Author Archives: මහේෂ් මලවරආරච්චි

රාජපක්ෂවරුන්ගේ නඩු කිහිපයක් ඉදිරියේදී ඇසෙනවා

රාජපක්ෂවරු කිහිපදෙනෙකුගේ නඩු ඉදිරියේදී ඇසීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.මාතරදී අද (01දා) පැවති පාක්ෂික හමුවක් අමතමින් ඒ මහතා එසේ පවසා සිටියේය.

"මහ බැංකු හොරකම ගැන කතා කරන අයට අමතක වෙලා තියෙනවා පෙර පාලනයේ මීට වඩා වංචා තියෙනවා කියලා. එහෙම බැලුවම මේක කජ්ජක්. ගොඩක් අය අහන දෙයක් තමයි ඇයි ඒ හොරකම් මැරකම්වලට නීතිය ක්‍රියාත්මක නොවෙන්නෙ කියලා. ඒකට හේතුව අපේ නඩු අහන ක්‍රමය අනුව නඩු කල් යෑමයි.

යහපාලනය කියන්නෙ අපිට ඕන විදියට නඩු තීන්දු ගන්න එක නෙමෙයි. බැසිල්, යෝෂිත, නාමල්, ශිරන්ති, මේ හැම කෙනාටම නඩු ෆයිල් තියෙනවා. ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ හිරවෙලා තියෙන්නේ. ඉන් එකක්වත් යට ගහලා නැහැ. අනිත් එක බොරුවට දඬුවම් කරන්නෙත් නැහැ. නීතියේ ආධිපත්‍ය තුළ ඒ කරපු වැරදිවලට දඬුවම් ලැබෙනවා. ඒ නිසා ඉදිරියේදී රාජපක්ෂ පවුලේ කිහිපදෙනෙකුගේ නඩු එළියට එනවා" යැයි ද පවසා සිටියේය.

mangala 01

 

       

ඒකාබද්ධ විපක්ෂය එක්ක අපේ කිසිම ඩීල් එක්ක නැහැ

රාවණා බලය සංවිධානය ඒකාබද්ධ විපක්ෂය සමග සම්බන්ධකමක් ඇති බවට විවිධ මත පළවෙනවා. ඒ සම්බන්ධව සහ රටේ දේශපාලන වාතාවරණය සම්බන්ධව රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සමග කළ සංවාද සටහනකි මේ.


Q වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව ඔබවහන්සේගේ අදහස?

අද රට අස්ථාවර වෙලා තියෙනවා. රටේ නායකයෙක් නෑ වගේ පේනවා. මොකද රනිල් මහත්තයා තව කීපදෙනෙක් එක්ක එක පැත්තකට අදිනවා. මෛත්‍රීපාල මහත්තයා තවත් කීපදෙනෙක් එක්ත තවත් පැත්තකට අදිනවා. ගෙදරක වුණත් දෙමවුපියන් විරසක වෙලා නම් දියුණුවක් වෙන්නෙ නැහැ. රටටත් එහෙමයි. මේ විදියට රටක් සංවර්ධනය කරන්න බැහැ. රට සම්පූර්ණයෙන් කඩාවැටිලා තියෙන්නේ. අද ව්‍යාපාරිකයන්ට බිස්නස් නැහැ. පොල් ගෙඩිය, හාල් කිලෝ එක රුපියල් සියයයි, මිනිස්සුන්ට කන්න විදියක් නැහැ. මේ අය හයිවේ එකක් බදාගෙන ඉන්නවා විතරයි. 

Q නව වස්ථාවක් ගෙන ඒමට රජය ක්‍රියාකරමින් පවතිනවා. එයට බොහෝ පිරිස් විවේචන එල්ල කරමින් පවතිනවා නේද?

මේ වෙලාවේ ව්‍යවස්ථාවක් ගෙන ඒම තුළින් විශාල හානියක් සිදුවෙන්න පුළුවන්. මොකද මේ ව්‍යවස්ථා යෝජනාවලිය තුළ ආණ්ඩුකාරවරයාට සහ ජනාධිපතිවරයාට බලතල අඩු වීමක් තියෙනවා. උතුර වෙනම රාජ්‍යයක් කරා යෑමේ කටයුතු මේ හරහා සිදුවෙනවා කියන එක ඉතා පැහැදිලියි. මෙය මේ රටේ මිනිස්සුන්ටවත් ඕන ව්‍යවස්ථාවක් නෙමෙයි. යුඑන් එකට සහ ඩයස්පෝරාවට අවශ්‍ය ව්‍යවස්ථාවක් හැටියටයි පේන්නේ. ඒ නිසා මහා සංඝරත්නය විදියට මෙයට බලවත් විරෝධතාවක් තියෙනවා.

Q රටේ ඉහළ සංඝරත්නය තවමත් මෙයට පැහැදිලි ප්‍රකාශයක් සිදුකොට නැහැ නේද? 

කාරක සංඝ සභාව කරන ප්‍රකාශ දිහා බැලුවාම කාරක සංඝ සභාවට තමයි බලය තියෙන්නේ. මහනායක හාමුදුරුවෝ කියන්නෙ කාරක සංඝ සභා දෙකක් එකතුවෙලා ගත්ත තීන්දුවක් බල රහිත වෙනවා කියල, කොහොමද ආණ්ඩුව කියන්නේ ආණ්ඩුවට වාසි පැත්තට හරවගන්න තමයි ඔවුන් එහෙම ප්‍රකාශ කරන්නේ කියලා. ඒ නිසා මහනායක හාමුදුරුවෝ ඉන්නවා ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ කියලා, ආණ්ඩුව මොන බෙරපදේ ගැහුවත් නටන්නෙ නැහැ කියලා. අපි අනිත් එක ව්‍යවස්ථාව හදන අය යුඑන් එකෙන් පඩි ගන්නවා නම් එකෙන්ම තේරුම් ගන්න ඕන කාටද මේක අවශ්‍ය කියලා.

Q නමුත් රජය පවසනවා නේද මෙය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා කියලා?

මේ ව්‍යවස්ථාව කියන එක කොටස් තුනකට බෙදලා තියෙනවා සිංහලෙන් ඒකීයභාවය, ඉංග්‍රීසියෙන් යුනයිටඩ්, දෙමළෙන් ඔරමිත්තනාඩු. එතකොට කොටස් වශයෙන් බෙදුන රටක් පාලනය කියන එක එකයි. ඒ නිසා රටේ ඒකීයභාවය රැකෙන්න ඕන. බුද්ධාගමට මුල්තැන දෙන්න ඕන. යම් හෙයකින් පාර්ලිමේන්තුව තුළ ඔවුන් ජයගෙන බිමට ආවට පස්සේ බිමේදි අපි අනිවාර්යයෙන් පරාජය කරනවා. පාර්ලිමේන්තුවේදී ඒ ඡන්දය දෙන දේශප්‍රේමී මහත්වරුන්ට අපි කියනවා ඡන්දෙ දීලා ආපහු පාරට එන්න එපා, ඇවිත් ජනතාවගෙන් ගුටි කන තත්ත්වයට පත්වෙන්න එපා කියලා. 01

Q මේ තත්ත්වය මතද විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවට බෝම්බ දැමීමක් සම්බන්ධව ප්‍රකාශයක් කළේ?

වීරවංශ මහත්මයා ඒ ප්‍රකාශය කළේ උපමාව උපමේයක් හැටියට. දැන් නරිබෑණා නාට්‍යයේ දුව නරියෙක්ට දෙනවා කියනවා. නමුත් නරියට දෙන්නෙ නැහැනේ. අන්න ඒ වගේ දෙයක් තමයි ඒකත්. මම දකින්නෙ වචන ටිකක් අල්ලගෙන මනුස්සයෙකුට පහර ගහනවා කියලා. ඒ නිසා  එතුමා ප්‍රභාකරන්ගේ ගාණට දාලා කතා කරන්න එපා, එතුමා දේශප්‍රේමියෙක්. රටට එරෙහි වන ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තුවේ ඉන්න අය අත උස්සනවා නම් ඒකට මොනවද කළ යුත්තේ කියල මහජනතාව තීරණය කරයි. 

Q සයිටම් ගැටලුව සම්බන්ධව රජයේ තීන්දුව ප්‍රකාශකොට තිබෙනවා. එය ප්‍රමාණවත් නොමැති බව සිසුන්ගේ පාර්ශ්වයෙන් චෝදනා නැගෙනවා?

සයිටම් එක තුවාලයක් වගේ මේකට නිසි විසඳුම මේ පාලකයෝ ලබාදෙන්නෙ නැහැ. ඒ නිසා රජයට අපි කියන්නේ මේ කළා වගේ ඉතිරි ටිකත් කරල දෙන්න. මිනිස්සුන්ට සේවය කරන්න තියෙන කාලෙ නැති කරන්න එපා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවත් මිනිස්සුන්ට එපා වුණේ පොඩි ප්‍රශ්න ලොකුවට අරගෙන ගියපු නිසයි. අද වන විට ඒ වගේ ප්‍රශ්න දාහක් විතර මේ රජය මවලා තියෙනවා. මේ ආණ්ඩුවත් ළඟදීම පාඩම් ඉගෙන ගනීවි කියල මම විශ්වාස කරනවා. 

Q රාවණා බලය සංවිධානය ඒකාබද්ධ විපක්ෂය සමග ඩීල් එකක් ඇති බවට මත පළවෙනවා. මෙය ඇත්තක්ද?

අපේ කිසිම ඩීල් එක්ක නැහැ ඒකාබද්ධ විපක්ෂය එක්ක. මොකද පෙර ආණ්ඩුව තිබුණ කාලයෙත් අපි නොයෙක් ආයතනවලට පැනලා ඒවායේ වැරදි පෙන්නුවා. අපි රට බෙදන අය ලංකාවට එනකොට පාරට බැස්සා, පෙළපාළි ගියා. රහස් පොලීසිය අපේ පස්සෙන්මයි හිටියේ. අදත් ඒක නම් එහෙමයි. නමුත් අපිට මහින්ද මහත්තයලා එක්ක ඩීල් එකක් නැහැ. හැබැයි කාගේ සහයෝගයෙන් හරි මේ ආණ්ඩුව පෙරළලා දාන එක අපේ අරමුණ. මොකද මේ අය දිගින් දිගටම ගියොත් රටින් ගන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ.

Q නමුත් පෙර පාලකයෝ වැරදි කළා නම් යළි මේ රජය පෙරළා දැමීමෙන් බලය යන්නේ ඔවුන්ටම නේද?

එහෙනම් ඔබ මට කියන්න වෙන කවුද ගේන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ ගේනවද? ඔවුන්ට මොනවද කරන්න පුළුවන්. හිටපු පාලකයොයි, දැන් පාලකයොයි ගත්තම දෙගොල්ලොම යක්කු දෙන්නෙක් නම් අපි එළවළු කන යකා ගේනවා. මොකද මස් කන යකා ඔක්කොම කාලා අපිත් කන නිසා. හොඳ අය නැත්නම් ටිකක් හොඳ කෙනෙක්වත් ගේන්න එපැයි. යුද්ධය ඉවර කරපු නායකයා නරක් වෙන්න පුළුවන්කමක් නැහැනේ. 

Q බොදුබල සේනා සංවිධානය සම්බන්ධව ඔබවහන්සේගේ අදහස?

ඒ සංවිධානය ගැනවත්, ඥානසාර හාමුදුරුවෝ ගැනවත් මට ලොකු අදහසක් නැහැ. ඒක වෙනත් සංවිධානයක්. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය විවේචනය කරන්න හෝ උස්සලා තියන්න හෝ මට එහෙම අයිතියකුත් නැහැ. වුවමනාවකුත් නැහැ. 

Q නමුත් බොහෝ අය මෙම සංවිධාන දෙකම එකම ආකාරයේ සංවිධාන දෙකක් ලෙසින් හඳුන්වනවා නේද?

'රටට එරෙහි වන්නන්ට එරෙහිව අපි’ කියන තේමාව යටතේ තමයි රාවණා බලය සංවිධානය ක්‍රියාත්මක වන්නේ. අපිට බෞද්ධද, මුස්ලිම්ද, දෙමළද කියලා වෙනසක් නැහැ. රටට එරෙහිව කවුරුහරි නැගී සිටිනවා නම් ඒ පුද්ගලයාට අපි විරුද්ධයි. රටට හොඳක් කරනවා නම් අපි ඒ පුද්ගලයා එක්ක ඉන්නවා. ඒ සංවිධානය සහ අපි අතර කිසිදු සමානකමක් නැහැ. 

Q රටේ සම්පත් විකිණීම සම්බන්ධව පසුගිය කාලයේ ඔබ සංවිධානය විශාල හඬක් නැගුවා?

අද වෙද්දි රටේ සම්පත් විකුණලා ඉවරයි. තවත් විකුණන්න දෙයක් නැහැ. අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරේ විතරයි අද ඉතුරුවෙලා තියෙන්නේ. ඒ දෙකත් කොහේහරි රටකට කිව්ව නම් හෝටලයක් දාන්න කියලා ඇවිත් දමාවි. එහෙම කරනවා නම් ඒ දෙන්නත් එක්කම තියලා විකිණුව නම් හොඳයි කියලයි අපි විශ්වාස කරන්නේ.

Q සරත් ෆොන්සේකා සහ රන්ජන් රාමනායක යන අමාත්‍යවරුන් ස්වාමීන් වහන්සේලා සම්බන්ධව විවිධ ප්‍රකාශ පසුගිය කාලයේ සිදුකළා නේද?

සරත් ෆොන්සේකා සහ රන්ජන් රාමනායක සම්බන්ධව මම නම් කතා කරන්නවත් දැන් කැමති නැහැ. ඒ තරම් පිළිකුල්. සරත් ෆොන්සේකා කියන්නේ ඡන්ද පන්දාහක් ගන්න බැරිවුණ මනුස්සයෙක්. හොර පාරෙන් පාර්ලිමේන්තුවට ගිහින් එක එකාගේ බැල මෙහෙවර කරනවා. රනිල් මහත්තයට කෙලින්ම බනින්න බැරි කෙනෙක් ඉන්නව නම් ෆොන්සේකා දාලා බන්නනවා. ඒකට කියන්නේ බැලමෙහෙවර කරනවා කියලා. පඩියට වැඩ කරන කුලීකාරයෝ. අනිත් පැත්තෙන් රන්ජන් කියන්නේ පිස්සු දොඩවන මනුස්සයෙක්. කාඩ්බෝර්ඩ් වීරයෙක් විතරයි. හිරිකිත මිනිස්සු ගැන මං නම් කතා කරන්නවත් කැමති නැහැ කිව්වේ ඒකයි. 

Q මේ අය සම්බන්ධව පක්ෂයක් විදියට විනය ක්‍රියාමාර්ග ගතහැකියි නේද?

එහෙම ගන්නෙ නැහැ. මොකද ඒ අයගේ වුවමනාකම්නේ මේ අය ඉෂ්ට කරන්නේ. ඔවුන්ගේ කැමැත්ත අනුව බනින වැඩපිළිවෙළක් මේ තියෙන්නෙ. නැත්නම් අරුන්දික ප්‍රනාන්දුලා %360^ වැඩසටහනට ගියාට පහුවෙනිදා ඇමතිකම ගලවනව නම්, හාමුදුරුවන්ට බනිනකොට එපා කියන්න, විනය ක්‍රියාමාර්ග ගන්න රටේ ප්‍රධාන පුරවැසියන් දෙන්නට පුළුවන්නේ. එහෙම නොකර රට සවාරි එක්ක යනවා. රටකට ගිය කලක් මේ. 

Q ඔබවහන්සේ ඉදිරි මැතිවරණයකදී ඉදිරිපත් වීමට අදහස් කර තිබෙනවාද?

මැතිවරණයකට ඉදිරිපත් වෙනවා කියල එහෙම අදහසක් නැහැ. මේ තියෙන මැතිවරණ ක්‍රමය සහ ඉන්න මිනිස්සු දිහා බැලුවාම පාර්ලිමේන්තුවට ගිහින් මොනවා කරන්නද? ඒ නිසා දැනට එහෙම අදහසක් නැහැ. 

Q කලකට පෙර ඔබවහන්සේගෙන් ඇසුණු සුමධුර කාව්‍යමය ධර්මදේශනා අද ඇහෙන්නෙ නැත්තේ ඇයි?

ඒක මෙහෙමයි. මට පෞද්ගලිකව ලැබෙන ආරාධනා අනුව පන්සල්වල සහ විවිධ ස්ථානවල කවි බණ කියනවා. නමුත් රූපවාහිනියේ බණ කියන එක නතර වෙලා තියෙනවා. ඒ ආයතනවලින් බයයි අපට බණ කියන්න දුන්නම ඉහළින් තර්ජන එයි කියලා. මොකද අපි අසාධාරණය වෙනුවෙන් දේශපාලඥයන් සමග, ආණ්ඩු එක්ක ගැටෙනවා. එහෙම දෙයක් තියෙන්නෙ. නැතුව මම කවි බණ කියන එක නතර කරලා නැහැ. 

පාර්ලිමේන්තුවේ 225 ප්‍රශ්න ගැන කතා කරන්න සුදුසු නෑ

රටේ වගකිවයුතු පුරවැසියන් පාර්ලිමේන්තුව ආක්‍රමණය කළ යුතු කාලය පැමිණ ඇති බවත් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 රටේ ප්‍රශ්න ගැන කතා කිරීමට සුදුසු නැති බවත් මාතර දිස්ත්‍රික් ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 

මාතරදී අද (27දා) පැවති උත්සවයකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී තව දුරටත් අදහස් පළකළ මන්ත්‍රීවරයා, ‘‘ කෝප් කමිටුවේ සභාපතිවරයා විදියට මේ දිනවල විශේෂ මැදිහත්වීමක් කරනවා අපේ රටේ විශ්වවිද්‍යාල පාර්ලිමේන්තුවට කැඳවන්න. දැනට විශ්වවිද්‍යාල ගණනාවක් කැඳෙවුවා. විශ්වවිද්‍යාලවල කටයුතු විමර්ශනය කිරීම කෝප් කමිටුවේ කාර්යභාරයක්.

ඒ වගේම ඒ විමර්ශනය කරලා ඉවරවෙලා අවසානයේ මම අහනවා උපකුලතිවරුන්ගෙන් පීඨාධිපතිවරුන්ගෙන්, මහාචාර්යවරුන්ගෙන් ප්‍රශ්න කීපයක්. අපේ රටේ තියෙන කුණු කඳු කඩාගෙන වැටෙන එකට මොකක්ද ඔබලා ගාව තියෙන විසඳුම, මාර්ග තදබදයට තියෙන විසඳුම මොකක්ද?, මේ අක්‍රමවත් සංවර්ධනයට, වකුගඩු රෝගයට විසඳුම් මොනවාද?, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට, අපේ රටේ තියෙන වංචාව, දූෂණයට මොකක්ද ඔබලා ළඟ තියෙන විසඳුම් කියලා මම අහනවා. මේවා කාටත් උත්තර නැති ප්‍රශ්න. විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්යවරුන්  කල්පනා කරනවා මෙහෙම ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනද කියලා.

අපේ රටේ මේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න  පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා සුදුසු නැහැ. මොකද ඒ 225 දෙනාගෙන් බහුතරයක් දෙනා අපේ රටේ සිදුවෙන ආර්ථික මංකොල්ලයේ චූදිතයන්. ඒ නිසා විශ්වවිද්‍යාල සිසුන් හා අචාර්යවරුන්ගේ වගකීම පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීමයි. එවැනි සමාජ පරිවර්තනයක් ගැන කියැවෙන අරගලයක් කළ යුතුව තියෙනවා. නැති නම් මේක ගොඩගන්න බැහැ" යැයි ද පවසා සිටියේය.

Sunil-Handunnetti copy copy

තලතාට පළමු අභියෝගය හඳුන්නෙත්තිගෙන්

විදේශ සේවා අමාත්‍යාංශයෙන් ඩිලාන් පෙරේරා වංචා කළ රුපියල් කෝටි 248ක මූල්‍ය වංචාව හැකිනම් සොයන ලෙස තමන් නව අධිකරණ ඇමතිවරියට අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණෙහි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (03දා) මාතරදී පැවැති උත්සවයක් අමතමිනි.

" අද නව අධිකරණ ඇමති කෙනෙක් පත්වෙලා තියෙනවා. එතුමිය කියනවා, 'මම දැන් කල්පනා කරන්නෙ අලුත් විදියකට හොරු අල්ලන්න' කියලා. අපි කියනවා වැඩිදුර යන්න ඕන නැහැ, ඔබතුමියගේ විදේශ සේවා කාර්යාංශයේ හිටපු ඇමති ඩිලාන් පෙරේරා වංචා කරපු කෝටි 248ක් තියෙනවා.

අපි ඒවා පෙන්වාදීලා ඔප්පු කරලා තියෙනවා. ඔබතුමියගේ පළමු කාර්යය විදියට තමන්ගේ අමාත්‍යාංශයේම වංචා දූෂණ හොයන්න. අපි නව අධිකරණ ඇමතිවරියට අභියෝග කරනවා පුළුවන් නම්, ඩිලාන් පෙරේරා වංචා කළ කෝටි 248ක මුදල හොයන්න කියලා"යැයි පවසා සිටියේය.

 

ඉර පායනවා වගේ නුදුරේදීම මහින්දගේ ආණ්ඩුවක් බිහි කරනවා

රට අගාධයට ගෙන යන ආණ්ඩුව පොදුජන ව්‍යාපාරය හරහා අවසන් කර මහින්ද රාජපක්ෂ රජයක් ඉදිරියේදී බිහි කරන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොමේෂ් පතිරණ මහතා පැවසීය.

මාතර, වැලිගම නගර ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

‘‘මහින්ද රාජපක්ෂ සමයේ මේ රට සහලින් ස්වයංපෝෂිත වෙලා තිබුණා.  පසුව රටේ වී ටික දාන්න තැනක් නැතුව ගුවන්තොටුපොළේ වී ගබඩා කරපු යුගය වැඩි ඈතක නහැ. මේ රටේ ගොවියා දණ ගස්සපු, රාජ්‍ය සේවය අකර්මණ්‍ය කරපු, රාජ්‍ය සම්පත් සියල්ල විකුණන මේ ආණ්ඩුව පිළිබඳව තමුන්නාන්සේලා අපි සෑම කෙනෙකුම හිතන හැටි පොදුයි. ආන්න ඒ නිසා තමයි අපි එදා මහින්ද මහත්තයා පරාජ වෙච්ච දවසේ ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තේ විපක්ෂයේ වාඩිවෙනවා කියලා. හෘද සාක්ෂියට එකඟව ඒ ගත්ත තීරණය නිවැරදි බව දිනෙන් දින ඔප්පු වෙමින් පවතිනවා. 

රට අගාධයට යන ගමනේ අපි කිසිම විටෙක ආණ්ඩු පාර්ශ්වය සමග ගනුදෙනු කළේ නැති බව අපේ හෘද සාක්ෂිය දන්නවා. ඉතා පැහැදිලිව කියන්න ඕන රට අගාධයට අරගෙන යන මේ ගමන පොදු ජන ව්‍යාපාර හරහා අපි අවසන් කරනවා, පමණක් නෙමෙයි රටේ නැගෙනහිරින් ඉර පායනවා වගේ නුදුරේදීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් අපි බිහිකරනවා.” යනුවෙන් සඳහන් කර සිටියේය.

අක්මා රෝගයකින් පීඩා විඳින දිනුත්ට පිහිටක් වෙමු

මාතර, වැලිගම, පිටදූව පදිංචි දිනුත් විසල්ක (අවු.07) දරුවා දරුණු අක්මා රෝගයකින් පෙළෙන අතර, ඔහුට හැකි ඉක්මනින් ශල්‍යකර්මයක් කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.

ඒ සඳහා මාස දෙකහමාරක් තුළ රුපියල් ලක්‍ෂ 70ක මුදලක් සොයාගත යුතු බවත්,  දැඩි ආර්ථික අසීරුතා මධ්‍ය‘යේ ජීවත් වන තමන්ට තනිවම එම මුදල සොයාගත නොහැකි බවත් දරුවාගේ මව වන මධුකා සෙව්වන්දි මහත්මිය පැවසුවාය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ දරුවාගේ මව,

''අපි වැලිගම, පිටිදූව ප්‍රදේශයේ ජීවත් වෙන්නෙ. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු දුවට වයස 11 යි, පුතාට වයස 07යි.  පුතාගේ නම දිනෙත් විසල්ක. 2014 වර්ෂයේ මුලින්ම එයාට ආවෙ ඇඟ කැසීමේ රෝගයක්. වෛද්‍යවරුන්ට පෙන්වලා බෙහෙත් ගත්තත් හොඳ වුණේ නැහැ. පසුව සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ට පෙන්නුවා කරාපිටිය රෝහලේදී. එහිදී ලේ පරීක්ෂණ කළා.

එතකොට තමයි දැනගත්තේ අක්මාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මාස 05ක් විතර බෙහෙත් කරලා පසුව රාගම ශික්ෂණ රෝහලට එක්ක යන්න කිව්වා, දරුවාගේ අක්මාවේ කොටසක් අරන් පරීක්‍ෂණයක් කරන්න. ඒ පරීක්‍ෂණයේ වාර්තාව වුණේ දරුවාට සිරෝසිස් රෝගය කියලා.

2014 ඉඳන් මේ දක්වා ඒ රෝගයට බෙහෙත් කළා. බෙහෙත්වලට විශාල මුදලක් වියදම් වුණා. මසකට දසදහසකට අධික මුදලක් වියදම් වෙනවා. අවසානේ මහත්තයා විදෙස්ගත වුණා, දරුවාගේ බෙහෙත්වලට යන මුදල හොයන්න. එයා දැනට ඩුබායි රටේ රියදුරෙකු ලෙස සේවය කරනවා. 

ලේ පරීක්ෂණ සෑම මාසයකම රාගම රෝහලේදී කරනවා. ගිය මාසයේ ඒ පරීක්ෂණය කළාම වෛද්‍යවරු කිව්වා. ලේවල ප්‍රතිශතය වැඩියි, බබාට බෙහෙත්වලින් සනීප කරන්න බැහැ, අක්මාවේ කොටසක් අක්‍රීය වෙලා ඒ කොටස ඉවත් කරලා කොටසක් බද්ධ කරන්න වෙනවා කියලා. තව පවුලේ කෙනෙක්ගේ අක්මාවේ කොටසක් වෙන්නත් ඕන සහ ලේ ගැලපෙන්නත් ඕන කිවුවා.

අවසානයට මගේ අක්මාවේ කොටසක් දරුවාට බද්ධ කරන්න තීරණය වුණා. නමුත් එය ඉන්දියාවේ චෙන්නායිවල කරන්න ඕන. ඒ සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 70ක් වැය වෙනවා. ඒ තරම් මුදලක් අපට හොයාගන්න නැහැ. වැඩි කාලයකුත් නැහැ, මාස දෙකහමාරක කාලයක් පමණයි ඉතුරු වෙලා තියෙන්නෙ* යැයි පවසා සිටියාය.

දරුවාගේ සැත්කම සඳහා උපකාර කළ හැකි අයෙකු වෙතොත් ආර්.පී. මධුකා සෙව්වන්දි නමින් සම්පත් බැංකුව, වැලිගම ශාඛාවේ 120954085136 දරන ගිණුමට හෝ මහජන බැංකුව, වැලිගම ශාඛාවේ පවතින  077200100026959 දරන ගිණුමට ආධාර මුදල් බැරකරන මෙන් දරුවාගේ මව ඉල්ලා සිටියි.

මේ පිළිබඳ වැඩි විස්තර 041 2 260 257 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

කුරුඳු පොලු නඩුව දෙසැම්බර් 11 දක්වා කල්යයි

එ.ජා.ප පාක්ෂිකයන් දෙපිරිසක් අතර 2013 වර්ෂයේ මාතර දී ඇතිවූ ගැටුම සම්බන්ධ නඩුව අද (24දා) මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේ දෙපාර්ශ්වය සමථයකට පත්වීමට අකමැති වූ හෙයින් නඩුව ලබන දෙසැම්බර් 11 දක්වා කල් තැබීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය නියෝග කළාය.

පසුගිය 2013 වර්ෂයේ එජාප මන්ත්‍රීවරුන් හා පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගරයේදී මෙම ගැටුම ඇතිවූ අතර, පසුව මංගල සමරවීර සහ මෛත්‍රී ගුණරත්න යන අය නඩු ති‍්‍රත්වයක් මගින් උසාවිය හමුවේ පෙනී සිටියහ.

ඒ අනුව අද දිනයේ මංගල සමරවීර පාර්ශ්වයෙන් හා මෛත්‍රී ගුණරත්න පාර්ශ්වයෙන් මෙම නඩු සමථයකට පත්කිරීමට කැමැත්ත පළකර තිබූ අතර, එහෙත් එම නඩු ති‍්‍රත්වය අතර වෙඩි තැබීමේ නඩුවක් පවතින බැවින් එම නඩුව හැර ඉතිරි නඩු සමථයකට පත්කිරීමට හැකි බව මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය සඳහන් කර ඇති අතර, එහෙත් එයට මෛත්‍රී පාර්ශ්වය අකමැත්ත ප‍්‍රකාශ කොට ඇති හෙයින් නඩුව දෙසැම්බර් 11දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

මෙම නඩු විභාගය සඳහා එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක, මංගල සමරවීර, මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ආණ්ඩුවේ ඉන්න අය අනාගතය ගැන හිතනවා නම් කරන්න තියෙන එකම දේ ආණ්ඩුවෙන් එළියට බහින එක

ආණ්ඩු පක්‍ෂයේ ඇමතිවරුන් පිරිසක් එකාබද්ධ විපක්‍ෂය හා සම්බන්ධ වන බවට විවිධ මත පළවෙමින් තිබේ. එහි සත්‍ය අසත්‍යතාව සම්බන්ධව හා වර්තමාන දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා සමග කළ සංවාද සටහනකි මේ. 

Q වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබඳ ඔබේ අදහස?

අද රට ඉතාම ශෝචනීය තත්ත්වයට වැටිලා තියෙන්නේ. රට අස්ථාවර වෙලා. හැම ක්‍ෂේත්‍රයකම ඉතාම අවිනිශ්චිත තත්ත්වයක් තියෙන්නෙ. එක් පැත්තකින් පළාත් පාලන ඡන්දය කල් දමමින් ඉන්නවා.

අනෙක් පැත්තෙන් 2015 පස්සෙ මෙරට ආයෝජනය අඩුවෙලා තියෙනවා. සංවර්ධනය නැතිවෙලා තියෙනවා. මේ සියල්ල අතරේ අපේ ජීවිත කාලයේ නොදැකපු අය පාරට බැහැලා විරෝධතා දක්වන තැනට මේ යහපාලන රජය පත්වෙලා තියෙනවා.

Q නව ව්‍යවස්ථාවක් සම්බන්ධව රජයෙන් විවිධ මත පළවෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ ඒ සම්බන්ධව ස්ථාවරය කුමක්ද?

ව්‍යවස්ථාව සම්බන්ධව අපේ මතය තිබුණෙ ඒකීය රටක් ඇතුළෙ මේ කටයුතු සියල්ල සිද්ධ වෙන්න ඕන කියලා. දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අපි සියල්ල නියෝජනය කරමින් එයට සම්බන්ධ වෙලා හිටියේ එවැනි කාරණයක් සඳහායි.

Q එසේ නම් ව්‍යවස්ථාදායක සභාවෙන් ඒකාබද්ධ විපක්‍ෂය ඉවත් වුණේ ඇයි?

අපේ මන්ත්‍රීවරුන් හරහා අපි යෝජනා මාලාවක් ලබාදුන්නා ඒකාබද්ධ විපක්‍ෂය හැටියට. නමුත් මේ ව්‍යවස්ථා කෙටුම්පත සංශෝධනය කිරීමේදී අපි දැක්කා වාර්තාවක් හැටියට එළිදැක්වුණා කියලා, එළිදැක්වුණේ නැහැ කියලා විවිධ කතා තියෙනවා.

නමුත් පසුගිය දවසේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දකුණු අප්‍රිකාවේ හිටිය විනිශ්චයකාරවරයෙක් සමග කළ සාකච්ඡාවේදී යම්කිසි වාර්තාවක් එළිදැක්වුණා. ඒ වාර්තාවේ අපි ඇතුළත් කළ කරුණු තිබුණෙ නැහැ. එම නිසා නමට විතරක් එහි ඉන්න බැරි නිසා තමයි අපි එයින් ඉවත් වුණේ. 

Q නැවත ආරාධනාවක් ලැබුණොත් ව්‍යවස්ථාදායක සභාවට සම්බන්ධ වෙනවාද? 

ඒකාබද්ධ විපක්‍ෂය හැටියට අපි තීන්දුවක් අරගෙන තියෙනවා මුලින් ප්‍රජාත්‍රන්තවාදී අයිතිය සුරකින්න ඡන්දය තියලා එන්න කියලා. ඊට පසුව සම්බන්ධ වෙනවද නැද්ද කියලා තීන්දු කරනවා. නමුත් රටට අහිතකර යම් සංශෝධනයක් වෙනවා නම් එයට එරෙහි වෙන්නත්, එය පරාජය කරන්නත් කටයුතු කරනවා.

Q බැඳුම්කර වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් දීම සම්බන්ධව ඔබේ අදහස? 

ඒකාබද්ධ විපක්‍ෂය ලෙස බැඳුම්කර වංචාව වුණු දවසේ ඉඳන් රජයට කළ බලකිරීම තමයි, එම ආයතනය සතු සියලු වත්කම් රජයට පවරා ගෙන වරදක් සිදුවෙලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් මෙය සිදුවෙලා වසර 02ක් වෙනවා.

අපි දැක්කා පසුගිය කාලයේ මෙගා ඩීල් ගැන, රාජපක්‍ෂවරුන් කළ වංචා ගැන කතා කරපු ආණ්ඩුව එදා දවසේ පැය භාගයක් තුළ රුපියල් බිලියන 26ක මුදලක් හොරකම් කළ ආයතනයට, පුද්ගලයන්ට එරෙහිව කිසිදු දෙයක් සිදු කරන්නෙ නැහැ. ජනාධිපති කොමිසම් පත්කරලා තියෙනවා තමයි, නමුත් එම කොමිසම්වලට සාක්‍ෂි තියෙනවා, කරන්න දෙයක් නැහැ.

සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල වුණා කියනවා, නමුත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ. අගමැතිවරයාගේ හිතවතුන් නිසයි එසේ වන්නේ. අධිකරණය සම්බන්ධව අපට විශ්වාසයක් තියෙනවා, නමුත් මේ රටේ පොලීසිය සම්බන්ධව කිසිදු විශ්වාසයක් නැහැ. 

Q එම සොරකම් කළ මුදලින් මාධ්‍ය ආයතන පවා ආරම්භ කළ බවට චෝදනා නැගෙනවා?

බැඳුම්කර වංචාවෙන් උපයා ගත් මුදල්වලින් රූපවාහිනී නාළිකා, ගුවන්විදුලි සේවා සහ පුවත්පත් ආරම්භ කර තියෙනවා. ඒ නිසා ඒකාබද්ධ විපක්‍ෂය හැටියට අපි දිගින් දිගටම මේ වෙනුවෙන් පෙනී සිටියා. මෙය වරදක් කියලා කිව්වා. රටේ ජනතාව මෙය දැනගත යුතුයි. යහපාලනය ගේනවා කියලා බලයට ආපු මේ අය කරන දේවල් ජනතාව දැනගත යුතුයි.

Q මේ නිසාද එම මාධ්‍ය ආයතන වර්ජනය කළ යුතුයි කියලා ඔබ පක්‍ෂය තීන්දුවක් ගත්තෙ?

ඉතා පැහැදිලවම මෙවැනි මාධ්‍ය ආයතනවලට වැට බැඳීම් තමයි කළ යුත්තෙ. ඒ නිසා තමයි අපි තීන්දුවක් ගත්තේ එම මාධ්‍ය ආයතන වර්ජනය කළ යුතුයි කියලා. ඉදිරියේදී වෙනත් මාධ්‍ය ආයතනයක් මෙවැනි වංචාවක් හා සම්බන්ධ වෙනවා නම්, එම මාධ්‍ය ආයතනයත් වර්ජනය කරන්න අපි පසුබට වෙන්නෙ නැහැ. 

Q මාධ්‍ය මර්දනය කිරීමට පනත් ගෙන ඒමට රජය අදහස් කරලා තියෙනවා. මේ සම්බන්ධව ඔබේ අදහස?

අපි දැක්කා කැබිනට් මණ්ඩලය නොමග යවලා මාධ්‍ය ආයතන මර්දනය කරන්න කැබිනට් සංශෝධන යෝජනා කරලා තියෙනවා. මෙහි බරපතළ රටට අහිතකර පනත් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මාධ්‍ය මර්දන පනත ඉන් එකක් පමණයි. අපට මතකයි අපේ රජයට එල්ල කළ බරපතළ චෝදනාව තමයි මාධ්‍ය මර්දනය කියලා. නමුත් අද සිදුවෙන දේවල් බැලුවාම ඒවා මොනවද කියලා හිතෙනවා.

අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් නම් කරලා, මාධ්‍ය ආයතන නම් කරලා අභියෝග කරනවා, චෝදනා කරනවා. අපේ කාලයේ එහෙම දේවල් තිබුණෙ නැහැ. 

Q නමුත් යහපාලන වේදිකාවේ මාධ්‍ය නිදහස පිළිබඳ කතා කළ බොහෝ දෙනා අද නිහඬයි නේද?

ඔව්. ඒ අයට කරකියා ගන්න දෙයක් නොමැති තත්ත්වයක් අද තිබෙන්නෙ. අද සමාජ ජාලා හරහා ලැබෙන පුවත් වාරණයකට ලක් කරලා තියෙනවා. පුවතක් යනවා නම් රහස් පොලීසියට ගෙනියනවා. මාධ්‍යවේදිනුත් රහස් පොලීසියට ගෙනගිහින් ප්‍රශ්න කරනවා. මාධ්‍යයට වාරණයක් ලබාදීලා තියෙනවා වගේම, ඒ පිළිබඳ කතා කරපු අයටත් වාරණයක් ලබාදීලා තියෙනවා.

ඒ වගේම මේ මාධ්‍ය මර්දන පනත් සම්බන්ධ ආණ්ඩුවේ මත දෙකක් තිබෙනවා. එජාපය කියනවා ගේනවා කියලා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියනවා එහෙම එක්ක දන්නෙ නැහැ කියලා. ඒ නිසා මුලින් මොවුන් අතර එකඟතාවක් ඇතිකර ගත යුතුයි. මාධ්‍ය මර්දනය කරන්න පනත් පාර්ලිමේන්තුවට ගේනවා නම්, කොන්දේසි විරහිතව අපි එයට විරුද්ධ වෙනවා වගේම, එය ඉවත් කරගන්න බලපෑම් කරනවා.

Q මහින්ද රාජපක්‍ෂ මහතා සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගත යුතුයි කියලා මහින්ද අමරවීර සහ සරත් ෆොන්සේකා යන ඇමතිවරුවන් කළ ප්‍රකාශ සම්බන්ධව ඔබේ අදහස? 

ෆොන්සේකා මහතා දිගින් දිගටම හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා එක්ක පෞද්ගලික වෛරයක්, ක්‍රෝධයක් තිබුණා. නමුත් මහින්ද අමරවීර ඇමතිවරයා අපේ ආණ්ඩුවේ ඉද්දි එහෙම ක්‍රෝධයක්, වෛරයක් තිබුණෙ නැහැ. අද එතුමා කියනවා මහින්ද මහත්තයා සහ ගෝඨාභය මහත්තයා අත්අඩංගුවට ගත යුතුයි කියලා.

ඔහු මහින්ද මහත්තයාගෙන් පෝෂණය වෙච්ච දේශපාලඥයෙක්. ඉතින් ඒ වගේ දෙයක් කියනවා නම් අමරවීර නෙමෙයි අමනවීර කියලා නමට දාගත්තා නම් හරි කියලා මම කියනවා. කවුරු මොනවා කිව්වත් රටේ ජනතාව දන්නවා මේ දෙදෙනා රටටවත්, ජනතාවටවත් වරදක් කරලා නැහැ කියලා. 

Q ඔබ ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත් වෙන බවට මුහුණු පොතේ සටහනක් තබා තිබුණා. නමුත් ඉවත් වුණේ නැහැ?

නැහැ, මම ඉවත් වෙන්න තීරණය කළේ නැහැ. යම්කිසි කාරණයක් සම්බන්ධව මගේ විරෝධය පළකළා. මොකද අපේ ආණ්ඩුව තිබුණු කාලයේ සමහර කාරණාවලට විරෝධය පළ නොකළ නිසා තමයි අපේ ආණ්ඩුවට ගෙදර යන්න වුණේ. මම යම්කිසි වරදක් පෙන්නුවේ, ඒ මහින්ද මහත්තයාගෙන් ඉවත් වෙනවා හෝ පක්‍ෂයෙන් ඉවත් වෙනවා කියන එක නෙමෙයි.

Q ඒ කියන්නෙ ඒකාබද්ධය ඇතුළෙ යම් අර්බුදයක් තියෙනවා?

මෙහෙමයි අපේ පක්‍ෂයට විවිධ පාර්ශ්ව එකතු වෙනවානේ. පැරණි වැරදි කරපු අය එක්ක මේ ගමන යනවානම්, අපි පරිස්සමි විය යුතුයි. නැත්නම් විශාල ගැටලුකට මුල් වෙන්න පුළුවන්. එවැනි දෙයක් මම පෙන්වලා දුන්නෙ නැතුව පක්‍ෂය ඇතුළෙ වෙන අර්බුදයක් නැහැ. 

Q ආණ්ඩුවෙන් පිරිසක් ඒකාබද්ධ විපක්‍ෂයට එකතු වෙන්න ඉන්නවා කියන කතා ඇත්තක්ද?

ඒ දේවල් දැන්ම හෙළි කළොත් මම හිතන්නේ අගයක් නැහැ. හැබැයි එහෙම එන එක හොඳයි. මොකද ආණ්ඩුවේ ඉන්න අය අනාගතයක් ගැන හිතනවා නම් කරන්න තියෙන එකම දේ ආණ්ඩුවෙන් එළියට බහින එක.

ඕනෙ නම් විපක්‍ෂයේ වාඩි වෙන්න පුළුවන්, නැතිනම් අපේ සන්ධානයට එකතු වෙලා ආණ්ඩුවක් හදන්න පුළුවන්. ඒ වෙනුවෙන් වසර දෙකක් ගිහින් හරි පිරිසකට හෝ මොළේ පෑදුණු එකට අපි සතුටුයි. හැබැයි ඒ තීන්දුව ඉක්මනට ගන්නවා නම් හොඳයි නැතිනම් ප්‍රමාදය පසුතැවීමට හේතු වෙන්නත් බැරි නැහැ.

Q පිං කැට සම්බන්ධව අද විශාල කතාබහක් ඇතිවෙලා තිබෙනවා නේද?

වර්තමාන රජය පිං පෙට්ටියට අත තියන්න කලින් කල්පනා කළයුතු දෙයක් තමයි, 2015 බිලියන 26ක වංචාවක් වෙලා තියෙනවා. මුලින් එය හොයලා අනෙක් වංචා ගැන පසුව හොයනවා නම් හොඳයි.

මං හිතන්නෙ නැහැ මොනම විහාරස්ථානයකවත් පිං පෙටිටිය අයුතු ලෙස ප්‍රයෝජනය ගත්තා කියලා. අනෙක මේවා ප්‍රසිද්ධියේ කතා කළ යුතු දේවල් නෙමෙයි. බිලියන 26ක් බැඳුම්කරයෙන් වංචා කරලා එය අප්‍රසිද්ධියේ කතා කරනවා. පිං පෙටිටිය ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා. රටකට ගිය කලක් තමයි ඉතින්.

Q ඡායා කැබිනට්ටුවේ ඔබට ධීවර අමාත්‍යාංශය නොලැබීමේ කනගාටුවක් තිබෙනවා නේද?

කොහෙත්ම නැහැ. ඡායා කැබිනට්ටුව අපි සාමූහිකව ගත්ත තීන්දුවක්. අපට විෂයයන් 03ක් යෝජනා කරන්න තිබුණා. එහිදී මට ක්‍රීඩා අමාත්‍යාංශය ලැබුණා. ඉතින් ක්‍රීඩා අමාත්‍යාංශයේ කෙරෙන කාර්යභාරය සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. පාර්ලිමේන්තුවේ වාද විවාද කරනවා. එයට ධීවරද, ක්‍රීඩාද කියලා නැහැ, ලැබුණු දේ උපරිමයෙන් මම කරනවා. 

Q හිටපු අමාත්‍යවරයෙකු වන මහින්ද විජේසේකර මහතා රෝගීව දිවි ගෙවනවා. පැවැති හෝ වර්තමාන රජයෙන් එතුමා පිළිබඳව සොයාබැලීමක් කරන්නෙ නැහැ නේද?

මගේ පියා රෝගී වුණු අවස්ථාවේ සිට අද දක්වා මහින්ද රාජපක්‍ෂ අපේ ජනාධිපතිතුමා සොයා බැලීම් කළා. එම රජයෙන් ගත් ක්‍රියාමාර්ග නිසා තමයි එතුමා මෙහෙම හරි අද ජීවත්ව ඉන්නෙ. කොටි ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාරයට ලක්වුණු අයගෙන් අද ජීවත්ව ඉන්නේ ඉතා සුළු පිරිසක්. ඉතින් වර්තමාන රජයෙන් පියා සම්බන්ධව කිසිවක් බලාපොරොත්තු වෙන්නෙ නම් නැහැ. 

රජය ඡන්දය තිබිබත් දිවිනසා ගන්නවා නැතත් දිවිනසා ගන්නවා

ජාතිවාදය ඇවිස්සෙන ආකාරයේ යම්යම් සිදුවීම් හේතුවෙන් පසුගිය කාලයේ විවිධ මත ගැටුම් නිර්මාණය විය. බොදු බල සේනා සංවිධානයට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අතර, ඇතැම් පාර්ශ්වයන් විසින් විවිධ මත ඉදිරිපත් කෙරිණි.

ඒ සම්බන්ධයෙන් සහ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් සමග 'අද' කළ සංවාද සටහනකි ‍මේ.

Q වර්තමාන දේශපාලන වාතාවරණය සම්බන්ධව ඔබ වහන්සේගේ අදහස?

අද දේශපාලන වාතාවරණය ඉතාම කනගාටුදායක තත්ත්වයක තියෙන්නෙ. විශේෂයෙන් අද ආර්ථිකය කඩාගෙන වැටිලා, ආර්ථිකය කළමනාකරණය කිරීමට නොහැකි තත්ත්වයක් තියෙන්නෙ. අනෙක් පැත්තෙන් යටිතල පහසුකම් සංවර්ධනය කරන්න මේ රජයට වැඩපිළිවෙළක් නැහැ. ප්‍රධාන මේ කාරණා දෙක අඩපණ වෙනවා කියන්නෙ රට එක තැන පල්වෙන තත්ත්වයක් තමයි අද නිර්මාණය වෙලා තියෙන්නෙ.

Q යම් ආගම්වාදී ගැටලුවක් පසුගියදා නිර්මාණය වුණා. විවිධ කණ්ඩායම් බොදු බල සේනා සංවිධානයට චෝදනා කළා. ඔබවහන්සේ සිටින්නෙ කුමන මතයේද?

අපට පේන දේ තමයි රජය මේ මොහොතේ උපක්‍රමශීලීව අන්තවාදීන්ට ඉඩදීලා තියෙනවා. නැවත වතාවක් සිංහල බෞද්ධයන්, දෙමළ, මුස්ලිම් ජනතාව විශාල පිරිසක් දකිනවා මේ ආණ්ඩුව ප්‍රායෝගික නොවන ආණ්ඩුවක් කියලා.

එතැනදී හැම අන්තවාදී කණ්ඩායමකටම සියල්ලන්ම ඉඩදීලා තියෙනවා. සිංහල බෞද්ධ බලවේගය මහින්ද මහත්තයා යටතේ තියෙන්නෙ. එය බෙදන්න තමයි බොදු බල සේනා සංවිධානය ක්‍රියා කරන්නෙ.

Q බොදු බල සේනා සංවිධානයේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඔබවහන්සේට තියෙන්නේ කුමන අදහසක්ද?

මට උන්වහන්සේ සම්බන්ධව හැමදාම විවේචනයක් තිබුණා. මට උන්වහන්සේ හැමදාම සැකයි. ප්‍රචණ්ඩකාරී විදියට හැසිරිලා අපි අද අමාරුවෙන් ගොඩනගා ගත් සමාදානය විනාශ කරනවා.

ලෝකය පුරාම ජාත්‍යන්තර යුදෙව් අන්තවාදීන්ගේ බලවේගයක් තියෙනවා. මුස්ලිම්වරුන්ට එරෙහිව, අපි විශ්වාස කරනවා බොදු බල සේනා සංවිධානයත් දැන හෝ නොදැන කරන්නෙත් ඒ රාජකාරියම තමයි.

Q එම සංවිධානය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයෙත් පැවතුණා නේද?

ඔව් තිබුණා, ඒ නිසානෙ බේරුවලදී සිද්ධියක් වුණේ. එතැනදී මහින්ද මහත්තයා පරාජය කිරීමට පැමිණි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විදියයි අපි එය දැක්කෙ. එතුමාගේ තිබුණු බෞද්ධකම නිසා ස්වාමීන් වහන්සේලාට දඬුවම් කරන එකට විරුද්ධ වුණා.

නමුත් අපි හැමවෙලේම එතුමාගෙන් ඉල්ලා සිටියා ස්වාමීන් වහන්සේ කියලා බලන් නැතුව නීතිය සැමට ක්‍රියාත්මක කරන්න කියලා. එය නොකිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි විශාල ඡන්ද ප්‍රමාණයක් අහිමි වුණේ.

Q නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා නැගෙනවා බොදු බල සේනාව බිහිකිරීමේ මූලිකත්වය ගත්තා කියලා?

එතුමා ඒකට උත්තර දීලා තිබුණා. එතුමා එහෙම ඔවුන් සමග සම්බන්ධයක් නැහැ කියලා. 

Q පළාත් පාලන ඡන්දය ලබන ඔක්තෝබර් පවත්වන බවට රජය ප්‍රකාශ කරලා තියෙනවා නේද?

මම නම් හිතන්නෙ මොකක්හරි හේතුවක් කියලා, මේ පාරත් කල්දායි කියලා. මේ ආණ්ඩුව මීට කලිනුත් ඡන්දය තියෙන බව ඇඟෙව්වා, පසුව කල්දැම්මා. මේ රජය ඡන්දය තිබ්බත් දිවිනසා ගන්නවා, නැතත් දිවිනසා ගන්නවා.

මොකද තිබ්බොත් ඔවුන්ට සාධාරණ ජනවරමක් නැහැ කියලා පැහැදිලි වෙනවා. ඡන්දය නොතිබ්බොත් ප්‍රජාතන්තවාදී ජන අයිතිය නැතිකිරීමේ චෝදනාව උඩ ඔවුන්ට දිවිනසා ගන්න වෙනවා. 

Q එම ඡන්දයේදී ඒකාබද්ධ විපක්‍ෂයට කුමක් වෙයිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එජාපය එක්ක එකතු වෙලා තරග කළත්, වෙන වෙනම තරග කළත් දෙගොල්ලොම ඉවරයි. අනිවාර්යයෙන් ඒකාබද්ධ විපක්ෂය පදනම් කරගත්තු වැඩපිළිවෙළකට තමයි ජයග්‍රහණය හිමිවෙන්නෙ.

Q මහ බැංකු මංකොල්ලය හා සම්බන්ධව තවමත් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කර නැහැ නේද?

මේ වගේ ආණ්ඩු තුළින් කාටවත් පිළිසරණක් නැහැ. මේ වගේ ආණ්ඩු තුළින් පිළිසරණ තියෙන්නෙ හොරුන්ට පමණයි. මහ බැංකුව මංකොල්ලකෑවා. දැන් ඒක සාමාන්‍ය සිද්ධියක් විදියට වාර්තා යනවා මිසක් ඒවාට මුල්වුණු අගමැතිවරයා සද්දයක් නැහැ.

හොරාකාපු මිනිහා එක්ක පාටි දමමින් ඉන්නවා. නමුත් විපක්‍ෂයේ කෙනෙක් පොලීසියේ කෙනෙක් එක්ක වාද වුණත් රිමාන්ඩ් කරනවා. ඉතිහාසයේ දැවැන්තම හොරකම සිදුනොවුණු විදියට මේ අය කටයුතු කිරීම පිළිකුල් සහගතයි. 

Q ජෝන් අමරතුංග මහතා සම්බන්ධව පසුගියදා මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිවුණා නේද?

ජෝන් අමරතුංග මහත්තයා මහජන දේපොළ විනාශ කළා. පස්සෙ ආයේ ඒවා හැදුවා කියලා සමාව ලැබෙන්නෙ කො‍ෙහාමද? ඊළඟට මාධ්‍යවලට පරුෂ වචනයෙන් බැණවැදිලා මර්ණීය තර්ජන කළා.

යහපාලනය ගෙන එනවා කියලා බලයට ආපු මේ අය අද කරන්නෙ මොනවද කියලයි අපි අහන්නෙ. ඒ නිසා කණ්ඩායම් දෙකක් එකතු වෙලා රටට කරන මේ විනාශය ඉතාම  බරපතළයි. 

Q ආපදා ව්‍යවසනයක් රටේ තිබුණු වෙලාවක අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් පැවැත්වීම සම්බන්ධව විවිධ පාර්ශ්ව රජයට චෝදනා එල්ල කරනවා?

ඇත්තටම ඔව්. අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් වෙච්ච දෙයක් නැහැ. යහපතක් වෙනවානම් ඕන වෙලාවක කළාට කමක් නැහැ. නමුත් මේකෙන් යහපතක් නැහැ. අද ලෝකයේ හොඳම මුදල් ඇමති කිව්ව කෙනා පැත්තක දාලා ආර්ථිකය ගැන කිසිම දෙයක් දන්නෙ නැති ආගන්තුකයෙක් මුදල් ඇමති කරලා තියෙනවා.

අනිත් පැත්තෙන් මංගල සමරවීර වගේ කෙනෙක්  මාධ්‍ය ඇමති කරලා මහ බැංකු වංචාවෙන් හොරකම් කළ මුදලින් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් මිලදී ගනිමින් ඉන්නවා.

Q ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?

මේ ආර්ථික ව්‍යාකූල තත්ත්වයෙන් රට මුදවා ගැනීමට ඉහළ බුද්ධිමතුන්, දේශපාලඥයන් ලවා ප්‍රායෝගික වැඩසටහන් සංවිධානය කිරීමට සහ ආගමික ගැටලු යළි ඇතිනොවීමට යම් වැඩසටහනක් ඒකාබද්ධ විපක්ෂය හැටියට අප ඉදිරියේදී ඉදිරිපත් කරනවා.

මොකද මේ අයට මේක කරන්න බැරිනම් ජනතාව වෙනුවෙන් අප ඒදේ කළ යුතුයි. මේ රට ගොඩනැගීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒකාබද්ධ විපක්ෂය හැටියට එය අපට ලොකු අභියෝගයක්.

රුහුණු සරසවි සිසුවෙක් අත්අඩංගුවට

රුහුණු විශ්වවිද්‍යාලයේ පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරියෙකුට පහරදුන් බවට සැකකරන එම සරසවියේ සිසුවෙකු ඊයේ (03දා) අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය සඳහන් කරයි.

එම සරසවියේ කළමනාකරණ හා මූල්‍ය පිඨයේ සිසුවෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

ඡායාරූප ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියාට පහරදීමේ සිදුවීමට මෙම සිසුවා සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව අත්අඩංගුවට පත් සිසුවා අද (04දා) මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය පවසයි.

මාතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.