Author Archives: දුමින්ද සංජීව බාලසූරිය

තේ තහනම ඉතා ඉක්මනින් ඉවත් කරගත හැකියි

ශ්‍රී ලංකාවේ තේ සඳහා රුසියානු රජය පනවා තිබෙන තහනම ඉවත් කිරීම පිළිබඳ දෙරට අතර නිල සාකච්ඡා ලබන 27 වැනිදා රුසියාවේදී පැවැත්වෙන බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති අචාර්ය සමන් විරසිංහ මහතා 'අද' පුවත්පතට ප්‍රකාශ කළේය.

එමෙන්ම, රුසියාවේ ඇස්බැස්ටස් නිෂ්පාදන තත්ත්වයන් පිළිබඳ සාකච්ඡාවක් සඳහා 12 දෙනෙකුගෙන් යුත් විශේෂ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් මේ මස 24 වැනිදා රුසියාවට පැමිණෙන බවද තානාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයන් 08 දෙනෙකු තේ තහනම පිළිබඳ සාකච්ඡා කිරීමට රුසියාවට පැමිණීමට නියමිතව ඇති බවත්, එම සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාවට පනවා ඇති තේ තහනම ඉවත් කර ගැනීමට බොහෝ දුරට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය.

"ශ්‍රී ලංකාවේ තේ තහනමට ලක්වූයේ තේ බහාලුමේ වගා හානි කරන කෘමියෙකුගේ බිත්තර යම් ප්‍රමාණයක් තිබී හමුවීම නිසායි. මේ කතාව සත්‍යයක්. මා මේ පිළිබඳ රුසියාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් මුණගැසී සාකච්ඡා කළා. ඔවුන් අදාළ නිලලේඛන ඉදිරිපත් කරමින් සඳහන් කළේ, මේ කෘමියාගේ බිත්තර පැවැතීම භයානක තත්ත්වයක් බවයි. 1985 වර්ෂයේදී මේ කෘමි විශේෂය වසංගතයක් ලෙස පැතිරීමෙන් එවකට ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට වැඩි හානියක් රුසියාවේ වගා සඳහා සිදුව තිබෙනවා. මේ නිසා රුසියාව වහා තේ තහනම තාවකාලිකව පනවනු ලැබුවා. එහෙත් ඔවුන්ටත් මේ තහනම කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍යතාවක් පවතිනවා.

ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටස් තහනම පිළිබඳ රුසියානු රජයත් විශේෂ උනන්දුවක් දක්වා තිබෙනවා. රුසියාවේ නිෂ්පාදනය කරන ඇස්බැස්ටස් රුසියානු ජනතාවත් භාවිත කරනවා. ඒ නිසා ඉන් සෞඛ්‍ය ගැටලු මතු නොවන බව ඔවුන්ගේ මතයයි. මේ නිසා ශ්‍රී ලංකාවේ නියෝජිතයන් 12 දෙනෙකුට රුසියානු රජය ආරාධනා කර තිබෙනවා රුසියාවට පැමිණ ඇස්බැස්ටස් නිෂ්පාදනාගාරවලට ගොස් ඒ පිළිබඳ පරීක්ෂා කර බැලීමට. එමෙන්ම ඔවුන් ඊට අදාළ සියලු ප්‍රමිති සහගත ලිපිලේඛන ශ්‍රී ලංකා විශේෂඥ කණ්ඩායමට ඉදිරිපත් කිරීමටත් සූදානමින් සිටිනවා.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස දෙසැම්බර් 24 වැනිදා රුසියාවට පැමිණීමට නියමිතයි. කෙසේ වුවත් තේ තහනම හා ඇස්බැස්ටස් තහනම එකම අවස්ථාවකදී මතුවූ ගැටලු දෙකක්. මේ ගැටලු දෙක එකක් බවට පත්කර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත්කිරීමට ඇතැම් අය උත්සාහ දරනවා. ඒත් රුසියාව කියන්නේ අපේ දීර්ඝ කාලීන මිතුරෙක්. ඒ නිසා ඉදිරි සති දෙක තුළදී මේ ප්‍රශ්න දෙකම සුබවාදීව විසඳෙනු ඇති බව විශ්වාසයි" යැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සමන් වීරසිංහ මහතා වැඩිදුරටත් 'අද' පුවත්පතට සඳහන් කළේය.

z_p31-Expanding-01

ශ්‍රී ලංකාවට ආවේනික අලුත් ගෝනුස්සන් 4 දෙනෙක්

ශ්‍රී ලංකාවට ආවේණික නව ගෝනුස්සන් විශේෂ 4ක් හඳුනාගැනීමට පරිසර විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් විශේෂ 18ක් ජීවත්වන බවත් ඉන් විශේෂ 14ක් ශ්‍රී ලංකාවට ආවේණික බවත් ඔවුන් සිදුකළ පර්යේෂණයකින් තහවුරු වී තිබේ.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය කිත්සිරි රණවන, පරිසර විද්‍යාඥ වී.ඒ. සංජීව ජයරත්න සහ චෙක් ජනරජයේ සත්ත්ව විද්‍යාඥ ෆ්‍රැන්ටි සෙක්කොවාරීක් ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් මේ නව සොයාගැනීම සිදුකර තිබේ.

මෙම ගෝනුස්සන් විශේෂ අතරින් ශ්‍රී ලංකාවට ආවේණික නව ගෝනුසු විශේෂ හතර බුතිඩේ (Buthidae) කුලයට අයත් වෙති. නව ගෝනුසු විශේෂ හතර Charmus saradieli, Reddynus ceylonesis, Ressyanus jayarathnei සහ Reddyyanus ranawanai යන විද්‍යාත්මක නාමයන්ගෙන් හැඳින්වේ. 
මෙරට ජීවත්වූ 'ශ්‍රී ලංකාවේ රොබින්හුඩ්' ලෙස විරුදාවලිය ලත් සූර සරදියෙල් නැමැත්තා ස්මරණය කිරීම වෙනුවෙන් පර්යේෂණ කණ්ඩායම විසින් එක් ගෝනුස්සෙකු නම් කිරීමද විශේෂයකි. චෙක් ජනරජයේ විද්‍යාඥ ෆ්‍රැන්ටි සෙක්කොවාරීක් මහතා කළ යෝජනාවකට අනුව සරදියල්ගේ නම යොදා තිබේ. එම ගෝනුස්සා චාර්මුස් සරදියෙලි (Charmus saradieli) ලෙසින් නම්කර තිබේ.

ගෝනුස්සන් පිළිබඳව ශ්‍රී ලංකාවේ සිදුකළ මෙම පර්යේෂණය මෙතෙක් ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් පිළිබඳව සිදුකළ ප්‍රධානතම පර්යේෂණය බවත් ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ සහාය තම කණ්ඩායමට ලැබුණු බවත් පරිසර විද්‍යාඥ වී.ඒ. සංජීව ජයරත්න මහතා 'අද' පුවත්පතට සඳහන් කළේය. සත්ත්ව වර්ගීකරණයේදී ඇරැක්නීඩා වර්ගයට අයත් (පාද අටකින් යුතු) ගෝනුස්සා කුල 18කට අයත්ව විශේෂ 1750ක් තරම් සුවිශාල පැතිරීමක් ඇති සත්ත්ව කොට්ඨාසයක් බවට ලොව පුරා සිදුකර ඇති විද්‍යාත්මක විමර්ශන මගින් තහවුරුකරගෙන ඇත.

 

 

දකුණේ පාතාල කොටියා සමග මන්ත්‍රී සබඳතාවක්?

දකුණේ පාතාල කල්ලි සමඟ සබඳතා පවත්වමින් ඝාතන කිහිපයක් සිදුකළ බව කියන 'එලිලන්' නමැති හිටපු කොටි සාමාජිකයා සමග හිටපු ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමීප සබඳතා පවත්වා ඇති බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.

ස්ටැන්ලි කෙනඩි හෙවත් ක්‍රිෂාන් නමැත්තා කොටි සංවිධානය පැවති සමයේදී ප්‍රභාකරන්ගේ ආරක්ෂාව භාරව සිටි චාල්ස් ඇන්තනි බළකායට සම්බන්ධ වී 'එලිලන්' නමින් කටයුතු කර ඇති අයෙකි. 2009 වසරේ දී යුද්ධය නිමවීමෙන් පසු යුද හමුදාවට බාර වී පුනරුත්ථාපනය ලැබ නිදහස් වූ ඔහු ටික කලකින්ම දකුණේ පාතාල කල්ලියක් සමග සම්බන්ධ වී තිබේ.

මීට වසර තුනකට පමණ ඉහත දී මෙම පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු නීති විරෝධී ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග බලපිටිය ප්‍රදේශයේ සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි පැවසේ. එහෙත් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරූ පුද්ගලයෙකුගේ දැඩි බලපෑම් සහගත මැදිහත් වීම නිසා ඔවුන්ව නිදහස් කිරීමට අත්අඩංගුවට ගත් පොලිස් කණ්ඩයමට සිදුව ඇතැයිද පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බලපෑම මත මෙම පුද්ගලයාගේ අත්අඩංගුවට පත්වීම හා අත්අඩංගුවෙන් නිදහස් කිරීම පිළිබඳව ඇති සටහන්ද ඉවත් කර ඇති බවද පැවසෙන අතර මෙම පුද්ගලයා පිස්තෝලයක් හා උණ්ඩ කිහිපයක් සමග ගාල්ලේ සිටියදී යළි අත්අඩංගුවට පත්වීමත් සමගම අදාළ මන්ත්‍රීවරයාගේ බලපෑම පිළිබඳවද පොලීසියට තොරතුරු වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් අදාළ හිටපු කොටි සාමාජිකයා පාතාල කල්ලි සමග සම්බන්ධ වී ඝාතන කීපයක් සිදුකර ඇති බවට තොරතුරු හෙළිදරව් වීමත් සමගම අදාළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග මෙම පුද්ගලයා පැවැත්වූ සබඳතා පිළිබඳවද දීර්ඝව කරුණු හෙළිකර ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවද 'අද'ට වාර්තාවේ.  

 

නව පක්ෂය නොඑයි සංසදය එයි

රටපුරා විසිරී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වයට හිතැති පාක්ෂිකයන් ඒකරාශී කරගැනීම සඳහා නව සංසදයක් බිහි කිරීමට සූදානම්ව ඇති බව 'අද' ට වාර්තා වේ. 
මෙම සංසදය පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ආරම්භ වන්නක් වන අතර, එම සංසදයේ ප්‍රධාන කාර්යය වන්නේ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය ලබාගැනීම සඳහා රජයට බලපෑම් කිරීමයි. 
ජාතික මැතිවරණයක් නොමැති අවස්ථාවක නව පක්ෂයක් බිහි කිරීම අනවශ්‍ය බවට මතයක් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර එකඟතාවක් පළවීම නිසා නව පක්ෂයක් බිහිකිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ. එහෙත් අවශ්‍ය අවස්ථාවකදී දැනට ලියාපදිංචි වී ඇති පක්ෂයකට ඒකාරාශී වීමට එකඟතාවක්ද එහිදී පළ වී තිබේ.
එමෙන්ම නව සන්ධානයක් බිහි කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ එකඟතාව ලැබී ඇති අතර, එහි නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෝරා පත්කර ගැනීමටත්, සන්ධානයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරීමටත් එකඟතාව පළවී තිබේ. 
සන්ධානයේ ලේකම්, භාණ්ඩාගාරික, ප්‍රධාන සංවිධායක යන තනතුරු සඳහා සන්ධානය නියෝජනය කරන පැරණි මෙන්ම නවක ක්‍රියාශීලී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් යෝජනා වී ඇති අතර, ඒ සඳහා අවසන් එකඟතාවයකට පැමිණ නොමැත. 

සාම්පූර්ට අනුමැතිය

තරිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේ අක්කර 505ක භූමියක ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500 ක ගල්අඟුරු තාප විදුලි බලාගාර ව්‍යාපෘතියට මධ්‍යම පරිසර අධිකාරිය විසින් කොන්දේසි සහිතව අනුමැතිය ලබාදී තිබේ.
බලාගාරයෙන් ජනනය වන අළු මගින් ජලය හා වාතය දූෂණය වීම පාලනයට පියවර ගැනීම, ජනනය වන අළු භූමියේ තැන්පත් කිරීම වෙනුවට 100% වෙනත් ප්‍ර‘යෝජනයකට යොදාගැනීම, ව්‍යාපෘතියේ ක්‍රියාත්මකභාවය හා ප්‍රශස්ත ලෙස පවත්වා ගෙන යාම උදෙසා පරිසර දූෂණ පාලන ක්‍රම‘වේද සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම හා පවත්වාගෙන යාම සිදු කළ යුතු බවට වූ කොන්දේසි මත මධ්‍යම පරිසර අධිකාරිය මෙම අවසරය ලබා දී තිබේ.

එමෙන්ම, ව්‍යාපෘති යෝජක මෙන්ම ව්‍යාපෘති නියාමන ආයතනය මගින් ආරම්භයේ සිටම විධිමත් සැලැස්මක් යටතේ පසුවිපරම් කටයුතු සිදුකිරීම, ව්‍යාපෘතිය මගින් ප්‍ර‘දේශයේ සාමාන්‍ය ජනජීවිතයට හා පදිංචිකරුවන්ට පීඩාකාරී නොවන ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම, උණුසුම් ජලය ඉක්මනින් සිසිල් වීම සඳහා විවෘත මුහුදට වෙත හෝ පරිසරයට මුදාහැරීම වෙනුවට ව්‍යාපෘතිය තුළම ප්‍රතිචක්‍රීකරණය කිරීම, වායු දූෂණය පාලනය කිරීම හා අවම කිරීමට පියවර ගැනීම, වායුව  මුදාහරින දුම් කවුළු අනාගත අවශ්‍යතා අනුව මීටර් 150 සිට තවදුරටත් උස් කිරීම සඳහා අවකාශ සැලසීම ඇතුළු තිරසාර පදනමකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නෛතික අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.
සාම්පූර් තාප බලාගාරය මෙගාවොට් 250 බැගින් වූ විදුලි ජනක යන්ත්‍ර 2 ක් යොදාගෙන මෙගාවොට් 500 ක විදුලිබල උත්පාදනය මගින් ලාභදායී ලෙසින් ජනනය කරන ලද විදුලිය සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර, සීමාසහිත ත්‍රිකුණාමලය විදුලිබල සමාගම විසින් අදාළ ව්‍යාපෘති යෝජනාව සිදුකර තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා දෛනික ගල් අඟුරු අවශ්‍යතාව ටොන් 5149 ක් වන අතර, ඉන්දුනිසීයාව, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන රටවලින් ආනයනය කරන ලද ගල්අඟුරු මෙහිදී යොදාගැනීමට අපේක්ෂා කෙරේ. කොඩ්ඩියාර් බොක්කෙන් මුහුදු ජලය පොම්ප කිරීම මගින් ව්‍යාපෘති මෙහෙයුමට අදාළ ජල අවශ්‍යතාව සපුරා ගැනීමට ද සැලසුම් කර ඇත.
සිසිලන කුලුනු රහිතව මුහුදු ජලය භාවිතයෙන් ක්‍රියාත්මක වන සිසිලන පද්ධතියක් ව්‍යාපෘතිය සඳහා යොදවා, නිෂ්පාදන ක්‍රියාවලියේ උණුසුම් වන ජලය ෂෙල් බොක්ක ආශ්‍රිත වෙරලේ සිට මීටර් 480 ක් දුරින් හා මීටර 07 ක් ගැඹුරින් වූ ස්ථානයකට මුදාහැරීමට නියමිතව තිබුණද එම යෝජනාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ එකඟතාවක් ලැබී නොමැත.
අධිකාරියේ නිර්දේශය වන්නේ උණුසුම් අපජලය මගින් ෂෙල් බොක්කේ පරිසර පද්ධතියට සිදුවන බලපෑම් අවම කිරීම සඳහා ෂෙල් බොක්ක වෙත ජලය මුදාහැරීම වෙනුවට විකල්ප සිසිලන ක්‍රමයක් අධ්‍යයනය කර හඳුනාගෙන ක්‍රියාත්මක කළ යුතු බවය.
ගල්අඟුරු පරිහරණය සහ ගබඩා කිරීම, ඉන්ධන පරිහරණය සහ ගබඩා කිරීම, මුහුදු ජලය ලබාගැනීම, පිරිපහදු කිරීම. විදුලි ජනනය හා ඒ ආශ්‍රිත අනෙකුත් ක්‍රියාකාරකම්, සිසිලන පද්ධතිය, වායු දූෂණ පාලන පද්ධතිය. අළු එක්රැස් කිරීමේ හා ගබඩා කිරීම, මළ අපද්‍රව්‍ය බැහැර කිරීම මෙන්ම අදාළ අනෙකුත් ක්‍රියාකාරීත්වයන් ව්‍යාපෘතියේ ප්‍රධාන අංග ලෙස ඇගයීමට භාජනය විය. මෙහිදී පරිසර බලපෑම් වාර්තාව, කමිටු සාකච්ඡා හා නිර්දේශ, මහජන අදහස් මෙන්ම එම මහජන අදහස්වලට ව්‍යාපෘති යෝජක ලබාදුන් ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් ඇගයීම් කටයුතු සිදුකෙරිණි.
අදාළ ආයතන 21 ක් හා විශේෂඥයන්ගෙන් සැදුම්ලත් තාක්ෂණික ඇගයීම් කමිටුවක් මගින් ඇගයීම් ක්‍රියාවලිය සිදුකරන ලදී.
සිසිලන පද්ධතියෙන් පිටවන උණුසුම් අපජලය බැහැරලීම මගින් ඇතිවන පාරිසරික බලපෑම, වායු ගෝලයට සිදුවන විමෝචන හේතුවෙන් වන වායු ගුණාත්මකභාවයේ සිදුවන වෙනස්කම් හා එහි බලපෑම්, ව්‍යාපෘතිය මගින් ජනනය වන අළු බැහැර කිරීම මගින් මතුපිට හා භූගත ජලයට වන බලපෑම් ආදී වශයෙන් පාරිසරික බලපෑම් හඳුනාගනු ලැබිණි. 

අවුරුදු 5කට ආණ්ඩුව පෙරළන්න දෙන්නෙ නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්ව වසරක් ඉක්ම ගොස් තිබේ. ගෙවීගිය කාලය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානව හිමිකම් තහවුරු කිරීමට හා ජාත්‍යන්තරය දිනා ගැනිම වෙනුවෙන් වැඩි අවධායක් යොමු කර කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.

ඒවා ස්පර්ශ කළ නොහැකි බවත්, බඩට නොදැනෙන බවද ජනපතිවරයා පැවැසීය. මේ වසරේ රටේ ආර්ථික ශක්තිමත් කිරීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර කටයුතු කිරීමට සූදානම් බවද ඔහු මීට ඉහතදී පවැසීය. ජනපති ලෙස පත්වීමෙන් පසුව ගතවූ වසරක කාලයත්, ඉතිරිව ඇති වසර හතරක කාලසීමාවේදී ඔහුගේ දැක්ම පිළිබඳවත් කළ සාකච්ඡාවකි මේ.

Q බලයට පත්වී ගෙවුණු පළමු වසර තුළ ඉටුකළ කාර්යයන් හා නොකළ දේවල් ගැන සඳහන් කළොත්?

අපේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන්නේ වසරකින් කරනවා කියලා නෙමේ  වසර 05කින් කරනවා කියලයි. දින සීයේ වැඩපිළිවෙළ තුළ 19වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදුකළා.දින සීයට ඇතුළත් වෙලා තිබුණු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම කෙරුණෙ නැහැ. ඒ සඳහා මගේ පැත්තෙන් කළහැකි දේ මම කළා.

Q ඒත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සිදුවුණේ නෑනේ?

ඔව්. පාර්ලිමේන්තුවට එම කටයුත්ත කරන්න බැරිවුණා.මැතිවරණ ක්‍රමය වෙනස්කරන්න පාර්ලිමේන්තුවේ සියලුදෙනා කැමැත්තෙන් ඉන්නේ.ඒ අතින් ගත්තාම දින සීයේ වැඩපිළිවෙළ සාර්ථකයි.‍මැතිවරණ ප්‍රකාශයේ තියෙන අනිත් පොදු කාර්යන් මගේ නිල කාලය තුළ කළ යුතුබවයි සඳහන් වෙන්නේ.ඒ කියන්නෙ අවුරුදු 06ක කලයක් තුළ කළයුතු බවයි.ඒ සඳහා පළමු අවුරුද්දේ හොඳ අඩිතාලමක් දාලා තියෙනවා.පාර්ලිමේන්තුවෙ  බලය තුනෙන් දෙකකට වඩා සකස්කරගෙන තියෙනවා.

Q පසුගිය වසර තුළ ඔබ ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට පැවරුවා.ඊළඟ වසරට දෙන ප්‍රතිඥාව කුමක්ද?

ජනාධිපතිධුරය ගැන මගේ ප්‍රතිඥාව දීලා ඉවරයි.දැන් තියෙන්නේපාර්ලිමේන්තුවේ කාර්යයයි. එහිදී මගේ වැඩකොටස කරලා ඉවරයි.19වැනි සංශෝධනයෙන්ම ඒක කරන්න දුන්නා.මම සෝභිත හාමුදුරුවන්ගේ ආදාහනය දවෙසත් මගේ ප්‍රතිපත්තිය ගැන කිව්වා.

Q ජාතික ආණ්ඩුවේ ආයු කාලය අවුරුදු 2 ද? ඉන් පස්සේ ජාතික ආණ්ඩුවෙ අනාගතය කොහොම වෙයිද?

අපේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කරලා තියෙනවා මැතිවරණය ජයග්‍රහණය කළාම ජාතික ආණ්ඩුවක් හදනවා කියලා.ජනතාව මැතිවරණ දෙකේදිම ජනවරමක් ඒසඳහා දුන්නා.අඩුවශයෙන් අවුරුදු 2ක්වත් එකතුවෙලා වැඩකරමු කියලා සියලු දේශපාලන පක්ෂවලට අපි කිව්වා.ඒ කියන්නේ අවුරුදු දෙකෙන් ඉවර කරනවා කියලා නෙමෙයි.

මම ජනාධිපතිධුරයට පත්වෙලා තියෙන කාලය තුළ මම ආණ්ඩුවක් පෙරළනවද?.කාටවත් පෙරළන්න දෙනවාද?ආණ්ඩුව කාටවත් පෙරළන්න දෙන්නෙ නෑ.අවුරුදු 2 වැඩකරගෙන යද්දී තීන්දුවෙයි ඉදිරියට මොකද්ද කරන්නෙ කියලා.අපි කොරහේ කිඹුල්ලු දකින්න උවමනා නැහැ.

ඒ වගේ පිරිහුණු ලක්ෂණ තියෙන මිනිස්සු එක්ක නෙමේ අපි යන්න ඕන.අපි ඉදිරියට යන්නෙ සුභවාදීව බලන ගමන් අපේ රට ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකරන ප්‍රබුද්ධ මානසිකත්වයකින් යුතුවයි.එහෙම නැතිව කඩාවැටුණු මානසිකත්වයකින් උන්මන්තකයෝ වගේ මානසික රෝගීන් වගේ වැඩකිරීම නෙවෙයි කළයුත්තේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වසර 05ක් ආණ්ඩුව කරගෙන යන්න දෙන්න ඕනෑ රටවෙනුවෙන්.ඒක කඩාකප්පල්වෙනවා කියන්නෙ රට විනාශවෙනවා කියන එකයි.දේශපාලන බලය අවශ්‍ය අයට පුළුවන් මැතිවරණයක් කාලෙට ජනතාව ළඟට ගිහින් තමන්ට ඡන්දෙ දෙන්න කියලා බලයක් ලබාගන්න.

 එහෙම නැතිව රට නොසන්සුන් කරලා ආර්ථිකය විනාශ කරන්න තමයි අද ඇතැම් පිරිසක් බලාපොරොත්තු වෙන්නේ.ඒ බලාපොරොත්තු ඉෂ්ටවෙන්න අපි ඉඩතියන්නේ නැහැ.නියමිත කාලෙදී අපේ වගකීම් ඉෂ්ට කරලා අපි ඡන්දෙකට යනවා.

Q වත්මන් ආණ්ඩුව රට බෙදන්න යනවා කියලා විරුද්ධ පාර්ශ්වය චෝදනා කරනවා?

කොහේද එහෙම එකක් තියෙන්නේ? රට බෙදන්න රට කඩන්න කොහේද සාකච්ඡාකරලා තියෙන්නේ? එහෙම යෝජනාවක් කොහේවත් තියෙනවද?රටේ මහජනයා නොමග යවන්නත් තමන් බොහෝම ඉක්මනට රජවෙන්න බලාගෙන ඉන්න අයයි මෙවැනි කතා කියන්නේ.

Q ඒත්, ඔබ රට පාවාදෙන බවටත් චෝදනා එල්ල වෙනවා. ඒ චෝදනා ගැන මොකද කියන්න තියෙන්නේ?

ඒ චෝදනාකරන අය කණ්ණාඩියක ඉස්සරහට ගියොත් පෙනේවි කිසිම හරසුන් දේශපාලනයක් නැති අර්ථයක් නැති මහ හිස් මිනිස්සු නේද මේ  කතාකරන්නේ කියලා.

මේ රට ගොඩනගන්න මේ රටේ තියෙන අභියෝග මොනවද කියලා තේරුම් ගන්න ඕනෑ.රටක එක් එක් යුගතුළ කළයුතු කාර්යන් තියෙනවා.රටක බිහිවෙන දේශපාලන නායකයන්ට පැවරෙන වගකීම් තියෙනවා.එදා සිට අද දක්වා පත්වූ නායකයන් ඒ අභියෝගවලට මුහුණදීලා තියෙනවා. සමහර නායකයො සාර්ථක වෙද්දි සමහර නායකයො අසාර්ථකවෙලා තියෙනවා.

ලෝකයේ ජාත්‍යන්තර දේශපාලනය බැලුවත් ඒකයි.මේ රටේ  කාර්යන් සාර්ථකව ඉටුකළ යුත්තේ කොහොමද කියලා අපි බලන්න ඕනෑ.හැමවෙලේම අසුභවාදිව බලන සියලු දේවල් වැරදි ලෙස දකින හිස් මිනිසුන් සුළු පිරිසක් සමාජයේ ඉන්නවා.මේ හරසුන් හිස් මිනිසුන්ගේ බොල් හඬට කන්දෙන ඒක නෙවෙයි අපිට තියෙන්නේ.විනාශකාර දේ ඉතා පහසුයි. යමක් ගොඩනැගීම ඉතා අපහසුයි.අපි ඒ අපහසු දේ කරනවා.

Q ඔබේ ධුර කාලයට අදාළ වසර හය ගෙවුණු පසු අග්‍රාමාත්‍යධුරයට තරග කරනවද?

මම ජනාධිපතිවෙන්න කලිනුත් ජනාධිපතිවෙනවා කියලා ඔළුවේ තිබුණේ නැහැ.ජනාධිපතිවෙන්න මම හිතුවෙත්  නැහැ.තව අවුරුදු 5කින් මගේ තනතුර මොකද්ද? මම ඉන්නෙ කොතනද කියන එක නෙවේ අද මට අවශ්‍ය වෙන්නෙ.

තව අවුරුදු 5කින් මේ රට තියෙන්න ඕනෑ කොතනද කියන එකයි මට මගේ තනතුරට වඩා වැදගත් වන්නේ.තව අවුරුදු 5ක් යද්දි ශ්‍රී ලංකාව ලෝකයේ හොඳ රටක් ලෙස ගොඩනැගීමයි මට අවශ්‍ය.2020 න්‍යාය පත්‍රයයි අද රට වෙනුවෙන්  තියෙන්නේ.මගෙ  තනතුර,මගේ දේශපාලනය රටට වැදගත් නැහැ.ඒනිසා පළමු අවුරුද්ද තුළ මගේ වගකීම් උපරිම අයුරින් ඉෂ්ට කළා.ඊළඟට මේ රටේ තියෙන  දුප්පත්කම,දුගීකම නැතිකොට ආර්ථිකය ගොඩනැගීම තමයි අපිට තියෙන පළමු අභියෝගය.රටේ ආර්ථිකය වසරකින් කඩාවැටෙන්න තරම් කිසිවක් මේ ආණ්ඩුව කරලා නැහැ

Q ළඟදී කැබිනට් සංශෝධනයක් වෙනවාද?

කැබිනට් මණ්ඩලයේ වෙනසක් වෙන්නෙ නෑ. ඒවා ගොතන පට්ටපල් බොරු.

Q ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමට ඔබ ක්‍රියාකරන්නේ කෙසේද?

ජාතික ප්‍රශ්නයේදී ජාතික සංහිඳියාවට උතුරේ සහ දකුණේ ජනතාව මනසින් එකතු කළ යුතුයි.වැලි, ගඩොල්, සිමෙන්තිවලින් ජාතීන් එකතු කරන්න බැහැ.ඒ නිසයි අපි ජාතික ඒකාග්‍රතා හා සංහිඳියා කටයුතු අමාත්‍යාංශය ඇතිකළේ.ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් හරහා වැඩ කරගෙන යනවා.උතුරේ ඉඩම් අහිමි ජනතාවගේ ඉඩම්ටික දීගෙන යනවා.අතුරුදන්වූවන්ගේ කටයුතු සඳහා කමිටු පත්කරලා ඊට අවශ්‍ය වැඩකරගෙන යනවා.මේ සෑම කෙනෙකුටම විශ්වාසක් ඇතිව ජිවත්වීමටයි මේ දේවල් කරන්නේ.

Q ඔබටත් යහපාලන ආණ්ඩුවටත් එරෙහි වූ අය දැන් ඔබ ළංකරගෙන සිටින බවට චෝදනාවක් තියනවා. ඇයි ඔබ එසේ ක්‍රියාකරන්නේ?

මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ භාගයක්ම ඉන්නේ ජනවාරි08 වැනිදා මාව පරාජය කරන්න වැඩකරපු අයයි.මම පරාද වුණා නම් ඒ අයගේ බලාපොරොත්තුව තුළ ආණ්ඩුවක් කරගෙන යාවි.හැබැයි මගේ දේශපාලන සංකල්ප ඊට වඩා වෙනස්.

සදාකාලික සතුරන් කරගැනීමේ  ප්‍රතිපත්තියක් මගේ ළඟ නැහැ.මට අවශ්‍ය පරිදි වැඩ කරනවා නම් එච්චරයි.ඕනෑම කෙනෙක් ඇතැම් වෙලාවට සෘජුවෙනවා. සමහර වෙලාවට නම්‍යශීලී වෙනවා.මම වැඩකරද්දි මගේ පෞද්ගලිකත්වය බලන්නෙ නෑ. දේශපාලන අධිකාරීන් වගේම එතනින් පහළත් එකතුකරන්න පුළුවන් හැමෝම එකතුකරන්නයි මම බලන්නේ. දේශපාලන සංහිඳියාවත් වැදගත්.නොයෙක් විවේචන තියෙනන පුළුවන්. නමුත් අපි කළ යුතු කාර්යයන් කරනවා.

 

ශ්‍රී ලංකා – තායිලන්ත ව්‍යාපාරික හමුවෙන්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අපනයන හා ආනයන වඩා ශක්තිමත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මකව පවතින ද්විත්ව බදු ක්‍රමය අහෝසි කිරීමට රටවල් දෙක ක්‍රියාකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ ව්‍යාපාරික ප්‍රජාව අමතමින් සඳහන් කළේය.

වසර 1996 දී අත්සන් තබන ලද තායිලන්ත හා ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ආයෝජන සංවර්ධන ගිවිසුම තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී අධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ සඳහන් කළේ තායිලන්තයේ බැංකොක් නගරයේ ඊයේ (03දා) පැවැති තායිලන්ත ව්‍යාපාරික හමුවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ තායිලන්ත නියෝජ්‍ය අගමැති සොමිකිද් ජතුස්ශ්‍රීපිතක් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපාරික හමුව පැවැත්විණි.

එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

&ශ්‍රී ලංකාව සහතායිලන්තය අතර වෙළෙඳ පරතරය තායිලන්තයට වැඩි වාසි සහගතව පැවතීම අසමානතාවක්. ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය සලකා බැලිය යතුයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අලුත් ආණ්ඩුව යටතේ දැඩි ලෙස නිදහස් කර තිබෙනවා. ව්‍යාපාරික ප්‍රජාවට හිතකර පරිසරයක් නිර්මාණය කර තිබෙනවා.

ආයෝජන මණ්ඩලය ශ්‍රී ලංකාවේ ආයෝජන කරන ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය සියලු පහසුකම් එක වහළක් යටින් සපයන අතර ව්‍යාපාරික ප්‍රජාව අවශ්‍ය උපදෙස්ද සපයා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව එය නාවික, ගුවන්, බලශක්ති, වාණිජ ක්ෂේත්‍රවල දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමට රජය දැනට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඉදිරි කාලය තුළ සංචාරක, ව්‍යාපාරික, තාක්ෂණික, අපනයන, නිෂ්පාදන අංශය, යටිතල පහසුකම්, විදුලි සංදේශ, විකල්ප බලශක්ති, කෘෂිකර්ම ආශ්‍රිත කර්මාන්ත හා භාණ්ඩවලට අගයක් එක් කිරීමත් ඖෂධ, මැණික්, නිමි ඇඳුම් වැනි ක්ෂේත්‍ර සඳහා ආයෝජන කිරීමට වැඩි ඉඩක් ලබාදීමටත් අපේක්ෂා කරනවා.

නිමි ඇඳුම්, තේ, කුළු බඩු, රබර් ආශ්‍රිත නිර්මාණ, ආහාර ද්‍රව්‍ය ආදී දෑ දැනට ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙනවා. එම අපනයන සඳහා නව වෙළෙඳ පොළ අවශ්‍යතා සොයාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරනවා. තායිලන්තයෙන් තෙල්, රෙදිපිළි ,රසානයනික ද්‍රව්‍ය, කඩදාසි, ඖෂධ, ප්ලාස්ටික් හා පොහොර ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් අපනයන කරනවා.

ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳ පොළ ඉතාම හොඳ මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකාව සහ තායිලන්ත අතර 1996 දී අත්සන් තබනලද ද්විපාර්ශ්වික ආයෝජන සංවර්ධන ගිවිසුම තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. ද්විත්ව බදු ක්‍රමය අහෝසි කිරීමටත් රටවල් දෙක අතර අපනයන හා ආනයන වඩා ශක්තිමත් කිරීමටත් අවශ්‍ය වෙනවා.

ඒ වගේම, තායිලන්ත වෙළෙඳ ප්‍රජාවගෙන් මා ඉල්ලා සිටින්නේ නව දේශපාලන තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට හොඳ අවස්ථාවක් ලැබී තිබෙන නිසා ශ්‍රී ලංකාවට පැමිණ තමන්ගේ ආයෝජන සිදුකර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හා අත්වැල් බැඳගන්නා ලෙසයි. ඒ සඳහා උපරිම සහාය ලබා‍දීමට රජයක් ලෙස අප කැපවී සිටිනවා.* යැයි පවසා සිටියේය.

තායිලන්තය උප අගමැති සොම්කිද් ජතුස්ශ්‍රීපිතක් මහතා තායිලන්ත ව්‍යාපාරික ප්‍රජාව අමතමින්,

&තායිලන්තය ආර්ථික සංවර්ධන කිරීම සඳහා මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙනවා. එහිදී, තායිලන්ත ආර්ථිකය 2.5෴ සිට 3.2෴ දක්වා ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීම සැලසුම් කර තිබෙනවා. පසුගිය වසරේ වර්ධන වේගය සියයට 0.9 දක්වා පහත බැස තිබුණා. අපනයන අඩුවීම, කෘෂිකර්මාන්ත නිෂ්පාදන ධාරිතාව මිල පහත වැටීම ආදී කරුණු ඊට හේතු වුණා.

දකුණු ආසියාවේ හොඳම ආර්ථික වර්ධන වේගය තිබෙන්නේ ශ්‍රී ලංකාවේයි. එය අපි දැඩි ලෙස අගය කරනවා. ඒසේම ශ්‍රී ලංකාව සහ  තායිලන්තය අතර විශාල සමානතා රැසක් තිබෙනවා.

විශේෂයෙන්ම ස්වභාවික සම්පත්, සංස්කෘතිය සහ පාරම්පරික උරුමයන්  පිළිබඳව සැලකීමේදී බොහෝ සමානකම් පවතිනවා. එසේම රටවල් දෙක අතර ආගමික වශයෙන් බොහෝ සමානකම් දක්වනවා. එසේම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, ධීවර, ආහාර සැකසුම, යටිතල පහසුකම් දියුණු කිරීම එක් ගමකට එක් නිෂ්පාදන වැඩපිළිවෙළ හඳුන්වා දීම ඉතාමත් වැදගත් දෙයක්. මේ සඳහා සියලු ආධාර උපකාර කිරීමට තායිලන්තය කැපවී  සිටිනවා.

එමෙන්ම, පෞද්ගලික අංශය අතර සබඳතා ඉතා ඉහළ මට්ටමක් ගැනීමේ හැකියාව අද ලැබී තිබෙනවා.* යැයි පවසා සිටියේය.

තායිලන්ත වාණිජ කර්මාන්ත හා බැංකු ක්‍රියාකාරී කමිටුවේ සභාපති ඉෂාර වොන්කුසොල්කිටි ව්‍යාපාරික ප්‍රජාව අමතමින්,

&ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින්නේ දීර්ඝ කාලීන සබඳතාවයක්. එසේ වීමට ප්‍රධානතම හේතුව වන්නේ අපේ රටවල් දෙක අනාදිමත් කාලයක සිට බෞද්ධ පිළිවෙත් හා බෞද්ධ සංස්කෘතියට අනුගත වී සිටි නිසයි.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර විවිධ ක්ෂේත්‍රවල පවතින සබඳතාව තව තවත් පුළුල් කිරීමට  අපේක්ෂා කරනවා. මේ අවස්ථාව ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රක සබඳතා අරඹා හැට වසරකට සම්පුරණ වූ අවස්ථාවක්. එවන් අවස්ථාවක වාණිජ සමුළුව පැවැත්වීමට ලැබීම දෙරටේ සබඳතා තව තවත් ශක්තිමත් වීමක්.

පසුගිය දශකය තුළ දෙරට අතර වාණිජ සබඳතා වර්ධනය වී තිබෙනවා. තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට අපනයනය කරන්නේ රෙදිපිළි, සීනි, මෝටර් රථ හා අමතර කොටස්, සිමෙන්ති, කරවල හා රසායනික ද්‍රව්‍යයි.

ශ්‍රී ලංකාවෙන් මැණික්, තේ, කුළු බඩු, කෙඳි, සම්, ලෝහ භාණ්ඩ, නිමි ඇඳුම් ආදිය තායිලන්තයට අපනයනට කරනවා. 2014 වසරේ දෙරට අතර මිලියන 510ක වෙළෙඳ ගනුදෙනු සිදුව තිබෙනවා. මෙහිදී අදාළ ගනුදෙනු තායිලන්තයට වාසිසහගතයි. පසුගිය වසරේ තායිලන්තය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 383ක් වටිනා භාණ්ඩ අපනයනය කර තිබෙනවා. මේ නිසා තායිලන්තයේ ආයෝජකයන්ටත් ශ්‍රී ලංකාවේ ආයෝජකයින්ටත් දෙරට අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා.* යැයි පවසා සිටියේය.

බැංකොක් නගරයේ දී පැවති තායිලන්ත ව්‍යාපාරික හමුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ ඇමැති මංගල සමරවීර, ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයාගමගේ, දකුණු පළාත් ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර, දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, ශ්‍රී ලංකා තායිලන්ත තානාපතිනී ෂෙනුකා සෙනෙවිරත්න, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු දෙරටේ රාජ්‍යතාන්ත්‍රක  නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ. එහිදී, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන හැරී ජයවර්ධන, ධම්මික පෙරේරා ආදී පිරිසක්ද මීට එක්ව සිටියහ. එමෙන්ම මෙම හමුව සඳහා තායිලන්තයේ ප්‍රධාන පෙළේ ආයෝජකයින් හා සමාගම් ප්‍රධානීන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

ජනපති තායිලන්ත රජකුමරිය හමුවෙයි

සිව් දින නිල සංචාරයක් සදහා තායිලන්තයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්ත රජ පවුලේ මහා චක්රි සිරින්දෝරන් රජකුමරිය ස්රා පතුම් මාළිගාවේ දී හමුවී ද්වි පාර්ශ්වීය සාකච්ඡා පැවැත් වූහ.

පැයකට අධික කාලයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තායිලන්ත රජකුමරිය අදහස් හුවමාරු කරගත්හ. දෙරටෙහි ආගමික හා සමාජීය සබඳතාව ශක්තිමත් කර ගැනීමත් දෙරටෙහි මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කිරීම පිළිබඳවත් එහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි.

තායිලන්තයේ සිවු දින නිල සංචාරය නිම කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04දා) රත්‍රියේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

දුමින්ද සංජීව බාලසූරිය තායිලන්තයේ සිට/ ඡායාරෑප සුදත් සිල්වා

 

 

ජනපති තායිලන්ත ව්‍යාපාරිකයන් අමතයි

සංචාරක, සූර්ය බලශක්තිය, සීනි, වාහන අමතර කොටස් (ඔටෝ පාර්ට්ස්), කර්මාන්ත හා බැංකු යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් සිය ආයෝජන සිදුකිරීමට තායිලන්ත රජය හා එරට ව්‍යාපාරික ප්‍රජාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රතිඥා ලබාදුන්හ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තායිලන්ත සංචාරයට සමගාමීව බැංකොක් නුවරදී අද (03දා) පැවැති තායිලන්ත ව්‍යාපාරික සමුළුව සඳහා එක් වූ තායිලන්ත රාජ්‍ය නිලධාරීන් හා ව්‍යාපාරිකයෝ සිය අයෝජන ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට ජනාධිපතිවරයාට එකඟතාව පළකළහ.

මෙම ව්‍යාපාරික සමුළුව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පවතින ද්විත්ව බදු ක්‍රමය අහෝසි කර දෙරට අතර ආයෝජන අවස්ථා වැඩි කිරීමට පියවර ගතයුතු බවයි.

ශ්‍රී ලංකාව තුළ සංචාරක,තාක්ෂණික,සන්නිවේදන,කෘෂිකාර්මික,මැණික් හා බැංකු ක්ෂේත්‍ර සඳහා ආයෝජනය කරන ලෙසටද ජනාධිපතිවරයා මෙම හමුවේදී තායිලන්ත ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව පිළිබඳව සැලකීමේදී රබර්,ඇඟලුම්, සංචාරක,මැණික් ආදී ක්ෂේත්‍ර තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් විවෘතව පවතින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තායිලන්ත ව්‍යාපාරික හමුව ඇමතීමෙන් පසුව සවස් වරුවේදී තායිලන්තයේ අයුත්‍යා ප්‍රදේශයේ විශේෂ සංචාරයකටද ජනපතිවරයා එක් විය.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ථේරවාදී බුදුදහම පිළිබඳව පවතින සබඳතාව ශක්තිමත් කිරීමේ එක් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවෙන් වැඩමකරවන ලද අනුරාධපුර සමාධි බුදුපිළිම වහන්සේගේ අනුරුවක් අයුත්‍යාහි වට් තම්මරම් විහාරස්ථානයේදී නිරාවරණය කිරීමේ උත්සවයක්ද පැවැත්විණි.

බුදුපිළිම වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයෙන් පසු අයුත්‍යාහි පවතින උපාලි මහා නාහිමිපාණන් වහන්සේගේ කෞතුකාගාර, බෙල් කුලුන, ත්‍රිපිටක කුලුන හා පෞරාණික උද්‍යානය නැරඹීමටද ජනාධිපතිවරයා ගියේය.

ජනපතිවරයා හෙට තායිලන්ත රජ පවුල නියෝජනය කරන තායිලන්තයේ මහා චක්‍රි සිරින්දෝරන් රජකුමරිය හමුවීමට නියමිත අතර හෙට රාත්‍රියේදී ෙයළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය.

දුමින්ද සංජීව බාලසූරිය තායිලන්තයේ සිට ඡායාරූප සුදත් සිල්වා 

ජනපති – තායිලන්ත අගමැති සාකච්ඡා පවත්වයි

තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය ත්‍රාත්ත්‍රික සබඳතා සඳහා වසර 60ක් පිරීම නිමිත්තෙන් තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයක් අනුව සිවුදින නිල සංචාරයක් සඳහා තායිලන්තයට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔචා මහතා අතර අද (02දා) තායිලන්තයේදී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.

දේශපාලන, ආර්ථික හා සංස්කෘතික යන අංශ පිළිබඳව වැඩි අවධානයක් යොමුකරමින් මෙම සාකච්ඡා පැවැත්වීය. 

මෙහිදී දෙරට අතර පවතින 60 වසරක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළේය.එමෙන්ම කළාපීය දේශපාලනය හා ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය නායකයන් දෙදෙනා අතර අදහස් හුවමාරු විය.

සාකච්ඡා වලදී ආර්ථික කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ අතර තායිලන්තයේ පෙට්‍රෝලියම් ආයතනය ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත දැක්වීම, තායිලන්තයේ ධීවර අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදීම, දෙරටේ මැණික් කර්මාන්තය දියුණු කිරීමට පියවර ගැනීම පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා විය.

දෙරටේ බෞද්ධාගමික සබඳතා ශක්තිමත් කිරීම සඳහා හුවමාරු වැඩසටහන් හා පුහුණු කිරීම් පිළිබඳව රාජ්‍ය නායකයන් දෙපළ සාකච්ඡා කළේය.

දෙරටේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතා සඳහා 60 වසරක් පිරීම නිමෙත්තෙන් සමරු මුද්දරයක්ද මෙහිදී නිකුත් කරනු ලැබීය. 

දුමින්ද සංජීව බාලසූරිය තායිලන්තයේ සිට