ලොවක් තුළ තවත් ලොවක් සීෂෙල්ස්

සුන්දර දූපත් 115 ක් පිරිවරාගත් සීෂෙල්ස් දූපත් සමූහයේ සංචාරයක නිරත වීම සඳහා අපටද අවස්ථාව ලැබිණි. ඒ මිහින් ලංකා සමාගමේ අනුග්‍රහයෙනි. මේ දිගහැරෙන්නේ එම දිවයිනේ සිදුකළ සුන්දර සංචාරය පිළිබඳ කෙටි සටහනකි.

ඉන්දියන් සාගරයේ පිහිටා ඇති සීෂෙල්ස් දිවයින අප්‍රිකාවට අයත් වෙයි. මැඩගස්කරය එයට ආසන්නයේ පිහිටා තිබෙන අතර, වස්කෝ ද ගාමාගේ ලෝක සංචාරයේදී ඔහු සීෂෙල්ස් දූපත් සමූහයටත් පැමිණ ඇත. ජනාධිපතිවරයෙකු විසින් රට පාලනය කරනු ලබයි. සීෂෙල්ස් දිවයින් සමූහය දූපත් 115 කින් සමන්විත වෙයි.

2013 වසරේ සැප්තැම්බර් මාසයේ සිදුකළ ජන සංගණනයට අනුව සීෂෙල්ස්හි ජනගහනය 90,924 කි. සීෂෙල්ස් ප්‍රංශ, පෘතුගීසි හා එංගලතයේ යටත් විජිතයක් වශයෙන්ද පැවතී ඇත. ඔවුන් 1976 වසරේදී එංගලන්තයෙන් නිදහස  ලැබූ ගන්නා ලදී.

 භාෂාව හා මුදල් භාවිතය

සීෂෙල්ස් ප්‍රංශ යටත් විජිතයක්ව පැවැති හෙයින් වර්තමාන සීෂෙල්ස් වැසියෝ ප්‍රංශ  භාෂාවද කතා කරති. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉංග්‍රීසි භාෂාවද උච්චාරණය කරති. සීෂෙල්ස්හි මුදල් ඒකකය සීෂෙල්ස් රුපියල් වේ. සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත් රටක් හෙයින් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඔවුන් සතුව පවතී. කැසිනෝ ඇතුළු සූදු මෙන්ම ගණිකා වෘත්තිකයන්ගෙන්ද සීෂෙල්ස් දිවයිනට අඩුවක් නොමැත.

 

සංචාරක ව්‍යාපාරය රටේ මූලිකම ආදායම් මාර්ගයයි

සීෂෙල්ස්හි ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ සංචාරක කර්මාන්තයයි. එයින් ආර්ථිකය සඳහා 95%කට ආසන්න දායකත්වයක් ලැබේ. සීෂෙල්ස් සඳහා වසරකට ආසන්න වශයෙන් 220,000කට ආසන්න සංචාරකයන් පිරිසක් පැමිණේ. ඔවුන් ඇතැම් අවස්ථාවලදී කුරුඳු ඇතුළු කුළුබඩු වර්ග අපනයනය සිදුකරන අතර, ඒ ඉතාමත් අල්ප ප්‍රමාණයකි. ධීවර කර්මාන්තය හරහා දිවිපෙවෙත සරි කරගන්නා සැලකිය යුතු ප්‍රමාණයක ජනතාවක් එහි ජීවත්වෙති.

හෝටල් හා  ඉඳුම් හිටුම්

තරු පහේ සුපිරි පහසුකම්වලින් සමන්විත හෝටලයේ සිට කුඩා ගෙස්ට් හවුස් දක්වා සියලුම ආකාරයේ හෝටල් සීෂෙල්ස් දිවයින් සමූහයේ පිහිටා තිබෙන අතර, සෑම අයෙකුගේම අයවැයට අවශ්‍ය වන අයුරින් එකී හෝටල් තෝරාගත හැකිය. මධුසමය ගත කිරීමට පැමිණෙන යුවළකගේ සිට සියලුම වයස් කාණ්ඩ සඳහා එම හෝටල විවිධ අයුරින් සකස් කර ඇත. තම රුචිය ඇනුව සුන්දර වෙරළට මුහුණලා පිහිටි කුඩා කොටේජ් පවා මිලදීගත හැකිය.

විනයගරුක හා විනෝදකාමී ජනතාව

සීෂෙල්ස් වැසියන් බෙහෙවින්ම විනයගරුක ජාතියක් වශයෙන් අප එහි රුඳී සිටි දින කිහිපයේදී හඳුනාගත හැකි විය. අනෙකාට ඉඩදීම, මාර්ගයේ විනයගරුකව වාහන ධාවනය කිරීම හා එකිනෙකාට ගරු කරගැනීම අපට ඔවුන් තුළින් දිස් වූ උසස්  ගුණාංග කිහිපයකි. ඔවුන් තුළින් දිස් වූ තවත් වැදගත්ම දෙයක් වූයේ සතුටින් කාලය ගතකිරීමට උත්සාහ කිරීමයි.  සීෂෙල්ස් වැසියන් අතිශය සරල දිවිපෙවතක් ගෙවන බව අපට හොඳින්ම දැකගත හැකිවිය. ඔවුන්ගේ නිවාස ඒ බව මැනවින්ම සනාථ කරයි. තට්ටු දෙකක් දක්වා උසට විහිදුණු නිවෙස්වල පවා බොහෝ අවස්ථාවල වහලය සකස් කර ඇත්තේ ටකරන්වලිනි. බටහිර ඌරුවට සකස් කළ නිවෙස් වර්ණ ගැන්වීමේදී ඔවුන් බොහෝවිට සුදු වර්ණය යොදාගෙන තිබිණි.

ත්‍රිරෝද රථ, යතුරු පැදි නොමැතිවීමේ සුන්දරත්වය

සීෂෙල්ස් වැසියන් අතරින් බොහෝ පිරිසකට තමන්ගේම වාහනයක් හිමිය. අතරින් පතර යතුරුපැදියක් දැකිය හැකි වුවත්, ත්‍රිරෝද රථවලට නම් එහි ඉඩක් නොමැත.  රියදුරන් ඉතාමත් විනයගරැක අන්දමින් තම කාර්යයෙහි නිරත වී සිටින අතර, අප රුඳී සිටි දින කිහිපයේදී පවා නළා හඬවනු සවනට වැකුණේ එක් අවස්ථාවක පමණි.

ආහාර හා බීම වර්ග

තම තමන්ට ආවේණික වූ ආහාර සීෂෙල්ස් වැසියන්ට පැවතියත් එයින් බොහෝමයක් අප රටේ ආහාරවලට සමානකමක් දක්වයි. ඉන්දියානු, චීන හා ජාත්‍යන්තර ඉංග්‍රීසි ආහාර වට්ටෝරුද ඔවුන් සතුව පවතින අතර, අඹ අච්චාරු සමග මෙන්ම ජම්බු සම්බෝල සමග ප්‍රණීත බත් පතක රසවිඳීමේ අවස්ථාව ඔබට සීෂෙල්ස්වලදී හිමිවේ.

දේශීයව සකස් කළ සිසිල් පැන් මෙන්ම මත්පැන්ද සීෂෙල්ස් වැසියන් සතුව පවතී. සංචාරක ව්‍යාපාරයේදී මත්පැන් සඳහා විශාල ඉල්ලුමක් පවතින බැවින් ඔවුන් සංචාරකයන් ඉලක්ක කරගනිමින් තමන්ට ආවේණික වූ මත්පැන් නිෂ්පාදනය කරන අතර, වික්ටොරියා නගරයේ එවැනි මත්පැන් නිෂ්පාදන කම්හලක් පිහිටා තිබේ.

මහේ දූපතේ වික්ටෝරියා නගරය

සීෂෙල්ස් දූපත් සමූහයේ අගනගරය නැත්නම් ඔබට මුලින්ම හමුවන නගරය වන්නේ වික්ටෝරියා නගරයයි. එංගලන්තයේ වික්ටෝරියා රැජින වෙනුවෙන් මෙම නගරය වික්ටොරියා ලෙස නම් කර ඇති අතර, සියලුම ආර්ථික කටයුතු සිදුවන්නේ වික්ටෝරියා නගරය තුළය. සාප්පු සංකීර්ණ, කතෝලික පල්ලි මෙන්ම ක්‍රිස්තියානි පල්ලි, පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු මෙකී නොකී සියලු දෙයින් වික්ටෝරියා නගරය සමන්විතය.

ක්ෂණයකින් ග්‍රාමීය ප්‍රදේශයටත්, ඊළග ක්ෂණයේදී නාගරික ප්‍රදේශයටත්

මහේ දිවයින සීෂෙල්ස්හි විශාල දූපතක් වුවත් අනෙකුත් රටවල දූපත් හා සසඳා බලන විට එය එතරම්ම විශාල නොවේ. නමුත් එහි සංචාරය කිරීමේදී එක් ක්ෂණයකින් ග්‍රාමීය ප්‍රදේශයටත්, ඊළග ක්ෂණයේදී නාගරික ප්‍රදේශයටත් ගමන් කිරීමට සංචාරකයන්ට අවස්ථාව හිමිවෙයි. එය චමත්කාරය දනවන දසුන්වලින් සමන්විත වෙයි. ග්‍රාමීය ප්‍රදේශවල පවතින එළවළු කොටු මෙන්ම පලබර පලතුරු ගස් දුටුවන්ගේ විඩාව මොහොතකට සංසිඳුවනවා නොඅනුමානය.

ලෝක උරුම

සීෂෙල්ස් දිවයින සතුව ලෝක උරුම ස්ථාන ද්විත්වයක් පවතින අතර, ඒවා නමින් Albabra Atool ලෝක උරැමය හා Valle de mai Nature Reserve වේ. මෙම ස්ථාන දෙකෙන් Valle de mai Nature Reserve වනෝද්‍යානයේ සංචාරය කිරීමට අපට අවස්ථාව ලැබුණු අතර, එම වනය පූර්ණ වශයෙන්ම කොකෝ ඩි මෙර් ශාඛයෙන් ගහණ වී තබේ.

 කොකෝ ඩි මෙර්

කොකෝ ඩි මෙර් ශාඛය ස්වාභාවධර්මයේ අපූර්වතම නිර්මාණයක් වන අතර, පිරිමි ශාඛය පිරිමි ජනනේන්ද්‍රියත්, ගැහැනු ශාඛය කාන්තා ජනනේන්ද්‍රියත් පිළිබිඹු කර පෙන්වයි. සීෂෙල්ස් දිවයිනට පැමිණෙන සෑම රාජ්‍ය නායකයෙකු විසින්ම ඔවුන්ගේ පැමිණීම සැමරීම සඳහා මහේ දිවයිනේ පිහිටා තිබෙන රාජකීය උද්‍යානයේ කොකෝ ඩි මෙර් පැළයක් සිටුවීම සිරිතයි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සීෂෙල්ස් සංචාරය සිහිවීම සඳහාද එම රාජකීය උද්‍යානයේ කොකෝ ඩි මෙර් ශාකයක් රෝපණය කර ඇත.


සුන්දර වෙරළ තීර

සීෂෙල්ස් දිවයින් සමූහයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රමුඛතම මෙන්ම වැදගත්ම ස්ථාන වන්නේ ඒ ඒ දූපතට ආවේණික මුහුදු වෙරළයන්ය. එකිනෙකට වෙනස්, නෙත් පැහැරගන්නා සුන්දර මුහුදු වෙරළයන් ඔවුන්ට හිමි අතර, වර්ණ තුනකින් සමන්විත මුහුද අපූර්ව සුන්දරත්වයක් රැගෙන එයි. එයටම නොදෙවෙනි සුදු වැලිතලාව මෙන්ම විවිධ ප්‍රමාණවල පර්වත  එම සුන්දරත්වය තවත් කිහිප ගුණයකින් වැඩිකරයි.

අන්තර් දූපත් බෝට්ටු හා ගුවන් යානා සේවය

සීෂෙල්ස් දූපත් සමූහයේ එකිනෙකට වෙනස් දූපත් අතර වඩාත් පහසුවෙන් සංචාරය කිරීම සඳහා අන්තර් දූපත් බෝට්ටු සේවයක් මෙන්ම අන්තර් දූපත් ගුවන්යානා සේවාවක්ද ක්‍රියාත්මක කර ඇත. මහේ දූපතේ සිට Praslin දූපත දක්වාද, ඉන් අනතුරුව Praslin දූපතේ සිට La Digue දූපත දක්වාද අපට බෝට්ටු මගින් ගමන් කිරීමේ අවස්ථාව උදාවිය.

එකිනෙකට වෙනස් අත්දැකීම්

ඉතාමත් කෙටි කාලසීමාවක් තුළ එකිනෙකට වෙනස් සංචාරක අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සීෂෙල්ස්හි සංචාරය කරන සංචාරකයන්ට ලැබෙන අතර, අලංකාරවත් පරිසරය නැරඹීම, කිමීදීම, සර්ෆින් ක්‍රීඩාවේ නිරතවීම, සේලින් ක්‍රීඩා කිරීම, කඳු නැගීම සහ ඩිවින්ග් ආදී විවිධ කාර්යයන් ඒ යටතට අයත් වෙයි.

උත්සව

විවිධ සංස්කෘතිවලට අයත් ජනතාවක් වෙසෙන සීෂෙල්ස් දිවයිනේ ඒ ඒ කාලසීමා තුළ එකිනෙකට වෙනස් උත්සව ගණනාවක් පැවැත්වෙයි. වසරේ පෙබරවාරි මාසයෙන් ආරම්භ වන උත්සව නිම වන්නේ දෙසැම්බර් මාසයේදීය. දේශීය සංගීතය මුසුකරමින් පැවැත්වෙන එම සැණකෙළි ඉතාමත් විචිත්‍ර බව අපට දැකගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකාවේ සිට සෘජු ගුවන් ගමනකින්

මිහින් ලංකා සමාගමේ නවතම ගමනාන්තය වන්නේ සීෂෙල්ස් දූපත් සමූහයයි. ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පැය 3 විනාඩි 50 ක කාලසීමාවක් පියාසර කිරීමෙන් පසු මහේ දූපතට පැමිණීමට ඔබට හැකිවනු ඇති අතර, එතැන් සිට එම සුන්දර දිවයින් සමූහයේ සංචාරය ආරම්භ කිරීමට හැකිවනු ඇත.

පසු සටහන

සීෂෙල්ස් දූපත් සමූහය, එහි සුන්දර මුහුදු වෙරළයන් මෙන්ම සියලුම සංචාරක ආකර්ෂණීය ස්ථාන තවමත් නොයිඳුල්ව පවතී. එම නොයිඳුල් බව පවතින තෙක් සීෂෙල්ස්හි සුන්දරත්වය අප සැමටම විඳගත හැකිවනු ඇත. වඩාත් වැදගත්ම කරුණ වන්නේ සුන්දර සීෂෙල්ස්හි සංචාරය කරන ඔබ එරට පවතින නීතිමය තත්ත්වයට ගරු කරමින්, පරිසර පද්ධති ආරක්ෂා කරමින් එහි සුන්දරත්වය විඳගැනීමට කටයුතු කළ යුතු වීමයි.

 

විශේෂ ස්තුතිය

මිහින් ලංකා සමාගමට

ලියෝ බර්නෙට් සමාගමට

Select Seychelles සංචාරක ආයතනයට

One thought on “ලොවක් තුළ තවත් ලොවක් සීෂෙල්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>