Author Archives: අකිත විජේසිංහ

අද සහ හෙට තද සුළං සමඟ වැසි

අද සහ හෙට දිනයන්හී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (18දා) සඳහන් කරයි.

මේ අතර සබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නිරිත දිග ප්‍රදේශයන්හී මි.මි. 75ක් පමණවූ තරමක් තද වැසි ඇති විය හැකිය.

විශේෂයෙන් ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ ත්‍රිකුණාමලය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් තරමක තද සුළං සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

කළුතර වෙඩි තැබීම ගැන මහේස්ත්‍රාත් නියෝගය

කළුතර එතනමඩලදී බන්ධනාගාර බස් රථයකට මිය ගියේ හිසට හා පපුවට වෙඩි තැබීමෙන් බව කළුතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එල්.බී.එම්.ප්‍රනාන්දු  මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු කර ඇති බව කළුතර ප්‍රධන මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය පැවැසුවාය.

ඒ අනුව මෙහිදී අපරාධයක් සිදුවී ඇති බව ප්‍රකාශ කළ කළුතර මහේස්ත්‍රාත්වරයි මෙහි සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ (28දා) පොලිසියට නියෝග කළාය.

 කළුතර සුනිල්.එස්.තන්ත්‍රිආරච්චි සහ අළුත්ගම සරත් සිරිවර්ධන

SLFP මීළඟ ජනපති අපේක්ෂකයා මෛත්‍රීයි

එළඹෙන ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. 

පක්ෂයේ කාන්තා හා තරුණ සමිතිවල  මෙන්ම පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිතිවල ප්‍ර‍බල ඉල්ලීම වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම බවත්, එහෙත් ජනාධිපතිවරයා මේ පිළිබඳව කිසිදු අදහසක් ප්‍ර‍කාශ කර නොමැති බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

හෙතෙම මේ බව පැවසුවේ, සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන  අමාත්‍යාංශයේදී අද (10දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

"අපේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බව අප නිතරම එතුමාට කියනවා. අදත් අපි හිතන්නෙ මේ එ.ජා.ප., ශ්‍රී.ල.නි.ප. සම්මුතිවාදී ආණ්ඩුවට තව වැඩ ගොඩක් තියෙනවා. මේ දෙක එකතු වෙලා ඉන්නවට පක්ෂ දෙකේම අකමැති අය ඉන්නවා. ඒ අයට මම කියන්න කැමතියි මේ දෙක එකතු වුණ නිසා අපි ලැබූ විශාල ජයග්‍ර‍හණ තියෙනවා" යැයි පවසා සිටියේය.

කෝටි පහක කුඩු අල්ලයි

රුපියල් කෝටි පහක්  වටිනා හෙරොයින් පාර්සල් දහයක්  කුළු බඩු පාර්සල් අස්සේ සඟවාගෙන මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික යුවළක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත් ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අද (04දා) අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී කීවේය.  අත් අඩංගුවට ගත් හෙරොයින් වල බර කිලෝග්‍රෑම් පහකි.  මෙම හෙරොයින් ග්‍රෑම් 500  පැකට් ලෙස  අසුරා  තිබු බව රේගුව කියයි. 

රන් කැබැලි ගුද මාර්ගයෙන් මතුවේ

රුපියල් ලක්ෂ තිහක්  වටිනා   රන් කැබැලි 6 ක් තම ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම කළ රේගුව එම රන් කැබලි රාජසන්තක කිරීමට නියෝග කළේය.

මෙලෙස දඩ නියම වූයේ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකුටය.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජේ.වී.යූ දර්ශන සිල්වා මහතා  ඇතුළු නිලධාරීන් විසින් විසින් පෙරේදා (12දා)  සිදු කරනු ලැබීය.

  

රන් බිස්කට් පිටකිරීමට ගොස් අත්අඩංගුවට

රුපියල් තුන්කෝටි හැත්තෑපන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 75 ක් නීති විරෝධීලෙස ගුවන් තොටුපොළෙන් පිටකිරීමට උත්සාහ කළ ගුවන් සමාගමක සේවකයන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද (19දා) අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතාපැවසුවේය.

සැකකරුවන්ගෙන් එක් අයෙකු ප්‍රසිද්ධ ගුවන් සමාගමක ගුවන් යානා කාර්ය මණ්ඩල නිලධාරියෙකු වන බවත්,  අනෙක් තැනැත්තා එම ගුවන් සමාගමේම රියදුරෙකු බවත් රේගුවකියයි. අත් අඩංගුවට ගත් රන් බිස්කට්වල බර කිලෝග්‍රෑම් හත හමාරකි.

 

හොරෙන් රට යන්න ගිය නාවික සෙබලෙක් අත්අඩංගුවට

ව්‍යාජ  වීසා බල පත‍්‍රයක්  භාවිතා කරමින්  කටාර් හරහා ඉතාලියට යාමට උත්සහ කළ නාවික හමුදා සෙබලෙක්  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු පදවිය පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පසුගිය 13 වෙනිදා ශ‍්‍රී ලංකාවේ සිට කටාර් රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.

කටාර් බලධාරීන් විසින් ඔහුගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඔහුගේ වීසා ව්‍යාජ බව දැන කටාර් ගුවන් සේවයට අයත් කිව්. ආර්. 468 දරණ ගුවන් යානයෙන් ආපසු මෙරටට එවා  තිබිණි. එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු නාවික හමුදාවේ වසර 10 යක් සේවය කර ඇති බවත් දින 10 යක් නිවාඩුවක් ලබාගෙන ඒ අතරතුළදී රටින්   පැනයාමට උත්සහ දරා ඇති බවත් කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.

ටෝනි බ්ලෙයාර් ශ්‍රී ලංකාවෙ

එංගලන්තයේ  හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා ශ‍්‍රී  ලංකාවේ සංචාරයක නියැලීම සඳහා  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපොළෙන් අද (11දා) දිවයිනට පැමිණියේය.

 ටෝනි බ්ලෙයාර් මහතාගේ   බිරිඳ වන එංගලන්තයේ  සුප‍්‍රසිද්ධ බැරිස්ටර්වරියක් වන චෙරී බ්ලෙයාර් මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයෝ කිහිප දෙනෙකු ඔහු සමග මෙරටට පැමිණියහ.

එමිරේටස් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි හිටපු අගමැතිවරයා පසුව අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා භාවිතා කරන කුඩා ගුවන් යානයකින් අනුරාධපුරය බලා පිටත්ව  ගොස්  තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය  මංගල සමරවීර මහතාගේ ආරාධනයකට අනුව ඔවුන් මෙරටට පැමිණ ඇති අතර ටෝනි  බ්ලෙයාර් මහතා සති දෙකක් මෙරට රැදී සිටීමට නියමිතය. 

කෝටියක ගබ්සා පෙති රේගුවේදී අල්ලයි

රුපියල් එක් කෝටි තිස් තුන් ලක්ෂයක් වටිනා ගබ්සා පෙති සහ සිසු දරුවන්ගේ මනස විකෘති කරණ පෙති තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට රැගෙන ආ ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද (09 දා) අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු කල්මුණේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.  ඔහුගේ ගමන් මල්ලේ ගබ්සා පෙති 6800 ක් සිසු දරුවන්ගේ මනස විකෘති කරන පෙති 116465 තිබූ බව රේගුව කියයි. 
 

ඉන්දීය කණ්ඩායම පැමිණේ

ටෙස්ට් තරග තුනක් සඳහා සහභාගීවීමට ඉන්දීය කණ්ඩායම අද (03දා) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය.