Author Archives: නරේන් විශ්වජිත්

පාකිස්තාන තලේබාන් ප්‍රධානී ඩ්‍රෝන ප්‍රහාරයකින් මරු දකී?

පාකිස්තාන තලේබාන් නායක මුල්ලා ෆසුල්ලාහ් ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේදී ජීවිතක්ෂයට පත්වූ බව තහවුරු නොකළ වාර්තා පවසයි.

2012 වසරේදී මලාලා යූසූෆ්සායි වෙත වෙඩි පහාරයක් එල්ල කළේද ෆසුල්ලාහ්ගේ ගෝලයන් බව කියැවෙයි.

එමෙන්ම, 2014 වසරේදී පාකිස්තානයේ පේෂාවර් නුවර පාසල් සිසුන් 130ක් සමූල ඝාතනය කළ ප්‍රහාරයේ ප්‍රධාන වගකිව යුත්තා ලෙසද මොහු සැලකෙයි.

2013 වසරේදී පාකිස්තානයේ තලේබාන් නායකය බවට පත්වූ මොහු, ඇෆ්ගනිස්ථානයේ සිට සිය මෙහෙයුම් පාකිස්තානය තුළ දියත් කරයි.

මොහු ඉලක්ක කරමින් එල්ල කරන ලද ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරය ඇෆ්ගන් ආරක්ෂක අංශවල සහාය ඇතිව එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් බවද කියැවෙයි.

කෙසේ වෙතත් ඇමෙරිකානු ආරක්ෂක අංශ තහවුරු කරන්නේ ඔවුන් ඇෆ්ගනිස්තානයේ ජ්‍යෙෂ්ඨ තලේබාන් සටන්කාමියෙකු ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ බව පමණි. එය පාකිස්තාන දේශසීමාවේ වූ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ හඳුනාගත් ඉලක්කයක් බවද ඇමෙරිකාව කියයි.

මෙහිදී ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පවසා තිබුණේ ෆසුල්ලාහ් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය දියත් වූ බවයි. එමෙන්ම, මෙම ප්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත්වූ බවද ඔහු අවධාරණය කරයි.

1_Thaleban 2

ග්ලැස්ගොව් කලා විද්‍යායතනය දෙවැනි වරටත් ගින්නට හසුවෙයි

ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නගරයේ පිහිටි ලෝක ප්‍රකට කලා විද්‍යායතනය ගින්නකට හසුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මීට වසරකට පෙර මෙම කලා විද්‍යායතනයේ කොටසක් ගින්නකට හසුවීමෙන් පසුව දෙවැනි වරට මෙසේ එම මැකින්ටොෂ් ගොඩනැගිල්ල නැවතත් ගින්නට හසුව තිබේ.

එම ගොඩනැගිල්ලේ ඊයේ රාත්‍රී 11.20ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, ගොඩනැගිල්ලේ විශාල ප්‍රමාණයකට ගින්නට නතුව ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම, මෙම ගින්න ඊට ආසන්න කැම්පස් රාත්‍රී සමාජශාලාවට, ඕ2 ඒ.බී.සී. සංගීත ප්‍රසංග ශාලාවට පැතිර ගොස් ඇති බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, ගින්න හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුවූ බව වාර්තා නොවෙයි.

1_Scot Fire 2 3

අසාමාන්‍ය දූලි වළාවකින් දිල්ලි නගරය වැසී ගිහින්

ඉන්දියාවේ දිල්ලි අගනගරයේ වායු දූෂණය අතිශය දරුණු මට්ටමකට ළඟාවී ඇති අතර, පවතින දැඩි උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් අසාමාන්‍ය දූලි වළාවකින්ද නගරය වැසී ඇති බව වාර්තා වෙයි.

බොහෝ නගරවාසීන් චෝදනා කරන්නේ තමන්ට නිදහසේ හුස්ම ගැනීමටවත් නොහැකි පරිසරයක් මේ වනවිට ඇතිව තිබෙන බවයි.

එමෙන්ම, තවත් අය පවසන්නේ මේ වනවිට නගරය අත්හැර දැමීමට වන තරමටම තත්ත්වය බරපතළ වී ඇති බවයි.

මේ වනවිට නගරය තුළ සිදුවන සියලු ඉදිකිරීම් නතර කිරීමට දිල්ලියේ ප්‍රාන්ත රජය පියවර ගෙන ඇති අතර, ගිනි නිවන හමුදාව යොදා ගනිමින් නගරය පුරා ජල බිංඳු ඉසීමක්ද සිදුකරමින් සිටියි.

මේ අතර, ජනතාවට හැකි තරම් නිවාස හෝ කාර්යාල අභ්‍යන්තරයට වී සිටින ලෙසට උපදෙස් ලැබී තිබේ.

ලෝකයේ පරිසර දූෂණය අතින් ඉහළම තැනක දැනටමත් පසුවන දිල්ලිය, මෑතකාලීන කාලගුණික වෙනස්කම් හේතුවෙත් තවදුරටත් දරුණු පාරිසරික පද්ධතියක් ඇති කර තිබෙන බව නොරහසකි.

1_dust-delhi-13june 2

ගබ්සාව නීතිගත කිරීමට ආර්ජන්ටිනාවත් කැසකවයි

ගැබ්ගැනීමක පළමු සති 14ක කාලය තුළදී ගබ්සාවක් කිරීම නීතිගත කිරීමට අදාළ පනතකට ආර්ජන්ටිනාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ආර්ජන්ටිනාවේ කතෝලික පරිසරය තුළ ගබ්සාව නීතිගත කිරීම සම්බන්ධයෙන් කාලයක් පුරා දැඩි මතභේදයක් පැවතුණි.

පැය 22ක කාලයක් පහළ මන්ත්‍රී මණ්ඩලයේ පැවති විවාදයන්ගෙන් අනතුරුව මන්ත්‍රණ සභා නියෝජිතයන් 129 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

එහිදී, ඊට විරුද්ධව ඡන්ද 125ක් ලැබුණු අතර, එක් අයෙකු නොපැමිණ සිටියේය. ඒ අනුව, මෙම නව පනත එරට සෙනට් මණ්ඩලය වෙත මීළඟට ඉදිරිපත් කෙරෙනු ඇත.

කෙසේ වෙතත්, ආර්ජන්ටිනා ජනපති මොරිසිඕ මාර්සි මෙම පනතට දැඩි විරෝධයක් දැක්වූවත්, පාර්ලිමේන්තු මන්ත්‍රණ සභා දෙකෙහි අනුමැතිය ඊට හිමි වුවහොත්, ඒ සඳහා තමාගේ බලපෑමක් නොදක්වන බව පවසා තිබුණි.

1_Argantina

කාෂ්මීර මාධ්‍යවේදියෙකු වෙඩි තබා ඝාතනය කරලා

ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරයේ පුවත්පත් මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකු කටයුතු කළ ශුජාත් බුඛාරි නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ශ්‍රීනගර් හිදී ඔහු මෙම වෙඩි තැබීමට ලක්ව ඇති අතර, ඔහු බී.බී.සී. වෙබ් අඩවිය වෙනුවෙන්ද ලිපි සැපයූවෙකු බව සඳහන් වෙයි.

රයිසින්ග් කාෂ්මීර් පුවත්පත් කාර්යාලය අසලදී ඔහු සිය මෝටර් රථ තුළ සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව සිටි බුඛාරි වහාම රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණත්, පසුව ඔහු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් බලධාරීහු පැවසූහ.

ඔහු සමග සිටි තවත් අයෙකු මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් අයෙකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් භාරගෙන නොතිබුණත්, මෙය ජිහාඩ් අන්තවාදීන්ගේ ප්‍රහාරයක් බව විශ්වාස කෙරෙයි.

1_bukhari 2

ග්‍රෙන්ෆෙල් ඛේදවාචකයට වසරයි ලන්ඩන් නගරය හරිත වර්ණ ගනී

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේදී ජීවිත 72ක් බිලි ගනිමින් මීට වසරකට පෙර ගිනිගෙන දැවුණු ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණ ඛේදවාචකය සිහි කැඳවමින් විනාඩි 72ක නිහඬතාවක් බ්‍රිතාන්‍යයේදී පවත්වා තිබේ.

එමෙන්ම, මෙම ඛේදවාචකයේ පළමු වැනි වසර සිහිකැඳවීම නිමිති කරගනිමින් ලන්ඩනයේ මහල් ගොඩනැගිලි රැසක් රාත්‍රී කාලයේදී කොළ වර්ණයෙන් අලෝකවත් කර තිබීමද කැපී පෙනුණි.

මීට අමතරව, දේවස්ථාන රැසකදී මේ වෙනුවෙන් ආගමික වතාවත් පැවැත්වුණු අතර, 'ග්‍රෙන්ෆෙල් සැමදා අප හදවත් තුළ රැඳෙනවා' යන පණිවුඩයද නගරය පුරා දක්නට ලැබුණි.

මේ අතර, ඉන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් සිහි කැඳවමින් විශේෂ පා ගමනක්ද නගර මධ්‍යයේදී සංවිධානය වී තිබුණි.

රුසියාවේ පාපන්දු ලෝක ශූරතාවට සහභාගි වී සිටින බ්‍රිතාන්‍ය පාපන්දු කණ්ඩායමද ග්‍රෙන්ෆෙල් වෙනුවෙන් සිය ශෝකය පළ කළ බව සඳහන් වෙයි.

1_Grenfell 2 3 4 5

මේගන් කුමරිය කලින්ම රැජිනගේ හිත අරගෙනලු

බ්‍රිතාන්‍ය රාජකීය පවුලට එකතු වූ අලුත්ම සාමාජිකාව වන මේගන් කුමරිය දෙවැනි එළිසබෙත් රැජිනගේ හිත කලින්ම දිනාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

හැරී කුමරුන් සමග සිදුවූ විවාහයෙන් මසක් ගෙවී යන්නටත් පෙර පසුගියදා ඇය දෙවැනි එළිසබෙත් රැජින සමග රාජකීය කර්තව්‍යයන්ට සම්බන්ධ වූවාය.

එහිදී, විලියම්ගේ බිරිඳ වන කේට් කුමරියට වඩා, රැජින සමග වඩාත් කුළුපග ස්වභාවයකින් හා රැජින වඩාත් සතුටට පත්වන ආකාරයෙන් මේගන් හැසිරෙන ආකාරය පිළිබඳව විදෙස් වාර්තාවල සඳහන් විය.

සසෙක්ස් ආදිපාදවරිය වන මේගන් කුමරිය, එළිසබෙත් රැජින සමග රාජකීය දුම්රියේ නැගී එම දිනක සංචාරයට සහභාගී වී පසුව රන්කෝන් දුම්රිය ස්ථානය වෙත ළඟා විය.

වෘත්තියෙන් නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වූ මේගන්, වඩාත් විශ්වාසයකින් යුතුව එකී රාජකීය කර්තව්‍යයන් සමග සම්බන්ධ වී සිටි බවද විදෙස් වාර්තාවල සඳහන් විය.

1_Meghan 2 3 4 5 6

චීන විශ්වවිද්‍යාල ප්‍රවේශය ඇමෙරිකාවත් පිළිඅරගෙන

ඇමෙරිකානු විශ්වවිද්‍යාල වෙත චීන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩි වශයෙන් ඇද ගැනීමේ බලාපොරොත්තුව ඇතිව චීනයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය වන ගාඕකාඕ විභාගය ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක් විසින් සිය විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහාද පිළිගෙන තිබේ.

ඒ අනුව, ඇමෙරිකානු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයක් ලෙස චීන විභාගය පිළිගත් ප්‍රථම විශ්වවිද්‍යාලය බවට නිව් හැම්ප්ෂෙයර් විශ්වවිද්‍යාලය පත්ව ඇත.

චීනය ඇමෙරිකාව වෙත විශාල වශයෙන් සිසුන් අපනයනය කරන රාජ්‍ය වන අතර, මේ වනවිට 377,000ක් පමණ චීන සිසුන් පිරිසක් ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබමින් සිටිති.

පසුගිය සතියේදී චීනයේ පැවති විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට චීන සිසුන් මිලියන 10ක් වාඩිවී ඇති අතර, මෙම අවස්ථාව ඉලක්ක කරමින් නිව් හැම්ප්ෂෙයර් විශ්වවිද්‍යාලය මෙම නව බඳවා ගැනීමේ කොන්දේසි ඉදිරිපත් කර තිබේ.

1_China 2

ඇන්ටාක්ටිකා අයිස් දියවීම ශීඝ්‍රයෙන් වේගවත් වෙලා – මුහුදු මට්ටම් ඉහළ යාවි

ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවීම ශීඝ්‍රයෙන් වේගවත් වී ඇති බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

මෙම ධවල මහද්වීපයේ අයිස් තට්ටු සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින චන්ද්‍රිකාවන්ට අනුව, වසරකට ටොන් බිලියන 200ක පමණ අයිස් ප්‍රමාණයක් මුහුදට දියවී යන බව හඳුනාගෙන ඇත. ඒ අනුව, පසුගිය වසර 25ක කාලය තුළ ඇන්ටාක්ටිකාවට අයිස් ටොන් ට්‍රිලියන 25ක් අහිමි වී ඇති බවද තහවුරු කරගෙන තිබේ. 

මේ තත්ත්වය තුළ ගෝලීය වශයෙන් මුහුදු මට්ටම්වල ඉහළ යෑම වාර්ෂිකව මිලිමීටර් 0.6කින් වැඩිවනු ඇති බවත්, එය මෙවැනි ගණනය කිරීමක් අවසන් වරට සිදුකළ 2012 වසරින් පසු තුන් ගුණයක ඉහළ යෑමක් බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම දත්ත සම්බන්ධයෙන් ලෝව පුරා රාජ්‍ය නායකයන් වැඩි අවධානයක් යොමු කරමින් පරිසරය පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි.

එමෙන්ම, මේ අනතුර හේතුවෙන් මුහුදු මට්ටමේ ජිවත් වන ජනතාව ඉදිරියේ මුහුණදෙන දැවැන්ත අභියෝගයන්ට දැන් සිටම සූදාන්ම විය යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

1_Antactica 1 3sea-level-contribution

යේමනයේ හෝයුතු ඉලක්ක වෙත සෞදිය ප්‍රමුඛ හමුදා ප්‍රහාර ඉහළට

යේමන රජයට පක්ෂපාතී සටන් කණ්ඩායම් සහ සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා එක්ව හොයුති කැරලිකරුවන්ගේ ප්‍රධාන වරාය නගරයක් වන හුදෙයිදාහ් වෙත ඊයේ (13දා) දිනයේදී ප්‍රහාරයක් දියත් කිරීමත් සමග එම පළාතේ දරුණු ගැටුම් ඇවිලෙන බව විදෙස් වාර්තා පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තහවුරු කරනු ලැබුවේ මෙම ගැටුම්වලින් තම හමුදා සාමාජිකයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම, හොයුති කැරලිකරුවන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වෙයි.

නගරයේ දකුණුදිග අල්-දුරායිහ්මි ප්‍රදේශයේ සහ ගුවන් තොටුපොළ ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් ගැටුම් වාර්තා වන බව සඳහන් වෙයි.

මේ අතර, අද (14දා) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය රැස්වී යේමනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වෙයි.

රට වෙත ආහාර ද්‍රව්‍ය හා ආධාර සැපයෙන ප්‍රධාන වරාය නගරයක්මේ ආකාරයෙන් යුදමය කලාපයක් බවට පත්වීමත් සමග මිලියන 8ක පමණ ජනතාවක් නිරාහාරව මියැදීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

1_Houthi