Author Archives: චාමර සම්පත්

පොලිතින් තහනම එලෙසමයි – දඩුවම් දීම ජනවාරියේ සිට

 

පොලිතින් තහනම සැප්තැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වුවද, ඒවෙනුවෙන් දඬුවම් ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

පොලිතින් නිෂ්පාදනකරුවන්ගේ සහ ඒ ආශ්‍රිත රැකියා  සිදුකරන්නන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම පොලිතින් තහනම ක්‍රියාත්මක කිරීමේදී පොලිතින් නිෂ්පාදකයන්,පොලිතින් ඇසුරුම් කරන කර්මාන්තවල නිරතවන්නන් සහ පොලිතින් තොග වෙළෙඳුන් විකල්ප ක්‍රියාමාර්ග වෙත ක්‍රමානුකූලව යොමුකිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත.

ඉවත්කරනකම් ඉවත් නොවූනේ ඇයි?

අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කිරීම ලැජ්ජාවට කරුණක් නම් ජනාධිපතිවරයා අමාත්‍යධුරයෙන් ඉවත් කරන තුරු ඉන් ඉවත් නොවූයේ මන්දැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළේය.

හෙතෙම මෙලෙස ප්‍රශ්න කර සිටියේ, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අද(23දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

විජයදාස මහතාට ලැජ්ජාව දැනුනේ ධුරයෙන් නෙරපු පසුවදැයි අජිත් පී. පෙරේරා මහතා ප්‍රශ්න කර සිටියේය.

එමෙන්ම විජයදාස මහතාට ලැජ්ජාව දැනුනේනම්, එක්සත් ජතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඔහුට එරෙහි යෝජනා ඒකමතිකව සම්මත කරගත් අවස්ථාවේදී ඉල්ලා අස්නොවූයේ මැන්දැයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

බුද්ධ ශාසන ඇමතිධුරය රවීන්ද්‍ර සමරවීරට – ජනපතිගේ තීන්දුව අද

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ අමාත්‍යධුරය සම්බන්ධයෙන් වන තීරණය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (23දා) ගැනීමට නියමිත බව වාර්තා වෙයි. 'අද' වෙබ් අඩවිය ඊයේ වාර්තා කළ ආකාරයටම අධිකරණ අමාත්‍යධුරය විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියට ලබාදීමට නියමිතය.

බුද්ධ ශාසන අමාත්‍යධුරය එජාපයේ රවීන්ද්‍ර සමරවීර මහතාට හිමිවීමට නියමිතය. ඔහු කම්කරු හා වෘත්තීය සබඳතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි. 

ඊයේ (22දා) රාත්‍රිය වන තුරුත් විජේදාස රාජපක්ෂ මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්නොවීය. 

 

බදු පනතට එක්කළ යුතු සංශෝධන සෙවීමට කමිටුවක්

නව දේශීය ආදායම් බදු පනතට එක්කළ යුතු සංශෝධන පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කමිටුවක් පත්කර තිබේ.

එහි සමාජිකයන් ලෙස අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, මනූෂ නානායක්කාර යන මහත්වරුන් පත්කර තිබේ.

අද(23දා) දහවල් 12.00 වනවිට එම වාර්තාව ජනාධිපතිවරයාට බාරදෙන ලෙසද එම කමිටුවට දැනුම්දී ඇත.

 

නාවික හමුදාධිපති ජනාධිපති හමුවේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

 නාවික හමුදාධිපතිතුමන් වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව වයිස් අද්මිරාල් සින්නයියා මහතා, ප්‍රථමයෙන්ම ජනාධිපතිවරයා බැහැ දැකීමට පියවර ගෙන ඇත. 

ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් අභිනව නාවික හමුදාධිපති වෙත සිය සුභාසිංශන එක් කරන ලදී. මෙම පළමු නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සින්නයියා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රධානය කෙරිණි. 

 

ඇමති විජේදාස ගැන තීරණය අද

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතාව එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති අතර, මේ සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය අද (22දා) ක්‍රියාත්මක වීමට බොහෝදුරට ඉඩ තිබේ.

විජේදාස රාජපක්‍ෂ මහතාට ඉල්ලා අස්වීමට ලබාදුන් කාලය අවසන් බැවින්, ඔහු සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නා ලෙස එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඊයේ (21දා) රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදීය.

ඒ සම්බන්ධ තීරණය ගෙන අවසන් බව මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) රාත්‍රී 7.00ට පමණ අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැති අතර, එයට අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා සහභාගි වී නොමැත.

වාර්තා වන අන්දමට පක්‍ෂයේ අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් සහ පක්‍ෂය පිළිබඳ වැඩි වශයෙන් සැලකිලිමත් විය යුතු බවත්, විජේදාස රාජපක්‍ෂ මහතාට ලබාදුන් කාලය අවසන් බැවින් වහාම මේ පිළිබඳ තීන්දුවක් ගත යුතු බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම හමුවේදී ප්‍රථමයෙන්ම පවසා තිබේ.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසා ඇත්තේ විජේදාස රාපක්‍ෂ මහතාගේ අරමුණ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයෙකු වීම බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් සූදානම් වී ඇති අතර, විවිධ වෙබ් අඩවි සකසා පක්‍ෂයට මඩ ගසා ඇති බවත්ය.

පක්‍ෂය පිළිබඳ කල්පනා කරමින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවද හෙතෙම පවසා තිබේ.

තීරණයක් ගැනීමට දුන් කාලයේදී රාජපක්‍ෂ මහතා කළ ප්‍රකාශවලින් පක්‍ෂයට හානි සිදුවන බවද මරික්කාර් මහතා පවසා ඇත.

පසුව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනෙකුද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

ඉන්පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරය එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍ය ධුරයක් වන අතර, මේ සම්න්ධයෙන් තීරණයක් ගැනීමට අයිතිය එක්සත් ජාතික පෙරමුණට ඇති බවයි. අන් අයට ඒ පිළිබඳ තීරණය කළ නොහැකි බවද හෙතෙම පවසා ඇත.

ඒ අනුව විජේදාස රාජපක්‍ෂ මහතා සම්බන්ධ තීරණය බොහෝදුරට අද (22දා) දිනයේදී ක්‍රියාත්මක වීමට නියමිතය.

එමෙන්ම මෙවර පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත පළාත් පාලන මැතිවරණ සංශෝධන කෙටුම්පත පිළිබඳ පසුව සාකච්ඡා වී තිබේ.

පළාත් පාලන සංශෝධන කෙටුම්පතේ විවාදය 24 දා

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ දෙවැනි වර කියවීමේ විවාදය (24 දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

නව මැතිවරණ ක්‍රමයට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් මෙම සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත්කර තිබේ.

ඒ අනුව 24 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු සැසිවාරයේදී මෙම පනත් කෙටුම්පත දීර්ඝ වශයෙන් විවාද කර සම්මත කරගැනීමට නියමිතය.

වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතිගත නම් විරුද්ධ නැහැ

ප්‍රමීතීන්ට අනුගතවෙමින් පෞද්ගලික අධ්‍යාපනය ලබාදීමේ ආයතන කටයුතු කරන්නේනම් ඒ සඳහා කිසිවකු විරුද්ධ නොවන බවත් වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන්ද එය එසේම වන බවත් මනෝවෛද්‍ය විද්‍යා පර්යේෂණ ආයතනයේ අධ්‍යන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය දර්ශන පෙරේරා මහතා පැවසීය.

වෘත්තීමය ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් පෞද්ගලික අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්නේනම් එහිදී රජය සමග හෝ කිසිවකු විරුද්ධ නොවනු ඇති බවත් හෙමතෙම කීවේය. මාළමේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරේරා මහතා මේබව පැවසුයේ අද(21දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

විජේදාස එපා – ජයම්පති ඕනෑ

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කර නව අධිකරණ අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පත්කරන ලෙස එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට දැනුම්දී ඇති බවට 'අද'ට වාර්තාවේ.

ඒ අනුව නව අධිකරණ අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පත්කිරීමට සූදානම් පවතින බවද 'අදට' වාර්තා විය.

අධිකරණ අමාත්‍ය ධුරය දරන විජේදාස රාජපක්ෂ මහතා අද (21දා) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඉල්ලා අස්වීමට නියමිත  බව වාර්තාවන අතර, එසේ වුවද පසුගිය සෙනසුරාදා (19දා) අනුරාධපුරයේදී පැවැති උත්සවයකදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පැවසුවේ, තමා ඉල්ලා අස්නොවන බවයි.

මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එල්ලවන චෝදනා සහ නව අධිකරණ අමාත්‍යවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ පිරිසක්, ආණ්ඩු පක්ෂයේ නිතීඥයන් සහ ඇමති රාජිත සේනාරත්න මහතා අතර සාකච්ඡාවක් පසුගිය සිකුරාදා (18දා) රාත්‍රියේ පවත්වා ඇති අතර, එහිදී මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.

ඒ අනුව නව අධිකරණ අමාත්‍යවරයා ලෙස අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.

කෙසේ හෝ අවසානයේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස පත්කිරීමට එහි බහුතරය එකඟවී ඇති බවද වාර්තා වේ.

ලංකා සම සමාජ පක්ෂයේ සාමාජිකයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණියේය.

නව අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට සූදානම්දැයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් %අද^ කළ විමසීමකදී හෙතෙම පැවසුවේ, ආණ්ඩු ප්‍රධානීන් එවැනි ඉල්ලීමක් කළහොත් සලකා බලන බවයි.

අධිකරණ අමාත්‍ය ධුරයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් සිය නම යෝජනා කර ඇති බව පමණක් තමා දන්නා බවත්, වෙනත් කිසිවක් සිදුවී නොමැති බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේය.

කෙසේ හෝ ආණ්ඩුවේ ප්‍රධානීන් එවැනි ඉල්ලීමක් කළහොත් තමා නියෝජනය කරන සම සමාජ පක්ෂයේ මතයද විමසා ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවද වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

&අධිකරණ අමාත්‍ය ධුරය මට ලබා දෙනවා කියල කවුරුත් කියල නැහැ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මගේ නමත් යෝජනාකර තිබෙනවා කියල නම් මම දැනුවත්. ඒ හැරුණාම වෙන කිසිම දෙයක් සිදුවෙලා නැහැ.

අමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළොත් අපේ පක්ෂයේ තීරණය අනුව සුදුසු තීරණයක් ගන්නවා* යැයි ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ඉල්ලා අස්වීමට තීරණය කර ඇතිද යන්න පිළිබඳව විමසීමට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

 

 

 

 

 

පැණිබීම සඳහා බදු වැඩිකරයි?

පැණිබීම සඳහා බදු වැඩිකරීමේ යෝජනාවලියක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට භාරදී තිබේ.

මෙම යෝජනාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රසීයා (DrRaziaPendse )මහත්මියඇතුළු කණ්ඩායම විසින් සකස්කර ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීම මත පැණි බීම වර්ග සඳහා බදු වැඩි කිරීමේ යෝජනාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකස්කර ඇත.

මෙම යෝජනාවලිය භාරගැනීමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  පැවසුවේලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකස් කළ මෙම බදු යෝජනාවලිය ඉදිරියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.