Author Archives: නරේන් විශ්වජිත්

තක්කාලි ආරක්ෂාවට ආයුද සන්නද්ධ භටයන් යොදවයි

ඉන්දියාව පුරා තක්කාලි මිල අහස උසට ඉහළ යෑමත් සමග ඇතැම් ප්‍රාන්තවල තක්කාලිවලට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තොග වෙළෙඳුන් කටයුතු කර තිබේ.

හින්දුස්ථාන් පුවත්පත වාර්තා කරන ආකාරයට, එරට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්ඩෝර් නගරයේ තොග වෙළෙඳුන් තම තක්කාලි තොග ආරක්ෂාවට ආයුද සමග ආරක්ෂක භටයන් යෙදවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

මේ වනවිට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දේවි අහිලියා බායි වෙළෙඳ සංකීර්ණයේ තක්කාලි තොග ආරක්ෂාවට ආයුද සන්නද්ධ ආරක්ෂක භටයන් 6 දෙනෙකු යොදවා ඇති බවත්, බොහෝවිට තක්කාලි තොග බෑමේදී සිදුවන සොරකම් වැළැක්වීම ඔවුන්ගේ කාර්යභාරය බවත් තොග වෙළෙන්දෝ පවසති.

දැනටමත් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම තක්කාලි තොග සොරකම් කිරීම් පිළිබඳ වාර්තා වී ඇති බව පෙන්වාදෙන වෙළෙන්ඳෝ, මේ තත්ත්වය තුළ තක්කාලි රන් මෙන් ආරක්ෂා කිරීමට සිදුව ඇති බවද සඳහන් කරයි.

අවාරය මෙන්ම, අයහපත් කාලගුණය යන හේතු සාධක අනුව ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල තක්කාලි මිලෙහි යම් වෙනසක් පැවතියත්, සාමාන්‍යයක් ලෙස තක්කාලි කි.ග්‍රෑ 01කට ඉන්දීය රු.100/- ක් හෙවත් පැවති මිල මෙන් දෙගුණයක් ගෙවීමට සිදුව ඇති බවද වෙළෙන්ඳෝ වැඩිදුරටත් පවසති.

2040 න් පසුව බ්‍රිතාන්‍ය තුළ පෙට්‍රල්-ඩීසල් කාර් වෑන් නෑ?

වායු දූෂණයට එරෙහිව ප්‍රබල පියවරක් ඔසවමින් බ්‍රිතාන්‍යය තුළ වර්ෂ 2040 න් පසුව නව ඩීසල් සහ පෙට්‍රල් කාර් සහ වෑන් තහනම් කිරීම සඳහා රජය සූදානම් වෙයි.

මේ අතර, බ්‍රිතාන්‍ය තුළ වායුගෝලයේ ගුණත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් වැය කරන ස්ටර්ලිං පවුම් බිලියන 3ක අරමුදලේ කොටසක් ලෙස ඩීසල් වාහනවලින් පිටවන අහිතකර වායු විමෝචනය පාලනය කිරීම වෙනුවෙන් තවත් ස්ටර්ලිං පවුම් මිලියන 255ක අරමුදලක් පිහිටුවීමටද බ්‍රිතාන්‍ය අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

එමෙන්ම, තවත් නොබෝ දිනකින්ම බ්‍රිතාන්‍යයේ පිරිසුදු වායුගෝලීය ප්‍රතිපත්තිය එළිදැක්වීමට රජය බලාපොරොත්තු වන අතර, එහිදී විද්‍යුත් මෝටර් රථ සඳහා වැඩි අවස්ථාවක් ලබාදී ඇති බවද කියැවෙයි.

මේ අතර, ක්‍රියාධරයන් පවසන්නේ මෙම නියමයන් පොරොන්දුවලට පමණක් සිමා නොකර, ඒවා පිළිබඳ සවිස්තර තොරතුරු අවශ්‍ය බවයි.

එහිදී, රට තුළ පිරිසුදු වාතාශ්‍රාය සහිත කලාප ඇති කිරීම මෙන්ම, ඒ වෙත වායු විමෝචනය ඉහළ මට්ටමක වූ මෝටර් රථ ඇතුළු වන්නේ නම් එම රථවලින් මුදලක් අය කිරීම ගැනද ක්‍රියාධරයන් පෙන්වා දී තිබේ. එය ගුවන්යානාවලටත් පොදු බවද ඔවුහු පවසති.

ප්‍රංශයේ මහා ලැව්ගිනි තත්ත්වයක් – 10000ක් ඉවත් කරයි

ඊසානදිග ප්‍රංශයේ පැතිර යන දරුණු ලැව්ගිනි තත්ත්වයත් සමග පුද්ගලයන් 10,000ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා ඉවත්කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

ප්‍රංශයේ ප්‍රොවෙන්ස්-ඇල්ප්ස්-කෝටේ ඩිඅසුර් කලාපයේ, බොර්මේස් ලෙස් මිමෝසාස් ප්‍රදේශය ලැව්ගින්නෙන් දැඩි ලෙස හානි වූ ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇති අතර, එම ප්‍රදේශයේ පැතිර යන ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන භටයන් සිය ගණනක් යොදවා ඇති බවද විදෙස් වාර්තා පවසයි.

මේ අතර, මෙම ගින්න සමග සටන් කිරීම සඳහා ප්‍රංශය තම යුරෝපා සංගම් මිත්‍රයන්ගේ උදව් ඉල්ලා ඇති බවද සඳහන් වෙයි.

මේ වනවිටත් මධ්‍යධරණී මුහුදු කලාපයේ අක්කර 4,000ක පමණ කොටසක් ගින්නෙන් විනාශ වී ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

දෙවැනි දාලිත්වරයා ඉන්දීය ජනපති පුටුවේ වාඩි වෙයි

ඉන්දියාවේ 14 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් රාම් නාත් කෝවින්ද් දාලිත් ජන වර්ගය නියෝජනය කරමින් ඉන්දීය ඉතිහාසයේ පත්වූ දෙවැනි ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්වෙයි.

එරට අගවිනිසුරුවරයා ඉදිරියේ ඊයේ (25දා) දිවුරුම් දුන් රාම් නාත් ජනාධිපති ධුරය සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්දයෙන් තුනෙන් දෙකකට වඩා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම තුළම ඔහු කෙරෙහි පක්ෂ විපක්ෂ වැඩි දෙනෙකු බලාපොරොත්තුවක් තබා ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ රාම් නාත් කෝවින්ද්, මෙන්ම මෙවර ඔහු සමග තරගයට පැමිණි කොංග්‍රස් පක්ෂයේ මීරා කුමාර් යන දෙදෙනාම පීඩිත දාලිත් ජනවර්ගයෙන් පැවතෙන්නන් වීමද විශේෂත්වයකි.

ඉන්දීය ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම මහජන ඡන්දයෙන් නොව, එරට මධ්‍යම ආණ්ඩු පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙකෙහි මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන්ද ඇතුළත් ඡන්ද පීඨයක් මගින් සිදුවන අතර, 4,896ක නියෝජිත පිරිසකගෙන් සමන්විත මෙම ඡන්ද පීඨයට ඉන්දීය ප්‍රාන්ත 29ක මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සහ සාංගමික ප්‍රදේශයන්හි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලවල නියෝජිතයෝද ඇතුළත් වෙති.

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය 17දා සිදුව තිබූ අතර, මෙහි ඡන්ද ගණන් කිරීම 20දා උදෑසන 11.00 ට ආරම්භ විය. එමෙන්ම, මෙවර සභිකයන් 99% ක්ම පාහේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබුනේ වාර්තාගත ඡන්දය ප්‍රකාශ කිරීමක් සමගිනි.

හිටපු බිහාර් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වන රාම් නාත් පීඩිත දාලිත් කුලයෙන් පැවතෙන ගොවි පුත්‍රයෙකි. ඔහු ඉතා සරල දිවි පෙවෙතෙකට හුරුවූවෙකු ලෙසද සැලකෙයි. වර්ෂ 1945 ඔක්තෝබර් 01 වැනිදා කන්පූර් දෙහාත් හිදී උපත ලැබූ ඔහුට වාණිජවේදී උපාධිධරයෙකි. එමෙන්ම, කන්පූර් විශ්වවිද්‍යාලයෙන් ඔහු නීතියද හදාරා ඇත.

වසර 15කට අධික කාලයක් දිල්ලි මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු සවීතා කෝවින්ද් සමග විවාහ වී සිටියි. ඔවුනට දාව පුතෙකු හා දියණියක වෙයි.

භාරතීය ජනතා පක්ෂයේ දාලිත් මෝර්චා හි සභාපතීත්වය දැරූ ඔහු, එම පක්ෂයේ ජාතික මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කර ඇත. 1994 සිට 2000 සහ 2000 සිට 2006 දක්වා උත්තර් ප්‍රදේශ ප්‍රාන්තය නියෝජනය කරමින් රාජ්‍ය සභා සමාජිකයෙකු ලෙස දෙවරක් කටයුතු කර ඇති ඔහු ඉන්දීය පර්ලිමේන්තුවේ කමිටු කිහිපයකම සාමාජිකයෙකු ලෙසද අත්දැකීම් ලබූවෙකි.

මීට වසර තුනකට පෙර බිහාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස නම්කරනු ලැබූ ඔහු එම ප්‍රාන්ත‍යේ 36 වැනි අණ්ඩුකාරවරයා බවට 2015 අගෝස්තු මාසයේදී පත්විය.

රාම් නාත්ට පෙර ඉන්දීය ජනාධිපති පදවියට උසුලනු ලැබූ දාලිත්වරයා කේ.ආර්. නාරායන් මහතාය.

පුරුෂ ශුක්‍රාණු ප්‍රතිශතය පහළට අනාගත තර්ජනයක් බව කියයි

පුරුෂයන්ගේ ශුක්‍රාණු ප්‍රතිශතය දැනට පවතින සීමාවේ තවදුරටත් අඩුවෙමින් පැවතියහොත් අනාගත මනුෂ්‍ය සංහතියේ අභාවය වැඩි ඈතක නොවන බව විද්‍යාඥයෝ පවසති.

උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල සිද්ධීන් 200ක් පමණ ඇසුරෙන් දීර්ඝ කාලයක් පුරාවට සිදුකළ පර්යේෂණ ප්‍රතිඵලයකට අනුව වසර 40ක කාලය තුළ ඔවුන්ගේ ශුක්‍රාණු ප්‍රතිශතය අඩකින් පමණ පහළ බැස ඇති බව අනාවරණය වී තිබේ.

මෙම පර්යේෂණ කණ්ඩාමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ වෛද්‍ය හගායි ලෙවින් පවසන්නේ අනාගතයේ සිදුවිය හැකි අනතුර සම්බන්ධයෙන් අප වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

වර්ෂ 1973 සහ 2011 යන දීර්ඝ කාලයක් පුරා සිදුකළ දැවැන්ත පර්යේෂණ ප්‍රතිඵලයක් බැවින් මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව ඉහළ බවද පර්යේෂකයෝ පවසති.

වසංගත තත්ත්වයන් සම්බන්ධ විශේෂඥයෙකු වූ වෛද්‍ය ලෙවින් පවසන්නේ මේ තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් අනාගතයේ මනුෂ්‍ය සංහතිය ක්‍රමයෙන් හීනවී යනු ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම පර්යේෂණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් සැක උපදවන පිරිස්ද සිටින අතර, මෙය සමස්ත ලෝකයටම බලපාන තත්ත්වයක් නොවන බව ඔවුහු පවසති.

මුම්බායි ගොඩනැගිල්ලක් කඩා වැටී ජීවිත හානි 8ක්

ඉන්දියාවේ මුම්බායි නුවර මහල් හතරක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ජීවිත හානි 8ක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ වනවිට ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් ඇරඹී ඇති අතර, 15 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකි වූ බවද පොලීසිය පවසයි.

මෙම ගොඩනැගිල්ලේ එක් කොටසක් හෙද නිවාසයක් ලෙස භාවිත කරමින් පැවතියත්, මෙය කඩා වැටෙන අවස්ථාවේදී එම කොටස ප්‍රතිසංස්කරණය කරමින් සිටි නිසා එහි කිසිවෙකු නොසිට ඇති බව විශ්වාස කෙරෙයි.

කෙසේ වෙතත්, ගොඩනැගිල්ලේ සෙසු මහල්වල පවුල් කිහිපයක් ජීවත් වී ඇති අතර, තවත් පුද්ගලයන් 10 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී සිටින බව විශ්වාස කෙරෙයි.

ඉන්දියාව තුළ මෙවැනි ගොඩනැගිලි අනතුරු දුලභ කාරණයක් නොවන්නේ, මෝසම් වැසි ඇදහැළෙන කාල වකවානුවලදී නිසි ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි කඩා වැටෙන බැවිනි.

තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් – හමුදාව යොදවයි

ඛනිජතෙල් බෙදාහැරීම අත්‍යවශය සේවාවක් බවට පත් කරමින් ඊයේ (25දා) මධ්‍යම රාත්‍රී නිකුත් කළ ගැසට් නිවේදනයත් සමග කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්ත වෙත හමුදාව ඇතුළු වෙමින් තෙල් බෙදාහැරීම යථාතත්ත්වයට පත්කරමින් සිටී.

ඒ අනුව, වර්ජනයට එක්ව සිටින සේවකයන් ඉවත්කර ඊට සහාය නොදක්වන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපතිරවයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනයට අනුව පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම හා බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ.

එමෙන්ම, වරායන් තුළ නැවක් තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම, ගොඩබෑම, ගබඩා කිරීම, භාරදීම හෝ ඉවත්කිරීමට අදාළව සිදුකළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලුම සේවාවන් ඉටුකළ යුතු බවටද එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

කනිජතෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසුව සේවකයන් සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අත්හැර ගියා සේ සලකන බවද රජය දන්වා සිටී.

එමෙන්ම, කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තවල බෙදාහැරීම යථා තත්ත්වයට පත්කර ඇති බැවින් තෙල් බෙදාහරින බවුසර්වලට එම ස්ථාන සඳහා යන ලෙසද දැනුම් දී තිබේ.

ඛනිජතෙල් වර්ජනයෙන් පිරවුම් හල් රැසක් හිස්වේ

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කැඳවා ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිටත් දිවයින පුරා ඉන්ධන පිරවුම් හල් රැසක ඉන්ධන අවසන් වී ඇති බව වාර්තා වේ.

වර්ජනය සැලවීමත් සමග පෙරේදා (24දා) රාත්‍රියේ පටන් පැවති දැඩි ඉල්ලුම සපුරාලීම හේතුවෙන් ඉන්ධන තොග අවසන් වීමෙන් කොළඹ නගරයේ ඉන්ධන පිරවුම් හල් රැසක් ඊයේ (25දා) දවහල් වන විට වසා දමා තිබුණි.

එසේ වසා දැමුණු ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසා තිබුණේ බොහෝ රථ වාහන හිමියන් ටැංකි පිරෙන්නම (ෆුල් ටෑන්ක්) ඉන්ධන ලබාගැනීම හේතුවෙන් ඉන්ධන තොග අවසන්ව තම පිරවුම්හල වසාදැමීමට කටයුතු කළ බවයි.

මේ අතර, ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා අතර ඊයේ (25දා) පස්වරුවේ පැවති සාකච්ඡාවද අසාර්ථක වී ඇත.

එම සාකච්ඡාව අසාර්ථක වූ බැවින් වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදුකරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා සඳහන් කර තිබේ.

මෙහිදී, වැඩවර්ජනය අත්හැර ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි අමාත්‍යංශ ලේකම්වරයා සහ ඛණිජතෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා විසින් කර තිබූ යෝජනාව, ඛණිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයන් එකහෙළා ප්‍රතික්ෂේප කර ඇති අතර, එසේ වර්ජනය අවසන් කළ හැකි වන්නේ ජනාධිපතිවරයා ලබාදෙන විසඳුම පිළිගත හැකිනම් පමණක් යැයිද වෘත්තීය සමිති නායකයන් ලේකම්වරයාට සහ සභාපතිවරයාට දන්වා යවා ඇත.

ඡායාරූප – ඒෂාන් ප්‍රනාන්දු

 

ස්පාඤ්ඤ – මොරොක්කෝ දේශසීමාවේ පිහි ප්‍රහාරයක්

ස්පාඤ්ඤ – මොරොක්කෝ දේශසීමාවේදී මන්නා පිහියක් අතින් ගත් පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකුට පහරදී තිබේ.

අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දී ඇති මෙම පුද්ගලයාගේ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා රෝහල්ගත කළ බවත්, ප්‍රහාරකයා ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමට ස්පාඤ්ඤ ආරක්ෂක අංශ සමත්වූ බවත් විදෙස් වාර්තා පවසයි.

මොරොක්කෝවේ බෙනී එන්සර් නගරයට ආසන්න දේශසීමාවේ, ස්පාඤ්ඤ පාලනයේ පවතින මෙලීලා නගරයේදී මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන් වෙයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් අරඹා ඇති අතර, ප්‍රහාරය සිදුකළ පුද්ගලයාගේ ජාතිකත්වය පිළිබඳ සඳහනක් නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

යුක්රේනයට ආයුද සැපයීම සඳහා ඇමෙරිකාව සූදානම්

රුසියාවේ සහාය ලබන කැරලි හමුදාවන් සමග සටන් කිරීම සඳහා යුක්රේනය වෙත ආයුද ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකාව සොයා බලමින් සිටින බව යුක්රේනය සඳහා වන ඇමෙරිකානු විශේෂ නියෝජිතවරයා පවසයි.

මෙය යුක්රේන හමුදාව සම්බන්ධයෙන් රුසියාවේ එළැඹීම වෙනස් කරන්නක් විය හැකි බව කර්ට් වෝල්කර්, මෙම ක්‍රියාව කිසිදු ආකාරයකින් ආක්‍රමණයක් ලෙස රුසියාව නොසලකනු ඇති බවද වෝල්කර් පවසයි.

නැගෙනහිර යුක්රේනයේ ක්‍රියාත්මක සටන් විරාමය ආරක්ෂා කිරීමට දෙපාර්ශ්වයම කැපවීමෙන් කටයුතු කළ යුතු බව පසුගිය සතියේදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබුණි.

වෝල්කර් පවසා තිබුණේ ඇමෙරිකාව යම් ලෙසකින් යුක්රේනය වෙත ආයුද සැපයීමක් සිදු වුවහොත්, එය ඔවුන්ගේ ස්වයං ආරක්ෂාව වෙනුවෙන් ගනුලබන පියවරක් බවයි. උදාහරණයක් ලෙස යුද ටැංකි ආදිය යුකේරේනය වෙත සැපයිය හැකි බවද හෙතෙම පවසා තිබුණි.

කෙසේ වෙතත්, යුක්රේනය සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කර ඇති අදහස සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.