Author Archives: බුද්ධිමාල් රුබේරු

PTL අවස්ථා 45000කදී මුදල් ගෙවලා

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අවස්ථා 45,000කදී පමණ රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදී ඇතැයි මේ පිළිබඳ විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් හෙළිකර ගෙන ඇතැයි වාර්තා වේ.

මෙලෙස විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට මුදල් ලබාදීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගම් සමූහයේ සහෝදර සමාගම් වන 'ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්', සහ 'වොල්ට් ඇන්ඩ් රෝ’ යන සමාගම්ද යොදා ගෙන ඇති බවට හෙළි කර ගෙන ඇති රහස් පොලිස් නිලධාරීන්, විවිධාකාර පුද්ගලයන්ට එලෙස මුදල් ලබාදී තිබුණද, එම චෙක්පත් මාරු කරගෙන ඇත්තේ වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් බවද හෙළි කර ගෙන ඇතැයි වාර්තා වෙයි.

එලෙස මුදල් ලබාදී ඇති පුද්ගලයන් පිළිබඳ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලේඛනවල සටහන් තබා ඇති බවත්, එලෙස තබා ඇති ඇතැම් සටහන්වල විවිධාකාර පුද්ගලයන්ගේ නාමයන් ඉංග්‍රීසි කෙටි අක්‍ෂරවලින් (මුලකුරු) තබා තිබීම හේතුවෙන් නිශ්චිත පුද්ගලයන් කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බවද වාර්තා වේ.

download

 

විදුලිය හොරෙන් ගත් ව්‍යාපාරිකයාට ලක්ෂ 16ක දඩ

කොළඹ කුරුඳුවත්තේ සිය නිවසට විදුලිය හොරෙන් ලබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුට රුපියල් 10,000ක දඩයක් නියම කළ මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විදුලිය හොරෙන් ලබාගැනීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ රුපියල් ලක්‍ෂ 16කට අධික පාඩුව ගෙවීමට විත්තිකරුට අද (12දා) නියම කළාය.

වායු සමීකරණ යන්ත්‍ර හතක් සහ වතුර උණුකරන යන්ත්‍ර තුනක් ඇති විත්තිකරුගේ නිවසේ විදුලි බිල වශයෙන් පසුගිය වසර ගණනාවක කාලයක් ගෙවා ඇත්තේ රුපියල් 2,000ක පමණ බිලක් බවත්, ඉන් ලංකා විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවී ඇති බවත් කියමින් ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ යසන්ත පෙරේරා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ පාඩුව වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 16ක මුදල කොටස් තුනකින් ගෙවීමට විත්තිකරුට අවසර දෙන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිලක් අත්තනායක මහතා ඉල්ලා සිටියද, ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ යසන්ත පෙරේරා මහතා ඊට විරුද්ධත්වය පළ කරමින් ද්විත්ව පුරවැසිභාවය හිමි මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු වන විත්තිකරු මෙම නිවස විකුණා දමා රටින් පිටව යෑමට හැකියාව ඇතැයි කියමින් ඉදිරිපත් කළ කරුණු පිළගත් මහේස්ත්‍රාත්වරිය ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ රුපියල් 1,606,487.26ක පාඩුව වහාම ගෙවීමට විත්තිකරුට නියම කළාය.

law

 

PTL රාජ්‍ය ඇමතිට මිලියන 03ක් දීලා

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස්  සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් එක්තරා ඇමතිවරයකුට දුන් රුපියල් මිලියනය බැගින් වටිනා චෙක්පත් තුනක් එම මන්ත‍්‍රීවරයාගේ අනුදැනුම මත ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා මගින් ඇමතිවරයාට දී ඇති බව අද (07දා) අධිකරණයට වාර්තා කෙරිණි.  

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස්  සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් එක්තරා ඇමතිවරයකුට දුන් රුපියල් මිලියනය බැගින් වටිනා චෙක්පත් තුනක් එම මන්ත‍්‍රීවරයාගේ අනුදැනුම මත ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා විසින් බැංකුවකින් මාරු කොට රුපියල් ලක්‍ෂ 30ක මුදලක් ඇමතිවරයාට දුන් බව එම ආරක්‍ෂක නිලධාරීවරයා රහස් පොලීසියට පවසා ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට අද  (07දා) දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවල ප‍්‍රගතිය දැනුම් දෙමින් රහස් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මෙලෙස මුදල් ලබාදී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට බව සඳහන් කොට ඇත.

law

 

 

බැසිල්ට එරෙහි දිවිනැගුම නඩුව නොවැම්බර් තෙක් කල් යයි

දිවිනැඟුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බේදා දීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු මුදලින් රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතා ඇතුළු  විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන නොවැම්බර් මාසයට කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (06දා)  නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියොජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන් දෙදෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කිරීමටද නියම කළේය.

පසුගිය ජනාධිපතිවරයට ආසන්න සමය වන 2015 නොවැම්බර් මාසයේදී දිවිනැඟුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බේදා දීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තුමේන්තු මුදලින් රුපියල් මිලියන 29.91ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම සහ රජයේ මුදල් අවභාවිතා කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

 

basil

විල්පත්තුව ගැන ඇමති බදියුදීන්ට එරෙහි පෙත්සමේ තීන්දුව සැප් 28දා

ජනතාව පදිංචි කරන මුවාවෙන් විල්පත්තු වනාන්තරය විනාශ කරන බවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කොට ඇති පෙත්සම සම්බන්ධයෙන් වූ තීන්දුව ලබන සැප්තැම්බර් 28 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (05දා)දැනුම් දුන්නේය.

මෙම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේය.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ජනතාව පදිංචි කරන මුවාවෙන් විල්පත්තු වනාන්කරය එළි පෙහෙළි කොට එය විනාශ කරන බව සඳහන් කොට තිබිණි.

law

 

නිවෙස් හිමිකාරිය ඝාතනය කළ මෙහෙකාරිය පෝරකයට

නිවෙස් හිමිකාරිය මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ නිවසේ මෙහෙකාරියට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (05දා)මරණ දඬුවම නියම කළේය.

මීට වසර 23කට ඉහත සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් වරදකාරිය වී මරණ දඬුවම නියම වී සිටියදී හොර රහසේ විදේශගතව සිට ආපසු ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවටගත් මුත්තුසාමි සරස්වතී නමැති කාන්තාවටය.

1995 මැයි මස 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කිරුලපන ප්‍රදේශයේදී කුසුම්සිරි අමරාවතී නමැත්තියගේ මරණය සිදුකළ බවට විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

law

 

මහාධිකරණ විනිසුරු අධිකරණ ශාලා හතක් ආවරණය කරයි

විනිසුරුවරුන්ගේ වැඩමුළුවකට කොළඹ මහාධිකරණයේ රාජකාරියේ නියුතු විනිසුරුවරුන් හත්දෙනාගෙන් හයදෙනෙකුම සහභාගි වීම නිසා කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා මහාධිකරණ ශාලා හතේම නඩු කටයුතු අද (28දා) ආවරණය කළේය.

කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා මුලින්ම එකින් එක මහාධිකරණ ශාලාවට ගොස් එම මහාධිකරණ ශාලා හයේ නඩු කටයුතු ආවරණය කිරීමෙන් අනතුරුව අවසානයේ මහාධිකරණයේ ප්‍රධාන ශාලාවට පැමිණ එහි නඩු විභාග කිරීම ආරම්භ කළේය.

මහාධිකරණ විනිසුරුවරයෙකු එකින් එක උසාවි ශාලාවට ගොස් නඩු කටයුතු විමසූ ප්‍රථම අවස්ථාව මෙය වන බවද අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළේය.

Law

 

රජයේ වනාන්තරයක අක්කර 9998ක් හොර ඔප්පු සාදා විකිණීමේ ජාවාරමක් හෙළිවේ

රජෙකුගෙන් තම මුතුන් මිත්තන්ට ‘සන්නසකින්’ ලැබුණු බව කියමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රජයේ වනාන්තරයක අක්කර 9998ක් ව්‍යාජ පිඹුරුපත් හා ඔප්පු සකස් කොට වෙනත් පුද්ගලයන්ට විකීණීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ තොරතුරු වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිසා වන නිලධාරීන් විසින් හෙළි කරගෙන තිබේ.

දේශපාලනඥයන්, හිමිවරුන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පු මත රජයේ වනාන්තරයේ අක්කර 10 සිට අක්කර 2000 දක්වා බිම් කොටස්කර විකුණමින් හා දීර්ඝකාලීනව බදු දී ඇතැයි අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා විසින් සිදුකළ මූලික පරීක්‍ෂණවලදී හෙළි කරගෙන ඇත.

රජයේ කැලෑව දේශපාලනඥයන්ට විකුණන බවට අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතාට ලැබුණු තොරතුරකට අනුව රහසිගතව සිදුකළ විමර්ශනයකදී සැකකරුට හෝ ඔහුගේ පරම්පරාවට කිසිදු හිමිකමක් නැති රජයේ කැලෑව සැකකරු විසින් ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පු මගින් විකුණා ඇති බව හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.

බලයලත් මිනින්දෝරුවෙකු 1974 වර්ෂයේදී පිළියෙල කළ බව කියන පිඹුරක් උපයෝගී කර ගනිමින් නැවත නැවත එම පිඹුරට අයත් බිම් කොටස් කර අලුතින් සකස්කරන පිඹුරු ඉදිරිපත් කරමින් සැකකරු විසින් විවිධ කණ්ඩායම් මෙම ජාවාරම සඳහා පොළඹවාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පැවසූ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්, මෙම දේපළෙහි දැනට සිටින එකම හිමිකරු තමා බව ප්‍ර‍කාශ කරමින් සැකකරු නීතිඥයන් මගින් පැටිකිරි වාර්තා කිහිපයක් සකස්කරවාගෙන ඇති බවද වාර්තා වී ඇතැයි පැවසීය.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිළියෙල කළ කැලෑ මැනුම් මූලික පිඹුරකට අයත් වන බිම් ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් මෙම කූට සැලැස්ම ක්‍රියාවට නගා ඇති බවද, සමහරක් රාජ්‍ය නිලධාරීන්ගේ වක්‍ර‍ සහයෝගය මත මෙම ජාවාරම සැකකරු විසින් පවත්වාගෙන ගොස් ඇති බවද මුලික පරීක්ෂණයේදී අනාවරණය කරගැනීමට හැකිවී ඇතැයි පැවසූ එම නිලධාරියා, මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිළියෙල කළ කැලෑ මැනුම් මූලික පිඹුරකට අනුව මෙම කැලෑව තුළ අක්කර 105ක පුද්ගලික ඉඩම් ඇති බවත්, එසේ තිබියදී එම බිම් කට්ටි එකකට හෝ නිසි හිමිකමක් නොලැබූ තැනැත්තෙකු එම බිම් කට්ටිද, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව භාරයේ පවතින බිම් කට්ටිද, ඊට අමතරව වන සංරක්ෂණ ආඥා පනත යටතේ රජයේ වනාන්තර ලෙස ගැනෙන ගණ කැලෑ සහිත විශාල ප්‍රදේශයක්ද ඇතුළත් වන සේ අක්කර 9998ක එකම හිමිකරු තමා ලෙස දක්වමින් ව්‍යාජ පිඹුරු හා ලේඛන මත හිමිකම් ඉදිරිපත් කොට ඇතැයිද පැවසීය.

වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ, අතිරේක වන සංරක්ෂක ජනරාල් ලාල් අබේගුණසේකර, වන සංරක්ෂක නන්ද කුමාර හා නියෝජ්‍ය වන සංරක්ෂක සුමිත්‍ර ගුණතිලක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතාගේ මෙහෙයවීම යටතේ සහකාර දිසා වන නිලධාරී උපුල් හෙට්ටිආරච්චි, අඩවි වන නිලධාරී චන්දිම කුමාර ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

ANAUOLANDAWA.2

 

මිලියන 20ක් අල්ලස් ගත් මහානාම හා දිසානායක යළි රිමාන්ඩ්

කන්තලේ සීනි සමාගමට අයත් ගොඩනැගිලි හා යන්ත්‍ර උපකරණ පවරා දීම සඳහා ඉන්දීය ජාතිකයකුගෙන් රුපියල් මිලියන 100ක අල්ලස් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ගනිද්දී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ සභාපති ජුනි 05 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (22) නියම කළේය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවත් ඉන්දීය ජාතිකයා සමඟ කතා කළේ මෙම විත්තිකරුවන්ම ද යන්න සනාථ කිරීමට ඔවුන්ගේ හඬපට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර  පරික්ෂණ සිදුකරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා  ඔවුන් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන මහත්වරු මෙලෙස රිමාන්ඩ් ගත කෙරිණි.

ares

 

ලෙස්ටර්ගේ රණ මයුර පදක්කම ඥාතීන්ට බාර දෙන්න නියෝගයක්

image_1525271748-a31a239eedප්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ ආගමික වතාවත් කරන අතුරතුරදී සොරා ගන්නා ලදැයි කියන ඔහුට අයත් ‘යාවජීව රණමයුර සම්මානය’ ජේම්ස් පීරිස් මහතාගේ ඥාතීන්ට බාරදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා බම්බලපිටිය පොලීසියට ඊයේ (21දා)නියෝග කළේය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අයත් ‘යාවජීව රණමයුර සම්මානය’ මේ වන විට නඩු භාණ්ඩයක් වී ඇති බැවින් එහි ඡායාරූප ගැනීමෙන් අනතුරුව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඥාති දියණියක වූ ගයත්‍රී කුමුදිණී මහත්මියට බාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

‘යාවජීව රණමයුර සම්මානය’ සමගම සොරකම් කරන ලද ඇපල් වර්ගයේ ජංගම දුරකථනය මිලදී ගත් බව පැවසෙන ගුරුසාමි ශ්‍යාමලන් නමැත්තා රුපියල් ලක්‍ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, සෙසු සැකකරුවන් ලබන 04 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළේය.