Author Archives: නිඳුක් මධුෂීක

කාන්තා චරිතයක් මෙතෙක් කල් නොකරපු නිසා එය මට විශේෂයි

විවිධ වූ රංගන පරාසයන් ඔස්සේ තම ප්‍රතිභාව දක්වන ජයලත් මනෝරත්න නම් රංගන ශිල්පියා පිළිබඳව මේ දිනවල වැඩි කතාබහට ලක්ව තිබෙන්නේ රූගත කිරීම් සිදුවන චිත්‍රපටයක් නිසාවෙනි. එහි ඔහුගේ රංගන දායකත්වය ගැනත්, කලා කටයුතු පිළිබඳවත් කතා කිරීමට අප ඔහුව මෙලෙස එක්කර ගත්තෙමු.


IMG_8642

? මං මිස් ජෙනිස්  චිත්‍රපටය තෝරා ගැනීම සහ ඒ චිත්‍රපටය ඔබට විශේෂ වෙන්නේ කොහොමද කියලා මුලින්ම සඳහන් කළොත්

පසුගිය වසර තුළ මම සිනමා නිර්මාණවලට වැඩි දායකත්වයක් ලබා දුන්නා. චිත්‍රපට අටකට පමණ දායක වීමට මට හැකියාව ලැබුණා. ඒ නිර්මාණවල ප්‍රධාන චරිත තමයි මට බොහෝ අවස්ථාවලදී හිමි වුණේ. ඒ චිත්‍රපට ඉහළ මට්ටමකින් තිබෙන, තරුණයන් කළ නිර්මාණ විදිහට තමයි මම දකින්නේ. සූම් සහ වෛෂ්ණාවී යන චිත්‍රපට දෙක මේ වන විට තිරගත වී තිබෙනවා. රන් කොල්ලා, සූවිසි විවරණ, ඉක්කා, අයිස්ක්‍රීම්, තක්කිට තරිකිට, ගෝල්, චිල්රන් සහ බුලට් පෘෘෆ්, කතුරු මිතුරු, මං මිස් ජෙනිස් යන චිත්‍රපටවලට මම රංගනයෙන් දායක වුණා. මේ සෑම චිත්‍රපටයකම රංගනයේ යෙදීමට විවිධ චරිත මට හිමිවුණා. මට චිත්‍රපටවලට වැඩිපුර දායක වෙන්න ලැබුණේ නෑ. වේදිකා නාට්‍යවලට තමයි වැඩි දායකත්වයක් ලබා දුන්නේ. මේ මං මිස් ජෙනිස් චිත්‍රපටය ගත්තොත් මම ඒ චිත්‍රපටය තුළ චරිත තුනකට රංගනයෙන් දායක වෙනවා. ඉන් එක් චරිතයක් වෙන්නේ මධ්‍යම පාන්තික ලිපිකරුවෙක්. ඔහුට ජීවන අරගලය ජයගන්න කරන උපක්‍රමවලදී තමයි කාන්තාවන් දෙදෙනෙකු ලෙස පෙනී සිටින්න සිද්ධ වෙන්නේ. චිත්‍රපටය තුළ මම රංගනයෙන් දායක වන කාන්තා චරිතය නිර්මාණය වෙන්නේ එලෙසින්. එවැනි චරිතයක් මෙතෙක් කල් නොකරපු නිසා එය විශේෂ වෙනවා. ඒ චරිතය රංගනයේ යෙදීම දුෂ්කර වුණා. තාමත් එහි රූගත කිරීම් සිදුවෙනවා. එහි නිර්මාණ කටයුතු අවසන් වුණාම තමයි එය කොතරම් සාර්ථකද කියලා බලන්න පුළුවන් වෙන්නේ.

?මෙවැනි චරිතයකට ඔබ දායක වන පළමු අවස්ථාව වගේම අධ්‍යක්ෂවරයා වන සුසිරන්ද සිල්වාගේත් පළමු සිනමා අධ්‍යක්ෂණය. මේ අභියෝගය භාරගත්තේ ඇයි

මට සුසිරන් චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න ආරාධනා කළා. මුලින්ම එහි තිර රචනය බැලුවම එවැනි දෙයක් කරන්නේ කොහොමද කියලා යම් තැති ගැන්මක් ඇති වුණා. මං ඔහුගෙන් ටික කාලයක් ඉල්ලුවා. ඉන්පසු අපි සාකච්ජා වට කිහිපයක්ම තිබ්බා. ඒ සාකච්ඡාවන් සිදුකරද්දී තමයි මට දැනුණේ මෙය නළුවෙකුට ලැබෙන හොඳ අවස්ථාවක් කියලා. බටහිර රටවල සිදුකරන චිත්‍රපටවල මෙවැනි අවස්ථා තිබෙනවා. පසුගිය කාලය තුළ යූටියුබ් හරහා එවැනි චිත්‍රපට දොළහක් පමණ බැලුවා. ලෝකයේ ඉතා දක්ෂ නළුවන් කාන්තා චරිත නිරූපණය කරනවා. රොබින් විලියම්ස්, ජෝන් ටැවොල්ටා, ඩස්ටින් ඔබ්මාන් වැනි ඉතා දක්ෂ නළුවන් කාන්තා චරිත නිරූපණය කරලා තියෙනවා. ඒ නිසා මටත් හිතුණා මෙය හොඳ අවස්ථාවක් කියලා. එය රංගන ශිල්පීන්ට විරලව හම්බෙන අවස්ථාවක්. ඒ නිසා මේ නිර්මාණය භාරගත්තොත් හොඳයි කියලා මම හිතුවා. 

IMG_8709

?මේ සිනමා නිර්මාණයේ අන්තර්ගතය කෙබඳුද?

මේ තුළ අන්තර්ගත වෙන්නේ මධ්‍යම පාන්තික ලිපිකරුවෙකු ජීවත් වීමට දරන වෑයමයි. ඔහුගේ රැකියාව ඔහුට අහිමි වෙනවා. ඔහු සේවය කළ ආයතනයේ ප්‍රධානියා මේ පුද්ගලයාට නැවත රුකියාවකට යොමු වෙන්න බැරි තැනටම කටයුතු කරනවා. ඒ නිසා ඔහු ඉතා අසරණ තත්ත්වයට පත්වෙනවා. ඔහුගේ මිතුරෙක් තමයි මෙවැනි යෝජනාවක් කරන්නේ. ආයතන ප්‍රධානියාගේ නිවසේ ගැහැනු දරුවා බලාගන්න සුපර්වයිසර් කෙනෙකු ඉල්ලනවා. කාන්තාවක් ලෙස සම්මුඛ පරීක්ෂණයට සහභාගි වී  මොහු ඉන් සමත්වෙනවා. ඉන් පසු ඇතිවන සිදුවීම් ඔස්සේ තමයි මේ චිත්‍රපටය ඉදිරියට යන්නේ. කුටුම්භය ආරක්ෂා කරගෙන ඉදිරියට යන ගමනක් තමයි එහි තිබෙන්නේ.

?ටෙලිනාට්‍යවලට රංගනයෙන් දායක වීම ඔබ ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව මොකක්ද

ටෙලිනාට්‍යයන්ට දායක වීම සම්පූර්ණයෙන්ම මම නවතා දැමුවා. ටෙලි නාට්‍ය නිර්මාණ හයක් පමණ ලැබුණා. මම ඒ දේවල් ප්‍රතික්ෂේප කළා. මම අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යවල පමණක් අප්‍රධාන චරිතවලට දායක වෙනවා. පසුගිය වසර හයේම මම ටෙලිනාට්‍යවලට රංගනයෙන් දායක වුණේ නැහැ. අනෙක අපේ වයසත් එක්ක බැලුවම දැන් නම් රූපවාහිනී ටෙලිනාට්‍ය තුළ අපිට කරන්න දෙයක් නැහැ. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ අවගමනයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. එවැනි දෙයකට කාලය මිඩංගු කිරීම තේරුමක් නැහැ කියලා හිතෙනවා. දැන් නිර්මාණකරුවාට වඩා එහි මූලිකයා බවට වෙළෙන්දා පත්ව තිබෙනවා. වෙළෙන්දා තමයි ඒ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා කලාත්මක භාවිතාව හුඟක් අඩුයි. ඒ නිසා අපේ ප්‍රකාශනය වේදිකා නාට්‍යය තුළින් ප්‍රබලව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම සිනමාව තුළිනුත් ඒ දේ ක‍ළ හැකියි. මෙවැනි කාලයක හොඳ සිනමා නිර්මාණ බිහිවෙනවා නම් එය තමයි වඩා වටින්නේ කියලා මම හිතනවා.

?ඒ කියන්නේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කියන කටයුත්තට යොමුවෙන්නෙත් නැහැ කියන තැනද ඔබ ඉන්නේ?

නැහැ. මම නිර්මාණ කරනවා. එය ලංකාවේ තිබෙන විශිෂ්ටතම නිර්මාණය නෙමෙයි. නමුත් කිසියම් ලෙසකින් මාධ්‍යයට උචිත, ප්‍රේක්ෂකයාට කිසියම් රසයක් ලබාදිය හැකි හොඳ නිර්මාණ කිරීමට මා යොමු වෙනවා. පහුගිය කාලය තුළ එය සිදුකිරීම අභියෝගයක් බවට පත්වෙලා තිබුණේ. මුදල් වගේම මේ නාට්‍ය විකාශය කර ගැනීමේ ගැටලුවත් තිබෙනවා. ඒ නිසාම මේ ක්ෂේත්‍රය තුළ නිර්මාණ කිරීම ලොකු අභියෝගයක්ව තිබෙනවා. විශේෂයෙන්ම මුදලක් වැය කරලා හොඳ නාට්‍ය නිර්මාණය කිරීමේ ලොකු අවදානමක් තිබෙනවා. ඒ නිසා තමයි අපිට රූපවාහිනී නාට්‍ය නිර්මාණය කිරීමේ කම්මැළි බවක් ඇති වෙන්නේ.

IMG_8970

?ඒ නිසාද ඔබ වේදිකාවට වැඩි ඉඩක් වෙන් කරන්නේ?

වේදිකාව කියන්නේ මට දීර්ඝ කාලයක් පලපුරුදු මාධ්‍යයක්. මම එයට සම්බන්ධ වී මේ වන විට වසර පනහකට ආසන්නයි. ඒ වගේම ලංකාවේ හිටපු කීර්තිමත්ම නාට්‍යකරුවන් යටතේ අපි නිර්මාණ කළා. ලෝකේ තිබෙන ඉතාමත් ශ්‍රේෂ්ඨ සජීවි මාධ්‍යයක් ලෙස මම වේදිකාව පිළිගන්නවා. වේදිකාව තුළ තමයි රංගන ශිල්පියෙකුට තමන්ගේ ප්‍රකාශනය ඉතාම සංවේදීව, විවෘතව හා සජීවීව ප්‍රදානය කළ හැක්කේ. අනිත් කාරණය ආයතන හෝ පුද්ගලයන් හෝ රජය එයට බලපෑම් කරන්නේ නැහැ. නිර්මාණකරුවාට හොඳ නාට්‍යයක් කිරීමට අවශ්‍ය නම් රූපවාහිනී හෝ සිනමාවට වඩා එහි පසුබිම තිබෙනවා. එහි වාසිය අපිට තිබෙනවා.

?ඔබ බොහෝ කාලයක් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ කටයුතු කරනවා. ලංකාවේ වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකාගාරය ගැන ඔබේ අදහස කෙබඳුද?

වසරකට දෙවතාවක්වත් මම විදේශ ගමන්වල යෙදෙනවා. විශේෂයෙන් දියුණු රටවල. ගිය මාසයෙත් කැනඩාවේ ටික දිනක් සිටියා. එහිදී දකින්න ලැබෙන දෙය තමයි තියටර් කියන දෙයට කොතරම් තැනක් ඒ රටවල තියෙනවද යන්න. සංස්කෘතික මිනිසා සෑදීමේ එක්තරා ප්‍රබල පියවරක් තමයි වේදිකා නාට්‍ය කලාව කියන්නේ. ප්‍රේක්ෂකාගාරය හැදෙන්නේ රටේ තිබෙන නිර්මාණත් එක්ක. ඒ හරහා දෙන දේ තමයි ඔවුන් ලබා ගන්නේ. මං හිතන්නේ මෙහිදී වැඩි වගකීමක් තිබෙන්නේ නිර්මාණකරුවාට. දැන් දැන් හුදු හාස්‍ය පමණක් තිබෙන, සාහිත්‍යමය පක්ෂය එතරම් ප්‍රබල නැති, අශ්ශීල භාෂා විලාශය යොදාගෙන කරන නිර්මාණ අපිට දකින්න තිබෙනවා. එහි ඇති සරල රසාස්වාදය නිසා ප්‍රේක්ෂකයන් ඒ දේවල්වලට පෙළඹෙනවා. නිර්මාණ කරන අය අතේ තමයි එය තිබෙන්නේ. ඒ නිසා මධ්‍යස්ථව හෝ නිර්මාණය කරනවා නම් ප්‍රේක්ෂකාගාරයත් ඒ මට්ටමේ තිබෙනවා.

?මෙවැනි වාතාවරණයක් තුළ නිර්මාණකරුවෙකු ලෙස ඔබේ ප්‍රකාශනයන් ගෙන එන්නේ වේදිකාව තුළින්ද?

රූපවාහිනී නාට්‍ය නම් සිදුවන එකක් නැහැ.නමුත් වේදිකාව හා සිනමාව කියන්නේ මා බලාපොරොත්තුවක් තබා සිටින තැනක්. ඔබ සඳහන් කළා වගේ විශේෂයෙන්ම වේදිකා නාට්‍ය. මගේ තලමල පිපිලා කියන වේදිකා නාට්‍යයට මේ වසරට අවුරුදු තිහක් සපිරෙනවා. තවමත් එය මෙරට හා විදේශ රටවල වේදිකාගත කරනවා. ලංකාව වැනි රටක වසර තිහක් එකම පිරිසක් යොදාගෙන නාට්‍ය කිරීම හරි අමාරු දෙයක්. නමුත් අපි එය ජයග්‍රහණය කර තිබෙනවා. අන්දරේලා යන නාට්‍යයටත් වසර විසි පහක්. එයත් තවම වේදිකාගත වෙනවා. ගුරු තරුව නාට්‍යයට අවුරුදු විසි දෙකක්. තවම එයත් වේදිකාගත කරනවා. එවැනි සතුටු විය හැකි දේවල් තිබෙන නිසා මම හිතන්නේ අපිට වේදිකාව තමයි ඉදිරියේදී තිබෙන එකම ප්‍රකාශන මාධ්‍ය.

?ඉදිරියේදී සිදුවන වේදිකා නාට්‍ය නිර්මාණ කටයුතු ගැන සඳහන් කළොත්?

මගේ අලුත්ම නාට්‍ය වන්නේ ,%වන ලැහැබ^ යන නාට්‍යයයි. ලෝක ප්‍රකට සිනමාකරුවෙකු වන අකිර කුරසෝවගේ රෂෝමෝන් චිත්‍රපටය පාදක කරගෙනයි මෙහි පිටපත රචනා වුණේ. මෙය නූර්ති නාට්‍යයක්. නවරත්න ගමගේ මහතා මෙහි සංගීතයෙන් දායක වෙනවා වගේම රවි බන්දු විද්‍යාපති මහතා මෙහි නර්තන වින්‍යාසය සිදුකරනවා. මෙහි ගීත රචනා සියල්ලම රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සිදුකරනු ලබනවා. ජුනි මාසයේ මැද සිට එහි පුහුණු වීම් සිදුකරනවා.

නවක ගායකයෝ ගීත තුනක් ගයන්නත් වේදිකා නාට්‍යයකට ගෙවන මුදලට වැඩි මුදලක් අයකරන සමයක ලංකාවේ වේදිකා නාට්‍ය ස්ථානගත වෙන්නේ කොතැනද?

රවීන්ද්‍ර ආරියරත්න යනු වේදිකා නාට්‍ය තුළින් ප්‍රේක්ෂක ජනාදරයට පත් නිර්මාණ කිහිපයක්ම සිදුකළ නිර්මාණකරුවෙකි. ඔහුගේ 'බල්ලොත් එක්ක බෑ' වේදිකා නාට්‍ය නිර්මාණයද වැඩි ප්‍රේක්ෂක ජනාදරයක් දිනාගත් නිර්මාණයකි. එහි තවත් අදියරක් ලෙස බල්ලොත් එක්ක බෑ 02 නිර්මාණය හෙට (19දා) සවස 7.00ට ලයනල් වෙන්ටඩ් රංග ශාලාවේදීද, අනිද්දා (20දා) 3.30ට සහ 6.45ට බොරැල්ල පුංචි තියටර් රංග ශාලාවේදීද, 26 වැනිදා කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේදීද වේදිකාගත කිරීමට නියමිතය. මේ ඒ පිළිබඳව ඔහු සමග සිදුකළ සාකච්ඡාවකි.


Ballo2-PIC-002

?වෙනත් නාට්‍ය නිර්මාණයකට යොමු නොවී 'බල්ලොත් එක්ක බෑ' 02 වේදිකාවට ගේන්න හිතුවේ ඇයි

බල්ලොත් එක්ක බෑ කියන නාට්‍යය 2009 වසරේ තමයි අපි කළේ, ඒ කාලය තුළදී පැවැති සමාජ දේශපාලනික තත්ත්වයන් වර්තමානයටත් අදාළයි. ඒ නිසා එය එසේ සිදුවුණා සේම එය මේ කාලෙදී මෙසේද සිදුවිය හැකියි කියන කාරණාව මත සිට  තමයි අපි මේ නාට්‍යය වේදිකාවට ගෙන එන්නේ. බල්ලොත් එක්ක බෑ නාට්‍යය දර්ශන වාර දාහක් පමණ අපිට කරන්න පුළුවන් වුණා. ඉතා කෙටි කාලයකදී මෙවන් දර්ශන වාර සංඛ්‍යාවක් පැවැත්වීමට හැකිවීම ඉතා හොඳ තත්ත්වයක්. ඒ වැලඳ ගැනීම ඉතා හොඳයි. වර්තමානය වන විට වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන්ගෙන් ඈත්වෙලා තියෙන්නේ. ඉස්සර පත්තරයක් ගත්තත් වේදිකා නාට්‍ය දර්ශන වාර ගැන බොහෝ සඳහන් වෙනවා. දැන් එහෙම වෙන්නේ නැහැ. ඒ දිනවල කොළඹ දර්ශන වාරයකට විශාල ප්‍රේක්ෂකාගාරයක් හිටියා. ඉඩ නොමැතිකම නිසා සමහර ප්‍රේක්ෂකයන්ට රංග ශාලාවට පැමිණ යන්නත් සිදු වූ අවස්ථා තිබෙනවා. නවයයි තිහේ දර්ශනය පවා පවත්වන්න යැයි කියූ අවස්ථාවන් තිබෙනවා.වර්තමානයේ විවිධ වූ හේතු කාරණා මත මේ තත්ත්වය නැතිවෙලා තිබෙනවා. එවැනි පරිසරයක් තුළ තමයි අපි මේ තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්තේ. බල්ලොත් එක්ක බෑ 02 කරන්න කියලා ප්‍රේක්ෂකයන්ගෙනුත්  දැඩි ඉල්ලීමක් තිබුණා. මමත් මුලින් එයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. මට ඕන වුණෙත් වෙනත් නාට්‍ය නිර්මාණයක් සිදුකරන්න. වෙනත් නාට්‍යයක් කරන්න පිටපතක් ලියමින් සිටියදී තමයි මේ නිර්මාණය කිරීමට යොමු වුණේ. අනෙක් අතට ලෝකයේ පවතින නිර්මාණ එක්ක බලද්දිත්, ජනතා ආකර්ෂණයට ලක් වූ නිර්මාණ එක, දෙක, තුන ආදී වශයෙන් නිර්මාණය වී තිබෙනවා. ඊට හොඳම උදාහරණයක් තමයි මේ වන විට ප්‍රේක්ෂකයන් වෙත පැමිණීමට නියමිත  ටයිටැනික් 02 චිත්‍රපටය.

?මෙහි පළමු නිර්මාණය නොබැලූ ප්‍රේක්ෂකයෙකුට එය නරඹන්නේ නැතුව දෙවන කොටස නැරඹීම රසවින්දනයට බාධාවක් බවට පත්වෙන්නේ නැද්දedit-pic-01

පළමු නාට්‍යය නොබලපු ප්‍රේක්ෂකයෙකුට වුණත් දෙවැනි නාට්‍යය නරඹන්න පුළුවන්. ඔවුන්ගේ රසවින්දනයට කිසිදු හානියක් වෙන්නේ නැහැ. මේ නාට්‍ය දෙකේම ආකෘතිය සමානයි. මම %රන් ලෝරා රන්^ නම් චිත්‍රපටය නැරඹුවා. එහි එකම කතා පුවත චිත්‍රපටය තුළ ආකාර තුනකින් කතා කරනවා. ඒ චිත්‍රපටය නැරඹීමත් එක්ක මේ නාට්‍යය කරන්නත් වෙනම ආශ්වාදයක් ඇති වුණා. මෙහිදී රස වින්දනයට කිසිදු බාධාවක් ඇතිවෙන්නේ නැහැ.

?ඔබ නාට්‍ය නිර්මාණය කරද්දී තිරපිටපත රචනා කිරීම සිදු කරන්නේ ප්‍රහසනය මූලික කරගෙනද

මම කිසිම දෙයකට මූලිකත්වය දෙන්නේ නැහැ. මම එය ස්වාභාවිකවම ලියවෙන්න ඉඩ දෙනවා. කාලයක් පුරා ගත් අත්දැකීම් එක්ක පිටපත රචනා වෙනවා. මම ලියන එක වැඩිපුර කරන්නේ නැහැ. මට ටෙලිනාට්‍ය රචනා කරන්න එහෙම ආරාධනා ලැබුණත් මම එයට යොමු වෙන්නේ නැහැ. මම ලියන කාර්යය ඉතා ප්‍රවේසමෙන් කරන්නේ. මම වැඩිපුරම කරන්නේ කියවන එක. එහෙම වුණාම දැනුමෙන් සන්නද්ධ වෙන්න පුළුවන්. අඩුවෙන් කියවලා වැඩියෙන් ලියන්න උත්සහ කළොත් මම වැඩි කාලයක් ලිවීම තුළ ජීවත් වෙන්නේ නැහැ. වේදිකා නාට්‍යයකට ඉතා හොඳ පිටපතක් අවශ්‍යයි. දාරියෝ ෆෝ වැනි නිර්මාණකරුවන්ගේ නාට්‍ය ශෛලියට මම කැමතියි. එය යම් උත්තේජනයක් වෙනවා ඇති. වේදිකාව තුළ තිබෙන ගතිකභාවය වැනි දේවල් මම වැඩි වශයෙන් භාවිත කරනවා. මම හිතන්නේ ඒ නිසා තමයි ප්‍රේක්ෂකයන් මේ නාට්‍යය ආදරයෙන් වැලඳ ගන්නේ.

?පිටපතට සාධාරණයක් ඉටුවෙන්න නම් චරිත තෝරාගැනීම විශේෂ විය යුතුයි. එය සිදු වුණේ කෙලෙසකද

මගේ තිරපිටපතක් ගත්තම සෑම රංගන ශිල්පියෙකුටම එය රඟපාන්න අපහසුයි. ඔවුන් වේදිකාවේ හොඳ පුහුණුවක් ලැබූ රංගන ශිල්පීන් විය යුතුයි. එවැනි රංගන ශිල්පීන් අපේ රට තුළ ඉන්නේ අතලොස්සයි. ඒ අතලොස්සත් ඉතාම කාර්යය බහුලයි. ඔවුන්ගේ කාර්යය බහුලත්වයත් එක්ක මෙය කරන්න ඉතාමත් අපහසුයි. පුහුණුවීම් සඳහා දැඩි වෙහෙසක් ගැනීමට සිද්ද වෙනවා. වේදිකා නාට්‍ය කියන්නේ විවේක බුද්ධියත් එක්ක කරන්න ඕන කලාවක්. නමුත් රටේ දැන් තිබෙන අධිධාවනකාරී තත්ත්වයත් එක්ක අපි ඒ තැනට තල්ලුවී තිබෙනවා. හැමෝම ජීවත් වෙන්න ලොකු උත්සාහයක යෙදෙනවා. ඒ සියලු වැඩකටයුතු එක්ක වේදිකා නාට්‍යයට කාලය වෙන්කරනවා කියන කාරණයටම ඔවුන්ට අපි ගරුකළ යුතුයි. ගිහාන් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, චින්තක පිරීස්  මෙහි රංගනයෙන් දායක වෙනවා.ඇන්තනී සුරේන්ද්‍ර සංගීතයෙන් දායක වෙනවා. නාට්‍යය නිෂ්පාදනය හා සංවිධානය ජුඩ් ශ්‍රීමාල් විසින් සිදුකරනවා. හැමදාම මාත් එක්ක වැඩ කරන ශිල්පීන් මෙයට දායක වෙනවා කිව්වොත් හරි.

?ඔබේ ප්‍රකාශනයන් සමාජගත කිරීම සඳහා වේදිකාවම වැඩි වශයෙන් මාධ්‍යයක් ලෙස තෝරා ගැනීමට හේතුව මොකක්ද

එහෙමම කියන්නත් බැහැ. මට කියන්න ඕන දේවල් මම කියනවා. ෆේස් බුක් මාධ්‍යය භාවිත කරමින් කාල වේලාව පවතින වෙලාවට කෙටි කවි ලිව්වා. තව වෙලාවකට ගීත ලියනවා. මගේ ප්‍රකාශන එක එක විදිහට පැන නගිනවා. ටෙලිනාට්‍යය කලාවට මට එන්න හිතෙන්නේ නැත්තේ අපේ රටේ ටෙලිනාට්‍යය කරන ක්‍රමයත් එක්ක. නමුත් පසුගිය කාලයේ කූඹියෝ නාට්‍යය දැකලා ඒ තුළ වෙනම ආශ්වාදයක් ලබන්න හැකි වුණා. දින දින ප්‍රේක්ෂකයන්ගෙන් දුරස්වූ රෑපවාහිනී මාධ්‍ය තුළ සිදුකළ ඒ පෙරළිය ආදර්ශයක්. සිනමාවටත් මම කැමතියි. ඉදිරියේදී ඒ හරහා මගේ ප්‍රකාශන ඉදිරිපත් කරන්නට මං කැමතියි.

?ඒ ක්ෂේත්‍රයන් සේම වේදිකා නාට්‍යය ක්ෂේත්‍රය තුළද ගැටලු රැසක් පවතිනවා

ඔව්. එය අදත් හෙටත් එහෙමම තියෙයි. අපි ගැටලු ගැන කතා කරකර ඉඳලා පලක් නැහැ. ඒ දේවල් විසඳගෙන නාට්‍ය නිර්මාණ කළොත් අපිට කිසිවිටක නාට්‍ය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ නාට්‍ය කලාව පවතින්නෙත් නාට්‍යයකරුවන් මෙලෙස උනන්දුවෙන් කරන නිර්මාණ මත තමයි. නාට්‍යකරුවන්ට රාජ්‍යය  මැදිහත්වීම්වලින් මේ ගැටලුවල විසඳුම් අපේක්ෂා කරලා පලක් වෙන්නෙත් නැහැ. අඩුම තරමේ එල්ෆින්ස්ටන් රඟහලවත් තවම හදාගන්න බැරි වුණානේ. ඉතිං අපි අපේ නිර්මාණකරණය කරනවා. ඒ ගැන හිතලා පලක් නැහැ.

Ballo2-PIC-011

?අද වන විට සංවිධායකවරු කිහිපදෙනෙකු අතේ නාට්‍යය කලාව පවතින බවට සඳහන් වෙනවා

අද වන විට වේදිකා නාට්‍යයක් තනියම කෙනෙකුට සංවිධානය කරන්න අපහසුතාවක් තිබෙනවා. නමුත් පසුගිය කාලේ තනියම සංවිධාන කටයුතුත් සිදුකරලා ලාභ ලබන්නත් පුළුවන් වුණා. මේක තව විදිහකට කතා කරන්න පුළුවන්. අද වේදිකා නාට්‍යයක් ප්‍රදර්ශනය කරන විට ලයිව් සවුන්ඩ් එක්ක කරන්න ලක්ෂ දෙකකට අඩු මුදලක් තමයි වැයවෙන්නේ.වේදිකා නාට්‍යයක් සඳහා අවම විසිදෙනෙකු පමණ සහභාගි වෙනවා. එහෙම බලද්දී මෙයට පවතින මිල මිලක් නෙමෙයි. මං දන්න විශ්වවිද්‍යාලයක මල්ලි කෙනෙක් වේදිකා නාට්‍ය වේදිකාගත කරන්න යන මිල ඇහුවා. ලක්ෂ දෙකට අඩු මුදල මම ඔහුට සඳහන් කළා. එවිට ඔහු පුදුම වුණා. එක් නවක ගායකයෙක්  සින්දු තුනක් සඳහා එක්ලක්ෂ අසූදාහක මුදලක් ලබාගත්තා කියා ඔහු සඳහන් කළා.

එහෙම බලද්දී ලංකාවේ වේදිකා නාට්‍ය ස්ථානගත වෙන්නේ කොතනද කියන ප්‍රශ්නය මතුවෙනවා. දියුණු සමාජයක් සහිත රටක වේදිකා නාට්‍යයක මිලක් කියන්නේ ඉතා දැවැන්ත මුදලක්. වේදිකාව කියන්නේ රටක සංස්කෘතියේ කැටපතක්. එයට තිබෙන තැන එහෙමයි. එවැනි තත්ත්වයක් පවතිද්දී නාට්‍යකරුවන් වැඩකටයුතු සිදුකරමින් යනවා. මෙහිදී අපි ප්‍රායෝගික විය යුතුයි. 'ඔපෙරා හවුස්' කරන ආකාරයට නාට්‍ය කරන්න බැහැ. අපට රංග ශාලාවන් නැහැ. ඉතාම හොඳ රසයක් ප්‍රේක්ෂකයාට ලබාදීමට තමයි කටයුතු කළ යුත්තේ. පසුගිය කාලේ ආරියරත්න ඇතුගලයන් විසින් 'මහ සමයම' වැනි දැවැන්ත නිර්මාණ කළා. එය ලංකාව තුළ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එවැනි දේවල් කරන්න රාජ්‍යය මැදිහත් වීම් අවශ්‍යයි. මේ තේරැම් ගැනීම් එක්ක තමයි සංවිධායකයන් එක්ක මේ නාට්‍ය කරන්න යොමු වුණේ.

?අවසන් ලෙස ඔබට සඳහන් කළ යුතු යමක් තිබෙනවාද

බල්ලොත් එක්ක බෑ නාට්‍යය එක්ක විශාල පිරිසක් හිටියා. ශිල්පීන්, ප්‍රේක්ෂකයන් සේම මාධ්‍ය අප සමග සිටියා. ඒ හැම දෙනාටම ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම නව නිර්මාණය වන %බල්ලොත් එක්ක බෑ 02^ නැරඹීමට පැමිණෙන ලෙස හැම කෙනෙකුටම මම ආරාධනා කරන්න කැමතියි. මාව සම්බන්ධ කරගැනීමට අවැසි අයෙක් සිටිනවා නම් 0714413445 දුරකථන අංකයෙන් මාව සම්බන්ධ කරගත හැකියි.

ලංකාවේ කලාව පමණක් නෙමෙයි හැම පද්ධතියක්ම අවුල් වෙලා

සිනමාව, ටෙලිනාට්‍ය සේම වේදිකාව තුළද සම්මානනීය රංගන ශිල්පියෙකු ලෙස නම් දරා සිටින ඔහු ප්‍රවීණ රංගන ශිල්පී පාලිත සිල්වාය. අද කතාබහ ඔහු සමගය. 


P1010006

?වසර එකහාමාරක පමණ කාලයකට පසුව තමයි ඔබ නැවත ටෙලිනාට්‍ය රංගනයට පැමිණෙන්නේ. එතරම් කලක් නිහඬව හිටියේ ඇයි

රඟපාන්න තරම් ගුණාත්මක ටෙලිනාට්‍යයක් ලැබුණෙ නැති කාලයකුත් තිබුණා. එහෙම යමක් කරන්න පුළුවන් ටෙලිනාට්‍යයක චරිතයක් ලැබෙනතුරු බලාගෙන හිටියා. එහෙම ඉන්නකොට තමයි දෙවෙනි ඉනිම නාට්‍යයට ආරාධනා කරන්නේ. ටෙලිනාට්‍යවල මට රඟපාන්න ලැබෙන්නේ ප්‍රධාන චරිත. නමුත් සමහර අවස්ථාවල ප්‍රධාන නොවන චරිතත් රඟපාන්න ලැබෙනවා. දෙවෙනි ඉනිම නාට්‍යය මම භාරගන්නා විට ප්‍රධාන නොවන චරිතයක් ලෙස තමයි මම එය භාරගත්තේ. එහෙම වුණත් මේ කතා තේමාවත් එක්ක මම හිතුවා මේ නාට්‍යය සඳහා ලොකු දායකත්වයක් කරන්න සිදුවෙයි කියලා. ඒ හිතුවා වගේම නාට්‍යය ජනප්‍රිය වුණා. ලොකු වෙනසක් කළ ටෙලිනාට්‍යයක් බවට එය පත්ව තිබෙනවා. මම මෙගා වර්ගයේ නාට්‍යවල රඟපාන කෙනෙක් නෙමෙයි. දීර්ඝ ටෙලිනාට්‍යවල ඉතාම අඩුවෙන් රඟපාපු කෙනෙක් තමයි මම. මෙගා නාට්‍ය කියලා අපි හඳුන්වන නාට්‍යවලට මම ඒ තරම් කැමැත්තක් දක්වන්නෙත් නැහැ. ඒකට හේතුව අපේ රටේ ඒ නාට්‍ය සිදුකරන විදිහයි. කාලය ගතවීමත් එක්ක එහි ගුණාත්මකත්වය අඩුවෙනවා කියල මම විශ්වාස කරනවා. එහෙම වුණත් දෙවෙනි ඉනිම නාට්‍යයේ තවම ගුණාත්මකත්වය අඩුවී නැහැ කියල මම විශ්වාස කරනවා. දීර්ඝ නාට්‍යයක දුර්වලතා සිදුවිය හැකියි. නමුත් නාට්‍යයට ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබාගැනීම කියන කාරණයේදී මේ නාට්‍යය ඉදිරියෙන් තිබෙනවා. ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් ගෙන්වන හරසුන් නාට්‍යයක් බලනවාට වඩා ගුණාත්මක බවෙන් අඩු සිංහල ටෙලිනාට්‍යයක් බලන එක හොඳයි කියන දේ මම විශ්වාස කරනවා. විදේශීය හරසුන් නිර්මාණවලට වඩා කුමක් හෝ දෙයක් ප්‍රේක්ෂකයන්ට සිංහල ටෙලිනාට්‍යයක් තුළින් ලබාදෙනවා. ඒ නිසා දෙවෙනි ඉනිම එක්ක මට තාමත් පවතින්න පුළුවන් කියන කාරණාව තියනවා.

?වසර එකහාමාරක පමණ කාලයකින් පසු ඔබ භාරගන්නේ දෙවෙනි ඉනිම පමණක් නෙවෙයි, මහරජ ගැමුණු නාට්‍යයත් භාර ගන්නවා

ඒ නාට්‍ය දෙකම භාරගැනීමේ හේතුව මං කියන්නම්. මට ක්‍රිකට් කියන එක දැනුණා. මගේ ළමා කාලයේ මම ක්‍රිකට් ක්‍රිඩා කරපු කෙනෙක්. %දෙවෙනි ඉනිමේ^ කතාව මුලින්ම එහි අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් මට කියන විට මට කැමැත්තක් ඇති වුණා. අපේ රටේ ක්‍රිකට් ගැන තාමත් මම ලොකු උනන්දුවකින්, අවධානයකින් ඉන්නවා. මට ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න බැරි වීම ජීවිතේ දෛවෝපගත සිදුවීමක් කියලයි හිතන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මට ලොකු හැඟීමක් තියෙනවා. ක්‍රිකට් පිළිබඳ මට තිබූ අත්දැකීම් මගේ චරිතය ජනතාව අතරට ගෙනයන්න බොහෝ ප්‍රයෝජනවත් වුණා. මහරජ ගැමුණු කියන නාට්‍යයටත් ඒ අතරතුර මට ආරාධනා ලැබෙනවා. විශේෂයෙන්ම මම සරත් ධර්මසිරි රචකයාට ඉතාම කැමතියි. ඔහු ලියූ කටු ඉඹුල නාට්‍යයේ මං රංගනයේ යෙදුණ සුගත බණ්ඩා කියන චරිතය ඉතාම ආස කරපු චරිතයක්. ඒ චරිතය නිසා මාව සම්මානයට පවා පාත්‍ර වුණා. ඒ ටෙලිනාට්‍යය රචනය තුළ මා දුටු දෙයක් තමයි සරත් ධර්මසිරි මහතාගේ රචනයේදී චරිතයක තිබෙන ගති ස්වභාවයන් ඉතා විශිෂ්ට ලෙස රචනා කිරීම. ඔහු මට %මහරජ ගැමුණු^ වැනි ටෙලිනාට්‍යයක චරිතයක් රඟපාන්න ආරාධනා කළාම මම එය භාරගත්තා. එහි පිටපත සම්පූර්ණයෙන් දැනගෙනත් නොවෙයි එය භාරගත්තේ. සරත් ධර්මසිරි කියන නිර්මාණකරුවා ගැන තිබෙන විශ්වාසය මත මම එයට රංගනයෙන් දායක වීම භාරගත්තේ. ලංකාවේ ඓතිහාසික කතා නරඹන්න වෙනම ප්‍රේක්ෂකාගාරයක්  තිබෙනවා. ඔවුන්ට එවැනි නිර්මාණවල ලොකු පිපාසයක් තිබෙනවා. නමුත් අවාසනාවකට පෞද්ගලික නාළිකා කිහිපයකට හැරුණුකොට එවැනි නිර්මාණ හදන්න අවස්ථාවක් නැහැ. ඒ සඳහා යන වියදම සාමාන්‍ය ටෙලිනාට්‍යයකට වඩා වැඩියි. කෙසේ වුණත් මේ නාට්‍ය දෙකම හොඳ තෝරාගැනීමක් ලෙස මම හිතනවා.

?රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරනවාට අමතරව ඔබ අධ්‍යක්ෂණයත් හදාරලා තිබෙනවා. එහෙම හදාරලත් ටෙලිනාට්‍ය දෙකක් කරලා ඔබ අධ්‍යක්ෂණයට සමුදෙනවා. එහෙම වෙන්නේ ඇයි

ඉන්දියාවෙන් ඉගෙන ගෙන ඇවිත් මම ටෙලි ෆිල්ම් දෙකක් තමයි නිර්මාණය කළේ. අමුත්තෙක් ඇවිත් කියන නිර්මාණය සඳහා 1998 සම්මාන ලබා ගන්නවා. ඉන්පසු මම උත්සාහ කළේ චිත්‍රපට නිර්මාණය කරන්න. චිත්‍රපටයක් නිර්මාණය කරන්න ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මගේ තිර පිටපතක් මිලදී ගත්තා. නමුත් නිෂ්පාදනය කරන්න වුණේ නැහැ. ඒ ව්‍යාපෘතිය චිත්‍රපට සංස්ථාවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමුවා. ඒ එක්කම චිත්‍රපටයක් හදන බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම ගිලිහිලා ගියා. නමුත් මම දිගින් දිගටම සිනමා අධ්‍යක්ෂණය සිදුකළා. පසුව සිනමාව ගැන උගන්නන මට්ටමට යොමු වුණත් සිනමා අධ්‍යක්ෂණයට ප්‍රවිෂ්ට වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නිෂ්පාදකවරුන් සොයාගෙන ගියත්, ඔවුන් අපේක්ෂා කරන්නේ වාණිජමය හුදු හාස්‍ය පමණක් තිබෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්නයි. නමුත් හොඳ සිනමා කෘතියක් නිර්මාණය කරන්න නිෂ්පාදකවරුන් සොයාගැනීම ලෙහෙසි පහසු කාරණයක් නෙමෙයි. මං හිතන්නේ මට පමණක් නෙවෙයි මේ තත්ත්වය ඇතිව තිබෙන්නේ. මට පෙර පරම්පරාවල අයට වගේම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට පවා මේ ප්‍රශ්නය තියෙන්න ඇති කියලා මම හිතනවා. හොඳ සිනමා කෘතියකට දායකත්වයක් දෙන්න ලංකාවේ එහෙම නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ. එහෙම නැති වුණාම රාජ්‍ය මට්ටමෙන් හෝ එවැනි වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි. චිත්‍රපටවලට යම්කිසි මුදලක් ලබාදෙන තත්ත්වයක් ඇතිව තිබුණේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස තිස්ස අබේසේකර මහතා පත්වූ කාලයේ පැවති ව්‍යාපෘතියකින් පමණයි. ඉන්පසු කිසිම රජයකට එවැනි ව්‍යාපෘතියක් කරන්න ඕනකමක් තිබුණේ නැහැ. සංස්ථාවට පත්වූ කිසිදු සභාපති කෙනෙකුට එවැනි අදහසක් තිබුණේ නැහැ. ලෝකේ හැම රටකම හොඳ සිනමා කෘති නිර්මාණය කරන්න රාජ්‍ය මට්ටමෙන් වැඩපිළිවෙළවල් හෝ පෞද්ගලික නිෂ්පාදන ආයතන තිබෙනවා. ලංකාවේ එවැනි තත්ත්වයක් නැහැ.

?සිනමාව, ටෙලිනාට්‍ය යන මාධ්‍යන්වල රංගන ශිල්පියෙක් ලෙස කාලයක් ඔබ කටයුතු කරනවා. මේ තුළ ඔබේ දැක්ම කෙබඳු ද

අපිට ලැබෙන දේ කරමින් ඉන්න එක පමණයි තියෙන්නේ. අපිට ඉන් එහාට ලෝක මට්ටමට යන්න පුළුවන් පර්යේෂණාත්මක වැඩවලට යන්න විදිහක් නැහැ. අපි ඒ ගැන කොතරම් අධ්‍යයනය කළත් ඵලක් වෙන්නේ නැහැ. අපේක්ෂා භංගත්වයට පත්වීම පමණයි සිද්ධ වෙන්නේ. ලංකාවේ නිර්මාණ කිරීම සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් තමයි තිබෙන්නේ. එක්කෙනෙක්, දෙන්නෙක් මේ රැල්ලෙන් එළියට ඇවිත් තමන්ගේ පෞද්ගලික හැකියාවෙන් නිෂ්පාදකවරු සොයාගෙන නිර්මාණ කරනවා. මම විශ්වාස කරන්නේ ඔවුන්ගේ සිනමා අධ්‍යයනයට වඩා වෙළෙඳ ප්‍රචාරණය ඉහළ මට්ටමක තිබෙනවා කියලා. ඔවුන් වුණත් එහෙම නිෂ්පාදකවරු සොයාගත්තත් එක්කෙනෙක් දෙන්නෙක් හැරුණම බහුතරයක් සිනමාව ජාත්‍යන්තර මට්ටමකට ගෙනයන්න පර්යේෂණ කරනවා කියල මට පෙනෙන්නේ නැහැ. රඟපෑම වැනි ක්ෂේත්‍රයක් ගත්තොත් අනෙකුත් රටවල පවතින තත්ත්වයන්ට අපිට ළඟාවෙන්න බැහැ. ජාත්‍යන්තර තලයට රඟපෑමක් කරන්නේ කොහොමද කියන කාරණාව ගැන අපේ ශිල්පීන් අධ්‍යයනය කරනවා කියල මම හිතන්නේ නැහැ. රඟපෑම් ක්ෂේත්‍රය ඉතාම දරුණු ලෙස අර්බුදයට ලක්වෙලා. රඟපෑමේදී නළු නිළියන් මෙහෙය වීම දන්නෙ නැත්නම් අධ්‍යක්ෂකවරුන් කොතරම් චිත්‍රපට නිර්මාණ කළත් ඵලක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අධිරංගනයන්, භාවාතිෂය රඟපෑම් වැනි දේවල් චිත්‍රපටයට ඇතුළත් නොකිරීමට සිනමා අධ්‍යක්ෂකවරු දැන සිටිය යුතුයි. රංගනය ගැන අවබෝධයක් තිබෙන අධ්‍යක්ෂකවරුන් ලංකාවේ බිහිවෙනවද කියලා බරපතළ ගැටලුවක් තිබෙනවා. අනාගතයේදීත් එක් අධ්‍යක්ෂකවරයෙක්, දෙදෙනෙක් හැරුණුකොට අනෙක් අය කොතරම් චිත්‍රපට කළත් ජාත්‍යන්තර තලයට යන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. මෙවන් තත්ත්වයක් තුළ රංගනය ගැන කතා කළොත් වෘත්තියක් කරලා පැත්තකට වෙලා ඉන්න තත්ත්වයක් තමයි තිබෙන්නේ. මම ඉගෙන ගත් මගේ අත්දැකීම් ක්‍රියාත්මක කරන්න බෑ. අපිට හමුවෙන බොහෝ අධ්‍යක්ෂකවරු එවැනි දැනුමකින් සමන්විත වූ අය නෙමෙයි. ටෙලිනාට්‍යයක් කරලා එහෙම නැත්තම් මිතුරන් හරහා පත්වූ අධ්‍යක්ෂකවරුන් තමයි අද වැඩිදෙනෙක් ඉන්නේ. 

P1010010

?මෙවන් වටපිටාවක් තුළ නිර්මාණකරුවෙක් ලෙස ඔබේ ප්‍රකාශනයන් සමාජගත කරන්නේ කොහොමද

නිර්මාණකරුවෙක් ලෙස ඉදිරියට එන්න හැකියාවක් නැහැ. මේ වන විට නළුවෙක් ලෙස පවතිනවා පමණයි. පාලිත සිල්වා කියන නිර්මාණකරුවා 2000 වසරේ පමණ සිට නැහැ. ඉන්දියාවේ ජාතික චිත්‍රපට ආයතනයෙන් ඉගෙන ගෙන ඇවිත් අමුත්තෙක් ඇවිත් කියන නිර්මාණයත්, %ත්‍රස්තවාදියාගේ ඝාතනය^ කියන ටෙලි චිත්‍රපටයත් කළා. ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ණය මුදලක් අරගෙන මල්වර අඩවිය නමින් සිනමා කෘතියක් කරන්න උත්සාහ කළා. ජාත්‍යන්තර වශයෙන් මුදල් අරන් ඉංග්‍රීසි චිත්‍රපටයක් හදන්න, ඉංග්‍රීසි තිර පිටපතක් ලියා යොමු කළා. නමුත් එයත් සිදුවුණේ නැහැ. ඊට අමතරව චිත්‍රපටයක් සඳහා තවත් තිර රචනයක් රචනා කළා. සියල්ලම බිඳවැටීම් පමණයි. නිර්මාණාත්මකව නිර්මාණකරුවෙකුට බිහිවෙන්න තිබෙන වටපිටාව ඉතාම දරුණු ලෙස ඇද වැටී තිබෙනවා.

?අද වන විට සමහර ප්‍රවීණයන් මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා. සිටින අය ලැබෙන දෙයක් කරලා ඉවත්වෙලා බලන් ඉන්නවා. මීට වඩා යමක් කරන්න නොහැකිද

අපිට කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මේ සමාජය කොහෙටද තල්ලුවෙලා යන්නේ කියල මම දන්නෙ නැහැ. එයට කාටවත් චෝදනා කරන්නත් බැහැ. මේ රටේ සිස්ටම්වල බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. ටෙලිනාට්‍ය කලාව අාරක්ෂා වෙලා නැහැ. සිනමාවේ නිසි ක්‍රමවේදයක් නැහැ. ලංකාවේ සිනමා පාසලක් නැහැ. නාට්‍ය පාසලක් නැහැ. ඒ හැමදේම විශ්වවිද්‍යාලවලට පමණක් භාර දීලා. ලංකාවේ කලාව පමණක් නෙමෙයි හැම පද්ධතියක්ම අවුල් වෙලා. මේක චෝදනාවක් නෙමෙයි. මේ ක්‍රමවේද තුළ බරපතළ ප්‍රශ්න තිබෙනවා. එක්කෙනෙක්, දෙන්නෙක් මේ ක්‍රමවේදය තුළින් එළියට ගියත් හෙට දවසේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ලා, ධර්මසේන පතිරාජලා, තිස්ස අබේසේකර වැනි අය බිහිවෙයිද කියල කියන්න අමාරුයි. 

ත්‍රී ෆේස් ප්‍රසංගය හඬ පෞරුෂයන් තුනක්, මුහුණු තුනක් එකතු වෙන අවස්ථාවක්

ගායකයෙකු ලෙසත්, රංගන ශිල්පියෙකු ලෙසත් කලා ක්ෂේත්‍රය තුළ කටයුතු කරන රොඩ්නි වර්ණකුල මහතාගේ කලා දිවියට තිස්හත් වැනි වසර සපිරීම නිමිත්තෙන් %ත්‍රී ෆේස්^ නම් ප්‍රසංගයක් මෙම මස 18 වැනිදා සවස 6.30ට බණ්ඩාරනායක සමරු රඟහලේදී පැවැත්වීමට නියමිතය. මේ ඒ පිළිබඳ ඔහු සමග සිදුකළ කතාබහකි.


_DSC1925

? ත්‍රී ෆේස් නමින් පැවැත්වෙන ප්‍රසංගය ගැන මුලින්ම කතා කරමු

මම දැන් කලා ක්ෂේත්‍රයට පැමිණ වසර තිස්හතක් ගත වෙනවා. එයම අරමුණු කරගෙන යමක් කළ යුතුයි කියලා හිතුවා. මගේ කලා ජීවිතයට අවුරුදු විස්සක් සපිරීමේදී %කාහල නාදය^ යන සීඩී පටය නිකුත් කළා. අවුරුදු තිහක් වන විට %සඳ එළියක්^ සීඩී පටය නිකුත් කළා. මෙවර මට හිතුණේ ගීත ප්‍රසංගයක් පැවැත්වීමටයි. ඒ සිතිවිල්ල නිසා තමයි මම මේ සජීවී ප්‍රසංගය පවත්වන්නේ. මේ ප්‍රසංගය පැවැත්වීමේදී මම හිතුවේ වේදිකාව තුළ ඉන්න රංගන ශිල්පීන් ලෙස නමක් දිනාගත් අය මේ සඳහා දායක කරගත යුතුයි කියලා. ඒ අනුව තමයි මේ ප්‍රසංගය සඳහා කුමාර තිරිමාදුර හා සමන් ලෙනින් දායක කරගත්තේ. සමන් ලෙනින් කියන්නේ හොඳ හඬ පෞරුෂයක් තිබෙන කෙනෙක්, රංගන ශිල්පියෙක්. කුමාර තිරිමාදුර කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්, ගායකයෙක්. මේ දෙදෙනා දායක කර ගැනීමත් එක්ක මම %ත්‍රී ෆේස්^ යන නම මෙයට යොදන්න හිතුවා. මෙය හඩ පෞර්ෂයන් තුනක්, මුහුණු තුනක් එකතු වෙන අවස්ථාවක්. මෙය නාට්‍යයක් නොවුණත් ප්‍රාසාංගික ප්‍රසංගයක්. මෙහි සංගීත අධ්‍යක්ෂණය කැලුම් ගීගනගේ විසින් සිදුකරනවා. මෙහි නර්තනාංග අධ්‍යක්ෂණය නාට්‍යවේදිනී තරංගා කුමාරි විසින් සිදුකරනවා.

? මේ ප්‍රසංගයේ අන්තර්ගතය ගැන කතා කළොත් ඒ සඳහා ඔබ තෝරාගෙන තිබෙන්නේ කෙබඳු ගී නිර්මාණද

මේ ප්‍රසංගයට අන්තර්ගත වෙන්නේ අපි ගායනා කළ නමුත් මීට කලින් නොඇසුණ ගීත. මෙහිදී ශිල්පීන් තිදෙනා ආරම්භයේ සිට අවසානය දක්වාම වේදිකාවේ රැඳී සිටිමින් ප්‍රාසාංගික අයුරින් ප්‍රේක්ෂකයන් වෙත සිය ඉදිරිපත් කිරීම් ගෙන එන්නට වගේම ඔවුන්ට සුභාවිත ඉතා හොඳ රසාස්වාදයක් ලබා දීමටද උත්සාහ කරනවා.

? ඔබ එළිදැක්වූ %සඳ එළිය වගේ^යන සීඩී පටයේ අන්තර්ගත ගීත සමාජගත වුණේ නැහැ නේද

2011දී තමයි මගේ දෙවැනි සංයුක්ත තැටිය ලෙස එය ඉදිරිපත් කළේ. ඒ තුළ ගීත දහඅටක් අන්තර්ගතවෙලා තියෙනවා. ඒ ගීත මම මාධ්‍යට ලබාදුන්නා.නමුත් ඒ මාධ්‍යවල අපේ ගීත ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා මම දන්නේ නැහැ. කලාතුරකින් එක් ගීතයක් දෙකක් ඇහෙනවා. අපේ ගීත අපිම අසමින් ඉන්න තත්ත්වයක් තමයි ඇතිව තිබෙන්නේ.

ඕනම ගුවන්විදුලි නාළිකාවක පැයේ ප්‍රචාරය කරන ගීත ලිස්ට් එකක් තිබෙනවා. ඒ ලිස්ට් එකට නම් මේ ගීත අයිති වෙන්නේ නැහැ. ඒක මට විතරක් සිදුවන දෙයක් නෙමෙයි. බණ්ඩාර ඇහැලියගොඩ කියන්නේ විශිෂ්ට ගීත රචකයෙක්.ඔහුගේ බොහෝ හොඳ ගී නිර්මාණ තිබෙනවා. ඔහුගේ මෑතකදීම එළිදැක් වුණේ %ජීවිතය කවියක්^ යන ගීතය. ඒ ගීත ඇහෙන්නේ කුමන නාළිකාවකද? ඒ ගීත වෙනුවෙන් රූප රචනා පවා සිදුකර තිබෙනවා. නමුත් එහෙම ගීතවත් ප්‍රචාරය වෙන්නේ නැහැ. එවන් තත්ත්වයක් තමයි අද ඇතිව තිබෙන්නේ. මෙහෙමයි අපිට මාධ්‍යවල ඉන්න ප්‍රධානීන්ට මුදල් ලබාදීමේ හැකියාවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය දේවල් දීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපේ නිර්මාණ ඒ විදිහට තියනවා. ඒ නිසා තමයි අපේ ගීත මෙවැනි ප්‍රසංගවලින් හෝ ප්‍රේක්ෂකයන්ට අහන්න අවස්ථාවක් උදාකර දිය යුතුයි කියන හැඟීම ඇති වෙලා තිබෙන්නේ.001

? නිර්මාණකරුවෙකු ලෙස ඒ නිර්මාණ සමාජගත කරන්න ලැබෙන දායකත්වය ගැන ඔබ තෘප්තිමත් නැද්ද

අපි කලාව කරන්නේ තෘප්තියෙන්.බහුතරයක් නොවුණත් සුළුතරයක් හෝ අපේ නිර්මාණ රසවිඳින්න ඉන්නවා. ඒ අයගේ අත්පොළසන් නාදයක් ලැබුණත් අපිට සතුටුයි. අපි මෙය කරන්නේ සතුටින්. කලාව තුළින් තමයි අපි ජීවත් වෙන්නේ. මේ රටේ සුභාවිත කලාවට තැනක් නැති එක ගැනයි අපිට තිබෙන කනගාටුව.
මේ දේශපාලන මඩගොහොරුවත් එක්ක කලාව, සාහිත්‍ය කොහෙද පෝෂණය වෙන්නේ. අපේ රටේ දේශපාලනය කරන ඇත්තන්ට නාට්‍ය බලන්න වේලාවක්, ගීතයක් අහන්න වේලාවක් තියනවාද? නමුත් ගීත ප්‍රසංගයක් පැවැත්වුවත් ඔවුන්ගේ නමක් දාලා ඒ දේශපාලඥයාගේ සංකල්පයක් මත මෙය සිදුවෙන්නේ කියලා සඳහන් කරනවා. ඉන් එහා දෙයක් සිදුවෙන්නේ නැහැ. එවැනි ප්‍රසංගයක් දෙස වුණත් බලන්න. සංගීත ප්‍රසංගයක පවා අහන්නේ කෝ සද්දේ කියලා. එවැනි විනයක් නැති, මිනිසුන් ගහමරා ගන්න පරිසරයක් තමයි එහි ගොඩ නැගෙන්නේ. එහෙම පරිසරයක සංකල්පද මේ දේශපාලනය විසින් ගොඩ නගන්නේ. එයද සිදුවිය යුත්තේ. මේ සංගීත තුළින් නිර්මාණ තුළින් මිනිසුන්ට ඉහළ රසවින්දනයක් ලබාදිය යුතුයි. හැටේ හැත්තෑවේ ගීත තාමත් මිනිස්සු අහන්නේ ඒ නිසා. අපි ගයන නාට්‍ය ගීතවල වුණත් සංවේදී මෘදු සුභාවිත ගීත තිබෙනවා.ඒවා මිනිසුන්ට ඇහෙන්නේ නැහැ. ඒකයි ගැටලුව සහ අතෘප්තිය ඇතිවන තැන.

? හැට හැත්තෑව දශකයේ නිර්මාණ ගැන අපි කතා කරනවා. ඔබ දකින විදිහට ඒ නිර්මාණකරණය ගිලිහුණේ කොතැනින්ද

විවෘත ආර්ථිකයත් එක්ක හොඳ නොහොඳ සියල්ලටම මෙරට විවෘත වෙනවා. ඒ සියල්ලම විමසා බැලීමකින් තොරව අපි වැලඳ ගන්නවා. එහිදී මුදල් තිබෙන ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ලෙස වැඩකටයුතු සිදුවුණා. රටේ මිනිසුන්ගේ මනස සුවපත් කරන්න ඕන කියන නිර්මාණයක් ඇති වුණේ නැහැ. මම කියන්නේ අධ්‍යාපනයෙන් හෝ දේශපාලනයෙන් මේ දේවලට විසඳුම් ලැබිය යුතුයි. වර්තමානයේ මාධ්‍ය හරහා ඕනෑම කෙනෙකුට ඕනම විදිහක ගීතයක් ප්‍රචාරය කරගැනීමේ හැකියාව තිබෙනවා. කිසිම තැනක වාරණ නැහැ. නාට්‍ය, සිනමාව තුළ රුඟුම් පාලක මණ්ඩල පැවතුණත් ගීතවලට එහෙම තත්ත්වයක් කොහේද තියෙන්නේ. මෙවන් තත්ත්වයක් තමයි වර්තමානයේදී ඇතිව තිබෙන්නේ. ඒ නිසා තමයි අපෙන් හරවත් නිර්මාණ ගිලිහෙන්නේ.

? රංගන ශිල්පියෙකු ලෙස කතා කළොත් ටෙලි නාට්‍ය කියන මාධ්‍ය ඔබ මේ මොහොත වන විට ප්‍රතික්ෂේප කරලා තිබෙනවා

මම ටෙලිනාට්‍ය මාධ්‍ය කියන එක අමතක කරලා තියෙන්නේ. වසර හතරකින් පමණ මම ටෙලිනාට්‍යයකට දායක වෙලා නැහැ. එහි කලාත්මක නිර්මාණ ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. අනිත් බොහෝ නිර්මාණ ඒකාකාරී ගණයේ නිර්මාණ. මට ටෙලිනාට්‍යවලට කතා කරාම මම එය ප්‍රතික්ෂේප කරනවා. එයට හේතුවන එක් කාරණාවක් තමයි මෙගා ටෙලිනාට්‍ය සිදුවන ආකාරය පිළිබඳ මට සතුටු වීමට බැරි වීම. කම්කරු වැටුප් ලෙස ලබාදෙන වැටුප් තමයි එහිදී ලබාදෙන්නේ. ඉතාම අඩු වියදමකින් නිර්මාණයක් සිදුකිරීම තමයි අද වුවමනාව බවට පත්ව තිබෙන්නේ. නිර්මාණයේ ගුණාත්මක තත්ත්වය ගැන හිතන්නත් අමාරු වෙලා තිබෙනවා.

? ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කිරීම තුළ වෘත්තීමය වශයෙන් පැවැත්ම කියන කාරණය අභියෝගාත්මක නැද්ද

මේ වනතුරු ටෙලිනාට්‍ය විස්සකට පමණ මම දායක වෙලා ඇති. ඒ කාලයේ සිට මගේ ආත්ම තෘප්තිය තිබ්බේ වේදිකාවේ. මම ගීත ප්‍රසංග, රසවින්දන වැඩසටහන් වැනි දේවලට දායක වෙනවා. මම හිතන්නේ ඒ දේවල් ගැන මම තෘප්තිමත්.

? මේ වන විට තිස්හත් වසරක් ඔබ කලා ක්ෂේත්‍රය තුළ කටයුතු කර තිබෙනවා. ඒ ගැන අදහසක් සඳහන් කළොත්

මට ලැබුණ දේවල් ගැන මම සතුටුවෙනවා. නොලැබුණු දේවල් ගැන හිතන්නේ නැහැ. අපේ ක්ෂේත්‍රයේ තිබෙන ක්‍රමවේදය ගැන ගත්තොත් ඒ ගැන කලකිරීමක් තිබෙනවා. මේ ආර්ථික දේශපාලන රටාව තුළ බඩජාරිවාදයට හසුව මුදල් සෙවීම සඳහා කුමන හෝ කටයුත්තකට යොමුව සිටීමේ තත්ත්වයක් තමයි තිබෙන්නේ.

? ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු කෙබඳුද 

ගිරිරාජ් කෞෂල්‍යගේ නව සිනමා නිර්මාණයක් වන %කතුරු මිතුරු^ නිර්මාණයට දායක වුණා. එය හා‍ෙස්‍යා්ත්පාදක නිර්මාණයක්. ඒ වගේම මේ ප්‍රසංගය මෙතැනින් නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යෑමට අදහසක් තිබෙනවා. මේ ප්‍රසංගයටත් හැමදෙනාටම ආරාධනා කරනවා. 


විමසීම් – 0727300400

_DSC1973

මේ රටේ කිසිම දේකට ක්‍රමවේදයක් නැහැ

'සිඳු' හා 'වාමන යාමය' යන ටෙලිනාට්‍ය තුළින් බොහෝ ප්‍රේක්‍ෂකයන් හඳුනා ගත් ජෙහාන්, 'හොරු', 'සුරංගනා කතාවක්', 'මට දැන් පිස්සු', 'හැපි ජර්නි', 'සූකර අසපුව' වැනි කෙටි හා දිගු නාට්‍ය නිර්මාණ රැසක්ම වේදිකාවට ගෙන එන්නේය. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා ලෙස සම්මාන ලබන ඔහු මෙලෙස 'අද'ට සම්බන්ධ විය.


 2

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී 'සූකර අසපුව' වේදිකා නාට්‍ය ඇගයුමට ලක්වූ ආකාරය ගැන සෑහීමකට පත් විය හැකිද?

විනිශ්චය මණ්ඩලයක් ඇතු‍ළෙ ගන්න තීන්දු, තීරණවලට අභියෝග කරන්න බැහැ. නමුත් නිර්මාණයක් ලෙස එහි ලද විනිශ්චයන් සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න පුළුවන්. හොඳම නළුවා සහ හොඳම නිළිය නිර්දේශ වුණා. හොඳම නළුවා ලෙස සම්මාන ලබා ගන්න මට හැකිවුණා. හොඳම ආලෝකකරණයට සම්මානත් ලැබුණා. මම සෑහීමකට පත්වෙනවා ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. විනිශ්චය මණ්ඩලය කියන්නේ විනිශ්චය මණ්ඩලයක්. ඒ කටයුත්ත අභියෝගයට ලක්කරන්නේ නැහැ. ඔවුන් විනිශ්චය කරනවා අපි නාට්‍ය කරනවා.

'සූකර අසපුව' වේදිකා නාට්‍ය ඔලිම්පික් නාට්‍ය උළෙලට තේරී පත්වෙනවා. ඒ ගැන කතා කළොත්?

ඒ තේරී පත්වීම නිසා කේරළයේ හා දිල්ලිවල මේ නාට්‍ය වේදිකාගත කරන්න අපට අවස්ථාවක් ලැබුණා. ඒ වේදිකාගත කිරීමේදී ඉතා ඉහළ  ප්‍රතිචාර ලැබුණා. එහිදී තමයි මේ නාට්‍ය වෙනුවෙන් මට හොඳම ප්‍රේක්‍ෂකාගාරය ලැබුණේ. භාෂාව වෙනස් වුණත් මේ නාට්‍ය ඔවුන් විඳි ආකාරය ගැන, ඒ නාට්‍ය නරඹා ඔවුන් ඇසූ ප්‍රශ්න එක්ක ඒ සංස්කෘතිය තුළ නාට්‍ය කලාව කෙතරම් දියුණුද කියලා අපට හිතන්න පුළුවන් වුණා.

ඔබ අදහස් කරන්නේ එවැනි ප්‍රේක්‍ෂකාගාරයක් ලංකාවේ හමුවෙන්නේ නැහැ කියලද?

එහෙම ප්‍රේක්‍ෂකාගාරයක් ලංකාවේ තිබුණා. මෑතකදී තමයි එය වෙනස් වු‍ණේ. හැත්තෑව දශකයේ, අසූව දශකයේ ඉතා හොඳ ප්‍රේක්‍ෂකාගාරයක් අපට තිබුණා. නමුත් සංවිධායකවරුන් කිහිප දෙනෙකු අතේ වේදිකා නාට්‍ය කලාව පවතින නිසා තමයි මේ ගැටලුව ඇතිවෙලා තියෙන්නෙ. නාට්‍යකරුවන් පුරුදු වෙලා ඉන්නවා හුදු විනෝදය පදනම් වූ නාට්‍ය කරන්න. ඒ නිසා හාස්‍ය උත්පාදන නාට්‍ය රැල්ලක් තමයි අද නිර්මාණය වෙලා තියෙන්නෙ. එහෙම නාට්‍ය නිර්මාණය වෙද්දි 'සූකර අසපුව' වැනි නාට්‍යක් වේදිකාගත කිරීම අභියෝගයක්. මෙවැනි නාට්‍යක් කරද්දි ඒ නාට්‍ය ප්‍රේක්‍ෂකයා මොන විදියට ගනීද කියන ගැටලුව නිර්මාණකරු තුළ පවතිනවා.

ඒ නිසා මෙවැනි නාට්‍ය තුළින් මේ වගේ නාට්‍ය කලාවකුත් තිබෙනවා කියලා ප්‍රේක්‍ෂකයන්ට පෙන්වීමට සංවිධානය විය යුතුයි. ලංකාවේ ප්‍රේක්‍ෂකාගාරයට මේ නාට්‍ය වෙනස්ම අත්දැකීමක්. ප්‍රේක්‍ෂකයන් සම්භාව්‍යය නාට්‍ය බලන්න කැමැතියි. නමුත් ලංකාවේ ප්‍රේක්‍ෂකාගාරය වෙත යන්නේ එවැනි නාට්‍ය නෙමෙයි. සංවිධායකවරු ගෙන යන්නේ එවැනි නාට්‍ය නෙමෙයි. මේක මාෆියාවක්. ඇතුළෙ රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ රැල්ල ඇතුළෙ තියෙන නාට්‍ය ප්‍රේක්‍ෂකාගාරය බලාපොරොත්තු වෙනවා කියලා සංවිධායකවරුන් හිතාගෙන ඉන්නවා. නමුත් ප්‍රේක්‍ෂකයන් කැමැතියි හොඳ නාට්‍යක් බලන්න.

1'සූකර අසපුව'ට පස්සේ ඔබ 'කහඹිලියා යායටයි අපි ආස' වේදිකා නාට්‍ය නිර්මාණය කරන්නෙ. මේ නාට්‍ය නිර්මාණය කරන්නෙත් ඒ අභියෝගයට සූදානමින්ද?

කුමනාකාරයෙන් නාට්‍ය නිර්මාණය වුණත් අපි කරන්නේ අපට ඕන වේදිකා නාට්‍ය. ඒ නිසා 'සූකර අසපුව' කරද්දි ගත්ත අභියෝගයම මේ නාට්‍යටත් ගත්තා. මෙහි වෙනසක් තිබෙනවා. මෙය සංගීතාත්මක නාට්‍යක්. සංගීතයත් එක්ක තමයි මේ නාට්‍ය විකාශය වෙන්නේ. ඒ වගේම මේ නාට්‍ය තුළ දේශපාලන කතාවක් තිබෙනවා. මේ පවතින රැල්ලත් එක්ක මෙවැනි නාට්‍යක් කරන අභියෝගය බාර ගත්තා. ඒ නිසා තමයි 'කහඹිලියා යායටයි අපි ආස' වේදිකා නාට්‍ය නිර්මාණය වෙන්නෙ. මේ දිනවල මගේ අලුත් වේදිකා නාට්‍යේ පුහුණු වීම් සිදු වෙනවා. මේ නාට්‍ය රචනා කළේ විදර්ශන කන්නංගර. සංගීත අධ්‍යක්‍ෂණය පාලිත අබේරත්න විසින් සිදු කරනු ලැබුවා. මේ වේදිකා නාට්‍ය දෙසැම්බර් මසදී වේදිකාගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අභියෝගාත්මක වෙයි, ඒත් ඒ අභියෝගයට මුහුණ දෙන්න අපි සූදානම්.

මෙලෙස වේදිකාව තුළ හිතුවක්කාරකම් කරන්න අවශ්‍ය විකල්පය නිර්මාණය කර ගැනීමටද ටෙලිනාට්‍යවලට යොමු වෙන්නෙ?

මෙහෙමයි. ජීවත් වෙන්න මුදල් ඕන. වේදිකා නාට්‍යක් කරන්න හෝ සිනමා නිර්මාණයක්, කුමන දෙයක් කරන්න ගියත් මුදල් අවශ්‍යයි. ටෙලිනාට්‍ය කියන්නෙත් වෙන කලා මාධ්‍යයක්. ඒ නිසා වේදිකා නිර්මාණ කරන්න ටෙලිනාට්‍ය කරනවා.

ටෙලිනාට්‍ය තුළින් රංගන ශිල්පියෙකු ලෙස දෙයක් කරන්න බැහැ කියලද අදහස් කරන්නේ?

නැහැ. එහෙම කියන්නත් බැහැ. අද හොඳ ටෙලිනාට්‍ය බිහි වෙනවා. ටෙලිනාට්‍ය කලාව තුළ රංගනයට මහන්සි වෙන්න පුළුවන්. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව කියන මාධ්‍ය තුන කිසිම විටක පටලවා ගන්න හොඳ නැහැ. ඒ මාධ්‍යයන් හඳුනා ගනිමින් වැඩකටයුතු කිරීම තමයි වඩා හොඳ කියලා මම හිතන්නේ. මට කතා කරන බොහෝ අධ්‍යක්‍ෂවරුන් කතා කරන්නේ හුදු රංගන ශිල්පියෙකු අවශ්‍ය නිසා නෙමෙයි, වැඩක් ඇතුළේ වැඩක් කරන්න පුළුවන් නිර්මාණවලට කතා කරන්නෙ. ඒ නිසා ඒ තුළත් සෑහීමකට පත්වෙනවා. ආවට ගියාට නිර්මාණ කරන්නේ නැතුව හොඳට තෝරා බේරාගෙන නිර්මාණ කරනවා. මට ලැබෙන චරිතය තුළ උපරිම සාධාරණයක් කරන්නත් උත්සාහ කරනවා.

සිනමා නිර්මාණ දෙකකටත් ඔබ දායක වුණා. ඇගයුම් ලැබුවා. ඒ ගැන සඳහන් කළොත්?

මගේ ප්‍රථම සිනමා නිර්මාණය තමයි 'සයපෙති කුසුම' කියන්නේ. ඉන්පසු උපාලි ගම්ලත්ගේ 'ගුරු ගීතය' නිර්මාණයට දායක වුණා. ඒ මහන්සිය, කැපවීමට මට ප්‍රතිඵල ලැබුණා. 'සිඩ්නි' සම්මාන උළෙලේ හොඳම නළුවාට සම්මානය ලබා ගන්න පුළුවන් වුණා. %සාක්^ සිනමා උළෙලෙදීත් හොඳම නළුවා ලෙස සම්මාන ලබාගන්න මට හැකි වුණා. නිර්මාණයක් වෙනුවෙන් කළ කැපකිරීම්වල ප්‍රතිඵල මම භුක්ති විඳලා තියෙනවා. ඒ නිසා ඒ ගැන මට සතුටු වෙන්න පුළුවන්.

වේදිකාව සිනමාව තුළත් හොඳම නළුවා ලෙස ඇගයුම් ලබා ගන්නවා. මේ ගමන්මග තුළ ඉදිරි සැලසුම කෙබඳුද?

මේ රටෙත් කිසිම දේකට ක්‍රමවේදයක් නැහැ. ඒක කලාවටත් අදාළයි. මේ රටේ කිසිම සිස්ටම් එකක් නැහැ. ඒ නිසා ඒ තුළ කලාව කියන එක අමුතු වෙන්නෙත් නැහැ. චිත්‍රපටයකට කතා කළොත් චිත්‍රපටයක වැඩ කරනවා, ටෙලිනාට්‍යකට කතා කළොත් ටෙලිනාට්‍යක වැඩ කරනවා. වේදිකා නාට්‍යකට කතා කළොත් වේදිකා නාට්‍යේ වැඩ කරනවා. නැත්තම් වේදිකා නාට්‍යක් කරනවා. ඒ දේ තමයි සිදු වෙන්නෙ. කිසි සිස්ටම් එකක් නැති රටක අමුතුවෙන් කලාව තුළ සිස්ටම් එකක් ගැන හිතන්න බැහැ. ඒ නිසා ලැබෙන නිර්මාණය ඇතුළෙ උපරිමයක් කරන්න මහන්සි වෙනවා.

 

රාජ්‍ය මට්ටමින් කළ යුතු කාර්යයක් තමයි මට කරන්න සිදු වෙලා තියෙන්නෙ

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල හත්වැනි වරට මෙවරත් කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වීමට නියමිත අතර, මීට මූලිකත්වය ගෙන කටයුතු කරනුයේ Inter Act Art නාට්‍යය කණ්ඩායමේ ප්‍රධානී එම්. සෆීර් මහතාය. ජර්මනිය, ආජන්ටිනාව, කොසෝවෝ, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ඉන්දියාව ආදී විදේශීය නාට්‍යකරුවන් 13 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර නාට්‍ය උළෙල නම් කර ඇත්තේ ධර්මසිරි බණ්ඩාරනායක අභිනන්දන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල යනුවෙනි. මැයි මස 24 වැනිදා සිට මැයි මස 30 වැනිදා දක්වා සෑම දිනකම සවස හතට පැවැත්වෙන මෙම නාට්‍ය උළෙල පිළිබඳ මෙම නාට්‍ය උළෙලේ අධ්‍යක්‍ෂ එම්. සෆීර් සමගින් අප කතාබහක යෙදීමට සිතුවේ එබැවිනි.


_KSR3153

නාට්‍ය උළෙල ගැන කතා කළොත්?

මෙතෙක් පැවැත්වූ නාට්‍ය උළෙල සියල්ලටම රටවල් 60කින් අපට අයදුම්පත් 350-400 පමණ ඇවිත් තියෙනවා. ඒක අතිවිශාල ජයග්‍රහණයක්. අනික ඔවුන් ලාංකේය නාට්‍ය කලා ක්‍ෂේත්‍රය කෙරෙහි එවැනි උනන්දුවක් දක්වා තිබීමත් රටක් හැටියට අප ලබාගෙන තිබෙන ජයග්‍රහණයක්. මොකද මෙවැන්නක් සිදු විය යුත්තේ රාජ්‍ය මට්ටමෙන් මිසක් අපෙන් නෙමෙයි. හැබැයි අවාසනාවට අපටම තමයි මෙවැන්නක් සංවිධානය කරන්න සිදු වෙලා තියෙන්නේ. අනික මෙවැන්නකට අනුග්‍රාහකත්වය සෙවීම ගැන කතා ක‍රන්න ගියොත් එතැන තියෙන්නේ බරපතළ ඛේදවාචකයක්. නැත්නම් මටත් හීනයක් තියෙනවා මේ නාට්‍ය උළෙල කොළඹින් එපිටට ගිහින් ‍නුවර, යාපනය වගේ තැන්වල පෙන්වන්න. කොහොම වුණත් අපි මේ උළෙල පවත්වන්නේ අදියර කිහිපයක් යටතේ. එහි පළමු අදියර තමයි මේ ආකාරයෙන් විදේශීය වේදිකා නාට්‍ය ලංකාවේ රඟ දැක්වීම. දෙවැන්න තමයි ඔවුන් විසින් මෙහි නාට්‍ය වැඩමුළු පවත්වමින් තමන්ගේ දැනුම බෙදාහදා ගැනීම. ඒ වගේම අපට තියෙනවා ලාංකේය නාට්‍ය අධ්‍යක්‍ෂවරුන්ගේ සම්මේලනයක්. ඒ සඳහා අපි විදේශීය අධ්‍යක්‍ෂවරුන් සම්බන්ධ කර ගනිමින් දින තුනක සම්මේලනයක් පැවැත්වීමත් මීට සමගාමීව සිදු වෙනවා. එය තමයි මෙහි තෙවැනි අදියර.

මෙවර ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ පවතින විශේෂත්වය මොකක්ද?Application-Logo

ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ 70 වැනි සංවත්සරය යෙදී තිබෙන්නේ මේ වසරට. ඒ නිසා ඔවුන් මෙය සලකන්නේ ඒ සැමරුම් වෙනුවෙන් සිදු කරන්නක් විදියට. ඔවුන් ඒ සඳහා අපට උපදෙස් දෙනවා. මොකද නාට්‍ය කලාව උදෙසා ජාත්‍යන්තර වශයෙන් පවතින විශාලතම ආයතනය තමයි ජාත්‍යන්තර නාට්‍ය ආයතනය. ඒක පවතින්නේ යුනෙස්කෝ සංවිධානය යටතේ.

කෙසේ නමුත් වේදිකා රංගනය වැනි සජීවී මාධ්‍යයකදී වින්දනය උදෙසා භාෂාව හරස් වෙන්න පුළුවන් නේද?

මෙහි රඟ දැක්වෙන බොහෝ නාට්‍ය දෙබස් අවම නාට්‍ය. දෙබස් රහිත නාට්‍යයත් තියෙනවා. අනික නාට්‍ය කලාව කෙරෙහි ඇල්මක් පවතින ඊට ආසක්ත ප්‍රේක්‍ෂකාගාරයකට එවැනි දේවල් ගැටලු නෙමෙයි. මොකද අපිත් දැන් නාට්‍ය කලාවට අයිති සිතියමේ කොටසක්. ඒ බව තේරුම්ගත යුතුයි. ඒ නිසා මෙවැනි ජාත්‍යන්තර නාට්‍ය බලද්දි තමයි තේරෙන්නේ අපේ නාට්‍ය කොතැනද කියලා.

මෙවැනි නාට්‍ය උළෙලකට නාට්‍යයක් තෝරා ගැනෙන්නේ මොනවගේ නිර්ණායක මතද?

ඊට අපි මෙවැනි නාට්‍ය උළෙලකට පවතින ගැළපුම පළමුව සලකා බලනවා. එහිදී අන්තර්ගතය සුවිශේෂයි. අනික මම නෙමෙයි මේ නාට්‍ය තෝරන්නේ. ඒ සඳහා ලූෂන් බුලත්සිංහල, පරාක්‍රම නිරිඇල්ල වැනි ප්‍රවීණ නාට්‍යකරුවන් විශාල ප්‍රමාණයක් දායක වුණා. ඒ වගේම මෙම නාට්‍ය කණ්ඩායම් වෙනුවෙන් අපි කිසිම මුදලක් ගෙව්වේ නැහැ. නාට්‍ය කෘති වේදිකාගත කිරීමේදී ලංකාවට සාපේක්‍ෂව ප්‍රායෝගික තත්ත්වයත් අපි සලකා බැලුවා. ඒ වගේම අපි විවිධත්වයක් පවතින ආකාරයෙන් තමයි මෙම නාට්‍ය උළෙල සංවිධානය කරල තියෙන්නේ. බොහෝ දෙනෙකුට නැරඹිය හැකි ආකාරයේ නාට්‍ය කෘති තමයි මෙහි වේදිකාගත වෙන්නේ.  

ජාත්‍යන්තර වශයෙන් ගත්තාම රංග කලාව අද කොතැනද පවතින්නේ?

අද ලෝකය ලංකාවට සාපේක්‍ෂව ඉතා දියුණු මට්ටමකට ගිහින් තියෙන්නේ. මොකද අපි තාමත් ඉන්නේ ප්‍රොසීනියම් ‍රඟහල්වල නාට්‍ය පෙන්වන සාම්ප්‍රදායික අවධියක. තාමත් වෘත්තීය නාට්‍ය කලා සංස්කෘතියක් අපට නැහැ. බොහෝ දෙනෙක් නාට්‍යකරණයේ යෙදෙන්නේ විනෝදාස්වාදය ‍උදෙසා. හැබැයි උදාහරණයක් හැටියට ජර්මනිය ගැන කතා කළොත් එහි නාට්‍ය ප්‍රේක්‍ෂකාගාරය මිලියන 16ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයට ඉතා ආසන්නයි. ඒ තරම් දියුණු නාට්‍ය සංස්කෘතියක් ඔවුන්ට තියෙනවා. ඒ වගේම ලෝකයේ නාට්‍ය කලාව ගත්තෙත් එය සෑම අතින්ම නිතරම යාවත්කාලීන වෙනවා. නාට්‍ය ප්‍රභේද ගොඩ නැගෙනවා. ඒත් ලංකාවේ නාට්‍ය කලාව මේ සම්බන්ධව ඉන්නේ හුඟක් දුරින්. %කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල^ වැනි සංස්කෘතිකාංග තුළින් තමයි ඒ නිසා මෙවැනි ‍යාවත්කාලීන වීම් ගැන ලංකාවට දැනගන්න ලැබෙන්නේ. අනික ලංකාවේ පවතින නොදියුණු නාට්‍ය සංස්කෘතිය නිසාම තමයි ‍අපට පොදු ප්‍රේක්‍ෂකයා සඳහා මෙම නාට්‍ය උළෙලට ආරාධනා කරන්න සිදු වෙලා තියෙන්නේ. ඒත් සෙසු රටවල මේ සඳහා සහභාගි වෙන්නේ ජාත්‍යන්තර නාට්‍යකරුවන් පමණයි.

මෙම යාවත්කාලීන වීම් කොහොමද පසුගිය කාලයේ ලාංකේය නාට්‍යකරුවන් තමන්ගේ භාවිතාවන්ට යොදා ගත්තේ?

එවැනි නව භාවිතාවන් යොදා ගැනීම සුලබ නැහැ. භාවිත කළ යුතු පිරිස ඒ ඔස්සේ පර්යේෂණයේ‍ යෙදෙනවා. භාවිත කරනවා. ගැටලුව තියෙන්නේ එවැනි අත්හදාබැලීම් පිළිබඳ දැනුවත් බවක් හෝ යාවත්කාලීන වීමක් බොහෝ විනිශ්චය මණ්ඩවලට නොමැති වීම. ලාංකේය රාමුවල සිට මෙවැනි නාට්‍ය කෘති විනිශ්චය කරන්න බැහැ. ඒ නිසා එවැනි නාට්‍යයවලට අදාළ පසුබිම සකස් කර දෙන්නේ නැති වුණාම එවැනි නාට්‍ය නිර්මාණය කරන්න නාට්‍යකරුවන් මැළිවෙනවා. 

Capture

CITF-POSTER-FINAL-SIN

 

මට ලොකු විශ්වාසයක් තිබෙනවා ඉසිවර මියැසිය ප්‍රසංගය තුළින් මහජනතාව හා සෞඛ්‍ය ප්‍රජාව එකතු වෙයි කියලා

වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන ඔහු සංගීතයට ඇති ආසක්ත බව නිසාම සංගීත කටයුතුවලටද වැඩි කාලයක් ලබාදීමට කටයුතු කරන්නේය. ඔහුගේ එම සංගීත  ගමන්මගේ තවත් සුවිශේෂී මංසලකුණක් ලෙස  ඉසිවර මියැසිය ප්‍රසංගය හැඳින්විය හැකිය. ඔහුගේ මූලිකත්වයෙන් මෙම මස 05 වැනිදා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මෙම ප්‍රසංගය පිළිබඳ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන  මහතා සමග අපි කතා කළෙමු.


?ඔබ වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ඒ භූමිකාව තුළ කලාවට පසුබිම නිර්මාණය වෙන්නේ කෙලෙසද

වෛද්‍යවරයෙකු ලෙස වසර විස්සක කාලයක් මම මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරනවා. වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස කටයුතු කරන කාලයේදී ෂෙල්ටන් ප්‍රේමරත්න සර්ගෙන් සංගීතය හදාරන්න මට අවස්ථාව ලැබුණා. පසුව මම මේ වෛද්‍ය වෘත්තිය කරන අතරේ ඒකපුද්ගල ගී ප්‍රසංගයක් කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම සරත් වික්‍රම සමග එක්ව කැසට් පටයක් කරන්නත් මට හැකියාව ලැබුණා. ඒ කැසට් පටය සඳහා මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැනි අය තමයි ගීත රචනා කළේ. වෛද්‍ය වෘත්තියත් එක්ක සම්බන්ධ වී සිටින අය සමග තමයි දිගටම කලා කටයුතු සිදුකරන්න හැකි වුණේ. මෑතකදී ලක්ෂ්මන් හිල්මි එක්ක සීතල වැස්සක කියන කැසට් පටය කරන්න හැකියාව ලැබුණා. පසුව මට හිතුණා ක්ලැසික් මියුසික් හොඳයි කියලා. නන්දා මාලනී, ලතා වල්පොල, ශෂිකා නිසංසලා, සුභානි හර්ෂණී, දීපිකා ප්‍රියදර්ශනී වැනි ගායිකාවන් සම්බන්ධ කරගෙන යුග ගීත අන්තර්ගත  සීඩී පටයක් කළා.

?ඉන් නොනැවතී ප්‍රසංග කරන්න යොමුවීමේ අරමුණ මොකක්ද

වෛද්‍යවරයෙකු විදිහට කාර්යබහුල වුණා කියලා මේ කලාව අත් නොහැර, ජීවිතය සමබර කරගන්න ඕන කියන අදහස මත තමයි මම මේ අවකාශය නිර්මාණය කරගන්නේ. ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වැනි රැකියාවකට යොමුවුණාම ඔහු ඒ සීමාවටම කොටුවෙනවා. ප්‍රශ්නයක් ආවම දැඩි පීඩාවට පත්වෙනවා. මම දකින්නේ ඒකට හොඳම දේ තමයි සෞන්දර්ය විෂයයකට යොමුවීම. එය මම අන් අයටත් පණිවුඩයක් ලෙස ලබා දිය යුතුයි. ඒ පණිවුඩය සමාජගත කිරීමේ අරමුණින් තමයි මම මේ ප්‍රසංග පවත්වන්නේ. මුලින්ම අපි පසුගිය මාර්තු මස 27 වැනිදා ටවර් හෝල් රඟහලේ  ප්‍රසංගයක් පැවැත්වුවා. එහිදී මේ අත්දැකීම විඳින්න නොමිලේම අවස්ථාව ලබාදීමට අපට හැකියාව ලැබුණා.

MVI_2063[(002245)2018-02-09-13-44-54]

?මෙවැනි ප්‍රසංගයක් නොමිලේ පැවැත්වීමම අභියෝගාත්මක කටයුත්තක්. ඒ අභියෝගයට මුහුණදෙන්නේ කොහොමද

මම මේ වනවිට මෙයට යොදන්නේ මගේ මාසික වේතනයෙන් ගන්න මුදල්. ඒක මම ආත්ම තෘප්තියෙන් කරන දෙයක්. සංගීත භාණ්ඩ අරගෙන පුහුණුවීම් කරලා මේ ව්‍යාපෘතියේ බොහෝ වැඩ අවසන් වෙලා තියනවා. මේ වනවිට මම වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා. මගේ රියදුරන්, ලිපිකරුවන්, ඖෂධවේදීන්, කම්කරුවන්ගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් ඇති කළා. ඔවුන් හොඳින් පුහුණුවීම් කරනවා. මේ කටයුත්තට වෙනත් සංගීත කණ්ඩායමක් දායක කරගත්තොත් විශාල මුදලක් ලබාදීමට සිදුවෙනවා. නමුත් මෙහිදී එහෙම වෙන්නේ නැහැ. මේ සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙලා ඉන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටින අය. ඒ වගේම මෙයට දායක වන ගායක ගායිකාවන් පවා මූල්‍ය අපේක්ෂාවකින් තොරව තමයි මෙයට සහභාගි වෙන්නේ. අපට අවශ්‍ය මූලික සම්පත් ටික හොයාගත්තට පස්සෙ අපට මෙය දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. අපි තුළ ඉදිරි සැලසුමක් තිබෙනවා. මේ තුළින් අපි හිතන්නේ රෝගීන්ට වුණත් සංගීතය චිකිත්සාවක් ලෙස ලබාදීමට. විදේශ රටවල එවැනි දේ තිබෙනවා. නමුත් අපේ රටේ කිසි කෙනෙක් මේ දේවලට යොමුවක් දකින්න නැහැ.

?මෙවැනි ව්‍යාපෘතියක් පවත්වාගෙන යෑමේදී මේ සඳහා රාජ්‍ය අංශය හෝ වෙනත් සුභසාධන අංශයක දායකත්වයක් ලබාගන්න අපේක්ෂා කරන්නේ නැද්ද

මම විශ්වාස කරන්නේ මුලින් යමක් අපි සිදුකර පෙන්විය යුතුයි. පසුව ව්‍යාපෘතිය සාර්ථකව කරගන්න පුළුවන්  කියන එක දැනුවත් කරන්න පුළුවන්. අපි ජනතාව එකතු කර ගන්න ඕන. අපි කිසිවක් නොකර කවුරුන් හෝ ඒ දේ කරනකං බලන් ඉන්න තත්වයක්නේ අද රටේ තියෙන්නේ. ඒ නිසා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි හිතුවේ මුලින්ම අපි අනෙක් අයට ආදර්ශයක් පෙන්වන්න. උදාහරණයක් මෙගා බ්ලාස්ට් කියලා ප්‍රසංගයක් නාළිකාවකින් කළාම එවැනි ප්‍රසංග කරන්න අනෙක් නාළිකා පෙළඹුණා. මට ලොකු විශ්වාසයක් තිබෙනවා මේ තුළින් ලංකාවේ මහජනතාව හා සෞඛ්‍ය ප්‍රජාව එකතු වෙයි කියලා. මම රෝහල් කිහිපයකම අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කලක් සේවය කර තිබෙනවා. එහිදී දැකපු දෙයක් තමයි මෙවැනි දේවලට ස්වේච්ජාවෙන් මිනිසුන් එකතු වෙනවා. මෙය ලාභ අපේක්ෂාවෙන් කරන කටයුත්තක් නෙමෙයි. ලාභ ලබන කටයුත්තක් බවට පත් වුණොත් මෙය ව්‍යාපාරයක් වෙනවා. ඒ අරමුණින් බැහැරව තමයි කටයුතු කරන්නේ. 

MVI_3608.MOV.03_05_54_13

?මැයි මස 05 වැනිදා මහරගම අපේක්ෂා රෝහලේදී  පැවැත්වෙන  ප්‍රසංගයේ අන්තර්ගතය කෙබඳුද

අපි මෙය නම් කර තිබෙන්නේ %ඉසිවර මියැසිය^ නමින්. දීර්ඝකාලීන බෙහෙත් ගන්න නේවාසික රෝගීන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රධාන ශ්‍රවණාගාරයට ගෙනැවිත් සවස එකේ සිට හය පමණ වනතුරු ප්‍රසංගය පවත්වනවා. එහි ගීත ගායනයට හැකියාව තියෙන අයටත් අවස්ථාව ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ වගේම රත්න ශ්‍රී විජේසිංහ, ගීතනාත් කුඩලිගම, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, නවරත්න ගමගේ, දීපිකා ප්‍රියදර්ශනීගේ ශිල්ප ශාලිකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැනි අය සම්බන්ධ වෙනවා. මෙහිදී අමරදේව මහතාගේ ගීත වැනි උසස් රසවින්දනයක් ඇති ගීත තමයි ගායනා වෙන්නේ. මෙහිදී මගේ දියණියත් තාත්ත ළඟ හුරතල් වෙන කියන ගීතය ගායනා කරනවා. එවැනි සබඳතා ගැන, දේශාභිමානය ගැන කතා කරන ගීත තමයි අපි මේ ප්‍රසංගය තුළින් ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහි නිවේදන කටයුතු සම්පත් චමින්ද විසින් සිදුකරනවා. දයාරත්න පෙරේරා, කුමාරසිරි පතිරණ, සුභානි හර්ෂණී, ජනනි අරඹේගෙදර වැනි අය සහභාගි වෙනවා. ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් දායක කර නොගන්නේ අපේ ගායනය හැකි අයට අවස්ථාව ලබාදීම සඳහා. අපි ලෙඩ ඇඳකට වැටුණට පස්සේ ඔහුගේ මානසිකත්වය ගැන හිතන්න ඕන. ඔහු ඉන්නේ අපේක්ෂා භංගත්වයෙන්. අපට එවැනි තත්ත්වයක් අත් වන්නට පෙර අපි ඒ ගැන හිතන්න ඕන. ඒ ගැන හිතලා ඔවුන් වෙනුවෙන් අපි නිහඬව මේ කටයුත්ත සිදු කරගෙන යනවා.

?එහෙම නිහඬව සිදුවෙනවා කිව්වත් මේ වෙලාවේ මෙය සමාජගත කරන්නට ඔබ උත්සාහ කරනවා එහි අරමුණ මොකක්ද

මේ තුළින් මගේ වෛද්‍ය ක්ෂේත්‍රයේ නිදාගෙන ඉන්න මිනිසුන් අවදි වෙන්න ඕන. මම මගේ වෛද්‍ය ක්ෂේත්‍රය තුළ මිනිසුන් ගැන හිතන ක්‍රමය පිළිබඳ සතුටින් නෙමෙයි ඉන්නේ. වෛද්‍යවරයෙකු ලෙස මිනිසුන්ගේ අනෙකුත් දේවල් ගැන හිතන්න ඕන කියන තැන මම ඉන්නවා. මං ඒ හිතන හැටි පෙන්වන්න ඕන. ඒක පෙන්නන්න මට මාධ්‍ය අවශ්‍යයි. මගේ සංකල්පයට මාධ්‍ය තුළින් තැනක් හැදෙනවා නම් මට ඒ ඇති. මේ දේවල් අපට අයිති දේවල් නෙමෙයි කියලා සමහර වෛද්‍යවරු කියනවා. මම එහෙම හිතන්නනේ නැහැ. අපි මේ තැනට ආවේ ගොඩක් කැපකිරීම් කරලා. දුප්පත්කමට වඩා අපි තුළ අරපිරිමැස්ම තිබුණා. අපේ ගෙදර පස් දෙනෙකුට කෑම පිඟන් පහ බෙදුවම හයවෙනියට ඉතුරු වෙන්නේ නැහැ. ඒක දුප්පත්කම නෙමෙයි අරපිරිමැස්ම තුළ හෙට දවසට ණය නොවී අපි ජීවත් වුණා. එවන් පවුල් පරිසරයක ජීවත් වුණේ. ඒ නිසා අපට එවන් දරුවන්ට ගරු සරු කරන්න, ඒ දරුවන්ගේ මානසිකත්වය දකින්න හැකි විය යුතුයි. මම ටයි එක දාගෙන රෝහලේ කානු හරි පිරිසුදු කරන්න සූදානම් කෙනෙක්. අපට අවුරුදු හැටෙන් පස්සේ දුරකථන ඇමතුම් එන්නේ නැහැ. ඒ නිසා අවුරුදු හැටට කලින් ලැබෙන දුරකථන ඇමතුම්වලට කතා කරන්න වෙලාවක් වෙන් කරගන්න අපට පුළුවන් වෙන්න ඕන. 

02

මම සියලු මාධ්‍ය තුළ ගැවසෙන්නේ මගේ ප්‍රමිතිය රැකගනිමින්

වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන මාධ්‍යයන් තුළ රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂකවරයෙකු, පිටපත් රචකයෙකු ලෙස භූමිකා කිහිපයක්ම නිරූපණය කරන හේමන්ත ප්‍රසාද් විසින් රචනා කරන ලද %ලෝරන්ස්ගේ මනමාලි සහ කෙටි නාට්‍ය දෙකක්^ යන වේදිකා නාට්‍ය පිටපත්, ග්‍රන්ථයක් ලෙස එළිදක්වා තිබේ. ඒ ගැන සහ කලා කටයුතු ගැන කතා කිරීමට ඔහු අප හා සම්මුඛ වූයේ මෙලෙසය.


15032321_1106075022842607_2799111846864741849_n

Q ’ලෝරන්ස්ගේ මනමාලි’ යන වේදිකා නාට්‍යයේ පිටපත ග්‍රන්ථයක් ලෙස සමාජගත කරන්න යොමු වුණේ ඇයි

‘ලෝරන්ස්ගේ මනමාලි’ කියන්නේ කලකට පෙර මම කළ කෙටි නාට්‍යයක්. මෙය 2006 වසරේදී සිදුකළේ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ කෙටි නාට්‍ය තරගයකට. මේ නාට්‍යය රචනා කර අධ්‍යක්ෂණය කිරීම සිදුකළෙත් මා විසින්මයි. ඒ කාලේ රංගනයෙන් දායක වුණේ ජයනි සේනානායක, සරත් කොතලාවල, තුෂාරි සෙනවිරත්න, ධර්මප්‍රිය ඩයස් වැනි ශිල්පීන්. මෙයට හොඳම නළුවා, නිළිය, හොඳම නාට්‍යය, හොඳම රචනය වැනි සම්මාන ගණනාවක් හිමි වුණා. ලංකාවේ කෙටි නාට්‍ය පවතින්නේ නැහැ. මේ නාට්‍යයටත් එයම සිදුවුණා. නමුත් මතකයක් ලෙස මේ නාට්‍යය අපේ මිතුරන් අතරේ තිබුණා. රෂෝමෝන් වැනි නාට්‍ය මම කරන්න යොමු වුණා. පසුව සුජීව ප්‍රියාල්ට දිගු නාට්‍යයක් කිරීමේ අවශ්‍යතාව තිබුණා. ඔහු මට පිටපතක් ලියන්න කිව්වා. මම වෙන පිටපතක් ලබාදුන්නත්, ඒ පිටපත තුළින් ඔහු සෑහීමකට පත්වුණේ නැහැ. පසුව ඔහුම යෝජනා කළා ‘ලෝරන්ස්ගේ මනමාලි’ කෙටි නාට්‍යය තුළින් පිටපතක් ලියන්න බැරිද කියලා. පසුව මම මෙය දිගු නාට්‍යයක් ලෙස රචනා කරලා සුජීවට ලබා දුන්නා. සුජීව තමයි මේ නාට්‍යය අධ්‍යක්ෂණය කළේ. මේ නාට්‍යය පසුගිය වසර තුන තුළ ඉතාමත් සාර්ථකම නාට්‍යයක් බවට පත්වුණා. ප්‍රහසන නාට්‍යයක් කිව්ව ගමන් අපිට ලබාදීලා තියෙන්නේ වෙනත් අදහසක්. එහෙම වුණත් මෙය මූලික ප්‍රහසන ලක්ෂණ ඇති යහපත් නාට්‍යයක් බවට විශිෂ්ට විචාරකයන් පවා සඳහන් කර තිබෙනවා. 2014 අගෝස්තු මාසේ තමයි මේ වේදිකා නාට්‍යය පටන් ගත්තේ. වසර තුනක කාලයේදී දර්ශනවාර තුන්සියයකට වඩා වේදිකාගත කරන්න හැකි වුණා. විදේශ සංචාර කිහිපයකුත් මේ නාට්‍යයට කරන්න පුළුවන් වුණා. ඒ කොහොම වුණත් මේ නාට්‍යය එක්තරා කාලයකදී නවතිනවා. ‘මනමේ’, ‘සිංහබාහු’ වැනි නාට්‍ය පවතින්නේ විෂය නිර්දේශය තුළ අන්තර්ගත නිසා. ඒ නිසා මට ඕන වුණා ‘ලෝරන්ස්ගේ මනමාලි’ යම් වාර්තාමය අයුරකින් හෝ රට තුළ ඉතුරු වෙනවට. අනෙක් කාරණය ස්වතන්ත්‍ර හරි අඩුයි කියන මැසිවිල්ල තිබෙනවා. ගොඩක් අය හිතනවා ‘ලෝරන්ස්ගේ මනමාලි’ පරිවර්තනයක් හෝ අනුවර්තනයක් කියලා. මෙය ස්වතන්ත්‍ර නාට්‍යයක්. ඒ නිසා මෙය පරිහරණය කර යම් අදහසක් ගන්න තමයි ග්‍රන්ථයක් බවට පත් කළේ. මේ පිටපත කුඩා නිසා මගේ සම්මාන දිනපු කෙටි නාට්‍ය දෙකකුත් අන්තර්ගත කළා. ඒ තුළින් මේ ගැන  ඉගෙන ගන්න කෙනෙකුට වුණත් යම් දෙයක් ගන්න පුළුවන් වෙයි. ඒක තමයි මෙහි අරමුණ.

Q ඔබ මේ ග්‍රන්ථය තුළ සටහනක් තබනවා මෙහි මුද්‍රණයට පුස්තකාල සේවා මණ්ඩලය ආධාර නොකිරීම කනගාටුදායකයි කියලා. ඉන් ඔබ අදහස් කරන්නේ ජනප්‍රිය ධාරාවේ නාට්‍යවලට මේ තුළ ඉඩක් නැහැ කියන කාරණයද

හරියටම හොයලා බැලුවොත් ලංකාවේ කලාව තීරණය කරන්නේ දහදෙනෙක් පමණයි. සංගීත උළෙලේ වේවා, රාජ්‍ය නාට්‍ය උළෙලේ වේවා සිනමා සම්මාන උළෙලක් වේවා මේ හැම කමිටුවකම ඉන්නේ එහෙට මෙහෙට මාරු වෙවී එකම පුද්ගල කණ්ඩායමක්. ඔවුන් විසින් තමයි මේ සියල්ල තීරණය කරන්නේ. එහෙම වුණාම එක් පැත්තකින් ස්වතන්ත්‍ර නාට්‍යකරුවෝ ලංකාවේ නැහැ කියල හඬා දොඩනවා. ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත් ලංකාවේ ලියවෙන්නේ නැහැ කියනවා. නමුත් ඒ පිටපතක් දුන්නම එය මුද්‍රණය කළයුතු කාර්යයක් කියලා ඔවුන් පිළිගන්නේ නැහැ. ප්‍රහසන නාට්‍යයක් මෙතරම් ජනප්‍රිය වෙන්න හේතුව කුමක්ද කියලා කෙනෙක් හදාරනවා නම් එහි අන්තර්ගත ලක්ෂණ ගැන විශ්ලේෂණය කරන්න ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මෙවැනි පිටපත් මුද්‍රණය විය යුතුයි. අතිවිශිෂ්ට සම්භාව්‍ය යැයි ඔවුන් සඳහන් කරන දේවල් පමණක්මද ඉතුරු වෙන්න ඕන. විචාරකයන් පවා පිළිගන්නවා මෙය බාල බොලඳ, ප්‍රාථමික නාට්‍යයක් නෙමෙයි කියන කාරණය.

Q රාජ්‍ය නාට්‍ය උළෙලටත් මේ නාට්‍යය යොමු වෙනවා. දෙවැනි වටයෙන් ඉවත් වෙන්නේ මේ කාරණය නිසා කියලා ඔබ විශ්වාස කරනවද

රචකයා ලෙස ඒ ගැන කතා කරන්න අවශ්‍යතාවක් නැහැ. රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවැනි වටයෙන් පසුව මෙය අවසන් වටයට නිර්දේශ වුණේ නැහැ. එතැනදිත් මම කියන්නේ විශිෂ්ට සම්භාව්‍ය නාට්‍ය සමග ප්‍රහසන නාට්‍ය මෙතරම් ජනප්‍රිය වෙන්නේ ඇයි කියලා මේ ගැන හදාරන කෙනෙක්ට සසඳන්න අවස්ථාව තිබෙනවා. නමුත් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. රාජ්‍ය නාට්‍ය උළෙලේ නාට්‍යය නරඹන්න විශාල ප්‍රේක්ෂක පිරිසක් එනවා. විශ්වවිද්‍යාල ළමයින් හා පාසල් ළමයින් තමයි වැඩි පිරිසක් මෙය නරඹන්න එන්නේ. මේ නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයේ තිබුණා නම් කලාත්මක නාට්‍ය හා ප්‍රහසන නාට්‍ය ගැන  සන්සන්දනය කරන්න පුළුවන්. ඔවුන්ට අදහසක් ගන්නවත් අවස්ථාවක් නැහැ.

28467634_579087402463310_3455834271054451346_n

Q කාලයෙන් කාලයට ඔබේ ප්‍රකාශනයන් විවිධ මාධ්‍යයන් ඔස්සේ සමාජගත කරනවා. එකම මාධ්‍යයක් තුළ රැඳී සිටින්නේ නැත්තේ ඇයි

සමහර කාරණා මම භාවිත කරන්නේ මගේ ප්‍රකාශනය විදිහට නෙමෙයි. ලංකාව වැනි රටක ඒක පැහැදිලිනේ. ලංකාවේ කලාව කරන්න කෙනෙක් යොමු වුණාම ඔහුට වෙන රැකියාවක් කරමින් කලාව සිදුකරන්න හැකියාවක් නැහැ. එහෙම වුණාම වෙන රැකියාවක් නොකර මෙය කරන්න සිද්ද වෙනවා. ඔහුට හෝ ඇයට පැවැත්ම සඳහා ආදායමක් ලැබීමට තරම් මේ රටේ කලාව හැදිලා නැහැ. හැම ශිල්පියෙකුටම අසීමිතව වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම අපිට සිද්ධ වෙනවා පැවැත්ම සඳහා යම් යම් කාරණා කරන්න. අතීතයේ කතා කරපු ශ්‍රේෂ්ඨ කලාකරුවන්ටත් පවතින්න බෑ. සියල්ල කැපකරගෙන ආට් කරන තැනකට දැන් යන්න බැහැ. එය ප්‍රායෝගික නැහැ. සැබෑ කලාවක් කරනවා කියන එක ප්‍රායෝගික නෑ. මට ඒ අවස්ථාව තිබ්බත් මගේ පවුලේ අයට ඒ අවස්ථාව නෑ. එහෙම වුණාම හැමදේම කරන්න සිද්ධ වෙනවා. එහෙම ලැබෙන හැමදේම කළත් මම තෝරගෙන තිබෙන්නේ මට කළ හැකියැයි මම විශ්වාස කරන දේවල්. මම මේ සියලු මාධ්‍ය තුළ ගැවසෙන්නේ මගේ ප්‍රමිතිය රැකගනිමින්. ‘රෂෝමෝන්’, ‘මල්සර බිසව’ වැනි නාට්‍ය මම අධ්‍යක්ෂණය කරනවා. 2005 වසරේ එඩිම්බරෝ නාට්‍ය උළෙලේ රටවල් 65ක නාට්‍ය 650කින් හොඳම නාට්‍යය වෙන්නේ අපේ නාට්‍යයක්. එහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණේ මම. ඒවා ඇගයෙන්නෙත් නැහැ. ඒවා දිව්‍යමය රහස් ලෙස පවතිනවා. ඒ නිසා ඒ තුළ පවතින්න බෑ. මම දැන් හඬකැවීම්වලටත් සහභාගි වෙනවා. නමුත් සමහර කාරණාවලට එකඟ නෑ. එහෙම කියලා ශුද්ධ කලාවක් කරන්න බෑ. අපි කැමති ශුද්ධ කලාවක් කරන්න. නමුත් අපිට පවතින්න නම් සමස්ත සමාජ ක්‍රමය තුළම කලාව ස්ථානගත වෙලා තිබෙන්න ඕන.

Q ප්‍රහසනය මූලික කරගෙන ඔබ පිටපත් කිහිපයක්ම රචනා කර තිබෙනවා. මෙහි යටිපෙළ කියවීම ගැන අදහස මොකක්ද

පිටපත ප්‍රතික්ෂේප වෙන්නේ එක ආයතනයකින්. ඒ ගැන වරදක් කියන්නේ නැහැ. සමහර විචාරකයෝ  ප්‍රහසන නාට්‍ය මලජරා නාට්‍ය ලෙස හැඳින්වුවාට ඒ නාට්‍ය කිසිවෙක් නරඹා නැහැ. ඔවුන් නිවස තුළ සිටම යම් යම් නිර්ණායක හදාගෙන බාල නාට්‍ය කියලා තක්සේරු කරනවා. ඒක තීරණය වෙන්නේ අධ්‍යක්ෂකවරයා නිර්මාණය කරගන්නා නම, අදාළ ශිල්පීන් ගොඩනගාගෙන තිබෙන කාරණා එක්ක. ක්ෂේත්‍රයේ ප්‍රබල ලෙස නමක් තියාගෙන ඉන්න නිර්මාණකරුවන් පවා කළ නාට්‍ය බලද්දී මොනවද ඒ නාට්‍ය කියලා හිතෙනවා. පසුගිය රාජ්‍ය නාට්‍ය උළෙල දෙස බලද්දීත් ඒ ලක්ෂණය පෙනෙන්න තිබුණා. අලුත් නිර්මාණකරුවන් කරන නාට්‍ය ඉතා විශිෂ්ට තැනක තිබෙනවා. පරණ නිර්මාණකරුවන් කරන නාට්‍ය තමයි නාට්‍ය, අලුත් නිර්මාණකරුවන් මොනවද කරන නාට්‍ය කියලා විචාරකයන් කිව්වොත් ඒක තමයි ප්‍රමිතිය බවට පත්වෙන්නේ. මේ වසරේ හොඳම නාට්‍යය වූ ‘මායා බන්ධන’ නාට්‍යයට මම ඉතා කැමතියි. එය මම නැරඹූ නාට්‍යයක්. නමුත් ඒ මොනවද නාට්‍ය කියලා නාට්‍ය නොබලා කිව්වොත් එය වැරදි කියවීමක්.

Q ඔබ මේ කටයුතු සිදුකරන අතර සිනමාපටයක් නිර්මාණය කිරීමත් සිදුකළා. මේ වන විට එහි තත්ත්වය කෙබඳුද

‘උලලේනී’ නමින් මම කළේ ත්‍රාසයජනක සිනමාපටයක්. තිර රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය යන තුනම මම සිදුකළේ. එයත් කවදා ප්‍රදර්ශනය කරගන්නවාද කියන ගැටලුව තිබෙනවා. තවම පෝලිමේ තිබෙනවා. සිනමා නිර්මාණ හැටක් පෝලිමේ තිබෙනවා කියනවා. ශක්තිමත්  නිර්මාණකරුවන් කරන  සිනමා නිර්මාණ ඉක්මනින් එනවා. නමුත් අවුරුදු තුනක් පමණ මේ නිර්මාණ හැටේ සිටිනවා. මේ ක්‍රමය තනිවම වෙනස් කරන්නත් බෑ. සමස්ත කලාකරුවන් ඒ වෙනුවෙන් පෙනී සිටින්නෙත් නෑ. මේ යන ක්‍රමවේදය තුළ මණ්ඩලවල වසරකදී තිරගත කළ හැක්කේ චිත්‍රපට තුනක් හෝ හතරක්. අනෙක් චිත්‍රපටවලට ගැප්රිලිස්වල තමයි අවස්ථා හම්බෙන්නේ. ඒ ගැටලු කාට ඉදිරිපත් කරන්නද කියලා තේරෙන්නේ නැති තත්ත්වයක් තමයි දැන් ඇතිව තිබෙන්නේ.

Q නිර්මාණකරුවෙකු ලෙස ඉදිරියේදී තිබෙන සැලසුම් කෙබඳුද

යම් අවස්ථාවක කලාකරුවෙකුට හිතෙනවා සමාජයට වඩා යහපත් දෙයක් කළයුතුයි කියලා. ‘ලෝරන්ස්ගේ මනමාලි’ යහපත් නැහැ කියලා ඉන් අදහස් කරන්නේ නැහැ. මම හොඳයි කියලා හිතන යහපත් නාට්‍යයක් රචනා කරමින් පවතිනවා. ලොකු නාට්‍යයක හිඩැසක් තිබෙනවා. ‘උත්තමාවී’, ‘ධවල භීෂණ’ , ‘යක්ෂාගමනය’ වැනි නාට්‍යයක් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම තවත් සිනමා නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාම ආධුනික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කරගෙන නාට්‍ය හා රංග කලාව, නර්තනය, හඬකැවීම් පුහුණුව වැනි දේවල් නොමිලේ උගන්වනවා. මම සහ තාරක බැද්දගේ මහතා එක්ව මේ කටයුත්ත සිදුකරනවා. ඒ වගේම මේ සිසුන්ගේ හැකියාවන් පෙන්වීමේ සන්දර්ශනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අප හා කැමති කෙනෙකුට මේ දේවල් ඉගෙන ගන්න සම්බන්ධ විය හැකියි. මෙය පූර්ණකාලීනව සිදුවෙන්නේ. ඒ වගේම සැප්තැම්බර් මස සංචාරයක් තිබෙනවා. ඒ කටයුතු තමයි ඉදිරියේදී තිබෙන්නේ.

0773 339720

ළමා නාට්‍ය කියන්නේ මොකක්ද කියලා නාට්‍යකරුවන් තුළ අධ්‍යයනයක් නැහැ

සම්මානනීය ළමා නාට්‍ය රැසක් නිර්මාණය කළ ඇය අමිතා රබ්බිඩිගලය. වර්තමානයේ ළමයින් උදෙසා නිර්මාණය වන ළමා නාට්‍ය සම්බන්ධයෙන් ඇය තුළ ඇත්තේ සාධනීය අදහසක් නොවේ. ඒ පිළිබඳ කතා කිරීමට ඇය අප සමග එක්වූයේ මෙලෙසිනි.


IMG_20180314_075748

කාලයක් ළමා නාට්‍ය එක්ක කටයුතු කළ ඔබ මේ මොහොත වන විට පවතින ළමා නාට්‍ය කලාව ගැන දකින්නේ කොහොමද 

මට හිතෙන්නේ මේක ළමා නාට්‍ය කලාවේ සංක්‍රාන්ති සමයක් කියලා. ළමා නාට්‍ය කලාවේ ප්‍රමාණාත්මක වර්ධනයක් දකින්න තිබෙනවා. රාජ්‍ය ළමා නාට්‍ය උළෙලත් නොකඩවා පැවැත්වෙනවා. එයට සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් වියදම් දිරිගැන්වීම් වැඩිකර තිබෙනවා. එහෙම සිදුවුණත් නිර්මාණ දෙස බලද්දී නොසීහෙන ගතියක් දකින්න තිබෙනවා. සම්‍යය නොවන බවක් දකින්න ලැබෙනවා. ඉන් අපේක්ෂිත අරමුණු ගිලිහෙනවා. ඒ ගැන විවෘත කතිකාවතක් නැතිකම ළමා නාට්‍යකරුවන්ට තිබෙනවා. ළමා නාට්‍ය කියන්නේ මොකක්ද කියන දේ සම්බන්ධයෙන් නාට්‍යයකරුවන් තුළ අධ්‍යයනයක් නැහැ කියලා දැනෙනවා.

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කළ නාට්‍යයවලටත් මේ කාරණාව අදාළද

ඔව්. රාජ්‍ය ළමා  නාට්‍ය උළෙලේ අවසන් වටය ගැන තමයි කතා කරන්නේ. අවසන් වටයට ළමා නාට්‍ය සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන මාධ්‍යවලින් ගන්නවා. මම මේ කතා කරන්නේ සිංහල ළමා නාට්‍යය සම්බන්ධයෙන්. අවසන් වටයට පැමිණෙන්නේ නැති නාට්‍ය ළමයින්ට බලන්න ලැබෙන අවස්ථාවන් අඩුයි. එවැනි නාට්‍යය සමාජගත වෙන්නේ අඩුවෙන්. ඒ නිසා රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සැමටම විවෘතයි. එහිදී තෝරා පත් කර ගන්නා නාට්‍යවලට මේ කාරණය අදාළයි.

නිර්මාණකරුවෙක් ලෙස ඔවුන්ගේ අභිමතය පරිදි නිර්මාණයක් කිරීමේ අයිතියක් තිබෙනවා නේද

එහෙම කියන්න පුළුවන්. නමුත් මම හිතන්නේ දිගු නාට්‍යකරුවන්ට තරම් පුළුල් නිදහසක් ළමා නාට්‍යකරුවන්ට නැහැ කියලා. මේක විවාදාත්මක වෙන්න පුළුවන්.ළමා නාට්‍යකරුවා සුවිශේෂී පුද්ගලයෙක්. ඒකට හේතුව ළමයා උදෙසා නිර්මාණ කරන නිසා මේ නාට්‍ය ළමයා උදෙසාම විය යුතුයි. නමුත් අනෙකුත් නාට්‍ය වල එහෙම විෂය සීමාවක් නෑ. ඒ නිසා ඒ තුළ ලෝකේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඕනෑම විදිහකට නිර්මාණ කරන්න පුළුවන්. ළමා නාට්‍ය කියන කැටගරි එක ළමයා උදෙසාම නිර්මාණ කරන නිසා සීමාවකට කොටුවෙනවා. ඒ අනුව නාට්‍යයේ අන්තර්ගතයත් සීමා වෙනවා. කුමන දේශයකට කුමන සංස්කෘතියකට අයත් වුණත් ළමයා කියන්නේ ළමයෙක්ම තමයි. විශ්වීය වශයෙන් සාම්‍යය ලක්ෂණ දක්වන්නා සේම, භෞමික වශයෙන් ඔහු වෙනස්කම් දක්වනවා. එහිදී රුචි, අරුචිකම් දැක්ම වෙනස් වෙනවා. ළමා නාට්‍ය නිර්මාණකරුවන් භෞමික උරුමකම නිසා ළමයා වෙනස් කර ගන්නා සංස්කෘතික ලක්ෂණ  ගැන සිතිය යුතුයි. අද ළමා නාට්‍යකරුවන් සමග සාකච්ඡා කරන කොට හිතෙන දෙයක් තමයි නාට්‍ය වේදිකාගත කරද්දී ළමයින් එය රස විඳිනවා නම් එය ළමා නාට්‍යයක් කියලා හිතන මට්ටමක් ඇවිත් තිබෙනවා කියන එක. එහෙත් ඕනෑම නාට්‍යක් ළමා නාට්‍යක් කියලා හිතන්න බෑ. ළමා නාට්‍ය හරහා ළමා ලෝකය තුළ විස්මිත පෙරළි ඇති කරගත හැකියි. එහෙත් දැන් එය වෙනවද කියලා හිතන්න වෙනවා.

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලින්  තේරී පත්වන නාට්‍ය සමාජගත කිරීම සම්බන්ධයෙන් විනිශ්චය මණ්ඩලයටත් වගකීමක් තිබෙනවා නේද

ඔව්. විනිශ්චය මණ්ඩලවල සාම්‍යය බවක් නැතුව, විනිශ්චය මණ්ඩලවල කතිකාවක් නැතුව නාට්‍ය නැරඹීමෙන් පමණක් මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. ඔවුන්ට ළමා නාට්‍යය පිළිබඳ දැක්මක් තිබිය යුතුයි. ඔවුන් තුළ ළමා නාට්‍යකරුවාට වඩා ඉදිරියෙන් යන දැක්මක් තියෙන්න ඕන. අපේ රටේ ළමා නාට්‍ය සම්බන්ධයෙන් පමණක් නෙමෙයි විනිශ්චයකරුවන් සම්බන්ධයෙනුත් මේ අර්බුදය තිබෙනවා. මේ අවුරුදු විසි එකක කාලය පුරාවටම ළමා නාට්‍ය උළෙල පැවැත් වුණා. ඒ කාලය තුළ ළමා නාට්‍ය ගණනාවක් සමාජගත වුණා. ලංකාවේ ළමා නාට්‍ය උළෙලේ සාමාජිකයෝ ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙන නාට්‍ය නරඹන පුරුද්දක් තිබිය යුතුයි. අපි තුළ කොතරම් ප්‍රමිතීන් තිබුණත්, අපි ළමා නාට්‍ය කලාව හදාරා තිබුණත් ලංකාවේ ළමා නාට්‍යකරුවා ඉන්න තැන ගැන පූර්ව දැනුම විනිශ්චයකරුවාට තිබිය යුතුයි කියලා මම හිතනවා. ළමා නාට්‍ය විනිශ්චයකරුවෙක් වෙන්න ඕනම නාට්‍යයකරුවෙකුට පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ළමා නාට්‍ය තුළින් ළමයා ගැන දැක්මක් ඇති කරන්න පුළුවන්. නමුත් වසර තුන හතරක සිට ළමා නාට්‍ය කලාවේ වෙනසක් සිදුවීගෙන යනවා.

කාලයට සාපේක්ෂව ළමයාගේ සමාජමය පරිසරයත් වෙනස් වෙනවා නේද ? ඒ වෙනස්වීම් එක්ක නිර්මාණකරණය වෙනවා නම් 

ඒක හරි. සමාජය ස්ථතික නෑ. ගතිකයි. ඒ ගතික සමාජයට ඔරොත්තු දෙන ලෙස තමයි නාට්‍ය කලාව හසුරවන්න ඕන. ඒ ගැන විවාදයක් නෑ. එහෙම කියලා ලෝකේ තිබෙන ඇඟ රිදවන, ළමයා අමු අමුවේ හිනස්සවන නාට්‍යය තුළින් ඇති ඵලක් වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකාගාරයෙන් එළියට යන ළමයා හිස් ළමයෙක් නම් ළමා නාට්‍ය කලාවේ අරමුණු ඉටුවුණා කියලා මම හිතන්නේ නැහැ. මෙහෙම කියද්දී කෙනෙක් කියයි ඒක සම්ප්‍රදායවාදී කියලා. මම සම්ප්‍රදායවාදී නෑ. මම හැමවිටම නිර්මාණකරණය කරන්නේ, එහිදී ජීවත්වෙන්නේ ගතික ළමයෙක් එක්ක. නාට්‍යයක තිබෙන විශ්වීය, මානවීය ගුණය හැමදාටම වලංගුයි. අලුත් විලාසිතාවක් ලෙස තාක්ෂණය පැමිණෙන බව මම දකිනවා. තාක්ෂණික ලක්ෂණ මානවීය බව ඉස්මතුකර පැමිණෙන බවක් පෙනෙනවා. රංගන ශක්තිය හා ළමා නාට්‍ය අරමුණු පසෙකළා කටයුතු වෙනවා කියලා මට හිතෙනවා. මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදීත් ඒ බව අපි දැක්කා.

මේ කාරණය ගැන කතා කරන්න ඔබට තිබෙන අයිතිය ගැන කෙනෙක් ඇහුවොත් 

මම ඉතාම හොඳ ප්‍රේක්ෂකයෙක්. ළමා නාට්‍යය උළෙල විධිමත් ලෙස ආරම්භ කළේ 1995දී. 1996දී තමයි රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ආරම්භ කළේ. එතැන් සිට නිර්මාණ ඉදිරිපත් කරමින් ප්‍රථම ස්ථාන, දෙවන ස්ථාන, තෙවන ස්ථාන හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම ළමා නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ලෙසත් කටයුතු කර තිබෙනවා. ඒ අත්දැකීම් තිබෙනවා. නාට්‍ය අනුමණ්ඩලය තුළත් තුන්වරක් කටයුතු කළා. අවුරුදු හතළිහක් ගුරුවරයෙක් ලෙස ළමයින් සමග කටයුතු කළා. මේ වන විටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා උපදේශිකාවක් ලෙස සංස්කෘතික කේන්ද්‍රය තුළ වැඩ කරනවා. ළමයින් සමග වීදි නාට්‍ය, වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරනවා. ළමයින් සඳහාම පුවත්පත් ලිපි වගේම , ළමා ග්‍රන්ථ රැසක් රචනා කර තිබෙනවා. මේ රටේ ගාමක බලය තිබෙන්නේ දරුවන්ට. ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්නවලින් අපි විනාශ වෙනවා. ඒ නිසා කලාව තුළින් අනෙකාගේ අයිතිය පිළිගත හැකි මානසිකත්වයක් නිර්මාණය කිරීමට අප කටයුතු කළ යුතුයි.

මම තීරණය කළා මෙය මගේ අවසන් නිර්මාණය කියලා

පනස් වසරක කාලය තුළ නිර්මාණ කිහිපයකටම හඬ දායකත්වය ලබාදුන් ඇය ප්‍රවීණ ගායිකා දමයන්ති ජයසූරියයි. ඇය විසින් ගායනා කරන ලද බෞද්ධ ගීත ඇතුළත් %සිත නිවන ගී^ නම් සංයුක්ත තැටිය ජනගත කිරීම මෙම මස 23 වැනිදා සවස  5.30ට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදුවෙයි. ඇය හා මේ කතා බහ ඒ ගැනය.


66B7CAEB

Q කාලෙකට පසුව තමයි ඔබ සංයුක්ත තැටියක් එළිදැක්වීම සිදුකරන්නේ. මේ සංයුක්ත තැටිය එළිදැක්වීම පිළිබඳව මුලින්ම කතා කරමු

මේ සංයුක්ත තැටියේ අන්තර්ගත වෙන්නේ බෞද්ධ ගීත. වෙසක් පොහොය නිමිති කරගෙන තමයි මේ සංයුක්ත තැටිය එළිදක්වන්නේ. මම මේ සංයුක්ත තැටිය නම්කර තිබෙන්නේ ‘සිත නිවන ගී’ ලෙස. සියඹලාපේ සිතුම් පියස බෞද්ධ මධ්‍යස්ථානයේ පූජ්‍ය හන්තානේ ධම්මගවේෂී ස්වාමීන් වහන්සේ තමයි මෙයට මූලිකත්වය ගෙන කටයුතු කළේ. ඒ වගේම මගේ කල්‍යාණ මිතුරියන් පිරිසක් ඉන්නවා, ඔවුන්ගේ මූල්‍ය දායකත්වයෙන් තමයි මේ නිර්මාණ සිදුවුණේ. මේ සංයුත්ක තැටිය එළිදක්වන දින පූජ්‍ය මහාචාර්ය පාතේගම ඥාණිස්සර ස්වාමීන් වහන්සේත්, කථිකාචාර්ය අනුරාධා සුදම්මිකා මෙහෙණින් වහන්සේත් මෙහි දේශන දෙකක් පවත්වනවා. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනූෂා ගෝකුල මැතිනිය මට ගොඩක් උදව් කළා. එදින ජානක ෆොන්සේකා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සංගීතය සපයනවා. සඳමාලි හේවානායක මෙහි නිවේදන කටයුතු සිදුකරනවා.

Q මේ සංයුත්ක තැටියේ අන්තර්ගත ගී නිර්මාණ ගැන කතා කළොත් මේ ගීත මෑත කාලයේ නිර්මාණය වූ ගීතද

මම එකතු කරගත් බෞද්ධ ගී නිර්මාණ කිහිපයක්ම තිබුණා. නමුත් සංයුක්ත තැටියක් ලෙස එළිදැක්වුණේ නැහැ. ඒ ගීතත් එක්ක නව ගී නිර්මාණ කිහිපයකුත් මේ සංයුක්ත තැටියට අන්තර්ගත වෙනවා. පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ, මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන්, පුජ්‍ය මඩපාත දම්මසාර හිමි, පූජ්‍ය වෙන්නප්පුවේ චන්දානන්ද හිමි, ත්‍රිකුණාමලේ ආනන්ද අනුනායක ස්වාමීන් වහන්සේ, ජයම්පතී අල්ගම, කුලරත්න ආරියවංශ  තමයි මෙහි ගීත රචනා කර තිබෙන්නේ. ආචාර්ය රෝහණ වීරසිංහ, එච්.එම්. ජයවර්ධන, ආචාර්ය ලයනල් අල්ගම, ආචාර්ය නන්දා මාලනී, ඉන්ද්‍රජිත් මිරිහාන, එම්.ආර්. චූලසිංහ මෙහි සංගීතය නිර්මාණය කළා.

Q ‘සිත නිවන ගී’ සංයුක්ත තැටියේ ගීතවල අන්තර්ගතය කෙබඳුද  

බෞද්ධ කාන්තාව ගැන, ස‘ඝමිත් මෙහෙණින් වහන්සේ ගැන, ශ්‍රී මහා බෝධීන් වහන්සේ, සිදුහත් කුමරු ඇතිදැඩි කළ ගෝතමී දේවිය ගැන ගීතයක් වගේම සියලු දේ අත්හැර ගිය මෙහෙණින් වහන්සේලා ගැන ගීතයක්, සෝමාවතී චෛත්‍යය ගැන, දන්ත ධාතූන් වහන්සේ ගැන වගේම මවු ගුණ ගැන ගීතයක් තිබෙනවා. මේ ගීත එකිනෙකට වෙනස් ගීත.

Q මේ ගීත සංයුක්ත තැටියක් හරහා සමාජගත කරන්න උත්සාහ කරන්නේ මාධ්‍ය මගින් මේ ගීතවලට ඉඩ නොලැබීම නිසාදB5D45315

මේ තුළ මූල්‍යමය අරමුණක් නැහැ. මුදල් නෙවෙයි පළමුවැනි අරමුණ. මේ ගීත අහලා මිනිසුන් නිවී පහන් වේවා කියන අරමුණ පමණයි අපිට තිබෙන්නේ. අපි මේ දෙය සිදුකළේ ඒ හැඟීමෙන්. මෙය අපෙන් සිදුවිය යුතු පිං කටයුත්තක් කියලා මම හිතුවා. මම මේ ගීත මාධ්‍යයට ලබා දුන්නා. එහෙත් අපේ රටේ ඇතිව තිබෙන තත්ත්වය දෙස බලන්න. වෙසක් එකට පොසොන් එකට පමණයි බෞද්ධ ගීත, බුදුගුණ ගීත ඇහෙන්නේ. එහෙම නෙමෙයි සිදුවිය යුත්තේ. උදේ හවස එවැනි ගීත වාදනය කළොත් මිනිසුන් නිවෙයි. හන්දියක් හන්දියක් ගානේ වෙසක් එකට විතරද බුදුගුණ ගීත ඇහෙන්න ඕන. මේක බෞද්ධ රටක්නේ. දේශාභිමාන ගීත වගේම බුදුගුණ ගීත වාදනය කරනවා නම් හොඳයි. ‘බෞද්ධයා’ හා ‘ශ්‍රද්ධා’ වැනි නාළිකාවල නම් මේ ගීත විකාශය වෙනවා. මාධ්‍යවල ගීත වාදනය කළයුතු ප්‍රමිතියක් නැහැ. අපිට හිතෙන හිතෙන විදිහට මාධ්‍ය තුළ විකාශය කරන්නත් බැහැනේ. අපි නිර්මාණයක් කළාම, ඒ නිර්මාණය හොඳ නම් ප්‍රචාරය කිරීම මාධ්‍යයේ වගකීම. හැමවිටම අපිට ඇහෙන්නේ ඝෝෂාකාරී සංගීතයක්. මිනිසුන් හරිම කලබලයි. ඒ නිසා මිනිසුන් සන්සුන් විය යුතුයි කියලා මම හිතනවා. මනස සන්සුන් කරගත යුතුයි කියලා මම හිතනවා. මම හිතුවා මගේ හඬින් යම් දෙයක් කරන්න පුළුවන් කියලා. එය තමයි මම සිදුකළේ.

Q වසර පනහක පමණ කාලයක් සංගීත ක්ෂේත්‍රය තුළ නිර්මාණ කටයුතු සිදුකළත් ඒ නිර්මාණවලට අද ඉඩක් නැද්ද

මම හැටේ දශකයේ අගභාගයේ තමයි සංගීතය ආරම්භ කළේ. එහිදී ස්වදේශීය සේවය හා වෙළෙඳ සේවය පමණයි තිබුණේ. නමුත් මාධ්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අවස්ථාවන් ක්‍රමයෙන් අඩුවෙලා ගියා කියලා තමයි මට හිතෙන්නේ. මිනිසුන්ගේ රසවින්දනය සඳහා ගීත ඉදිරිපත් කරන මාධ්‍යවල පමණක් මේ ගීත ඉඳහිට ඇහෙනවා. එවන් තත්ත්වයක් තමයි අද ඇතිව තිබෙන්නේ.

Q මෙවැනි වාතාවරණයක් පවතින නිසාද අද වන විට සක්‍රීයව නිර්මාණ කටයුතු සිදු නොකරන්නේ

මම හිතන්නේ මේ ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ ප්‍රවීණ නිර්මාණකරුවන්ට ඒ කලකිරීම තියෙනවා ඇති. අපි නිර්මාණ කළාට එය ප්‍රේක්ෂකයන්ට අහන්න ලැබෙන්නේ නැහැ කියන හැඟීම හැම කෙනෙක් තුළම ඇති වෙනවානේ. නිර්මාණකරුවා නිර්මාණයක් කරන්නේ ප්‍රේක්ෂකයාට හෝ ශ්‍රාවකයාට. එහෙත් එය සිදුකරන්න බැරිනම් අපිට මාධ්‍යවලට ගිහින් දිගින් දිගටම ඉල්ලීම් කරන්න බෑනේ. ඒ වගේම ගීත ප්‍රචාරය කරන්න වෙන වෙන ක්‍රම විධි අනුගමනය කරනවානේ. අපිට එහෙම කරන්න බැහැ. අපි නිර්මාණ කරනවා, එය ප්‍රචාරය කිරීමේ වගකීම තිබෙන්නේ ආයතනවලට.

Q ඒ වගකීම ඉටුනොවනවා කියා සිතන  නිසාද  නිර්මාණ සිදුකරන්නේ නැත්තේ

ඇත්තටම මම දැන් නිර්මාණ කරන්නේ නැහැ. මම තීරණය කළා මෙය මගේ අවසාන නිර්මාණය කියලා. මෙතනින් පසු නිර්මාණ කිරීමේ බලාපොරොත්තුවක් නැහැ.

Q ඔබ එසේ සඳහන් කළත් ඔබ සිදුකළ නිර්මාණ කිහිපයකටම ඇගයුම් ලැබුණා

ක්ෂේත්‍රයේ හිටියා ඇති කියන හැඟීමෙන් තමයි මම නිර්මාණ කරන්නේ නැත්තේ. අලුත් නිර්මාණකරුවන් දැන් ඉන්නවා. මම ගීත අහනවා, රසවිඳිනවා, හොඳ දේවල් අගය කරනවා. එච්චරයි. මම මේ කිසිදෙයක් තදින් අල්ලාගෙන නැහැ. ඒ නිසා මට ඉන් ඉවත්වෙන්න පුළුවන්. මම තෘප්තිමත්. ගොඩක් නිර්මාණ මම සිදුකළේ නැහැ තමයි. නමුත් මම ළමා මණ්ඩපයේ සිට සරල ගීත, චිත්‍රපට ගීත, ටෙලිනාට්‍ය ගීත, වේදිකා නාට්‍ය ගීත යන හැම ක්ෂේත්‍රයකම කටයුතු කරලා තිබෙනවා. ඔබ කිව්වා වගේ මම සම්මාන ලබා තිබෙනවා. ඒ නිසා තවත් ඕන කියන හැඟීම මට නැහැ. මම කළ නිර්මාණවල හොඳ නරක විචේචන සතුටින් බාරගත්තා. මගේ ආගම සඳහා මගෙන් කළයුතු දේත් කළා. එය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම රසික රසිකාවියන්ට භාරයි.