ලි වෙනුවෙන් උපයෝගී නොකර ගන්නට තරම් කාරුණික වන්න.

ඡායාරූප – ඉසුරු පෙරේරා

 

iOS සහ Mac උපාංග මුහුණ දුන් අර්බුදය ගැන Apple කියයි

Apple සමාගම අද (05දා) පැවසූයේ සිය ප්‍රොසෙරයන්ගේ දෝෂයන් දෙකක් iOS සහ Mac උපාංග  වෙත බලපෑ බවයි. එය Apple වොච්වලට බලපා නැති මුත් අනෙකුත් සෑම iOS සහ Mac උපාංගයක් වෙතම පාහේ එය බලපාන්නට ඇති බවය. ඒ අනුව මේ වනවිට නව මෙහෙයුම් පද්ධති යාවත්කාලීනයක් එම උපාංග වෙත එවා ඇති අතර හැකි ඉක්මනින් අදාළ උපාංග නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණයට යාවත්කාලීන කරන ලෙසද දන්වා සිටියි.

ඊයේ (04දා) දිනයේ වූ බලපෑ Spectre සහ Meltdown දෝෂ දෙක උපාංග බිලියනයකට අධික ප්‍රමාණයකට බලපා ඇති බව කියැවෙන අතර, මෙම දෝෂ දෙකෙන් ප්‍රයෝජන ගෙන විශාල ලෙස පෞද්ගලික දත්ත පිටතට ඇදීමක් දක්වා හැකර් ප්‍රහාරයක් දියත් වීමට පෙර ඔබේ උපාංග නියමිත දින දක්වා යාවත්කාලීන කිරීම වඩා යෝග්‍යය.

දැනට Intel සමාගමෙන් නිෂ්පාදිත චිප් පද්ධති තුළ පමණක් දැකිය හැකි වන Meltdown දෝෂය නිවාරණයට iOS 11.2, macOS 10.13.2, සහ tvOS 11.2 යන යාවත්කාලීනයන් Apple ​සමාගම නිකුත් කර ඇති අතර Spectre වෙත මුහුණදීමට හැකි යාවත්කාලීනයන් Safari බ්‍රවුසරය හරහා නුදුරේදීම නිකුත් කරනු ඇත.

මෙම දෝෂවලින් ප්‍රයෝජන ගෙන අවභාවිතාවක් කරන්නට හැකියාව ඇති වන පරිදි අත්තනෝමතික ක්‍රමවලින් මෘදුකාංග හා යෙදුම් බාගත කිරීම සහ ස්ථාපනය නවතන ලෙසත්, ඒ වෙනුවෙන් App Store පමණක් භාවිත කරන ලෙසත් Apple සමාගම දන්වා සිටියි.

Microsoft, Amazon සහ Google යන සමාගම් ද Intel භාවිත කරන උපාංග වෙනුවෙන් සිය යාවත්කාලීනයන් මේ වනවිට නිකුත් කර ඇත. එසේම මෙම යාවත්කාලීනයන් යෙදීම ඔබේ පරිගණකයේ කාර්යක්ෂමතාව මදක් පහළ බස්වනු ඇති බවත් සිහිපත් කළ යුතුය. ඒ මෙම දෝෂ ඇතිවන්නේ ඔබේ ප්‍රොසෙසරය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ගන්නා තාක්ෂණික උත්සාහයන් නිසවෙන් බැවිනි. මෙය විශාල ජාලගත පද්ධතීන් සමග ගනුදෙනු කරන විශාල ප්‍රොසෙසර වේගයක් අවැසි සමාගම්වලට නම් තරමක් විශාල බලපෑමක් සිදු කරනු ඇත.

Intel ප්‍රධාන විධායක නිලධාරී Brian Krzanich තම සමාගමෙන් නිපද වූ බිලියන පමණ වූ චිප්වල ඇතිවූ දැඩි දෝෂ හඳුනාගෙන මේ වනවිටත් විශාල ලෙස සිය සමාගම් කොටස් විකුණා ඇති අතර මේ වනවිට ඔහු සතුව ඇත්තේ ඔහු විසින් පවත්වා ගත යුතු අවම කොටස් ප්‍රතිශතය පමණක් බවත් CNN පුවත් අඩවිය වාර්තා කරනවා. නමුත් Intel සමාගම පවසන්නේ සිය ප්‍රධාන විධායක නිලධාරියාගේ කොටස් විකිණීම හා මේ සිදුවීම් අතර සම්බන්ධයක් නොමැති බවය. එසේම පසුගිය දින දෙක තුළ මෙම හේතුව නිසා සමාගම් කොටස් සියයට 6කින් පමණ පහළ බැස ඇත.

මෙම අර්බුද මගහැරීම වෙනුවෙන් සිදුකිරීමට ඇත්තේ මෙම ප්‍රොසෙසර සහ මුලින්ම ප්‍රථිස්ථාපනය කිරීම වුවත් එය ඉක්මනින් සිදු කළ හැක්කක් නොවේ. තවමත් මෙම දෝෂ නොමැතිව මෙතරම් වේගයක් සහ කාර්යක්ෂමතාවක් ලබා දිය හැකි ප්‍රොසෙරයක් වෙළෙඳපොළේ නොමැති නිසාද තත්ත්වයට විසඳුමක් සෙවීම අපහසුය. එම තත්ත්වයට දෝෂ රහිතව චිප් පද්ධතියක් හඳුන්වා දීමට තවත් වසර දෙකක් පමණවත් ගත වනු ඇතැයි විශේෂඥයෝ පවසති.

 

සීඑන්එන් සහ රොයිටර්ස් පුවත් සේවා ඇසුරෙනි.

170322171653-cyber-security-misconceptions-1024x576

බොන්හැම් සත්ත්වෝද්‍යානයේ උපන් ලංකාවේ කොටි පැටවුන්

එංගලන්තයේ නෝෆෝක් ප්‍රාන්තය පුරා අපූරු තරගයක් පැවැත්වෙනවා. ඒ බොන්හැම් සත්ත්වෝද්‍යානයේ ඉපදුනු ශ්‍රී ලංකා කොටි පැටවුන් දෙදෙනෙකුට නම් තැබීම වෙනුවෙනුයි. එළඹෙන සිකුරාදා දිනයෙන් අවසන් වනමෙම තරගයට අදාළ ලංකා කොටි පැටවුන් දෙදෙනා ඉපදී ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බරයේයි.

මෙම සිදුවීම සත්ත්වෝද්‍යානයටම විශේෂිත සිදුවීමක් වූ බව සත්ත්වෝද්‍යාන කළමනාකාර මයිකල් වූල්හැම් පවසයි.

“කැලෑවේ දැනටත් සිටින්නේ දහසකටත් අඩු ලංකා කොටි ප්‍රමාණයක් නිසා මෙම කොටි පැටවුන් දෙදෙනා පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමුවෙනවා. මෙම කොටි පැටවුන් දෙදෙනාගේ දෙමවුපියන් වසර කිහිපයක්ම මෙම සත්ත්වෝද්‍යානයේ සුවපහසුවෙන් සිට ඇති අතර, ඔවුන් පැටවුන් ලද පළමු අවස්ථාව මෙය වෙනවා.“

එසේම මෙම පැටවුන් දෙදෙනාගේ මව වන සරිස්කා ඉතා ගුණවන්ත සහ ආරක්ෂාකාරී මවක්බවත්, එනිසාම පැටවුන් දෙදෙනා සුවෙන් වැඩෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.මෙම පැටවුන් දෙදෙනාම ගැහැනු සතුන් බවද පැවසෙයි.

image image (4) image (3) image (2) image (1)

ෆිල් ජෝන්සි වැඩ අරඹයි

ඔස්ට්‍රේලියානු ජාතික මනෝවිද්‍යා උපදේශකයෙකු වන වෛද්‍ය ෆිල් ජෝන්සි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හැකියා මට්ටම් ඉහළ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළ ආරාධනයකට අනුව, ඊයේ(03දා) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී සිය වැඩ කටයුතු ආරම්භ කළේය.

ඒ අනුව වෛද්‍ය ජෝන්සි ජාතික කණ්ඩායම සමගින් සිය වැඩ කටයුතු ආරම්භ කළ අතර, ඒ ඒ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම් හඳුනාගෙන,මනා සන්නිවේදනයක් පවත්වා ගනිමින් පුහුණුවීම් සහ අධ්‍යයනයන් වෙනුවෙන් කටයුතු කරන අයුරු සකසමින් ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන්ද දැනුම්වත් කිරීම සිදුකරයි.

මනෝවිද්‍යාව සහ උපදේශනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් සහිත වෛද්‍ය ජෝන්සි ග්‍රිෆිත් සහ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලවල ආචාර්යවරයෙකු ලෙසින්ද කටයුතු කරයි. ‘Understanding Ourselves and Others’, ‘Management Education’, සහ‘The Power of Positive Doing’ වැනි කෘතීන් රචනා කර ඇති ජෝන්සි දැනට ඔස්ට්‍රේලියානු බේස්බෝල් කණ්ඩායමේ නිල මනෝ උපදේශකවරයා ලෙසද කටයුතු කරයි.

unnamed (1) unnamed

 

බංග්ලාදේශ පුහුණුකාරීත්වයට මහේල සංගා බෑ කියයි

එළැඹෙන 15 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ, ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ තුන්කොන් එක්දින තරගාවලියට පුහුණුකරුවෙකු නොමැතිව තරග කිරීමට බංග්ලාදේශය තීරණය කර තිබේ. එසේම ඉන්පසු ශ්‍රී ලංකාව හා පැවැත්වෙන ටෙස්ට් සහ විස්සයි විස්ස තරගවලටද තත්ත්වය එයාකාරයෙන්ම පවතිනු ඇත. බංග්ලාදේශ ක්‍රිකට් කමිටු සභාපති නස්මුල් හසන් මේ පිළිබඳ පැවසුවේ, දැනට සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කරන රිචඩ් හල්සාල් පුහුණුකාර ධුරයේ ප්‍රධානීත්වයට පත්වනු ඇති අතර, කණ්ඩායමේ කළමනාකාර කලීඩ් මහමූද් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩකයන් වන ශකීබ් අල් හසන් සහ මෂ්රෆී මෝටාසා නිල පුහුණුකරුවෙකු පත්වන තුරු ඒ පිළිබඳ වගකීම් දරනු ඇති බවයි.

පසුගිය නොවැම්බරයේ චන්දික හතුරුසිංහ සිය තනතුරින් ඉවත් වීමෙන් අනතුරුව හිස් වූ පුහුණුකාර නිලයට තවමත් පුහුණුකරුවෙකු සොයමින් පසුවන බව සභාපති හසාන් ප්‍රකාශ කළේය.

මේ වනවිට බංග්ලාදේශ ක්‍රිකට් කමිටුව ඇන්ඩි ෆ්ලවර්, ජස්ටින් ලැන්ගර්, ටොම් මූඩි, මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර යන හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් හතුරුසිංහගෙන් හිස් වූ තනතුරට ගැළපෙන අපේක්ෂකයන් ලෙස දන්වා සිටියත් ඔවුන් එම අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබේ.

පුහුණුකාර පිරිසේ සහායක තනතුරු සියල්ල ඒ අයුරින්ම පැවතුනද හල්සාල් විසින් දැනට සියලුම පැති පිළිබඳ අධීක්ෂණය සිදු කරනු ඇති බව සභාපති හසාන් පැවසීය.

එතෙක් මෙම තත්ත්වය සමග කණ්ඩායමේ වගකීම වැඩි වශයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සතු වනු ඇති අතර, තමන් ඔවුන් මෙම අභියෝගය ජයගැනීම සම්බන්ධව විශ්වාසය තබන බවද සභාපති හසාන් වැඩිදුරටත් පැවසීය.

 

(ක්‍රික්ඉන්ෆෝ සහ ඩේලිස්ටාර් ඇසුරෙනි)

sanga-mahela

පවතින මතවාදයන්ට අභියෝග කරන ‘රාවණ නොකී පුරාවත’

වසර 7500කට පෙරාතුව සිටියා යැයි සැලකෙන රාවණ රජු පිළිබඳ පසුගිය කාලය පුරාවටම නොයෙක් වූ පුවත් දැක ගැනීමට හැකිවිය. නොයෙක් වූ දේශපාලන බලවේග සේම නොයෙක් වූ විශ්වාස මත සකසා ගත් කණ්ඩායම් තම මතය ඒ පිළිබඳ විවරණය කරමින් තිබිණ. මේ එම කතාබහට නව මානයක් එක් කරන නිර්මාණාත්මක කටයුත්තකි. මෙය ලංකාව තුළ සිදුවන දෙවැනි බැලේ ඔපෙරාවයි. නිර්මාණ කාර්යය සිදුවන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් අතිනි. නිර්මාණය මෙහෙයවනුයේද විශ්වවිද්‍යාල පසුබිම තුළදීය. එයට නිර්මාණාත්මක මෙහෙයවීම සිදුවෙන්නේ රනාරා ඇකඩමියෙනි. ඒ ලංකාවේ පළමු බැලේ ඔපෙරාව වන පඨවි නිර්මාණය කළ පිරිසය. ඒ අනුව 'රාවණ නොකී පුරාවත' එළැඹෙන ජනවාරි 05 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහළේදී රංගගත වීමට නියමිතය. මේ ඒ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලය, මෙහි මූලික හෙබවීම සිදුකරන කොළඹ විශ්වවිද්‍යාලයේ කලා කවුන්සිලය සහ රනාරා ඇකඩමිය යන පාර්ශ්ව දක්වන අදහස් එක්වෙන සටහනකි.


ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක උපකුලපති – කොළඹ විශ්වවිද්‍යාලය

සෞන්දර්යය කටයුතු වෙනුවෙන් අපට ශ්‍රීපාලි මණ්ඩපය තිබෙනවා. ඔවුන් විවිධ වූ කලා නිර්මාණ කරනවා. නමුත් එය විශ්වවිද්‍යාලය පාර්ශ්වයෙන් ගත්තොත් අපට උපාධි අපේක්‍ෂකයන් 12000ක් සහ බාහිර උපාධි අපේක්‍ෂකයන් 8000ක් පමණ සිටිනවා. පීඨ 09ක් සහ ආයතන DSC_058807ක් තිබෙනවා. අපෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ළමුන්ගේ කලා කුසලතා නංවන්නට ඉල්ලා සිටිද්දී, සංගීත සන්දර්ශනයක් වගේ හැම තැනම දකින්නට පුළුවන් දෙයක් නොකර මතක හිටින නිර්මාණයක් කරන්න අපි තීරණය කළා. අපට අනිත් නිර්මාණවලට වඩා වෙනස් සහ අලුත් දෙයක් කරන්න වුවමනා වුණා. මම මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න ආවේ 1973 වසරේදී. දැන් මගේ 44 වැනි අවුරුද්ද තමයි මේ විශ්වවිද්‍යාලය තුළ ගෙවෙන්නෙ. මම මෙයට ආදරෙයි. එනිසා මට විශ්වවිද්‍යාලයට මෙයින් යමක් කරන්න වගේම පෙරළා ඉන් සමාජයට සෙතක් කිරීමේත් අවශ්‍යතාව තිබෙනවා. 

අපි සතුව නොදකින ලද දක්‍ෂතා තියෙනවා. ශ්‍රීපාලි මණ්ඩපයේ දක්‍ෂතා එළියට ඇවිත් තිබෙනවා. නමුත් අපේ සිසුන්ගේ කලා කුසලතා එළියට ඇවිත් නැහැ. මම මෙහි අතිදක්‍ෂ සිසුන් පැමිණ සිටිනවා පරම්පරා ගණනක් තිස්සේ දැක තිබෙනවා. මට ඒ දක්‍ෂතා එළියට ගත යුතුයි. අපට කලාව අවශ්‍යයි. ඒ සෞන්දර්යය අප විඳිය යුතුයි. අපි අවුරුදු 400ක් ජීවත් වෙන්නෙ නෑ. එනිසා අපි මේ කෙටි කාලය විඳිය යුතුයි. අපට කලා කවුන්සිලයක් තියෙනවා. එහි හිටපු සභාපතිනිය වන ආචාර්ය කෝකිලා කෝනසිංහ නීති පීඨයෙන් පැමිණෙන්නෙ. වර්තමාන සභාපතිවරයා වන මහාචාර්ය ඇන්තනී වෛද්‍ය පීඨයෙන් එන ශල්‍ය වෛද්‍යවරයෙක්. අපි බොහෝ සාකච්ඡා වට පවත්වා දැක ඇති අලුත් දේ වෙනුවට තවත් අලුත් දෙයක් නිර්මාණය කරන්න තීරණය කළා.

විශ්වවිද්‍යාල සිසුන් කිව්වාම වර්ජන විතරයි පෙන්වන්නෙ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා එහෙම තමයි. ඒ තරම් නිදහසක් කවදාවත් එන්නෙ නැහැ. අපිත් විශ්වවිද්‍යාල සිසුන් අවධියේ දේශපාලනය කළා. විශ්වවිද්‍යාල සිසුන්ගේ මෙවැනි නිර්මාණත් 
පෙන්විය යුතුයි.

ආචාර්ය කෝකිලා කෝනසිංහ කලා කවුන්සිලයේ හිටපු සභාපතිනී නීති පීඨ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය

DSC_0599මේ වෙනුවෙන් මුල් අඩිතාලම වැටෙන්නේ මම කලා කවුන්සිලයේ සිටින කාලයේයි. වර්තමානයේදී එහි සභාපතිව සිටින ඇන්තනී මහාචාර්යවරයා සමග අපි මේ කටයුත්ත ඉදිරියට ගෙන යනවා. අපි මෙම කටයුත්තට තේමාව විදියට රාවණා තෝරා ගැනීමට විශේෂ හේතුවක් තියෙනවා. ඉන්දියාවේ පොඩි දරුවා පවා රාවණා ගැන දන්නවා. ඔවුන් තුළ දැඩි බියක් රාවණා කෙරෙහි තියෙනවා. නමුත් මම විශ්වාස කරන විදියට ඉතිහාසය කියන්නෙ ප්‍රබන්ධයක්. ඒ වෙනුවෙන් විවිධ නිර්මාණ කරන්න පුළුවන්. ඒ නිදහස අපි හැමෝටම තියෙනවා. මේ කරන්නෙ අපි රාවණාව දකින විදිය. අපි දඬුමොනරය ගැන අහලා තියෙනවා.

නමුත් කවුද ගුවන්යානය නිර්මාණය කළේ කියලා ඇහුවොත් අපි බොහොම සතුටෙන් රයිට් සහෝදරයෝ කියලා පිළිතුරු දෙනවා. ඒ අපට කාවද්දපු දේ. අපට අපේ දේ ගැන විශ්වාසයක් නැහැ. ඒක තමයි අපිව හැඩගස්වපු විදිය. ඒ නිසා අපි ඒ සිස්ටම් එකට අභියෝග කරලා බලන්න හිතුවා. මොකද අපි විශ්වවිද්‍යාලයක්. අපි නොයෙක් වූ පර්යේෂණ සහ සමීක්‍ෂණ කරනවා. මේක තනිකරම අලුත් නිර්මාණයක්. ඉතිහාසය ප්‍රබන්ධයක් නිසාම අපට අපේ මතය කරන්න පූර්ණ නිදහස තියෙනවා.


මේක කලා නිර්මාණයක් වුණත් මේක කරන එක විශාලතම අභියෝගයක්. අපට මේක කකුල් දෙක පොළොවෙ තියාගෙන බාර ගන්නට ශක්තියක් වූ උපකුලපතිතුමාට අපි බොහෝම ස්තුතිවන්ත වෙන්න ඕන. මේ වගේ ශක්තියක් උඩින් නොලැබුණාම මේ වගේ දෙයක් කරන්න සාම්ප්‍රදායික අධ්‍යාපනික රටාව ඇතුළෙ තියෙන නිදහස අහිමි වෙනවා. රනාරා ඇකඩමිය වෙනුවෙන් තනූජා බන්ධුල මහත්මිය අපේ තෝරා ගැනීම කිසිම තැනකට ප්‍රශ්නයක් නොවන අයුරින් සාර්ථක නිර්මාණයක් බවට පත්කළා. මේක සිද්ධ කරන්නෙ අවම පහසුකම් යටතේ. මේ ශිෂ්‍යයන්ටත් මේ ගෞරවය යා යුතුයි. ඔවුන් අධික කැපකිරීමක් මේ වෙනුවෙන් කරනවා. ඔවුන් පරීක්‍ෂණවල නියැළෙනවා. දේශනවලට සහභාගි වෙනවා. ඒ අතරේ තමයි මෙයටත් කැපවෙන්නෙ.

මහාචාර්ය ඩී.ජේ. ඇන්තනී කලා කවුන්සිලයේ වර්තමාන සභාපති වෛද්‍ය පීඨය – කොළඹ විශ්වවිද්‍යාලය

DSC_0594අපි විශේෂයෙන්ම මෙහිදී භද්‍රජී මහින්ද ජයතිලකයන්ව සිහිපත් කළ යුතුයි. ඔහු තමයි අප තෝරා ගත් පෙළ රචකයා. ඔහු සම්බන්ධයෙන් කෘති ගණනාවක්ම රචනා කර තිබෙනවා. ඔහු විදෙස්ගතව සිටින්නෙ. ඔහු මෙය බාරගත්තෙ අපි ලබාදෙන ඕනෑම මුදලක් බාරගන්නා පොරොන්දුව පිට. එතරමටම ඔහු නිහතමානී මනුෂ්‍යයෙක්. ඔහුගේ පිටපත දිගින් වැඩි වුණාම එය අපට අවැසි අයුරින් කෙටි කරගන්න පවා ඔහුගේ පූර්ණ අනුමැතිය සහ සහාය ලබාදුන්නා. ඔහු කැලිෆෝනියාවේ සිට මේ වෙනුවෙන්ම තවත් පිරිසක් සමග මෙරටට පැමිණෙන්නට නියමිතය.

මෙම නිර්මාණයට ළමුන් 35ක් සහභාගි වෙනවා. ඉන් පිරිසක් බැලේ නිර්මාණය වෙනුවෙනුත් අනෙක් පිරිස ඔපෙරාව වෙනුවෙනුත් නිර්මාණ කාර්යයේදී වෙන්වෙනවා. අපි මේ වෙනුවෙන් රනාරා ඇකඩමියට ආරාධනා කළේ ඔවුන් පළමු බැලේ ඔපෙරාව වන පඨවි නිර්මාණය කළ නිසා. මේ ලංකාවේ සිදුවෙන දෙවැනි බැලේ ඔපෙරාව. ඒ අනුව රනාරා ඇකඩමියෙන් මෙහි බැලේ නර්ථන වින්‍යාසයන් සහ ඔපෙරා නිර්මාණය සිදුවෙනවා. අපි මෙම සිසුන් තෝරා ගත්තේත් පරීක්‍ෂණයකින් පසුවයි.

තනූජා බන්ධුල 'රාවණ නොකී පුරාවත' නිර්මාණයේ නර්තන සහ සංගීත අධ්‍යක්‍ෂක රනාරා ඇකඩමිය

AID_7956කොළඹ විශ්වවිද්‍යාලයේ ආරාධනාවක් පිට තමයි අපි මෙයට සම්බන්ධ වෙන්නෙ. අපේ 'පඨවි' බැලේ ඔපෙරාව අන්තර්ජාලයෙන් දැකලා ඔවුන් අපිව තෝරගෙන තිබුණේ. ඒ ලංකාවේ පළමු බැලේ ඔපෙරාවයි. ඒ ආරාධනාව අපට අභියෝගයක් වුණේ නැහැ. මට අභියෝග දෙකක් තිබුණා. ඒ ළමුන් පුහුණු කර ගැනීම සහ පෙළ සම්බන්ධයෙනුයි. මෙහි පෙළ පිටපත ලියන්නෙ ප්‍රවීණ රචක භද්‍රජී මහින්ද ජයතිලකයන් විසින්. ඔහු ඉතා නිහතමානී කලාකරුවෙක්. ඒ  අභියෝගය වුණේ පිටු 79ක පිටපතක් පිටු 38කට ගෙන ආ යුතු නිසා. ඒ අභියෝග දෙකම සාර්ථකව කර ගන්නට හැකිවුණා.

ළමුන් ඉතා විශාල සහායක් ලබා දුන්නා. වෛද්‍ය පීඨය, විද්‍යා පීඨය, නීති පීඨය, කළමනාකාරණ පීඨය වගේ හැම ඒකකයකින්ම සිසුන් අප හා සම්බන්ධ වුණා. මාස හයක් නොකඩවා පුහුණු වීම් කටුයුතුවල යෙදුණා. සිසුන් 35 දෙනෙකු සම්බන්ධ වෙනවා. ඔපෙරා ගායනයෙන් සිසුන් 09 දෙනෙකු සම්බන්ධ වෙනවා. අනෙක් සියල්ලේ බැලේ නිර්මාණයට එක්වෙනවා. 


බැලේ නිර්මාණයක් සිදුවෙන නිසා සජීවීව සංගීතය සපයන්න හැකියාවක් නැහැ. එනිසා අපට එය පටිගත කරන්න සිදුවුණා. ඇඳුම් නිර්මාණය කරන්නෙ ලස්නි වත්සලා විසින් රනාරා ඇකඩමිය වෙනුවෙන්. ඇය ඉතාම කාලෝචිතව ඒ නිර්මාණය කළා. සම්ප්‍රදාය සමග ගැටිගැටී සිටින්නේ නැතුව එතැනින් ඉදිරියට යන්න, බටහිර ශිල්ප ක්‍රම යොදාගෙන අපි පොඩි වෙනස්කම් සිදුකළා. පසුතල නිර්මාණය වෙන්නෙ ඉන්ද්‍රජිත් මර්තිස් අතින්. ඔහු රාවණ යුගයේ ගෘහනිර්මාණ ශිල්ප පවා අධ්‍යයනය කළා. මේ සියල්ල පිටුපස ඉන්නෙ රනාරා ඇකඩමිය වෙනුවෙන් ප්‍රධාන සංවිධායක නිලංග විජේසූරිය. 

මෙතැනට එන්නෙ කොහොමත් දක්‍ෂ දරුවන්නෙ. බටහිර මුද්‍රා නාට්‍ය ක්‍රම නොවුණත් මේ සියලු දරුවන් පාසල් කාලයේ නොයෙකුත් ගායන, නර්තනයන් ඉදිරිපත් කර ඇති. එතකොට ඔවුන් පුහුණු කරන්න ලොකු වෙහෙසක් දරන්නට සිදු නොවුනත් ඔපෙරා ගායන ශෛලියට ඔවුන් පුහුණු කරන්න මට තරමක වෙහෙසක් දරන්නට සිදුවුණා. මෙතැන ඔපෙරා අධ්‍යයනයක් කළ කිසිවෙක් නැහැ. බටහිර මුද්‍රා නාට්‍ය ශිල්පයේ තියෙන ඇඟිලි තුඩුවලින් ගමන් කිරීම පවා ඔවුන් පුහුණු වුණා. ඒ ගැන සිතන්නටත් පවා අපහසුයි.
උපකුලපතිතුමා, ආචාර්ය කෝකිලා කෝනසිංහ මහත්මිය, සුරංග දසනායක, මහාචාර්ය ඇන්තනී යන පිරිස සියල්ලන් එකමුතුව අපි සහයෝගය දැක්විය හැකි උපරිම විදියට ඉටුකළ යුතු සියලු පාර්ශ්වයන්ගෙන් සහයෝගය දක්වනවා.

රචින්ත ජයවර්ධන / ඡායාරූප – ඉසුරු පෙරේරා

AID_7972 copy

සුවසැරිය 1990 ගිලන් රථ සේවාව රට පුරා

සුවසැරිය 1990හදිසි ගිලන් රථ සේවාවේ දෙවැනි අදියර යටතේ ගිලන් රථ 209ක් ලබාගැනීමේ එකඟතා ගිවිසුමට අත්සන් තැබීම හෙට (03දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතය.

ඒ යටතේමෙම සේවාව රටේ සියලුම ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාත්, ඉන්දියාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු මහතාත් එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

මෙම වැඩසටහනෙහි මුල් අදියර යටතේ ලබාගන්නා ලද ගිලන් රථ 88 බස්නාහිර සහ දකුණු පළාත් සඳහා යොදවා තිබිණි. දෙවැනි අදියර යටතේ ලබාගන්නා ගිලන් රථ 209 රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සේවය සඳහා යෙදවීමට රජය සැලසුම් කර තිබේ.

ambulance 1990

‘සුදර්ශි’ වේදිකා පුනරාගමනය

ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය හා බැඳුණු සුන්දර අතීතයක් කොළඹ සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය නොහොත් සුදර්ශියට ඇති අතර, මේ මොහොතේ දකින්න ලැබෙන සිංහල වේදිකා නාට්‍යයේ පසුබෑම සමග යළි එම තත්ත්වය නගාසිටුවීමේ සුදර්ශියේ වගකීම ඉටුකරනු වස් එහි වත්මන් ලේකම් සමන්ප්‍රිය මාරසිංහයන් නව ව්‍යාපෘතියක් අරඹා තිබේ. ඒ පැරණි නාට්‍ය කිහිපයක්ම නව නිෂ්පාදනයන් ලෙස එළිදැක්වීමය. ඒ අනුව පළමු වරට විජිත ගුණරත්නයන්ගේ 'සාක්කි' වේදිකා නාට්‍ය නව නිෂ්පාදනයක් ලෙස නිමල් චන්ද්‍රසිරි අතින් සිදුවන අතර, %සාක්කි^හි මුහුරත් උලෙළ පසුගියදා මස 31 වැනිදා කොළඹ සුදර්ශි ශාලාවේදී පැවැත්විණි. මේ ඒ අතරතුර 'අද' පුවත්පත සමගින් සමන්ප්‍රිය මාරසිංහ දැක්වූ අදහස්ය.


DSC_1209

සුදර්ශි වේදිකා පුනරාගමනයේ පසුබිම සහ සැලසුම්

මේ ව්‍යායාමය අපි නම් කරන්නේ සුදර්ශි වේදිකා පුනරාගමනය නමින්. මේ රටේ නාට්‍ය සංස්කෘති කිහිපයක් තිබුණා. ඒ අතරේ ලයනල් වෙන්ට්ඩ් සංස්කෘතිය, සුදර්ශි සංස්කෘතිය සහ වයි.එම්.බී.ඒ. සංස්කෘතිය ප්‍රමුඛ වුණා. වයි.එම්.බී.ඒ. සංස්කෘතිය මේ වෙද්දි නැවැතිලා තියෙනවා. ලයනල් වෙන්ට්ඩ් සංස්කෘතියත් ඉංග්‍රීසි වේදිකාවට පමණක් සීමාවෙලා තියෙනවා. සිංහල සංස්කෘතික ආයතනය තමයි කලාකරුවාට කලාව වෙනුවෙන් නීත්‍යනුකූලව වෙන්කරලා තියෙන එකම ආයතනය. අපි මේ සංස්කෘතිය සහ මේ ආයතනය යළි ගොඩනැගීමේ අරමුණිනුයි මේ ව්‍යාපෘතිය කරන්නේ. ඒ නිසා එය පෝෂණය කරමින් ඉදිරියට යෑමයි අපේ වුවමනාව. එනිසා එහි ඉදිරි පියවරක් විදියටයි %සාක්කි^ ඇතුළුව ලංකාවේ බිහි වූ විශාල නිර්මාණ කිහිපයක්ම අපි යළිත් නිර්මාණය කරන්නෙ. දැනට %සාක්කි^ නව වසරේ ජනවාරි මාසයේදී ඇරඹෙනවා. 'ලිහිනි' 1993 වසරේදී රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන නමයක් ලබාගත් නාට්‍යයක්. එයත් නිෂ්පාදනය කිරීමට නියමිතයි. ඊට අමතරව අපි %මුහුදු පුත්තු^ වැනි නාට්‍යයක් වගේම, සුගතපාල ද සිල්වා මහත්තයාගේ %දුන්න දුනුගමුවේ^ වැනි නාට්‍යයක් කරන්නට බලාපොරොත්තු වෙනවා.

'සාක්කි' හි නියමුවන් සහ ගොඩනංවන්නන්

'සාක්කි' කියන්නෙ දාරියෝ ෆෝ කියන ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවාගේ නාට්‍යයක අනුවර්තනයක්. මෙහි මුල් නිෂ්පාදනය වුණේ විජිත ගුණරත්නයන් අතින්. වර්තමාන නව නිෂ්පාදනය සිදු වෙන්නෙ නිමල් චන්ද්‍රසිරි අතින්. මෙහි රංගනයෙන් ශ්‍යාම් ප්‍රනාන්දු, ජනක කුඹුකගේ, නිමල් චන්ද්‍රසිරි, ඕෂධී ගුණසේකර සමග රවී ප්‍රනාන්දු දායක වෙනවා. සංගීතය නිර්මාණය වෙන්නෙ ගයාත්‍රී කේමදාස අතින්. මෙයට මූල්‍ය දායකත්වය දෙමින් මෙහි ශක්තියක්ව පසුපස සිටින්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ නිර්මාණ සංසදය වෙනුවෙන් පාලිත දේදුනුපිටිය මහත්මයායි. 

DSC_1212

වර්තමාන සිංහල වේදිකා නාට්‍යයේ පසුබැසීම සහ සුදර්ශියෙන් ලබාදෙන ජවය

සුදර්ශියේ බලාපොරොත්තුව තමයි මේ අඩපණ වූ ක්‍රමයට ජවය ලබාදීම. අද පවතින්නේ පැකේජ් නාට්‍ය ක්‍රමයක්. නාට්‍ය දුවලා ඉවර වෙලා සල්ලි ටික අරගෙන යන්නයි තියෙන්නෙ. මේවායේ රංග වින්‍යාසය හෝ රංග ශාලාවක තිබිය යුතු ගුණාංග කිසිවක් නොතකා වැඩකටයුතු සිදුවෙනවා. නමුත් මේ දැවැන්ත වේදිකාව රැකගත යුතුයි. ඒ වෙනුවෙනුයි අපි මේ උරදෙන්නේ.

සුදර්ශියේ අතීතය සහ වර්තමානය ලේකම්වරයා

සුදර්ශි ආයතනය බිහිවෙන්නෙ 1954 වසරේ දී. එහි මුල් කණ්ඩායමේ වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ මව වන නාලිනී වික්‍රමසිංහ මැතිනියත් සිටියා. එතුමිය සමග එදා හිටපු ප්‍රභූ පැළැන්තිය මේ කලාකරුවන් වෙනුවෙන් යමක් කළ යුතුයි කියන තැනට වැඩ කරනවා. ඉන් පස්සෙ 1969 සිට 1981 දක්වා මෙහි ලේකම්වරයා වෙන්නේ දයානන්ද ගුණවර්ධන මහතා. ඒ සමයේ %ගජමන් පුවතේ^ සිට එතුමා කරපු නාට්‍ය සහ මේ ආයතනය තුළින් එකල ආභාසය ලැබූ කලාකරුවන් නිෂ්පාදනය කළ නාට්‍ය දැවැන්ත ප්‍රමාණයක් බිහිවුණා. ඒවා මේ රටේ බැබළෙමින් තිබුණා. ඒ අනුව මේ වෙද්දි මේ සංස්කෘතිය රැකගන්න අප ඒ සියලු ආභාසයන් අරගෙන ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.
2017 දීත් සුදර්ශියට අලුත් ගොඩනැගිලි කිහිපයක් එකතු වුණා. 2018 අවුරුද්ද තුළත් සුදර්ශියට භෞතිකමය නව වෙනස්කම් (වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක් සහ රංග ශාලාවක් ප්‍රධාන කොට) කිහිපයක් වගේම නව නිර්මාණ (සුදර්ශි වේදිකා පුනරාගමනය) බොහෝමයක් මේ ඇතුළෙන් සිදුවන්නට නියමිතයි. 

071-6840980

රචින්ත ජයවර්ධන /   ඡායාරූප – ශමීර රාජපක්‍ෂ

DSC_1225

හෙඩ්ෆෝන් වර්ග හතක්

තාරුණ්‍යය අතර ස්මාට්ෆෝනයකට සමාගාමීව භාවිත වන උපාංගයක් ලෙස හෙඩ්ෆෝන් හැඳින්විය හැකිය. සංගීතය රිසි පිරිස අතරේ තම අවශ්‍යතාවනට සුදුසු ලෙසින් විවිධ වූ අයුරින් භෞතිකමය සේම අභ්‍යන්තරික තාක්ෂණික වෙනස්කම් සහිතව හෙඩ්ෆෝන් බිහිවේ. 


01. ඉන් ඉයර් මොනිටර්ස් (IEM) සහ ඉයර්බඩ්ස්

1ear buds

කන තුළ සිරවී ඇතුළතට කිඳා බසින මෙම හෙඩ්ෆෝන් විශේෂය මගතොට බහුලව දැකිය හැකි හෙඩ්ෆෝන් විශේෂයකි. මෙහි කන තුළට යැවෙන කොටස බොහෝවිට රබර් විශේෂයකින් සැකසෙන අතර, මගතොට ඇවිදින, ව්‍යායාම කරන පුද්ගලයන්ට පහසුවෙන් මෙය භාවිත කළ හැකිවේ. මෙම කන තුළට යන කොටස විවිධ ප්‍රමාණයන්ගෙන් පැමිණෙන අතර, එය ඔබට සුදුසු පරිදි වෙනස් කරගත හැකිය. මෙම ඉයර්ෆෝන්වලින් බාහිර ශබ්දය මගහරවා සම්පූර්ණ ගී රස වින්දනයක් ඔබට ලබාදේ. නමුත් ඉයර්බඩ් සහිත හෙඩ්ෆෝන් කන අභ්‍යන්තරයට නොගොස් පිටත රැඳෙයි. එයින් පෙර තරමේ වින්දනයක් ලබන්නට නොහැකි වන්නේ එයින් බාහිරින් පැමිණෙන ශබ්දය මැකීමේ හැකියාව අවම වන නිසාත්, හොඳින් කනට සවි නොවන නිසාත්ය.


02. ඕවර්-ඉයර්

2

මෙය කන පිටතින් වසාගනිමින් සංවෘත කවරයක් කන වටා සාදා හඬ නංවයි. එය කුෂන් එකකින් සිදුවේ. කනට අපහසු ඕවර් – ඉයර් හෙඩ්ෆෝන් සේම පහසු නිෂ්පාදනද වෙළෙඳ පො‍ෙළ් ඇති අතර, ඔබට සරිලන උපාංගය ඒ අනුව තෝරාගත හැකිය. 


03. ඔන්-ඉයර්

3

ඔන් ඉයර් හෙඩ්ෆෝන්වල පෙනුම ඕවර් ඉයර් මෙන්ම වුවද, එය කන වටා නොරැඳී කන මතට සිටින්නට හිස මතින් ඇදෙන ආධාරකයේ සිට සවි වේ. මෙම ඉයර්ෆෝන් හොඳ හඬක් නැංවුවද ඕවර්-ඉයර් හෙඩ්ෆොන්වලට වඩා බේස් ශබ්දය අඩු වී දැනේ.


04. රැහැන් සහිත හෙඩ්ෆෝන්(වයර්ඩ්)

4

මෙය හෙඩ්ෆෝන්, පරිගණක හෝ ශබ්දය නිකුත් කරන උපාංග හා වයරයකින් බැඳෙයි. මෙහි වාසි ලෙස ගුණාත්මක ශබ්දය සහ බැටරිවලින් බලගැන්වීමක් අවශ්‍ය නොවීම දැක්විය හැකිය. 


05. රැහැන් රහිත උපාංග(වයර්ලස්)

5

ක්‍රීඩා කරන අතරතුර හෝ බාහිර ගමනක් අතරතුර භාවිතයට රැහැන් රහිත උපාංග වඩාත් උචිතය. මග යනෙන විට වයරය පැටලීම කරදරයක් වීම ඊට හේතුවකි. එය ඔබට නිදහසේ හැසිරෙන්නට ඉඩ සලසයි. බොහෝ වයර්ලස් හෙඩ්ෆෝන් බ්ලූටූත් තාක්ෂණය හරහා කෙටි  දුරක් ඇතුළත හඬ කරවයි. 


06. ටෘ වයර්ලස්

6

සැබැවින්ම රැහැන් රහිත යැයි පැවසුවත් ඇතැම් වයර්ලස් හෙඩ්ෆෝන්වල සවනට සවිවන කොටස් දෙක සම්බන්ධ කරමින් වයරයක් ඈඳෙයි. ටෘ වයර්ලස් හෙඩ්ෆෝන් එම කොටස් දෙක වෙනම පද්ධතීන් ලෙසින් පැමිණෙන කිසිදු රැහැනක් බාහිරට නොපෙනෙන ලෙසින් සැකසුණු උපාංගයකි. 


07. නෙක් සිටිංග්

7

සාමාන්‍යයෙන් හෙඩ්ෆෝන්වල සවනට සම්බන්ධිත හඬ පද්ධතීන් සම්බන්ධ කරන කොටස රැඳී පවතින්නේ හිස මතය. මෙම උපාංගවල එම කොටස බෙල්ලේ පිටුපස මත රැඳී සිටින්නට සකසා ඇති නිසා බොහෝ දෙනෙකු මෙම විශේෂය තෝරාගනියි. 

 

නවතම හැඩයකින්, ප්‍රබල බලයකින් HTC U11+

මේ වසර අගදී ස්මාට්ෆෝන් වෙළෙඳපොළට පැමිණි iPhone X, Pixel 2, Oneplus 5T වැනි උපාංග නිසා ඒ කාලය අතරතුර නිකුත් වුනු අනෙකුත් උපාංග කෙරෙහි ලක්වෙන්නට තිබුණු අවධානය බෙහෙවින් අඩුවී තිබිණි. නමුත් එසේ නොවී කතාබහට ලක්වුණු ස්මාට්ෆෝනයක් ලෙස HTC සමාගමේ U11+ දැක්විය හැකිය. ඉදිරිපස සහ පසුපස වීදුරු යොදා ඇති මෙම උපාංගයට ඇලුමිනියම් රාමුවකින් ආරක්ෂාව ලැබේ. IP68 සහතිකයෙන් සපිරි නිසා හදිසි අනතුරුවලට සැලකිය යුතු ලෙසින් ඔරොත්තු දේ. මෙයට අඟල් හයක Super LCD6 තිරයක් යොදා ඇති අතර Corning Gorilla Glass 5 ආරක්ෂක වීදුරුවක්ද තිබේ.

Android 8.0 (Oreo) මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන මෙය Qualcomm Snapdragon 835 ප්‍රොසෙසරයකින් සමන්විත වේ. 128 GB/6 GB RAM සමගින් සහ 64 GB/4 GB RAM සමගින් ලෙසට මෙය සංස්කරණයන් දෙකකින් නිකුත් වේ.

12 MP ප්‍රධාන කැමරාව (f/1.7, 1.4 µm, Dual Pixel PDAF), phase detection autofocus, OIS, dual-LED dual-tone flash, Geo-tagging, touch focus, face detection, HDR, panorama යන විශේෂාංග සමගින් යුක්තය. එයට විශේෂිත විඩියෝ හැකියාවක් සේම මෙගාපික්සල් 8ක ඉදිරිපස කැමරාවක් අන්තර්ගතය. 
Fingerprint (rear-mounted), accelerometer, gyro, proximity, compass යන සංවේදකයන් මෙහි ඇතුළත් වේ. එසේම කලකින් HTC ස්මාට්ෆෝනයක දකින්නට නොලැබෙන ආකාරයේ හැඩයක් එය සතුය. 3930 mAh බැටරිය වැඩි බැටරි බලයක් ලබාදේ. කෙසේ නමුත් මෙහි පසුපස මදක් ලිස්සනසුලු වීම නිසා, ආරක්ෂිත කවරයක් භාවිත නොකරන්නේ නම් මෙය පහසුවෙන් අතින් ගිලිහී බිම වැටීමේ අවදානමක් ඇති බවද කිව යුතුවේ.

htc-u11-plus-1 htc-u11-plus-5 htc-u11-plus-6