Author Archives: අම්ත් මධුරංග

ආණ්ඩුව සමාජ මාධ්‍ය තහනම් කිරීමට උපදෙස් ගනිමින් සිටිනවා – ඩලස්

ආණ්ඩුව සමාජ මාධ්‍ය තහනම් කිරීමට නීති උපදෙස් ගනිමින් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ප්‍රසිද්ධ මාධ්‍යවලට පනවා තිබෙන සීමාවන් හේතුවෙන් පළකළ නොහැකි වත්මන් ආණ්ඩුවේ දුර්වලකම් සමාජ මධ්‍යවලින් හෙළිදරව් කිරීම නිසා ආණ්ඩුවට සමාජ මාධ්‍ය ගැටලුවක් වී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් ඉදිරියේදී සමාජ මාධ්‍යවලට සීමාවන් පැනවීම සඳහා ආණ්ඩුවේ සැලැස්මක් තිබෙන බවත්, මේ සම්බන්ධව නීතිමය තත්ත්වය විමසා තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

dullas-alahapperuma

ගැටලු තිබෙන තැන්පතුකරුවන්ට සහනයක්

මේ වනවිට ගැටලුවකට මුහුණ දී තිබෙන මූල්‍ය ආයතනවල තැන්පතුකරුවන්ට සහනයක් සැලසීමට සූදානම් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

මේ අතර මෙම මස 22 වැනිදා ශුද්‍ර මූල්‍ය සමාගම්වලට විශේෂ සහනයක් ප්‍රකාශයට පත් කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.

රුපියල් 150000කට අඩු ශුද්‍ර මූල්‍ය සමාගම්වලින් ණය ලබාගත් අයගේ ණය පොලිය කපා හැර රජය එම මුදල දරාගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම මස අවසන්වන වනවිට ලංකාවේ ඕනෑම කාන්තාවකට මෙම ණය ක්‍රමය යටතේ සහන ලබාදෙන බවද සමරවීර මහතා පැවසීය.

ලබන සතිය ඇතුළතදී නැවත මේ සම්බන්ධව  සාකච්ඡා කරන බවද හෙතෙම පවසා සිටියේය.

Mangala-01

පවුලකට රු 2500කින් ජීවත්විය හැකි බව කිව්වේ නෑ

පවුලකට රුපියල් 2500කින් මාසයක් ජීවත් වියහැකි යැයි තමා කිසිම අවස්ථාවකදී කියා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.

මහපොළ දීමනාවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට මාසයක් ජීවත්විය හැකි යැයි තමන් සිදුකළ ප්‍රකාශයක් උපුටා ගෙන මඩ ගැසීමේ අදහසින් පවුලකට රුපියල් 2500කින් ජීවත් විය හැකි යැයි ප්‍රචාරය කර තිබෙන බව මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී සඳහන් කළේ බන්දුල ගුණවර්ධන මහතා ආණ්ඩුවේ සිටියදී කියූ ප්‍රකාශ විපක්ෂයට යන විට වෙනස් වන බවයි. ආණ්ඩුවේ සිට විපක්ෂයට මාරුවීම පමණක් මෙහිදී සිදුව තිබෙන බවද ඔහු පැවසීය.

bandula-00

ජනාධිපති ලේකම් පාර්ලිමේන්තුවට කැඳවන්න – අනුර

ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවා බැඳුම්කර වාර්තාවේ හෙළි නොකළ පිටුවල අඩංගු කරුණු පිළිබඳව මන්ත්‍රීවරුන්ට විමසීමට අවස්ථාව ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් අද (07දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

අර්ජුන් ඇලෝසියස් සමග චෙක් ගනුදෙනු කළ 118 දෙනෙකුට අමතරව 166 දෙනෙකු සම්බන්ධව මේ වන විට වාර්තා පළවෙමින් තිබෙන බැවින් ඒ ගැන විමසීමට සුදුසුම පුද්ගලයා ජනාධිපති ලේකම්වරයා බවද දිසානායක මහතා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ ජනාධිපති ලේකම්වරයා සෑම විටම තමාට සහය ලබාදුන් බවත්, ඔහු බැඳුම්කර  වාර්තාවේ පිටු සඟවාගෙන සිටිනු ඇතැයි තමන් පෞද්ගලිකව විශ්වාස නොකරන බවත්ය.

Anura-Kumara

 

 

බැඳුම්කර වාර්තාවේ මුදල් ගැනීම් ගැන සඳහනක් නෑ – කථානායක

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය මගින් කරනු ලබන ‍වාර්තා සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා අද (07දා) විශේෂ ප්‍රකාශයක් කළේය.

ඒ එම වාර්තාවේ මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් පිළිබඳ සඳහනක් නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

කථානායකවරයාගේ විශේෂ ප්‍රකාශය පහත පරිදි වෙයි.

“බැඳුම්කර වාර්තා අරමුණු කර ගනිමින් පාර්ලිමේන්තුව තුළත්, පිටස්තරවත් ප්‍රකාශ වූ ඇතැම්  කරුණු හා වාර්තා ගැන කථානායකවරයා වශයෙන් පැහැදිලි කිරීමක් වහා කළ යුතු බව මාගේ හැඟීමයි.

අසත්‍ය, ගොතන ලද සමහර විට ද්වේශ සහගතව ප්‍රකාශ වූ හා ප්‍රකාශ වෙන විවිධ අදහස් නිසා සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්, පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයටත් විශාල කැලලක් ඇති වී තිබෙන බව සඳහන් කරන්නේ බලවත් සංවේගයෙනි.

කවුරුන් හෝ ගොතන ලද අල්ලස් ගත් මන්ත්‍රීන් 118 වෙනුවට එය 166 දක්වා වැඩි කර ‍ඉන් නොනැවතී සිවිල් සමාජයේ පිළිගත් චරිත කිහිපයකටද අසාධාරණ ලෙස පරිභව කරමින් සීමාවක් නෙමැතිව කෙරෙන මෙම පදනම් විරහිත චෝදනා නවතන ලෙස පිළිගත් මාධ්‍යයද ඇතුළුව සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

බැඳුම්කර වාර්තාවලට ඇතුළත් විය යුතු සියලු අදාළ ලිපිලේඛන සියල්ල මා වෙත කඩිනමින්  ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති අතර, ඔහු දිවයිනට පැමිණි විගසම නීතිපතිවරයාගේ හා පොලිස්පතිගේ සහයෝගයෙන් අදාළ සියලු ලියකියවිලි පාර්ලිමේන්තුවට ලැබෙනු ඇත.

මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැයිස්තුවක් නොපවතින බවට ඊට වගකිව යුතු සියලු අංශ විසින් මා දැනුවත් කර ඇත. ‍එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂක නිලධාරීන් 25 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බවට පැතිරුණ ආරංචියද සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවට පොලීසිය මා වෙත දන්වා ඇත.

අම්පාරේදී වඳ බෙහෙත් මිශ්‍ර කළ අල හොද්දක් ගැන ඇති වූ බොරු ප්‍රචාරයෙන් රට ගිනි ගත් ආකාරය අප සිහි කරන්නේ දැඩි කනගාටුවෙන්. දැන් ඇති වී තිබෙන තත්ත්වයද රටට ඉතා අහිතකර බව පෙන්වා දීමට කැමැත්තෙමි. ඊයේ සිට සමහර මන්ත්‍රීන් දිවුරුම් පෙත්සම් දීමටත්, සමහර මන්ත්‍රීවරුන්ට මාධ්‍ය හරහා ගොස් මුදල් ලබා නොගත් බවට සහතික කිරීමත් අනවශ්‍ය හා සාවද්‍ය ක්‍රියාවක් ලෙස විශාල ජනමතයක් රටේ ගොඩ නැගෙනමින් පවතී. කවුරුන් මොනවා කීවත් අප අවනත විය යුත්තේ අපගේ හෘද සාක්ෂියට පමණි.

බැඳුම්කර පිළිබඳ විමර්ශනවලදී මෙවැනි සිද්ධි වාර්තා වුවහොත් අවශ්‍ය පියවර වහාම ගන්නා බවට පොලීසිය අපට දන්වා ඇත. එම නිසා මෙම අවස්ථාවේදී බුද්ධිමත්ව හා වගකීමෙන් ක්‍රියා කරන ලෙස සියලු පාර්ශ්වවලටත්, මාධ්‍යයටත් මා ආයාචනා කරමි.”

Karu-Jayasuriya-

සෑම දරු ප්‍රසූතියකටම එකම සූතිකාධාර නිවාඩුවක්

කාන්තාවන්ට සූතිකාධාර නිවාඩුව සියලුම දරුවන්ට ප්‍රතිලාභ ලැබෙන පරිදි සූතකාධාර පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊයේ (06දා) ලැබුණි.

 උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

එම යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ මලික් සමරවික්‍රම මහතා,

“කාන්තාවන්ට සූතිකාධාර ප්‍රතිලාභ ලබාදී තිබුණත් ඒවායේ පවතින විෂමතා නිසා ගැටලු ඇතිවි තිබෙනවා. ඒ නිසා ජාත්‍යන්තර ප්‍රතිපත්ති අනුව අපි කටයුතු කරනවා. මෙතෙක් එම ප්‍රතිලාභ ලැබුණේ දරුවන් සංඛාවය අනුවයි.

සති 12ක ප්‍රසුත නිවාඩුව දරුවන් දෙකකට සීමා වුණා. තුන්වන හෝ ඊට වඩා දරුවන් ලැබූ අවස්ථාවල නිවාඩුව ලැබෙන්නේ ඉන් අඩක් පමණයි. නමුත් සියලුම දරුවන්ට සමානව සලකා සියලුම දරුවන්ට ප්‍රතිලාබ ලැබෙන පරිදි පනත සංශෝධනය කරනවා. හිටපු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා මේ වෙනුවෙන් කැපවී තිබුණා.

රජයේ නිවාඩු හා සෙසු නිවාඩු හැර දින 84ක් ලබාදෙනවා. දරු උපතකින්  පසුව සති 10ක කාලකින් පසුව වුවත් නිවාඩු ලබාගැනීමේ අවස්ථාව හිමිවෙනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධාන පනත අනුව ප්‍රසුත නිවාඩු කාලය තුළ වැටුප් වේතන ලබාදිය යුතුයි. එම අයිතිය සෑම කාන්තාවකටම හිමිවිය යුතුයි. කාන්තාවන් සේවයේ යොදවා ඇති සේවා යෝජකයින් ඒ අනුව කටයුතු කළ යුතුයි.

ගර්භිණී කාලය තුළ කාන්තාවන්ට රක්ෂණාවරණයක් ලබාදීම සඳහා අප අමාත්‍යාංශය කටයුතු කරගෙන යනවා. රජය ඉදිරියෙදී ඒ සඳහා සුදුසු අරමුදලක් ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. සූතිකාධාර පනතෙහි දිගුකලක් තිස්සේ පැවති මේ වැරදි දෙක අපි නිවැරදි කරනවා.”යනුවෙන් පවසා සිටියේය.

Malik-Samarawickrama

 

 

අමිල හිමි, සමන් රත්නප්‍රිය, වියන්ගොඩ, සමනලී, ධර්මසිරි PTL මුදල් ගත් අය අතර

බැදුම්කර වාර්තාවේ දැනට ප්‍රසිද්ධ කර නැති පිටුවල දඹර අමිල හිමි,සමන් රත්නප්‍රි,ගාමිණි වියන්ගොඩ,ධර්මසිරි බණ්ඩාරනායක,සමනලී ෆොන්සේකා යන අයගේ නම් සඳහන්ව ඇතැයි  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය.

පසුගිය කාලයේදී සාධාරණ සමාජයක් සඳහා පෙනී සිටි මෙම පුද්ගලයන් අර්ජුන් ඇලෝසියස් සමඟ ගණුදෙනු කර  තිබෙන ආකාරය ඉන් පැහැදිලි වන බවත්,කොමිසන් සභා වාර්තාවේ පිටු සමාජයට මුදාහැරිවිට මොවුන්ගේ සැබෑ ස්වභවය හෙළිවනු ඇති බවත්  මන්ත්‍රිවරයා සඳහන් කළේය.

කථානායකවරයා මෙම තොරතුරු සඟවාගෙන සිටිම ගැටලුවක් බවත්,ජනතාවට සත්‍ය දැනගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවත් හෙතෙම කීවේය.

Ranjith-zoysa

සෙවණගල හා පැලවත්ත විකිණීමක් නෑ

සෙවණගල හා පැල්වත්ත සීනි සමාගම් පුද්ගලික අංශයට පැවරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (06දා) පැවසීය.

 අදාළ සමාගම්වල සේවකයන් අරඹා තිබුණු වර්ජනය අවසන් කිරීමට ඊයේ දිනයේදී තමා හමු වූ වෘත්තීය සමිති එකඟ වූ බවද සභානායකවරයා සඳහන් කළේය.

එම සමාගම්වල මුදල් අස්ථානගතවීමක් සිදුව තිබේන ම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බවත්, සීනි සමාගම් පුද්ගලික අංශයට  පැවරීමේ සූදානමක් ඇතැයි පැවසීම දේශපාලන සටන් පාඨයක් පමණක් බවද වැඩිදුරටත් පවසා සිටියේය.

Lakshman-Kiriella

 

ගෝඨාගෙන් බන්දුලට ඇමතිකමක් නොලැබේවි – අගමැති

බන්දුල ගුණවර්ධන මහතා සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට විරුද්ධව කතා කිරීමට ගිය හොත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට ඇමති ධුරයක් ලබා නොදෙනු ඇතැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සිංගප්පූරුවේ වෘත්තියකයන් මෙරටට ගෙනඒමට හෝ මෙරට වෘත්තිකයන් එරටට ගෙනයෑමට සිංගප්පූරුවට අවශ්‍ය නැති බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී චීන කම්කරුවන් හා ඉංජිනේරුවන් , බංග්ලාදේශ කම්කරුවන් මෙරටට පැමිණ සිටි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී  ඔහු මේ බව පවසා සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

 “පෝට් සිටි එක සින්නකරව දෙන කොට, හම්බන්තොට දෙනකොට, ෂැංග්‍රිලා එක සින්නක්කරව දෙන කොට පසුගිය ආණ්ඩුව අපිට කිව්වේ නැහැ. ඔබතුමන්ලාගේ අලුත් ප්‍රතිපත්තිය ෂැංග්‍රිලා එකේදී කිව්වා. චීනය මොකවත් කරගෙන යන්නේ නැහැ. ඔබතුමන්ලාගේ අලුත් ප්‍රතිපත්තිය විපත් මගේදී කිව්වා. ඔහොම කතා කළොත් ගෝඨාභය රාජපක්ෂ ඔබතුමාට ඇමතිකමක්වත් දෙන්නේ නැහැ.”යනුවෙන් පවසා සිටියේය.

download

පළාත් සභා මැතිවරණ සියල්ලම එකම දිනයකදී

පළාත් සභා මැතිවරණ සියල්ලම එකම දිනයකදී පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇතැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ අනුව දැනට විසුරුවා තිබෙන පළාත් සභා හා මෙන්ම විසුරුවාහැරීමට තිබෙන පළාත් සභා සියල්ලේම මැතිවරණ එකම දිනකදී පැවැත්වීමට හැකියාව තිබෙන බවද හෙතෙම කීය.

ඉදිරි පාර්ලිමේන්තු සතියේදී පක්ෂ නායකයින් සමඟ මේ පිළීබඳව සාකච්ඡා කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවද අග්‍රමාත්‍යවරයා අද (06දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Ranil-02