Author Archives: ලක්මාල් සූරියගොඩ

සජින් වාස් යළි රිමාන්ඩ්

ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා නැවතත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහසේත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (22දා) නියෝග කළේය. 

 

 

විල්පත්තු වන විනාශය ගැන රජයේ ස්ථාවරය අධිකරණය විමසයි

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිආරක්ෂිතයට අයත් ප්‍ර‘දේශයේ අක්කර දහස් ගණනක භූමි ප්‍ර‘දේශවල සිදු වී ඇතැයි කියන නීතිවිරෝධී හෙළි පෙහෙළිකිරීම් සහ සිදුකර ඇති නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දන්වන ලෙසට ඊයේ (16දා) අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත මලල්ගොඩ මහතා මෙම නියෝගය සිදු කළේ පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඉඩම් කොමසාරිස්වරයා ඇතුළු පාර්ශ්ව ගණනාවක් නම් කොට තිබුණි.
මෙම පෙත්සම යළි කැඳවීම ඔක්තෝම්බර් මස 07 දාට කල් තබන ලදී.

සක්විතිට අධිචෝදනා දෙයි

සක්විති හවුස් කන්ට්‍රක්සන් ආයතනයේ තැන්පත්කරුවන්ගේ මුදල් රුපියල් ලක්ෂ 1284කට අධික මුදල් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළැයි සක්විත් රණසිංහ ඇතුළු 11 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ අධි චෝදනා බාර දුන්නේය.

 

 

ඇමති චම්පිකට එරෙහිව පෙත්සමක්

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු සම්බන්ධයෙන් ඉතා ද්වේශසහගත සහ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර අධිකරණයට අපහාස කර ඇතැයි පවසමින් නීතීඥවරුන් තිදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇත. මෙම පෙත්සම ගොනුකර තිබුණේ නීතීඥ රොෂාන් දේවින්ද, රංජිත් රාජසිංහ සහ නිමල් වීරක්කොඩි යන නීතීඥවරුන් තිදෙනා විසිනි. ඒ මගින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. 

මෙම පෙත්සමට අනුව අමාත්‍යවරයා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පසුගිය මහ මැතිවරණයට සමගාමීව පැවැති උත්සවයකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කොට ඇති බවත්, එය පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් මගින් පසුගිය ජූලි මස 26 වැනිදා සවස 8.00 පුවත්වලින් විකාශනය කළ බවත් සඳහන් වෙයි.

මේ අනුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු සම්බන්ධයෙන් ද්වේශ සහගතව සහ අපහාසාත්මකව ප්‍රකාශයක් සිදුකොට ඇති බවටද පෙත්සම්කරුවෝ චෝදනා කර සිටිති. 

ඇවන්ගාඩ් නඩුව ඉවරයි

ගාලු වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් නඩුව  පවත්වාගෙන යා නොහැකි බව නීතිපතිවරයා පැවැසූ බව රහස් පොලීසිය අධිකරණය දැනම් දුන්නේය. ඒ අනුව එම නඩුව අවසන් කිරීමටත් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට මහතාට එරෙහිව පැවැති විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (7දා) නියෝග කළේය.

 

ටිරාන් අලස්ට රට යෑමට අවසර

රාඩා ආයතනයේ සිදු වූ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සැකකරුවෙක් බවට පත්ව තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට විදෙස් ගත වීම තහනම් කරමින් නිකුත් කළ නියෝගය මසක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (03දා) කටයුතු කළේය.

ප්‍රතිකාර සඳහා තමන්ට එංගලන්තයට යාමට අවශ්‍ය බව ටිරාන් අලස් මහතා අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම ඉහත නියෝගය නිකුත් කලේය. ඒ අනුව හිටපු මන්ත්‍රීවරයාට සැප්. 10 සිට ඔක්තෝබර් 10 දක්වා විදේශ ගත වීමට අවසර ලබාදුන්නේය.

අධිකරණ නියෝග කඩකළ නඩුව දෙස 14දා විභාගයට

අධිකරණය විසින් නිකුත් කර තිබූ නියෝගයක් නොතකමින් අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා පැවැත් වූ හිටපු හා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 දෙනෙකුට හා භික්ෂූන් වහන්සේලා 8කට එරෙහිව පවතින නඩුව නැවතත් දෙසැම්බර් මස 14දා තෙක් විභාගයට ගැනිම කල්දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටයි මහතා නියෝග කළේය. නඩුව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කිරීම සඳහා කාලය අවශ්‍ය බව කුරුඳුවත්ත  පොලීසිය අධිකරණයට දැන්වීය. 

ඩීව් මැකෝට එරෙහිව අධිකරණයට යයි

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍ය ඩීව් ගුණසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

මැතිවරණ කොමසාරිස්වරයා සන්ධානය, එජපා, ජවිපේ හා ටී.එන්.ඒ. මහ ලේකම්වරු ඇතුළු 15 දෙනෙක් එහි වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබීය.

සන්ධාන ජාතික ලැයිස්තුවේ තම නම 3 වැනි ස්ථානයට තිබුණත් තමන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයන් නොලැබුණ බව ඔහු පවසයි. 

ටිරාන් අත්අඩංගුවට ගැනීමට හේතුවක් නෑ – SC

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයිද එය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද දිනයේදී නැවතත් විභාගයට ගත්තේය.

ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිඳු තාර්කික හේතුවක් නැති නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පැවැසීය. නඩුව ඉදිරියටත් පවත්වාගෙන යාමට තීරණය කළේ.

රාඩා ආයතනයේ සිදු වූ මූල්‍ය වංචාවක් පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර ඒ හරහා තමාව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇතැයි අලස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැවැසීය.

ෆුල්ෆේස් තහනමට තහනම තවදුරටත්

ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම අද දිනයේදී නැවතත් විභාගයට ගත් අතර ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගය තව දුරටත් ඔක්තෝබර් මස 13දා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.