Author Archives: හෙරල් සේනාධිර

දින 263ට ළමා හිංසන හා අපයෝජන පැමිණිලි 6500ක්

2015 වසරේ ගත වූ දින දෙසිය හැට තුන තුළ මෙරට දරුවන්ට සිදු වූ ළමා හිංසන සහ අපයෝජන සම්බන්ධ පැමිණිලි හයදහස් පන්සීයක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එම අධිකාරියේ සභාපතිනි නටාශා බාලේන්ද්‍රන් මහත්මිය 'අද' ට සඳහන් කළේ එම පැමිණිලි අතර ලිංගික හිංසන, ශාරීරික හා මානසික හිංසන මෙන්ම පාසල් නොයැවීම හා ළමා මෙහෙකාර සේවය පිළිබඳ පැමිණිලි අන්තර්ගතව ඇති බවයි.

එම පැමිණිලි පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම් සහ අධිකරණ ක්‍රියාවලින් මගින් දඬුවම් පැමිණවීම් පිළිබඳව දත්ත නොමැති බව සභාපතිනිය පැවසුවාය.

දරුවන් සම්බන්ධ හිංසනයන් පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් මෙන්ම අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථානවලින්ද අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බව නටාශා බාලේන්ද්‍ර මහත්මිය සඳහන් කළාය. 

චොකලට් අස්සේ කුඩු ගෙනත් අත්අඩංගුවට

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට චොකලට් තුළ සගවා රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා හෙරෙයින් ග්‍රෑම් 200ක් ශ්‍රී ලංකාවට ගෙන ආ ශ්‍රී ලංකා ජාතික කාන්තාවක් අද පෙරවරුවේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට පත්ව තිබේ. අත්අඩංගුවට පත් සැකකාරිය අවුරුදු 58ක් වයසැති මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියක. 

නව සභාපතිවරු දෙදෙනෙක්

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති ලෙස නිතිඥ නන්ද මුරුත්තෙටුවේගම මහතාත්, ශ්‍රී ලංකා ටෙලිකෝම්හි නව සභාපති ලෙස පී.ජී. කුමාරසිංහ මහතාත් පත්කර තිබේ.

නායකත්ව පුහුණුව අහෝසියි

සරසවි ප්‍රවේශය ලබන සිසුන්ට ලබාදුන් නායකත්ව පුහුණුව මෙම වසරේ සිට නතර කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජිව් විජේසිංහ මහතා පැවසීය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අද (21දා) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ පැවති නායකත්ව පුහුණු වැඩසටහන විධිමත් එකක් නොවන බවයි. විශ්වවිද්‍යාල දරුවන්ගේ කුසලතා සහ නායකත්වය ගැන වැඩි අවධානයක් යොමු කළ හැකි විධිමත් නායකත්ව පුහුණු වැඩසටහනක් ඉදිරියේදී ආරම්භ කිරීමේ හැකියාව සොයා බලන බව ඒ මහතා එහිදී සඳහන් කළේය.

තෙවරප්පෙරුම සිදුකළේ ශීලාචාර සමාජයකට නුසුදුසු ක්‍රියාවක්


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පාලින්දනුවර ප්‍රා‘දේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට සිදුකළ අමානුෂික පහරදීම තරයේ හෙළාදකින බවත්, එය ශීලාචාර සමාජයකට  නොගැළපෙන ඉතා පහත් ක්‍රියාවක් බවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජයග්‍රහණය සාමකාමීව භුක්තිවිඳින ලෙස කළ ඉල්ලීම පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් නොසලකා හැරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කිසිසේත් නොගැළපෙන ක්‍රියාවක් බව එම සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වාදෙයි.
පැෆරල් සංවිධානය මෙවැනි නීතිවිරෝධී සහ වීනය විරෝධී ක්‍රියාවන්හි නිතරවන මහජන නියෝජිතයන්ට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියාකරන ලෙස ආණ්ඩුවෙන් සහ පොලිස්පතිවරයාගෙන් එම සංවිධානය ඉල්ලා සිටියි.

කොළඹ මහ නගර සභාව නොසන්සුන්

අද (20දා) පැවැත්වෙන කොළඹ මහ නගර සභා සැසිවාරය උණුසුම් වී තිබෙන අතර විපක්ෂය එය වර්ජනය කරමින් සිටියි.

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස් බද්‍රාණි ජයවර්ධන මහත්මිය මාරු කිරීම පිළිබඳ වූ ගැටලුවක් දුරදිග යාමෙන් නොසන්සුන්තාව ඇතිවිය.

දූෂිත දේශපාලනඥයන් මෛත්‍රීට එක්වුණත් පැමිණිලි විමර්ශනය කරනවා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිට විවිධ දූෂණ චෝදනා එල්ලව තිබෙන දේශපාලනඥයන් වත්මන් මෛත්‍රීපාල පාලනයට සහය දීමට එක්වුවද ඔවුන්ට එරෙහිව ඇති පැමිණිලි විමර්ශනය කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ‍'අද'ට පැවසීය.

පසුගිය රජයේ දූෂිත දේශපාලඥයන් එක්කර නොගන්නා ලෙස රටපුරා විවිධ ප්‍රදේශවල මහජනතාව සිදුකරන උද්ඝෝෂණ පිළිබඳව රජය දැනුවත් බව ‍සඳහන් කළ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා, මේ වනවිට ඔවුන්ට විරුද්ධව පැමිණිලි දහස් ගණනක් ලැබී ඇති බව සඳහන් කළේය.

යහපාලනයක් වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය ලබාදුන් ජනතාව තුළ බියක් හා සැකයක් ඇතිවී තිබුණද යෝජිත ජාතික විධායක සභාව මගින්ද දූෂණ හා වංචා පිළිබඳ සොයා බලන බව ඒ මහතා අවධාරණය කළේය.

KP ට එරෙහිව JVP ශ්‍රේෂ්ඨාධිකරණයට

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර නායකයාව සිටි කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ට එරෙහිව හෙට (19දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තම පක්ෂය නඩුවක් ගොනු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා 'අද' ට සඳහන් කළේ, කේ.පී සතුව තිබූ වත්කම් පිළිබඳව මෙන්ම ඔහු සිදුකළ අපරාධ පිළිබඳව නීත්‍යනුකූලව පියවර ගැනීම මෙම පැමිණිල්ල ගොනු කිරීමේ අරමුණ බවයි. 

දූෂිත පොලිස් නිලධාරීන්ට නීති දැඩිවෙයි

 

දූෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව නීති දැඩිව ක්‍රියාත්මක කර පොලිස් සේවාවේ කීර්තිය වැඩිදියුණු කිරීම තම අපේක්ෂාව බව මහජන සාමය හා ආපදා කළමාකරණය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි.

ඒ මහතා ‘අද’ ට සඳහන් කළේ පසුගිය ආණ්ඩු සමය තුළ දේශපාලන උවමනාවන් මත දූෂිත අන්දමින් ක්‍රියා කළ සියලුම පොලිස් නිලධාරීන්ගේ සේවය පරීක්ෂණයකින් අනතුරුව අත්හිටුවන බවය.

යුක්ති ගරුක සහ නීති ගරුක අන්දමින් රාජකාරි කළ සියලු නිලධාරීන්ට හිමිවිය යුතු උසස්වීම් ලබාදීම තම අරමුණ බවත්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් තනතුර දරන හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාටද එරෙහිව පියවරක් ගන්නා බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයටතට පොලීසිය මෙන්ම ආපදා යන විෂයන් හිමිව ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා මේ දක්වා වගකීම් පිළිබඳව දැක්වෙන ගැසට් නිවේදනය ලැබී නැතැයිද සඳහන් කළේය. 

ආරක්ෂක රාජ්‍ය ඇමති අද වැඩ භාරගනියි

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජේවර්ධන මහතා අද (16දා) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් සිය අමාත්‍යාංශයේ රාජකාරි ඇරඹීමට නියමිතය.