Author Archives: නඳුන් ශ්‍යාමාල්

වනඅලි කරදරයෙන් මිදෙන්න සාර්ථක වූ අලුත්ම ‘අලිවැට’

අලි මිනිස් ගැටුම කියන මාතෘකාව ඔබට හැමදාම දකින කුකුළගේ කරමලේ වගේ වෙන්න පුළුවන්. එතරම්ම ඒ ප්‍රශ්නය ගැන අපි කතා කරනවා. ඒ එක්ක අපි හැමදාම කතා කළේ අලි නිසා මිනිස්සුත්, මිනිස්සු නිසා අලිත් විඳින දුක් ගැන. ඒත් අද අපි කතා කරන්න යන්නේ අලි මිනිස් ගැටුම අතීතයට පමණක් සීමා කරන්න සූදානම් වෙන මිනිස්සු ඉන්න ගමක් ගැනයි. කොටින්ම කියනවා නම් ලංකාවේ මේ වෙද්දී සාර්ථක ලෙස ක්‍රියාත්මක වන විශේෂ අලිවැට තිබෙන්නේ මේ ගම්මානයේය. 


2018-02-01-09-31-28-918

ගල්ගමුව වෑගෙදර ගම්මානය කියන්නේ වසර ගණනාවක ඉඳලම දිනපතාම පාහේ වනඅලි ප්‍රහාරවලට ලක්වුණු යම් ආකාරයකින් දුෂ්කර ගම්මානයක්. වගා හානි, දේපළ හානි වගේම අලි පහරදීම් නිසා මිනිස් ජීවිතවලට වන හානි නිතරම වාර්තා වන අඳුරු කාලයක් වෑගෙදර ගම්වාසීන් පසු කළා. ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය කරගත්ත වෑගෙදර ගම්මානයේ පවුල් 80කට අධික ප්‍රමාණයක් පදිංචිව සිටියත්, වනඅලි ගැටලුව නිසාම බොහෝ ගම්වාසීන් මේ ගම්මානය අත්හැරලා ගිහින් තියෙනවා. ඒ නිසා මේ වෙද්දි ගමේ ඉතිරිවෙලා ඉන්නේ පවුල් 30කට අඩු ප්‍රමාණයක්.  

අලි නිසා කොයිතරම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුණත් වෑගෙදර ගමේ මිනිස්සුන්ට අලියා ගැන කිසිම වෛරයක් නැහැ. උගුලකට හෝ වෙඩි වැදිලා තුවාල වුණු අලියෙක් බේරගන්න එහෙමත් නැත්නම් වගා ළිඳකට වැටුණු අලියෙක් බේරගන්න ගමේ මිනිස්සු එකා වගේ එකතුවෙලා අදටත් මහන්සි වෙන්නේ ඒ නිසයි. 

මේ විදියට වසර ගණනාවක් අලි ප්‍රශ්නෙන් පීඩා විඳින වෑගෙදර ගමට 2014 වසරේදී අලුතින් ග්‍රාම නිලධාරීවරයෙක් පත්ව එනවා. මේ සියල්ල වෙනස්වීම ආරම්භ වෙන්නේ එතැනින්. ඒ වෙනස්වීම ගැන දැනගන්න අපි අංක 66 වෑගෙදර ග්‍රාම නිලධාරී නුවන් ප්‍රසාද් ආරියරත්න මහතාව සොයා ගියා. 

'වෑගෙදර ගම්මානය කියන්නේ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත්තු මිනිස්සු ජීවත්වන ගමක් නිසා වනඅලි ප්‍රශ්නයත් එක්ක ඔවුන් විශාල අපහසුතාවන්ට ලක්වුණා. මේ ප්‍රශ්නය කොයිතරම් උග්‍රව තිබුණාද කියනවා නම් පවුල් 80කට වැඩි ප්‍රමාණයක් හිටපු මේ ගමේ දැන් ඉන්නේ පවුල් 30කටත් අඩු ප්‍රමාණයක්. මිනිස්සු හුඟදෙනෙක් ගම දාලා ගියා. අත්ඇරලා දාපු ගෙවල් තාමත් කැලේ තියනවා. වනඅලි ප්‍රශ්නය නිසා සම්පූර්ණයෙන්ම අත්හැරලා දාපු පුරුක්ගමුවාගම ගමේ නිවාස කැලෑවේ අදටත් දැකගන්න පුළුවන්. ඒ තත්ත්වය වෑගෙදර ගමටත් උදාවෙමිනුයි තිබුණේ. වනඅලි ප්‍රහාර නිසා හානියට පත්වුණු නිවාස ගැන දත්ත රැස්කිරීමට යාම, අලිවෙඩි ලබාගැනීම සඳහා අවසර ලිපි නිකුත් කිරීම මීට වසර කිහිපයකට කලින් මගේ දෛනික රාජකාරි වෙලා තිබුණා.nuwan

මේ අතරවාරෙදි ආර්ථිකය අතින් යම් මට්ටමක හිටපු පිරිස් පෞද්ගලික අලිවැටවල් ගහගත්තා. සමහර වෙලාවට අලිමංකඩවල් පවා අවහිර වෙන විදිහට මේ වැටවල් ගැහුවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල්වලට වනඅලින්ගෙන් වෙන හානිය එන්න එන්න දරුණු වෙන්න පටන් ගත්තා. මේ නිසා ගමේ මිනිස්සු එකතු කරගෙන ප්‍රශස්ත මට්ටමේ අලිවැටක් හදන්න අපි එකතු වුණා. නමුත් අදාළ අංශ මේ ගැන දැනුවත් කළත්, ඒක සාර්ථක වුණේ නැහැ. මේ අතරවාරෙදි තමයි 2015 දෙසැම්බර් මාසේ 30 වැනිදා හදිසියේම වනඅලි ගොඩදෙනෙක් ගම්වැදිලා වෑගෙදර ගමට විශාල ප්‍රහාරයක් එල්ල කළේ. එතැනින් පස්සේ ගමේ මිනිස්සු 2016 ජනවාරි පළමුවැනිදා විශාල උද්ඝෝෂණයක් කළා. ඒ ස්ථානයට ආපු වනජීවී සහකාර අධ්‍යක්ෂ සුමනසේන මහත්මයා සහ වනසත්ත්ව නියාමක වසන්ත මහත්මයා අපි ක්‍රියාත්මක කරන්න ගිය අලිවැට ව්‍යාපෘතිය ගැන වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කළා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහටයි වනජීවී දෙපාර්තමේන්තුව ව්‍යාපෘතිය කරගෙන යන්න අපිට සහයෝගය ලබාදුන්නේ. ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්තුමියත් අපිට විශාල සහයෝගයක් ලබාදුන්නා.

සහයෝගය ලැබුණට පස්සේ මුලින්ම අපි කළේ මේ ගම ආශ්‍රිතව තිබෙන අලි ගමන් කරන සාම්ප්‍රදායික අලිමංකඩවල් හඳුනාගැනීම. අපිට හඳුනා ගන්න හැකිවුණු විශේෂ දෙයක් තමයි මේ අලිමංකඩවල් වැටිලා තිබෙන්නේ ජලය තිබෙන ප්‍රදේශ සහ වැව් හරහා කියන කාරණය. ඒ නිසා වැව් සහ කුඹුරු අලිවැටෙන් පිටතට පිහිටන විදිහටත්, අලිමංකඩවල් අවහිර නොවන ආකාරයටත් ගම්මණ්ඩිය වට කරලා අලිවැට ඉදිකරන්න සැලසුම් සකස් කරලා ගමේ සංවිධානයකුත් පිහිටුවාගෙන වැඩකටයුතු ආරම්භ කළා. ගමේ සියලු දෙනාම සංවිධානයට බැඳුණා. සාමාජික මුදලක් එකතු කරලා ඒ මුදල් අලිවැට ඉදිකිරීමට යෙදෙව්වා. ගමේ පිරිස් එකතුවෙලා අලිවැට ඉදිකරන මාර්ගය සුද්ධ කරලා වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලැබුණු විදුලි කණු සහ විදුලි රැහැන් ඇදීම සිදුකළා. විදුලිය ලබාගන්න අපි භාවිත කරන්න තීරණය කළේ සූර්යය බලය. ඒ නිසා පැය 24 පුරාම අලිවැට ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අවශ්‍ය බලකුටි තැනින් තැන ඉදිකරලා තියෙනවා. ඒ වගේම හදිසි නඩත්තු කටයුත්තක් වෙනුවෙන් වැය කරන්න ගමේ සෑම කෙනෙකුගෙන්ම රුපියල් 100 බැගින් මාසිකව එකතුකරලා බැංකු තැන්පතුවක් පවත්වාගෙන යනවා. මොකද සාමාන්‍යයෙන් රජයෙන් මුදල් ලැබෙන්න කලක් ගතවෙන නිසා. හැම කෙනෙක්ටම සාධාරණයක් වෙන්න ඕන නිසා මේ අලිවැට ඉදිකිරීමේදී අපි තමන්ගේ ඉඩමින් ආවරණය වන ප්‍රමාණය අනුවයි මුදලක් අය කළේ. අක්කරයකටම රුපියල් 3000ක් වගේ මුදලක් තමයි අය කළේ. 

මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය ගත්තොත් මේ වෙද්දි අලි පහරදීම් ගොඩක් අඩුවෙලා තිබෙනවා. මේ වැට නඩත්තු කරන්න, පවත්වාගෙන යන්න ගම්මුන්ට විශාල උනන්දුවක් තිබෙනවා. මේ වසර 2 කාලයටම අලි පහරදීම් 3ක් පමණයි වාර්තා වුණේ. ඒකත් නඩත්තු ගැටලුවක් නිසා. ඒ වගේම අලිමංකඩවල් අවහිරවෙලා නැති නිසා අලි තමන්ගේ පාඩුවේ යනවා. මිනිස්සු තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. අද මේ ජනතාව පීඩා විඳින ලොකුම ගැටලුව තමයි කෘෂිකර්මාන්තය සඳහා ජලය හිඟවී තිබීම.'

2018-02-01-16-15-25-800

අද වෙද්දි පොල් ගහක්වත් හොයාගන්න බැහැ, අලි විනාශ කරලා ඩබ්ලිව්.එම්. සෝමරත්න මහතා (ප්‍රදේශවාසියෙක්)

somarathna'මම උපන්දා ඉඳන්ම පදිංචිය මේ වෑගෙදර ගමේ. අලිවැට ගහන්න කලින් අපි ගොඩක් දුක් වින්දා. මගේ තාත්තා මැරුණෙත් අලියා ගහලා. හේනක් කරගෙන යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඇත්තටම දැන් නම් මේ අලිවැට ඇතුළේ තියෙන ඕනෑම වගාවක් ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒත් අවුරුදු 3ක් තිස්සේ ඉඳන් තියෙන පෑවිල්ල නිසා ගොවිතැන් කටයුතුත් බොහොම අමාරුයි. අද වෙද්දි පොල් ගහක්වත් හොයාගන්න බැහැ. අලි විනාශ කරලා. ඉස්සර නම් අලි ගොඩක් වෙලාවට හිටියේ හවස් වරුව වෙද්දි. ඒත් දැන් දවල් කාලෙත් අලි එනවා. එහෙමයි කියලා උන්ට වෛර කරන්න අපිට බැහැ. කැලෑවල් එළිවෙද්දි උන්ට කන්න දෙයක්  නැහැ. ඒ නිසයි අලි ගම් වදින්නේ. මිනිහා වුණත් හොරකම් කරන්නේ බඩගින්න නිසා. අලියා කියලත් ඒකෙ වෙනසක් නැහැ.* 

 විදුලිවැට නොවෙන්න අපිත් ගම අතෑරලා ගිහිල්ලා විශ්‍රාමික තැපැල් සේවකයෙකු වන හේරත් බණ්ඩාර මහතාherath banda

'මේක මගෙ උපන් ගම. මගේ වයස අවුරුදු 76ක් වෙනවා. ඒ කාලේ අලි කරදර අපිට තිබුණේ නැහැ. මගේ මතකේ හැටියට 1985 අවුරුද්දෙන් පස්සේ තමයි ටිකටික අලි ගම් වදින්න පටන් ගත්තේ. අලි ගහලා කැඩුණ ගෙයක් මේ පැත්තේ නැති තරම්. අදටත් මේ විදුලි වැට නොවෙන්න අපිත් ගම අතෑරලා ගිහිල්ලා. දැන් ගෙවල් පිටින් මිනිස්සු ගම දාලා ගිහින් පවුල් කිහිපයක් විතරයි ඉන්නේ. ඉස්සර මේ වෑගෙදර ගමේ ලොකුවට ගොවිතැන් කළා. ඒත් අලි ප්‍රශ්නෙයි, දැන් තියෙන වතුර ප්‍රශ්නෙයි නිසා ගොවිතැනත් මිනිස්සු අත්හැරලා දාන තත්ත්වෙට ඇවිත්. අවුරුදු 3කින් හරියට වැස්සක් නැහැ. කන්න 4ක් ගොවිතැන් කරලා නැහැ. වැව් ඔක්කොම වගේ හිඳිලා ගිහින්.'

 

 

කුරුණෑගල රාජධානිය ඇතුගල්පුර කළ ‘ඇතාගල’ කථා

කුරුණෑගල පුරවරයේ පිහිටලා තිබෙන ඇතෙකුගේ හැඩය ගත් ඇතුගල එහෙමත් නැත්නම් ඇතාගල බොහොම ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙන ස්ථානයක්. ඒ වගේම මේ සුප්‍රසිද්ධ ඇතාගල ඇතුළු කුරුණෑගලට අයත් බොහෝ දැවැන්ත පර්වත, කඳු, හෙල් ආශ්‍රය කරගෙන ජනප්‍රවාද රැසක් වගේම තවමත් සැඟවී තිබෙන ඉතිහාසයක් තිබෙනවා. එයින් බිඳක් සොයා අප ගිය ගමනක මතක සටහන් 'අද'  මෙසේ පාඨක ඔබ වෙත ගෙන එන්න සූදානම්.


DSCN0558

ඇතුගල හෙවත් ඇතාගල සම්බන්ධයෙන් අපිට අසන්නට ලැබෙන එක් ජනප්‍රවාදයක් ඒ අසලම පිහිටලා තිබෙන ඉබ්බාගල, එළුගල, කුරුමිණියාගල, ආඳාගල ආදී සත්ත්ව හැඩය නිසා නම්පට බැඳුණු පර්වත සහ කුවේණිය සමග බැඳී තිබෙනවා. විජය රජු විසින් නෙරපා හරින කුවේණිය ඉතාමත් දුකින් සහ විශාල කෝපයකින් යම් ශාපයක් සිදුකළ බවත්, ඒ ශාපය සිදුකළ ස්ථානයේ රැඳී සිටි ඇතෙක්, කුරුමිණියෙක්, ඉබ්බෙක්, එළුවෙක් සහ ආඳෙක් ශාපයේ ප්‍රතිඵලයක් විදිහට මේ ආකාරයෙන් ගල් පර්වත හැඩයට පරිවර්තනය වූ බවත් මේ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මේ සෑම ගලකම අදටත් සැඟවී තිබෙන ඓතිහාසික කාරණා බොහෝමයක් තිබෙන බව කුරුණෑගල ජනතාව විශ්වාස කරනවා. 

ඇතාගල ඇතුළු මේ පර්වත පෙළ ස්වාභාවික ආරක්ෂක වළල්ලක් ලෙස පිහිටා ඇති නිසාත්, ඒ ඔස්සේ කුරුණෑගල ප්‍රදේශයේ ඇති ආරක්ෂිත බව හා බිමේ තිබෙන සාරවත් බව නිසාත් කුරුණෑගල රාජධානියක් ලෙස භාවිත වුණු බව ඉතිහාසය සඳහන් කරනවා. කුරුණෑගල රාජධානියට අයත් වුණු රජවාසලේ සහ දළදා මාලිගයේ නටබුන් ඇතුගලට පාමුලින්  පිහිටා ඇති බව කියවුණත් ජනාකීර්ණ වීමත් එක්ක අද ඒ නටබුන් දැකගන්න ලැබෙන්නේ නැහැ. 

රාජධානියක් විදිහට කුරුණෑගල හෙවත් ඇතුගල්පුර ඉස්මතු වීම සිදුවෙන්නේ 14 වැනි සියවසේදී පමණ. කුරුණෑගල බලයට පත්වූ පාලකයනුත් දඹදෙණි රජ පෙළපතට අයත් පිරිස් බවට සැලකෙනවා. තවදුරටත් ජනප්‍රවාද සහ කුරුණෑගලට සම්බන්ධ ඉතිහාසය හාරා ඇවිස්සීමේදී මතුවන කාරණයක් තමයි ඇතුගලේ පිහිටා තිබුණා යැයි සැලකෙන දේවානම්පියතිස්ස රජු විසින් කරවූවා යැයි සැලකෙන ඇතුගල විහාරය පිළිබඳ කතාව. නමුත් අවාසනාවකට 2003 වර්ෂයේ හස්ථි ශෛලපුර බුදුරුව සංවර්ධන සමිතිය විසින් ඉදිකරන්නට යෙදුණු අඩි 66ක් උස සමාධි බුදුපිළිම වහන්සේ හැරෙන්නට ඒ පැරණි විහාරයේ නටබුන් කිසිවක් ඇතුගල මත දකින්නට ලැබෙන්නේ නැහැ. ඇතුගල පිහිටලා තිබෙන පොකුණ වනවාසී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය වෙනුවෙන් ඉදිවූවක් යැයි සැලකෙනවා.
ඇතුගල සම්බන්ධ තවත් ඉතිහාස කතාවක් විදියට වත්හිමි කුමාරයා සම්බන්ධ ජනප්‍රවාදය පෙන්වා දෙන්න පුළුවන්. ඔබ ආචාර්ය සෝමරත්න දිසානායක මහතාගේ 'සිරිපැරකුම්' චිත්‍රපටය නැරඹුවා නම් වත්හිමි කුමාරයා පිළිබඳව යම් ප්‍රමාණයකින් දන්නවා ඇති.  වත්හිමි කුමාරයා පිළිබඳව ලිඛිත ඉතිහාසයේ වැඩිමනක් තොරතුරු සඳහන් නොවුණත්, මෙය කුරුණෑගල ජනතාව අතර තිබෙන සුවිශේෂී සහ ප්‍රකට ජනප්‍රවාදයක් වෙනවා.

a¦ça¦¡a+öa¦£a¦+ a+âa+Æa¦º a¦Üa+öa¦+a+öa¦½a+æa¦£a¦+ a¦»a+Æa+âa+èa+Ça¦¦ a¦àa¦¦a+öa¦+a+ö

තුන්වන විජයබාහු රජුට මුස්ලිම් ජාතික බිසවක් සිටි බවත්, ඇයට දාව උපන් කුමාරයා මේ වත්හිමි කුමරු බවත් මතයක් තිබෙනවා. තුන්වන විජයබාහු රජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වුණු වත්හිමි කුමාරයාට සිංහල අමාත්‍යවරුන්, සේනාධිපතිවරුන්ගෙන් එතරම් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ සඳහා ඔහුගේ අසාධාරණ ප්‍රතිපත්ති සහ බෞද්ධ විරෝධී ක්‍රියාපිළිවෙත හේතු වූ බවත් කියවෙනවා. මේ කාලය තුළ කුරුණෑගල වැවේ එක්වරම රන් සෙම්බුවක් මතුවෙන බව කතාවක් පැතිරිලා යනවා. රන් සෙම්බුව ගැනීමේ තණ්හාවෙන් පසුවුණු වත්හිමි කුමාරයා ඒ පිළිබඳව තමන්ගේ අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් පතනවා. එතැනදී කියවෙන තවත් කතාවක දැක්වෙන්නේ මේ රන් සෙම්බුව පිළිබඳ ආරංචිය කුමාරයා ඉවත් කිරීමේ වැඩපිළිවෙළේම කොටසක් බවයි.

ඒ කොහොම වුණත් වත්හිමි කුමාරයාගේ දිවි තොර කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේත් මේ රන් සෙම්බුව මතුවීමේ සිදුවීමත් එක්කයි. ඒ අනුව රන් සෙම්බුව ලබාගැනීමට උත්සාහ කළ සියලු දෙනාම දියේ ගිලීමෙන් මියගිහින් ඇති බවට වත්හිමි කුමාරයාට දැනුම් දෙන අමාත්‍යවරු රන් සෙම්බුව ලබාගන්න නම්  ඇතුගල පර්වතය මුදුනේ පිරිත් සජ්ඣායනාවක් කරවලා වැවට සම්බන්ධ කරන පිරිත් හුය ඔස්සේ සෙම්බුව ගෙන්වා ගැනීමට පුළුවන් කියලා වත්හිමි කුමාරයාව දැනුවත් කරනවා. සෙම්බුව ලබාගැනීමේ තණ්හාවෙන් සිටි වත්හිමි කුමාරයා ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනවා. අදටත් මේ රන් සෙම්බුව කුරුණෑගල වැවේ මතුවෙන බවට ජනතාව අතර විශ්වාසයක් තිබෙනවා.

මෙතැනදී අමාත්‍යවරු කුමාරයා පිරිත් ශ්‍රවණය කරන මණ්ඩපය ප්‍රපාතයකට ආසාන්නයෙන් ඉදිකරලා ඉතාමත් සූක්ෂම ආකාරයෙන් රැහැන්පටවල් මගින් එය සම්බන්ධ කිරීම සිදුකරනවා. පිරිත් දෙසුමට සහභාගි වුණා යැයි සැලකෙන්නෙත් අමාත්‍යවරුන් විසින් එවපු ශ්‍රමණ වේෂධාරීන් පිරිසක්. වත්හිමි කුමාරයා පිරිත් ශ්‍රවණය කරන අතරේදී රැහැන් පටවල් කපලා කුමාරයා සිටි මණ්ඩපය හෙළ පහළට වැටෙන්න සලස්වලා ඔහුව ජීවිතක්ෂයට පත්කරන්න මේ පිරිස සමත් වෙනවා. 

a¦ëa¦¦a+èa¦¦a+Åa¦£a¦+ a+Ça+Æa+äa+Åa¦+a¦¦a+Ü a¦ëa¦¦a+Éa¦+a¦½a+Æ a¦¦a+öa¦»a+öa¦£a+Öa¦¦

වත්හිමි කුමාරයාගේ සිරුර වැටුණේ සූරතිස්ස රජ සමයේ කළා යැයි සැලකෙන ඇත්කඳ විහාරයට ආසන්න ස්ථානයකට බව සමහර පිරිස් විශ්වාස කරනවා. ඒ වගේම මරණින් පස්සේ වත්හිමි කුමාරයා යක්ෂයෙක් වෙලා ඉතාමත් දරුණු ආකාරයෙන් කටයුතු කළ බවත්, අවසානයේදී කතරගම දෙවියන් විසින් වත්හිමි යක්ෂයා දමනය කර දෙවියෙකු ලෙස යහපත් දිවිපෙවෙතක් ගත කරන්න වරම් ලබාදුන් බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒ අනුව අදටත් ගලේබණ්ඩාර දෙවියන් විදියට මේ ප්‍රදේශයේ වන්දනාවට ලක්වෙන්නේ මේ වත්හිමි කුමාරයා. කොහොම වුණත් අද වෙනකොට මේ අපූරු සමාධි පිළිමය සහිත ඇතුගල කුරුණෑගල අනන්‍යතාව බවට පත්වෙලා තිබෙනවා. ඇතුගල මුදුනේ සිට හාත්පසේ ඇති පරිසරය ඉතාමත් සුන්දර ආකාරයට දැකගන්න හැකියාව තිබෙනවා.

ඇතුගලත්, කුරුමිණියාගලත් යා කරමින් ඒ පර්වත දෙක මධ්‍යයේ පිහිටලා තිබෙන කඳුගැටය ඉබ්බාගල ලෙස හඳුන්වනවා. මේ ඉබ්බාගල පිහිටි ඉබ්බාගල විහාරය ඓතිහාසික වටිනාකමකින් යුක්ත විහාරයක්. ජනප්‍රවාදගත තොරතුරු අනුව මෙම විහාරය ඉදිකර තිබෙන්නේ කුරුණෑගල රාජධානි සමයේ රජ කළ දෙවන බුවනෙකබාහු රජතුමා විසිනුයි. බුවනෙකබාහු රජුගේ මවට ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට දැඩි ආශාවක් තිබුණා. නමුත් ඇය වයස්ගත නිසා එතරම් දුෂ්කර ගමනක යෙදීම ඉතාමත් අපහසු කරුණක් වුණා. ඒ නිසා බුවනෙකබාහු රජතුමා ඉබ්බාගල මත ශ්‍රීපාදයේ අනුරුවක් කරවලා තමන්ගේ මෑණියන්ට වන්දනා කරන්න අවස්ථාව ලබාදුන් බව කියවෙනවා. පසුකාලීනව රජතුමා විහාරගෙයක් සහ දාගැබක් මේ භූමියේ ඉදිකරලා විහාරයේ නඩත්තුව සඳහා ගම්වර කිහිපයක්ද පූජා කළ බව අහන්න ලැබෙනවා. ඒ සිරිපතුලේ අනුරුව සහ විහාර ගෙය අදටත් ඉබ්බන්ගල විහාරයේ දැකගන්න හැකියාව තිබෙනවා. මේ සියල්ලත් එක්ක ඉතාමත් සුන්දර පරිසරයක් ඇතුගල ආශ්‍රිත අවට ප්‍රදේශවල දැකගන්න හැකියාව තිබෙනවා. කුරුණෑගල ජනතාව පෙන්වාදෙන ආකාරයට මේ සුන්දර පරිසරය විසින් තවමත් වසන් කරගෙන සිටින ඉතිහාසයක් සත්ත්ව නම් සමග පටබැඳුණු නම් සහිත පර්වත අතර තිබෙනවා. ඒවා මතුකරගෙන ලෝකයට නිරාවරණය කරනවාද, එහෙමත් නැත්නම් ඒවා මේ ආකාරයෙන්ම වසන් වී සිටීමට ඒ ඉතිහාසයට ඉඩදෙනවාද කියන කාරණය අදාළ බලධාරීන් තීරණය කළ යුතුයි. ඒ වගේම ඇතුගල ටියුෂන් යන බාලවයස්කාර පෙම්වතුන්ට රජදහනක් වන බව මේ සංචාරයේදී දකින්නට සහ අසන්නට ලැබුණා. හිස් මත්පැන් බෝතල්, පොලිතින් විතරක් නෙවෙයි භාවිත කළ උපත් පාලන කොපු පවා සමහර ස්ථානවලදී දැකගන්න පුළුවන්. ඒ නිසා නිසි බලධාරීන් මේ පිළිබඳව තමන්ගේ අවධානය යොමු කරලා ජාතික උරුමයක් වන මේ භූමිය අපචාරී භූමියක් බවට පත්වීමෙන් වළක්වා ගැනීමට කටයුතු කළයුතු බව සිහිපත් කරනවා. 

DSCN0581

ප්‍රභූ පරිවාරක රථ මාර්ග නීති නොතකමින් හදිසියේ ධාවනය නීත්‍යනුකූලද?

ශ්‍රී ලංකාවේ වසර ගණනාවක් පැවති යුද වාතාවරණයත් සමග ප්‍රභූ පරිවාරක රථ එසේත් නැත්නම් ප්‍රභූ ආරක්ෂක රථ භාවිතයට වැඩි නැඹුරුවක් ඇති වූයේ ත්‍රස්තවාදයේ ඉලක්ක වූ දේශපාලන නායකත්වයන් ආරක්ෂා කර ගැනීම සඳහාය. ජනතාවට හිරිහැරයක් වුවත් කාලයක් පුරා එය ඉවසා දරා සිටියේ එම කාරණය තේරුම් ගනිමිනි. නමුත් අද යුද වාතාවරණයක් නොමැති පසුබිමක, කිසිදු තර්ජනාත්මක තත්ත්වයක් නොමැති පසුබිමක ජනතාවට හිංසා වන ආකාරයෙන් සහ රටේ නීතියද කඩකරමින් මෙම ප්‍රභූ පරිවාරක රථ භාවිතය කිසිසේත්ම අනුමත කළ නොහැකිය. ඒ පිළිබඳ විද්වත් මතය 'අද' මෙසේ ගෙන එමු.


දේශපාලඥයන්ට තමන්ගේ ආරක්ෂක රථත් සමග මාර්ග නීතිරීති උල්ලංඝනය  කරමින් මාර්ගයේ ගමන් කිරීමට පුළුවන් කියන එක නීතිගත වෙලා තියෙනවා – මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා මොරටුව විශ්වවිද්‍යාලය

අපි මුලින්ම අවබෝධ කරගන්න අවශ්‍ය දෙයක් තමයි ප්‍රභූවරයා කියන්නේ කවුද කියන කාරණය. යමෙක් ප්‍රභූත්වයට පත්වෙන්නේ ඒ පුද්ගලයා රටට සහ සමාජයට සේවයක් කරමින් කෙතරම් දුරට ජනතාව අතර වටිනා පුද්ගලයෙක් බවට පත්ව තිබෙනවාද යන කාරණය මතයි.FB_IMG_1518404611566 අද වෙනකොට මේ ප්‍රභූත්වය ආරෝපණය කරගෙන සිටින දේශපාලඥයන් කිසිසේත්ම ඊට සුදුසු පුද්ගලයන් නෙවෙයි. ඔවුන් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වෙලා සමාජය තුළ යම් තර්ජන නිර්මාණය කරගෙන අනාරක්ෂිතභාවයට පත්වුණු පිරිස්. පොදු සතුරෙක් සිටි කාල වකවානුවේ තර්ජනයට ලක්වූ දේශපාලන නායකත්වයන් රැකගැනීමට යම් ආරක්ෂාවක් ලබාදී තිබීමේ සාධාරණත්වයක් තිබුණත්, එවැනි පසුබිමක් නොමැති වාතාවරණයක තමන්ගේ පුහු බලපුළුවන්කාරකම් පෙන්වන්නට ජනතාව අපහසුතාවට පත්කිරීම අනුමත කරන්න බැහැ. 
යුද්ධය පැවති සමයේදීත් අපි දැක්කා ඇතැම් පරිණත දේශපාලන චරිත හිටියා තර්ජන තිබියදීත් එවැනි ආරක්ෂාවක් නොමැතිව ජනතාව සමග හිටපු. බොහොමයක් නූගත් දේශපාලඥයන් හිතනවා තමන් වටා සිටින ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය වැඩි වන තරමට, ප්‍රභූ ආරක්ෂක රථ තිබෙන තරමට තමන්ගේ පෞරුෂය සහ බලය වැඩි වෙනවා කියලා. නමුත් ඒක පැහැදිලිවම මිත්‍යාවක්. මේවාට එරෙහි නොවීම තුළින් මේ නූගත් දේශපාලඥයන්ට තවත් ජනතාවට හිරිහැර කරන්න උත්ප්‍රේරණයක් ලැබෙනවා. 

මේ වැරදි සාමාන්‍යකරණය වීමත් එක්ක දේශපාලඥයන්ට තමන්ගේ ආරක්ෂක රථත් සමග මාර්ග නීතිරීති උල්ලංඝනය  කරමින් මාර්ගයේ ගමන් කිරීමට පුළුවන් කියන එක නීතිගත වෙලා තියෙනවා. දරුවෙක්ව පාසලකට දාන්න දේශපාලඥයෙක්ගේ ලියුමක් අවශ්‍යයි කියන දේ අද නීතිගත වෙලා තියෙනවා. ඇමතිවරයාගේ හෝ මන්ත්‍රීවරයාගේ ලිපියකින් රැකියාවක් ලබාගැනීමට හැකි වීම අද නීතිගත වෙලා තිබෙනවා. ඒ තත්ත්වය වෙනස් කරමින් ජනතාව දේශපාලඥයාගේ සෑම අයුතු ක්‍රියාවක්ම ඉවසන වහලුන් නොවන බව පෙන්වන්න ජනතාව ස්වාධීනව කටයුතු කිරීම අද අත්‍යවශ්‍යයි. වහල්භාවයේ එළඹ සිටින තාක් දේශපාලඥයන්ගේ මේ නොමනාකම් නවත්තන්න හැකියාවක් නැහැ. ජනතාව අවබෝධ කරගත යුතුයි මේ අමු අමුවේ උල්ලංඝනය වෙන්නේ තමන්ගේ මූලික අයිතිවාසිකම් බව. ඒ වෙනුවෙන් නැගී සිටින්න ජනතාව එකමුතුව ශක්තිමත් විය යුතුයි. 

මේ ආකාරයෙන් කටයුතු කිරීමට විරුද්ධ වීමට ආරක්ෂාව භාරව සිටින පොලීසියට කොන්දක් සහ අභිමානයක් තිබිය යුතුයි – මහාචාර්ය මයුර සමරකෝන් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

newසමාජ විද්‍යාඥයන්ගේ මතය අනුව මිනිස්සු තමන්ගේ ජීවිත කාලය තුළ ලබාගන්න කැමැත්තෙන් පසුවෙන දේවල් තුනක් තිබෙනවා. ඒ තමයි මුදල්, බලය සහ ගරුත්වය කියන තත්ත්වයන් තුන. වර්තමාන සමාජයේ දේශපාලනඥයන් වෙලා ඉන්න පිරිස් ගත්තොත් ඒ බහුතරය මුදල් ඇති පිරිස්. කිසිම සමාජ පදනමක් නැති, ජනතාව අතර පිළිගැනීමක් නැති ඔවුන් මුදල් වියදම් කරමින් තමයි බලය ලබාගන්න කටයුතු කරන්නේ. නමුත් මුදල් වියදම් කරමින් විවිධ හොරමැරකම් ඔස්සේ බලය ලබාගත් තරමටම ඔවුන්ට සමාජයෙන් ගරුත්වයක් ලැබෙන්නේ නැහැ. 

සමාජයෙන් ගරුත්වයක් නොලැබීමේ එක් ප්‍රතිඵලයක් විදියට තමයි යුද්ධය පැවති සමයේ ආරක්ෂාව තකා පමණක් භාවිත කරපු පරිවාරක ආරක්ෂක රථ අද තමන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වන්න සහ නැති ප්‍රභූත්වයක් පෙන්වන්න මේ දේශපාලඥයන් ජනතාව අපහසුතාවට ලක්කරමින් භාවිත කිරීම. මේ පිරිස් සමාජයට පෙන්වනවා තමන්ට විශාල ආරක්ෂාවක් අවශ්‍යයි, ජනතාව අතරට එන්න එතරම් පහසු නැහැ කියලා. ඒ තුළින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැති පිළිගැනීමක් ව්‍යාජව හෝ ලබාගන්න. මෙවැනි ක්‍රියාකාරකම් නිසා තමන්ට ජනතාවගෙන් මහා පිළිගැනීමක් ලැබෙයි කියලා දේශපාලඥයන් හිතුවට ඇත්තටම එයින් වෙන්නේ ඔවුන් දිගින් දිගටම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම පමණයි. ඇත්තටම නියම ආකර්ෂණයක් තිබෙන්නේ ජනතාව අතරට එන නායකයන්ට පමණයි.
අපි දකිනවා ප්‍රභූ ආරක්ෂක රථ භාවිත කරමින් තමන්ගේ බලපුළුවන්කාරකම සමාජයට පෙන්නුම් කරන්න බොහෝ දේශපාලඥයන් මාර්ග නීතීරීති පවා අමු අමුවේ උල්ලංඝණය කරමින් ගමන් කරනවා. ඔවුන් වේග සීමා උල්ලංඝනය කරනවා, මාර්ගයේ වැරදි දිශාවෙන් ධාවනය කරනවා, එක් දිශාවකට පමණක් ධාවනයට අවසර තිබෙන මාර්ගවල ප්‍රතිවිරුද්ධ දිශාවට රථ ධාවනය කරනවා. ඒවා ප්‍රසිද්ධියේ සිදුකරද්දිත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසයි  මේ රටේ නීතිය ක්‍රියාත්මක වීම අසමාන බව අපි නිතරම අවධාරණය කරන්නේ. ලැජ්ජා සහගතම කරුණ තමයි මේ ආකාරයෙන් නීතිරීති උල්ලංඝනය කරමින් යන දේශපාලඥයෙකුගේ රථ පෙළේ ඉදිරියෙන්ම ගමන් කරන්නේ නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ රථයක් හෝ පොලිස් නිලධාරියෙක් පදවන රථයක් වීම. එයින් පිළිබිඹු වෙන්නේ පොලීසියේ නිවටකම.

මේ වැරදි සහගත සහ අනුවණ ආදර්ශය මත තමයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ සාමාන්‍ය ජනතාව පවා VIP Lights වැනි දෑ භාවිත කරමින් පසුගිය කාලයේ ව්‍යාජ ප්‍රභූත්වයක් ආරෝපණය කරගෙන අනුවණ ආකාරයෙන් කටයුතු කරන්න යොමු වුණේ. මේ ආකාරයෙන් කටයුතු කිරීමට විරුද්ධ වීමට ආරක්ෂාව භාරව සිටින පොලීසියට කොන්දක් සහ අභිමානයක් තිබිය යුතුයි. එය අද පොලීසිය සතුව නැහැ. මේ ජඩකම්වලට ජනතාව එරෙහිවීම වැදගත්. නොබියව ඒ සඳහා ඉදිරිපත් විය යුතුයි. අද සමාජ මාධ්‍ය බලවත් කාලයක්. මේ ජඩකම් ඒ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරලා නිවට දේශපාලඥයන්ට පාඩමක් ඉගැන්වීමට ජනතාව බුද්ධිමත් විය යුතුයි.

මෝටර් රථ ප්‍රවාහන පනතේ ප්‍රභූ රථ වාහන වෙනුවෙන් වෙනම මුක්තීන් ඇතුළත් කරලා නැහැ. ඒ අනුව ප්‍රභූ රථවාහනවලට එක් නීතියකුත්, අනෙක් වාහනවලට වෙනත් නීතියකුත් නැහැ – නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා

මාර්ග නීති නොතකා අධික වේගයෙන් ගමන් කළ ප්‍රභූ රථ අනතුරට ලක්වූ විටදී නොනවත්වා පලා යාම සාමාන්‍ය සිරිතයි. ප්‍රභූන්ට එරෙහිව පොලිස් නිලධාරීන් නීතිය ක‍්‍රියාත්මක නොකරන බවට නිතර නිතර මහජනතාව මැසිවිලි නැගීම ශ්‍රී ලංකාව තුළ දකින්නට ලැබෙන20180203_151800_crop_300x300 තත්ත්වයක්. ඇතැම් විටකදී ප්‍රභූන්ගේ රථවාහන වැරදි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ගිහින් පොලිස් නිලධාරීන් අසරණ වූ අවස්ථා ගැනද වාර්තා වෙලා තිබෙනවා.

ප්‍රභූන් යනු කවුද කියලා මෙතෙක් කිසිවෙක් නිශ්චිතව නිර්වචනය කර නැහැ. නමුත් බලයට පත්වූ දේශපාලකයන් සහ ඔවුන්ගේ සමීපතම ඥාතීන් ප්‍රභූන් ලෙස සලකන බව පොදුජන මතය සැලකිල්ලට ගත්තොත් පෙනී යනවා. ප්‍රභූ පැලැන්තියට එක් නීතියක්ද, සාමාන්‍ය මහජනතාවට තවත් නීතියක්ද ක්‍රියාත්මක වන බවට ජනමතයක් අද වන විට සමාජයේ ගොඩනැගෙමින් පවතිනවා. 

සත්‍ය වශයෙන්ම එවැනි ජනමතයක් ගොඩනැගීම රජයේ පැත්තෙන් බැලුවොත් අවාසිදායකයි. මන්දයත් පොදු ජනතාවගේ මතය ක්‍රමයෙන් ජාත්‍යන්තරයට කාන්දු වීමෙන් ශ්‍රී ලංකාවේ හොඳ නමට ඉන් ඇතිවෙන කැළල අතිවිශාල වෙන නිසා. අප රට සියවස් එකහමාරක කාලයක් ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක්ව පැවති නිසා ඉංග්‍රීසී නීතියෙහි එන යුක්තිය පිළිබඳ නිර්ණායකයන් බොහොමයක් අපේ නීතියෙත් අනිවාර්ය අංගයන් බවට පත්ව තිබෙනවා. නීතියෙහි බලය 'Rule of Law'  එලෙස ශ්‍රී ලංකාවේ නීතියට ඇතුළත් වූ වටිනා ඉංග්‍රීසී නීති සංකල්පයක්. %ප්‍රභූවරුන් නීතියට ඉහළින් සිටින්නේය^ යන හණමිටිවාදයට මුල්ම ප්‍රහාරය එල්ල කරන ලද්දේ ඇරිස්ටෝටල් නම් සුප්‍රකට දාර්ශනිකයා විසින්. ඇරිස්ටෝටල්ගේ මතය වුණේ 

%නීතිය සියලු දෙනාටම ඉහළින් සිටින්නේය යන්න^ යි. 16 වැනි සියවසෙහි ජීවත් වූ ස්කොට්ලන්ත ජාතික සැමුවෙල් රදර්ෆඩ් තමයි මෙම සංකල්පය නීතියේ බලය 'Rule of Law'  වශයෙන් හඳුන්වා දුන්නේ. සැමුවෙල් රදර්ෆර්ඩ්ගේ තර්කය වුණේ සියල්ලන්ට එක සමාන ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. රදර්ෆඩ්ගේ නීතියෙහි බලය පිළිබඳ සංකල්පය 19 වැනි සියවසේදී ඒ.වී. ඩයසි නම් නීතිවේදියා විසින් තවදුරටත් විශ්ලේෂණය කරනු ලැබුවා.

නීතියේ බලය කියන සංකල්පයට අපගේ නීතිය තුළ සුවිශේෂී තැනක් හිමි වෙනවා. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවේ %නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය^ යනුවෙන් සඳහන් වෙනවා. ‘‘ '‘නීතියේ බලය' යන සංකල්පය ශ්‍රී ලංකාවේ නීතියේම කොටසක් බවට පත්ව ඇති බැවින්, එය එසේ නැහැ කියලා කිසිම කෙනෙකුට අභියෝගයට පත්කරන්න බැහැ කියලා පැහැදිලියි. ඒ වගේම 203 වැනි අධිකාරය යන නමින් හඳුන්වනු ලබන මෝටර් රථ ප්‍රවාහන පනතේ ප්‍රභූ රථ වාහන වෙනුවෙන් වෙනම මුක්තීන් ඇතුළත් කරලා නැහැ. එයින්ද නීතියේ බලය පිළිබඳ සංකල්පයේ න්‍යායික පැවැත්ම නැවත වරක් තහවුරු කරනවා. ඒ අනුව ප්‍රභූ  රථවාහන වලට එක් නීතියකුත්, අනෙක් වාහනවලට වෙනත් නීතියකුත් බලපෑමට ඉඩක් නැති බව ඉහත දක්වන ලද නෛතික විශ්ලේෂණය මගින් පැහැදිලි වෙනවා. 

අද අප දකින නිලධාරිවාදී යාන්ත්‍රණය තුළ නීතියේ බලය හුදෙක්ම පොතට සීමා වී ඇති බවක් දකින්නට ලැබෙනවා. මෝටර් රථ ප්‍රවාහන පනතේ සඳහන් වන නීතිරීති අමු අමුවේ උල්ලංඝනය වන අන්දමින් කටයුතු කරන ප්‍රභූ රථ වාහන දිනපතා අපිට ඕනෑතරම් ප්‍රධාන මාර්ගවලදී දැකගත හැකියි. අධික වේගයෙන් රිය පැදවීම, අනතුරු වාර්තා නොකර පලා යාම, අධික ශබ්දයෙන් නළාව සහ සයිරන් හඬවා කරදර කිරීම ‘‘ප්‍රභූන්ගේ වාහන වලින් නිතර නිතර සිදුවන වැරදි කිහිපයක්.

මෝටර් රථ පනතේ 141,142, 143 යන වගන්තිවලින් ලැබී තිබෙන බලතල ක්‍රියාත්මක කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් වරින් වර වේග සීමා වෙනස් කරමින් ගැසට් නිවේදන පළකරනු ලබනවා. දැනට ක්‍රියාවට නැංවෙන්නේ 2012 ජුනි 22 දිනැති අංක 1763/ 26 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ ඇතුළත් වේග සීමා නියමයන්. එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ එවකට ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ නියමය අනුවයි.

ඒ අනුව දිවයිනේ ඇති මහා මාර්ගයන් ඒ, බී, ඒබී, හා කොළඹ නාගරික මාර්ග යනුවෙන් කොටස් හතරකට බෙදා තිබෙනවා. නාගරික සහ නාගරික නොවන යනුවෙන් මාර්ග පිහිටි ප්‍රදේශ වර්ග දෙකකට බෙදා තිබෙනවා. ගැසට් නිවේදනයට අනුකූලව ඒ ඒ ප්‍රදේශයන්හි රථවාහන ධාවනය පිළිබඳ වේග සීමා නියමයන් මේ ආකාරයෙන් දැක්වෙනවා.

  • නාගරික ප්‍රදේශයක් තුළ වාහන පැදවිය හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 50 කි.
  • එනමුත් ත්‍රිරෝද රථ, ඉඩම් වාහන සහ විශේෂ අවශ්‍යතාවන් සඳහා වන වාහන වල නාගරික ප්‍රදේශ තුළ වේග සීමාව පැයට කිලෝමීටර 40කි.
  • නාගරික සීමාවන් මොනවාද යන්න මෙම අතිවිශේෂ ගැසට්පතෙහි උපලේඛනයන්හි දක්වා ඇත.
  • එම විස්තරයන්ට අයත් නොවන මහාමාර්ග කොටස් නාගරික නොවන ප්‍රදේශ ලෙස හඳුන්වනු ලැබේ.
  • නාගරික නොවන ප්‍රදේශවල රථවාහනවල උපරිම වේගය පැයට කිලෝමීටර 70කි.
  • නාගරික නොවන ප්‍රදේශවල බස් හා ලොරි රථවල උපරිම වේගය පැයට කිලෝමීටර 60කි.
  • නාගරික නොවන ප්‍රදේශවල ත්‍රිරෝද සහ ඉඩම් වාහනවල උපරිම වේගය පැයට කිලෝමීටර 60කි.

මේ අනුව සාමාන්‍ය මාර්ගයක ගමන් ගන්නා ප්‍රභූ රථයක් වුවත් පැයට කිලෝමීටර 70කට අධික වේගයෙන් ගමන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් වෙනවා.
කරුණු මෙසේ නම් ප්‍රභූ රථ වාහනවලට මේ කියන වේග සීමා නීති බලනොපාන්නේ ඇයි කියලා ජනතාවට ප්‍රශ්නයක් ඇතිවෙනවා. පිළිතුර තමයි ඒ සඳහා පැහැදිලිවම හේතු වෙන්නේ ප්‍රභූන් සහ නිලධාරී පැලැන්තිය අතර හොඳ හිත  පවත්වා ගැනීමේ අරමුණින් යුතුව නීතියේ බලය පිළිබඳ සංකල්පය යටපත් කර දමා තිබීම. ඒ වගේම නීතියේ බලය පොතට සීමාකර තිබීම. එහෙම නැතිව මෝටර් රථ ප්‍රවාහන නීතිරීති මගින් ප්‍රභූන්ට විශේෂ මුක්තියක් ලබාදීම නිසා නොවේ.

දේශපාලඥයන්ගේ මෙවැනි ජඩකම් නැවැත්වීමට පහසුවෙන්ම රටේ පුරවැසි ඔබ සැමට හැකියාව සහ අයිතිය පවතියි. අවශ්‍ය වන්නේ එවැනි අවස්ථාවක සැබෑ පුරවැසියෙකු ලෙස ඉටු කළයුතු කාර්යභාරය ඉටු කිරීමයි. මාර්ගයේ වැරදි පසෙකින් පැමිණෙන අනුවණ දේශපාලඥයන්ගේ රථ වෙනුවෙන් හරි මග යන ඔබ ඔබේ මග වෙනස් කළයුතු නැත. ඊට විරුද්ධව හඬ නැගීමට මැළි විය යුතුද නැත. ජනතාව මේ ආකාරයෙන් හෝ දේශපාලඥයන්ගේ නොමනාකම් වැළැක්වීමට ක්‍රියා කළ යුත්තේ ප්‍රභූ ආරක්ෂක රථ භාවිත නොකරන තරමට සරල වෙනවා කියමින් බලයට පත්වූවන් පවා පොළොවේ පය නොගසා අහසේ ගමන් කරන නිසාවෙනි. 

ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කරන්න අපි සූදානම්

ශ්‍රී ලංකා යුද හමුදාව 30 වසරක් පුරා පැවති යුද්ධයට මුහුණදෙමින් ජනතාවගේ ජීවිත සහ රට සුරක්ෂිත කළ ලෙසින්ම අනාගතයේ ඇතිවීමට ඉඩ ඇති තවත් සංග්‍රාමයකට මුහුණදීමට ඔවුන් සූදානමින් සිටී. ඒ අනාගතයේ දී ලෝකයටම ඇතිවේ යැයි සැලකෙන ආහාර අර්බුදයයි. ආහාර මෙන්ම පෝෂණයද අත්‍යවශ්‍ය සාධකයක් වුවද ඒ පිළිබඳව අවධානය යොමුව තිබෙන්නේ මඳ වශයෙනි. නමුත් යුද හමුදාව එයද හඳුනාගෙන ඇත. ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව ඇති කරමින් මෙම සංග්‍රාමයට මුහුණදීමට යුද හමුදාවේ සූදානම පිළිබඳ කතාබහ කිරීමට අප යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් බුවනක ගුණරත්න මහතා 'අද'ට  සම්බන්ධ කර ගතිමු.


Picture1

'යුද හමුදාව කියන්නේ රටේ අවශ්‍යතාව හඳුනාගෙන ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරන ආයතනයක්. ඒ නිසා යුද හමුදාවේ කාර්යභාරය යුද්ධ කිරීමට පමණක් සීමා වෙන්නේ නැහැ. රට අනාරක්ෂිතභාවයට පත්වෙලා තිබෙන්නේ කුමන අභියෝගයක් නිසාද, ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දීලා රට ආරක්ෂා කරන්න යුද හමුදාව නිරන්තරයෙන්ම සූදානමින් ඉන්නවා. ඒ අනුවයි යුද හමුදාව විදිහට ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව අද වෙද්දි රටේ ප්‍රමුඛතම අවශ්‍යතාව බව හඳුනාගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන්න අපි සූදානම් වෙලා සිටින්නේ. අපේ වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහත්මයාගේ මගපෙන්වීම සහ සංකල්පයක් අනුව රටේ සංවර්ධන කාර්යයට යුද හමුදාව දායක කරවීමේ එක් පියවරක් විදිහටයි අපි මේ සඳහා මැදිහත් වුණේ.dir

මෙරට ආහාර සුරක්ෂිතතාව කෙරෙහි හඳුනාගෙන ඇති අභියෝග

ශ්‍රී ලංකාවේ ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවට බලපවත්වන බාධාවන් රැසක් අපි හඳුනාගෙන තිබෙනවා. එක් කරුණක් තමයි ලෝකය වගේම ශ්‍රී ලංකාවත් විවිධාකාරයේ කාලගුණික සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණදෙමින් තිබීම. සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනයේ ප්‍රමාණය සාපේක්ෂව වෙනසක් නොවුණත් වර්ෂාවේ තීව්‍රතාව වැඩිවීමක් සිදුවෙලා තිබෙනවා. අනෙක් කාරණය තමයි ජනගහනය සහ කාර්මීකරණය වැඩි වීමත් සමග කෘෂිකර්මය සඳහා භූමිය හිඟවෙලා තිබෙනවා. ඒ වගේම ගුණාත්මකභාවයෙන් යුතු බීජ හිඟවීම. අපි පිටරටවලින් ආනයනය කරනු ලබන බීජවල ගුණාත්මකභාවය නොමැති වීම නිසා අපේක්ෂිත අස්වනු ප්‍රමාණය අහිමි වෙලා තිබෙනවා. දුර්වල කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහ ආකල්ප වගේම නිවැරදි වගා ක්‍රමවලින් ගොවි ජනතාව දුරස් වීමත් මේ සඳහා බලපාලා තිබෙනවා. උදාහරණයක් විදිහට අද කෘමිනාශක අවභාවිතාවක් ගොවීන් අතර දකින්න ලැබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන කෘෂි උපකරණ භාවිත කරන ආකාරය පිළිබඳව විධිමත් අවබෝධයක් නැහැ.
තවත් කාරණයක් තමයි කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳව කෙරෙන සාර්ථක පර්යේෂණ සහ නව සොයාගැනීම් කොපමණ තිබුණත් මේ නව දැනුම ගොවි ජනතාව අතරට නොයෑම. තවත් ගැටලුවක් වෙන්නේ පසු අස්වනු හානිය. මේ සෑම භෝගයක්ම අස්වැන්න නෙළා ගන්නා අවස්ථාවේ ඉඳලා පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව දක්වා වන ක්‍රියාවලියේ අතරමැදි අවස්ථාවලදී විවිධාකාරයෙන් හානි වෙනවා. මේ ගැන නිසි අවධානයක් නැහැ. ඒ නිසා විශාල ප්‍රමාණයක් දෛනිකව අපතේ යනවා. ඒ වගේම වෙළෙඳ පොළ පිළිබඳ ගොවීන්ට නිසි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කාලීන අවශ්‍යතාව හඳුනාගෙන වගාවන් සිදුනොවීම නිසා අධික අතිරික්ත නිර්මාණය වෙලා භෝග අපතේ යාම සිදුවෙනවා. නිසි කෘෂිකාර්මික සහ වෙළෙඳ පොළ තොරතුරු ගොවීන් අතරට නොයෑම මේ සඳහා බලපාලා තිබෙනවා. තවත් කරුණක් වෙන්නේ නූතන පරම්පරාව කෘෂිකර්මාන්තයෙන් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙමින් සිටින අහිතකර ප්‍රවණතාවක් දක්නට ලැබීම. මේ කර්මාන්තය නිසි පරිදි කරගෙන ගියොත් කෙතරම් ලාභ ප්‍රමාණයක් ලබන්න හැකියාව තිබෙනවාද කියන කාරණය සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් නැහැ. 

Picture5 

යුද හමුදාව ඉදිරිපත් කරන විසඳුම්

ඉහත සඳහන් කරපු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන්න ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි විසඳුම් ගණනාවක් යුද හමුදාව හඳුනාගෙන තිබෙනවා. ඒ යටතේ දේශීය වශයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක් ඔස්සේ ගුණාත්මක තත්ත්වයෙන් යුතු බීජ වර්ග සහ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරගැනීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ශ්‍රී ලංකාවට තිබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය සහ ඒ හා බැඳුණු වෙළෙඳ පොළ කියන කාරණා සම්බන්ධයෙන් විධිමත් සහ නව තොරතුරු, දැනුම ගොවි ජනතාව අතරට ගෙනයාමේ වැඩපිළිවෙළක් සකස් විය යුතුයි. ඒ වගේම පාසල් අධ්‍යාපනයේ සිටම මූලික කෘෂිකාර්මික දැනුම ලබාදීම ඔස්සේ නූතන පරම්පරාව කෘෂිකර්මාන්තය වෙත නැඹුරු කර ගැනීමේ හැකියාව තිබෙනවා.
අපේ අතීතයේ තිබුණු සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රමවේදයන්ට යොමු වීම සහ පස, ජලය ආදී තවත් කෘෂිකර්මය සඳහා වූ සම්පත් කාර්යක්ෂමව භාවිත කරන ආකාරය පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කළයුතු වෙනවා. අතරමැදි කාලවලදී මේ සම්පත් නිසි ආකාරයෙන් භාවිත කරලා කෙටිකාලීන භෝග වගාවන් සාර්ථකව සිදුකරන්නත් ගොවීන් යොමු කිරීම වැදගත් කාරණයක් වෙනවා. අපි කරන තවත් යෝජනාවක් තමයි කාලගුණික තත්ත්ව අපිට වෙනස් කිරීමට හැකියාව නොමැති නිසා තිබෙන ඉඩකඩ උපරිම ලෙස භාවිත කරමින් ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාවන් සිදුකිරීමේ ක්‍රමවේදය ගොවීන් අතර ප්‍රචලිත කිරීම. ඒ වගේම පසු අස්වනු හානිය හැකිතාක් අවම කිරීමට විධිමත් වැඩපිළිවෙළක් නිර්මාණය විය යුතුයි. ගොවීන්ට සාධාරණ වෙළෙඳ පොළක් නිර්මාණය කිරීම මගින් ගොවීන්ට අතරමැදි බලපෑම්වලින් තොරව තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ හැකියාව ලබාදීමට වගකිවයුතු අංශ මැදිහත්වීම වැදගත් වෙනවා.  
කෘෂිකර්මාන්තය සඳහාත් පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද හඳුන්වාදීම මගින් කෘෂිකර්මාන්තය තවත් ස්ථිරසාර කරගැනීමට රුකුලක් වෙනවා. තවත් කාරණයක් වෙන්නේ මේ වෙද්දි පිටරටින් ගෙන්වන රසායනික පොහොර යෙදීම නිසා පසේ සාරවත්භාවයට හානිවෙලා තිබෙනවා. ඒ නිසා දේශීය වශයෙන් කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව අපට පෙනී ගොස් තිබෙනවා. ඒ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම හරහා නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුවලට සාර්ථක විසඳුම් ලබාදීමට හැකියාව තිබෙනවා. ඒ වගේම පරිසරයට සහ සෞඛ්‍යයට හානිදායක නොවන පළිබෝධ පාලන ක්‍රමවේද අතීතයේ අපේ රටේ ඕනෑතරම් තිබුණා. නමුත් ඒවා අභාවයට ගොස් තිබෙනවා. එම ක්‍රමවේද නැවත ජනතාව අතර ප්‍රචලිත කිරීම සහ ලබාගත හැකි මූලාශ්‍ර සුලබ කිරීමට විධිමත් වැඩසටහනක අවශ්‍යතාව තිබෙනවා. අනෙක් වැදගත්ම කාරණය තමයි ජනතාවගේ ආහාර රටාව වෙනස් කරන්න ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලීම. මේ හරහා යම් යම් ආහාර වර්ග හිඟ වන කාලවලදී  ඒවා කල්තබාගත හැකි ක්‍රමවේද පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍යයට අහිතකර ක්ෂණික ආහාර රටාවෙන් වෙන්වෙලා දේශීය වගාවන් ඔස්සේ නිෂ්පාදනය කරන විවිධ නව ආහාර වර්ගවලට ජනතාව යොමු කිරීම සිදුවිය යුතු වෙනවා.

Picture2

යුද හමුදාව දැනට සාර්ථකව සිදුකරන ව්‍යාපෘති 

යුද හමුදාව අනාගතයේ එන ආහාර සහ පෝෂණ සුරක්ෂිතතා අර්බුදය සහ අභියෝග හඳුනාගෙන ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පමණක් නොවෙයි, මේ වෙද්දි ඒ සඳහා ව්‍යාපෘති ගණනාවක්ම ක්‍රියාත්මක කරමින් යනවා. එම ව්‍යාපෘති අපි බලාපොරොත්තු වූ මට්ටමට සාර්ථක ප්‍රතිඵල ලබලා තිබෙනවා. මේ යටතේ වසර කිහිපයක සිටම අපි කෘෂිකර්ම පර්යේෂණායතනයේ සහයෝගය ඇතිව යුද හමුදාවට අයත් ගොවිපළවල් තුළ දේශීය වශයෙන් දෙමුහුන් බීජ නිෂ්පාදන ව්‍යාපෘති කිහිපයක්ම සිදුකරමින් යනවා. ඒ අනුව මැණික්ෆාම් සහ වෙල්ලම්කුලම් ගොවිපළ වල නව දෙමුහුන් බඩඉරිඟු බීජ විශේෂයක් (MICH Hybrid) නිෂ්පාදනය කෙරෙනවා. ඒ වගේම ගල්කිරියාගම ගොවිපොළේ මිරිස් බීජ ව්‍යාපෘතියක් සහ ඊට අමතරව අල්ලකන්තලේ, කන්දකාඩු, කුට්ටිගල පිහිටි ගොවිපළ වල දේශීය වී බීජ නිෂ්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්වෙලා දිගුකාලීන සහ කෙටිකාලීන භෝග වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ අඹ, අන්නාසි, දෙළුම්, දොඩම් වැනි ආහාර භෝග කිහිපයක්ම යුද හමුදාවේ ගොවිපළ තුළ වගා වෙනවා. මේ වගා කටයුතු බහුතරයකටම යොදා ගැනෙන්නේ පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද වීම තවත් විශේෂයක්. උදාහරණයක් විදියට කන්දකඩුව යුද හමුදා ගොවිපොළ පෙන්වා දෙන්න පුළුවන් (කන්දකඩුව ගොවිපළ පිළිබඳ විශේෂාංග ලිපියක් %අද^ මීට පෙර දිනක ගෙන ආවෙමු). ඒ වගේම අපගේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන වකුගඩු රෝගයට පිළියමක් වන සහ සෞඛ්‍යයට හිතකර පෝෂණ ආදේශකයක් වන ස්පිරුලිනා ඇල්ගී වගා ව්‍යාපෘතිය සාර්ථකව සිදුකරමින් යනවා. මේ වෙද්දි ස්පිරුලිනා වියළි කුඩු, ස්පිරුලිනා සහ සුවදැල් වැනි දේශීය සහල් යොදා නිෂ්පාදනය කරන බිස්කට් යුද හමුදාව තුළ ප්‍රචලිත කරලා තිබෙනවා. ඉදිරියේදී ඒවා ජනතාව අතරට ගෙන එන්නත් අවශ්‍ය කටයුතු සිදුකරමින් යනවා. 

Picture3
ඒ වගේම උතුරු නැගෙනහිර කෘෂිකර්මාන්තයේ නියැළෙන සහ ඒ සඳහා උනන්දුවක් තිබෙන සිවිල් ජනතාවට මාස තුනක කෘෂිකාර්මික පාඨමාලාවන් පවත්වලා ඔවුන්ට අවශ්‍ය නව දැනුම අාහාර සහ දෛනික දීමනාවක් සමග ලබාදුන්නා. ස්වයං රැකියාවක් ලෙස කෘෂිකර්මයට යොමුවන පිරිස්වලටත් හොඳ පදනමක් ලබාදීම එමගින් සිදුවුණා. ඒ විතරක් නොවෙයි හමුදා සේවයේ නියුතු කෘෂිකර්මය  සඳහා උනන්දුවක් දක්වන පිරිස්වලටත් කෘෂිකර්ම පාඨමාලා පවත්වලා හමුදාවෙන් ඉවත් වීමෙන් පසුවත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට සහාය ලබාදීලා තිබෙනවා. ඒ වගේම යුද හමුදාව විසින් මේ වන විට කෘෂි වනවගා ව්‍යාපෘති ගණනාවක්ම සිදුකර තිබෙනවා වගේම සිදුකරමින් යනවා. ජල විදුලි බලාගාර ආශ්‍රිතව තිබෙන ජල පෝෂක ප්‍රදේශවල වනවැස්ම අඩුවීම එම ප්‍රදේශවලට වර්ෂාව අඩු වීමට හේතුවෙලා තිබෙනවා. ඒ නිසා යුද හමුදාව මේ වන විට එම ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව වනවගා ව්‍යාපෘති සිදුකරමින් වනවැස්ම ව්‍යාප්ත කරන්න කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම යුද හමුදාපතිතුමාගේ මගපෙන්වීම මත වැව් සංරක්ෂණය කිරීමටත් යුද හමුදාව කටයුතු කරමින් යනවා. කෘෂිකර්මය පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික අත්දැකීම් සහ දැනුම ලබාගන්න කැමති පාසල්වලටත් හැකියාව තිබෙනවා අප සමග ඒ සඳහා එක්වෙන්න. මේ ආකාරයෙන් ස්ථිරසාර විසඳුම් යෙදීම මගින් රටේ ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීමට අපිට හැකියාව තිබෙනවා. 

විශේෂ ස්තුතිය – යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිෙග්ඩියර් සුමිත් අතපත්තු මහතාට 

මහ මුහුදේ හදිසි තෙල් විසිරුම් අවදානමකට ශ්‍රී ලංකාවේ සූදානම

නෞකා අනතුරකින් හෝ වෙනත් හේතුවකින් සාගරයට මහා පරිමාණයෙන් තෙල් විසිරෙන අවස්ථා අපට නොයෙක් විට විදෙස් මාධ්‍ය හරහා දකින්නට ලැබේ. පැහැදිලිවම ශ්‍රී ලංකාවටද එවැනි අවදානමක් පවතිනුයේ අන්තර්ජාතික නැව් ගමනාගමනය සිදුවන කලාපයක ශ්‍රී ලංකාව පිහිටා තිබෙන බැවින් හා නාවික කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අද වන විට මධ්‍යස්ථානයක් ලෙස පවතින බැවින්ය. මෙරට මුහුදු සීමාවේ එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ඒ සඳහා ක්‍රියාකිරීමට මූලිකවම වගකීම ඇත්තේ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය වෙතය. තෙල් විසිරුමක් සිදුවන්නේ කෙසේද? එය පාලනය කිරීමට කටයුතු කරන්නේ කෙසේද සහ ඔබ නොදත් තවත් කරුණු රැසක් ගෙන ඒමට අපි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ මෙහෙයුම් කළමනාකාර ජගත් ගුණසේකර මහතා 'අද'ට  සම්බන්ධ කර ගතිමු.


Picture1

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ මූලිකම කාර්යභාරය වන්නේ ශ්‍රී ලංකාවේ කිසියම් හෝ සමුද්‍ර කලාපයක සිදුවන පාරිසරික දූෂණය වැළැක්වීම, පාලනය කිරීම සහ අවම කිරීමට කටයුතු කිරීමයි. මෙහිදී අපට ශ්‍රී ලංකාව මෙන් අටගුණයක් විශාල සාගර කලාපයක සමුද්‍ර දූෂණය වැළැක්වීමේ වගකීම පැවරිලා තිබෙනවා. නාවික කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉතාමත් වැදගත් තැනකයි. ඒ නිසා අපට යම් යම් වශයෙන් ලැබෙන ආර්ථිකමය වාසි තිබෙනවා. ඒ වගේම ලෝකයේ ප්‍රධාන නැව් මාර්ග ශ්‍රී ලංකාව ආසන්නයෙන් වැටී තිබෙනවා. උදාහරණයක් විදියට මැදපෙරදිග සිට චීනය, මැලේසියාව, ජපානය වැනි රටවලට තෙල් සපයන නෞකා සඳහා වන මාර්ග වැටී තිබෙන්නෙත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව හරහායි.

මේ සමුද්‍ර කලාපය කොටස් තුනකට බෙදෙනවා. ඒ යටතේ වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 12ක් දක්වා වූ කලාපය අපි හඳුන්වනවා 'දේශීය සමුද්‍රය' කියන නමින්. දේශීය සමුද්‍ර කලාපයේ මුහුදු පතුල, ජල තීරය සහ අහස කියන ත්‍රිත්වයේම අයිතිය ශ්‍රී ලංකාවට තිබෙනවා. දේශීය සමුද්‍ර කලාපයේ අවසානයේ සිට තවත් නාවික සැතපුම් 12ක් දක්වා වූ කලාපය අපි හඳුන්වනවා %ප්‍රත්‍යාසන්න කලාපය^ කියන නමින්. එම කලාපය තුළ ජල තීරයේ සහ මුහුදු පතුලේ අයිතිය පමණක් ශ්‍රී ලංකාව සතුයි. මේ ප්‍රත්‍යාසන්න කලාපයෙන් නාවික සැතපුම් 200ක් දක්වා වූ කලාපයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකාවට නැහැ. නමුත් එම කලාපයේ ජල තීරයේ සහ මුහුදු පතුලේ තිබෙන සම්පත් නෙළා ගැනීමේ සම්පූර්ණ අයිතිය පමණක් ශ්‍රී ලංකාවට තිබෙනවා.

සමුද්‍ර දූෂණයෙන් 90෴ක ප්‍රමාණයක්ම සිදුවෙන්නේ ගොඩබිම තුළ සිදු කරන මිනිස් ක්‍රියාකාරකම් නිසයි. ඉතිරි 10%ක ප්‍රමාණයට වගකිව යුතු වෙන්නේ නෞකා ගමනාගමනයේදී සිදුවන දූෂණ තත්ත්වයන්. නෞකා මගින් සමුද්‍රයට හානි වෙනවා ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින්. ඉන් එකක් තමයි නෞකාව මගින් වන තෙල් විසිරීමක්. අනෙක් ආකාරය නෞකාවෙන් යම් රසායනික ද්‍රව්‍යක් සාගරයට මුසු වීම. 

වාර්ෂිකව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව හරහා තෙල් මෙට්‍රික් ටොන් මිලියන 525ක ප්‍රමාණයක් සංසරණය වෙනවා. හම්බන්තොටට ආසන්න කලාපයෙන් දිනකට තෙල් නෞකා 200ත්, 300ත් අතර ප්‍රමාණයක් ගමන් කරනවා. ඒ ආකාරයෙන් තෙල් ප්‍රවාහනයට යොදා ගන්නා නෞකා විශාල ප්‍රමාණයක් දෛනිකව මේ සීමාව හරහා ගමන් කරද්දි ඕනෑම මොහොතක කාලගුණික හේතුවක් හෝ අත්වැරදීමකින් හෝ කාර්මික දෝෂයකින් නෞකාවක් අනතුරකට පත්වීමේ අවදානමක් තිබෙනවා. ඒ ඔස්සේ සාගරයට තෙල් විසිරීමේ විශාල අවදානමකුත් පැහැදිලිවම තිබෙනවා. 

jagath

ඊට අමතරව ශ්‍රී ලංකාවේ වරායවලට වසරකට නෞකා 5000කට අධික ප්‍රමාණයක් පැමිණෙනවා. ඒ නෞකාවලිනුත් ඕනෑම අවස්ථාවක වරාය තුළදී හෝ තෙල් විසිරීමේ අවදානමක් පවතිනවා. දැනට ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් සම්පත් නොමැති නිසා සම්පූර්ණයෙන්ම අපි තෙල් ආනයනය කිරීමයි සිදුවෙන්නෙ. ගැඹුර මීටර් 20ට වැඩි නෞකාවලට ශ්‍රී ලංකාව සතු වරායවලට ඇතුළු වීමට හැකියාවක් නැහැ. ඒ වරායවල ගැඹුර ප්‍රමාණවත් නොවන නිසා.  ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කරන කුඩා ප්‍රමාණයේ නෞකාවල තෙල්, වරායේදී නළ මාර්ග ඔස්සේ තෙල් ගබඩා කරන ටැංකි වෙත පොම්ප කිරීමේ හැකියාවක් තිබෙනවා.  

විශාල ප්‍රමාණයේ තෙල් නෞකාවලට ඇතුළු වීමට නොහැකි නිසා ඒ නැව් උස්වැටකෙයියා වෙරළේ සිට කිලෝමීටර් 09ක් පමණ ඈතින් ස්ථානගත කර තිබෙන පාවෙන ග්‍රාහක‍යකට (SPBM) නළ මගින් සම්බන්ධ කරලා ඒ ඔස්සේ රට තුළට තෙල් පොම්ප කිරීම සිදු කරනවා. එතැනදී  තෙල් නැවක් සම්පූර්ණ කරන්න දින තුනක පමණ කාලයක් ගත වෙනවා. මෙතැනදීත් ඕනෑම අවස්ථාවක තෙල් විසිරීමක් වෙන්න ඉඩකඩ තිබෙනවා. වාසනාවකට මෙතෙක් 
මහා පරිමාණයේ තෙල් විසිරීමක් සිදු වෙලා නැති වුණත් එවැන්නක් ඇතිවීමේ සම්භාවිතාවක් පවතිනවා.

ඒ වගේම ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගමන් ගන්නා නෞකාවකට ඉන්ධන අවශ්‍යතාවක් ඇති වුණොත් එම නෞකාව තිබෙන ස්ථානයට ළඟා වෙලා ඊට තවත් නෞකා විශේෂයක් ඔස්සේ තෙල් ලබාදීමේ සේවාවක් සිංගප්පූරුව හැරුණාම ශ්‍රී ලංකාවත් මේ කලාපය තුළ සිදුකරනවා. ආයතන දහයකට වැඩි ප්‍රමාණයක් දැන එම සේවාවේ නිරත වෙනවා. එවැනි අවස්ථාවකත් තෙල් විසිරීමේ අවදානමක් තිබෙනවා. මේ විදියට නොයෙක් ආකාරයෙන් තෙල් හෝ රසායනික ද්‍රව්‍ය නැව් මගින් සාගරයට විසිරීමේ අවදානමක් තිබෙනවා.
තෙල්වල භෞතික හා රසායනික ගති ලක්‍ෂණ අපි හඳුනා ගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් පෙට්‍රල් හෝ ඩීසල් වැනි දෙයක් සාගර පරිසරයට මුසු වුණොත් ඒවා රැඳී තිබෙන්නේ නැහැ, වාෂ්ප වී යනවා. නමුත් බන්කර් තෙල් හෝ පිරිපහදු නොකළ බොර තෙල් වැනි ද්‍රව්‍යයක් වාෂ්ප වෙන්නේ නැහැ. ඒවා සාගර පරිසරයේ දිගු කාලයක් රැඳී තිබෙනවා. මේවා ජල තලය මත පාවෙමින් සාගර ජල තරංග සහ සුළඟේ තත්ත්වය මත පැතිරීම සිදු වෙනවා. රසායනික ද්‍රව්‍ය විසිරීමක් සිදු වුණොත් ඇතැම් රසායන ද්‍රව්‍ය තිබෙනවා සාගර පරිසරයට මුසු වුණාම තවත් විෂ රසායනික නිකුත් කරනවා, විෂ වායුවක් ඇති කරනවා, සාගර ජලයේ දියවෙලා යනවා වගේ විවිධ දේ සිදු වෙනවා. මේ නිසා තෙල් විසිරීමකට වඩා රසායනික ද්‍රව්‍යයක් විසිරීමෙන් පරිසරයට සහ මිනිසාට සිදු වෙන්න තිබෙන හානිය ඉතා වැඩියි.

මේ ආකාරයට තෙල් විසිරීමක් හෝ රසායනික ද්‍රව්‍ය විසිරීමක් සාගරයේදී සිදු වුණොත් මුහුදු පරිසරයට සම්බන්ධ කොරල්පර, මුහුදු තෘණ, කඩොලාන වැනි සංවේදී පරිසර කලාපවලට සහ මුහුදු ජීවීන්ට සම්පූර්ණයෙන්ම හානි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කඩෝලාන වැනි පරිසර පද්ධතියකට එවැනි හානියක් වුණොත් වසර 10කට වඩා වැඩි කාලයක් ගත වෙනවා නැවත යම්තාක් දුරකට හෝ යථාතත්ත්වයට පත්වෙන්න. ඒ වගේම මේවා වෙරළ තීරයට ව්‍යාප්ත වුණොත් මිනිස් ජීවිතවලටත් විවිධාකාරයෙන් හානි වෙනවා වගේම වෙරළ හා බැඳුණු සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුවෙනවා. ඒ වගේම ධීවර කර්මාන්තයත් දැඩි කඩා වැටීමකට ලක්වෙන්න ඉඩ තිබෙනවා. මොකද යම් තෙල් හෝ රසායනික විසිරීමක් සිදුවුණොත් එම කලාපයේ හා ඒ අවට කලාපවල මසුන් මැරීම හෝ කලාපවලට ඇතුළු වීම තහනම් කරන්න සිදුවෙනවා අවදානම් තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව යන තෙක්. සමහර අවස්ථාවලදී මේවා වෙරළෙන් එහාටත් හානි පැමිණ විය හැකි ද්‍රව්‍යයන් වුණොත් එම ප්‍රදේශවල සිටින ජනතාව පවා වහාම ඉවත් කරන්න අපට සිදු වෙනවා. අද ලෝකයේ වෙනත් රටවලට ආසන්න සමුද්‍ර කලාප වන මහාපරිමාණයේ තෙල් විසිරීමක් මේ කලාපයේ සිදු වුණොත් සිදුවන හානිය ඉතාමත් වැඩියි. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් විශාල කොටසක් එතැනදී යම් කාලයකට අහිමි වෙන්න පුළුවන්. වාසනාවකට එවැනි සිදුවීමක් තවමත් සිදුවෙලා නැතත් ඕනෑම මොහොතක ඇතිවීමේ ඉඩකඩ තිබෙනවා. මේ ආකාරයෙන් පරිසර, සමාජ, ආර්ථික, සෞඛ්‍යමය ගැටලු රාශියක් මේ හරහා කෙටිකාලීනව හෝ දීර්ඝ කාලීනව ඇතිවීමට හැකියි. 

ශ්‍රී ලංකාව අවට සමුද්‍ර කලාපය තුළ මෙවැනි දෙයක් සිදුවුණොත් එය පාලනය කිරීමේ ප්‍රධාන වගකීම තිබෙන්නේ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සතුව නිසා අපි සකස් කරලා තිබෙනවා හදිසි තෙල් විසිරීමක් පාලනය කිරීමේ ජාතික සැලැස්මක්.
මෙවැනි හදිසි තෙල් හෝ රසායනික ද්‍රව්‍ය විසිරීම් වළක්වා ගන්න අද වෙන කොට නෞකා නිෂ්පාදනය කිරීමේදී විවිධ ආරක්‍ෂිත ක්‍රමවේද යොදාගෙන තිබෙනවා. ඒ ඔස්සේ එවැන්නකට තිබෙන ඉඩකඩ යම් මට්ටමකින් අවම කර තිබුණත්, ලෝකයේ සිදුවන තෙල් විසිරුම්වලින් 45%ක්ම සිදුවන්නේ මිනිස් අත්වැරදීම් නිසයි. ඒ හේතුවෙන් නිතරම අවදානමක් තිබෙනවා. 

තෙල් ජලතලය මත පාවෙමින් ව්‍යාප්ත වෙන නිසා එය වළක්වන්න අපි මුලින්ම කරන්නේ ඒ තෙල් ස්ථරය වට කරලා තවත් ව්‍යාප්ත නොවෙන්න භෞතික බාධකයක් (Boom) යොදලා එක් තැනකට කොටුකර ගැනීම.  ව්‍යාප්ත වීම ඒ ආකාරයෙන් පාලනය කළාට පස්සේ මේ තෙල් ජලයෙන් වෙන්කර ගන්න අපි විශේෂ උපකරණයක් (Oil Skimer) භාවිත කරනවා. මුහුද මැදදී මේ උපකරණ භාවිතා කරලා ඒ තෙල් විසිරුම පාලනය කරලා හානිය සැලකිය යුතු මට්ටමකින් වළක්වා ගන්න හැකියාව තිබෙනවා. මේ ක්‍රමවේදයෙන් පාලනය කරන්න නොහැකි තත්ත්වය තිබුණොත් තෙල් විසිරුම්කාරක රසායනිකයක් අපි ඒ තෙල් ස්ථරයට ඉහිනවා. එමගින් ඒ තෙල් ස්ථරය කුඩා තෙල් බින්දු බවට පත්වෙලා මුහුදු ජලයේ දියවී යනවා. මෙතැනදී කරන්නේ තෙල් ඉවත් කිරීම නෙවෙයි ස්ථරයක් ලෙස පවතින තෙල් දිය කරලා ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය මත ඒවා ස්වාභාවිකව වියෝජනය වීමට ඉඩහැරීම පමණයි. නමුත් මේ තෙල් විසිරුම්කාරකය භාවිත කරන්නේ මීටර් 20ට වඩා ගැඹුරක් සහිත තැන්වල හෝ සංවේදී පරිසර පද්ධතියක් නොමැති ස්ථානයක පමණයි. මොකද සම්පූර්ණයෙන් තෙල් ඉවත් නොකරන නිසා. මෙය තමයි මේ සඳහා මුහුද මැදදී අපි භාවිත කරන යාන්ත්‍රික සහ රසායනික ක්‍රමවේදය. මුහුදේ ස්වභාවය හා ඒ අවට කාලගුණය රළු තත්ත්වයක තිබෙනවා නම් මේ ක්‍රමවේද අපට භාවිත කරන්න අපහසුයි. ඒ නිසා අපි කරන්නේ ඒ තෙල් ස්ථරයට සංවේදී පරිසර කලාපවලට හෝ මෝය කටකට ඇතුළු වීමට නොහැකි විදියට ඒ ස්ථානවලට Booms යොදලා තෙල් ස්ථරයට වෙරළ තීරයට එන්න ඉඩ දෙනවා. ඒ විදියට වෙරළ තීරයට ආසන්න වුණාට පස්සේ හැකි ඉක්මනින් මිනිස් ශ්‍රමය සහ උපකරණ යොදලා ඒවා ඉවත් කරනවා. අවසානයේදී පවතින නීතිමය රාමුව යටතේ අපි නඩු පැවරීම මගින් වගකිව යුතු අංශයවලින් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම සිදු කරනවා.

පැහැදලිවම විශාල ප්‍රමාණයේ තෙල් විසිරීමක් සිදු වුණාත් එය මුහුදේදී පාලනය කරන්න ප්‍රමාණවත් උපකරණ සහ පහසුකම් දැනට ශ්‍රී ලංකාව සතුව නැහැ. ඒ වගේම තිබෙන උපකරණත් කොළඹ වරායට ආසන්නයේ පමණයි ස්ථානගත කර තිබෙන්නේ. ගාල්ල, හම්බන්තොට හෝ ත්‍රිකුණාමලය ප්‍රදේශයට ආසන්න සීමාවක මෙවැන්නක් සිදුවුණොත් ඊට ප්‍රතිචාර දක්වන්න පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ විදියට මුහුද මැදදී වන තෙල් විසිරීමක් පාලනය කරන්න අපට තිබෙන සම්පත් ප්‍රමාණයේ අඩුවක් තිබෙනවා. ඒ වගේම හදිසියේ විශාල ප්‍රමාණයේ තෙල් විසිරීමක් වෙලා රටක් වශයෙන් ඊට ප්‍රතිචාර දක්වන්න අපට අපහසු සහ පහසුකම් ප්‍රමාණවත් නැත්නම් මුහුදු කලාපයක් සහිත දකුණු අාසියානු රටවල් පහක් වන ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය එකතු වෙලා එවැනි තත්ත්වයකදී එකිනෙකාට උපකාර කර ගැනීමේ එකමුතුවක් නිර්මාණය කර ගෙන තිබෙනවා. නමුත් ඉන්දියාව තවමත් මේ සඳහා තමන්ගේ එකඟතාව පළකරලා නැති නිසා එය ක්‍රියාත්මක මට්ටමේ නැහැ. නමුත් 2006 දී කොග්ගල සිදු වූ තෙල් විසිරුමකදී ශ්‍රී ලංකාවේ සහායට ඉන්දීය වෙරළාරක්‍ෂක බළකාය පැමිණියා. ඒ නිසා අපි දැනට ද්විපාර්ශ්වික සම්බන්ධතා භාවිත කරලා මේ එකතුව සක්‍රීය කර ගන්න අපි අවශ්‍ය කටයුතු කරගෙන යනවා. වගේම අන්තර්ජාතික වශයෙන් වන සම්මුතිවල පාර්ශ්වකරුවෙකු වෙලා මෙවැනි තත්ත්වයකදී අවශ්‍ය සහාය ලබාගන්න හැකියාව තිබුණත් ශ්‍රී ලංකාව තවමත් ඒ සම්මුතිවල කොටස්කරුවෙක් වෙලා නැහැ. ඒ සඳහාත් අවශ්‍ය මූලික කටයුතු අපි සිදුකර ගෙන යනවා. හැකි ඉක්මනින් මේ සම්පත් ලබා ගැනීම හා අවශ්‍ය සම්මුතිවලට සම්බන්ධ වීම මේ වෙද්දි අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. මොකද මේ වෙනකොට අන්තර්ජාතික මුහුදු මාර්ගයේ සුවිශේෂී සහ වැදගත් ස්ථානයක ශ්‍රී ලංකාව පවතින නිසා.

වෘක්ෂයන් පිළිබඳ ඔබ නොදත් කරුණු 07ක්

Pois

01. කැලිෆෝනියා ජාතික වනෝද්‍යානයේ තිබෙන 'General Sherman'නමින් හැඳින්වෙන 'Sequoia' නම් ශාක විශේෂයට අයත් වෘක්ෂය දැනට ලොව හඳුනාගෙන ඇති විශාලතම වෘක්ෂයයි. එහි උස අඩි 275ක් වන අතර, එහි කියුබික් අඩි 52000ක දැව ප්‍රමාණයක් අන්තර්ගතය. මෙම වෘක්ෂයේ සම්පූර්ණ ඡායාරූපයක් ලබා ගැනීමටද ඉතා අපහසුය. 


02. සාමාන්‍ය විශාලත්වයකින් යුතු ගසකට එක් දිනකදී ජලය ගැලුම් 100ක් පමණ අවශෝෂණය කරගෙන එය වායු ගෝලය වෙත මුදාහැරීමට හැකියාව පවතී.


03. දැනට හඳුනාගෙන තිබෙන පරිදි ලොව වයස්ගතම වෘක්ෂය වන්නේ කැලිෆෝනියාවේ 'White Mountain' කඳුකරයේ පිහිටි 'Methuselah' නමින් හැඳින්වෙන 'Bristlecone Pine' විශේෂයට අයත් වෘක්ෂයයි.


04.කැරබියන් දූපත්, ෆ්ලොරීඩා සහ මෙක්සිකෝව ආදී ප්‍රදේශයන්වල හට ගන්නා 'Manchineel' නම් ශාක විශේෂය ලොව හඳුනාගෙන ඇති විෂ අධිකම ශාක විශේෂය වන අතර, එම වෘක්ෂය යට සිටීම පවා මාරාන්තිකය.


05. දැනට ලෝකයේ හඳුනාගෙන ඇති ශාක විශේෂ ප්‍රමාණය හැටදහසකටත් අධිකය.


06. වෘක්ෂයන්ට අනෙකුත් වෘක්ෂ සමග සන්නිවේදනය කිරීමට සහ පෝෂ්‍ය ප්‍රදාර්ථ හුවමාරු කරගැනීමට හැකියාව පවතී. ඒ පසේ අන්තර්ගත දිලීර වර්ග හරහාය.


07. හොඳින් වැඩුණු ගසකට වසරක් තුළදී පුද්ගලයන් 4 දෙනෙකුට ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකියාව පවතී.

රටටම නොමිලේ විදුලිය ලබාදෙන්නට සැරසෙන සූර්යබල සංග්‍රාමය

බලශක්ති ප්‍රභවයන් ක්‍රමක්‍රමයෙන් ක්ෂය වී යාම ආරම්භ වීමත් සමග අද වනවිට ලෝකයේ අවධානය වැඩි වශයෙන් යොමු වී තිබෙන්නේ පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේදයන් වෙතය.ශ්‍රී ලංකාවට එය වඩා වැදගත් වන්නේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මේ වන විට බලශක්ති උත්පාදන කාර්ය සඳහා වැය කරමින් පාරිසරික අර්බුදයන්ටද එහි අතුරු ඵලයක් ලෙස මුහුණ දෙමින් සිටින රටක් වශයෙනි. බලශක්ති උත්පාදනය සඳහා ස්ථිරසාර ප්‍රවේශයක් ලෙස ආරම්භ වූ සූර්යබල සංග්‍රාම ව්‍යාපෘතිය පිළිබඳවත්, එය දැනට ලබා ඇති සාර්ථකත්වය පිළිබඳවත් අද වෙත විග්‍රහයක් ගෙන එන්නේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාය.


Net-Metering

'ශ්‍රී ලංකාව ගත්තොත් අද වෙනකොට අපේ විදුලි බලය නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණයක් සිදුවෙන්නේ ගල් අඟුරු බලාගාර මාර්ගයෙන්. ඒ වගේම ඩීසල් බලාගාරත් අප සතුව තිබෙනවා. මේ බලාගාරවලින් සිදුවන පරිසර හානියත් සැලකිය යුතු මට්ටමක තිබෙනවා. ඒ වගේම නඩත්තු සහ බලශක්ති නිෂ්පාදනයට යන වියදම පවා අධිකයි. මේ නිසා අපිට සිදුවෙලා තිබෙනවා පරිසර හිතකාමී සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ක්‍රමවේද සඳහා අවධානය යොමු කරන්න. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ හරිත බලශක්ති සංකල්පය අනුව ගිහින් අපිට හැකිවුණා %සූර්යබල සංග්‍රාමය^ නමින් සූර්ය බලශක්තිය ජාතික විදුලිබල පද්ධතියට ලබාගැනීමට සාර්ථක ව්‍යාපෘතියක් ආරම්භ කරන්න.

සූර්ය බල සංග්‍රාම ව්‍යාපෘතිය මීට වසරකට පමණ පෙර අපි ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ නිවාස දසලක්ෂයක පියැසි සූර්ය බලාගාර ඇති කරලා මෙගා වොට් දහසක බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි. හරිත බලශක්තියේ ප්‍රගතිශීලී හැරවුම විදියට සූර්යබල සංග්‍රාමය අපි හඳුන්වන්නේ ඒ නිසයි. සමකයට ආසන්න රටක් විදියට සූර්ය ශක්තිය ප්‍රශස්ත ලෙස ලබාගන්න අවශ්‍ය නිසා මේ බලශක්තිය අපි ලබාගන්නේ පෙරවරු 6ත් පස්වරු 6ත් අතර කාලසීමාවේදියි. මෙහි තිබෙන විශේෂතම කාරණය වෙන්නේ අපි මේ සූර්යාලෝකය හරහා ලබාගන්නා බලශක්තිය පාරිභෝගිකයාගෙන් මිලදී ගැනීමයි. සූර්යබල සංග්‍රාමය යටතේ වහල උඩ තිබෙන බලාගාරය හැදුවට පස්සේ ඒ බලාගාරයෙන් ජනනය කරන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක්වීම සිදුවෙනවා. ජාතික විදුලිබල පද්ධතියෙන් තමයි පාරිභෝගිකයාට අවශ්‍ය විදුලිය සැපයීම සිදුවෙන්නේ. මෙතන ක්‍රියාත්මක වෙන්නේ %වහල මත පියැසි බලාගාරය^ කියන සංකල්පය.

මේ ඇතිකරන දසලක්ෂයක සූර්ය බලාගාර අතරින් 20෴ ක ප්‍රමාණයක් අඩු ආදායම්ලාභී පවුල්වලට ලබාදීම හරහා එවැනි පවුල් ලක්ෂ දෙකක් පමණ විදුලි නිෂ්පාදකයන් බවට පත්කිරීම මගින් ඔවුගේ ජීවන තත්ත්වය නගාසිටුවීමත් මෙතනදි අපි අරමුණු කරගෙන තිබෙනවා. සූර්යබල සංග්‍රාම ව්‍යාපෘතිය හරහා විදුලි පාරිභෝගික ජනතාවට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ ගත්තොත් මෙතනදි ඔවුන්ට තෝරාගන්නා ක්‍රමය අනුව මාසික විදුලි බිල සඳහා වැයවෙන මුදල සම්පූර්ණයෙන් උපයාගැනීමේ හැකියාව තිබෙනවා. වසර 07ක් දක්වා නැවත ගෙවීමේ පදනම මත ක්‍රියාත්මක වෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වාණිජ බැංකු රැසකින්ම සූර්ය පැනල මිලදී ගැනීම සඳහා 4% ඉඳලා 8% දක්වා වූ අවම පොලී අනුපාත යටතේ ණය පහසුකම් සලසා තිබෙනවා. සූර්ය පැනල මිලදී ගැනීමට පාරිභෝගිකයා විසින් ලබාගන්න ණය මුදල  ඔබ ලබන අාදායමෙන් ඒ ණය මුදල සහ පොලිය ගෙවීමට හැකියාව තිබෙනවා. ඒ වගේම පාරිභෝගිකයන් ඔවුන්ගේ පියැසි සූර්ය බලාගාරය හරහා නිෂ්පාදනය කරන සෑම අතිරික්ත විදුලි ඒකකයක් සඳහාම අප විසින් ඔවුන් සමග එළඹෙන ගිවිසුම යටතේ පළමු වසර 7 තුළදී රුපියල් 22ක මුදලක් සහ 8 වැනි වසරේ සිට සෑම අතිරික්ත විදුලි ඒකකයක් සඳහාම රුපියල් 15.50ක මුදලක් හිමි වෙනවා.

ජනතාවට මෙතනදි තමන්ගේ විදුලි පරිභෝජන රටාව අනුව තෝරාගත හැකි යෝජනා ක්‍රම තුනක් පවතිනවා. පළමු ක්‍රමවේදය වෙන්නේ වහල මත සවිකරන සූර්ය පැනල මගින් ජනනය කරන විදුලිය ඒකක ගණන, පරිභෝජනය කරන විදුලි ඒකක ගණනට වඩා අඩුනම් එම වෙනසට පමණක් මණ්ඩලයට මුදල් ගෙවීමට පාරිභෝගිකයාට හැකියාව තිබෙනවා. ජනනය කරන ඒකක ප්‍රමාණයේ අතිරික්තයක් තිබෙනවා නම් වසර 10ක් දක්වා හිඟ අවස්ථාවන්වලදී හිලව් කිරීමට එම ශේෂය ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාව තිබෙනවා. (Net Metering)

දෙවැනි ක්‍රමවේදය වෙන්නේ තමන්ගේ වහල මත සවිකරන සූර්ය පැනල මගින් ජනනය කරන විදුලි ඒකක ගණන නිවාස හිමියා විසින් පාවිච්චි කරන ලද විදුලි ඒකක ගණනට වඩා වැඩි නම් මණ්ඩලය විසින් නිවාස හිමියාට ගෙවීමක් සිදුකරනවා. නිවසේ ජනනය කළ විදුලි ප්‍රමාණය අඩු නම් ගෙහිමියා මණ්ඩලයට ගෙවීමක් සිදුකරනවා (Net Accounting).

තෙවැනි ක්‍රමවේදය තමයි තම වහල මත සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිවාස හිමියන්, නිෂ්පාදනය කරන විදුලි ඒකක ගණනට
මණ්ඩලය මගින් නිවාස හිමියාට ගෙවීම් සිදුකරනු ලබනවා. නිවසේ විදුලි පරිභෝජනය සඳහා වන බිල්පත ගෙහිමියා විසින් මණ්ඩලයට ගෙවනු ලබනවා (Net Plus).
පාරිභෝගිකයාට සූර්යබල සංග්‍රාමය මගින් මේ විදිහට ප්‍රතිලාභ ලැබෙද්දි රටටත් ඒ හරහා ලැබෙන ප්‍රතිලාභ ගණනාවක් තිබෙනවා. සූර්ය බලය කියන්නේ නොමිලයේ ලැබෙන බලශක්ති ප්‍රභවයක් ඒ නිසා දැනට බලශක්ති උත්පාදනයට යොදාගන්නා ගල් අඟුරු සහ ඉන්ධන සඳහා විශාල වශයෙන් වැය කරන විදේශ විනිමය ප්‍රමාණය ඉතිරි කරගැනීමට හැකියාව පවතිනවා. තාප බලාගාර ඔස්සේ සිදුකරන විදුලි ජනන ක්‍රියාවලියේදී වායුගෝලයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් වසරකට මෙ.ටො 150,000 ක පමණ ප්‍රමාණයක් අඩු කර ගැනීමට පුළුවන්. ඒ ඔස්සේ පාරිසරික හානිය අවම කරලා තිබෙනවා. විදුලි පද්ධතියේ සමතුලිතතාව මේ හරහා රැක ගැනීමට හැකිවෙනවා වගේම විදුලි බලය සම්ප්‍රේෂණය සහ බෙදාහැරීමේ හානිය අවම වෙනවා.  
ඒ වගේම දැනට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් සීමාවෙලා තිබෙන විදුලිබල නිෂ්පාදන කාර්යයට සමස්ත ජනතාවටම සම්බන්ධ වෙන්න හැකියාව තිබෙනවා. මේ හරහා රට පුරාම විසිරුණු කුඩා පරිමාණ විදුලි නිෂ්පාදනාගාර  පද්ධතියක් නිර්මාණය වෙන නිසා එය ජාතික විදුලි සුරක්ෂිතතාවට ධනාත්මක ලෙස බලපානවා. පාරිභෝගිකයනන් විශාල ප්‍රමාණයක් විදුලි නිෂ්පාදකයන් බවට පත්වෙන නිසා මෙමගින් විදුලි ජනනය ඔස්සේ ලැබෙන ආදායම තුළ රටේ ආදායම් බෙදීයාමේ විෂමතාව අඩු කරගන්න පුළුවන්. 
තවත් වැදගත් කාරණයක් වෙන්නේ 2025 වසර වන විට සූර්යබල සංග්‍රාමය හරහා ජාතික විදුලිබල පද්ධතියට මෙ.වො 1000ක ප්‍රමාණයක් එක්කර ගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ ඇතිවන පිබිදීමත් එක්ක ඍජු වශයෙන් සහ වක්‍රව නව රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. පසුගිය වසරේ අපට හැකිවුණා ජාතික විදුලිබල පද්ධතියට මේ හරහා  මෙගාවොට් 100ක බලශක්තියක් ලබාදෙන්න. එය විශාල ජයග්‍රහණයක් වෙනවා වගේම මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයත් පෙන්නුම් කරන විශේෂ අවස්ථාවක් වෙනවා'

විශේෂ ස්තුතිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් පැතුම් මහතාට.

මහ පොළොවේ තහවුරු කළ යුතු සංහිඳියාව

සංහිඳියාව පිළිබඳව අප නිතරම කතාබහ කරන්නෙමු. නමුත් ගැටලුව වන්නේ සියලු ජනකොටස් සංහිඳියාවෙන් විසිය යුතු බවත්, සංහිඳියාව තුළින් රට දියුණුවට පත් කළ හැකි බවත් කියමින් ජනතාවට වැදි බණ දෙසන්නේ සංහිඳියාවක් ගෑවීවත් නොමැති, දිනපතාම පාහේ දියවන්නාවේදී ජනතාවට විහිළු සපයමින්, මසකට වරක් සටන් ජවනිකා රඟ දක්වන පිරිසක් වීමයි. එවැනි වටපිටාවක් තුළ ජනතාවගේ සංහිඳියාව පිළිබඳ ගැටලු ඇති වීම අරුමයක් වන්නේ නැත. සැබෑ සංහිඳියාව යනු කුමක්ද?, සංහිඳියාව අපට තවත් දුරද යන්න පිළිබඳව විග්‍රහයක් ගෙන ඒමට මෙවර %අද^ සමග සම්බන්ධ වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ.එච්.එන්.එච්. අබේරත්න මහතාය.


2017-11-08-15-19-52-584

'සංහිඳියාව පිළිබඳව හොඳම ආදර්ශ අතීතයේ ඉඳලම ලෝකයට පෙන්නුම් කළේ අපේ රට. උදාහරණයක් විදියට පණ්ඩුකාභය රජ සමය ගැන මහාවංශය දක්වන තොරතුරු ගත්තොත් පණ්ඩුකාභය රජතුමා යක්ෂ වන්දනය සඳහා අනුග්‍රහය දක්වා තිබෙනවා, දේව වන්දනය සඳහා අනුග්‍රහය දක්වලා තිබෙනවා, වෘක්ෂ වන්දනය සඳහා අනුග්‍රහය දක්වලා තිබෙනවා, නිගන්ඨයන්ට, ආජීවකයන්ට, බ්‍රාහ්මණයන්ට සිය ආගමික කටයුතු කරගෙන යාමට ආරාම හැදුවා. ඒ වගේම ලිංග වන්දනය සිදුකළ අයටත්, ශ්‍රමණ භික්ෂූන්ටත් අනුග්‍රහය දැක්වූවා. විශේෂිතම කාරණය තමයි ප්‍රධාන ආගමික ධාරාවන්ගෙන් මිදුණු තමන්ගේම ආගමික විශ්වාසයන් මත කටයුතු කරපු මිත්‍යාදෘෂ්ටික පවුල් පන්සියයකට අධික ප්‍රමාණයකට පණ්ඩුකාභය රජු අනුග්‍රහය දැක්වීම. එතැනදී එතුමා පෙන්වාදී තිබෙනවා තමන් කුමන මතයක් දැරුවත් ඊට ප්‍රතිවිරුද්ධ මත දරන අයගේත් පැවැත්ම පිළිගත යුතු බව. ඒක තමයි සංහිඳියාවේ මූලිකම සිද්ධාන්තය වෙන්නේ.

මේ රටේ බහුතරය වෙන්නේ සිංහල ජනතාව. එය තමයි බැහැර කළ නොහැකි සත්‍ය. නමුත් සිංහල ජනගහනය බහුතරය වූ පමණින්ම දෙමළ හෝ මුස්ලිම් කියන බහුතරයක් නොවන කණ්ඩායම්වලට කිසිදු ආකාරයකින් අගතියක් සිදුනොවිය යුතුයි. ඒ වගේම දෙමළ ජනතාව හෝ මුස්ලිම් ජනතාව බහුතරයක් වන සිංහල ජනතාව සුළුතරයක් වන ප්‍රදේශවල සිංහල ජනතාවට අගතියක් සිදු නොවිය යුතුයි. එසේ ‍ෙවනවා නම් කිසිම ආකාරයකින් සංහිඳියාව ගොඩනගන්න බැහැ. ඒ නිසා බහුතරය සුළුතරය කියන දේ නොසලකා සියලු ජනයාගේ අවශ්‍යතා සැපිරීම වැදගත් වෙනවා සංහිඳියාව ඇති කිරීමේ කාර්යයේදී.

මේ රටේ සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් දකින්ට ලැබෙනවා. එකක් තමයි ආගමික වශයෙන් හෝ අපේ ජනතාව නිරන්තරයෙන් උත්සාහ කරන්නේ බෙදී සිටින්න. බුදු දහම ගත්තොත් ඒ සමස්ත ධර්මයේද තිබෙන්නේ සංහිඳියාව. සංහිඳියාවෙන් තොර වූ බුදු දහමක් නැහැ. ඉස්ලාම් දහම ගැන සැලකුවොත් එහි අගයන්නේ සියලු මිනිසුන්ගේ සහෝදරත්වය. ජේසුස් වහන්සේ ලෝකයට ලබාදුන්නේ සාමයේ පණිවුඩය. භගවත් ගීතාවේ පෙන්වා දෙන්නේ සමානාත්මතාව. නමුත් අපි ආගම ආරක්ෂා කරගන්න කියලා භේද බින්න වෙලා කෝලහාල ඇති කරගන්නවා නම් පැහැදිලිවම එතන සිදුවෙන්නේ ශාස්තෘවරයාගේ පණිවුඩය පසෙකින් තබලා තමන්ගේ හිතුමනාපය අනුව ධර්මය වෙනස් කරගෙන ජනතාව කටයුතු කිරීමයි. ඒ නිසා අපි මොනයම් හෝ ආගමක් අදහනවා නම් කළ යුත්තේ එහි හරය වටහාගෙන ඒ අනුව කටයුතු කිරීමයි. එහෙම කරනවා නම් සංහිඳියාව නිරායාසයෙන්ම සමාජය තුළ නිර්මාණය වෙනවා. 

අනෙක් කාරණය තමයි ආර්ථික ක්‍රියාවලියේදී සියලු ජනකොටස්වලට දැනෙන ආකාරයේ සංහිඳියාවක් ඇති කිරීමට අප අසමත් වෙලා තිබෙනවා. දැන් තිබෙන්නේ කොළඹ කේන්ද්‍ර කරගත් ආර්ථික ක්‍රමයක්. ඒ හරහා මොනරාගල වැනි ප්‍රදේශවල සිටින ගොවියාට, කම්කරුවාට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ජනාධිපතිවරයා පොළොන්නරුවේ වුණාට එහි ඉන්න ගොවීන්ට කම්කරුවන්ට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. විපක්ෂ නායකයා යාපනයේ වුණාට එහි ඉන්න ගොවීන්ට සහ කම්කරුවන්ට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. නිදහසින් පස්සේ අවුරුදු 70ක් දක්වා මේ තිබෙන පාලනයේත්, අධිරාජ්‍යවාදී පාලනයේත් තිබෙන ආර්ථික ප්‍රතිලාභ බෙදී යෑමේ විෂමතා නිසා සිංහල මහ ආණ්ඩුවක් තිබෙන රටක දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව සිතනවා අපි දෙමළ වූ නිසා, මුස්ලිම් වූ නිසා එහෙමත් නැත්නම් මේ රටේ සුළුතරය නියෝජනය කිරීම නිසයි අපිට මේ ප්‍රතිලාභ නොලැබෙන්නේ කියලා. නමුත් බහුතරයක් වූ සිංහල ජනතාවටත් ඒ දේමයි සිදුවෙලා තිබෙන්නේ. සෑම ජනකොටසක්ම මෙතනදී පීඩාවට පත්වෙලා තියෙනවා. ඒ අනුව පැහැදිලියි ආර්ථික ප්‍රතිලාභ රටේ ජනතාවට සමානව භුක්ති විඳීමට අවස්ථාව සැලසීමට සියලු රජයන් අසමත්ව තිබීම සහ ඒ සඳහා නිසි අනාගත සැලසුමක් හෝ ඔවුන් තුළ නොතිබීම සංහිඳියාව ගොඩනැගීමට බාධාවක් වී තිබෙන බව.

අද රැකියා අවස්ථා ලබාදීමේදීත් දේශපාලන පක්ෂය, ඇමතිවරයා කුමන ජාතිකයෙක්ද, ප්‍රදේශය කියන කාරණා බලපානවා. නමුත් යම් පුද්ගලයෙක්ට දේශපාලන හෝ ජාති භේදයකින් තොරව රැකියා අවස්ථාවක් ලැබෙනවා නම් ඒ පුද්ගලයාගේ මනසේ සංහිඳියාව නිරායාසයෙන්ම ගොඩනැගෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත්ත මිනිස්සු වෙනුවෙන් අපි මෙතෙක් කාලයකට කරපු දෙයක් තියෙනවද, දේශීය ගොවි ජනතාවට දිවිනසා ගන්නට වෙන විදිහේ වටපිටාවක් තිබෙනවා නම්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ බරපතළ විෂමතාවක් තිබෙනවා නම් සංහිඳියාව ගොඩනගන්න බැහැ. අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේත් බරපතළ ප්‍රශ්න තිබෙනවා. දරුවන්ගේ කුසලතා, ආකල්ප සංවර්ධනය නොකර පුහු මිනිසුන් පමණක් බිහිකරන, විභාගවලින් අසමත් කරලා අධ්‍යාපනයෙන් දරුවන් විශාල ප්‍රමාණයක් පිටමං කරලා දමන අධ්‍යාපන ක්‍රමයක් තියාගෙන සංහිඳියාව ඇති කරන්න හැකියාවක් නැහැ. දිනපතාම පොදු ප්‍රවාහනයේ විෂමතා නිසා මාර්ග තදබද නිසා පීඩිත මානසිකත්වයක් ජනතාවට ඇති වෙනවා නම් ඒ මනසේ සංහිඳියාවක් හදන්න බැහැ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල වශයෙන් පවතින අඩු ලුහුඬුකම් සහ විෂමතා නිසා ජනතාව පීඩාවට පත් වෙද්දි සංහිඳියාව ඇති කරන්න බැහැ. සංවර්ධනය කියමින් දුරදිග නොබලා කරපු වැඩ නිසා මුළු මහත් ප්‍රදේශයකම ජනතාව දැඩි පීඩාවකට පත් වෙද්දී, ඒ ඔස්සේ විවිධ පරිසර ව්‍යවසන මතුවෙද්දී සංහිඳියාවක් ගැන කතාකරන්න බැහැ. මේ කතා කළේ ක්ෂේත්‍ර කිහිපයක් ගැන විතරයි. මේ අකාරයට ජනතාව දැඩි පීඩනයක සිටින සමාජ වටපිටාවක් ඇතුළේ සංහිඳියාවක් පිළිබඳ කතා කිරීමම විකෘතියක් පමණයි. ප්‍රභාකරන් වැනි පුද්ගලයන් බිහිවෙන්න හේතු වුණෙත් මේ වටපිටාවමයි. ප්‍රභාකරන් කියන පුද්ගලයා නැති කළත් අපි තවම ප්‍රභාකරන්ලා බිහිවීමට හේතුවෙන ගර්භාෂය තවමත් ඉවත් කරලා නැහැ. ඒ නිසා යුද අරගල තවතවත් ඇති වෙන්න ඕනෑ තරම් ඉඩ ප්‍රස්ථාව තිබෙනවා.

මේ ගතවුණු කාල සීමාව තුළ ජාතීන් අතර සංහිඳියාව ඇතිකරලා රට දියුණුවට ගෙනියන්න අපට අවස්ථා දෙකක් ලැබුණා. ඉන් එකක් තමයි 2004 වසරේදී ඇතිවුණු සුනාමි ව්‍යසනය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් භේදයක් නැතිව ජීවිත විශාල ප්‍රමාණයක් ඉන් අහිමි වුණා. ඒ අවස්ථාවේදී මිනිස්සුන්ගේ ආකල්පවල වෙනසක් ඇති වුණා. ජාත්‍යන්තරයේ අවධානය සහ සහයෝගය ලැබුණා. එතැනදී යම් කාලයකට සියලු භේද අමතක කරලා මේ රට ගොඩනගමු කියලා සියලු ජාතීන්, පක්ෂ එකතු කරගත් වැඩපිළිවෙළක් හදන්න එවකට රජය කටයුතු කළා නම් මේ තත්ත්වය අද වෙනස් වෙන්න ඉඩ තිබුණා. නමුත් පැවැති රජය කළේ ඒ වෙනුවට තවත් බෙදුම්වාදය පෝෂණය කිරීමයි. අනෙක් අවස්ථාව තමයි 2009 වසරේදී ප්‍රභාකරන්ගේ මරණයත් සමග යුද්ධය අවසන් වීම. එතැනදී %උතුරු වසන්තය^ සහ %නැගෙනහිර නවෝදය^ බෝඩ් එකකට පමණක් සීමා නොකර ප්‍රයෝගිකව සියලු ජනකොටස් එකමුතු කරන වැඩපිළිවෙළක් සකස් කළා නම් මේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා.

සංහිඳියාව කියන එක මුලින්ම ඇති වෙන්න ඕන මිනිස්සුන්ගේ සිත්වලයි. මිනිස්සුන්ගේ හිත්වල එවැනි සංහිඳියාවක් නිර්මාණය වෙන්න නම් ඔවුන්ට පිළිගත හැකි සාධාරණව ජීවත්වීමට සුදුසු වටපිටාවක් හදන්න පාලකයන් කටයුතු කරන්න අවශ්‍යයි. අපේ ජනතාවත් අසමත් වෙලා තිබෙනවා සංහිඳියාවක් ඇති කරන්න හැකියාව තිබෙන පිරිසක්, සංහිඳියාවක් සහිත පිරිසක් බලයට පත්කරන්න. දේශපාලඥයන් අතර විවිධ ජාතීන්ට අයත් පිරිස් ඉන්නවා. නමුත් ඔවුන් හොඳ සංහිඳියාවකින් ඉන්නවා. ඔවුන්ගේ සංහිඳියාවේ යම් බිඳ වැටීමක් වෙන්නේ තනතුරු සහ වරප්‍රසාද බෙදාගැනීමේදී පමණයි. සංහිඳියාව සහ සමානාත්මතාව සමාජය තුළ යථාර්ථයක් බවට පත්නොකර පෝස්ටර්, බැනර්, කටවුට් ගහලා, රූපවාහිනියේ පුහු වැඩසටහන් කරලා ප්‍රචාරණ තලයේ සන්දර්ශන පැවැත්වුවාට මහ පොළොවේ සංහිඳියාව ගොඩනගන්න බැහැ.'

‍දේශපාලනයෙන් තොර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් දැන් අත්‍යවශ්‍යයි

සැබෑ අධ්‍යාපනයක මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ නිර්මාණශීලී, ස්වාධීන සහ රටට වැඩදායී මිනිසුන් දායාද කිරීමය. ඒ වෙනුවෙන් නිසි ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් රට තුළ පැවැතිය යුතු අතර, එය රටට හිතසුව පිණිස මිස පුද්ගල කණ්ඩායමක අභිමතාර්ථ සපුරන ක්‍රමයක් නොවිය යුතුය. ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ නැවත සිතන්න කාලය එළැඹ ඇත්තේ ඉහත හිතකර තත්ත්ව කිසිවක් ප්‍රශස්ථ ලෙස සමාජයට තවමත් නොලැබෙන බැවින්ය. පැහැදිලි ලෙස දේශපලනික අභිමතාර්ථවලින් තොර වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව අද රටට තිබෙන අතර, මේ ගෙන එනුයේ ඒ පිළිබඳ විද්වතුන්ගේ විග්‍රහයකි. 


ජීවිතයෙන් වැඩි කාලයක් ප්‍රායෝගික නොවූ අධ්‍යාපනයකට කැපකළ යුතු නැහැ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමි  (ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය)

IMG_5843

ශ්‍රී ලංකාවේ දැනට පවතින පාසල් අධ්‍යාපන ක්‍රමය අසාර්ථක, අවිධිමත්, අසම්පූර්ණ, ජාතිකත්වය සහ දේශීයත්වය පිළිබඳ කිසිම හැඟීමක් නැති අධ්‍යාපන ක්‍රමයක්. මේ ක්‍රමය අධ්‍යාපන විද්‍යාවේදී හඳුන්වන්නේ %ශිෂ්‍ය කේන්ද්‍රීය විධිමත් අධ්‍යාපන ක්‍රමය^ කියලා. නමුත් මේ අධ්‍යාපන ක්‍රමය ඒ රටට, ජාතියට හිතකර වෙන්නේ නැත්නම් එය සම්පූර්ණයෙන් අසාර්ථකයි. පාසල් අධ්‍යාපනය සකස් විය යුත්තේ දරුවෙකුගේ මේරීමේ ස්වභාවය අනුවයි. අද අපේ තියෙන්නේ දරුවෙකුට අවුරුදු 11ක් උගන්වලා සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිත විෂය අසමත් වුණොත් සියල්ල අසමත් ලෙස සලකා එම දරුවාව පැත්තකට විසිකිරීමේ අධ්‍යාපන ක්‍රමයක්. මේ විදියට ප්‍රතික්‍ෂේප වන දරුවන් ප්‍රමාණය වසරින් වසර වැඩි වෙනවා. අද ගණිතය අත්‍යවශ්‍ය නොවන රැකියාවකට පුද්ගලයෙක් බඳවා ගන්න ගියත් සාමාන්‍ය පෙළ ගණිතය සමත්ද කියලා බලනවා. ඒ නිසා තවමත් රැකියා අවස්ථා ගණනාවක පුරප්පාඩු රාශියක් තියාගෙන ඉන්න රටක් බවට මේ රට පත්වෙලා තියෙනවා. දරුවෙකුගේ දක්‍ෂතාව එක් විෂයකින් මනින තත්ත්වයක් උදාවෙලා තියෙනවා.

විය යුත්තේ මේ අසාර්ථක අධ්‍යාපන ක්‍රමය වෙනුවට %ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයක්^ ඇති කිරීමයි. මනෝ විද්‍යාවට අනුව දරුවෙකුගේ මොළය මේරීම හොඳින් සිදුවෙන්නේ වයස අවුරුදු 11ත්, 19ත් අතර කාලයේදීයි. ඒ වයස් සීමාව මනෝවිද්‍යාවේදී හඳුන්වන්නේ %කුණාටු අවධිය^ කියලා. අද බොහෝ පාසල් දරුවන් විවිධ අකටයුතුකම්වලට යොමුවෙන්නෙත් මේ වයස් සීමාවේදීයි. ඒකට හේතුවෙලා තිබෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමවේදයේ තිබෙන අසාර්ථකභාවය සහ අවිධිමත්භාවය. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමවුපියන් වියදම් කරන මුදල්වලට වටිනාකමක් ලැබිලා නැහැ. ගුරුවරුන්ට ලබාදෙන වැටුපට වටිනාකමක් ලැබිලා නැහැ. අවුරුදු 11ක් අධ්‍යාපනය ලැබුවාට වැඩක් නැහැ, එය ජීවිතයට බද්ධ නොවෙනවා නම්. අධ්‍යාපනය ලැබිය යුතු කාලය තීරණය වෙන්න ඕන මිනිසුන්ගේ ආයු කාලයත් එක්කයි. ජීවිතයෙන් වැඩි කාලයක් ප්‍රායෝගික නොවූ අධ්‍යාපනයකට කැපකළ යුතු නැහැ. 

පාසල් අධ්‍යාපනය ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට සකස් කරලා 08 හෝ 09 වසරේදී සාමාන්‍ය පෙළ විභාගය පවත්වලා ඉදිරි අධ්‍යාපනය ලබන්නේ කලා විෂය ධාරාවෙන්ද, වෘත්තීය ශිල්පයක් ඔස්සේද, එහෙමත් නැත්නම් වෙනත් විෂය ධාරාවකින්ද කියලා දරුවාට තෝරාගත හැකි ආකාරයට ජාතික අධ්‍යාපනය සකස් විය යුතුයි. ඒ වගේම වෘත්තීය පුහුණු ආයතන, පෞද්ගලික අධ්‍යාපන ආයතන මීටත් වඩා වැඩි දියුණු කරලා ව්‍යාප්ත කළ යුතුයි. මේ අධ්‍යාපන අර්බුදය විසඳීමේ වගකීම රජය වගේම ජාතික අධ්‍යාපන ආයතනය බාරගත යුතුයි.

අද දරුවන් අධ්‍යාපනය ලබන්නේ දෙමවුපියන්ගේ ඉහළ අභිමතාර්ථ ඉටු කරන්න මිසක තමන්ගේ ගමන මොකක්ද කියලා හඳුනා ගෙන නොවෙයි ආචාර්ය එම්.ජී. කුලරත්න (කැලණිය විශ්වවිද්‍යාලය)

යමෙක් අධ්‍යාපනය ලැබිය යුත්තේ යහපත් මිනිසෙක් වෙන්නයි. අධ්‍යාපනයෙන් සකස් කළ ආකෘතියක් නොදී නිදහස් පරිසරයක් ලබාදුන්නොත් ඒ නිදහස් පරිසරය තුළින් දරුවාගේ නිර්මාණශීලීත්වය සහ ස්වාධීනත්වය මතුකර ගන්න පුළුවන් වෙනවා. මේ දෙක අධ්‍යාපනයෙන් kularathnaනොලැබෙන නිසයි අද අපේ රට විවිධ ප්‍රශ්නවලට මුහුණ දී තියෙන්නෙ. අද අධ්‍යාපනයට දරන පිරිවැය සහ ලැබෙන ප්‍රතිඵල සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. පාසල් දරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. දරුවෙක් පාසලට ඇතුළත් කිරීම විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වක්‍රව බැලුවොත් පාසල් නිසා මාර්ග තදබද ප්‍රශ්න මතුවෙලා තිබෙනවා. මේ විදියේ තවත් ප්‍රශ්න ගණනාවක් එක්ක නිර්මාණශීලීත්වයක් නැතිව, ආචාරශීලීත්වයක් නැතිව, සමාජශීලීත්වයක් නැතිව, සාහිත්‍ය සහ කලාව නොහඳුනන, ඉතිහාසයක් නොහඳුනන පිරිස් මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවීම රටට විශාල පිරිවැයක් වන නිසයි මේ අධ්‍යාපන ක්‍රමය අපි වෙනසකට ලක්කළ යුතු වෙන්නේ.

තමන් අධ්‍යාපනය ලබන්නේ රටේ ජනතාව ගෙවන බදු මුදල්වලින්. ඒවාට සාධාරණයක් ඉටු කරන්න තමන්ට වගකීමක් සහ යුතුකමක් තිබෙන බව දෙමවුපියන් දරුවන්ට උගන්වන්න ඕන. අද දරුවන් අධ්‍යාපනය ලබන්නේ දෙමවුපියන්ගේ ඉහළ අභිමතාර්ථ ඉටු කරන්න මිසක තමන්ගේ ගමන මොකක්ද කියලා හඳුනා ගෙන නොවෙයි. ඒ වගේම දෙමවුපියන් ප්‍රසිද්ධ පාසල්වලට දරුවන් ඇතුළත් කරන්න ලොකු උණක් එක්ක හොර බොරු, වංචා පවා කරන්න යොමු වෙනවා. එය නම් සැබෑ මිනිසුන් බිහිකරන අධ්‍යාපනය, සමාජයේ පහළ වූ සියලු දාර්ශනිකයන් ඉගෙනුම ලැබුවේ ඒ පාසල්වල වෙන්න ඕන. මේ වගේ අර්බුද නිසයි අපි අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සිතිය යුත්තේ.

මේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය නිර්දේශපාලනික කළ යුතුමයි මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර (මොරටුව විශ්වවිද්‍යාලය)

halwaturaදැනට මේ රටේ තිබෙන්නේ දේශපාලඥයන්ගේ අවශ්‍යතාව අනුව උදේ, හවස වෙනස් වෙන අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා මුලින්ම කරන්න ඕන දේ තමයි මේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය නිර්දේශපාලනික කරන එක. නමුත් ආසියාවේ අනෙකුත් දියුණු වෙමින් පවතින රටවල් මැලේසියාව, සිංගප්පූරුව, කොරියාව වැනි රටවලුත් දියුණු රටක් විදියට ජපානයත් ගත්තාම ඒ සෑම රටක්ම තමන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කරන්නේ හෙට දවස වෙනුවෙන්වත්, අවුරුදු දෙකතුනක් වෙනුවෙන්වත් නොවෙයි. වසර 20ක් පමණ ඉලක්ක කරගෙන. ඒවා අතරමැදදි කාටවත් ඕන විදියකට වෙනස් වෙන්නේ නැහැ.

අද ලෝකයට අවශ්‍ය වෙලා තියෙන්නේ සහ ලෝකය ඉල්ලන්නේ එක රාමුවකට කොටුවෙලා දැනුමෙන් ඔළු පුරවාගත් මිනිස්සු නොවෙයි. හිතන්න පුළුවන් ඔළුව නිදහස් මිනිස්සු. ඒක මේ අධ්‍යාපන ක්‍රමයෙන් කරන්නේ නැහැ. එතැනින් විශ්වවිද්‍යාලයට ආවාමත් ඒ දරුවන්ව 80෴ක් දාලා දේශන ශාලාවලට හිරකර ගෙන ඔවුන්ට අලුතින් හිතන්න කියනවා. ඒක කකුළුවා පැටියාට කෙළින් යන්න කියනවා වගේ වැඩක්.
මේ ඛේදවාචකයේ ඵලවිපාක අපි එළිපිටම විඳිමින් ඉන්නවා. රටේ දේශපාලනය පවා අශිෂ්ට තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්න නිසයි. මේ විදියට රට ක්‍රමයෙන් අගාධයට යනවා මිසක දියණුවක් සිදුවෙන්නේ නැහැ. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමය වහාම වෙනස් කළ යුතුමයි. නමුත් ඒක කරන්න ඕන ඒ පිළිබඳ දැනුම ඇති අය මිසක දේශපාලඥයන් නොවෙයි. මේකට එකම විසඳුම පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය එහෙම් පිටින්ම මේ රටේ ස්ථාපනය කරන එක නොවෙයි. අපේ තිබෙන දූපත් මානසිකත්වය ඉවත් කරලා බටහිර රටවල අධ්‍යාපන ක්‍රම දිහා බලලා ඒවායේ තියෙන හොඳ දේවල් අරගෙන අපට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කරගත යුතුයි. 

ඒ වගේම මේ කිසිම දෙයක් කරන්න බැහැ ගුරුවරයා තෘප්තිමත් නොකර. ඒ නිසා පාසලට යන ගුරුවරයාව මීටත් වඩා දැනුමෙන්, සමාජ අවබෝධයෙන් සහ ළමා මනෝවිද්‍යාව වැනි විෂයන්ගේ දැනුමෙන් සන්නද්ධ කිරීම අත්‍යවශ්‍යයි. කෙතරම් වැදගත් සමාජ වගකීමක් ඉටු කරන ගුරුවරුන්ගේ ජීවන තත්ත්වය මීටත් වඩා උසස් කළ යුතුයි වගේම ගුරුවරුන් පෙන්වන දක්‍ෂතා අනුව ඔවුන්ට ඇගයීමක්, වටිනාකමක් ලැබෙන ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. පාසල් අතර පහසුකම් අතින් තිබෙන විෂමතාව හැකිතාක් අවම කිරීමත් වැදගත් කාරණයක් වෙනවා.
මේ අධ්‍යාපනය දරුවන්ට ලැබෙන්නේ නොමිලේ කියලා කියන එකම අධ්‍යාපනයේ පරිහානිය පෙන්නුම් කරනවා. එහෙම කියන නිසයි තමන්ගේ රට ගැන කිසිම කෙනෙක්ට හැඟීමක් නැත්තේ. සෑම දෙමවුපියෙකුටම පැහැදිලි වගකීමක් තියෙනවා මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු කුසගින්නට කන්න නැතුව ගෙවන බදුවලිනුයි තමන් ඉගෙන ගන්නේ කියලා දරුවන්ට අවබෝධ කරලා දෙන්න. 

සහතික පත්‍ර ලාභීන් වෙනුවට දක්‍ෂයන් බිහිකරන අධ්‍යාපන පද්ධතියක් සකස් වීම ඉතා වැදගත් වෙනවාමහාචාර්ය මයුර සමරකෝන් (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)

අපේ තිබෙන්නේ විෂය දැනුම පමණක් මූලික කරගත්, විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. මෙතැන බරපතළම ගැටලුව තිබෙන්නේ උසස් අධ්‍යාපනය ලබන දරුවන් සම්බන්ධයෙනුයි. සීමිත දරුවන් ප්‍රමාණයකටයි අද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබෙන්නේ. Manura samarakoon 2 (2)මේ නිසාම අද පවතින අධ්‍යාපන ක්‍රමයේ විශාල තරගකාරීත්වයක් දකින්න ලැබෙනවා. ඒ නිසා මෙතැන අපට දකින්න ලැබෙන්නේ අධ්‍යාපනය ලැබීමකට වඩා අධ්‍යාපනය සමග සටන් වදින තත්ත්වයක්. මේ අවාසනාවන්ත තත්ත්වය අද විශ්වවිද්‍යාල පද්ධතියත් ගිලගනිමින් පවතිනවා. 

ඒ වගේම ඉදිරි වසර කිහිපයට ඒ ඒ ක්‍ෂේත්‍ර සඳහා වෘත්තිකයන් කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද කියලාවත් අපේ රටට නිසි තක්සේරුවක් නැහැ. රට දියුණුවට පත් කරන්නේ කුමන ආකාරයක ආර්ථික ප්‍රතිපත්තියක් ඔස්සේද කියලා පැහැදිලි දැක්මක් දකින්න නැහැ. එහෙම වෙනවා නම් ඊට සාපේක්‍ෂව ශ්‍රම බළකාය හදන්නයි අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් විය යුත්තේ. ඒ නිසා මේ ගැටලුවේදී අධ්‍යාපන ප්‍රතිපත්ති පමණක් නොවෙයි සමාජ ප්‍රතිපත්තිත් නිසි ආකාරයෙන් වෙනස් කළ යුතුයි. මේ ඛේදවාචකයේ තිබෙන භයානකම සිදුවීම තමයි උපාධිධාරියෙකුට ලැබිය යුතු රැකියාව පිළිබඳ තීරණය කරන්නේ ඇතැම් විට නිසි අධ්‍යාපනයක් හෝ නොලබපු පළාතේ අදාළ මන්ත්‍රීවරයාගේ ලැයිස්තුව වීම.

මම දකින්නේ සමහර තනතුරු සඳහා උපධිධාරීන් සමග උසස් පෙළ සමතුන්ටත් තරග වැදීමට ඉඩකඩ ලබාදිය යුතුයි. මෙතැනදී තෝරාගත යුත්තේ උපාධි සහතිකය මත නොවෙයි, දක්‍ෂතාව මතයි. ඒ ආකාරයෙන් සහතික පත්‍ර ලාභීන් වෙනුවට දක්‍ෂයන් බිහිකරන අධ්‍යාපන පද්ධතියක් සකස් වීම ඉතා වැදගත් වෙනවා. අද තිබෙන පාසල් අධ්‍යාපනයෙන් පටන් ගත්තොත් මේ කුසලතා සහ දරුවන්ගේ නිර්මාණශීලීත්වය යටපත් කරනවා මිසක් මතුවීමක් සිදුනොවන තරම්. ඒ වගේම සමහර විෂය නිර්දේශයන් ගත්තොත් වැඩිහිටියන්ට පවා ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ඒවා නැවත දරුවන්ගේ පැත්තෙන් හිතලා සමාලෝචනයට ලක්කළ යුතුයි. ඒ තත්ත්වය හමුවේ ගුරුවරුත් විෂයය නිර්දේශවලට හිරවෙලා ඔවුන්ට තමන්ගේ සැබෑ වගකීම ඉටු කරන්න නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිපත්ති රටේ පාලනය වෙනස් වෙන වාරයක් පාසා වෙනස් නොවිය යුතුයි. නමුත් මේ රටේ ඒ තත්ත්වය තදින් දකින්න ලැබෙනවා.

මේ දේශපාලනය අධ්‍යාපනය අර්බුදයට ලක්කරලා තිබෙන්නේ, හිතන්න පුළුවන් මිනිසුන් බිහිවුණොත් වර්තමාන අශිෂ්ට, දූෂිත දේශපාලනය නැතිවී යන නිසයි ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි (සබරගමුව විශ්වවිද්‍යාලය)

sunilශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමය තවදුරටත් මේ ආකාරයෙන් පැවතුණොත් ශ්‍රී ලාංකික දරුවාට කුමක් සිදුවෙයිද, එබඳු දරුවෙකු සමාජගත වීම මගින් තිබෙන අර්බුදය කොතරම් දුරට තවත් ව්‍යසනයක් බවට පත්වනවාද කියන ප්‍රශ්නයට අද මුළු රටේම අවධානය යොමුවිය යුතුයි. මේ ප්‍රශ්නය ඇත්තටම නිරන්තරයෙන්ම නැගිය යුතු ප්‍රශ්නයක්. නමුත් මේ ප්‍රශ්නය නැගීම අමතක කිරීමත් මේ ක්‍රමයේම කොටසක්. දෙමවුපියන්ට, පාසල් ශිෂ්‍යයාගේ සිට පශ්චාත් උපාධි ශිෂ්‍යයාට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, විශ්වවිද්‍යාල පරිපාලනයට මේ ප්‍රශ්නය අමතක කරවලා තියෙනවා. කොටින්ම ශිෂ්‍ය අයිතිවාසිකම් පතා පාරට බැහැලා අරගල කරන්නන්ට පවා තමන්ගේ අරගලය ගමන් කළ යුතු සැබෑ දිශානතිය අමතක කරවා තිබෙනවා. ඒ වගේම අපි හොඳින්ම දන්නවා මේ ක්‍රමය ඇතුළේදී %පාසලේ තිබෙන ගැටලු දෙමවුපියන් මත පැටවෙන හැටි. පාසලේ යටිතල පහසුකම් දියුණු කිරීම, නඩත්තු කටයුතු, නව පහසුකම් ඇති කිරීම තනිව රජයට කරන්න බැහැ. ඒ සඳහා දෙමවුපියොත් මුදල් ගෙවිය යුතුයි^ කියලා බොරු මතයක් ඇති කරලා තියෙනවා. අධ්‍යාපනයට වෙන්කරන මුදල් සම්භාරය ඇතුළේ ඉහත ඒ කටයුතුවලට අවශ්‍ය මුදල් තිබෙන බව මේ පාලකයන් දෙමවුපියන්ට අමතක කරවා තියෙනවා. ඒ නිසා ඔවුන් මේ කාරණය පිළිබඳ හොඳින් සිතා බැලිය යුතුයි. අධ්‍යාපනය වෙනුවෙන් 06%ක් වෙන්කළ යුතුයි කියා අපි නිරන්තරයෙන් අවධාරණය කරන්නේ ඒ නිසයි.
මේ තිබෙන අධ්‍යාපන ක්‍රමය මේ ආකාරයෙන්ම දිගටම ක්‍රියාත්මක වුණොත් අපට පැහැදිලිවම නිර්මාණශීලී, පරාර්ථකාමී, අනෙකාගේ නිදහස තකන, තරගකාරීත්වයෙන් මිදුණු දරුවෙකු බිහිකර ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම නිර්මාණශීලීත්වය, නිදහස සහිත අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි කියලා අපි කොතෙකුත් අවධාරණය කළත් එසේ නිර්මාණශීලීත්වයකට පාර නොකැපෙන අධ්‍යාපන ක්‍රමයකුයි අප දෛනිකව අත්විඳිමින් සිටින්නේ. මෙතැනදී පැහැදිලිවම ඇඟිල්ල දිගුකළ යුතු ආයතන කිහිපයක් තිබෙනවා. ඒ තමයි ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන කොමිසම, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පිරිවෙන් හා ආගමික අංශ භාර අමාත්‍යාංශ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, වෘත්තීය පුහුණු කටයුතු සම්බන්ධ අමාත්‍යාංශය සහ අදාළ ආයතන. මේ සියල්ලම ජාතික අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්ති තීරණය කළ හැකි ආයතන වෙනවා. මා යෝජනා කරන්නේ මේ සියලු ආයතන එක් තැනකට ගෙනැවිත් අසීමිත ලෙස බලය පවරා මාස කිහිපයක් හෝ සාකච්ඡා කර ව්‍යසනයේ හානිය තවත් වැඩි වෙන්න කලින් මේ අධ්‍යාපන අර්බුදය විසඳිය යුතුයි. 

මේ ව්‍යසනය විශ්වවිද්‍යාල පද්ධතියටත් කොයිතරම් හානි කරලාද කියනවා නම් අද විශ්වවිද්‍යාලයක නාට්‍යයක්, සංවාදයක් පැවැත්වීමත් යම් ආකාරයක අභියෝගයක් වෙලා තිබෙනවා. ඉස්සර වගේ කවි පොතක්, නවකතාවක් හෝ කෙටි කතාවක්, නව නිර්මාණයක් දරුවන්ගේ අතින් බිහි වෙන්නේ නැහැ. ශිෂ්‍යයෝ කරන සඟරාවක් ශිෂ්‍යයෝවත් අරන් බලන්නේ නැහැ. මේ සෑම ව්‍යසනයක්ම සිදුකරලා තිබෙන්නේ මිනිස්සු නිර්මාණශීලී වනවාට අකමැති, මිනිස්සු අලුතින් හිතන්න පෙළඹෙනවාට අකමැති ධනේෂ්වර සමාජ ක්‍රමය විසිනුයි. මේ දේශපාලනනය අධ්‍යාපනය අර්බුදයට ලක්කරලා තිබෙන්නේ හිතන්න පුළුවන් මිනිසුන් බිහිවුණොත් වර්තමාන අශිෂ්ට, දූෂිත දේශපාලනය නැතිවී යන නිසයි.
මේ රටට අවශ්‍යයි සිතන්නට පුළුවන් මිනිස්සු හදන අධ්‍යාපන ක්‍රමයක්. අද තිබෙන පන්ති කාමරයට පමණක් සීමා වූ ක්‍රමයකින් එය කිසිම විදියකට කරන්න බැහැ. අපි අවධානය යොමුකළ යුතුයි. ආත්මාර්ථකාමී සහ තරගකාරීත්වයෙන් මිදුණු, සොබාදහම අගය කරන, ප්‍රකෘතිය අගය කරන, විභාග සමත් වීම පමණක් ඉලක්ක කර නොගත් පරමාදර්ශී අධ්‍යාපන ක්‍රමයකට. නමුත් එය සම්පූර්ණයෙන්ම එක රැයකින් ඇති කරන්න අපට හැකියාවක් නැහැ. මේ සඳහා අවංකව දායක වන බලවත් දේශපාලන නායකත්වයක් ලැබිය යුතුයි.

අපි දකින්නේ මේ අධ්‍යාපන ක්‍රමය අනාගත ව්‍යවසායකයන් බිහිකළ හැකි තත්ත්වයක් දක්වා දියුණු කළ යුතු බවයි ආචාර්ය රුක්මාල් වීරසිංහ  (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)

ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමවේද අතීතයේ තිබුණේ ලංකාවේ.  අද තත්ත්වය ගත්තොත් පෙර පාසලේ ඉඳලාම දරුවන්ව තරගයට විතරක් නොවෙයි මේ වෙද්දි විභාගවලට පවා හුරු කරවනවා. මේ විභාග ක්‍රමය ඉතාමත් අසාර්ථකයි. අපි දරුවන්ට දේශාභිමානය ඇතිවන rykmalකතාන්දර කියලා දීලා දේශාභිමානයක් ඇති කරන්න උත්සාහ කළාට එය ඉදිරියට ගෙනියන්න හෝ ඒ ඔස්සේ රටට යහපතක් කරන්න සිදුකළ යුත්තේ මොකක්ද කියන කාරණය සම්බන්ධයෙන් කියලා දීලා නැහැ. සෑම දෙමවුපියෙකුම තමන්ගේ දරුවාව වෛද්‍යවරයෙකු, ගණකාධිකාරිවරයෙකු, ඉංජිනේරුවෙකු වගේ සමාජයේ ඉහළයි කියලා සම්මත කරගත් වෘත්තියකට යොමු කරනවා මිසක රටට, සමාජයට වැඩක් ඇති පුද්ගලයෙකු හෝ රට අද පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් මුදවාගත හැකි අලුතින් හිතන හොඳ ව්‍යවසායකයෙකු කරන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. ඒක සමාජ වගකීමක් කියලා හිතන්නේ නැහැ. ඒ වගකීම ඉටු කරන්න අඩුම තරමේ දරුවාවවත් යොමු කරන්නේ නැහැ. මේවා තමයි පවතින අධ්‍යාපන ක්‍රමයේ ඇති අහිතකර තත්ත්ව. 

අපි දකින්නේ මේ අධ්‍යාපන ක්‍රමය අනාගත ව්‍යවසායකයන් බිහිකළ හැකි තත්ත්වයක් දක්වා දියුණු කළ යුතු බවයි. ඒ වගේම අවදානමක් දරන්න හැකියාව තිබෙන, ඕනෑම පරිසරයකට හැඩගැසෙන්න පුළුවන්, නිර්මාණශීලී පිරිසක් බිහි කරන්නත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි. එය දැනට යම් ප්‍රමාණයකට හෝ සිදුවෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මගින් පමණයි. නමුත් එය කිසිම ආකාරයකින් ප්‍රමාණවත් නැහැ. මොකද අවුරුදු ගණනාවක් එක ආකෘතියකට කොටුවෙලා සිතීමේ හැකියාව සහ නිර්මාණශීලීත්වය මොට වූ පිරිසක් නැවත නිවැරදි මාවතකට ගැනීම පහසු කාර්යයක් නොවන නිසා. මෙය මුලින්ම නිවසේ සිටම ආරම්භ විය යුතුයි. දරුවාගේ අධ්‍යාපනයේ මූලික අඩිතාලම සකස් කරලා හිතන්න දරුවාට පුරුදු කරන්නේ දෙමවුපියන් වන නිසා.

පාසල් අධ්‍යාපනයේ තිබෙන්නේ විෂය නිර්දේශයකට පමණක් රාමු වූ රස්සාවල් පමණක් හොයන පිරිසක් හදන, ටියුෂන් ටික පොහොසත් කරන, දේවාල පොහොසත් කරන ක්‍රමවේදයක්. විශ්වවිද්‍යාලය වෙනකම් මේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ රැකියා සෙවීමේ මානසිකත්වයෙන්. ඒ විදියට අධ්‍යාපනය ලබලා අවසානයේ උපාධියක් ලබාගන්න ළමයින්ට 'රස්සාවක් දියව්, දියව්' කියලා පාරට බහින්න වෙන එක පුදුමයක් නොවෙයි. මේක දේශපාලඥයන්ට හොඳ අවස්ථාවක් වෙනවා තමන්ගේ බලය තව තවත් වැඩි කරගන්න. දරුවෙකුගේ හැකියාව මනින්නේ මුහුණ දෙන විභාග ප්‍රමාණය අනුව. හැකියාවන් සහ කුසලතා එළියට නොගෙන සහතික පත්‍ර ලාභීන් විතරක් බිහිකරලා වැඩක් නැහැ. අඩුම තරමේ පෞද්ගලික පාසල්වත් මේ තත්ත්වය තේරුම් අරන් කටයුතු කරලා නැහැ. ඒ වගේම අධ්‍යාපනය මගින්ම මේ සමාජයේ රැකියා සම්බන්ධයෙන් පවතින ඉහළ හෝ පහළ කියලා හදාගෙන ඉන්න පුහු මතවාද ඉවත් කරන්න අවශ්‍යයි. වෙනත් රටවල් ගත්තොත් ඔවුන්ගේ අධ්‍යාපනය සහ පර්යේෂණ කටයුතුවලට විශාල මුදලක් වෙන් කරනවා. නමුත් අපේ රට දියුණුව කරා යන රටක් වෙලත් සමස්ත අධ්‍යාපනයටම වෙන් කරන්නේ 02%ක වගේ ප්‍රමාණයක්. එතැනදී පර්යේෂණවලට මුදල් නොලැබෙන තරම්. 

දේශපාලඥයා ජනතාවගේ සේවකයෙක් බව ඔප්පු කරන්න ජනතාව මෙවර ඡන්දය භාවිත කළ යුතුයි

සැබෑ දේශපාලනයක් අද මෙරට තිබේද, දේශපාලඥයා යනු කවුද, සැබෑ ‍දේශපාලනයක් මෙරට ඇති කිරීමට මූලිකත්වය ගත යුත්තේ කවුද, මෙවර පුංචි ඡන්දය හමුවේ ජනතාවට කොපමණ බලයක් තිබේද යන කාරණා සම්බන්ධයෙන් 
පාඨක ඔබේ අවධානය යොමුකර වීමට මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා මෙලෙස 'අද'ට සම්බන්ධ කර ගතිමු.


නියම දේශපාලඥයෙක් තෝරා ගැනීමට අපි බුද්ධිමත්ද කියන ප්‍රශ්නය ගැන කතා කරද්දි අපි මුලින්ම සැලකිල්ලට ගන්න ඕන දේ තමයි දේශපාලඥයා කියන්නේ කවුද කියන එක අපි අවබෝධ කරගෙන තිබෙනවාද කියන කාරණය. සරලවම පැහැදිලි කරනවා නම්, අපි වෘත්තියක් ගත්තොත් එහි ස්වභාවය, ඒ වෘත්තියට ඉටු කිරීමට ඇති කාර්යභාරය, එයින් සමාජයට සිදුවන්නේ කුමක්ද කියන කාරණා අපට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. නමුත් දේශපාලඥයා කියන වෘත්තිකයා ජනතාව තවමත් හඳුනා ගෙන නැහැ. ඒ නිසා ජනතාව දේශපාලඥයා කියන්නේ කවුද කියන කාරණය තේරුම් ගැනීම අවශ්‍යයි.  ඒ වගේම දේශපාලඥයා සිටින්නේ ජනතාවට වඩා ඉහළ තැනකද, පහළ තැනකද කියන දේත් කල්පනා කර බැලීම වැදගත්. 

ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයාගේ ඉඳලා ජනාධිපතිවරයා දක්වාම සෑම කෙනෙකුගේම පරම යුතුකම වෙන්නේ ජනතාවට සේවය කිරීමයි. ඒ සෑම කෙනෙකුම ඕනෑම අවස්ථාවක ජනතාවට වගකියන්න බැඳී සිටිය යුතුයි. මේ කාර්යභාරය සිදුකළ හැකි පුද්ගලයා තමයි අපි දේශපාලඥයෙකු කියලා හඳුන්වන්නේ. නමුත් අපට තිබෙන ගැටලුව තමයි මේ කාර්යභාරය ඉටුකළ හැකි එක දේශපාලඥයෙකුවත් දේශපාලන පක්‍ෂයක්වත් මේ රටේ පවතිනවාද කියන එක. ඒ කියන්නේ සැබෑ දේශපාලඥයෙකු අද රටේ නැහැ. කාලයක් අපට සිටියා එවැනි තමන්ගේ සම්පත් පවා ජනතාව වෙනුවෙන්ම කැප කරපු දේශපාලඥයන්. ඔවුන් සම්පූර්ණයෙන්ම නිරත වුණේ ගෞරවනීය දේශපාලනයක. ඒ නිසා අදටත් ජනතාව ඔවුන් පිළිබඳ ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිසා සැබෑ වෙනසක් විය යුත්තේ දේශපාලනය තුළ මිස පාලන තන්ත්‍රයක නොවෙයි. ඉතිං ඒ වගේ සැබෑ දේශපාලනය නැතිවී ගිය රටක් සහ සමාජයක් තියෙද්දි අපට බැහැ ජනතා නියෝජිතයන් බුද්ධිමත්ව තෝරා ගන්නා බැහැ කියලා කිසිම ආකාරයකින් ජනතාවට චෝදනා කරන්න.0111

රටේ අහිංසක දුප්පත් මිනිස්සු ටික සමහර වෙලාවට නොකා නොබී බදු ගෙවලා උගන්වලා උගත් බුද්ධිමත් පිරිසක් හදනවා, තමන්ට යන්න බැරි තැනකට ඒ පිරිස යවලා ඒ තැනට ගිහින් තමන්ව නියෝජනය කරන්න කියලා. රටේ ඒ විදියට බිහිවෙන උගත්, බුද්ධිමත් පිරිසගේ යුතුකම තමයි අදාළ ආයතනවලට ගිහින් ඒ යුතුකම ඉටු කරන්න කටයුතු කරන එක. නමුත් ඒ යුතුකම මේ උගත් පිරිස කරන්නේ නැහැ. ඔවුන් තමන්ගේ වගකීම පැහැර හැර තියෙනවා. මේ අහිංසක ජනතාවට කොයි තරම් වුවමනාවක් තිබුණත් ඔවුන්ට පුළුවන්කමක් නැහැ අදාළ ආයතනවලට ගිහින් තමන් වෙනුවෙන් හඬ නගන්න. ඒ තරමට අපේ මිනිස්සු අසරණයි. ඒ අසරණකම නිසයි ඔවුන් අපට උගන්වලා මේ තැන්වලට අපව ගෙනැල්ලා තියෙන්නෙ. අද තිබෙන කිසිදු දේශපාලන පක්‍ෂයකට තමන්ගේ පෞද්ගලික දියුණුවට මිසක් රටේ සහ ජනතාවගේ දියුණුව වෙනුවෙන් ප්‍රතිපත්ති තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. මිනිස්සු බලාගෙන ඉන්නවා ප්‍රතිපත්තිගරුක දේශපාලඥයෙකු තමන් වෙනුවෙන් කවදාහරි එයි කියලා. එතෙක් ඔවුන් කරන්න දෙයක් නැතිකමට ගිහින් කාටහරි කතිරේ ගහනවා.

අද අපේ රටේ දේශපාලනය හැදිලා තියෙන්නේ යැපුම් සංස්කෘතියක් එක්ක. ජනාධිපතිවරයාගේ ඇඟේ එල්ලිලා ඉන්නවා අගමැති, අගමැතිගේ ඇඟේ එල්ලිලා ඉන්නවා කැබිනට් එක, කැබිනට් එකේ එල්ලිලා ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික. මේ වගේ ලොකු පිරමීඩයක් හදාගෙන ඉන්න යැපුම් සංස්කෘතියක් තමයි ශ්‍රී ලංකාවේ තිබෙන්නේ. මේ රටේ කොයිතරම් ප්‍රතිපත්තිගරුක මිනිස්සු හිටියත් තමන්ගේ දරුපවුල කන්න නැතුව ඉන්නවා නම්, ඔවුන්ට සිදුවෙනවා තමන්ගේ රැකියාව හා ප්‍රතිපත්ති පාවාදීලා දූෂිත දේශපාලනයකට කඩේ යන්න. ඒ තරමට අපේ සමහර මිනිස්සු අසරණයි. ඒ නිසා අපි මුලින්ම කළ යුත්තේ මේ යැපුම් සංස්කෘතිය නැතිකරලා දාන්න සටන් කරන එකයි. නමුත් කිසිම කෙනෙක් ඒකට උත්සාහ කරන්නේ නැහැ. මේ සටනේ මුල්ම පියවර තියන්න පුළුවන් එළැඹෙන ඡන්දයේදී. නව කොට්ඨාස ඡන්ද ක්‍රමයේදී අපට පුළුවන් ජනතාවට ඍජුවම වගකියන, ඔවුන්ගේ හඬට අනිවාර්යයෙන්ම සවන් දිය යුතු වන දේශපාලඥයෙකු හදාගන්න. නමුත් කලින් පැවැති ඡන්ද ක්‍රමයේදී  එවැනි ජනතාවට වගකියන දේශපාලඥයෙක් නිර්මාණය වුණේ නැහැ. ඒ නිසා ඔවුන්ට තමන්ට ඕන ඕන විදියට කටයුතු කරන්න පුළුවන් වුණා. එක් ප්‍රදේශයකින් ඡන්දය නොලැබුණොත් අනෙක් ප්‍රදේශයේ ඡන්දවලින් යැපෙන්න ඔවුන්ට පුළුවන් වුණා. නමුත් මේ ඡන්ද ක්‍රමය ජනතාවට තමන්ගේ සැබෑ බලය පෙන්වන්න හොඳ අවස්ථාවක් වෙනවා. සමහර විට මෙවර ඡන්දයේදීත් ඒක කරන්න හැකියාව නොලැබෙන්න පුළුවන්. නමුත් ජනතාවගේ සැබෑ අවශ්‍යතාව හෝ පෙන්වන්න පුළුවන් අවස්ථාවක් බවට අපට මෙය පත්කර ගන්න පුළුවන්. ජනතාව දේශපාලඥයාව බලයට ගෙනැල්ලා ඔහුට හොරකම් කරන්න දීලා ඔහේ බලාගෙන ඉන්නවා නම්, ඔහු දිගටම එය සිදුකරාවි. නමුත් ජනතාව තමන්ගේ බලය පාවිච්චි කරලා කියනවා නම්, ඔබ කළ යුත්තේ මෙය, ඔබට හොරකම් කරන්න බැහැ, අපි ඔබ දිහා බලාගෙන ඉන්නවා කියලා ඔහුට අකැමැත්තෙන් හෝ ජනතාවට යටත් වෙන්න සිදුවෙනවා. ඒ නිසා තවදුරටත් ජනතාව දේශපාලඥයාගේ සේවකයෙකු විය යුතු නැහැ. දේශපාලඥයා ජනතාවගේ සේවකයෙකු විය යුතුයි. එය මෙවර ඡන්දයේදී ඔප්පු කිරීමට හැකි වේවි. ඒ නිසා ජනතාව මේ පිළිබඳ දැනුවත් වෙලා ඊට සූදානම් විය යුතුමයි. 

කොයිතරම් ආණ්ඩු පත්වුණත් රට තාමත් එකතැන කියලා ජනතාවට පේනවා. දේශපාලඥයන් අද බලයට එන්නේ තමන්ට හොඳක් කරගන්න විතරයි කියලා දැන් ඉන්න පෙරපාසල් දරුවෙකුට වුණත් තේරෙනවා. නමුත් ඊට විරුද්ධව විකල්ප අරගලයක් සිදු කරන්න පුළුවන් හැකියාවක් මේ අසරණ ජනතාවට නැහැ. නමුත් එසේ අසරණ නැති පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ තමයි බුද්ධිමත් උගත් පිරිස. ඒ අයත් තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් දේශපාලඥයන්ගේ ඇඟේ එල්ලෙනවා. අඩුම තරමේ තමන්ගේ දරුවා පාසලට ඇතුළත් කරගන්න හරි දේශපාලඥයාට නැවෙනවා. එහෙම වෙද්දි මේ රට හදන්න බැහැ. අපට මිනිස්සු උගන්වලා, කන්න දීලා මෙතැනට එවලා තියෙන්නේ ඒකට නොවන බව අපේ උගත් පිරිස තේරුම් ගන්න අවශ්‍යයි. නිදහස් මතධාරීන්, චින්තකයන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාව දැන්වත් ජනතාවගේ පැත්තේ ඉඳලා මේ වෙනස ඇති කරන්න ආරම්භය ගත යුතු වෙනවා. 

විශ්වවිද්‍යාල ඇතුළෙ ශිෂ්‍ය දේශපාලනය තව කෙනෙකුගේ දේශපාලන අරමුණකට අන්ධයෝ වගේ පාරට බහින්නේ නැතුව ඉස්සර වගේ ජනතාවගේ සැබෑ ගැටලු වෙනුවෙන් කතා කරන්න, අරගල කරන්න උත්සුක වීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. ඔවුන් තමයි නියම දේශපාලනයට යා යුත්තේ. එසේ නොවීම තමයි දේශපාලඥයන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් භාවිත කරන්නේ. 1988, 1989 කාලවලදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඇතිවුණු විපත්වලදී ඔවුන්ව බේරාගත්තේ ජනතාව විසින්. නමුත් අද වෙද්දි විශ්වවිද්‍යාල ප්‍රජාව කටයුතු කරන්නේ වෙනත් අයගේ න්‍යාය පත්‍රවලට නිසා ඔවුන් සමාජයෙන් කොන් කරනවා. ඒක විශාල අපරාධයක් වගේම දූෂිත දේශපාලනයට හොඳ උත්තේජනයක්. ඒ නිසා මම ජනතාවටත්, අපේ උගත් බුද්ධිමත් ප්‍රජාවටත් ආරාධනා කරනවා මේ කරුණු අවධානයට ගෙන මේ යන ක්‍රමය නිවැරදිද කියලා දෙවරක් සිතන ලෙස.