ගැහැනු දරුවාගේ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික වැඩසටහන පසුගිය 11 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා පාසල් දරු දැරියන් 1000කට අධික පිරිසක් සහභාගි විය. මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ සමස්ත අපයෝජනයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට අදාළ පණිවුඩය සමාජගත කිරීම හා 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ප්‍රචලිත කිරීමයි. එසේම නාට්‍යානුසාරයෙන් දරුවන්ට අදාළ තොරතුරු සමීප කරවීමද මෙහිදී සිදුවිය. එමෙන්ම මේ අවස්ථාවට චතුරිකා සිරිසේන මහත්මිය සහ ගරු කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරනායක ඇමතිතුමිය සහ තවත් ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ.


මේ අවස්ථාවේදී අදහස් දැක්වූ චතුරිකා සිරිසේන මහත්මිය,
මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම තහවුරු වන්නේ වර්තමාන පරම්පරාවේ සාධනීය ලක්ෂණයන් මගිනුයි. ඒ තුළින් ගැහැනු දරුවන් ගත්තාම සුවිශේෂී වෙනවා. අපේ ලෝකය වෙනස් කරන අපේ සලකුණ වන්නේ කාන්තාවයි. ඒ නිසා සමෘද්ධිමත් රටක්, සමෘද්ධිමත් ලෝකයක්, සමෘද්ධිමත් සමාජයක් තනන්නට නම් කාන්තාව අනිවාර්යෙන් වැදගත් වෙනවා. අපේ රටේ වැඩි බහුතරයක් ඉන්නෙ කාන්තාවෝ. මේ කාරණය විමසිලිමත්ව හිතන්න ඕන කාරණයක්. පරිපූර්ණ පෞරුෂයක් හිමි කාන්තාවක් බිහිකරන්නට නම් මුළු සමාජයම කැපවෙන්න අවශ්‍යයි. බොහෝදෙනෙක්ගෙ පිළිගැනීම තමා කාන්තාව වඩාත් කායිකව, මානසිකව නිරෝගීමත් වීම යන කාරණය. ඉතිහාසය ගත්තාම කාන්තාවට සුවිශේෂී තැනක් තිබෙනවා. කාන්තාවට ගෞරව කිරීම අපේ සංස්කෘතිය තුළ තිබෙනවා. ගෙදර බුදුන් කියන්නෙ අම්මට. ඉතිං අම්මගේ පෞරුෂත්වය ගෙදර පිරිලා තිබෙනවා. සමාජ සංස්කෘතිය ගත්තම අපේ සටන් පාඨ, උද්ඝෝෂණ, ඉල්ලීම් දක්නට තිබුණෙ නැහැ. කාන්තාවට අපේ සමාජයේ නිසි තැන ලැබුණා. නමුත් අද තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. ගෝලීය සමාජ වටපිටාවත් එක්ක අපි අත්දකින දේ වෙනස්. සමහර වෙලාවට හිතෙනවා අපේ සමාජය පිරිහිලාද කියලා. මේ නිසා දියණියකට අනිවාර්යයෙන්ම සුරක්ෂිතව පරිපූර්ණ වීමට ඉඩකඩක් ලබාදීමයි අපේ අදහස. අද සමාජයේ දියණියකට සුරක්ෂිතව ජීවත් වෙන්න අවස්ථාව ලැබී තිබෙනවාද කියන එක ගැන සැකයක් තිබෙනවා. ජනාධිපතිතුමා මෑතකදී සඳහන් කළා ළමයින්ට වඩාත් ආරක්ෂිත තැන පාසල කියලා. දින කීපයකදී වුණ සිදුවීම් ගත්තම තම නිවසෙන්ම සහ අවට අසල්වාසී නිවෙස්වලින් තමා දරුවො හිංසාවට, පීඩනයට නැතිනම් වදහිංසාවට පත්වෙලා තිබෙන්නේ. අද ලෝකයේ දරුවන් මිලියන 0.5ත් 1.5 ත් අතර ප්‍රමාණයක් විවිධාකාර භායානක අත්දැකීම්වලට මුහුණ දෙනවා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලෝකයේ මිලියන 150ක ගැහැනු දරුවන් වගේම පිරිමි දරුවනුත් ලිංගික අපචාර හා හිංසනයට ලක් වෙනවා. ඒ වගේම මිලියන 115 ක දරුවන් අතිශයින්ම භයානක රැකියාවල නිරත වෙනවා. මේ අතරින් බහුතරයක්ම අසියාතික රටවල දරුවන්. ළමා අයිතිවාසිකම් අනුව සෑම ළමයෙකුටම මානසිකව, කායිකව, සමාජීයව හා ලිංග‍භේද අනුව, ජාතිය, කුලය අනුව හිංසාවක් පීඩාවක් නොකළ යුතුයි. 

IMG_6408

සියලුම ගැහැනු දරුවන් ආරක්ෂිත වෙන්න ඕන. ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව සොයා බැලිය යුතුයි. ළමා අයිතිවාසිකම් දෙස වැඩිහිටියන් වශයෙන් අපි අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ විතරක් නෙමේ, වැඩිහිටියන් ලෙස දරුවන් ගැන මීට වඩා සෙවිය යුතු කාලයක් එළඹිලා තිබෙනවා. ළමා හිංසනය ගත්තාම එය විවිධාකාරයෙන් සිද්ධ වෙනවා. සමහර විට පහරදීම්, ලිංගික අපචාර ආදී නොයෙකුත් දේවලට ලක් වෙනවා. ඒ වගේම මූලික අධ්‍යාපනය නොලැබෙන දරුවන්ද පීඩාවට ලක්වෙලා තිබෙනවා. 
ළමා අයිතිවාසිකම් ගැන කතා කරද්දී විශේෂයෙන් ගැහැනු දරුවන්ගේ ආරක්ෂාවට වගකිව යුත්තේ කවුරුන්ද කියන එක ගැටලුවක්. ඒ වගේම ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන්න ඕන ආයතන කිහිපයක් තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධ පළවෙනි වගකීම තිබෙන්නේ ඔවුන්ගේ පවුලට. ඊළඟට රජයට. ඊළඟට සිවිල් සමාජයට. ඒ වගේම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව රජය මීට වඩා සොයා බැලීම අවශ්‍යයි. ඒ වගේම දරුවෙක් පීඩාවට පත්වුවහොත් ඒ සම්බන්ධ දැනුවත් කිරීමට ඊට සුදුසු ආයතනයක්, ඊට සුදුසු නිලධාරීන් ඉන්නවාද කියා සොයා බැලිය යුතුයි. ඒ ආයතනවල නිසි නිලධාරීන් නොසිටියහොත් අපේ දරුවන් තවත් අසරණභාවයට ලක්වෙනවා. දරුවන්ට ඒ දේවල් කියන්න තැනක් නැති වීමෙන් ඔවුන් අසරණභාවයට පත්වෙනවා. ඒ නිසා අපි මීටත් වඩා ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. අපි දෙමවුපියන් විදියට දරුවන්ට ළංවීම තුළින්, සොයා බැලීම තුළින්, දරුවන් සමග සුහදව සාකච්ඡා කිරීම මගින් අපිට දරුවන් තේරුම් ගැනීමට පුළුවන් වෙනවා. 

ඒ වගේම පොදු ස්ථානවලදී දරුවන්ට මීට වඩා විශේෂ තැනක්, ප්‍රමුඛස්ථානයක් තිබිය යුතුයි. ළමා හිංසනය වැළැක්වීමට කඩිනම් ක්‍රමවේදයක් තිබිය යුතුයි. උදාහරණයක් හැටියට ගත්තොත් කඩාකප්පල්කාරී හා ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් දරුවන් ත්‍රස්තවාදී කටයුතුවලට යොදාගෙන තිබෙනවා. ඒ වගේම ආසියාතික රටවල ළමා ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. ඒ මගින් දරුවන් වි‘ශාල පීඩනයකට පත්වෙලා තිබෙනවා. ඒ පීඩනයන් තුළින් අසාමාන්‍ය දරුවන් තමා සමාජයට යොමු වෙන්නේ. බාලවයස්කාර විවාහ එන්න එන්න වැඩි වීම සිදුවෙනවා. ලෝකයේ බිලියන 63ක් පමණ ඉන්නවා අධ්‍යාපනයක් නොලබන දරුවෝ. අපේ රටේ ගත්තත් මෙවැනි තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධව ඊට වගකිව යුතු ආයතන ඒ සම්බන්ධව ක්‍රියා කළ යුතුයි. ගැහැනු දරුවන්ට අධ්‍යාපනය හා වෘත්තීය දැනුම ලබාදීම තුළින් ‘ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන්. 

පාසල් අධ්‍යාපනය තුළත් ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධව දැනුවත් කළ යුතුයි. ඒ තුළින් දරුවන් වැරදි දේවලට යොමු වීම වළක්වා ගන්න පුළුවන්. දරුවන්ගේ පෞරුෂය වැඩිදියුණුවට වැඩපිළිවෙළවල් දියත් කළ යුතුයි.  ඒ වගේම කියන්න තියෙන්නේ දරුවො ගැන අවධානය මේ වගේ එක් දිනයකට සීමා නොකර දින 365 තුළම දරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඕන. 

මේ අවස්ථාවේදී චන්ද්‍රානි බණ්ඩාරනායක මහත්මිය අදහස් දැක්වූයේ මෙසේය.
“ඇත්තෙන්ම මේ දිනය එක දවසකට සීමා කිරීම නෙමෙයි කළ යුත්තේ. විශේෂයෙන් ගැහැනු දරුවාගේ දිනය පිළිබඳ අපි හැමෝම හිතන්නේ සමස්ත දරුවන් වෙනුවෙන් හැම තත්පරයක් පාසාම අපි මිඩංගු කිරීම අවශ්‍යයි කියලා. ගැහැනු දරුවා ලෝකයට බිහිවුණාට පස්සේ දවසින් දවස ඉදිරියට යනවා. දියණියක් හැටියට, සහෝදරියක් හැටියට, මිතුරියක් හැටියට, මවක් හැටියට වගේම විවිධ ආයතනවල නිලධාරිනියන් හැටියටත් අද කාන්තාව ඉදිරියට ඇවිත් තිබෙනවා. ඉදිරියට යන මේ දරුවන්ට මම හිතන්නේ මේ යන ගමන තුළදී විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. අපහාසයන්ට වගේම වෙනත් ප්‍රශ්නවලට, ඒ වගේම නොසලකාහැරීම්වලට, ලිංගික අපචාර හා අපි නොහිතන සිදුවීම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ නිසා විශේෂයෙන් මතක් කරන්නේ සමස්ත දරුවෝ තමයි ඉදිරියේදී අපේ අනාගතය. අපි මේ අනාගතය දකින්නේ අපිට ලැබිලා තිබෙන උතුම්ම වස්තුවක් හැටියට. මේ මානව සම්පත ආරක්ෂා කරගැනීම අපි සියලුදෙනාම කළයුතු දෙයක්. ඒ වෙනුවෙන් අපි මීට වැඩිය සැලකිලිමත් වෙලා උනන්දුවක් දක්වලා කටයුතු කළ යුතුයි. මේ ගැහැනු දරුවා වෙනුවෙන්  ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ මීට වැඩිය අවධානයක් යොමු කරලා, අවශ්‍ය රැකවරණය, ආරක්ෂාව සපයලා, ඔවුන්ගේ අභිමානය වෙනුවෙන් කටයුතු කරලා ආදරය හා කරුණාව මීට වැඩිය ලබාදෙනවා නම් මේ සමාජය තුළ අහන්න තිබෙන දේවල්, දකින්න තිබෙන දේවල් අපිට අවම කරගන්න පුළුවන් වෙනවා. 

IMG_6444

විශේෂයෙන් පිරිමි පාර්ශ්වයට කරන්න ලොකු කාර්යභාරයක් තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ශක්තිය හා රැකවරණය දෙන්න අවශ්‍ය වෙනවා. ඒ තුළින් ගැහැනු දරුවන්ට ජීවත් විය හැකි ආරක්ෂිත වටපිටාවක් ලෙහෙසියෙන් හදන්න පුළුවන්. මේ සියලු දේ ගැන අවධානය , උනන්දුව යොමු කරනවා නම් මම හිතන්නේ මේ අහන්න තිබෙන දේවල් අඩු කරගන්න පුළුවන් වෙනවා. ඔබේ මව, සහෝදරිය, නැඟණිය, මිතුරිය, බිරිඳ ගැන මීට වඩා අවධානය, ගෞරවය ලබාදෙන්න කියා ඉල්ලනවා'

IMG_6366 IMG_6372

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>