Author Archives: අම්ත් මධුරංග

දානයවත් නැති විහාරස්ථාන 1940

ස්වාමීන් වහන්සේලාට දානය නොලැබෙන, සංඝාවාසයක් හා වැසිකිළි පහසුකම් ඇතුළුව විහාරස්ථානයකට අවශ්‍ය මූලික පහසුකම් නොමැති විහාරස්ථාන 1940ක් ලංකාව පුරා පිහිටා ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වී තිබේ.

විහාරස්ථානයකට අවශ්‍ය සියලුම අංගවලින් සමන්විත, දේශීය හා ජාත්‍යන්තර ආධාර ලැබෙන විහාරස්ථාන 3406ක්ද, එයට මදක් අඩු පහසුකම් සහිත විහාරස්ථාන 2317ක්ද, දානය කලාතුරකින් ලැබෙන, විහාරස්ථානයකට අවශ්‍ය අංග ප්‍රමාණවත් පරිදි පිහිටා නැති විහාරස්ථාන 2469ක්ද පිහිටා තිබෙව බව එහිදී අනාවරණය වී ඇත.

බුද්ධ ශාසන අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතනවලින් විහාරස්ථාන සඳහා වෙන්වන මුදල් බොහෝ විට එකම විහාරස්ථාන කාණ්ඩයකට ලබාදෙන බවට පෙනී ගොස් තිබෙන බැවින් එම මුදල් ප්‍රමුඛතාව පරිදි බෙදීයන ලෙස කටයුතු කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

වසර තුනක සැලැස්මකට අනුව විහාරස්ථාන දියුණු කිරීමට මෙමගින් සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

Temple-exploring-in-sri-lanka-feature

 

පොහොට්ටුවේ අය කෙටවීමට හදනවා – බැසිල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙටවීමට හා එකිනෙකා ඈත් කරවීමට යම්යම් කොටස් ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (19දා) පැවසීය.

එම භේද කිරීම්වලට යටත් නොවී නිහතමානීව, සමගිව ජනතාවට සේවය කිරීමට සැලසුම් කර තිබෙන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

“අපේ පක්ෂය ලංකාවේ තියෙන ප්‍රබලම පක්ෂය වෙලා තියෙනවා. මහජන නියෝජිතයන් වැඩියෙන්ම ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. අවුරුදු එකහමාරක් වැනි කාලයකදී අපේ පක්ෂය වර්ධනය වුණා. මහජන නියෝජිතයන් වැඩිවුණාම අපට වගකීම් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ගහක වුණත් අස්වැන්න වැඩිවෙන කොට නැමෙනවා, බිමට පහත් වෙනවා. ඒ නිසා මහජනතාවට ආඩම්බර නොවී පක්ෂපාතී වෙලා අපි වැඩ කරනවා. මහින්ද ජනාධිපතිතුමා හා සාමාජිකත්වය තමයි අපේ ශක්තිය.

නොවැම්බර් මාසයේ පටන් ගත් ඡන්දය ඊයේ ඉවර වුණේ. ඉදිරි කාලයේදී මහින්ද ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රටේ පාලනය ලබා ගැනීම තමයි එකම පරමාර්ථය. අපිව කොටවන්න, අපිව ඈත්කරවන්න යම්යම් කොටස් ක්‍රියා කරාවි. නමුත් ඒවාට අපි යටත් වෙන්නෑ. නිහතමානීව, සමගිව ජනතාවට සේවය කරන්න අපි හිතාගෙන ඉන්නවා'' යනුවෙන් පවසා සිටියේය.

basil-1

අටමස්ථානාධිපති හිමියන්ට දුන් අටපිරිකරක ගඩොල් භාගයක්

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන්ට  අටපිරිකර වශයෙන් ලබාදුන් පිරිකරක ගඩොල් භාගයක් තිබී හමුවී ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (19දා) පැවසීය.

තායි අටපිරිකරක් වශයෙන් අන්‍ය ආගමිකයෙකු විසින් මෙම පිරිකර ලබාදී තිබුණු බවත්, මේ සම්බන්ධව සොයා බලන්නැයි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට දැනුම්දුන් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ප්‍රමිතියෙන් තොර සිවුරු, පාත්තර ඇතුළුව අටපිරිකර අලෙවි කරන ස්ථාන සම්බන්ධව සොයාබලන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දුන් බවත්, එවැනි ස්ථාන වටලා දැඩි දඬුවම් ලබාදීමට අවශ්‍ය නීති දැඩි කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මෙසේ පවසා සිටියේය.

Gamini-jayawicrama-perera

වී වගා කරන දින සැලසුම් කිරීමට විශේෂ කමිටුවක්

ඉදිරිකන්නයේ වර්ෂාව ලැබෙන බැවින් වී වගාකරන දින වකවානු නියමිත පරිදි සැලසුම් කිරීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතු විශේෂ කමිටුවක් ඊයේ (18දා)පත්කර තිබේ.

පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරුන්,ගොවිජන සේවා කොමසාරිස්වරයා,මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු,වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුහා විද්වතුන් දෙපළක් ඇතුළත් වන ලෙස පත්කර ඇති මෙම කමිටුව සතිපතා රැස්වී පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

ඒ අනුව වීවගාකරන දිනයන්,ජලය නිකුත් කරන දිනයන් සහ පොහොර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධව තීරණ ගැනීමටබලය පවරා තිබෙන එම කමිටුව ප්‍රථම වරට අද(19දා) දිනයේදී  රැස්වෙයි.

z_pvii-Crop-1

 

විපක්ෂ නායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර වෙනසක් නෑ?

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරයෙහි හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකධුරයෙහි වෙනසක් සිදු නොවනු ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව විපක්ෂ නායකවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාත්,විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාත් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වනතුරු බොහෝ දුරට කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට එක්වුවහොත් මිසක, එම පක්ෂයේ කණ්ඩායමකට පමණක් විපක්ෂ නායකධූරය ලබාගැනීමේ හැකියාවක් නොමැති බව දේශපාලන විශේෂඥයන් පෙන්වාදී තිබීම මෙයට හේතුවී තිබේ.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට හෝ ශ්‍රීලනිපයෙන් විපක්ෂයට යෑමට සිටින 16 දෙනාට විපක්ෂ නායක ධුරය හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබාගැනීමට හැකියාවක් නොමැති බවත්, මහමැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂයකින් තේරී පත්වූ පක්ෂයකට පමණක් විපක්ෂ නායකධුරය හිමිවන බවද ඔවුන් පැහැදිලි කර තිබේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් අතර පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡාවී තිබෙන බවත්,ඒ අනුව විපක්ෂ නායකධුරය ලබාගැනීමට ගන්නාවූ උත්සාහයට ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රසාදයක් පළව නොමැති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධව කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්කරවා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් බවත්,ඒ සම්බන්ධව ශ්‍රීලනිප මැතිඇමතිවරුන් හමුවූ අවස්ථාවලදී සාකච්ඡා කර තිබෙන බවත්ය.

දැනට ආණ්ඩුව දැඩි ලෙස ආරක්ෂා කරන ඇතැම් ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ තීරණ ඉදිරියේදී වෙනස්වීමට ඉඩ තිබෙන බවත්,දේශපාලන ක්‍ෂේත්‍රයේ නොසිතන දේවල් සිදුවිය හැකි බවද එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් විපක්ෂනායක ධුරය ඉල්ලා කථානායකවරයාට ලිපියක් බාරදී තිබෙන නමුත් එය සාර්ථක නොවන බවද වාර්තා වෙයි.

SL-Parlyment

වසා තිබෙන කටවල් ඇරීමට සිදුවෙනවා – දුමින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ  අසත්‍ය ප්‍රකාශ කරමින් යනවා නම් තමන් ඇතුළු පක්ෂයේ නායකයන්ගේ වහලා තියෙන කටවල් ඇරීමට සිදුවන බව ශ්‍රීලනිප මහලේකම් අමත්‍ය දුමින්ද දිසානායන මහතා අද (18දා) පැවසීය.

විශ්වාසභංග යෝජනාවේදී සිදුවූ සත්‍ය ප්‍රකාශ කරමින් රට වටා යන බවට ඇතැම් අය ප්‍රකාශ කර තිබෙන බවත්, ඔවුන් එසේ කරන්නේ නම් සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්දැයි රටට පැහැදිලි කිරීමට තමන්ට සිදුවන බවත්  දිසානායක මහතා කීවේය.

ආණ්ඩුවෙන් ඉවත් වන බව දන්වා ඇති ශ්‍රීලනිප  16 දෙනා ආරක්ෂා කිරීමට විශ්වාසභංගයේදී ඡන්දය ප්‍රකාශ නොකළ ශ්‍රීලනිපයේ  මන්ත්‍රීවරුන් 23 දෙනා සෑමවිටම කටයුතු කළ බවත්, ආණ්ඩුවේ මතබේද ඇතිකිරීමට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රීලනිපයේ කුඩා කණ්ඩායම් දෙකක් කටයුතු කළ බවත්  මහලේකම්වරයා සඳහන් කළේය.

ආණ්ඩුව පවත්වාගෙන යෑමට තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය නොවන බවත්, ආණ්ඩුව හොඳ යෝජනාවක් ගෙන එන සෑමවිටම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් සහය ලබාදෙනු ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

තමා එක්සත් ජාතික පක්ෂයට තල්ලු කිරීමට ඇතැම් අය බලා සිටින බවත්, තමා හෝ මහින්ද අමරවීර මහතා කිසිදු අවස්ථාවක එජාපයට නොයන බවත් පැවසූ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන්ට චෝදනා කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් අය බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය.

Duminda-disanayaka

අාණ්ඩුවෙන් ඉවත්වූ SLFP මන්ත්‍රීවරු ඒකාබද්ධය සමග සාකච්ඡා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට පක්‍ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් 16 දෙනා විපක්‍ෂයට එක්වූ පසුව කටයුතු කරන ආකාරය සම්බන්ධව ඒකාබද්ධ විපක්‍ෂය සමග සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්‍ෂයට එක්වන්නේද, එසෙත් නැතහොත් විපක්‍ෂයේ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් කටයුතු කරන්නේද යන්න සම්බන්ධව මේ දක්වා එම ඇමතිවරුන්ගෙන් ස්ථිර පිළිතුරක් ලැබී නැතැයි ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.

කෙසේ වෙතත් ලබන 08 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදී ආණ්ඩු පක්‍ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමග විපක්‍ෂයේ අසුන් ගන්නා බවට ශ්‍රීලනිප ඇමතිවරුන් 16 දෙනා දන්වා තිබෙන බවද එම මන්ත්‍රීවරයා පවසා සිටියේය.

එසේ වුවහොත් ඒකාබද්ධ විපක්‍ෂය සමග නිසැකවශයෙන් මන්ත්‍රීවරුන් 75 දෙනෙකු කටයුතු කරනු ඇති බවත්,ඉන්පසුව ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය අහිමිවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

SL-Parlyment

 

විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ සහායට මහින්දගෙන් අනුරට කොන්දේසියක්

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමේ යෝජනාව සම්මත කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ සහය අවශ්‍යනම් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කළ දිනයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට දැනුම්දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

 අද (17දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමේ සූදානමක් නොමැතිනම් ඒකාබද්ධ විපක්ෂයේ සහය බලාපොරොත්තු නොවන ලෙස හිටපු ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

62

 

 

ඛණිජ තෙල් ගෙන්වීමෙන් ඉතුරු වූ ඩොලර් බි 6ට වූ දේ බන්දුල අසයි

වත්මන් ආණ්ඩුව ඛනිජතෙල් ගෙන්වීමට මහින්ද රාජපක්ෂ යුගයට වඩා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 06ක්  අඩුවෙන් වියදම් කර තිබෙන බවත්, එසේ ඉතිරි වූ මුදල්වලට කුමක් සිදුකළේදැයි ආණ්ඩුව පැවසිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ අද (17දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

ʻ 2015දී ඇමෙරිකා ඩොලර් මිලියන 2700ක්, 2016දී ඇමෙරිකා ඩොලර් මිලියන 2018ක්, 2017දී ඇමෙරිකා ඩොලර් මිලියන 3428ක් වශයෙන් ඛනිජ තෙල් ගෙන්වීමට වත්මන් රජය වැය කර තිබෙනවා.

 මහින්ද රාජපක්ෂ යුගයේදී වසරකට ඛනිජ තෙල් ආනයනය කිරීමට ඇමෙරිකා ඩොලර් බිලියන 05ක් වැය කරනු ලැබුවා. ඒ අනුව මෙසේ ඉතිරි කර ගත් මුදල් සඳහා කුමක් සිදු කළේද යන්න පිළිබඳව ආණ්ඩුව පැවසිය යුතුයි.  

රුපියල අවප්‍රමාණය, විදේශයන්හි භාණ්ඩ මිල ඉහළ යෑම, භාණ්ඩ මත බදු පැනවීම නිසා ඉදිරි වසරේදී ජනතාවට අධික මිල පීඩනයක් දරා ගැනීමට සිදු වනවා.ʼයැයි ද පවසා සිටියේය.

Bandula-gunawardene

බස්නාහිර වගා නොකළ කුඹුරු ඉඩම් හෙක්ටයාර් 22000ක්

බස්නාහිර පළාත තුළ වගා නොකළ පුරන් වූ කුඹුරු බිම් හෙක්ටයාර විසිදෙදාහක්( 22,295.46) තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. බස්නාහිර පළාත තුළ වගා කළ කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර පහළොස්දහසක් (15237.43)  බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එම පළාතේ වගා නොකළ පුරන් වූ කුඹුරු ඉඩම්වලින් වී මෙට්‍රික් ටොන් හැත්තෑ තුන්දහසක් (73022.54) රටට අහිමි වී තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 13823.84ක්, කළුතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 6968.07ක්, කොළඹ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1503.55ක් වශයෙන් වගා නොකළ කුඹුරු ඉඩම් තිබෙන බවත්, ගම්පහ දිස්ත්‍රික්කයේ මෙට්‍රික් ටොන් 45276.12ක්, කළුතර දිස්ත්‍රික්කයේ මෙට්‍රික් ටොන් 22821.96ක්, කොළඹ දිස්ත්‍රික්කයේ මෙට්‍රික් ටොන් 4924.45ක් වශයෙන් වී නිෂ්පාදනය රටට අහිමිව තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

කුඹුරු ඉඩම් වෙනත් ආර්ථික කටයුත්තකට යෙදවීම කෘෂි හා පරිසර හිතකාමී ආකාරයට සිදුකළ යුතු බැවින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් සුදුසු පරිදි සාකච්ඡා කර කාලීන චක්‍රලේඛ නිකුත් කිරීමට කටයුතු සිදුකරමින් පවතින බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.