Author Archives: එච්.අයි.තුෂාර

මුතුරාජවෙලට හමුදාව ගියත් තෙල් දෙන්න බෑ

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට යුද හමුදාව ඇතුළත් වුවද තෙල් බෙදා හරින ස්වයංක්‍රීය පරිගණක පද්ධතිය අක්‍රීය වී තිබෙන බැවින් එම ස්ථානයෙන් තෙල් බෙදා හැරීමට නොහැකි වී තිබේ.

අදාළ පරිගණක පද්ධතියේ ක්‍රියාකාරීත්වය වර්ජනයේ නිරත පිරිස විසින් අක්‍රිය කරන්නට ඇතැයි සංස්ථා නිලධාරියෙක් සඳහන් කළේය.

අදාළ ස්වයංක්‍රීය පරිගණක පද්ධතිය යථාතත්ත්වයට පත්කර ගැනීමට ආයතනික වශයෙන් දිනක කාලයක් ගත වන බවද සංස්ථා සේවකයෝ සඳහන් කරති.

ප්‍රධාන ආණ්ඩුවේ ආදර්ශය උතුරු මැදටත්

ප්‍රධාන පක්ෂ දෙක ආණ්ඩු කරන ආකාරයේ අවබෝධයකින් උතුරු මැද පළාත් සභාවෙහි කටයුතු සිදුවන බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සඳහන් කළේය.

පසුගියදා පළාත් සභාව තුළ ඇතිවූ ගැටුම් කිසිසේත්ම අනුමත නොකරන බවත්, මෙය නරක ආදර්ශයක් බවද හෙතෙම පවසා සිටියේය.

කොළඹදී අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම මෙම සිද්ධියේදී කටයුතු කළ ආකාරයත් අනුමත නොකරන බවත්, ආණ්ඩු පක්ෂය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජිතයන් 06 දෙනාට සිදුවූයේ එම ක්‍රියා දෙස බලාසිටීමට පමණක් බවද ප්‍රධාන අමාත්‍යවරයා පවසා සිටියේය.

කොළඹ කුණු දැමූ 34ක් පැය 8ට අත්අඩංගුවට

ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට උදේ 8.00 දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකළ මෙහෙයුම්වලින් අවිධිමත් ලෙස කසළ බැහැර කළ පුද්ගලයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිසෙන් 33 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේදී වන අතර අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ගල්කිස්ස  මහනගර සභා බලප්‍රදේශය තුළදීය. මෙම පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථානවල පොලිස් ඒකකවලට භාර දී තබේ.

මෙම මෙහෙයුම ආරම්භ කළ ජූනි 15 වන දා සිට අද (20දා) උදේ 08.00 දක්වා කාලය තුළදී මේ වනවිට පුද්ගලයන් 822ක් අත්අඩංගුවට ගෙන තිබේ.

උසස් පෙළ ප්‍රවර්ධන කටයුතු අගෝ 02දා අවසන්

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයන් වෙනුවෙන් සිදුකරන සියලුම ප්‍රවර්ධන කටයුතු අගෝස්තු මස 02 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00ට පෙර අවසන් කළ යුතුබව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම දිනයේ සිට සැප්තැම්බර් 02 වැනිදාදක්වා කාලය තුළදී විභාග අපේක්ෂකයන් වෙනුවෙන් සිදුකරන උපකාරක පන්ති පැවැත්වීම සංවිධානය කිරීම, සම්මන්ත්‍රණදේශණ පැවැත්වීම ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබාදීම අත්පත්‍රිකා හෝ වෙනත් මාධ්‍ය මගින් දැනුවත් කිරීම සපුරා තහනම් බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

මෙම නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව විභාග පනතට අනුව නීති මගින් කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය. 

ආරක්ෂක අංශ සතුවූ ඉඩම් අක්කර 54ක පවුල් 200ක් පදිංචි කරයි

ආරක්ෂක අංශ සතුව තිබී මුදවාගත් මයිලෙඩ්ඩි ප්‍රදේශයේ ඉඩම් අක්කර 54 ක ප්‍රමාණය තුළ පවුල් 200ක් පදිංචි කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මෙම පවුල් 200 එම ප්‍රදේශ ආශ්‍රිත සහන කඳවුරුවල ජීවත්වන පිරිස් වන අතර, එම පිරිසෙන්  පවුල් 100 ක ජීවනෝපාය මාර්ගය වී තිබෙන්නේ ධීවර කර්මාන්තයයි.

මේ නිසා එම පවුල් 100 සඳහා අවශ්‍ය ධීවර උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12.5ක්ද වැය කර තිබේ.

අදාළ ප්‍රදේශයේ ඉඩම් ලැබීමට සුදුසුකම ලබා තිබෙන්නේ මෙම භූමිය ආරක්ෂක අංශ සතු කරගන්නා විට එම ස්ථානවල පදිංචි වී සිටි පිරිස් බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

කෝපාපිලව්වලින් තවත් ඉඩම් අක්කර 189ක් මුදාහැරේ

මුලතිව් කෝපාපිලව් ප්‍රදේශයේ තවත් ඉඩම් අක්කර 189ක් එම ඉඩම්වල මුල් පදිංචිකරුවන්ට හෙට (19දා) දිනයේදී ලබාදීමට සැලසුම් කර තිබේ.

යුද හමුදා කඳවුරක් පවත්වා ගෙන ගිය මෙම භූමිය මුදාගැනීම සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 05ක මුදලක් වැයකර තිබේ.

මීට පෙර අවස්ථාවකදී මෙම ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 279ක් මුදාහැරීමට රජය කටයුතු කර තිබිණි.

අදාළ ඉඩම් කොටස් හෙට (19දා) අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාවට ලබාදීමට නියමිතය. 

අවිධිමත්ව කසළ බැහැර කළ 638ක් අත්අඩංගුවට

අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාපිත කළ ආපදා කළමනාකරණ කාර්ය සාධක බළකාය විසින්  කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 638 දෙනෙකු අද (17දා) වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන් අඩංගුවට ගැනීම සඳහා මෙම ඒකකය ස්ථාපිත කෙරුණේ මේ මස 05 වැනි දිනය. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තුළ ස්ථාපිත කර තිබෙනමෙම ඒකකයට 0113301445 හෝ 0115993755 යන දුරකථන අංකය මගින් අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාදිය හැකිය.

 

අන්තරයෙන් වෙද සංගමයට යෝජනාවක්

සයිටම් ගැටලුව විසඳාගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් දියත් ක‘ළ යුතු බවට එම සංගමයට යෝජනාවක් ඉදිරිපත් කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු සනත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගත් පමණින් සයිටම් ගැටලුව නොවිසඳන බවත් ආණ්ඩුව උත්සාහ කරන්නේ රෝහල රජයට පවරාගෙන සයිටම් ගැටලුව විසඳූ බවට ජනතාව නොමග යැවීමට බවද පවසා සිටියේය.

මේ නිසා සයිටම් අහෝසි කරගැනීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාර සිදුකරන අරගලයට සහායක් වශයෙන් වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන ලෙසට ඉල්ලීමක් කළ බවද හෙතෙම අවධාරණය කළේය.

ශිෂ්‍යත්වය ලියන අය මේ ගැනත් සිතන්න

පහවසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව නිකුත් කර තිබෙන ප්‍රවේශ පත්‍රයේ යම් සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම්, එය අගෝස්තු පළමු වැනිදාට පෙර සිදුකළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාසලේ විදුහල්පතිවරයා මාර්ගයෙන් මෙම සංශෝධනය කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.

පහවසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20 වැනිදා ලංකාව පුරා පිහිටි මධ්‍යස්ථාන 3014කදී පැවැත්වේ. පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන්ගේ ප්‍රමාණය 356,728කි.

ගුරු සහයකයන් 113ක් බඳවා ගැනේ

වතු ආශ්‍රිත පාසල්වල ගුරු හිඟය පියවීමට ගුරු සහයකයන් 113 දෙනෙකු අද (13දා) සේවයට බඳවා ගනු ලැබිණි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ මෙම බඳවා ගැනීම සිදුකළ අතර මෙම පිරිස් වතු ආශ්‍රිත පාසල්වල පවතින විෂය පුරප්පාඩුවලට අනුව සේවයට අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබේ.

විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට ආසන්න අධ්‍යාපන සුදුසුකම් ඇති මෙම පිරිස් ඉදිරියේදී ගුරු සේවයට ඇතුළත් කර ගැනීමට පවා හැකියාව තිබෙන බව පත්වීම් ලිපි ප්‍රදානය කරමින් රාජ්‍ය අමාත්‍ය වී.රාධා ක්‍රිෂ්ණන් මහතා සඳහන් කළේය.