Author Archives: මාලන් විදානපතිරණ

රහතන් වහන්සේ කෙනෙක්ගේ අම්මා කෙනෙක් වීම කොයිතරම් උතුම්ද කියලා අම්මට වැටහුණා

මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්දැයි කිව හැක්කේ ඔබටම පමණි. මන්ද එයට සත්‍යම පිළිතුර ඇත්තේ ඔබ ළඟ මිස වෙන කිසිවෙකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සා‍පේක්‍ෂ වන බැවින් එක් අයෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටට හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්‍ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි. එනම් එය නිරපේක්‍ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එදා අප සිදුහත් බෝසතාණෝ කුමාර අවධියේ සිටම ජීවිතයේ සැප සහ සතුට උපරිම ආස්වාද ලෙස අත්විඳිමින් සිටි මනුෂ්‍යයෙකු බව පැහැදිලි කරුණකි. කාම ලෝකයේ උපරිම ආස්වාදයක් විඳිමින් එදවස එම සතු‍ෙටහි අවසානය මරණයකින් කෙළවර වන බවත්, අතරමැද ජීවිතයේ ඇති අවිනිශ්චිතතාවත්, රෝග පීඩාදියෙන් පෙළීමත්, දිනෙන් දින ශරීරය මහලු වන බවත් පැහැදිලිව පෙනෙන්නට ගත් මෙම විසිනව හැවිරිදි කඩවසම් තරුණයාට එය එසේ නම්, තමන් සතුට යැයි මේ මොහොතේ අත්විඳින දෑ තාවකාලික දෙයක්ම පමණක් වන බවත් අවබෝධ විය.

එමෙන්ම තමන් සොයා ගත යුත්තේ මෙම තාවකාලික, සාපේක්‍ෂ සතුට නොව, සදාකාලික සතුටක් යැයි සිතා සමස්ත තුන්ලෝක සත්ත්වයන්ගේම යහපත පිණිස සියල්ල අතහැර, එම සතුට සොයාගිය අප මහා බෝසතාණෝ, එම උත්තරීතර බුද්ධත්වය සමග නිර්වාණය නමැති එම නිරපේක්‍ෂ සතුට ළඟාකර ගත හැකි දහම ලෝකයට දේශනා කළහ. එදා බුද්ධකාලීන සමාජයේ සිටි සුපින්වත් බුද්ධ ශ්‍රාවකයන් එම දහම් සාගරයේ කිමිදෙමින් උතුම් වූ නිර්වාණය සාක්‍ෂාත් කර ගත්තේ තවත් අතිවිශාල පිරිසකට අනෙකුත් මාර්ගඵල සාක්‍ෂාත් කර දෙමින් ජීවිතයේ නිරපේක්‍ෂ සතුටද ළඟා කරවමිනි. එය එසේ නම් සැබැවින්ම බෞද්ධයන් වන අප මේ මොහොතේ උත්සාහ කරන්නේ තවත් සා‍පේක්‍ෂ සතුටක් අපේ ජීවිතයට ළං කර ගැනීමටද? නැතහොත් අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන් එම නිරපේක්‍ෂ සතුට ළඟා කර ගැනීමටද? සෑම බදාදාවකම ඔබ වෙත ගෙන එන මෙම මනුෂ්‍ය චරිත අවංකවම තම ජීවිතයේ සියලු සතුට අතහැර බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් වූ නිර්වාණය නමැති නිරපේක්ෂ සතුට වෙනුවෙන් අවබෝධයෙන් වීර්ය වඩන උතුමන්ය. මෙවරද අප ගෙන එනු ලබන්නේ එවන් වූ තවත් පුද්ගල චරිතයක වගතුගයි.


SARA-HIMI-02-

?උසස්පෙළ විභාගයට සූදානම් වෙමින්  සිටින අතරතුරයි ඔබවහන්සේට  සද්ධර්මය හමුවෙන්නේ?

මම උසස්පෙළට තාක්ෂණවේදය හදාරපු කෙනෙක්. තාක්ෂණවේදය සඳහා විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණය සහ ජනමාධ්‍ය තමයි මගේ විෂය පථය වුණේ. ඒ අතරෙදි මට තාත්තගෙන් සද්ධර්මය පිළිබඳ සංයුක්ත තැටියක් ලැබෙනවා. මම ඒ බණ ඇහුවා. මොකද මම පාඩම් කරද්දි නිතරම තාත්තා ඒ බණ ගෙදර දාලා තිබුණා. උසස්පෙළ විභාගයෙන් පස්සේ මම ඒ බණ තනියෙන්ම අහන්න පටන් ගත්තා. එතකොටයි මට පැවිදි ජීවිතයේ පවතින පරම සතුට අවබෝධ වුණේ. ඒ අනුවයි මම පැවිදි ජීවිතයට එළඹෙන්නේ.Capture

?ඔබවහන්සේ තදින් වීඩියෝ ක්‍රීඩාවේ යෙදුණු කෙනෙක්?

ඔව්. යාළුවෝ එක්ක එකතුවෙලා IGI, Clash of clans, San Andreas ආදී වීඩියෝ ක්‍රීඩා ගණනාවකට ඇබ්බැහි වෙලා හිටියේ. අනික ඒ කාලේ අපේ ගෙදර නිතර යාළුවෝ ආව ගියා. ගමේ හැමතැනම නියං තත්ත්වයක් තිබුණා. ඒත් අපේ ළිඳේ විතරයි වතුර තිබුණේ. ඒ නිසා නිතරම යාළුවෝ අපේ ගෙදර ආවා. හැබැයි එකම ගමේ හිටපු එකම යාළුවෝ වුණු අපි වීඩියෝ ක්‍රීඩාවේදී පිල් බෙදුණා. පෙනි පෙනී වෙඩි තියා ගත්තා. තමන්ගේ කණ්ඩායමට එන්න කියල මට ඔවුන් බල කළා. නායකත්වයට එන්න උත්සාහ කළා. නායකත්වයට පොර කෑවා. මමත් ඉතින් ඒ හින්දම දුරකථන ක්‍රීඩාවලට වගේම පරිගණක ක්‍රීඩාවලටත් ඇබ්බැහි වෙලා හිටියා. ගේම් සීඩී ඉල්ලගෙන පවා ඇවිත් ක්‍රීඩා කළා. හැබැයි ධර්මය ශ්‍රවනය කළාට පස්සේ මමත් මේවට ඇලිලා නේද කියලා මට අවබෝධ වුණා. සමහරු ඒ ක්‍රීඩාවල යෙදෙමින් ප්‍රතිවාදියාට වෙඩි තියලා විකෘති සතුටක් ලබනවා නේද කියලා මට තේරුණා. මොකද ඔවුන් දන්නවා සැබෑ ජීවිතේදී ඒ ආකාරයෙන් අනෙකාව මරන්න බැහැ කියලා. ඒ නිසා වීඩියෝ ක්‍රීඩාවලින් ඒක කරවගෙන විකෘති වින්දනයක් ලබන්න උත්සාහ කරන බව මම දැක්කා. නිකරුණේ විදුලිය සහ ඩේටා කාඩ් නාස්ති කරන හැටිත් මම දැක්කා. ඒක මට අවබෝධ වුණා. ඔවුන් විශාල පෙළීමකින් ජීවත්වෙනවා නේද කියලා වැටහුණා. ඉන්පස්සේ තමයි ජංගම දුරකථනයයි, පරිගණක ක්‍රීඩායි ඔක්කොම අල්ලපු ගෙදර යාළුවට දීලා පැවිද්දට එළඹුණේ. 

?පැවිදි නොවුණා නම් අද  ඔබවහන්සේ කොතැනද?

මම පන්තියේ දෙවැනියා. බාහිර වැඩත් හැම එකක්ම වගේ කළා. සාමාන්‍ය පෙළත් ඉහළින්ම සමත් වුණා. මම නාවික හමුදාවට යන්නයි හිතාගෙන හිටියේ. මොකද ඒක ජීවිතයට ලැබෙන විශාල අභිමානයක්. මම ඒ කාලේ එහෙමයි හිතුවේ. ඉස්කෝලෙදිත් ශිෂ්‍යභට කණ්ඩායමේ හිටියා. ඒ වෙනුවෙන් තමයි කැප වුණෙත්. අපට අපේ පාසලින් බිහිවුණු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහත්මයාගේ ආදර්ශවත් බලපෑමත් ඊට රුකුලක් වුණා. ඒ අනුව මට පහුගිය අවුරුද්දේදී ශිෂ්‍යභට අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණයක් පවා ලැබුණා.

?ඒ කියන්නේ එවැනි සිසුවෙක් සමාජයට අහිමි වීම සමාජයීය වශයෙන් විශාල අඩුවක් නේද?

ඒ තැනට තව තව අය ඒවි. අනික ඒකෙන් කරන්නේ තාවකාලික සුඛ විහරණයක් සකස් කරන එක විතරයි. ඒ නිසා එවැනි කෙනෙක් මෙවැන්නකට යොමු වන අවස්ථා හුඟක් අඩුයි. අනික දැන් මම කරන්නේ තව ජීවිත දහස් ගණනාවක් සංසාරෙන් එතෙර කළ හැකි වැඩපිළිවෙළකට පදනම සකස් කරගන්න එක. ඒ නිසා එවැනි පාඩුවක් සමාජයට ඇතිවෙන්නේ නැහැ.

?පැවිදි වෙන්න තීරණය කරද්දී ඇතිවුණු  බලපෑම කොයි වගේද?

අම්මා නම් මුලින් කැමති වුණේ නැහැ. ඒත් ධර්ම ශ්‍රවණය කළාට පස්සේ අම්මත් තේරුම් ගත්තා මං ගත්තු තීරණේ නිවැරදියි කියලා. ඉංජිනේරුවරයෙක් වෙනවාට වඩා රහතන් වහන්සේ කෙනෙක්ගේ අම්මා කෙනෙක් වීම කොයිතරම් උතුම්ද කියලා අම්මට වැටහුණා. තාත්තා නම් පොඩ්ඩක්වත් අකමැති වුණේ නැහැ. මොකද තාත්තා පන්සල සමග නිතර සම්බන්ධතා පවත්වපු ප්‍රභූ මට්ටමේ පුද්ගලයෙක්. ඒ නිසා තාත්තාට මගේ තීරණේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබුණා. ඒත් නංගිටයි, මල්ලිටයි නම් මුලදි ටිකක් දුක හිතුණා.ඒත් ඔවුනුත් දැන් ධර්ම ශ්‍රවණය කරනවා. මම හිතන්නේ මල්ලිත් ළඟදීම පැවිදි වෙයි. හැබැයි යාළුවෝ ඇහුවේ මොකක්හරි ප්‍රශ්නයක් වෙලා හින්දද පැවිදි වෙන්නේ කියලයි. මම කිව්වා භව රෝගය තමයි මට තියෙන ප්‍රශ්නෙ කියලා. ඔවුන් ඒක තේරුම් ගත්තා. සමහරු දැන් පැවිදි වෙන්නත් නැඹුරුවෙලා ඉන්නවා.

?ඒත් යහපත් පවුල් ජීවිතයක් ගත කරමින් ධාර්මික ඉංජිනේරුවරයෙක් වෙන්න ඔබවහන්සේට අවස්ථාවක් තිබුණා?

මම ඒ ආකාරයෙනුත් කල්පනා කළා. ඒත් නිර්වාණය සඳහා යොමු වීමේදී ගිහි වතට වඩා පැවිදි වත වඩා පහසුයි කියලා මට අවබෝධ වුණා. මගේ ගමන යන්න ලේසියි කියලා තේරුම් ගියා. අනික නැවත නැවත ඉපදීම නවත්වන වැඩපිළිවෙළ තියෙන්නේ මෙතැන. ඒ නිසා මරණයෙන් පසු සතර අපායේ නොවැටීමේ වැඩපිළිවෙළ සොයා එන්න මටත් වුවමනා වුණා. මොකද මම කැමති නැහැ ආයෙත් තිරිසනෙක් වෙන්න. ප්‍රේතයෙක් වෙන්න. ඒ නිසා ජීවිතයේ පවතින අසාරත්වය අවබෝධ කරගන්න ලැබුණු වාසනාවන්ත මනුෂ්‍ය භවයෙන් උපරිම ප්‍රයෝජන ගන්නයි මට ඕන කළේ.

SARA-HIMI-01-

?තාක්ෂණවේදය හැදෑරීම කොහොමද සද්ධර්මය අවබෝධ කරගන්න බලපෑවේ?

හුඟක් උපකාරී වුණා. විශේෂයෙන්ම සද්ධර්මය කෙරෙහි යොමු වීමට බලපෑවෙත් තාක්ෂණවේදයම තමයි. යමක් දිහා විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශනය කිරීමට ලද පුහුණුව එතැනදි මට සද්ධර්මය අවබෝධ කරගන්න හුඟක් උපකාරී වුණා. එහෙම නැතුව පද පමණක් දැනගත් පලියට, වනපොත් කරපු පලියට නිවන් දකින්න බැහැ. ජීවන අත්දැකීම් සමග සසඳලා, ගළපා ගැනීමට ලද පුහුණුව තමයි අද මාව මෙතැනට ගෙනැල්ලා තියෙන්නේ. ඒකයි ඒ විෂය මට වැදගත් වෙන්නේ. ඒ තර්කන ශක්තිය තමයි අද මාව සාර්ථක කරල තියෙන්නේ.

?ආදරය ගැන මොකද හිතෙන්නේ?

ඒක මායාවක්. මුළාවක්. බොරුවට අන්ධ වෙලා ඒ පස්සෙන් යන ස්වභාවයක් තමයි එහි පවතින්නේ. සමහරු මැරෙන්න වුණත් ලෑස්තියි. ඒත් ධර්මය අවබෝධ කරගත්තා නම් ඒ මුළාවෙන් අපට ගැලවෙන්න පුළුවන්. එහෙම බැලුවම වත්මන් තරුණ තරුණියන්ට නියම දහම හමුවෙලා නැහැ කියලයි මට හිතෙන්නේ. ඒ නිසා තමයි පන්සල්වල පවා තරුණ නියෝජනය අඩු. ඔවුන්ටම තමයි මේ ධර්මය අවබෝධ කරගන්නත් පහසු.

?ආදරය තුළ වුණත් සතුට පවතින්න  පුළුවන් නේද?

තියෙනවා. ඒක තාවකාලිකයි. අනික ඒක අත්කර ගන්න වෙලා තියෙන්නේ පෙළීමකින් නිදහස් වෙන්න. ඒ නිසා ඒකෙන්ම තේරෙනවා එතැන සැබෑ සතුටක් නැහැ කියලා. මොකද පෙළෙනවා නම් කොහොමද එතන සතුටක් තියෙන්නේ.

?කවුද සැබෑ බෞද්ධයා කියන්නේ?

බෞද්ධ කියන්නේ භවය උදුරා දමන වැඩපිළිවෙළට පත්වුණු කෙනාට. ඒ කියන්නේ භවය ඉවත් කරගන්න උත්සාහ කරන අයට. ඒ සඳහා වෙහෙසෙන අයටයි සැබෑ බෞද්ධයා කියන්නේ. උපතින් බෞද්ධ වෙලා අනෙක් ජාතීන්ට තාඩන පීඩන කරන කෙනාට නෙමෙයි සැබෑ බෞද්ධයා කියන්නේ. අනික සැබෑ ධර්මය අවබෝධ කරගත්තු බෞද්ධයා ගැටුම්වලට පෙළඹෙන්නේ නැහැ. ඔවුන්ව සලකන්න වෙන්නේ නාමික බෞද්ධයන් විදිහට. අනික එවැනි අය ජීවත් වෙන්නේ පෙළීමකින්. ඒ නිසා එවැනි අයට නිරපේක්ෂ සතුට ළඟා කර ගන්න බැහැ. මොකද ඔවුන් දන්නෙ නැහැ අතහැරෙද්දි දැනෙන සතුට.

?වැරදිවලට පෙළඹී සිටි පුද්ගලයන්ට  මේ පැවිද්ද උරුම නැද්ද?

එහෙම ගැටලුවක් නැහැ. කලින් ජීවත් වුණු ආකාරය අදාළ නැහැ. තමන් කළ වැරදි අවබෝධ කරගෙන, එයින් අත්මිදිලා මේ ධර්මය අවබෝධ කරගන්න ඔවුන්ට පුළුවන්. ඒකට කාගෙන්වත් බාධාවක් නැහැ. අනික ඔවුන්ට තමයි මේ මනුෂ්‍ය ජීවිතේ හොඳටම අවබෝධ වෙන්නේ. ඔවුන් දන්නවා ඔවුන් මීට පෙර ගත කළ ජීවිතේ මොකක්ද කියලා. ඔවුන් දන්නවා ඒ ජීවිතේ කොයිතරම් අසාරද කියලා. ඔවුන් ලබාගත්තු සතුට කොයිතරම් අසාරද කියල වැටහෙන්නෙත් ඔවුන් වගේ අයට. ඒ නිසා පාරිශුද්ධ ජීවිතයම ගත කරපු අයට විතරයි පැවිද්ද උරුම වෙන්නේ කියල එකක් නැහැ. අනික රහත් උත්තමයෝ හැරුණුකොට කාටවත් පාරිශුද්ධ ජීවිත නැහැ. ඒ වගේම සිංහල බෞද්ධ පිරිස් පමණක් පැවිද්දට ආ යුතුයි කියල නියමයකුත් නැහැ. මොකද මේක දර්ශනයක්. ඒ නිසා වෙනත් ආගම්වල පිරිස් තථාගතයන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත් පසු ශාසන ප්‍රතිපදාවට අනුකූලව පැවිදි වූ අවස්ථාත් ඕනෑ තරම් දකින්න ලැබෙනවා. 

?ගිහි ජීවිතේ අරමුණු සහ පැවිදි ජීවිතේ අරමුණු වෙනස් වෙන්නේ කොතැනින්ද?

ගිහි ජීවිතේදී බොහෝ තරුණ පිරිස් ප්‍රමුඛත්වය දෙන්නේ කාය බලයට, වර්ධනයට සහ සුඛයට. ඒත් එයින් අවසානයේදී උරුම වෙන්නේ මහා පෙළීමක්. ඒක මට අවබෝධ වෙලයි තියෙන්නේ. පැවිදි ජීවිතේදී අපි ප්‍රමුඛත්වය දෙන්නේ මානසික බලයට සහ වර්ධනයට. ඒ නිසා තමයි අපට සදාතනික සැපයක්, සුඛයක් අවසානයේදී උරුම වෙන්නේ.

?ගත්තු තීරණේ සම්බන්ධයෙන් දැන්  මොකද හිතෙන්නේ?

ඉතා නිවැරදි තීරණයක් ගත්තා කියලයි දැන් මට හිතෙන්නේ. ජීවිතේ ගත්තු හොඳම තීරණේ මේක කියල දැන් මට වැටහෙනවා. ඒ හින්දා මේ ඝෝර සංසාරෙන් අනික් අයවත් එතෙර කරගන්නයි මගේ උත්සාහය. දැනටත් මම එක්ක හිටපු පිරිස දහමට යොමු කරවා ගැනීමට මට හැකිවෙලා තියෙනවා. හොඳම උදාහරණය තමයි දැනටමත් අපේ ගමේ හතර පස්දෙනෙක්ම පැවිදි වීමට යොමුවෙලා සිටීම.

?ඒත් ගෝලීය සමාජයක් ඇතුළේ මෙවැනි ජීවිතයක් අත්පත් කර ගැනීමෙන් සිදුවෙන්නේ හුදෙකලා වීමක් නේද?

නැහැ. ඔබ අදහස් කරන විදියේ හුදෙකලා වීමක් මෙතැන නැහැ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හුදෙකලා වීමක් විතරයි මෙතැන තියෙන්නේ. අනික අපි තාක්ෂණය භාවිත කරනවා. නොකරනවාම නෙමෙයි. හැබැයි අපට ගැළපෙන දේ පමණයි අපි ලබා ගන්නේ. මොකද අද කාලේ රහතන් වහන්සේ කෙනෙක් බිහිවුණත් ජංගම දුරකථනයක්වත් භාවිත නොකර ඉඳීවි කියලා විශ්වාස කරන්න අමාරුයි. මොකද ඒක සන්නිවේදන කටයුතු සඳහා අවශ්‍යයි. අවශ්‍ය කාරණාවකට අවශ්‍ය දේ පාවිච්චි කරන එකේ වැරැද්දක් නැහැ. අනවශ්‍ය කාරණාවලට අනවශ්‍ය  දේ පාවිච්චි කරන එකයි ගැටලුව. නිවැරදි ධර්ම  කරුණු ගවේෂණය කිරීම සඳහා තාක්ෂණය උදව් වෙනවා. හැබැයි වෙනස තමයි අපි ඒවා තදින් අල්ලගන්නේ නැහැ. අවශ්‍යතාව ඉටුකර ගන්නවා පමණයි. අනික එහෙම අල්ල ගන්නවා කියන්නේ තණ්හාවක් ඇතිවෙනවා කියන එකයි. එතකොට ඇතිවෙන්නේ දුකක්.

?අතීත මතකයන් ආපහු හිතට එද්දි කොහොමද ඔබවහන්සේ මේ මොහොත සුවපත් කරගන්නේ?

අතීත මතකයන් සිහියට දුකක් ගෙන එන අවස්ථා තියෙනවා. ඒත් එතකොට ඒ ගත කළ ජීවිතේ ගැන මෙනෙහි කරනවා. එදා මම ගත කළ ජීවිතේ මම සොයපු සතුට තියෙනවද කියල විමර්ශනය කරනවා. එතකොට ඒ කාලේ විශාල පෙළීමකින් ජීවත් වුණා නේද කියලා මට අවබෝධ වෙනවා. සදාකාලික සතුටක් සොයාගන්නා වැඩපිළිවෙළට මම ඇවිත් නේද කියල එතකොට මට ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට මේ නිරපේක්ෂ සතුට මට ලබාදුන් සද්ධර්මය ගැන පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. ඒ සද්ධර්මය දේශනා කර වදාළ භාග්‍යවතුන් වහන්සේ ගැන අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. උන්වහන්සේ දේශනා කර වදාළ සද්ධර්මය මෙතුවක් කල් තම ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගෙන ආපු මහා සංඝරත්නය ගැන අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. නිතර ධර්ම ශ්‍රවණය කර, භාවනාවට යොමුකරගන්න පුළුවන් මානසිකත්වයක් ඇතිවෙන්නේ එතකොටයි. ඒ ගැන නිතර සිහිකරලා වහ වහා නිවන සාක්ෂාත් කර ගැනීමයි අපේ අරමුණ. 

(අවංකව නිවන උපනිශ්චයව ඉන්නා උන්වහන්සේලාගේ පැවිදි රුව මෙහි ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න, මෙහි පළවන සියලු ඡායාරූප ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතිව පළවන එ්වායි. උන්වහන්සේලා අත්විඳින ඒ නිරාමිස සුවය උදාකර දුන් නිර්මල සද්ධර්මය පරිශීලනයට පහත සඳහන්  විස්තර උපයෝගී කරගන්න.) 
සම්බන්ධීකරණය – 077 279 0013 (සනත්), ධර්මයයි ඔබයි 
ආරාමය, කීනගහවිල, කලටුවාව, රත්නපුරය

වෙබ්අඩවිය: http://www.dharmayaiobai.org
Facebook: http://www.facebook.com/dharmayaiobai/
YouTube : http://www.youtube.com/c/dharmayaiobai/

 

විශ්ව ගම්මානය කියලා අපේ බෙලිමල් අමතක කරලා විදෙස් සමාගම්වල බීම බොන්න ඕන නැහැ

ADAADA

ප්‍රවීණ සාහිත්‍යවේදියෙකු වන සෝමවීර සේනානායකයන් පසුගියදා අප අතරින් සමුගත්තේය. 1972 වසරේදී ‘මවකගේ ගීතය’ වෙනුවෙන්ද, 1983 වසරේදී ‘මැණික් නදිය ගලා බසී’ නවකතාව වෙනුවෙන්ද, 1977 වසරේදී ‘යශෝරාවය’ නවකතාව වෙනුවෙන්ද රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලද සාහිත්‍යවේදියෙකු වන හෙතෙම, හරවත්මාලා ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයකටද තිරනාටක රචකයෙකු ලෙස ප්‍රබල බලපෑමක් එල්ල කළ නිර්මාණවේදියෙකි. එනම් ‘පළිඟු මැණිකේ’ ටෙලිනාට්‍යයෙන් හරවත් ටෙලිනාට්‍ය තිර රචනා කලාවකට පිවිසි ඔහු, එතැන් පටන් ‘පළිඟු මැණිකේ’, ‘රන් කහවණු’, ‘මිහිකතගේ දරුවෝ’, ‘අසල්වැසියෝ’, ‘මවකගේ ගීතය’, ‘මැණිකේ නදිය ගලා බසී’, ‘කන්දෙ ගෙදර’, ‘චරිත තුනක්’, ‘ගිරය’, ‘දූ දරුවෝ (කොටස් 230)’, ‘සඳළු තලය’, ‘අපේ ඇත්තෝ’, ‘සිටුවරයෝ’, ‘නෑදෑයෝ’, ‘සත්පුර වැසියෝ’, ‘සෙනහෙවන්තයෝ’, ‘මෙහෙව් රටේ’, ‘පාරමිතා’ ආදී ටෙලිනාට්‍ය නිර්මාණ රැසක් දායාද කිරීමට මුල් වූ ලේඛකයෙකි. එසේම ඔහු නිර්මාණය කළ ඒකාංගික ටෙලිනාට්‍ය සංඛ්‍යාව 220කට අධික වන අතර, ඔහු දැරූ මතය පිළිබඳ මේ සටහන තැබෙන්නේ එබැවිනි. යළි මතක් කිරීමකි.

‘නාට්‍යකරුවෙකු වූ සිය සීයාගේ ආභාසය නිසා කුඩා කල සිටම කියවීමට හුරු පුරුදු වූ හෙතෙම, ඒ නිසාම වයස අවුරුදු දහය වන විට පන්සිය පනස් ජාතක පොතම කියවා අවසන් කිරීමට තරම් සමත්කම් දැක්වීය. එය ලේඛනයට උත්තේජනයක් වන්නේ පාසලේ සිටි සුවිශේෂී ගුරුවරුන් දෙපළක් නිසාවෙනි.

ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට සමත් වූ පසු බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමි, ඒ.වී. සුරවීර, නන්දසේන රත්නපාල, මැන්දිස් රෝහණධීර වැනි මහාචාර්යවරුන්ගේ ආභාසයද ලද නිසා තව තවත් දැනුමින් සන්නද්ධ වූ සේනානායකයන්, මාර්ටින් වික්‍රමසිංහයන් හා ජී.බී. සේනානායකයන් ළඟින් ඇසුරු කළ, කලක් ‘නවයුගය’ සඟරාවේද කටයුතු කළ, ‘සිළුමිණ’ පුවත්පතේ උපකර්තෘවරයෙකුද වී සිටි මාධ්‍යවේදියෙකි.

2002 ‘සුමති ටෙලි සම්මාන’ උළෙලේදී හොඳම ටෙලිනාට්‍ය රචනය වෙනුවෙන් ‘උතුරු කුරු සටන’ සඳහා සම්මාන ලැබූ එතුමා, සිනමාවටද නෑකම් කියන්නෙකි. ඒ ‘ආරාධනා’, ‘සත්වෙනි දවස’, ‘මිහිඳුම් සිහින’, ‘වෑකන්දේ වලව්ව’ ‘අම්මාවරුනේ’ ආදී සිනමා කෘතිහි තිර රචකයා ලෙසිනි.

කෙටිකතා රචකයෙකු ලෙසද ‘සුද්දා පරාදයි’, ‘භවතු සබ්බ මංගලම්’, ‘වන්දනා ගමන’ වශයෙන් කෙටිකතා සංග්‍රහ තුනක් පළකර ඇති හෙතෙම, ‘ලස්සන වස්තුව’, ‘දඩ මං ඔස්සේ’, ‘ගඟ අද්දර කැලේ’, ‘දියෙන් උපන් කුමාරයා’ වශයෙන් ළමා පොත් රචකයෙකු ලෙසද නමක් දිනාගෙන ඇත. විචාරකයෙකු ලෙසද ‘නිර්මාණශීලී ලේඛනය’, ‘කෙටි කතා විචාරය සහ නිර්මාණය’, ‘කෙටි කතා කලාව’, ‘රූපවාහිනී රචනා කලාව’, ‘ජී.එච්. පෙරේරා නිර්මාණ විමර්ශනය’ ආදී විචාර කෘති රැසක් දායාද කළේය.

2002 වසරේදී අස්ගිරි මහා විහාරයෙන් ‘ධරම් සාහිත්‍ය කලා චූඩාමාණී’ ගෞරව නාම සම්මුතිය නමින්ද, 2000 වසරේදී ‘සබරගමු මහා කලාකරු’ (ඉඹුලාව ශ්‍රි සේන මහා විදුහල),1998 වසරේදී නිර්මාණ පද්ම සම්මානය – කොට්ටාව නිර්මාණ සහ සංස්කෘතික සංවිධානයෙන්ද, 2000 වසරේදී පිළියන්දල ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවයෙන්ද, 1998 වසරේදී ‘National Temperance Award-Best Media Award’ද, 1999 වසරේදී විද්‍යෝදය විභූෂණ – විදුදය/ජ’පුර සහෘද සංසදයෙන්ද උපහාර ලද ඔහු, 1994දී ජාතික අමද්‍යප සම්මානයද, මත්ද්‍රව්‍ය නිවාරණ ස්වර්ණ පද්ම සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි.’

වත්මන් නවකතාවේ ඛේදවාචකය

අද සෑම අවුරුද්දකම නවකතා සියයකට වඩා නිකුත් වෙනවා. විවිධත්වයකට පත්වෙලා තමයි. ඒත් උසස් නවකතා වගේම බටහිර අනුකරණත් දකින්න තියෙන බවයි කිව යුත්තේ. ඒ නිසා නවකතාවේ ප්‍රමාණාත්මකව වැඩිවීමක් සිදු වුණාට ගුණාත්මකව වැඩි වීමක් නොමැති බවයි අපට පේන්නේ. මොකද වර්තමානයේ පවතින්නේ මුදල් පසුපස හඹායන සමාජයක්. මේ නිසා මේ නවකතාව හොඳය, මේ නවකතාව හොඳ නැතිය කියලා ජනතාව අතර පොදු මතයක් ගොඩනගන්න අමාරුයි. ඒත් සම්මාන බලාපොරොත්තුවෙන් නවකතා ලියැවෙනවා නම්, ඒක එච්චර සුබ ලකුණක් නෙමෙයි. මොකද ලේඛකයාගේ අරමුණුවලට සම්මාන අදාළ වෙන්නේ නෑ. ඒත් සම්මාන නවකතාකරුවාගේ ඉදිරියට බලපානවා තමයි. පොත ගැන එයින් ප්‍රචාරයකුත් ලැබෙනවා. හැබයි හැටේ දශකයේදී නම් මෙම සම්මාන පිළිබඳ විග්‍රහයක් රැගත්, නවකතා පිළිබඳ සඟරා පවා පළ වුණා. එයින් පාඨකයා හොඳ නිර්මාණ පිළිබඳ දැනුවත් වී සිටියා. ඒත් අද එහෙම තත්ත්වයක් දකින්න නැහැ. මේ නිසා සාහිත්‍යයේ පවා තියෙන්නේ සංකීර්ණ ස්වභාවයක්. අනික නවකතාකරුවාට තිබිය යුත්තේ තමන්ගේම ලේඛන ශෛලියක්. ඒ තුළ අපූරු කතාවස්තුවක් තිබිය යුතුයි. එය අපූර්වත්වයෙන් යුතුව පාඨකයාට ඉදිරිපත් කළ යුතුයි. ඒත් අද පවතින්නේ මහපොළොව ස්පර්ෂ නොවෙන නවකතා. හැබැයි හැම එකක්ම එහෙමයි කියල මම කියන්නේ නැහැ. ඒ තුළ දේශීයත්වය, අපේකම ඒවායේ දකින්න නැහැ. ඒත් අන්තර්ජාලයට ගියා නම් ඕනතරම් කතාවස්තු අපට තිබෙනවා. නවකතා කියවන්නත් තිබෙනවා. හැබැයි ඒවම අපේ නම්වලින් ලිව්වට ඒවා අපේ නවකතා වෙන්නේ නැහැ. මේ නිසයි මං අද නවකතාවේ යම් නොගැළපීමක් දකින්න ලැබෙන බව කිව්වේ.*

පවතින සමාජයේ ඛේදවාචකය

&අද තියෙන්නේ අධික ලෙස මුදල් පසුපස හඹායන සමාජයක්. නිතර දෙවේලේ බෞද්ධ සාහිත්‍ය සහ බෞද්ධ ගීත ඇසීමට රසිකයාට කාලයක් නැහැ. ඒත් ඔවුන්ගේ හදගැස්ම රැඳී තිබෙන්නේ ජන සාහිත්‍ය, බෞද්ධ සාහිත්‍ය, දේශීය සංස්කෘතිය, කවිය, නවකතා සහ කැටයම් ආදිය සමග. ඒ නිසා ලෝකය සමග ගනුදෙනු කිරීමට නම් අපේ කියලා අනන්‍යතාවකින් යුතු දේවල් තිබිය යුතුයි. ඒ නිසයි දේශීයත්වය, දේශීය චින්තනය යනාදිය අපට අවශ්‍ය වෙන්නේ. එවිටයි ලෝකය ජයගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි විශ්ව ගම්මානයක ජීවත් වන බව ඇත්ත. අද අපි ගනුදෙනු කරන්නේ ලෝකය සමග. ඒත් එහෙම කියලා මෙහේ ඉඳන් විශ්ව ගම්මානයක් විය යුතු නැහැ. විශ්ව ගම්මානය කියලා අපේ බෙලිමල් අමතක කරලා විදෙස් සමාගම්වල බීම බොන්න ඕන නැහැ. ඒ හින්දා ලෝකයට පෙර රටට ආදරය කළ යුතුයි. ඒත් තවමත් වර්තමාන සමාජයට යහපත් ආකල්ප මොනවාද, ඒවා ළං කර ගන්නේ කොහොමද කියන එක ගැන ඒතරම් අවබෝධයක් නැහැ.*

ටෙලිනාට්‍ය කලාවේ ඇදවැටීම

“අද වන විට ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රය සෑම අංශයකින්ම කඩාවැටිලා. ඒත් ටෙලිනාට්‍ය ආරම්භ වූ දශකයේදී නම් එය අනෙක් රටවලට සාපේක්‍ෂව එක්තරා ආකාරයක උසස් මට්ටමක පැවතුණා. විශේෂයෙන් ඒ කාලයේ ටෙලිනාට්‍ය නිර්මාණය කිරීමේදී දේශීයත්වයට මුල්තැනක් දුන්නා. ඒ වගේම ඒ දවස්වල සිටි රසිකයාට ප්‍රඥාසම්පන්න රසවින්දනයක් තිබුණා. විශේෂයෙන් ඒ කාලයේ රසවින්දනය පිළිබඳ යම් දැනුවත්භාවයක් තිබුණා. ඒත් අද එවැනි තත්ත්වයක් දකින්න නැහැ. අද ටෙලිනාට්‍ය ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩි වුණත්, රූපවාහිනී නාළිකා ප්‍රමාණය සංඛ්‍යාත්මව වැඩි වුණත් එයින් ඉදිරිපත් කරන දේවල් හරිම බොලඳයි. මේක බොලඳ තරගයක්. කිසිම ගුණාත්මක බවක් නැහැ. මේ නිසා කලාතුරකින් තමයි හොඳ ටෙලිනාට්‍යයක් බිහිවෙන්නේ. ඒ නිසා මෙවැනි පසුබිමක් තුළ හොඳ කලාවක් හෝ හොඳ රසවින්දනයක් ඇති රසිකයන් පිරිසක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. මොකද අද ඉන්නේ නරඹලා රසවිඳිනවා වෙනුවට ඔහේ බලන් ඉන්න රසික පිරිසක්. අනික අද පවතින මෙගා යැයි කියා ගන්නා ටෙලිනාට්‍ය බොහෝමයක් වටිනාකමින් තොරයි. මේවා නිකම් වැල්නාට්‍ය පමණයි.”

ඒත් ‘නෑදෑයෝ’, ‘දූ දරුවෝ’, ‘සත්පුර වැසියෝ’ වැනි මාලා ටෙලිනාට්‍යවලට තිර රචනා සම්පාදනය කළේ ඔබයි. ඔබ මෙවැනි ටෙලිනාට්‍ය නිර්මාණය කළ නිසා නේද අද මෙවැනි තත්ත්වයක් උදාවෙලා තිබෙන්නේ?

මම ඒ කාලයේ රචනා කළ ටෙලිනාට්‍ය විකාශය වුණේ සතියකට දවසක් පමණයි. අනික ඒවා හරසුන් ටෙලිනාට්‍ය විදිහට ප්‍රේක්‍ෂකයන් වැලඳ ගත්තේ නැහැ. ඒ රචනා ලියන සමයේ ඉතා විශාල කොටස්වලින් සැදුම්ලත් ටෙලිනාට්‍ය විකාශය වීම ලොවෙහි දකින්නට ලැබීම නව ප්‍රවණාතාවක් වෙලයි තිබුණේ. මම කළේ ඒ ටෙලිනාට්‍ය වර්ගය ලංකාවට හඳුන්වා දීම පමණයි. මම එදා හිතුවේ නැහැ මේක වසංගතයක් වෙයි කියලා. එහෙම හිතුණා නම් එවැනි ටෙලිනාට්‍ය වර්ගයක් හඳුන්වා දෙන්නෙවත් නැහැ.

බුදුදහම ඇසුරු කරගත් ටෙලි නිර්මාණවලට තරුණයන්ගේ පවතින උනන්දුවේ හීනතාව හෙතෙම දුටුවේ මෙසේය.

“අපට එදා වගේ පන්සලට ගිහින් බණ මඩුවේ බෞද්ධ නාට්‍ය බලන තරුණ පිරිසක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් තරුණ පිරිස් රූපවාහිනියේ විකාශය වන බෞද්ධ ටෙලිනාට්‍ය බලනවා. 1982 වසරේ ‘වෙසක් පහන’ ඒකාංගික ටෙලිනාට්‍යයෙන් තමයි මේ ටෙලිනාට්‍ය පටන් ගත්තේ. ‘පළිඟු මැණිකේ’ ටෙලිනාට්‍යයත් බෞද්ධ සංකල්ප ආභාසයෙන් නිර්මාණය වූවක්. එවැනි බෞද්ධ ටෙලිනාට්‍ය සම්ප්‍රදායක් ඇති කිරීමේ අභිලාෂයෙන් තමයි මම ඒ කාලයේ ‘සංසාරේ පිය සටහන්’, ‘සිත නිවන කතා’ වැනි ටෙලිනාට්‍යවලට කතා 81ක්ම ලිව්වේ. ඒ වගේම කොටස් සියයක් විකාශය වූ ‘පාරමිතා’ ටෙලිනාට්‍යයට තිර රචනා සැපයුවෙත් ඒ හින්දයි. ඒ වගේම කාන්තාවන් සහ තෙරණින් වහන්සේලා වෙනුවෙන් සෑම පොහොය දවසකම විකාශය වන ‘තෙරණි ගීතය’ ටෙලිනාට්‍ය මාලාව නිර්මාණය කළෙත් ඒ හින්දා. මේවාට තරුණ පිරිසගෙන් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා. ඒත් එවැනි නිර්මාණ අද හුඟක් අඩුයි. අනික අපේ ජන සම්ප්‍රදායේ යා යුතු ඉසව් ‍තව බොහෝමයක් තිබෙනවා. හැබැයි මේවාට රූපවාහිනී නාළිකා එතරම් විශාල උනන්දුවක් දක්වන්නේ නැහැ. එයයි ගැටලුව.”

පරිගණක හැකර්වරයෙක් වීමට ඉඩ තිබියදී ඉන් ඉවත්ව පැවිදි බිමට පිවිසි ගෞරව

මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්දැයි කිව හැක්කේ ඔබටම පමණි. මන්ද එයට සත්‍යම පිළිතුර ඇත්තේ ඔබ ළඟ මිස වෙන කිසිවකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සා‍පේක්‍ෂ වන බැවින් එක් අයෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටට හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්‍ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි. එනම් එය නිරපේක්‍ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එදා අප සිදුහත් බෝසතාණෝ කුමාර අවධියේ සිටම ජීවිතයේ සැප සහ සතුට උපරිම ආස්වාද ලෙස අත්විඳිමින් සිටි මනුෂ්‍යයෙකු බව පැහැදිලි කරුණකි. කාම ලෝකයේ උපරිම ආස්වාදයක් විඳිමින් එදවස එම සතු‍ෙටහි අවසානය මරණයකින් කෙළවර වන බවත්, අතරමැද ජීවිතයේ ඇති අවිනිශ්චිතතාවත්, රෝග පීඩාදියෙන් පෙළීමත්, දිනෙන් දින ශරීරය මහලු වන බවත් පැහැදිලිව පෙනෙන්නට ගත් මෙම විසිනව හැවිරිදි කඩවසම් තරුණයාට එය එසේ නම්, තමන් සතුට යැයි මේ මොහොතේ අත්විඳින දෑ තාවකාලික දෙයක්ම පමණක් වන බවත් අවබෝධ විය.

එමෙන්ම තමන් සොයා ගත යුත්තේ මෙම තාවකාලික, සාපේක්‍ෂ සතුට නොව, සදාකාලික සතුටක් යැයි සිතා සමස්ත තුන්ලෝක සත්ත්වයන්ගේම යහපත පිණිස සියල්ල අතහැර, එම සතුට සොයාගිය අප මහා බෝසතාණෝ, එම උත්තරීතර බුද්ධත්වය සමග නිර්වාණය නමැති එම නිරපේක්‍ෂ සතුට ළඟාකර ගත හැකි දහම ලෝකයට දේශනා කළහ. එදා බුද්ධකාලීන සමාජයේ සිටි සුපින්වත් බුද්ධ ශ්‍රාවකයන් එම දහම් සාගරයේ කිමිදෙමින් උතුම් වූ නිර්වාණය සාක්‍ෂාත් කර ගත්තේ තවත් අතිවිශාල පිරිසකට අනෙකුත් මාර්ග ඵල සාක්‍ෂාත් කර දෙමින් ජීවිතයේ නිරපේක්‍ෂ සතුටද ළඟා කරවමිනි. 

එය එසේ නම් සැබැවින්ම බෞද්ධයන් වන අප මේ මොහොතේ උත්සාහ කරන්නේ තවත් සා‍පේක්‍ෂ සතුටක් අපේ ජීවිතයට ළං කර ගැනීමටද? නැතහොත් අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන් එම නිරපේක්‍ෂ 
සතුට ළඟාකර ගැනීමටද? සෑම බදාදාවකම ඔබ වෙත ගෙන එන මෙම මනුෂ්‍ය චරිත අවංකවම තම ජීවිතයේ සියලු සතුට අතහැර බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් වූ නිර්වාණය නමැති නිරපේක්ෂ සතුට වෙනුවෙන් අවබෝධයෙන් වීර්ය වඩන උතුමන්ය. මෙවරද අප ගෙන එනු ලබන්නේ එවන් වූ තවත් පුද්ගල චරිතයක වගතුගයි.



?ඔබවහන්සේ ලබන වසරේදී උසස්පෙළ විභාගයට පෙනී සිටින්නට නියමිතව සිටි කෙනෙක්

මම පාසලින් ඉවත්වෙද්දී සංයුක්ත ගණිතය තමයි හදාරමින් හිටියේ. ත්‍රිකෝණමිතියේ පළමු කොටසත් අවසන් කරලයි හිටියේ. අපට හොඳ ආර්ථික පසුබිමක් තිබුණා. විශාල අගහිඟකම් තිබුණේ නැහැ. 

?එතකොට ඔබවහන්සේගේ ජීවිතය වෙනස් වෙන්නේ කොතැනින්ද

මට නම් ඇත්තටම මුලින් පැවිදිවෙන්න අදහසක් තිබුණෙම නැහැ. මොකද මම ඒ කාලයේදී ධර්මයට උනන්දු කෙනෙක් නෙමෙයි. ඒත් අපේ මාමා කෙනෙක් අපට ධර්ම දේශනා ඇතුළත් සංයුක්ත තැටි වගයක් ගෙනත් දීලා තිබුණා. අපේ අම්මා නම් නිතරම ඒක ඇහුවා. මම නම් ඒවා ගණන් ගත්තෙවත් නැහැ. ඒත් අම්මගේ පෙරැත්තය හින්දම දවසක් මම ඒක ඇහුවා. පළවෙනි, දෙවෙනි බණ අහද්දිම ජීවිතේ සෑහෙන වෙනසක් වුණා. ඒ කාලේ ගත කළ  ජීවිතේ ඇති වැඩක් නැහැ නේද කියල හිතුණා. සතුට නැතුව නෙමෙයි. ගිහි ජීවිතේදී මට ලැබිය හැකි සතුට මම ලැබුවා. ඒත් ඊට වඩා සතුටක් තියෙනවා නේද කියලා මේ ධර්ම දේශනා ඇහුවට පස්සේ මට තේරුම් ගියා. ඉන්පස්සේ සසර භයත් මට දැනෙන්න පටන් ගත්තා. මොකද මට ඕන කළේ නැහැ මරණයෙන් පස්සේ කුණු පෙරේතයෙක් වෙන්න. ඒ හින්දම තමයි මට පැවිදිවෙන්න ඕන කියන අවශ්‍යතාව ආවේ. හැබැයි මම ඉන්පස්සේ මාසයක් විතර එක දිගට බණ ඇහුවා. ඊටත් පස්සෙයි අවබෝධයක් ඇතුව පැවිද්දට ආවේ. දෙවැනි මල්ලිත් මා එක්ක එදා පැවිද්දට එළඹුණා.

?ඔබවහන්සේ මේ තීරණය ගන්නේ යෞවනයේ පොපියන චමත්කාරය අතහැරලා

ඔව්. මම දැක්කා ඒ ගිහි දුක. මේ තීරණයත් එක්කම, හරසුන් ක්‍රියාකාරකම්වලට සංඛාර වැඩීමට තියෙන මහන්සිය මගෙන් බොහෝ දුරට දුරස් වුණා. මොකද දෙයක් අල්ලගන්නවා කියන්නෙම ලොකු දුකක්. ඒක මට අවබෝධ වුණා. අතහැරීමේදී තියෙන ශාන්ත, ප්‍රණීත බවත් මට ටිකෙන් ටික දැනෙන්න පටන් ගත්තා.

?අම්මා කෙනෙකුට තමන්ගේ මුළු පවුලම ශාසනයට පූජා කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි

ඔව්. එතැනදි තමයි අපේ අම්මා සුවිශේෂී කෙනෙක් වෙන්නේ. ඇයට ඒ මානසිකත්වය මුල ඉඳලම හැදිල තිබ්බා. ඇය අපටත් කලින් බණ අහල තිබුණා. මොකද ඇයටත් කවදා හරි ඕන කළේ පැවිද්දට යන්න. ඒ අධිෂ්ඨානය ඇයට තිබුණා. ඒ නිසා මට මේ ගමන එන්න අවශ්‍ය පසුබිම හැදුවෙත් අම්මා. ඒ අනුවයි මම දැන් පැවිද්දට එළඹිලා ඉන්නේ.

SIDDHI--HIMI-04

?යහළුවන්ගේ ප්‍රතිචාර කොහොමද

එයාලට මේක හිතාගන්නවත් බැරිවුණා. මොකද මම පාසලේ හිටපු ජනප්‍රිය චරිතයක්. ගුරුවරු පවා මං හින්දා ඇඬුවා. අනික මම කාටවත් කලින් කියල තිබුණේ නැහැ මේ තීරණය ගැන. ටියුෂන් පන්තියෙන් පවා සමුගන්න අන්තිම දවසෙදි තමයි මගේ මේ තීරණේ ගැන එයාලට කිව්වේ. ඒ නිසා එයාලට ඒක  උභතෝකෝටික ප්‍රශ්නයක් වුණා. නැවතත් මාව ලෞකික ජීවිතයට ඇදල ගන්න එයාලා සෑහෙන මහන්සියක් දැරුවා. හැබැයි මම ඒ වෙද්දි අවබෝධයෙන් තමයි පැවිද්දට එළඹිලා හිටියේ. ඒ හින්දා මට ඔවුන්ව ගැටලුවක් වුණේ නැහැ. දැන් එයාලත් ධර්මයට ළැදියි. නිතරම බණ අහනවා. ඒ නිසා තව අවුරුදු පහක් හයක් යද්දි එයාලත් මං එක්ක එකතුවෙයි කියලයි මට දැන් හිතෙන්නේ.

?පෙම්වතිය මොකද කිව්වේ

පැවිදිවෙන්න එපා කිව්වෙ නැහැ. හැබැයි මේ තීරණය පුළුවන් තරම් පස්සට දාන්න කියලයි ඇය කිව්වේ. ඇය ඒ වෙද්දි මං තරම් බණ අහල හිටියෙ නැහැ. ඒ නිසා මමම තමයි දවසක් බස් එකේදි ඇයට ධර්මය අහන්න සැලැස්සුවේ. ඒ අනුවයි ඇයත් පැවිද්දට යොමු වුණේ.

?ඒ ආදරය සම්බන්ධයෙන් දැන් මොකද හිතන්නේ

තනිකරම පිස්සුවක්. ඒක මට දැන් අවබෝධ වෙලා ඉවරයි. තමන්ම හිතින් හදාගෙන තමන්ම පෙළි පෙළී ඉන්න වැඩපිළිවෙළක තමයි අපි නියැළිලා ඉඳල තියෙන්නේ. ඒ නිසා දැන් මම ඒ මුළාවට අහුවෙන්නේ නැහැ. මම අද එහි යථාර්ථය අවබෝධ කරගන්න තරම් දියුණු මට්ටමකට ඇවිත් ඉන්නේ. 

SIDDHI--HIMI-05

?එතැනදි ආත්මාර්ථකාමී වුණා කියලා ඔබවහන්සේට හිතෙන්නේ නැද්ද

තථාගතයන් වහන්සේ අපට ආදර්ශයෙන්ම පෙන්වා වදාළේ සසර නිමා කරගන්නට යන ගමනේ තමන් වෙනුවෙන් කරගත යුත්ත මුලින් තමන්ම කරගත යුතු බවයි. එතකොටයි අපට පරාර්ථකාමයේ යෙදෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අනුන් ගැනත් සිතන කෙනෙකුට ආත්මාර්ථකාමී බව කියල කියන්නේ නරක දෙයක් නෙමෙයි. තමන්ට වැඩ පිණිස කියන එක තමයි ආත්ම අර්ථකාමී කියන එකෙන් අදහස් වෙන්නේ. එහෙම නැතුව අනුන්ව තළල පෙළලා තමන්ගේ වැඩේ කරගන්න ඕන කියන එක නෙමෙයි. ඒක නෙමෙයි අපි සම්බුද්ධ චරිතයෙන් ගත යුතු ආදර්ශය.

?පැවිදි නොවුණා නම් ඔබවහන්සේ අද කොතැනද

මට ජනාධිපති බුද්ධි අංශයේ පරිගණක හැකර්වරයෙකු වෙන්න ඉඩ තිබුණා. මම ඒකටයි ඒ කාලේ ඉඳලම හීන දැක්කේ. අනික මට සාමාන්‍ය පෙළට A සාමාර්ථ 7ක් සහ B 1ක් තිබුණා. ඒ හින්දා මට ඕනෑ කළේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වෙන්න. මං Dj කළා. ප්‍රසංගවල මම කරපු Dj තාමත් ඇති අන්තර්ජාලයේ. ඒ හින්දා ඒ අංශයෙන් යමක් කරන්නත් මට අදහසක් තිබුණා. ඒ ඇරෙන්න මට තිබුණේ හයිබ්‍රිඩ් එකක් අරන් එහාට මෙහාට පදින්න සහ කොල්ලො එක්ක එකට ඉන්න වගේ බලාපොරොත්තු තමයි. හැබැයි අද ඒ සියල්ල අතඇරලා තමයි මම මේ සතුට ළඟා කරගෙන ඉන්නේ. ඒ හින්දා එදාට වඩා හොඳට මම අද ඇත්ත දකිනවා කියලයි මට හිතෙන්නේ.

?හැබැයි ගිහි ජීවිතේ හිටියා නම් ඔබවහන්සේට මීටත් වඩා යමක් සමාජය වෙනුවෙන් කරන්න තිබුණා

මම දැන් තමයි සමාජයට මගෙන් ඉටුවිය යුතු හොඳම සේවාව ඉෂ්ට කරන්නේ. මොකද මම ගිහි ජීවිතේ කටයුතු කළේ ධර්මය එක්ක නෙමෙයි. දැන් මට මම අවබෝධ කරගත්තු දහම සමාජයට 
දෙන්න අවස්ථාව සැලසිලා තියෙනවා. 

?ගණිත අංශයෙන් අධ්‍යාපනය ලැබීම කොහොමද පැවිද්දට බලපෑවේ

දෙයක් දිහා හැම ආකාරයෙන්ම බැලීමට ප්‍රඥාව අවශ්‍යයි. ඒ වැඩපිළිවෙළට මට ඒ විෂය ධාරාව හැදෑරීම සෑහෙන්න උදව් වුණා. නිවන් මගට මට ඒ පුහුණුව හුඟක් උදව් වෙනවා. මොකද නිවනට අත්‍යාවශ්‍යම දේ තමයි ප්‍රඥාව. ඒ බුද්ධිමත්කම ප්‍රඥාවට හුඟක් වටිනවා. බුද්ධිමත්කම කවදාහරි දවසක දහම් අවබෝධයට අවශ්‍ය ප්‍රඥාව උදාකරල දෙන්න උදව් වෙනවා. උදාහරණයක් විදිහට කාන්තාවක් දිහා බැලීමේදී සිතේ මායාවක් ලෙස ඇතිවන කාම රාගය, යථාර්ථය, විදර්ශනා කරලා කෙලෙස් ප්‍රහීන කිරීමට මට ක්‍රමවේද රාශියක් තියෙන එක ඉතා වැදගත්. ඒ නිසා මට ඒ පුහුණුව හුඟක් වැදගත්. 

?ගත්තු තීරණේ සම්බන්ධයෙන් දැන් මොකද හිතෙන්නේ

අතිශයින් සාර්ථකයි. මට මේ සතුටම ඇති නිවන කරා යන්න. මොකද මට ඒ සතුට වචනයෙන් විස්තර කරගන්න බැහැ. දහම් අවබෝධයත් එක්කම තමයි මට ඒ සතුට එන්නේ. මටත් ඒ අත්දැකීම් තියෙන නිසා, දහම් අවබෝධයක් නොලැබූ ගිහි ජිවිතයක් ගතකරන කෙනෙක්ට මේ සතුටින් ප්‍රකෝටියෙන් පංගුවක්වත් ලැබිල තියෙනවද කියල මට හිතාගන්නවත් බැහැ. මෙතෙක් ආපු සසර ගමනේදී මම අනාථයෙක් වෙලා හිටපු බව මට දැන් තේරෙනවා. ඒක ඉතා පැහැදිලියි. මොකද මට ඉන්නේ මම විතරයි. ඒ හින්දා මට ඉස්සර වගේ වෙන එක උවමනාවක්වත් නැහැ. ඇලෙන්න උවමනාවකුත් නැහැ. අල්ලගන්න උවමනාවකුත් නැහැ. ගත්තු තීරණේ අතිශයින් නිවැරදියි කියල හිතෙන්නේ ඒකයි. ආපස්සට හැරිලා බලද්දි කිසිම කණගාටුවක් නැත්තෙත් මේ නිසා.

SIDDHI--HIMI-01

?හැබැයි තමන් අකමැති ස්වභාවයන් ජීවිතයට අභියෝගයක් කරගෙන ලැබූ ජීවිතය යහපත්ව සාර්ථක කරගත්තු තවත් එක් මනුෂ්‍යයෙක් වෙන්න වෙනමම උත්සාහයක් ගන්න ඔබවහන්සේටත් තිබුණා

ඒ වැඩපිළිවෙළෙන් මට නිවන් දකින්න බැහැ. හැබැයි පැවිද්දට ආවම මට ඉතා ඉක්මනින් නිවන කරා යන්න පුළුවන්. මොකද ඊට අවශ්‍ය පසුබිම එහි සැකසිලා තියෙනවා. 

?ගිහි ජීවිතේ අරමුණු සහ පැවිදි ජීවිතේ අරමුණු යන්න කොතැනින්ද වෙනස් වෙන්නේ

දහම් අවබෝධයත් එක්කම තමයි ඒක වෙනස් වෙන්නේ. අනාදිමත් සසරේ නොලැබූ දහම් අවබෝධය පූර්ණය කරගන්නමයි මම අද ජීවත් වෙන්නේ. මම ගිහි කාලයේ ජීවත් වුණේ ලෝකය අල්ලන බලාපොරොත්තු සහ හීන එක්ක. මොකද බොහොමයක් ගිහියන්ගේ මනස හැදිලා තියෙන්නේ හැමතැනටම දුවන විදිහට. ඒත් පැවිද්දෙදි එහෙම නැහැ. හිත කෙළින් වෙනවා. මේ සංසාරේ දුකක් කියල අපටම අවබෝධ වෙද්දි කෙලෙස් අඩු වෙවී හීන වෙනවා. එතකොට අතහරින්න අවශ්‍ය කරන්නේ නැහැ. නිවනට බාධා වෙන දේවල් ඉබේම අපෙන් අතහැරෙනවා.

Capture

?මග වැඩීමේදී පැමිණිය යුතු ප්‍රතිඵලවල ප්‍රමාදයක් දැනෙද්දි ඉච්ඡාභංගත්වයට පත්වුණු අවස්ථා එහෙම නැද්ද

නැත්තෙ නැහැ. මෙච්චර දේවල් කරලත් මට මේක බැරි වුණානේ වගේ හැඟීම් ඇතිවුණ මොහොතවල් තියෙනවා. හැබැයි මේක විනිවිද පෙනෙන දහමක්. හරියට ජලය වගේ. අනික අරිහතුන් වහන්සේලා පමණයි බලාපොරොත්තු රහිතව ජීවත් වෙන්නේ. අපි තාම ඒ තත්ත්වයට ඇවිත් නැහැ. ඒත් අපි යන්නේ ඒ මාර්ගයේ. මග වඩන්නේ ඒ සඳහා. එතකොට ඒ උද්ධච්ච බව ටිකෙන් ටික අපෙන් පහවෙනවා. හෙමින් හෙමින් තමයි මේ ගමන යා යුත්තේ කියල කිව්වෙත් ඒ නිසා. අනික ඊට මනා පුහුණුවක් අවශ්‍යයි.

?ජීවිතයට ළං කරගත්තු අරමුණු දිහා ඔබවහන්සේ බැලුවේ සාපේක්ෂවද? නිරපේක්ෂවද

ගිහි ජීවිතේදී බැලුවේ සාපේක්ෂව. මොකද මට ඒ කාලේ දහම් අවබෝධයක් තිබුණේ නැහැ. තව කෙනෙක්ට වඩා දේවල් ළං කර ගන්නවා කියන මතේම තමයි මාත් හිටියේ. ඒත් දැන් උත්සාහ කරන්නේ නිරපේක්ෂ ඇත්ත දකින්නයි.

?විද්‍යාව ඇත්තක් කියලා ඔබවහන්සේ පිළිගන්නවද

තථාගතයන් වහන්සේ පෙන්වා දුන් පරමාර්ථ හැරෙන්න මේ ලෝකේ නිශ්චිත සාධක කිසිවක් නැහැ. සියලුම දේවල් මිනිසුන්ගේ අර්ථකථන. ඒ නිසා ඒක සාපේක්ෂයි. 

?ඔබවහන්සේට අනුව සතුට සහ අවබෝධය කියලා කියන්නේ මොකක්ද

නිදහස, භය නැතිකම, තමන්ට ඕනෑ විදිහට නිදහසේ මැරෙන්න තියෙන හැකියාව සහ තමා අවට ලෝකේ පෙරළෙන විදිහට අනුව පෙරළෙන්නේ නැතිකම තමයි සතුට කියන්නේ. ඒ නිරාමිස සතුට තමයි මම සොයමින් ඉන්නේ. අවබෝධය කියන්නේ ඇත්ත යථාර්ථය තේරුම් ගැනීමට. ඒ ඇත්ත යථාර්ථය තේරුම් ගැනීම තමයි නිරාමිස සතුට 
බවට පත්වෙන්නේ.

?ඒත් ඒ ඇත්ත ලෞකික ජීවිතයෙන් වුණත් සොයාගන්න පුළුවන්නේ

පුළුවන් නම් මට එහෙම දෙයක් පෙන්නන්න බලන්න. අනික තමන්ගේ රාමුව තුළ පෙනෙන ඇත්ත සහ ලෝකයේ යථාර්ථය කියල කියන්නේ දෙකක්. මිනිස්සු බොහොමයක් ඔය කියන ඇත්ත දැක්කට යථාර්ථය දකින්නේ නැහැ. ඒකයි වෙනස. ඒ නිසා එයාලට වැටහෙන්නේ නැහැ ඇත්ත කියල හිතාගෙන ඉන්න දේවල් අල්ලගෙන ඉන්නතාක් කල් දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා. එතැන තියෙන්නේ පෙළීමක් කිව්වේ ඒ නිසයි. යථාර්ථය වැටහුණාම අපට වගේම මේ අතහැරීමේ ගුණය ඔවුන්ටත් ප්‍රගුණ වෙනවා. කරන්න තියෙන්නේ පුළුවන්තරම් යථාර්ථය දකින්න උත්සාහ කරන එකයි.

?ඔබ වහන්සේ එදා හිතපු, කරපු, කියපු දේවල්, මේ මොහොතේ ඔබවහන්සේ හිතන කියන 

කරන දේවල්වලින් වෙනස් වෙද්දි එයින් ලැබෙන ප්‍රතිඵලයට සූදානම්ද අනිවාර්යයෙන්ම. ඒ අවබෝධය නැත්නම්  මම අද මේ ගමන එන්නේ නැහැ.

?අතීත මතකයන් ආපහු හිතට එද්දි කොහොමද ඔබවහන්සේ මේ මොහොත සුවපත් කරගන්නේ

මතකය කියන්නේ මතකයක්ම විතරයි. මම මොකටද ඒ හින්දා නැවතත් පෙළෙන්නේ. ඇයි ඒ ජීවිතයට ආයෙමත් යන්නේ. මොකද නිරාමිස සුවය සොයාගෙනයි අපි මෙතැනට ආවේ. එතකොට ඔවැනි අරමුණු අපෙන් අතහැරෙනවා.

?මේ මොහොතේ ඒ උතුම් වූ නිර්වාණය  පූර්ණය කරගැනීමේදී පැමිණෙන  ප්‍රධානතම අභියෝගය මොකක්ද

හිත එක්කයි මේ ගනුදෙනුව කළ යුත්තේ. ඒ ගනුදෙනුව තමයි ප්‍රධානතම අභියෝගය. හුඟක් අමාරුයි හිත දමනය කරගන්න. ඒ හින්දා මේ වෙනුවෙන් යෙදිය යුත්තේත් ඉතා තියුණු නුවණකින් කළයුතු වැඩපිළිවෙළකයි.

Capture02

පැවිදි මගට පිවිසි මුද්‍රණාල හිමිකරු

 

මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්දැයි කිව හැක්කේ ඔබටම පමණි. මන්ද එයට සත්‍යම පිළිතුර ඇත්තේ ඔබ ළඟ මිස වෙන කිසිවකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සා‍පේක්‍ෂ වන බැවින් එක් අයෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටට හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්‍ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි. එනම් එය නිරපේක්‍ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එදා අප සිදුහත් බෝසතාණෝ කුමාර අවධියේ සිටම ජීවිතයේ සැප සහ සතුට උපරිම ආස්වාද ලෙස අත්විඳිමින් සිටි මනුෂ්‍යයෙකු බව පැහැදිලි කරුණකි. කාම ලෝකයේ උපරිම ආස්වාදයක් විඳිමින් එදවස එම සතු‍ෙටහි අවසානය මරණයකින්

කෙළවර වන බවත්, අතරමැද ජීවිතයේ ඇති අවිනිශ්චිතතාවත්, රෝග පීඩාදියෙන් පෙළීමත්, දිනෙන් දින ශරීරය මහලු වන බවත් පැහැදිලිව පෙනෙන්නට ගත් මෙම විසිනව හැවිරිදි කඩවසම් තරුණයාට එය එසේ නම්, තමන් සතුට යැයි මේ මොහොතේ අත්විඳින දෑ තාවකාලික දෙයක්ම පමණක් වන බවත් අවබෝධ විය. එමෙන්ම තමන් සොයා ගත යුත්තේ මෙම තාවකාලික, සාපේක්‍ෂ සතුට නොව, සදාකාලික සතුටක් යැයි සිතා සමස්ත තුන්ලෝක සත්ත්වයන්ගේම යහපත පිණිස සියල්ල අතහැර, එම සතුට සොයාගිය අප මහා බෝසතාණෝ, එම උත්තරීතර බුද්ධත්වය සමග නිර්වාණය නමැති එම නිරපේක්‍ෂ සතුට ළඟාකර ගත හැකි දහම ලෝකයට දේශනා කළහ.

එදා බුද්ධකාලීන සමාජයේ සිටි සුපින්වත් බුද්ධ ශ්‍රාවකයන් එම දහම් සාගරයේ කිමිදෙමින් උතුම් වූ නිර්වාණය සාක්‍ෂාත් කර ගත්තේ තවත් අතිවිශාල පිරිසකට අනෙකුත් මාර්ග ඵල සාක්‍ෂාත් කර දෙමින් ජීවිතයේ නිරපේක්‍ෂ සතුටද ළඟා කරවමිනි. එය එසේ නම් සැබැවින්ම බෞද්ධයන් වන අප මේ මොහොතේ උත්සාහ කරන්නේ තවත් සා‍පේක්‍ෂ සතුටක් අපේ ජීවිතයට ළං කර ගැනීමටද? නැතහොත් අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන් එම නිරපේක්‍ෂ සතුට ළඟාකර ගැනීමටද? සෑම බදාදාවකම දිගහැරෙන මෙම සෑම මනුෂ්‍ය චරිතයක්ම අවංකවම තම ජීවිතයේ සියලු සාපේක්‍ෂ සතුට අතහැර බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් වූ නිර්වාණය නමැති නිරපේක්‍ෂ සතුට වෙනුවෙන් අවබෝධයෙන් හා වීර්ය වඩන ශ්‍රමණයන් වහන්සේලාය. 


IMG-d06cc3edf0be8f992ed88f73352f7182-V

ගිහි නම – ජීවක රණසිංහ

වයස – අවුරුදු 28

පදිංචිය – නුගේගොඩ

පාසල – කළුතර/දොඩංගොඩ මිරිස්වත්ත මහා විද්‍යාලය

රැකියාව – ව්‍යාපාරික (මුද්‍රණාල හිමිකරු)


?ආදායම් සහිත ව්‍යාපාරික පසුබිමක් තුළයි ඔබවහන්සේ නිර්වාණය සොයා එන්නෙ

අපි විශාල ආර්ථික අඟහිඟකම්වලින් ජීවත් වුණු මිනිස්සු නෙමෙයි. හොඳට ඉගෙන ගත් මිනිස්සු, හොඳට ජීවත් වුණා. ඉන් පස්සේ තමයි මුද්‍රණාලය පටන් ගත්තේ. මොකද මගේ අයියා උපකාරක පන්ති ගුරුවරයෙක්. තාත්තා ජීවත් වුණේ අපෙන් වෙන්වෙලා. ඒ නිසා අපි පොඩි කාලයේ ඉඳන්ම ජීවත් වුණේ අම්මත් එක්ක. මේ අතරේදී තමයි මට %විශ්ව සියපත^ කියන වීඩියෝව හමුවෙන්නේ. ඒකත් අහම්බයෙන්. නාසා ආයතනයෙන් පවසන %Area 51^ නම් කලාපයක් ගැන තමයි එහි තිබුණේ. මම බැලුවා මොකක්ද මේ කියලා. මට ඒ කාලයේ බුද්ධශාසනය සම්බන්ධයෙන් කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. මොකද මම පන්සලට නිතර ගිය කෙනෙක් නෙමෙයි. ඒ වීඩියෝවේ තිබුණේ නාසා ආයතනය මේ ලෝකයෙන් පරිබාහිර ලෝක එක්ක සම්බන්ධතා පවත්වාගෙන යෑම පිළිබඳ අතිශය අබිරහස් ක්‍රමවේදයක් ගැන. එහි තවත් දෙයක් ගැන සඳහන් කරල තිබුණා. ඒ තමයි ඔවුන් ඒ පිටසක්වළ ජීවීන් සමග කළ සන්නිවේදනයේදී යම් නමක් ගැන. ඔවුන් ඒ නම අදාළ කෙනාව අනුගමනය කරනවා කියලත් සඳහන් කරලා තිබුණා. ඒ තමයි 'තථාග' යන නම.

වෙනත් විදියකින් කිව්වොත් අපේ බුදුපියාණන් වහන්සේ ගැන තමයි ඒ ආකාරයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි තවත් නමක් ගැන සඳහන් කරලා තියෙනවා. ඒ තමයි 'නිදුක්ඛ'. ඒ කියන්නෙ 'නිදුකාණෝ' යන අදහසින්. ඒ වීඩියෝවේදී උන්වහන්සේ පිටසක්වළ ජීවීන් සමග පවතින සම්බන්ධතා ගැනත් ත්‍රිපිටකය සමග ගළපා විශාල පැහැදිලි කිරීමක් කරලා තිබුණා. අවසානයේදී බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය නිසා තමයි මේ ලෝකය ආරක්‍ෂා වෙලා තියෙන්නේ කියලත් එහි සඳහන් කරලා තිබුණා. ඒ වගේම කවදාවත් අපේ රට කාටවත් යටත් කරගන්න බැරි මේ රටේ බුද්ධශාසනය තියෙන නිසා කියලත් සඳහන් කරලා තිබුණා. අනික විද්‍යාඥයන්ටත් තියෙන ගැටලුව මීට වඩා බල සම්පන්න ජීවීන් පෘථිවියෙන් එපිට ඉඳලත් ඇයි පෘථිවියට පහර දෙන්නේ නැත්තේ යන්න. ඒකට හේතුව මෙහි පවතින බුද්ධශාසනය.

ඒ බවත් එම වීඩියෝවේ ඉතා අපූරුවට පැහැදිලි කරලා තිබුණා. එතැන ඉඳන් තමයි මාව වෙනස් වෙන්න පටන් ගත්තේ. එදා තමයි බුදුපියාණන් වහන්සේගේ උතුම් බව මම අවබෝධ කර ගත්තේ. එතැන ඉඳන් තමයි බුදුදහම හොයන්න පටන් ගත්තේ. ඒ අතරේ මට ධර්ම දේශනාවක් අහන්න අවස්ථාව සැලසුණා. ඒ මොහොතේදී තමයි මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙන්න පටන් ගත්තේ. හැබැයි එතකොට තමයි මාර බලවේගත් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. මොකද අපේ නෑදෑ පිරිස් මගේ ගමනට බාධා කරන්න පටන් ගත්තා. අනික ඉස්සර වගේ දහගුණයක බිස්නස් එකදිගට ගලාගෙන එන්න පටන් ගත්තා. මට තිබුණේ ඒ කාලයේදී වාඩිවෙලා ඉන්න විතරයි.

?මාර බලපෑමට කොහොමද ඔබවහන්සේ මුහුණ දුන්නේ

මම මගේ පැවිදි වීමේ තීරණයේ දිගටම හිටියා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදියට මාරයන් පස් දෙනෙක් අපේ ගමනට බාධා කරනවා. කාම ලෝකවල ඉහළම තියෙන්නෙ 'පරිනිර්මිත වසවර්තිය'. එහි ප්‍රධා‍නියා තමයි 'වසවර්ති මාරයා' හෙවත් 'මාර දිව්‍ය පුත්‍ර' කියලා කියන්නේ. එයාට ඕන මිනිස්සු කාල ඇඳල ඉන්නවා දකින්න. හැබැයි නිවන් දකින්න දෙන්නෙ නැහැ. මොකද ඒකට එයා කැමැති නැහැ. එයාගේ ක්‍රමයට ඒක විරුද්ධයි. මාර පාක්‍ෂික අමනුෂ්‍යයො කොටසකුත් එයා යටතේ ඉන්නවා. ඔවුන් තමයි නිවනට බාධා ඇති කරන්නේ. ඒත් පියවි ඇසට මේවා නොපෙනෙන නිසා බොහෝ දෙනෙක් මේවා විශ්වාස කරන්නේ නැහැ. ඒකට තමයි 'දස වස්තුක මිථ්‍යා දෘෂ්ටි' කියලා කියන්නෙ. හැබැයි විද්‍යාඥයන් පවා කියන්නේ අපේ ඇසට පෙනෙන්නෙ 02%ත්, 05%ත් අතර පරාසයක් විතරයි කියලයි. ඒක දැන් හොයාගෙන ඉවරයි. ඒත් ඇසට නොපෙනෙන, කනට නොඇසෙන දේ පිළිනොගන්නා අපේ  හුඟක් අයට මරණයෙන් පස්සේ සිදු වෙන්නෙ  අපාගත වෙන්න.

?ඒත් අමනුෂ්‍යයන් වෙනුවෙන් යාගහෝම පැවැත්වීම බුද්ධශාසනයට කැප නැහැ නේද

බුද්ධශාසනය පූර්ණය කර ගන්න උත්සාහ කරන කෙනෙක් ඒවා අදාළ කරගන්න ඕන නැහැ. ඒත් සමහර දෙවිවරුන්ට පුළුවන් පිහිටක් දෙන්න. හැබැයි සරණ යන්න පුළුවන් ත්‍රිවිධ රත්නය පමණයි. දෙවියන් සරණ යන්න බැහැ. ඒක අපේ මිනිස්සු පටලවාගෙන ඉන්නේ. අනික සරණ කියලා කියන්නේ මේ සංසාරේ නවත්වන වැඩපිළිවෙළට. ඒක කරන්න පුළුවන් බුද්ධ, ධම්ම, සංඝ ඇසුරු කරන කෙනෙකුට පමණයි. ඒ නිසා කාම ලෝකයේ යම් බාධකයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් මේ හරහා දෙවියන්ගෙන් පිහිටක් ලබා ගන්න පුළුවන්. ඒත් ඒකට තමන් හොඳ ජීවිතයක් ගත කරපු කෙනෙක් වෙන්න ඕන. හැබැයි යාගහෝම පස්සෙම යන්න කියලා බුදුන් වහන්සේ කොහේවත් දේශනා කරලා නැහැ.

IMG-436052c04a8a07452d38a1d007c89422-V

?ව්‍යාපාරය අත්නොහැර එය ධාර්මිකව ගෙන යන්නත් ඔබවහන්සේට ඉඩක් තිබුණා 

බැරි නැහැ. ඒත් නිවන පූර්ණය කර ගන්න අමාරුයි. එහෙම අය අතේ ඇඟිලි ගාණටත් අඩුයි. ඕකත් අපේ ගොඩක් අය පටලවා ගත් තැනක්. එදා සමාජය අදට වඩා වෙනස්. අනික අපි මේ ජීවිතේ පුරාම දැකලා තියෙන්නේ හීනයක් විතරයි. අපි කරන බොහෝ රැකියා අපට කරන්න වෙලා තියෙන්නේ මේ ලෝකයේ සාරයි කියලා හිතාගෙන. ඉතින් මම ඒ අසාරත්වය දැක දැක, මොහොතක් මොහොතක් ගාණේ සිදුවන මේ පෙළීම දැක දැක, මනසේ වික්‍ෂිප්ත ස්වභාවය දැක දැක, තවදුරටත් මේ ගිහි ජීවිතයේ ඉන්න එකේ තේරුම මොකක්ද? මට ඒක අවබෝධ වුණා.

තිරිසනා සහ මිනිසා අතර තිබිය යුතු වෙනස මට පැහැදිලි වුණා. අනික තිරිසනුන්ටත් වඩා මනුස්සයා පුදුමාකාර විදියේ තමන් විසින්ම ආරෝපණය කරගත් පෙළීම් ගොඩකින් අද වෙද්දි දුක් විඳිනවා කියලා මම තේරුම් ගත්තා. ඒ නිසා කෝටි ලක්‍ෂයක් සක්වළයන්ගෙන් ගැලවිලා, දසදහසක් ලෝක ධාතුවට ඇවිත්, බුදුරජාණන් වහන්සේ ඉපදුණු ලෝකයෙත් ඉපදිලා, උන්වහන්සේගේ දහමත් හම්බ වුණු මම, උන්වහන්සේගේ චීවරය නොදරා ඉන්න තරම් අඥාන වුණේ නැහැ. අනික බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුණෙත් මනුෂ්‍යයන් වෙනුවෙන්. තමන් වහන්සේ සොයාගත් ප්‍රත්‍යක්‍ෂ දහම දේශනා කළෙත් මනුෂ්‍ය ලෝකයේ වැඩ හිඳිමින්. අනික උන්වහන්සේ ඒ දහම සොයා ගත්තෙත් අවිනිශ්චිතවාදී දෘෂ්ටිකෝණයක ඉඳන් නෙමෙයි. මම හැමදාම මගේ ව්‍යාපාරය හරහා අනික් අය සතුටු කළා මිසක් මගේම නිරාමිස සතුටක් ලබන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකක්ද එතකොට මම ඒ ගත කරලා තියෙන ජීවිතය? දවසින් දවස මේ විදිහට හීන වෙන්නේ අමාරුවෙන් අත්පත් කරගත් මනුෂ්‍ය අත්භවය. එයින් ප්‍රයෝජනයක් ගන්න බැරි නම් මොකක්ද මගෙන් ඇති ඵලය? මොකද ඉතා අඩු ප්‍රමාණයක් පමණයි නැවත සුගතිගාමී වෙන්නෙ.

?බුදුදහම කියන්නෙ එදා පැවැති සමකාලීන ආගම් හැටදෙකක ආභාසයකින් සැකසුණු දහමක් නේද

සමකාලීන දහම නිර්මාණය වී තිබුණේ ඍෂිවරුන් හරහා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ධ්‍යානලාභී පිරිස්. එහි තියෙන්නේ බ්‍රහ්ම ලෝකවලට යෑමේ ක්‍රමවේදයක්. ඒත් ඒක කාම ලෝකවලට වඩා ශ්‍රේෂ්ඨයි. පරම ගාම්භීර දහමක්. කතෝලික දහමේ තියෙන්නෙත් දිව්‍යලෝකවලට යන ක්‍රමවේදයක්. ඒත් ඒ හැමෝටම තමන්ගේ පුණ්‍ය ශක්තිය අවසන් වුණාම අත්වෙන්නේ නැවත සසරේ ඊළඟ නවාතැන්පොළට යන්න. ඔය අතරින් බොහෝ දෙනෙකුට උරුම වෙන්නේ සතර අපාය. වෙනත් විදියකින් කිව්වොත් සත්ත්වයන්ගේ මහගෙදර. හැබැයි බුදුදහම කියන්නේ එතැනින් එපිටට ගිය දහමක්.

?ඔබවහන්සේගේ අරමුණු අතීත මතකයන් සමග එකතු වෙලා එද්දි ඔබවහන්සේ නිරාමිස සුවයට ළංවෙන්නෙ කොහොමද

අතීත මතකයන් කියන්නේ මෘතකයට. ඒ කිව්වේ මරණයට පත් වූ ගොඩවල්. රූප, වේදනා, සංඥා, සංඛාර සහ විඤ්ඤාණ කියන ගොඩවල්. මෘතකයට තමයි අපි මතකය කියන්නේ. මේ සැණින් දෙයක් විද්‍යමාන වුණොත්, එය ඒ සැණින් මතකයට යනවා. අතීත මතකය හරයක් නැහැ කියලා තේරෙන්න තේරෙන්න, ඒ අතීතයට ඇති බැඳීම සිඳීබිඳී යනවා. අතීතයට ගිය දේවල් ටිකක් සුඛයි, සාරයි කියලා මෝහයෙන් අපි අල්ලන් ඉන්නවා. ඒකම නේද අපි අනාගතයේදීත් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා එදා ඒ අරමුණු ගැන එන හැඟීම අද වෙද්දි සෑහෙන්න වෙනස් වෙලා. ඒ නිසා වර්තමානයේ ඇති තත්ත්වය අපේ උරුමය කියලා තේරුම් අරගෙන, මුඛ්‍ය පරමාර්ථය කරගත් නිවනට යන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ.

?දැන් ඔබවහන්සේ තමන්ගේ ජීවිතයට ළංකර ගන්න අරමුණු දිහා බලන්නේ සාපේක්‍ෂවද? නිරපේක්‍ෂවද

අපි අපේ ජීවිතය සාර්ථකයි කියලා කියන්නේ අපි හදාගත් සාර්ථකත්වයේ රාමුවට සාපේක්‍ෂව. එහෙම බැලුවාම මම කිසිම හරයක් නැති වැඩපිළිවෙළකයි ගිහි ජීවිතේ නියැළිලා හිටියේ. ඒක මට දැන් තේරෙනවා. අපි උත්සාහ කළේ ලෝකය අල්ලන්න. ඒක කවදාවත් ඉවර වෙන දෙයක් නෙමෙයි. හරියට විද්‍යාව වගේ. කවදාවත් යාවත්කාලීන වෙලා නවතින්නේ නැහැ. ඒත් පැවිද්දෙදි අපි නියැළෙන්නේ ඇලීම සහ ගැටීමට අදාළ අරමුණුවලින් ඉවත් වීමේ ක්‍රමවේදයක. එතැනදී නිවන හෝ නිවනට උපකාරී වන යමක් හොඳයි යන අරමුණු නැති කර ගත්තාම තමයි නරකයි යන අරමුණු නැති වෙන්නෙ. එතකොටයි මෝහය නැති වෙන්නෙ. එතකොට තමයි අවිද්‍යාව දුරු වෙන්නෙ. පෙළීම් සහගත ජීවිතයකට තමයි අපි ගිහි ජීවිතයේදී නිතරම සංඛාර වඩන්නේ. ඒක එකිනෙකාට සාපේක්‍ෂයි. ඒ නිසා තමයි මේ සංසාරේ දුකයි කියන්නේ. ඒ නිසා රාග, ද්වේෂ, මෝහ ප්‍රහීන කිරීමෙන් තමයි නිබ්බාන සුවය අත්වෙන්නේ. ඒක මට අවබෝධ වෙලා ඉවරයි. ඒ නිසා දැන් උත්සාහ කරන්නේ මට අරමුණු වන රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත දේවල් ගැන අනිච්ච, දුක්ඛ, අනාත්ම වඩන්න. එතකොටයි ඒ පෙළීමෙන් නිදහස් වෙන්නෙ. එතකොටයි නිරාමිස ප්‍රීතිය උදා වෙන්නෙ. එතකොටයි ලෝකෝත්තර වෙන්න පුළුවන් වෙන්නේ.

?මෙතරම් වීර්යය වඩලත් ප්‍රතිඵලවල ප්‍රමාදය වැනි දේවල් ගැන සිතුණු අවස්ථා නැද්ද

කොහොමටවත් නැහැ. එහෙම ඉච්ඡාභංගත්වයට පත්වෙන්නෙ මාර්ගය පැහැදිලි නැති අය. නිවන දැකලයි නිවනට යායුත්තේ. දැක්කා කියන්නේ නිවන පූර්ණය වුණා කියන එක නෙමෙයි. ඒත් කවදා හෝ පූර්ණය කරගන්න පුළුවන් බව පැහැදිලියි. ඒ නිසා නිවන දැක්කට පස්සේ ළඟා වීම තමන්ගේ වැඩක්. මොකද මෙහි තියෙන්නේ මග වැඩීමේ වැඩපිළිවෙළක්. එතකොට ලෝකයේ අතහරින්න දෙයක් නැහැ. අතහැරෙනවා. අනික මාර්ගය පැහැදිලි කෙනාට තමන් තුළ තියෙන අඩුපාඩුත් පෙනෙන්න පටන් ගන්නවා. තමන්ගේ මට්ටම කොතැනද තියෙන්නේ, තව කොපමණ දුරක් යායුතුද යන්නත් පෙනෙන්න පටන් ගන්නවා. නිවන පූර්ණය වුණාම ඒ බවත් ප්‍රත්‍යක්‍ෂ කර ගන්නවා.

IMG-d06cc3edf0be8f992ed88f73352f7182-V

?එතැනදී ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති  පූජාව නේද වඩා වටින්නේ

ආමිස පූජාව වැදගත්. හැබැයි ඒක නිවන නෙමෙයි. අපට සංසාරෙන් එතෙර වෙන්න පිං ඕන. ඒ නිසා ආමිස පූජාවෙන් පටිච්ච සමුප්පාදය දැකගන්නත්, ප්‍රඥාව තියෙන්න ඕන. හේතු ඵල දහමින් දෙයක් විද්‍යාමාන වෙන්නේ කොහොමද කියලා අවබෝධ කර ගන්නත් ප්‍රඥාව තියෙන්න ඕන. නැතුව ආමිස පූජාව නිවනට ඍජුව උපනිශය වෙන්නේ නැහැ. නමුත් ආමිස පූජාව යමෙකුට නිවන් දකින්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න උදවු වෙන්න පුළුවන්. ප්‍රඥාවන්තයාට ආමිස පූජාව තමන්ගේ කයට ගළපාගෙන විදර්ශනා වඩන්න පවා පුළුවන්.

?දැන් මොකක්ද එදා ගත් තීරණේ  ගැන හිතෙන්නෙ

පැවිදි වුණු වෙලාවේ දැනුණා වගේ සිය දහස් ගුණයක ප්‍රීතියකින් මම අද ඉන්නෙ. දවසින් දවස බුදුපියාණන් වහන්සේ මගේ හිතේ පැලපදියම් වෙනවා. දහමත් එක්ක මම ටික ටික රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඈත්වෙමින් ඉන්නවා. නිරාමිස ප්‍රීතිය මට දවසින් දවස දැනෙන්න පටන්ගෙන තියෙනවා. ඒ නිසා කවදා හෝ මට නිවන පූර්ණය කරගන්න පුළුවන් කියලා දැන් විශ්වාසයි. ‍

Capture02

ලෝකේ තියෙන බොහෝ රැකියාවලින් කරන්නෙ පංච කාමය පිනවීමට වක්‍රකාර උදව්වක්

අප ජීවිතයෙන් සොයනා සතුට එකිනෙකාට සා‍පේක්ෂ විය හැකි වුවත්, ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්ෂතාවක් තිබිය නොහැකිය. එනම්, එය නිරපේක්ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එමෙන්ම, තමන් සොයා ගත යුත්තේ තාවකාලික සතුට නොව, සදාකාලික සතුටක් යැයි සිතා, සමස්ත තුන් ලෝක සත්ත්වයන්ගේම යහපත පිණිස ගිහි ගෙදර අතහැර, එම සතුට සොයා ගිය අප මහ බෝසතාණෝ, එම උත්තරීතර බුද්ධත්වයත් සමග නිර්වාණය නමැති එම නිරපේක්ෂ සතුට ළඟා කරගත හැකි දහම ලෝකයට දේශනා කළහ. එය එසේ නම්, සැබැවින්ම බෞද්ධයන් වන අප මේ මොහොතේ උත්සාහ කරන්නේ තවත් සා‍පේක්ෂ සතුටක් අපේ ජීවිතයට ළංකර ගැනීමටද? නැතහොත් අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන් එම නිරපේක්ෂ සතුට ළඟා කර ගැනීමටද? සෑම බදාදාවකම දිගහැරෙන මෙම සෑම මනුෂ්‍ය චරිතයක්ම අවංකවම තම ජීවිතයේ සියලු සතුට මුවාවෙන් තිබුණු දුක අවබෝධ කරගෙන එය අතහැර බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් වූ නිර්වාණය නමැති නිරපේක්ෂ සතුට වෙනුවෙන් අවබෝධයෙන් වීර්ය වඩන උතුමන් වන්නේද එබැවිනි.


20170509_002028

ගිහි නම – කැළුම් මධුශංක

වයස – අවුරුදු 30

පදිංචිය – දකුණු කොරියාව/ශ්‍රී ලංකාව

පාසල – නිවන්තකචේතිය මහා විද්‍යාලය – අනුරාධපුර

රැකියාව – මැෂින් ඔපරේටර් – ආයතන ප්‍රධානී


?ඔබ වහන්සේට සද්ධර්මය හමුවෙන්නේ හරි අපූරු ආකාරයකට

ඔව්. දවසක් මම රාජකාරි ඉවර වෙලා ගෙදරට ගියේ නිදාගන්න හිතාගෙන. ඉතින් ඒ වෙලාවෙ මම ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට ආවා. එක වීඩියෝවක් මං ළඟට ඇවිත් දෙතුන් වතාවක්ම හිරවෙන්න පටන් ගත්තා. අයින් වෙන්නෙම නැහැ. ඒ නිසා මම බැලුවා මේ මොකක්ද කියලා. බැලින්නම් මිනිත්තු 43ක ධර්ම දේශනාවක්. මහන්සියෙන් හිටපු නිසා මම පොඩ්ඩයි ඇහුවේ. ඒත් ඒ අහපු පොඩ්ඩෙන්ම මම සෑහෙන්න තරම් ධර්මය කෙරෙහි පැහැදුණා. එදා මම ඇහුවේ මෙතෙක් මම නොඇසූම දහමක්. %සසර ගනුදෙනු^ තමයි ඒ ධර්ම දේශනාව. මට ඒක හොඳට මතකයි. එතැනින් තමයි මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ.

?හැබැයි ඔබවහන්සේට පැවිදි වෙද්දි ගෙදරිනුත් සෑහෙන්න බලපෑමක් ආවා නේද

මම තාමත් පැවිදි වෙලා වැඩි කාලයක් නැහැ. ඒ නිසා ඒ තත්ත්වයට ළඟාවෙන්න මම සෑහෙන්න සූක්ෂම වුණා. ධර්ම දේශනා දහයක් පමණ අහනකම්ම කිසිම අමුත්තක් ගෙදරට පෙන්නුවේ නැහැ. ඔවුන්ටත් දහම අහන්න සැලැස්සුවා. අනික ඔවුනුත් දහම ගැන ඒ වෙද්දි යම් අවබෝධයකයි හිටියේ. ඒ බවත් මම දැනගෙන හිටියා. ඒත් ඒ මට්ටම කොයිතරම්ද කියන එක ගැන නම් මට ලොකු අදහසක් තිබ්බේ නැහැ. ඉන් ටික කාලයකට පස්සේ තමයි මට අම්මලා පැවිදිවෙන්න කැමැත්ත දුන්නේ.

?ඒත් ඔබේ වැඩිමහල් සහෝදරයා එතැනදි ඔබවහන්සේට හරස් වුණා නේද

ඔව්. මේ ගැන දැනගත්තට පස්සේ අයියා මට දුරකථන ඇමතුමක් දීලා සෑහෙන්න බැන්නා. ඒ වෙද්දි අයියා විවාහ වෙලයි හිටියේ. ඔහු ගුවන් හමුදාවෙයි සේවය කරන්නේ. අනික ඒ කාලේ මට මගේ පෙම්වතිය හින්දත් ගැටලු සහගත තත්ත්වයක් ඇතිවෙලයි තිබුණේ. මොකද ඇය කැමති වුණේ නැහැ මම පැවිදි වෙනවට. පැවිදි වීම සම්බන්ධව ඇය හිටියෙත් වැරදි ස්ථාවරයක. හැබැයි මම ඇයටත් මේ ධර්මය අහන්න දෙන්න තරම් සූක්ෂ්ම වුණා. මම හිතනවා කවදා හෝ ඇය ඒ දහම තේරුම් ගනීවි කියලා. කොහොම වුණත් මේ අතරේ මගේ අයියට මගේ ගුරු ස්වාමීන් වහන්සේගේ දහමක් අහන්න අනුරාධපුරයේදී අවස්ථාව ලැබිලා තියෙනවා. ඉන්පස්සේ තමයි ඔහු තමන් කළ වැරැද්ද ගැන කලකිරිලා ගුරු ස්වාමීන් වහන්සේ ඉස්සරහ අඬල තියෙන්නේ. ඒත් එදා උන්වහන්සේ ඉතාමත් කරුණාවෙන් අයියා දිහා බලලා තියෙනවා. මම හේතු ගැළපුණොත්, පාරමිතාව සම්පූර්ණ වුණු දවසට පැවිද්දට ඒවි කියල ඒ වෙලාවේ උන්වහන්සේ අයියට කියල තියෙනවා. බොහෝම කරුණාවෙන් අයියගේ හිත හදලා තියෙනවා.   

? හැබැයි ඔබවහන්සේට ගිහි ජීවිතයේ ඉඳගෙනත් ධර්මයේ හැසිරෙන්න ඉඩක් තිබුණා

මට නැවතත් තිරිසනෙක් වෙන්න ඕන නැහැ. මොකද මට මං ඇහුව මුල්ම ධර්ම දේශනාවෙන්ම ඒ බව අවබෝධ වුණා. ඒ නිසා ආයෙත් නම් සතර අපාගත ‍වෙන්න මට බැහැ. ඒ බවත් එදා මම අවබෝධකර ගත්තා. ඒ නිසා මම මේ අත්භවයේදීම මේ සංසාරේ නිමා කළ යුතුයි කියන ස්ථාවරයට එදාම ආවා. හැබැයි මේ තීරණයෙන් පස්සෙත් මා වටා සිටි විදේශගත පිරිස මාරපාක්ෂික බලවේග වගේ මං පස්සෙ එන්න පටන් ගත්තා. ඉතාම සුළුතරයක් විතරයි මගේ තීරණය අවබෝධ කර ගත්තේ. ගොඩක් අය හිතුවේ දකුණු කොරියාවේදී තමන්ට ලැබෙන ලක්ෂ තුන හතරක වැටුප ගැන. සැප සම්පත් ගැන. පහසුකම් ගැන. අනික අපිට එහි ඕනෑතරම් නිදහසකුත් තිබුණා. මට තව අවුරුදු කිහිපයක වීසා කාලයකුත් තිබුණා. ඒ නිසා එහේ ඉතා සුව පහසුවෙන් ජීවත්වෙන්නත් මට අවස්ථාව තිබුණා. ඒ තියෙද්දිම මේ වගේ තීරණයක් ගත්තු එක ගැන එයාලට තිබ්බේ පුදුමයක්. මට ඉතාම සමීප අයියා කෙනෙක් කිව්වා ගිහින් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න කියල.

20170506_130035?හැබැයි දකුණු කොරියාව කියන්නේ බෞද්ධ පසුබිමක් පවතින රටක්

ඉස්සර නම් දකුණු කොරියාවේ වැඩිපුර ජීවත් වුණේ බෞද්ධයෝ. ඒත් දැන් තත්ත්වය වෙනස්. සියයට 30ක් විතර තමයි බෞද්ධයෝ ඉන්නේ. තවත් සියයට 30ක් ක්‍රිස්තියානි වැසියන්. බහුතරය ජීවත් වෙන්නේ නිරාගමිකයන් විදිහට. ඔවුන් විශ්වාස කරන්නේ නැහැ ආධ්‍යාත්මික ජීවිතයක් ගැන. කිසිවකුට හිංසාවක් නැති ලෞකික ජීවිතයක් ගැන පමණයි ඔවුන් හිතන්නේ. ඒ නිසා අපටත් ඔවුන්ව වෙනස් කරගන්න බැරිවුණා. අනික ඒ තරම් භාෂා ප්‍රවීණත්වයක් අපටත් නැහැ. ඒ තරම් කාලයක් මට එහි සේවය කරන්න ලැබුණෙත් නැහැ. හැබැයි මම දහමට නැඹුරු වෙද්දී ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසාදෙන්න මගේ කළමනාකරුවා ස්වකැමැත්තෙන්ම දායක වුණා. ඔහු කොරියානු ජාතික කළමනාකාරවරයෙක්. එතුමාව මම මේ මොහොතේදී විශේෂයෙන්ම මතක් කළ යුතුයි. මොකද එතුමා මගේ ධාර්මික නැඹුරුව දැනගත්තු ගමන් ඒ සඳහා මට එදා උදව් කරන්න පටන් ගත්තා. වතාවක් මට එතුමා හිස නමා ආචාර පවා කළා. හැබැයි මම දහම ඇහුවට පස්සේ වෙනදටත් වඩා උනන්දුවෙන් තමයි මගේ රාජකාරිය ඉෂ්ට  කළේ. ආයතනයට අවශ්‍ය නිෂ්පාදනයත් හොඳින් ලබාදුන්නා. ඒකයි විය යුත්තේ. 

?ඒත් ඔබවහන්සේ පවා ලංකාවට ඇවිත් වෘත්තීය වශයෙන් නියැළෙන්න අදහස් කරගෙන හිටියේ මංගලෝත්සව සම්බන්ධ ඉහළ ආදායමක් ලැබිය හැකි ක්ෂේත්‍රයක්

ඔව්. ඒකෙනුත් මම තේරුම්ගත්තේ මම මේ ප්‍රචාරණය ලබාදෙන්නේ කාමයට නේද කියලයි. විකුණන්නේ කාමය නේද කියලයි. මොකද අපි ගිහි ජීවිතේම ගෙවන්නේ පංච කාමයෙන් පිනවමින්. එතැනදිත් පවුල් ජීවිතේ සැපයි, සුන්දරයි කියලා ප්‍රචාරණයක් ලබාදෙනවා නේද කියලා මගේ හිත කියන්න පටන් ගත්තා. හැබැයි මගේ රැකියාව විතරක් නෙමෙයි, ලෝකේ තියෙන බොහෝ රැකියාවලින් සිදුකරන්නේ පංච කාමය පිනවීමට වක්‍රාකාරව උදව් කිරීමක්. ඒ නිසා නැවතත් සතර අපායේ නොවැටෙන්න නම් මේක තමයි එකම අවස්ථාව කියලා මම අවබෝධ කරගෙන ඉවරයි. මේක හොඳ අවබෝධයෙන් යා යුතු ගමන් මාර්ගයක් බවත් මම තේරුම් අරන් ඉවරයි.

?ඒ වෙනුවෙන් ඔබවහන්සේ මේ මොහොතේදී මොකද කරන්නේ

ඒ ඒ මොහොතේ හිතේ ස්වභාවය ගැන නිතරම සිහියෙන්, රාග, ද්වේශ, මෝහ සහගත සංකල්පනා පහළ වෙනවාද යන්න ගැන කල්පනාවෙන් ඉන්නේ. කෙලෙස් සහගත ඒ සංකල්පනාවල අසාරත්වය මෙනෙහි කරන එකයි සිදුකරන්නේ. ඒ වෙනුවෙන් තමයි ආර්යය මෛත්‍රී භාවනාව වඩන්නේ. අරිහතුන් වහන්සේලාට බලාපොරොත්තු නැහැ. උන්වහන්සේලා අතීතය සහ අනාගතයට ඇලිලා නැහැ. අතීතයට ඇලිල නැති නිසාම තමයි හිතින් බලාපොරොත්තු සහගත අනාගතයක් නිර්මාණය කරගන්නෙ නැත්තේ. ඒ නිසා ගිහියන්ට හෙට දවස ගැන කෝටියක් බලාපොරොත්තු තිබුණට, මට ඒ බලාපොරොත්තුවල අසාරත්වයමයි හැඟෙන්නේ. මේ මොහොතේ පමණයි ජීවත් වෙන්නේ. ඒ තරම් අපේ ඊළඟ හුස්ම ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසයි ජීවිතය අවිනිශ්චිත. අපි හැම මොහොතකම මරණයට සූදානම්ව ඉන්න ඕනේ. ඒ වෙනුවෙනුයි අපි වැඩකටයුතුවල යෙදෙන්න ඕන. පංචේන්ද්‍රයන්ගේ වටිනාකම ප්‍රහීන කර ගැනීමේ ප්‍රතිපදාවක අපි නියැළෙන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපි ඊට අවශ්‍ය පරිසර සාධක සහ කල්‍යාණ මිත්‍ර සේවනයේ යෙදෙන්නේ. ඒකයි ඒ ආකල්පය ධනාත්මක චින්තනයක් වෙන්නේ. 

?ගිහි ජීවිතේ සහ පැවිදි ජීවිතේ අරමුණුවල පවතින මූලික වෙනස්කම් කොහොමද දකින්නේ

ගිහි ජීවිතේදී අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ලෝකෙන් කොටසක් මගේ කරගන්න. ඒත් පැවිදි ජීවිතේදී අපි උත්සාහ කරන්නේ අතහරින්න. ඒකටයි අපි පුරුදු පුහුණු වෙන්නේ. මොකද ගිහි ජීවිතේදී අපි සතුටින් ඉන්නවා කියල හිතාගෙන හිටියට දැන් ඇත්ත නැත්ත හරි හැටි අවබෝධ වෙලයි තියෙන්නේ. ඒ හින්දා එදා ගිහි ජීවිතයේ කවමදාකවත් නොලබපු ආකාරයේ පුදුමාකාර සතුටකින් තමයි දැන් ජීවත් වෙන්නේ. මම ඒ නිරාමිස ප්‍රීතිය උදාකර ගත්තේ මේ පැවිදි ජීවිතය නිසා.

?දැන් ඔබවහන්සේ ජීවිතයට ළං කරගන්න අරමුණු දිහා බලන්නේ සාපේක්ෂවද නිරපේක්ෂවද

අපි අරිහතුන් වහන්සේලා නෙමෙයි. ඒත් අපි ඒ අරමුණ කරා ඒ මග යන අය. අරිහතුන් වහන්සේලා නම් ස්වභාවයෙන්ම නිරපේක්ෂවයි අරමුණු දිහා බලන්නේ. එතකොට කිසිම මානසික දුකක් නැහැ. අනික, බුදුරජාණන් වහන්සේ පවා සුදුසු, ගැළපෙන දේ අගය කළා. රමණීයත්වය උන්වහන්සේ අගය කළේ ඒ නිසා. ඒත් උන්වහන්සේ ඒක ඇගයුවේ අපි දකින දෘෂ්ටිකෝණයෙන් නෙමෙයි. මොකද උන්වහන්සේගේ චිත්ත පරම්පරා ගමන් කළේ අවිද්‍යාවෙන් නෙමෙයි.

?එදා ගත්තු ඒ තීරණේ ගැන දැන් මොකද හිතෙන්නේ 

සියයට දාහක් නිවැරදියි. ඒ බව දැන් ප්‍රත්‍යක්ෂ වෙලා අවසානයි. ඒ නිසා මේක තමයි ඒ ළි‍ඳෙන් ගොඩට එන්න තියෙන එකම මග. ඒ බවත් අවබෝධ වෙලා ඉවරයි. එහෙම නැත්නම් අදත් මම ඉන්නේ දකුණු කොරියාවේ. ඒත් මම අවුරුදු තිහක් වෙනකම්ම මොකක්ද කළේ කියන එකයි මට දුක. හැබැයි මම ඉන්පස්සේ හෝ මේ දහම අවබෝධ කරගත්තු එක ගැන සතුටුයි. මේක තමයි මම මේ දහම අවබෝධ කර ගත්තු හොඳම වයස කියල දැන් හිතෙනවා. මොකද ඊට අවශ්‍ය සියලුම ආකාරයේ ගිහි ආශ්‍රයන් මම ඒ අවබෝධයට පෙර ලැබුවා. ඒ නිසා මට මේ ගමනේ අසාරත්වය දකින්න ලේසි වුණා. දවසින් දවස මගෙන් දේවල් අත්හැරෙද්දි මට දැනෙන සතුට දැන් කියල නිම කරන්න බැහැ. අනික මගේ තාත්තත් ඒ දහම අවබෝධ කරගෙනයි දැන් ඉන්නේ. ඔහුත් තව ටික දවසකින් මේ පැවිදි ජීවිතයට ඒවි. ඔවුන් ඒ තරම්ම මේ දහම අවබෝධ කරගෙන. අයියත් දැන් මේ දහම අවබෝධ කරගෙන ඉන්නේ. ඔහු ඉන්නෙත් මෙතැනින් මේ පරම්පරාව අවසන් කර ගන්නවා වගේ මට්ටමක. මොකද ඔවුන්ටත් ආයේ සතර අපායේ තියා මේ තිස් එක් ලෝක ධාතුවේ කොහෙවත් ඉපදෙන්න අවශ්‍යතාවක් නැහැ. ඒ නිසා ඔවුන් උදේ පාන්දරම දවස ආරම්භ කරන්නෙත් ධර්ම දේශනාවකට සවන් දීලා.   

?ඒත් ප්‍රත්‍යක්ෂ දහම මිස නොපෙනෙන දෙවිවරු, භූතයෝ, පෙරේතයෝ ගැන විශ්වාස කිරීම බුදුදහමට කැපද

බුදුරජාණන් වහන්සේ අපට දිව්‍යලෝක ගැන, සතර අපාය ගැන ත්‍රිපිටකයේ දේවදූත සූත්‍රය ආදී සුත්‍ර දේශනා ඔස්සේ දේශනා කරලා තියෙනවා. හැබැයි අපට ඒ දෙවිවරු, පෙරේතයෝ නොපෙනෙන්නේ අපේ දෘෂ්ටි පරාසයේ ගැටලුවක් නිසා. එහෙම නැතුව නැති නිසා නෙමෙයි. එවැනි දේවල් නොපෙනෙන නිසාම අපට එවැනි කායිකයන් නැහැ කියන්න බැහැ. අනික දෙවිවරු අතරත් බලසම්පන්න ‍බවින් අඩු වැඩි අය ඉන්නවා. ඒ වගේම පෙරේතයෝ අතරත්, යක්ෂයෝ අතරත්, භූතයෝ හෙවත් සූක්ෂ්ම කයක් ඇති අය අතරත් බලසම්පන්න පිරිස් ඉන්නවා. දෙවියන්ට ආවතේව කරන දේවතාවොත් ඉන්නවා. ඒ වගේම බොහෝ පින් රැස් කරගත් සමහර පුණ්‍යවන්තයෝ ඉන්නවා ජීවිතයේ අවසාන මොහොතේදී ඒ අයට හටගත් ද්වේෂ සහගත සිතිවිල්ලක් නිසාම ප්‍රබල යක්ෂයෝ වුණු. ඔවුන්ටත් පුළුවන් තමන්ගේ සූක්ෂ්ම කය ඝනීභවනය කරන්න. ඒවා පුණ්‍ය සෘද්ධි. හැබැයි අවුරුදු සීය දෙසීය ගිහිල්ලත් පුණ්‍ය ශක්තිය මදිකමින් තමන්ගේ මුණුබුරාට මිණිබිරියට ආවේශ වෙලා පින් ඉල්ලන පෙරේත ආත්ම තමයි වැඩිපුර ඉන්නේ. අවාසනාවට, නොදන්නාකම නිසා බොහෝ දෙනාට අත්වෙන්නේ මේ ඉරණම. ඒ නිසා ‍භෞතිකවාදී නොවන සියල්ල මිත්‍යාවන් විදිහට බැහැර කරන්න අපට බැහැ. එහෙම නම් විනිවිද පෙනෙන වතුර වීදුරුවක ඉන්න ක්ෂුද්‍ර ජීවීන් පවා අපට බැහැර කරන්න සිද්ධ වෙනවා. මොකද ඔවුන්ව අපට පියවි ඇහැට පේන්නෙ නැහැ.

?ශික්ෂාකාමීත්වය කොහොමද සද්ධර්මය අවබෝධයට වැදගත් වෙන්නේ

ගරුගුණ හිත යන්න භික්ෂුවකට සද්ධර්මය අවබෝධය කර ගැනීමේදී ඉතා වැදගත්. ගරුගුණ හිත තියෙනකොට සිත, කය සහ වචනය ශික්ෂණය වෙන්න ඒක සෑහෙන්න උදව් වෙනවා. ඒ ශික්ෂණය ලබාගන්න වත් 14ක් තියෙනවා. අනික ඒ සඳහා සාමණේර නමක්ද, වැඩිහිටි භික්ෂුවක්ද යන්න කිසිසේත්ම වැදගත් නැහැ. අරමුණයි වැදගත්. අනික ජාත සෝතාපන්න ළමයි විශාල ප්‍රමාණයක් දැන් ලංකාවේ ඉපදිලා තියෙන බවත් අපට ආරංචියි. ඒ නිසා සාමණේර භික්ෂූන් වහන්සේලාට ධර්මාවබෝධයක් නැහැ කියලා අපට කිසිසේත්ම බැහැර කරන්න බැහැ. මොකද අපට තව කෙනෙක්ගේ ධර්මාවබෝධය ගැන පූර්ණ නිගමනයක් අරගන්න බැහැ. ඒ නිසා සද්ධර්මය අවබෝධ කරගැනීම සඳහා එකිනෙකා අතර පැවතිය යුතු කල්‍යාණ මිත්‍රත්වයයි වැදගත් වෙන්නේ. එතකොටයි නිවන කරා යා හැකිවෙන්නේ. ඒකයි ශ්‍රේෂ්ඨ වෙන්නේ.

 

(අවංකව නිවන උපනිශ්චයව ඉන්නා උන්වහන්සේලාගේ පැවිදි රුව මෙහි ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න, මෙහි පළවන සියලු ඡායාරූප ස්වාමින් වහන්සේගේ අවසරය ඇතිව පළවන එ්වායි) 
සම්බන්ධීකරණය – 077 279 0013 (සනත්), 'ධර්මයයි ඔබයි' ආරාමය, කීනගහවිල, කලටුවාව, රත්නපුරය)

20170501_173308  

Capture02

පැවිද්ද කියන්නේ නිදහස් අහස මෙන් දිනෙන් දින අත්හැරීමෙන් ලැබෙන නිරපේක්ෂ සුවයට යන ගමනයි

මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්දැයි කිවහැක්කේ ඔබටම පමණකි. මන්ද එයට සත්‍යයම පිළිතුර ඇත්තේ ඔබ ළඟම මිස වෙන කිසිවෙකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයනා සතුට එකිනෙකාට සා‍පේක්‍ෂ වන බැවින් එකෙකුගේ සතුටට හේතුවන දෙයම තවකෙකුගේ අසතුටටද හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්‍ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි. එනම් එය නිරපේක්‍ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එදා අප සිදුහත් බෝසතාණෝ කුමාර අවධියේ සිටම ජීවිතයේ සැප සහ සතුටෙහි උපරිමය ආස්වාදය අත්විඳිමින් සිටි මනුෂ්‍යයෙකු බව පැහැදිලි කරුණකි. කාම ලෝකයේ උපරිම ආස්වාදයක් විඳිමින් සිටියදී එම සතුටෙහි අවසානය මරණයකින් කෙළවර වන බවත්, අතරමැද ජීවිතයේ ඇති අවිනිශ්චිතතාවත්, රෝගයන්ගෙන් පෙළීමත්, දිනෙන් දින ශරීරය මහලු වන බවත් පැහැදිලිව පෙනෙන්නට ගත් ඉනික්බිති මෙම විසි නව හැවිරිදි කඩවසම් තරුණයා එය එසේ නම් මා සතුට යැයි මේ මොහොතේ අත්විඳින දෑ තාවකාලික දෙයක් පමණක් වේමැයිද අවබෝධ කර ගත්තේය. එනම් තමන් සොයාගත යුත්තේ මෙම තාවකාලික, සාපේක්‍ෂ සතුට නොව සදාකාලික සතුටක් යැයි සිතා සමස්ත තුන් ලෝක සත්ත්වයන්ගේම යහපත පිණිස සියල්ල අතහැර එම සතුට සොයා ගිය අප මහ බෝසතාණෝ, එම උත්තරීතර බුද්ධත්වයත් සමග නිර්වාණය නමැති එම නිරපේක්‍ෂ සතුට ළඟාකර ගත හැකි දහම ලෝකයාට දේශනා කළහ. එදා බුද්ධකාලීන සමාජයේ සිටි සුපින්වත් බුද්ධ ශ්‍රාවකයන් අතිවිශාල පිරිසක් එම දහම් සාගරයේ කිමිදෙමින් උතුම් වූ නිර්වාණයද සාක්ෂාත් කර ගත්හ. අතිවිශාල පිරිසකට අනෙකුත් මාර්ග ඵල සාක්ෂාත් කර ගනිමින් ජීවිතයේ නිරපේක්‍ෂ සතුටද ලබාගත හැකි වූහ. එය එසේ නම් සැබැවින්ම බෞද්ධයන් වන අප මේ මොහොතේ උත්සාහ කරන්නේ තවත් සා‍පේක්‍ෂ සතුටක් අපේ ජීවිතයට ළංකර ගැනීමටද? නැතහොත් අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන් එම නිරපේක්‍ෂ සතුට ළඟාකර ගැනීමටද? මෙහි එන සෑම මනුෂ්‍ය චරිතයක්ම අවංකවම තම ජීවිතයේ සියලු සතුට අතහැර, බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් වූ නිර්වාණය නමැති නිරපේක්‍ෂ සතුට වෙනුවෙන් අවබෝධයෙන් වීර්ය වඩන උතුමන් වන්නේද එබැවිනි.


 

4505_190093660623_7319513_n

ගිහි නම – විමුක්ති මහින්දරත්න

වයස – අවුරුදු 30

පදිංචිය – ඕමානය,ශ්‍රී ලංකාව,
 එංගලන්තය

පාසල – කොළඹ මහානාම, කොළඹ රාජකීය

රැකියාව – බැංකු කළමනාකරු, පරිගණක ජාලකරණ, සැලසුම් ප්‍රධානී

පියා – විද්‍යාඥයෙකි

මව – වෛද්‍ය ක්ෂේත්‍රෙය් විකිරණ ශිල්පිණියෙකි


? විද්‍යාත්මක පසුබිමක් තුළයි ඔබ වහන්සේ නිර්වාණය සොයා එන්නේ

මං දවසක වෛද්‍යවරයෙක් වෙයි කියල තමයි අප්පච්චි හිතුවේ. මොකද ගුරුවරයෙක් විදිහටත් සේවය කරපු  අප්පච්චිගෙන් මම ඉගෙන ගත්තේ සියලු දේ දිහා භෞතිකවාදීව දකින්න. විද්‍යාවෙන් හැමදේම දකින්නයි මං උත්සාහ කළේ. දෙවියෝ සම්බන්ධයෙන් මට කිසිම විශ්වාසයක් තිබුණෙ නැහැ. අද මට දහම ගැන තියෙන හැඟීම එදා මට කොහොමටවත් තිබුණෙ නැහැ. අප්පච්චි පවා උනන්දු කළේ විද්‍යාත්මක පොත් කියවන්න. ඒ නිසා අපි පුරුදු වුණේ ඇහෙනවා නම්, දකිනවා නම්, පේනවා නම් විතරක් විශ්වාස කරන්නයි. ඒත් මං තුළ නිරායාසයෙන්ම තිබුණු දෙයක් තමයි දහම සම්බන්ධ කුතුහලය. අනික මම දහම් පාසල් යන්නත් පුරුදු වෙලා හිටියා. ඉංග්‍රීසි දහම් පාසලකටත් ගියා. අද මට සිංහල තේරුම් ගන්න බැරි ලෝක සත්ත්වයාට ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම දේශනා කරන්න ඒ ලබාගත් දැනුම සෑහෙන්න උදව් වෙනවා.

? ඔබ වහන්සේ විද්‍යාත්මක පසුබිමක  ඉපදුණාට වෘත්තීය වශයෙන් තෝරා  ගන්නේ බැංකු ක්‍ෂේත්‍රය

බැංකුවේ පරිගණක තාක්‍ෂණික අංශයේ තමයි මම සේවය කළේ. ඒත් මට මුලින් අවශ්‍ය කළේ වෛද්‍යවරයෙක් වෙන්න. ඒ නිසා මම උසස් පෙළ ඉවර වෙන්නත් කලින් එංගලන්තයට ගියා. එහෙදි තමයි වෛද්‍ය විද්‍යාව හැදෑරීම උදෙසා කටයුතු කරන්න පටන් ගත්තේ. පස්සෙ තේරුණා වෛද්‍ය විද්‍යාව කියන්නේ මේ තරම් අධික මුදලක් සහ ශ්‍රමයක් දරලා ගන්න තරම් වටිනා දෙයක් නෙමෙයි කියලා. මොකද මම ඒ කාලයේ වෛද්‍යවරුන්ගේ ජීවිතවල ඔවුන් සොයන සතුට ලැබෙනවාද යන්න ගැන හොය හොයා හිටියේ. අනික මම ඊට කලින් ඉඳන්ම ජීවිතයේ සතුට කියන්නේ මොකක්ද කියලා හෙව්වා. එතකොට තමයි තේරුණේ මේ තරම් අවිවේකී ජීවිතයක් ගත කරන්න මම මොකටද වෛද්‍යවරයෙක් වෙන්නේ කියලා. ඒ නිසා මම බැංකුවේ රැකියාවක් කරන්න හිතුවා. මුලින් වැඩ කරන්න හම්බ වුණේ මූල්‍ය අංශයේ. අවසානයේ මම වසර දෙකකට පස්සේ බැංකු සේවය අවසන් කළේ බැංකු කළමනාකරුවෙක් විදියට. ඉන් පස්සේ මම එතැනින් ඉවත් වුණේ පරිගණක ජාල ඉංජිනේරු ක්‍ෂේත්‍රයෙන් උපාධියක් හදාරන්න. මොකද මට මුල ඉඳන්ම ඒ අංශයෙන් ඉගෙනගන්න ආසාවක් තිබුණා. විශ්වවිද්‍යාලයෙන් විශිෂ්ට සම්මාන සහිත ගෞරව උපාධියක් ඇතිව පිටවූ මා ඒ අනුව බැංකුවේම ඊට සම්බන්ධ රැකියාවක් කළා. එතැනදී මං කළේ එහි තාක්‍ෂණික පද්ධති නිර්මාණය සහ සැලසුම්කරණය. එතැනදීත් මට ඉතා කෙටි කාලයකින් උසස්වීම් හතරකට එන්න හැකි වුණා. ඒ ගැන එහි සිටි බැංකු ප්‍රවීණයෙක් පවා පුදුම වුණා. 

 

?ඒ අතරේ කොහොමද සද්ධර්මය හමුවෙන්නේ

දවසක් අපි එහේ ඉන්නකොට විනෝද සවාරියක් යන්න ලෑස්ති වුණා. ඒකට මගේ ගිහි කාලේ බිරිඳත් එක්වෙලා හිටියා. වාහනයේදී කෙනෙක් මට කිව්වා ගිහි ධර්ම දේශකයෙක් ඉන්නවා කියලා. ඒක අපි මීට කලින් අහල නැති දහමක් කියලා කිව්වා. අපට තියෙන ගැටලුවලට හිතන්න යමක් ඉතුරු කරන ඉතා ධාර්මික පිළිතුරු එතුමා දෙනවා කියලත් කිව්වා. ඒ නිසාම මම ඊළඟ ගිහි බණට ගියා. එතැනදී මට කෙනෙක්ව හඳුනගන්න ලැබුණා. මම එතුමාට ඉතින් සුපුරුදු ළෙන්ගතුකමට %‍කොහොමද මචං^ කියලා කතා කළා. පස්සෙ තමයි දන්නේ ඒ ධර්ම දේශකයාණන් වහන්සේ බව. එදා එතුමා පැය හතරක ධර්ම දේශනාවක් කළා. ජීවිතය කණපිට පෙරලුණේ එතැනින්.

?මතකද එදා අහපු ධර්ම දේශනාව

ඔව්. එදා අපි ඇහුවේ ජීවිතයේ යථාර්ථය පිළිබඳ ධර්ම දේශනයක්. අපි හැමෝටම තියෙන්නේ ආස්වාදය පසුපස්සේ ගමන් කරන ජීවිතයක්. 
ඒ නිසා අපි ජීවත් වෙන්නේ අපි හිතින් මවාගත්තු ෆැන්ටසි ලෝකෙක. මුළාවකට අහුවෙලා අපි ඒ ගමන වෙනුවෙන් කොයිතරම් සතර මහ අපාගත වන වැඩපිළිවෙළකට යටත් වෙනවද කියලා තමයි එදා අවබෝධ වුණේ. අනිච්ච, දුක්ඛ, අනත්ත එදා තමයි තේරුණේ. මොකද අපි මෙතෙක් කාලයක් යෙදිලා හිටියේ සිද්ධාර්ථ කුමාරයාගේ චරිත කතාව ඉගෙන ගෙන අහන හැමදේටම එහෙයි^ කියන්න මිසක්, තථාගතයන් වහන්සේ සාරා සංඛෙයිය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරලා දේශනා කළ ප්‍රඥාගෝචර දහම මොකක්ද කියන එක ගැන විමර්ශනය කරන්න නෙමෙයි. ඒ නිසා මේක නම් තථාගතයන් වහන්සේගේම දහමක් කියලා එදා මට තේරුණා.

?එතෙක් ඔබ වහන්සේ ගත කළ ජීවිතය ගැන කතා කළොත්

මං අවුරුද්ද පටන් ගන්නකොටම මගේ ජීවිතේ පැතිකඩ අටකින් සැලසුම් කරපු කෙනෙක්. මගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, මූල්‍ය, ආයෝජන, විවේකය, වගකීම් ආදී සියල්ලම ඒකට ඇතුළත්. මාස්පතා මං ම‍ගේ ඉලක්කවල ප්‍රගතිය පවා පරීක්ෂා කරනවා. සතිපතාත්, දිනපතාත් සැලසුම් සකස් කරනවා. ඒක මම ඉගෙන ගත්තේ බැංකු ක්‍ෂේත්‍රයේ රැකියාව කරන කාලෙදි. ඒ නිසා මම ඒ කාලෙදි ජීවිතය සාර්ථක කරන  පොත්පත්, හඬපට, වීඩියෝ හුඟක් අධ්‍යයනය කළා. එංගලන්තයේදී ශාස්ත්‍රීය ගායනය පැත්තෙන් සංගීත කටයුතුවලත් යෙදුණා. රත්‍රන්වල ආයෝජනය කළා. බිට්කොයින්වල ආයෝජනය කළා. ඒවායෙන් බොහෝ සෙයින් ලාභ ලැබුවා. මිලියනපතියෙක් වෙන්න අවශ්‍ය පසුබිම හදාගත්තා. මගේ බිරිඳටත් නිකරුණේ මුදල් නාස්ති කරන්න කිසිදු අවශ්‍යතාවක් ඇති වුණේ නැහැ. අනික ඇය බොහොම සරල කෙනෙක්. අත්පත් කරගන්නවාට වඩා තියෙන දේත් දන් දෙන්න පුරුදු වුණු කෙනෙක්. ඒ එකතුවීමත් හරි පුදුමයි.‍ පොඩි කාලේ අපි දෙන්නම ජීවත් වුණේ ඕමානයේ. ඇය පළමු පන්තියේ සිටම මගේ පාසල් මිතුරියක්. ඇය තමයි මට ඉංග්‍රීසි කියලා දුන්නේ. අන්තිමට ඕමානයේ සිට ලංකාවට එද්දි මට සිංහල හරියට බෑ. ඕනෑම දෙයක් අධිෂ්ඨාන කළොත් ඒක හරියටම කරන්න මම ඉස්සර ඉඳන්ම පුරුදු වෙලා සිටි නිසා පස්සේ මම සිංහල පන්තියේ පළමුවැනියා වෙන මට්ටමට ආවා. ඒ නිසයි මට අද සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකෙන්ම ‍ධර්ම දේශනා පවත්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. මගේ බිරිඳ වෘත්තියෙන් ගුරුවරියක්. විවාහයෙන් පසු අපි දෙදෙනා එංගලන්තයේ පුරවැසිභාවය ලබාගත්තා. අපි දෙදෙනා එකතුවෙලා සුනාමි නිසා අවතැන් වුණ දරුවන්ට ආධාර කළා. නොකඩවා සෑම මාසෙකම එංගලන්තයේ ගමේ පන්සලට දන් පූජා කළා. ධර්මය හමු වුණාට පස්සේ ලංකාව වටේ ත්‍රිපිටක ජූජා කිරීමේ වැඩපිළිවෙළකුත් දියත් කළා. ඒ වගේම තවත් මුදලකුත් අනවබෝධයෙන්ම එකතු කළා. මොකද අපි දැනන් හිටියේ නැහැ අපි මේ මොකටද ඉතුරු කරන්නේ කියලා. පැවිදි වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි ‍අපිට මේ මුදල් එකතු කළේ ශාසනය වෙනුවෙන් කියලා අවබෝධ වුණේ. අනික මම දහම හමු වුණා කියලා රැකියාව නැවැත්වුවේ නැහැ. මගෙන් විය යුතු දේ තවත් හොඳට කළා. පැවිද්දට අවසර ගනිද්දිත් බිරිඳගෙන් බාධාවක් ආවේ නැහැ. ඇයට පැවිදි‍ වෙන්නත් මට තරම් අමාරු වුණේ නැහැ. මොකද අපේ ගෙදරින් ඇහුවේ ඇයි මෙච්චර අවදානමක් අරගෙන පැවිදි වෙන්නේ කියලයි. ඇයි මෙච්චර ඉක්මන් වෙන්නේ කියලයි. ඇය මම පැවිදි වෙන්න හිතපු වෙලාවේ කිව්වේ ආපහු එන්න වුණොත් බාරගන්න බලාගෙන තව ටික කාලයක් ඇය රැකියාව කරගෙන ඉන්නම් කියලයි. ඇය දැන් දසසිල් මාතාවක්. බොහෝම හොඳ අවබෝධයකින් තමයි අද අපි මේ ගමන ආවේ.

774824_10152464086900624_1201389601_o

?සද්ධර්මය අවබෝධ වීම කොහොමද බුද්ධ චීවරය දරන්න හේතුවක් වෙන්නේ

ගිහි ජීවිතයේ ඉඳන් වුණත් නිවන් දකින්න බැරි නැහැ. හැබැයි ඒ ගමන යන්න වෙන්නේ බයිසිකලයෙන්. මගේ ජීවිතය ගැන එක මොහොතක්වත් විශ්වාස කරන්නේ නැති මං මේ ගමන යන්න හදන්නේ රොකට් එකෙන්. මොකද මට මේ සංසාරේ මොනතරම් තුච්ඡයිද කියලා අවබෝධ වෙලා ඉවරයි. ඒ නිසා ආයේ මනුෂ්‍යයෙක් තියා දෙවියෙක්, බ්‍රහ්මයෙක් වෙන්නවත් මට ඕනකමක් නැහැ. කොහේ ගියත් තියෙන්නේ මහා පෙළීම් ගොඩක්. අනික බුද්ධ චීවරයත් එක්ක මට මේ ගමන යන්න අවශ්‍ය සත්පුරුෂ සේවනය ඉතා ඉක්මනින් ලැබෙනවා. පැවිද්ද කියන්නේ නිදහස් අහස මෙන් දවසින් දවස අත්හැරීමෙන් ලැබෙන නිරපේක්‍ෂ සුවය මේ අත්භවයේදීම අත්විඳින්න පුළුවන් උතුම් අත්දැකීමක්. තව කෙනෙකුට මේ මාර්ගය පහසුවෙන් අවබෝධ කරලා දෙන්න පුළුවන් වෙන්නෙත් එතකොටයි.

?අවබෝධයෙන් වුණත් දෙමවුපියන්ට අකීකරු වෙලා පැවිදි වීම දහමට ගැළපෙනවාද

අම්මා කොච්චර කෝච්ච්යට පනින්න කිව්වත් අපි පනිනවද? දෙමවුපියන් අපිව මේ ලෝකෙට බිහි කළා තමයි. ඒත් අපි තමයි අපේ තීරණ ගත යුත්තේ. මං අපායට ගිය දවසට කවුද මාව බේරා ගන්නේ? අසනීප වුණොත් ගිය භවයේ ඔබේ දෙමවුපියන් ඇවිත් අක්ෂි දානයක්, හදවතක් දෙයිද? ඒ නිසා අපි අපේ ජීවිතය අවබෝධයෙන් ගත කළ යුතුයි. හරියට ගත කළ යුතුයි. පණ තියෙන තාක් කල් ජීවිතය කියන ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන එක නෙමෙයි සැබෑ සතුට කියන්නේ. අනික හුඟක් දෙමවුපියන් දරුවෙක් හදන්නේ පෙළීමකට පිළියමක් විදියට ඔවුන්ගේ සතුට වෙනුවෙන්. ඒත් සැබෑ සතුට දරුවා හරි හොයා ගත්තොත් ඔවුන්ට කොයිතරම් සතුටුද? ඒ නිසා මමත් අපේ අම්මගෙන් පැවිදි වෙන්න අවසර ඉල්ලද්දි ඇහුවේ මාව ගෙනාවේ දරුවෙක් විදිහටද, වහලෙක් විදිහටද කියලයි. එහෙම බැලුවාම වහලෙක් විදිහට මාව ගෙනාවා නම් මට මේ ලෝකේ ලොකුම අසාධාරණය කරල තියෙන්නේ ඔයාලා නේද කියල මම ඇහුවා. හැබැයි මම ඒක ඇහුවේ ඒ අය ඉන්න තැන ඒ අයටම අවබෝධ කරදෙන්න මිසක් අංශු මාත්‍රයක වෛරී හිතකින් නෙමෙයි. 
එයාලා මම වෙනුවෙන් කළ කැපවීමට මම සදා ණයගැතියි. ඒ ණය මට පියවන්න පුළුවන් වෙන්නෙත් මගේ අම්මවයි, අප්පච්චිවයි සතර අපායෙන් මුදවාගත හැකි ධර්මයක් දීමෙන් පමණයි. ඒ වෙනුවෙන් පළමුව මං ධර්මය අ‍වබෝධ කර ගත යුතුයි. ඒ නිසා මගේ අධිෂ්ඨානය ආයේ මේ ලෝකෙට දරුවෙක් ඉපදුණොත් ඒ මම නොවේවා යන්නයි. 

?ඒත් සැලසුම් සහගත ජීවිතයකට පුහුණුවුණු ඔබට ඒ පුහුණුවීමෙන් ගැලවෙන්න ලේසි නැහැ

මට එවැනි සැලසුම් සහගත ජීවිතයක් ගත කරන්න සිද්ධ වුණේ මගේ කැමැත්තට මේ ජීවිතේ ගත නොවෙන නිසා. අපි කන්නේ කැමැත්තටද නැත්නම් බඩගින්න දැනෙන නිසාද? ඒකෙන් අපට නිදහස් වෙන්න සිද්ධවෙලා තියෙනවා. ලෙඩට, මරණයට මුහුදෙන්න අපට සිද්ධවෙලා තියෙනවා. පැවිදි වුණත් මමත් ජාති, ජරා, ව්‍යාධියට අහුවෙලා ඉවරයි. ඒ නිසා යහපත් ජීවිතයක් වෙනුවෙන් මටත් එවැනි වැඩපිළිවෙළකට යටත් වෙන්න සිද්ධ වුණා. ඒත් මේ ලෝකේ සියල්ලම අනිච්චයි. අපේ කැමැත්ත අකමැත්ත වෙන දේවල්වලට අදාළ නැහැ. ඒ නිසා මට මගේ ගිහි අරමුණු පැහැදිලි වුණු දා පටන් ඒ වෙනුවෙන් මහා සංඛාර පොදි පිටින් වඩන්න සිද්ධ වුණා. හැබැයි මම එදා පුහුණු වුණු සැලසුම්කරණය අදටත් භාවිත කරනවා. මගේ දවස ගත වෙන්නේ සැලසුම් සහගතව. ඒ නිසා ඒකෙන් මට අවැඩක් වුණේ නැහැ. ඉලක්කය වෙනස්වෙලා තියෙනවා. ඒකයි එකම වෙනස. 

?කලාත්මක පරිසරය කොහොමද  සද්ධර්මයට බලපෑම් කරන්නේ

නිවන් දකින්න නම් කලාව කරලා හරියන්නේ නැහැ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන තුළින් ඇස, කන පිනවීම තමයි කලාව කියන්නේ. ඒ නිසා නිවන් දැකීමයි, කලාවයි කියන්නේ හාත්පසින්ම වෙනස්. හැබැයි බෝධිසත්ත්වයන් වහන්සේ පවා දුෂ්කර ක්‍රියා කරන සමයේ වීණා වාදකයෙක් තමන්ගේ වීණාවේ තත් තද කරන, බුරුල් කරන විදිහ දැකලා ඒ හරහා යම් දහමක් අවබෝධ කරගෙන තියෙනවා. මොකද තථාගතයන් වහන්සේ අපට නිවන් දකින්න කිව්වේ මේ ලෝකේ ඉඳගෙනමයි. සෝතාපන්න වෙනවා කියන්නේ වෙනස් විදිහට දකින්න පුළුවන් වෙනවා කියන එකයි. ඔවුන්ට පුළුවන් අහන, දකින හැමදේම නිවන පැත්තට හරවගන්න. උදාහරණයකට භික්ෂූන් වහන්සේලා පිරිසක් නියරක් දිගේ වඩිද්දි නෙළුම් කවියක් අහල අරිහත්භාවයට පත්වුණු සිදුවීම්ද බුද්ධ කාලේ වාර්තා වෙලා තියෙනවා. නෙළුම් කවියක් අහලා කෙනෙක්ට සෝතාපන්න වෙන්න බැහැ. සෝතාපන්න වුණ කෙනෙක්ට ඒ ඇසුරින්  අරිහත්භාවය දක්වා ඉතිරි මග ඵල පූර්ණය කරගන්න නම් පුළුවන්. ඒකට නෙළුම් කවියක්ද, රොක් සංගීතයක්ද කියන එක අදාළම නැහැ. මට මතකයි මගේ ගුරු ස්වාමීන් වහන්සේ මට දවසක් කිව්වා. “අතහරින්න. එතකොට නවතියි” කියලා. ඒ කිව්වේ ගිහි කාලේදි ගුවන්තොටුපළේ ට්‍රොලිය මට පෙන්නලා. ඒකත් ඇති කෙනෙක් නිවනට හරවගන්න. කලාකරුවාටත් තමන්ගේ ඇසින් ඒ දේ අත්දකින්න පුළුවන්. ඒකට ගහෙන් වැටෙන කොළයක් වුණත් පාදක වෙන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් කියන්නේ කිසිම දෙයකට ඇලෙන්නේවත්, ගැටෙන්නෙවත් නැතුව කටයුතු කරන උත්තමයෙක්. ඒ තැනටයි අප යා යුත්තේ. මට ඕනේ කෙනෙක්ව කෑලි කෑලිවලට කැපුවත් මගේ ඇහැට එක කඳුළක්වත් නොනැගෙන තැනට මගේ හිත පත්කර ගන්න. මොකද ඒ පියවා ගන්නේ ගනුදෙනුවක්. තථාගතයන් වහන්සේ නමක් පහළ වෙන්නේ මිනිස්සුන්ව සතර මහා අපායෙන් මුදාගන්න. එහෙම නැතුව ගනුදෙනු පියවන්නවත්, ඒවාට මැදිහත් වෙන්නවත් නෙමෙයි. නිවන් අවබෝධ කර දිය හැකි පිරිස් ඉන්නවා නම් ඔවුන්ට නිවන් අවබෝධ කර දෙන්නයි උන්වහන්සේ මහා කරුණාව පාන්නේ. ඒ නිසා සංසාරගත ගනුදෙනුවලට මැදිහත් නොවී නිවනට මග සකසා ගැනීමයි කළ යුත්තේ. 

?දරුමල්ලන් ගැන නොසිතාම ඔබ වැනි දක්‍ෂ විනීත සිංහලයන් තාරුණ්‍යයේදීම නිවන සොයා පැවිදි වීමෙන් සිදුවෙන්නේ සිංහලකමට, බෞද්ධකමට හානියක් වීම නොවේද

සීහ හෙළයා මුලින්ම විනාශ කරන්න මග කියාදුන්නේ තථාගතයන් වහන්සේ. සීහ හෙළයට බුදුන් වහන්සේ දේශනා කළේ ඉපදුණොත් මේ දුක් සියලු දේටම උරුමකම් කියනවා කියලයි. වහ වහා සසරින් නිදහස් වෙන්න කියලයි. වහ වහා නිවන් දකින්න කියලයි. ඉපදෙන වැඩපිළිවෙළ නවත්තගන්න කියලයි. මොකද බෞද්ධයෝ කියන්නේ ජීවිතයේ විඳින්න පුළුවන් උපරිම සැපය විඳගන්නට හැකි පිරිසක්. සතුටින් සිටීම උදෙසායි මේ වැඩපිළිවෙළ කරගෙන යන්නේ. දේවල් අත්හැරෙද්දියි ඒ අපරිමිත සතුට දැනෙන්නේ. මොකද අපිට අත්හැරෙන්නේ අපි හිතෙන් මවාගත්තු ෆැන්ටසි ලෝකේ.

FB_IMG_1522599770914

?දැන් මොකක්ද එදා ගත්තු  තීරණේ ගැන හිතෙන්නේ

මම මේ ජීවිතේ පමණක් නොවෙයි මුළු සංසාරෙටම  ගත්තු හොඳම තීරණේ තමයි මේක. මේ තරම් සතුටක් මම කවදාවත්ම අත්විඳලා නැහැ. දවසින් දවස අතහැරෙන්න හැරෙන්න මහා චිත්ත සුවයක් මම විඳිනවා. අපේ ගෙදර අය මගෙන් සැප දුක් කොහොමද කියලා ඇහුවමත් දැන් මට ඒ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් සැප ගැන උත්තරයක් විතරයි. අනිත් එකට දෙන්න මට දැන් උත්තරයක් නැහැ.

මේ ක්‍රමය කණපිට පෙරළන්න පුළුවන්

වසර 26ක් තිස්සේ වේදිකාවේ මෙන්ම ටෙලිනාට්‍ය සහ සිනමා මාධ්‍යයේද කටයුතු කරන චමිලා පීරිස්, මේ දිනවල වේදිකාගත වන ‘හැම්ලට්’, ‘සාදය මාරයි සල්ලි හමාරයි’ ආදී වේදිකා නාට්‍යවල මෙන්ම ‘සහෝදරයා’ ටෙලිනාට්‍යයේද කැපී පෙනෙන චරිතයක් නිරූපණය කළ ප්‍රවීණ ශිල්පිනියකි. ඇය තවමත් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වන ‘සහෝදරයා’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන සම්මානනීය තිර රචක නාමල් ජයසිංහගේ බිරිඳයි. මේ ඇය සමගින් කළ කෙටි කතාබහක සටහනකි.   


_MG_2149

Q කලාවම ජීවන විලාසය කරගත් ස්වාමිපුරුෂයකු සමගින් ජීවත් වීමේ අත්දැකීම කොහොමද දකින්නේ

මම ඒකට කැමති කෙනෙක්. ඒක මම ඔහුව දැක්ක කාලෙ ඉඳන්ම තිබුණු දෙයක්. අනික මගේ ජීවිතෙත් ඒ වගේ. කලාවයි, පෞද්ගලික ජීවිතෙයි කියල දෙකක් මට නැහැ. ඒත් නිර්මාණකරණය තුළ යෙදෙන දර්ශනයට වඩා පරස්පර දර්ශනයක තමන්ගේ ජීවිතය ගෙන යන කෙනෙකුට නම් හිතෙන්න පුළුවන් මේක ඉතා අමාරු කටයුත්තක් කියලා. හැබැයි මට එහෙම නැහැ. මම ඔහුගේ ඒ ගතියට ආදරය කරපු කෙනෙක්.

Q ඒ කියන්නේ රූපණ ශිල්පිනියක් විදිහට ඔබ මෙතෙක් ආ ගමන ගැන සතුටුයි

ඔව්. මම දන්නවා මට යමක් කරන්න පුළුවන් කියලා. මගේ පරාසය ගැන අනික් අය කියනවා වගේම මමත් අඳුනගෙන තියෙනවා. විශේෂයෙන් මට වේදිකාව තුළ හොඳ චරිත ලැබිලා තියෙනවා. මම දන්නවා ඒ නිසා මට තවදුරටත් වැඩ කරන්න පුළුවන් කියලා. ආපසු හැරිල බැලුවත් මම යෙදුණු කටයුතු ගැන මට හුඟක් සතුටුයි.

Q ’කලාව’ වෙනුවෙන් පාලනතන්ත්‍ර තුළ ලබාදුන් ස්ථානය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද

බැහැ. ඉතාම පහළ ස්ථානයක් තමයි එදා සිටම ඔවුන් කලාව වෙනුවෙන් ලබාදුන්නේ. එවැනි පිරිසකට තමයි අපි එදා සිටම බලය දුන්නෙත්. අනික තාමත් අපට රූපණය හැදෑරීමට පවා නිශ්චිත ස්ථානයක් නැහැ. වේදිකා රූපණයේ අභ්‍යාස සඳහා වේදිකාවක් හෝ පැවතුණත් තිර රූපණය සඳහා තාමත් එවැනි නිශ්චිත අභ්‍යාසගත අවකාශයක් නැහැ. ඒ නිසා උගන්වන්න දන්න මිනිස්සුත් අඩුයි.

Q ඒත් ගෝලීය සමාජයක ජීවත් වන අපට එදාට වඩා තාක්ෂණයෙන් අනූන විශ්වවිද්‍යාල පද්ධතියක් අද තියෙනවා

මං හිතන්නේ නැහැ ඒ තුළ දියුණු සාර්ථක වැඩපිළිවෙළක් තියෙනවා කියල. මම කිව්වේ නාට්‍ය කලාවට සාපේක්ෂව. මං හිතන්නේ නැහැ විශ්වවිද්‍යාලවල සාර්ථක විෂය පද්ධතියක්, සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා කියලා. අනික කොතරම් හොඳ ගුරුවරුන් ඒ ස්ථානවලට ගියත්, ‍කොයිතරම් උත්සාහ කළත් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ සියල්ලම පාලනය වෙන්නේ රාජ්‍ය පාලන පද්ධතියක් ඇතු‍ළේ. අනික සමහරු නාට්‍ය හා රංග කලාව වගේ කලා උපාධි කරන්නේ වෙන මුකුත් බැරි හින්දා. සමහරු ප්‍රසිද්ධ වෙන්න පුළුවන් කියල හිතාගෙන කරනවා. ඒත් හුඟක් දෙනෙක් නාට්‍ය හා රංග කලාව විෂය හදාරන්නේ රැකියාවක් විදිහට ගුරු වෘත්තියේ යෙදෙන්න බලාගෙන. සියයට 95කට වඩා ඉන්නේ එහෙම පිරිසක්. සරච්චන්ද්‍ර යුගයේදී විශ්වවිද්‍යාලයට විද්‍යාර්ථීන් ආවේ ඔවැනි අරමුණු ඇතුව නෙමෙයි. ඔවුන්ට ඒ වෙද්දිත් ලෝක සාහිත්‍යයේ ඇසුර ලැබුණා. නාට්‍යකරණයේ ඔවුන් යෙ‍දිලා හිටියා.‍ හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබුණා. දියුණු වාමාංශික අදහස් දැරුවා. ඒ නිසයි දියුණු විශ්වවිද්‍යාල සංස්කෘතියක් ඒ කාලේ නිර්මාණය වෙලා තිබුණේ. 

Q කලාවට අවශ්‍ය කරන්නේ රාජ්‍ය මැදිහත් වීමක්දQ  නිදහසේ ගලා යාමක්ද

මැදිහත් වීමක් අවශ්‍යයි. මොකද ලබාදුන් නිදහස වල්බූරු නිදහසක් විදිහට භාවිත කරන්න ඉඩ දෙන්න බැහැ. උදාහරණයක් විදිහට විදෙස් ටෙලිනාට්‍ය ආනයනය කිරීම සීමා කිරීමට රාජ්‍ය මැදිහත් විය යුතුයි. හැබැයි එතැනදි ඊට දායක වන දේශීය කලාකරුවන් අසාධාරණයකට ලක් කළ යුතුයි කියල මම කියන්නේ නැහැ. එක් නාළිකාවකට එක් විදෙස් ටෙලිනාට්‍යයක් පමණක් ආනයනය කළ හැකි ආකාරයේ මැදිහත් වීමක් රාජ්‍ය මට්ටමෙන් සිදුවිය යුතුයි. එතැනදි ඒවායේ තේමාවලින් ප්‍රේක්ෂකයාට වෙන හානිය ගැනත් සොයා බලා ආනයනය කිරීමට අවසර ලබාදෙන්න පුළුවන් නම් තමයි එය වඩාත් වටින්නේ. එවිටයි ඒ මැදිහත් වීම සාධාරණ වෙන්නේ. 

_MG_2136

Q කෙසේනමුත් දියුණු සන්නිවේදන ලෝකයක ජීවත්වන අපට කුඩා දරුවෙක් නැරඹීම නිල් චිත්‍රපටයක් පවා වාරණය කිරීම අසීරුයි

නිරුවත කියන්නේ අපි නිරුවත් වුණාම දකින ශරීරයට. මම නම් මගේ දරුවට කියලා දීලා තියෙන්නේ එහෙමයි. ඒකෙ වෙනම ආශ්චර්යයක් නැහැ. සොබාදහම මනුෂ්‍යයා නිර්මාණය කිරීමේදී ගොඩනගන ලද අවයව තමයි එතැන තියෙන්නේ. ඒ නිසා මෙතැන තියෙන්නේ ලංකාවේ දියුණු ලිංගික අධ්‍යාපනයක් නොමැතිකමේ ගැටලුවක්. ඒ නිසා මම නම් ඒ අධ්‍යාපනය මගේ දරුවට දීලයි තියෙන්නේ. අනික මිනිස්සු කොහොමත් සාමාන්‍ය ජීවිතේ තමන් කරන දේම ‍අනෙකා කරනවා දකින්න ආසයි. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය. ඒ රූපගත කරන මැජික් එකට අපි කැමැති ඒකයි. සිනමාවට අපි එච්චර ආදරය කරන්නෙත් ඒ මැජික් එක නිසා. අනික මම හිතන්නේ නැහැ නිල් චිත්‍රපට බැලීම වාරණය කළ යුතුයි කියලා. මොකද ඒක වෙන රසයක්. වෙන ඇබ්බැහියක්. ඔවුන් හොඳ නිර්මාණ රසවිඳින්නේ නැහැ කියල ඒකෙන් කියන්න බැහැ. ඒ නිසා ලිංගිකත්වයට වඩා වෛරය, ක්‍රෝධය, සියදිවි නසා ගැනීම වැනි දේ එන්නත් කරන නිර්මාණ සමාජගත කිරීම තමයි අතිශයින් භයානක. ඒ නිසයි පසුගිය කාලයේ සියදිවි නසා ගැනීම් වැනි සිදුවීම් ඉහළ ගියේ. ඒ නිසයි මම කියූ වාරණය අවශ්‍ය වෙන්නෙත්.

Q ඒ කියන්නේ දියුණු සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කිරීමේ වගකීම කරපිට පැටවෙන්නේත් කලාකරුවාගේද

අනිවාර්යයෙන්. කලාව නැතුව කිසිම රටක් දියුණු වෙන්නේ නැහැ කියන්නේ ඒකයි. සංස්කෘතිකමය වශයෙන්, ආර්ථිකමය වශයෙන් රටක් දියුණු කරන්න නම් පළමුව මනුෂ්‍යයාගේ පරිකල්පනය දියුණු කළ යුත්තේ ඒ නිසයි. මොකද සංස්කෘතික මිනිසෙක් කියල කියන්නේ අනෙකා ගැන හිතන, හොඳ පරිශීලනයක් තියෙන, බුද්ධිමත්ව හිතන, ඉදිරි අනාගතයක් ගැන හිතන, පරිසරය ගැන හිතන, ඉදිරි පරම්පරාව ගැන හිතන කෙනෙක්ට. ඒ හින්දයි රටක අවධානය ඒ කරා යොමු විය යුත්තේ. ඒ නිසා අවුරුදු 25කට එහා සංවර්ධනයක් ගැන හිතලා දැන් නිශ්චිත ක්‍රමයකට දරුවෝ ටික හැදුවොත්, තව අවුරුදු 25කින්, 50කින් අපට හොඳ පරම්පරාවක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ ක්‍රමය කණපිට පෙරළන්න පුළුවන්.  

Q ’සහෝදරයා’ ටෙලිනාට්‍යය තුළින් ටෙලිනාට්‍ය කලාව සිනමාත්මක කිරීමේ උත්සාහයක් නේද දැරුවේ

මීට කලින් අපිට එවැනි දියුණු ටෙලිනාට්‍ය සංස්කෘතියක් තිබුණා. එවැනි ටෙලිනාට්‍ය නැරඹීමේ පුරුද්දක් බොහෝ දෙනෙකුට නොතිබීම නිසයි බොහෝ දෙනෙක්ට මේ පිළිවෙළ අලුත් අත්දැකීමක් වෙන්නේ. මොකද සිනමාවෙත් දැන් එවැනි සිනමාත්මක පිළිවෙළක් බො‍හෝ වෙලාවට නැහැ. ඒ නිසා මෙවැනි සිනමාත්මක ටෙලිනාට්‍ය නිර්මාණය කිරීමේ වරදක් තියෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ.

Q ඒ කියන්නේ වත්මන් ටෙලිනාට්‍ය සංස්කෘතිය තුළ රූපණ ශිල්පීන්ට සිදුවෙලා තියෙන්නේ ඉඩ පිරවීමක්ද

ඔව්. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒත් මම ඒකට දෝෂාරෝපණ නගන්නේ නැහැ. මොකද මම පවතින ක්‍රමය තේරුම් අරන් ඉන්න කෙනෙක්. ඒ නිසා මම දන්නවා මේක තනි පුද්ගලයෙකුට වෙනස් කරන්න බැහැ කියලා. අනික හොඳම නිර්මාණයක් එනකම් මම රූපණයේ නොයෙදී හිටියොත් සමහරවිට මට කවදාවත් නිර්මාණයක් නොලැබෙන්න වුණත් පුළුවන්. ඒ නිසා මට ලැබෙන චරිතය වඩා හොඳින් කිරීමෙන් තමයි මම සතුටු වෙන්නේ. ඒකෙන් තමයි මම මාව පරීක්ෂා කර ගන්නේ. මොකද 
මට කාත් එක්කවත් තරගයක් නැහැ. අරගලය තියෙන්නේ මං එක්ක විතරයි.

_MG_2196

 

මිනිස්සුන්ට මම අරවින්ද වුණා කියලා ප්‍රශ්නයක් වෙලා නැහැ

මෙවර ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවැනි වරටත් වසරේ නිවේදකයාට හිමි ජනතා සම්මානය දිනා ගැනීමට අරවින්ද ලොකුගේ සමත් විය. එම සම්මානය ප්‍රදානය කළ දා පටන්ම එය දිනා ගත්තේ ඔහුම වීමද සුවිශේෂීත්වයකි. මේ දැනට සියත මාධ්‍ය ජාලයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරන අරවින්ද සමග කෙරෙන කතාබහකි. 

“මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ දක්‍ෂතාව වගේම වාසනාවත් ඉතා වැදගත්. ප්‍රාසංගික කලාවේ පවතින ලක්‍ෂණයක් ඒක. මොකද හැම වේදිකාවක්ම ප්‍රයෝජනයට ගන්න මට හැකියාව ලැබුණා. වාසනාවේ අෙනක් කොටස තමයි ජනතාව මේ සම්මානය බාර ගැනීම. ඒ නිසා මෙහි ගෞරවය මට තනිවම ගන්න බැහැ. අනෙක මට මේ සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සේවය, ස්වාධීන රූපවාහිනී සේවය, ලක්හඬ වැනි මාධ්‍යවලදී ළමා නිවේදකයෙකු ලෙස ලබාගත් අත්දැකීමුත් බලපාන්න ඇති. ආසියානු ගුවන්විදුලි ‍ජාලයෙන් තමයි මම වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ. එහි කටයුතු අවසන් කළේ අධ්‍යක්‍ෂවරයෙකු විදියට. ඉන් පස්සේ තමයි මම %Voice of Asia^ මාධ්‍ය ජාලයට සම්බන්ධ වෙන්නේ. ඒ %සියත^ උපදේශකවරයෙක් විදිහට.

කොහොමද DJ අරා චරිතය ගොඩනැගෙන්නේ?

මීට පෙර පැවැති උදෑසන ආකෘතිය සාර්ථක වුණේ නැහැ. බොහෝ අයට තිබුණේ කුලියට ගත් ආකෘතියක්. ඒ නිසා ඒ පිළිබඳ අපට කළමනාකාරීත්වයෙන් උ‍පදෙස් ලැබුණා වෙනස් කරන්න කියලා. ඒ නිසා තමයි මම මේ සැලැස්ම ඉදිරිපත් ක‍රන්නේ. හැබැයි මේක වැඩසටහනක් නෙමෙයි. මට හොඳටම කරන්න පුළුවන් ‍චරිතය තමයි මම එතැනට යොදා ගත්තේ. ඒ තමයි %මම^. මම මගේ ජීවිත කතාව, ජීවන අත්දැකීම් ශ්‍රාවකයාට දැනෙන සුලු ආකාරයෙන් ඉදිරිපත් කළා. අපි හිතුවේ නැති විදියට ඒක ජනප්‍රිය වුණා. සමහර විට එහි තිබුණු ආකෘතියේ සරලකම නිසා වෙන්න ඇති. හැබැයි අපි බාල දේවල් කතා කළේ නැහැ. ඉතා බරපතළ මාතෘකා පවා සෑම තරාතිරකම රසිකයන්ට දැනෙන අයුරින් කතා කළා. ඒක තමයි අපේ අරමුණ වුණෙත්. හැබැයි අවුරුදු 12ක් මේ වැඩසටහන කරලත් මෙය වඩාත් ජනප්‍රිය වුණේ අවසන් අවුරුදු හයේදී. 

ඒත් ඔබට මේ සම්මානය ලැබෙන්නේ %DJ අරා^ වෙනුවෙන් නෙමෙයි, අරවින්ද වෙනුවෙන්?20180320_125504

ඔව්. මම හිරු ආයතනයෙන් ඉවත් වෙද්දි ඔවුන් %‍DJ අරා^ නම භාවිත කිරීම වළක්වාලමින් උසාවියෙන් නියෝගයක් අරගත්තා. ඒ අනුව තමයි %අරවින්ද, ආශ්චර්යා^ යනුවෙන් වැඩසටහන ඇරඹෙන්නේ.

ඒ කියන්නේ එයින් ඔප්පුවෙන්නේ වඩා වටින්නේ වැඩසටහන නොව එහි සන්නිවේදකයා බවයි?

ඔව්. ඒකනේ මා වටා තාමත් හොඳ රසිකයන් පිරිසක් ඉන්නේ. මිනිස්සුන්ට මම අරවින්ද වුණා කියලා ප්‍රශ්නයක් වෙලා නැහැ. ඇත්තටම ඒක මට ප්‍රශ්නයක් වෙලත් නැහැ.
හැබැයි නව මාධ්‍යයේ අතික්‍රමණයත් එක්ක ගුවන්විදුලි මාධ්‍යයෙන් රසිකයාට බලපෑම් කළ හැකි සීමාවත් අද පහළට ඇවිත් නේද?
මේ වෙද්දි මාධ්‍යය කියන එක ජනතාවට වැදගත් නැහැ. අහන්න, දකින්න ඕන දේ ඔවුන් මොන විදියෙන් ‍හෝ සිදු කරනවා. දැනගන්න ඕන දේ දැන ගන්නවා. අෙනක සමාජ මාධ්‍යයේ වුණත් වැඩියෙන්ම හොයන ගුවන්විදුලි ආයතනය බවට %සියත^ අද පත්වෙලා තියෙනවා.

ඔබ ගුවන්විදුලි ක්‍ෂේත්‍රයේ නියැළෙන්නේ වයස අවුරුදු හතේ ඉඳන්. මොකද හිතෙන්නේ?

ඇතැම් ක්‍ෂේත්‍රවල කඩාවැටීමක් තියෙනවා. ඇතැම් ක්‍ෂේත්‍රවල දියුණුවක් තියෙනවා. හැබැයි දක්‍ෂතා තියෙන පරම්පරාවක් නිර්මාණය කර ගනිද්දි අද අපට හමුවෙන්නේ ගීත ඉල්ලීම් ඉදිරිපත් කරන වැඩසටහන්වලට ගැළපෙන පිරිසක්. ගැඹුරු දේ සරල කර කතා කළ හැකි, ගවේෂණශීලී පරම්පරාවක අඩුවක් බරපතළව තියෙනවා. ඒක ක්‍ෂේත්‍රයේ වරදක්ද, සමාජ ප්‍රවණතාවේ වරදක්ද කියලා අපි අලුතින් හිතන්න ඕන. 

ඒත් ගවේෂණශීලී බුද්ධිමත් රසිකයන් පිරිසක් නම් අද නිර්මාණය වෙලා?

ඔව්. ඒත් මිනිස්සු යම් පහසුවක් හොයනවා. පවතින ක්‍රමයේ වේගයේ හැටියට සන්නිවේදකයාම ගවේෂණශීලී වෙලා ඉතා කෙටි කාලයකින් ඉතා වැදගත් යමක් ඔවුන්ට දේවි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒකයි කෙටිම වෙලාවකින් ගුණාත්මක අතින් වැඩිම දෙයක් හොයන්න ඔවුන් උත්සාහ කරන්නේ. අෙනක දැන් පවතින ක්‍රමයත් වෙනස්. ඒත් ප්‍රශ්න අලුත් වෙලා නැහැ. වෙනදා බලන රාමුව දැන් අදාළ නැහැ. ඒ නිසා උත්තර හොයන්න කලින් ප්‍රශ්න අලුත් කළ යුතු කාලයයි ඇවිත් තියෙන්නේ. එතකොටයි අලුත් උත්තර ලැබෙන්නේ.

ඉතින් එතැනදි නේද මාධ්‍යවේදියා ජනතාවගේ පෙරගමන්කරුවා විය යුත්තේ?

ඒක එහෙම නම් මාධ්‍යයට ඕන විදියටද ජනතාව සකස් වෙලා ඉන්නේ? එහෙමම කියන්න බැහැ. මොකද අද වෙද්දි ගුවන්විදුලි නාළිකා, පුවත්පත්, රූපවාහිනී ආදී ආයතන විශාල සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මොන ආයතනයේ මොන පත්තරේ හෝ මොන නාළිකාවද ජනතාවගේ පෙරගමන්කරුවා වෙලා ඉන්නේ? ඒ නිසා මාධ්‍යය කියන්නේ ජනතාවට යම් උත්තේජනයක් විතරයි. තීරණ ගන්නෙක් නෙමෙයි. මොකද ඔවුන්ට තමන්ගේම අදහසකුත් තියෙනවා. ඒ නිසා තාමත් අවසන් තීරණය ගන්නේ ජනතාව. අෙනක ඒක එහෙම නම් දවසට පැය දොළහක් බණ, පිරිත් විකාශය වෙන රටක ඇයි ඒ තරමටම ප්‍රතිඵල නැත්තේ.

එහෙනම් ගැටලුව තියෙන්නේ ඉදිරිය පිළිබඳ අනාවැකි පළ කිරීමට ඇති නොහැකියාවද?

අද වෙද්දි අනාවැකි ගැන පවා අනාවැකි කියන්න බැරි තත්ත්වයකයි අපි ජීවත් වෙන්නේ. ඒ තරම් ඉක්මනට මිනිසුන්ගේ කැමැත්ත වෙනස් වෙනවා. ඒකයි අතිසාර්ථක ව්‍යාපාරවල පවා කළ අනාවැකි වැරදුණේ. ඒ නිසා කෙටි කාලීන සහ මධ්‍ය කාලීන සැලැසුම්වලින් තමයි මාධ්‍යයට පවා පවතින්න පුළුවන් වෙන්නේ. ඒත් පර්යේෂණ සිදුවිය යුතුයි.

ඒ කියන්නේ සංස්කෘතිකමය පරිවර්තනයක් සඳහා මාධ්‍යයට යමක් කළ නොහැකිද?

ඒක සාපේක්‍ෂයි. එහෙම වෙයි කියන්නෙත් නැහැ. නොවෙයි කියන්නත් බැහැ. මොකද අද වෙද්දි මිනිස්සු ප්‍රධාන මාධ්‍ය වෙනුවට සමාජ මාධ්‍යය භාවිත කරන්න පුරුදු වෙලා ඉන්නවා. හෙට වෙද්දි ඊට තවත් ආදේශකයක් ඔවුන් තෝරා ගන්නත් පුළුවන්. ඒ නිසා එවැනි වගකීම් දැන්මම මාධ්‍ය කරපින්නාගෙන යන්න ඕන නැහැ. ඒක අනාගතයේදී තීරණය වෙයි. අෙනක එවැනි වැඩසටහනක් සියලු මාධ්‍යය එකතු වී කළත් ජනතාව බාර නොගත්තොත් මොකද කරන්නේ?

ඒත් වත්මන් මාධ්‍යවේදීන් ජනතාවගේ මතය වෙනුවට තමන්ගේ හිමිකරුවාගේ මතය නියෝජනය කිරීමත් මීට හේතු වෙලා තියෙනවලු?

ඒක අඩු වැඩි වශයෙන් සත්‍යයක්. මොකද ආයතනයක් කියන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි. ඒ නිසා යම් මතයක් ප්‍රකාශ කරද්දි තනිවම ක්‍රියා කළොත් ආයතනික මට්ටමින් චෝදනාවට ලක්වෙන්න පුළුවන්. ඒක හැබැයි ඕනම ආයතනයකට පොදු තත්ත්වයක්. අපට ඕන විදියට බොත්තම් කාසි මහන්න බැහැ. අපට ඕන විදියට කොලර් එක මහන්න බැහැ. ඒ නිසා හැමෝම එකඟ වුණු තැනකදී තමයි කමිසය නිර්මාණය වෙන්නේ. කමිසයේ ගුණාත්මක බව ජනතාව තීරණය කරාවි. ඒ නිසා ස්වාධීනව මතයක් නියෝජනය කළ හැකි ආයතන පිටරටවල පවා තියෙනවද කියල නැවත සොයා බැලිය යුතුයි. මොකද මනුෂ්‍යයා කියන්නේ දේශපාලනික සත්ත්වයෙක්. එහෙම නම් ස්වාධීන සත්ත්වයෙක් නෙමෙයි කියන මතය ‍මිථ්‍යාවක් වෙනවා.

දීර්ඝ කාලීන සංවර්ධනය වෙනුවෙන් ඇයි පෞද්ගලික මාධ්‍යයට එකාවන්ව වැඩ කරන්න බැරි?

අපට ඒකට පුරුද්ද අවශ්‍යයි. අපේ මිනිස්සුන්ට තාම ඒ පුරුද්ද නැහැ. එක්කෙනෙක් වමට කැපුවොත් අෙනක් කෙනා දකුණට කපනවා. එහෙම සමාජයකයි අපි ජීවත් වෙන්නේ. ඒත් වාණිජමය තරගකාරීත්වය අවශ්‍යයි. ඵලදායක කර ගැනීමයි වැදගත් වෙන්නේ. කවුරුහරි ඒ සංවර්ධන කාර්යය බෙදීමට මැදිහත් පාර්ශ්වකරුවෙකු විදියට ක්‍රියා කරනවා නම් හැමෝම එකතු වෙලා වැඩ කරාවි. මම එහෙම අවස්ථාවක් දැක්කේ ඩෙංගු මර්දන ව්‍යාපාරයේදී පමණයි. ඒ නිසා එවැනි ව්‍යාපෘති කිහිපයක්වත් වසරකට අවශ්‍යයි. 

ක්‍රමය වෙනස් කළ හැක්කේ ක්‍රමයේ ඉඳන්ද? පිටට ඇවිත්ද?

ඇතු‍ළේ ඉඳන්.

ඒත් විකිණෙන්නේ හොඳ දේ නෙමෙයි නම් මොකද කරන්නේ?

ඒක සාපේක්‍ෂයි. සියයට සියයක් හොඳයි හෝ නරකයි කියලා දෙයක් නැහැ. යින්ග් යැන්ග් සංකල්පය ගත්තත් එළිය තුළ අඳුරත්, අඳුර තුළ එළියත් තමයි තියෙන්නේ.

ජනමාධ්‍ය උපාධි ගත්තත් වෘත්තීයමය ක්‍ෂේත්‍රයේදී බොහෝ තරුණ තරුණියන් අසාර්ථක වෙලා?

වෘත්තීයමය පුහුණුවීමක් ලබාදෙන ජාතික වශයෙන් පිළිගත් ආයතනයක් නොමැති වීම තමයි තිබෙන අඩුව. ඒ නිසා මේ විදියට ගියොත් අපට ඉදිරියේදී ගීත ඉල්ලීම් ලබාදෙන නිවේදකයන් පිරිසක් තමයි හොයාගන්න වෙන්නෙ. 

බොලිවුඩයේ පළමු සුපිරි තාරකාවිය ශ්‍රීදේවී

ඉන්දීය සිනමාවේ ආදරණීය නිළියක වන ජනප්‍රිය බොලිවුඩ් නිළි ශ්‍රීදේවි ඉකුත්දා (24දා) ඩුබායිහිදී මියගියාය‍. (ඇය නැවතී සිටි හෝටල් කාමරයේ බාත් ටබ්හි දියේ ගිලීමෙන් මෙම මරණය සිදුවී ඇති බව ඇයගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.)  මියයන විට 54 වැනි වියේ පසු වූ ඇය බොලිවුඩය පමණක් නොව මෑත කාලයේදී හොලිවුඩය පවා ජයගත් සුපිරි නිළියක වන අතර, ඇගේ හදිසි වියෝව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවා කම්පනයට ලක් කර තිබේ. ඒ බව සනාථ වූයේ මෝදි මහතා සිය ට්විටර් ගිණුමටද පණිවුඩයක් නිකුත් කරමින් සිය දැඩි කනගාටුව පළ කර තිබූ නිසාවෙනි.


actor-sridevi-photo-vickky-idnaani_b6aef290-1a2c-11e8-8f49-ddf93c7ed473

බොලිවුඩ් නළු අනිල් කපූර් සහ සන්ජේ කපූර්ගේ වැඩිමහල් සොයුරා වන සිනමා නිෂ්පාදක බොනී කපූර්ගේ බිරිඳ වන ශ්‍රීදේවි, හිටපු බොලිවුඩ් තරුවක වන මිතුන් චක්‍රබෝතිගේ හිටපු බිරිඳද වන අතර, දියණියන් දෙදෙනෙකුගේ මවකි. ඇය මියගියේද සිය වැඩිමහල් දියණිය වන ජාන්වී කපූර් ‘ඩඩක්’ චිත්‍රපටය හරහා සිනමාවට හඳුන්වා දෙමිනි.  

කෙසේ වෙතත් බොලිවුඩයෙන් බිහි වූ පළමු සුපිරි තාරකාවිය ලෙස සැලකෙන ශ්‍රීදේවී උපන්නේ  තමිල්නාඩු ප්‍රාන්තයේ සිවකාසි නගරයේදීය. (නමුත් ඇය ලංකාවේ යාපනයේදී උපත ලබා ඇති බවටද තොරතුරු පවතී) ඒ 1963 වසරේ අගෝස්තු මස 13 වැනිදා ද්‍රවිඩ නීතිඥවරයෙකු වන ආයප්පන් සහ තෙළිඟු මවක වන රාජේස්වරිට දාවය.

ඉනික්බිති 1969 වසරේ එම්.ඒ. තිරුමුගම් අධ්‍යක්ෂණය කළ ‘තුනයිවන්’ නම් කොලිවුඩ් චිත්‍රපටයේ වයස අවුරුදු හයක ළමා නිළියක ලෙසින් සිනමාවට පැමිණි ශ්‍රීදේවි, අසූව, අනූව දශකයන්දී වැඩිම මුදලක් අය කළ නිළියන් අතර ඉදිරියෙන් සිටි අතර තෙළිඟු, මලයාලම්, කන්නාඩා සිනමාවටද නෑකම් කියන්නියක වන්නේ ෆිල්ම්ෆෙයාර් සම්මාන පහකටම වග කියූ රූපණ ශිල්පිනියක්ද වෙමිනි. ඇය ඒ බව පළමු වරට ඔප්පු කර පෙන්වූයේ 1971 වසරේදී නිකුත් වූ ‘පූම්පට්ට’ නම් මලයාලම් සිනමා කෘතිය වෙනුවෙන් කේරළ රාජ්‍ය චිත්‍රපට සම්මාන උළේලේදී හොඳම ළමා නිළියට හිමි සම්මානය දිනා ගනිමිනි.

7

1975දී ‘ජූලි’ චිත්‍රපටයෙන් බොලිවුඩයට පා තබන ඇය, තරුණියක ලෙස කොලිවුඩයට පිවිසෙන්නේ 1976 වසරේ කේ. බාලචන්දර් අධ්‍යක්ෂණය කළ කමල් හසන් සහ රජිනි කාන්ත් ප්‍රධාන චරිත නිරූපණය කළ  ‘මූන්රු මුදිචු’ සිනමා නිර්මාණයෙනි.

ඒ අනුව තෙළිඟු සිනමාවෙන් සහ කොලිවුඩ් සිනමාවෙන් ‘16 වයත්තිනිලේ’(1977), ‘සිගප්පු රෝජක්කල්’ (1978), ‘වරුමයින් නිරම් සිවප්පු’ (1980), ‘මීඳුම් කෝකිලා’ (1981) (හොඳම නිළියට හිමි ෆිලිම්ෆෙයාර් සම්මානය ඇයට හිමි විය.), ‘ප්‍රේමභිෂේකම්’ (1981), ‘මූන්ද්‍රම් පිරයි’ (1982), ‘ආකරි පොරාටම්’ (1988), ‘ජගාදෙකා වීරුදු ඇටිලෝකා සුන්දරි’ (1990) සහ ‘ක්ෂණා ක්ෂණම්’ (1991) යන සිනමාපට හරහා අතිශයින් ජනප්‍රිය වූ ඇය, බොලිවුඩයට කැපී පෙනෙන චරිතයකින් ගොඩවදින්නේ ‘හිමත්වාලා’ චිත්‍රපටයෙනි. ඒ ජිතේන්ද්‍ර සමගිනි. එය එම වසරේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වීමද කැපී පෙනේ.

මේ අනුව එම ජනප්‍රියත්වය හරහා ජිතේන්ද්‍ර-ශ්‍රීදේවී සංස්කෘතියක් ඇති වූ අතර, ඔවුන් දෙපළ යොදාගනිමින් එක දිගට සිනමා කෘති 16ක් නිපදවිණි. එයින් ‘ජානි දෝස්ත්’ (1983), ‘ජස්ටික් චව්දරි’ (1983), ‘මවාලි’ (1983), ‘අකල්මන්ද්’ (1984), ‘ටෝහ්ෆා’ (1984), ‘බාලිදාන්’ (1985), ‘සුහාගන්’ (1986), ‘ඝාර් සංසාර්’ (1986), ‘ධරම් අධිකාරි’ (1986), ‘අවුලද්’ (1987), ‘සෝනේ පේ සුහාගා’ (1988) යන සිනමා කෘති දහ තුන අතිසාර්ථක වූයේය.

sridevi-pic-2

එසේම ඇය රාජේෂ් ඛන්නා සමග රඟපෑ ‘නායා කදම්’ (1984), ‘මක්සද්’ (1984), ‘මාස්ටර්ජි’ (1985) සහ ‘නස්රානා’ (1987) චිත්‍රපටද අතිශයින් ජනප්‍රිය වූ අතර, 1986 වසරේ නිකුත් වුණු ‘නාගිනා’ චිත්‍රපටයද අපූරු සිනමා ෆැන්ටසියක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කළේ නාගයන් පිළිබඳ කෙරුණු හින්දි සිනමා කෘති අතර මෙම චිත්‍රපටය ඉදිරියෙන්ම තබමිනි. එසේම එහි එන ‘මේන් තේරි දුෂ්මන්’ ගීතය සැලකෙන්නේ බොලිවුඩයෙන් බිහි වූ විශිෂ්ටතම නාග නැටුම ලෙසිනි.

කෙසේ වෙතත් ඇය, ඇයම රඟපෑ කොලිවුඩ් චිත්‍රපටයක් වූ ‘මූන්ද්‍රම් පිරයි’ සිනමා කෘතියේ ප්‍රතිනිර්මාණය වූ ‘සද්මා’ (1983) චිත්‍රපටය හරහා ප්‍රථම වතාවට විචාරක විවේචනයට ලක් වූ අතර, ඉන්පසු ‘නාගිනා’ (1986), ‘චාල්බාස්’ (1989), ‘ලම්හේ’ (1991), ‘කුදා ගවා’ (1992), ‘ගුම්රාහ්’ (1993), ‘ලාද්ලා’ (1994) සහ ‘ජුදායි’ (1997) යන චිත්‍රපටවලින් විචාරක විවේචනයටද ලක් වූවාය.

ඉන්පසු බොලිවුඩයෙන් ඈත් වූ ශ්‍රීදේවි රූපවාහිනියට පිවිසුණු අතර, රූපවාහිනී නාළිකා වෙනුවෙන් ඇය ඉදිරිපත් කළ විලාසිතා වැඩසටහන්, සුපිරි තරු රියලිටි වැඩසටහන් ඒ අතරින් කැපී පෙනේ.

කෙසේ නමුත් 2012 වසරේදී නැවතත් ඇය සිනමා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි අතර ඒ ‘English Vinglish’ සිනමා කෘතිය හරහාය. එය බොක්ස්ඔෆිස් වාර්තා තබමින්, හොඳම නිළියට නව වතාවක් නිර්දේශ වෙමින් අතිශයින් සාර්ථක වූයේ වසර 15කට පසු නැවතත් සිනමාවට පැමිණ සිය පළමු චිත්‍රපටයෙන්ම අති සාර්ථක වූ පළමු නිළිය බවට ඇය පත්වෙමිනි.

499340747

එහෙත් ඉන් නොනැවතී මෙරිල් ස්ට්‍රිප් වැනි සම්මානනීය හොලිවුඩ් නිළියන් සමග ‘Cowboys And Indians’ යන චිත්‍රපටය සඳහාද, ‘Willow’, ‘Snow-white and the Huntsman’ ආදී සිනමා කෘති වෙනුවෙන්ද හොලිවුඩයට ආරාධනා ලැබූ ශ්‍රීදේවී, පසුගිය වසරේදී ‘Mom’ නම් සිය අවසන් බොලිවුඩ් සිනමා කෘතිය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සිය සැමියාගේ නිෂ්පාදන සමාගම හරහා තිළිණ කළාය. එය ඇගේ 300 වැනි චිත්‍රපටය වීමද කැපී පෙනේ. ඒ අනුව ඇය ඒ වෙනුවෙන් මේ වසරේ පැවැති සී සිනේ චිත්‍රපට උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් අතර, පසුගිය මස පැවැති ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදීද හොඳම නිළියට නිර්දේශ වූවාය. (කෙසේ වෙතත් මේ වසරේදී ඇය ෂාරුක් ඛාන්ගේ චිත්‍රපටයක් වූ ‘සීරෝ’ වෙනුවෙන් ආරාධිත රංගනයක යෙදුණු ආකාරය ඔබට දැකගත හැකි වනු ඇත.)

මේ අනුව සිනමා රූපණය තුළින් නොයෙකුත් භාෂාවලින් නොයෙකුත් ආකාරයේ අභියෝගාත්මක සිනමා චරිතවලට දායක වීමට වාසනාවන්ත වූ ශ්‍රීදේවී පිළිබඳ බොලිවුඩ් නළු සල්මන් ඛාන් මීට වසර කිහිපයකට පෙර පැවසුවේ ඇය, ‘ඛාන්’ ත්‍රිත්වය පවා අබිබවා ගිය සුපිරි තාරකාවියක් බවයි. ඒ ඇය කුඩා කල පටන්ම සිනමාවේ යෙදෙමින් නොයෙකුත් පරාසවල රූපණයේ යෙදෙමින් චිත්‍රපට 300කට අධික ප්‍රමාණයකට දායක වී සුපිරි නිළියක බැවිනි.

2014 වසරේදී මෙරට පැවැති දෙවැනි හිරු ගෝල්ඩන් චිත්‍රපට උළෙලේදීද ආසියානු සිනමාව වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් විශේෂ ගෞරව සම්මානයක් හිමි කරගත් ඇය, 2013 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් පුද ලැබූ අතර, ඒ එම සම්මානය දිනාගත් සිවුවැනි වැඩිම වටිනාකමක් ඇති පුරවැසියා බවට පත්වෙමිනි.

සිංහල සිනමාවේ කැරලිකරුවා ආචාර්ය ධර්මසේන පතිරාජ

ශ්‍රී ලංකාවේදී පමණක් නොව ජාත්‍යන්තරයේදීද කීර්තියට පත් මහා සිනමාවේදියෙකු වන ධර්මසේන පතිරාජයන් ඊයේ (28දා) අප අතරින් සමුගත්තේය. ඒ මහනුවර පෞද්ගලික රෝහලකදීය. මියයන විට හෙතෙම 74 වැනි වියේ පසු වූ අතර, සිංහල සිනමාවේ පෙරළිකාර යුගය නියෝජනය කිරීමට ප්‍රමුඛත්වය දුන් වම් ඉවුරේ නිර්මාණකරුවෙකි.


Dr.Dharmasena-Pathiraja

දෙස් විදෙස් සම්මාන රැසකින් ඇගයුම් ලැබීමට සමත් වූ ආචාර්ය ධර්මසේන පතිරාජයන් ශ්‍රී ලාංකේය   සිනමාවේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් සිදුකළ සිනමාකරුවෙකු වන අතර, සිනමා අධ්‍යක්‍ෂවරයෙකු පමණක් නොව තිර රචකයෙකු, නාට්‍යකරුවෙකු, සිනමාව පිළිබඳ ආචාර්යවරයෙකු මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ ප්‍රථම අංශාධිපතිවරයා ලෙසද අපිරිමිත සේවයක් කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළේ කලා ලෝකයේ නොමැකෙන සලකුණක් තබමිනි.

ඒ අනුව සිනමාව තම ප්‍රමුඛ ප්‍රකාශන මාධ්‍යය සේ තෝරා ගනිමින් සිනමාවට පිවිසුණු පතිරාජයන් පළමුව නාට්‍යකරුවෙකු ලෙස 1971 රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් හොඳම පරිවර්තන පිටපතට හිමි රාජ්‍ය සම්මානය දිනාගත් අතර, ඒ ඔහු විසින් රචනා කර නිෂ්පාදනය කරන ලද ‘පුටු’ වෙනුවෙනි. ඉයුජින් අයෙනෙස්කෝගේ ‘The Chairs’හි සිංහල පරිවර්තනය ලෙස නිෂ්පාදනය වූ මෙම නාට්‍යයේ එකල රූපණයෙන් එක්ව සිටියේ, විමල් කුමාර ද කොස්තා, මාලිනී වීරමුණි හා දයා තෙන්නකෝන්ය. (එය පසුගිය වසරේ ඔක්තෝබරයේ කෘතියක් ලෙස එළිදැක්විණි. ඒ පතිරාජ විසින් රචනා කර ධම්ම ජාගොඩ 1971 දී නිෂ්පාදනය කළ ‘කොරා සහ අන්ධයා’ නාට්‍යයේ පෙළ සහිත ග්‍රන්ථයත්, ධර්මසේන පතිරාජ තම ශාස්‌ත්‍රපති උපාධි නිබන්ධය ලෙස පේරාදෙණි සරසවියට ඉදිරිපත් කළ සිංහල නාට්‍යයේ ආකෘතිය හා අන්තර්ගතය අතර අරගලය ශාස්‌ත්‍රීය ග්‍රන්ථයට සමගාමීවය.)

එසේම පරිවර්තන සාහිත්‍යයෙහිද යෙදුණු පතිරාජයන් 2013 රාජ්‍ය සාහිත්‍ය උත්සව සම්මාන උළෙලේදී ‘පෙද්රෝ පරාමෝ’ පරිවර්තනය සඳහා එකී උළෙලේදී හොඳම පරිවර්තිත නවකතාවට හිමි සම්මානය දිනාගත් අතර, ඔහු පේරාදෙණිය සරසවියේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් වැන්නවුන්ගේ සිප් සෙවණ ලැබීමට තරම් වාසනාවන්තයෙකු වීමද සටහන් නොකරම බැරිය.

මේ අනුව ලාංකේය 1971 කැරැල්ල හෙවත් තරුණ පිබිදීමට සමගාමීව ‘අහස්ගව්ව’ චිත්‍රපටය හරහා 1974 වසරේ ජනවාරි මස 24 වැනිදා අරඹන මෙම පෙරළිකාර සිනමාව ‘බඹරු ඇවිත්’ (1978), ‘එයා දැන් ලොකු  ළමයෙක්’ (1977), ‘පොන්මනී’ (දෙමළ චිත්‍රපටය) (1977), ‘පාරදිගේ’ (1980) ‘සොල්දාදු  උන්නැහේ’ (1981), ‘මතුයම් දවස’ (2001) ‘සක්කාරං’ (2016), ‘ස්වරූප’ (2017) ආදී විශිෂ්ට සිනමා කෘති දක්වා දිව ගිය අතර, ‘කොරා සහ අන්ධයා’, ‘පුටු’ ආදී වේදිකා නාට්‍ය හරහාද, ‘ඇල්ල ළඟ වලව්ව’, ‘කඩුල්ල’, ‘කම්පිත විල්තෙර’, ‘මායා මන්දිර’, ‘ගඟුලෙන් එගොඩට’, ‘දුර්ගාන්තය’, ‘සුබ අනාගතයක්’ වැනි ටෙලිනාට්‍ය හරහාද විප්ලවීය වෙනසකට මගපෙන් වූ අතර, ‘සුදු බණ්ඩලාගේ කතාව’, ‘වන්නිහාමිලාගේ කතාව’ නමින් ඔහු රූපවාහිනී වැඩසටහන් ද්විත්වයක්ද මේ අතර නිෂ්පාදනය කළේය.

මෙරට සිනමාව තුළ දේශපාලනය සාකච්ඡා කළ සිනමා කෘතියක් වන ‘අහස් ගව්ව’ එදවස රැකියා විරහිත තරුණ පරම්පරාවේ ජීවන අරගලය සිනමාවෙන් පැවසීමට ගත් ප්‍රථම උත්සාහය වූ නමුත්, ධර්මසේන පතිරාජයන් ඊට පෙර තිර රචකයෙකු සිය නාමය සනිටුහන් කර ගැනීමට සමත් වූවෙකි. ඒ 1969 වර්ෂයේ තිරගත වූ සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටය තිරගත වීමත් සමගය. සරසවි සිසුසිසුවියන්ගේ සරසවි ජීවිතයේ සිදුවීම් ආශ්‍රිතව නිර්මාණය වූ ‘හන්තානේ කතාව’, විශ්වවිද්‍යාල සිසුසිසුවියන් හා බැඳුණු කතා පුවතකින් සමන්විත රංගනයෙන්, සංගීතයෙන් නැවුම් වූ චිත්‍රපටයකි. ඒ අනුව අදටත් ප්‍රේක්‍ෂක මතකයේ රැඳී පවතින එම චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂවරයා ලෙසද අත්පොත් තැබීමට පතිරාජයන් එදා සමත් විය. කෙසේ නමුත් පතිරාජයන්ගේ සිනමා කෘතිවලට එදා පටන්ම දීර්ඝ හා අර්ථවත් කතිකා ගොඩනැගීමට තරම් ප්‍රස්තුත ජනනය කිරීමේ ශක්‍යතාවක් පැවැතුණ අතර, ඒවා දිනපතා යාවත්කාලීන වනුයේ ඒ වටා බැඳුණු දේශපාලනය සහ පතිරාජයන්ගේ සිනමා භාවිතයේ කැපී පෙනුණු නිර්මාණශීලී ගුණයද හේතු කොටගෙනය. එය ඔහුගේ වාර්තා චිත්‍රපට වූ ‘සතුරෝ’ (1969),’අඳුරෙන් එළියට’ (1972) සහ ‘වෙරළ’ (1974) යන සිනමා භාවිතයෙන්ද ‍පෙනී යන්නකි.

විශේෂයෙන්ම ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයේ කාර්යභාරය අනාවරණය කරන චිත්‍රපටයක් ලෙස මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීන් පවා හැඳින්වූ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටය සරල ජීවන රටාවකට හුරු පුරුදු වී සිටි ධීවර ගම්මානයක ජනයාගේ ජීවිතයට කඩා වදින නාගරික ප්‍රාග්ධන බලාධිපත්‍යය ජන ජීවිතය සුනුවිසුනු කරනු ලබන ඛේදාන්තය ඉස්මතු කළ අතර, වසර පනහක සිංහල සිනමාවේ හතර වැනි විශිෂ්ට චිත්‍රපටය බවට ‘බඹරු ඇවිත්’ පත්වන්නේ මේ අනුවය.

එසේම යාපනය සරසවියේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධව එහි ගත කළ කාලයේ ලද ජීවන අත්දැකීම් අනුව නිර්මාණය කළ ‘පොන්මනී’ චිත්‍රපටය තුළින් එතුමා දෙමළ ජනයාගේ ආගම්වාද, කුලවාද, දෑවැදි ප්‍රශ්නය, ලිංගික සූරාකෑම වැනි සමාජ, දේශපාලන ප්‍රශ්න සමග එහි ජනයා ජීවත් වීමට කරනු ලබන අරගලය සාකච්ඡාවට බඳුන් කිරීමට උත්සාහ දැරූ අතර, ඊට අමතරව ඔහුගේ ‘සොල්දාදු උන්නැහේ’ එම විචාරක දර්ශකයේ එකළොස් වන ස්ථානයටත්, ‘අහස් ගව්ව’ එහි දහතුන් වැනි විශිෂ්ට චිත්‍රපටය බවටත් පත්වීමෙන් පෙනී යන්නේ ධර්මසේන පතිරාජයන් සිංහල සිනමාවේ වත්මන් වටිනාකම් තුළ කෙතරම් වැදගත් පෞරුෂත්වයක්ද යන වගය.

එමෙන්ම ‘සක්කාරං’ හා ‘ස්වරූප’ යන සිනමා කෘතිවලින් අපට පෙනී යන්නේ සිනමාකරුවන් ගතින් වියපත් වුවද, තම ප්‍රකාශන මාධ්‍යයේ ප්‍රබලත්වය අතින් වියපත් නොවන බවයි. ඒ එතුමා කලාව වෙනුවෙන්ම කැපවූ, වියපත් වීම සමග නිර්මාණකරණයෙන් ඈත් නොවූවෙකු බැවිනි. එබැවින් එතුමාගේ සිනමාව පිළිබඳ කෘතහස්ත දැනුම ශ්‍රී ලංකාවේ චිත්‍රපට සම්මාන උළෙල විනිශ්චය සඳහාද ඉතා මෑතක් වන තුරුම යොදාගත් අතර, අන්තර්ජාතික චිත්‍රපට සම්මාන ජූරි සඳහාද ඔහුගේ සේවය බොහෝ අවස්ථාවල යොදාගෙන ඇත. එසේම ජාතික හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල රැසක ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිනමාව පිළිබඳ තමන් උගත්  දැනුම තරුණ විද්‍යාර්ථීන්ට ලබාදීමටද උත්සුක වූ ආචාර්ය ධර්මසේන පතිරාජයන් කලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ පවතින රජයේ චිත්‍රපට අංශයේ උපදේශන අධ්‍යක්‍ෂවරයා ලෙස සිය සේවය ලබා දුන්නේ එම කාලය තුළදී සුවිශේෂී වාර්තා චිත්‍රපට රැසක් සමාජගත කරමිනි.