ජනතාව අලුත් මූණට කැමති වෙලා ඡන්දෙ දෙනවා, හැබැයි පරණ එන්ජිමම තමයි


ඉක්මනින් අවසන් වූ කැබිනෙට්ටුව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ඉරාන සංචාරය නිමකර පැමිණියේ අඟහරුවාදා අලුයම් කාලයේදීය. කැබිනට් මණ්ඩලය එදින පෙරවරුවේ රැස්වීමට කටයුතු සූදානම්කර තිබුණි. පෙර පරිදිම කැබිනට් රැස්වීම සඳහා අමාත්‍යවරුන් උදෑසන පැමිණි අතර, ජනාධිපති මෛත්‍රී කැබිනට් රැස්වීමට පැමිණියේ තරමක් අදිමදි කරමිනි.

‘මම ඉරානේ ගිහිල්ලා ආවේ අද පාන්දර. හරිම නිදිමතයි. කැබිනට් එක ඉක්මනින්ම ඉවර කරන්න පුළුවන් නම් හොඳයි…’
මෛත්‍රී ඇමතිවරුන්ට පැවසුවේ කැබිනට් හමුව ආරම්භයට පෙරදීමයි.
කැබිනට් රැස්වීම තුළදී විවිධ දේ කතා කරන්නට අදහස් කරගෙන පැමිණියද, ඇමතිවරුන් මෛත්‍රීගේ යෝජනාවට එකඟ විය. එසේ වුවද මෙවර කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා 80ක් පමණ ඉදිරිපත් වී තිබූ අතර, එම සියල්ල සාකච්ඡා කිරීමට යම් තරමක කාලයක් ගතවිය. ඒවාද ඉතා ඉක්මනින් සාකච්ඡා කළ කැබිනට් මණ්ඩල හමුව ඉන්පසුව අවසන් කිරීමට මෛත්‍රී යෝජනා කළ නිසා කිසිවකුගේ අදහස් කියා ගැනීමට නොහැකිව අවසන් විය. 

එයා ටිකක් ඉක්මන් වෙනවා නේද?

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවැත්වුණේ බදාදාය. ඇමති රාජිත සහ ඇමති ගයන්ත මෙන්ම යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකද ඒ සඳහා සහභාගි වූහ.
රණවිරු සැමරුම සම්බන්ධ ප්‍රශ්නයක් කතා කිරීමේදී මාධ්‍යවේදීන් සහ අමැතිවරයා අතර අනවශ්‍ය සංවාදයක් ඇතිවූ අතර, ඒ හේතුවෙන් එම සංවාදය තරමක කාලයක් පැවැත්වුණි.
කැබිනට් හමුව අවසානයේදී එහි සිටි පිරිස මේ පිළිබඳව කතා කරන්නට වූ අතර එක් පිරිසක් රැස්ව සිටි ස්ථානයට ඇමති ගයන්තද පැමිණියේය.
‘ඇමතිතුමා රාජිත ඇමතිතුමා ඉක්මන් වෙන්න ගිහිල්ලා වචන වරද්ද ගන්නවා නේද?
‘ඔව් නේද? එයා ටිකක් ඉක්මන් වෙනවා නේද?’
‘එදා රාජිත ඇමතිතුමා කිව්වා ෆොන්සේකා ඇමතිතුමා ජනාධිපතිතුමාගෙන් සමාව ගත්තා කියලා. අද කියනවා කනගාටුව ප්‍රකාශ කළා කියලා.. එහෙම වචන වෙනස් කරන්න එපා කියන්න ඇමතිතුමා’ පිරිසක් ගයන්තගෙන් ඉල්ලා සිටියහ.
‘එදා රාජිත ඇමතිතුමා එහෙම කිව්වද?’
‘ඔව් ඇමතිතුමා සමාව ගත්ත කියල කිව්වා’
‘ඔව් නේද? ඒක තමා’
‘ඔබතුමාවත් කියන්නකෝ ඉස්සරල කියපුවා දැන් වෙනස් කරන්න එපා කියලා’
එවිට සිනාසෙමින් ගයන්ත පැවසුවේ ‘ඔව් කියල බලමුකෝ නේද?’ කියාය.

පොහොට්ටුවේ තේමා ගීතය රීමික්ස් වුණ හැටි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තේමා ගීතය ආරම්භ වන්නේ 
‘විකසිත කරවන නෙළුම් පොහොට්ටුව 
බැඳී හිතින් මිතුරේ…….. ‘ලෙසිනි.
පොහොට්ටුවේ මෙම තේමා ගීතය රීමික්ස් කර ගායනා කළ අවස්ථාවක් පසුගිය සතියේ වාර්තා විය. ඒ ප්‍රසන්න රණවීරගේ උපන් දින සාදයේදීය. බත්තරමුල්ල වෝටර්ස්-ඒජ්හිදී පැවැත්වුණු මෙම සාදයට හිටපු ජනපති මහින්ද, බැසිල්, හිටපු මැති ඇමතිවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පාර්ලිමේන්තු කණ්ඩායමේ සියලු දෙනාම පාහේ පැමිණ සිටියහ.
ඒකාබද්ධ මන්ත්‍රීවරුන්ගේ ගැයුම්වලින් සහ රැඟුම්වලින් විචිත්‍රවත් වූ මෙම සාදය අවසානයේ මන්ත්‍රීවරුන් පිරිස එකතුවී ගීත කිහිපයක් සමූහ ලෙස ගායනා කළහ.
“අපි දැන් පොහොට්ටුවේ සින්දුව කියමු’ පියල් නිශාන්ත යෝජනා කළේය.
“පද ටික හරියටම මතකද?’ එවිට ඩී.වී. චානක ඇසුවේය.
“මතක විදිහට කියමු’ පියල්ගේ යෝජනාවට හැමෝම එකඟ වූහ.
‘විකසිත කරවන නෙළුම් පොහොට්ටුව 
බැසිල් සමග මිතුරේ……..
අන් අයගේ හිස් කතා ඉවත හැර දැය නංවමු පෙර සේ……..
විකසිත කරවන නෙළුම් පොහොට්ටුව 
බැසිල් සමග මිතුරේ….’ 
ඒකාබද්ධයේ මන්ත්‍රී ගායක කණ්ඩායම එකපෙළට වටවී පොහොට්ටුවේ තේමා ගීතය මේ අයුරින් ගායනා කළේ අලුතින් වචන එකතුකර රීමික්ස් කරමිනි.

විකිණූ ඉඩමක සිට රට ගැන කතා කරලා…

ජවිපෙ 20 වැනි සංශෝධනය කරළියට ගෙන ඒමත් සමග මේ වන විට විවිධ පාර්ශ්ව විසින් ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳවද කතාබහ ආරම්භ කර තිබේ. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පිරිසක් කැඳවා ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ වැඩසටහන පිළිබඳවද ඇතැම් පිරිස් ජවිපෙ නායකයන්ගෙන්ද විවිධ දේ විමසන්නට  විය. ජවිපෙ නායකයන් ඔවුනට අවධාරණය කළේ, තම පක්ෂය තනි තනි පුද්ගලයන්ට රට ගොඩනැගීමට හැකි යැයි විශ්වාස නොකරන බවයි. මේ පිළිබඳ අදහස් පළවූයේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති හමුවකදීය. අනුර කුමාර දිසානායක, බිමල් රත්නායක, විජිත හේරත් ඇතුළු පිරිසක් මේ අවස්ථාවේ එතැන සිටියහ.
‘අපි 20 ගේනවා කිව්වාම ඇතැම් අය මේ සංවාදය මගහරින්න ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා සංවාදයක් උඩට ගන්න උත්සාහ කරනවා. ඇතැම් පිරිස් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා හිතේ තියාගෙන දේශපාලන න්‍යායපත්‍ර හදලා. අපි 20 ගෙනාවට පස්සේ ඒක අවුල් වෙලා. ඒකයි මේ කලබල වෙලා දඟලන්නේ’ අනුර දිසානායක පිරිසට කීවේය.

‘ඒක තමා සමහරු අපෙන් අහනවා දැන් ගෝඨා ආවොත් මොකද කරන්නේ කියලා” බිමල් රත්නායකද කතාවට එක්වූයේය.
‘හැමදාමත් මේ පක්ෂ දෙක අර්බුදයට යනකොට අලුත් මූණක් උඩට ගන්නවා. රටේ ජනතාව අලුත් මූණට කැමති වෙලා ඡන්දෙ දෙනවා. හැබැයි පරණ එන්ජිමම තමයි. ජේ.ආර්. වෙනුවට ප්‍රේමදාස ආවා. රට හැදුවද? ප්‍රේමදාසගෙන් පස්සේ චන්ද්‍රිකා ආවා. නූතන විහාරමහ දේවි කිව්වා. ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනවා කිව්වා. කරගන්න බැරිවුණා. ඊට පස්සේ මහින්ද ආවා. අවුරුදු 10යි. වංචාවෙන්, දූෂණයෙන් ඉහළම තැනට රට ගෙනාවා. රට විනාශ කරලා ගියා. යහපාලනය කියලා රනිල් මෛත්‍රී ආවා. දැන් රටට මොකද වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ අරාජිකත්වය නිසා තව කෙනෙක් ගේන්න හදනවා. මේ විදියට මුහුණ මාරු කළාට මේ පක්ෂ දෙකේ පාලනයේ වෙනසක් වෙන්නේ නැහැ” ටිල්වින් සිල්වා ආවේගයෙන් කියා සිටියේය.

එජා‍ෙප ආර්ථික ප්‍රතිපත්ති තමයි ගෝඨාභය කතා කළේ

‘සමහරු කතා කරනවා ගෝඨාභය මහ ලොකු ආර්ථික වැඩපිළිවෙළක් ගෙනාවා කියලා. ඒ කතාවේ තිබුණේ පහුගිය කාලේ එක්සත් ජාතික ආණ්ඩුව කරපු, කරන්න ගිය වැඩම තමයි. කෙටියෙන් ගත්තාම යූඑන්පී ආර්ථික ප්‍රතිපත්ති තමයි ගෝඨාභය කතා කළේ. ඒ කණ්ඩායමට කරන්න තියෙන හොඳම වැඩේ දැන්ම යූඑන්පීය එක්ක එකතු වෙලා ඒ වැඩ ටිකට සහාය දෙන එක” ලාල්කාන්ත කීවේ සිනහසෙමිනි.
‘රාජපක්ෂ ආණ්ඩුව කාලේ ආරක්ෂක මූලස්ථානය චීන සමාගමකට විකුණලා එතන හදපු හෝටලයේ ඉඳන් රටේ සම්පත් විකුණපු රාජපක්ෂ පවුලෙම කෙනෙක් රට හදන්න කතා කරනවා. මීට වඩා දේශපාලන විහිළු තවත් තියෙනවද?” නලින්ද ජයතිස්ස කියා සිටියේය. 
‘ඒ විතරක් නෙවෙයි තමන්ගේ වංචා දූෂණ ගැන හොයන්න එපා කියලා, තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවි නියෝග ඉල්ලන ගෝඨාභය වංචා දූෂණ නැති කරන්න කතා කරනවා..” විජිත හේරත් කියා සිටියේය. 
‘ඇත්තටම 20 ජයග්‍රහණය කළයුතු සංශෝධනයක්. මේක ශිෂ්ටත්වය සහ අශිෂ්ටත්වය අතර අරගලයක්. මේක ජයග්‍රහණය කරන්න උපරිම ආකාරයෙන් මැදිහත් වෙන්න  ඕනෑ. ජනතාව අතර පුළුල් සංවාදයක් හදන්න  ඕනෑ” අනුර දිසානායක කියා සිටි අතර, සංවාදය එසේ දිගටම පැවැත්වුණි.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පසුගිය වසරේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල්වලට බස් රථ ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹුවේ දෙබරවැව ජාතික පාසලෙනි. ඉන් පසුව සූරියවැව ජාතික පාසලටද බස් රථයක් ලබා දීමෙන් පසුව බස් රථ ලබා දෙන ලෙස තවත් පාසල් ගණනාවකින් ඉල්ලීම් ගලා එන්නට පටන් ගත්තේය. පරිත්‍යාගශීලීන්ගේ ආධාරවලින් මිලදී ගත් බස් රථ 8ක් ගිය වසර අවසාන කාලයේ වීරවිල කාර්යාලයට රැගෙන ගියත් ඒ දිනවල පැවති මැතිවරණ නීතිය යටතේ ඒ බස් රථ අදාළ පාසල්වලට ලබා දීමට නොහැකි විය. ඉකුත් සතියේදී තිස්සමහාරාම පන්නෙගමුව රාජකීය විදුහලට සහ හම්බන්තොට සුචී ජාතික පාසලට ඉන් බස් රථ දෙකක් පරිත්‍යාග කෙරිණි.
 මේ බස් රථ දෙකම එම පාසල් වෙත සිරිත් පරිදි පදවාගෙන ආවේ පාසල් දරුවන්ගේ අත්පොළසන් හඬ මැද සජිත් විසින්මය. දරුවන් 1,200ක් පමණ ඉගෙනුම ලබන සුචී ජාතික පාසලට බස් රථයක් පිරිනැමීමේ උත්සවයෙන් පසුව සජිත් ගුරුවරුන් සමග පිළිසඳරක යෙදී සිටියදී හදිසියේම එක් ගුරුවරයෙකු ඇසුවේ අපූරු ප්‍රශ්නයකි. ‘ඇමතිතුමා රට වටේම උදා ගම්මාන හදාගෙන යනවා. ඒවා දකින්නත් ආසයි. ඔහොම යන කොට අපි වගේ ගුරුවරු හෙම මතක් වෙන්නෙ නැතෙයි?’ සජිත් කීවේ ‘මොකද නැත්තේ. ගුරුවරු 232,000ක් මේ රටේ ඉන්නවා. ඒ අය කරන සේවය, කැපවීම අපි ඉහළින්ම අගය කරනවා. ඒ අයගෙන් විශාල පිරිසකට නිවාස ගැටලු පවතින බවත් අපි දන්නවා. ගම්මාන 2500ක් හදන අපේ සැලැස්ම යටතේ ගුරුවරු අමතක කරලා නෑ. අපි දිස්ත්‍රික්කයකට එක බැගින් දිස්ත්‍රික්ක 25 තුළ ගුරු ගම්මාන 25කුත් අනිවාර්යයෙන්ම ඉදි කරනවා’ කියාය.

ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය වැනෙන සුලුයි – විජිත කියයි…

පලස්තීනයේ නක්බාර දිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් අඟහරුවාදා කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා පලස්තීන සහයෝගීතා කමිටුව විසින් මෙය සංවිධානය කර තිබිණි. එහි ප්‍රධාන ආරාධිතයා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සහභාගි වූ අතර ප්‍රධාන ආරාධිත දේශකයා වූයේ විජිත හේරත් මන්ත්‍රීවරයාය. විදේශ තානාපතිවරු, ආගමික නායකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. ‘ පලස්තීනයේ ප්‍රශ්නය වෙලාවේ ශ්‍රී ලංකා ආණ්ඩුව කෙළින් හිටියේ නැහැ. ඒ අතින් ආණ්ඩුව ගැන කනගාටුයි. ආණ්ඩුවට ඍජු විදේශ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. නමුත් එහෙම නැති එක ගැන අපිට විවේචනයක් තිබෙනවා. ඇතැම් ඇමතිවරුන්ට පෞද්ගලිකව වුවමනාව තිබෙනවා එහෙම දේවල් ගැන. නමුත් ආණ්ඩුව ඒ කටයුත්ත හරියට කරන්නේ නැහැ. පලස්තීනයේ ප්‍රශ්නය මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ඒක සියලු දෙනාගේම ප්‍රශ්නයක්. අධිරාජ්‍යවාදයට එරෙහිව තිබෙන අරගලයක්. ඒ අරගලයට සෑම දෙනාගේම සහාය අවශ්‍යයි.” විජිත හේරත් කීවේ, විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයා ඉදිරියේ සිටියදීය. එසේ කියන විට වසන්ත සේනානායක එය හොඳින් අසා සිටි අතර කිසිවක් පැවසූයේ නැත.

විශේෂ අධිකරණය දේශපාලන පළිගැනීම් නොකරන තැනක් බව ආණ්ඩුව ඔප්පු කළ යුතුයි…

ආණ්ඩුව විසින් විශේෂ අධිකරණ පිහිටුවීමට ගෙන එන ලද පනතට ජනතා විමුක්ති පෙරමුණද සහාය ලබා දුන්නේය. එසේ වුවද පනත පිළිබඳ ඡන්දය විමසන අවස්ථාවේ ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නොසිටියහ. කෙසේ වෙතත් මේ පනත පිළිබඳව ජවිපෙ නායකයෝ කතාබහක නිරත වූයේ එය ක්‍රියාත්මක වන්නේ කොයි ආකාරයටදැයි පැහැදිලි කර ගැනීමටය.
 ’ ආණ්ඩුව විශේෂ අධිකරණ පිහිටුවීමේ පනත ගෙනත් සම්මත කර ගත්තට ඉදිරි ක‍්‍රියාමාර්ග කොහොම වෙයිද කියලා බලාපොරොත්තු තියන්න බැහැ. මොකද මේ ආණ්ඩුව පත් වෙලා මූලින් කරන්න තිබුණ වැඩක් තමයි දැන් අවුරුදු 03ක් පහුවෙලා තියෙන්නේ.” නලින්ද ජයතිස්ස කියා සිටියේය. ‘ ‘සමාජයෙන් ආපු විරෝධයත් නිසා ආණ්ඩුව ප්‍රමාද වෙලා හරි මේ ක්‍රියාමාර්ගය ගත්ත එක හොඳයි. නමුත් ඉදිරියේදී වංචා දූෂණ ගැන කරන පරීක්ෂණ දේශපාලන පළිගැනීම් නොවන බව ආණ්ඩුව ඔප්පු කළ යුතුයි. ආණ්ඩුවේ වංචා දූෂණ ගැන තමයි මුලින්ම හොයන්න ඕනෑ. විශේෂයෙන් බැඳුම්කර ගනුදෙනුව.” විජිත හේරත් කීවේය. ‘ ඒකාබද්ධයේ අය මේකට විරුද්ධ වුණේ දේශපාලන පළිගැනීම් කරනවා කියලා. නමුත් ඒ අයටත් මේක හොඳ අවස්ථාවක්. තමන්ට එල්ල වෙලා තියෙන චෝදනා විමර්ශනය කරලා ඒවා බොරු නම් චෝදනාවෙන් නිදහස් වෙන්න එයාලට පුළුවන්. ඇත්තට හොරකම් කරපු අය තමයි පරීක්ෂණවලට බය.” බිමල් රත්නායක කීවේය.

මහින්ද, සුසිල් වෝටර්ස් ඒජ්හිදී රහස් කතාබහක 

ප්‍රසන්න රණවීරගේ උපන් දින සාදය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. රණවීරගේ උපන් දිනය වෙනුවෙන් සාදයක් පැවැත්වීමේ අදහස එළියට ආවේ කලින් දින පැවැති දිලුම්ගේ උපන් දින සාදයේදීය. 
‘මොකක්ද බං උඹත් පාටියක් දීපන්කෝ’ මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ. 
‘උඹ පාටියක් දෙනවා නම් සේරම මං ඕගනයිස් කරන්නම්’ මහින්දානන්ද වගකීම භාර ගත්තේය. ඒ අනුව රණවීරගේ අනුමැතිය පරිදි සාදයට ලහි ලහියේ කටයුතු සූදානම් කෙරිණි. සාදය පවැත්වෙන ස්ථානය, වේලාව, අමුත්තන්ගේ ලේඛනය මෙන්ම ආහාර මෙනුපතද තීන්දු කෙරුණේ දිලුම්ගේ උපන් දින සාදය අස්සේමය.
ඒ අනුව පසුවදා සවස රණවීරගේ උපන් දින සාදය පැවැත්වුණු අතර, මහින්ද රාජපක්ෂ රාත්‍රී අටට පමණ එහි පැමිණියේය. බැසිල් රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් අතර සුසිල් ප්‍රේම්ජන්තද එම සාදයට සහභාගි වී සිටිනු දකින්නට ලැබුණි. සාදය ආරම්භයේදී මහින්ද පැමිණෙන්නට පෙරාතුරව ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සුහද කතාබහක නියැළෙමින් සිටියහ. ප්‍රසන්න, දිලුම්, නිරෝෂන්, රණවීර, සුසිල් ඇතුළු පිරිසක් එහි වූ අතර, ඔවුන්ගේ අවධානය යොමු කෙරුණේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි. 
‘දැන් ඉස්සරහට මොකක්ද කරන්න යන්නේ ඇමැතිතුමා’ ප්‍රසන්න ඇසුවේ සුසිල්ගෙනි. 
‘අපි නම් තීන්දුවක් අරන් ඉවරයි. අපි දැන් බලාගෙන ඉන්නේ අනික් කට්ටිය මොකද කරන්න යන්නේ කියලා’ සුසිල් උත්තර දුන්නේය.
‘ඔහොම බල බලා හිටියොත් නම් පරාදයි. අපි නම් කියන්නේ දැන් ඔබතුමාලත් අපිත් එක්ක එකතු වෙන්න කියලයි. දැන් තීන්දුවක් ගන්න ඕනේ. එහෙම නොවුණොත් ඔබතුමාලා කරපු කැපකිරීම්වලත් ඵලක් නැතුව යයි’ ප්‍රසන්න පැවසීය. 
‘ප්‍රසන්න අයියා කියන කතාව හරි. ආණ්ඩුව වට්ටන වැඩෙන් වැඩි කොටසක් අපි පහුගිය කාලයේ කළා. ඉතුරු වැඩ ටික කරන්න ඔබතුමාලත් අපිට එකතු වෙන්න ඕනේ’ දිලුම් පැවසීය. 
මහින්ද සාදයට පැමිණෙත්ම දුටුවේ සුසිල්වය. 
‘කොහොමද සුසිල්?’ මහින්ද ඇසුවේය.
‘හොඳින් ඉන්නවා සර්’ සුසිල් උත්තර දුන්නේය.
‘කොහොමද ඔයාලගේ කට්ටිය?’ මහින්ද ඇසුවේ ඇමැතිකම් අත්හළ 16 දෙනා ගැනය.
‘අපි නම් ගාණට වැඩේ කරගෙන යනවා. හැබැයි අනෙක් කණ්ඩායම ඒකට කලබල වෙලානේ’ සුසිල් පැවසීය.
අනතුරුව මහින්ද සහ සුසිල්ට පමණක් සීමා වූ සාකච්ඡාවක්ද පැවති අතර, අනෙකුත් මන්ත්‍රීවරු ඒ දෙදෙනාට සාකච්ඡා කරන්නට ඉඩ සලසමින් එහෙමෙහෙ වනු දකින්නට ලැබුණි. එම සාකච්ඡාව මිනිත්තු 20ක් පමණ පැවති අතර, සාකච්ඡාවෙන් අනතුරුව සුසිල් මහින්ද සමග ආහාර ගැනීමටද එක්විය. 

මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ කළමනාකරණයක් නැතිකමයි, නොදැනුවත්කමයි 

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුව විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. ඉන්ධන මිල ඉහළ යාම නිසා ජනතාව පීඩාවට පත්ව සිටීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි. වහාම මැතිවරණයක් පවත්වන ලෙසට ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමටත් කොළඹ කේන්ද්‍ර කොටගෙන ප්‍රධාන පෙළේ ජනරැලියක් පැවැත්වීමටත් මෙහිදී තීන්දු කෙරිණි. 
‘ආණ්ඩුව තෙල් මිල වැඩි කරලා ඒකේ අපවාදයත් දාන්න හදන්නේ මගේ කරට. ඒ අය කියන විදියට අපේ ආණ්ඩුව කාලේ මීට වඩා තෙල් මිල වැඩිලු. හැබැයි එයාල කියන්නේ නැහැ ඒ කාලෙ ඩොලර් 103ට ගත්ත බොරතෙල් බැරල් එක දැන් ඩොලර් 70ට අඩුවෙලා කියලා. ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් නතර කළා නම් තෙල් මීට වඩා අඩුවට දෙන්න පුළුවන්’ මහින්ද පැහැදිලි කළේය. 
‘ඒ කතාව හරි. මට මතකයි අපේ ආණ්ඩුව තියෙන කාලේ එක පාරක් බොර තෙල් බැරල් එක ඩොලර් 160, 170ටත් නැග්ගා. යුද්ධ කාලේ යුද්ධයටත් වියදම් කරගෙන අපි ඒ බර ජනතාවට නොවැටෙන විදියට ඒක කළමනාකරණය කළා. මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ කළමනාකරණයක් නැතිකමයි, නොදැනුවත්කමයි’ බන්දුල පැවසීය. 

‘ඔව් අපේ කාලේ ජීවන වියදම ගැන කතා කරන අයට අමතක වෙලා අපි ඒවා සේරම ‍කළේ මහා දැවැන්ත වියදමක් යුද්ධය වෙනුවෙන් කරන ගමන් කියලා. අද යුද්දෙත් නැහැ, සංවර්ධනෙත් නැහැ. හැබැයි බඩු මිල අහස උසට නැගලා’ ප්‍රසන්න කීවේය. 
‘තෙල් මිල වැඩි වුණාම අනෙක් හැමදෙයක්ම ගණන් යනවා. දැන් බලන්න බස් ගාස්තු සියයට 20කින් වැඩි කරන්න ඕනේ කියලා බස් සංගම් කියනවා. අනෙක් පැත්තෙන් එළවළු වගේ හැමදෙයක්ම ප්‍රවාහන වියදම් වැඩියි කියලා වැඩි වෙනවා. මේ හැමදේකින්ම අසරණ වෙන්නේ අහිංසක මිනිස්සු’ දිනේෂ් පෙන්වා දුන්නේය. 

‘ආණ්ඩුව ජනාධිපතිවරණයේදී ජනතාවට දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න මාසිකව ලොකු වියදමක් යනවා. ඒ ගාණ කවර් කරගන්න තමයි මේ විදියට තෙල් මිල හිටිහැටියේ ලොකු ගාණකින් ඉහළ දැම්මේ. ‍මිනිස්සුන්ගේ ඡන්ද මංකොල්ල කන්න හිතාගෙන ඔය බොරු පොරොන්දු දෙනකොට මේ අය හිතුවෙ නැහැ කවදාහරි මේවා ඉෂ්ට කරන්න ගියාම මොන වගේ අමාරුවකට මුහුණ දෙන්න වෙයිද කියලා. ඒ අය හිතුවේ බොරු කියලා හරි ඡන්ද ටික ගන්න විතරයි. දැන් ඒ සේරටම මුහුණදෙන්න වෙලා තියෙන්නේ ජනතාවට. අන්තිමට ජනතාවගේ කරට සේරම බර පැටවිලා’ මහින්ද පැහැදිලි කළේය.

ත්‍රස්ත විමර්ශන අංශය අසල හෝටලයකට පැමිණෙන ලෙස ඒකාබද්ධයේ සියලු මන්ත්‍රීවරුන්ට එස්.එම්.එස් පණිවුඩයක්

පසුගිය 15 වැනිදා දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන අංශයට කැඳවා තිබුණේ පසුගියදා දිගනදී හටගත් ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනුමටය. දිගන සිදුවීම අල්ලාගෙන දිලුම් අත්අඩංගුවට ගැනීමේ සූදානමක ආණ්ඩුව මුල සිටම සිටින බව පැහැදිලි වී තිබුණි. 
ඒ අනුව මැයි 08 වැනිදා පැමිණෙන ලෙස දිලුම්ට දැනුම් දී තිබුණත්, එදින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමට නියමිතව තිබුණු බැවින් දිලුම් කළ ඉල්ලීම අනුව 15 වැනි දින පැමිණෙන ලෙසට ඔහුට දැනුම්දී තිබුණි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් ඒ වන විට ‍සිටියේ කොළඹින් පිටත බැවින් දිලුම්ගේ සහායට ත්‍රස්ත විමර්ශන අංශය අසලට පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දුන්නේ කෙටි පණිවුඩයක් මාර්ගයෙනි. 

දිලුම්ගෙන් ප්‍රශ්න කෙරෙන දිනයේ ප්‍රසන්නටද නඩුවක් තිබුණු බැවින් දිලුම්ගේ සහයට යන්නට පුළුවන්කමක් තිබුණේ නැත. ඔහු 14 වෙනිදා දිලුම් අමතා තමන්ට පැමිණෙන්නට නොහැකි කාරණාව කීවේය.
‘මල්ලි මට නම් හෙට ඔයාගේ වැඩේට එන්න වෙන්නෙ නැහැ. මටත් නඩුවක් තියෙනවා. ඒකට නොගියොත් මටත් ඉන්න වෙන්නේ රිමාන්ඩ් එකේ තමයි’ පණිවුඩය ලැබුණු වහාම ප්‍රසන්න පැවසීය.
‘ඒකට කමක් නැහැ අයියේ. අයියා ඒ නඩුවට යන්න. ආණ්ඩුව කොහොමත් බලන් ඉන්නේ අපේ කවුරුහරි කූඩුවට දාන්නනේ. අපි හැමෝම මේ වෙලාවේ පරිස්සමෙන් ඉන්න ඕනේ’ දිලුම් පැවසීය. 
මන්ත්‍රීවරුන් වෙත පණිවුඩය යැවීම භාරව තිබුණේ ෂෙහාන්ටය. ත්‍රස්ත විමර්ශන අංශය අසල තිබෙන හෝටලයකට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ට කෙටි පණිවුඩ යවන ලදී. ඒ අනුව එදින උදෑසන වන විට මන්ත්‍රීවරුන් 30ක් පමණ හෝටලය අසලට පැමිණ සිටියහ. එම හෝටලයේදී මන්ත්‍රීවරුන් සමග උදෑසන ආහාරය ගත් දිලුම් දහයට පමණ ත්‍රස්ත විමර්ශන අංශය තුළට ගියේ සිය කටඋත්තරය ලබාදීමටය. 

ඔහු එහි නිලධාරීන්ට ප්‍රථ‍මයෙන් දැනුම් දුන්නේ තමන්ට තවත් දිනක ඒමට නොහැකි නිසා එක දිනයකින්ම කටඋත්තරය ලබාගන්නා ලෙසය. ඒ අනුව පැය දොළහකට ආසන්න කාලයක් තිස්සේ දිලුම්ගෙන් කටඋත්තර ලබා ගැනුණි. මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් වැලිකඩ බන්ධනාගාරය අවට ප්‍රදේශයේ රැඳී සිටියේ හදිසියේ හෝ දිලුම් අත්අඩංගුවට ගතහොත් අවශ්‍ය කාරණා සම්පාදනය කිරීම සඳහායි. 
දිලුම් සමග ඒකාබද්ධ විපක්ෂයේ ෂෙහාන්, මහින්දානන්ද, බන්දුල ඇතුළු පිරිසක් ආහාර ගනිමින් සිටියදී සාකච්ඡාවට ලක්කෙරුණේ ඒ

බද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීම සඳහා ආණ්ඩුව වෙහෙස මහන්සි වන ආකාරයය. 
‘මම නම් දැනගෙන හිටියා ආණ්ඩුවට මාව මේකට පටලගන්න ලොකු වුවමනාවක් තියෙනවා කියලා. අද වුණත් ලැහැස්ති පිට ආවේ රිමාන්ඩ් කළත් කමක් නැහැ කියලා’ දිලුම් පැවසීය. 
‘ඔව් මේ ගැටුම පටන් ගත්ත වෙලාවේ ඉඳලම ආණ්ඩුව ඇඟිල්ල දික් කළේ ඒකාබද්ධ විපක්ෂය දිහාවට. විශේෂයෙන් දිලුම් ලොහාන් දෙන්නා ගැන තමයි ආණ්ඩුව ඇහැ ගහගෙන හිටියේ’ බන්දුල කීවේය. 
‘ආණ්ඩුව එෆ්.සී.අයි.ඩී කියලා දඩයම් පොලීසිය හදාගන්නකොටම අපි කිව්වා මේ සැරසෙන්නේ පොලිස් රාජ්‍යයකට යන්න කියලා. ඒකාබද්ධ විපක්ෂය තමයි ආණ්ඩුවට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය. අපිව මර්දනය කරලා 2020 ජනාධිපතිවරණයට යන්න තමයි ආණ්ඩුව සැර‍සෙන්නේ’ ෂෙහාන් පෙන්වා දුන්නේය. 

පොර කාලා නැගපු සමහරුන්ට පොහොට්ටුවේ නගින්න ඉඩ තියෙයිද දන්නෙ නැහැ

රද්දොළුගම ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකු විසින් ඉදිකළ ව්‍යාපාරික ස්ථානයක් 17 වැනිදා විවෘත කෙරුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. උත්සවයට පැමිණි මහින්ද පිළිගැනුමට ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල නියෝජනය කරන දේශපාලනඥයන්ද පැමිණ සිටීම විශේෂත්වයකි. 
එහි විශේෂිතම කරුණ වූයේ 2015 ජනවාරි 08 වැනිදා සිට මහින්ද වෙනුවෙන් පෙනී සිටි අයට වඩා මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කරමින් පැමිණ සිටි අය මහින්ද අසල සිටීමට පොරකනු දක්නට ලැබීමය. උත්සවයට පැමිණි මහින්ද විදුලි සෝපානයට ගොඩවන විටද එම තත්ත්වය දකින්ට ලැබුණි. 

පසුගිය කාලය පුරාම මෛත්‍රී සමග එක්ව මහින්ද විවේචනය කළ පළාත් සභා මන්ත්‍රී උපාලි ගුණරත්න සියලු දෙනා පෙරළාගෙන විදුලි සෝපානයට නැග මහින්ද අසලින්ම හිටගත්තේය. ඒ වන විට ප්‍රසන්න සිටියේ විදුලි සෝපානයෙන් පිටතය. 
‘ප්‍රසන්නත් එන්න’ ප්‍රසන්න එළියේ සිටිනු දුටු මහින්ද ආරාධනා කළේය. 
‘නෑ සර් මං පස්සේ එන්නම්. හැබැයි ඉතින් ඔය පොර කාලා නැගපු සමහරුන්ට මේකෙ ඉඩ තිබ්බට පොහොට්ටුවේ නම් නගින්න ඉඩ තියෙයිද දන්නෙ නැහැ’ ප්‍රසන්න කීවේ පිරිස සිනහ ගන්වමිනි. 
උත්සව සභාවට පැමිණි මහින්ද තමන්ට වෙන් කළ ආසනයේ අසුන් ගත් අතර, ඔහුගේ දෙපසින් ආනන්ද හරිශ්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර යන පළාත් සභා මන්ත්‍රීවරු අසුන් ගත්හ. මඳ වේලා‍වකින් ආනන්ද කිසියම් කරුණක් සඳහා අසුනෙන් නැගී සිටි අතර, ඒ බව දුටු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වහාම මහින්ද අසල අසුන් ගත්තාය.
සිය කටයුත්ත නිමා කළ ආනන්ද යළිත් සිය අසුන වෙත පැමිණියද ඒ වන විටත් සුදර්ශනී එහි අසුන්ගෙන සිටි බැවින් ආනන්දට අසුනක් ලැබුණේ නැත. සෑහෙන වේලාවක් සිය අසුන ලැබෙතැයි බලාපොරොත්තුවෙන් ආනන්ද එහි සිටගෙන සිටියද සුදර්ශනී ආනන්දගේ අසුන ලබාදීමට කටයුතු කළේ නැත.

ඉසුර, ප්‍රසන්න හමුවීමක්  

මිනුවන්ගොඩ නගර සභාවේ නව පුස්තකාල ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් 17 වැනිදා පැවැත්වුණේ බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රියගේ ප්‍රධානත්වයෙනි. ප්‍රසන්නත් මෙම උත්සවයට සහභාගි වී සිටියේය. 
මුල්ගල තැබීමෙන් අනතුරුව දිවා ආහාරය ගන්නා අතරතුර ඉසුර ප්‍රසන්න ඇඳ සිටි නිල් පැහැයට හුරු කමිසය පෙන්වමින් කීවේ ‘අපි දෙන්නම එකම වේදිකාවකට නැග්ගේ ගොඩ කාලෙකින්. ප්‍රසන්න මහත්තයා නිල් පාට ෂර්ට් එක තවම අතහැරලා නැහැ. එතුමා නිල් පාට අතහරින්නේ නෑ වගේම මම සාටකය අතහරින්නෙත් නැහැ’ කියාය.
‘ඔහොම කිව්වට ඔයාලගේ ලොක්කා කරන වැඩවල හැටියට අපිටත් නිල් පාට එපා වෙලා, අපේ පාක්ෂිකයන්ටත් නිල් පාට එපා වෙලා’ ප්‍රසන්න උත්තර දුන්නේය.
‘බණ්ඩාරනායක මහත්තයට වෙඩි තිබ්බේ සෝමාරාම. හැබැයි එතුමව මැරුවේ මෛත්‍රීපාල’ ඒ සමගම නැගී සිටි මිනුවන්ගොඩ හිටපු නගරාධිපතිවරයකු මෙන්ම මෛත්‍රීවාදියකුද වන අනුර රත්නායක කීවේ සැවොම සිනා ගන්වමිනි. 

කථානායකගෙන් සී.අයි.ඩි.යට ප්‍රකාශයක්

2008 වසරේ රට කැළඹූ මාධ්‍යවේදී කිත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය යළි කරළියට පැමිණ තිබෙන්නේ ඒ පිළිබඳ පරීක්ෂණ මේ වන විට කඩිනමින් ක්‍රියාත්මක වීම හේතුවෙනි. මේ පිළිබඳව රහස් පොලීසිය කථානායකවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට සූදානම් වන්නේ කවර කරුණක් අරඹයාදැයි  බොහෝදෙනාට ප්‍රශ්නයක් විය. කිත් නොයාර් පැහැර ගත් 2008 මැයි 22 දින රාත්‍රිය පුරා නිදිවර්ජිතව සිටිමින් ඔහු බේරාගැනීම සඳහා මාධ්‍යවේදීන්  සමග එක්ව මෙහෙයුමක් කළේ එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වූ වර්තමාන කථානායක කරු ජයසූරිය මහතාය. ඔහු එලෙස ක්‍රියාත්මක නොවන්නට යළි කිසි දිනෙක කිත් නොයාර් සජීවීව දැකගන්නට ඉඩ නොතිබූ බව මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝදෙනාට  රහසක් නොවේ. කෙසේවෙතත් සිකුරාදා දින රහස් පොලීසියට තමා දත් සියල්ල අනාවරණය කිරීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වූයේ දශකයකට පසුව හෝ යුක්තිය ඉටුවනු දැකීම සිය ප්‍රාර්ථනය නිසා බව කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>