Author Archives: ජිනේෂ් නානායක්කාර

දකුණේ මහ ඇමති ෂාන් ආණ්ඩුකාර ධූරයට?

දකුණු පළාත් සභාවේ කටයුතු කරගෙන යෑමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් දිගින් දිගටම සභාවේ කටයුතු අඩාල කිරීමට කටයුතු කළහොත් පළාත් සභාව විසුරුවා හරින බවට තීන්දුවක් ගෙන ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේ වුවහොත් දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය ප්‍රධාන ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා වෙත ලබාදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීන්දු කර ඇතැයිද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා පැවසුවේ මෙවැන්නකි.

"එකාබද්ධ විපක්ෂයේ සුළුතරයක් වූ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පළාත් සභාව  කෝලන්මඩුවක් බවට පත්කර ගෙන තියෙනවා. එය දකුණේ ජනතාවට කරන අගෞරවයක්. මේ විදියට ගියහොත් පක්ෂ නායකත්වය සමග සාකච්ඡා කොට ඉදිරියේදී  දකුණු පළාත් සභාව සම්බන්දයෙන් දැඩි තීන්දුව ගැනීමට සිදුවනවා.

දකුණු පළාත් සභාවේ පාලන බලය එ.ජ.නි. සන්ධානයට ලබා දුන්නේ වසර පහක කාලයකට. නමුත් 2015 වර්ෂයේ ඇති වූ දේශපාලන පෙරළියත් සමග අපේ මන්ත්‍රී කණ්ඩායමක් මතවාදීව වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා. ඉතා සුළුතරයක් වූ  ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු මාධ්‍යවල අවධානය දිනා ගැනීම සඳහා පළාත් සභාවට ඇවිත් එක එක දේවල් කරනවා. එය දකුණේ ජනතාවට කරන අගෞරවයක්. පළාත් සභාව කෝලන් මඩුවක් බවට පත් කරන්න ඉඩ දෙන්න බැහැ.

දකුණු පළාත් සභාවේ වත්මන් තත්ත්වය ගැන ජනාධිපතිතුමා මගෙන් ඇසුවා. පළාත් සභාවේ දැනට ඇතිවී තිබෙන තත්ත්වය ගැන මම ජනාධිපතිතුමාව දැනුවත් කළා. පළාත් සභාවේ නිල කාලය අවසන් වෙන්න තව වසර දෙකක් තියෙනවා.  ඒ කාලය අවසන් වනතෙක් පළාත් සභාව පවත්වාගෙන යන්න මා උපරිම උත්සාහ කරනවා. එහෙම නැතිවුණොත් පක්ෂයේ නායකයා විසින් වෙනත් ක්‍රියාමාර්ගවලට යාවි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේ පක්ෂයේ නායකයා මෙන්ම විධායක ජනාධිපතිතුමා බව අමතක කරන්න එපා. ඒ නිසා පක්ෂයේ නායකයා ගනු ලබන ඕනෑම තීන්දුවකට මගේ සම්පුර්ණ සහයෝගය ලබා දෙනවා'' යනුවෙන් සඳහන් කර සිටියේය. 

Shan-Wijayalal-De-Silva

වගා නොකරන කුඹුරු සඳහා රු 5000ක දඩයක්

යම් කුඹුරු හිමියෙකු තම කුඹුරෙහි වගා නොකරන්නේ නම්, එම කුඹුරු හිමියාට ඉදිරියේදී අක්කරයකට රුපියල් 5,000ක දඩයක් ගෙවීමට සිදුවන බව දකුණු පළාත් කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය නීතිඥ යූ.ජී.ඩී. ආරියතිලක මහතා පැවසීය.

ලබුදූව ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් කපුහෙම්පල  ප්‍රදේශයේ පැවැති ගොවි හමුවකදීඅමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙවර මහ කන්නයේදී කපුහෙම්පල හා කැරැන්විල යායේ පුරන් කුඹුරු අක්කර  40ක් වගා කිරීමට සැලසුම් කර ඇති අතර, මද්දියන්විල ඇළ මාර්ගයේ අලුත්වැඩියා කිරීමේ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

එහිදීඅදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මේ කන්නයේදී රජය තීරණයක් අරගෙන තියෙනවා වගා කරන්න පුළුවන් හැම කුඹුරක්ම වගා කරන තත්ත්වයට පත්කරන්න. ඒ විතරක් නොවෙයි ඒ කුඹුරු හිමියාගේ කුඹුර වගා කරන්න පුළුවන් අයෙකුට කන්න පහක් වගා කරන්න බාරදෙනවා. ඉඩමේ අයිතිය නැතිවෙනවා කියලා බියක් ඇතිකරගන්න එපා.

ඉඩම් හිමියාගේ අයිතිය කෙහෙත්ම නැති වෙන්නේ නැහැ. ආධාර දෙන්නේ වගාකරන ගොවියාට. මේ  වගකීම අපට බාරගන්න වෙලා තියෙනවා. මේකට නිලධාරීන්ට බණින්න එපා. බණිනවානම්, අපට බණින්න. මේක රටේ අවශ්‍යතාවක්. කවුරු බැන්නත්, කවුරු විරුද්ධ වුණත්  මේ රටේ ආහාර සුලබ කිරීම රජයේ වගකීමක්."

1

බලය පිහිටුවන්නේ ඔළුගෙඩි මාරුවෙන් නොව ඡන්දයකින්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ රටේ බලය ලබා ගන්නේ ඔළුගෙඩි මාරුකර නොවන බවත්, එය සිදුකරනුයේ ජනතාවගේ ඡන්දයෙන් වන අතර, ඒ සඳහා තම කණ්ඩායම මැතිවරණයක් ලබාගන්නා බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූයේ ඊයේ(20දා) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බද්දේගම ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

“ශ්‍රි.ල.නි.පක්ෂය අද බෝඩ් ලෑල්ලක් බවට පත්වෙලා තිබෙනවා. එජාපයේ ප්‍රතිපත්තිවලට ගරු කරන පක්ෂයක් බවට පත්වෙලා තිබෙනවා. හිටපු පළාත් පාලන නියෝජිතයන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා මහජනාතවගේ ඉල්ලීම පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට අපි කටයුතු කළා.

වයසින් අඩුම දේශපාලන පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ශ්‍රී.ලංකා පොදු ජන පෙරමුණ තමයි දකුණු ආසියාවේ දැවැන්තම මැයි දිනය පැවැත්වූයේ. අද වනවිට ගම්මට්ටමට ගොස් සාමාජිකයන් බඳවා ගැනීමේ කටයුතු කරමින් යනවා.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ මේ රටේ බලය ලබාගන්නේ ඔළුගෙඩි මාරු කරලා නෙවෙයි. ජනතාවගේ ඡන්දයෙන් බව පැහැදිලිවම කියනවා.” යනුවෙන් පැවසීය.

මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්වන  දොස්තර රමේෂ් පතිරණ, මොහාන් පී ද සිල්වා. දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්වන ඉසුරු දොඩංගොඩ, පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරළ, සිසිර කුමාරත්න, චම්ලි විතානාච්චි, පත්මසිරි ද සිල්වා යන මහත්වරුද එක්වී සිටියහ.

1 4 5

මෙරට කැළි කසළ ගැටලුවට කදිම විසඳුමක්

අපේ රටේ කැළි කසළ ප්‍රශ්නය මේ වනවිට දැවැන්ත ගැටලුවක් බවට පත්ව තිබේ. කෙටියෙන්ම කිවහොත් කැළි කසළ ප්‍රශ්නයට තවමත් ස්ථිරසාර විසඳුමක් ලැබී නැත. අප රටේ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා කදිම විසඳුමක් ඉදිරිපත් කිරීමට ඇමරිකානු සමාගමක් වන ග්‍රීන් කී ආයතනය ඉදිරිපත්ව ඇත.

මෙකී ව්‍යාපෘතිය හරිතාකරණ සංකල්පය යටතේ ප්‍රථමයෙන්ම ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස දකුණු පළාත තුල ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් කොට තිබේ. දකුණ හරිතකරණයට හා කුණු කසල ප්‍රතිචක්‍රිකරණයට යන තෙමාව යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.

ඇමෙරිකානු ග්‍රීන් කී  ආයතනය, නගරසභා සඳහා නව්‍ය නිෂ්පාදන පහසුකම් සහ ව්‍යාපාරික හරිත තාක්ෂණ ක්‍රමවේදයන් සපයන රාජ්‍ය නියෝජිත ආයතන සහ අනෙකුත් ආයතන සමග එක්ව ව්‍යාපාරික කටයුතු වල නියැළෙන ආයතනයකි.

ග්‍රීන් කී ආයතනයේ නියෝජිතයන් පසුගියදා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හමුවී මෙකී ව්‍යාපෘතිය ගැන දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබීය.  එමෙන්ම දකුණු පළාතේ පවතින නගර සභා, පළාත් පාලන ආයතන සතු  අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන නිරීක්ෂණය කිරීමේ නිරීක්ෂණ චාරිකාවටද  මෙකී ආයතනයේ නියෝජිතයන් එක්වූහ.

ග්‍රීන් කී ආයතනය සහ ඊට අනුබද්ධිත වෘත්තිකයන් විසින් මෙකී ව්‍යාපෘතිය යටතේ ඉහළම තාක්ෂණ පහසුකම් භාවිත කරමින් පොදු ස්ථානයන්හී එක්රැස්වන කුණු කසළ වටිනා පාරිභෝගික භාණ්ඩ බවට පරිවර්තනය කිරීමට සැලසුම් කොට තිබේ. සංයුක්ත දැව,  ගොඩනැගිලි අමුද්‍රව්‍ය කෘත්‍රිම ඉන්ධන හා විද්‍යුත් ශක්තිය නිපදවීමට මෙම ව්‍යාපෘතිය යටතේ සැලසුම් කොට ඇත.

මෙම ක්‍රියාවලිය ආරම්භ වනුයේ නාගරික ප්‍රතිසාධන සහ ප්‍රතිචක්‍රීකරණ පහසුකම් යටතේ ඝන අපද්‍රව්‍ය ලැබීමත් සමගය. ප්‍රතිචක්‍රීයකරණයේදී පළමුව  ලෝහ වර්ග සහ වීදුරු ඉවත් කරනු ලබන අතර එය වෙනත් ආදායම් ප්‍රභවයක් ලෙස හඳුනා ගැනේ.

ඉන්පසු ප්ලාස්ටික්, කඩදාසි, කාඩ්බෝර්ඩ්, දැව සහ අනෙකුත් කාබනික අමුද්‍රව්‍ය සියල්ල වියළා ක්‍රියාවලිය සඳහා සූදානම් කරනු ලැබේ. ප්ලාස්ටික් කුඩා ගුලි ලෙස සකස් කරනු ලබන අතර, දැව, කඩදාසි සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය කුඩා තීරුවලට කැපීම හෝ සෙ.මී. 1 සිට සෙ.මී.2 දක්වා කුඩා කැබලි වලට කොටස් කිරීම සිදුකරනු ලබයි.

පසුව පද්ධතියට ඇතුළත් කිරීම සඳහා එම ප්ලාස්ටික් ගුලි සහ තන්තුමය කාබනික අමුද්‍රව්‍ය නිසි ලෙස මැනීමත් මිශ්‍ර කිරීමත් සිදුකරයි. ඉන්පසුව අදාළ මිශ්‍රණය නිවාස සහ ගොඩනැගිලි සැකිලි සකස් කිරීම, ආවරණ කණු, දුම්රිය මාර්ග බැමි, මගී පාලම් සහ නැව් තටාක සඳහා දැව හෝ බර ඉසිලීමේ ගුණයෙන් යුත් බාල්ක ආදී අවශ්‍ය විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් දැව බවට පරිවර්තනය කරනු ලැබේ.

පිටතට නෙරන ලද කෙලවර අනුව අවසාන නිමැවුම ඕනෑම ප්‍රමාණයකින්, දිග පළලින් හෝ හැඩයකින්  සමන්විත වනු ඇත. අවසන් නිෂ්පාදිතය ඝනත්වය සහ බර අතින් ඉතා ශක්තිමත් දැව වලට බොහෝසෙයින් සමාන අතර, ඒවා කැපීම, හැඩ කිරීම, විදීම සහ ඇණ සවි කිරීම ආදී කාර්යයන්ද දැව වලට සිදුකරන අයුරින්ම සිදුකළ හැකිය.

අමතර එකතුකිරීම් හෝ රසායනික ඇලවුම් ද්‍රව්‍ය හෝ යොදාගැනීම අවශ්‍ය නොවේ. සියලුම රසායනික අමුද්‍රව්‍ය ප්ලාස්ටික් මගින් සංක්ෂිප්ත කරන බැවින් අවසාන නිෂ්පාදිතය ආසන්න වශයෙන් වසර 150ක් දක්වා දිරාපත් නොවී, ජරාවට පත් නොවී සහ කෘමීන්ගෙන් හානි නොවී පවතිනු ඇත.

පරිගණක පුරෝකථනයන්ට අනුව සෑම ටොන් 1000ක දෛනික ක්‍රියාවලියකින්ම ආසන්න වශයෙන් ස්ථිර ‍රැකියා 796ක්  සහ වක්‍ර ‍රැකියා 500කට අධික ප්‍රමාණයක් නිර්මාණය වනු ඇත. යන්ත්‍රෝපකරණ සහ පද්ධතිය ස්ථාපනය කරනු ලබන පළමු මාස 12-18 තුළ ඍජු ‍රැකියා 287 ක් සහ වක්‍ර ‍රැකියා 214 ක් දේශීය වශයෙන් නිර්මාණය වනු ඇත.

මෙම ව්‍යාපෘතියෙන් දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 1000 ක් පරිභෝජනය කිරීමේ පහසුකම ඇත. එමෙන්ම වර්තමානයේ අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා මුදල් ගෙවිය යුතු වුවත්, ග්‍රීන් කී ආයතනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමග දකුණු පළාතේ ස්ථාපිත නගර සභා 04ට සහ ප්‍රාදේශීය සභා 47 ට අයත් සියලුම අපද්‍රව්‍ය එම ආයතන වලට මුදල් ගෙවා ලබාගැනීම සිදුකරන බැවින් එම ආයතන වලට අමතර ආදායමක්ද ඉපැයීමේ හැකියාවක් පවතී.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා  මහතාගේ  මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන මෙකී ව්‍යාපෘතිය සඳහා දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතාගේ ආශිර්වාදයද හිමිව තිබේ. දකුණු පළාතේ මෙකී අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක  අජිත් රාජපක්ෂ මහතා විසින්  සිදුකරේ.

ggg hhh IMG_8406 jjj kkk

රවීට එරෙහි විශ්වාස භංගයට හිටපු ජනපති ඡන්දය දෙයි

ඇමති රවි කරුණානායක මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාංශ භංග යෝජනාවේදී තමන්ද  ඡන්දය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (05දා) රාත්‍රියේ හික්කඩුව ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“වැරදි මතයක් ගිහින් තිබෙනවා. රවිට විතරක් නෙවෙයි මේ ආණ්ඩුවට විරුද්ධව කැමැත්තෙන් ගිහින් ඡන්දය ප්‍රකාශ කරනවා. මේ තුළින් කාටවත් මගහරින්න බැහැ. ඔහුව රකින්න හදපු  සියලුදෙනාත් මෙයට වගකියන්න ඕන. පළමු වතාවට මෙම විශ්වංශ භංග යෝජනාවේදී තමයි මම  ඡන්දය ලබා දෙන්නේ. හුඟක් අය ඡන්දය දේවි. මම හිතන්නේ එජාපයේ කොටසකුත් ඡන්දය ලබාදේවි.

පළාත් පාලන ඡන්දය එන්න ඕන. අපි දන්නේ නැහැ ඒවිද නැද්ද කියලා. මේ අය  ඡන්දයට බයයි. මේ ආණ්ඩුවට විරුද්ධව රටේ ජනතාවගේ විරෝධයක් තිබෙනවා. රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්න තියාගෙන මම සුදනා මම සුදනා කියලා. ඉස්සා වගේ හිසේ ජරාව තියාගෙන කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ” යනුවෙන් පැවසීය.

පෝෂණ අවදානමට ලක්වූ දරුවන් 3041ක් ගාල්ලේ

ගාල්ල දිස්ත්‍රික්කය තුළ පෝෂණ අවදානමට ලක්වු දරුවන් 3041 දෙනෙකු සිටින බව පෝෂණය සඳහා වන බහු ආංශික ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් වේ.

එම වාර්තාවට අනුව පෝෂණ අවදානමට ලක්වූ ගර්භිණී මවුවරුන් සංඛ්‍යාව  455 දෙනෙකු වන අතර  මෙම අවදානමට ලක්වූ  පූර්ව ගර්භිණී මවුවරුන් සංඛ්‍යාව  09 කි.

මේ වන විට මෙම අවදානමට ලක්ව ඇති බවට හඳුනාගෙන ඇති මුළු  අවදානම්  ගෘහ ඒකක සංඛ්‍යාව 11502කි. එමෙන්ම දත්ත පද්ධතියට   ඇතුලත් කොට ඇති ප්‍රශ්නාවලි සංඛ්‍යාව 3447ක් බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ගිං ගඟේ රුදුරු ජල පහර පාලනයට නව සැලැස්මක්

වසර දෙක තුනකට වරක් ගිං ගඟ දෙගොඩතලා යාමෙන් ඇතිවන ගංවතුර උවදුර පාලනය කිරීම සඳහා කලක සිට නොයෙකුත් ශක්‍යතා අධ්‍යයන සිදුකොට ව්‍යාපෘති වාර්තා සකස්කොට තිබේ. කොතෙකුත් ශක්‍යතා අධ්‍යයන සිදුකළද ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘතියක් මේ වන තෙක් ආරම්භකොට නැත.

සැබවින්ම ගිං ගඟ රුදුරු වීම නිසා ඒ ආශ්‍රිත පදිංචිකරුවන්ට වූ විපත සුළුපටු නොවේ. හානි වූ නිවාස හා දේපළ සංඛ්‍යාවද අති විශාලය. ගිං ගඟ කොමලිය කුරිරු වී ඇතිවන විපතෙන් ජනතාව මුදවා ගැනීම සඳහා ස්ථිරසාර විසඳුමක් අත්‍යවශ්‍ය වේ. ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට වහා වහා කටයුතු කළයුතුය. හැමදාමත් බත් පාර්සල්, වතුර බෝතල් බෙදා දීමෙන් විපතට පත්වන ජනතාවට ඇතිවන සෙතක් නැත. 

සැබවින්ම ගංවතුර පාලනය කිරීම සඳහා ගිං, නිල්වලා හා කළු යන ගංගා ද්‍රෝණි සම්බන්ධ කරගෙන අධ්‍යයනයක් කරනු ලබන්නේ 60 දශකයේ මුල් භාගයේ පමණය. ඇමරිකානු සමාගමක්  විසින් 1967 වර්ෂයේ මෙම වාර්තාව එළිදක්වනු ලැබිය.

ගිං ගඟේ තවලම ප්‍රදේශයේ හා කළු, නිල්වලා යන ගංගාවල ඉහත්තාවේ මහා පරිමාණ ජලාශ ඉදිකිරීම ගංවතුර පාලනයට විසඳුමක් ලෙස මෙකී අධ්‍යයනයෙන් යෝජනා කොට තිබුණි. මීට අමතරව ජල විදුලිය නිෂ්පාදනය, වාරිමාර්ග කටයුතු සඳහා ජලය ලබාදීමටද මෙම ව්‍යාපෘතිය මගින් යෝජනා කොට තිබුණි.

මේ මහා ගංවතුර අපිට නවත්වන්න පුළුවන්

මේ අතර ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට සූදානමින් සිටියි. ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර වැළැක්වීම සඳහා මහා ජලාශයක් ඉදිකිරීමට ලබන වසරේ ජනවාරි 08 වැනිදා වැඩ ආරම්භ කිරීමට තමන් සූදානම් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේය. 

''මං පැහැදිලිව කියනවා ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතිවුණු මේ මහා ගංවතුර අපිට නවත්වන්න පුළුවන් බව. ගිං ගඟ හරහා රන්දෙණිගල වගේ පටු, උසින් වැඩි මහා වැව් බැම්මක් ඉදිකළ යුතුව තිබෙනවා. එතකොට මහා ජලාශයක් ඉදිවෙයි. ඒ ජලාශයෙන් විදුලිය මෙගා වොට්  50- 60ක් නිපදවන්න පුළුවන් වෙයි. කුඹුරු අස්වද්දගන්න පුළුවන් වෙයි.

දැන් අපි මෙවැනි ඛේදවාචකයක් සිදුවන වෙලාවේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී මේ වගේ ඛේදවාචකයන්ගෙන් මිදෙන්න අපට මේ වැඩේට උදවු කරන්න කියලා. හැබැයි ජාතියක් හැටියට අවාසනාවට අපි සියලුදෙනාම කෑකෝ ගහගත්තා මිසක්, වැඩේ පටන්ගන්න යනකොට කවුරු හරි ඇවිල්ලා බෝඩ් ලෑල්ලක් අල්ලලා විරෝධය පානවා මිසක් වැඩේ කරන්න කවුරුවත් සහයෝගය දුන්නේ නැහැ.'' යනුවෙන් වජිර අබේවර්ධන මහතා පැවසීය.

ගංවතුර පාලනය කිරීම සඳහා ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය නමින් ව්‍යාපෘතියක්ද සැලසුම් කොට තිබේ. මෙය එක දිස්ත්‍රික්කයක් මූලික කරගත් ව්‍යාපෘතියක් නොවේ.

ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, මොනරාගල යන දිස්ත්‍රික්ක පහක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තිබේ. ගිං නිල්වලා, වළවේ, කිරම, ඌරුබොක්ක, මලලාර යන  ගංගා ‍ද්‍රෝණි 06ක් සම්බන්ධ කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ.

වසරකට ගිං ගඟේ ජලය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඝන මීටර් මිලියන 2000ක් පමණ මුහුදට ගලා යයි. ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය පිළිබඳ  අධ්‍යයන සිදුකරනු ලබන්නේ 2011 වර්ෂයේ සිටය. චීන සමාගමක් වාරිමාර්ග ජල කළමනාකරණ ආයතනයත් සමග එක්ව ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදුකරනු ලැබීය.

කෙසේවුවද මෙකී ව්‍යාපෘතිය ගැන මේ වනවිට විවිධ මතගැටුම් ඇති වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලඥයන්ට අවශ්‍ය වන්නේ  මෙකි ව්‍යාපෘතිය තුළින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ගැනය. ගිං ගඟෙන් ජලය රැගෙන යාමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවක් ඇතිවේද?  

''ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට පොඩි සැකයක් තියෙනවා. ගාල්ලේ ගංවතුර වළක්වන්න මේක වැදගත් වෙනවාද කියලා. ගාල්ලේ වතුර ටික මාතරට, හම්බන්තොටට, රත්නපුරයට අරන් යනවා කියලා ඒ අය තුළ මතයක් තියෙනවා මෙකී ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ හම්බන්තොට දිස්ත්‍රික්කයට ජලය ගෙන යාම බවය. මේ ව්‍යාපෘතිය තුළින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ.'' ඇමති චන්දිම වීරක්කොඩි මහතා කියන්නේ එවැනි කතාවකි.

අපේ දිස්ත්‍රික්කයේ ජල සම්පත සුරක්ෂිත වන බවට අපට සහතිකයක් අවශ්‍යයි

ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙකී ව්‍යාපෘතිය ගැන කියන්නේ මෙවැනි කතාවකි.

''ඇත්තටම දැනට ඉදිරිපත්වෙලා තියෙන ව්‍යාපෘතිය ගැන අපට සෑහීමකට පත්වෙන්න බැහැ. නිල්වලා ව්‍යාපෘතිය අසාර්ථක වුණා. ගිං ගඟ ව්‍යාපෘතියත් සාර්ථක නැහැ. ගිං ගඟේ වතුර හම්බන්තොට, මොනරාගල වැනි දිස්ත්‍රික්කවලට රැගෙන ගියවිට අපේ දිස්ත්‍රික්කයේ ජල සම්පත සුරක්ෂිත වන බවට අපට සහතිකයක් අවශ්‍යයි.'' මේ කතා සත්‍යයක්ද?

වසරකට අක්කර අඩි ලක්ෂ තුනහමාරක පමණ ජල ධාරිතාවක්  ගෙනියන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ

මේ ගැන අපි මාතර හා ගාල්ල ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු එල්.එස් සූරිය බණ්ඩාර මහතා සමග කතාබහ කළෙමු.

''ගාල්ල මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පානීය ජල පහසුකම්  සඳහා දැනට තියෙනවාට වඩා  අවශ්‍ය සුරක්ෂිතභාවය  ලබාදීම, යල මහ දෙකන්නයට වගා කිරීමට හා වාණිජ කෘෂි වගාව සඳහා ජලය ලබාදීම, හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ සඳහා අවශ්‍ය ජල පහසුකම් ලබාදීම, ජල විදුලිය නිෂ්පාදනය කිරීම තමයි ව්‍යාපෘතියේ අරමුණ. ගිං ගඟේ දැවැන්ත අතිරික්ත ජල ප්‍රමාණයක් තියෙනවා. එය විධිමත් අයුරින් ප්‍රයෝජනයට ගැනීමත් එක් අරමුණක්.''

ඔහු මෙකී ව්‍යාපෘතියේ දැනට සිදුකොට ඇති ශක්‍යතා අධ්‍යයනය ගැන  විස්තර කළේ මේ අයුරිනි.

''පිටදෙණිය ප්‍රදේශයෙත් අමුණක් ඉදිකරනවා. එහි සිට ජලය කොටපොල දක්වා අරගෙන යනවා. කොටපොල ප්‍රදේශයෙත් අමුණක් ඉදිවෙනවා. අම්පනාගලට ජලය ගෙන ඒමෙන් පසු එහි සිට උමං මාර්ගයක් හරහා මුරුතවෙල ජලාශය දක්වා අරගෙන යනවා. මුරුතුවෙල ජලාශයේ  අක්කර අඩි 40,000ක විතර ධාරිතාවයක් තියෙනවා.

ඒ ලබාගන්නා ජලය  චන්ද්‍රිකා වැව දක්වා නැවත අරගෙන යනවා. ඒ නිසා උඩවලව ජලාශයෙන් චන්ද්‍රිකා වැවට ජලය ලබාදෙන්න අවශ්‍ය වන්නේ නැහැ. උඩවලව ජලාශයේ ජලය  මව්ආර ජලාශයට දීමට යෝජනා වෙලා තියෙනවා. මව්ආරට ඉහළින් ජල හැරවුමට තිබෙන යෝජනාව වෙනසකට ලක්වී තියෙනවා. 

වනජීවී දෙපාර්තමේන්තුවට අයත් භූමියක තමයි ඉදිකිරීම් කරන්න වෙලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ගන්න බැහැ. සැලසුම වෙනස් වෙලා තියෙනවා. කිරිඉඹ්බන්ආර වැව හරහා මව්ආර දක්වා ජලය පොම්ප කිරීමටත්, අම්පනාගල ජලාශයක් ඉදිකිරීමටත් යෝජනා වී තියෙනවා. 

පිටදෙණියේ අක්කර අඩි 250ක ධාරිතාවක අමුණක් තමයි ඉදිවන්නේ. අවම හානියක් වන අයුරින් තමයි සැලසුම් කරලා තියෙන්නේ. 1968 කරපු අධ්‍යයනයක් එක්ක තමයි පවුල් 800ක් යට වෙන බව කියන්නේ. මේ ව්‍යාපෘතියෙන් එවැනි දෙයක් නැහැ 

නියඟය කාලයේදී වතුර ගෙනියන්න බැහැ. අවුරුද්දෙන් මාස 04ක් විතර ජලය ගෙනියන්න බැහැ. පිටදෙණියේ එක්රැස් වන්නේ අක්කර අඩි 200ක් 250ක විතර ජල ධාරිතාවක්. පෝෂක ප්‍රදේශයෙන් සියයට 10ක් විතර ගන්නවා. වසරකට අක්කර අඩි ලක්ෂ තුනහමාරක පමණ ජල ධාරිතාවක් ගෙනියන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.

මෙම ව්‍යාපෘතියට මිලියන 80,000ක් විතර වැයවෙන බවට ගණන් බලා තියෙනවා. මෙම ව්‍යාපෘතිය තුළින් ගාල්ල දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවක් ඇතිවන්නේ නැහැ. ජල සම්පාදන මණ්ඩලය සමගත් අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා. අනික් කාරණය තමයි ගාල්ල දිස්ත්‍රික්කයේ වැසි ජලයෙන් තමයි කුඹුරු වගා කරන්නේ.''  යැයි සූරියබණ්ඩාර මහතා පැවසීය.

මෛත්‍රී පාර්ශ්වයට එක්වෙන්නේ නෑ- දකුණු පළාත් මන්ත්‍රී අජිත්

ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වී මෛත්‍රී පාර්ශ්වයට එක් වූ බවට තමන් සම්බන්ධයෙන් පැතිරී යන කතාවල කිසිදු සත්‍යතාවයක් නොමැති  බව දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා සන්ධානයේ  දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා අද (18දා)  පස්වරුවේ සඳහන් කළේය.

තමන් අද (18දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී.ල.නි.ප පක්ෂයේ මහ ලේකම්වරයා හමුවී ජනාධිපතිවරයාට හා ශ්‍රී.ල.නි.ප පක්ෂයට පූර්ණ සහයෝගය ලබාදෙන බවට පළවී ඇති වාර්තා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේසේ පැවසීය.

 “මා ශ්‍රී.ල.නි.ප පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා හමු වූ බව ඇත්ත. නමුත් මහ ලේකම්වරයා හමු වුණේ මගේ සහෝදරයෙකුගේ ව්‍යාපාරික  ගැටලුවක් ගැන කියන්න. නැතිව  ජනාධිපතිතුමාට සහයෝගය දක්වන්න නෙවෙයි. මහ ලේකම්වරයාට ඒ ගැටලුව ගැන කිවුවා. ජනාධිපතිතුමා හමු වුණේ නැහැ. පුද්ගලික ප්‍රශ්නයක් ගැන කතා කරන්න තමයි මහ ලේකම්තුමා හමු වුණේ. ඒකාබද්ධ විපක්ෂය හැරයාමේ මගේ බලාපොරොත්තුවක් නෑ”

 

 

දුම්රිය පාපුවරුවේ ගියාට රු 2520ක දඩයක්

අනතුරුදායක ලෙස අන්දමින් හා මගීන්ට හිරිහැර වන ආකාරයට දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමේ චෝදනාවට වරද පිළිගත් දුම්රිය මගියෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනෙවිය රුපියල් දෙදහස් පන්සිය විස්සක දඩයක් නියම කළාය.

රාජිත එරංග නැමැත්තෙකුට මෙසේ දඩ නියම කෙරුණි.

සැකකරු මරදාන සිට මාතර බලා ධාවනයවු ගාලු කුමාරි දුම්රියේ මගීන්ට හිරිහැර වන ආකාරයට අනතුරුදායක ලෙස පාපුවරුවේ ගමන් කිරීමේ චෝදනාව යටතේ දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

දුම්රිය ආරක්ෂක හමුදාවේ ගාල්ල ස්ථානභාර නිලධාරී ලෙස්ලි ආනන්ද මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. 

උපාධිය පසෙකලා යෙහෙළියන් පැවිදි බිමට

මොරටුව විශ්වවිද්‍යාලයෙන් විලාසිතා නිර්මාණකරණය හා නිපැයුම් ප්‍රවර්ධනය උපාධිය හැදෑරූ තරුණියෝ දෙදෙනෙක් පැවිදි බිමට පිවිස සිටිති. මහරගම ධම්මතුසිතා මෙහෙණින් වහන්සේ නමින් හා අතුරිගිරියේ ධම්ම සුඛිතා මෙහෙණින් වහන්සේ නමින් ඔවුහු පැවිදි බිමට ඇතුළත්ව සිටිති.

බද්දේගම ගිණිමැල්ලගහ  ආලෝකෝ උදපාදි සිල්මාතා භාවනා ආරාමයේදී මෙම මෙහෙණින් වහන්සේලා දෙනම පසුගියදා  අපට මුණගැසුණි.

මෙම මෙහෙණින් වහන්සේලා දෙනම සමග මෙහෙණින් වහන්සේලා හයනමක් භාවනානුයෝගීව ආලෝකෝ උදපාදි ආරාමයේ වැඩ වසති. මහරගම ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ ගිහි කල  ස්වාමිපුරුෂයාද  පැවිදි දිවියට පත්ව සිටියි. උන්වහන්සේද ගිහි කල මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණකරණය හා නිපැයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධිධාරියෙකි.

මේ තිදෙනාම ගිහි කල මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හලක සේවයේ  නිරතව සිට තිබේ. රැකියාවේ නියුතු අවධියේදී බණ ඇසිමට යොමු වී ධර්ම මාර්ගය ගැන පැහැදීමෙන් පසුව පැවිදි දිවියට ඇතුළත්ව සිටිති. 

''අපි දෙන්න කතා කරගෙන තමයි මහණ වෙන්න තීන්දු කළේ. ගිහි කාලයේ මගේ සැමියා මට කලින් මහණ වුණා. ඔහු මහණ වුණේ මගේ මහණ පිංකමට අවශ්‍ය සියලුදේවල්  සකස් කරලයි.  උන්වහන්සේගේ මහණ පිංකමට මමත් සහභාගි වුණා. ඒ වේලාවේ මට හිතුණේ අනේ සාදු කියලා. අපි කොහෙද මේ ඉන්නේ අපිට මොනවා දාලා යන්න බැරිවද ඉන්නේ කියලා හිතුණා. ඇත්තටම අත්හරින්න බැරි දෙයක් නැහැ. මගේ මහණ පිංකමට උන්වහන්සේත් සහභාගි වුණා. තලගුනේ මෙත්තා ධම්මශීලි මෙහෙණින් වහන්සේ තමයි මාව මහණ කළේ.  

මේ වනවිට මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබු  හයදෙනෙක් පැවිදි වෙලා ඉන්නවා. ඒ අය  අතර වෛද්‍යවරු, ඉංජිනේරුවන්ද ඉන්නවා.''  යැයි  මහරගම  ධම්මතුසිතා මෙහෙණින් වහන්සේ පවසා සිටියහ. ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ තිස් එක් හැවිරිදි වියේ පසුවෙයි.

අතුරිගිරියේ ධම්ම සුඛිතා මෙහෙණින් වහන්සේ  ගිහි කල සිප් සතර හදාරා ඇත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයෙනි. උසස් පෙළ සමත්වීමෙන් පසු මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වී උපාධිය ලබාගෙන ඇත.  

''මගේ තාත්තා ඉංජිනේරුවරයෙක්.  අම්මා විධායක නිලධාරිනියක්. බුදුපියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තු විට ඕනෑම දෙයක් අත්හරින්න පුළුවන්. ඉන්පසු මහණ වෙන්න තීන්දු කළා. මෙහෙණින් වහන්සේලාට වනගතව ආරණ්‍යගතව භාවනා කටයුතු කරන්න බැහැ. ආරක්ෂක තැනක ඉන්න ඕන කර්කෂක නාගරික පරිසරයෙන් මිදී  භාවනා කරන්න පුළුවන් ස්ථානයක් තනා දෙන්න මාලනි දොඩංගොඩ යුවළගේ අරමුණක් තිබුණා.

එය අපගේත් අවශ්‍යතාවක්. ත්‍රිපිටකට හදාරමින් භාවනා කටයුතු කරන්න ගිහි පිරිසට අප හදාරන දේවල්වලින් මගපෙන්වීමක් කරන්න කොහොමද ධර්ම මාර්ගයේ යන්නේ ජීවිතය කොහොමද ධර්ම මාර්ගය අනුව හැඩ ගස්වා ගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපට තියෙන්නේ පොත්වල තබාගන්න නෙවෙයි  ඒවා කියලා දෙන්නයි.

මේ සඳහා මෙම ආරාමයේ වැඩසටහන් කිහිපයක් පවත්වනවා. සතියේ දිනවල අපි භාවනානුයෝගීව මෙම ස්ථානයේ වැඩ ඉන්නවා. ධර්ම දේශනා හා කර්මස්ථාන භාවනා සිදුකරනවා'' යැයි අතුරිගිරියේ ධම්ම සුඛිතා මෙහෙණින් වහන්සේ පැවසූහ. 

හිටපු අමාත්‍යවරයකු වූ අමරසිරි දොඩංගොඩ මහතාගේ නැගණියක වන මාලනි දොඩංගොඩ  මහත්මිය විසින් තමන් සතු නිවස මෙම ආරාමයට පරිත්‍යාග කර ඇත.

62 41 5