Monthly Archives: March 2018

නව දේශීය ආදායම් පනත අද සිට ක්‍රියාත්මකයි – බදු සංශෝධන කිහිපයක්

බදු සංශෝධන කිහිපයක් සමග සංශෝධිත නව දේශීය ආදායම් පනත අද (01දා) සිට බලාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙම නව බදු සංශෝධන ක්‍රියාත්මක වන්නේ නව දේශීය ආදායම් පනත අද සිට බලාත්මක වීමට සමගාමීවය.

මේ නව පනතට අනුව මෙරට ක්ෂේත්‍ර රැසක බදු සංශෝදනය වන අතර, ඒ අනුව වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකු සඳහාම බදු ලිපිගොනුවක් විවෘත කෙරෙනු ඇත.

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට මුලින්ම ඉදිරිපත් කෙරුණේ 2017 ජූලි මාසයේදී්‍ය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව යළි සංශෝධනය කෙරෙණු අතර, එසේ සංශෝධිත දේශීය ආදායම් පනත පසුගිය සැප්තැම්බර් 7දා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මේ යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයින්ගේ වැටුපෙන් අයකරනු ලබන උපයන විට ගෙවීම් බද්ද අද සිට සංශෝධනය වනු ඇති.

ඒ අනුව දැනට අයකරනු ලබන උපයන විට ගෙවීම් බදු සීමාව, වාර්ෂික වැටුප රුපියල් ලක්ෂ 7.5 සිට ලක්ෂ 12 දක්වා ඉහළ දැමීමෙන්, දැනට ආදායම් බදු ගෙවන පිරිසක් බදුවලින් නිදහස් වීමද විශේෂත්වයකි.

වාර්ෂික ආදායම ලක්ෂ 12 සිට වැඩි වන පළමු ලක්ෂ 6ට 4%ක බද්දක් අයකරනු ඇත. එතැන් සිට වැඩිවන සෑම ලක්ෂ 6කට පිළිවෙලින් 8%, 12%, 16%, 20%, 24% ලෙස බදු මුදල් ඉහළ යෑමක් සිදුවෙයි. මීට පෙර මෙහි උපරිම බදු මුදලේ ප්‍රතිශතය වූයේ 16%කි.

මීට අමතරව, මීට පෙර වාර්ෂික ආදායම රු.මිලියන 25.5ක් ඉපයූ වෘත්තිකයන්ට කලින් බලපෑ 12%ක බදු අනුපාතය 24%ක් දක්වා ඉහළ යමින් බලපාන අතර,  එය මාසික ආදායම රු.ලක්ෂ 3කට වඩා වැඩි වෛද්‍යවරුන්, නීතීඥවරුන් වැනි වෘත්තිකයන්ට විශේෂයෙන් බලපානු ඇත.

මෙම නව දේශීය ආදායම් පනත මගින් අද සිට ක්‍රියාත්මක වන ප්‍රධාන බද්දක් වන්නේ ප්‍රාග්ධන බද්දයි.

යම් අයෙකු තමන්ට හිමි දෙවැනි නිවස හෝ ඉඩම විකිණීමේදී මෙන්ම, ආයෝජන වත්කමක් වන නිවහනක් විකිණීමේදී වෙළෙඳ පොළේ විකුණුම් මිල අතර වෙනස 10%ක බද්දකට යටත් වනු ඇත.

එමෙන්ම, විදේශයන්හි සේවය කරන ශ්‍රමිකයින් මෙරට බැංකුවල තැන්පත් කරන ඉතුරුම්වලට ලැබෙන පොලියට 5% ක බද්දක් අයකිරීමට නියමිතය.

එහෙත් විදෙස්ගත ශ්‍රමිකයින් තම නිවෙස්වලට හා ඥාතීන් වෙත එවනු ලබන මුදල් සඳහා කිසිදු බද්දක් අය නොකරන බවද මුදල් අමාත්‍යංශය පවසයි.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා පොලී ආදායම රු.ලක්ෂ 15 දක්වා බද්දෙන් නිදහස් වන අතර ඉතිරිය 5%ක බද්දක් අයකරනු ඇත.

බදු සහන හා බදු විරාම ලබාදීම සඳහා මුදල් අමාත්‍යවරයාට පැවැති අවස්ථා 200 ක් අහෝසි කර තිබීමද නව දේශීය ආදායම් පනතේ විශේෂත්වයකි.

දෙවැනි ලෝක යුද සමයේදී ගිලී ගිය නෞකාවක් නාවික හමුදාව යළි ගොඩ ගනියි

දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ගිලී ගිය රාජකීය නාවික සේවයට අයත්ව තිබූ සුප්‍රසිද්ධ නෞකාවක් වන සගයින් නෞකාව වසර 75 කට පසු නැවත ගොඩ ගැනීමට නාවික හමුදා කිමිදුම් අංශයට හැකියාව ලැබිණි.

මීටර් 138 ක දිගකින් යුත් මගී සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ලෙස යොදා ගැණුනු මෙම නෞකාව 1924 වර්ෂයේ දෙසැම්බර් මස 24 වන දින ප්‍රථම වරට දියත් කොට ඇත.

එම නෞකාව 1942 වර්ෂයේ අප්‍රේල් මස 09 වන දින ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබියදී ජපාන ගුවන් යානා මඟින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයන්ට ලක්වී නෞකාව ගිනිබත් වී ඇත.

එමඟින් නෞකාවට ඇතිවූ හානිය හේතුවෙන් එය අතහැර අමා ඇති අතර, 1943 වර්ෂයේ අගෝස්තු මස 24 වන දින මෙම නෞකාව අනෙකුත් යාත්‍රාවන්ට ජැටියක් වශයෙන් භාවිතා කිරීමට හැකි වන සේ ගිල්වා දැමීමට කටයුතු කොට ඇත.

ත්‍රිකුණාමලය වරාය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවය පැනනැගීම හේතුවෙන් අඩි 35 ක් පමණ මුහුදු පතුලට වන්නට ගිල්වා තිබූ මෙම නෞකාව ගොඩ ගැනීමේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාව විසින් 2017 සැප්තැම්බර් මස 11 වන දින ආරම්භ කරන ලදී.

පළමුව නෞකාවේ පළුදු වී තිබූ ස්ථාන පිළිසකර කර දිරාපත්ව තිබූ නෞකා සැකිල්ල ශක්තිමත් කිරීමේ කටයුතු සිදු කෙරිණි. තවද, ගිලී තිබූ නෞකාවේ පිරී පැවති මුහුදු ජලය ඉවත් කර එය සැහැල්ලු කිරීමේ අරමුණ ඇතිව තාවකාලික ජැටියක් ද ඉදිකිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව, නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීමේ ප්‍රථිපලයක් ලෙස මාස 05 ක් පුරා සිදු කරන ලද මෙහෙයුම් වලින් අනතුරුව පසුගිය මාර්තු මස 22 වන දින ගිලී තිබූ සගයින් නෞකාව ක්‍රම ක්‍රමයෙන් ජලය මතුපිටට ගනු ලැබීය.‍

 

01 03 05 DCIM111GOPROG0614138. 12 21 25 30

කුරුඳු පොලු හා ගිනි අවි දෙකක් සමග මෛත්‍රී ගුණරත්න අත්අඩංගුවට

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සංවිධානත්වයෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා පාගමනේ ප්‍රථම අදියරට සහභාගිවීම සඳහා එම පක්ෂයේ නායක මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පැමිණි බව කියන ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථ දෙකක තිබී බෝර 12 ගිනි අවි දෙකක් හා කුරුදු පොලු 98 ක් කඩුගන්නාව හා පේරාදෙණිය පොලීසි වල නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (31) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව කියමින් අදාළ විරෝධතා පාගමන අද (31) පෙරවරුවේ ගැටඹේ ප්‍රදේශයෙන් ආරම්භ විය.එම අවස්ථාවට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු සාමාජිකයින් 100 දෙනකු පමණ සහභාගී වී සිටියහ.

පාගමනට සම්බන්ධවූ පිරිස් පැමිණි බව කියන ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ඊරියගම ප්‍රදේශයේ නවතා තිබියදී පොලීසිය පරීක්ෂාවට ලක්කර තිබෙන අතර එහි තිබී අඩි 04 ක පමණ දිගින් යුත් කුරුදු පොලු 98 ක් පොලීසිය සොයා ගෙන ඇත.එම කුරුඳු පොලු කුමක් සඳහා රැගෙන ආවේද යන්න පිළිබඳව රියදුරුට පැහැදිලි ප්‍රකාශයක් ලබා දීමට නොහැකි වීම නිසා පේරාදෙණිය පොලීසිය මගින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ජීප් රථය මෛත්‍රී ගුණරත්න මහතාගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර තිබෙන බව පොලීසිය පවසයි.

කොඩි කණු ලෙස භාවිත කරන්නට මෙම කුරුඳු පොලු ලෙස රැගෙන ආ බව ඔවුන් සඳහන් කල අතර  ඔවුන්ට කොඩි පෙන් වීමට නොහැකිවූ බවත් පොලීසිය පැවැසිය.

මේ අතර පාගමන සමඟ යමින් තිබූ තවත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් හා ජීව උණ්ඩ 10 ක් පොලීසිය සොයා ගෙන ඇත.එම ගිනි අවි සඳහා බලපත්‍ර ඇති බව මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළ බව පොලීසිය පවසයි.

අදාළ ගිනි අවි බලපත්‍ර පොලීසියට ඉදිරිපත් කරන ලෙස පොලීසිය මෛත්‍රී ගුණරත්න මහතාට දැනුම් දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

1 copy

ගිං ගඟේ ඛේදවාචකයක් – කාන්තාවක් ඇතුළු දියණියන් 3ක් මරුට

downloadහිනිඳුමදී ගිං ගඟේ දිය නෑමට ගිය කාන්තාවක්, ඇයගේ දියණිය හා එම දියණියගේ යෙහෙළියන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය  පවසයි. අද (31දා) පස්වරු 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.

Capture

මලාලාගේ සිහිනය සැබෑ වී යළිත් උපන් ගම්මානයට ගිහින්

පාකිස්තානයේ තලේබාන් ත්‍රස්තයන්ගේ වෙඩි පහරට ලක්වීමෙන් පසුව ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටි නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි ප්‍රථම වරට යළිත් සිය උපන් ගම්මානය වෙත පැමිණ තිබේ.

අද 20 වැනි වියෙහි පසුවන මලාලා 2012 වසරේදී එවකට කාන්තාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාකිරීම හේතුවෙන් තලේබාන් ත්‍රස්ත වෙඩි පහරකින් හිසට දරුණු තුවාල ලැබීය.

අයගේ උපන් ගම්මානය වන ස්වැට් ප්‍රදේශය මෙන්ම, මින්ගෝරා ගම්මානය එවකට ත්‍රස්තයන්ගේ රජ දහනක්ව පැවති ප්‍රදේශයකි.

කෙසේ වෙතත්, ඇගේ පැමිණීම සිදුවන අවස්ථාවේදී ඇයගේ උපන් ගම්මානයේ වූ ඇගේ නිවස වෙත වූ මාර්ග සම්පූර්ණයෙන් පොලිස් ආරක්ෂාව යොදා වසා දමා තිබී ඇත්තේ ඇයට නිරුපද්‍රිතව සිය ගම්මානය වෙත පැමිණීමට ආරක්ෂාව සපයමිනි.

ඇය පසුගිය බ්‍රහස්පතින්දා බ්‍රිතාන්‍යයේ සිට පාකිස්තානය වෙත පැමිණි අතර, ඇය අගමැති කාර්යාලයේ සිට වඩාත් හැඟීම්බර දේශනයක්ද පවත්වා තිබුණි.

"යළිත් පාකිස්තානයට යෑම මගේ හීනයක් වුණා. අතීතයේ මෙන්ම සාමයෙන් පිරි පරිසරයක්, මට බියක් සැකක් නොමැතිව මාර්ගවල ගමන් කිරීමට හැකි පරිසරයක්, මිනිසුන් හමුවීමට හැකි වාතාවරණයක්, ඔවුන් සමග අදහස් බෙදාහදා ගැනීමට හැකි ඉඩක් මා සෑම විටම ප්‍රාර්ථනා කළා.

අවසානයේ මම යළිත් මගේ පැරණි නිවසට පැමිණියා. එය සැබෑ ලෙසම සිදුවුණා. මේ අවස්ථාව මට උදාකර දුන් සැමට ස්තූතිවන්ත වෙනවා." යැයි ඇය පවසා තිබුණි.

මලාලා පදනමේ සාමාජිකයන් පිරිසක්ද ඇයත් සමග මෙම සංචාරයට එක්ව තිබුණු අතර, ඇගේ පාකිස්තාන සංචාරය දින හතරකට පමණක් සීමා වී තිබුණි.

1_malala

විස්සයි20 තරගාවලියේ ජයත් පාකිස්තානයට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ ජයද පාකිස්තානයට හිමිවිය.

ඒ තරගාවලියේ තෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන්ද ලකුණු 38ක ජයක් පාකිස්තානය කාන්තා කණ්ඩායම ලබාගනිමිනි.

ඒ අනුව විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස පාකිස්තානය ජයගත්තේය.

මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 136ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 75/8ක් පමණි.

දෙරට අතර පැවැති එක්දින තරගාවලියද ජයගත්තේ පාකිස්තාන කණ්ඩායමයි.

eH72DMwj

ගාසා තීරයේ ගැටුම් වර්ධනයක් – එක්සත් ජාතීන් මැදිහත් වෙයි

ගාසා තීරයේදී පලස්තීන තරුණයන් හා ඊශ්‍රායල් හමුදා අතර ඇති වූ ගැටුම්වලින් හමුදාව එල්ල කරනලද ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට බලධාරීන් කරන ප්‍රකාශය අනුව ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කැඳවීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටාරෙස් කටයුතු කර තිබේ.

පසුගිය සිකුරාදා ඇති වූ මෙම ගැටුම්වලින් තවත් පලස්තීන ජාතිකයන් සිය ගණනක් තුවාල ලබා ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

වර්ෂ 2014න් පසුව ගාසා තීරයේ ඇති වූ වඩාත් උණුසුම් හා දරුණුතම ගැටුම්කාරී තත්ත්වය සිකුරාදා දිනයේදී වාර්තා වී තිබුණි.

හදිසි තත්ත්වයක් යටතේ මෙවැනි ගටුම්කාරී තත්ත්වයක් ඇතිකර ගැනීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින්ද හෙළා දැක තිබේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ප්‍රධානී ටේයි බෘක් සෙරිහෝන් පවසා සිටියේ ඉදිරි දින කිහිපය තුළ මෙම තත්ත්වය වඩාත් දරුණු අතට හැරෙනු ඇති බවයි.

1_Gaza 2

අශ්වයො ඔක්කෝම ගියාට පස්සෙ ඉස්තාලය වහලා – හිටපු අධිපති කබ්රාල්

ශ්‍රී ලංකා මහ බැංකුව වත්මන් අගමැතිවරයාගේ විෂයය පථයෙන් ගලවා ඉවත්කිරීමට කටයුතු කිරීම මීට බොහෝ කාලයකට පෙර සිදුකිරීමට තිබූ කාර්යයක් බවත්, එය සැබෑ ලෙසම අශ්වයන් සියල්ල ගියාට පසුව ඉස්තාලය වසා දැමීමක් හා සමාන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය ධුරය දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා මහ බැංකුව, පසුගිය 28දා අති විශේෂ ගැසට් පත්‍රයකින් මුදල් අමාත්‍යාංශය යටතට පැවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් %අද^ කළ විමසීමකදී හිටපු මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් මතු කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

&අපි මුල සිටම කියා සිටියේ මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කරමින් වෙනත් අමාත්‍යාංශයකට සම්බන්ධ කිරීම නීති විරෝධී බවයි. ඒ වගේම, එය ප්‍රායෝගික නොවන ක්‍රියාවක් බවත් අප දිගින් දිගටම පෙන්වා දුන්නා. මේ ක්‍රියාවේ අයහපත් ප්‍රතිඵලය වත්මන් පාලනයේ පළමු මාසය තුළදීම ශ්‍රී ලංකාවේ සිදුවූ ලොකුම බැඳුම්කර වංචාව හරහා රටට පෙන්නුම් කළා. විශාලම කනගාටුව මෙය යළි නිවැරදි කිරීමට මාස 36ක කාලයක් ගැනීමයි.

බැඳුම්කර වංචාව මතුවූ විගස දවසින් දෙකෙන් කිරීමට තිබූ දෙයක්, එනම්, 2015 මාර්තු 15 වැනිදා කිරීමට තිබූ දෙයක්, ඉන් මාස 36කට පසුව 2018 මාර්තු 28 වැනිදා තමයි සිදුකළේ. එසේ බැලීමේදී, මේ ගැන මට නම් කිසිදු සතුටක් නැහැ. මොකද, මූලිකවම මේ කළ වැඩේ වැරදියි. එය නොකර සිටීමට තිබුණා. දෙවනුව, මෙහි වැරැද්දක් ඇති බව සොයාගත් සැණින් ක්ෂණිකවම එය වෙනස් කිරීමට තිබුණා. දැන් මේ වෙනසක් කළා කියන්නෙ, අශ්වයො ඔක්කෝම ගියාට පස්සෙ ඉස්තාලය වසා දැමීමක් වගෙයි. එක අශ්වයෙක් නෙමෙයි, ඔක්කෝම අශ්වයො ටික ගියාට පස්සෙ.* යනුවෙන් පවසා සිටියේය.

1_Cabraal

IPL ඇරයුම කුසල් ප්‍රතික්ෂේප කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ සන්රයිසස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා කුසල් පෙරේරාට පැමිණි ආරාධනාවක් ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

ඩේවිඩ් වෝනර් වෙනුවට කුසල් පෙරේරා කණ්ඩායමට එක්කර ගැනීමට සන්රයිසස් අවධානය යොමුකර තිබුණි.

ජාතික ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමේ අරමුණින් දේශීය පළමු පෙළ තරගාවලියට ක්‍රිඩා කිරීම සඳහා කුසල් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

666821-kusal-perera-afp copy

ප්‍රපාතන හා ප්‍රතිතෝලන බදු නීතිය වැඩමුළුවක් 4දා

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා වාණිජ දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන රජය විසින් මෑතකදී සම්මත කරගනු ලැබු 'ප්‍රපාතන හා ප්‍රතිතෝලන බදු පිළිබඳ නීතිය' ගැන දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2018 අප්‍රේල් 04දා කොළඹදී පැවැත්වේ.

එදින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා කොළඹ 10, ඩී.ආර්. විජයවර්ධන මාවත, නො.450 යන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

මෙම පනත මගින් ව්‍යාපාරික ප්‍රජාව සඳහා බොහෝ ප්‍රතිලාභ ලැබෙන අතර, ඇතැම් රටවල් විසින් සිදුකරනු ලබන අසාධාරණ වෙළෙඳ පිළිවෙත්වලට මුහුණ දීමට මෙන්ම, පාලනයකින් තොරව ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩවලින් දේශීය කර්මාන්ත සහ නිෂ්පාදකයන් ආරක්ෂා කෙරෙන බවද ඔවුහු පෙන්වා දෙති. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබූ භාණ්ඩයේ සැබෑ වටිනාකමට වඩා අඩු මිලක් යටතේ වෙළෙඳ පොළට නිෂ්පාදන හඳුන්වා දෙනු ලැබීමට එරෙහි 'ප්‍රපාතන විරෝධී බදු' සහ විදෙස් රජයන් විසින් ලබාදෙනු ලබන විවිධ සහනාධාර හේතුවෙන් අසාමාන්‍ය ලෙස අඩු මිලට මෙරට වෙළෙඳ පොළට ආනයනික භාණ්ඩ පිවිසීමට එරෙහි 'ප්‍රතිතෝලන බදු' පැනවීම හා විමර්ශනය කිරීම පිණිස විධිවිධාන ඇතුළත් %ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත් කෙටුම්පත^ සම්මත කරගෙන ඇති බවද ඔවුහු පවසති. තවද, මෙම වැඩමුළුව මගින් ප්‍රපාතන හා ප්‍රතිතෝලන බදු පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි කෙරෙන බවද ඔවුහු පෙන්වා දෙති.

වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සොනාලි විජේරත්න මහත්මිය මෙම වැඩමුළුව සඳහා විශේෂ අමුත්තෙකු ලෙස සහභාගි වන අතර, වාණිජ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ප්‍රපාතන හා ප්‍රතිතෝලන බදු පිළිබඳ නීතිය හා අසාධාරණ ව්‍යාපාරික භාවිතයන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමටත්, නීති විරෝධී ලෙස ආනයනය කරනලද ආනයනික රටවලට එරෙහිව ආරක්ෂක පියවරයන් ගැනීමටත් ඇති බලය පිළිබද දැනුවත් කිරීම සිදුකරනු ලබන බවත් ඔවුහු පෙන්වා දෙති.

ඊට අමතරව, නීතිපතිවරයාගේ රජයේ අධිනීතීඥවරු, මෙම නීතියේ නීතිමය පැතිකඩ සහ මෙම ක්‍රියාවලියට සම්බන්ධ වෙනත් ක්‍රියාකාරකම් පිළිබඳව ඉදිරිපත් කරන අතර, ප්‍රශ්න හා පිළිතුරු සැසියක්ද පැවැත්වෙන බව ඔවුහු පවසති. දුරකථන අංක 011-4741788 හෝ ඊමේල් pa@nationalchamber.lk, nirmani@nationalchamber.lk ඔස්සේ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය ඇමතීමෙන් මේ සඳහා ලියාපදිංචි විය හැකි අතර, ආසන සීමිත බැවින් ඒවා පූර්ව ලියාපදිංචිය මත වෙන් කෙරෙන බවද ඔවුහු වැඩිදුරටත් පවසා සිටිති