Monthly Archives: April 2018

ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසල නව සහයෝගීතාව

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා පාසල (SLAC) ලන්ඩන් හි කිංස්ටන් විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ දී ගුවන්යානා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් පිරිනැමීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබේ.

එමඟින් කලාපයේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ අධ්‍යාපන කටයුතු සඳහා නව මානයක් විවර වනු ඇති බව ඔවුහු පවසති.

මෙම වැඩසටහන මඟින්, EASAB බලත්‍ර පුහුණු සහතිකයක් ලබාගැනීමට සිදුසුකම් සපුරන සිසුන්ට එමගින් Royal Aeronautical සමිතිය විසින් ප්‍රදානය කරන ගෞරවනීය උපාධියක් ලබාගැනීමට හැකියාව පවතින බවත්, තවද මෙමගින්  EASA Part 66 / CAASL IS 66 හෝ ඊට සමාන වර්ගයක ගුවන් යානා නඩත්තු ඉංජිනේරු පාඨමාලාව අර්ධ කාලීනව ඉහළ උපාධිය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන බවත් ඔවුහු පවසති. මෙය එය 2018 මැයි මස සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

1_MOU signing photo

පාලක පන්තියේ අර්බුදය උත්සන්න වෙලා

ආර්ථික අර්බුදය එලෙස පවතිද්දී පාලක පන්තියේ අර්බුදය උත්සන්න වී තිබෙන බවත්,පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය හා අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව හේතුවෙන් හවුල් ආණ්ඩුවේ අවුල වැඩි වී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මේ හේතුවෙන් රට තුළ ආණ්ඩුවක් නැති තත්ත්වයට පත්ව අරාජිත වී තිබෙන බවද එම පක්‍ෂය විසින් නිකුත් කරන ලද මැයි දින පණිවුඩයේ සඳහන් කර තිබේ.

ලංකාව දැවන්ත මූල්‍ය අර්බුදයකට ලක්ව ඉන් ගොඩ ඒමට නොහැකිව ඒ තුළට ගිලෙමින් තිබෙන බවත්, රටතුළ ගොඩනැගී ඇති දැවන්ත ණය කන්දරාවත්, විදේශ වෙළෙඳාමේ පාඩුව හා විදේශ වත්කම් විශාල ලෙස පහළ වැටීමත් නිසා රුපියල බාල්දු වෙමින් විශාල අර්බුදයකට මග විවර කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

da5663611c129570bc0dcd23ba64f0bc_XL

ඇන්ටාක්ටිකා ග්ලැසියරයක් අධ්‍යයනයට පියවර ගැනෙයි

ඇන්ටාක්ටිකාවේ වූ දැවැන්ත ග්ලැසියරක් පිළිබඳ අධ්‍යයනය කිරීමට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව එක්ව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ත්වාටීන් ග්ලැසියරය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර, දෙරටේ විද්‍යාඥයන් පවසන්නේ මේ සඳහා වසර පහක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

එහිදී, මෙම දැවැන්ත ග්ලැසියරයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ඔවුන් සොයාබලනු ඇති අතර, මෙම දැවැන්ත අයිස් කුට්ටිය ප්‍රමාණයෙන් බ්‍රිතාන්‍යයට සමාන වෙයි.

1990 වසරේ සිට සිදුවන මුහුදු මට්ටම් ඉහළ යෑම හේතුවෙන් මේ ආකාරයෙන් ග්ලැසියර දියවීම පිළිබඳ අධ්‍යයනය කිරීමට ලොව ප්‍රබල රටවල් අවධානය යොමුකර තිබේ.

1_Glacier 2

රාජ්‍ය ආයතනය කුණු කොල්ලයට විකුණා දමමින් සිටිනවා

ආර්ථික ගැටලු ආණ්ඩුව විසින්ම ඇතිකරගත්තක් බවත් මෙයට විසඳුම් ලෙස රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණා දමමින් සිටින බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ලෝක කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

වර්තමානය වන විට යළිත් වරක් රාජ්‍ය අංශය හකුළා දැමීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවත් පෞද්ගලික අංශය තුළද වැඩකරන ජනතාව දිනෙන් දින අනාරක්ෂිත තත්ත්වයට පත්වෙමින් සිටින බවදරාජපක්ෂ මහතා පවසා සිටියේය.

එසේම වෙනත් රටවල සේවා වියුක්තිය පිළිබඳ ගැටලු ශ්‍රී ලංකාවේදී විසඳා ගැනීමට අවස්ථා නිර්මාණය කරන ගිවිසුම්වලට එළඹීමෙන් ස්වදේශිකයන්ගේ රැකියා අහිමිවන බවත් ඔහු පෙන්වා දෙයි.

mahinda-rajapaksa

 

සිරියානු රජයට පක්ෂපාතී හමුදා වෙත ගුවන් ප්‍රහාරයක්

උතුරුදිග සිරියාවේ හාමා සහ ඇලෙප්පෝ හි රජයට පක්ෂපාතී සටන්කාමීන් සහ ඉරාන සටන්කාමීන් ඉලක්ක කර දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

සිරියානු හමුදා පවසා සිටියේ හාමා සහ ඇලෙප්පෝ හි ගොඩනැගිලි සංකීර්ණයක් මෙම ප්‍රහාරයෙන් විනාශ වී ඇති බවයි.

කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව ඔවුන් සඳහන් කර නැත. නමුත්, බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් නිරීක්ෂණ කණ්ඩායම් පවසා සිටියේ සිරියානුවන් සිව්දෙනෙකු සහ විදේශීය සටන්කාමීන් 22 දෙනෙකු ජීවිතක්ෂයට ලක්ව ඇති බවයි. ඔවුන් වැඩි දෙනා ඉරාන ජාතිකයන් බවද ඔවුන් පවසා තිබුණි.

ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කරනු ලැබුවේද යන්න මෙතෙක් සඳහන් කර නොතිබුණත්, මීට පෙර ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර සන්ධානය සහ ඊශ්‍රායලයද සිරියාව වෙත ප්‍රහාර එල්ල කර තිබුණි.

1_Syria 2

ශ්‍රී ලංකා පවුලක් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සාමකාමී විරෝධතාවක්

ඔස්ට්‍රේලියාවේ පිටුවහල් කිරීමකට මුහුණදී සිටින ශ්‍රී  ලාංකික පවුලක් වෙනුවෙන් පෙනී සිටීමට ඔස්ට්‍රේලියාවේ සමාජ ක්‍රියාකාරී කණ්ඩායමක් ඉදිරිපත්ව තිබේ.

සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින මෙම සංවිධානය හෙට (01දා) Hargreaves හිදී ශ්‍රී ලංකා පවුල වෙනුවෙන් සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වමීමට කටයුතු කර තිබේ.

යුදමය සමයේදී ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය අපේක්ෂාවෙන් පිටත්ව ගොස් ඇති මෙම පවුලට ඔස්ට්‍රේලියාවෙන් ලබාදී තිබූ වීසා පසුගිය මාසයේදී අවසන්ව ඇත. ඒ අනුව ඔවුන්ව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියා රජය සූදානමින් සිටියි.

Bendigo-RAR-1024x768

කාබුල් ISIS ප්‍රහාරය මාධ්‍ය ඉලක්ක කරයි -25ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ IS බෝම්බ ප්‍රහාර ද්විත්වයකින් පුද්ගලයන් 25 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරයෙන් මියගිය අය අතර ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද සිටින අතර, ඔවුන්ගෙන් එක් අයෙකු කාබුල් නගරයේ ප්‍රංශ පුවත් සේවය වෙනුවෙන් කටයුතු කරන ප්‍රධානතම ඡායාරූප මාධ්‍යවේදියා වන ෂාහ් මාරායි ය.

පළමු ප්‍රහාරය යතුරුපැදියක පැමිණි ප්‍රහාරකයෙකු විසින් සිදුකර තිබුණු අතර, ඉන් විනාඩි 15කට පමණ පසුව දෙවැනි ප්‍රහාරය එම ස්ථානයට ජනතාව හා වාර්තාකරුවන් රැස්වූ අවස්ථාවේදී එල්ල කර තිබුණි.

මෙම ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් භාරගෙන තිබේ.

ප්‍රංශ පුවත් සේවය පවසා තිබුණේ මෙම දෙවැනි ප්‍රහාරය හිතාමතාම එම ස්ථානයට පැමිණි මාධ්‍යවේදීන් ඉල්ල කර එල්ල කරන ලද්දක් බවයි.

කාබුල් ආරක්ෂක අංශ පවසා සිටියේ මියගිය අය අතර මාධ්‍යවේදීන් 8 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 4 දෙනෙකුද සිටින අතර, සිද්ධියෙන් තවත් 45කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

1_kabul 2 3

GMOA 04 දා සිට යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට

කොතලාවල වෛද්‍ය විද්‍යාලයට සයිටම් ආයතනය ඒකාබද්ධ කිරීමට ගෙන තිබෙන තීරණය අවලංගු නොකළොත් මේ මස 04 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍ය වැඩවර්ජනය තීරණය කිරීම සඳහා මැයි 03 වැනිදා සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට තීරණය කළ බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මීට අමතර සයිටම් විරෝධී ඒකාබද්ධ කමිටු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මැයි 08 වැනිදා රැස්වීමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය.

මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට මැයි 03 වැනිදාට පෙර අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළ බවද ලේකම්වරයා සඳහන් කළේය.

එම ඉල්ලීමට අවස්ථාව නොලැබුණොත් මැයි 04 වැනිදා වෛද්‍ය වැඩවර්ජනයක් සිදු විය හැකි බවත්, මධ්‍යම කාරක සභාව 03 වැනිදා එම තීරණය ගතහොත් 04 වැනිදා වෛද්‍ය වැඩවර්ජනයක් සිදු වන බවත් හෙතෙම පවසා සිටියේය.

GMOA-01

 

බස් රියදුරෙකුගේ පුතෙක් බ්‍රිතාන්‍ය ස්වදේශ ඇමති වෙයි

මහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී බස් රථ රියදුරෙකු ලෙස කටයුතු කර තිබූ පාකිස්තාන ජාතිකයෙකුගේ පුත්‍රයක් එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත්ව තිබේ.

බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඇම්බර් රූඩ් එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග සජීඩ් ජාවීඩ්ට මෙම ධුරය හිමිවී ඇත.

එමෙන්ම, සුළුතර ජන කණ්ඩායමකින් එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් ප්‍රථම අමාත්‍යවරයා බවටද ඔහු පත්වෙයි.

සිය අමාත්‍යාංශය විසින් සකස් කළ සංක්‍රමණිකයන් ඉවත්කිරීමේ ඉලක්කවලින් හිතාමතා මන්ත්‍රීවරු නොමග යැවූ බව පවසමින් ඇය මෙසේ සිය ධුරයෙන් ඉවත්ව ඇත.

එමෙන්ම, ඇගේ ඉල්ලා අස්වීම අගමැති තේරේසා මේ විසින්ද අනුමත කර තිබේ.

1_UK MP

අගමැති එදා වෙසක් සැමරූ හැටි කියයි

අතීතයේදී අටපට්ටම් හා බකට් ආදිය ආලෝකමත් වූයේ ඉටිපන්දම් ආලෝකයෙන් බවත් එම ඉටිපන්දම් හේතුවෙන් අටපට්ටම් බකට් ගිනි ගන්නා හෙයින් එම ගිනි නිවීම සඳහා වතුර බාල්දි ළඟ තබාගෙන සිටි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

දයා ගමගේ සමූහ ව්‍යාපාරයේ මූලිකත්වයෙන් පැපිලියානේ ඉදිකළ තොරණ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඊයේ (29දා) අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“වෙසක් උත්සවය සැමරීම පළමුවෙන්ම යෝජනා කළේ 'ඕල්කට්' මැතිතුමායි. බෞද්ධ කොඩිය නිර්මාණය කළ පසු එම බෞද්ධ කොඩිය සමග පොල්තෙල් පහනක් පත්තු කිරීමටයි එදා යෝජනා වුණේ. ඉන්පසුව එය එක පහනක් නොව පහන් රාශියක් දක්වා පුළුල්වී වෙසක් උත්සවය සැමරීමක් බවට පත්වුණා. ඒ කාලයේ වෙසක් කූඩුත් අපි නිර්මාණය කළා. එදා එම වෙසක් කූඩු ආලෝකමත් වුණේ ඉටිපන්දම් ආලෝකයෙනුයි. අප නිර්මාණය කරන අට පට්ටම්, බකට් ආදිය ඉටි පන්දම් නිසා ඉක්මනින් ගිනි ගන්නවා. එවිට ඇතිවන ගිනි නිවීම සඳහා වතුර බාල්දි ළඟ තබාගෙන සිටි ආකාරයත් මට මතකයි. ඒ කාලයේ අප වෙසක් සැමරුවේ එලෙසයි.’’ යැයි අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.

4-(1)