Author Archives: මිත්‍ර ජයවර්ධන

කළු ගඟ අවට පානීය ජල ගැටළුවක්

වාද්දුව, කළුතර, බේරුවල සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව‍ට ලැබෙන නල ජලයට කරදිය මිශ්‍රව ඇති බැවින් ජලය පානය කිරීමෙන් වළකින ලෙස දන්වා සිටියි.

පවතින වියළි කාලගුණයත් සමග කළු ගඟට මුහුදු ජලය එක්වීම මෙම තත්ත්වයට හේතුව බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

මෙම ජලය පානයට පමණක් නුසුදුසු අතර අනෙකුත් කටයුතු වෙනුවෙන් භාවිතයේ බාධාවක් නොමැති බවද දන්වා සිටින අතර පොදු ජනතාවගේ භාවිතයට පුරවන ලද ජල ටැංකි එක්කර, මිරිදියෙන් ලවණ සහිත මුහුදු ජලය ඉවත් කිරීමේ කටුයුතුද කඩිනමින් ඉටු කෙරෙනු ඇත.

අද පොලිස්පති අණින් කළ මෙහෙයුමෙන් 2564ක් අත්අඩංගුවට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අද (24දා) දින අළුයම 02 සිට උදෑසන 06 දක්වා වූ පැය හතරක කාලයක් පුරා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් සිදු කරන ලදී.

මෙම මෙහෙයුම වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිළධාරීන් 16,256ක් සහභාගි විය.

මෙම විශේෂ මෙහෙයුමෙන් බීමත්ව රිය පදවා අත්අඩංගුවට ගැනීම් 504ක්, වරෙන්තුකරුවන් අත්අඩංංගුවට ගැනීම් 720ක්, විවිධ අපරාධයන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීම් 741ක්, හෙරොයින්, වෙනත් මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී මධ්‍යසාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 71 සහ බලපත්‍ර නොමැති තුවක්කු සමග අත්අඩංගුවට ගැනීම් 04ක් සිදු කර ඇත.

මේ අනුව මුළු අත්අඩංගුවට ගැනීම් 2564ක් සිදු කර ඇත. මීට අමතරව රථ වාහන නඩු 4735ක් ලබාගෙන ඇත.

මෙම හදිසි මෙහෙයුම අපරාධ වැළැක්වීම මෙන්ම රිය අනතුරු අවම කිරීමේද අධිටනින් පොලිස්පති උපදෙස් මත සිදුකෙරිනි. මෙවැනි මෙහෙයුම් නිරන්තරයෙන්ම දිවයින පුරාම සිදු කිරීමටද නියමිතය.

 

පුටු වැඩි කරන තුරු CMC රැස්වීම් BMICH වෙත?

මින් පෙර 55ක් ව පැවති කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව නව මැතිවරණ ක්‍රමයත් සමග 119 දක්වා ඉහළ ගොස් තිබීම නිසා රැස්වීම් පැවැත්වීමේ ගැටළුවක් පැණ නැගී තිබේ.

ඒ අනුව කොළඹ මහ නගර ශාලාවේ රැස්වීම් ශාලාව අලුත්වැඩියා කරන තුරු පැවැත්විය යුතු රැස්වීම් වෙනත් ස්ථානයක පැවැත්වීමේ තීරණයක් ගෙන ඇත. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලව හෝ වෙනත් සුදුසු ස්ථානයක් ඒ වෙනුවෙන් තෝරාගනු ඇත.

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක වාහන ගමනාගමනයේ සීමා

පාපැදි ධාවන, මාර්ග ධාවන සහ පිහිණුම් ලෙස තුන් ඉරියව් ජාත්‍යන්තර තරගයක් පැවැත්වීම හේතුවෙන් හෙට ‍(25දා) දින කොළඹ කොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ වැල්ලවත්ත යන ප්‍රදේශයන්හී මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

මෙම තරග සංවිධායකයින් මේ වෙනුවෙන් නිසි අවසරය ගෙන ඇති අතර, 25 වැනිදා උදෑසන 5 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ කොටුව චෛත්‍ය පාර, ගාලුමුවදොර මැද පාර, ගාලු පාරේ කොල්ලුපිටිය මංසන්ධිය දක්වාත්, කොල්ලුපිටිය දුම්රියපොල සහ මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත දක්වාත් මාර්ගවල වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවනු ඇත.

මේ නිසා මාර්ග තදබදය අවම කරගැනීමට හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය අවධාරණය කර සිටියි.

 

Twenty20 නැතුව ක්‍රිකට්වලට පැවැත්මක් නෑ – ගංගුලි

විස්සයි20 තරගවලින් තොරව ක්‍රිකට් ක්‍රීඩාවට පැවැත්මක් නොමැති බව ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සවුරවු ගංගුලි මාධ්‍ය හමුවකදී පවසා ඇත.

මාධයවේදීන් අසන ලද පැණයකට පිළිතුරු දෙමින් ගංගුලි මේ බව පවසා ඇත්තේ මේ හරහා බොහෝ නවක ක්‍රීඩකයන්ට රටට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන බවයි. 

නිදහස් කුසලානයේ ඉන්දීය නායකයා රෝහිත්?

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගීත්වයෙන් එළැඹෙන මාර්තු මස 6දා ඇරඹීමට නියමිත තුන්කොන් එක්දින නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම් නායකත්වයට රෝහිත් ෂර්මා පත් කර ඇත.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම විවේක ගැන්වීමට ඉන්දියාව අදහස් කර සිටින අතර, ඒ අතර නායක වි‍රාත් කෝලිද සිටින බවත් මේ හේතුව නිසා රෝහිත් ෂර්මා මෙම තරගාවලියේ නායකයා වනු ඇති බවත් ආරංචි මාර්ග පවසයි. 

මෙම තරගාවලියට මයන්ක් අගර්වාල් ඇතුළුව නවක ක්‍රීඩකයින් සිවු දෙනෙකු ක්‍රීඩා කරවීඹට නියමිතව ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් ජාලය පැවසුවද, තවමත් මෙම වාර්තා සත්‍යදැයි අනාවරණය වී නැත.

රෝහිත් ෂර්මා මින් පෙරද ශ්‍රී ලංකාවේදී ඉන්දියාව මෙහෙයවා ඇත.

ඇලෝසියස් සහ පලිසේන බන්ධනාගාර රෝහලට

පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂක කසුන් පලිසේන යන මහත්වරුන් බන්ධනාගාරයේ ඊ‍ කොටසේ වූ විශේෂ සිර කුටියේ සිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ වග බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියි.

අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

කණ්ඩායම් 23ක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් සමාජ විස්සයි20 තරගාවලිය අද ඇරඹෙයි. එහි අවසන් තරගය එළැඹෙන මාර්තු 7 වැනිදා පැවැත්වීමට නියමිතය.

ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිවුස් ඇතුළුව දැනට ජාතික කණ්ඩායමට ක්‍රීඩාකරන සියළු ක්‍රීඩකයින් පාහේ මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.

තර්ස්ටන් සහ ඉසිපතනයෙන්, මහා ක්‍රිකට් තරග සමය අරඹයි

වසරේ අන්තර් පාසල් මහා ක්‍රිකට් තරග සමය අරඹමින් අද(24) කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර පනස්පස් වැනි සහෝදර සංග්‍රාමය  මේ වන විට කොළඹ සිංහල ක්‍රීඩා සමාජ(SSC) පිටියේදී පැවැත්වෙයි.

තමිල්නාඩු ශ්‍රී ලංකා මත්කුඩු ප්‍රවාහනය ධීවරයන් හරහා

තමිල්නාඩු ශ්‍රී ලංකා මත්කුඩු ප්‍රවාහනය ධීවරයන් හරහා සිදුවන බව මත්ද්‍රව්‍ය වැටලීම් වෙනුවෙන් සම්බන්ධ අංශ පවසා ඇතැයි ඉන්දියාවේ ‘වන්ඉන්ඩියා’ වෙබ් අඩවිය පෙන්වාදෙයි.

තමිල්නාඩුව බොහෝ කාලයක සිට ජාවාරම්කාර ක්‍රියා වෙනුවෙන් ප්‍රසිද්ධ මධ්‍යස්ථානයක් විය. ශ්‍රී ලංකාවේ රුදුරු කොටි ත්‍රස්ථවාදය නිමවී කලක් ගතවීමත් සමග මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීමක්, අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන දිනයක් නැති තරමට මත්ද්‍රව්‍ය ජාවාරම ඉහළ ගියේය.

ශ්‍රී ලංකාව තුළ හෙරොයින් වෙනුවෙන් දැඩි ඉල්ලුමක් තිබීම සහ සවිවර මුහුදු සීමා තිබීම නිසා මෙම තත්ත්වය වඩා ඉහළ ගියේය. තොටුපොළවල් දෙකෙහි කිට්ටුවන්ත භාවයද මෙම තත්ත්වයට වඩා උරදී තිබේ.

ත්‍රස්තවාදය පැවැති සමයේ මෙම මත්කුඩු රැගෙන ඒම සරණාගතයන් අතින් සිදු විය. මේ වනවිට එය ධීවරයන් හරහා සිදු වෙන බව ඉන්දීය මාධ්‍ය දක්වයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධීවරයන් හය දෙනෙකුගන් යුත් බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී කිලෝග්‍රෑම් 13.5ක හෙරොයින් තොගයක් හසුවීමත් සමග මොවුන් නිරන්තරයෙන් ධීවරයන් ලෙස දෙරට අතර ගමන් කර ඇති බව සොයා ගෙන ඇත.

මේ පිළිබඳව කටුයුතු කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙයට ධීවරයන් යොදාගෙන මුහුද මැදදී හෝ තොටුපොළකදී මත්ද්‍රව්‍ය හුවමාරු කරගැනීම පිළිබඳ දැඩි විශ්වාසයක් තබා ඇත.

එසේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර සියයකටත් අධික කාලයක් තිස්සේ මත්කුඩු ජාවාරම පැවැති අතර කොටි ත්‍රස්තවාදීන්ද එය මුදල් සෙවීමේ එක් ක්‍රමවේදයක් කරගෙන තිබිණි.

මෙම කටයුත්තේ යෙදෙන ධීවරයන්ට මෙම ජාවාරම්කරුවන් ගෙවන සිත්ගන්නාසුලු මුදල් නිසා ජීවිතාවදානමද නොසලකා මොවුන් මෙම කටයුත්තේ නියැළෙන බවද පැවසේ.

එෆිඩ්‍රයින් LSD, හෙරොයින්, කොකේන්, ගංජා, සූඩෝඑෆිඩ්‍රයින් සහ කෙටමයින් යන මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයන්ගෙන් අත්අඩංගුවට ගැනීම පසුගිය කාලය පුරාවටම සිදුවී ඇත.

fisherman-08-1488955725