2018 තීරණාත්මක වසරකි

ලැබුවා වූ නව වසර රටවාසී සියලු දෙනාටත්, ලෝකවාසී සියලු දෙනාටත් සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කිරීමට මුලින්ම මෙය අවස්ථාවක් කර ගනිමි. මා 2017 වසර ආරම්භ කළේ සහ 2017 වසර අවසන් කළේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයෙනි. 2018 වසරේදී තව කොපමණ වාරයක් මෙම ස්ථානවලට යොමුවීමට අවස්ථාව ඇති දැයි නොදනිමි. මේ ආකාරයෙන්ම මාගේ යෝෂිත රාජපක්‍ෂ මල්ලීද පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට ගියේය. ඒ අනුව 2018 වසරේදී කුමක් සිදුවේදැයි අපි බලාගෙන සිටින්නෙමු.

නැව් එනතෙක්

යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාව ගමන් කළ ඉදිරි ගමන වත්මන් ආණ්ඩු පාලනය යටතේ ආපස්සට ගිය තවත් වසරක් ලෙස 2017 වසර හැඳින්විය හැකිය. උද්ධමනය වැඩිවී තිබේ, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගොස් තිබීම පමණක් නොව අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳ පොළ තුළ හිඟයක්ද නිර්මාණය වී ඇත.
රටේ ජනතාව වැඩි කාලයක් විදේශ රටවල සිට නැව් එනතෙක් බලාගෙන සිටින තත්ත්වයට පත්කළ වසරක් ලෙස 2017 වසර හඳුන්වා දිය හැකිය. මුලින් තෙල් නැව් එනතෙක් බලාගෙන සිටියේය. දැන් පොහොර නැව් එනතෙක් බලාගෙන සිටියි. 2018 වසරේදී ගොවි ජනතාව බලාගෙන සිටිනුයේ නව වසර සාදරයෙන් පිළිගැනීමට නොව පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙනවා යැයි කියන පොහොර නැව එනතෙක්ය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේ මත්තලත් වී ගබඩාවක් බවට පත්කිරීමට තරම් වීවලින් ස්වයංපෝෂිත වූ රටක් දැන් පිටරටින් හාල් ගෙනෙන තත්ත්වයට පත්ව ඇත. එතැනිනුත් එහාට පොල්මද පවා දැන් ආනයනය කර තිබේ.

මැතිවරණ

නව වසර ශ්‍රී ලංකාවට අභියෝගාත්මක මෙන්ම තීරණාත්මක වසරකි. මේ වසරේදී මුලින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, ඉන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතය. පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දින වකවානු පිළිබඳ තවමත් නිශ්චිත තත්ත්වයක් නොමැත. 
ආණ්ඩුව පවසන්නේ මේ මැතිවරණය හරහා අණ්ඩු වෙනසක් සිදු නොවන බවයි. එය සැබෑය. නමුත් ආණ්ඩුවට ජනතාවගේ විරෝධය එල්ල කිරීම සඳහා ජනතාවට ලැබෙන පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව මෙම මැතිවරණය එක් අතකට ජනමත විචාරණයකි. මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳ යමක් කීමට දැන් කල් වැඩිය. එසේ වුවත් ආණ්ඩු විරෝධී ජනතාව මේ වනවිට ඒකාබද්ධ විපක්‍ෂය පෙරමුණ ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්වෙන බව ගම්මටමින් අපට පෙනී යයි. 
මැතිවරණය ආරම්භ වී ඇති අවස්ථාවක රාජ්‍ය සම්පත් තවදුරටත් ආණ්ඩුව විසින් මැතිවරණය පැවැත්වීම සඳහා යොදා ගැනීම අඛණ්ඩව සිදුවෙමින් පවතී. මේ අතර මැතිවරණ සමයේදී පක්‍ෂ මාරුවීම් තවදුරටත් සිදුවෙමින් පවතී. ජනාධිපති මාධ්‍ය අංශය දිගින් දිගටම එක්සත් ජාතික් පක්‍ෂයේ, ඒකාබද්ධ විපක්‍ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බවට ප්‍රවෘත්ති දිනපතා ජනතාවට ලබාදෙයි.
ආණ්ඩුව නීතිය අතට ගෙන කටයුතු කරමින් සිටියි. උදාහරණයක් ලෙස සඳහන් කරන්නේ නම්, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ජනතාවට නව වසර වෙනුවෙන් සුබ පැතීම සඳහා තංගල්ලේ පැවැති උත්සවයකට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ගෙන තිබිණි. නමුත් එහි ශබ්දය පරීක්‍ෂා කළේ යැයි කියා සංවිධායකයන් පොලීසියට ගෙන ගියේය. මේ තිබෙන තත්ත්වය අනුව නියමිත වේලාව ලැබෙන තෙක් ශබ්දය පරීක්‍ෂා කිරීමටත් අවස්ථාවක් නොමැත.

ඇමෙරිකානු ජී.එස්.පී. සහනය

2018 වසර ආරම්භ වීමට මොහොතක් තිබියදී තවත් කනගාටුදායක ප්‍රවෘත්තියක් වාර්තා විය. ඒ ඇමෙරිකාව විසින් ලබාදෙන ජී.එස්.පී.  සහනය ශ්‍රී ලංකාව ඇතුළු රටවලට දෙසැම්බර් 31 වැනිදා සිට නැවත වරක් දීර්ඝ නොකිරීමට කටයුතු කිරීමය. මේ හරහා ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩවලට ඇමෙරිකාව විසින් 
ශ්‍රී ලංකාවට ලබාදුන් තීරු බදු සහනය අහිමි වෙනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩවලට ඉදිරියේදී තීරුබදු අය කරනු ඇත.
මෙම සහනය ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවන බවට ඇතැම් අමාත්‍යවරුන් ප්‍රකාශ කළද, එහි සත්‍යතාව එසේ නොවෙනු ඇත. යම්කිසි බලපෑමක් ඇතිවෙනු ඇත. මේ හරහා සිදුවෙනුයේ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩවලට ඇමෙරිකාවේදී තීරුබදු අය කිරීමෙන් එහි මිල ගණන් ඉහළ යෑමට. මිල වැඩි වීම හේතුවෙන් ඇමෙරිකාව තුළ එම භාණ්ඩ අලෙවි වීම අධෛර්යමත් වනු ඇත.

පක්‍ෂ මාරු

ඇතැම් ගම්වල සීමිත පිරිසක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ඉදිරිපත්ව තිබේ. අනෙක් අතින් එසේ ජනාධිපතිට සහාය දක්වා නැවතත් ගමට පැමිණෙන පිරිස් එක්සත් ජාතික පක්‍ෂයට හෝ පොදුජන පෙරමුණටම උපකාර කිරීමට කටයුතු කරන අයුරු දක්නට ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එකතු වූ පිරිසට ගමට ගොස් එක්සත් ජාතික පක්‍ෂයට වැඩ කරන ලෙසට ප්‍රකාශ කරන්නේ දැයි සැකයක් මා හට තිබේ.

පොදුජන පෙරමුණ

මේ අතර, ඒකාබද්ධ පොදුජන පෙරමුණ මගින් සංවිධානය කරනු ලබන පළමු දැවැන්ත වැඩසටහන අද (02දා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේදී පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන් කොළඹට කැඳවා අපගේ වැඩසටහන ජනතාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර තිබේ.


සුබ අනාගතයක්!
ලබන සතියේදී යළිත් හමුවෙමු! 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>