Author Archives: පැතුම් ශ්‍රී විජේරත්න

තිලංගට එරෙහිව පිටු 1500 ක විරෝධතාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ක්‍රිකට් සභාපති තනතුරට තරග කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව විරෝධතා ගොනු වී ඇතැයි වාර්තා වෙයි.

ක්‍රිකට් සභාපති තනතුරට තරග වදින නිශාන්ත රණතුංග හා ජයන්ත ධර්මදාස යන මහත්වරුන්ගේ පාර්ශ්ව විරෝධතා ගොනු කර ඇත.

නිශාන්ත පාර්ශ්වය පිටු 1500ක විරෝධතාවක් ගොනු  කර ඇත. ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වූ නාම යොජනා පිළිබඳ විරෝධතා ගොනු කිරීමේ කාලසීමාව අද ()(22දා) පස්වරු 3.00ට අවසන් විය.

මේ අතර විරෝධතා ගොනු කිරීමට ලබාදුන් කාලය ප්‍රමාණවත් නොවන බව සඳහන කරමින් ජයන්ත ධර්මදාස පාර්ශ්වයද විරෝධතාවක් ගොනු කර ඇත.

THILANGA-SUMATHIPALA

 

ක්‍රිකට් සභාපති පුටුවට සිව්කොන් සටනක්

මෙම මස 31 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති අසුන සඳහා සිව්කොන් සටනක් නිර්මාණය වී තිබේ. ඒ වත්මන් සභාපති තිලංග සුමතිපාල, හිටපු සභාපතිවරයෙක් වන ජයන්ත ධර්මදාස, හිටපු ලේකම්වරයෙක් සහ වත්මන් උපසභාපති මොහාන් ද සිල්වා සහ හිටපු ලේකම්වරයෙක් වන නිශාන්ත රණතුංග යන මහත්වරුන් අතරය.

Untitled-1

 

 

මෙම වසරේ ආරම්භ වන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී විදෙස් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහළට

326730-sri-lanka-cricket-board-log

මෙම වසරේ ආරම්භ වන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ප්‍රවේශපත්‍ර ගාස්තුව රු. 5000ක් ලෙස සටහන් කර තිබියදී විදෙස් ප්‍රේක්ෂකයන්ගෙන් එක් සමාගමක් එම ගාස්තු දෙගුණයකින් ඉහළ දමා රු.10,000කට විකුණන බව 'අද'ට කරුණු අනාවරණය වේ. 
මෙහිදී වායු සමීකරණය නොකළ එක් ආසනයක සිටිමින් ටෙස්ට් තරගයක් නැරඹීමට රු. 50000කට වැඩි ප්‍රවේශපත්‍ර ගාස්තුවක් අදාළ සමාගම අය කරන බවට වාර්තා වේ. 

මේ හේතුවෙන් අදාළ සංචාරය සඳහා එංගලන්තයෙන් පැමිණෙන විදෙස් ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව 4,000 සිට 1,500 දක්වා අඩුව ඇතැයි අනාවරණය වේ. 
2007 වසරේදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට විදේශිකයෙක් සඳහා ප්‍රවේශපත්‍රයක අවම ගාස්තුව පැවතුණේ  දිනකට රු. 2500ක් වශයෙනි. අනතුරුව 2012 වසරේදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට විදේශිකයෙක් සඳහා ප්‍රවේශපත්‍රයක අවම ගාස්තුව දිනකට රු. 5000ක් දක්වා වැඩි කර තිබුණි. කෙසේ වෙතත් මෙම වසරේ නොවැම්බර් මස මෙරට සංචාරයක නිරත වන එංගලන්ත කණ්ඩායමේ සහායට  පැමිණෙන ප්‍රේක්ෂකයන් (දිරිගන්වන්නන් සහ විදෙස් ප්‍රේක්ෂකයන්) සඳහා ක්‍රිකට් ආයතනයෙන් එක් විදේශිකයෙකුගේ ප්‍රවේශපත්‍රයක අවම ගාස්තුව දිනකට (වායු සමීකරණය නොකළ) රු. 5,000ක් ලෙස තබා තිබියදී තරගාවලියේ සත්කාරකත්ව කොන්ත්‍රාත්තුව ලබාගත් මෙරට එක්‌ සමාගමක් එම දිනක ප්‍රවේශපත්‍ර ගාස්තුව රු. 10,000ක් දක්වා වැඩි කර තිබීම ගැටලුකාරී වාතාවරණයක් මතුකර තිබේ. 

මෙහි පවතින විශේෂත්වය වනුයේ අදාළ ප්‍රවේශපත්‍රයේ ගාස්තුව රු. 5,000ක් ලෙස සටහන් කර තිබුණද විදේශිකයන්ට එය අලෙවි කරනුයේ රු. 5,000ක සැඟවුණු ගාස්තුවක් ඊට ඇතුළත් කරමින් රු. 10,000කට වීමයි. 

මෙහිදී විදේශිකයන්ට ලැබෙන ප්‍රතිලාභ ලෙස දක්වා ඇත්තේ බීර 06ක වවුචරපත් (06 Drink Vouchers) සහ තරගාවලිය සඳහා ලබාදෙන හිස්වැසුම (Tour Cap) පමණි. දිනකට රු. 10,000 බැගින් දින 05ක ටෙස්ට් තරගයක් නරඹන විදේශිකයෙකු අවම රු. 50,000ක මුදලක් ගෙවීම නිසා මෙවර එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා මෙරටට පැමිණීමට සංචාරකයන් පවා අදිමදි කරන තත්ත්වයක් මතුව තිබේ. 
2007 සහ 2012 යන වසරවලදී පැවැති ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග නැරඹීමට මෙරටට පැමිණි අවම ප්‍රේක්ෂක සංඛ්‍යාව 4,000කට වැඩි වුවද මෙවර එය මෙවැනි ආකාරයෙන් දෙගුණ තෙගුණ කර මුදල් අය කිරීම නිසා 1500කටත් අඩු සංඛ්‍යාවක් දක්වා පහත වැටී ඇතැයි වාර්තා වේ. 

වෙනත් වසරවලදී මේ වන විට ප්‍රවේශපත්‍ර සඳහා සියලුම වෙන් කිරීම් නිමා වුවද මෙවර එය 1500කටත් අවම සංඛ්‍යාවක් වීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයටද ඍජු බලපෑමක් මෙහිදී සිදු කර එල්ල වී තිබේ. 
වායු සමීකරණය නොකළ එක් ආසනයක් සඳහා මෙලෙස විදේශිකයන්ගෙන් මුදල් අය කිරීම අසාධාරණ ලෙස මුදල් කොල්ලකෑමක් ලෙසද සමහරු හඳුන්වා දෙති. මෙහිදී ප්‍රවේශපත්‍ර අලෙවි සහ සත්කාරකත්වය දරන සමාගම පමණක් අසාධාරණ ලෙස විදේශිකයන්ගෙන් මුදල් අය කරමින් සිය ලාභය තර කරගෙන ඇති බව පෙනී යන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමහර නිලධාරීන්ට මෙමගින් අනිසි ආකාරයෙන් මුදල් හිමිව ඇති බවටද කරණු අනාවරණය වේ.  
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද මෙම සත්කාරකත්ව කොන්ත්‍රාත්තුව ලබාදීමෙදී පිළිගත් ක්‍රමවේදවලින් බැහැරව කටයුතු කර ඇති බවට වාර්තා වේ. එහිදී මෙම කොන්ත්‍රාත්තුව සඳහා පුවත්පත්වල දැන්වීම් පළ කිරීමේදී ඒ සඳහා අයදුම් කිරීමට දින 10ක කාලයක් ලබාදිය යුතු වුවත් ලබාදී තිබුණේ දින 05ක් වැනි කෙටි කාලයකි. කෙසේ වෙතත් තරගාවලියේ ප්‍රේක්ෂක සත්කාරකත්වය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කළ වෙනත් සමාගම් සහ විදේශිකයන්ට සත්කාර සහ අනෙකුත් පහසුකම් සපයන ආයතනවලටද මෙමගින් දැඩි අසාධාරණයක් සිදුව ඇති බවට ආයතන කිහිපයක්  චෝදනා කරයි. 

මෙම ටෙස්ට් තරගාවලියට ටෙස්ට් තරග 03ක් (පළමු තරගය නොවැ.06-10 දක්වා ගාල්ලේදී, දෙවැනි තරගය නොවැ.14-18 දක්වා පල්ලෙකැලේදී, සහ තෙවැනි තරගය නොවැ. 23-27 දක්වා කොළඹදී) ඇතුළත්ව ඇති අතර වායු සමීකරණය නොකළ ආසනයක් සඳහා එක් විදෙස් ප්‍රේක්ෂකයෙක් ටෙස්ට් තරග තුන සඳහා රු. එක් ලක්ෂ පනස් දහසක (රු.150,000) මුදලක් ගෙවයි. මෙමගින් ක්‍රිකට් ආයතනයට හිමිවනුයේ රු. හැත්තෑ පන්දහසක (රු.75,000) මුදලක් හෙවත් එම මුදලින් අඩක් පමණි.

මීට අමතරව වායු සමීකරණය නොකළ ආසනයක් සඳහා එක් විදෙස් ප්‍රේක්ෂකයෙකු එක් දිනකට ඇමෙරිකානු ඩොලර් 70ක් හෙවත් අවම රු.11044ක මුදලක්ද (දින 03ක් හෝ ඊට අඩුවෙන් තරගය නරඹනවා නම්), වායු සමීකරණය කළ එහෙත් සත්කාරක සංග්‍රහ නොමැතිව ආසනයක් සඳහා එක් විදෙස් ප්‍රේක්ෂකයෙක් එක් දිනකට ඇමෙරිකානු ඩොලර් 80ක් හෙවත් අවම රු.12,622ක මුදලක්ද, වායු සමීකරණය කළ එහෙත් සත්කාරක සංග්‍රහ නොමැතිව ආසනයක් සඳහා එක් විදෙස් ප්‍රේක්ෂකයෙක් එක් දිනකට ඇමෙරිකානු ඩොලර් 85ක් හෙවත් අවම රු.13411ක මුදලක්ද (දින 03ක් හෝ ඊට අඩුවෙන් තරගය නරඹනවා නම්), වායු සමීකරණය කළ සහ සත්කාරක සංග්‍රහ සමග ආසනයක් සඳහා එක් විදෙස් ප්‍රේක්ෂකයෙක් එක් දිනකට ඇමෙරිකානු ඩොලර් 145ක් හෙවත් අවම රු.22878ක මුදලක්ද, සත්කාරක සංග්‍රහ සමග ආසනයක් නොමැතිව එක් විදෙස් ප්‍රේක්ෂකයෙක් එක් දිනකට ඇමෙරිකානු ඩොලර් 105ක් හෙවත් අවම රු.16566ක මුදලක්ද, මේ අනුව එක් දිනකට ගෙවීමට විදෙස් ප්‍රේක්ෂකයන්ට සිදුව තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවත් මෙවැනි ආකාරයෙන් අසාධාරණ ලෙස මුදල් අය කරමින් විදෙස් ප්‍රේක්ෂකයන්ව පීඩනයට පත් කිරීම පිළිබඳව අධීක්ෂණයක් නොකරන්නේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් ඇත්තේ කුකුසකි. ක්‍රිකට් ආයතනයට මෙමගින් රු. මිලියන 05ක් හිමිවන විට අපේක්ෂිත ප්‍රේක්ෂකයන් පැමිණියහොත් අදාළ සමාගම  රු. මිලියන 50කට වැඩි ලාභයක් උපයයි. එනිසා සිදුකළ යුතු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංචාරක අමාත්‍යාංශය සමගින් එක්ව මෙරටට පැමිණෙන විදෙස් ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව වැඩි කර ගැනීමේ උපායමාර්ග සැකසීමයි. සමාගම්වල ලාභය තර කර ගන්නවා විනා මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමට දැන්වත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සංචාරක අමාත්‍යාංශය එක්ව මීට වැඩසටහන් ඉදිරිපත් කළ යුතුය. ඊට හේතුව වනුයේ මෙම විදෙස් ප්‍රේක්ෂකයන් මෙරටට පැමිණෙනුයේ හුදෙක් ටෙස්ට් තරග නැරඹීමට නොවන හෙයිනි. කෙසේ වෙතත් මේ සම්බන්ධව බලධාරීන් ඇස්කන් පියාගෙන සිටීම කනගාටුවට කරුණකි.

ටිකට් එකක්වත් විකුණුවේ නැති වුණත් අපිට අපේ මිලියන පහ ලැබෙනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ප්‍රධානී අරුණ ද සිල්වා 

මේ සම්බන්ධව අප  ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ප්‍රධානී අරුණ ද සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී ඒ මහතා මෙසේ අදහස් පළ කළේය.
පත්තරවල පළ වූ දැන්වීම් හරි. ටිකට් කීයද අලෙවි වෙලා තියෙන්නේ කියන එක පැත්තකට දාමු. අපි තවම දන්නෑනේ කීයක්ද හරියටම අලෙවි වෙලා තියෙන්නේ කියලා.aruna
අපි අවුරුද්දෙ මුල් කාලෙදිම දැන්වීමක් දැම්මා අපේ අන්තර්ජාතික තරගවලට අපි ලබාදෙන සේවාවන් ගැන සඳහන් කරලා. කැමැත්තක් තියෙන අයට ඊට අදාළ කෝටේෂන් එවන්න කියලා අපි පළවැනි දැන්වීම දැම්මා. නමුත් ඒ දැන්වීමට එකම එක්කෙනෙක් පමණයි ඇවිත් තිබුණේ. ඔවුන් කැමති වුණේ එක්දින තරගවල සත්කාරක සංග්‍රහ කිරීමටයි. ඒ නිසා අපි එම සමාගමට එය දුන්නා. නමුත් අපට ඕන වුණා එංගලන්ත හා දකුණු අප්‍රිකානු තරගාවලි සඳහා ටෙස්ට් තරගවලටත් කවුරුහරි හොයාගන්න. ඒකට අපි තව දැන්වීමක් දැම්මා.
ඒකටත් ආවා තවත් ආයතනයක්. ඉන්පසු අපට මාර්කටින් එකෙන් කතාකරලා කිවුවා ටෙස්ට් මැච් එකක් නිසා වැඩි වටිනාකමකට දෙන්න, නැතිනම් අපට අමාරු වෙයි කියලා. ඒ සියල්ලටම මේ සමාගම එකඟ වුණා. ඒ අනුව තමයි අපි ගිවිසුමක් අත්සන් කළේ. එයාලා කිවුවා අඩුම තරමේ ආසන 4000ක්වත් ඇලෝකේට් කරන්න ඕන කියලා. ඇත්තටම ගාල්ලේ ධාරිතාවම තියෙන්නේ ආසන 6000යි. එස්.එස්.සී. එකෙත් අපි ආසන 4000ක් පමණ හදන්නම් කිවුවා. පලේලෙකැලේටත් අපි ඒක කිවුවා, මොකද ඒ වගෙ ධාරිතාව තියෙන නිසා.
ඉන්පසු එම සමාගම කිවා 3000ක් වෙනකම් ටිකට් විකිණුණොත් අපට රු. මිලියන 05ක මුදලක් ගෙවනවා කියලා. ඒ වගේම ටිකට් 4000ක් විකිණුණොත් තවත් රු. මිලියන 2.5ක් අපිට ගෙවනවා කියලා. එක ටිකට් එකක් විකිණුණත් ඔවුන් අපිට රුපියල් මිලියන 05ක් අනිවාර්යයෙන් ගෙවනවා. මේක ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ලාභයි. 

ඔවුන් වැඩිපුර ගානක් ප්‍රේක්ෂකයන්ගෙන් අය කරනවා කියලා චෝදනාවක් තිබෙනවානේ. ඇත්තටම අපිට රුපියල් 5000ට අපේ ගාණ ලැබෙනවා නම්, රජයේ බද්ද අපිට ගෙවන්න ලැබෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඔවුන් වැඩි ගාණට ටිකට් එක විකුණන එක අපිට පාලනය කරන්න බැහැ. ටිකට් වික්කත් නැතත් අපට ඒ සල්ලි ටික එනවා.
ඇත්තටම දැන්වීමට අපි වැඩි කාලයක් දුන්නා. ඒත් කවුරුවත් අවේ නැහැ. අපි කියන්නේ මේ එක ටිකට් එකක්වත් විකුණුවෙ නැති වුණත් අපිට අපේ මිලියන පහ ලැබෙනවා. මෙහි අධීක්‍ෂණයක් වෙනවා 5000 ටිකට් එකට. වටිනාකම් එකතු කරන්නේ නැතිව 6000ට විකුණුවොත් ඒක වැරදියි.

 

 

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලැබ්‍රෝයි ඉදිරියටත්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති ලෙස තවදුරටත් කටයුතු කිරිමට ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා කැමත්ත ප්‍රකාශ කර ඇත. ඒ පිළිබඳව අප ලැබ්‍රෝයි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ ක්‍රිකට් ආයතනයෙන් ඒ පිළිබඳව ලැබුණ ආරාධනාවක් තමන් පිළිගත් බවයි.

ලැබ්‍රෝයි මහතා ප්‍රධාන ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලසීමාව පසුගිය 15 දා අවසන්විය. අවුරුද්දක කාලසීමාවක් සඳහා ක්‍රිකට් තේරිම් කමිටුව පත්කරයි.

ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉතිරි සාමාජිකයන් මේ මස අවසානයට පෙර නම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා පැවැසීය.

Labrooy

වත්මන් ක්‍රිකට් බලධාරීන් පනත උල්ලංඝනය කර බලය රැකගැනීමේ උත්සාහයක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මෙම මස 31 වැනිදා පැවැත්වීමට නිර්දේශ කර තිබියදී වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් මෙම මස 19 වැනිදා පැවැත්වීමට නියමිත අතිවිශේෂ මහසභා රැස්වීමේදී තවත් මාස 12ක කාලයක් බලයේ සිටීමට සාමාජික සංගම්වලින් ඉල්ලීමක් සිදු කර තිබේ.

ඒ යම්කිසි විදිහකින් මෙම මස 31 වැනිදා පැවැත්වීමට යෝජිත නිලවරණය එදිනට පැවැත්වීම වාරණය කරමින් යම්කිසි පාර්ශ්වයක් නඩු මගට හෝ වෙනයම් ආකාරයකින් එය පැවැත්වීම අත්හිටු වූවහොත් යන පූර්ව නිගමනයේ සිටය.

කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි පාර්ශ්වයන් සහ නීති විශාරදයන් මෙය හඳුන්වා දෙන්නේ ක්‍රීඩා පනත සහ නීතියේ ස්වාධීනත්වය උල්ලංඝනය කිරීමක් ලෙසය. එමෙන්ම යම්කිසි පාර්ශ්වයකට හෝ සාමාජික සංගමයකට අසාධාරණයක් සිදු වුවහොත් අධිකරණයට යාමේ ඇති මූලික මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් ලෙසද මෙය සමහරු අර්ථ දක්වති.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා වන රොෂාන් බියන්විල මහතාගේ අත්සනින් යුතුව මෙම මස 10 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට්හි සියලුම සාමාජික සංගම්වලට මෙම නිවේදනය යොමු කර ඇති අතර, වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් සිය බලය රැකගැනීමේ උත්සාහයක මේ අනුව නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජික ක්‍රීඩා සංගම් පවසයි.

අප මේ සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සාමාජික සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු පෙන්වා දුන්නේ මෙය පැහැදිලිවම ක්‍රීඩා පනත උල්ලංඝනය කිරීමක් සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

&ක්‍රීඩා පනත සහ රෙගුලාසිවලට අනුකූලව 2016 අංක 1 දරන රෙගුලාසි යටතේ 5 උපවගන්ති II පැහැදිලි කරලා තියෙනවා කොහොමද මහසභා රැස්වීමකින් කමිටුවක් පත් කරගන්නේ සහ ඔවුනගේ නිල කාලය පිළිබඳව. අවුරුදු 04ක් දක්වා බලයේ ඉන්න පුළුවන්. එතකොට මහසභා රැස්වීමකින් තමයි නිලවරණයක් පැවැත්විය යුතු වන්නේ. විශේෂ මහසභා රැස්වීමකින්ක් හෝ අතිවිශේෂ විශේෂ මහසභා රැස්වීමක් තියලා නිලවරණයක් තියන්න බැහැ. විශේෂ මහසභා රැස්වීමක් හෝ අතිවිශේෂ විශේෂ මහසභා රැස්වීමක් නිල කාලය අඩු කිරීමක් හෝ දීර්ඝ කිරීමක් කරන්න බැහැ. එය මහාසභා රැස්වීමකින්ම කළ යුතුයි.         

නව රෙගුලාසිවල 5 (I) පැහැදිලිව සඳහන් කරලා තියෙනවා සෑම ජාතික ක්‍රීඩා සංගමයක්ම පහත දැක්වෙන නිලධරයන් ඇතුළුව තම ව්‍යවස්ථාවේ දක්වා ඇති නිලධරයන් සංඛ්‍යාවන්ගෙන් සමන්විත වන කමිටුවක් තෝරා පත් කරගත යුතුය කියලා. තෝරා පත්කර ගන්නවා කියන්නේ තෝරාගෙන පත් කරගැනීමක්. එහෙම නැතුව අනුමත කරගැනීමක් නෙමෙයි. එසේම නව රෙගුලාසිවල 5 (2) (I) පැහැදිලිව සඳහන් කරලා තියෙනවා සෑම ජාතික ක්‍රීඩා සංගමයක්ම කමිටුවේ සෑම නිලධරයෙකුම වාර්ෂික මහසභා රැස්වීමේදී තෝරා පත් කරගනු ලැබිය යුතුය යන්න පිළිබඳව. විධායක කමිටු තීරණයකින්වත්, විශේෂ මහසභා රැස්වීමකින්වත් එය කළ නොහැකියි. දැන් ඉන්න පරිපාලනය මේ 19 වැනිදා ගේන්න හදන කාරණාවලින් ඔවුනට අධිකරණයේ නඩුවක් පැවරුවත් තවත් මාස 12ක් බලයේ ඉන්න පුළුවන්. මෙය ක්‍රීඩා පනතේ සහ රෙගුලාසිවල තිබෙන කොන්දේසි උල්ලංඝනය වීමක්. ව්‍යවස්ථාවේ සංශෝධනයක් ඇතිවෙනවා නම් මාස 03ක් කල් දෙන්න ඕන. එම සංශෝධන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන්න ඕන.

නීති සහ රෙගුලාසි අනුව බැලුවාම මෙම පත්වෙලා ඉන්න කමිටුවට බැහැ පස්සට බලපාන නීති ගෙන්න. ඒ කියන්නේ අවුරුදු දෙකකට පත්වෙලා ඒ කාලය ඉවර වුණාම තවත් අවුරුද්දක් ඉන්න බලයක් ඔවුන්ට ගන්න බැහැ වාර්ෂික මහසභා රැස්වීමකදී හැරෙන්න. වත්මන් පරිපාලනය බලන්නේ මේ කිසිදෙයක් නොකර නිලවරණයකට නොගිහින් වසර දෙකක කාලයකට පත්වුණු සාමාජිකයන්ගේ කාලය තවත් වසරකින් දීර්ඝ කරගන්න. මේක ව්‍යවස්ථා විරෝධී, නීතියට පටහැනි, ඒ වගේම නීතියේ ස්වාධීනත්වයට පටහැනිව කටයුතු කිරීමක්* යැයි ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

වත්මන් ක්‍රිකට් පරිපාලනයට නිලවරණයකින් බලයට පත්වීමේ අවස්ථාව තිබියදී එසේ නොකර වසර දෙකක කාලය අවසන් වීමේදීම යළිත් වසරකින් ඔවුනගේ කාලය දීර්ඝ කර ගැනීමට ගන්නා නරක පූර්වාදර්ශ සැපයීමේ උත්සහයක් වශයෙන් මෙය හැඳින්විය හැකිය.

මේ අයුරින් ඔවුන් ක්‍රියා කරන්නේ නම් ඔවුනට විශේෂ මහසභා වාර මාසෙන් මාසෙට කැඳවා ඔවුනගේ කාලය වසරක්, දෙකක් යනාදී වශයෙන් දීර්ඝ කරගත හැකි වන්නේය. මෙය ක්‍රිකට් ක්‍රීඩාවට සහ පරිපාලනයේ අනාගතයට වැරදි පූර්වාදර්ශ සැපයීමක් ලෙසද හඳුන්වාදිය හැකිය.

මේ ආකාරයෙන් ක්‍රියාකරන්නේ නම් ඇමතිවරයාගේ බලතලද බල ශුන්‍ය වන්නේය. එය ක්‍රීඩා පනතටද පටහැනි වන බව මේ වනවිට නීති විශාරදයෝ පවසති. එමෙන්ම වත්මන් පරිපාලනයේ මෙම ක්‍රියාව ක්‍රීඩා පනතේ 33 වැනි වගන්තියෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට ලබාදී ඇති අතුරු කමිටු පත් කිරීමේ බලයට පරස්පර විරෝධී ක්‍රියාවක්ද වන්නේය. යම් ක්‍රීඩා සංගමයක නිලධාරීන් පිරිසක් නීති විරෝධී කටයුත්තක් කර තිබියදී ඇමතිවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත්කිරීමේ කටයුත්තට විරෝධීව යාමක් ලෙස මෙය හඳුන්වා දීමට හැක. එමෙන්ම අධිකරණ නියෝගයක් හෑල්ලුවට ලක්කරමින් රෙගුලාසි හෝ ව්‍යවස්ථාව සංශෝදනය කළ නොහැකි නිසා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් වහා මැදිහත්ව මෙම ක්‍රීඩා පනතට පටහැනි ක්‍රියාව නතර කළ යුතුය.

display   

ක්‍රිකට් සේවකයන්ගේ අතිකාල කපා දමන ක්‍රිකට් කාර්යාල කාර්ය සහකාර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු සුඛෝපභෝගී බස් රථවල කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුට අනෙකුත් සේවකයන්ගේ පෞද්ගලික ලිපිගොනු සහ අතිකාල දීමනා සෑදීමට භාරදී ඇති බවත්, ඔහු විසින් සමහර සේවකයන්ගේ අතිකාල දීමනා කපා දැමීමට පියවර ගෙන ඇති බවත් එහි සේවකයෝ චෝදනා කරති.

මෙම පුද්ගලයා 2007 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ 'බැගේජ් බෝයි' (ක්‍රීඩකයන්ගේ බෑග් රැගෙන යන්නා) ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ පළමු කාර්ය භාරය වී ඇත්තේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ගමන්ගත් බස් රථයේ කොන්දොස්තර (රියැදුරු සහායක) කාර්ය භාරයයි.

කෙසේ වෙතත් මේ වන විට ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් අංශයේ කාර්යාල සහායකයෙකු ලෙසද කටයුතු කරන බවට වාර්තා වන අතර, ක්‍රිකට් ආයතනය වැනි බලගතු ක්‍රීඩා සංගමයක සේවකයන්ගේ පෞද්ගලික ලිපිගොනු පරිහරණය සහ අතිකාල දීමනා සෑදීම වැනි කටයුතුවලට ඔහුව දායක කරගැනීම පිළිබඳව සේවකයන්ගේ බලවත් අප්‍රසාදය පළව ඇතැයිද වාර්තා වේ.

අප මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදුකළ අතර, එහි මාධ්‍ය කළමනාකරු පවසා සිටියේ මීට ප්‍රථම ඔහු 'බැගේජ් බෝයි' ලෙස කටයුතු කර ඇති බවත්, නිසි පරිදි සුදුසුකම් සපුරාලීමෙන් අනතුරුව ඔහුව කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස පත්කර ඇති බවයි. එමෙන්ම ඔහු සේවකයන්ගේ පෞද්ගලික ලිපිගොනු එහා මෙහා රැගෙන ගියත් ඒවා සෑදීමට හෝ අතිකාල දීමනා සෑදීමට සහභාගි කර නොගන්නා බවද හෙතෙම සඳහන් කර සිටියේය.

මේ සම්බන්ධව තොරතුරු දැනගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය මගින් එහි මානව සම්පත් කළමනාකරු සම්බන්ධ කරගැනීමට අප උත්සහ කළද එම උත්සාහය ව්‍යවර්ථ විය. 

display

ක්‍රිකට් නිලවරණය මෙම මස 31 තියන්න නීතිපතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මෙම මස 31 වැනිදා පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිපති උපදෙස් ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ක්‍රිකට් ආයතනය වෙත ඊයේ (10දා) ලැබී ඇතැයිද, ඒ අනුව ඒ සඳහා වන හදිසි ක්‍රිකට් විධායක කමිටු රැස්වීමක් ඊයේ රාත්‍රියේ පවත්වා ඇතැයිද %අද^ට වාර්තා වේ.

ක්‍රිකට් නිලවරණය මෙම මස 31 වැනිදා පැවැත්වීමට නීතිමය බාධාවක් නොමැති බවට නීතිපතිවරයා පෙන්වා දී ඇති අතර, ඒ අනුව යොදාගත් පරිදි 31 වැනිදාට නිලවරණය පැවැත්වීමට නියමිත බව අනාවරණය වේ.

කෙසේ වෙතත් නීත්‍යනුකූල නිලවරණ කමිටුවක් හමුවේ නාමයෝජනා කැඳවීම මෙම නිලවරණයේදී සිදු නොවූ අතර, නාමයෝජනා බාර ගෙන තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයාය. මේ පිළිබඳ විවිධ පාර්ශ්ව වෙතින් පරස්පර අදහස් යොමුව ඇති අතර, පාර්ශ්ව කිහිපයක් සාධාරණ තීන්දුවක් පතා අධිකරණය වෙත මෙම සිද්ධිය රැගෙන යෑමට නියමිත බවද හෙළි විය. 

display

ක්‍රිකට් නිලවරණ කමිටුවට තවත් අවුලක් නිලවරණය යළිත් කල් යන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මෙම මස 31 වැනිදා පැවැත්වෙන බව පැවසුණද, ක්‍රිකට් නිලවරණ කමිටුවට අදාළ කාර්යභාරයන්, නිලවරණ කමිටුවක් කෙසේ ක්‍රියාත්මක විය යුතුද සහ එහි සංයුතිය කෙබඳුද යන්න ක්‍රීඩා පනතේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සඳහන් නොවීම තුළ නිලවරණය යළිත් කල්යන ලකුණු පහළ වී තිබේ.

මේ වන විට නිලවරණ කමිටුව පත්කර ගැනීම සඳහා විශේෂ මහාසභා රැස්වීමක් මෙම මස 19 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති අතර, එහෙත් නිලවරණ කමිටුවක් පත්කර ගැනීම තුළ පමණක් නිලවරණයක් පැවැත්විය නොහැකි බව ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සාමාජික සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මහතා 'අද' පුවත්පතට පැවසීය.

"මෙම වසරේ ජනවාරි 07 වැනිදා සම්මත කරගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව නිලවරණ කමිටුව (ක්‍රීඩා නීතිය සහ රෙගුලාසි ප්‍රකාරව) නීත්‍යනුකූලව සකස් කරලා නැහැ. ඊට අමතරව නිලවරණ කමිටුව කෙසේ ක්‍රියා කළ යුතුද යන්න එහෙමත් නැත්නම් එය ක්‍රියාත්මක වන ආකාරයක් සඳහන් වෙලා නැහැ. ක්‍රීඩා පනතෙත් මෙය සඳහන් කර නැහැ. රෙගුලාසිවල පමණයි තිබෙන්නේ, එහෙත් රෙගුලාසිවලින් පැහැදිලි කරලා නැහැ කොහොමද නිලවරණයක් පවත්වන්න ඕන කියලා. රෙගුලාසිවල තිබෙන්නේ විධානයක් පමණයි. එහිදී විධානයක් දෙනවා කරුණාකරලා නිලවරණ කමිටුවක් පත් කරගෙන ඒ අනුව කටයුතු කරන්න කියලා.

එහෙත් අදාළ ව්‍යවස්ථාවේ තියෙන්න ඕන නිලවරණ කමිටුවක් පත්වෙනවා, ඒ කමිටුවේ සංයුතියක් තිබිය යුතුයි, එහි නිලධාරීන්ට නීත්‍යනුකූලව බලය පැවරෙන්න ඕන, නිලවරණය පවත්වන ආකාරය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන්න අවශ්‍යයි යනාදී වශයෙන් පැහැදිලි කිරීමක්. අවසානයේදී නිලවරණ කමිටුවේ සියලු සාමාජිකයන්ගේ අත්සනින් යුතුව නිල ප්‍රතිඵල ඉදිරිපත් කළ යුතුයි.

මේ කිසිවක් ව්‍යවස්ථාවට ඇතුළත් කර නැහැ. එනිසා නිලවරණ කමිටුවක් පත්කර ගැනීමෙන් පමණක් නිලවරණයක් පවත්වන්න බැහැ. නිලවරණ කමිටුවට බලතල පැවරීමක් ව්‍යවස්ථානුකූලව සිදු විය යුතුයි. ඒක ප්‍රධාන ඌණතාවක් අපට මෙම නිලවරණයේදී දැකගන්න ලැබුණු. ඒ නිසා එම ඌණතාව සකස් නොකරගෙන නිලවරණයක් පැවැත්වීමෙන් යළිත් මෙම නිලවරණයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ ගැටලුවක් පැන නගින්න පුළුවන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුව නිසි ලෙස මෙම ගැටලුවට පිළියම් යෙදිය යුතුයි. නිලවරණයට පෙර අනිවාර්යයෙන් ඔවුන් ව්‍යවස්ථාවට එම කරුණු ඇතුළත් කළ යුතුයි. එසේ නොකළහොත් මෙම නිලවරණයත් නීත්‍යනුකූල නොවෙනවා" යනුවෙන් හෙතෙම ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.

මෙම ගැටලුවට ක්‍රීඩා පනතට එක්කළ රෙගුලාසිවලද නිසි අයුරින් බලතල පැවරීමක් සිදුව නොමැති අතර, ක්‍රීඩා අමාත්‍යවරයාට යළිත් නීතිපතිවරයාගේ උපදෙස් පැතීමට සිදු වනු ඇත. කෙසේ වෙතත් නිලවරණ කමිටුවේ කාර්යභාරයන්, නිලවරණ කමිටුවක් කෙසේ ක්‍රියාත්මක විය යුතුද සහ එහි සංයුතිය කෙබඳුද යන්න ව්‍යවස්ථාපිතව අර්ථකතනයක් සිදු නොකර වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව මෙම මස 31 වැනිදා නිලවරණයක් පැවැත්වීමට උත්සාහ කළහොත් නිලවරණය යළිත් කල්ගොස් මෙම ගැටලුව තවත් දිග්ගැස්සෙනු ඇති බව නීති විශාරදයෝ පවසති.    

display

 

 

ක්‍රිකට් අන්තර් කාලීන කමිටුවට අමාත්‍යාංශ නියෝජිතයෙකු පත්නොකිරීමෙන් ගැටලුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි මස 19දා පැවැත්වීමට දින යොදා තිබුණද නිලවරණය මෙහෙයවන නිලවරණ කමිටුව ක්‍රීඩා පනත ප්‍රකාරව පත් නොකරගෙන, ක්‍රිකට් විධායක කමිටුවෙන් පත්කර ගැනීම හේතුවෙන් නිලවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තේය.

අනතුරුව ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා අමාත්‍යවරයා අන්තර්කාලීන කමිටුවක් ලෙස හිටපු පරිපාලනයේ නිලධාරීන්ම පත්කළ අතර, අමාත්‍යාංශ නියෝජිතයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී වාතාවරණයක් උද්ගතව තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව නව රෙගුලාසි ක්‍රීඩා පනතට අන්තර්ග්‍රහණය කිරීමත් සමග මෙවැනි ගැටලු මතු වූ ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධිත සෑම ක්‍රීඩා සංගමයකටම ක්‍රීඩා අමාත්‍යාංශ නියෝජිතයෙකු පත්කළ හෙයිනි.

විශේෂයෙන් පනත උල්ලංඝනය කිරීම වැනි කාරණාවක් ක්‍රීඩා අමාත්‍යවරයා තාක්ෂණික ගැටලුවක් ලෙස අර්ථකථනය කිරීම මෙහිදී සාවද්‍ය අර්ථකථනයක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ ක්‍රිකට් ආයතනයට ජනවාරි මස පැවැති අතිවිශේෂ මහසභා රැස්වීමේදී නිලවරණ කමිටුව පත් කරගැනීමේ හැකියාව තිබියදී එය පත්කර ගැනීම කුමන හෝ කරුණක් මත සිදු නොකිරීම හේතුවෙනි. පසුව ඔවුන්ට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ලිපියක් ලැබෙණුයේ නිලවරණ කමිටුව සඳහා ක්‍රිකට් විධායක කමිටුව කැඳවා නිලධාරීන් පත්කරගන්නා ලෙසයි. ඒ නිසා මෙය අමාත්‍යවරයා පවසන පරිදි තාක්ෂණික ගැටලුවක් නොවන බවත්, සිතාමතා හෝ වෙන යම් ආකාරයකින් සිදුකළ වැරද්දක් බවටත් පැහැදිලිය.

මේ පිළිබඳව අප ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සාමාජික සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු පවසා සිටියේ නිලවරණ කමිටුව පත්කරගැනීම පනත ප්‍රකාරව සිදු නොකර ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා නියෝග නිකුත් කිරීම පනතට පටහැනි ක්‍රියාවක් බවයි.

&ක්‍රීඩා නීතිය අනුව යම්කිසි ගැටලුකාරී වාතාවරණයකදී අතුරු කමිටු පත්කිරීමේ බලය ක්‍රීඩා අමාත්‍යවරයාට ලැබිලා තියෙනවා. නමුත් අතුරු කමිටු පත්කරන බොහෝ අවස්ථාවල අමාත්‍යංශ ලේකම්, සහකාර ලේකම්වරයෙක් හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට ඇතුළත් කර තිබෙනවා. අතුරු කමිටුවක් දාන්නේ ඡන්දෙන් පත් වුණු අය නිසි පරිදි කටයුතු නොකරපු නිසයි. මෑත කාලීනව බොහෝ කමිටුවලට ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජනයක් ඇතුළත් වුණා. ඒ නිසා ක්‍රිකට් අන්තර් කාලීන කමිටුවට ක්‍රීඩා අමාත්‍යාංශයෙනුත් නියෝජනයක් ඇතුළත් වුණා නම් වඩාත් හොඳයි' යැයි ඒ මහතා එහිදී පවසා සිටියේය.

නිලවරණ කමිටුව පත්කර ගැනීමේ විශේෂ මහසභා රැස්වීම මැයි මස 13 වැනිදාට යොදා ඇති බවට පැවසුවද මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය පැවසුවේ තවම එවැනි නිල නිවේදනයක් මාධ්‍ය අංශයට ලැබී නොමැති බවයි.

display

ක්‍රිකට් නිලවරණය කල් යයි පාලනයට අතුරු කමිටුවක්?

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දින නියමයකින් තොරව කල් දමා ඇතැයි වාර්තා වෙයි. නිලවරණය සඳහා වූ නාමයෝජනා බාර දීම අද දින අවසන් වීමට නියමිතව තිබූ අතර නිලවරණය මෙහෙයවීම සඳහා පත්කළ නිලවරණ කමිටුවට එරෙහිව විරෝධතාවක් විභාග කිරිමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

නිලවරණයේ නීත්‍යානුකූලව බව ක්‍රිඩා අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇත. එහිදී නීතිපතිවරයා පවසා ඇත්තේ නිලවරණ කමිටුව නීත්‍යානුකූල නොවන බවයි.

ක්‍රිකට් නිලවරණය මැයි 19 දා පැවැත්වීමට නියමිතව තිබුණි. වත්මන් පාලනයේ ධුර කාලය අවසන්ව ඇති හෙයින් බොහෝ විට අතුරු කමිටුවක් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පත්කරනු ඇතැයි වාර්තා වෙයි.

display