Author Archives: එස් කරුණාරත්න

පාලිත තෙවරප්පෙරුම ගලේවෙල පෙරපුහුණුවකට කඩාපනී

ගලේවෙල රෝහල , ආපදා කළමනාකරණ ඒකකය හා  පොලිසිය එක්ව අද (25දා) මාර්ගයේ හදිසි අනතුරක් සිදු වීමෙන් පසු රෝහල, ප්‍රදේශවාසීන් සහ පොලිසිය ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳ පෙරපුහුණු  වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර වෙනත් ගමනක් යම්න් සිටි  නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මෙය දැක පහුණු වීමක් බව නොදැන තමන්ගේ මාධ්‍ය කණ්ඩායම සමඟ එක්ව එම ස්ථානයට ගොස් රෝගීන් රෝහල්ගත කර තිබේ.

පසුව එය පෙර පුහුණුවීමක් බව පුද්ගලයෙකු විසින් පවසා ඇති අතර ඒ අවස්ථාවේ දී තෙවරප්පෙරුම මහතා සිය කණ්ඩායමත් සමග එම ස්ථානයෙන් ඉවත්ව ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ගොස්  වෛද්‍යවරුන්ට, සේවක සේවිකාවන්ටහා පොලීසියට බැණ තර්ජනය කරමින් වහාම මෙම පෙරහුණු ක්‍රියාවලිය නවතා දමන ලෙස  පවසා ඇති අතර අශෝභන ආකාරයට හැසිර තිබෙන බව එහි සිටි පිරිස පැවසීය.

මේ පිළිබඳව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම්, යූ . නිසාන්ත මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ අමාත්‍යවරයා ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම පෙරහුරු වැඩපිළිවෙළට ඇරැඹී අවසානයේදී කිසිදු සොයා බැලීමකින් තොරව එම වැඩපිළිවෙළ අසාර්ථක කිරීම සිදු කළ බවයි.

 

vlcsnap-2018-05-25-18h17m31s246

 

 

 

 

 

 

 

 

 

 

තැලසීමියා රෝගී දරු තිදෙනා හා බිරිඳ සමග අසරණ වූ පියාට පිහිටක් වෙමු

තැලසීමියා රෝගයෙන්, හදවත් රෝගයෙන් සහ තවත් රෝග කිහිපයකින් පීඩා විඳින අසරණ පවුලක් ගලේවෙල, ගලපාවුල ප්‍රදේශයේදී අපට මුණගැසිණි.

මෙම පවුලේ පාසල් යන දියණියන් දෙදෙනෙකු අධ්‍යාපනයට අවැසි උපකරණ, පාවහන්, ආහාර හා ඇඳුම්පැලඳුම් නොමැතිව අසරණව සිටින බව එහි ගිය අපට දැකගත හැකිවිය.ඔවුන් කුසගින්නේ පාසල් යන වාර අනන්තය. මෙම අහිංසක පවුල අනේක දුක්දොම්නස් විඳිනුයේ ආර්ථික දුෂ්කරතාවලට අමතරව වැලඳී තිබෙන රෝග පීඩාවන් හේතුවෙනි.

කේ.කේ.ඩී. නිමල් විජේසූරිය (අවු.37) හා ඒ.ඒ. ජීවනී අනුෂා කුමාරි (අවු.32) යුවළදරුවන් තිදෙනෙකුගේ දෙමවුපියෝ වෙති.

ජීවනී අනුෂා කුමාරි මහත්මිය, දියණියන් දෙදෙනා සහපුතණුවන් තැලසීමියා රෝගයෙන් පීඩා විඳිති. එමෙන්ම වයස අවුරුදු එකහමාරක් පමණ වන එම පුත්‍රයා බරපතළ වෘෂණ කෝෂ බද්ධ කිරීමේ සැත්කමකට මුහුණදීමටද සිටිනුයේ වෘෂණ කෝෂ රෝගයකට භාජනය වීම හේතුවෙනි.

එම පවුලේ වැඩිමහල් දියණිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සූදානම් වෙයි. මීට අමතරව ක්‍රීඩා ඉසව් රැසක් සඳහා දක්ෂකම් දක්වයි. ඒ සඳහා ඇයට ලැබුණු සහතික පදක්කම්ද රැසකි. මෙම සියලු ජයග්‍රහණ ඇය ලබා ඇත්තේ දෙපයට අඩුම තරමේ පාවහන් යුගලක් හෝ නොමැති පසුබිමකය.දින කිහිපයක සිට තමන් පාසල් ගමන නවතා ඇත්තේ කුසගින්නේ පාසල් යෑම සමග ඇතිවූ ක්ලාන්ත තත්ත්වයක් මත බව ඇය පැවසුවාය. දිනකට එක වේලක් සරිකරගන්නා තම පවුලේ පිරිස් දැඩි ආර්ථික දුෂ්කරතාවක පසුවන බව ඇය අප සමග පැවසීය.

එම පවුලේ 11 හැවිරිදි දෙවැනි දියණිය 06වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. ඉරීගිය පාවහන් යුගලය දමාගෙන ඇය පාසල් යනුයේ සිය පියාට පාසල් ගමනට සපත්තු යුගලයක් ලබාදීමට මුදල් නොමැති බැවිනි.

තැලසීමියා රෝගයෙන් පෙළෙන මෙම කුඩා දියණිය ඉගෙනීමට ඉතා දක්ෂකම් දක්වයි. පසුගියදා අවසන් වූ ශිෂ්‍යත්ව විභාගයෙන් කිසිදු උපකාරක පන්තියකට නොගොස් ලකුණු 137ක් ලබා ගැනීමට ඇයට හැකියාව ලැබිණි.

මෙම පවුලේ මව වන ජීවනී අනුෂා කුමාරි මහත්මිය තැලසීමියා රෝගයට අමතරව හදවත් රෝගයකට ගොදුරුව සිටින්නීය. පවුලේ  සියලු දෙනාටම ප්‍රතිකාර ගැනීම සඳහා ගලේවෙල සිට කිලෝමීටර් 85ක් පමණ දුරින් පිහිටි මහනුවර මහ රෝහලට යායුතුව තිබේ. මසකට අවස්ථා කිහිපයක් සියලුදෙනාම ප්‍රතිකාර සඳහා යායුතුව ඇත.

දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වන ඔවුන්ට එම ගමන සඳහා සහ පවුලේ නඩත්තුව සඳහා වියදම් කිරීමට හැකියාවක් නොමැත.එම පවුලේ පියා වන නිමල් විජේසූරිය මහතා විසින් සතියකට දින කිහිපයක් ගලේවෙල නගරයේ ඇති අයිස්ක්‍රීම් නිෂ්පාදන ආයතනයක අයිස් පලම් ඉල්ලාගෙන පාපැදියකින් ගලේවෙල නගරය පුරා ඇවිදිමින් අයිස් පලම් විකුණා ආර්ථිකය සරිකර ගැනීමේ දැඩි උත්සාහයක නිරතව සිටියි.

ඔහුගේ පාපැදියද කැඩීගොස් තිබේ.මිතුරෙකුගෙන් ඉල්ලා ගත් පාපැදියක ඔහු රැකියාව කරනුයේ කැඩීගිය පාපැදිය හදාගැනීමට වත්කමක් නොමැති බැවිනි.

දිනගණනාවක් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ගමන් කිරීම, තම කුඩා දරුවාගේ වෘෂණ කෝෂ බද්ධය සඳහා මුදල් සෙවීම,අනෙකුත් දරුවන්ගේ තැලසීමියා රෝගය සඳහා ප්‍රතිකාර කිරීම, දරුවන්ට ඉගැන්වීමට ප්‍රමාණවත් මුදලක් උපයා ගැනීම යන අවශ්‍යතා ‍හේතුවෙන් දිනකට එක් වේලකින් පමණක් යැපෙන බව නිමල් විජේසූරිය මහතා පැවසීය.

මෙම අසරණ පවුලට උපකාර කළ හැකි‍ ‍අයෙකු වෙතොත් ඒ.ඒ. ජීවනී අනුෂා කුමාරි නමින් මහජන බැංකුව, ගලේවෙල ශාඛාව පවතින 115-2-001-1 0008749දරන ගිණුමට ආධාර මුදල් බැරකළ හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර 076-8650093යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

DSC07964 DSC07985 DSC07997 DSC08004

 

යාල ඇතෙක් ඝාතනය කර ගජමුතු විකිණීමට තැත්කළ 3ක් අත්අඩංගුවට

යාල ජාතික වනෝද්‍යානයේ සිටි දැවැන්ත ඇතෙකු ඝාතනය කර එම ඇතාගේ ගජමුතු දෙකක් රුපියල් ලක්‍ෂ 70කට අලෙවි කිරීමට දඹුල්ලට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් ‍තිදෙනෙකි. ඔවුන්ගෙන් දෙදෙනෙකු දෙමස්සිනන් වන බවත්, අනෙක් පුද්ගලයා එක් සැකකරුවෙකුගේ මාමණ්ඩිය බවත් පොලීසිය පැවසීය.

පොලිස් විශේෂ කාර්යාංශයේ දඹුල්ල ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාළ ගජමුතු මිලදී ගැනීමේ මුවාවෙන් උපාය දූතයෙකු ‍ලවා සැකකරුවන් වන දෙමස්සිනාලා දෙදෙනා ඓතිහාසික රංගිරි දඹුල්ල රාජමහා විහාරයේ ආසන්නයට ගෙන්වා ගෙන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව මෙම ගජමුතු දෙකෙහි හිමිකරු බව පැවසෙන සැකකරුවන්ගේ ඥාති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

යාල ජාතික වනෝද්‍යානයේ සිටි දැවැන්ත ඇතෙකු ඝාතනය කර මෙම ඇත්දළ යුගල තුළ තිබූ ගජමුතු ලබාගත් බව ගනුදෙනුවට පෙර පොලිස් නිලධාරීන්‍ට මෙම සැකකරුවන් පවසා තිබිණි.

සැකකරුවන්ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු ඝාතනය කරන ලද බව පැවසෙන ඇතාගේ දළ යුගලය ‍සොයා ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

arres

ගලේවෙල රිය අනතුරකින් එකම පවුලේ හතරක් මරුට

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේදී අද (02දා) අලුයම 5.00ට පමණ  සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ සිවු දෙනෙකු මියගොස් ඇති බව ගලේවෙල පොලීසිය පවසයි.

මෙසේ අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා, දියණිය සහ පුත්‍රයෙකු බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලීසිය ප්‍රකාශ කරයි.

කන්තලේ ප්‍රදේශයේ සිට අත්තනගල්ල ප්‍රදේශය බලා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මුහුණටමුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙම අනතුරින් මියගිය සිවුදෙනා අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ත්‍රිරෝද රථයේ තිබූ ලියකියවිලි සහ හැඳුනුම්පත්වලින් හඳුනාගත් බව පොලීසිය ප්‍රකාශ කරයි. මියගිය අයගේ මෘත දේහයන් ගලේවෙල සහ දඹුල්ල රෝහල්වල තැන්පත් කොට තිබේ.

ලොරි රථයේ රියදුරු සැකපිට ගලේවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථය පදවා ඇත්තේ වයස අවුරුදු විස්සක් පමණ වූ පුත්‍රයා බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

 

??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????

දඹුල්ල කර්මාන්ත ශාලාවක විෂ වායුවකින් 2ක් මරුට

දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේ පිහිටි විදේශීය රටවලට කුළුබඩු අපනයනය කරන කර්මාන්ත ශාලාවක විෂ වායුවක්  ආග්‍රහණය වීමෙන් ඊයේ රාත්‍රියේදී එහි සේවය කරමින් සිටි සේවිකාවක හා සේවකයකු  මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේ පදිංචි මධුෂාන් ජයවර්ධන නමැති (19) තරුණයෙකු සහ දඹුල්ල ඇඹුල්අඹේ ප්‍රදේශයේ පදිංචි එච්. එම්. ජී. නිරෝෂා දිල්රුක්ෂි (30) නමැති එක්දරු මවකි.

මෙම කර්මාන්ත ශාලාවේ දේශීය කුළුබඩු ඇඹරුම් කොට විදේශීය රටවලට අපනයනය කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවත්, දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද යන්ත්‍රානුසාරයෙන් කුළුබඩු ඇඹරුම් කිරීම, පැකට් කිරීම ආදිය සිදුවෙන බවත් පොලීසිය කියයි.

ඊයේ රාත්‍රි 9.30 ට පමණ ආහාර රසකාරකයක් වන සේර නැමති අල වර්ගයක්  පිටි  කරමින් සිටියදී එකවරම මෙම සේවිකාව සහ සේවකයා   ක්ලාන්ත වී ඇද වැටී තිබේ. පසුව ඔවුන් රාත්‍රියේම දඹුල්ල රෝහලට රැගෙන එන විටත්  මියගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය .

ARFBYK_2942681b

 

අලුත උපන් දරුවා ඝාතනය කළ මවක් අත්අඩංගුවට

දරුවෙකු ප්‍රසූත කිරීමත් සමග එම දරුවා වළ දැමූ බවට සැක පිට ඊයේ (19දා) පස්වරුවේදී මවක දඹුල්ල පොලීසිය මගින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ තිදරු මවකි. දඹුල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇය විසින් පසුගිය (15දා) නිවසේදී ප්‍රසූත කළ දරුවෙකු වළ දැමූ බවට ලැබුණු තොරතුරක් මතය.

සැකකාර කාන්තාවට තවත් දරුවන් දෙදෙනකු සිටින බවත්, ඇයගේ සැමියා වසර 4ක කාලයක සිට විදේශගතව සිටින බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.

දරුවා නිවසේ ගෙවත්තේ වළ දැමූ ස්ථානයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන බවත්, අද (20දා) පස්වරුවේ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මළ සිරුර ගොඩ ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් දඹුල්ල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

Murder-1-Medium

විද්‍යානුකූල ලෙස ඇමති සංශෝධනයක් ඉදිරියේදී

ජනපතිගේ ඉන්දියානු හා ජපන් සංචාරය අවසන් වූවායින් පසු  විද්‍යානුකූල ලෙස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත්, ඉදිරියේදී සමාජ ජාලා වෙබ් අඩවි සඳහා බරපතළ තීන්දුවක් ගන්නා බවත් ධීවර අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සංවිධානය කොට තිබූ මොරගහකන්ද ජලාශයට අනුබද්ධ ඉහළ ඇළ හැර ඇළ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට අද (11දා) දහවලේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඔළු ගෙඩි පමණක් මාරු කිරීමෙන් අමාත්‍ය මණ්ඩල මාරුව සිදු නොකොට විද්‍යානුකූල පදනමක් මත ඇමති මාරුව සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇතැයිද හෙතෙම එහිදී සඳහන් කෙළේය.

රජය විසින්  ක්‍රියාත්මක කර ඇති  සමාජ  ජාලා වෙබ් අඩවි තාවකාලිකව අවහිර කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා කියා සිටියේ බොහෝ දුරට පාර්ශ්ව දෙකකින් ඉල්ලීම් පවතින බවත්, එක් පාර්ශ්වයක් සම්පූර්ණයෙන්ම මෙම සමාජ වෙබ් අඩවි තහනම් කරන ලෙසත් අනෙක් පාර්ශවය පාලනයක් කරන ලෙසත් ඉල්ලා ඇති බවත්ය.

සමාජ ජාලා වෙබ් අඩවි චීන රටේ තහනම් කොට ඇති බවද පෙන්වා දුන් ඒ මහතා, ලංකාව තුළ බොහෝ දුරට නීති පැනවීමට හැකිවන පරිදි සමාජ ජාලා වෙබ් අඩවි ඉදිරියට ක්‍රියාත්මක කිරීම සිදුවන බවද අවධාරණය කළේය.

fbb4fe6b294074cd06198d1f913b8bb1_XL copy copy

දඹුල්ල එළවළු අලින්ට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමග බොහෝ එළවළු තොග අලෙවි නොවීම නිසා ඉවත් කිරීමට සිදුව ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

මෙසේ ඉවත් කරන එළවළු තොග දිගම්පතහ රජයේ රක්ෂිත කැළෑවට ගෙන ගොස් දමන අතර, ඒවා මේ දිනවල වන අලින්ගේ ආහාර බවට පත්ව තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන පිපිඤ්ඤා, තක්කාලි, වම්බටු, නෝකෝල්, රාබු, නිවිති,  දඹල ආදී එළවළු වර්ග රැසක් දිනපතා ඉවත් කිරීමට සිදුව තිබෙන බවද ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කර සිටී.

මේ ආකාරයෙන් එළවළු තොග විශාල වශයෙන් අද 5දා අලුයම දඹුල්ල මහනගර සභාවේ ටිපර් රථ මගින් දඹුල්ල  රජයේ රක්ෂිතයට ගෙනැවිත් දැමීම සිදුවිය.

??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????

මේ ආණ්ඩුව ගොවියා හිඟමනට සුදුසු තත්ත්වයට පත් කළා

මඩසොදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියන කතාව වෙනුවට වත්මන් ආණ්ඩව මඩ සෝදාගත් කල ගොවියා හිඟමනට සුදුසු තත්ත්වයට පත්කර සිටින බව ගලේවෙල පල්ලම්යය ගොවි සංවිධානයේ ගොවියකු වන කේ.පී .මුණසිංහ මහතා අද ( 05දා) පැවසීය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය. පල්ලම්යය ප්‍රදේශයේ විනාශවෙමින් පවතින කුඹුරු යායකදී  මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

 මෙහිදී ගොවීන් පිරිසක් මාධ්‍ය වෙත අදහස් පළකරද්දී තවත් ගොවීහු පිරිසක් විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නියැළී සිටියහ.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මෙසේ පැවසීය.

පොහොර නැවක් එන බවට අමූලික බොරු කරමින් ආණ්ඩුව ගොවි ජනතාව රවටමින් සිටින‍වා.  ප්‍රමිතියෙන් බාල පොහොර වර්ග රජය විසින් අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ නිසා මේ වනවිට ගොවීන්ගේ වගා කළ  කුඹුරු ඉඩම් බොහොමයක් විනාශවෙමින් පවතිනවා.

??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????

 

 

ඔබේ පිහිට අවැසි මොහොතක්

වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් කුඩා දරුවන් දෙදෙනෙකු සමග අසරණ තත්ත්වයෙන් ජීවත් වන මවක පිළිබඳ පුවතක් ගලේවෙල, බඹරගස් වැව, ගොන්නගස් යාය ප්‍රදේශයෙන් වාර්තා වේ.

එච්.වයි. අසෝකා මාලනී (අවු.26) නමැති ඇය වසර දොළහක පමණ කාලයක සිට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන්නීය. ඇය වයස අවුරුදු දෙකහමාරක් සහ අවුරුද්දක් වන කුඩා දරුවන් දෙදෙනෙකු සමග කටුමැටි ගැසූ නිවසක අසරණව සිටිනු අයුරු එහි ගිය අපට දැකගත හැකි විය.

අසෝකා මාලනී මහත්මියගේ ස්වාමි පුරුෂයා කුලී වැඩ කරමින් සිය බිරිඳ හා කුඩා දරු දෙදෙනා පෝෂණය කිරීමට හා රැකබලා ගැනීමට දැඩි වෙහෙසක් දරයි. මේ දිනවල පවතින නියං තත්ත්වය නිසා ඔහුට කුලී වැඩක් හෝ නොමැති වීම බරපතළ ප්‍රශ්නයකි. මෙම කාන්තාවට රජයෙන් ලැබිය යුතු කිසිදු වරප්‍රසාදයක් නොලැබී ඇති අතර, අවම වශයෙන් සමෘද්ධි සහනාධාරය හෝ වකුගඩු ආධාර කිසිවක් ඇයට ලැබී නොමැත.
සිය සැමියා උපයා ගන්නා මුදලින් දරුවන් දෙදෙනාට ආහාර ලබාදීම සිදුකරන බවත්, වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මහනුවරට සහ කොළඹට ගමන් කිරීමට මුදල් නොමැති නිසා මාස 06ක පමණ කාලයක සිට ප්‍රතිකාර නොලබා සිටින බවත් ඇය හැඬූ කඳුළින් පවසා සිටියාය.

මෙම අසරණ පවුලට උපකාර කළ හැකි අයෙකු වෙතොත් එච්.වයි. අශෝකා මාලනී නමින් කොමර්ෂල් බැංකුව, ගලේවෙල ශා‍ඛාවේ පවතින 8090020656 දරන ගිණුමට ආධාර මුදල් බැරකළ හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර 072-6553713 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????